Monday, July 7, 2014

මගෙ මුළු ලෝකෙම......

හැමදාම වැඩ වැඩ කියමින් ලියන එක මග හරින එක නරක වැඩක් බව මම දන්නවා,ඒත් ඊටත් වඩා නරක දෙයක් මගේ අතින් උනා.කෙනෙක් ලියල එවපු දෙයක් පල කරන්නේ නැතිව මාසෙකට ළඟ කාලයක් මා ළඟ කුරුවල් උනා. වැරද්දක් දැන දැනම සිද්ද කරලා ඊළඟට රෙද්දක් ඇඳගෙන සමාව ඉල්ලන්න නම් මට බෑ. ඒත් රොටියා අතින් සිදු උනු අතපසු වීම සඳහන් කරන්නේ ඉතාමත් කනගාටුවෙන්. කවුද කියල සඳහන් කරන්න එපාය කියල විශේෂයෙන්ම කියපු නිසා කතෘ ආයෙමත් නිර්නාමික විදියටම තියන්න වෙනවා.

------------------------

“මට එයාව නැති කරගන්න බෑ. මගෙ මුළු ලෝකෙම ඉන්නෙ එයා විතරයි”
ලඟදි දවසක, මොකක්හරි හේතුවකට ඔයා මට එවපු කෙටි පණිවිඩයක, එහෙම සටහන් වෙලා තිබ්බ. “මොකක්හරි හේතුවකට” කියල කිව්වට හේතුව මොකක්ද කියල මම දන්නව. එහෙම කියන්න හේතුවෙච්ච සිද්දිය ඔයා අර්ථදක්වපු හැටි, ඒ සිද්දියට ඔයා දක්වපු ප්රෙතිචාරය ඔයාම සාධාරණීකරණය කරපු හැටි ඇත්තටම බොහොම හොඳයි. සාමාන්යවයෙන් ඔයා මොනවහරි කිව්වහම ඒකට මමත් මොනවහරි දෙයක් එකතුකරන එක එහෙමත් නැත්තං ඔයා වැරදී කියල තර්ක කරන එක, ඔයත් එක්ක රණ්ඩු කරන එක මගෙ හැටි. ඒත් එදා ඔයා කියපු දේවල් වලට මම කිව්වෙ “ඔයා කැමති දෙයක් කරන්න. මම හා කියලවත් එපා කියලවත් කියන්නෙ නෑ” කියල විතරයි.
ඕනිම කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයා ගැන හිතන්නෙ “එයා තමයි මගෙ මුළු ලෝකෙම” කියල. ආදරය කරන්න ගත්තහම එහෙම හිතෙන එක හරිම ස්වභාවික දෙයක්. හැබැයි ආදරය කරන්න ගත්තහම ඔයා එක දෙයක් අමතක කරල. නිතර දකින කුකුලගෙ කරමලය සුදුයි කියල කියනව වගේ, අවුරුදු විසිගානක් දවස් තුන්සිය හැටපහම පැය විසි හතර පුරාවට ඔයාට පණ වගේ ආදරය කරපු, ඔයාට විතරක්ම ආදරය කරපු, මුළු ලෝකෙම ඔයාම වෙච්ච අම්මයි තාත්තයි ඔයාගෙ ඔය පුංචි ලෝකෙ ඇතුලට දාගන්න ඔයා අමතක කරල. මාස කීපයක ආදරයකට අසීමිත ආදරයක් සින්නකරල. සමහරවිට ඔයා කියයි ඒක ආදරයේ හැටි කියල. ආදරය බොළඳයි කියලත් මට පණ්ඩිතකම් කියයි. ඒත් කවදාහරි ඔයාගෙ ලෝකෙන් “එයාට” යන්න සිද්ධඋනොත්? එහෙමත් නැත්තං “එයා” ඔයාව දාල ගියොත්?
ඔයාට දුක කියන්න කවුරුත්ම නැති උනහම, ඔයාගෙ දුක අහන්න කවුරුවත්ම නැති උනහම, ඔයාගෙ ලෝකෙම වෙච්ච කෙනා ඔයාගෙ “කෝල්ස්” වලට “ආන්සර්” නොකර ඉන්නකොට, ඔයාගෙ “මැසේජ්” වලට “රිප්ලයි” නොකර ඉන්නකොට, “එයා” හොයාගන්නවත් නැති විදිහට අතුරුදහන් උනහම, ඔයාට තේරෙයි අරවිදිහට තුට්ටුදෙකට සින්නකරපු අසීමිත ආදරේ වටිනාකම. අන්තිමට “මොනදේ උනත් කමක්නෑ දුවේ උඹට අපි ඉන්නවනෙ” කියල ආදරෙන් ඔලුව අතගාල ඔයාව සනසන්න, ඔයාගෙ දුක බෙදාගන්න ඉන්නෙ ඔයාගෙ ලෝකෙන් පිටුවහල් කරපු “අම්මයි” ”තාත්තයි” විතරයි.



No comments:

Post a Comment