Thursday, January 30, 2014

එකෝමත් එක දවසක - 07

එදා උඩු මහලට ගිය K.K , පොත් හලේ වැඩ කල තමන්ගේ නෑදෑයෙකු හමුවී විස්තරය කියා උදව් ඉල්ලා ඇත . අනතුරුව උඩුමහලේ සිට ලපයා සහ ඇටකටුස්ට නොපෙනෙන්න නදීට හස්ත මුද්‍රාවෙන් යා යුතු දිසාව පවසා ඇත . ඒ අනුව නදී එක වරම පොත් රාක්කයකට මුවාවී සේවක දොරටුවකින් ඇතුලට ගොස් ඇති අතර දෙදෙනා පොත් හලෙන් පිටවී ඇත්තේ පිටුපස දොරෙනි
කෙසේ වෙතත් එදා K.K ගත් උත්සාහය සුන්නද්ධුලි කරමින් මාස කීපයකට පසු ලපයා හා නදීගේ ප්‍රේම පුරාණය ඇරඹුණු අතර , පළමු සැරේම මොරටුව කැම්පස් එකට තේරෙවියයි ගුරුවරුන් බලාපොරොත්තු තියාගෙන සිටි ඒකාට දෙවන සැරේට නැවත විබාගයට වාඩිවීමට වැඩේ සිද්ද උනාය
කතාව වෙන පැත්තකට ඇදී ගිය නිසා මට මගේ දිව්‍යන්ගනාව අමතකම උනේය.
දිව්‍යන්ගනාවගේ ප්‍රතිචාරය යහපත් වූ බැවින් මා දවසැරියේ අතිමහත්ම ප්‍රිතියෙන්ය . ලපයාගේ අඩෝවැඩියාව මැද්දේ උවත් දිව්‍යාංගනාව ගැන සිහින මවන්න මට එදා හැකියාව තිබුණි.
මම මගේ ජීවිත කාලය තුල නවකතා රාශියක් කියවා ඇත්තෙමි. බොහොමයක් ඒවා සිංහල කතාය. සමහර ඒවායේ කොල්ලන් ජාති දෙකකි. උන් එක ජාතියක් දහයට ගැන ගන්න බැරි අහිංසක කෙල්ලන්ගේ මායම් වලට රැවටෙන තොත්ත බබ්බුය . අනෙක් ජාතිය නොසන්ඩාල අමන කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන නසරානි අන්කුට්ටන්ය. මම ද කොල්ලෙකි මට මිතුරන්ද බොහෝ වෙති . කිසිම දාක කොල්ලෙක් මම ආශ්‍රය කර ඇත අරින්නෙමි යයි සිතාගෙන ජිවිතයේ ප්‍රථම ආදරය පසුපස ගාටන්නේ නැත . පස්සෙන් පහුවෙද්දී යම් යම් හේතු නිසා වෙන්වීම් සිද්ද විය හැක . වෙන කෙල්ලෙකු නිසා පළමු කෙල්ලව අතඅරින නොසන්ඩාලයන්ද සිටිය හැක. මා කියන්නේ පලවෙනි ආදරය පටන් ගනිද්දී කොල්ලෙක්ගේ හිතේ ඇතිවෙන්නේ අදාළ ගෑනු ළමයාව සමඟ ආදර සම්බන්දයක් පටන් ගැනීම විතරක් කියාය . කොල්ලන් මහා ලොකුවට එක එක දේවල් ගැන හිතන්නේ නැත . ගෑනු ළමයාට කැමති නම් වෙන වෙන අටමගල් ගැන නොසිතා ගෑනු ළමයාව කැමති කරගන්න උත්සහ කිරීම කොල්ලන්ගේ හැටිය නමුත් කෙල්ලන් එසේ නැත.
කෙල්ලන් කොල්ලෙක්ට කැමති වන්නේ උගේ හතර දික් බාගයම ගැන මැනවින් සොයා බැලු පසුවය. කොල්ලන් මෙන් නොව කෙල්ලන් දෙයක් ගැන සිතන්න ගත් විට අන්තයටම සිතයි
මේකාව බැඳගෙන අවුරුදු හයකින් ළමයාට අවුරුදු පහක් වූ කල , ළමයා කොල්ලෙක් වූ කල , වෙන්නපුවේ ජනප්‍රියම පාසලට ඌ ව ඔබා ගැනීමට උවමනා ඌ කල ළමයාගේ තාත්තා කටුනේරිය ප්‍රදේශයේ පාසලකින් ද්විතියික අද්යාපනය ලැබූ නිසා ළමයා ගේ අයදුම් පත්තරය ප්‍රතික්ෂේප විය හැකි නිසා ළමයාගේ තාත්තා වෙන්නට ඇසූ කොල්ලාට අකමැති වූ ගැහැණු ළමයෙක් මම දනිමි
මුණු පොතේ මුල සිටම රොටියා සමග සිටි මිතුරෙක් දිනක් කියූ කතාවක්ද මෙතනට අදාළ නිසා ලියමි . පාසැල් වයසේ ඔහු හිතෙන් ආදරය කල ගෑනු ළමයා එයින් බොහෝ කලකට පසු ඇයත් පාසැල් සමයේදී  ඔහු පිළිබඳව හිතක් හිතා සිටි බව වෙනකෙකුට කියා , ඒ මගින් මා මිතුරා දැනගෙන ඇත. එවිට දෙදෙනාම වෙනත් අය සමග විවහා වී අවසානය.
ගෑනු ළමයි කියන්නේ අන්න එහෙම ජාතියකි . ඒ බව දැන ගෙන පිරිමි අප ඔලුව බේරාගෙන වැඩ කල යුත්තෝ වෙමු.
ඉතින් නොදන්නා කමට මා සිතුවේ මගේ දිව්‍යන්ගනාව මට ඇත්තටම කැමති බවයි. ඊළඟ දවසේ ඈ දුටු කල හිනැහෙන විදිය මම දවස් ගානක් තිස්සේ පුරුදු වූ අතර පැත්තෙන් බැලු විට මගේ මුහුණේ එතරම්ම කැතක් පෙනෙන්නේ නැති නිසා පුළුවන් තරම් ඈට පැත්ත හරවා සිටීමට මම සිතා ගත්තෙමි .
වෙනදාට ඇසුරු සැනින් ගෙවී යන සතියක කාලය ගෙවී යාමට අවුරුද්දක් තරම් වූ කාලයක් ගිය බව මට හැඟුණු අතර මෙන්න අන්තිමේ ඊළඟ සති අන්තය ..


ඉතුරු කොටස ඉක්මණින්

Tuesday, January 28, 2014

නොකී කතාව

පසුගිය දවස් වල නොවැලක්විය හේතුවක් නිසා රොටියාට බ්ලොගය පළාතට එන්න බැරි වීම ගැන රොටියා කනගාටු වෙනවාය. දුක් සහිත කාලයක් බැවින් එකෝමත් එක දවසක ලියන්නට හිතක් නැත. ලැබූ අත්දැකීම් තුලින් රොටියා කියන්නේ ජිවිතයේ ඊළඟ මොහොතේ සිද්ද වෙන දේ නොදන්නා බැවින් කල යුතු යුතුකම් අදාළ අයවලුන්ට ඉෂ්ට සිද්ද කරන ලෙසය.
මේ මාසේ වැටුප වියදම් වූ නිසා අත්තම්මාට ගන්නට සිටි චිත්ත රෙද්ද ගැනීම ලබන මාසයට කල් අරින්න එපාය. ලබන මාසේ අත්තම්මා ට කුමක් වේදැයි කාටවත් කියන්නට බැරිය. ඒ නිසා මහා පරිමානෙන් නොව, තමුන්ට හැකි පමණින් තමා වටේ සිටින අය ගැන සොයා බලන්නට ඕනෑය.
මේ කියන්නේ නම් අවුරුදු හතර පහකට පෙර කතාවකි. රොටියාට මුල සිටම පිස්සුය. රොටියාව ලගින් දන්නා ඕනෑම කෙනෙක් රොටියා යනු අමු පිස්සෙක් බව දන්නවාය. ඒත් රොටියා මුලින්ම රැකියාවට ගිය ආයතන ප්රමධානියා ඒ බව දැන සිටියේ නැත. රොටියා බැනුම් ඇසු තරමක් ඇසුවේ වැඩ පැහැර හැරීම නිසා නොව කෑ කොස්සන් ගැසීම නිසාය. ආයතන ප්ර ධානියාගේ බැරෑරුම් මනෝභවය හා රොටියාගේ පරිකල්පනය අතර නිතරම පැහැදිලි ගැටුම් ඇතිවිය. ඔහු ජීවිතය ඉතාමත් සංකීර්ණ ලෙස හිතන පුද්ගලයෙකුය යන්න රොටියාගේ නිගමනය වූ නිසා ඔහු හා රොටියා අතර වුයේ දුරස්තර බවකි
එක් දිනක් ඔහු අසනීපයෙන් සිටින නිසා ඔහුගේ වැඩ කොටස රොටියාට බාර ගන්නා ලෙස දන්වමින් රොටියාට ඔහුගෙන් ඇමතුමක් ලැබුණි. දුරස්තර බව නිසා රොටියා ඔහුගේ අසනීපය ගැන වැඩි විස්තර ඇසුවේ නැත. ඊළඟ දවසේද ඔහුගෙන් රොටියාට ඇමතුමක් ලැබුණු අතර ඊට පසුවදා අසනීපය හේතුවෙන් ඔහු මියගිය බව දැන ගැනීම රොටියා ජීවිතයේදී ලද විශාලම කම්පනයක්ය. ඒ හේතුවෙන් රොටියා අදාළ රැකියාවද අතහැර වෙන රැකියාවක් කරා යොමු වුනාය
රොටියා අදටත් පසුතැවෙන්නේ අවසාන ඇමතුමේදීවත් ඔහුගේ සුව දුක් විමසන්නට නොහැකි වීම පිලිබඳවය.
කවි ලියන්නට එපමණ හැකියාවක් නැති මුත් හිත තෙත් කල කවකින් පොස්ටුව ඉවර කරනවාය

අතැර ගිය කිරි අම්මාට,

හිනාව පුරෝගෙන
මග බලාගෙන
හෙටත් ඉන්න
මං එද්දී
බණ පොත් පෙන්නන්න
විස්කෝතු දෙන්න
බදින්නේ නැත්දැයි අහන්න
මං දුන්නු
මුතු පොටත් බැදන්
ඉන්න මග බලාන
මං එනකන් ගෙදර


Tuesday, January 21, 2014

එකෝමත් එක දවසක -06

මේ කොටස ලියන්නේ ඔපීසියේ සිටය. ලොක්කා එන්න කලින් හොරෙන් හොරෙන් වටපිට බලමින් ලියන නිසා අඩු පාඩු තිබිය හැක.
K.K ගේ මිතුරියකට ලපයා පැණි පෙරුවේ කලක සිටය. ඇත්ත ඇතිම සැටියෙන් ලිව්වොත් කතාව කියවන, අපේ පැත්තේ අයට රොටියා කවුදැයි මාට්ටු වෙනවා සිකුරු බැවින් සත්ය කතාව මද වශයෙන් විකුර්ති කිරීම ගැන පාටකයෝ කමත්වා!
ඉතින් මේ K.K උපතේ සිටම “කොල්ලන් යනු සතේකට ගණන් නොගත යුතු, මැඩවිය යුතු, බිම දමා චප්ප කල යුතු ජීවින් කොට්ටාසයක් යයි යන “ දරුණු තීරණයේ සිටින වග පෙනුනි. ඈ ගැන පමණක් ඈ බලාගෙන සිටියා නම් කමක් නැත. දරුණුම කොටස වන්නේ ඈ ඇගේ මිතුරියන් පස්සෙන් එන කොල්ලන්ටත් ඒ හැන්දෙන්ම බෙදීමයි. ඒ සමහර මිතුරියන් ඇත්තටම අර අහිංසක කොල්ලාට කැමැත්තෙන් සිටින බව පෙනුනත් K.K කෙසේ හෝ මිතුරියත් ඇදගෙන ගෙදර යාමට සමත් වෙයි
ලපයා තදින්ම සිතාගෙන සිටියේ K.K ගේ මිතුරිය (ඈට නදී කියමු) ඌට කැමති බවයි. රොටියාට නම් සිතුනේ නදී තමන්ගේ පස්සෙන් එන හැම කොල්ලාටම කැමතියි කියා පෙන්වන බවයි. ඒත් ලපයා සිටියේ ඇත්ත පිළිගන්නා මානසික මට්ටමක නොවේය. ඌ උත්සහ කල හැම කෙල්ලම ඌට කොකා පෙන්නපු බැවින් නදී ගැන ලපයා මහා ලොකුවට හිතා උන්නේය.
එදා ලපයා හිතාගෙන ඇත්තේ කෙසේ හෝ නදීට වචනයක් දාන්නටය. ඌ තමුන්ගේ පුරුස ධයිර්යය එක්තැන් කොට ගැනීමේ පහසුව සඳහා ඇටකටුස්ටද අදාළ අවස්ථාවට බලෙන්ම අරාදනා කොට ඇති අතර, K.K සිටින බවක් නොකීමට ප්රෙවේසම් වී ඇත. (ඇටකටුස් K.K ට පරාන බයක් දක්වන නිසා). පන්තිය ඉවර වූ වහාම මුන් දෙදෙනා නදී සහ පිරිවර පිටුපස යාමට පටන් ගෙන ඇත(ඇටකටුස් ගේ දැඩි විරෝදය මැද්දේ). කවදාවත් නැතිව K.K සහ නදී බස් නවත්වන පැත්තට නොගොස් වෙන පැත්තකට යනු දුටු ලපයා මදක් පුදුම උවද දිගටම පිටුපසින් ගොස් ඇත. ගම්පහ ප්‍රධාන පෙලේ පොත් සාප්පුවකට ගොඩවුණු K.K සහ නදී උඩු මහලට ගොස් ඇත. තමුන්ට අවශ්යග පොතක් ගෙන එන බව පවසා K.K ඊළඟ මහලට යනවා මුන් දැක ඇති අතර නදී දිගටම පොත් තෝරමින් හිද ඇත. ඊළඟ කොටස ලපයාගේ වචන වලින්ම මෙසේය.
අඩේ බන් මමයි ඇටයයි මගේ කෑල්ල දිහා බලාගෙන ටික ටික ලඟට ගියා. අඩේ ඉතින් වැඩේ මාට්ටු නොවෙන්න අපිත් පොත් බල බල නැවතී නැවතී තමයි ගියේ. එකපාරට මගේ කෑල්ල නැතුව ගියානේ.ඇටයව උඩට යවල මම දඩස් ගාල පහලට බැස්ස. රහත් වෙන්න බැනේ බන්. ඒත් කිසිම තැනක මුන් නෑ. බැලුව මචං හැම තැනම පැය බාගෙකට වඩා. අන්තිමට සේල්ස් එකෙක් ඇවිත් මොනවද කරන්නේ කියල ඇහුවාම තමා අපි එතනින් මාරු උනේ
උඹ දන්නවද මචං හොඳම වැඩේ. අපි ස්ටෑන්ඩ් එකට එද්දී බකයත් එතන. ඌ උගේ කෑල්ල එක්ක චැටක් දාන් හිටියේ. අපිත් එක්ක ඌත් ආව. සීන් එක අහල ඌ කිව්වනේ මචං පැය බාගෙකට කලින් K.K නදිවත් ඇදගෙන දුවගෙන වගේ ඇවිත් බස් එකට නැග්ග කියල. ඒක නම් වෙන්න විදියක් ඇත්තෙම නෑ බන්. මුන් දෙන්නා පියාඹල ගියා වගේනේ බන්
එදා ලපයාව සැනසුවද සැබවින්ම උනේ කුමක්දැයි හිතා එදා මමද කුතුහලයෙන් ඇලලී ගියෙමි. මා සත්ය සිද්දිය දැනගත්තේ අවුරුදු හයකට පසුව K.K ගෙන්ම වීම, සිතා ගෙන යනවිට පුදුමයකි.
අපි කිසිම දවසක හීනෙන්වත් නොසිතන නොපතන දේවල් සිද්දවන බව මම දැන ගත්තේ ඊට තවත් අවුරු ගානකට පසුවය.

ඊළඟ කොටස ඉක්මනින්ම ලියමි
                                                

Saturday, January 18, 2014

රොටියාගේ ගෑණු ළමයාගේ පවර් ස්ටියරින් විල්

රොටියාගේ ගෑණු ළමයා පාසල් ගොස් ඉවරවුණු වහාම ඊළඟට පටන් ගෙන ඇත්තේ රියදුරු පුහුණු පාසල් යන්නටය. ඒ ලයිසොම ගත්තේ කෙසේදැයි රොටියාට බරපතල ගැටළුවක් තිබෙන මුත් ඈ කෙසේ හෝ රියදුරු විබාගය පාස් වී රියදුරු බලපත්තරයක් අරගෙන ඇත්තේය. රොටියා පසුව දැනගන්නට යෙදුනු පරිදි ඈ මුලින්ම ගෙදර වාහනය එලවන්නට කියා අරගෙන ඉතා උත්කර්ෂවත් අන්දමට වාහනයට හා ගෙදර තාප්පය යන දෙකටම බඩු හම්බ කොට ඇත්තේය.

යටගිය කතා කෙසේවෙතත් ඈ රොටියාට මුණගැහෙන විට ලයිසොම මිසෙක වාහනයක ක්ලච් එක සහ ඇක්ස්සලේටරය වෙන වෙනම හඳුනා නොගන්නා තත්වයට පත්වී සිටියාය. කෙල්ලෙක් යාලුවීමේ ප්‍රීතියෙන් ඔකඳ වී සිටි රොටියා, ගෑණු ජාතියේ ජාන ගැන හරි හැටි අවබෝදයකින් තොරවම, ප්‍රේමයෙන් මුසපත් වී අන්ධ වී සිය පෙම්වතියට රිය පැදවීම පුරුදු කරන්නට ඉක්මන් උනාය.

මුලින්ම වාහනයේ කොටස් ද, ඊළඟට වාහනය පදවන ආකාරයද කියා දීමෙන් අනතුරුව සුබ මොහොතින් රොටියා ඈ අතට සුක්කානම දුන්න දවස අද මෙන් මතකය. පලවෙනි වතාවේ ඈ ජයග්‍රාහී ලෙස වමට සිග්නල් දමා දකුණට හරවා යතුරු පැදියක ගිය අයෙකුට එලොව පොල් පෙනෙන තත්වයට පත් කල අතර දෙවන දවසේ අලංකාර අන්දමට නවතා තිබූ ත්රි රෝද රථයක පිටුපසට ඇන්නාය. ඒවා කිසිවකින් පාඩමක් ඉගෙන නොගත් රොටියා ඈට කෙසේ හෝ රිය පැදවීම ඉගැන්නු අතර වැඩි කල් නොයවාම රොටියා සහ ඈ අතර මගතොට සංවාද පහත පරිදි විය

ගෑණු ළමයා: රොටියා මොකද්ද අනේ ඔයා මේ යන ලේන් එක. වමට ගන්න වමට
රොටියා:..
ගෑණු ළමයා: දකුණට ගන්න. ඔය ඔය පෙන්නේ නැද්ද ටිපර් එක
රොටියා: නෑ
ගෑණු ළමයා: ඔයාට නං එලවන්න කියල දෙන්න වෙනවා මොකද්ද අනේ..
රොටියා:..
ගෑණු ළමයා: රොටියා ටවුන් එකේ ස්පීඩ් ලිමිට් එක 40. ඔන්න හයියෙන් එහෙම යන්න එපා

නොබෝ කලෙකින්ම ඈ තමා රිය එලවීමේ කෙල පැමිණියෙකි යයි අධි තක්සේරුවකට පැමිණි අතර දැන් ඈ ගෙදර වාහනය හා රොටියා ගේ වාහනය යන දෙකම තැලීම් සිරීම් වලින් අලංකාර කරමින් රොටියාට ද රිය පැදවීම පුහුණු කරමින් සිටියි

අද නිවාඩු දවස නිසා රොටියා නිදහසේ කා බි සැනසෙනවාත් සමගම ගෑණු ළමයාගෙන් ඇමතුමක් ආවේය.
ගෑණු ළමයා : රොටියා මාර වැඩේනේ
රොටියා: මොකද්ද
ගෑණු ළමයා : මම තනියම වාහනේ ටවුන් එකට ආව. නවත්තල කඩේට ගිහින් එද්දී වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑනේ
රොටියා: ගියර් එක පාර්ක් එකේ නැතුව ඇති. බලන්න පොඩ්ඩක්
ගෑණු ළමයා: කොහොමද බලන්නේ?
ඉතින් ඊළඟට රොටියා විනාඩි දහයක් තරම් වූ වේලාවක් ඈට ගියර් එක පාර්ක් වැටි ඇත්දැයි බලන ආකාරය පැහැදිලි කළාය.
ගෑණු ළමයා: ගියර් හරි. ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑනේ
රොටියා: බලන්න ස්ටියරින් විල් එක කැරකෙනවද කියලා.
ගෑණු ළමයා: ඔව්. හරි හරි
රොටියා: බලන්න ගියර් ලොක් කරන බටන් එක එබිලද කියල.
ගෑණු ළමයා: ඒක කොහෙද තියෙන්නේ?
රොටියා ඒ බොත්තම සොයා ගන්නා ආකාරය විනාඩි පහක් පමණ පැහැදිලි කරන්න යෙදුනාය
ගෑණු ළමයා: හරි ඇද්ද
රොටියා : ( ඔබන්න ඕනේ බොත්තමක් ඇද්දේ කෙසේදැයි කුතුහලයට පත් වෙනවාත් සමගම)
ගෑණු ළමයා: හයියෝ බොනට් එක ඇරුනා වගේ.. මොකද්ද අනේ. ඔයාට කිසිම දෙයක් හරියට කියන්න බෑනේ. දැන් මොකද කරන්නේ
රොටියා: බොනට් එක වහන්න.
ගෑණු ළමයා: කොහොමද වහන්නේ?
රොටියා: වාහනෙන් බැහැල ගිහින් බොනට් එකට අත කියල තදකරන්න
ගෑණු ළමයා: හි හි (බොනට් එක වසනවායයි සැක කල හැකි ශබ්ද ගණනාවකට පසු). හරි
රොටියා: ( අහස පොලව ගැටලන්න කල්පනා කරමින්) ස්ටියරින් විල් එක කැරකෙනවත් නම් මොකද්ද දන්නේ නෑ ලෙඩේ. වාහනේ ඔහොමම ලොක් කරලා තියල ඔයා ත්රයිෂෝ එකක් අරගෙන ගෙදර ගිහින් කා එක්ක හරි එන්න
ගෑණු ළමයා: රොටියා ස්ටියරින් විල් එක කැරකෙන්නේ නෑනේ.
රොටියා : දැන් ඔයා කිව්වේ කරකැවෙනවා කියල
ගෑණු ළමයා: නෑ මං කිව්වේ නෑ. ඔයාට පිස්සු
ඉතින් ඊළඟට රොටියා මහත් වූ වෙහෙසක් දරාගෙන ඈට ස්ටියරින් විල් එකේ ලොක් ඇරගන්නා ආකාරය පැහැදිලි කළාය. ඊටපසු ඈ මහත් උජාරුවට රිය පදවාගෙන ගෙදර ගියාය.
පසු සටහන: ස්ටියරින් විල් එක කැරකැවෙනවාදැයි රොටියා මුලින්ම නොඇසූ බවට මේ ටිකකට කලිනුත් ඈ මා හා වාද කළාය. දැන් ඈ හිතා ඉන්නේ රිය සම්බන්ද ශාෂ්ට්‍රපති උපාදියක් කල ගානටය. ඒ වරුණේ හරියටම බලන්න පුළුවන් වන්නේ වාහනයේ රෝදයක් ගිය දාටය


Friday, January 17, 2014

රොටියා සහ බල්ලෝ

රොටියාගේ ගෙදර බල්ලන් රංචුවක්ම ඇත. බල්ලන්ගෙන් මුදුනා ටින් ටින්ය. ටින් ටින් ගේ වලිගය කොටය. දැන් රොටියාගේ ගෙවල් පැත්තේ අලුත් පරම්පරාවේ හැම බල්ලෙකුගේම වාගේ වලිගය කොටය. මේවා ටින් ටින්ගේ වැඩ බව අපි දන්නවාය. නමුත් කරන්න දෙයක් නැත්තේය. ටින් ටින් ගේ මනමාලකම ඉවවහා ගොස් ඇත්තේය. දැන් ඌට අවවාද කොට පලක් නැත්තේය. උගේ මුල් ළමාවිය හරියට සංවර්දනය කරගන්නට බැරි උනේ අපේම ගොන් කම නිසාය. ඌ පොඩි කාලේ සිටම මරුමුස් වැඩ කරන විට අපි ඒවා මහ ලොකු කමක් විදියට සිතාගෙන අහල පහල එව්වන්ටත් අපේ බලු පැටියාගේ හපන්කම් ගැන පුරසාරම් කීවෝය.ඌට දෙකක් දී හදා නොගත් වරදට දැන් ඌ අපිට කොකා පෙන්නනවාය.
ඌ ගමපුරා මනමාල කමේ යන්නේ නැත. ඒවා කරන්නේ මෝඩ බල්ලන්ය. මූ මෝඩ නැත. මූට රොටියාට වඩා කල්පනා ශක්තියක් තියෙනවාය. ගමේ බලු සංගමයේ කැදවුම්කරු ඌය. ඉතින් බල්ලන් අතර මූ පොර වී ඇත්තේය. බැල්ලියන් ඌට වහ වැටි ඌව සොයාගෙන අපේ ගෙදරට එනවාය. ඇහැට කනට පේන බැල්ලියෙක් නම් ආයේ කතා කරන්න දෙයක් නැත.
ඌ නිසා උගේ සහෝදර රෙක්ස්ටන් ට හතේ හත වැදී ඇත්තේය. බැල්ලියන් රෙක්ස්ටන් ව ගණන් ගන්නේ නැත. බල්ලාට රෙක්ස්ටන් කියා නම දැම්මේ අපිට රෙක්ස්ටන් ජීප් එකක් නැති නිසාය. කවුරු හරි ගෙදරට ආ කල රොටියාගේ මල්ලි ඌට පවරා ඇති රාජකාරිය අකුරටම කරමින් ‘අයියේ රෙක්ස්ටන් කෝ?’ යයි රොටියාගෙන් විමසයි.
‘ඕගොල්ලෝ රෙක්ස්ටන් එකක් ලඟදි ගත්තාදැයි ‘ අසා ‘ නැත ඒ අපේ බල්ලායි’ පැවසු විට අහපු එකාට බල්ලා බලන්න උවමනා උනොත් ඉන්නේ කළු හඩු බල්ලෙකි. ඒ රෙක්ස්ටන් නාන්න හොර නිසාය. ටින් ටින් නම් කොයි වෙලෙත් ජැන්ඩියට හිදී.
රෙක්ස්ටන් ට රොටියාගේ වත්තේ වැඩට එන මාමා කියන්නේ සෙක්ස්ටන් කියාය. අපි මාමාට රෙක්ස්ටන් හා සේක්ස්ටන් අතර වෙනස උගනන්න නොයන්නෙමු.
හැමෝටම මුට්ටි අල්ලමින්, වලිගය වන වනා බිම පෙරෙලෙමින් ඉන්නේ සුසීය. සුසී රොටියාගේ ගෙදර බලෙන් බින්න බැහැපු බැල්ලියෙකි. ටින් ටින් ගෙන් බේරා ගත නොහැකි වූ සුසීට වඳ සැත්කමක් කොට ඇත්තේය. සුසිව දකින ඕනෑම කෙනෙක් ‘අනේ ෂෝක් බල්ලා යි’ පවසනවාය. උගේ ෂෝක දන්නේ අපිය.
රොටියාගේ ගෙදර ඇල්ශේෂන් බැල්ලියෙක් ද නිල බල්ලා වශයෙන් හිඳී. ඌ සිබා ය.ඌ මේ ඊයේ පෙරේදා වෙනකන් යස අපුරුවට කියන දෙයක් කරගෙන සිටියාය. ටින් ටින් ඌට ඇහැ දමා ඌව වසඟ කර ඇත්තේලඟකදීය. දැන් සිබා කොටුවෙන් පැන ටින් ටින් සොයා යයි. ටින් ටින් ට සිදුවී ඇත්තේ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවාට වුනු දේය. ගමේ බැල්ලියන් මෙන් හතර පහක් වෙන සිබා එක්ක ටින් ටින් ට ලෙල්ලම් වී ඇත්තේය. සිබා ටින් ටින් දුටු සැනින් පිම්මක් පැන ගැම්ම ගෙන ටින් ටින්ගේ බෙල්ලට පනී. ටින් ටින්ව හතරට පහට නැවි යයි. මදක් ගෙරෙව්වුත් පසු බසින්නේ අපේ සිබා නෙමේය. එනිසා ටින් ටින් දැන් වැඩිපුර ඉන්නේ ගෙදරින් පිටය.
රොටියා, රොටියාගේ අයියා සහ මල්ලි සැලසුම් කරන්නේ තව බල්ලෙක් ගෙදරට ගෙන්නටය. රොටියාගේ තාත්තාගෙන් නම් විරුද්දත්වයක් නැති මුත් බල්ලාව ගෙනාපු සැනින් පෙති ගසන බවට අනතුරු අඟවා ඇත්තේ රොටියාගේ අම්මාය. එනිසා බලු රංචුවට අලුත් සාමාජිකයෙක් එක්වන දවස දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත්තේය.




Sunday, January 12, 2014

එකෝමත් එක දවසක -05

ලැබූ ජයග්‍රහණයෙන්න් මම උද්දාම උනෙමි. එදා ගෙදර ගියේ කෙසේදැයි වත් මට සිහියක් නැත. බැලූ බැලූ අත පෙනෙන්නේ ඇයවමය. ඇගේ සිනාවමය. පොඩි හෝ දුකකට තිබුනේ කොල්ලාගේ වැඩ නරඹන්න කිසිම යාළුවෙකු ප්‍රේක්ෂකාගාරයේ නොසිටීමයි. වරදින විට, කෙල්ලන්ට නෝන්ඩි වන විට, උන් රවන ගොරවන විට අපේ වටේ ඉන්නා හැටහුටාමාරක් තරම් වූ යාළුවො කියනා මගෝඩි රැලෙන් එකෙක් වත් අපිට හරියන විට ළඟපාතක නැත.
මා උන්නේ පහුවෙනිදා පාසල් යනකන් ඇඟිලි ගනිමිනි. මතක ඇති දා පටන්ම උදේ පාන්දරට නැගිටින විට “ අනේ අදවත් ඉස්කෝලෙට බෝම්බයක් වැටිලා ඇතැයි” යන සුන්දර බලාපොරොත්තුවක් පිරි සිහිනයක සැරිසරන මම, එදා රැයෙහි දෙතුන් පාරක් එලිවී ඇතැයි සිතා නැගිට්ටෙමි. වෙනදාට හයට කාලක් වන තුරුම මාව නැගිට්ටවන්න දහඅට පාලියම නටන අම්මා, එදා උදේ පහට මම කුස්සියට යන විට නොසන්සුන් උණාය. ඈ මට උණදැයි අසා, නැතැයි පිළිතුරු දුන් කල කල්පනාකාරී බැල්මක් හෙලුවත් කිසිත් නොකිව්වාය.
කොල්ලා නැගිට්ටාදැයි අසාගෙන තාත්තා කුස්සියට එන අන්දමද ඊට අම්මා දුන් පිළිතුරෙන් පුදුමයට පත් තාත්තා “ කිරි අප්පට බල්ලෝ පැනපි” යයි මහා හඩින් කියනා සද්දයද පැහැදිලිවම ඇසුනත් මම වැසිකිලියේ ඇනබාගෙන මගේ දිව්‍යන්ගනාව ගැනම තවදුරටත් කල්පනා කරමින් උන්නෙමි.
මා පාසලට යාමට ගෙදරින් එලියට බහින විට අම්මා සහ තාත්තා එකිනෙකා දෙස හොර බැලුම් හුවමාරු කරගන්නවා පැහැදිලිවම දුටුවත් එය නොදුටුවා සේ මම “ගිහින් එන්නම්” කියාගෙන ගියෙමි. කවුරු කොහොම කිව්වත් අපේ අම්මාට දෙයක් හංගනවා බොරුය.

මා පන්තියට යනවිට ලපයා සිය මුණ හතරැස් කරගෙන විරව විරවා සිටියේය. මම උගේ මුණ ගැන නොසිතා “ අඩේ මචෝ..” යයි ආරම්බ කර ඊයේ වූ සිද්දියට ලුණු ඇඹුල් දා කියාගෙන ගියත් සතපහකට ගණන් ගත්තේ ඌ නෙමේය. “ ගල් මුසලයා. තෝ මට හරිගියාම ඔහොම ඉඳල හරියනවද බූරුවෝ..” යයි ඌට බැනවැදුණු කල ඌ කිවේ මම මගුලක් කතා කරන බවයි.

ප්‍රශ්න කරගෙන යනවිට උගේ දුකට හේතු වූ සිද්දිය අනාවරණය වූ අතර එයට මුල් වී තිබුනේ කොටි කුමාරිය ය. ඉතින් මේ කොටි කුමාරිය කවුදැයි සදහන් නොකොට දිගටම ලියාගෙන යෑම සිදු නොකළ හැකිය. කෙල්ලන් දහස් ගණනක් දැක තිබූ මට ජිවිතයේ මුණගැසුණු වෙනස්ම ගෑණු ළමයෙකි මේ කොටි කුමාරි. මට පමණක් නොව අපේ වයසේ සිටි කොල්ලන් සියලුම දෙනා ඒකමතිකව එකඟ වී සිටියේ කොටි කුමාරිය යනු නියමම කොටි දෙනක් බවටයි.

අපි ඈ ගැන දන්නේ ටිකකි. ඇගේ යාලුවෝ ඈට “කුමාරි” කියා කතා කරති. කෙල්ලෙකි. කොලු කෙල්ලෙක් නොව නියම කෙල්ලෙකි. මාර ලස්සනක් නැත. ඒත් හිත් ඇදගන්නා පෙනුමක් ඇත. කොල්ලන් පේන්න බැරිය. බැරිවෙලාවක් වත් විහිළුවක් කලොත් මාරාන්තික රැවිල්ලක් රවයි. දවසක් මා දෙස බලා දත්මිටි කාපු කෑමට මාව සිතල වී ගියේය. කොල්ලන් දෙතුන් දෙනෙක් සිටි නම් ඈට මුණ දෙන්න පහසුය. නැත්තන් නම් හොඳම දේ තමුන්ගේ පාඩුවේ සිටීමයි.

ඇය කතා කරන කොල්ලන් දෙතුන් දෙනෙක් ඇත. උන්වද අතේ දුරින් තබාගෙන සිටියි. ඈට යාලුවෝ සිටියි.ඒත් වැඩිය නැත. දවසක් බස් එකේ යනවිට මම සිටියේ ඇයට පිටුපසිනි. නමුත් ඈ මාව දුටුවේ නැත. ඇගේ යාළුවන් තුන් දෙනෙක් ඇය සමග විය. මම නිකමට උන් කතා කරන එකට කන දාගෙන ගියෙමි. ඇය නියමම පිස්සු මරගාතයකි. කියන කරන ඒවා අහන් ඉන්න කෙනෙකුට උනත් හිනා යයි. එතන සිටි එක ගෑණු ළමයෙකුව මම අදුරනවාය. හිනා වේවි හිටපු නිසා මා කතා කලාට කමක් නැතැයි බුරුවෙකු සේ වැරදි නිගමනයකට පැමිණි මම, දැන් දුටුවා සේ මා අදුනන ගෑණු ළමයාට තට්ටුවක් දැම්මෙමි.

මම:- “ ආ දැන් නේ දැක්කේ..”
අඳුනන ගෑණු ළමයා:- “ ආ කොහොමද.. කාලෙකින් නේ..”
කෙල්ලන් හතර දෙනාම මා දෙස බැලුවේ එකටය. කොටි කුමාරිගේ මූන ඇසුරු සැනින් වෙස් මුණක් දැම්මාක් මෙන් වෙනස් විය. මෙන්න ඈ දැන් ෆුල් සිරියස් මුඩ් එකක
මම: “ඕගොල්ලන්ගේ මාර සද්දයක් නේ තියෙන්නේ.
අඳුනන ගෑණු ළමයා: “පිස්සු.. (හිනා වෙයි. කොටි කුමාරි හැර ඉතිරි තිදෙනාම හිනාවෙති)
මෙතැන් පටන් මම කොටි කුමාරිව K.K යයි හදුන්වමි
කලඳක් හෝ මොලයක් තියෙන ගොන් බුරුවෙකුවත් නොකරන වැඩක් මා කළේ එවිටය. එනම් K.K දෙසට හිස දිගු කොට “ මෙන්න මෙයා තමයි වැඩියම කෑ ගැහුවේ” යි කීමි. K.K ගිනි පිටවෙන දෑසින් මා දෙස බැලුවාය. තමුන්ට පුළුවන් තරම් තදින් දත්මිටි කෑවාය. මිතුරියන් ඉන්න නොඉන්න වගක් නැතුව පිඹගෙන බස් එකේ ඉස්සරහටම ගියාය. මා අදුනන ගෑණු ළමයා “ ඒ එයාගේ හැටි” යයි කියනවා මට වෙනත් ලොවකින් මෙන් ඇසුණු අතර ජිවිතයේ පලවෙනි වතාවට ගෑණු ළමයෙකුගේ රැවිල්ලක් නිසා මගේ කකුල් පණ නැති උනේ එදාය.

ඉතින් ලපයාටද මා කාපු හෝටලෙන්ම බඩු හම්බවෙන්නට ඇතැයි මට සිතුනු අතර, එය එසේම වී තිබුණි. K.K ගේ යාලුවෙක්ට පැණි හලමින් පස්සෙන් ගිය ලපයා ( අහිංසක ඇටකටුස් ද සමගින්), K.K විසින් ගම්පහ නගරය පුරාම ඇවිද්දවා ඇත.
     



ඒ කෙසේද යත් මීළඟ කොටසින් - රොටියාට නිදිමත නිසා

Sunday, January 5, 2014

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


ඉඳලා ඉඳලා රොටියා මේ අවුරුද්දේ පලවෙනි පෝස්ටුව දැම්මාය. මෙච්චර දවස් මොන තුත්තුකුඩියක වහන් වී සිටියේ යයි අහන්න එපාය. හිරේ නම් හිටියේ නැති බව සහතිකෙන්ම කියන්න පුළුවන්ය. මේ අවුරුද්දේ රොටියා ඉස් ඉස්සරවෙලාම මේ ඊයේ පෙරේදා උසස් පෙළ ප්‍රථිපල ලැබූ කස්ටියට නැවත වරක් සුබ පතනවාය. රොටියා ඔවුනට පණ්ඩිත කමක් කියන්න කැමැත්තෙන් සිටිනවාය. ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු පැගිරි ගැටවු ගැටිස්සියනුත් අවවාද අනුසනා ඇතුලත් පොස්ටු දානවා රොටියා දැක ඇති බැවින් රොටියාගේ පණ්ඩිත කම සියල්ලෝම ඉවසා වදාරත්වා!

උසස් පෙළ යනු ඔබේ අනාගතයම නොවේ. එය ඔබ යන දිසාව තීරණය කරන්නක් පමණි

උසස්පෙළ සමත් වී තමුන් බලාපොරොත්තු වූ විශ්වවිද්යා ලය සඳහා තේරෙන මට්ටමට ප්‍රථිපල ගත් ඔබට සුබ පතමි. මීළඟ අවුරුදු කීපයත් නිදහස් අද්යාපනයේ උපරිම ප්‍රථිපල නෙලා ගැනීමට ඔබ වාසනා වන්තය.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව දෙමවුපියන්ගේ දොසාරෝපණ වලට ලක්වෙන ඔබ වාසනාවන්තය. ඔබ ගැන, ඔබේ අනාගතය ගැන ඉතාමත් වදවෙන, ඔබට කෙසේ හෝ උසස්ම අද්යාපනයක් ලබාදීමට සිහින දකින මවුපිය දෙපලක් ඔබට ඇත. මවුපියන් ලෝකය ගොඩ නගන්නේ දරුවන් මතය. ඔවුන් බනින්නේ ඔබට ආදරය කරන නිසාය.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව, දෙවන හෝ තෙවන උත්සාහය ගැනීමට අදිටන් කර සිටින ඔබ වාසනාවන්තය. ඔබේ සිත තුල උත්සාහය හා අදිෂ්ටනය තිබේ. ඔබට කල නොහැක්කක් නැත.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව, ඊළඟ උත්සාහය සිදු නොකොට, ඔබට අවශ්‍ය වෙන මාවතක් කෙරෙහි යොමු වූ ඔබ වාසනාවන්තය. ඔබට නිදහස් අදහස් ඇති මව්පිය දෙපලක් සිටිති. ඔබ ඉතාමත් නිර්බිත තීරණයක් ගෙන ඇත. ඔබේ අනාගතය ඔබේ කැපවීම මත ගොඩනගා ගත හැකිය

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිවූ ඔබව රොටියාට තේරුම් ගත හැක. අවුරුදු කීපයකට පෙර රොටියාද එම ඉරණමට මුහුණ දුන් කෙනෙකු වන නිසාය. නමුත් කැපකිරීම සහ අවශ්ය තීරණ අවශ්යට වෙලාවට ගැනීම නිසා රොටියාට රොටියා බලාපොරොත්තු වූ තැනට යන්නට හැකිවුනාය. රොටියාට රොටියා ගැනම ආත්ම වර්ණනාවක් ලියා පළකර ගැනීමට උවමනා නැත. මිනිස්සුන්ට හරියන හා වරදින තැන් ඇත. මා මේ කියන්නේ ගෑණු ළමුන් හා පිරිමි ළමුන් යන දෙගොල්ලන්ටමය. කවම කවදාවත් තමුන්ගේ ජීවිතය වෙනත් කෙනෙකු මත යැපීමට ඉඩ හරින්න එපාය. තමුන්ගේ දෙමවුපියගෙන් උවත් යැපෙන්න පුළුවන් ප්‍රමාණයක් ඇත.අවුරුදු දහනමයක්, විස්සක් කියන්නේ ඔබට ඔබ ගැන තීරණයක් ගත හැකි වයසකි. ඔබේ අනාගතය ගැන ඔබම තීරණය කරන්න. දන්නා කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තාට කමක් නැත. නමුත් අන්තිමේදී ගන්නා තීරණය ගැන වගකීම ඔබ සතුය
.
මවුපියන් කියපු පලියට බයෝ කර, මෙඩිකල් කොලේජ් ගොස් දොස්තර කෙනෙක් වී, අවුරුදු තිස්පහේදී ලෙඩෙකුට වැරදි බෙහෙතක් දී ලෙඩා මැරුණු පසු, “මම දොස්තර කෙනෙක් උනේ කැමැත්තෙන් නෙමෙයි, අම්මලා කියපු නිසා, අම්මලා තමයි මාව මෙතෙන්නට ඇදලා දැම්මේ “යි කීම, අමු කුහක කතාවකි. ඔබ ගන්නා තීරණයේ ප්‍රතිවිපාක කිසිම දවසක කාගෙවත් පිටට දාන්න එපාය. කවුරුත් කී පලියට ඔබේ අනාගතයේ වැදගත්ම සාදකය හෙවත්,තව අවුරුදු පහකින් හෝ හයකින් ඔබ ඉන්නේ කොතැනද යන්න තීරණය කළේ යයි කීම පල් මෝඩ කතාවකි.

ඉතාමත් සැපපහසු දිවියක් ගෙවන ඔබේ ඉංජිනේරු සහෝදරයා, ඔබට ගණිත විෂය දාරාව තෝරාගැනීමට උපදෙස් දෙන්නේ ඔහු එහි ප්‍රතිවිපාක දන්නා නිසාය. ගණිතයෙන් අසමත් වූ කල, “මම කරන්න හිටියේ ආට්ස්, අයියා තමා මැත්ස් කරන්න කිව්වේ. මගේ අනාගතය කෑවේ අයියා” යි කීම අතිශය ද්වේශ සහගතය. ගණිතය විෂය ධාරාව තෝරාගත්තේ ඔබය. එහි අතුරු ප්‍රථිපල ඔබ සතුය.

කවමදාවත් අකමැත්තෙන් දෙයක් තෝරාගන්න එපාය. මේ සියලු දෙයිහි අවසාන බලාපොරොත්තුව සතුටින් සිටීමයි. ඔබ ඔබට සතුටින් සිටීමට හැකී මාවතක් තෝරා ගන්න. ඔබට අවශ්‍ය දේ ඔබ ලබා ගන්න.