Sunday, July 13, 2014

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ.....

හුළඟට අහුවෙච්ච වරා මලක් හුළඟ හමන ඕනිම දිහාවකට පාවෙලා යනව. හරිම සැහැල්ලුවෙන්. වරා මලට හිතෙන්නෙ තමන් බොහොම නිදහසේ තමන්ට ඕනි විදිහට පාවෙනව කියල. ඒත් වරා මල දන්නෙනෑ තමන් පාවෙන්නෙ හුළඟට ඕනි විදිහට කියල. අපේ හිතත් ඒවගේ. සුන්දරයි කියන මායාවෙන් අන්ධවෙලා ඒ සුන්දරයි කියන දේවල් වලට අනුව ඔහේ පාවෙලා යනව. හුළඟ නැතිඋනහම ඔය කොහේහරි තැනකට වැටෙන වරාමල වගේමයි අපේ හිතත්. ලස්සනයි කියල අසාවෙන් අල්ලගෙන හිටපු දේවල් අපේ අතැඟිලි අතරින් හෙමිහිට ගිලිහිලා ගියහම හිතත් වැටෙනව. වරාමල වගේම වැටෙනව. හැබැයි හිතට ගොඩක් රිදෙනව, ගොඩක් අඬනව. වරාමල වාගෙම ආයෙත් හිතට දැනෙන ලස්සන දෙයක් ආවහම රිදුනබව, අඬපුබව වගේම වැටුණුබවත් අමතක කරල පාවෙන්න ගන්නව. තමන්ගෙම හීන ලෝකෙක පාවෙන්න ගන්නව.
ඔයත් හරියට වරාමලක් වගේ. සුදුයි ලස්සනයි ඒවගේම හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ජීවිතේ කිසිම බරක්පතලක් ගණන් ගන්නෙ නෑ. තවමත් හිතන්නෙ පොඩි කෙල්ලෙක් වගේ. හැබැයි ජීවිතේ ඔයා හිතන තරම් සැහැල්ලු නෑ. මම දන්නවා ඔයා මේ දවස්වල කූඩුවක් හදනව කියල. ආදරණීය කුරුල්ලෙක් එක්ක. හැබැයි මම දන්නව ඔයා කූඩුව හදන්නෙ සුළං කපොල්ලක කියල. හමන සුළංපාර හරිම සැරයි. නිතරම සුළං හමනව. පරිස්සමින් ඉන්න, කොයි වෙලාවක හරි කූඩුව කැඩිල බිඳිල යන්න පුළුවන්.
මම තනිකඩ කුරුල්ලෙක් හැටියට ඉන්න තාක්කල් ඔයාට ඕනිකරන ඕනිම උදව්වක් කරන්න මම පොරොන්දු වෙනව. හැබැයි ගෙදරින් කරන බලකිරීම් ඉවසන්න බැරිම තැන මටත් කුඩුවක් හදන්න සිද්දඋනොත් විතරක් මට ඒ උදව්ව කරන්න බැරි වෙයි. මොකද එදාට මට බලාගන්න මගේම කියල කිරිල්ලියක් ඉන්න නිසා.....


No comments:

Post a Comment