Saturday, May 3, 2014

අඳුරට සාප කිරීම හා ඉටි පහන් එලිය

මේ කතාව ලියන්න තිබුනේ ටිකක් කලිනි. නමුත් දහසක් වැඩ මැද බ්ලොග් කට්ටක් කුරුටු ගෑම ලෙල්ලම් වැඩක් බව රොටියාට පසුගිය අල්ල පනල්ලේ වැටහුණු අතර පෝස්ටු පමාවීමට හේතුව රොටියාගේ ජිවන අරගලය බව කියන්නට කැමතිය. කෙසේ උනත් කතා කල යුතු තැන කතා කල යුතු නිසා මේ පොස්ටුව දැමිය යුත්තේමය.

පසුගිය සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ගැනීම පිණිස බොරැල්ලේ අලුතින් අරඹන ලද සියල්ලෝම දන්නා විලාසිතා ගෙදරකට ගිය රොටියාට මුහුණ දෙන්නට සිද්ද උනු අත්දැකීම නම් අන්තිම නරකය. සාප්පුවේ නම සඳහන් කිරීමට රොටියා අතිශය කැමති මුත්, අපහාස නිතිය ගැන වැටහීමක් නැති නිසා මෙසේ ලියමි.

සාප්පුව මහල් කීපයකි. සියලුම දේවල් ඇති යයි ඇසු නිසා ගියෙමි. සැබවින්ම බොහෝ දේ තිබුණි. බොහෝ දේ චීනයෙන් ආනයනය කර ඇති බව සඳහන් වූ අතර, සේවක මණ්ඩලයද චිනයෙන්ම ආනයනය කරගන්නට පුළුවන් උනා නම් මල් හතය. මන්ද එහි සේවය කළේ පාරිබෝගික සේවා සපයන්නන් නොව, සේවක ඇඳුම් හැඳගත් වෙනත් ජීවින් කොටසක්ය. ඔවුන් පාරිබෝගිකයන් දෙස බලා සිටියේ මංකොල්ල කන තෙක් මංකොල්ලකරුවන් දෙස බලන් ඉන්නා පොලිස් මහත්වරුන් සේය. කතා කලේද එසේය. මහල් අතර වූ සෝපානය වැඩි වශයෙන් යොදා ගැනුනේ සේවක ප්‍රවාහනයටය. එතරම් විසාල ඇදුම් සාප්පුවේ අඩුම ගානේ බිම් මහලේ මුල්ලකවත් පාරිබෝගිකයන්ට සිසිල් පැන් බෝතලයක් වත් බොන්නට තැනක් නොවිණි. සාප්පුවේ ඇවිද ඉවර කිරීමට අවම වශයෙන් පැය හතර පහක් යන්නේය. සාප්පුවට පැමිණෙන ජනතාව නොකා නොබී සාප්පු සවාරිය අහවර කොට හැකි තාක් ඉක්මනට පිට කර හැරීම පරමාර්ථය වුයේ නම් මෙතරම් විසාල අටමගලයක් අටවා ගත්තේ ඇයි දැයි යන්න රොටියාට බරපතල ගැටලුවකි

දෙවැන්න සිද්දවුයේ මිගමුවෙදිය. රජයට සම්බන්දකමක් ඇති, බොහෝමයක් ප්‍රධාන නගර වල ශාකා ඇති ඇඳුම් සාප්පුවට ගියේ රොටියාගේ ගෑණු ළමයාට අවශ්‍ය වූ ඇඟලුමක් ගන්නටය. උදෑසන අටයි හතලිහට පමණ ගිය කල සාප්පුව අරින්නේ නමයටයි කියා, දොර හැර තිබූ හෙයින්, දැන් යන්න බැරිදැයි ඇසු කල සිකියුරිටි තුමිය මුහුණ හරහා කනේ පහරක් ගසන්නාක් මෙන් දොර වැසුවාහුය. ඊළඟට විනාඩි විස්ස හෙයින් ඉඳිමු යයි පවසා නමය වන තෙක් ලැග හුන් කල සාප්පුව අරින්නේ නමයහමාරට යයි පැවසු පසු ඉවසීම හමාර වූ රොටියා හා ගෑණු ළමයා ආපසු හැරී පැමිණියහ. අනතුරුව දහයහමාරට පමණ නැවත වතාවක් අදාළ සාප්පුවටම බඩගෑමට සිද්දවුනේ අවශ්‍ය ඇඟළුම වෙන කිසි තැනක නොතිබුන නිසාය. කෙසේ හෝ මේ සාප්පුවේ නම් සේවක මණ්ඩලයෙහි සේවය අතිශය ප්‍රශස්ත මට්ටමක තිබුණු අතර ඔවුන්ගේ ලෙන්ගතු සේවය නිසා පෙර අමිහිරි අත්දැකීම පහසුවෙන්ම අමතක විය.

කොළඹ පිහිටි ඔඩෙල්, කොටන් කලෙක්ෂන් , කෙලී ෆෙල්ඩර් මෙන්ම මීගමුවේ නොලිමිට් වැනි සාප්පුව වල සේවය නම් උපරිමය. මෙයින් ඔඩෙල් , කොටන් කලෙක්ෂන් වැනි තැන් වල කා බී නිවී සැනසිල්ලේ සිටිය හැකි ආපනාගාරද ඇති නිසා, ගෑණු ළමුන් සමග පැමිණෙන අප මෙන් අහිංසක කොල්ලන්ටද කලක් යන්නේය. පාරිබෝගික සේවය යනු අන්න එයයි. කවුරු කොහොම කිව්වද ඔය තැන් වලත් අප මෙන් මද්යම පාන්තික ජනතාවට ගත හැකී මුදලට ඇඳුම් ඇත්තේය.

රොටියාට කියන්න උවමනා වුයේ ඔය මොකක්වත් නොවන්නේය. පහුගිය ටිකේම ජාතිවාදී කන්නාඩි දමාගෙන, සිංහල කඩවලට පමණක් යන ලෙස පවසමින් ඇති පොස්ටු සිය ගණනක් රොටියා දැක්කේය. රොටියාට හැඟෙන පරිදි නම් සාමාන්‍ය පාරිබෝගික ජනතාව ඇදෙන්නේ තමුන්ට යහපත් සේවාවක් ලබාදෙන ආයතන කෙරෙහිය. හොඳම උදාහරණය දම්රෝ ආයතනයයි. ඒ ආයතනය අලෙවියෙන් පසු ලබාදෙන ඇති විශිෂ්ට පාරිබෝගික සේවාව නිසා දැන් රොටියා ඇතුළු දන්නා කියන සියල්ලෝම සෝපාවක්, ඇඳක් , මේසයක් පමණක් නොව ශීතකරණයක්, රුපවාහිනියක් මිලදී ගැනීම පිණිස යන්නේද දම්රෝ ආයතනයටය.

වරදවා වටහා ගන්න එපාය. රොටියා සිය බ්ලොග් පිටුවේ වෙළඳ ප්‍රචාරක කටයුතු සිද්ද කරනවා කියා එහෙම හිතන්න එපාය. අරකට යන්න එපා, මේකට යන්න එපා කියනවාට වඩා ඒ යන්න එපැයි කියන සාප්පු කරා සෙනග ඇදෙන්නේ ඇයිදැයි සොයා බැලීම වැඩදායකය. හැම දෙයම නිකන් අප කරා ඇදෙන්නේ නැත. තම තමුන්ගේ නොහැකියාවල් වෙනෙකෙකු පිටින් යවා වෙහෙසී වැඩ කරන අනෙකාගේ ජීවිකාව නැති කරන්නට හදනවාට වඩා, අනෙකාගෙන් යහපත් දෙය ඉගෙන ගනිමු යන්න රොටියාගේ යෝජනාවයි.





4 comments:

  1. අපිද ඔය බොරැල්ලේ තිබූ අටමගලයට බඩ ගෑවේ සිය පවුලද සමගිනි. කැන්ටිම කොහෙදැයි විමසා ගිය කල එහි තිබුනේ අයිස් ක්‍රීම් පමනකි. එහි ගිය කල අපිට සේවක තනතුර ඉබෙටම හිමි වීම ආයිචර්යද?පිස්සු හැදෙනව බන් මෙව ගැන කතා කරන්න ගියාම

    ReplyDelete
  2. දම්රෝ එකේ සේවයනම් අති විශිෂ්ටයි...
    ඇත්තටම අගය කල යුතුයි....

    ReplyDelete
  3. දම්රෝ එක මුස්ලිම් කඩයක් නොවේ....

    සැබෑ සිංහල බෞද්ධ මහත්මයකුගේ ආයතයක් ...

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කිසිවෙකු ඉල්ලක්ක කරගෙන ලිව්වේ නැත. අවශ්‍ය වුයේ යහපත් වෙළද සල් බේදයකින් තොරව සඳහන් කිසිම පමණි

      Delete