Monday, June 23, 2014

මේ හොඳටම ඇතිය

රොටියා සිය බ්ලොග් පිටුව පටන් ගත්තේ තමුන්ගේ ආගිය කතා අනෙක් ඇය සමග බෙදාහදාගෙන අහිංසක රසාස්වාදයක් ලබන්නටය. අප සියලුදෙනාම වටවී තිබෙන සමාජ බැමි රොටියා නමැති කඩතුරාවට මුවා වී සිටින මටද පොදු නමුත් ඒවා රොටියාට අදාළ නැත. එනිසා රොටියා වී සිටීම මට අසීමිත ප්‍රීතියකි.
රොටියා සිය බ්ලොග් පිටුව වටා කිසිම වර්ග හෝ ජාති වාදයක් ගොඩ නැගුවේ නැත. බෞද්ධ පරිසරයක හැදී වැඩි, කතෝලික පාසලක අද්‍යාපනය ලබා දෙමල , මුස්ලිම්, බර්ගර්, සිංහල ආදී සියලුම ජාතින් වැඩ කරන ආයතනයක සේවය කරන රොටියාට එහෙම කිරීමට අවශ්‍යද නැත. පන්සලේ බෝධිපුජාවද පල්ලියේ උදෑසන පුජාවද රොටියාට එකසේ හුරුය
රොටියා පමණක් නොව රොටියාගේ සම පරම්පරාවේ බොහෝ දෙනෙකුද ඊට උඩ යට පරම්පරාවල බොහෝ දෙනෙකුද එසේම සිතන පතන බව දනිමි.පහුගිය දිනවල රටේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුල "අනේ මං නං ඕවාට නෑ, මම ලියන්නේ සරල කතා " යයි පවසා අත පිසදා ගැනීමට මට හැකිය, නමුත් මා තුල ජීවත්වෙන රොටියාට එසේ කරන්නට බැරිය.
රොටියා මේ ලිපිය ලියන්නේ අතිශය හිතේ වේදනාවකින් හා තිගැස්මකිනි. එසේ වන්නට මුලිකම හේතුව වුයේ කව්දෝ විසින් ෂෙයාර් කර තිබූ වීඩියෝවක් නැරඹීම නිසාය. වීඩියෝවේ ගැහැනුන් හතර දෙනෙකු අඩ නිරුවතින් දන ගසාගෙන සිටි අතර ත්‍රස්තවාදීන් පිරිසක් ඔවුන් වෙත තුවක්කු මානාගෙන ඔවුන්ට මිනිත්තු ගානක්ම මරණ බය දනවා, ඔලු වලට වෙඩි තබා ඊළඟට ඔවුන්ගේ සිරුරු පොරෝ සහ පිහි වලින් කැබලි කර දමන අති බයානක වීඩියෝවකි.
ඒ වීඩියෝව නරඹා , ඊයේ රෑ නින්ද නොගියේද, හිසරදයක් හට ගත්තේද ඊළඟට අනාගතය පිලිබඳ මහා බියක් හටගත්තේද රොටියා නපුන්සකයෙක්වත්, දේශප්‍රේමියෙක් වත්, ජාති ප්‍රේමියෙක් නිසාවත් නොව රොටියා යනු ලෙයින් මසින් සෑදුනු මිනිසෙකු වන නිසාය

අද දින වන විට ලංකාවේ බොහෝ දෙනෙකුට ලංකාව හැරදමා පිට රටවලට බඩගෑමේ පිස්සුවක් ඇති බව රොටියා ඇතුළු සියල්ලෝම දන්නවාය. අර රට අරෙහෙමයි, මේ රට මෙහෙමයි ඒකට අපේ රට යනාදී වශයෙන් කවුරු මොනවා කිවත් රොටියාට නම් හොඳම රට ලංකාවය. යුද්ධයට පෙර නම් අපි හැමෝටම යම්කිසි ජිවිත අවදානමක් තිබූ බව ඇත්තය. යුද්ධය නිසා අපේ රටට මහා නායකයන් බොහෝ දෙනෙක්ම අහිමි වූ බව ඇත්තය. දරුවන්ට දෙමව්පියන්ද , දෙමව්පියට දරුවෝද අහිමි වුනු බව ඇත්තය. යුද්ධය නිසා මෙරටට දරුණු විනාශයක් වුනු බව ඇත්තය. ඒ නිසා යු.ඇන්.පී ද, ශ්‍රී ලංකාද නැත්තන් ජේ.වී.පි ද යන්න නොසලකා ,සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් යුද්ධය නැවතීම ගැන රොටියා සතුටු වෙනවාය.

අපේ රටේ කෙතරම් දරුණු යුද්ධයක් තිබුනත්, ශ්‍රී ලංකාව හැමදාමත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයව තිබූ බව රොටියා ඇත්තටම විස්වාස කරනවාය. කරුණාකර ඔබේ දෙනෙත් වසා සිටින කඩතුරා මුදවා වටපිට බලන්න. සිංහලද්වීපය එකල සිටම ඕනෑම කෙනෙකුට නිදහසේ වාසය කරන්නට ඉඩදුන් අබය භූමියකි. රොබර්ට් නොක්ස් ගේ එදා හෙළදිව කියවාගෙන යන විට, එදා සිටි අපේ මුතුන් මිත්තන්, ඇල දොලේ හිටි මත්සයන්ට පවා නිදහසේ වාසය කරන්නට ඉඩහැර තිබූ බව අවබෝද වෙනවාය.

මෙතරම් ධාර්මික රටක , එතරම් දරුණු යුද්ධයක් ඇරඹුණේ ඇයිදැයි යන්නට වඩා ඒ හේතුවෙන් තමුන් සමග එකට කාබී හිටි රාජලා, කමලිනිලා ගිනි ලා මරන්නට තරන් අපි නිහින වුයේ ඇයිදැයි බරපතල ප්‍රශ්නයකී. යුද්ධය ඇරඹුවේ ප්‍රභාකරන්ය. නමුත් ඔහු මලේ අන්තිමටය. ඔහු මැරෙන විට යුද්ධයෙන් විය යුතු හරිය සිංහල හා දෙමල දෙගොල්ලන්ටම සිදුවී තිබුණි. තමිල්නාඩුවේ ජයලලිතලාලා නැවත මතු කරන්න හදන්නේ එන්න ඒ යුද්ධයය. යුද්ධය ඉවර උනා කියා සිංහල මිනිස්සුන්ට පමණක් අමුතුවෙන් ලැබුණු දෙයක් නැත. මුස්ලිම්, බර්ගර්, දෙමල, සිංහල හැමෝටම මරණ බයක් නැතිව නිදහසේ වාසය කරන්නට පුළුවන් වාතාවරණයක් නැවත ලැබුනා විතරය. තමිල්නාඩුවේ ඉන්නේ දෙමල ජාතිකයන්ය. අරාබියේ ඉන්නේ මුස්ලිම් ජාතිකයන්ය. ඒත් අපේ මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන්ය. අපේ රට එහෙම රටකි.

අන්න එහෙම රටේ , සුලුතරයක නිර්ලජ්ජි හැසිරීම නිසා රට හැර ගිය ශ්‍රී ලාංකිකයන් අදටත් ලොව පුරා ඉන්නවාය. ඉන්දියාවේ චෙන්නායි පැත්තට ගොස් බලන්න. අදටත් ශ්‍රී ලංකාවට අපේ රට කියන දෙමල ජාතින් කොටසක් එහි ඉන්නවාය.

මේ කතාව තුල මෙන්න මෙහෙම දෙයක්ද ඇත. අයිතීන් දිනාගැනීමේදී හෝ, පහසුකම් ලබා ගැනීමේදී හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී ශ්‍රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් උනාට , මොකක් හෝ නිර්ලජ්ජි හැසිරීමක් සිදු වූ වහාම එය බැර වන්නේ සිංහල ජාතීන්ගේ ගිණුමටය. එතැනදී පමණක් ජාතිය මුලට පැමිණෙන්නේ ඇයිදැයි යන්න රොටියාට නම් වැටහෙන්නේ නැත

මීට වසර හත් අටසීයකට පළමුවත් බුද්ධාගම ප්‍රධාන කොටගෙන සිටි සමාජයක නානාප්‍රකාර දෙවිවරු පැමිණ පදිංචි වන විට, හවසට පන්සලට ගොස් මල්පහන් පුජා කොට එන රටවැසියන් කලබල වුයේ නැත. ඒ මෙත්තා, මුදිතා, කරුණාවෙන් සැදුනු හිත්වල තිබුණු හික්මීම හා ශික්ෂණය නිසාය. ඔවුන් කැති පොලු ගෙන අනයාගමිකයන්ව කඩු ගාන්නට ගියේ නැත. ඒ ශ්‍රී ලාංකිකයා තුල තිබූ නිවට කම නිසා නොවන්නේය. මේ සුන්දර අභය භුමිය තුල වෙන ආගමක් වැළඳ ගත්තයි කියා , නඩු දමා මරණ දණ්ඩනය දෙන්නේ නැත.

තමුන්ගේ බිරිඳ හා දරුවන් නිදි ඇන්දේ ගිනි තියා මරා දමන්නේ අන්න එහෙව් මුතුන් මිත්තන්ගෙන් පැවතීගෙන එන දරු මුනුපුරන්ය.රොටියා විස්වාස කරන විදියට ඔවුන් සහ අසූ ගණන් වල එලි බැස්ස ජාතිවාදීන් අතර වෙනසක් නැත්තේය. ඔවුන් සියල්ල මිනිමරුවන්ය. නමුත් අද වන විට ඔය මිනීමරුවන් ඉන්නේ සුළුතරයකි. බහුතරය බුද්ධිමත්ය . එනිසා නැවත වතාවක් එවැනි කලබලයක් ඇතිවීමට ඇති ඉඩකඩ බොහොම අල්පය. තමුන්ගේ ගමේ රටේ ඉන්නා අයගේ ගෙවල් දොරවල් ගිනිබත් කළා ට විසඳෙන ප්‍රශ්නයක් නැත. අපි එය හොඳින්ම දනිමු

රොටියා කලකට පෙර යම් පෞද්ගලික ආයතනක ඉගෙන ගන්නා සමයේ එකා පිට ඇලි හිටි පෙම් යුවලක් එම ආයතනයටම මහත් හිසරදයක් වී තිබුනේය. වෙන කිසිවෙකු හා ආශ්‍රයක් නැතුව, තමුන්ගේම ලෝකයක සිටි ඔවුන් දෙදෙනා මුලින්ම හැසිරුනේ ඉතා සාමාන්‍ය ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ලෙසය. මාස කිහිපයක් යද්දී ගෑණු ළමයාගේ සාය දෙපතුල ලඟට දික් විය. ඉනුත් පසු හිස වටා රෙද්දක් එකතු විය. පාටමාලාවේ අවසාන කාලයේ ඔවුන් දෙදෙනා හොර රහසේ කසාද බැන්ද බව අපට දැනගන්නට ලැබුනේ දෙපැත්තේම ඥාතින් පැමිණ ඔවුන් පිළිබඳව විපරම් කරන විටය. ඒ ගෑණු ළමයා , පිරිමි ළමයාගේ සංස්කෘතියට හැඩ ගැසුනේ සිය කැමැත්තෙනි එහි වැරද්දක් රොටියා දකින්නේ නැත

දෙවැනි කතාව පටන් ගන්නේ රොටියාගේ කැම්පස් එක තුලින්මය. පළමු වසරේ සිටම කළු ඇඳුමින් සැරසුණු මුස්ලිම් ගැහැණු ළමයෙකු එහි වුවාය. ඈ සිව්වෙනි වසරට පැය තබනවාත් සමග, එනම් ඇයට වඩා ජේෂ්ඨයින් සියල්ලම විශ්වවිද්‍යාලය හැරදමා ගිය විට, ඈ පුර්ණ ස්වාබාවිකත්වයට පත් වුවාය. ඈ පැමිණියේ සරල ඩෙනිම් විලාසිතාවන්ගෙන් සැරසීය. එසේ නම් ඒ ගැහැණු ළමයා එපමණ කලක් කළු රෙදි තුල සඟවාගෙන හිඳ ඇත්තේ තමුන්ගේ ආත්මයයි ඒ වෙන කාගේ හෝ බලපෑමක් නිසා වන්නට ඇත. මේ කතාවේ නම් විශාල වරදක් රොටියා දකිනවාය. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේය. මේ රටේ සියලුම කාන්තාවන්ට ඇත්තේ එකම නීතියකි. ආගමික හෝ සංස්කෘත මුවාවෙන් තව කෙනෙකුගේ අයිතිය නැති කිරීමට කිසිවෙකුට නොහැකිය.

සියල්ලෝම තේරුම් ගත යුත්තේ එයයි. තම තමුන් , තම තමුන් කැමති පරිදි ජිවත් උනාට කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් කෙනෙක්, තවත් කෙනෙකුට කරදරයක් හෝ බලපෑමක් වන ලෙස ජිවත් වන්නේ නම් එතැන විශාල අවුලකි. ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් වුනු ප්‍රජාවක් හදිසියේම තමුන්ගේ හැසිරීම වෙනස් කරන්නට ගිය තැන අරගල ඇතිවීම විය හැකි අතර නරකම දේ එවැනි අරගලයන්ට ජාතිවාදී ලේබල ඇලවීමය.

හදවතට එකඟව කතා කලොත්, මුලින්ම සඳහන් කල වීඩියෝව වැනි සිද්දි ඇතිවන සමාජයක ජිවත් වන්නට රොටියා කැමති නැත. රොටියාටද, රොටියාගේ ගෑණු ළමයාටද, රොටියාට දාව උපදින දරුවන්ටද, රොටියාගේ මේ තියෙන සුන්දර රට මෙහෙමම තියෙන්න ඕනෑය. මේ අරගල වලට මැදිවන , අරගල නිර්මාණය කරන සාමාන්‍ය මිනිසුන් බොහෝ විට වෙන කාගෙවත් අතකොලුය.

ඒ නිසා මේ තමුන්ගේ හදවතට එකඟව හා තමුන් ජිවත්වන සමාජයට ගැලපෙන පරිදි ජිවත් විය යුතු කාලයයි. කරුණාකර මිනිසෙකු වන්න. මේ සුන්දර ද්වීපය අරගල වලින් බැටකෑවා හොඳටම ඇතිය.  ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කාටවත් නැවත අරගල උවමනා නැත.

Friday, June 20, 2014

හීනබුද්ධිකයකුගේ ආදරය

ටොම් හැන්ක්ස් රඟපාන ෆොරෙස්ට් ගම්ප් චිත්‍රපටිය බැලුවට රසවින්දට කවදාවත් මට ඒ කතාව ලියන්න හිතුනේ නෑ. මේ කතාවේ හිමිකම තියෙන්නේ ආදිෂට

අම්මනං කියන්නෙ මගෙයි අනිත් ළමයින්ගෙයි වෙනසක් නෑ කියල. ඒත් මිනිස්සු මං දිහා බලන්නේ අනිත් ළමයි දිහා බලන විදිහට නෙවෙයි. දනිස් දෙකට එනකල් යකඩ කූරු හයිකරපු අමුතු සපත්තු දෙකක් දාගෙන අම්මත් එක්ක යද්දි මිනිස්සු මං දිහා බැලුවෙ සර්කස් ඒකක ඉන්න සතෙක් දිහා බලනවා වගේ. ඒ මිනිස්සුන්ට අම්මගෙන් නං හොඳට බැනුම් අහගන්න පුළුවන් උනා. මාව ඉස්කෝලෙකට දාන්න ගිය වෙලාවේ ඉස්කෝලෙ ලොකු මහත්තයනං කිව්වේ මගෙ බුද්ධියද මොකක්ද මන්ද අඩු හින්ද මාව වෙනම ඉස්කෝලෙකට යවන්න ඕනි කියල. ඒත් අම්මනං කිව්වෙ මමත් අනිත් ළමයි වගේම හින්ද මටත් ඒ ඉස්කෝලෙටම යන්න දෙන්න ඕනි කියල. සමහරවිට අම්ම දොස්තරට කියල අර අමුතු සපත්තු දෙක හයිකලේ ඒක හින්ද වෙන්න ඇති. කොහොමහරි දවසක් රෑ ඉස්කෝලෙ ලොකු මහත්තය අපේ ගෙදර ඇවිත් ගියාට පස්සෙ මට ඒ ඉස්කෝලෙට යන්න පුළුවන් උනා.
මට මතකයි මං මුලුන්ම ඉස්කෝලෙ ගිය දවස. අම්ම මාව ඉස්කෝලෙ බස් එකට නැග්ගුව. බස් එකේ කිසිම කෙනෙක් මට වාඩිවෙන්න දුන්නෙ නෑ එයාල ළඟ ඉඩ තිබ්බත්. ඉතිං මං හිටගෙන යද්දි.... මං ජීවිතේටම අහපු ලස්සනම කටහඬින් කවුද මට කතාකලා. ඒ තමයි මම ජීවිතේටම දැකපු ලස්සනම කෙනා. හරියට සුරංගනාවියක් වගේ.
“ඔයාට ඕනිනම් මෙතනින් ඉඳගන්න පුළුවන්”
අම්ම ඇරුනහම මට ආදරෙන් කතා කරපු එකම කෙනා. මං එයා ලඟින් වාඩි උනා. ඉස්කෝලෙට යනකල් එයත් එක්ක ගොඩක් කතා කළා. එදා ඉඳන් එයා තමයි මගෙ හොඳම යාළුවා. එයා මට ගස් නගින හැටි කියල දුන්න. මම එයාට අතුවල එල්ලිලා ඉන්න හැටි පෙන්නුව. එයා මට කියවන හැටි ඉගැන්නුව. මම එයාට කකුල්දෙකෙන් අතුවල එල්ලිලා ඉන්න කියල දුන්න. සමහර දවස් වලට අපි අපේ ගහ යටට වෙලා අහසෙ තරු පායනකල් බලාගෙන හිටිය. එයා තමයි මගෙ විශේෂම යාලුව, මගෙ එකම යාලුව.
දවසක් ඉස්කෝලෙ ඉන්න නරක කොල්ලො වගයක් මට ගහන්න එද්දි ඔයා මට කිව්ව දුවන්න බේරිලා දුවන්න කියල. කොහෙන්ද මං දන්නේ නෑ හිතට ආපු ගැම්මට මම දිව්ව. කවදාවත් නොදුවපු තරමේ වේගෙකින්. කකුල් දෙකට දාල තිබ්බ යකඩ කූරු ගැලවිලා විසි උනා. මම හුළඟ වගේ වේගෙන් දිව්ව. ඔයා කියපු නිසා දිව්ව. එදා ඉඳල මම කොහේ ගියත් මම කලේ දුවපු ඒක.
කාලය හෙමිං හෙමිං ගෙවිල ගියා. ඔයා ගෑනුලමයි ඉන්න ඉස්කෝලෙකට ගියා. එට පස්සෙ මට නිතරම ඔයාව බලන්න පුළුවන් උනේ නෑ. හැබැයි මම පුළුවන් හැම වේලාවෙම ඔයාව බලන්න ආව. මතකද දවසක් මං ඔයාව බලන්න ඇවිත් වැස්සෙ තෙමි තෙමී ඉන්නකොට ඔයා කාත්එක්කද කාර් එකකින් ආව. ඒ මනුස්සය කාර්ඒක ඇතුලෙදි ඔයාට රිද්දනකොට මම ඇවිත් ඒ මනුස්සයට හොඳටම ගැහුවේ ඔයාට කවුරුත් රිද්දනකොට මට ඉවසගෙන ඉන්න බැරි හින්ද.
උපාධිය අරගත්තට පස්සෙ මට පුළුවන් උනා හමුදාවට බැඳෙන්න. හමුදාවේ ඉන්නකොට මම ඔයාව පත්තරේකින් දැක්ක. මොකක් හරි හේතුවකට ඔයාව ඔයා හිටපු ඉස්කෝලෙන් අයින් කරල. ඒ සමහරවිට ඔය අර පත්තරේ ඇඳුම් නැතිව හිටපු අනිත් අයත් එක්ක ෆොටෝ ගත්ත හින්ද වෙන්න ඇති. කොහොම උනත් මම ඒ පත්තරේ ඔයා වැඩකරන තැන හොයාගෙන ආව. ඔයා එතන ස්ටේජ් එකේ ගිටාර් එකක් ගගහ සිංදු කියපු හැටි ඇත්තටම ලස්සනයි. ඒ ලස්සන කටහඬින් ඔයා සිංදු කියද්දි මට ගොඩක් ආස හිතුන. ඔයා හැමදාම ප්රිර්ථනා කරපු විදිහට ඔයා ගොඩක් ජනප්රිටය වෙලා. ඒත් ඔයා එතන ඇඳුම් නැතුව සිංදු කිව්වේ ඇයි කියලනං මට තේරෙන්නෙ නෑ. එතනදි ඔයාගේ ඇඟට බියර් විසිකරපු මනුස්සයටත් ගැහුවෙ ඔයාට තියන ආදරේ හිංද.
ඔයා මාත් එක්ක කේන්තියෙන් එතනින් එද්දි කිව්ව “ඔයාට හැමදාම මාව බේරගන්න බෑ” කියල. ඒ උනත් පුළුවන් හැම වෙලාවකම මම ඔයාව කරදර වලින් බේරගන්නව. මිනිස්සු හැමවෙලේම බලන්නේ ඔයාව උස්සගෙන යන්න. මට තාම මතකයි එදා මං ඔයාට මුලින්ම ආදරෙයි කියල කියපු වෙලාවෙ ඔයා මට කිව්වෙ “ඔයා දන්නෙ නෑ ආදරේ කියන්නෙ මොකක්ද කියල” මොනවා කියන්නද කියල ඒ වෙලාවෙ මට තේරුනේ නෑ. මම දැනං හිටියෙ ඒක දෙයයි. ඒ මට ඔයාව දාල වියට්නාමෙට යන්න වෙනව කියන ඒක විතරයි. ඒ වෙලාවෙ ඔයා මට කිව්වේ “ඔයා මට ඒක පොරොන්දුවක් වෙන්න. කිසි වෙලාවක නිර්භීත වෙන්න එපා. මොකක් හරි උනොත් දුවන්න ඈතට දුවන්න” කියල. ඔවු මම ඒක කරන්නං. ඔයා ආදරෙන් මට කියපු එකම ඒක දේ, ඒ දේ මම කරන්නං. මම එහෙ ගිහින් හැමදාම ඔයාට ලියන්නම්.
වියට්නාමෙදි ගොඩක් දේවල් සිද්දඋනා. ඔයාට පොරොන්දු වෙච්ච විදිහටම මම හැම වෙලාවෙම ඔයාට ලිව්ව. ඔයා මට අපහු ලිව්වෙ නැතත් මම ඔයාට ලිව්ව. වියට්නාමෙදි දවසක් සතුරො අපිට වෙඩි තිබ්බ. ඔයා කියපු විදිහටම මම දුවල බේරුනා. අනිත් අයට වඩා වේගෙන් දුවල බේරුනා. මට පුළුවන් උනා අපේ ලොක්ක එක්ක තව හතර පස් දෙනෙක්ව බේරගන්න. ඒත් ඔයාගෙන් පස්සෙ මට හිටපු එකම යාලුව, බුබ මගෙ අත්දෙක උඩදිම මැරුණ. මම ආයෙත් තනි උනා.
කාලය ගෙවිල ගියා. මම පිංපොන් තරුවක් උනා. මම කරපු වීර ක්රිනයාවට මට පදක්කමක් හම්බඋනා. මට ආයෙත් ඔයාව මුණගැහුන. අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා. ගොඩක් තැන් වලට ගියා. අපි දෙන්නගෙ ජීවිත වෙනස් කියල ඔය කියපු හැටි මට දරාගන්න බෑ. ඔයා ආයෙත් මාව දාල ගියා. මම හමුදාවෙන් අස්වෙලා බූබ කියපු විදිහට ඉස්සෝ අල්ලන්න පටන්ගත්ත. මම කෝටිපතියෙක් උනා. දවසක් මම හීනෙන්වත් හිතපු නැති විදිහට මගෙ අම්ම මාව දාල දිව්යදලෝකෙ ගියා. මම අයෙමත් පාරක් ලෝකෙ තනි උනා. මගෙ ගෙදර මම තනියම. කාත්කවුරුත් නැතුව. තනියම ඉන්න හැම වෙලාවකම මට ඔයා ගැන හිතෙනව. රෑ තනියම පාර දිහා බලාගෙන ඉන්නකොට ඔයා එනව මැවිල පේනව. දවසක් ඔයා ඇත්තටම මාව බලන්න ආව. මට ගොඩක් සතුටු හිතුන. මම ඔයාගෙන් ඇහුව කසාද බඳින්න කැමතිද කියල. මම පොරොන්දු උනා ඔයාට හොඳ සැමියෙක් වෙන්න. ඒත් ඔයා ආයෙත් මාව දාල ගියා.
ඔයා ගියාට පස්සෙ හිස්වෙච්ච හිත හදන්න කිසිම දේකට බැරි උනා. මම ඔලුව හැරුණු අතට දිව්ව. අවුරුදු ගානක් දිව්ව. රට වටේට දිව්ව. අවුරුදු තුනකුත් මාස දෙකයි දවස් දාහතරයි පැය දාසයක් මම දිව්ව. ආපහු ගෙදර ආව. ඔයාගෙන් මට ලියුමක් ලැබුන ඔයාව හම්බවෙන්න එන්න කියල. මම ඔයාව හොයාගෙන ලෝකෙ ඕනිම තැනකට එනව. මම ඔයා නැවතිලා හිටපු ගෙදර හොයාගෙන ආව. ඔයාව දැක්කට පස්සෙ මට දැනුන සතුට කියල ඉවර කරන්න බෑ. ගෙදර හිටපු ලස්සන පුංචි කොල්ලගේ තාත්ත මම කියල කිව්වහම මට හිතුනෙ එකම ඒක දෙයයි. ඒ පුතත් මම වගේම මන්දබුද්ධිකද කියන එක. එයා තමයි මම ලෝකෙ දැකපු ලස්සනම දේ. ඔයා අසනීපෙන් කියල කිව්ව නේද. දොස්තරල හරියට දන්නේ නැති වයිරස් එකකින්ද කොහෙද හැදෙන ලෙඩක්. ඔයාට පුළුවන් මාත් එක්ක අපේ ගෙදර නවතින්න. මම ඔයාව කාටවත් වඩා හොඳින් බලාගන්නවනේ. ඔයා මගෙ ඇස් දෙක දිහා බලාගෙන “ඔයා මාව බඳිනවද” කියල අහද්දි මට කියන්න තිබ්බෙ ඒක දෙයක් විතරයි “ඔවු”. අපි දෙන්නගෙ උත්සවේ ලස්සනට තිබ්බ. ලුතිනන් ඩෑන් එයාගෙ නැතිවෙච්ච කකුල් දෙක වෙනුවට අලුත් මැජික් කකුල් දෙකක් හයිකරගෙන මාව බලන්න ආව.
ඔයා හැමදාටම මාත් එක්ක ඉන්න ආව කියල මං හිතාගෙන හිටියෙ. ඒත් ඉක්මනින්ම ඔයා මාව දාල දිවියලෝකෙ ගියා. මං හිතනවා ඔයා අපේ අම්මත් එක්ක එහෙ හොඳින් ඉන්නවා ඇති කියල. ඔයාව මං තිබ්බ අපි දෙන්න හැමදාම හම්බවෙච්ච ගහ යට. මං හැමදාම ඔයාව බලන්න එනව. පුතා හොඳට ඉන්නව. මං එයාට කාම හදල දෙනව, පොත් කියවනව, අපිදෙන්න පින්පොන් සෙල්ලම් කරනව. එයානම් ඇත්තටම දක්ෂයි. පුතා ඔයාට ලියුමක් ලිව්ව. මටනං ඒක කියවන්න බෑ ඒ හිඳ මං ඒක ඔයාට දෙන්න ගෙනාව. මං ඔයාට ආදරෙයි. ඔයාට මොනවහරි ඕනිනම් මට කියන්න.

කාගෙවත් ආදරය නොලබපු, මන්දබුද්ධිකයෙක් හැටියට හැමෝම සලකපු ෆොරෙස්ට්, ෆොරෙස්ට් ගම්ප් කවදාවත් තමන්ව ත්රුම් නොගත්ත, අවසාන වෙලාව වෙනකල්ම තමන්ට ආදරය නොකරපු ජෙනීට ලෝකයක් තරමට ආදරය කළා. ලෝකයේ කවුරුත් ආදරය නොකරපු තරමට ආදරය කළා. ජෙනීට ඒ ආදරේ මැරෙන මොහොත වෙනකලුත් තේරුම් ගන්න පුළුවන් උනාද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට ඒක දෙයක් තේරෙනව. ඒ ජෙනීට ගොඩාක් වටිනා දෙයක් මගහැරිල තියනව කියන එක.
කවදාවත් ආදරය නොලබපු කෙනෙක්ට ආදරය ලැබුනොත් මොනවා වෙයිද? කවදාවත් ආදරය නොකරපු කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තොත් මොනවා වෙයිද?
මාත් මන්දබුද්ධිකයෙක්ද කියල වෙලාවකට මටම හිතෙනව.....



මම අරක ලිව්වේ සනි ලියෝන්ට හොඳේ...

ඔබ කියූ වචනයක් හෝ ඔබ පිට කල හැඟීමක් හෝ ඔබේ ඉරියව්වක් හෝ ඔබ කරන ඕනෑම දෙයක අනෙක් පැත්ත , ඒ කියන්නේ ඔබ හීනෙකින් වත් නොහිතන පැත්ත දකින්න ඕනෑ නම්, අන්න ඒකට බඩු ගෑණු ළමුන්ය. ගෑණු ළමුන් කියන්නේ ඔබේ ඕනෑම දෙයක් ඕනෑම විදියකට පෙරලා ගෙන ඒ අනුව වැඩ කටයුතු සිද්ද කල හැකි අද්භූත ජීවි කොට්ටාශයක් වනවාය. රොටියා මේ කියන්නේ ලියන්න දෙයක් නැති කමටවත්, කට කහනවාටවත් නොව සහතිකම ඇත්තය. ඒ කියන්නේ අවුරුදු හතරක් තරම් වූ දිගු කාලින අත්දැකීම් ඇසුරෙනි
රොටියාගේ ගෑණු ළමයා වූ කලී මේ පිළිබඳව සහජ හැකියාවක් ඇති විශේෂඥ වරියකි. ඒ හැකියාව මෙහෙමයි කියා ලියා නිම කල හැක්කක් නොවන්නේය. රොටියාගේ ඈනුමක් , කැසිල්ලක් හෝ ඉඟි මැරුමක් නිමිති කොට ගෙන මිනී මැරුමකට වඩා පොඩ්ඩක් අඩු තරම් වූ ගැටළුවක් නිර්මාණය කර ගැනීමේ මහා නිර්මාණශීලි හැකියාවක් ඇය තුල වන්නේය
ඇයට ඇත්ත තේරුම් කරනවාට වඩා දහගුණයක් ලේසියට රොටියාගේ බල්ලාට ලියන්න කියවන්න උගැන්විය හැකි නිසා, ඇය ගැටළුවක් නිර්මාණය කොට එහි එරී දගලන විට රොටියා පැත්තකට වී පාඩුවේ සිටින්නේය.
ඒවා මෙන්න මෙහෙමය

රොටියා: ඔයා කියන්නේ ඇත්ත..
ගෑණු ළමයා: ඔයා හැමදාම ඔහොමමයි. මම කොච්චර ඇත්ත දෙයක් කිව්වත් වැඩක් නෑ

රොටියා: හරි අපි යමු
ගෑණු ළමයා: ඔයා ඔය මං කියන හින්ද යන්න හදන්නේ , නැතුව ඔයාගේ කැමැත්තකින් නෙවෙයි

රොටියා: (ඈනුමක් යවයි)
ගෑණු ළමයා: ඔයාට දැන් මාත් එක්ක ඉඳල ඇති වෙලා

රොටියා: (පිට කහයි)
ගෑණු ළමයා: (ඔරවයි)

රොටියා: ඔව්
ගෑණු ළමයා: මොකද නිකන් හරහට වගේ ඔව් කියන්නේ. කෙලින්ම නෑ කියන්න. මට ප්‍රශ්නයක් නෑ

රොටියා: ඔයා නිසා තමා මම මෙහෙම ඉන්නේ
ගෑණු ළමයා: අනේ නිකන් යන්න අනේ යන්න. මොනාද දැන් ඕනේ?

රොටියා: අපි බඳිමු
ගෑණු ළමයා: එන්න එපා ඕවට හරිද? අපේ තාත්ත වසයි

රොටියා: ඔයා දිගටම රස්සාව කරන්න
ගෑණු ළමයා: මම හිතුව, මම හිතුව වගේම ඔයත් ටිපිකල් පිරිමියෙක්. ඕගොල්ලෝ හිතන් ඉන්නේ ගෑණු ඉන්නේ උයන්නයි, රෙදි හෝදන්නයි ළමයි හදන්නයි විතරයි කියල..

වැඩි දුරක් නැත. දැන් ඈ හිතන් ඉන්නේ මම උදේ ලියූ කවිය ලිව්වේ සනි ලියෝන්ට කියාය. රොටියා ලේසියට ඔව් කියා දැමු නිසා ඈ දැන් සිටින්නේ යකා වගේය.


Thursday, June 19, 2014

මගේ ජීවිතේ වගේ - මගේ පණ වගේ

අද පාන්දර නමෝ විත්තියෙන් වැඩ පටන් ගැනීම සඳහා රොටියා හෙඩ් පෝනයද පැළඳ කොමා ඉස්සරහින් වාඩි වී වැඩේට එන්ටර් උනාහුය. සාමාන්යෙන්ම සිකුරාදාට ඔපිසියේදී ඇතිවන ජබර කලන්තේ වලකා සිහිබුද්ධියෙන් යුතුව පසුවන්න නම් සින්දුවක් අහන්න ඕනෑමය. නැත්තන් සිකුරාදා රෑට තිබෙන කිරිබොන පාටි, සෙනසුරාදා දවල්ට කන්නම බලාගෙන නින්දෙන් නැගිටින හැටි, ඉරිදාට සුන්දරිය සමග ගසන රස්තියාදු ආදිය මාර සේනා මෙන් රොටියාගේ හිතට එබෙමින් කරන වැඩේට බාල්දි පෙරලනවාය. හින්දි සින්දු පෝලිමක් අතර ඇසුණු සින්දුවක් නිසා රොටියා හොල්මන්ද පෝල් උනාහුය. සින්දුව එච්චරම ලස්සනය. ඔක්කොම වැඩ නවතා නැවත සින්දුව අසන්නට හිතාගෙන මිනිමයිස් කරන් උන්නු යු ටියුබ් රාජයා මැක්සිමයිස් කොට බැලූ අල්ලේ පනල්ලේ රොටියා කලෙන්තේ නොදැම්මා විතරය

සින්දුවේ හිටියේ අපේ ලියෝන්ය. ලියොන් කියන්නේ ඇත්තම ඇත්ත සනි ලියෝන්ය. බැරි බැරි ගාතේ පහල කවිය කුරුටු ගෑවේ සින්දුව ඇහුණු පළමු වතාවේය. (ලියෝන්ව දැක්ක පසු දැන් නම් කවි තියා මොකක්වත් ලියා ගන්නට බැරිය)

දේදුන්නේ පාට වලින්
හීන සායම් කරගෙන
ඒ හීන අරන්
පාට ගිය මගේ ජිවිතේ ලඟට ඇවිත්
හීන නොදැන හිටි හිතක් ඇතුලට
හීන මල් පොකුරු පිටින් පළන්දාපු
පාට පාට වලින් වැඩ දාපු
ජිවත් වෙන්න උගන්නපු
ජීවිතේට හුස්ම පිඹපු
නුඹටයි මේ




සින්දුව මෙන්න :ජැක්පොට්

Friday, June 13, 2014

මම අමුතු පුද්ගලයෙක්මි

මං ලෝකයේ සෙසු එව්වන්ගෙන් බොහෝ වෙනස් වනවාය. ඒ කෙසේද යත් අවශේෂ වුන් මෙන් නොව මං ලෝකය දකින්නේ වෙනස් ආකාරයකට වන නිසාවෙන්ය

පාසල් යන කාලයේ පටන්ම මම මෙකි ගති ලක්ෂණ වලින් පිරිපුන්ව සිටියාය. මගේ පන්තියේ කොලු කුරුට්ටන් එල්ලේ ගසා, බාස්කට් බෝල ගසා ප්‍රින්සිපොල් ගේ ඔපීසියේ විදුරු කඩා කට්ට අවුවේ දන ගැහුම් කන විට මම පන්තියට වී මැක්සිම් ගෝර්කිගේ අම්මා, ලියෝ ටෝල්ස්ටෝයිගේ යුද්දය හා සාමය හෝ චේ ගේ ජිවිත කතාව කියෙව්වාය.

මගේ පණ්ඩිත කම මගේ දෙමව්පියෝ සිය ඉස්මුදුනෙන්ම පිලිගත්තෝය. ඔවුන් සිය නෑදෑ හිතමිතුරන් සමග මගේ පැටිකිරිය කියවන විට මම මදක් නොසන්සුන් වුවද මගේ දෙමව්පියන්ගේ අහිංසක සතුටට බාදා කරන්නට නොගියාය

මා වැනි බක පණ්ඩිතයෙක් වයිද්ය විද්‍යාලයට නොතේරී ජීව විද්‍යා පාටමාලාවට තේරෙන විට, මවිසින් පාඩම් කියා දුන් එවුන් වයිද්ය විද්‍යාලයට තේරෙන විට මගේ හිතේ කිසිම ඉරිසියාවක් හට නොගත් අතර, වයිද්ය විද්‍යාලයට තේරුණු එව්වන්ට පාඩම් කියා දුන්නේ මවිසින් බව මම නිහතමානිව සියලුම දෙනා සමග පැවසුවෝය. එය අසන සියල්ලෝම මා පිළිබඳව කනගාටුවෙන් අනේ අපොයි කියාගෙන කම්මුල් වල අත් ගහගනිද්දීද මම නොසැලී හිනැහුනාය. ඒ අවුරුදු ගණනාවක් තිස්සේ මා විසින් මගේ හිත තුල වගා කොට ගත් යහගුණයන් නිසාය.

මගේ මවුපියන්ද මේ කතා ලතා ආඩම්බරයෙන් හැමතැනම පවසද්දී, ඉරිසියාව ඇත්තෝ එහෙන් මෙහෙන් කොකන් පෑවද ඒ පෘතුග්ජනයන්ගේ ස්වබාවය යයි අප සියල්ලෝම හිත සනසා ගත්තෝය.

කැම්පස් එක තුලද මම අමුතු එකෙක් උනාය. මාව තේරුම් ගන්නට අමාරු වූ නිසා හෝ, මගේදර්ශනය වටහා ගත නොහැකි වූ නිසා බොහෝ එවුන් බක පණ්ඩිතයා යයි පවසා මාව මග හැරියෝය. නමුත් මා මෙන්ම වූ කීප දෙනෙක් කණ්ඩායම් ගත වී විවිද විෂයන් ගැන බොහෝ හරවත් සාකච්චා පැවැත්වූවෝය. මේ කණ්ඩායම තුලද හරිම දර්ශනය තිබුනේ මට පමණක් වුවද, අනෙක් අයගේ හිත රිද්දවා පුරුද්දක් නැති හෙයින් මම ඒවා උන්ට නොකීවෙමි. උන් සමහර විට චට පට ගාමින් කියවපු හරුප උන්ටම තෙරුනාදැයි මට විස්වාසයක් නැති මුත් මම නම් සියලුම විට කතා කලේ අනික් අයට තේරුම් ගත හැකි වන අයුරෙනි.

සෙමෙන් සෙමෙන් මට වඩා පහල බැච් වල එව්වන් මවටා රොක් වන්නට වුවෝය. ඒ උන්ගේ ගැතිකම නිසාද, නවක වදයෙන් බේරීමේ තුරුම්පුවක් ලෙසද යනාදී වශයෙන් විවිද එව්වන් කට කැඩිච්ච කතා කිව්වද මම ඒවා ගණන් නොගත්තෙමි. මගේ දයාබර සහෘද රසික කැල වුයේ උන්ය

මා ගැහැණු ළමුන් කීප දෙනෙකු හා ආදර සම්බන්දතා ආරම්බ කලද ඒවා සති කීපයකින්ම කැඩි බිඳී ගියේ ඒ ළමුන් මට නොගැලපුන නිසාය. ඔවුන් මා සම්බන්දය අත්හැරී වේදනාව වසා ගන්නට, මා බක පණ්ඩිතයෙක් යයිද මා හා සතියකට වඩා එකට සිටිය නොහැකිද යනාදී වශයෙන් විවිද තැන්වල මා ගැන බොරු බේගල් ඇදබාද්දීද මම නිහඬවම උන්නෝය. නමුත් මවිසින් ඇත්තම ඇත්ත කීප දෙනෙකු සමග පවසන්නට යෙදුනාය

මට මගේ අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් අවැසි උනවිට මම සඟරාවක් පටන් ගත්තාය. මම එහෙන් මෙහෙන් හොයා ගත් මුදලට මව්පියන්ගේ අර්ථ සාථක අරමුදල ඇපයට තබා ණයක් ගෙන සඟරාව ඇරඹුවෝය. සඟරාවේ මුල්ම කලාපයේ මුල්ම පිටුවේ මවිසින් දුක්මහන්සියෙන් මේ සඟරාව ආරම්බ කල ආකාරය ගැන පිටු දෙකක් පුරා සටහනක් දැම්මෝය. එහි මව්පියන්ගෙන් ලැබුණු මුදල ගැන සඳහන් කිරීමට මම ඇත්තටම අමතක වුවාය

මට රැකියාවක් ලැබූනෝය. මගේ සමකාලිනයන්ගෙන් හොඳම රැකියාව ලැබුනේ මට වුවත්, මම එය ගම්මැද්දේ කියවන්නට නොගියාය. මා එය මගේ දෙමව්පියන්ට පමණක් පවන්නට යෙදුනු අතර එය ඔවුන් ගෙන් නෑදෑ හිතමිතුරන් දැනගත්තේ මා මදක් ලැජ්ජාවට පත්කරමින්ය. මම මා ගැන පුරාජේරුවට කැමැත්තක් නැත්තේය

මට ගෙදර යන්නට වෙලාවක් නැතිවූ අතර එය සියල්ලන්ම තේරුම් ගත යුත්තෝය. මගේ බුද්ධි ඥානය කැටිවූ ලිපි සඳහා පාටකයෝ බලා සිටියදී ගෙදර ඇත්තන්ගේ සතුට ගැන පමණක් හිතා ගෙදර යාමට තරන් මම කුහකයෙක් නොවන්නේය
ගෙදර ඇත්තන්ගේ වැඩ ඔවුන් බලා ගත යුතු අතර මා රටට අවශ්‍ය පුද්ගලයෙක් වනවාය

සැලකිය යුතුයි: මෙය රොටියාගේ හිතලුවක් පමණක් වන්නේය. හදිසියේ හෝ මෙවැනි එකෙක්ගේ අම්මා රොටියාගේ අම්මාට මුණගැහුනොත් එහෙම නම් වැඩේ අලය. අම්මලා එහෙමය. කවුරුන් හෝ පැමිණ තමුන්ගේ එකා ගැන පම්පෝරියක් ගසා ගිය තැන රොටියාගේ අම්මා රොටියාට බනින්නේ අරකාගේ යහගුණ සසදාය.




Monday, June 9, 2014

මගේ සඳ ඔබ - අනන්තයේදී

මගේම සිමා මායිම් ඇතුලේ , මමම හෙම්බත් වෙලා. හුස්ම ගන්නවත් මහන්සි තරමට.
හැමදාම, ඔව් හැමදාම මම ජිවත් උනේ මගේ ලෝකෙක. ඒ ලෝකෙ හිටියේ මායි මගේ පවුලේ අයයි විතරයි. ඇයි මගේ බල්ලත් හිටියා. හාවෝ හතරදෙනෙකුයි, තාරාවෝ දෙන්නෙකුයි, ස්ලිංකි කුකුල්ලෝ දෙන්නෙකුයි හිටියා මගේ ලෝකෙ බෙදා ගන්න.
ඉස්කෝලේ යන කාලේදී යාලුවෝ හිටියා. ඒත් ඒ කිසිම කෙනෙක්ව මම මගේ හිත ඇතුලට ගත්තේ නෑ.

පිරිමි ළමයි.. අනේ දෙවියනේ පිරිමි ළමයි කියන්නේ කවුද කියන ඒකවත් මම දන්නේ නෑ. මම දැනන් හිටියේ මගේ රැවිල්ලයි, දත්මිටි කෑමයි, එරවිමයි හින්ද අල්ලපු ඉස්කෝලේ ළමයි මට නමක් හදල තියෙන බව විතරයි.

ඒක දැන ගත්තෙත් දවසක් මට පෙන්නන්න බැරුව හිටිය කොල්ලෙක් ඒ නම කියල මහා දවාලේ පාර මැද්දේ කෑ ගහපු හින්දයි. ඒ කිව්වේ මටමයි කියල මම හරියටම දැනගත්තේ මාත් එක්ක ගිය මගේ යාළුවගේ නම කියල, ඊළඟට එයත් එක්ක යන එක්කෙනා කියලම කෑ ගැහුව හින්දයි.මට දැනුනා මගේ කන් රතු වෙලා, ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා කියල. මොලේ ටිකක් හරි තියෙන ගෑණු ළමයෙක් උනා නම් කරන්නේ කෑ ගැහුවේ තමුන්ට නෙවෙයි වගේ තමුන්ගේ ගමන යන එක

ඒත් මං එහෙම නෑ. තරහවක් ආපුවාම මට මාව පාලනය කරගන්න බෑ

මම රවාගෙන , දත්මිටි කාගෙන හැරුනා කෑගැහුවේ කවුද කියල බලන්න. අද මට හිතා ගන්න බෑ මම එදා ඒ තරමටම මෝඩ උනේ කොහොමද කියල. මාත් එක්ක ගිය යාළුවා හරියට උත්සහ කළා මාව ඇදගෙන යන්න. ඒත් එහෙම යයිද මන්..

මම හැරුනා. යකා මුණ දාගෙන හැරුනා. ඒ පිරිමි ළමය විතරක් නෙවෙයි, එයාගේ ඔක්කොම යාළුවො ගල්බිත උනා. මම රවාගෙනම උන්නා.

ඒත් .. ඒත් ඊළඟ තත්පරයේදී ඒ ළමයාගේ මෝඩ මුණ හින්ද මට හිනා ගියා. මිටි කාගෙන හිටපු දත් ඇඳී දෙක පලාගෙන හිනාවක් එලියට පැන්නා. ඒක කවුරුත් දකින්න කලින් ආපහු හැරුණු මම යාලුවත් දාල දුවල ගිහින් දැකපු බස් එකක එල්ලුනා.

විනාඩි එකහමාරක් විතර හති ඇරලා බැලුව බස් එක කොහෙටද යන්නේ කියල

"වව්නියාව-කොළඹ"

Sunday, June 8, 2014

එකෝමත් එක දවසක - දවසක්දා 03

සෙල්ලම දිගටම සිද්ද උනේය. කියවන ඔබට මතක ඇතැයි සිතමි. ඔන්න ඔය කියන දවස්වල මුණු පොතේ එක එක ජාතියේ විවිදාංග පැතිර තිබුණු අතර "Aunty Anita" යනු ඉන් එකකි. බොත්තමක් ඔබා, අපේ මුණු පොතේ දත්ත වලට ඇතුලත් වීමේ අයිතිය දුන් කල, ඇනිටා යනුවෙන් හැඳින්වෙන ඒ ඇත්තිය ඔබට දිනපතා අනාවැකි පල කරන්නීය. කෙල්ලෙක් නැතුව වේලිමේ අරුමය ඇයවත් පවසාවිදෝ බලන්නට දිනක් මම ඇගෙන් අනාවැකියක් ඇසීමි. මා අනුව යමින් මගේ මුණු පොතේ නුදුටු මිතුරිය ඊළඟ දවසේ ඇනිටා නැන්දා ගෙන් අනාවැකියක් අසා ඇති බව දැනගත් විටද මට එතරම් විශේෂයක් හැඟුනේ නැත

දවසක් කීපයකට පසු මම මුනුපොතේ අල්ලාප සල්ලාප කතා කරමින් ඉන්නා විට ඇය හදිසියේම පෙනී සිටියාය. ඇය එයිට පෙර කිසිම දවසක ඔන්ලයින් හිටපු කෙනෙක් නොවුණු නිසා විශේෂයක් දැනුනු හෙයින් මම ඇයට පණිවුඩයක් යැවීමි
"හායි"
මිනිත්තු කීපයකට පසු ලැබුණු පිළිතුර
"හායි"

එදා මා දැනගන්නට යෙදුනු පරිදි ඈ මුලින්ම චැට් කරන්නට යෙදී ඇත්තේ එදාය. ඇය කියන්නටත් පෙර එය මටම තේරුනේ ඇය මට වරු ගණන් ගත කොට ලියා එවූ පිළිතුරු කියවන්නට ගොස් මගේ මොලේද කොලොප්පන් වූ නිසාය. පිළිතුර කෙතරම් මොල කරවී ලියන්නට යෙදුනද, ලිව්වේ වළලු දැමු අතක් වූ නිසා මමද ඇඹලයා මෙන් ඈ හා කතාවට උත්සහ කලෙමි. නමුත් මම ලියන පරක්කුවට උත්තර එව්වේ ඈ නෙමේය. ඈ බොහොම අහංකාර, ඔලුව උදුම්මා ගත්ත සහ කොල්ලෙක් සමග වචන හතරකට වඩා වැඩි වාක්‍යක් එක වරකට කතා කලොත් සිය හිරි ඔතප් බිඳෙයි යනුවෙන් හිතා උන් ගරු කටයුතු උත්තමාවියක් බව වැඩි වෙලාවක් නොගොස්ම මගේ කුඩා මොළයට වැටහුණි.

ඇය එක්වරම චැට් ලිස්ට් එකෙන් අන්තරස්ධාන වූ අතර, යන විට "යන්නම්" යයි කියා යන්නට තරන්වත් ආචාරශීලි කමක් ඈ තුල නොවිණි. සමහරක් ගැහැණු ළමුන් ගැන සමහරුන් කියන සමහර කතා ඇත්ත බව මට හිතුනේ එදාය. "ගැහැණු ළමුන් යනු තේරුම් ගැනීමට අමාරු සත්ව කොට්ටාශයක් නොවේ. ගැහැණු ළමුන් වූ කලී කිසිමදාක තේරුම් ගත නොහැකි සත්ව කාණ්ඩයක් වන්නේය. ඉනුත් සමහරු හිතන් ඉන්නේ පිරිමි ළමුන් යනු වෙනත් ග්‍රහලොවකින් බට විස්වාස නොකළ යුතු සතුන් පිරිසක් බවය. රොටියා නම් හිතන්නේ මිට හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද කියාය. ගැහැණු පිරිමි වෙනස නොදන්නා පැඟිරි කොලුවා සිය කොලුවා පෙන්නා මේ මොකද්දැයි ඇසු කල, සමනලයා යයි ඌට ඉගැන්නු පසු, උගේ අලුත උපන් නංගිගේ සමනලයා ඉගිල ගොස් ඇතැයි නෑදෑ සබාවක් මැද විස්තර කරන්නට යෙදුනු සිද්දියක් සම්බන්දව රොටියාට පවුද්ගලික අත්දැකීමක් ඇත්තේය.

කෙසේහෝ මෙයින් සතියක් පමණ යනතුරු ඈ නිශ්ශබ්ද වුවාය.

එක දිනක් හදිසියේම මගේ මුනුපොතේ පණිවුඩ අතර ඇගෙන් ලැබුණු පණිවිඩයක්
"මට කියන්න පුලුවන්ද ජංගම දුරකතනයකින් ෆේස් බුක් චැට් කරන්නේ කොහොමද කියල, කරුණාකරලා?"

එකල මෙකල මෙන් ස්මාර්ට් ෆෝන් නොතිබූ නිසා අපගේ පිහිටට හිටියේ "e-buddy" ය. ඉතින් මම ඇයට ඒ ගැන කිව්වෙමි. හැබැයි එදාම නොව. ඉන් දින දෙකකට පසුව. මෙසේ මම ඈ මට පළමු දිනයේ ආචාරශීලි නොවීමේ වාඩුව ඇගෙන් ජයග්‍රාහිව අය කර ගතිමි



පෙරළා නොඉල්ලූ ආදරය

ආපහු සැරයක් හීන් සුළං රැල්ලක් එක්ක ගහගෙන ආපු කතාවක් මගේ මුණු පොතේ පිටුවක අතරමං වෙලා. අයිතිකාරයා තාම ඉදිරිපත් උනේ නම් නෑ. කතෘ අයිතිය සියල්ලම තියෙන්නේ මුල් අයිතිකාරයට මිසක් රොටියට නෙවෙයි.
================================
ගුඩ් මෝනිං ! රිසර්ච් එක කරන්න යනගමංද?
ඔවු මේ යනගමං. අක්කත් එක්ක යන්නෙ.
ඊයේ ......... අයිය කතා කලාද?
නෑ ඇයි එහෙම අහන්නෙ?
මම ඊයෙ ........ අයියගෙන් ඔයාට දැන් කතා කරන්නේ නැත්තෙ ඇයි කියල ඇහුව. ඊට පස්සෙ මම ඒක කියන්න ඔයාට ගන්නකොට ඔයාගෙ ෆෝන් එක බිසී කියල කිව්ව. මම හිතුවෙ එයා ඔයාට කතා කරන්න ඇති කියල.
නෑ මම යාලුවෙක් එක්ක කතා කලේ. එයා මට කතා කලේ නෑ.
මං ආයෙත් කතා කරල බලන්නම්කෝ.
එපා ආයෙ එයා ගැන මට කියන්න එපා. එයා මට ආදරේ නැත්තං මමත් එයාට ආදරේ නෑ. ආයෙ මට එයා ගැන කියන්න එපා.
හරි මං ආයෙ එයා ගැන කතා කරන්නේ නෑ. ඔයා පරිස්සමින් යන්න.

එයා ........... කෙනෙක් එක්ක තිබ්බ ආදරේ ඉවරකරපු බව මට දැනුම්දුන්නෙ ඔය විදිහෙ කෙටිපණිවිඩ සංවාදයකින්. එයා ආදරේ කරපු ....... කියන කෙනා එහෙමත් නැත්තං .......... මහත්තය එයාව මේ විදිහට මගහරින්න හේතුව මටත් හිතාගන්න බෑ. එයා විස්තර කරපු විදිහෙ ආදරයක් එහෙම එක පාරටම ඉවරවෙන්නෙ කොහොමද. මං සතුටු වෙන්න ඕනිද දුක් වෙන්න ඕනිද කියල මමම කල්පනා කරා. නැවතත් පුංචි බලාපොරොත්තුවක් යාන්තමට ඇති උනත් ඊටත් වඩා හිත යටින් ආපු මොකක්දෝ මංද අමුතුම විදිහේ දුකක් දැනුන. ඒත් කොයි වෙලාවෙවත් “ඇද්ද උඹට දැන්, මට කෙලෙව්වට” කියල හිතුනෙ නැති එක ගැන මටම මං ගැන පුදුම හිතුන.
මට ආදරේ කලොත් විතරද මම එයාට ආදරේ කරන්නෙ?
එයා මට ආදරේ නැති හිංද මමත් එයාට ආදරේ කරන එක නතර කරන්න ඕනිද?
ආදරේ කියන්නෙ වෙළඳාමක්ද?
තමන් හදවතින්ම ආදරේ කරපු කෙනෙක් දැන් තමන්ට ආදරේ නොකරනකොට එයාට වෛර කරන්න පුලුවන්ද?
එහෙමත් නැත්තං එයාට මං ආදරේ නෑ කියල කියන්න පුලුවන්ද?
එයා තමන්ව දිගින් දිගටම රිදවද්දිත් එයාට ආදරේ කරන්න පුලුවන්නං. එයා “මං ඔයාට ආදරේ නෑ” කියල කියද්දිත් එයාට ආදරේ කරන්න පුලුවන්නං. එයාගෙන් ආපහු කිසිම දෙයක් නොලැබෙද්දිත්, අඩුම තරමින් හිනාවක්වත් ආපහු නොලැබෙද්දි එයාට ආදරේ කරන්න පුලුවන්නං. ඒ ආදරේට මොකක් කියලද කියන්න ඕනි?



Tuesday, June 3, 2014

එකෝමත් එක දවසක - දවසක් දා -02

ඇය මගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් උනා කියා මට එතරම් විශේෂයක් දැනුනේ නැත. මන්ද එදවස් වල මා තවත් ගෑණු ළමයෙකුට හාපුරා කියා පැණි හලන්නට පටන් ගෙන සිටි නිසාය.

උනේ මෙන්න මේකය. කැම්පස් එකේ දේශන අතරතුරේ එක් ගෑණු ළමයෙකු මදෙස බලා ඉන්නා අයුරු එක් දිනක් මට අහම්බෙන් දකින්නට ලැබුණි. මගේ චප්ප උනු මුණ දෙස බලා ඉන්නා ගෑණු ළමුන් දුර්ලබ හෙයින් මමද ප්‍රීතියෙන් ඔකඳ උනු නමුත් ඈ මා බැලූ සැනින් ඉවත බලා ගත්තාය. කැම්පස් ජිවිතයේ පලවෙනි වතාවට හිත පුරා ගෑණු ළමයෙකුට පැණි හැලීමට හැකි තත්වයක සිටි නිසා මම නිතරම ඈ දෙස බලා උන්නේ බැරි වීමකින් හෝ ඈ නැවත බැලුවොත් හිනැහෙන්නය.

ඈ තව වතාවක් නොව දෙතුන් වතාවක්ම මදෙස බැලුවාය. මෙසේ මසක් පමණ මේ සෙල්ලම දිගටම කෙරුණු නමුත්, ඈට කැම්පස් එකෙන් පිට, නිවසින් යෝජනා කරන ලද මනමාලයෙකු සිටින බව මම දැන ගත්තේ පසුවය. අප දෙදෙනා අනතුරුව හොඳ මිතුරන් වූයෙමු.

මුණු පොතේ බයානක වසංගතයක් මෙන් එක සෙල්ලමක් පැතිර ගියේ මෙන්න මේ අතරය. සෙල්ලමේ නම සඳහන් කලොත් රොටියා කවුදැයි හෙලිවීමේ දරුණු අවධානමක් පවතින නිසා ඒ අවදානම ගැනීමට රොටියා සුදානම් නැත. වැඩි කලක් නොයවාම රොටියා මේ සෙල්ලමේ යාවජීව සාමාජිකයෙක් විය. රොටියා විසින් තම මුණු පොත් යහළු යෙහෙලියන් සියළු දෙනාටම සෙල්ලමට ආරාදනා කොට පණිවුඩ යැවූ අතර වැඩි කල් නොයවාම මෙම සෙල්ලම පිස්සුවක් තරමටම උග්‍ර විය.

සෙල්ලම සිදු වුයේ ජාලගතවය. ඒ කියන්නේ තමුන්ගේ ලකුණු පිළිබඳව බලාගෙන සිටීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණි. තරඟකරුවන් අනෙක් අයගේ ලකුණු අඩු කිරීම සඳහාද යම් යම් ක්‍රියා මාර්ග ගත යුතු විය.

මතක ලෙස අගෝස්තු හත් වෙනිදා වන්නට ඕනෑය. මම අර සුරන්ගනාවගේ ලකුණු අඩු කිරීම සඳහා (ඇයද සෙල්ලමේ ක්‍රියාශීලි තරඟකාරිනියක් වුවාය) යමක් සිදු කොට, ඇයට පණිවුඩයක්ද ලියා තැබුවෙමි.

"කවුද කියලත් දන්නේ නෑ. ඒත් කමක් නෑ මම අද _________ ______ ______ කළා"

ඈ මට පෙරලා පහර එල්ල කලේ ඉන් දින දෙකකට පසුවය

"ඒකට කමක් නෑ.ඔන්න මමත් අද ________ ________ කළා"

විස්වාස කරන්න. එය පටන් ගත්තේ ඔන්න ඔහොමය