Saturday, March 1, 2014

මාෂගේ හාදුව

මාෂා නැවතිලා බැලුවා. ඒ නම් ඔහුම තමා. ඒ මුණ ඒ ඇස් දෙක කොහොම අමතක කරන්නද. ඔහුත් බලන් උන්නේ මාෂා දිහා. අවුරුදු පහකට ඉස්සරවෙලා ඔහුගේ දෑසින් මාෂා බලාපොරොත්තු වූ බැල්මකින් මාෂා දිහා ඔහු බලාගෙන උන්නා.
දෙපාරක් නොහිතපු මාෂා පාර පැනල ඔහු ලඟට ගියා. ඉස්සර වගේම හිතුවක්කාර හිත
කොච්චර නම් කාලෙකින්ද, ඔහු මිමිණුවා. ඒ කටහඬ, මාෂා මුලින්ම පෙම් බැන්ද කටහඬ
මාෂා උත්තර දුන්නේ නෑ. උත්තර නැති ප්‍රශ්න කොච්චර නම් තියෙනවද
"බැන්දයි කියල ආරංචි උනා". ආයෙමත්ම ඔහු.
බැන්දද බඳින්න සිද්ද උණාද කියල ආරංචි උනේ නැත්දැයි අහන්නත් හදල මාෂා නිහඬ උනා. අවුරුදු පහකට ඉස්සර මේ ලෙන්ගතු කම තිබ්බ නම් අද තමුනුත් සංතෝසෙන් ඉන්නවා නේදැයි කියල ඇයට අනික් අතට හිතුනා.
ඔහු පන්සිළු. මාෂගේ ප්‍රථම ප්‍රේමය. ඒවගේම අවසාන ප්‍රේමය.
"මම ඔයාට ආදරෙයි" කියල මාෂා පන්සිළුගේ මුණටම කිව්වා, දැන් නෙවෙයි මීට අවුරුදු පහකට කලින්. එවෙලෙහි ඔහුගේ දෑසේ තිබ්බේ තමුන්ගේ හොඳම යාලුවට ආදරේ ප්‍රකාශ කරපු මෝඩ කෙල්ලෙක් දිහා බලන බැල්මක් මිසක් විස්මය නෙවෙයි.
ඔව් ඔහු දැනන් හිටියා මාෂා ඔහුට ආදරේ කරන බව. නමුත් පන්සිළු මාෂට කවදාවත් ආදරේ කරන බවක් පෙනුනේ නෑ. බැරිම තැන මාෂා කෙලින්ම ඔහුට ආදරේ බව කිව්වා. ඒත් ඔහු එකම එක මෝඩ හිනාවකින් මාෂගේ කතාවේ තේරුම කපල දැම්ම.
අන්තිමට මාෂට පන්සිළුව මුණ ගැහුනේ ඔහු කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ ඉන්දැද්දී. ඊට පස්සේ කොච්චර නම් දේවල් උණාද
"මට පරක්කු වෙනවා, යන්න ඕනේ" මුල් වරට මාෂා තමුන්ගේ කටහඬ අවදි කළා
" මට ඔයත් එක්ක කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා"
"දැන් බෑ" මාෂා කිව්වේ හරියට දැන් බැරි උනාට පස්සේ පුළුවන් කියනවා වගේ. ඔහුගේ ඇස් දිලිසුනා.
" එහෙම නම් එන සිකුරාදා, හරියටම උදේ දහයාමාරට, බැරිස්ටා එක ලඟදි"
කසාද බැඳලා අවුරුදු හතරකුත් මාස තුනක් වුනු ගෑණියෙක් සිය සැරයක් හිතල උත්තර දෙන ප්‍රශ්නයට මාෂා තත්පරෙන් ඔලුව වැනුවා. ඊළඟට යන්නම්වත් නොකියා පාර පැනල ටිකක් එහාට වෙන්න නවත්තල තිබුණු නවාරා කැබ් එක ලඟට දිව්වා.

ඩ්‍රයිවින් සිට් එකේ පුරුදු විදියට සෙනුර වාඩි වෙලා හිටියා. කසාද බැඳපු අවුරුදු හතරටම මාෂට කොහේ හරි යන්න උවමනා උනොත් සෙනුර හිටියා. සෙනුර ළඟ රියදුරෙක් සේවය කලත් මාෂව එක්කං යන එන වැඩේ හැමදාම සෙනුරම සිද්දකලා. මාෂා එක දැක්කේ ආත්මාර්ථකාමී පිරිමි ගතිය විදියටයි.
රුපියල් දහයක පැනඩෝල් ගේන්න පැය බාගයක් යනවාදැයි අහන්නේ නැතුව සෙනුර වාහනය පාරට දැම්මා. කොහොමත් මාෂත් සෙනුරත් එක්ක කතා කලොත් ඒ උවමනාම දේකට විතරයි.බැඳපු දවසේ රෑත් මාෂා සෙනුරට කතා කළේ වචන හතරයි. "මට නිදිමතයි මම නිදාගන්නවා".

කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙවත් නැතුව කෙලින්ම අම්මලගෙන්ම අහල ඒ කෙල්ලව බැඳගත්ත, පොඩි කාලේ ඉඳලම අම්මල අඳුරන බිස්නස් කාරයෙක්ගේ පුතෙක් උනු සෙනුරට මාෂා වයිර කළේ මංගල්ලේ තීන්දු වුනු දවසේ ඉඳලමයි. බැරැන්ඩි කටහඬ, මහත ඇඟ මාෂට සෙනුරව තවත් එපා කෙරෙව්වා. මාෂා සෙනුර ලඟදි ගලක් උනා. සෙනුර දෙතොල් ලංකලොත් මාෂා අහක බලාගත්තා. මාෂා පොඩි කාලේ ඉඳලම හාදු පරිස්සම් කළේ තමුන්ගේ ආදරවන්තයට දෙන්නයි. ඒවා සෙනුරට දීල කිළුටු කර ගන්න මාෂට උවමනා උනේ නෑ. මාෂා විවහා ජීවිතේදී ගෘහනියක් විදියට කරන්න ඕනේ දේවල් යුතුකම් සේරම ඒ විසාල ගෙදර ඇතුලේ ඉඳගෙන සිද්ද කලත් සෙනුරට ආදරේ කළේ නම් නෑ

සිකුරාදා වෙනතුරු මාෂා කළේ පන්සිළු එදා මාෂව ප්‍රතික්ෂේප කල වැරදෙන් පන්සිළුව නිදහස් කරන්න හේතු හොයන එකයි. ඒ දවස් වල පන්සිළුට සල්ලිත් නෑ රස්සාවකුත් නෑ. කෙල්ලෙක්ට කොහොම ආදරේ කරන්නද.නමුත් ඕනෙකමක් තිබ්බ නම් මාෂට ආදරෙයි කියල කියන්න පන්සිළුට බාදාවක් තිබ්බේ නැති විත්තිය මාෂා හිතා මතාම අමතක කරලා දැම්ම

තමුන්ට සිකුරාදා උදේ බැරිස්ටා එක ලඟට යන්න ඕනේ කියල මාෂා සෙනුරට කිව්වේ බ්‍රහස්පතින්දා රෑ. සෙනුර වෙනද වගේම මම ගිහින් දාන්නම් කියල කිව්ව විතරයි. ඊට එහාට ප්‍රශ්න ඇහුවත් මාෂා උත්තර නොදෙන බව සෙනුර දැනගෙන හිටියා.

බැරිස්ටා එක ලඟින් බැහැපු මාෂා තමුන් එන්න තව පැය දෙකක් වත් යන බව සෙනුරට කිව්ව. සෙනුර හිස වනල වාහනේ හරෝගෙන යන්න ගියා. හරියටම තව පැය දෙකකින් මෙතනට එන සෙනුර ඊළඟට මාෂා එන තුරු දවසක් හරි බලාගෙන ඉන්න බව මාෂා දැනන් හිටියා.

"නගින්න" පන්සිළුගේ කටහඬින් මාෂාව ගැස්සුනා. ඔහු ඇවිත් හිටියේ අලුත්ම බි එම් ඩබ්ලිව් එකක. රෝද දෙකේ හොන්ඩා මෝට සයිකලයකට කරන්න බැරි බොහොම දේවල් රෝද හතරකට කරන්න පුළුවන් බව මාෂ තේරුම් ගත්තේ බොහොම කාලෙකට ඉස්සර හදවත කිරි ගැහෙන මතකයකුත් එක්කයි
අම්මල දැන් පන්සිළුව දැක්කොත් සෙනුරගෙන් ඩිවෝස් වෙලා මට පන්සිළුව බඳින්න කියයි. මාෂට හිනා ගියා. අනෙක් අතට ඒදවස්වල අම්මලට තමුන් පන්සිළු ගැන කිසිම දෙයක් කියල තිබුනේ නැති විත්තියත් ඔලුවට ආව. කිව්වනම් මාව අපුරුවට බන්දල දෙයි පන්සිළුටම. මාෂට ඉස්ස්රලට වඩා ලොකු හිනාවක් ගියා
"හිනා වේවි ඉන්නේ නැතුව නගින්න" පන්සිළුගේ කටහඬේ තරහවක් නොවුණු නොසන්සුන් ගතියක් තැවරිලා තිබුණා.
මාෂා දොර ඇරගෙන වාහනයට නැග්ගා.
"ඇයි අපි බැරිස්ටා යන්නේ නැද්ද" කියල මාෂා ඇහුවේ නැහැ.
"අපි යන්නේ බැරිස්ට නෙවෙයිද කියල ඔයා අහන්නේ නැත්තේ ඇයි " කියල පන්සිළු ඇහුවෙත් නෑ
කළු විදුරු වාහනේ වේගයෙන් ගල්කිස්ස පැත්තට ඇදිල ගියා.

"මට ඕනේ උනේ ඔයත් එක්ක නිදහසේ කතා කරන්න" පන්සිළු කිව්ව
ඇයි බැරිස්ට එකේදී ඔයාව කවුරු හරි අල්ලලා හිරේ දානවද, මුවෙන් පිට නොකරපු ප්‍රශ්නයක් ඔලුවට අව මාෂට ආයෙමත් තනියම හිනා ගියා.

"මොකද ළමයෝ, වචනයක් වත් කතා නොකර ආපු වෙලේ ඉඳල තනියම හිනා වේවි ඉන්නේ" පන්සිළුගේ ප්‍රශ්නයට උත්තර නොදුන්නු මාෂා ඈතින් පෙනෙන මුද දිහා බැලුව. මුද තිබුනේ පන්සිළුගේ පැත්තේ නිසා මාෂට මුද පසුබිමෙන් පන්සිළුගේ මුණේ පැත්තකුත් පෙනුනා

"කෝ ඉස්සර තිබුණු කතා පෙට්ටිය" පන්සිළු ඒ පාර ඇහුවේ මාෂගේ අත මතින් අතක් තියල

"ඒක නැති උනා, හොයා ගන්න බැරි විදියටම" මාෂා ලේසියට කියල දැම්ම. ඒ අතරේ හිමිහිට පන්සිළුගේ අතට යටවෙලා තිබුණු තමුන්ගේ අත ඇදල ගත්ත. ඉස්සර ඉස්කෝලේ යන කාලේදී මාෂා හිටියේ පන්සිළුගේ කරේ. හැමෝම හිතුවේ දෙන්න යාලුයි කියල.ඒක එහෙම නෙවෙයි කියල දැනන් හිටියේ පන්සිළුම විතරයි

පාර අයිනට වෙන්න මුද පැත්තේ පන්සිළු වාහනේ නතර කළා.

"මං දන්නවා අර තඩියට ඔයා ආදරේ නැති විත්තිය". පන්සිළු කිව්වේ මාෂා බලාපොරොත්තු වෙච්චි දෙය නෙවෙයි. මං ඔයාට ඉස්සර ඉඳලම ආදරේ කළා කියල අහන්න හිටි මාෂගේ හිතේ තිබුණු බලාපොරොත්තුව අවුරුදු පහකට පස්සේ ආයෙමත් සැරයක් බිඳිලා ගියා.

"මං ඔයාට ඕනේ හැමදෙයක්ම, ඔයාගෙන් මග අරුණු හැම දෙයක්ම ඔයාට දෙන්නම් මාෂා බබී". මාෂා ඇස් දෙක ලොකු කරලා පන්සිළු දිහා බැලුව. කෝ මාෂා බලාපොරොත්තු වුනු ආදරේ. අවුරුදු පහක් පුරා මාෂා හීන එකතු කළේ මේ වචන ටිකටද?

පන්සිළු මාෂාට ලංවෙලා උරහිසකට අතක් තිබ්බා. මාෂා ඇස් දෙක පියා ගත්තා. පන්සිළුගේ මුහුණ ටික ටික තමුන්ගේ මුණ අසලට එන බව මාෂට දැනුනා. අවුරුදු පහක් තිස්සේ ආදරෙන් රැකගත්තු මාෂගේ හාදුව පුදින්න තත්පර දෙකක් තියෙද්දී මාෂා අත දිග ඇරලා එකක් ගැහුවා පන්සිළුගේ කම්මුලට. පස්සට වෙලා කම්මුල අල්ලගත්තු පන්සිළු මාෂා දිහා විස්මයෙන් බැලුවා.
" ඒ අවුරුදු පහකට කලින් මට කරපු දේට. මගේ හිත පිස්සු වට්ටලා රවට්ටපු එකට" මාෂා සන්සුන්ව කිව්වා
" ඒත් මං.." පන්සිළුට කතාව ඉවර කරන්න නොතියා මාෂා අත දිග ඇරලා පන්සිළුගේ අනික් කම්මුලටත් ගැහුවා. පන්සිළු ඉංග්‍රීසියෙන් කුණුහරුපයක් කිව්වා
"ඒ අද දවසට" මාෂා වාහනයෙන් බැහැල පාරේ ගිය මීටර් ටැක්සියක් නවත්තගෙන ආපහු බම්බලපිටිය පැත්තට ගියා
මාෂා බැරිස්ටා එක ලඟින් බැහැල ටික වෙලාවකින් සෙනුරගේ නවාර එක ආව.

" ඔයා කැමති තීරණයක් ගන්න" එදා රෑ සෙනුර මාෂට කිව්ව. කසාද බැඳලා අවුරුදු හතරකුත් මාස තුනක් පුරා කිසිම දවසක නොබලපු විදයට මාෂා සෙනුර දිහා බැලුවා. ඊළඟට බිම බලා ගත්තා

"මං දැනන් හිටියා මාෂි පන්සිළු ගැන. ඔයාව බඳින්න අහනකොටත් මං දැනන් හිටියා. මං හිතුවේ ඔය දෙන්න අතරේ තිබ්බේ යාලු කමක් විතරයි කියල. ඒක එහෙම නොවෙන බව දැන ගත්තේ මම ඔයාව බැන්දට පස්සේ. පන්සිළු දැන් තත්වෙක ඉන්නවා. ඔයා කැමති තීරණයක් ගන්න. මම ඔයාව උසාවි ගානේ රස්තියාදු නොකර මගෙන් වෙන්න ඕනේ වැඩ ටික කරලා දෙන්නම්"

මාෂා ආයෙමත් හිස ඔසවල සෙනුර දිහා බලද්දී සෙනුරගේ ඇස් දිලිසෙන බව දැක්කා

"මම අද ගියේ පන්සිළුව හම්බවෙන්න" මාෂා කිව්ව. සෙනුර හිස වැනුවා

" මං දන්නවා මාෂි. මම සඳුදත් පන්සිළුව දැක්කා. ඔයා බැරිස්ට යන්න ඕනෙයි කියද්දී ඔයාගේ ඇස් වල තිබ්බ සංතෝසෙන් මම තේරුම් ගත්තා ඔයා යන්නේ පන්සිළුව හම්බවෙන්න කියල. ඔයා අද පන්සිළුගේ වාහනේට නැග්ගාම මමත් පස්සෙන් ආව. ඔයා තාම පොඩියිනේ. ඕනේ මිනිහෙකුට රවට්ට ගන්න පුළුවන්නේ. නැතුව මම පන්සිළුව අවිස්වාස කළා නෙවෙයි. ඒත් කෝකටත් කියල මාත් වෙහිකල් එක ගල්කිස්සටම යනකන් ෆලෝ කළා. පන්සිළු වැදගත් විදියට පාරේ අයිනේ වාහනේ නවත්තල ඔයත් එක්ක කතා කරපු එක මම හරියට අගේ කරනවා. ත්‍රිවිල් වල එවන්නේ නැතුව ඔයාව ආපහු පන්සිළුම ඇවිල්ලා ඩ්‍රොප් කළා නම් තමා හොඳ. ඒත් මාෂි පන්සිළු හොඳ මනුස්සයෙක්"

මාෂා ගල්ගැහිලා අහගෙන හිටියා. තමුන්ගේ කසාද ගෑනි වෙන මිනිහෙක් එක්ක තමුන්ට හොරෙන් ගමනක් යද්දී, ඒ ගෑනිගේ පරිස්සමට පස්සෙන් යන පිරිමි මේ ලෝකෙ ඉන්නවද කියල මාෂා කල්පනා කරා

"අද වෙහිකල් එක ඇතුලෙදි පන්සිළු මාව කිස් කරන්න හැදුවා. මම උගේ කම්මුල් දෙකම පොඩි කරලා එන්න ආව"

එවර විසාල උනේ සෙනුරගේ ඇස් දෙකයි. "එතකොට.." සෙනුර කතා කරන්න පටන් අරගෙන අතරමග නතර කළා

" පන්සිළු මට ආදරේ කළේ නෑ සෙනුර. පන්සිළුට ඕනේ උනේ මගෙන් ප්‍රයෝජන ගන්න විතරයි. පන්සිළු මට ආදරේ කලත් ඒ මම බලාපොරොත්තු වුනු විදියේ ආදරයක් වෙන්නේ නෑ.මං පන්සිළුට ඉස්තුති කරන්නේ එක දෙයකට විතරයි. ඒ අවුරුදු පහක් පුරාවටව මාව නාස්ති කල හීනෙන් මාව ඇහැරෙව්වට. කොහොම වුනත් ඇත්තම කිව්වොත් මම අද වෙනකන් කවම දාවත් ඔයාට ආදරේ කළේ නෑ සෙනුර. අද  මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තු එක වෙනමම කතාවක්. ඒ පන්සිළුව එපා උනු නිසා නෙවෙයි, ඔයා මට මේ අවුරුදු හතර තිස්සෙම මම හැමදාම බලාපොරොත්තු වුනු විදියට ආදරේ කරලා තියෙනවා කියල තේරුණු නිසයි. ඔයාගේ ආදරේ හරියට වටිනවා සෙනුර. ඒත් මාෂා කියන්නේ ඒ ආදරේ ලබන්න සුදුසු ගෑණියෙක් නෙවෙයි. මාෂා කියන්නේ වෙන මිනිහෙක් එක්ක නිදා නොගත්තත් ඒ මිනිහට එහෙම බලාපොරොත්තුවක් දීල ඒ මිනිහගේ වාහනේට නැග්ග ගෑණියෙක් සෙනුර. ඔයා කැමති තීරණයක් ගන්න"
මාෂා මුළු ජීවිත කාලේ පුරාවටම කතා කලාට වඩා වැඩි වචන ගණනක් අද සෙනුරට කතා කළා

" ඔයා මට ආදරේ නොකලත් මම හැමදාම ඔයාට ආදරේ කළා මාෂි.ඔයාට ඇතියි කියල හිතෙනකන් මාත් එක්ක ඉන්න පුළුවන්"

මාෂගේ ඇස් වලට කඳුළු ආව. ජීවිතේදී තමුන් කිසිම දවසක සෙනුරව වැළඳ ගනියි කියල නොහිතපු මාෂා සෙනුරව තදින්ම වැළඳ ගත්තා. සෙනුරගේ හදගැස්ම දැනෙනකම්ම මාෂා සෙනුරව තදින් වැළඳ ගත්තා


 ඊළඟට ජිවිත කාලෙම පරිස්සම් කල මාෂගේ හාදුව....

මේ ජීවිතේදී අපි තෝරාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනාවම නෙවෙයි. අපිට ආදරේ කරන කෙනෙක්වයි...අපිට දැනෙන විදියට අපිට ආදරේ කරන කෙනෙක්වයි

                                                                     - රොටියාගේ ගෑණු ළමයා




14 comments:

  1. sira kathawa ban.eth api duwannema api adare karana wun passe :-(

    ReplyDelete
  2. Ela kathawa machan. Ubada liwwe?

    ReplyDelete
    Replies
    1. මං නැතුව කවුරු ලියන්නද බං

      Delete
  3. Replies
    1. තැන්ක්ස් දික්පිටියා.

      Delete
  4. Replies
    1. තැන්ක්ස් අ ලොට් :) :)

      Delete
  5. aththa.... godak aya karanne thaman adaraya karana kena hoyan ynawa misak thamanta adare krana kenawa hoyaganna eka newei....

    ReplyDelete
  6. අනේ මං ට්‍රයි කොරන ගෑනිලමයටත් ඕක තේරුනා නම්....... :3

    ReplyDelete