Saturday, November 30, 2013

මම මිනිසෙක්මි


පොඩිකාලේ මගේ ඇඟිල්ල කැපුනාම මම කෑ ගහල ඇඬුවා. ඊයේ පෙරේදා ආයේ ඇඟිල්ල කැපුනාම ඇඬුවේ නැති උනාට මට හොඳටම රිදුනා. .....උඹටත් එහෙමම නේද? අර අහිංසක අම්මයි දුවයි මන්නෙන් කොටලා මරන්න කලින් හිතුනේ නැද්ද ඒත් ලේ වලින් මස් වලින් හැදුන මිනිස්සු කියල. මන්නේට කැපෙන්නේ පණ තියෙන මිනිහෙක් කියල උඹට හිතුනේ නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


පොඩි ළමයින්ගේ ලෝකේ වීරයෝ උන්ගේ අම්මල තාත්තල. උඹ තාත්ත කෙනෙක් නං උඹ කැමති නෑ නේද කවුරු හරි උඹේ පොඩි එකා ඉස්සරහ උඹට බනිනවට ගහනවට.....එහෙව් උඹ අවුරුදු හය හතක වෙච්ච පොඩි එකෙක් ඉස්සරහා උගේ අම්මයි තාත්තයි ගහල මැරුවේ මොන හිතකින්ද? උඹට මතක් උනේ නැද්ද උඹේ පොඩි එකාව? කියපන් මට හොඳට හිතල බලල


කඩදාසි කොලයක් ගින්දරට දාල බලන් ඉඳල තියෙනවද උඹ? පොලිතින් කොලයක් පිච්චෙනවා උඹ දැකල තියෙනවද? කවදාහරි දවසක උඹව පිච්චිලා තියෙනවද? පිච්චේද්දී උඹට දැනුනු වේදනාව මතකද උඹට.....එහෙව් උඹ, උඹේම ලෙයින් හැදුනු ළමයි දෙන්නවයි, උඹේම ගෑනිවයි පුච්චලා මැරුවේ මොන හිතකින්ද.. කියපන් මට හොඳට හිතල බලල


දවසක තැලිලා තියනවද උඹේ ඇඟිල්ලක් ගලකට? දන්නවද උඹ ගලකට තලෙද්දී දැනෙන වේදනාව? දවස් ගාණකට ඒක හොඳ උනේ නෑ නේද?....එහෙව් උඹ ගල්වලින් ගහල ගෑනියෙක්ව මරන්න හිත හදා ගත්තේ කොහොමද? උඹ පවක් කළා කියල උඹ කැමතිද ගල් වලින් ගහල මරනවට. කියපන් මට හොඳට හිතල බලල
බෙල්ල කපල මරද්දී වේදනාවක් දැනෙන්නේ නෑ කියල කියන උඹ කැමතිද උඹේ බෙල්ල කපල මරනවට. කියපන් මට හොඳට හිතල බලල


මේ ලඟදි එක අහිංසක ගෑණු ළමයෙක්ගේ බෙල්ල කපල මැරුවා කියල අහපු හැමෝගෙම ඇස වල කඳුළු පිරුනා තමයි. උඹත් ඒක අහල හරිම ජාතිවාදියෙක් උනානේ. මතකද උඹට...එක ආගමකට පලු යන්න බැන බැන මුළු ඉරිදා දවසම ෆේස් බුක් එකට ලියුං ලියපු උඹ ඉරිදාම උදේ එකොළහට විතර මස් කඩේට ගිහින් හරක් මස් රාත්තලයි, කුකුල් මස් රාත්තල් දෙකකුයි ගෙනාව මතකද? උඹ ඒ ගෙනාවේ ඉබේ මැරිච්ච සත්තුන්ගේ මස්ද? උන්ව මැරුවෙත් බෙලි කපලම නේද?....දස වද විදගෙන මැරෙන සතෙක්ගේ මස් කකා කොහොමද උඹ සාදරණේ ගැන කතා කරන්නේ. කියපන් මට හොඳට හිතල බලල


උඹේ පඩි පැකට් එක නැති උනොත් කොහොමද? මොනාද උඹට හිතෙන්නේ. උඹ කොහොමද ඒ මාසේ ගෙවාගන්නේ?.....එහෙව් උඹ නේද ජාතිවාදේ පිටින් දාල වෙන ජාතියක කියන මිනිහෙක්ගේ මුළු සේසතම කොල්ල කෑවේ. ඌ ඊළඟට මොනවා කරන්නද කියල උඹට හිතුනෙම නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


උඹ කියනවා උඹ කන්නේ කැපකරපු කෑම විතරයි කියල. එතකොට උඹ හුස්ම ගන්නේ කැප කරපු වාතේ විතරද? නොදන්න නිසයි මං අහන්නේ? කියපන් මට හොඳට හිතල බලල


උඹ දැන් හරිම අගම්වාදියෙක් වෙලානේ. මට ආඩම්බරයි උඹ ගැන. උඹ හැමෝම වෙනුවෙන්ලුනේ නැගී හිටින්නේ. උඹත් එක්ක එකට වැඩ කරන එකාගේ ආගම තහනං කරන්න කියලනේ උඹ කෑ ගහන්නේ. උඹ අන්තිමට පන්සලට, පල්ලියට ගියේ කවදද. කියපන් මට හොඳට හිතල බලල


උපන්දා ඉඳලම උඹ හිටියේ පිටරටනේ. උඹ අන්තිම හොඳට ෆැසිලිටිස් එක්කනේ හැදුනේ. උඹ කතා කරන්නේ මිනිස්සු වෙනුවෙන්නේ.....එහෙව් උඹ දන්නවද ලංකාවේ ඉස්සර එකම ඔෆිස් එකේ වැඩකරන අම්මයි තාත්තයි වැඩට යන්නේ බස් දෙකක බව. ඒ උන්ට මගුල් නටන්න නෙවෙයි. අම්මයි තාත්තයි දෙන්නම එකටම බෝම්බෙකට අහුවෙලා , මැරිලා ළමයි අසරණ වෙන එකේ සම්බවිතවාය බාගෙකට අඩු කරන්න. උඹ දන්නවද ඉස්කෝලේ යන ගමන් බෝම්බ වලට අහුවෙලාමැරිච්ච ළමයි ගැන හිත හිත අම්මල, තාත්තල තාම විදෝන බව, දැන් ලංකාවේ මිනිස්සු බය නැතුව හුස්ම ගන්න බව. උඹේ රටට හදිස්සියේ බෝම්බ දැම්මොත් උඹත් කතා කරන්නේ සාමෙටමද? අනේ මට තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. කියපන් මට හොඳට හිතල බලලා


මට දුකයි උඹ ගැන. උඹ තට්ටු කරලා අහපන් උඹේ හිතෙන්. හිතටත් දුක ඇති උඹ ගැන. උඹ මිනිහෙක්.. අන්න ඒක තේරුං ගනින්. උඹ ජාතියක් ආගමක් කුලයක් ඉපදෙද්දී අරන් ආවේ නෑ. ඒවා උඹට පටෝපුවා. හිතපන් උඹ, උඹ විදිහට. කාගෙවත් බළල් අතක් නොවී හදවතට එකගව මිනිහෙක් වෙයන්. පුලුවන්ද උඹට? හැමෝම උඹ වගේමයි. බැහැල බලපන් උගේ සපත්තුවට. ඌත් උඹ වගේමයි.... නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


Tuesday, November 26, 2013

ගෑණු ගෑණු, පිරිමි පිරිමි සහ ගෑණු පිරිමි

කොම්පැණියේ වැඩක් ගෑණු දෙන්නෙක්ට පංගාර්තු වී ඇත්තාය
1 ඒකීය: (හිතයි) අපෝ මම කොහොමද මෙයත් එක්ක වැඩ කරන්නේ? ඔක්කොම මට තමයි අප්පා කරන්න වෙන්නේ. ලකුණු ටික ඔක්කොම එයා දාගනියි. හැමදාම උනේ එකනේ
2. ඒකීය: (බෝයිෆ්රෙන්ඩ් ට කියයි) බලන්නකෝ අනේ. මට හිතා ගන්න බැ මොනවා කරන්නද කියල. එයා උඩින් හිනා උනාට යටින් මාත් එක්ක හරී...ම ඊරිසියයි.. ( සෙමෙන් අඬයි) බොස් හිතලමයි ඕක කලේ. ඇයි අරකි යනවනේ කරේ .. (දත්කුරු සපයි) ..
වැඩේ ඉවර වෙනතුරු දෙන්නා කපන්න බැරි අත් ඉඹින්නා සේ වැඩ කරති. අවසානයේ පන යන්න හෙම්බත් වී ඇත්තේ අර අහක හිටපු අසරණ කොල්ලාය (2 එකියගේ බෝයිෆ්රෙන්ඩ්)

කොම්පැණියේ වැඩක් පිරිමි දෙන්නෙකුට පංගාර්තු වී ඇත්තාය
1 එකා: ආඅ මචං.... අන්තිමට උඹත් ආව නේද කොල්ලත් එක්ක වැඩකට සෙට් වෙන්න..
2 එකා: පල පල තෝ ලොක්කට කියල නේද මං වගේ සුපිරි කොල්ලෙක් එක්ක වැඩක් ඉල්ල ගත්තේ
දෙදෙනා කරට අත දා ගනිති. අනතුරුව වැඩේට පෙර මොනවහරි කන්න යති

කොම්පැණියේ වැඩක් ගෑණු කෙනෙක් හා පිරිමි කෙනෙකුට පංගාර්තු වී ඇත
1 ඒකීය: හී හී හී.... අපි දැන්ම වැඩේ පටන් ගන්නවද... හී හී හී (කොල්ලා දෙසට විරිත්තාගෙන සිටියි)
1 එකා: ඔයා ට පුළුවන් වෙලාවක පටන් ගමු
1 ඒකීය: ( හිතයි: ඒ මොකද්ද එයා කිව්වේ. කොහොමත් ඕකා මට ලයින්) හී හී හී එන්න එපා ඕවට (තොල් උල් කර) වැඩේ නං වැඩේ
1 එකා: (ඒ හරුපේ වටහා ගත නොහැකිව උඩ බිම බලයි) ඒකම තමා මාත් කිව්වේ..
දෙදෙනා සහයෝගයෙන් වැඩේ කරති. කොල්ලා තමා සමග වැඩ කරන්නේ කෙල්ලෙක් නිසා ෆෝර්ම් වී ඇත. ඒ ෆෝර්ම් වීම කොල්ලෝ උපතින්ම රැගෙන එති. කෙල්ල, කොල්ලා ලෝකයේ ඉන්න සියලුම කෙල්ලන් අතරින් තමන්ට ලයින් බව හිතාගෙන ෆෝර්ම් වී ඇත.

රොටියාගේ පසුවදන
කෙල්ලන් සමග වැඩ කිරීම හැමවෙලේම ආතල් ම ආතල්ය. උන් කොල්ලන් මෙන් නොවහැමවෙලේම චිකි චිකි ගාති. කොල්ලෙක්ට කෑමක් දැක්කොත් ඌ දුවගොස් ගොඩම බදාගනියි. කෙල්ලන් එසේ නැත. උන් අපිට එක්ක කෑම ගෙනෙති. පැයබාගයකට සැරයක් වොෂ් රූම් ගොස් පැයකාලක් ගතකර මල් මෙන් හිනැහී හිනැහී එති. කොල්ලන් වූ අප උපතින්ම ගෙනා කුකුල් කම නිසා කෙල්ලන්ගේ හිනාවෙන් මන්මත් වී කෙල්ලන්ගේ වැඩත් එක්ක ඔක්කොම වැඩ ටික 
ඉවර කරන්නෙමු
                                                          

Sunday, November 24, 2013

නොවැම්බර් 24


“කොහෙද ඉන්නේ”
“ලෙක්චර් එකක”
“කීයටද බ්රේක් එක”
“දහයමාරට”
“ගන්නවද මට”
“..හා”
මම හේතුවක් කිව්වෙත් නෑ. එයා හේතුවක් ඇහුවෙත් නෑ. පිරිමි ළමයෙක්ට හැමවෙලේම මතක් වෙන ගෑණු ළමයෙකුට කතා කරන්න හිතෙන එකේ වැරද්දක් තියෙනවද? විශේෂයෙන්ම ඒ ගෑණු ළමය තමුන්ට කැමතියි කියල හිතෙනවනම්..
ඒත් ඒක මම දන්නේ නෑනේ. කටහඬ අහල තිබ්බට මම එයාගේ රූපෙවත් දැකල නෑනේ. එයා උසද මිටිද, සුදුද කළුද... ඇයි මම නොදන්න කෙනෙක් ගැන මෙච්චර හිතන්නේ. ගෑණු ළමයින්ගේ අඟලෙන් අඟල වැරද්දක්ම හොයපු මම කවමදාවත් නොදැකපු කෙනෙක් ගැන ඇයි වදවෙන්නේ...
එයා කොහොම කෙනෙක්ද?.... මාත් එක්ක කතා කරන්නේ කැමැත්තෙන්ද?... මාව මුණගැහෙන්න එයා කැමති වෙයිද?...
ලොකුම ප්‍රශ්නේ...
ඒ කවදද?........




Saturday, November 23, 2013

නොවැම්බර් 23


හඳ දකින දකින වාරයක් ගානේ මගේ හිතට නුහුරු තිගැස්මක් දැනෙනවා. හැමදාම එහෙමයි... ඒ වගේම මූද දකිනකොට, මූදෙ සද්දේ ඇහෙනකොටත් මට ඒ හැගීමම දැනෙනවා. හරියට මම ඔයාව මුලින්ම දැක්ක දවසේ වගේ....


මූද ලස්සනම රෑට. මුදට හඳ එළිය වැටුණාම ඕනේ තරන් වෙලා බලන් ඉන්න පුළුවන්. හරියට මට ඔයා දිහා බලාගෙන ඉද්දි කාලේ අමතක වෙනවා වගේ. මට දැනෙන්නේ ලෝකයම නවතිනවා වගේ. මුළු ලෝකෙම ඔයත් එක්ක නවතිනවා. මම විතරක් ජීවත් වෙනවා. ඔය දිහා බලාගෙන මම ජීවත් වෙනවා......


හඳ එලිය වැටුණු මුදේ රැලි වලට පුළුවන් කෙනෙකුගේ හිතේ තියෙන තනිකම හෝදලා අරින්න. ඇස් ඇඩුවේ නැති උනාට තනිකම දරාගන්න බැරුව අඬන හිත සනසවන්න ඒ රැලි එක්ක එන සුරංගනාවියන්ට පුළුවන්. හරියට ඔයා මගේ ලෝකෙට ආව වගේ....


හඳ එලිය මුදට වැටෙනකොට, ඒ එළියෙන් එන ජීවය උරාගෙන දියකිඳුරියෝ වෙරළට එනවා. පෙනුනේ නැති උනාට, මට ඒ අය කතා කරන සද්දේ ඇහෙනවා. පාලුවෙන් හිටපු ගොඩාක් දවසට මම නින්ද යනකන් ඒ කතා වලට කන් දුන්නා.
දන්නවද එතන හිටියා හඳ එලිය තියෙන දවසට විතරක් ඇවිත් වෙරළට සින්දු කියන කිඳුරියෝ. සමහරු ආවේ පුර හඳ දවසට විතරයි. ඒත් එක දිය කිඳුරියක් හැමදාම ඇවිත් වෙරළට සින්දු කිව්වා. අමාවක දවසටත් කට්ට කරුවලේ ඇවිත් වෙරළට කතා කළා. හරියට ඔයා වගේ. ඔයා මගේ ජිවිතේ පුරාම ජිවත් වෙනවා වගේ. මාව ජිවත් කරන්න හුස්ම පිඹිනවා වගේ. මගේ පණ වගේ.......



Sunday, November 17, 2013

රොටියාගේ බෙස්ට්මන් කතා වස්තුව

රොටියාගේ ෆ්‍රෙඩේක් කසාද බදින්න යනවාය. කසාදය යනු අතේ තියෙන තුට්ටු දෙකට කෙළවෙන කතන්දරයක් බව ද, එම නිසා සඳපානේ හැංගී යාම වඩාත් නුවණැති තීරණයක් බවද අත්දැකීම් ඇත්තෝ අවවාද කලද මූට උවමනා වුයේ මගුලක්මය. ඒ නිසා ඕනෑ මගුලක් කරගනින් කියා උගේ යාලුවෝ වූ අපි ද ඌට බණ දෙසීම නවත්වා පුළුවන් උදව්වක් කිරීමට සුදානම් වූයෙමු.
මගුලක් කියා කරගැසුවේ ලෝක මරාලයකට බව ඌට තේරුම් යද්දී ප්‍රමාද වැඩිය. ඊ ලඟට ඌ පිස්සු වැටුනා සේ එහාට මෙහාට පනිමින් මගුලට සුදානම් වුනාය. මගුල දවසට උගේ යාලුවෝ දෙන්නෙක් පින්තුරය සදහා උවමනා කරන බව ඌට මතක් වූයේ මගුලට සතියක් තියාය. ඊ ළඟට ඌ නාහෙන් අඩමින් සෙව්වේ උගේ පවට කරගැසිය හැකි ඩබලකි. මුගෙන් රොටියාට කෝල් එකක් ආවේ මහ රෑකය.
යාළුවා: අඩේ රොටියා තෝ ඇහැරලාද?
රොටියා තමාට හැකි ශිෂ්ටම ආකාරයට , තමා හිටියේ ජිම් එකට යන්නට සුදානමින් බවත් ඊට කල්වේලා වැඩි නිසා කල්මරන්නත් එක්ක බල්ලා සමග ඔට්ටු තිබු බවත් ඌට පැහැදිලි කළාහුය.
යාළුවා: ඒයි මේ තෝ ළඟ මගුලකට අදින්න පුළුවන් කළු කෝට් එකක් තියෙනවද?
රොටියා ආඩම්බරෙන් කිව්වේ ලඟකදී හමීඩියා එකෙන් ගත්තු කට්ට කළු සූටක් රොටියා ළඟ ඇති බවයි.
යාළුවා: ආ ආ තෝ දැන් යන්නේ හමීඩියා. පල පල තෝ කැම්පස් යද්දී ෂර්ට් ගත්තේ මහරගම පාර අයිනේ කඩෙන් නේද ඩො?
මේ මහ රෑ ඇහැරෙව්වේ රොටියා දැන් ෂර්ට් ගන්න තැන ගැන කොලොප්පන් කරන්නදැයි රොටියා සරල සිංහලෙන් උගෙන් ඇසුවාය
යාළුවා: අඩේ මේ මගේ මගුලේ බ්‍රයිඩ්මේඩ්ස් ල දෙන්නෙක් ඉන්නවා බන් ටින්කිරි කෑලි දෙකක්. කිරි කිරි ටෝයියෝ. කොල්ලොත් නෑ.
රොටියාට ටින්කිරි කෑලි ගැන මේ වෙලාවේ ඉන්ටෙරෙස්ට් එකක් නැති බවත් ඊට වඩා නිදා ගැනීමට රොටියා කැමති බවත්, උගේ උවමනාව රේන්ද අල්ලන්නේ නැතිව පැහැදිලි කරන ලෙසත් රොටියා ඌට දැනුම් දුන්නාය.
යාළුවා: අඩේ රොටියා තෝ ලෑස්ති වෙයන් මගේ බෙසා වෙන්න. අනිකට ඉන්නේ ලපය. ඌටත් කළු සූටක් තියෙනවලු.
රොටියාට බෙසා වීමට කැමැත්තක් නැති බැවින් ඊට වෙන අසරණයෙක් බාගත නොහැකි දැයි රොටියා යාලුවගෙන් ඇසුවාය.
යාළුවා: අඩේ පල් කතා කියන්න එපා බොල. වෙඩිම ලබන සතියේ. තොට කරන්න තියෙන්නේ කැමරාවට විරිත්තන්න විතරයි ඩො.
රොටියා සිය කැමැත්ත ප්රලකාශ කරන තුරු මූ පාන්දර වෙනකන් හරි කතා කරන බව තේරුණු නිසා උගෙන් ගැලවෙන්න රොටියා කැමැත්ත පල කළාය.
පහුවෙනිදා ටින්කිරි ගුලිය එහෙමපිටින්ම ගිල කුල්මත් වී සිටි ලපයා රොටියාට කතා කලේය. ඌ කෙල්ලෙක් නැතුව වේලෙයි. කෙල්ලන් ඇති අපට පැලෙන්න ඊරිසියා කරයි.
ලපයා: මාර චාන්ස් එක නේද බන් , උන් දෙන්න අහවල් බැංකුවේ කෑලි දෙකක් ලු. මරු බන්. එතනින් වත් ගොඩ යන්න බලන්න ඕනේ.
උන් දෙන්නා අහවල් බැංකුවේ උනාට රොටියාට අහවල් එකදැයි උගෙන් ඇසු රොටියා කෝල් එක කට් කළාය.

වෙඩිම දවසකට කලින් දා අපි සියල්ලෝම මනමාලයා වෙන්න ඉන්න එකාගේ ගෙදර ගියෙමු. අපේ බුවා රැවුල කපා කට් එක තියාගෙන සිටියේය. ඒ මදිවාට ඒ කට් එකම දැමීමට ලපයාව හා රොටියාව ද සැලූනයට දක්කාගෙන ගියේය. කට් එක දාගෙන වට පිට බලන විට අපේ බුවා පේන්න නැත. සැලූනයේ වට තිර ඇද තිබූ කොටසට හොම්බ දැමූ විට මෙන්න මේකා කොළ පාට තලපයක් මුණේ උලාගෙන පුටුවක හාන්සි වීගෙනය. දෑස වසා පුළුන් කෑලි දෙකකි. අපි ආ බව නොදැන ඌ සැලුනයේ කොල්ලාට දොඩවයි.
“ මල්ලි අර ඉස්සරහ දෙන්න වැඩේ ඉවර කරන්න කලින් මේක ඉවර කරන්න පුළුවන් නේද? උන් දෙන්නා දැක්කොත් වසල හමාරයි”.
සද්ද නොකරන ලෙස හස්ත මුද්‍රාවෙන් සැලුනයේ කොල්ලාට තග දැමූ අප, කොලපාට උගේ මුණේ පින්තූර කීපයක් ජන්ගමයාට එන්ටර් කරගත්තෝය. ඒවා ඒ මොහොතේම උගේ ගෙදර රැස්වී සිටින අපේ සෙට් එකට පියඹා ගියෝය. අනතුරුව අපි ඩබල සැලුනයේ ඉදිරිපසට මාරු වී ගියාය.
ටික වෙලාවකින් උගේ පෝන් කටුව නාද වෙන හඩත්, උගේ පැනියත් අපට ඇසුණේය.
“ආ සුදු, ඔව් පැටියෝ ඒක තමා මේ කරන්නේ. ඔව් ඔව් ඔයා කියපු එක තමා. ආයුර්වේදික් එක”
එහෙනම් මූ මේ කන්නේ මණ්ඩලෙන් අනුමත වූ රැගකි. පිරිමියෙක් වෙලා ඉපදුණු වරදට ඌ දැන් සිටම ගැනිගේ පදේට නටයි. නොනටා හිටියොත් වෙන දේ දන්නේ පිරිමින් වූ අපමය.
අපේ බුවා ගැන අනුකම්පාවෙන් අපි දෙදෙනා නැවතත් සැලුනයේ පුටු ගත වී හෙඩ් මසාජ් දෙකකට එන්ටර් වීමු. මැදදී බබළන මුහුණින් යුතුව කාමරයට පැමිණියේ ඌය. ගියේ කොහේදැයි අප ඇසු කල, බිල ගෙවීමට ගියැයි ඌ කී බොරුව, නිවසට ගිය විට ඌටම කැරකි ආවේය. නිවස පුරා තැන තැන ගසා තිබුනේ උගේ කොළ මුණේ පින්තූර කඩදාසිය. පහුවෙනිදා මනමාලයා වෙන්න ඉන්න එකා නිසා අපි ඌව ඊට වඩා මැඩේව්වේ නැත.
පහුවෙනිදා පාන්දරම හැද පැළඳ ගත් රොටියා , ලපයා හා මනමාලයා වෙඩිම ගන්නා හෝටලය බලා ගියෙමු. ටින්කිරි කෑලි දෙක ඔසරි දෙකක් පටලවාගෙන ලොබියේ සිටියෝය. ඈතට පට්ට ලස්සනට පෙනුණු නිසා රොටියාටද නැති ඉන්ටෙරෙස්ට් එකක් ඇති විය. ලඟට ගොස් බලන විට මැටියෙන් අඹා තාම වේලී නැති බලි දෙකක් වගේය. හිනාවෙන විට කම්මුල් දෙපසට වී මේකප් තට්ටුව පලාගෙන මුණ පුරා බයානක ඉරි තලා යයි. උන්ගේ චිකි චිකිය නවතින පාටක් නැත. ලපයා බලාපොරොත්තු ඇතුව උන් ලඟට ඇස් දල්වාගෙන සිටියි
ඊළඟට මනමාලිය ආවාය. කොණ්ඩය පිටුපස තිබූ අති දැවැන්ත මල් මාලාව හැරුණු විට ඇගේ වෙන වැරද්දක් රොටියාට පෙනුනේ නැත.මනමාලිය පිටුපසින් අප වෙත කෝල බැලුම් හෙලමින්, පද්දමින්, ගස්සමින් ආවේ අහවල් ජාතියේ එකෙකි. මනමාලිය ඌ සමග දොඩවයි. ටින්කිරි කෑලි දෙකද ඒ අසලය. “ මේ දෙන්නවම තමා මගේ හිතේ තිබ්බේ. මගේ ස්කින් කලර් එකටයි හයිට් එකටයි ගැලපෙන්නේ මේ දෙන්නනේ. අවුරුද්දකට කලින් ඉඳල මේ ගොල්ලන්නට කියල තිබ්බේ” ටින්කිරි කෑලිද කතාවට හුමිටි තබයි.
අපේ බුවා අපිට දැනුම් දුන්නේ සතියකට පෙරය. උගේ එකම රික්වයර්මන්ට් එක වූයේ කළු සූටකි. රොටියාට සුළු කරකැවිල්ලක් ද හටගත්තාය.
වැඩ කටයුතු සිද්ද වී යන ආකාරයට දැන් වී ඇත්තේ ටින්කිරි කෑලි දෙක පැත්තකින් තබා අර ඩයල් එකෙන් පන බේරා ගැනීම බව රොටියාට හා ලපයාට ඉක්මනින්ම තේරුම් ගියාය. ලපයාට කෙල්ලෙකුත් නැති එකේ අර බුවා ගැන හිතුවොත් නරකදැයි රොටියා ඇසු ප්‍රශ්නයට ඌ පිළිතුරු දුන්නේ දරුණු කුනුහරුපයකිනි.
ඊළඟට උදා වූයේ පින්තූර ගැනීමේ බාරදූර කටයුත්තය. පින්තුර ගන්නා එකා තොදොල් වේවි ඉන්න ඕනෑ පෝසස් ගැන කියයි. අපේ බුවා ගස් උඩ නගියි. පොටෝ බුවා ඇක්සන් කියූ විට ගහෙන් පනියි. මනාලිය ඌ පනිනා දෙසට හතර ගාතයම දික් කරයි. අපි ඒ කිසිවක් නොදකින තාලෙට පිටුපසින් ගස් වැල් වලට අත් දික්කරමු. බුවා පොටෝ එක ගනී. ඊළඟට මනා පැනපු විදිය වැරදියි කියයි. රොටියාට තව ටිකක් අත උස්සන්න කියයි. පොටෝ බුවා මේ මල සමයම ඌ ගේ හිතට ඇතිවන තුරු නැවත නැවත අප ලවා කරවයි. මෙහෙම ගියොත් හනිමුන් කෙසේවෙතත් අපේ බුවාට තෙල් බෙහෙත් සාලාවට නම් ටක්කෙටම ගිය හැකි බව රොටියාට සිතුණාය.
වෙන්න තියෙන බයානකම දේ සිද්ද වූයේ අපව පැත්තකට කර කපල් පොටෝ ගන්නට යෑමේදීය. යන යන තැන මනාලියගේ මේකප් ආම්පන්න ඔසවාගෙන ආ අහවල් බුවා , අපව නිදහස් කල හැටියේ අප වෙත දුව ආවාය. ඊ ලගට ඌ චුයින්ගම් එකක් වී අප යන යන තැන පස්සෙන් එන්න පටන් ගත්තාය. උගෙන් වහන් වී හෝටලයට රිංගා ගැනීම ලත් තැනම ලොප් උනේ අපේ පොටෝ සූට තව ඉවර නැතැයි පොටෝ බුවා කල දැන්වීමටය.
මනා උඩපනින බිමවැටෙන විට අරූ ‘පවූඌ මෙයා’ කියමින් අපිට ජැක් එක ගසයි. ලෙල දෙන නිතඹ අපේ ඇගේ වද්දවයි. නෙතගින් බැලුම් හෙලයි. ටෙලිපොන් නම්බරේ ඉල්ලයි.
කාපු දරුණු කට්ටට හරියන්නත් එක්ක දවල්ට පැලෙන්න කන්න රොටියා ලොකු බලාපොරොත්තුවකින් සිටියාය. ඒකටත් හෙනහුරෙක් පාත්වී හෝටල් සාලාව හරි මැද වේදීකාවක් අටවා තිබුනාය. ඒ මනාල ඩබල සහ පිරිවරටය.
රොටියාට හා ලපයාට සිද්ද වූයේ යාලුවෝ කියන මීහරක් රැල අපිට පේන්න පිගන් ගණන් ගිලිද්දී, ඩයිනින් මැනර්ස් එක්ක ලෙවකන්නය.
කාලය ගෙවී යද්දී ටින්කිරි කෑලි දෙකද උණුවී වැක්කෙරෙන ඉටි රූප දෙකක් වී තිබූ නිසා රොටියාට උන් ගැන තිබූ සුළු හෝ ඉන්ටරෙස්ට් එකද දිය වී ගියාය.
යාළුවන් සමග කෑ බෙරිහන් දෙන්න ලැබුනේද සුළු ඉඩකි. අරකට මේකට ආදී වශයෙන් මගුල ඉවරවන තුරු රොටියාට හා ලපයාට කැඳවුම් ලැබුනාය.
අවසානයේ රොටියා හුස්මක් ගත්තේ වෙඩිම ඉවර වී ගෙදර ගිය පසුවය. මීට පසු රොටියාගේම අයියාට වුවත් බෙස්ට්මන් නොවීමට රොටියා විසින් පට්ට දරුණු තීරණයක් ගත්තේ එදා රෑය


Saturday, November 16, 2013

රොටියාගේ ප්‍රථම ප්‍රේමය

                                                  

රොටියා හය හතර තේරුණ දා සිටම මනමාලයාය.මොන්ටිසෝරියේදීද ලාවට එහෙන් මෙහෙන් තිබූ කොකු ගැන රොටියාට හීනෙන් මෙන් මතකය.කෑම පෙට්ටියේ තිබූ පාන් පොඩි එකියක සමග බෙදාගත් ආකාරයත්,ඒ එකියවම ඔන්චිල්ලාවේ හිඳුවා තල්ලු කල ආකාරයත්,වාර්ෂික විවිද ප්රසංගයේ ඒ එකියම බදාගෙන කපල් ඩාන්ස් දැමු ආකාරයත් මතක ඇති මුත් රොටියාට සවිස්තරාත්මකව මතක පළමුවෙනි ආදරය පටන් ගන්නේ එකේ පන්තියෙදිය.
රොටියා ෂර්වුඩයේ රොබින් හුඩ් වන විට ඈ මැරියන් වන්නිය.දුනු ඊතල මානාගෙන තම පෙම්වතියව රැක ගැනීමට දුෂ්ටයින් පසුපස හඹා ගිය ආකාරය රොටියාට අද මෙන් මතක ඇත.එකල බොහෝ විට ගිස්බන්ඩ් වන්නේ මෙකල බොහෝ මැරීයන්ලා පිරිවරාගෙන පියාඹන හාදයෙක් වන අතර,ඌට එදා මැරියන් නැති උනු එකේ ඇරියස්ද අද ලැබී ඇත.
එකල රොටියාගේ ළමා කාලයේ මෙකල මෙන් පොඩි එව්වන් ඉල්ලන ඉල්ලන එක අරන් දෙන ජාතියේ අම්මලා තාත්තලා හිටියේ බොහෝ අඩුවෙන්ය.එකල පොඩි එවුන් අම්මලාට බය වී සිටියා මිස මෙකල මෙන් අම්මලා පොඩි එවුන්ට බය වී සිටියේ නැත.එවැනි පසුබිමක ඉඳහිට අලුතෙන් ලැබෙන පැන්සල මකනය උවද මහමෙරක් උවත්, රොටියා පොඩිකමට දානාදනන්ජය වී ඒවා ද තම ආදරවන්තිය සමග බෙදා ගත්තාය.
ඇගේ මේසය නිතරම තිබුනේ රොටියාගේ ඇස ගැටෙන ලෙස බව මතක ඇති මුත්,එපමණ ආදරය කල ආදරවතිය ලඟම මේසයේ රොටියා වාඩි නොවුයේ මන්දැයි රොටියා අදටත් කල්පනා කරනවාය.ඈ දෙස බලාගෙන මැවූ සිහින මන්දිර ඉඳහිට ගුරුවරියගේ හඩින් බිඳී ගියද පසුබට නොවෙන රොටියා ඊළඟ මිනිත්තුවේ ඊට වඩා විසාල සිහින මන්දිරයක් ඇය සමග ගොඩ නගනවාය.
පන්තියේ හිටි අසමජ්ජාති කොලු කුරුට්ටෝ ටික ටික ඈවත් සෙල්ලමට එක්කරගන්නා විට,ඈ සමග මදටිය අහුලන්න යන විට,ඉන්ටර්වල් එකේ කුල් පැකට් බෙදාහදාගෙන උරන විට රොටියා කල්පහු නොකරම තමාගේ අදහස ඇයට ප්ර කාශ කරන්නට හිත හදා ගත්තාය.
ඒ අනුව පහුවෙනිදාම ඉන්ටවල් එකේ ඈව පිට්ටනියේ ගසක් යටට කැඳවාගෙන ගිය රොටියා ඉතාමත් බරපතල ආකාරයට මෙසේ පැවසිය.
“මම ලොකු උනාම,වලාකුළු උඩින් ලොකූඌ මාලිගාවක් හදල,වලාකුළු උඩින් පියාඹලා ඇවිල්ලා ඔයාවත් අරගෙන පියාඹල යනවා.ඔයාට එතකොට ලස්සන කුමාරිකාවක් වෙලා හැමදාම මාත් එක්ක ඉන්න පුළුවන්නේ”
කතාව මුළුල්ලේම ඈ කටේ ඇඟිල්ල ගහගෙන රොටියා දිහා ඇස් ලොකු කරගෙන බලා සිටියාය.රොටියාට හිතුනේ ඈ රොටියා ගැන ප්‍රේමයෙන් මුසපත් වී ඇති බවයි.ඉන් පසු දවස් දෙක තුන තුල ප්රීතියෙන් ඔකඳ වී සිටි රොටියා,තමාට දැන් විවාහයක් කර ගැනීමට ගෑණු ළමයෙක් සිටින බවත්, එය තමන්ගේ හිතට ලොකු නිදහසක් බවත් රොටියාගේ අම්මාටද දැනුම් දුන්නාය.
ඊලඟ මාස දෙක තුනක කාලය තුල,බඳින ගෑණු ළමයාගේ විස්තරද,කසාදයේ තොරතුරුද රොටියා සමඟ බරපතල විදියට සාකච්චා කිරීම ඇරෙන්න වෙන වැඩක් රොටියාගේ තාත්තාට තිබුනේ නැත.
කෙසේවෙතත් වසර අවසානයේ රොටියාගේ ගෑණු ළමයා පැදුරටත් නොකියා පවුල පිටින් විදේශගත වූ නිසා රොටියාගේ ප්ර ථම ප්රේරමයද, කසාදයද අතරමග ඇනහිටියාය

Friday, November 15, 2013

රොටියාගේ ගෑණු ළමයාගේ කියුටෙක්ස්

පහුගිය දිනක රොටියාට මදි නොකියන්න බේත ලැබුණාය. ඒ කෙසේද යත්, රොටියා සහ ගෑණු ළමයා ගමනක් යන්න සෙට් වී, ගෑණු ළමයාගේ ගෙදරින් ගෑණු ළමයාව වාහනයට ගොඩ කර ගෙන ඇගේ මුණ බැලූ රොටියාට රෝස පැහැ මුහුණක් සහ රතු පැහැ දෙතොලක් පෙනුනි.
‘ආ කියුටෙක්සුත් ගාලා’ රොටියාට ඉබේම කියවුනාය. එසැනින් රතු පැහැ දෙතොල රොටියාගේ බල්ලාගේ පස්ස පැත්ත වගේ රැලි ගැසී, රෝස මුණ රතු වූ වනාහි, වැඩේ සුබ මොහොතින් අල වූ බව රොටියාට වැටහුණාය. රොටියා යනු ලිප්ස්ටික් කියුටෙක්ස් වෙන් වෙන්ව අඳුනාගත නොහැකි පල් බුරුවෙකු බවද, කැම්පස් ගියාට රොටියා විබාගේ පාස් වී ඇත්තේ උත්තර පත්තරේ බලපු එකාට වැරදිලා නිසා බවද යනාදී වශයෙන් රොටියාගේ උපතේ සිට සවිස්තර වාර්තාවක් ගෑණු ළමයාගෙන් රොටියාට ලැබුණි. එම කතාවෙන් රොටියා උගත් වැදගත්ම පාඩම නම් ලිප්ස්ටික් ගාන්නේ තොලට සහ කියුටෙක්ස් ගාන්නේ නියපොතු වලට බවය.
ගෑණු සරීරය සරසන්න දාහකුත් තව එකුන් සියයක් තරම් වූ අලේපයන් ඇත්තේය. ඒවායේ නම් වෙන් වෙන් වසයෙන් දැන කියා ගන්නට නම් පිරිමින් වූ අප මාස හයක වත් පුර්ණ කාලීන පාටමාලාවක් කල යුතු බව රොටියාගේ නම් අදහසය. දවසක් ගෑණු ළමයා නොහිටිය වෙලාවක ඇගේ ගෙදර ගිය රොටියාට නැන්දම්මාගේ ඇස වසා ඇගේ කාමරයට රින්ගිමේ අහඹු පොටක් පෑදුනේය. ඇගේ මේසය මත තිබූ බොඩි වොෂ්, ෆේස් වොෂ්, ෆේස් ක්රීම්, බොඩි ක්රීම්, ෆුට් ක්රීම්, හෑන්ඩ් ක්රීම්, සන් ක්රීම්, නයිට් ක්රීම්, ඩේ ක්රීම් ආදී වූ අට අනූවක් කළමනා දුටු රොටියාට, රොටියාගේ අනාගතය පිළිබද සාදාරණ බියක් හටගත්තාය. (ඉහත ලැයිස්තුව රොටියාට හදිසියට ජන්ගමයාට එන්ටර් කර ගත හැකි වූ ලැයිස්තුව පමණි. පැයක් හමාරක් කාමරය සෝදිසි කල නම් පුල්ස්කැප් කොළ පනහක් හැටක් වූ තරම් ලැයිස්තුවක් ලියන්නට තිබුණාය)
පුදුමය කියන්නේ ඔය කියන තරන් කළමනා උලා හිටියද, උදේට ලයිෆ්බෝයි ගා මුණ හෝදන රොටියාගේ මුණේ හා ඇගේ මුණේ එතරම් වෙනසක් නැති වීමය. සමහර දවසට ඈ නියපොතු වලට පාට ගාගෙන, ඒ මැද්දෙන් බලි ඇරියා වැනි මල් අලවාගෙන ලස්සනදැයි රොටියාගෙන් අසයි. ඒ මොන උලව්වක්දැයි රොටියා අසන කල නේල් ආර්ට් කලෙමි යයි පවසයි.
රොටියාගේ ගෑණු ළමයා පමණක් නොව සමහර දාකට පාරේ යන විට රොටියා දකින ගෑණු ළමුන් ද ලේඩි බර්ඩ් කුරුමිණියන් වැනිය. ඇසි පිය කොළ පාටය, කම්මුල් රතු පාටය. දෙතොල් දම් පාටය. ඒ ලස්සන වීමැයි උන් සිතා සිටිනවානම් හොම්රන් පැස්ටල් පාට පෙට්ටියකටද ලස්සන ගෑණු ළමයෙක් යයි කිව හැක්කේය.රොටියා හිතන ආකාරයට ප්රශ්නය ඇත්තේ ගෑණු ළමුන් මල් වැනිය කියා මුලින්ම දෙසා බෑ එකා අතය. ඌ කට කහනවාට කී කතාව එහෙම්පිටින්ම ගිල ගත් ගෑණු උදවිය දැන් මල් වගේ වෙන්නට ඒ වගේ පාට මුණේ උලනවා වන්නට ඕනෑය.

                                      


රොටියා, මගියෝ හා ට්රැපික් පොලිස්

දැන් ලංකාවේ එව්වන්ගෙන් වැඩිහරියක් තම තමන්ගේ අනේකවිද සියලු වැඩකටයුතු කරන්නේ තමුන්ගේ වාහනයේ යද්දීය. පෙළක් එවුන් කති, සමහරු මල් කඩති, ගෑනි සමග රණ්ඩු වෙති, හිස පිරති, ජෙල් කරති. කෙටියෙන් කිවහොත් හරියට රිය පැදවීම හැර අනෙක් සියලුම වැඩ කටයුතු කරති.
මේ ජාතියේ උන් කරන්නේ ඉස්ඉස්සරවෙලාම තමුන්ගේ වාහනය දකුණු පැත්තේ මං තීරුවට ඔබා ගැනීමය. අනතුරුව සුබ මොහොතින් තම තමුන්ගේ වැඩ පටන් ගන්නාහුය. පිටු පස වාහනයේ එකා පිස්සු වැටුනා සේ නලාව නදකරද්දී උන් උන්ගේ ලෝක වලය. පිටුපස බුවා තරමක වැඩකාරයෙක් නම් බස් ටිපර් රථ අස්සෙන් වම් මං තීරුවට දමා අරකාව පසු කරනවා ඇත.නැත්තන් ඌට සිදු වන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අරකා පසුපස කෙටිමටය.
හයි වේ වල තත්වය නම් අන්තිම දරුණුය.සමහර එවුන් මේවායේ වම් මං තීරුවක් ගැන අසාවත් නැති ආකාරයට මනෝ විකාරයෙන් දකුණේ කොටති. වාහනය තුල සිටින සිය පවුලේ එව්වන්ට මාර්ගයේ සිරි පෙන්වති.
ට්රැපික් පොලිස් මහත්තුරු නැති, ලයිට් පමණක් නැති මංසන්දි වල සියලු දෙනාටම බඩු හම්බකරන ආකාරයේ වැඩ සිද්ද කරන බුවාලා හා බුවීලාද ඇත.නැති කලබලයක් මවා පාමින්, යන්නට බැරි බව පෙනී පෙනීම, උන් සිය වාහනය සියලුම මංතීරු අවහිර වන සේ පාර හරහට ස්ථානගත කරති.ඊට පස්සේ පාරේ යන ඔක්කොටම තපින්න සිද්දවෙනවාය.අනික් මංතීරු වල කොළ පිට කොළ වැටුනද, පාරේ හරි මැද විරවාගෙන සිටින එකා හෝ ඒකීයට යන්න හම්බවෙන තුරුම අනික් එවුන්ද විරවාගෙන සිටිය යුතුය.
සමහර එවුන් යන්න හදන්නේ රෝද වලින් නොව නලාවෙනි. උන් සිය නලාවල් තාලෙට හඩවමින් පාරේ පෙම් කෙළිති. ට්රැපික් ලයිට් වල නවතාගෙන සිටිද්දීද සිය නලා හඩවති. රොටියාගේ තාත්තාට නම් මෙවැනි එවුන් පෙන්නන්න බැරිය. රොටියාගේ තාත්තාට කන්ටේනර්, ලොරි ටිපර් සමග උවත් උරෙන් උර ගැටිය හැකි, එක්දාස් නමසිය හැත්තෑ ගණන් වල ජපානයේ නිෂ්පාදිත පට්ට පිකප් රියක් ඇත. හෝන් බුවෙක් බැරි වෙලාවක් වත් රොටියාගේ තාත්තාගේ පිකප් රථය ට්රැපික් ලයිට් වල නවතා ගෙන සිටියදී, පිටුපසින් නලාව නාද කලොත් ඌට බඩු හම්බවෙනු ලැබේ. රොටියාගේ තාත්තා කිසි කතාවක් නැතුව වාහනය රිවස් ගියරයට දමයි. මෙය දකින 2012 හෝ 2013 නිෂ්පාදිත ජපන් රෝද හතරක නැගී ඉන්නා හෝන් බුවාට හීන් දාඩිය දමයි. පිස්සු වැටුනා ඌ සේ ඊලගට හෝන් ගහන්නේ වාහනය නවත්වා ගන්නා ලෙසට රොටියාගේ තාත්තාට දන්වන්නටය.
ට්රැපික් අඩු කරන පොලිස් රාළහාමිලා ඉන්නවා සේම, ප්රිදාන මංසන්දි වල කිසිම අවහිරයකින් තොරව වාහන යන ආකාරය පෙන්නන්න බැරි ට්රැපික් පොලිස් රාළහාමිලාද ඇත. මේවැනි මංසන්දි වලට පැනගෙන එන ඔවුන්, ට්රැපික් ලයිට් නිවා දමා වාහන හැසිරවීම උන් බාර ගනිති. ට්රැපික් පෝලිම හැතම්මක් විතර දික් ගැහෙන විට උන් ප්රීතියෙන් පිනා යති. පෝලිම හැතැම්ම හතරක් පමණ දික් ඌ විට උන් ප්රීතියේ පරම කෝටියට පත්වෙති. මේ වගේ ට්රැ‍පික් පෝලිමට හසුවූ වහාම රොටියා ඊළඟ දුම්රියේ යාමට හිත හදා ගෙන අදාළ රාළහාමිටත්, රාළහාමිව පොලිසියට ගත්තු රාළහාමිටත්, ඒ රාළහාමිගේ රාළහාමිටත් ආදී වසයෙන් මයිත්රි කරන්න පටන් ගන්නවාය.
කෙල්ලන්ගේ වාහන එළවීම ගැන ලියන්නට ගියොත් මේ ලිපිය අර ට්‍රැපික් පෝලිමට වඩා දික් වෙනවාය.. මොකදැයි කිව්වොත් රොටියාගේ ගෑනු ළමයා ලයිසොන් කියන කෙහෙල්මල ගත්ත දා පටන් ගෙදර යස අපුරුවට තිබූ වාහනයට ටිකට් එක ඇදී තියෙන නිසාය. ඒ හැම තැල්මක්, සිරුමක් පිටුපසම ගොනෙකුගේ හෝ බුරුවෙකුගේ නමක් මිසක් රොටියාගේ ගෑනු ළමයාගේ වැරද්දක් ඇත්තේම නැත.
ගෑනු නම් මාරය. කතාවෙන් නම් උන් තරන් රිය පැදවීම ප්රරගුණ කල ජාතියක් නැතුවා වගේය. එත් මේ පිරිමි අපි වාහන නොපදින දාට, ගෑනුන්ගේ වාහනවල ගැටෙන්න පිරිමි අපේ වාහන නැති වූ දාට, උන් උන්ගේ වාහන උන් උන්ම හප්පා ගත් දාට ඒ වරුණේ බලන්නට පුළුවන.

රොටියාට රොටියාගේ නොවන රොටියගේම ආදරයක් තිබුනා....

රොටියා ජයන්ත චන්දසිරි මහත්තයාගේ රසිකයෙකි. සමනල සන්ධවනිය චිත්තරපටය බලන්න රොටියා පෙරුම් පිරුවේ මුහුරත් උළෙල දුටු දා සිටය.චිත්තරපටය ගැන නම් කතා දෙකක් නැත. එය බැලූ දා රොටියාගේ ඇතුලාන්තයම හෙල්ලී ගියේය. මේ කියන්න යන්නේ ඒක ගැන නොවේය. චිත්තරපටය බැලූ රොටියා ගෙදර ඇවිත් මුලින්ම කලේ එහි තේමා ගීතය(මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා)මුණු පොතට ශේයාර් කිරීමය.හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබුනේ ජන්ගමයා හරහාය.රොටියාගේ ගෑනු ළමයාට අම්බානෙක තදවී තිබුණාය.

ගෑනු ළමයා:“හුහ් තාම හිතන්නේ අර මල හොන්තුව ගැන නේද?මල කෝලන්.රට්ටු හිනස්සන පොස්ට් දානවා”


සබ්ජෙටය රොටියාට මීටර් වෙන්න සුවල්ප වෙලාවක් ගියේය.සාමානයෙන් රොටියාගේ ගෑනු ළමයා මුලින් වක්කඩ කැඩුවා සේ බෙරිහන්දී ඊලඟට බෙරිහන් දුන් හේතුව කියනවාය.පරිස්සමෙන් ප්රශ්න කල රොටියාට ගෑනු ළමයාගේ බෙරිහන්දීමට හේතුබූත වූ සිද්දිය අනාවරණය විය.රොටියා අදාළ සින්දුව ශේයාර් කලේ හුදී ජන පහන් සංවේගය උදෙසා බැව් කොපමණ තේරුම් කරන්න හැදුවත් ඇය තේරුම් ගත්තේ නැත.අවසානයේ ඇයට කැමති දෙයක් හිතාගන්න ඉඩ දුන් රොටියා නින්දට ගියේය.
දවස් ගත වෙත්ම රොටියාට ගෑනු ළමයාට නප්පියට තද වූ හේතුව සාදාරන බව හිතීමට හේතු කරණා සිද්ද උනාය. හැම එකාම පිස්සු හැදුනා සේම උන්ගේ නොවන උන්ගේම ආදර ගැන දොඩවන්න පටන්ගෙන තිබුණාය. හොටු කොල්ලෝ කෙල්ලෝ පවා බරසාර වචන වලින් ලිය තිබූ චිත්තරපටි විචාර කියවූ රොටියාට දරුණු හිසරදයක්ද හැදුනේය.
සතියක් දෙකක් ගත වෙද්දී උගේ නොවන උගේම ආදරයක් නොතිබුණු එකෙක් හොයාගැනීමට වඩා පහසුවෙන් කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට මිටක් ගේන්නට තිබුණාය. රොටියාටද මෝල් විය. එතකොට හැම එකාම පාහේ ජීවිත කාලය පුරාම අනුන්ගේ ගෑනු මිනිස්සු ගැන හිත හිතා ඉඳ ඇත්තේය. බොහෝ එවුන් කසාද බැඳ ඇතත් ආදරේ කොට ඇත්තේ බැඳපු එකාට නොවේ.
උදේ හතරහමාරට නැගිට ,උදේ කෑම එක, දවල් කෑම එක හදා දී, කමිසය කලිසම අයන් කොට දී, සපත්තු මේස් සොයා දෙන ගෙදර ගෑනිට නොව බොහෝ එවුන් ආදරේ කොට ඇත්තේ අවුරුදු දහයකට පෙර බූට් එක තියා වෙන කොල්ලෙක් එක්ක පැන ගිය කෙල්ලටය.නැත්තන් හරියට වචනයක් නොදී අවුරුදු ගානක් පස්සෙන් යන තැනට වැඩ සලස්වා අවසානයේ වෙන කොල්ලෙක් බැන්ද කැම්පස් කෑල්ලටය.එහෙමත් නැත්තන් IRC අයියා කෙනෙක් හිටපු නිසා මවුපියන් අකමැති වූ ගමේ කෙල්ලටය, බස් එකේ පිටිපස්සේ කොනේ සිට් එකේ රතු මල් ගවුමක් ඇඳන් ගිය නංගීටය.සමහර පැඟිරි කෙල්ලන් ආදරේ කොට ඇත්තේ උඩ පන්තියක සිටි සුදු උස අයියාටය.
මේ ටිකකි.මෙවන් ආදර ඉහේ කෙස් ගානට දැන් හොයා ගත හැකිය. රොටියා ටද ටික කාලෙකට පෙර ගෑනු ළමයෙක් ගැන හිතක් පහල උනේ ඇගේ රුපය නිසාය. රොටියා කටුනායක කොළඹ හයිවේ එක හැදීමට ගිය කාලය තරම් කාලයක් ඈ ගැන හිත හිතා ඉන්නා අතරේ ඇය ලෝකේ නැති කතා කියමින් තෙපර බබා හිටියාය.අවසානයේ නුවණ පහල වූ රොටියා ඈ තරම් රූපය නැති මුත් රොටියා කැමති ගෑණු ළමයෙකුට කැමැත්ත ප්රගකාශ කළ පසු ඈ ද හැරෙන තැපෑලෙන්ම කැමැත්ත පල කලාය.ඒ රොටියාගේ ප්රේෙම කතාවය. මහප්පරාන නැති මේ ගෑනු ළමයාට රොටියා ඇත්තටම කැමතිය.සරලය සුන්දරය. පෙර ඒකීය මෙන් ඈ රොටියාව මැඩේව්වේ නැත.අම්මලාගේ කැමැත්ත මගේ කැමැත්ත කීවේද නැත. ඈ මාව කලක පටන් හදුනනවාය. ඈ මගෙන් කල් ඉල්ලුවේද නැත.ඇයට අම්බානෙකට කේන්ති එයි. නමුත් රොටියා දැන් එයට හුරුවී ඇත.
එහෙව් රොටියා ට රොටියගේම නොවන රොටියගේම කෙහෙල්මල් ආදරයක් නැත. නමුත් ලංකාවේ බොහෝ එවුන්ට නම් එය එසේ බව රොටියාට හැගේ.
පණ්ඩිතයෝ අමනාප නොවෙත්වා. රොටියා මේ ලිව්වේ සමනළ සංධවනිය යන අති සන්වේදී චිත්තරපටිය ගැන නොව ලංකාවේ බොහෝ එව්වන්ගේ මානසික තත්වය ගැනය.