Sunday, April 20, 2014

එකෝමත් එක දවසක - 17

සෑහෙන වෙලාවකට පසුව කතා කලේ ලපයාමය
"තොට පිස්සුද යකෝ . මොකද උඹට වෙලා තියෙන්නේ ?"

"ඉන්න හැටි රා බීපු උගුඩුවා වගේ" ඒ කතා කලේ ගෙම්බාය . ඒ උගේ හැටිය . ඕනෑම බැරෑරුම් අවස්තාවක් මැදට පැන , ඒ අවස්ථාවට කිසිසෙත් අදාළ නැති උපමා සහ උපමේයයන් දොඩන ඌ ඊළඟට අපේ ඇනුම් බැනුම් හමුවේ කරබාගෙන සිටියි .

"මොකද යකෝ උඹ මේ උඹට පොල්ල තියෙන කෙල්ල පස්සෙන්ම ගිහින් විහින් නැහෙන්න හදන්නේ. උඹ තේරුම් ගනින් එකී උඹට කවදාවත් කැමති වෙන්නේ නෑ . උඹ හදන්නේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පිටින් දාල උඹේ ජිවිතේ නාස්ති කරගන්න. කෙල්ලට මම බනින්නේ නෑ යකෝ . මන් බනින්නේ තොට. තෝ වගේ ගැරඬි යෙක් මගේ යාලුවෙක් උන එක ගැන මට ලැජ්ජයි යකෝ . කෙල්ලන්ට මැරෙන්න කලින් අම්මට ණය ගෙවල හිටු " ලපයාගේ බැනිල්ල ඉවරයක් නොවෙන තැන මම සෙමෙන් කටහඬ අවදි කලෙමි

"එයා මන් දිහා බලන් ඉන්නවා බන්. මට හිතෙන්නේ එයා මට කැමතියි "

නැවත වරක් ගුටි මුරේ. කවුරු ගහනවද මොකෙන් ගහනවදැයි නිනව් නැති වූ මම දෑතින් ඔලුව බදාගෙන ඔලුව රැක ගතිමි .

"ඔව් අල්ලලා බලපන් තොට අං එනවද කියල " යයි අසමින් මගේ හිසට අන්තිමට ඇන්නේ කරුනේ බව මම අඳුනාගත්තේ උගේ කටහඩි නි .

පහර නවතා මිනිත්තුවකින් පමණ පසු මම නැවත ඔලුව එසවීමි

"යකෝ " යයි කතාව පටන් ගත ලපයා මට ඈ ගැන අලගිය මුලගිය ඉතිහාසය නිර්ලෝබිව නැවත මතක් කොට දුන්නේය . ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව ...
"ඔන්න බන් උඹ ඒකිව බැන්දොත් මම නම් වෙඩිමට එන්නේ නෑ" එවරත් කට ඇරියේ ගෙම්බාය . ඒ පාර නම් ඉස්ගෙඩියාගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය .

"යකෝ යයි පටන් අරගෙන සිංහල බාසාවේ උත්තුංග පදයකින් ගෙම්බා ඇමතු ඉස්ගෙඩියා, ප්‍රශ්නය වන්නේ මගේ වෙඩිමට උගේ පැමිණීම නොව, මා බඳින්නේ කව්ද යන්නත් නොව , පෙනී පෙනී කොල්ලන් නටවන කෙල්ලෙක්ගේ පස්සෙන් වහවැටී සිටින මාව එයින් මුදවා ගැනීම බව ඌ ට තේරුම් කල දුන්නාය . ඊළඟට ඌ මගේ දිව්‍යාංගනාව ගැන මා නොදන්නා බොහෝ දේ පැවසු අතර ඒවා මම මෙහි සදහන් නොකරන්නේ මා ගෑනු ළමයින්ට ඉතා ගරු කරන නිසාය.

ගෑනු ළමයින් නැතිව පිරිමි අපට පැවැත්මක් නැති බව ඇත්තය. අපේ ජිවිත වටා පහන් දල්වා අපිව ආලෝකමත් කරන්නේ ඔවුන්ය. ඒත් ගෑනු ළමයින්ට එක දෙයක් කියන්න ඕනෑය . සමහර ගෑනු ළමයින් හිතා ඉන්නේ ඔවුන් කරන කියන දේවල් කොල්ලන් වූ අපිට ආරංචි වෙන්නේ නෑ කියාය . ඔවුන් ලොවට රහසේ දහ අට පාලිය නටා ඊළඟට පත්තිනි අම්මලා වගේ ඉන්නා විට ඔක්කොම හරි කියාය . මෙය බොහොම ලාමක සිතුවිල්ලකි . කොල්ලන් වූ අප ලිඳ ළඟ , ඇළ ළඟ ඕපාදුප කතාවට නොයන එක ඇත්තය . ඒත් බොහොමයක් කොල්ලන් හැමවිටම ඇස් කන් ඇරගෙන සිටින නිසාද , බුද්දි හීන මා වැනි කොල්ලන්ට අඩුම ගානේ බුද්දිය ඇති එක යාලුවෙක් හෝ ඉන්නා නිසාද, කොල්ලන් කොල්ලන් අතර ඉරිසියාව කුහක කම ඉතා විරල නිසාද, බොහෝ විට රටේ තොටේ වෙන දේවල් ගැන හැම කොල්ලෙක්ම පාහේ දැනගෙන ඉඳිති .
ඊළඟට ලපයා කියූ දෙය ගලේ කෙටුවාක් මෙන් ජීවිතය පුරා මගේ හිතේ රැඳී පවතී . මෙය කියවන කොල්ලන් සියලුම දෙනා වෙනුවෙන් ඒ කතාව එලෙසින්ම මෙසේය

"හරි අපි හිතමු ඔය කෙල්ල හොඳටම හොඳ කෙල්ලෙක් කියල . ගති ගුණ අතින් බැලුවත් , රූපේ අතින් බැලුවත් කිසිම වැරද්දක් නෑ කියල හිතමු ..

("ඔව් පබාවතී වගේ කියල හිතමු " යයි කියමින් එවරත් ගෙම්බා පැන්නේය. ලපයා ඇතුළු සියල්ලෝ ඌ දෙස හෙළුවේ කොපමණ මිනීමරු බැල්මක්දැයි කියනවා නම් එයින් පසු ඌ කටක් හෙල්ලුවේ නැත )

"ඔය කෙල්ල වගේ කිසිම කෙල්ලෙක් උඹ දැකල නෑ කියමු . කවදාවත් උඹට ඒවගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නෑ කියල කියමු . එත් බන් , කෙල්ලෙක් කැමති නැත්තන් අපිට ඒ කැමැත්ත බලෙන් ගන්න බෑ මචන්. බලෙන් ආදරේ කරවන්න බෑ. උඹ ආදරේ කරන්න ඕනේ උඹට ආදරේ කෙල්ලෙක්ට . ප්‍රොස් කෙනෙක් උනත් , ලස්සන නැති උනත් කවුරු හරි කෙල්ලෙක් ඇත්තටම උඹට ආදරේ නම් උඹ ආදරේ කරපන්. උඹට පස්සෙන් යන්නම ඕනේ නම් අං ගිලපු කෙල්ලෙක්ගෙ නෙවෙයි , හොඳ , වෙන කොල්ලෝ නැති කෙල්ලෙක්ගෙ පස්සෙන් යමන්. කෙල්ල බෑ කිව්වොත් චාටර් වෙන්න එපා. ආපහු හැරිලා වරෙන්. පස්සෙන් යන එකත් ලස්සනට කරපන් බන්. හිඟා කන්න එපා ආදරේ. වැදගත් විදියට අහපන්. උඹ ඔය කරන වැඩේ හින්ද කල්පනා කරලා බලපන් උඹට හොඳ කෙල්ලෝ කියක් නම් මග ඇරිලද කියල .."

"ජිවිතේ එක දෙයක් හින්ද ඔක්කොම මග ඇර ගන්න එපා බන්. මට එයාවම ඕනේ කියල හිතෙන එක ආදරේ නෙවෙයි හිතුවක්කාරකම, කෙනෙක් හින්ද ජිවිතේ විනාස වෙන්න දෙනවනම් එතන තියෙන්නේ ආත්මාර්ත කාමී කම. උඹව අපිට ඕනේ බන් . උඹව උඹේ අම්ම තාත්තට ඕනේ. උඹව ඕනේ ගෑනු ළමයා මේ කොහේ හරි ඇති බන් . එතකන් ඉවසගෙන හිටපන්" එවර කතා කලේ රොබිනාය.

"උඹ පිලිගනින්. උඹ ඔය විහින් නැහෙන්න හදන්නේ උඹට ඒ කෙල්ල යාලු කරගන්න බැරි උන එක මදි කමක් හින්දා . ඔච්චර හිතුවක්කාර වෙන්න එපා බන්. උඹට වෙලා තියෙන්නේ වැඩක් නැති කම . දැන් බලපන් මගේ වියදම හොයා ගන්න මම ටියුෂන් දෙනවා . මෙතන ඉන්න හැම එකාම මොකක් හරි කරනවා සල්ලි හොයා ගන්න. උඹ ගෙදරින් එවන සල්ලි වලින් පිනට කකා බිබී ඉන්නවා." එවර නම් මගේ හිත දැදුරු විය. ලපයා කියූ වචනයක්වත් බොරු නොවේය . අපේ මව්පියන් සල්ලිකාරයන් නොවුනත් බැරි අමාරුවෙන් මගේ මාසයේ වියදම දෙන නිසා මෙතෙක් මා කලේ එයින් කකා බිබී කෙල්ල පසුපස වහවැටී සිටීමය. මට මා ගැනම තදබල අප්පිරියාවක් දැනුනි...



විහින් නැහෙන්න ගිය කොල්ලෙක්ගේ මොලේ , කැම්පස් කොල්ලන් හය දෙනෙකු එකතු වී පාදා දුන්නේ ඔන්න ඔහොමය. එදා ලපයා ගියේ මට අවවාද කර විතරක් නෙවේය . කාගෙන්දෝ ලැබුණු ව්‍යාපෘති පැවරුමක් කිරීම මට බාර දිය . ගෙවීම දහදාහකි . ඊළඟ සතියේ සිට පුසා ඌ තමුන්ගේ වියදම හොයා ගැනීම පිණිස වැඩකළ ජනප්‍රිය අවන්හලේ මටද රැකියාව සොයා දුන්නාය. ඉතින් දේශන ඉවර වූ වහාම ඌ ත් සමග මම වැඩ කිරීම පිණිස යන්නට පුරුදු උනෙමි . මගේ වියදම මමම සොයා ගතිමි . මට දැන් මුදල් එවීම අනවශ්‍ය බව මම අම්මාට කිවේ ඊළඟ සතියේය. ඒ සල්ලි වලින් මල්ලිගේ ක්ලාස් වලට දෙන්න . මම දැන් පොඩි රස්සාවක් කරනවා . උවමනා උනොත් මම ඉල්ලන්නම් .

අම්මාගේ දෙනෙත නොහැලුණු කඳුලින් දීප්තිමත් වුවාය .....


Wednesday, April 16, 2014

මටම පෙම්කල..

ඇයි? මම ඇහුවා
තාරුකා ඇස් දිලිසුනා. තව ටිකකින් අහස හොඳටෝම අඬන බව මට තේරුනා. අහස ඉකිගහද්දී ඔයත් ඉකිගැහුවා. මගේ ඇස් ඇඩුවේ නැති උනාට හිත හයියෙන් ඇඩුවා. පොඩි කාලේ ඉඳලම මගේ හැටි. වෙන කෙනෙක්ට රිදෙනවා බලන් ඉන්න මට ඊට වඩා රිදෙනවා...

ඇයි? මම ඇහුවා
මට බෑ ඉවසන්න. ඔයා කිව්වා. මම ඔලුව වැනුවා
දුක් විඳින්න එපා ඔහොම මම කිව්වා.
මම එයාට නෙවෙයි ඔයාටයි ආදරේ. ඔයාගේ ඇස් කිව්වා...

ඇයි? මම ඇහුවා
යන්නම ගියා එයා.ඔයා කිව්වා.
ඇයි මට කැමතියි කියන්නේ නැත්තේ? ඔයාගේ ඇස් මගෙන් ඇහුවා
ඇයි මම එයාව මගේ කර ගන්නේ නැත්තේ. මගේ හිත මගෙන්ම ඇහුවා..

ඇයි? මම ඇහුවා
එපා බලන් ඉන්න ඔහොම මගේ දිහා. ඔයා කිව්වා
එහෙනං කොහොමද බලන් ඉන්න ඕනේ. මම හිතත් එක්ක හුරතල් උනා
ඇයි ඔයා කියන්න යන දේ මට කියන්නේ නැත්තේ.. ඔයා ඇහුවා
ඒක කියන්න නම් විශ්වයම නවතින්න ඕනේ තත්පරයකට.. මම කිව්වා

ඇයි? මම ඇහුවා
කොහොම ණය ගෙවන්නද මම ? ඔයා මට කිව්වා
ඇයි? මම ඇහුවා
ඔයා නැත්තන් එක්කෝ මට පිස්සු හැදිලා. නැත්තන් මම සුයිසයිඩ් කරගෙන
මං හිනා උනා
මගේ ජිවිතෙන්ම ණයයි ඔයාට. මට ණය ගෙවන්න දෙනවද ඔයා..
ඒ මොහොතේ විශ්වයම නැවතුනා.. ඔව්. විශ්වයම තත්පරයකට නැවතුනා

ඇයි? මම ඇහුවා
නෑ නිකන්.. ඔයා කිව්වා
ඕනෙද අරගෙන. මම ඔයාගේ ඇස් දෙක නැවතුන ටෙඩි බෙයාර් දිහා බලල ඇහුවා
ඔව්. ඔයා කිව්වේ ඇස් වලින්.

ඇයි? මම ඇහුවා
අරන් දෙනවද මට. ඔයා ඇහුවේ මගෙන්
දියමන්ති දෙන්න නම් පැටියෝ මට දැන්ම බෑ
ඔයාගේ ඇස් දුකෙන් බර වුනා.

ඇයි? මම ඇහුවා
ඇයි? ඔයා ඇහුවේ මාත් එක්ක තරහෙන්
ඇයි? ආයෙමත් මම ඇහුවා
ඔයත් එක්ක යාලු උණ පලියට දියමන්තිත් එක්ක තරහ වෙන්න මට බෑ. ඔයා වචන වලින් මට දමල ගැහුවා
ඔයාගේ බෙල්ල වටේ තිබුණ දියමන්ති මාලේ මට ඔච්චමට හිනා උනා

ඇයි? මම ඇහුවා
ඇයි? මම ඇහුවා මගෙන්ම
ඇයි? මම ඇහුවා ආයෙමත් මගේ හිතෙන්
මගේ දුප්පත් ආදරේ අත ඇරලා දියමන්ති, කිරිගරුඬ, දිලිසෙන ආදරේ හොයන ගිය ඔයාව මට තේරුම් ගත්තැකි.
ඒත්.. ඒත් ඔයාට ආදරේ කරන්න පටන් ගනිපු, මගේ අහිංසක හිත තේරුම් ගන්න මට තාම බෑ

නිදාන කතාව : දැනෙන්න ලියපු ලියමනක් අද උදේ මන් ලඟට පියාඹල ඇවිත්, මුණු පොතේ වහල තිබ්බා. ලියමන පහල තියෙනවා. අයිතිකාරයා Adeesha - https://www.facebook.com/adeeshajayanath.premadasa ... ඔෆිස් එකේ ඉන්න ගමන්ම හදිස්සියෙන්ම මේ ලිපිය ලියල දාන්නේ, පහල ලිපිය එච්චරටම හිතට වැදුණු නිසයි

මටම පෙම්කළ - කඳුළු බින්දුව...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. සංගීත ඛණ්ඩයකට පුළුවන් වචන දහසකට විස්තරකරන්න බැරි හැඟීම් ඒක මොහොතකින් විස්තර කරන්න. ගීතය කියන්නෙ ඒ සංගීතයට ගැලපෙන විදිහට යම් භාෂාවකින් අදහස් එකතුකරහම ලැබෙන ප්රරතිපලයට. ගීතය විශ්වභාෂාවක්ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි සංගීතයට පුළුවන් සීමාවට වඩා එහාට ගිය සියුම් හැඟීම් විස්තර කරන්න ගීතයකට පුළුවන්. එහෙම ගීත වලට සාර්ථක නිර්මාණයන් කියල කියන්න පුළුවන්.
ආදර ගීත, විරහ ගීත, භක්ති ගීත, දේශාභිමානී ගීත, හාස්යසඋත්පාදක ගීත ආදී එකී මෙකී නොකී ගීත වර්ග ගණනාවක් තියනව. ඒ අතරින් විරහ ගීත ප්ර මාණයෙන් වැඩී කියලයි මට හිතෙන්නෙ. සමහරවිට කවදාවත් ආදරය නොකරපු කෙනෙක්ට උනත් විරහ වේදනාව දනවන්න සමහර විරහ ගීත වලට පුළුවන්කම තියනව.

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව.......

සමනළිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පලවා හැරිය දා මං
උන්හිටිය තැන අහිමි වීමෙන් \\
මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බින්දුව..........

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගෙ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ ඉඳ ජීවතුන් මැද \\
මවෙත පෙම්බැඳ පැමිණි සකිසඳ
කඳුළු බින්දුව.....

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

කවදාවත් ආදරය නොකරපු මම, කවදාවත් ආදරය කරන්න නොහිතපු මම මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ආදරයෙන් පැරදිච්ච කෙල්ලෙක් කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව භූමිකම්පාවක් දක්වා දුර ගිහින්, අන්තිමට ඒ භූමිකම්පාව හින්ද මුළු ජීවිතයම කඩාගෙන වැටුණු කොල්ලෙක් ගැන කියවෙන මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ඒ ලයාන්විත හඬ, පද ගැළපීම වගේම වේදනාබර සංගීතය කවදාවත් විරහවක් විඳල නැති මගෙ හදවතට විරහ වේදනාව ඇතුල්කරන්න සමත් උනා.
ඒත් මම කවදාවත් හිතුවේ නෑ කවමදාවත් හිතුවේ නෑ මේ සිදුවීමම මගෙ ජීවිතයෙත් සිදුවෙයි කියල.
මම කඳුළු පිසදාපු සමනළිය අද මගේ දෙනෙතට කඳුළු දීල යන්න ගිහින් යන්නම යන්න ගිහින්.


Sunday, April 6, 2014

එකෝමත් එක දවසක - 16

මේ කතාවේ මේ කොටස ලියන්නට තිබුනේ මීට සතියකට හෝ දෙකකට ඉහතදී බව දනිමි. ඒත් මාත් නොදන්නා මොකද්දෝ හේතුවක් නිසා ලිවිම දවසින් දවසම කල් ගියේය. සමහර විටෙක ඉතුරු කොටස් දෙක තුන මා ජිවිතයේ මතක් කරන්නට අකමැතිම කාල වකවානුව වන නිසා විය හැක

මා මාස කිහිපයක්, මගේ දෙව්දුව සමග ආකාසේ සිහින මාලිගා හැදු අයුරුත්, හදිසියේම ඈ මාව එයින් බිමට දැමු ආකාරයත් පසුගිය කොටසේ සදහන් කලෙමි. කතාව කොට කර ලියන්නට වාක්‍ය පේලි දෙක තුනකින් අදාළ කතාව අවසන් කිරීම, කියවන ඔබට කරන අසාධාරණයකි යයි මටම පසුව සිතුනේය. කතන්දරේ මෙහෙමය

යාලුවන්ගේ ඇනුම් බැනුම් මැද්දේ මම මගේ දිව්‍යාංගනාව හොඳම යෙහෙළිය කර ගත්තෙමි. ඈටත් මං නැතුව කිසිම දෙයක් කර ගන්නට බැරි විය. නෝට් ෆොටෝ කොපි ගහන්න, යාලුවන්ගෙන් ඉල්ලා දෙන්න, පාඩම් කරන්න, රෑ උනාම ගිහින් ඇරලවන්න ඈට මතක් උනේ මාවය. මමත් සියලුම වැඩවලට පැනගෙන සහබාගි උනෙමි. මගේ ගෑණු ළමයා ලෙස සලකමින් මම ඈ ගැන සොයා බැලුවෙමි. මගේ ජීවිතය ඈම විය. කොටින්ම, එකපිට සති අන්ත දෙක තුනක්ම ගෙදර නොගිහින් බෝඩිමේම නැවතුනේ ඈ නිසාය. අවංකවම කිව්වොත් අද මට හිතෙන්නේ ඇගේ වැරද්දක් නැති බවය. මොකද, කිසියම් කොල්ලෙකු ගොන් බුරුවෙකු සේ උඩ පැනගෙන ආවඩාගෙන යනවිට ගෑණු ළමයින් සමහරු උගෙන් හොඳ හැටි ප්‍රයෝජන ගනිති. එතන වැරැද්ද කෙල්ලගේ නොව කොල්ලාගේය.

මෙසේ මාස හතක් අටක් ගතවෙන්නට ඇත. ටික ටික ඈ මාව මගහරින ගතියක් මට දැනුනි. රෑ වූ විට ගිහින් ඇරලවීමට වෙනදා මෙන් මට කතා නොකලාය. ඇසු විට කියුවේ, දිගින් දිගටම එසේ කරන විට ඈ නැවතී සිටින ගෙදර උදවියට උනත් වැරදි විදියට ආරංචි වන්නට පුළුවන් නිසා නොඑන එක හොඳ බවය. අනික දැන් මට පාර පුරුදුයි නේ

එක පාරක් ගිනි පෙනෙල්ලෙන් බැට කා සිටි මට, එන පොට හොඳ නැති බව ටික ටික තේරුණේය. ඈට සීනියර් කොලු පරානයක්, ඈ ගැන උනන්දු වී සිටිය බවත් දැන සිටි මා, ඔක්කොම සිද්දීන් අනුලෝම ප්‍රතිලෝමව සමාලෝචනය කරන්නට යනවිට, කැම්පස් එකේ පාළු මුල්ලක සිටි ප්‍රස්තුත විෂයන් දෙක අතටම මාට්ටු උනාය. ඇසු විට කිව්වේ නොතේරෙන පාඩමක් අසාගත් බවය. මගෙන් අසා දැනගත්තා නම් නරකදැයි ඇසු විටය ඈ මගේ අද්යාපන තත්වය ගැන මාත් නොදන්නා දේවල් ඇදබාන්න පටන් ගත්තේ.

මා කරන පාටමාලවට තේරී පත්වන්නේ, අඩුම ලකුණු ලැබූ සිසුන් වන බවත්, ඇගේ පාටමාලාවේ ඉන්නේ ලංකාවේ හොඳම මොළ ටික බවත්, හිරිකිතයක් නැතුව කියා දැමු ඈ පසුව කියූ කතාවට සමාව ඉල්ලුවද, ඒ වන විටත් මා තුල සිටි හිරිමල්, ලජ්ජාකාර යව්වනයා මියගොස් තිබිණි. මට මාව නැතිවී තිබිණි. කොටින්ම මා ලැජ්ජාවක්, බියක් නොහදුනන සල්ලාලයෙකුගේ තත්වයට වැටි තිබුණි. ඉතින් එදා සිට මමද රොටියෙකු උනෙමි..

ආචාරශීලි, ගුණගරුක යහපත් කම් සියල්ලක්ම අතීතයට එක්විය. හැම එකටම බොන මදාවි කොල්ලන් රැලකට සෙට් වූ මම, නැතිවී ගිය ආත්ම ගවුරවය නැවත ලබා ගැනීමට කරටි කැඩෙනකන් බිව්වෙමි. වෙරි පිට, වෙනත් සිම් පත් බාවිතා කරමින් දිව්යාන්ගනවාට එක එක පණිවුඩ යැව්වෙමි. කැම්පස් කෙල්ලන්ට නුවමනා විහිලු කලෙමි. කැම්පස් එක තුල චාටර් ලේබලය ගසා ගත්තෙමි.

පෙර පිනකට මොළය ටිකක් තිබූ නිසා, එකදු විබාගයක්වත් අසමත් වන්නේ නැතුව ගොඩ දා ගත් බව නම් සැබෑය. ඒත් කැම්පස් ජීවිතය අවුරුදු දෙකක් තිස්සේ මම අනාගනිමින් සිටියෙමි. මගේ දිව්‍යාංගනා තොමෝ කිසි වෙනසක් නැතුව මා හා කතා කළාය. ඈ හොරෙන් මා දෙස බලා ඉන්නා අයුරු කීප විටක්ම මගේ දෑසට හසුවුණු විට, මගේ හිත යලි යලිත් කිවේ ඈ මට කැමති බවය. සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය.

ඉබාගාතේ ගිය මගේ කැම්පස් ජීවිතය ගැන ලපයාට ආරංචි වුයේ මෙන්න මේ අතරය. ගාල කඩා ගත් අස්පයෙකු මෙන් හදිසියේ ලපයා අපේ කැම්පස් එක තුලට කඩා වදින විට මා සිටියේ කුලුනකට මුවාවී, ඈ දෙස බලාගෙන ඈට පැණි හලමිනි. ඈට මාව පෙන්නේ නැත.

මම "සූ සූ සූ" ගාමී. ඈ නෙතු කරකවා වටපිට බලයි. කොණ්ඩය, සාය හදයි. කිසිවෙකු පේන්නට නැති බැවින් මනමාල හිනා පාමින් කෝමල ලෙස නැවත පොතට එබෙයි.විනාඩි දෙකකින් පමණ පසුව මම නැවත "සූ සූ" ගාමි..

ලපයා පසෙක සිට මේ කෝලම දෙස සෑහෙන වෙලාවක් බලා හිදින්නට ඇත. ඌට ඔත්තුව දී ඇත්තේ ගෙම්බාය. මගේ සුබ සිද්දිය හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කල ඉස් ගෙඩියා, රෝබිනා, පුසා හා කරුණේ අදාළ අවස්ථාවට අරාදනා නොලබාම සහබාගි වී ඇත. සෑහෙන වෙලාවකට පසුව ලපයාව දුටු මම ඇත්තටම තිගැස්සුනෙමි. ලපයා මුකුත්ම කිවේ නැත. ඌ මගේ දෑස් දෙස බලා උන්නා පමණි. මම හැරුනෙමි. මා පසු පසින් ඌ ආවේය. ඌ පසින් ගෙම්බා ඇතුළු පිරිවර පැමිණියහ. බෝඩිමටම යන තුරු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැත.

බෝඩිමට ගොස් ආපිට හැරුනේ ලපයා සමග කතා කරන්නටය. ඒත් ඒසමගම මට ඇසුනේ 'චටාස්' ගා සද්දයකී. වම් කම්මුලෙන් දුම් පිටවෙන්නේ ඇයි දැයි සිතන විටම මෙන්න දකුණු කම්මුලටත් එවැනිම පාරක්.. කම්මුල් දෙකම අල්ලා ගත් විට උරහිසට, පිටට, තට්ටමට සහ කකුලට. බිම වැටුණු විට විනාඩි පහක් පමණ පයින් පාරවල්..

ලපයා ඇතුළු සියලුම දෙනා එකාවන්ව එදා මට පහර දුන්නේ, මා එවැනි පහර කෑමකට සුදුසු නිසාය. අවසානයේ බිම වැටි සිටින මා නැගිටවාගත් ලපයා මා ඇඳෙන් වාඩි කෙරෙව්වේය..