Wednesday, December 18, 2013

එකෝමත් එක දවසක - 04

මට වස විලි ලජ්ජාවය. ඇස් දෙකට කඳුළු ආපු නොආපු ගානය. තවත් ලජ්ජා වීමට දෙයක් ඉතුරු වී නැති හෙයින් අද කෙසේ හෝ ඇය සමග කතාකරපිය’ යයි මගේ හිත මටම තිත්ත කුණුහරුපෙන් බැනවැදුනේය.

ඈ මීගමුව නගරයට යන්නීය. පොලවට නොරිදෙන ලැසි ගමනකි. මගේ නෙතට රසඳුනකි. ඉතින් මාද පැණි හැලිය සොයා යන ඇඹලයෙකු මෙන් ඇය පිටුපස පියමැනීමි. විනාඩියක් තුල මට ඇය හා පෙළට වැටෙන්නට හැකි විය.


“ඔයා ගම්පහ ක්ලාස් යනවා නේද?”


ඈ මාව මන්මත් කරවන සිනාවක් පෑවාය. (සෑම ගෑණු ළමයෙකුටම පිරිමි ළමුන් වහවැටෙන හිනාවක් ඇත්තේය. ඔවුන් හිනැහෙන විට අපිව සලිත වේ. ඒකට කොල්ලන් වූ අපිට හැක්කේ හිනාවෙන්නට නොව වඳුරන් මෙන් විරිත්තන්නට පමණක්ය. ඒක නම් මාර අසාධාරණය)


“ඔව්”
“ඒක තමයි දැකල පුරුදු නිසා ඇහුවේ?”


නැවත ඒ හිනාව..
කතා නැතිව ගෙවුණු තත්පර බාගෙකට පමණ පසු..
“මොකෝ අද ක්ලාස් කට් කලාද?”
“මට වෙන වැඩක් තියෙනවා හවස. ඒකයි කලින් ආවේ.”


”මමත් පොඩි වැඩක් දාගෙන තියෙනවා හවස.ඔයාගේ ගෙවල් මීගමුවෙමද?” (නැත. ඇය දළුවකොටුවේ බව මම දනිමි)
“නෑ මම දළුවකොටුවේ” (කතාව නියමිත තැනට ආවේ දැන්ය. මෙතනින් එහාට කොල්ලාට ටොයිස් ය)


 “පල්ලිය හරියේද?”
“නෑ ඊට චුට්ටක් එහා. ස්කුබි ලේන් එකේ”


 “මගෙත් යාලුවෙක් ඉන්නවනේ නිශාන්ත කියල ඒ හරියේ. දන්නවද නිශාන්ත අපොන්සු?”
“ම්හ්.. අහල පුරුදු නම් නෑ”


 “අර ටිකක් මහත කොට ඩයල් එකක් ඉන්නේ. නොදන්නවා වෙන්න බෑ. මිනිහ ඒ පැත්තේ ඕනේ වැඩකට බැහැල එනවා” (මා යටකී නිශාන්ත සමග මිතුරු වුයේ ඇගේ විස්තර හොයා ගන්නමය)
“මට නම් මතකයක් නෑ..”


මෙතැනදී මම පොඩි හිනාවක් දැම්මෙමි.පොඩි පහේ මනමාල හිනාවක්
”ඔයා කරන්නේ බයෝද, මැත්ස් ද?”
“මැත්ස්, ඔයා කරන්නෙත් මැත්ස් මයි නේද? මම දැකල තියෙනවා ඔයා පයිතගරස් සර් ගේ ක්ලාස් එනවා”


කෙල්ලත් පොටකට එන පාටය. අද කොල්ලාගේ වෙලාව හිතපු තරම්ම නරක නැත
“ඔව් ඔව්. ඒත් මට නම් ඔයාව දැකල පුරුදු ආකීමෙඩිස් ගේ පිසික්ස් ක්ලාස් එකේදී විතරනේ”
නැවතත් අර හිනාව. මාව දිව්‍යලෝකෙට අරන් යන හිනාව


“ඔයා හැමදාම බස් එකෙන් වැටෙන්න යනවද?”
පුදන කොටම කාපි යකා කියන්නේ මෙහෙම වෙලාවල් වලටය. මේකිත් එසේ මෙසේ බඩුවක් නොවෙන හැඩය. අහිංසක පාටට හිටියාට බෙල්ලෙන්ම කපන හැටි දනී.
මම අහිංසකව සිනාසුනෙමි. “කොන්දොස්තරගේ කකුල පැටලුනානේ, ඒකයි..”
“ඉතින් ඔච්චර හදිස්සියේ පනින්න ගියේ ඇයි?”
” මට සමනල එකට යන්න ඕනේ. ඒක එකටද කොහෙද වහනවා නේද අද? “


ඈ සිය වමත ඔසවා වෙලාව බැලුවාය. “හයියෝ .. දැන් එකට පහයි. ඔයාට පරක්කකුයි නේද? දුවල ගියොත් නම් වහන්න කලින් යන්න පුළුවන් වෙයි”
ඉතින් මම හරියට ඇගෙන් සමු නොගෙනම.. ලොකු හදිස්සියකින් වගේ යන්නම් කියාගෙන, අප ඉදිරියේ දිස්වුනු සමනල පොත්හල වෙත ඉගිලී ගියෙමි. මෙච්චර හොඳට කතා කර කර ආපු ගමන කොහෙවත් නැති සමනල එකෙන් ඉවර කිරීමට සිදුවීම ගැන මට තදබල කනගාටුවක් ඇතිවිය. නමුත් බලාගෙන යනවිට මේ ඇතිය. කොෆි ෂොප් එකකට ගොස් චොක්ලට් කෝපි එකක් බොන ගමන් තව දුරටත් කතා කර කර ඉන්න තිබුනානම් හොඳය. නමුත් ඒවා වෙන්නේ හින්දි චිත්රපට වලය. මේ හින්දි චිත්‍රපටයක් නොවන හෙයින්ද, මීගමුවේ එවකට හොඳ කොෆි ෂොප් එකක් නොතිබූ හෙයින්ද ඒ හොඳටම ඇතිය.


පසු සටහන: හිතාමතාම රොටියා විසින් පුද්ගල හා ස්ථාන නාම වෙනස් කර ඇති බව සලකන්න.


ලපයා සමග ඉතිරි කොටස ඉක්මනින්

Friday, December 13, 2013

එකෝමත් එක දවසක - 03

නවතා තිබුණු බස් රථයට ගොඩ වෙම්දෝ නොවෙම්දෝ දෙගිඩියාවකින් හිත කොනිති ගැහුවත්, නොදන්නා ගම්පහ නගරයේ රස්තියාදු වෙනවාට වඩා දන්නා මීගමුවට ඇවිත් රස්තියාදු වීම වඩා හොඳ යයි මට සිතුනේය. ඒ නිසා මම බස් රථයට ගොඩවී කවුළුව අසල අසුනකට පිට දුන්නෙමි.
නවතා තිබූ බස් රථය ඇද්දුවාද නැද්දැයි වගක් නැතිව මම කල්පනා සාගරයක ගිලී සිටියෙමි. මොළය කවදාවත්ම නොකරපු විදියට වෙහෙස කොට සිතුවද පොරක් වීමට තරම් සුදුසු කමක් මා තුල මටම සොයාගත නොහැකි විය.
කියවන ඔබත් මීට දශක බාගයකයට හෝ දශකයකට පමණ පෙර ඒලෙවෙල් පන්තියේ සිටියානම් , එදවස ජංගම දුරකතනයක් යනු කොපමණ සුඛෝපබෝගී මෙවලමක් දැයි මතක ඇතුවා නිසැකය. විශේෂයෙන්ම අප වගේ සාමාන්යම පන්තියේ මාපියන් ඇති කොල්ලන්ට.
ඉතින් මගේ හිතට කල්පනා වූ පළමු සිතිවිල්ල නම් ජංගම දුරකතනයක් ගෙන ඈට පෙනෙන්නට වැඩකෑලි ටිකක් දැම්මොත් ඈ මට කැමති වනු ඇති බවයි. මොකද ඒවන විට මගේ ප්‍රතිවාදියා සතුව අරින වහන වර්ගයේ ජන්ගමයෙක් තිබුණු අතර ඌ විනෝදාංශයක් ලෙස ඒකෙන් වැඩකෑලි දැම්මේය. නමුත් මගේ යාලුවෙක් ළඟ පමණක් නොව මගේ දෙමව්පියන් ළඟවත් ජන්ගමයෙක් නොතිබුණු නිසා ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් විය. ඊළඟ සිතුවිල්ල ඌත් සමග ගේම ඉල්ලා ගෑණු ළමයාට පේන්නට ඌට නෙළීමයි. නමුත් මම ගුටි කන්නට බයය. මා ඌට නෙලනකන් ඌ අකුලාගෙන හිදිවියයි විස්වාස නැති නිසා එයද ලොප් විය.
එවෙලෙහි මගේ හිතට නැගුනු මෙවැනි වීරක්‍රියා එකින් එක ලියන්නට ගියොත් මට කොටස් දෙක තුනක්ම ඒවාම ලිය ලිය ඉන්න සිද්ද වෙනු ඇත. කෙසේ හෝ එදා කාලෙකට පසු මොළය දරුණු විදියට වෙහෙසෙවූ නිසා මට එහෙම්ම නින්ද ගියේය. ඇහැ ඇරුනේ මීගමුව බස් නැවතුම ඔන්න මෙන්න තිබියදීය.
හිස පුරා හිසරදයක් තිබුනද මා අඩියට දෙකට බස් රියේ දොරටුව වෙත පැන ගියෙමි. කොන්දා හිටියේ දොරේය. ඌද කොල්ලෙකි. ඌ පාපුවරුවේ යටම පඩියේ එක කකුලක් දොර හරස් කරගෙන තියාගෙන හැඩ වැඩ දා හිටගෙන  සිටියේය. තව ඇත්තේ විනාඩි දෙකක ගමනකි. මා මගේ පිටුපස බැලුවේ නිකමට මෙන් කෙල්ලෙක් හිටියොත් ඇහැක් දාන්නටය. දුටු දර්ශනයෙන් මගේ දෙපතුල් සිතල වී දෙපා ගැහෙන්නට පටන් ගත්තේය. මෙන්න මගේ දිව්‍යන්ගනාව මගේ පිටිපස්සෙන් හිටගෙන...
ඔලුව කැක්කුම නිසා පෙනුණු මායා දසුනක් යයි සිතා මා ඇය දුටු සැනින් ඉදිරිපස බලා නැවත පිටුපස හැරී බැලුවෙමි. මෙන්න ඈ එතනම. මා බලන බව දුටු ඈ මා සමග සිනා වෙන්න කට හදනවාය.. මලලසේකරය.. මගේ මුණ ගල්වී වගේය. පිළිතුරු හිනාවක් පළකිරීමට කොපමණ උත්සහ කලද මගේ කට දෙපැත්ත හිරිවැටිලාය. මා යලිත් ඉදිරිපස බලා කොන්දා සමග පෙරහුරු හිනාවක් උත්සහ කලද එයද අල විය. කෙහෙල්මල.. මොකද්ද මලහත්තිලව්වේ මගේ මුණට වෙලා තියෙන්නේ...
අන්තිමේ මා තීරණය කළේ ඇයට පේන්නට බස් රියෙන් වැඩදාගෙන පනින්නටය. බස් රිය නවත්තන්නට පෙර, ලොකු හදිස්සියකින් වගේ පනින්නටය. හරියට ටාසන් වගේය. එතකොට මාද නිකන්ම නිකන් කොල්ලෙකු නොවන බව ඇයට වැටහෙනු ඇත. බය නැති කොල්ලෙක්..
බස් රිය නවත්තන්නට ඔන්න මෙන්න තිබියදී පපුව පුම්බා, බහිනවා යයි කොන්දාට පවසන ගමන්ම රියෙන් පැන්නෙමි. කාලකන්ණි කොන්දා උගේ කකුල දොර හරස් කරගෙන හිටි බව කල්පනා නොවුනේ මගේම ගොන් කමටය. ටාසන් පැනිල්ල කෙසේවෙතත් හොම්බෙන් යාමට ඔන්න මෙන්න ගොස් අනු නාමයෙන් බේරුනෙමි. නහය බිම වැදුණු නොවැදුණු ගානය. කොන්දා ඩ්ර්යිවර් සමග නසරානි කොල්ලන්ගේ රැස් බහින්නට උන්ගේ අඬු කැඩිය යුතු බව ට පලි ගසනවා මට හීනෙන් මෙන් ඇසුණු අතර මගේ දිව්‍යන්ගනා තොමෝ නක්කල් හිනාවක් දමාගෙන මා පසු කරගෙන ගියාය.

                                  



ඉතිරි කොටස ඉකමනින්

Thursday, December 12, 2013

එකෝමත් එක දවසක -02

උදේ හතරහමාරේ සිට අඩව් අල්ලන්න සිද්ද වෙන, තවත් මුස්පේන්තු දවසකට ඉර උදාවී ඇත්තේය. වෙනත් වචන වලින් කියහොත්, අද උදේ හයහමාරේ සිට හැන්දෑවේ පහ වන තෙක් මට ක්ලාස් ඇත්තේය. මෙවැනි මුස්පේන්තු දවස් සුන්දර කරන එකම එක සිතිවිල්ල නම් ඇය ය. ඒලෙවෙල් කෙහෙල්මල නිසා අල වී ඇති මගේ ජීවිතයේ ඇති එකම ආලෝකය ඇයය.
වැඩිහිටින්ට නම් තියෙන්නේ ක්ලාස් පලයන්, පාඩම් කරපන්, මනමාල කම තියල ඉගෙන ගෙන ඉඳින් වැනි උදාන වාක්ය, දවසට තුන් හතර සැරයක් අපට දේසනා කිරීම පමණකි. ක්ලාස් වල වරු ගණන් වාඩි වී හිඳගෙන ඉගෙන ගැනීමේ රඟ දන්නේ අපිය. මෙවැනි විටෙක කෙල්ලෙන් යන මාතෘකාව, නිරුදකයකට වට දිය බිඳක් වාගේ සිත් පුබුදුවාලයි. හරියට නෙස්ටමෝල්ට් දැන්වීම වගේය. ‘දවස පුරා ප්‍රබෝධයෙන්...’
ඉතින් මම පන්තියේ ඇයව පෙනෙන මුල්ලක වාඩි වෙමි. මගේ පරිවාර රැලද මාගේ එම බංකුවෙන්ම හිඳ ගනිති. උන් කීප දෙනෙක්ද ඇගේ මිතුරියන් කීප දෙනෙකුට පැණි හලන නිසා මට උන්ගේ කටවල් වලින් බේරී මගේ අසුන තෝරා ගත හැක.
මට ඇයව පෙනෙන්නේ දෙව්දුවක් මෙනි. ඇය සුදු නිසා මට වෙන මුකුත් ඕනෑ නැත, ඇය දෙස ඕනෑ තරම් වේලා බලන් සිටිය හැක. ඇටකටුස් නම් කියන්නේ මගේ ජාන විකුර්තියක් කියාය. උගේම වචන වලින් කියනවා නම් ‘ කැරපොතු සුද ලස්සනයි කියන්න මට මෝල් වන්නට ඕනෑය’. මගේ තේරීම ඌට අදාළ නැති බව එදා මම ඌට සුද්ද සිංහලෙන්ම තේරුම් කලෙමි. ( මේ ඊයේ පෙරදා දවසක ඌ මුණගැසුණු වෙලාවක ඌ ඔය කතාව මතක් කළේ මගේ වර්තමාන පෙම්වතිය ඉදිරිපිටදිමය. උගේ හොක්ක තැලීමට පැමිණි අසීමිත ආසාව, රැවුමකින් පමණක් පිට කරන්න මට සිද්ද උනාය.මගේ පෙම්වතිය මගේ සකල අතීතය ගැන හොඳ අවබෝදයකින් යුතු නිසා, ඌත් සමග එකතු වී මට කොලොප්පන් කළා මිසෙක මාත් එක්ක හොට දික් කරගෙන හිටියේ නැත)
යාන්ත්‍ර විද්‍යාවට හසුවී තැලී පොඩිවී යන ජීවිත ආසාව නැවත ඇතිවී එන්නේ ඈ නිසාය. දැනට මම ඈ ගැන දැන ගත යුතු සියල්ල සොයාගෙන අවසන්ය. ඉන්න තැන, යන පාසැල, ආසම විෂය, කොල්ලෙක් දැනට නැත ඉස්සර ඉඳ ඇත. විශේෂයෙන් ඇය දරුණු නැති බව. උත්සහ කලොත් ප්‍රතිචාරයක් ලබා ගත හැක .


ජීවිතේ කිසිම දාක කෙල්ලෙක් සමග ආදරය කිරීමේ අදහසකින් කතා නොකළ තිබූ මට, ඇය සමග කතා කිරීමට ධෙර්යයක් නැත. ක්ලාස් ඒමට උදේ නැගිට දත් මදින අතරේ, හැමදාම මෙන් මම ‘අද නම් කතා කරනවාමයි’ කියා සිතා ගත්තත් ඇයව දුටු කල මගේ සියලුම ශක්තිය සිඳී බිඳී යයි. ‘ඒකිව දැක්කම උඹේ ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන්න් වෙනවා ඇතැයි’ මට කීවේ බයෝ කරන බකයාය. ඈ ගැන සිතමින් දැනට මම මාස තුනක් නාස්ති කර ඇත.
ඈ ගැන තව අසමජ්ජාති කොල්ලෙකු ඉන්ටෙරෙස්ට් වී ඇතිබව හෙන ගහන්නා සේ මට අහන්නට ලැබුනේ පන්තියේ විවේක කාලයේදීය. ඌ මං මෙන් නොව කොන්ද පණ ඇති එකෙකි. ඒ කෙසේද යත් පෙර ඌ කෙල්ලන් දෙතුන් දෙනෙකු සමගම කොක්ක දාගෙන සිට ඇත. අනික ඌ හොඳ පෙනුමය. මට වගේ වලස් පෙනුමක් නැති ඌ දෙස කෙල්ලන් සූ ගාමින් බලන අයුරු මම මගේ ඇස් දෙකින් දැක ඇත්තෙමි. එබැවින් වර්තමාන තත්වය යටතේ හඳට යන්න ඕනෑ වූ හාවෙකුට තරන් වත් අවස්තාවක් මට නැති බව මටම තේරුණේය.
එදා හවස පන්තියේ ඉන්නට හිත හදා ගැනීමට මට කොහොමටවත්ම නොහැකි වුයේය. මගේ මිතුරු රැලට දැනගන්න ලැබුනොත් කෙසේවත් මට ක්ලාස් කට් කරන්නට ඉඩ නොදෙන නිසා විවේක කාලයෙන් අනතුරුව, සියලු දෙනාගේම ඇස් වසා මම පන්තියෙන් පැන්නෙමි.
ඔලුව කරකුට්ටන් වී, මා ගැනම උපන් ආත්ම අනුකම්පාවෙන් යුතුව මම බස් නැවතුම කරා පිය මැන්නෙමි. මගේ වෙලාවට බසයක් නැවතුමේම නවතා තිබුනේය. 





තවත් කොටසක් ඉක්මනින්


Monday, December 9, 2013

එකෝමත් එක දවසක -01

මගේ හිතට හරිම නැත. ගෑණු ගැන පුදුමාකාර වූ කලකිරීමක් හිත පුරා නලියයි. අවුරුද්දක් , දෙකක්, තුනක් නම් කමක් නැත කියා හිත හදා ගත හැක. ඒත් ඒලෙවෙල් මුල් අවුරුද්දේ සිට, කැම්පස් අවසාන අවුරුද්ද තෙක් මා මගේ යයි හිතා හිටි කෙල්ල , දැන් වෙන බයිලාවක් දොඩවන විට මට ඔක්කාරෙට එයි. ඊළඟට ඒ ගැන අවුරුදු හයකට වැඩි කාලයක් නාස්ති කල මා ගැන හිතන විට, මාගේම බෙල්ල මිරිකා දැමීමට තරම් කෝපයක් මා ගැනම ඇතිවේ.

කැම්පස් එකේ මා දෙස බලමින් මදහස පෑ, මගේ හිතේද පොඩි මනමාලකමක් තිබූ, ඒත් මේ මල හොන්තුව නිසා ඒ හැඟීම් ලත් තැනම ලොප් කර දැමූ, නංගිලා කීප දෙනා ගැන සිහිවෙන විට මට හද පලාගෙන මහා ශෝකයක් දැනේ. කවදා හෝ මේ සමයම මා හැර යන බවට කල්තියා අනාවැකි පල කල මගේ හිතාදර ගෙමා හා ලපයා සිහිවන විට, උන් දෙදෙනාගේ කටට මසුරම බැගින් දමන්නට හිතේ.

ඒලෙවල් කාලේ පොත්ත ටිකක් පාට කෙල්ලෙකු සොයා ගැනීම කළුනික හොයනවා සේම අමාරුය. ටිකක් සුදුවට ඉන්න කෙල්ලන් දෙතුන් දෙනා කොල්ලන් වූ අපිට රන් හා සමානය. ඒලෙවල් පන්තියේ ඉන්න කෙල්ලන් බහුතරයක් අව්වට වේලි, වැස්සට තෙමි, රෑ නිදිමරා යකා සේ පේන බවත්, උන් කැම්පස් ගොස්, රස්සාවකට යන කල අළු ගසා දමා පට්ට කෑලි බවට හැව අරින වග වැටහෙද්දී අප බොහෝ සෙයින් ප්රමාද වැඩිය.

පෙර කරුමයකට ඉස්සර මගේ හිත යන්නේම සුදු කෙල්ලන්ටය. මගේ මුණට ඇස් පෙනෙන කෙල්ලෙකු කැමති නොවන බව දැන දැනම මා පැණි පෙරන්නේ සුදු කෙල්ලන්ටය. ඒ ඉස්සරය.ඕනෑම පාටක කෙල්ලෙකු ගේ සැබෑ ලස්සන පෙනෙන්නේ දැන්ය. ඒවාට මොලේ දියුණු වන්නට ඕනෑය. අනික ලෝක රූරැජින උනත් හිත සවුත්තු නම් ඒ කෙල්ල ගෙන් වැඩක් නැත. කොල්ලන්ටත් මේවා අදාලය. ඒත් මම අහවල් එකෙක් නොවෙන නිසා මගේ හිත යන්නේ කෙල්ලන්ටය. ඒ නිසා මම කතා කරන්නේ කෙල්ලන් ගැනය. මිදී ඇඹුල් කී නරියා සේ නොව මම ගෑණු ළමයින්ගේ හොඳ සහ නරක දෙකම දකිනවාය. ඒ නිසා ගෑණු ළමෝ මට බැන වැදීමට ඉක්මන් නොවෙන ලෙස දන්වනවාය.

මා ලියන්නේ මට සිද්ද වූ දෙයය.මා කවුදැයි අනුමාන කරන්නට නොයන ලෙසද, අරූ වෙන්න ඇති මූ වෙන්න ඇතියි කියමින් අරූට මුට හිංසා නොකරන ලෙසද කියවන ඔබෙන් ඉල්ලා සිටිනවාය. කොහොමත් මා ලියන කතා කියවන්නේ අතලොස්සක් නිසා මා කවුදැයි අනාවරණය වීමේ බයක් නම් නැත.
ඉතින් එකෝමත් එක දවසක ගම්පහ ටියුෂන් පන්තියේදී මට අනංගයාගේ මල් හීසර වැදුණු වෙලාවේ සිට මම මගේ කතාව ලියන්නට පටන් ගනිමි.

ඊ ළඟ කොටස ඉක්මනින්ම බලාපොරොත්තු වන්න


Friday, December 6, 2013

රොටියා සහ සියල්ල දත් ගෑණු ළමයි

මේ ඊයේ පෙරේදා රොටියාට කාලෙකින් නොකෑ විදියේ කට්ටක් සෙට් වෙන්නට ගොස් අනුනමයෙන් ගැලවුනේ රොටියාගේම මොළයට පින් සිද්ද වෙන්නටය. විය යුතු පරිදිම අනිත් එව්වන් පිළිගෙන ඇත්තේ ඒ කතාවේ ෆිමේල් වර්ෂන් එක නොහොත් රොටියාගේ ගෑණු ළමයා කියන කතාව නොහොත් ඇගේ කල්පනාව හොඳ නිසා වැඩේ ගොඩ ගිය වගය. කතාව සාරංශයෙන් පහත දක්වා ඇත්තාය.
රොටියාගේ ගෑණු ළමයාගෙන් ලැබුණු තර්ජනයකට අනුව පසුගිය දිනෙක රොටියා හාෆ් ඩේ එකක්ද දමා ඇයව ගන්නට එන්නට සිදු උනේය. ඇගේ කොම්පැනි ලොක්කා, උගේ කොම්පැනියේ බිල්ඩිම කොළඹ හද්ද ට්රැෆික් තියෙන මැද්දකම අටවා ගෙන තියෙන නිසා ගෑණු ළමයා ස්ව කැමැත්තෙන්ම රොටියාට පහසු තැනකට එන්නට එකඟ වී සිටියාය.
සියල්ල දන්නවායයි මහත් ලොකුවට සිතා සිටින ඇය පෑලියගොඩ පාලමේ සිට කීරුලපන දක්වා මුළු මහත් වපසරියම හඳුන්වන්නේ කොළඹ කියාය. කොළඹ අතන කලර් ලයිට්, මෙතන බෝ ගහ, අර බස් නවත්තන තැන, ඇයි අනේ හයි වේ බස් පාරට දාන තැන, ආදී වශයෙන් ඇය ඇයටම සුවිශේෂ වූ ආකාරකට මුළු කොළඹම හඳුන්වන අතර, ඒ තැන් දැන නොගැනීම ගැන රොටියාට බැනවදින්නේ උදේ හවස කොළඹ ගියාට, කොළඹ හරියට තාම දන්නේ නෑ කියාය.

රොටියා බලාපොරොත්තුව සිටි දුරකථන ඇමතුම දහවල් දොළහමාරට පමණ ජන්ගමයාට අවාය,
ගෑණු ළමයා: රොටියා මං කරගම්පිටියට එනවා මාව ගන්න ඉන්න.
රොටියා: කොහාට?
ගෑණු ළමයා: කරගම්පිටියට කරගම්පිටියට. ඇයි අනේ ඔයා කරගම්පිටිය දන්නේ නැද්ද. අර එදා අපිව පොලිසියෙන් ඇල්ලුවේ
රොටියා: මොකක්?
ගෑණු ළමයා: අර එදා ඔයා ට්රැෆික් ලයිට් වලට නවත්තනේ නැතුව ගිය හින්ද ඇල්ලුවේ.. මතක නැද්ද අනේ. ඔන්න එන්න වෙලාවට. මං තියෙනවා
රොටියා මොලය අනික් පැත්තට කරකවා කල්පනා කලද ඔය කියන අටමගල් කරගම්පිටියේ කලර් ලයිට් ගැන රොටියාගේ මතකයට ආවේ නැත. අනික ඔය කියන වෙලාවට නුගේගොඩ මැද්දෑවට යෑම රථ ගාලකට යාමක් වැනිය. නැවතී සිටීමක් මිස ගමන් කිරීමක් නම් නැත. ඔය ඔක්කොටම වඩා රොටියා හා ගෑණු ළමයාට යාමට ඕනෑ වී තිබුනේ ආමර් වීදිය පැත්තටය
දෙයියෝ රොටියාට මොළය කලඳක් දී තිබූ නිසා රොටියා කරගම්පිටිය පැත්තට පාගන්න ඉක්මන් නොවුනාය රොටියාව අනන්ත වාරයකදී පොලිසියෙන් අල්ලා ඇති බැවින් ඔය කලර් ලයිට් එකක්ද මතකයට නොආ මුත්, පෙර උගත් පාඩම් ඇසුරෙන් ගෑණු ළමයා ඔය දොඩවන්නේ කරගම්පිටියක් ගැන නම් නොවන බව රොටියාට ඉස්තිරෙටම කල්පනා උනාය.
අවසානයේ කැම්පස් එකේදී ඉගෙන ගත් පාඩමක් ඇසුරෙන් රොටියා සිද්දියෙන් විය නොහැකි සියලුම සිද්දීන් ඉවත් කල පසු ඉතුරු වුයේ හෙට්ටියාවත්තය. ඒබැවින් කෝකටත් කියා ආමර් විදිය පැත්තට බර වෙන්න ඉඩ ඇති තැනක රොටියා නැංගුරම් ලා ඉන්න තුර ගෑණු ළමයාගෙන් දෙවැනි කෝල් එක ආවාය
ගෑණු ළමයා: මේ රොටියා මං හොඳ වෙලාවට කලින් ටිකට් ගත්තේ
රොටියා: ඇයි?
ගෑණු ළමයා: බස් එකේ ගහල තිබ්බේ කරගම්පිටිය හෙට්ටියාවත්ත කියලනේ. මං කරගම්පිටියට ටිකට් ඉල්ලුවාම කොන්දොස්තර කිව්වනේ එහේ යන්නේ නෑ මේක යන්නේ හෙට්ටියාවත්තට කියල.. (පෙර වාසනාවකට ඇය යා යුතු දිසාව දනී)
රොටියා: ආ මාර වැඩේ නේද?
ගෑණු ළමයා: ඒක තමා. බලන්නකෝ මං කල්පනා කරලා කලින් ටිකට් ගත්තේ නැත්තන් වෙන දේ. ඔයා වැරදිලා යනවනේ කරගම්පිටියට. මාත් ඔයා වගේ උනා නං ඔහේ යයි බස් එකේ කොන්දොස්තර ටිකට් ගන්න කියනකන්. බලන්න මං කල්පනා කරලා වැඩ කරන හින්ද හොඳයි........!!!
බොහෝ ගෑණු හිතා ඉන්නේ තමුන් ඔක්කෝම දන්නවා කියාය. අහිංසක පිරිමි අපි නැතිවූ දවසට ඒ දැන ගැනිල්ලේ තරම බලා ගත හැක්කේය