Saturday, May 17, 2014

එකෝමත් එක දවසක - දවසක් දා -01

මා හිතා උන්නේ එකෝමත් එක දවසක කතාව ඉවර කරන්නට නොවේය. නමුත් අන්තිම කොටස කියවූ බොහෝ දෙනා කතාව ඉවර බව හිතා ගත් බව මට තේරුම් ගියේය. එය ඒ අල්ලේ පනල්ලේ නිවැරදි කරන්නට නොගියේ ඒ දිනවල මහා රාජකාරි ගොඩකට මැදිවී උන් නිසාය. දැනුත් වැඩි වෙනසක් නැති උනාට, ලියන්නට හදා ගත් හිත ඉල්ලන්නේම ලියන්න කියාය. එනිසා කතාව නැවතූ තැනින් පටන් ගනිමි.

රොටියාගේ බ්ලොග් පිටුවට එන ඔබ මගේ සඳ ඔබ නමින් පළවූ පොස්ටු හතරක් පහක් දකින්නට ඇත. එය රොටියාගේ ගෑණු ළමයා ලියූ කතාවයි. වෙන වචන වලින් කියනවානම්, රොටියාගේ ගෑණු ළමයාට රොටියා ගැන හිතක් පහල වුනු දා ඉඳ කතාන්දරයයි.. රොටියාගේ පැත්තෙන් ඒ කතාන්දරය මෙලෙස ලියාගෙන යමි..

අවුරුදු හයක් තිස්සේ මා නාස්ති කල හීනයෙන් අවදි වුනු පසු මා අමුතුම වුනු බව ඇත්තය. ඒ කියන්නේ මම මගේ ජීවිතය ගැන වෙනදාට වඩා බැරෑරුම් ලෙස හිතු බව හා මට මා ගැනම සන්තෝස විය හැකි ලෙස මගේ ජීවිතය වෙනස් කර ගත් බවය. නමුත් මාත් නොදන්නා මොකද්දෝ පාළුවක් මගේ හතර වටේ වෙලා ගෙන උන්නේය. හෝර්මෝන වැඩ කරන කොල්ලෙකුගේ හිතේ, ජිවිතයේ මල් සමයේදී ඇතිවන මේ මල පාළුව ගැන කියවන ඔබට අමුතුවෙන් විස්තර කර දීමට අනවශ්‍ය යයි සිතමි. කෙසේ හෝ පාළුව මකා ගැනීම පිණිස අපි හැමෝම වාගේ යන බුකියට, එනම් මුහුණු බුකියට මමද ඇබ්බැහි වීමි

දන්නා අඳුනන ගෑණු ළමුන් සේම පොත්ත රතුවට හැඩට වැඩට ඉන්නා නොදන්නා ගෑණු ළමුන්ටද මම කොලු කමට මිතුරු ඇරයුම් යැවීමි. සමහරු ඇරයුම පිළිගත් අතර සමහරු මගේ ඇරයුම ගණන් ගෙනවත් තිබුනේ නැත. මොනවා උනත් මට මොකද.. මල් වගේ කෙල්ලෝ හතර පහක් හිටියාම මදැයි..

එසේ මම පාසල් අවදියේ මා දන්නා හඳුනන බොහෝ ගැහැණු ළමුන් මගේ මුහුණු පොතේ මිතුරියන් කර ගැනීමට සමත් උනෙමි. එසේ වන කල, මාර්ක් උන්දැ විසින් මා දන්නා හදුනනවායයි සැක කල හැකි ගැහැණු ළමුන්ව මට දිගට හරහට යෝජනා කරන්නට විය. මමද කිසිම ලෝබ කමක් නැතිව ඔවුන් සියලු දෙනාටම මිතුරු ඇරයුම් යැවීමි.

එක දවසක සුරන්ගනාවියකගේ රූපයකින් සිය ප්‍රොෆයිලය හැඩ කරගෙන උන් නාඳුනන යුවතියකට මිතුරු ඇරයුමක් යවන්න මට කටයුතු සිද්ද උනේ ඔන්න ඔය ලෙසය. ඇයට හා මට පොදු වුනු මිතුරු, මිතුරියන් දහයක් විස්සක් උන්නද ඈ කව්දැයි මම ඇත්තටම දැන උන්නේ නැත. මගේ මිතුරු ඇරයුම මෙන්න ඇය පිළිඅරගෙන. මාර්තු පස් වෙනිදාවක ඈ මගේ මිතුරූ ලැයිස්තුවට ඇතුලත් වෙලා..

ඒ දිනවල මගේ මිතුරු ඇරයුම් පිළිගන්නා ඕනෑම ගෑණු ළමයෙකුගේ ප්‍රොෆයිලය කූරු ගා බැලීමේ පුරුද්දක් මට විය (අද කියා එහි වෙනසක් නැත්තේය). ඉතින් මමද මේ සුරංගනා රුවක් තම රුපය ලෙස දමාගෙන සිටියේ කව්දැයි බලන්න ඇගේ ප්‍රොෆයිලයට ගොස් කූරු ගෑවද, ඈ පවුද්ගලික අද්යාපන ආයතනයක උසස් අද්‍යාපනය හදාරන යුවතියක් බව හැරෙන්නට වෙන කිසිම දෙයක් ඈ ගැන සොයා ගැනීමට නොහැකි විය. (මේ තියෙන්නේ එන්න ඒ පින්තුරයය)


3 comments:

  1. hari hari dan thamai " මගේ සඳ ඔබ" therune. ela ela

    ReplyDelete
  2. රොටියට වඩා ලස්සනට රොටියගේ ගෑණුළමය ලියනවද මන්ද......
    එච්චරටම "මගේ සඳ ඔබ" හිතට වැදුන

    ReplyDelete