Saturday, May 3, 2014

එකෝමත් එක දවසක - 18

එතැන් සිට මම මමම වන්නට උගත්තෙමි. මගේ ජීවිතය සකස් කරගැනීම හෝ නොගැනීම තිබෙන්නේ මගේ අතම බව මට ටික ටික තේරුම් ගියේය. ආදරය යනු හඹා යා නොහැකි දෙයක් බව මට ටික ටික වැටහුනේය. ටිකෙන් ටික මම මහා පොලවට පාත් උනෙමි.

මගේ සිහින දෙව්දුව, මා තුල ඇය ගැන තිබූ ඇල්ම ටික ටික අඩුවන අයුරු වටහා ගන්නට ඇත. මන්ද ඈ මවෙත හෙලන ඉඟි බිඟි එන්න එන්නම වැඩි වූ නිසාය. ගැහැණිය ටජ් මහලට උපමා කිරීමේ සැබෑම අරුත මට වැටහුනේ ඒ දිනවලය. දුරස් වනවිට ඈ ලංවෙයි. ලන්වනවිට ඈ දුරස්වෙයි.

අනතුරුව ඈද සෙල්ලම නවත්වන්නට තීරණය කළාය. ඇත්ත කතා කලොත් ඇයට එසේ කරන්නට සිදු උනාය. කොට්ටෝරුවා කෙහෙල් ගහේ ඇමිණී ඇති බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුනේය. තමාගේ ප්‍රේමසම්බන්ධය නිල ලෙස ප්‍රකාශ කරන ලෙසද, නැත්තන් තමා හා ඈ අතර සිද්ද වුනු යම් කිසි දෙයක් ප්‍රසිද්ධ කොට ඈට කැම්පස් නොඑන තැනට වැඩ සලස්වන බවට ඈට අනතුරු සංඥා ලැබී තිබිණි. ඉතින් විය යුතු පරිදිම ඈට කෝකටත් කරගහන්නට ඉන්නා ගොන් රාජයාව සිහිවිය. ඒ කියන්නේ ඈට මාව මතක් විය.

දේශනයක් අතරතුර පොඩි ලියුම් කෑල්ලක් මා කරා පැමිණියේය. "අද මාව එක්කගෙන යන්න එන්න පුලුවන්ද?"

නමුත් ඈට එක දෙයක් අමතක වී තිබිණි. එනම් එදා සිටි ගොනාව මමද විකුණා හමාර කොට තිබූ බවයි. "මම ලෙක්චර්ස් ඉවරවුණු ගමන් වැඩට යන්න ඕනේ. එන්න බැරි එක ගැන කනගාටුයි"

විනාඩි පහකින් පමණ ලියුම මා කරා නැවත පැමිණියේය. "එහෙනං විනාඩි පහකට කතා කරන්න පුලුවන්ද?"

මම ඊට පිළිතුරු නොයැව්වෙමි. දේශනය හමාර වූ විගස පැදුරටත් නොකියා පුසා සමග රැකියාව කරා පිට වුනෙමි. කොල්ලෙක් ලෙස මටද මා ගැන අහිංසක ආඩම්බරයක් දැනුනි. පුසා මදෙස බැලූ විදියෙන්, ඌටත් එලෙසම මා ගැන සිතුනු බව මට තේරුණි.

ඊළඟ සතිය පුරාවටම ඈ විවිදාකාරයෙන් මා මුණගැහිමට තැත් කලත් මම ඇයව මග හැරියෙමි. සාමානයෙන් මා නිවසට යන්නේ සිකුරාදා හවසටය. රැකියාව කරන්නට පටන් ගත් පසු ගෙදර යාමේ දවස ගැන අනාවැකි පළකිරීම උගහට විය.

බ්‍රහස්පතින්දා හවස මට මගේ මුල්ම වැටුප ලැබුණි. පලකට නැති දේට වැය කරන කාලයෙන් පලකට ඇති දෙයක් සිද්ද කල විට ලැබෙන ආත්ම තෘප්තිය මට මුල්ම වරට දැනුනේ එදාය. රැකියාව සොයා දීම සම්බන්දයෙන් එදා මම පුසාට හද පත්ලෙන්ම ඉස්තුති කලෙමි. පුසාට පමණක් නොව ලපයා ඇතුළු මගේ මොළය පෑදු සියලුම දෙනාට මම හදවතිම ඉස්තුති කලෙමි. මගේ ප්‍රීතිය දෙගුණ කරමින් මැනේජර් තුමා මට හා පුසාට සිකුරාදා හා සෙනසුරාදා නිවාඩු දුන්නේය. හැබැයි කොල්ලනේ ඉරිදට වරෙව්. ඉරිදා පොලිටික්කෙක්ගේ පාටියක් තියෙනවා. උඹලට ඩබල් ගෙවනවා.


අද නම්, සෑම මසකම නියමිත දිනකදී මගේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වන බව මම දනිමි. ATM මැසිමකට ගොස් මගේ උවමනා සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා ගත හැකි බවද, ඊට පෙර ලිසිං කොම්පැනියෙන් උන්ගේ කොටස කපා ගන්නා බවත් දන්නෙමි. අවැසි තැනට යන්නට වාහනය ඇති බවද, ඒත් ණය පත බාවිත කොට පෙට්ට්‍රල් ලබා ගත යුතු බවත් දන්නෙමි. මට අඳින්නට තව කමිසයක් ඇත්නම් හොඳ බවත් ඒත් ඊට පෙර වේඩිමේ කටයුතු සඳහා අත්තිකාරම් බැඳිය යුතු බවත් දන්නෙමි. අරකට මේකට ගෙවන්න ඇති බවත්, කරුමෙකට හෝ ඔපීසියේ කෙහෙල්මලකට මුදල් වුවමනා උනොත් අම්මාට නැවත ණය වන්නට සිදුවන බවත් දන්නෙමි.

ඒත් එදා...එදා අතට ලැබුණු දාහේ කොළ හත අට වියදම් කරන ආකාරය ගැන මට කිසිදු මුලික සැලැස්මක් නොවිණි. මම කුරුල්ලෙක් මෙන් සැහැල්ලු උනෙමි. තෑගී ගන්න උවමනා කරන අය ලැයිස්තුවක් මම හිතින් හැදුවෙමි.අම්මාට, තාත්තාට, මල්ලිට, අයියාට, ලපයාට ඇයි එතකොට ගෙදර බල්ලාට...

සිකුරාදා උදේවරුවේ දේශනයෙන් පසුව ගෙදර යාමට සිතා ගත්තෙමි. මගේ තීරණය මිතුරන්ට දැනුම් දුන්නේද සිකුරාදා උදය වරුවේය. හවස තිබුනේ අන්තිම පලකට නැති බව සියල්ලෝම දන්නා නමුත් උගන්වන මහාචාර්ය තුමා ඒ බැව් නොදන්නා දේශනයක් නිසා කව්රුත් මගේ තීරණය වෙනස් කිරීමට වෑයම් කළේ නැත.

අතේ ඇති මුදලට යායුතු හොඳම තැන මහරගම වූ නිසා මම මහරගම බලා බසයකට ගොඩ උනෙමි. අම්මාට ඇඳුමක් සඳහා රෙදිද, තාත්තා ඇතුළු ඉතුරු සියල්ලන්ටම එකම සාම්පලයෙන් ටි ෂර්ට් ද මිලදී ගතිමි. බල්ලාට බැලූ විස්කෝතු පැකට් එකක් ගෙන මාසේ ඉතුරු පන්දහස් ගණනෙන් මාසය ගෙවාගැනීමට හාර දහසක් අයින් කොට ඉතිරියෙන් අපේ ගෙදරට නිතර කන්න බොන්න ගෙන නොඑන දේවල් ටිකක් මිලදී ගතිමි. චීස්, සොසේජර්ස්, මාමයිට් වගේ..

ඔක්කොම කළමනා උස්සාගෙන පිටකොටුවට පැමිණි කල මෙන්න ඈ බස් නැවතුමේ බස් නවත්වන තැන....

සියලුම පිරිමි සත්තු ගැන නොදන්නා මුත් මා ලද අත්දැකීම් තුලින් ලියමි. කිසියම් ගැහැණු ළමයෙකු ගැන කැමැත්තක් ඇතිවී එය දරුණුම වූ විට ඇයව දකින විට හද ගැස්ම වැඩිවී, එලෝ මෙලෝ නැතිවී මොලේ මඥන් වීම ස්වාබාවිකය. අනතුරුව මුළු ලොවම අපට උවමනා ලෙස කරකැවෙන බව දැනෙන්නට පටන් ගනියි. මගේ දෙව්දුව පිළිබඳවද මට එහෙම දැනෙන සමයක් විය. නමුත් එය නැත්තටම නැතිවී ගිහින් තිබුනේ මාත් නොදන්නා වෙලාවකය. දැන් මට ඈ සාමාන්‍ය ගැහැණු ළමයෙකු පමණි. ඉතින් වෙහෙසක් නොදරාම ඈ හා ආචාරශීලි ලෙස කතා කරන්නට මට හැකි විය.

"ඔයා අද ගෙදර යනවා කියල යාළුවොත් එක්ක කියනවා මට ඇහුනා"

"ඔව්. හදිස්සියේ නිවාඩුවක් හම්බුනා. ඉතින් ගෙදර යනවා. කොහොමද? කාලෙකින් කතා කරන්නත් බැරි උනා.."

මෙන්න ඈ හදිස්සියේම අඬන්නට මුණ හදාගෙන

"ඔයා මාව මග අරිනවා.."

මම හිනැහුනෙමි. " ඇයි අනේ ඔයාව මග අරින්න මට පිස්සුද.. අනික මග අරින්න අපි දෙන්නා කෙල්ලයි කොල්ලයිද. ඔයාම නේද කිව්වේ මම ඔයාගේ හොඳ යාලුවෙක් කියලා.යාලුවෙක් උනාම අනික් යාළුවගේ වැඩ තේරුම් ගන්න ඕනේ නේද" කොහෙන් කටට ආවාදැයි නොදන්නා මුත්, කිව යුතුවූ ඔක්කොම මම ඈට කිව්වෙමි. නැවතුමට අලුතෙන් බස් රියක් ගාල් කල අතර අප දෙදෙනාම රියට නැග්ගෙමු. ආචාරශීලි වියයුතු නිසා කව්ළුව අසල වූ අසුන ඈට දෙන්නට මට සිද්ද විය.

"මට හරි ප්‍රශ්න අනේ. ඔයාටවත් කියන්න බැරි තරන්.." මෙහිදී ඈ එම ප්‍රශ්න මොනවාදැයි මම අසාවි යැයි මුළු හදවතින්ම බලාපොරොත්තු වූ බව මට වැටහුනේය. මම එය ඇසුවේ නැත. ඇගේ ප්‍රශ්න තව දුරටත් මගේ ප්‍රශ්න නොවේ

"ප්‍රශ්න ඉතින් කාටත් තියෙනවනේ.. ඒවා අමතක කරලා දාල ඉන්න"

"කැම්පස් එකේ කොල්ලෙක් යාලු වෙන්න කියල මට හරියට වද කරනවා. මම දන්නෑ මොනවා කරන්නද කියල.." ඈ ළදරු ලෙස කීවාය. එවර නම් මගේ රතු කට්ට පැන්නේය. ඈ මාව බබෙකුට අන්දා කතා කරන අපුරුව

"ඇයි ඔයාගෙයි ලහිරුගෙයි අෆෙයාර් එක බ්රේක් උණාද.." මමද මුදුව කෝමල ලෙස ඇසීමි

ඈ තිගැස්සුනාය. මුහුණ විරූපී වුනු නමුත් ක්ෂණිකව ඈ හිනැහුණාය " මගෙයි ලහිරුගෙයි... කව්ද අනේ ඔයාට ඔය බොරුව කිව්වේ?"

"ආ එක බොරුද.. අපි හැමෝම හිතන් හිටියේ එහෙමයි.. ඔයත් එක්ක ඊට කලින් අෆෙයාර් එක තිබ්බ සමීර තමා අපිට කිව්වේ." මමද තොත්ත බබා උනෙමි

ඈට වදන් නැති විය. සමීර කියූ පමණින් ඈ නිහඬ වීමට හේතුව මම දැනගෙන සිටියෙමි. සමීරගේ ජංගම දුරකතනයේ තිබූ ඇගේ චායාරුප වගයක් එදා මට පෙන්නුවේ කරුණේය. ඒවා අසැබි රුප නොවුනාට සම්බන්දය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුවේය.

"එක එක කාලෙට අපි මෝඩකම් කරනවා තමා.." ඈ හිමිහිට කීවාය.

"හරියට හරි. ඔයා හරියටම ජිවිතේ තේරුම් අරන් තියෙනවා.." මම පණ්ඩිතමාණීව උත්තර දුන්නෙමි.

ඈ තේරුම් ගන්නට ඇත. එනිසා ඈ තවදුරටත් ඒ මාතෘකාව පිළිබඳව කතා කිරීම අත් හැරියාය.එතනින් එහාට අපි කතා කළේ එදිනෙදා සිදුවීම්ය. ඇඳුමක් ගන්නට ඇතැයි පවසමින් ඈ හදිසියේම වත්තල කැන්ඩි සාප්පුව ලඟින් බැහැගත්තේ කලින් අමතක උනායි පවසමිනි. ඈ නැගිටින බව දැක, හිස්වූ අසුනේ වාඩි වීමට පැමිණි සුදු නංගි දෙස පැණි හලමින් බලා සිටි මට ඈට හරියට සමු දීමට වත් අමතක විය.

මගේ ජිවිතයේ පරිච්චේදයක් නිමවුණේ ඔන්න ඔහොමය. මම කොපමණ වීර චරිතයක් රඟපෑවද, මිගමුව බස් නැවතුමේ බස් රිය නවත්වන විට මට ඈව සිහි නොවුනා නම් ඒ බොරුවකි. ඈ හා කතාව ඇරඹි තැන දෙස මම මද වෙලාවක් බලා උන්නෙමි. හින් දුකක් සමග විසාල අස්වැසුමක් මගේ හිතට දැනුනේය. අවුරුදු හයක් සුව නොවී පැවති තුවාලයක් සුව වුවා සේ හැඟුනි. අවුරුදු හයකට පසුව මගේ හිතට විසාල නිදහසක් දැනුනි. කිව යුත්ත ඇගේ මුණටම කියාගන්නට හැකිඋනු නිසා ලද නිදහසක්..

මා එකෝමත් එක දවසක කතාව ලියන්නට පටන් ගත්තේ මෙතනදීය..ගෑණු සංහතියම ගැන නොවුනත් යම්කිසි කලකිරීමක් හිත පුරා නලියන තැනේදීය.පොතේ හැටියට නම් මෙතැනදී කතාව නිමා විය යුතුය. ඔව් කතාව ඉවරය. මගේ ප්‍රථම ප්‍රේමය නොපිදීම මිලාන වීමේ කතාව ඉවරය. කිරිකෝඩු පිරිමි ළමයෙකුගේ හිතේ හටගත් අහිංසක හැඟීමක් ලන්සු කර, ගැහැණු ළමයෙකු සිද්ද කල බයානක සූදුවක් නිමා උනේ ඔන්න ඔහොමය.

එහෙත් මා පිළිබඳව වෙනත් කතාවක් ලියවී තිබුණු බව මට වැටහුනේ තවත් කලක් ගිය තැනය..


6 comments:

  1. එල රොටියෝ. අඩම්බරයි පුතේ. දැන් එකෝමත් එක කාලෙක කතාව ඉවරයිද?

    ReplyDelete
    Replies
    1. නෑ මචං. ඊළඟ කෑල්ල දැම්මා

      Delete
  2. රොටී අයියගෙ එකමත් එක දවසක් කතාව ෆට්ටට ලියල තියෙනව..භාෂාව හසුරවල තියෙන විදීයට ආස හිතෙනව කියවන්න..මගෙ ආදර කතාවත් ඔයාගෙ කතාවට ගොඩක් දුරට සමානයි.ගොඩාක් දුක හිතුන කියවනකොට..රෝටීයගෙ fb Profile නේම් එක දානවද? Blog එකට..blog එක ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න සුභපතනව

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි. fb එකේ රොටිය බබා කියල ඉන්නේ මං තමා.https://www.facebook.com/rotiya.baba

      Delete