Thursday, August 28, 2014

එකෝමත් එක දවසක - දවසක් දා 07

ඉර පායන බවත්, මල් පිපෙන බවත්, කුරුල්ලන් සින්දු කියන බවත් මට හැඟී යන්නට විය.හේතුවක් නැතුව නිතරෝම හිනැහිමෙන් ආරම්බ වූ රෝගය , නාන කාමරයේ ගී ගැයීම තරමටම උත්සන්න විය. හීන, හුදෙක් වචනයක් නොවන බව වැටහෙන්නට විය. රුපයට ඇතිවන කැමැත්ත හා කෙනෙකුගේ ගතිගුණ වලට ඇතිවන ආදරය අතර වෙනස ජිවිතයේ මුල්වරට මා තේරුම්ගත්තේ මේ සමයේය

එදා ඇතිවුණු කතාබහෙන් පසුව ඈ මා සමග අමනාප වේයැයි සිතා උන්නත් එසේ වුයේද නැත. පැවසිය යුතු දේ මුහුණටම පැවසීමෙන් පසු මෙන්න ඈ නැවතත් පෙර උන් ලෙසම..

තවත් ඇද ඇද ඉඳීමේ තේරුමක් නොවේ යයි මටම හැඟී ගිය නිසා මම දිනක් ඈට ඇමතුමක් ගත්තේ මා සතු සියලුම ධෛර්යය එකතු කරගෙනය.

මා හතර අතේ වන වනා ඈට අපි දෙදෙනා ළඟදීම මුණගැසෙන්න උවමනා බව පවසන්න වෑයම් කලෙමි. මොන දේ දෙඩෙව්වත් උවමනා දෙය පැවසෙන්නේ නැත

හිතේ ඇති දේ කියා ගත නොහැකිව හතර විලියෙන් මිරිකී ඇමතුම විසන්දි කරන්නට සැරසෙනවාත් සමග ඈ නැවතත් මට කතා කළාය

"මට මේ ඉරිදා බෝඩිමට එන්න වෙනවනේ. සඳුදා එග්සෑම් නිසා. ඕනේ නම් මට ඉරිදා උදේම එන්න පුළුවන්"

කියවන ඔබ විස්වාස කලත් නොකලත් මගේ ගෑණු ළමයාට අන්න එච්චර කොන්දක් තිබුණි. මට මං ගැනම අනුකම්පාවෙන් බිම ඉඳගෙන අඬන්න හිතුනේය.

අවුරුදු ගානක් අනාගත් මට ඒ වන විට මොලේ පෑදී ඇතැයි මම අවංකවම හිතාගෙන උන්නෙමි. මම කට ඇරියේ " එහෙම නම් නියමයි නේ, මටත් ඉරිදට වැඩක් තියෙනවා , අපි දෙන්නට මිට් වෙන්න පුළුවන් වෙයි නේ " කියන්නටය

ඒත් මගේ හත්ඉලව් කට පැවසුවේ වෙනත් දෙයකි

"මට ඉරිදට කරාටේ ක්ලාස් තියනවනේ"

කියපු දේ ආපසු ඇද ගත නොහැකිව මම දිව විකා ගත්තෙමි. දෙවියන් විසින් දෝත බදා ලබා දුන් අවස්තාව මග ඇරගත් හිපාටුවෙකු වූ මම හද්ද කුණුහරුපෙන් මටම බැනගෙන , තව කුණු හරුප ටිකක් අහගන්නට ලපයා ඇමතුවෙමි.

මේ වනවිට විශ්වවිද්යාලිය ජිවිතයේ අවසන් වසරේ සිටි ලපයා කුණු හරුපයට කෙතරම් කට හුරුකරගෙන උන්නාද යත් , ඌ එදා පැවසු දේවල් සමහරක් අදටත් මට පැහැදිලි නැත.

"කතා කරපිය ගස් ගෙම්බා, කියපිය තොගේ *&%// ක්ලාස් එක ඉරිදට නෑයි කියල. ඇට රිලවා. තෝ ඔය චාන්ස් එක මිස් කරගත්තොත් නම් (ඉතුරු හරිය මෙහි ලියන්නට බැරිය)

මම ඉතින් ආයෙමත් සැරයක් ඈට ඇමතුමක් ගත්තෙමි

"මේ, මේ සතියේ කරාටේ ක්ලාස් නෑලුනේ.. මම සර්ගෙන් ඇහුවා. මටත් පොඩි වැඩකට බම්බලපිටිය පැත්තේ එන්නත් තියෙනවා. අපි මිට් වෙමුද.. මට ඔයාව බලන්න හරි ආසයි.."

"බෑ අනේ.. මම ඉරිදා හවස් වෙලාම එන්න හිතුවා.."

ඈ මට කිතුල් පොල්ලකින් පත බෑවානම් ඔයිට හොඳය. ඉතින් මම මගේ ලැජ්ජාව , හැදියාව ඔක්කොම පැත්තකින් දමා ඈට පැමිණෙන ලෙස පින්සෙන්ඩු උනෙමි

ඈ කැමැත්ත පල කළේ එදා රාත්‍රියේය.. අවසානයේ මම දිව්‍යලෝකය දුටුවෙමි

"හැබැයි මම කලුයි. ගොඩක් මහතයි. ඔයා මොනවා හිතයිද දන්නේ නෑ.."

"කළු කියන්නේ කැත පාටක් ඈ.. අනික මාත් මහතයි.. ඔයා එන්නකෝ" මම දාර්ශනිකයෙකු ලෙස පැවසීමි

ඉතින් ඊළඟට පැමිණියේ මගේ ජිවිතයේ හෙමින්ම ගෙවීගිය දින දෙකය. මුහුණු පොතේ මවිසින් ඈව හමුවන්නට ගෙවෙන්නට ඇති පැය ගණන පැයෙන් පැය යාවත්කාලින කිරීම, මගේ මිතුරන් ඔක්කොම හද පත්ලෙන්ම මට සුබ පැතීම මෙන්ම මාව මැඩවීම,ලපයා තකහනියේ පැමිණ මට ඇඳුමක් අරන් දීම, ඈට ගෙනගිය යුතු තෑග්ග ගැන කල්පනා කිරීම ආදී නොයෙකුත් දේ අතර වුවද තත්පරයක් මට පැයක් ලෙස දැනුනි

අවසානයේ මෙන්න මගේ දවස..

නියමිත වෙලාවට පැය දෙකකට කලින් එම්.සී එකට ගිය මම කුඩා ටෙඩියෙක් හා චොකලට්ටුවක් ගත්තේ ඈට දෙන්නය.

ඈ පැමිනේයැයි කියූ වෙලාව ට තව කල්පයක් ගෙවුණු අතර, මදින් මද වෙලාව ගෙවී ගියද ඈ පැමිණෙන පාටක් නැත

ඇමතුමක් ගත් කල පැවසුවේ ඈ තවමත් මග හෙයින් පරක්කු වන නිසා මට හැරී යන ලෙසය. එහෙත් මා උන්නේ මාසයක් හෝ එම්. සී එකේ ලැග හිඳ ඈව බලාගෙන මිස හැරී යන්නට නොවේ.

ඇතුළු වීමේ දොරටුව දෙස බලාගෙන උන් මට , එම්. සී එකට ඇතුළු වන කළු, මා වැනි හතරක් තරම් ප්‍රමාණයකින් යුතු ගෑණු ළමයෙකු පෙනුනි. ආ සැනින් ඈ දුරකථනය අතට ගෙන ඇමතුමක් ගන්නවාත් පෙනුනි. සිතල වී ගිය, මදක් වෙව්ලන අතින් අල්ලාගත් දුරකථනය දෙස මම බලාපොරොත්තු සහගතව බලාගෙන උන්නෙමි.

විනාඩි දෙකක් පමණ ගෙවී ගියද ඇමතුමක් නොපැමිණි බැවින් මම ඈට ඇමතුමක් ගත්තෙමි. ඒ වනවිටත් ඈ උන්නේ මගය. මගේ ඇඟට යන්තම් ලේ පොදක් ඉනුවේය.

ආයෙමත් එවැනි තිගැස්සිම් ඇති නොවන්නට මම එයින් පසු පළමු මහලේ කඩසාප්පු අතර ඇවිදිමින් උන්නෙමි. කතාකරගත් වෙලාවට හරියටම පැය දෙකකට පසු මගේ දුරකථනය නාද විය

"හෙලෝ ඔයා තාම ඉන්නවද?" මදක් ගැස්සෙන ලා හඬකින් ඈ ඇසු අතර ඈ කෙතරම් පහත් ස්වරයකින් කතා කලාද යත් මට ඈව ඇසුනේ යන්තමිනි.

"ඔව්...."

"මම පොන්ඩ් එක ළඟ"

මම අඩි දෙකට පහලට බැස්සෙමි. පොකුණ ළඟ මට පිටුපස හරවාගෙන කුඩා ගැහැණු ළමයෙකු වාඩි වී උන්නේය. ලොකු මල්ලක් ඈ ළඟ බිම තබා තිබුණි. මගේ හද නැවතුනේ නැතැයි කිවොත් එය බොරුවකි

මම දැන් ඈ ඉදිරියේ.. එම්. සී එක ඇතුලත විදුලි පහන් දහස් ගණනක ආලෝකයෙන් දිලිසෙන්නේ මගේ ජිවිතයේ හවුල්කාරිය බව එක් මොහොතකින්ම මට වැටහුනේය.




Friday, August 22, 2014

මේ හිතෙ එල්ලිලා පෙරදා - නිර්නාමිකයි තවත් වතාවක්

මේ හිතෙ එල්ලිලා පෙරදා - ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා - ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා - බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා - අහන්න ආදරේ තරම්

දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදාගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන්න බෑ

මේ හිතෙ එල්ලිලා පෙරදා - ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා - ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා - බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා - අහන්න ආදරේ තරම්

මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවේලා මග හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත ඒනම්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්රිතයේ

මේ හිතෙ එල්ලිලා පෙරදා - ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා - ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා - බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා - අහන්න ආදරේ තරම්

ලඟදි දවසක මේ සිංදුව අහද්දි මට හිතුනෙ දුෂ්යහන්ත් මේ සින්දුව කියන්නෙ මටමමද කියල. මීට කලින් වතාවක “මටම පෙම්කළ කඳුළු බිංදුව” ලියද්දිත් මේ විදිහටම හිතුන. ඒ සින්දුව තරම් සාහිත්යමමය අතින් ගැඹුරක් නොතිබ්බත් මට කියාගන්න බැරිව තියෙන, ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න බැරි ඒ කතාව මේ සින්දුවෙත් ලස්සනට සිත්තම් කරල තියනව.
කවදාවත්ම ආදරය නොකරන්න තීරණයක් අරගෙන හිටපු මට, කවදාවත්ම කිසිම කෙල්ලෙකුට ආදරය නොකරන්න තීරණයක් අරගෙන හිටපු මගෙ හදවතට “මට ආදරය කරපං” කියන “ආදරණීය විධානය” දීල, අහස්ගැබේ තරුකැට ගානට, පොලෝ තලේ වැලිකැට ගානට, නිල සයුරේ රල පෙළ ගානට ආදරෙයි මං ආදරෙයි කියල, අන්තිමට “එයා තමයි මගෙ මුළු ලෝකෙම” කියල මටම කියන්න තරම් තේරුම්ගන්න අමාරු හිතක් තියන ඔයා මාව දාල ගිහින් දැන් මාස හයක්.
දරුණු තුවාලයක් හොඳවෙන්න මාස හයක් හොඳටම ඇති. ඕනිම වේදනාවක් ටික කාලයක් එකදිගට දැනෙද්දි අපි ඒ වේදනාවට ඉබේම හුරු වෙනව. ඒ වේදනාව නිකංම අමතක වෙනව. ඒත් ඔයා කරපු තුවාලෙ තවම හොඳවෙලා නෑ. තවම හොඳවෙන්න පටන් අරගෙනවත් නෑ. ඒ තුවාලෙ වේදනාව හැමදාම අලුත්වෙවී දැනෙනව. තවතවත් දරාගන්න අමාරුවෙන විදිහට දැනෙනව, වැඩි වෙනව. හැමදාමත් මම කියනව වගේ ඉන්න තැනක හොඳින් ඉන්න. කරන දෙයක් හරියට කරන්න. ආයෙ කාටවත් මේ වගේ දේවල් කරන්න එපා. කවමදාවත් ඔයාට මේ වගේ දුකක් ලැබෙන්නත් එපා.

තත්පර 8.5 - නිර්නාමිකයි

කාන්තාවකගේ හිතේ ආදරයක් ඇතිවෙන්න දවස් 15ක් විතර ගතවෙනවලු. ඒත් පිරිමියෙක්ගෙ හිතේ ආදරයක් ඇතිවෙන්න ගතවෙන්නෙ තත්පර 8.5ක් විතරයිලු. ඔය කතාව මම දැක්කෙ මුහුණු පොතේ. සමහරවිට ඒක ඇත්ත වෙන්න ඇති. මම දනනෙ නෑ ඒ කතාව සීයට සීයක් ඇත්තද කියන්න.
මම දන්නේ නෑ මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇතිවෙන්න ගතඋනේ තත්පර 8ක්ද නැත්නම් තත්පර 8.5ක්ද එහෙමත් නැත්නම් තත්පර 9ක්ද කියන එක.
ඒ වගේම
මම දන්නෙ නෑ ඔයාගෙ හිතේ මං ගැන ආදරයක් ඇතිවෙන්න ගතඋනේ දවස් 14ක්ද නැත්නම් 15ක්ද එහෙමත් නැත්නම් දවස් 16ක්ද කියල.
ඒත් මම එක දෙයක් දන්නව ඒ,
ඔයාගෙ හිතේ මං ගැන ඇතිවෙච්ච ආදරේ නැතිවෙන්න තත්පර 8.5ක්වත් ගතඋනේ නෑ කියන එකයි මගෙ හිතේ ඔයා ගැන ඇතිවෙච්ච ආදරේ මැරෙනකල්ම නැතිවෙන්නෙ නෑ කියන එකයි.
ඔයා වෙනුවෙන් මගෙ හිතේ වෙන්කරපු ඉඩ තාමත් තියනව. හැමදාටම තියනව. කවදා හරි දවසක ඔයා ආපහු ආවොත් ඔයාට ඉන්න දෙන්න හිතාගෙන ඒ ඉඩ තවමත් පරිස්සම් කරනව. හැබැයි මම කවදාවත් ඔයා ආපහු එයි කියල හිතන්නෙ නෑ. එහෙම ආපහු එන්න ඕනිත් නෑ.


ලිලි මල නුඹ වරක් පෙම් කල?...

ජිවිතයේ එක් සමයක උන් , කවියෙකු රොටියාට මතක මුත්, රොටි පුච්චන්නටම කම්මර වූ හදවත ළඟ කවියා මිය ගියේයැයි රොටියා හිතා උන් සමයක, අහඹුවකදී පෙර උන් කවියා මුණ ගැසීම ම අරුමයක් නොවන්නේද? කවියා සොයා ගන්නට හේතු වුනු සුන්දර යහළුවෙකුට ගවුරවය හිමි විය යුතුය....


තනිවට උන් නෙක මලින් යුතු- මහා ගස් බිම පෙරලුනා
දුකට වැළපුණු කඳුළු හංගා- තනිකමට හිත හුරුවුනා
දෑත් පටලා ඇවිද ගිය මග - විල් උයන් තෙර නැවතුනා
එගොඩ ඉවුරේ පිපි ලිලි මල - ඉරට තනියෙන් හිනැහුනා

හද තෙමාගෙන පැමිණි දිය වැල්- නෙතු පියන් යට බරවුනා
කොපුල් මත තෙරෙපෙන්න පළමුව- තරු ගනින්නට වෙහෙසුනා
අනන්නතයකට ගැන තරු මගහැරුණු විට- ලිලි මල මට හිනැහුනා
එ මල නුදුටුව කඳුළු ගංගා- තරු එලිය යට වීයැලුනා

සුපුන් සඳ විත් දුහුල් අහසට - ශ්වේත සළු මත වැතිරුණා
සඳ රැසින් ගිණි කන වැටි ගිය- ලිලි මල සඳ සැතපුනා
තරු මැ මිස සඳ මලට පෙම් නැත - කිරිකෝඩු හද යලි ගැස්සුනා
මලම මිස මට තරු අවැසි නැත- තනිකමත් තනියට නැතිඋනා

Tuesday, August 19, 2014

මගේ සඳ ඔබ - පළමු හද ගැස්ම

පිරිමි ළමයෙක් තමුන් ගැන උනන්දුයි කියල දැනගත්තාම, ගෑණු ළමයෙකුට පොඩි ආඩම්බරකමක් දැනෙන එක ස්වබාවික දෙයක් කියල මං හිතන්නේ...

මට ආඩම්බරකමක් නොදැනුනා කිව්වොත් බොරු. ඒත් මගේ අසමජ්ජාති කේන්තිය අර ඔක්කොම පහු කරගෙන හිත උඩටම ඇවිත් නියෝ නියෝ බලන් ඉද්දි මට වෙන මුකුත්ම දැනෙන්නේ නෑ. පළිගැනීමේ චේතනාවක් ඇරෙන්න...

පාසල් කාලයේ කන්‍යාරාමයක ඉගෙන ගනිද්දී ඇතිවුණු වික්ටෝරියානු මානසිකත්වය ඒ වෙනකොටත් මගේ හිතේ තදටම තිබුණා. මගේ ඔලුව කොච්චර කුරුවල් වෙලා තිබුනද කියනවනම් , පිරිමි ළමයෙක් ළඟ වාඩි උනත් මට කැළලක් වෙන ගානටම මම හැසිරුනා. හිත ඇතුලෙන් කොච්චර මනමාල කමක් තිබ්බත් ඒ ඔක්කොම වට කරලා පැලැස්තර අලවල තිබ්බේ මගේ අර මානසික මට්ටමයි. ඉතින් එහෙව් මට මෙහෙම සිද්දියකට මුහුණ දී ගන්න බැරි වෙන එක හරිම සාමාන්යයි.

හිත ඇතුලෙ හීන කුමාරයෝ නෑ කියල කිව්වට , මම හීනෙන්වත් හිතුවේ නෑ පන්තියේ ඉන්න අන්තිම නරක තත්වයට වැටුණු කෙනෙක් මගෙන් යාලුවෙන්න අහයි කියල. කිසිම අණක් ගුණක් නැති කොල්ලෙක්...

ඊළඟ දවසේ මට ඇමතුමක් ආව. නොදන්නා නම්බරයකින්. තෝලක කම් කරපු අක්ක එයාගේ රාජකාරිය හරියටම කරලා තිබ්බ කියල මට නොම්බරේ දැකපු ගමන්ම තේරුණා..

කතා කළේ මොනාද , ඇහුවේ මොනාද කියල නම් මට මතක නෑ ඇත්තටම. මට මතක එකම දේ මම ඉතාම හොඳින් ආදාල පුද්ගලයා එක්ක තරමක් වෙලා දුරකථන සංවාදයක යෙදුනු බව විතරයි.ඉතාමත් මිත්‍රශීලි විදියට. කොයිම වෙලාවකවත් යාලුකමේ සීමාව පනින්න මම ඉඩ තිබ්බේ නෑ. වෙන විදියකට කිව්වොත් ආදරේ කරන්න පස්සෙන් ආපු පිරිමි ළමයෙකුට ගෑණු ළමයෙකු විසින් කරන්න පුළුවන් ලොකුම බොරුව, "අපි යාළුවො වගේ ඉඳිමු" කියන සින්දුව මම ඒ වෙද්දී ගායනා කරමින් හිටියා.

මං උපදෙස් දුන්නා. ඉගෙන ගන්න විදිය , හරියට හැසිරෙන විදිය ගැන හර්දයාංගම මිතුරියක් වගේ. ඒ වගේම මගේ හිතේ ඉඳපු සර්පයා දැනන් හිටියා ඒ පුද්ගලයා කවම කවදාවත් හැදෙන්නෙත් නැති විත්තිය.

ඒ පුද්ගලයා වර්ණපාල තියරිය දාන්න හදනකොට මම ඒ තියරිය උඩු යටිකුරු වන තැනට වැඩ කළා. මම දවසක් හිනා උනු නිසා, මම එයාට කැමති බව හතර අතේ පම්පෝරි ගහන්න ගිය මනුස්සයා, මම කතා කරන්න ගත්තට පස්සේ මං සම්බන්දව අනික් අයත් එක්ක කිසිම දෙයක් ප්‍රකාශ කරන එකෙන් වැළකුණා. තියෙන යාළුකම නැති කරගන්න මිනිහ බය වෙන්න ඇති සමහර වෙලාවට.

මගේ ඒ යාළුකම සිමා උනේ ජන්ගමයාට විතරමයි. මිනිහව මුණට මුණගැහුනම මම මුණ දිහා කෙලින් බැලුවේවත් නෑ. ජිවිතේ පලවෙනි වතාවට මම ගෑණු මායම් අනන්ත ගණනක් ප්‍රයෝජනයට ගත්තා.

මගේ සෙල්ලමට තිබුනේ බොහොම කෙටි කාලයයි. සති දෙකක් හෝ තුනක් වගේ මට මතක විදියට. ඊට වැඩ සෙල්ලමක් උනත් දුර ගෙනගියොත් ඒක තවදුරටත් සෙල්ලමක් වෙන්නේ නෑ.

සෙල්ලම ඉවර කරන්න ඕනේ දවස ආව. මම පුස්තකාලේ පොත් තෝර තෝර ඉද්දි මිනිහ ඇවිත් මට වැදගත් දෙයක් කියන්න තියෙන බව කිව්ව

"ප්‍රශ්නයක් නෑ, කියන්න" මම කිව්ව

" මෙතන බෑ. අපි යන් ස්ටඩි හෝල් එකට"

අවුරුදු දහනමයක් තිස්සේ එකතු කරගත්තු දයිර්යය ඔක්කොම එකට එකතු කරන් මම ඔලුව වැනුවා.

ඔව්. එයා වැදගත් දෙයක් කිව්වා. බොහොම බැරෑරුම් විදියට.

මට බකස් ගාල හිනා ගියා. හිනාව තව ටික වෙලාවක් තද කරගෙන හිටිය නම් මේ සින්දුව තව ටික වෙලාවක් අහන්න තිබ්බ කියල මගේ කැත හිතට හිතුනා.

මම එහෙම දෙයක් මගේ හිතේ නැති බව මිනිහට පැහැදිලිවම කිව්ව. බොහොම මිතුරු කමෙන්.

ඒ මිනිහ බලාපොරොත්තු උනු උත්තරේ නෙවෙයි. මගේ මිතුරු කතාව හින්ද මිනිහ ඇත්තටම හිතන් උන්නේ මම එයාට කැමතියි කියල.

පිරිමි ළමයෙක් එක්ක මම සිද්ද කරපු මුල්ම හා වැඩිම බයානක කමක් ඇති සෙල්ලම ඉවර උනේ ඔන්න ඔය විදියටයි. ඔක්කොම සිද්ද කළේ පළිගැනීමේ චේතනාවකින් උනත් එදා රෑ මං හොඳටම ඇඩුවා.

Thursday, August 14, 2014

දොස්තරවරියගේ අකල් මරණය හා පොදු ජන කුහකත්වය

දුටුවන නැවත හැරි බලන්නට හිතෙන , රුවැති ලඳුන් දෙස බලන්නට රොටියා හරිම කැමැත්තේය. පිරිමි අප උපත්තියෙන්ම කුකුලන් වූ කල, ළඳක දුටු විට යන ගමන මදක් පමා වීම, වාහනයේ බ්රේක් පෑගීම, බස් වල නැවතුමක් පසුවී බැසීම ආදිය ස්වාබාවිකය. කාන්තාවන්ද උප්පත්තියේ සිටම හැඩ වැඩ වී ඉන්න කැමැත්තෝය. කුඩා කොල්ලන් වූ අප ගස් බඩගාගෙන , මඩ කාගෙන ගෙවල් වලට යනවිට, අපත් සමග එවකට සිටි ගැහැණු ළමෝ දිලිසෙමින් ගෙවල් වලට ගියා මතකය.

එහෙමත් පිරිමියෙකු හැරෙන්නට ලංකාවේ බොහෝ පිරිමින් සනි ලියෝන්ට වහ වැටි ඇත්තේද ඒ නිසාය. එහෙව් පිරිමි ඊයේ පෙරේදා රූමත් වන්නට ගොස් මියගිය දොස්තරවරිය මෝඩියක් (ඉන්දියාවේ අගමැති හෙම නොවේය) ලෙස හංවඩු ගසන්නට යන්නේද, ගෑණු ලස්සන වෙන්න ඔය හැටි දඟලන්නේ ඇයි දැයි අහන්නේද වස්තර පිටින්දැයි රොටියාට බරපතල ගැටළුවක් ඇත.

ජිවිතයේ බොහෝ කලක් සුන්දරව ගත කිරීමට මනුෂ්‍යයන් වූ අප සියල්ලෝම කැමැත්තෙමු. ලොව සුන්දර වන්නේද සුන්දර මිනිසුන් නිසාය. අඳුරු පැහැ හමක් කෙනෙකුට ප්‍රිය වුවත් තවකෙකුට පැහැපත් සමක් උවමනා විය හැක. ඒ ඒකිනෙකාගේ කැමැත්තයි. කාටවත් මුණ ගැහෙන්නට පෙර උදේ පාන්දරින් අප අපිවම කන්නාඩියෙන් දකිමු. ඉතින් අප අපටම ප්‍රිය උපදවන ලෙස දකින්නට කැමැත්තෙමු. ඒ සඳහා වෙහෙසෙන්නෙමු.

ජෙල්, වතුර සමග පොල්තෙල් කලවම් කොට කොණ්ඩය සකසා ගැනීම පිණිස , උදේ පාන්දර පැයක් තිස්සේ වෙහෙසෙන මිතුරෙකු රොටියාට ඇත්තේය. උගේ මහන්සියට සරිලන්නට කෙල්ලන් බුරුතු පිටින් ඌට වහ වැටි ඇත්තේය.

ඇත්ත කතා කලොත් රොටියාගේ ගෑණු ළමයාගේ පෙනුම ගැන , ගෑණු ළමයාට නැති කැක්කුමක් රොටියාට ඇත. ගෑණු ළමයා ඔපයට ඉන්නා විට රොටියාටද හරි අගේය.

කාගෙවත් රුචි අරුචි කම් ගැන ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට වෙන කාටවත් අයිතියක් නැත්තේය. අප ගෑණු ළමයින්ගේ වැඩ වලට හිනැහෙන බව ඇත්තය. ඒ අපේ විනෝදයට මිස කුහක කමකට හෙම නොවේය

ඔය විස උනා යයි කියන බෙහෙත ප්‍රමිතියෙන් බාල හෝ බාවිතයට නුසුදුසු එකක් උනා නම් එය වෙනම කතාවකි. නමුත් ආසාත්මිකතා කියන ඒවා ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වැළඳිය හැක්කේය. මල් රොනක්, මිවිතක් හෝ හිරු රැස් බිඳක් අපට ආසාත්මික වන්නේ කුමන මොහොතේදැයි අපට කිව නොහැක. ඒ වෙලාව ට ක්ෂණික ප්‍රතිකාරයක් හැමෝම සිහියේ තබාගෙන ඉඳීම වැදගත්ය.

"අයියෝ මට නම් ඇලජික් නෑ" යනුවෙන් සිංහ නාද කරමින් , ඕවා ගැන අවබෝදයක් නැතුව ඉන්නේ නම් බත් කන හරක්ය. රොටියාද කලක් එහෙව් එකෙකුව උන් නමුත්, දැන් නම් හැමවෙලේම රොටියා ළඟ ඕනෑ හදිසියකට බඩු ඇත

අවසාන ලෙස "මේ දිරන කය ලස්සන කරන්නේ ඇයිදැයි" අසමින් හොරෙන් හොරෙන් රුවැති ලඳුන්ට ඇස් දෙන ආත්ම වංචාකාර, කුහක මානසිකත්ව කරපින්නා ගත් හොරු රැලකට වඩා සිය පෙනුම වැඩි කර ගැනීමට ගිය ඒ වෙද තුමිය ශ්‍රේෂ්ඨ බව රොටියා සඳහන් කරනවාය.


Saturday, August 2, 2014

දුල් අහස

දුල්මිණි වෙලාව බැලුව. හතරයි. ඒත් අහස් පේන තෙක් මානෙක නෑ..

"පරක්කු වෙනවා මම යනවා." දුල්මිණි දුවන ගමන් ම හදිසියට ජන්ගමයට ඔබල දැම්ම. අහස් ගේ ජන්ගමයා බීප් බීප් ගෑවා
"පොඩ්ඩක් ඉන්න. එක්කෙනෙක් එනවා.." දුල්මි නැග්ග බස් එකේ කොන්දොස්තර ආයෙම සැරයක් කිව්ව. මදුසමයට යන මනමාලියෙක් වගේ යම්දෝ නොයම්දෝ හිත හිතා, පස්සට ඇද ඇද උන් බස් රාජයා බොහොම ලේසියට නැවත වතාවක් නැවතුනා. ඒත් එක්ක කාගේදෝ හතියක්..

"අහස්"

දුල්මිට ඇද කරපු අහස් දෙන්නටම ටිකට් ගත්තා.

"මොකද මෝඩයෝ වෙලාවට එන්න බැරි" දෙන්න අතරේ කුණුහරුපෙන් බැනගන්න උනත් පුළුවන් තරමට යාළුකමක් තිබ්බ නිසා දුල්මි ඇහුවේ සැරෙන්
අහස් ඔලුව කැසුවා. පොඩි උනු ෂර්ට් එක, දවස් දෙකක් විතර නොකැපුව රැවුල අස්සෙන් නිදිමරපු ඇස් දෙකක් හීනියට හිනැහුනා..

"පොඩි වැඩක් සෙට් උනා. අදම දෙන්න ඕනේ නිසා ඊයේ රෑ ඉවර කළා.."
එතනින් එහාට දුල්මිට මුකුත් කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. හැමදාමත් අමුතු සිතුම් එක්ක ජිවත් උනු අහස්ගේ ජිවිතේ හරි අපිලිවලයි කියල ඈට හිතුන. අහස්ගේ අම්මල තාත්තලට සල්ලි තිබ්බත්, හැමදාම අහස් කොහෙන් කොහෙන් හරි හොයා ගත්තු පොඩි පොඩි ව්‍යාපෘති කළේ සල්ලි හොයාගන්න. මාසේ වියදම අම්මල දෙන එකේ ඔහොම නැහෙන්නේ මොකද කියල කීප වතාවක්ම ඇහුවත් අහස් නිසි උත්තරයක් දුන්නේ නෑ. ඒ සල්ලි වලට මොකද කරන්නේ කියල කිව්වෙත් නෑ

දුල්මි හිතුවේ අහස් ඒ සල්ලි වලින් යාළුවොත් එක්ක රෑ තිස්සේ සාජ්ජේ දානවා ඇති කියල. මොකද අහස්ට පඳුරකට ගහල සීයක් හොයාගන්න තරමට යාළුවො හිටියා..

ඒ මුකුත් තමුන්ට අදාළ නැති උනත් , නාස්ති වෙන්න එපා කියන එක කීප වතාවක් කීප විදියකටම දුල්මි අහස්ට කිව්ව. ඒ හැම වෙලාවකම අහස් තේරුම් ගන්න අමාරු බැල්මකින් දුල්මි දිහා බලන් උන්නා

"එන්න එන්න" අහස් දුල්මිගේ අතින් අදිනවා හැමදාමත් වගේ. බස් එකේ හිස් වුනු සිට් එකක් කකුලෙන් මුවා කරගෙන. වටේ හිටපු ඇන්ටිලා අන්කල්ගේ බලාපොරොත්තු කඩවුණු, තරහෙන් පිපිරෙන මුණු දැකල දුල්මිගේ මුණ බිට් අලයක් වගේ රතු පාට වෙලා.

"පිස්සුද හලෝ. මට හිටන් ගියෑකී" දුල්මි කිව්වේ හඬ අඩු කරලා

"පණ්ඩිත කම් නැතිව වාඩි වෙනවා කියන දේ අහල" එපාර අහස් ගේ වෙස් පෙරලිලා. නපුරු වුනු ඇස් තවත් රතු වෙලා. මේ පන්තියට යන්න පටන් ගත්තු දවසෙම තමුන්ව බලා ගන්න රාජකාරිය, බාලසුරිය අංකල්ගේ පුතා උනු අහස්ට බාර දීපු තමුන්ගේ අම්මලට හිතින් බැන බැන දුල්මි වාඩි උනා.

අහස් බොහොම හොඳ යාලුවෙක්. ඒත් පරිස්සම ඕනාවට වැඩියි. යාලුවොත් එක්ක එකතු උනාම පිස්සෙක් වගේ ගෑණු ළමයින්ට විහිලු කරන හැටි දුල්මි දැකල තියෙනවා.

"ඔයාව මට මහ කරදරයක්. ඒත් ඔයාව බාර දුන්නේ අම්මල නිසා මට ඔයාව පරිස්සන් කරන්න වෙනවා. තේරුනාද" අහස් වාඩි වෙලා ඉන්න දුල්මිගේ කනට කෙඳිරුව. දුල්මිගේ ඇස් වලට කඳුළු පිරුනා.

"මෙතන අඬන්න ලෑස්ති වෙන්න එපා කෙල්ලෙක් වගේ. දකින මිනිස්සු හිතයි ඔයා මගේ ගෑණු ළමයා කියල" අහස් එපාර කිව්වේ ටිකක් තදින්

බස් එක හෝල්ට් එකේ නවත්තපුවාම, දුල්මිගේ බෑග් ඒකත් අරන් දුල්මිව පරිස්සමට බස්සන්නේ අහස්. හැම පිරිමි ළමයෙක්ම වගේ අහස්ව දැනන් හිටිය නිසා කවුරුත් දුල්මිට විහිලු කළේ නම් නෑ

දුල්මිට පන්ති යන අතර තුරේ නින්ද ගියොත් අහස් පරිස්සමට දුල්මිගේ ඔලුව ලඟින් අත තියා ගන්නවා. දවසක් පන්ති ඉවර වෙලා එනකොට කලින් දවසේ පාඩම් කරලා මහන්සියටම දුල්මිට නින්ද ගියා.ඉඩ තිබුණු නිසා එහා පැත්තේ ඉඳන් හිටියේ අහස්. ඇහැරෙද්දි බස් එකේ බාගයක් හිස් වෙලා. බහින්න ඕනේ තැන පහුවෙලා සෑහෙන දුරකුත් ගිහින්. අහස් දුල්මිගේ ඔලුව උරහිසට හේත්තු කරන්, පරිස්සමට ඔලුව ලඟින් අතකුත් තියන් බලන් ඉන්නවා දුල්මිගේ මුණ දිහා.

"ඇති යන්තන් ඇහැරුනා මල කරදරේ" දුල්මිගේ ඇස් මුණගැහෙද්දී අහස් කිව්ව.

"මේ කොහෙද"

"දන්නේ නං නෑ. හැබැයි පැයකට විතර කලින් බහින තැන පහු උනා.."

"මොකද මෝඩයෝ ඇහැරෙව්වේ නැත්තේ"

"ඇයි මෝඩියේ. ඔයාට හොඳටම නින්ද ගිහින් නේ තිබ්බේ"

මේ මනුස්සයත් එක්ක වාද කරලා තේරුමක් නෑ කියල හිතෙන් බැන බැන එදා දුල්මි  අහස් එක්ක ගෙදර ආවේ පාරේ ගිය ටැක්සි එකකිනුයි. දුල්මිගේ නින්ද ගැන කතන්දරේ කීප පාරක්ම අහස් ගෙදර අය හැමෝටම කිය කිය හිනා උනු නිසා දුල්මි සතියක් යනතුරු අහස් එක්ක කතා කලෙත් නෑ

ඔක්කොම දේවල් අස්සේ අහස් දුල්මිට හොඳ යාලුවෙක් වුනු නිසා දුල්මිට අහස්ව අයින් කරන්න තරන් හේතුවක් හොයා ගන්න බැරි උනා.

අවුරුදු තුනහමාරක් ගෙවුන. අලුත් යාළුවො හම්බුනා. වෙන්වුනා. විබාග කළා. ව්‍යාපෘති කළා.. හැබැයි අහස් නම් තාම පටන් ගත්තු තැනමයි. දුල්මිගේ හොඳම යාළුවා. ආරක්ෂකයා . අපිලිවලට ජිවත් වන , ඉක්මනින් තරහ යන අහස්.

අන්තිමට පාටමාලාවේ අන්තිම දවසටම ඇවිත්

"එනවද මාත් එක්ක පොඩි ගමනක් යන්න" හැමදාම දේශන ඉවර වුනු හැටියෙම, අඩුම ගානේ යාලුවෙක් එක්ක කතා කරන්නවත් ඉඩක් තියන්නේ නැතිව දුල්මිව ගෙදර ඇදන් ගිය අහස්ට අද කොහේ හරි යන්න හිතිලා

"යමු. අදින් ඉතින් මගේ කරදරේ ඉවරනේ" අහස් රැව්වා. දුල්මි කටපියාගත්තා.

අහස් දුල්මිව එක්කගෙන ගියේ සයිවර් කඩේකටයි. අවුරුදු ගානක්ම ඔහුගේ පිලිවල තේරුම් අරන් තිබ්බත් දුල්මි අත පස්සට ඇද්ද.

"ලජ්ජා නැද්ද අනේ. අපි යන්කො ටිකක් හොඳ කඩේකට"

කිසිම කතාවක් නැතිව ආපහු හැරිලා පාර හරහා පැනපු අහස්, සෑහෙන හොඳ රෙස්ටොරෙන්ට් එකක් ඇතුලට දුල්මිව එක්කගෙන ගියා.

"මං පටන් ගන්න යන්නේ මගේම ප්‍රඩක්ෂන් හවුස් එකක්."

දුල්මි කිසි දෙයක් කිව්වේ නෑ. අහස්ගේ අපිලවල ජීවිතෙත් එක්ක තමුන්ගේම කියල දෙයක් මොන විදියකට කරගෙන යයිද කියල ඇයට හිතා ගන්න බැරි උනා

"මං ගන්නවා කාර් එකක්. හැච් බැක් එකක්. හයිබ්‍රිඩ් එකක්. ගඟක් අයිනේ මම හදනවා තනි තට්ටුවේ ගෙයක්. බැල්කනියක් එක්ක. රෑට ගඟ දිහා බලන් ඉන්න. මම හදනවා බල්ලෙක්. ජර්මන් ෂෙපර්ඩ් එකෙක්. ඌ ත් ඉඳි මගේ තනියට බැල්කනි එකේ. අපි දෙන්නට කෑම හදන් එයි මගේ පණ, මගේ වයිෆ්. මම මුළු රෑ පුරාම එයාව තුරුළු කරන් ඉඹ ඉඹ ගඟ දිහා බලන් ඉන්නවා. බල්ලට අහක බලාගන්න කියල

දුල්මිට හිනා ගියත් ඒක හංගගන්න ඈට පුළුවන් උනා. අහස්ට මානසික අවුලක් ද කියලත් ඇයට හිතුනා. තමුන්ගේ හොඳම යාළුවා උනත් ඔහුගේ හීන ගැන කියවද්දී, ඇය බාදා නොකළයුතු බවත් ඇයට වැටහුනා

"මගේ වයිෆ් මාව බබෙක් වගේ බලා ගනියි. එයා දන්නවා මට සමහර දේවල් ගැන එච්චරම දැනීමක් නෑ කියල. ඉතින් ඔක්කොම එයා මට කියල දෙනවා ආදරෙන්. මම එයාව බලා ගන්නවා මගේ පණ වගේ. එයාගේ කොන්ඩේ පිරන්නේ මම. එයාට කවන්නේ මම. මට ඕනේ වෙලාවක ගිහින් එයාව තුරුළු කරගන්න පුළුවන්. මම ඔෆිස් එකේ ඉද්දි හදිස්සියේ දුවගෙන ගෙදර එනවා එයාව බලල යන්න."

අහස් තවත් කියෝනව. හැමදාම තමුන්ගේ පස්සෙන් ආපු අහස්මද මේ කියල දුල්මිට විස්වාස කරන්නත් අමාරු උනා. අහස් ඉන්නේ ලොකු හීනෙක. කවදාවත් ලබා ගන්න බැරි බොළඳ ලෝකෙක. දුල්මිට දුක හිතුනේ අහස්ට හම්බවෙන ගෑණු ළමය ගැනයි

"අපි යන්ද බීච් එක පැත්තේ" කියවලම මහන්සි උනු හින්දද කොහෙද අහස් ඇහුව.

"යමු" කිසිම දවසක අහස්ව තත්පරයක්වත් අවිස්වාස නොකරපු දුල්මි කිව්ව

වෙරල අයිනේ ලොකු ගල් පරයක දුල්මි වාඩි උනා. ඊට උඩින් තිබුණු ගල උඩ අහස් වාඩි උනේ දුල්මිව තමුන්ගේ කකුල් වලට මැදි වන විදියටයි. මේ ළඟදිත් අහස්ගේ ගෙදර ගිය වෙලාවක, අහස් කාමරේ ඇදුම් ඇඳ ඇඳ ඉද්දිත් කාමරේ ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර උන්නු දුල්මිට ඒකෙ අමුත්තක් තේරුනේ නෑ.

දුල්මිගේ ගෙල පාමුලට අහස්ගේ ඇඟිලි වල උණුසුම දැනුන. ඔහුගේ ශක්තිමත් සුසුම් රල් ඇගේ කම්මුල් වලට දැනුනේ මුහුදු හුළඟ කපාගෙනයි

"මොකද මෝඩයෝ" දුල්මි ඇහුවේ අහස්ගෙන්

"ඔයා මගේ වයිෆ් වෙන්න කැමතිද මෝඩි" අහස් දුල්මිගෙන් ඇහුවේ රහසෙන්

දුල්මි තමුන්ගේ ගෙල පාමුල තිබුණු අහස්ගේ ඇඟිලි තමුන්ගේ අතින් තදින් අල්ලගත්තා. ඊළඟට ඈ හෙමිහිට ඔහු දිහාවට හැරුන. වචනයක් වත් කතා කරන්නට පෙර ඔහු ගැන එහෙම ආදරණිය හැඟීමක් ඇගේ හිතේ නැති බව අහස්ට වැටහුණා.

"ඒකට කමක් නෑ මෝඩි. හැමදාම අපි යාළුවො වගේ ඉමු නේද"

" ඔයා හැමදාම මගේ හොඳම යාළුවා" දුල්මි කිව්වේ කඳුළු අතරින්. අහස් කොච්චර ආදරණිය වෙන්න හැදුවත් , ඔහු තුල තිබූ ගොඩක් ගතිගුණ තමන්ට ගැලපෙන්නේ නෑ කියලයි දුල්මිට හිතුනේ. අහස්ට කවදාවත් ආදරේ කරන්න බැරි බව ඈට හැගුනා

කාලය ඉගිලිලා ගියා. දුල්මි ට හොඳ රස්සාවක් ලැබුනා. අහස් කොහොම හරි තමුන්ගේ ව්‍යාපාරය පටන් ගෙන තිබ්බ. හැමදාම තමුන්ගේ ජිවිතයේ හැමදෙයක්ම දුල්මි අහස්ට කිව්වා. නිසල් මුණ ගැහුණු හැටියි, එයාට තමුන්ගේ හිත ගිය හැටියි පවා.

අහස්ට තවමත් ගෑණු ළමයෙක් හිටියේ නෑ." අපෝ එයත් එක්ක යාලු වෙන්නේ කවුද" දුල්මි හැමවෙලේම හිතුවේ තරමක් දුරකට කුරිරු විදියටයි. තමුන් හැමවෙලේම අහස්ව පාවිච්චි කරනවා නේද කියන දේ බොහොම ආත්මාර්ථ කාමී විදියට ඇය අමතක කරලා දැම්මා. නිසල් එක්ක ප්‍රශ්නයක් උනු ගමන් ඇයට මතක් වෙන්නේ අහස්ව උනත්, අහස් ගේ ජීවිතේට කවුරු හරි කැන්දාගෙන ඒමක් ගැන ඇය කවදාවත් කල්පනා කළේ නෑ

දවසක් රෑක අහස්ගෙන් දුරකථන ඇමතුමක් ආව ඈට.

"මට එයාව හම්බුනා මෝඩි" ඔහුගේ කටහඬ සංතෝසෙන් පිරිලා.

"කවුද" දුල්මි ඇහුවේ කුතුහලෙන්

"මගේ වයිෆ් ව අනේ" ඊළඟට ඔහු ඈ ගැන ලොකු විස්තරයක් කළා. දුල්මි එච්චර ඕනෑකමකින් ඒවා අහගෙන උන්නේ නෑ.

"කොල්ලෝ දහයක් විතර එක්ක නටලා නටල අන්තිමට මේ මෝඩයාගේ කරේ එල්ලුන බඩුවක් වෙන්න ඇති. දුල්මි නොදැකපු ඒ ගෑණු ලමයව පාතටම ඇදල දැම්ම. ඒත් කටුවකින් ඇන්නා වගේ රිදුමක් හිතට එන එක නවත්ත ගන්න නම් දුල්මිට බැරි උනා.

අහස් ගේ ගෑණු ළමය තමන්ට වඩා ගවු ගානක් පහළින් ඉන්න බව දුල්මිණි ට හැඟීල ගියා, මේක ගොඩක් ගෑණු ළමයින්ගේ හිත යටින්, මුලින්ම තමුන් ප්‍රතික්ෂේප කරපු පිරිමි ළමයි ඊළඟට යාලු වෙන ගෑණු ළමයි ගැන ඇතිවෙන හැඟීමක්. ඒ කියන්නේ පිරිමි ළමයෙක් ආදරේ ඉල්ලලා, එක ප්‍රතික්ෂේප කලාට සමහර ගෑණු ළමයින්ගේ යටි හිතේ තියෙනවා අර පිරිමි ළමයා ඕනේ වෙලාවක තමුන්ව බාර ගන්න ඉන්නවා කියල හැඟීමක්. ඒ පිරිමි ළමයා වෙන ගෑණු ළමයෙක් එක්ක යාලු උනාමවත් ඒ හිතුවිල්ල වෙනස් වෙන්නේ නෑ. එතකොට හිතෙන්නේ අර දෙවැනි ගෑණු ළමයා එක්ක යාලු උනාට, මුලින්ම ආදරේ කළේ තමන්ට නිසා පිරිමි ළමයා ඕනේ වෙලාවක ඒ ලමයව අත ඇරලා තමුන් ලඟට පැනගෙන එයි කියල.

මුල්ම දවසේ කතා කලාට පස්සේ අහස් දුල්මි එක්ක අදාළ ගෑණු ළමයා ගැන වචනයක් වත් කතා කළේ නෑ. හදිසියෙවත් දුල්මි එයාව මතක් කලොත් අහස් කිව්වේ "එයා හොඳින් " කියල විතරමයි

"අහස් ඉන්නේ ගෑනුන්ට ගැලපෙන ලෝකෙක නෙවෙයි. හීනෙක. අර ළමයා හැමවෙලේම රණ්ඩු කරනවා ඇති" දුල්මි හිතින් හිතුව. ඒත් තමුන් නිසල් එක්ක වෙන හැම ප්‍රශ්නයක්ම අහස්ට කිව්වට, ඔහු අනෙක් අතට ඔහුගේ ගෑණු ළමයත් එක්ක ඇතිවන ප්‍රශ්නයක්වත් තමුන් එක්ක නොකියන එක ගැන දුල්මිගේ හිතේ නෝක්කාඩුවකුත් 
 ඇති උනා

වැඩි කාලයක් ගතවෙන්න කලින් දුල්මිව පුදුමයට පත් කරමින් අහස්ගේ දෙමව්පියෝ තමුන්ගේ පුතාගේ මංගල්ලේ ආරාදනා පත්‍රය දුල්මිගේ ගෙදරට අරන් ආව. අහස්ට දැන් දුල්මිව සාමාන්යම සාමාන්‍ය හිතවතියක් විතරක් බව දුල්මිට හරියටම වැටහුනේ එදා. ඔහු තමුන්ගේ විවාහය ගැනවත් නිකමටවත් දුල්මිට කිව්වේ නෑ. අඩුම තරමේ මාසෙකින්වත් දුල්මිට කතා කරලා තිබ්බෙත් නෑ.

"අහස් පුතා හරිම වෙනස් ළමයෙක්. ඉගෙන ගන්න කාලේ ඉඳලම සල්ලි එකතු කළා. ඇයි කියපුවාම කියන්නේ එයාගෙම බිස්නස් එකක් පටන් ගන්න කියල. අපි ඒ දවස් වල හිනා උනා. ඒත් මිනිහ අපෙන් සතයක් වත් ඉල්ලනේ නැතිව තනියම ඔක්කොම කරගත්තා. පුතා හොයාගත්ත ගෑණු ළමයත් එයාටම හරි. මොනවා උනත් පුතා පිළිවලක් උනේ ඒ ළමය හම්බුනාට පස්සේ.."

කාමරේට ඇහෙන අහස්ගේ අම්මගේ පාරට්ටුව අහන ඉන්න බැරි තැන දුල්මි කොට්ටෙන් කන් දෙක වහගත්තා

කාලයේ තියෙන නරකම පුරුද්ද තමයි අපි කාටත් හොරෙන් පැනල දුවන එක. දුල්මි නිසල් එක්ක විවාහ වෙලා මාස හයක් යද්දී, අහස් විවාහ වෙලා අවුරුදු එකහමාරක්.

දුල්මිගෙන් අහන්නෙවත් නැතිව ගෙදර ඔක්කොම අනුරාධපුරේ යන්න දාගෙන. තනියම නෙවෙයි. බාලසුරිය පවුලත් එක්ක

තමුන් නිසල් එක්ක බොහෝම ප්‍රීතිමත් විවහා ජිවිතයක් ගත කරනවා කියල පෙන්නන්න ඕනෑකමකුත් තිබුණු නිසා දුල්මි ගමන මග ඇරියේ නෑ. ඇත්තටම නිසල් හොඳ කෙනෙක්. පොලවේ පයගහල ඉන්න, බොළඳ නැති මනුස්සයෙක්

නිසල් අහස් එක්ක ඉක්මනට හිතවත් උනා. අහස්ගේ කුමාරිකාව, හරිම අමුතු ලස්සනක් තිබුණු ගේෂා දුල්මි එක්ක කීප වතාවක්ම මිතුරු කතා බහක් ආරම්බ කලත්, දුල්මි ඈව හිමින්ම මග ඇරියා. අන්තිමේ යමක් තේරුම් ගිය ගේෂා අම්මල එක්ක කතාවට වැටුනා.

ගමනේ තුන් අර්ධයක් විතර යන කොට නින්ද යාගෙන ආපු දුල්මිට නිසල් අතින් ඇන්නා. "මොනාද හලෝ. නැගිටලා යන්කො. මට පාලුයි" ඊළඟට දුල්මිගේ උරහිස වටා අත දාගෙන නිසල් ඇයව ලන්කරගත්තා.

දුල්මිට ජයග්‍රාහි හැඟීමක් ඇති උනා. දැන් ගේෂ ට තේරෙයි තමුන්ගේ බොළඳ කුමාරයා මවපු ලෝකෙ ඉන්න පිරිමින්ට වඩා පොලවේ පය ගහල ඉන්න පිරිමි ගෑනුන්ට ආදරෙයි කියල

වාහනේ තානායමේ නැවතුනා. හැමෝම බැස්ස. අහසුයි ගේෂයි ඇරෙන්න. බහින්නේ නැද්ද අහගෙන දුල්මි වාහනේ ඇතුලට එබුනා.

ගේෂට නින්ද ගිහින් අහස්ගේ උරහිසේ, අහස් ඇගේ හිස ආදරෙන් අල්ලගෙන ඉන්නවා. ඊළඟට ඔහු හස්ත මුද්‍රාවෙන් කිව්වේ තමුන් ගේෂ අවදි උනාම නවාතැනට එන බවයි

"අපේ පුතා ඔහොමමයි. ගේෂ දුවත් එයිට දෙවැනි නෑ" අහස්ගේ අම්මා හිනැහෙමින් නවාතැනට ගියා

අටමස්තානේ වැඳගෙන එද්දී රෑ වෙලා. කෑම කාලා නිසල්ට උවමනාව තිබ්බේ ඇඳ බදා ගන්න.

"අපි වැව ළඟ පොඩ්ඩක් ඉමුද නිසල්" දුල්මි ඇහුවා

"අනේ බෑ දුලි. හොඳටම මහන්සියි.අපි නිදියමු" නිසල් ඇඳට වැටිලා විනාඩියෙන් ගොරවන්න පටන් ගත්තා. තනිකමක් දැනුනු නිසා දුල්මි කවුළුව අසලට ගියා. එතනට නවාතැන අසල වූ වැව අපුරුවට පෙනෙනවා

වැවට හඳ එලිය වැටිලා දිලිසෙනවා. වැවේ රැලි හෙමිහිට ඉවුරේ වදිනවා. නවාතැන ලඟින්ම තිබුණු බංකුවක දෙන්නෙක් තුරුළු වෙලා වැව දිහා බලන් ඉන්නවා. එකිනෙකාට හාදු දෙනවා.


ඒ කවුද කියල දැනගන්න ආයේ ඒ දිහා බලන්න දුල්මිට ඕනේ කමක් නොතිබුණු නිසා ඈ කවුළුව වහල එන්න ආව



Friday, August 1, 2014

මගේ සඳ ඔබ - සිතල නොවැම්බර් අග

කොල්ලෙන් අමුතු සත්තු ජාතියක් විදියට සලකන, බැරි වෙලාවත් මට වචනයක් හරි කිව්වොත් සතියක් කල්පනා කරන, කොල්ලෝ මුණ ගැහෙන එක වලක්වන්න වැරදි බස් වලට නගින, දත්මිටි කාගෙන විකාගෙන කොල්ලන්ට රවන මම.. ඔව් මේ මම සම්පුර්ණයෙන්ම...

ඒක පටන් ගත්තේ මම එක්තරා ආයතනයකට ඇතුළු උනු මුල්ම දවසේ.. ඇතුල් වෙන දවසෙම මම තීරණයක් අරන් හිටියේ ආයේ නම් කොල්ලෝ අමුතු සත්තු විදියට සලකන්නේ නෑ කියල..බොහොම ගාම්බිර විදියට මං මටම පොරොන්දු උනා.

සමාවෙන්න ඇත්තම ඇත්ත කතාව ලිව්වා නම් මිට වඩා සිය ගුණයක් රසවත් වෙයි.. මගේ පස්සෙන් ආපු ඒ උත්තමයා, මේ වගේ බ්ලොග් කියවයි කියල මම හීනෙකින්වත් නොහිතුවත්, සුළු හරි අවදානමක් ගන්නේ මොකටද?

====

කවුද මේ මගේ පොත් මට නොකියා පෙරලන ලජ්ජා නැති එකා.. අසුහාරදාහට තව දාහක් එකතුවෙලාම ගිය කේන්තිය මගේ හිස් මුදුනින් පිට උනා..
"සන්සුන් වෙන්න දරුවා.. සන්සුන් වෙන්න.. මේක තවදුරටත් පාසල නෙවෙයි.." කොහේදෝ ඉඳල ඇහුනු කටහඬක් හින්ද මම ඒ තරහ හිතේම තද කරගත්තා
"නංගි ඔයා මොන බැච් එකේද.. "
"අලුත් එකේ.." පෙනේද මුගේ බය නැති කම. මාත් එක්ක කතා කරන්න
"කොහේ ඉඳලද එන්නේ.."
මම පූසා වගේ හිනා උනා. මගේ හිතේ තෙරපුණු ඒවා දැනගත්ත නම් ඒ උත්තමයා ආයේ මගේ මුණ බලනවා බොරු..

=======

මං පයින් එනවා.. තනියම.. හැමදාමත් වගේ තනියම ඉන්න හැම තත්පරම පුදුමාකාර විදියට විඳ විඳ..
"නංගි.."
හම්මෝ.. මේ ඊළඟ එක්කෙනා. හැමවෙලේම නහයෙන් අඬාගෙන ඉන්න අක්ක කෙනෙක්
"ගූඩ් මොර්නින්ග් අක්කේ.." මම හුරතල් විදියට කිව්ව
"මොන ගුඩ් ද නංගි.. මට හරිම ප්‍රශ්න.."
මට එයාගේ ප්‍රශ්න කියන්න එන්නේ මොන කෙහෙල් අලේකටද කියල අහන්න හිතුනත් මං ආයෙමත් හිනා උනා..
" ඒ මදිවට මට අනික් අයගේ ප්‍රශ්නත් විසදන්න වෙලා"
එපාර නම් අක්කගේ කතා නාදේ මට ඇල්ලුවේ නෑ. මම ප්‍රශ්නාර්ථයක් රන්දගෙන එයාගේ මුණ බැලුවා
"අර මාත් එක්ක ඉන්න මල්ලිගෙන් බේරිල්ලක් නෑ ඔයාව යාලු කරලා දෙන්න කියල. ඔයා එයාට කැමතියි කියල එයාට තේරෙනවලු.."
කොච්චර ඉවසීම ප්‍රගුණ කලත්, අර ගෙදරදී වගේ අත දිග ඇරලා හොඳවායින් එකක් දෙන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි..එහෙනං මෙයා ඇවිත් ඉන්නේ තෝලක කම් කරන්න..
මම බොහොම සුන්දර විදියට හිනා උනා..
"එයාට ඔයාට කරදර කරන්න කිසිම වැඩක් නෑ අක්කේ. කතා කරනවා නම් මට කතා කරන්න කියන්න"
අක්ක ඇස් උඩ ඉන්ද ගත්ත. හිතන් ඉන්න ඇති, අනෙක් ලඳ බොළඳ කුමාරිකාවෝ වගේ මම අක්ක මැද්දට දාගෙන මල්ලි එක්ක කතා කරයි කියල.. ඒවා කොහෙද මේ මාත් එක්ක
"එහෙනං මං ඔයාගේ නම්බර් එක දෙනවා"
"අපෝ දෙන්න" මම ආයේ හිනාවුනා. මගේ හිත ඇතුලේ තත්පරේට කිලෝමීටර දෙකක වේගයෙන් සැලසුම් ඇඳෙන්න උනා.. ඔක්කොම හරි.. ඒත් මූ කියලනේ මාත් කැමතියි කියල.. මම කරන්නන් හොඳ වැඩක්.. කල්පනා කරලම මගේ ඔලුව පැලෙන්න රිදෙන්න ගත්තා

===========

කතාව ඉක්මනටම ඉවර කරන්නම්, රොටියාට එයාගේ කතාව ලියන්න ....