Tuesday, October 27, 2015

රොටියාගේ ගෑණු ළමයාගේ වීර ක්‍රියා

කසාදයෙන් පසුව ගෙවීගිය කාලයටම රොටියාගේ ගැහැණු ළමයා ගැන ලියන්නට යෙදුනේ අල්ප වසයෙනි. ඒ රොටියාගේ ගැහැණු ළමයා කසාදයෙන් පස්සෙන් පසුව පරිනත වී වගකීමෙන් යුතුව ක්‍රියා  කරන නිසා කියා හෙම හීනෙන් වත් හිතන්න එපාය. ඇත්තම කතාන්දරය නම් දිනකට මේ කියන ගෑණු ළමයා සිදුකරන්නට යෙදෙන නොගිනිය හැකි තරමක් වූ මඥන් වීර ක්‍රියා  එකින් එක ලියන්නට තරම් රොටියාට කාල වෙලා නැති වීමයි. එසේම ඒවා දැන් කොපමණ සාමාන්යකරණය වී ඇත්දැයි කිවහොත් ඈ විසින් ඉඳ හිට සිදුකරන ලබන සිහිකල්පනා ඇති වැඩක් වුවත් දැන් දැන් රොටියාට පෙනෙනුයේ ඉතා අස්වාභාවික ලෙසින්ය

ගැහැණු ළමුන් විසින් සිද්ද කරන ඇතැම් ක්‍රියා  නිසා පිරිමි අපේ රෙදි ගැලවී සරම් ඔලුවේ එතෙන අවස්ථා සුලබය. උදාහරණයක් ලෙස රොටියාගේ ගෑණු ළමයා ගැන කතා කලොත් හෙම ඇගේ ප්‍රියතම  අංගයකි විහිලු කතා කීම!! හෙමිහිට හෙම නොවේ. ගමටම ඇසෙන තරම් වූ සද්දයකින්.....


ඔන්න රොටියා හා ගෑණු ළමයා කසාදයට පෙර පොදු ප්‍රවාහන  සේවා භාවිතා කරද්දී ඈ මෙසේ කියයි
“රොටියා ඔන්න මං ඇම්ඩ ගේ කතාවක් කියන්නම් හරිද..”
එසැනින්, අහල පහල එව්වන් බෙලි උලුක් කර ඇස් ඩොගිත්තා ගන්නේ ඇම්ඩන්ගේ විහිලු කතා කියන්නට සැරසෙන මේ ස්ත්‍රී රත්නය කව්දැයි දැක බලා ගන්නටය . රොටියාට වහ ටිකක් කා, ජනේලයෙන් පනින්නට හිතෙන්නේ අන්න එහෙම වෙලාවලදීය


ඇම්ඩන් ගැන ගෑණු ළමයාගේ ආකල්පය (අන්දරේ වගේ) හා පොදු ජන මතය සහමුලින්ම වෙනස් බව අවුරුදු දෙකක් තිස්සේ ඈට ඒත්තු ගන්නන්නට වලි කෑ රොටියා 
අවසානයේ සිය ව්‍යායාමයෙන් හෙම්බත්ව  කෙසේ හෝ තමුන්ටම කියා වාහනයක් ගැනීමට හිත හදා ගත්තාය. දැන් දැන්  නම් ඈ ඇම්ඩ තියා උගේ පුතා සිරිපාල ගැන කතා කියෙව්වත් සැලෙන්නේ රොටියා හෙම නෙමේය.

සම්බන්දය පටන් ගෙන් මුල්ම කාලයේ ගැහැණු ළමයා හා තනිවන්නට පොටක් පාදාගන්නට මග බලමින් සිටි රොටියාට බොහෝ ඇසු පිරූ තැන් ඇති මිතුරෙකු විසින් දෙන ලද උපදේශය පිලි ගනිමින් ,හා හා පුරා කියා ගැහැණු ළමයා සමග සත්තු වත්තට ගිය ගමනද ඈ විසින් රොටියාගේ ජිවිතයේ අමරණිය අවස්තාවක් බවට පත් කරන්නට යෙදුනේද මිට සමාන ආකාරයකය. සත්තු වත්තේ සත්තු නැති අහුමුලු අස්සේ පෙම්බස් දොඩමින් උන් ජෝඩු දෙස ඉරිසියාවෙන් බලමින් සිටි රොටියාව ඈ විසින් මුළු සත්තු වත්ත පුරාම දක්කාගෙන ගියේ  එතෙක් රොටියා විසින් දැන නොසිටි ඇගේ අසීමිත සත්ව ආසාවත්, තමාව මෙතනට කැඳවාගෙන ආවේ ඇත්තටම සත්තු වත්ත පෙන්වීමට යයි ඈ විසින් දරන්නට යෙදුනු ලද බොළඳ අහිංසක විස්වාසයත් නිසාය.


උපදෙස් දුන් මිතුරාගේ සකල වර්ගයා සිහිකරමින් ඌට මයිත්‍රී කරමින් උන් රොටියාට බිංකුන්ඩෙක් වන්නට කරුණු සිද්ද වුනේ කළු වලසාගේ කුඩුව ලඟදිය. රොටියා විසින් පෙර කර තිබූ කරුමයක් පටිසන් දීම නිසා අපේ මාස්ටර් සෑර් හිරු එලිය තැපීම ඉවර කර සිය ලගිනස්තානය කරා යාමට තීරණය කර තිබුනේ එම වෙලාවෙදිමය.
ගෑණු ළමයා: (උච්ච ස්වරයෙන්) අනේ පව්.. ඒ වලහට ලෙඩක් අනේ....
රොටියා: “ඔයා කොහොමද දන්නේ”
ගෑණු ළමයා : (උච්ච ස්වරයෙන්ම ) “ඇයි අර අර.. ඔයාට පේන්නෙ නැද්ද ? උගේ පිටිපස්සෙන් බටයක් වගේ එකක් තියෙන්නේ. ”
එතනින් එහාට මාස්ටර් සෑර්ගේ “සෑර්” රොටියා දෙස බලාන ඔලොක්කුවට වගේ පැද්දෙමින් උන්නා රොටියාට හීනෙන් වගේ මතකය. වටාපිටාවේ උන් ප්‍රේක්ෂක ජනයාගේ ප්‍රතිචාරය  බැලීමට සුනංගු නොවූ රොටියා ගෑණු ළමයාවත් ඇදගෙන සත්තු වත්තෙන් චුත උනේ චිටාවෙකුගේ වේගයෙනි . එයින් පසුව නම් කසාදය තෙක් ගැහැණු ළමයා හා තනිවන්නට නම් රොටියා හීනෙන්වත් හිතුවේ නැත්තේය


කසාදයෙන් පසුව තත්වය තරමක් සමනය වී යයි සතුටු සිතින් උන් රොටියාගේ රෙදි පසුගිය දිනෙක යලිත් වතාවක් නැති බංගස්තාන වීමට කරුණු යෙදුනාය . ඒ කෙසේද යත් ගෑණු ළමයා හා යන්නට යෙදුනු චාරිකාවකදීය.
ඉතිහාසයට රොටියා සේම කැමති ගැහැණු ළමයාත් එක්කාසු කරගෙන නිවාඩුවක් ලද විගස කොහේ හෝ රජෙක් විසින් තනා ඇති මොකක් හෝ අටමගලයක් කරා ගොස් එහි අහු මුළු සොයා බැලීම රොටියාගේ සිරිතය. මේ ගමන්වලදී ගල් කණු , සෙල් ලිපි ආදියේ කිමිදෙමින් ඒ සම්බන්දයෙන් ,මොනවා හෝ දෙඩවීම රොටියා මෙන්ම ගෑණු ළමයා අතින් නොවරදවාම සිද්ද වෙනවාය (අනෙකා අසා සිටිනවාද නැද්ද යන්න මිට කොහෙත්ම අදාළ නොවන්නේය). උක්ත සිද්දිය පුජා බුමියක වූ නිසා එහි නම නොකියමි. එය විස්මිත ලෙස ඔප මට්ටම් කල ගලින් සැදී පඩි පෙළක් සහිත ගල් තුරු අතර වූ මගක් බව පමණක් කියමි


ගෑණු ළමයා “රොටියා ඔයා දැක්කද මේ ගල කපලා තියෙන විදිය”
රොටියා: “..”
ගෑණු ළමයා : “හැබෑට මෙච්චර ලොකු ගලක් මෙහෙම කපන්න කොහොම ටෙක්නොලොජි එකක් තියෙන්න ඇතිද?”
රොටියා: “..”
අවට කොල්ලන් : “..................”


Friday, October 23, 2015

මෙයිපින්ග්

මේ වගේ වැස්සක් දිහා ඈත් එක්ක බලා ඉන්න
මං කොච්චර නම් හීන මැව්වද..
මේ වගේ වැස්සක කුඩයක් ඉහලාගෙන ඈත් එක්ක ඔහේ ඇවිදන් යන්න
මං කොච්චර නම් හීන මැව්වද

මෙයිපින්ග්... මගේ පුංචි මෙයිපින්ග්

අම්ම උගත්ය බුද්ධිමත්ය කියල
තාත්ත විදේශ සමාගමක වැඩ කළාය කියල
ජාතිද්‍රෝහී කුමන්ත්‍රණ කාරයෙක් කියල හණ ගහපු
පුංචි වහුපැටියා

විප්ලවය .. රතු විප්ලවය..
මාක්ස්වාදය.. සමාජවාදය..
උන් වන්දි ගෙව්වේ
ධනවාදී උනාට

ඔව් , ඉගෙනගෙන සල්ලි හොයාගෙන
ලස්සන ගෙයක් තියාගෙන
වැඩට කෙනෙක් තියාගෙන හිටපු එක
ධනවාදී කමක් තමයි

රතුපාට උනු මාවත් දිගේ
රතුපාට උනු ගොඩනැගිල්ලකට ඇදන් ගිහින්
විප්ලවයේ නාමෙට දිවි නසා ගන්නට බල කෙරුණු
මගේ පොපි මල ...

මෙයිපින්ග්...

Wednesday, October 21, 2015

රාවණායනය 2

පළමු කොටස මෙතනින්


උදෑසන සරසවිය භුමිය වටා පැතිර තිබූ මිදුමත් සමග ආ කුමක්දෝ සුවදක් විශ්වට සිය අතීතය සිහි කළේය. තම සීයාත් සමග මාචු පිචු නම් ඉන්කා බලකොටුව සොයා අන්දීස් කඳුවැටියට ගිය ඒ දුෂ්කර ගමනේ දී හැම හිමිදිරියකම තමා වින්දේ මේ සුවඳමය.
ඒ තමා සියා සමග ගිය මුල්ම ගමන නොවේ. ඊට කලින් බොහෝ වතාවක් රට හෝ නොරටෙහි යෙදුනු සීයාගේ ගමන් වල ගමන් සහයකයා වුයේ විශ්වය. සැබවින්ම තමා සීයාට සහයකට වඩා ගෙන දුන්නේ කරදරයන්ම බව විශ්වට සිහිවන්නේ සිනාවක්ද සමගය. ගීසා වට ගිය ගමනේදී කණ්ඩායම මග නොහැර ගන්නා ලෙස මග පෙන්වන්නා උදක්ම ඉල්ලා සිටියද කාගේත් ඇස් වසා කණ්ඩායමෙන් පැන ගන්නට විශ්ව සමත් විය. විශ්ව මගහැරුණු බව වැටහෙන විට පිරිස සිටියේ ගීසා හි ප්‍රධාන ශාලාවේය. විශ්ව පසුව දැනගන්නට යෙදුනු පරිදි එදින කණ්ඩායමෙන් අඩුවෙන්ම කලබල වී ඇත්තේ තම සීයාය. කණ්ඩායම රැජිනියන්ගේ පිරමිඩ අසලට එන විට එතැන හුන් විශ්ව දැක පුදුම වී තමුන්ට පෙර එතැනට කෙසේ පැමිණියාදැයි විමසූ කල තමා සෙසු පිරිසට ඉදිරියෙන් දිව ගිය බවට කී කතාව, බොරුවක් යැයි වැටහුනේද සියාටම පමණි. එදින රාත්‍රියේ සෙස්සෝ නින්දට ගිය කල විශ්ව සමග එලියට පැමිණි සීයාට තමා සොයා ගත් රහස් උමං මාර්ගය පෙන්වීමට විශ්වට සිදුවුනේ ය. සියා තුල හිඳි කොලුවා විශ්ව සමග එක්වී, එක විදුලි පහනක් පමණක් අතැතිව ඒ උමං මග ඔස්සේ රැජිනියන්ගේ සොහොන් කරා ගිය ඒ ගමන ප්‍රීතිමත්ය.
" ඈ බන් , දැන් අපිට නෙෆර්ටිටි එහෙම හම්බුනොත් මොකක්ද කියන්නේ.... ඒ ඇත්තිට හදිස්සියෙවත් උඹේ සීයා ගැන හිතක් හිතුනොත් මං මෙහෙ ඉන්නං. උඹ ගිහින් කියහන් ආච්චිට සියා හදිසියේ මලා කියල"
සීයා දඟකාරය. විශ්ව ට හැඟුණු පරිදි මව් කුසයෙන් එලිය දුටු දින සිටම මහා බක පණ්ඩිතයෙක් ලෙස හැසිරෙන සිය බාල සොයුරා 'පෘතුවි' ට වඩා සීයා දඟකාරය.

කෙරවලක් නැතිව දිව ගිය විශ්වගේ සිතිවිලි යලිත් පේරාදෙණිය සරසවිය වෙත පොලා පැන්නේ ඈතින් එන නෙලුම් දුටුවිටය. සිතිවිලි කෙතරම් අපූරුද. "දුර ගමනේ යෙදෙන .. තනිව හැසිරෙන...."

පුරුදු පරිදි විශ්වව දුටු වහාම නෙලුම් ගස්සා අහක බලා ගත්තාය.
"අඩෝ මැස්සෙක් ගිය උඩ.." විශ්වට පිටුපසින් සිට කෑගැසුවේ ප්‍රියන්ත හෙවත් 'ප්‍රියා ' ය.ඊලඟට ඔහු 'අල්ලලා දාහන් මචං ' කියමින් විශ්වගේ කරට අත දමා ගත්තේය.

"යකෝ උඹ තව අවුරුද්දකින් ඩොකෙක්.. උඹේ තාත්තට සල්ලි තියෙනවා බල්ලන්ට ගහන්න. උඹේ මල්ලි ගූගල් එකේ වැඩ. මොකෝ උඹ පෙනුම නැති එකෙක් කියලද.. එහෙමත් එකේ බං මේ හාල් කෑලි වලට ටෝක් කරන්න යන්න එපා බූරුවෝ.."

විශ්ව හිනැහී නැවත පිටුපස හරවා යන නෙලුම් දෙස බැලුවේය. සරසවියේ හිඳිනා විශ්වගේ ඇත්තම තොරතුරු දන්නා අතලොස්සෙන් එකෙකි ප්‍රියන්ත. ප්‍රියන්ත යනු කෙනෙකුට කලාතුරකින් හමුවන ජාතියේ මිතුරෙකු බව විශ්ව තේරුම් ගත්තේ ඔහුව මුණගැසුණු දිනමය.

කෙනෙකු මුණගැහෙන පළමු මොහොතේම ඔහු හෝ ඇය පිළිබඳව බොහෝ විට නිවැරදි තක්සේරුවක් කළහැකි පුදුමාකාර හැකියාවක් විශ්ව සතු විය. කෙනෙකු ගැන මුලින්ම හටගන්නා හැඟීම විශ්ව සමාන කළේ පලිඟු බෝලයකටය

ප්‍රියන්ත - පැහැදිලි අහස් නිලෙන් යුතු පලිඟුවක්

සීයා - දම් , කළු , සුදු මිශ්‍ර වූ පලිඟුවක්
මල්ලී - අඳුරු කහ පැහැ පලිඟුවක්
නෙලුම් - තද රතු පලිඟුවක් (හිමි කර ගත නොහැකි මිරිඟුවක්)

නෙලුම් පිළිබඳව පළමු හැඟීමම එතරම් යහපත් නොවූ නමුදු ඇයවම ලබා ගැනීමට තමුන්ගේ සිත හිතුවක්කාර වීම ගැන විශ්වටම ඇතිවී තිබුනේ පුදුමයකි. එය හරියට අර රෝල කෝස්ටර් එකක යාමට ඇති ආසාව වගේය. හිසරදය වැළඳෙන බව දැන දැනම ගමන් වාරයකට පෝලිමේ හිඳිති

ඊළඟ කොටස ඉක්මනින්.....

Thursday, October 15, 2015

වැඩකරන ජනතාව, ප්‍රවාහනය හා පෞද්ගලික බස් මාෆියාව

උදේ පාන්දරින් නැගිට ගෙන තුම්මුනින් හති හලාගෙන බහුතරක් දෙනා අගනුවර බලා දිව එන්නේ හොරකමේ යන්නට නොවේ.

කුමක් හෝ රැකියාවක් පිණිසය...

ඒ කියන්නේ ඒ සියලුම දෙනා මේ රටේ ආර්ථිකයේ කොටස්කරුවෝය. ඔවුන්ට මහා ව්‍යාපෘති වලින් කොමිස් ලැබෙන්නේ නැත. අල්ලස් නැත. ඔවුහු නීතියට එකඟ සාධාරණ රැකියාවක් කරන්නෝ වෙති..

ඔවුන්ගෙන් බහුතරයක් බාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. රොටියා හිතන හැටියට නම් 95% කට වැඩි පිරිසක් ඒ ගොඩට අයත් වෙති..

මේ රටේ පොදු ප්‍රවාහන සේවය කියා ක්‍රියාත්මක වන්නේ මාෆියාවකි..

ලංගමය දුවන්නේ පෞද්ගලික බස් වල උවමනා එපාකම් අනුවය.

1.සතියේ දිනවල උදේ හවස පන්නල පාරේ කොළඹ කුලියාපිටිය ලංගම අධිවේගී බස් රථයක් ඇත. නමුත් එයට නිසි වෙලාවක් නැත. හේතුව පෞද්ගලික බස් රථවල බලපෑම්ය.
2. කුලියාපිටිය කොළඹ කාර්යාල ප්‍රවාහන සේවා රථ වලටද ඔවුහු සිය බලපුළුවන්කාර කම් පෙන්වති.
3. අපුරුවට කරගෙන ආ මිගමුව කොළඹ අධිවේගී සේවාවට කණ කොකා ඇඩුවේ පෞද්ගලික බස් රථවල ආගමනයත් සමගය. කලින් ලඟම හා පෞද්ගලික රථවලට වෙන වෙනම පෝලිම් තිබියද දැන් ඇත්තේ එකකි. එහි කාර්යබහුල වෙලාවල 97%ක් පමණ ඇත්තේ පෞද්ගලික බස්ය.
4. මිගමුව පෞද්ගලික බස් රථ ආසන ගණනට මගින් පුරවාගෙන නැවතුමෙන් පිටත්වන අතර මගදී හිටගෙන යාමට මගින් නග්ගා ගනියි. අධිවේගෙහි ඇති මුරපොළවල් ලංවන විට ඒ මගින් අනෙක් මගීන්ගේ අසුන් වල කෙරවල් වල හෝ ඉඩ ඇති පරිදි බිම හෝ ඔබා ගනිති. මෙයින් සියල්ලෝම අපහසුවට පත්වෙති.
5. කොළඹ කුලියාපිටිය බසයන්ද මේ සෙල්ලමම සිදු කරයි. (අනෙක් බස් වල අත්දැකීම් නැති නිසා යමක් කියන්න අපහසුය. ඔබ දන්නවා නම් මෙයට එක් කරන්න)
6. 176, 154, 155 ආදී කොළඹ ඇතුලත දුවන ප්‍රකට බස් රථවල , කාර්යබහුල වෙලාවලදී මගීන් කිටිකිටියේ තෙරපාගෙන නග්ගා ගනිති. අසරණ මගින්ද වෙන කරන්නට දෙයක් නැති කමට ඒවාට නගිති. වැඩ කරන ජනතාවට සුවපහසුවට (ආසන ගණනට පමණක් මගින් ගියද මේවාට වෙන පාඩුවක් නැත) ගමන් පහසුකම සලසා දෙන්නට මෙතෙක් කිසිම රජයකට නොහැකි විය.
7. දුම්රිය ද එසේමැයි.. සමහර දුම්රිය වල මගින් ජනෙල් වල පවා එල්ලී යති.
8. (ඇසු දෙයකි) ගාල්ල , මාතර අධිවේගී ලංගම බසයන් උවමනාවෙන් ප්‍රමාද කර, මගීන්ව ගෙන යන පෞද්ගලික වෑන් රථ කල්ලියක් ඇත
9 කොළඹ තුල දුවන සමහර බස් රථ යන්නේ කොපමණ හෙමින්ද කියනවා නම් ඒවා ගමන් කරනවාදැයි විටෙක සැක සිතේ

මේවාට පිළිතුරු ලෙස රජය සිද්ද කරන්නේ හරි අපුරු දේවල්ය

1. පාපුවරුවේ යෑම තහනම් - කිසිම කෙනෙක් ආසාවට මෙහි යන්නේ නැත. හැම බසයකම එක ලෙස සෙනග වූ කලී, මගින් බලන්නේ කොහෙන් හෝ එල්ලීගෙන සිය ගමන යන්නය
2. අධිවේගයේ හිටගෙන යෑම තහනම් - දෙකොනින් හිනා යයි. මගින් හිටගෙන යාමට හරි නගින්නේ වෙනත් බස් නැති නිසාය
3. බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් - සමහර තැන්වල මෙය හරියට සිද්ද වේ. රාජගිරිය, කොස්වත්ත වැනි නැවතුම් නම් පෞද්ගලික බස්රථ වල බුදලයන්ය.

වැඩ කරන ජනතාවට පඩි වැඩි කර විතරක් පලක් නැත. පෞද්ගලික වාහන වලින් පැමිණීමද විසදුමක් නොව තව ගැටලුවකි

මේ සඳහා රොටියාගේ යෝජනා කිහිපයක් ඇත
1. ලංගම බස් රථ වැඩි කිරීම
2. බසයක යා හැකි උපරිම මගින් ගණනක් නියම කිරීම. මෙය බසයේ පරිමාවට නොව ධාරිතාවයට සමාන විය යුතුය
3. කාර්යබහුල වෙලාවල නියමිත වේලාවෙන් වෙලාවට බසයන් ගමන් කිරීම තහවුරු කිරීම. මෙයින් රථ තරඟය මෙන්ම , කොට කොට යෑම නවත්විමද අදහස් කෙරේ
4. කාර්යබහුල වෙලාවට මහා මාර්ග බද්දක් අය කිරීම. මෙයින් පොදු ප්‍රවාහන සේවා බාවිතය ඉහල යයි. මාර්ග තදබදය අවම වේ.
5. British School, Musaeus College වැනි පාසල් නිසා අධික තදබදයක් ඇතිවේ. මේවාට පාරවල් වසා (British School නිසා බේස් ලයින් පාරේ එක මන්තිරුවක් වසා දැමේ. ඒ එක ළමයාට එක වාහනය (හෝ සමහර විට දෙකක්) පැමිණෙන නිසාය. මෙය විහිළුවකි)ඉඩ ලබා දීම කෙතරම් යෝග්‍යද? ඒ ඒ පාසලට සුදුසු ලෙස බස් සේවාවන් අනිවාර්ය කලොත් නරකද?

ඔබේ අදහසුත් එක් කරන්න...

Thursday, October 1, 2015

හරි පුදුම ළමා දිනය

සකල සිරින් පිරි මේ සිරි ලංකාව අර ටෙට්සුකෝ කියා තිබෙනවා වගේ හරි පුදුම රටකි. මේ රටේ පොඩි එවුන්ට ලබා දී තියෙන තැන මරේ මරුය

යන්තම් බහ තෝරාගෙන එන පොඩි එව්වන්ව බහුරූ කෝලම් වලට අන්දාන රියලිටි ෂෝ කියා ජාතියක උන් ටික නටවති
ඉස්කෝලේ යන වයසට ආපු එකාට පාසලක් සොයන්නට ගොස් උගේ දෙමාපියන්ව පිස්සු වට්ටා ඊළඟට පොඩි එව්වන් ටික මඩවති
මඩ අනා සෙල්ලන් කරන්න ඕනේ වයසේදී ඒකාට පොතක් පටවා ඌව මරවති
උගේ ඔලුවේ තියෙනා නිර්මාණශිලිත්වය, තනියම තීරණ ගැනීම , ආත්ම විශ්වාසය වැනි දේ බින්දුවටම බස්සා යාන්ත්‍රික රොබෝවරු තනති
ඌ සිය ළමා කාලයම උගස් කර මුහුණ දෙන විබාග වලදී පිස්සු නටති.
අවුරුදු දහතුනක් පාසලේ රඳවාන ඉහ නිකට පැසිගෙන එන විටදී කැම්පස් යවති
පොඩි එව්වන්ට වෙන කෘරකම් වලදී ගොළු බිහිරන් සේ සිටිති
පොඩි එව්වන්ව කපා කොටා ගිනිතියා යන පරිසර තනති

ඒ ඔක්කොමත් කර,
වැල වරකා කොස් දෙල් අල බතල තලුගසන මහා එවුන් පසෙක ඉද්දි, වැරදිකරුවා යයි අඬබෙර ගසා
වැලක නැට්ටේ උන් පොඩි එකෙක්වම ඇදගෙන යති...

ඒ ඔක්කොම එව්වන් ටික එකතු කොට අද වගේ දවසක
ළමා දිනයක්ද සමරති!!!!!



Monday, September 14, 2015

සිරා සහ බුකිය.

කල්ප කාලාන්තරයකට පසුව පස්සෙන් පහුගිය දිනක රොටියාට සිරිපාලව බැහැදකින්න යන්නට පොටක් පෑදුණේය. ගෙදර දොර ලඟට ගොස් පැය කාලක් පමණ මරහඬ තලා, ටෙලිපෝන් කෝල් පන්සීය පනස් දෙකක් දී දොර නෑරුණු තැන රොටියා කළේ උගේ ෆේස් බුකියේ ටයිම් ලයිනයට සුද්ද සිංහල සහිත පණිවිඩයක් ඇලවීමය

ප්‍රතිපලය ක්ෂණික වුවාය

"අඩේ සමාවෙයන් මචෝ.. ගෙදර කවුරුත් නෑ.. මාත් මේ හෙඩ් ෆෝන් දාන් හිටියේ..බ්ලාහ් බ්ලාහ්.." උගේ අඬාවැළපීම ඉවරයක් නොවූ තැන තවත් සංස්කෘත වචන ස්වල්පයකින් උගේ අදෝනාව ඉවරයක් කල රොටියා ඊයක් සේ පිඹගෙන ගියේ ඌ ඔයතරම් උවමනාවෙන් බැලුවා යයි කියන වීඩියෝව බලන්නය

කවුදෝ ගැටිස්සියක් සින්දුවක් කියනවාය

"මයි නේම් ඉස් ශිලා ශිලා ඔහ්..."

යකෝ මේ ඉන්දියන් කෑල්ලක් සුපර්ස්ටාර් එන්න පුරුදු වෙන එකක්ද?

නෑ බූරුවෝ ඕක තමා දැන් ලංකාවේ සුපර් හිට් එක. ෂෝක් නංගිය නේද.. බලන්නකෝ කියන අපුරුව.. ඇස්වහ වදීද දන්නෙත් නෑ නංගි බබාට.....මං මැසේජ් එකකුත් දැම්ම. එයා කියල එයාට මැසේජස් ගොඩාරියක් එන නිසා හැම එකකටම රිප්ලයි කරන්න බැයිලු. බලපන් කොච්චර හැදිච්ච ලමේක්ද.. නැද්ද මචං

රොටියා තව ටිකක් ස්ක්‍රිනය ලඟට සම්ප්‍රාප්ත වුයේ මෙච්චර මූ උඩ දාන කෙලිත්තියගේ මුණ හරියට බලා ගන්නටය

"අඩේ සිරිපාලයා.. මේ ළමයා නේද අර උඹ පස්සෙන් ගිහින් බස් හෝල්ට් එකේදී උබට සපත්තුවෙන් ගැහුවේ"

සිරිපාලයා වීරවි ගියේය."උඹට අමු කැවිලද බන්.." කී නමුත් ඌත් මොනිටරේට පාත් උනේ තවත් හොඳට උගේ නංගි බබාගේ මුණ බලා ගන්නටය

"අයෑම් ටූ සෙක්සි.." නගා ගයයි

අපේ සිරිපාලයා ඇස් ඩොගිත්තා ගනී

"නො නො නෝ මයි නේම් ඉස් ශිලා කී ජවානි.." නගාත් නවත්වන්නේ නැත

සිරිපාලයට දැන් ඇඩෙන නොඇඩෙන ගානය

"යකෝ සිරාවටම උඹ කිව්වත් වගේ. මේ ඒකි නේද බං...."

ඊළඟට සිරිපාලයා පිස්සු වැටුනා සේ මුණු පොතට පැන හතර වටේටම කොටාගෙන කොටාගෙන ගියාය.

රොටියා: අඩේ මොනාද බන් උඹ ඔය කරන්නේ..."

සිරා: (දත්කුරු හපයි..තනියම මුමුණයි) බලපන්කෝ මං මේකිට කරන වැඩේ...

රොටියා: "ඇයි උඹ මොනා කරන්නද"

සිරා: හුහ්.. මේකිව නැග්ගුවෙත් අපි.. බස්සනෙත් අපි.. බලහන්කො මේ ෆේස් බූක් එකේ දාල තියෙන ස්ටේටස්. හැමෝටම රිප්ලයි කරන්න බැයිලු.හුහ් මේකි ගිහින් තියෙන උඩ.. නැද්ද මචං

***

උදෑසන ජවනිකාවෙන් පසු කාබී සැනහෙනවාත් සමග අපේ සිරාට තවත් බලුප් එකක් පත්තු වුවාය

"අඩේ රොටියා.. තෝ බැලුවද අර වීඩියෝ එක.."

"ඇයි දැන් බැලුවේ උඹත් එක්කම.."

"නෑ යකෝ.. අර සුජි ඔය.... කතන්දරේ.."

"නෑ මචං..මොකද්ද ඒ"

"උඹට කියන්න මචං රට ඉන්න ගෑණියෙක් බයිනවා බැනිල්ලක් මිනිහට.. ආයේ නෑ.. මාත් ඕඩියෝ එක විතරයි ඇහුවේ. බලමුද වීඩියෝ එක"

රොටියා හා බෑ කීමට පෙර ඌ දිව ගොස් ලැපය උස්සාගෙන ආවේය. ඒ එන අතරෙත් මූ දෙසා බෑවේ ලංකාවේ දැන් හැදෙන ගෑනුන්ගේ නුගුණය. "මං අහන්නේ මොකක් උනත් ගෑණියෙක්ට වටිනවද බන් මිනිහට එහෙම කතා කරන්න

වීඩියෝව අපැහැදිලිය. කාන්තාවක් දැඩිව කාටදෝ දොස් නගන්නේ දුරකතනයකිනි. වීඩියෝ කරපු ලොල්ලාට ඒක හරියකට කර ගන්නට නොහැකි වූ නිසා දර්ශන එක තැනක රැදෙන්නේ නැත. ටිකකින් ඇගේ මුහුණේ සමීප දර්ශනයක් පෙන්වුණි

රොටියා පැන අල්ලා නොගන්නට සිරාගේ ලැපය තව ඩින්ගෙන් බිමය.

සිරා ගල් බීත වී. අතපය නොහොල්ලා හිඳී.

ඌ එළඹ සිහියට පැමිණියේ ඉන් විනාඩියකට පමණ පසුවය.

රොටියා: "මොකෝ බන් උනේ.. මං හොඳටම බය වුනා.."

සිරා:(සිහින් ඉකියක් අතරින්) ඒ බන් මගේ අක්කනේ.. අම්මල කිව්වට බැන්ද ඔය මිනිහව. දැන් අක්ක එවන සල්ලි වලින් බිබී ඇවිදිනවා. සල්ලි එව්වේ නැත්තන් අපේ ගේ ලඟට ඇවිත් සරම උස්සන් ඉන්නවා. අපි කීප සැරයක් පොලිසිත් ගියා. ඒත් වැඩක් උනේ නෑ. අක්ක අපා දුක් විදිනවා බන් ඔය මිනිහත් එක්ක...උඹම කියහන් එහෙම මිනිහෙක්ට ඔහොම නැතුව වෙන කොහොම කතා කරන්නද?
හොයපන් මචං මේක වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාපු ****යව. මං ගිහින් ඕකගේ බඩ මාළු එලියට ගන්නවා

****
සමාජ ජාල වල වීරයෝ විරවරියෝ නැත. දුෂ්ටයෝ දුෂ්ටියෝ ද නැත. එවැනි චරිත ගොඩ නගන්නේ ඒ ඒ ජාලවල සැරිසරනවුන්මය.කෙනෙකුගේ පවුගලිකත්වය වීඩියෝ කොට ජාලගත කරන්න නම් මානසික ලෙඩෙක්ම විය යුත්තේය. පැණි හැලියට වැටුණු ඇඹල පැටවූ මෙන් එක එක කාලයට එක එක චරිත වලට වන්දනාමාන කරන්නෙත් ,විවිද චරිත වලට අසීමිතව මඩ ප්‍රහාර එල්ල කරන්නේත් එවැනිම ලෙඩ්ඩු ය..


Friday, September 4, 2015

නිවන තව දුරද අම්මේ???

නිවන මොනවගේද මගේ සුදු අම්මේ..
රතුපාට නිල්පාට කොලපාට බෝල බෝල වගේ දිලිසෙන දෙයක්ද අම්මේ
නැත්නම් මුද්දරප්පලම්, කජු දාපු අයිස්ක්‍රීම් වගේ දෙයක්ද අම්මේ
එහෙමත් නැත්නම් ගුණපාල මුදලාලිගේ කිරිපාට වාහනේ වගේද අම්මේ

ඉස්සර වගේ දඟ නොකර
මල්ලිලා නංගිලා බලාගෙන හරියට
කියනදේ අහගෙන
හිටියොත් එක්ක යනවද මාව

සරුංගලේ මගේ රතු රැලි දාපු- උඩ යවනවා මං තිතක් වෙනතුරු
නුල ගැටගහල ලිද ළඟ ගහේ සරු - නගිනවා මං නිවන හම්බවෙනතුරු

සාසනේ රැකගන්න
දේපල පිටනොයන්න
ටිකක් ලොකුවුනාම ම
එන්නං මං පන්සලට

ගෙවන හැම දවසකම
මතක් වෙනවා ගෙදර
මහන්සියි මට හරිම
තව ගොඩක් දුරද නිවනට...


දැන් මේක කියවපු නෝනා මහත්වරු රොටියාට අපායට විසා දෙන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි
අන්‍යාගම්කරණයට විරුද්දව ගිරිය කඩාගෙන කෑ ගහන උත්තමයෝ පොඩ්ඩක් හොයල බලනවද ඇයි ඒ මිනිස්සු ඒ ඒ ආගම් වලට හැරෙන්නේ කියල..
ඔව් ඔව්.. ඒ මිනිස්සුන්ට සල්ලි දීල තමයි..
දිව්‍ය ලෝකෙ යන්න කලින් ජීවත්වෙලා ඉන්න එපැයි
ඒ නිසා ඒ මිනිස්සුත් සල්ලි ගන්නවා තමයි
ඒ ආගම් වලට සල්ලි හම්බෙන්නේ කොහොමද
හරියට හරි.. පිටරටින්

පිටරට ආදාරත් ඇති.නමුත් ඒ ආගම් වල දුප්පත් අය සඳහා නිසි වැඩපිළිවලක් තියෙන බව මම දන්නවා. කතෝලික ආගම ගත්තොත් සිස්ට කෙනෙක් හරි ෆාදර් කෙනෙක් වෙන්න හරි හරිම අමාරුයි. ඔවුන්ට ඉස්සරලා හොඳට උගන්නලා ඊළඟට තමා සාසනයට ඇතුල් කර ගන්නේ. ඒ අතර කාලයේ ඕනෑ කෙනෙක්ට ඒකඅතහැරලා යන්න පුළුවනි .කාලයක් කතෝලික ආගමට සම්බන්ධ තැනක නැවතිලා හිටිය නිසා මම කියන්නං(ඔව් ඔව්.. මම ඒ දවස් වල හැමදාම දිව්‍ය පුජාවටත් හිටිය තමා. හැබැයි බෞතිස්ම නම් උනේ නැහැ. අදටත් මම හොඳ බෞද්ධයෙක්)
ඒ ෆාදර්ස් ලා සිස්ටර්ස් ලා හම්බ කරන සල්ලි ඔක්කොම දෙන්නේ ඒ අයගේ නිකායට. නිකායෙන් එතුමන්/ එතුමියන්ට ගෙවීමක් කරනවා මාසිකව. සල්ලි කාරයෝ දෙන ආධාර උනත් එහෙමයි. ඒ සල්ලි වලින් නිකාය දුප්පත් අයට උදව් කරනවා
දුප්පත් ළමයි නවත්තගෙන ඉන්නවා. මම කියන්නේ නැහැ ඒ ළමයින්ට රජ පැටවුන්ට වගේ සලකනවා කියල. ඒත් ඒ ළමයින්ට අරපරිස්සම ගැන හොඳටම උගන්නවා ප්‍රායෝගිකවම.
ඒ ළමයින්ව කර්මාන්ත වලට හුරුකරනවා. නිසි වයසේදී ගෙදර යවනවා. නැත්නම් බන්දල දෙනවා
හැබැයි එහෙම ඉන්න ළමයි ඔක්කොම අවුරුදු 15,16 වගේ වයස් වල ළමයි.

ඇයි බුද්ධාගමේ විතරක් එහෙම පිළිවලක් නැත්තේ. (එහෙම තියෙන පන්සල් ගැන මම නම් ඇත්තටම දන්නේ නැහැ). ඔය පොඩි ළමයි ටික ඔය වයසේදී මහන කරවන්නේ නැතිව ටිකක් තේරෙන වයසට ආවම මහන කරන්න බැරි ඇයි...
ළමයෙක් ඇත්තටම කැමති උනත් නිසිවයසට එනකම් ඒ ලමයව පන්සලේ තියාගෙන උගන්න බැයිද..
දුප්පත් පවුල්වල බර අඩු කරන්න ඒ පවුල්වල ළමයින්ව මහන කරන්නම ඕනෙද..
ඇයි අපේ ගොඩක් හාමුදුරුවරු පන්සල් වල අර බිල්ඩිමයි මේ බිල්ඩිමයි හද හද දගලන්නේ..
ඇයි මේ සමහර හාමුදුරුවරු අසපු තියාගෙන වැජබෙන්නේ..(නෑය කියන්න නම් එපා)
ඇති හැකි සත්ගුණවත් බෞද්ධ ජනතාවට බැයිද මාසිකව යම් මුදලක් පරිත්‍යාග කරන්න..දුප්පත් අයට

මේක බලන්න

Monday, August 31, 2015

රාවණායනය -1 කොටස

වසර ගණනාවකින් විවෘත නොකරන ලද ලි පෙට්ටිය ලඟට කාලිදාස ඇවිද ගියේ සෙමෙනි. පෙට්ටිය වටා තිබෙන අවපැහැති ලෝහ පතුරු තනි රත්තරනින් නිම කර ඇති බව දන්නේ ඔහුම පමණි.
කළුවර ලීයෙන් තනා ඇතැයි පෙනෙන පෙට්ටිය විවෘත කිරීමට අගුලක් නොවිණි. කල්පනා භරිතව පෙට්ටියේ උඩු පැත්ත දකුනතෙන් පිරිමැදී ඔහු අවසානයේ සිය තීරණය වෙනස් කර නැවත සිය මේසය ලඟට පියමැන්නේය.
මේසය උඩ අඩක් ලියා තිබූ ලිපිය නැවත කියවූ ඔහු එය මේස ලාම්පු දැල්ලට අල්ලා පුළුස්සා දැම්මේය. වොට් හැටක විදුලි පහනක් ඉහලින් තිබුනද සවස හය වනවිට ඔහුගේ මේස ලාම්පුව දල්වා තැබීම හැමදාම පුරුද්දක් ලෙස සිදු කළේ සාමාය.
පහන ලග විසිරි තිබුණු අළු ගොඩෙන් කියැවුනේ මේ රාත්‍රියේ ඔහු විසින් පුලුසන්නට යෙදුනු පළවැනි ලියවිල්ල මෙය නොවන බවය. එසේම එය පුළුස්සනු ලැබූ අන්තිම ලියවිල්ලත් නොවෙනු ඇත.
අලුත් කඩදාසියක නැවත යමක් සටහන් කල කාලිදාස හදිස්සියේම නැවත සිය අල්මාරිය වෙත ගියේය. එහි මැද ලෑල්ලෙහි වුයේ ඔහුත් සාමාත් පමණක් දැන සිටි රහස් ලාච්චුවකි. ඔහු විශේෂ ආකාරයකට එහි අගුල පන්නා එතුල තිබූ යමක් එලියට ගත්තේය.
විශේෂ හැඩයකට කපන ලද කරුංක ගෙඩියකට මදක් විසාල නිල් මැණික දෙස මද වෙලාවක් බලා උන් ඔහු එය ඇතුලට දමා නැවත ඉන් ලියුම් දෙක තුනක් එලියට ගත්තේය.. ඒවා අමරබන්දු විසින් වසර කිහිපයට වරක් ඔහුට ලියා එවන ලද ඒවාය
අල්මාරිය නිසිසේ වැසුණු බව දෙතුන් වරක් තහවුරු කරගත් හෙතෙම ලිපි හතර හෝ පහ ගෙන මේසය ළඟ වාඩි වූවේය

වසර හැට පහකට පෙර දිනයක
'මට විශ්වාස කරන්නත් බැහැ ඔබ එය සොයා ගත් බව. මතක තියා ගන්න පළමු වැන්නා යනු හැම වෙලේම අන්තිමයා නොවෙන බව'

කාලිදාසගේ කට කොනකට සිනාවක් නැගුනේ අමරබන්දුව සිහිවීමෙනි. මේ ලිපිය ඒවා මසකින් ඔහු තමාව හමුවීමට පැමිණි ආකාරය ඔහු මතක් කළේය

දෙවැනි ලිපිය පළවැනි එකට වඩා දීර්ග විය
'ඔබව මුණගැහි අවුරුදු අටක් ගෙවී ගිහින්. පුදුමයි නේද.. තාමත් මට එය අමතක කරන්නට බැහැ. ඔබ කරන්නට යන දේ කරන්න මේලෝකේ කිසිම කෙනෙක් සුදානම් යයි මම හිතන්නේ නැහැ. මමත් කියන්නේ ඔබට නැවත වරක් සිතා බලන ලෙසයි. දැන් ඔබ ඔබේ පමණක් නෙවෙයි
සාමාවත් ආදරයෙන් මතක් කල බව කියන්න'
කාලිදාසගේ හද උණුසුම් වුයේ සාමා ව සිහිවීමෙනි. ඈ තමාගේ ජිවිතයට කෙතරම් බද්ධ වුවාද....

තෙවැන්න කෙටිය. නමුත් සිදුවීම් බහුලය
'ඔබ මගේ හිස මත ගිනි ගොඩක් පැටවූ බවක් මට දැනෙනවා. මා මෙයට සුදුසුද?..
සාමාට සහ මිත්‍රට මගේ ආදරය මේ සමග එවූ බව ඔවුන්ට කියන්න'

කාලිදාස දීර්ග කල්පනාවකට වැටුනේය. තමා වසින් සිදු කල කිසිම දෙයක් අමරබන්දු නොවන්නට සිහින පමණක්ම වන්නට ඉඩ තිබූ බව හෙතෙම සිහිකලේ මිත්‍රත්වයෙනි.

මෙයින් පසු ලියුම් කිහිපයක්ම පසු කාල වල පුළුස්සා විනාශ කළේ අමරබන්දුගේ ඉල්ලීම පිටය. ඉතිරිව ඇත්තේ තව එක ලිපියකි. එය තමාට ලැබුනේ පෙරේදාය

'කාලිදාස වෙත දන්වා සිටින වග
මා මෙය ලියන්නේ මා මිත්‍ර අමරබන්දුගේ ඉල්ලීම මතය. සතියකට පෙර අපේ මිත්‍රයා හදිසියේම රෝගී ඇඳට වැටුණු හෙයින් මෙය ලිවීමට තරම් ඔහුට සනීපයක් නැත.
ඔහු දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඔබට ලියන ලෙසයි. මට හැඟෙන ලෙස ඔහුගේ කල්පනාවේ පොඩි පරහක් ඇත. නමුත් ඔහු දැඩිව ඉල්ලා සිටින්නේ ඔහුගේ වචන වලින්ම මෙය ලියා එවන ලෙසයි. මේ සමග අමුණා ඇත්තේ ඔහුගේ පණිවුඩයයි. එය ඔබට ලැබුණු බව තහවුරු වන තෙක් ඔහු කෑම බිම වර්ජනයේ යෙදී සිටියි
සිසිර.

ඒ සමග වෙනත් කොලයක අමරබන්දුගේ පණිවුඩය සටහන් කොට තිබිණි
"මම ඔහුව දුටුවා. එනිසා ඔබව ආයේ මගේ දෑහට දකින්න මට ඕනෑ නැහැ.
හිට්ලර් ඉරානේ හිටියනං ගිසාත් ෆ්ලැට් බං.... හ්හ් හ්හ්.........."

ඒ සමගම ඇසුණු ශබ්දයකින් කාලිදාස හිස ඔසවා ජනේලය දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු ත්‍රස්ත විය. මේ ඒ දෑසමය...
ක්ෂණික දිලිසීමක් සමගම සිය කුස පෙදෙස හිරි වැටෙන සෙයක් ඔහුට දැනුනි. ඒ සමගම ඔහු බිම ඉන්දවිණි
මේස් බැනියම තෙමාගෙන ගලා යන්නේ මොනවාදැයි නැවත බලන්නට උවමනා නොවිණි..දෑස් නිලංකාර වෙනවාත් සමග ඔහු ඉතිරිව තිබූ මුළු ශක්තිය යොදා කෑ ගැසීය
"විශ්ව........."

ඉතිරිය බලාපොරොත්තුවන්න..

Monday, August 24, 2015

ඇති යන්තන් ඒකත් ඉවරය.....

කසාදයෙන් මාස හයකට පසුව රොටියාට සැනසිල්ලේ හුස්මක් ගැනීමට පොටක් පෑදී ඇත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දවස් තුනක් හතරක් යනකන් රොටියාගේ නිවසේ ඕනෑම වෙලාවක "නන නාන නාන නා. රනිල් දින්නා. හු හු" යනුවෙන් නාසික ගායනයක් සහ අඩ උමතු රංගනයක් ඉදිරිපත් කරමින් චූන් වේවි උන් ගෑණු ලමයාටද දැන් ඒ සෙල්ලම ඇති වී ඇති නිසා දැන් නිවී සැනසිල්ලේ රොටියාගේ වැඩක් කරගත හැක්කේය

නිකන් ඉන්න බැරි කමට ගෑණු ළමයාට අරන් දුන් බලු තඩියාද කොළ පක්ෂයේය. රොටියා ඒ වග දැනගත්තේ රුපවාහිනියේ පෙන්වන නිල් රැස්වීම් වලට පණ කඩාගෙන බුරන මේ බල්ලා, කොළ පාටියේ රැස්වීම් වලට මික් සද්දයක් නැතුව ඇහුම් කම් දීම නිසාය. ගෑණු ළමයාට රහසින් රොටියා විසින් බලු තඩියාට දුන් අල්ලස්, තර්ජන හෝ ගර්ජන වලට සිය මතය මතය වෙනස් කළේ ඌ හෙම නෙවේය. ඒ නිසා දැන් ගෙදර කොළ සංයුතිය තුනෙන් දෙකකට පත්වී ඇත.

පදිංචිය වෙනස් කල නමුත් චන්ද කොළය ආවේ පරණ ලිපිනයටම නිසා රොටියාට චන්දය පාවිච්චි කරන්නට තරමක් දුර මද්යස්තානයකට යන්නට සිද්ද විය. ගෙදර එන විට බල්ලා කොලම කොළ පාටය. ගෑණු ළමයා මොකද්දෝ සායමක් උගේ ඇඟ පුරා උලලාය. මයිල් හැලෙනවාට රොටියා බෙහෙත් ගාන විට මරන්නට යන හරකා සේ දඟලන මේ වල් සතා එදා අපුරුවට සායම් වලින් දිලිසි දිලිසි උන්නේය.

කතාව බල්ලටම ගියත් කියන්නට ගියේ වෙනම කතාවකි.
රොටියා එදා උදේම ගෑණු ළමයාගේ ගෙදරට හොම්බ දැම්මේ එතනින් එක චන්දයක් හෝ නිලට හරවා ගන්නටය. ඒ යන විට ගෑණු ළමයාගේ අම්මා ගෙදර පොඩිම එකාට ටියුෂන් පන්තියක් දමලාය. ඒකා චන්දය පාවිච්චි කරන්න යන්නේ පළමු වරටය

අම්මා: (සුදු කොලයක් ගනී) දැන් ඔන්න මේ තමයි චන්ද කොලේ
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
අම්මා: (කකුල් පහක් සහිත සතෙක් අඳි. ) මේ තමයි අලියා
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
ගෑණු ළමයා: අලියා නෙවෙයි අම්මේ ඇතෙක්. මේ සැරේ දලෙත් තියනවලු.
අම්මා: (දලේ අඳි) හොඳට බලල ගහන්න.
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
අම්මා:(බුලත් කොලයක් අඳින්න සැරසෙමින්) මේ තමයි..
ගෑණු ළමයා: වෙන ඒවා අඳින්න එපා අම්මේ. පටලගනියි අනික් පාර..
අම්මා : ඒකත් ඇත්ත..වෙන වෙන ලකුණු තියෙනවා. ඒවා බලන්න ඕනේ නැහැ. ඇතා ඉස්සරහින් කතිරේ ගැහුවා.(ඊළඟට කොළය යට තීරුවේ කොටු අඳි. ඒවා මනාප වලටය) මේ කොටු වලින් එක, පහ, අට කපන්න හොඳද
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..එතකොට ඒ කට්ටියට මනාප යනවා
අම්මා: ඔව්..තේරුනාද. හරියටම හරිද..
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී.. අරි අම්මේ. බය වෙන්න එපා. මම එළකිරි ටිකට වැඩේ දෙන්නන්

සියල්ලෝම චන්ද පොලට යාම පිණිස සුදානම් වෙති. නාටකයේ ඉතුරු කොටස බලාගන්නට රොටියාද කන දික් කරගෙන සිටියි

ඇඳ පැළද ගත් පොඩි එකා බර කල්පනාවකය. අවසාන මොහොතේවත් උගේ නැණස පෑදී ඇතියි පිනා ගිය රොටියා ඌ ලඟට කිට්ටු කළාය

රොටියා : මොකෝ පොඩි එකෝ..
පොඩි එකා: නෑ මං මේ කල්පනා කළේ ශ්‍රී ලංකා එකෙන් චන්දෙ ඉල්ලන අයගේ අංක තියෙන්නේ කොලේ කොහෙද කියලා...(ඒ කියන්නේ උ හිතාගෙන උන්නේ චන්ද කොලේ යු එන් පි අයටත්, ශ්‍රී ලංකා අයටත් වෙන වෙනම මනාප කොටු තියෙනවා කියාය)

(රොටියා ඒක ඌට කියා දුන්නේය.ඉක්බිතිව ඌ චන්දය දමා ආවාය..)

Monday, August 17, 2015

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -03

පළමු කොටස
දෙවන කොටස

මම ඒ ගෑණු ළමයා පිටිපස්සෙන් දවස් කියක් නං ගියාද? මම හිතන්නේ එයා අදටත් දන්නේ නැතුව ඇති එයාට එච්චරම ආදරේ කරපු කෙනෙක් මේ ලෝකෙ හිටියා කියල...
ආමන්ත කියවගෙන ගියා. ගේෂා අහගෙන උන්නා. ඈට දුක හිතුනේ ඒ ගෑණු ළමයා ගැනයි
මට එයා ගැන ආදරයක් එද්දී එයා ඒ ලෙවල් කරනවා. මට ඕනේ උනේ සමනල ආදරයක් නෙවෙයි. ඒ නිසා මම හිතුව තව ටිකක් කල් ඉඳලම ඒ ළමයට මගේ හිතේ තියෙන දේ ගැන කියනවා කියල. මට වැරදුනේ අන්න එතනයි..
ආමන්තගේ ඇස් දුකෙන් වැහිලා යන හැටි ගේෂ බලාගෙන හිටිය. ඔහුගේ හිතේ ඒ කියන ගෑණු ළමයා ගැන කොයි තරම් ආදරයක් තියෙන්න ඇත්දැයි ගේෂ හොඳින්ම තේරුම් ගත්තා
ඩැඩි ඉන්දියා ගියා. ගිය මුල් ටිකේ නං මට කතා කළා මාසෙකට සැරයක් විතර. ඊට පස්සේ ඒකත් නැති උනා. මම ගෙදර තනි උනා. ඩැඩි හරි නුලටම ඩොකියූමන්ට්ස් හදල ගිහින් තිබුණු නිසා දේපල ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ. මමිට අපි හිටපු ගේ තිබ්බ. අයියටයි මටයි කොළඹින් ගෙවල් දෙකක් වෙන වෙනම තිබ්බ. ගාර්මන්ට් ෆැක්ට්‍රි එක මට තිබ්බ. ඇඩ්වටයිසින් ෆර්ම් එක අයියට තිබ්බ. වතු පිටි වල ආදායම මමී ගත්ත

මට වෙනම ජිවත් වෙන්න පුළුවන් කම තිබ්බත් මමියි, ආච්චි මම්මයි දෙන්නම මට ගෙදර ඉන්න කිව්ව. මමී ඒ වෙද්දී එයා කරපු වැරැද්ද තේරුම් ගත්ත විදියට හැසිරුනත් එයා කලෙත් මහා බොරුවක් බව මම පස්සේ තේරුම් ගත්තා. ඒ කාලේ එයා මාව පාවිච්චි කළේ අයියගෙන් බේරෙන්න. පස්සේ එයා අයියවත් එයාගේ උවමනා වලට පාවිච්චි කළා
මට ජීවත්වෙන්න උවමනා තරමටත් වැඩියෙන් සල්ලි තිබ්බ. ඒ දවස් වල මම ගොඩක් වෙලාවට කරන්නේ අර ගෑණු ලමයව ෆලෝ කරන එක. වෙන දේකට නෙවෙයි. එයා පරිස්සමට යනවා එනවද කියල බලන්න.
ඒ ලෙවෙල් රිසල්ට් වලින් එයා සයන්ස් ෆැකල්ටි ගියා. මම අවුරුදු තුනක් තිස්සේ කැම්පස් එකෙන් එළියේ ඉඳන් එයා දිහා බලන් හිටියා.මගේ වෙලාවට එයා වෙන කෙනෙක් එක්ක අෆෙයාර් එකක් පටන් ගත්තෙත් නැහැ.
මම හොබී එකක් විදියට ඒ ගෑණු ළමයාගේ ෆොටෝස් එකතු කළා. මම හිතන්නේ මං ගාව එයාගේ ෆොටෝස් දාහකට වැඩියෙන් තිබ්බා
එක දවසක මගේ කරුමයක් තිබිල අයියා මගේ රූම් එකට ආව. එයා මගේ මේසේ උඩ තිබුණු ෆොටෝස් දැක්ක. මම ඒක එච්චර හිතුවේ නැහැ. ඒත් එයා සතියක් මාව ෆලෝ කරලා ඒ ගෑණු ලමයව හොයා ගත්තා. ඊළඟට පොඩි කාලේ ඉඳල එයා මට කරපු දේ අන්තිම වතාවටත් කරලා මගේ හීනෙ කඩල බිඳලා දැම්ම

ගේෂ ගොළු වුනා. ආමන්ත නොකීවට ඒ කතන්දරේ ඈ හිතා ගත්තා. අවුරුදු ගණනක් මල්ලි මලක් වගේ පරිස්සම් කරපු ආදරය අයියා සතියෙන් හොරකම් කරපු හැටි ඈට හිතා ගන්න පුළුවන් උනා.
දැන් ඒ ගොල්ලෝ කොහෙද?" ගේෂ හින් හඬින් ඇහුවා

අයියා ඒ ගර්ල්ව මැරී කළා. මැරී කරලා මහා ගෙදර පදිංචි උනා. මම ඒ ගොල්ලෝ එක්ක කිසිම සම්බන්දයක් නැතුව මෙහෙට වෙලා ඉන්නවා. ආමන්ත හිස් විදියට හිනා උනා. ගේෂා හෙමින් ආමන්තගේ පිට අතගෑව.

ගේෂගේ ආදරේ සහ ලැබෙන්න ඉන්න දරුවන් දෙදෙනා ආමන්තව වෙනස්ම මිනිහෙක් කරලා තිබ්බා. හැමදාම ගේෂගේ දොරකොඩ මල් පොකුරු තිබුනා. ළදරු ගෘහභාණ්ඩ සැපයුම් කරුවන් පැමිණ දරුවන්ට අවැසි හැමදෙයකින්ම ගෙදර පුරවලා ගියා. ළදරු නිෂ්පාදන සැපයුම් කරුවන් සතියකට සැරයක්වත් මොනවා උස්සගෙන ආව
"ඔයා මේක මෙතනින් නවත්තනවද? කරුණාකරලා" දවසක් හොඳටෝම තරහ ගිය ගේෂ ආමන්තට කෑගැහුව. ඒ අවුරුදු පහේ දහයේ ළමයි සෙල්ලම් කරන මිල අධික සෙල්ලම් බඩු වගයක් නිවසට ආව දවසෙයි. ආමන්ත උත්තරයක් නොදී හිනා වේවි ඔලුව කැසුවා.

මාස නවයක් තිස්සේ ආමන්ත ගේෂාව මලක් වගේ බලා ගත්තා. දරුවන් ලැබෙන්න ගේෂට අමාරු වෙද්දී ආමන්ත ළඟ නොහිටියත් ඒ අවශ්‍ය සියලුම දේ නුලටම ලෑස්ති කරලා තිබුනා.
අහස් සහ අමා පුළුන් කැටි දෙකක් වගේ සැහැල්ලුවට මේ ලෝකෙට ආව. පහුවෙනිදා ඔලුවට දැනුනු උණුසුමක් හින්ද ගේෂ ඇස අරිනකොට ආමන්ත මුණට එබීගෙන ඉන්නවා හිනාවීගෙන

පහුවෙනිදා ගෙදර යන්න පුළුවන්ය කියල දොස්තර රෙකමදෝරු කලත් ආමන්ත ගේෂට උපදෙස් දුන්නේ තව දවස් දෙකක් වත් ඉස්පිරිතාලේ ඉන්න කියලයි

" මට කියන්න එපා. ඔයාම දොස්තර හම්බවෙලා කියන්නකෝ.."

"බබී මම දැන් යන්න ඕනෙනේ. මම ඔයාට උදව්වට කෙනෙක් හොයනවා. හොඳ කෙනෙක් ඉන්නවා කියල ආරංචියක් ආව. එයාව එක්කගෙන එනකන් ඔයා හොස්පිටල් එකේ ඉන්නකෝ හොඳ ළමයා වගේ. මට දවස් දෙකක් දෙන්න..."

අවජාතක ළමයි දෙන්නෙක් හම්බවෙන්න ඉන්න දුවව මැරුණාය කියා හිතා ගෙන උන්නු තමුන්ගේ අම්මාගෙන් උදව්වක් බලාපොරොත්තු වීම නිකම්ම නිකන් විහිලු කතාවක් නිසා ආමන්ත කියපු දේ ඇත්ත කියල ගේෂ පිළිගත්තා.

ගෙදර යන දවසේ ආමන්ත හිනාවීගෙන ආවත් ඇස් යට ලොකු දුකක් රැඳිලා තියෙන හැටි ගේෂ දැක්ක. සමහර වෙලාවට මුනුපුරු මිනිපිරියන් බලන්න කිසිම ඒ දෙන්නගේ අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැති හින්ද වෙන්න ඇති

ගේෂ නොහිටිය ටිකට ආමන්ත මුළු ගෙදරම ඇලිස්ගේ විස්මලන්තය බවට හරවල...

"ඔයාගේ අත් උදව්වට එන කෙනා හෙට ඉඳන් එනවා සුදූ. අදට විතරක් අපි දෙන්න ඔක්කොම කරගමු. ආමන්ත හෙමිහිට කෙඳිරුවා

එදා මුළු රෑම ආමන්ත ගේෂාව තුරුළු කරන් අහසුයි අමායි දෙන්න දිහා බලන් හිටියා. ඔහුගේ ඇස් වල ආදරය, සතුට , තෘප්තිය එක්කම මොකද්දෝ නොදන්නා හැඟීමකුත් ලියවිලා තිබ්බා

මම යනවා ගේෂ්.. උදේ පාන්දරම ආමන්ත කනට කොඳුරද්දී ගේෂ ඇඳේ ඉඳල නිදිමතේම ආමන්තට හාද්දක් දුන්න. ඒත් එතකොටත් ආමන්ත යන්න ගිහින්. ඈට ඇහැරුනේ උදේ අටට විතර අමා අඬන සද්දෙටයි. එතකොටත් අවුරුදු හැටක විතර පෙනුමක් තිබ්බ කඩිසර කාන්තාවක් ගේ ඇතුලේ වැඩ

"මිස්ට හොඳටම නින්ද ගිහින් තිබුණ නිසා මම ඇහැරෙව්වේ නැහැ" ඈ මුවපුරා හිනාවෙවී කිව්ව

වැඩට ඇවිත් උන්නු සිතම්ම එක්ක ටිකක් කතා කර කර උන්නු ගේෂා සාලෙට එද්දී දැක්කේ ආමන්තගේ ගෙදර යතුර තමන්ගේ කෑම මේසේ උඩ තියන හැටියි. ඇත්තටම ඒ වෙද්දී ආමන්තට වෙනමම ගෙයක් තියෙන බවක්වත් ගේෂට මතක තිබුනේ නෑ. තමුන්ට අල්ලපු ගෙදර උනාට ජීවිතේට ඈ ඔහුගේ ගේ ඇතුල දැකල තිබුනෙත් නෑ. යතුර තිබ්බයි කියල කඩා බිඳගෙන ගිහින් ගේ ඇරලා බලන්න තරමට ඈට කුතුහලයක් තිබ්බෙත් නෑ.

පටිගත ඇමතුමක් තියෙන බවට යන්ත්‍රය නලා නාදයක් දැම්මා. ගේෂ බොත්තම තද කළේ වැඩි විශ්වාසයක් නැතුවයි. දුෂ්මන්තද දන්නේ නැහැ....

"ගේෂ් , මම ආමන්ත.. යතුර තියෙනවා දොර ඇරලා බලන්න...කරුණාකරලා." ආමන්තගේ කටහඬ ගේෂට හින් හිනාවක් ගෙනාව. පිස්සෙක්.. ඈ බිත්තියට හිනා උනා

අහස් අමා නිදා ගන්නේ එකටමයි. ආමන්තගේ ගෙදරට යන්න ගේෂට ඉස්පාසුවක් ලැබුනේ ඉන් පස්සෙයි

"සිතම්මා මේ දෙන්න නැගිට්ටොත් මම අල්ලපු ගෙදර ඉන්නේ හොඳද.." සිතටත් එහෙම කියල ගේෂ ගියේ ආමන්තගේ අලුත්ම පිස්සු වැඩේ මොකද්ද කියල බලන්නයි

දොර අරිනවත් එක්කම හරි කෙලින් බිත්තියේ හිනාවීගෙන හිටියේ ගේෂමයි. ඒ බිත්තියේ විතරක් නෙවෙයි හැම බිත්තියකම හැම මුල්ලකම අලවලා තිබුනේ ඇගේ පින්තුරයි

"පිස්සු පූසා.." ආමන්ත ගැන ආදර තරහකින් කොඳුරපු ගේෂ කෙරවලක ඉඳල බලන්න පටන් ගත්තේ ඇගේම චායාරුප. එක එක විදියට , එක එක ඉරියව්වෙන්.. ඈවත් නොදැන ගත්තු

එක එක රුපය දිහා බලාගෙන තනිවම හිනා වේවි උන්නු ගේෂගේ හිතේ එක පාරටම අකුණක් පිපිරුවා. ඈ නැවතත් දුවගෙන ගියේ ඈ බලපු පලවෙනි රුපය ලඟට

ඈට වැරදිලා නැහැ. ඒ උන්නේ ඇයමයි. පාසල් නිල ඇඳුමෙන් .. ඇගේ පාසලේ ගේට්ටුව ළඟ..

දෙවැන්න.. භෞතික විද්‍යාව පන්තියේදී..

තෙවැන්න...

සිව්වැන්න..

එකසිය එක් වැන්න...

ඇගේ ඇස් කඳුලින් පිරුනා. එතකොට දුෂ්මන්ත කියන්නේ ආමන්තගේ අයියද......ඇයි ඔහු මෙපමණ කාලයක් මේ දේ හංගගෙන හිටියේ...

උත්තරෙත් තිබුනේ බිත්තියක අලවලයි..

"Read me!.."

දයාබර ගේෂ්,

මම ඔයාගෙන් සමාව ඉල්ලන්නෙවත්, ඔයා මට සමාව දෙන්න ඕනෙත් නැහැ. මම හිතන්නේ දුෂ්මන්ත කියන්නේ මගේ කවුද කියන එක ඔයාට එච්චර වැදගත් වෙන එකක් නෑය කියල. ඔයා තේරුම් ගන්න ඕනේ දුෂ්මන්ත කියන්නේ ආමන්ත නෙවෙයි. ආමන්ත කියන්නේ ඔයා කවදාවත් නොදැන හිටිය, ඒත් ඔයාට මුළු හිතින්ම ආදරය කල ඔයාගේ සුන්දර ප්‍රේමවන්තයා..

මෙච්චර කාලයක් වැදගත් නෑ කියල හිතන් උන්නු දෙයක් එකපාරටම මේ තරම් වැදගත් කමක් දීල ඔයාට කියන්නේ ඇයි කියන එක ගැන ඔයා දැන් කල්පනා කරනවා ඇති.. මම ඔයාගෙන් ඉල්ලන්නේ මාව විස්වාස කරන්න කියල විතරමයි.මාව විස්වාස කරලා මේ ලියුම කියවගෙන යන්න.

දවසක් ඔයාට මම කතාවක් කිව්ව. ඒත් ඒ කිව්වේ බාගයක් විතරයි.දැන් ඔයා දන්නවා ඒ ගෑණු ළමයා වෙන කවුරුත් නෙවෙයි ඔයාම තමයි කියල.ඔයා හිතනවද අවුරුදු පහක් ඔයාව දුරින් ඉඳගෙන බලාගෙන, ඔයාට ආදරේ කරපු මම , හරිම ලේසියෙන් ඔයාව අයියට අයිති කරගන්න ඉඩ දීලා බලාගෙන ඉන්න ඇති කියල..

නෑ ගේෂ්.. මම එච්චර ලේසියෙන් අත ඇරියේ නෑ.. ඔයාට පුළුවන් නම් කල්පනා කරලා බලන්න ඔයාව යාලු කරගත්තු මුල් කාලේ , එක එක තැන්වලට ගිහින් කතා කර කර ඉද්දි කී සැරයක් දුෂ්මන්ත හදිස්සියේ ඔයාව ආපහු එක්කගෙන ආවද කියල.. ඔයාගේ ෆෝන් එකට නොදන්නා නම්බර් වලින් කෝල් එනවද කියල දුෂ්මන්ත කී සැරයක් ඔයාගේ ෆෝන් එක බැලුවද කියල.. ඌ ඔයාව බය කරලා තිබ්බ විදියට ඔයා කිසිම නොදන්න නම්බරයකට ආන්සර් කළේ නැහැ.. ඔයාව එළියේදී මුණ ගැහෙන්නත් මට කිසිම අවස්තාවක් ලැබුනෙත් නෑ. ඊළඟට මම ඔයා උගන්නපු ඉස්කෝලෙට හොයාගෙන එද්දී ඌ බයවෙලා ඔයාව රස්සාවෙන් අස් කරගෙන කසාද බැඳ ගත්තා. මං හිතන්නේ ඌ ඔයාට ආදරේ කළා. නැත්තන් මට රිද්දන්න වෙන මොනවා කලත් කසාද බදිනවා වගේ දෙයක් නම් ඔය මනුස්සය කරන්නේ නැහැ

ඔයාට මතකද ඔයාගේ හනිමුන් එක. ඒ වෙලාවේ ඌ හදිස්සියේම ඕගොල්ලෝ නැවතිලා උන්නු කාමරෙන් එලියට ආවේ ඇයි කියල ඔයා ඇහුවද.. ඒ ආවේ උගේම මල්ලිට, ඔයාව හොයාගෙන ආපු උගේම මල්ලිට මැරයෝ දාල ගස්සන හැටි බලන්නයි. උගේ වෙලාවට ඒ වෙලාවේ ගන් එක මගේ ළඟ තිබුනේ නැහැ.

ඔයා බැන්දයි කියලවත් ඇත ඇරලා දාන්න මම කැමති උනේ නැහැ ගේෂ්. මගේ හීන ඔක්කොම තිබ්බේ ඔයත් එක්ක. මං කොහොමද හීන නැති මිනිහෙක් වෙන්නේ..

මාව කොහොමටවත් අයින් කරන්න බැරි බව තේරුම් ගත්තු මගේ අයියා , ඕගොල්ලන්ගේ වෙඩින් එකෙන් සතියක් වෙද්දී තීරණයක් අරන් තිබ්බ. ඌ මාව ලෝකෙන්ම අයින් කරලා දාන්න කොන්තරාත්තුව දුන්න උගේ ගෝලයෙක්ට..

ඔයාට මතකද බැඳලා සති දෙකෙන් ඕගොල්ලෝ මාසෙක ට්‍රිප් එකක් ගියා මැලේෂියා වලට.. ඔයා දැනන් හිටියද ඒ ගියේ පවුලේ මරණයක් ඔයාගෙන් හංගන්න කියල නිකමටවත් ඔයාට හිතෙන්නේ නැතුව ඇති නේද?

ඔව් ගේෂ්.. ඌ මාව බල්ලෙක් වගේ මරල දැම්මා.. මරල ඒක ඔයාගෙන් හරි ලස්සනට හංගගෙනත් හිටියා

ඔයත් එක්ක තිබ්බ බැඳීම මට එච්චර ලේසියෙන් මේ ලෝකෙ අත ඇරලා යන්න ඉඩ දුන්නේ නෑ ගේෂ්

මම බලන් හිටියා... මගේ වෙලාව එනකං..

මගේ තාත්තා මම ගැන හිතල බොහොම දේවල් කරලා තිබ්බ. ඌ හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති මේ කම්ප්ලේක්ස් එකේ ඌ ගත්තු ගෙදරට අල්ලපු ගෙදර ඩැඩි මට අරන් දීල ඇති කියල

මම ඔයත් එක්ක ඉන්න හදපු හීන මන්දිරේ අල්ලපු ගෙදරට ඔයා කසාදෙ කඩාගෙන ආව. මම මැරුණේ අපරාදේ කියල මට හිතුනා ගේෂ්..

ආදරේ කියන්නේ බොහොම බලගතු දෙයක්ලු. ඒ නිසා හරි වෙන මොකක් හරි නිසා හරි ඔයාට මාව පෙනුනා. ඔයාට මාව දැනුනා. මගෙන් දේවදුතයෝ වගේ දරු පැටවූ දෙන්නක් ඔයාගේ බඩට ආව

මගෙන් අහන්න එපා. මම දන්නෙත් නැහැ..

මට ඕනේ උනා වගේ පවුලක් මැරුණයින් පස්සේ හරි මම හදා ගත්තා. ඒත් ඔයත් එක්ක දිගටම ඉන්න මට බැහැ. අනේ මට එහෙම පුළුවන් උනා නම් කියල කොච්චර නං හිතෙනවද..

පහුගිය මාස දෙක තුනේ මම ඔයා ළඟ හිටපු ගොඩක් වෙලාවට ඔයා මාව දැක්කේ නැහැ. අද උදෙත් ඔයාගේ හාදුව දෙද්දීත් මම හිටියා. ඒත් ඔයාට දැනුනේ නැහැ නේද

ඉතින් මම හිතනවා මේ තමයි වෙලාව කියල.

මම ඉන්නවා ඕගොල්ලොත් එක්කම. ඒත් මම තවදුරටත් ජිවත් වෙන මනුස්සයෙක් නෙවෙයි.

.....

ආදරයෙන්,
ආමන්ත

ලියුමේ තව බොහෝ දේ තිබුණා. ඇගේ මුහුණු පොතේ අලුත් ආදරය ගැන සඳහන් කරපු වෙලාවේ දුෂ්මන්ත ඇයි එච්චර කලබල උනේ කියන එක පවා..

මගේ හුස්ම තියෙනකන්, මං මැරෙනකන් , මං මැරුනයින් පස්සෙත් මං එයාට ආදරේ කරනවා. ඒක නවත්තන්න ඔයාටවත් කාටවත් බෑ" ඒක තමා මම අන්තිමට අයියට කියපු දේ. ඒක ඌට මතක ඇති මට වඩා හොඳට.

ගේෂ මේ ලියුම එක හුස්මට කියවගෙන ගියේ නම් නැහැ. අතර මගදී කීප විටක්ම ඈ කලාන්ත උනා තනියෙන්ම.

එතකොට තමුන් අවුරුදු දෙකක් විතර ආදරේ කළේ මතකයක් එක්ක බැඳිච්ච අසීමිත ආදරයකටද? ඇගේ කුසට දරුවන් ආවේ ආමන්ත කියන පුද්ගලයන්ගෙන් නෙවෙයි, ඔහුගේ ආදරයෙන්...ඒ ආදරේ ගේෂාව කොච්චර නම් ජිවත් කලාද

ගේෂා හිස්වුනු නිවාස පුරාම ඇවිද්ද.. එය ආමන්ත විසින් සැලසුම් කර තිබුනේ ගේෂටම වෙන්න ඇති. දුහුවිලි බැඳුනු අල්මාරිය තුල ඈට හරියන අලුත් ඇඳුම් පුරවා තිබුනා. නාන කාමරයේ පවා තිබුනේ ඇගේ රූපයයි. හැමතැනම රැඳී තිබුනේ ආමන්තගේ සුවඳයි

"ඔයා මං ළඟ නේද සුදු.." ගේෂ හිස් අවකාශයට හෙමිහිට කෙඳිරුවා

දුෂ්මන්ත .. පර බල්ලා



Thursday, July 23, 2015

උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්

සකල සිරින් පිරි සිරි ලංකාවේ හිටපු රජතුමා වෙත ලියන වග නම්,

මේ ලිපිය ලියන්නේ අම්බානෙක වැඩ අව් අස්සේය. වැඩ බල්ලට දමා බ්ලොගයේ කොටන්නේ ඊයේ පිට පිටම සිව්වෙනි වතාවටත් මගේ හිත කීරි ගැහි ගිය නිසාය


ඔබතුමා ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා සමග සාම සාකච්චා කොට යුද්ධයට පිළියම් සොයන්නට ගොස්, සාකච්ඡා වලන් ත්‍රස්තවාදියා කට්ටි පැන්න කල, හොඳින් හෝ නරකින් වැඩේ ඉවරයක් කර දමන්නට හිතාගෙන නෙලාගෙන නෙලාගෙන ගියාය.ඔය යුධ අපරාධ ගැන ගිරිය කඩාගෙන කෑ ගහන ඇමෙරිකාව නෙලන නෙලිලි දිහා බැලුවාම මේවා නොගිනිය හැකි තරම්ය. සිංහල , දෙමළ , මුස්ලිම් බේදයකින් තොරව යුද්ධයෙන් බැට කෑවෝය. ඒ සමයේ බඩුමිල , විදුලිබිල, තෙල් මිල මොනාවයින් මොනවා උනත් රටවැසියා ඉවසා වදාළේ මේ මගුල මොකක් හෝ කර ඉවරයක් කර දමන්නට හැමෝටම උවමනා වූ නිසාය.
යුද්ධය ඉවර උනාය. සිරි ලංකා වාසින් පස්වනක් ප්‍රීතියෙන් ඉපිලුනහ. තුවාලේ තරම දන්නේ වටේ ඉන්නා එවුන් නොව තුවාලේ ඇති ඒකාය. එනිසා තුවාලේ සුවවීමේ සතුට තුවාලය තිබුණු එකාටය.
නමුත්මෙතැනදී හැමෝටම අමතක වූ එක දෙයක් තිබුණාය. එනම් තුවාලය වසාගෙන හුන් ඉහඳ පනුවන් ඔක්කෝම නොමැරුණු බවය. එයින් එකෙක් හීන් සීරුවේ ඔබතුමාගේ ඔලුව ඇතුලටද බැහැගන්නට සමත් වී උන්නාය. එදා සිට හැමදාම ඌ වලිකෑවේ තමුන් මුලින් සිටි තුවාලයේ රසය නැවත නැවත මතක් කරමින් ඒ සමග රමණය කරන්නටය.
ඒ අස්සේ පාරවල් හදා, නගර සංවර්ධනය කර ලොකු සංවර්ධන වැඩ පිළිවෙලක්ද තිබුණු බව සැබෑය.සිරි ලංකාවට බොහොම දුර හීනෙක තිබූ අධිවේග හෙම හදා පෙන්නුවේ ඔබතුමාය.නමුත් මා නම් අසා ඇත්තේ රටක් ලබා ගන්නා ණය ආයෝජන වල යොදවා එයින් ගලා එන මුදලෙන් සංවර්ධන වැඩ සිද්ද කල යුතු බවය. නැත්නම් ජනතාව අධිවේග වල පිනුම් ගගහා ගොස් අන්තිමේ නවතින්නේ ග්‍රීසිය නැවතුනු තැනය.
කිඹුලා කනවා ඉවසුවාට කොහිල කටු ඇනිම ඉවසන්න බැරි ලෙසම ඔබ තුමාගේ වටේ උන් හෙන්චයියන් දැමූ ඩාන්ස් රටේ ජනතාවට තිත්ත වී තිබුනේය. එහෙව් සමයක තුරුම්පු එකක් වත් නැති කාඩ් අතක් දරාගෙන ඔබතුමා නියමිත කාලයෙන් අවුරුදු දෙකකට පෙර ක්‍රීඩා පිටියට එන්ටර් උනේ සුමනයාගෙන් ලද ගුලියක්ය නිසා කියන කතාව නිකම්ම නිකං සුරංගනා කතාවක් විතරය. ඔබතුමා වැනි දේශපාලන ඥානයෙන් අගතැන්පත් අයෙකු මේ දෙකයි පනහේ බයියන්ගේ ඔපිනියන් නිසා ඔවැනි විජ්ජුම්බරයක් කර ගන්නේ නැත්තේය
මගේ හිත මුල්වතාවට කිරි ගැහුනේ එන්න එදාය...

ඔබතුමා ගේ රශ්මියෙන් බැබලෙමින්, සියලු යස ඉසුරෙන් ආරුඪව වැජඹුණු බලුගැත්තන් "ඔබට මිස බටුවලට සේවය නොකරමි " න්‍යායෙන් යුතුව ඔබ ඉදිරියේ මවා තිබුනේ සක්විති රජ පොස්ට් එකක්ය. එහි අඥාදායකයාද, පාලකයාද, දේශකයාද, තීරකයාද උනේ ඔබ තුමාමය. එයින් මත්ව කරන්නට යෙදුනු අයිෆා, නයිට් රේස් වැනි රටට දරන්නට බැරි බහුරූ කෝලම් දෙස බලාන ජනතාව චූන් වුනේ නැත්තේය. ඒ විගඩම් නිසා සංචාරක ව්‍යාපාරයට සිද්ද වුනු ඇටිකෙහෙලකුත් නැත්තේය.ඒ දින වල කොටස් වෙළඳ පොළ ගැන කතා නොකරමි. හැඟී හැඟී වෙස්මුනු බඳින අයට එළිපිට නටන්නට වෙන නැටුම් ගැන පමණක් මතක් කරමි
බලන්නට අප්පිරියා හිතෙන අන්දමේ චන්ද ව්‍යාපාරයක් සිද්ද කිරීමට තරම් ඔබ තුමා ජනතාවගේ අප්‍රසාදයට බදුන් වී උන්නේ නැත. මිටරයෙන් මීටරය ට කටවුට් ගසා ඔබ තුමා කව්දැයි අඳුන්වා දීමට තරම් ඔබව ජනතාවට අමතක වී තිබුනේද නැත. කෝලම් බට්ටෙකුට වෙස් ගැන්වුවාට නියම මයිත්රිපාල සිරිසේන මහතාව වෙන්කර අඳුනා ගැනීමට නොහැකි තරමට ජනතාව අන්ධව උන්නේද නැත. ඔබ තුමා කල කී දෙය අමතක කිරීමට තරම් ජනතාවට අමතක වන රෝගයක් තිබුනේද නැත. මාස අටක චු කොල්ලෙකුට "ජයවේවා" කියා කෑ ගහන්නට තරම් ආශ්චර්යක් තිබුනේද නැත
මගේ හිත දෙවෙනි වතාවට කිරි ගැහුනේ අන්න එදාය....

චන්දයකින් පරාද වූ පළමු ශ්‍රී ලංකාවේ පළමු ජනපති ලෙස ඔබ තුමා අරලියගහ මන්දිරයෙන් එලියට බහින විට මගේ හිත හෝස් ගා ගියාය. ඒත් ඊළඟ දවසේ සිට ඔබතුමා යලිත් කරලියට පැමිණි කල මේ මොන ඇන්නාවක්දැයි හිතුනේය. තමුන්ට ලැබුණු චන්ද වලට චරිත සහතික නිකුත් කරමින් ඒවා යේ පැටිකිරිය කියන්නට යෙදුනු කල ලංකාවේ ඉන්නේ "ශ්‍රී ලාංකිකයන්ය" යන්න පවසන්නට යෙදුනේ ඔබ තුමාම දැයි සිතුනේය.
මගේ හිත තෙවන වතාවට කිරි ගැහුනේ අන්න එදාය...

කොහෙමෙන් නමුත් ජාතිවාදී ලේබල් ගලවා නැවත ඔබ තුමා සබාවට එන විට තුරුම්පු යලිත් එක් රැස් වන සෙයක් පෙනුනේය. නමුත් ඊයේ ඔබ තුමා අර කාටදෝ ගහන්නට පනින වීඩියෝවක් දුටු තැන මගේ හිත යලිත් වතාවක් කිරි ගැසී ගියාය
මගේ හිත සිව්වන වරටත් කිරි ගැසුනේ ඊයේය...

මේ වෙලාවේ ආසියා ඔබේ අතේ නැත්තේය. වටේ පිටේ නියවා උන් දහයක් දොළහක් පයින් ගසා එලියට දැම්මා නම් ආසියා ඔබේ අතේ තව අවුරුදු හයක්වත් රැදී තිබෙන්නේය. "මොකෙක්වත් කියන දේ මම අහන්නේ නෑ" යන්න හනගැසී තිබූ ඔබතුමාගේ ඔලුව පොඩ්ඩක් වෙනස් කර ගත්තා නම්, ඔබ ඉන්නා තුරු ආසියා ඔබ අතේය.

කලාවට, ජන මාධ්‍යට දේශපාලනය ඕනෑම නැත්තේය. විපක්ෂය කියා දෙයක්ද තිබිය යුතුමය. විපක්ෂයේ පොඩ්ඩක් නැගී එන විට ඇමක් දා ආණ්ඩුවට බිලී බා ගැනීම අනුමත කල නොහැක්කේය. (එසේ ඇම කන ඈයන් ඊළඟ සැරේ ගෙදර තබා ගැනීම ජනතාව සතුය). වැරදි කරපු එවුන් ළඟ තබා ගැනීම හෝ කැලෑ නිතිය ක්‍රියාවේ යෙදවීම නොකළ මනාය

ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. ඒවා දැන ගැනුම කාට කාටත් අගනේය. ජනතාව මෝඩයන් නොවන්නේය

ගෑණු ළමයා වෙනුවෙන් ලියා පලකලේ
රොටියා


Thursday, July 16, 2015

ගෑණු ළමයින්ගේ ආතල් හා පිරිමි අපි

ගෑණු ළමයින්ගේ ආතල් නම් මාරය. ඒවා කොයි මොහොතේ පටන් ගෙන කොතනකින් ඉවර වේදැයි සක්කරයාටවත් කියන්න බැරිය.ඒවගේම ආතල් කුඩු වූ කලද මහ බයානකය.
උදාහරණයක් ලෙස ඔබට උණ ගැනී පාන් කියා ගන්නට බැරුව ඇඳේ දපා ඉන්නා විට ඔබේ ගෑණු ළමයා විසින් අනුනාසික ස්වරයෙන් සින්දුවක් ගායනා කරමින් ඔබේ ඇඟට පනින්න ඉඩ තිබේ.මෙම ගීතයන් නියමිත තාලයකට හෝ ස්වරයකට හෝ අනුව ගයන ඒවා යයි වැරදි වැටහීම් ඇති කර ගත යුතු නැත. බොහෝ විට ඒවා "ටිඩ්ල් ටිඩ්ල් ලා ලා පොම් පොම් මූඌ.... " වැනි බාසාවකින් ගායානා කෙරෙනවා ඇත්තේය.
අනෙක් අතට දෙවියන් විසින් රෝගයකදී පිරිමි අපට ලබා දී ඇති වේදනාවෙන් හතරෙන් එකක් වත් ගැහැණු උදවියට ලබා දී නැති නිසාදෝ ඔවුන් බොහෝ විට පවසන්නේ අප විසින් යටකී රෝගයන් දෙගුණ තෙගුණ කොට මවා පානා බවය. එබැවින් එවැනි අවස්ථාවල අප විසින් බලාපොරොත්තු වන දේට සහමුලින්ම ප්‍රතිවිරුද්ද දෙයක් අත් දැකීමේ සම්බාවිතාව ඉතා ඉහලය..

බලාපොරොත්තුව: අනේ පැටියෝ .. පව් ඔයාට හෙම්බිරිස්සාව නේද.. ඇඳෙන් නැගිටින්න අමාරුයි නේද.. ඔහොම ඉන්න...
ඇත්ත: හයියෝ.. ඔයාට නිකන් අලි හෙම්බිරිස්සාව හැදිලා වගේනේ..කෝලන් නැතුව නැගිටලා මෙන්න මේක බොන්න

බලාපොරොත්තුව: ඔයාට හැදිලා තියෙන්නේ අන්තිම අමාරු උණක් වගේ. දොස්තරට වැරදිලා.. නැත්තන් ඔච්චරම අමාරු වෙන්න විදියක් නෑනේ. අපි වෙන දොස්තර කෙනෙක් ලඟට යමු..
ඇත්ත: හැම තැනම තියෙන පොඩි වයිරස් උණක් හැදිලා ඔච්චර දගලන්නේ නැතුව නැගිටලා මෙන්න මේ බෙහෙත් ටික බොන්න.ඩොක්ටර් කිව්වනේ බෙහෙත් බිව්වම අඩුවෙයි කියල

එසේම හෙම්බිරිස්සාවක් උණක් ඇතුව හෝ නැතුව ගැහැණු ළමුන් යස අපුරුවට සිය වැඩපල කර ගනිති. නහයෙන් ගලන දිය සීරාවන් ඔවුන්ව ඇඳට යාමට තරම් හේතුවක් නොවේය. ඒක නම් මාරය. එයින් බැට කන්නේ අහිංසක පිරිමි අපය.

ඊළඟට රුපවාහියේ අනුස්කා සර්මා හෝ ප්‍රියංකා චොප්රා හෝ වෙන එකියක විසින් හෝ ඉඟ සුඟ නලවමින් වේග රිද්මයට නර්තනයේ යෙදෙන කල, යස අපුරුවට ඔබ ළඟ උන් ගැහැණු ළමයාද පුටුවෙන් පැන පිස්සු වැටුනාක් මෙන් දගලන්නට හොඳටම ඉඩ කඩ ඇත. එසේ දගලන ගමන් තමා මේ 'නටනවාය' කියාද කියති. රොටියාගේ ගෑණු ළමයා නම් ඉන්ද නොනැවතී "රොටියා.. මං ____ වගේම නටනවා නේද" යයි අසන්නේද ඇත්තටමය. මිනිස් සංහතියේ පැවැත්මට 'බොරුවද' අත්‍යවශ්‍ය දෙයක්ය යන්න රොටියාට තේරුම් යන්නේ ඒන් එවැනි වෙලාවලය.

බොරු කාරයන්ට, චිත්ත කාරයින්ට, වංචා කාරයින්ට අහුවීම සම්බන්ධයෙන් නම් රොටියාගේ ගෑණු ළමයා කප් ගසා ඇත්තේය. එවැනි සම්බන්දකම් වලදී මුලින්ම රොටියා පරිස්සම් වෙන ලෙස අවවාද කලත් ඒවා නෑසු කන්ව දවල් වැටුණු වාලේ ආයෙමත් වැටෙනවාය.ඒවා ගෑණු ළමයින්ගේ උපන් ගෙයි ගති වන්නට ඕනෑය.

වාහනයේ යන විට පාර අයිනේ වැනි වැනී ඉන්නා අච්චාරු කුක්කෙක් දුටුවෝතින් රොටියාගේ ගෑණු ළමයා බෙරිහන් දෙනවාය. කුක්කා පාර මැද උගේ වැඩ රාජකාරි සියල්ල නිමා කරන තුරු හෝන් ශබ්දයක් නැගීමට හෝ ඉඩ දෙන්නේ මේ ගෑණු ළමයා හෙම නෙවේය
අනෙක් අතට කහ ඉරේ පාර මාරු වෙන්නට බලා හිදින නංගිලාට රොටියා අත හිත දීමට යන බවක් පෙනුනොත් හෙම ගෑණු ළමයා ඉක්මනට යමුය කියමින් හදිස්සි කරනවාය. ඒවා ගැහැණු ළමුන්ගේ අනිච්චානුග ක්‍රියාය. ඒ ගැන කරන්නට කිසිම දෙයක් නැත. ඒක හරියට කහ ඉර ළඟ ලෙලදෙන නංගිලා දුටුවිට හැටට හැටේ යන රොටියාට බ්රේක් පෑගෙනවා වගේමය..


Monday, July 6, 2015

යටගිය දවස නුවරක කතාවක්!

අම්මා හුස්මක් උඩට ඇද නැවතත් ජනෙල් කූර තද කොට අල්ලා ගත්තාය. ගෙතුළ අඳුරු නිසා පිටතින් පෙනෙන අඳුරු චායාවන් වැනි වූ මිනිසුන්ට තමාව නොපෙනන බව අම්මා දන්නීය
උඩට ඇදගත් දෙවන හුස්මත් සමගම කුස තුල රිදුමක් ඈට දැනුනි. තමාගේ හදවත ගැසෙන ස්වරය වැඩියයි පවසන්නට මෙන් කුස තුල ඔත් දරුවා කුසයට පහර දෙයි. තමුන් තුල හටගන්නා බිය හා ගැස්ම නුපන් දරුවාට අහිතකරව බලපෑ හැකි බව දන්නා නිසාම ඉදිමුණු දෙපය අමාරුවෙන් උහුලාගෙනඇය ඇඳ වෙත පියමැන්නාය. හය හතර නොදන්නා වැඩිමල් දරුවා සුව නින්දකය.පෙර ඈතින් ඇසුණු අඩි ශබ්දයන් දැන් දැන් ගේ අසලින්ම ඇසේ. තවම නිවසට පැමිණ නැති තාත්තා , නාදුනන කළු බළලුන් රැල වෙන ඉසව්වක් කරා යන තෙක් ප්‍රමාද කරන්නැයි ඈ දෙවියන් යදින්නිය.
අඩි ශබ්ද මැකී යත්ම ඈ මුවින් දිගු සුසුමක් පිටවිණි. මෙකල රාත්‍රී කාලයේ නිවසින් පිට සිටීම කෙතරම් අනතුරු දායකදැයි සිහි කරමින් ඈ තාත්තා පැමිණෙන තෙක් දෑස් රිදෙන තුරු මග බලා උන්නාය. මද වෙලාවකින් නිවසට පැමිණෙන තාත්තා දුටු විට ඇගේ බිය සැක දුරුවී සුපුරුදු සිනාවම මුවට නැගෙනු ඇත
ටයර් සෑයවල්, හිස සුන් මල සිරුරු පැහැර ගැනීම් හා පහර දීම් පිළිබඳව වූ ආරංචි වලින් දිනපතා අම්මාගේ දෙසවන පිරී තිබුණි. මේ සමය අම්මාගේ ජිවිතයේ දෙවන දුෂ්කරම අවධියයි. පාසල් සමයේ සිරිමාවෝ ආණ්ඩුව මගින් සිදු කරන ලද ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කප්පාදුවෙන්ද වැඩිපුරම බැටකෑවේ පවුලේ වැඩිමලා වූ අම්මාය. සීනි වෙනුවට කළු වූ සක්කරා, පරිප්පු වෙනුවට කොළ රසැති අප්‍රසන්න ආහාරයක්, තේ වෙනුවට තොත්තමල්ලි දරා ගන්නට හැකි උනාට දවසකින් අඩක් පමණ පෝලිම් වල රස්තියාදු වන්නට සිදුවීම නම් තරුණ ගැහැණු ළමයෙකුට ඔරොත්තු නොදෙන මනාය.එසමය අවසානයේ සිදුවුයේ අම්මා "කැපුවත් කොළ" තත්වයට පත්වී ජේ. ආර් ජානාධිපතිවරයාව වන්දනාමාන කරන්නට පටන් ගැනීමයි
තුන්ඩු කෑල්ලක් මගින් පමණක් මුළු රටේම වැඩකටයුතු ඇනහිටින එකල, හිටි අඩියේම හමුදාව විසින් නිවසේ වාහනය රැගෙන ගොස් දවස් දෙක තුනකින් ආපසු ගෙනැවිත් දීමද සාමාන්‍ය සිරිතක්ව පැවතුනේය. දිවා රෑ වෙහෙසී වැඩ වැඩකල තාත්තාද , එක් දරුවෙකු වඩාගෙන තවත් දරුවෙකු කුසයේ දරාගෙන හරි හරියට තාත්තාගේ වැඩවලට සහය වූ අම්මාද එක්වී අමාරුවෙන් මිලට ගත් වාහනය තවම අලුත් හෙයින් එය බොහෝ විට නොපෙනෙන තැනක ගාල් කර තිබුණි. දරුවා ලැබීමට පෙර අම්මාගේ මහගෙදර ගොස් පැමිණීමට කතිකා කර ගත් අම්මා හා තාත්තා ඒ සඳහා රියක් කුලියට ගත්තේ වැඩි පරිස්සමටය. තමුන්ගේ වාහනය සුරැකි යයි සතුටු සිතින් ආපසු පැමිණි ඔවුන් දෙදෙනාට දැනගැනීමට ලැබුනේ වාහනය හමුදාව විසින් රැගෙන ගිය බවයි. ඇත්තටම සිදුව තිබුනේ එතරම් පරිස්සමට දමා ගොස් තිබූ වාහනය තාත්තාගේ ඤාති සොහොයුරෙකු විසින් පදවන්නට යාමේදී හමුදාව විසින් නවත්වා සිය උවමනාවකට ලබා ගැනීමයි.
පළමු දරුවා ලැබුණු පෞද්ගලික රෝහලම දෙවන දරුවා ද ලැබීමට සුදුසු යැයි අම්මා තීරණය කරන්නට යෙදුනේ දරුවා ලැබෙන්නට පැමිණි මුල් අවදියේමය. රටම දෙදුරුම් කෑ ත්‍රිමා විතාරණ ඝාතනයෙන් සය දිනක් ගෙවුණු තැන අම්මාට විලිරුදා හට ගත්තීය. සියල්ලම නුලටම හරියාවියයි විශ්වාසයෙන් අම්මා සමග මගට බට තාත්තාට දැන ගැනීමට ලැබුනේ ඇඳිරි නිතිය ක්‍රියාවේ යෙදී ඇති බවයි. වන්නක් වේවායි පතාගෙන ලෑල්ලට පාගා අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ විට එය වසා දමලාය!
කුමකින් කුමක් කරන්නද. අඳුරත් වැටීගෙන එනවාය.. නැවත රිය හැරවුණේ ලඟම තිබූ රජයේ රෝහලක් වෙතටය. එයටත් ඊනියා දේශ ප්‍රේමින් විසින් වසා දමන ලෙස නියෝග කරමින් තුන්ඩු නිකුත් කරලාය. අම්මාගේ තත්වය දුටු රෝහල් නිලදාරීන් අම්මාව රෝහලට ඇතුල් කර ගැනීමට තරම් කාරුණික විය. ඊළඟට ඇත්තේ වෙද්‍යවරයෙකු සොයා ගැනීමේ බාරදුර කටයුත්තයි.රෝහල පිටුපස වූ වෙද්‍ය නිල නිවසටම ගොස් තාත්තා කල ඉල්ලීමට අදාළ වෙද තුමා කන් දුන්නේ සිය ජිවිත අවධානමද නොසලකමිනි.ඔහු නිවසේ හිදී ඇඳුමෙන්, කලුවරේම රෝහලට එනවිට විදුලියත් නැත
ඉටි පහන් එළියෙන් මෙලොව එලිය දුටු දරුවාගේ උපන් රාත්‍රිය අංගුලිමාලයන්ගේ උපන් රාත්‍රියට (අංගුලිමාල උපන් දින රැයේ කඩු දිලිසුනේලු!) යම් පමණකට සමාන නිසා දරුවාට අංගුලිමාල ගති පිහිටියේ යයි පසු කලක ප්‍රසිද්ද වුයේ කට කහනවාටම නෙවේය. මව් කුසයේදීම මුහුණ දීමට සිදුවූ අත්දැකීම් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේ දරුවාට බලපෑම් දෙකක් සිද්ද වුනේය. එකක් අධික කෝපයයි. දෙවැන්න ඇදුම රෝගයයි.
එදා ඉටු දෙවියෙකු මෙන් පැමිණි වෙදැදුරු තුමා අද කොහේදැයි දන්නේ නැත. අදටත් එතුමා කොතැනක හෝ හිඳ ලෙඩුන් දහස් ගණනින් සුවපත් කරනවා වන්නට ඇත.
අම්මාට හා දරුවාට එදා මවක මෙන් සහය වූ වින්නඹු මාතාවට අද එතරම් සිහි කල්පනාවක් නැත. අම්මා තමුන්ගේ මවකට මෙන් ඈ ගැන සොයා බලන්නීය

මේ එක් කතාවක් පමණකි.සාමාන්යෙන්ම 88/89 අවුරුදු වල උපන් ශිෂ්‍යයන් කලහකාරී වැඩියයි දිනක් එක්තරා මහාචාර්ය වරයෙකු විසින් පවසන්නට යෙදුනි. ඒ ඔහුගේ දේශනයක් අතරතුර ශිෂ්‍යයන් අතර පැන නැගුනු නොසන්සුන් කාරී තත්වය නිසාය. ඇත්ත නැත්ත නොදනිමි

යටකී දරුවා අදටත් අධික කෝපය හා ඇඳුම රෝගය නිසා පිඩා විඳින අතර අම්මා තවමත් 'කොළය'. දරුවා 'මල්ටි කලර්ය'


Wednesday, June 17, 2015

විත්‍යාගේ සොයුරා උසාවියේදී කී කවිය...

මතකයි මට දිගු කලකටපෙරාතුව
ආ හැටි අම්මා කිරිකැටියෙකුවඩාගෙන
හිඳි මුත් එතෙක් සුරතල් වීඑකම
මහිතේ අහිතක් තිබුනේ නෑකිසිම

නංගා අඬන විට ගොස් මම නලවනවා
වෙනකෙක් මුකුත් කිව්වොත් හෙම ඔරවනවා
අප්පට හොරෙන් ඔන්චිල්ලා පද්දන්නවා
හීනෙන් මාව දැක නංගා හිනැහෙනවා

කාටද ඕනේ මේ ඇඹිටිල්ලන් කෙල්ල
සුනිමල් අසා මං තැලුවා උගේ හොම්බ
නංගිට ලියුම් දුන් යෝගා හොයාගෙන
දුන්නා ඌට බිව් මව්කිරි සිහිවෙන්න

දින දින අගේ වැඩිවන රූපය ඈගේ
මට රසදුනකි ඈ නංගා මාගේ
වටපිට එවුන් ඇදෙනා බඹරුන් වාගේ
ඈ මගේ පණයි ඈ රැකගන්නට ඕනේ

මගේ වැඩ කරලා තියපිය යයි කියා නැත
තේකක් හදා දීපිය යයි කියා නැත
ඒ කිසි දෙයක් ඈ මිස මා කලෙත් නැත
ඒගැන කිසිත් මැසිවිල්ලක් කියුවේ නැත

නංගා පරක්කුය වෙනදට වඩා අද
බැලුවොත් හොඳයි ගොස් පොඩ්ඩක් හන්දියට
අප්පත් නැත පේනා මානයක
අම්මා කියද්දීත් බයිසිකලෙයි මම

නංගා හොයා මම සයිකලේ පාගනවා
යෝගා ගැන වස විස සිතුවිලි එනවා
සැක හිත මගේ එක මුල්ලක පැසවෙනවා
නංගා මගේ ඈ සැක බිය දුරුවෙනවා

නොදුටුව නිසා මම නංගව කිසිතැනක
ගිනිගත් හිසෙන් දිව්වා පිස්සෙක් විලස
පාසල ඇරී ඈ ආ හැටි දුටු පිරිස
ඊට පසුව වුනු දෙයකුත් දන්නේ නැත

සොයලා සොයලා සොයලා බැරිම තැන
බලමුද කැලෑවේ වත් පාර ළඟ
මානා ඉලුක් පොඩිවී ඇත එක තැනක
කවුදෝ හිඳී වැටිලා එහි සිහි නැතිව

ගම එකතැනක නංගා ඇත ඔවුන් මැද
ඇඟලු ඇදුම් කිසිවක් ඇගේ ඇඟේ නැත
සියුමැලි ඇඟේ පහරවලුත් තැනින් තැන
මේ දේ කරපු උන් ටික මරනවා අද

හැමටම කලින් නංගා වෙත පැනලා
මා ඈ හෙලෙව්වේ පළමුව විලි වහලා
පියවුණු දෑස හැර ආයෙත් බලලා
කියපන් නංගියේ මා උඹගේ අයියා

පණ ටික යවන්නට පෙර දහ වද දීලා
තිරිසන් මලයක්කු ඈ හපයක් කරලා
අම්මගේ පලිය පිට උන් ටික හිරි ඇරලා
මරා තිබුනේ ගෙල පටියෙන් හිර කරලා

මුන් ටික පෙනෙනකොට අද මට උසාවියේ
ගිනිගෙන දැවෙනවා ලෙස මා ඇති නිරයේ
විත්තිය අසනවා හිටි හැටි නගා මගේ
මොනවා කියන්නද ඒ ගැන තවත් මෙහේ

නංගා ඉන්නවා පිටුපස අසුන අරා
බැහැ මට කියන්නට මොකවත් ඇ දෙස බලා
මියගිය ඇගේ රුව සිව් දෙස ටැග් කරලා
ආයෙම වතාවක් ඈ කෙලෙසනවද ඔහෙලා

හිනැහී කට කොනින් මුන් ටික අද මෙන්න මෙහේ
නංගා මගේ තනියෙන් ඇත වල අස්සේ
වෙන මෙනවාද මෙහි සොය සොය ඉන්නේ
මොන කෙන්ගෙඩියකටද නඩු අහන්නේ

එලියට දමා මුන් ටික නිරුවත් කරලා
දකුණට ගෙනියන්න දෙපයින් කසෙන් තලා
හැමටම පෙනෙන්නට බෙල්ලට තොණ්ඩුව දාල
එල්ලා දමනු එමි අලුගෝසුවා වෙලා

Tuesday, June 16, 2015

රොටියාගේ කසාදයට පස්සෙන් පසුව....

මේ කියවන ඔබ ඉස් ඉස්සර වෙලාම ගෑණු ළමයෙකු මුණගැසෙන්නට යනවා නම් කියන දේවල් ගැන බොහොම පරිස්සම් විය යුත්තේය. පිරිමි අප මහා ලොකුවට නොසලකන , ඇතැම් විට නොසලකාම හරින ඇතැම් කියුම් අල්ලාගෙන ගෑණු ළමුන් නටන නැටුම් ගැන අවබෝධයක් ගැනීමට නම් ගෑණු ළමයෙක් ආශ්‍රය ම කර දැන ගත යුත්තේය

වැඩි දුරක නැත. අද පාන්දර ඇදුම් අල්මාරිය ඇර බැලූ කල , රොටියාගේ ටි ෂර්ටයක් තලු මරමින් සිටි කුඹි සේනාව දුටු කල , මේ ටි ෂර්ට් එක හරියට හේදිලා නැතුවා වගේ යයි කියූ කියුම අල්ලාගෙන දැන් ඈ රොටියා සමග මරු කේන්තියෙන් සිටින්නීය. රොටියා ඒ ප්‍රකාශය කළේ ඇයගේ රෙදි සේදුමේ වරදක් ලෙස නෙවේ යයි රොටියා පොලවේ පස් කමින් දිවුරා කියා සිටියත් දැන් ඈ යකා වගේය. ඒ වෙලාවට අන්තිමේ ඕනෑ කෙහෙල්මලක් හිතා ගන්නට ඉඩ හැර කට පියාගෙන පැත්තකට වීම ගුණදායකය. රොටියා මුල් කාලයේදී නම් ඒ වෙලාවට මෙසේ කියයි

"මම ඒක එච්චර හිතල නෙවෙයි කිව්වේ. "

කවදාවත් ඔන්න ඔයාකාරව නම් කියන්න එපාය. එවිට ඈ වැඩිවූ කෝපයෙන් මෙසේ කියනු ලබන්නිය

"හුහ්.. ඔයා මොනාද හිතල කියන්නේ. අන්තිමට කියයි මගෙන් යාලු වෙන්න ඇහුවෙත් එච්චර හිතල නෙවෙයි කියල. මිනිස්සු ඔලුවක් ඇතුව උපදින්නේ හිතල කතා කරන්න...(සහ තවත් දේ)

ඊළඟට එවැනි අවස්ථාවල රොටියා මෙසේ කියන්නට යෙදුනාය.

"කියන වචන ගැන ඔච්චර දිගට හිතන්න එපා අනේ. මම දෙයක් කියපුවාම එකේ නරකම පැත්තනේ අනේ ඔයා හිතන්නේ.."

ඔබට මද කිපුණු අලියෙක් ඉදිරිපිට ඇතිවන හැඟීම දැනෙන තැනට වැඩ සිද්ද කර ගැනීමට අවශ්‍ය නම් ඒ ලෙස කිව්වාට කමක් නැත්තේය. එවිට ඈ රතු වූ දෙනෙතින් (සමහර විට දත් කූරු සපමින්) මෙසේ කියනු ඇත

"මනුස්සයෙක්ගේ හිත රිදෙන්න ඕනේ දෙයක් කියල ඊ ලඟට අනේ එක ඔයාට තේරුණු හැටි වැරදියි කියන්න ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්. (ස්වරය වැඩි කරමින්) ඕනේ බුරුවෙකුට එහෙම කියන්න පුළුවන්. හැම දේම අතට පයට කරලා දීල අන්තිම හිත රිදෙන කතා අහගන්න තමා මට තියෙන්නේ.

මෙන්න මේ වෙලාව අන්තිම බයානක වෙලාවය. මක්නිසාදයත් ඇගේ හැසිරීමට ඔබට හිනා යන්නට එන නිසාය. බැරි වෙලාවකින් හෝ ඔබට හිනා ගියහොත් ඈ නාට්‍යාකාරව මෙසේ බෙරිහන්දෙනු ලබන්නිය

"හයියෝඕ.. මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉද්දි මං කරගත්තනෙ කසාදයක්... මට එපා වෙලා තියෙන්නේ"

එනිසා හොඳම දේ මෙසේ කීමය

"මම එහෙම කියපු එක වැරදියි. සොරි කියපු එකට. ඔයා මට කොච්චර දේවල් කරලා දෙනවද.. මම ආයේ එහෙම කියන්නේ නෑ. ප්‍රොමිස්.."

ඒක හරියට අර අඬන පොඩි එකෙකුට ලොලියක් දෙනවාක් වගේය. ඕවා ඔන්න ඔහොමය..

අනෙක් අතට ඔබ කියූ දෙයක් ඈට අමතක යයි හිතාගෙන ඉන්න එහෙම එපාය. ගෑණු ළමයි එහෙම ලේසියෙන් දෙයක් අමතක කරන්නේ නැත්තේය. ඔබට මතක නැති , ඔබ කියූ බොහෝමයක් දෑ ගලේ කෙටුවා සේ ඔවුන්ට මතකය. උදාහරණයක් පහතය

රොටියා මදක් නිලට බර යයි මිට පෙරත් කීප වතාවක්ම සඳහන් කොට ඇත්තේය. රොටියාගේ පවුලේ ඇත්තෝද නිලට බර උදවියය. ඒ නිසා රොටියාගේද හිත යන පාට නිල් ය. නමුත් ගෑණු ළමයාගේ පරමාදර්ශී චරිතය රනිල්ය.

මේ අකුරේ වෙනස නිසා රොටියා දැනටමත් ජිවිත කාලයකට හරියන්න ඇගෙන් දේශපාලනය ඉගෙන ගෙන ඇත්තේය. එය සිද්ද වන්නට වැඩකටයුතු යෙදුනේ මෙන්න මෙහෙමය

රොටියා හා ගෑණු ළමයා අතර නිල වශයෙන් වශයෙන් සම්බන්දය ආරම්බ වන්නට පෙර දෙදෙනාම එකිනෙකා හා කතා බහ කළේ වචන තෝරා බේරා ගෙන බොහොම පරිස්සමටය. යුද්ධය නැවත්වීම ගැන ලොකුවට වර්ණනා කල නිසා රොටියා හිතාගෙන උන්නේ ගෑණු ළමයාද නිලට බර බවය.

ඒ තීරනාත්මක හමුවීම සිද්ද උනේ ඔන්න ඔය අල්ලේ පනල්ලේය. එදා සිද්ද වුනු කතා බහ පහත ලෙසය

රොටියා: ඔයා මාව බදින්න කැමතිද?

ගෑණු ළමයා: ඔයා UNP නේද?

මෙය ඇසු ස්වරය නිසා රොටියාගේ ඔලුවේ සීනුවක් නාද වන්නට යෙදුනේය.

රොටියා: (එදා උදෙත් මහින්ද වෙනුවෙන් සිය මිතුරන් හා වාද කළේ මෙන්න මේ කියන රොටියාමය) මට එහෙම පැත්තක් නැහැ. හරි පැත්තට චන්දෙ දෙනවා

ගෑණු ළමයා: හම්මේ එහෙනං කමක් නෑ. මං නං කීයටවත් SFP එකේ කෙනෙක් එක්ක නං යාලු වෙන්නේ නෑ. ඒ කට්ටියත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලා විසඳ ගන්න බෑ. මාත් ඔයාට කැමතියි..

ඉතින් මොනවා කියා කරන්නද .. ගෑණු ළමයාට රොටියාගේ ඇත්ත තත්වය තේරුම් ගියේ ජෙනරාල් ජනාදිපතිවරනයට ඉදිරිපත් වූ විටය. එදා සිට ඈ රණ්ඩුවක දී අවසාන වශයෙන් මෙසේ කියනු ලබන්නිය

"ඕක තමයි මම UNP එකෙක් ව බදින්න හෙව්වේ. කොහෙද මාව රවට්ටලා....."



Tuesday, June 2, 2015

අමතක මතකය..

අමතක කරලා දාල තියෙන, නැත්තන් අමතක වෙලා තියෙන , එහෙමත් නැත්තන් මතක් කරන්නට කැමති නැති, මතකයන් මේ ජීවිතය පුරාවටම තියෙනවා. ඇත්තටම ' මේ මොහොත' කියා දෙයක් නෑ. ඇත්තේ බලාපොරොත්තු හා මතකයන් පමණයි.

දෙදෙහස් අටේ ජුනි මාසයේ දවසක රොටියා පුරුදු පරිදි 255 බස් රියකට නැග්ගේ විශ්ව විද්‍යාලයේ දේශනයකට සහබාගි වෙන්නයි. රොටියා ගිය බසයට ඉදිරියෙන් ගිය 255 බසය විශ්ව විද්‍යාලය පසුවෙනාවත් සමගම පුපුරා ගොස් තිබුනා. මෙහිදී රොටියා බස් බෝම්බයකින් අනූ නවයෙන් බේරුනා යයි පම්පෝරි ගසන්නේ නැහැ, මොකද ඒ බස් රථයේ රොටියා උන්නත් බෝම්බය පුපුරන විට රොටියා බොහෝ විට බසයෙන් බැස තිබේවි..

නමුත් ජිවිතයේ දී අම්මා කෙනෙකුගේ මුවින් අසන්න නොලැබෙන තරමේ දුක්ඛිත විලාපයක් අමතක කරන්න රොටියාට නොහැකිවාක් මෙන්ම තමුන් බත් පාර්සලය බැඳ දී බස් රථයට ගොඩ කල තමන්ගේ දරුවා ඔලුවේ පැත්තක් නැතිව මහා මග වැටි උන් හැටි අමතක කරන්න ඒ අම්මාටත් බැරුව ඇති.. බස් රියේ දොර අසල අසුනේ වාඩි වී හුන් කාන්තාව හාස්කමකින් බේරී තිබුනත් ඈට තම යාබද අසුන් වල හිඳි මගීන් මැරී වැටි උන් හැටි තාමත් මතක ඇති..

එදා සිදුවූ සියල්ල මෙතන ලියන්න රොටියා කැමති නැහැ. නමුත් ඒ අවස්ථාවේ හමුදා නිලධාරින් ක්‍රියා කල ආකාරය නම් ප්‍රශංසනීයයි. එයත් කිසිදාක අමතක කරන්න බැහැ

**** **** ****

රොටියාට යන්තම් මතක ඇති කාලයේ , රොටියාගේ ගමේ එකම නම ඇති මිතුරන් දෙදෙනෙකු සිටියා. රොටියා ඔවුන්ව පහසුව තකා සුරංග කියා හඳුන්වන්නම්. ගමේ අය ඔවුන්ව හැඳින්වූවේ ලොකු සුරංග හා පොඩි සුරංග ලෙසයි. දෙදෙනාම හමුදාවට බැඳුනා. රොටියා හිතන විදියට නම් ඔවුන් හමුදාවට බැඳුනේ ජීවිකාව සරි කර ගන්නයි. දෙදෙනාම දුප්පත් පවුල් වල පිරිමි ළමයි..

අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු සුරංගව වළලන්න මොහොතකට කලින් හමුදාවෙන් වෙඩි මුර ආචාරයක් පැවැත්වුනා. හොඳටම බය වුනු රොටියා දෙසවන් වසා ගෙන හඬා වැටුනා. එවකට රොටියාගේ වයසේ , ඊට ඉහල පහල වයස්වල සිංහල , දෙමල , මුස්ලිම් කුඩා ළමුන් කී දාහකට එම හඬ දිනපතා ඇහෙන සාමාන්‍ය හඬක් වෙලා තියෙන්න ඇතිද..

ලොකු සුරංග දිවි පුදා තිබුනේ වැදගත් ලියකියවිලි වගයක් රැක ගැනීමට උත්සහ කරන අතර තුරේදියි. මියගිය ඔහුගේ අත තිබු ලියකියවිලි ටික මුදා ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ද උනාලු..

පොඩි සුරංග නැවතත් ගියා. මානුෂිය මෙහෙයුමටත් සහබාගි වී නිරුප්‍රදිතව ආපසු පැමිණි ඔහු අද හමුදාවේ උසස් නිලයක් දරනවා..

**** **** ****

රොටියාට විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යාම පිණිස පිටකොටුව බස් නැවතුමට එන්නට තිබු දවසක මිතුරෙකුගේ වැඩක් හේතුවෙන් මදක් ප්‍රමාද උනා. බෝ ගහ යට බෝම්බයක් පුපුරා ඇති බව මගදී ආරංචි උනා. එය විසාල විනාසයක් කර තිබුනේ නැහැ මතක විදියට. නමුත් හැමදාම රොටියා බසයෙන් බහින්නට පුරුදුව සිටියේ බෝ ගහ ළඟිනුයි..

**** **** ****

රොටියාගේ ගෑනු ළමයා කලක් කොළඹ ආශ්‍රිත තැනක නැවතී උන්නා. දිනක් රාත්‍රී එකොළහට පමණ දුරකථන ඇමතුමක් දුන් ඈ, ඔවුන් නැවතී ඉන්නා තැන විදුලිය නැති බවත් , වෙඩි හඩක් ඇසෙන බවත් , ගුවන් යානාවලින් පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන බවත් කොතනින් නවතිදැයි කියා සිතා ගත නොහැකි බවත් දැනුම් දුන්නා. රොටියාට මෙන්ම ගෑනු ළමයාගේ පවුලේ උදවියටද එය නිදි නැති රැයක් උනා.. ලංකාවේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්නට ඈ රොටියාගේ මනාලිය උනා

**** **** ****

හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් වැදගත්. රොටියාට තවකෙක් කියූ පරිදි බුද්ධි අංශයේ මුස්ලිම් ජාතිකයින් විශාල ප්‍රමාණයක් සේවය කර තිබෙනවා. මේජර් මුතාලිෆ් යනු මේ මාවතේ දිවි පිදු අමතක කරන්න බැරි චරිතයක්. යුද්ධය ඉවරයි. බිම් මට්ටමේ ජනතාව අතර ජාතිවාදයක දුමාරයක් පැතිරෙනවා. සමහරු එයට පිදුරු දමන්නට වලි කනවා. ප්‍රශ්නයක් ඇත්නම් එය විසදන්න ඕනෑ රාජ්‍ය පරිපාලන මට්ටමෙනුයි. ජනතාව ප්‍රකෝපව නීති හදන්නට හෝ අතට ගන්නට ගියොත් ලොකු අවුලක් වෙනවා. කළු ජූලියක් ආයෙත් උවමනා නැහැ

**** **** ****

යුද්දය ඇති දිනවල කොළඹ රැකියාව කල ගැහැණු උදවිය පිට ඇඳුමට වඩා සීරුවට යට සායවල් තේරුවාලු. හදිසියෙවත් බෝම්බයකට හසු වුනොත් උඩ ඇඳුම නැති උනත් පාරට පනින්න පුළුවන් තරමේ යට ඇඳුමක්වත් තියෙන්න... සමහරුන්ට මතක නැති යුද්ධයේ අමිහිරිම කාලය එයයි

**** **** ****

යුද්ධය නැවතුනා. රොටියාගේ අම්මා නැවතත් සැනසිල්ලේ හුස්ම ගත්තා. තමුන්ගේ ළමයි දෙදෙනෙක් උදේ හවස කොළඹ කරක් ගසන විට රොටියා ගේ දෙමාපියන් ඒ සා ගින්දරකින් උන්නා නම් හමුදාවේ සේවය කරන දූ පුතුන් ඇති මා පියන් කොහොම ගින්දරකින් ඉන්න ඇතිද

**** **** ****

යුද්දය විකිණුනා. අතපය, දෑස් අහිමි සෙබළුන් ගිනි ගහන අව්වේ පෙළපාලි ගියා..අප ඔවුන් දෙස රූපවාහිනියෙන් බලාගෙන දුක් වුනා

**** **** ****

මේ කුණු ඇවිස්සීමක් වත් , පිට කැසීමක් වත් , සුදු හුණු ගෑමක් වත් නෙමෙයි. අනෙක් අතට යුද්දයේ දේශපාලනික පසුබිම ගැන කරන විග්‍රහයකුත් නෙමෙයි. රොටියාට මෙය ලියන්නට සිත් වුයේ පසුගිය දිනවල ඇසු දුටු සිදුවීම් හා ලිපි නිසයි

විත්‍යා මරා දැමුනා. ඒ නරුමයින්ව උල හිඳුවිය යුතුයි. ඒ අස්සේ සමහරු විත්‍යාව ඉදිරියට දමාගෙන ඉසිප්‍රියාගේ මළසිරුර ගොඩ ගන්නට වෑයම් කළා. මිට කලකට පෙර නිදි ඇඳේදී සිය බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කල සැමියා ඉදිරියට ඔවුන් ඉසිප්‍රියා ව ගෙනගියේ නෑ. කහවත්තේ ඝාතන ඉදිරියට ඉසිප්‍රියාව ගෙනාවේ නැහැ. එතකොට ජාතිවාදයක් එපා එපා කියමින් ඔවුන් විද්‍යා ඉදිරියට ඉසිප්‍රියාව ගෙනයන්නේ විත්‍යා දෙමල ජාතිකයෙක් වීම නිසා නොවේද? ඔවුන් දෙදෙනාගේ චායාරූප නැවත නැවත පෙන්වමින් ජාතිවාදයක් ඇති කරන්නේ ඔය ඇත්තන්ම නොවේද?

විත්යාට , ඉසිප්‍රියාට , කහවත්තේ ගොදුරු වූ ගැහැනුන්ට , නිදි ඇඳේ මරා දැමු ඇයට හා දරු දෙදෙනාට එකසේම යුක්තිය සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ලෙසම මායිම් ගම්වල හිඳ මරා දැමුණු කාන්තාවන් , නුපන් ළදරුවන්, කුඩා ළමුන්, පිරිමින් ඇතුළු සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි. අරන්තලාවේ පොඩි හාමුදුරුවන්ට සාදාරණයක් ඉටුවිය යුතුයි. කොටුව දුම්රිය පොලේදී මියගිය ඩි එස් සිසුන්ට සාදාරණයක් සිදුවිය යුතුයි.

හිස් අහස මේ ලිපියත් කියවා බලන්න

චැනල් ෆෝ වලට හසු වන්නට ඇත්තේ සීමිත සිදුවීම් පෙළක් පමණයි. ලංකාවේ ජිවත් වූ අපට චැනල් ෆෝ නැතුවාට ඕනෑ තරම් මතකයන් ඇත. ජාති , ආගම් , කුල බේදයක් නැතුව අප සියල්ලෝ ම කොපමණ මරණ බියකින් ජිවත් වීමුද?

ඒ මතකයන් අතර අමතක කරන්නට නොහැකිම මතකය අපේ රණවිරුවන් පිළිබඳව වූ මතකයයි. ඔවුන් සිද්ද කලේ රස්සාව යයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඇත්තන්ව ඊශ්‍රායලයේ මෙන් අනිවාර්ය යුධ පුහුණුවකට යැවිය යුතුය. එවිට ඒ ඇත්තන්ටත් රස්සාවේ තරම බලා ගත හැක්කේය. ඒත් මදි නම් යුද්දය තවමත් සිදුකෙරෙන රටක ස්වෙච්චා බලකායට යැවිය යුතුය.(ලංකාවට නම් හීනෙන්වත් ආයේ යුද්දයක් එපාය. මුළු ලෝකෙන්ම යුධ ගැටුම් තොලොංචි වී යා යුතුය)

ත්‍රිවිධ හමුදාව නිසා අද අප බියෙන් සැකෙන් තොරව ජිවත් වන්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු......

Sunday, May 24, 2015

ඔහු එතැන නැවතුනේය..

දෙදහස් අටේ අවුරුද්ද.ගැහැණු ළමයෙක් බස් රියක එනවා. දුර ගමන් බස් රියක්. ගැහැණු ළමයාගේ ඔලුව තදබල විදියට වික්ටෝරියානු සදාචාර ගත වෙලා තියෙන්නේ. විත්තිකරු ඇගේ පාසල.
ඒ පාසල වටා තිබුණු අඩි නවයකට වඩා උස වික්ටෝරියානු බැම්ම උඩ, කතෝලික කන්‍යා සහෝදරියන්ගේ දැඩි විනය නීති නමැති බෝතල් කටුත් සවි කරලා තිබ්බා. මදුරුවෙක්වත් අනවසරයෙන් ඇතුල්වෙන්න බය උණු පාසල් භූමියට ඉඳ හිට අල්ලපු පාසලේ තක්කඩි කොල්ලෝ රැලක් අහම්බෙන් කඩා වැදුනොත් , විදුහල් පති කන්‍යා තුමිය ඔවුන්ව ඇඹරුම් යන්ත්‍රයට දමා කුඩේ කුඩු කර දැමුවා. ඉතින් පාසල තුල ජිවත් උණු බාලිකාවියන් වියයුතු පරිදිම බීතියෙන් කුල්මත්ව ,ජම්ම දෝෂයෙන් නිර්දෝෂව , පිරිසිදු සුපැහැදිලි ජිවිත ගත කළා . නැත්නම් ඔවුන්ට එසේ වීමට බලකෙරුනා.
පිරිමි යනු කුණු කන පණු රැලක් බව ද, ළමයින් ලැබෙන්නේ ශුද්ධාත්ම අනුහසින් බවද , පිරිමියෙකු දුටු විට වහා වහා එතනින් දුරිම්බුත විය යුතු බවද පාසල් පරිසරයේ වායුගෝලයේ රැඳී තිබුනා. කිසිම කෙනෙකු මුවින් පිට නොකලද මේවා සෑම විටෙකම පාසල හරහා දෝංකාර දුන්නා.
කෙසේ නමුත් වයසත් සමග හොර්මන වල වෙනස්කම් සමග විවිදාකාර නළුවන් , නිරුපන ශිල්පින් , සම වයස් වල හැඩකාර කොල්ලන් ගැන ආරංචි පාසල තුලට රිංගුවා. ඉතා කුඩා සිදුරු අස්සෙන්. ඉදහිට හෝර්මෝන වැඩිපුර වැඩ කෙරුණු කෙල්ලෙක් හෝ දෙන්නෙක් අසාමාන්‍ය විදියට නිර්බිත වෙන්න ගොස් සිද්ද කරන ලද ත්‍රාසජනක ක්‍රියා පාසලට ආරංචි වීමෙන් අනතුරුව, ඒ ක්‍රියා අගයනු වස් , පාසල විසින් ඔවුන්ට අස්වීමේ සහතික පිරිනැමුණා. ඉතින් පාසල තුල ඉතුරු වුයේ ඇත්තටම සුපිරිසිදු ස්ත්‍රී රත්න ටිකකුත්, කට්ට කයිරාටික වෙට්ට පිත්තල ස්ත්‍රී රත්න ටිකකුත් හා ඕනෑම තැනක ඇඟ බේරා ගැනීමේ කලාව ප්‍රගුණ කල ස්ත්‍රී රත්න ටිකකුත් පමණයි.
(මොනවා උනත් මේ ගෑනු ළමයා අදටත් මේ පාසලට හරිම ආදරෙයි. ඈටත් දුවෙකු ලැබුනොත් ඈ නොවරදවාම මේ පාසලට ඇතුලත් කෙරුණු ඇති. ගෑනු ළමයෙකු තුල ඇතිවිය යුතු හැදියාව , ශික්ෂණය හා අරපිරිමැස්ම මේ පාසල තුලින් ජිවිතයට කාවද්දන බව ඈ අදටත් විස්වාස කරනවා)

පාසලෙන් අයින් වී වසරක් ගතවී තිබුනත් සියලුම පිරිමින් කාමුකයන්ය සහ ස්ත්‍රී හිංසකයින්ය යයි ඔලුව නට්ටන් කරගෙන ඇති ගෑනු ළමයා තමුන්ගේ අසුනේ වාඩිවී නහයට කෙලින් බලාගෙන , දෙසවන කන් බනුවක් පැළඳගෙන , කවුළුව අසල සිටිනා පිරිමියාගේ ඇඟේ වැරදිලාවත් නොවදින ලෙස කල්පනාවෙන් යුතුව සිටිනවා. අසල හිඳගෙන ඉන්නා පුද්ගලයාගේ දෑත් ඈ හොරෙන් නිරීක්ෂණය කරනවා. ඒවා හැඩි දැඩියි. නමුත් කෙට්ටුයි. තරුණ දෑතක්.

අසල ඉන්නා පුද්ගලයාට දිගු ගමන වෙහෙසකර වන්නට ඇති. එහා අසුනේ ඉන්නා ඇත්තියගේත් කිසිදු මිත්‍රශීලි බවක් නෑ. නමුත් අන්තිමේ ඔහු එක වරක් උත්සහයක් දරනවා.

ඔහු ඇගෙන් වෙලාව විමසනවා. තරුණ කටහඬක්. ඔව්, ඔහු භද්‍ර යව්වනයේ පසුවන බව ගෑනු ළමයාට පෙනෙනවා. ගෑනු ලමයාගේත් මෙතෙක් අක්‍රියව තිබුණු හෝර්මෝන තරමක් දුරට වැඩ කරන්න පටන් ගන්නවා. ඈ තම ජන්ගමයා බෑගයෙන් එළියට ගෙන වෙලාව බලනවා. දුරකථන තිරය මත ශාරුක් ඛාන් හිනැහෙමින් ඉන්නවා. ඇගේ වික්ටෝරියානු බැම්මේ කුඩා සිදුරකින් රිංගා ගන්න ශාරුක් ඛාන් සමත් වෙන්නේ ඈ හතේ පන්තියේ ඉන්නා විටයි. එසේ පැමිණි ඔහු තාමත් ඈව හැරගොස් නැහැ

වෙලාව පමණයි. ආයෙත් කතා බහක් සිද්ද වෙන පාටක් නැහැ. පිරිමි ළමයා දෙවන උත්සාහයත් දරනවා. ඔහු ඇගෙන් යම් කිසි නගරයක් ගැන විමසනවා. මේ බස් රිය ඒ නගරය හරහා යනවාද?

ඈ පිළිතුරු දෙනවා. තනි වචනයෙන්.. ඒ නැවතුම ඇගේ නැවතුමට පසුව පස්වෙනි හෝ හයවෙනි නැවතුම

"අපේ කොල්ලෙකුට වෙඩි වැදිලා බලන්න යනවා නංගි" පිරිමි ළමයා හිතා හෝ නොහිතා කියනවා. ශාරුක් ඛාන් තිරයෙන් පැනලා දුවනවා. ගෑනු ළමයාගේ වික්ටෝරියානු බැම්ම ඉරිතලල යනවා.

ඈට ඒ මොහොතේ වදනක්වත් කතා කරගන්න බැරි වෙනවා. ඇගේ මුවට කවදාවත් නැති තරමට වචන ගලාගෙන එනවා. ඒත් ඒවා මුව ඇතුලෙම ගොලුවෙලා ඉන්නවා. ඈට ඔහුත් සමග ඔහුගේ නැවතුම දක්වාම යන්න උවමනා වෙනවා. ඔහුට ඒ නැවතුම පෙන්නන්න උවමනා වෙනවා. ඈ බයෙන් හරි කොළඹ ගොස් එන්නේ ඔහු වැනි අයට පින්සිදු වෙන්න කියා කියන්නට උවමනා වෙනවා. ඔහු කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියල කියන්න උවමනා වෙනවා

ඒත් ඈ ඒ කිසිවක් කියන්නේ නැහැ. ඇගේ හදවත වේදනාවෙන් ඉරිතලල යනවා. ඒත් වදන් පිටවෙන්නේ නැහැ.

ඇගේ නැවතුම ලං වෙනවා. නැවතත් වික්ටෝරියානු අවතාරය ඈව බිය කරනවා.යන්නම් කියා ඈ බසයෙන් බසින්න යනවා. ඒ දිනවල තිබු තත්වයත් එක්ක ඒ පිරිමි ළමයාට "ගිහින් එන්නම්" කියන්න බැරි බව ඈ දන්නවා. ඈ පිටුපස බලන්නේ නැහැ. ඒ මුහුණ මතක තියා ගන්න ඈට උවමනා නැහැ.හදිසියේම ඔහු පිළිබඳව ඇතිවූ හැඟීමකට බියෙන් ඈ පලා යනවා. ඔහු එතැනම හිඳිනවා. සංසුන්ව

නිවසට ගිය වහාම ශාරුක් ඛාන් ව ගලවා දැමු ජංගම දුරකත තිරයේ ඈ හමුදා සෙබළුන් පිරිසකගේ පින්තුරයක් එල්ලා ගන්නවා. ඒත් ඈ ප්‍රමාද වැඩියි. රටේවත් නැති නළුවන් වන්දනා කරන කෙල්ලන් පිරිසක් ඉන්නා රටක් බේරා ගන්න යුද්ධයට ගිය පිරිමි ළමයා ඒ බව දැනගන්නේ නැහැ.

අද ඒ පිරිමි ළමයා කොහේ කොතැනක ඉන්නවාද නොදන්නවා උනත් ඒ මතකය ගෑනු ළමයා ළඟ හැමදාම තියෙනවා.

යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...


Wednesday, May 13, 2015

නිවන ට යන්න එන්න - හනික එන්න

සුනීත සෝපාක එන්න...
හනි හනික එන්න...
කෙසෙල් කැන් කර තියාගෙන එන්න...
කිසා ගෝතමී එන්න
ඇපල් මිදී බැයි නං අඹ මල්ලක් හරි අරගෙන..
දෙව්දත් ඔබත් එන්න..
බැරියැයි ඔහෙ දෙළුමක් වත් ගෙනෙන්න..
මං වඩින්නං නිවන් මග..
පටාචාරා සළුවෙන් ගත වසාගෙන...



Sunday, May 10, 2015

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -02

කතාවේ මුල මෙන්න මෙතන -මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

තමුන්ව සම්බන්ද කරගන්න ඉඩ තියෙන හැම මාර්ගයම අහුරලා දාන්න බැරි බව ගේෂ ට වඩා හොඳට දුෂ්මන්ත දැනගෙන හිටියා. පහුවෙනිදා පාන්දරම ගෙදර දොර ගාව ටිම්බෝ බුරා හැලෙන්නේ මොන මල යකාටදැයි බලනකොට නිවාස සංකීරණයේ ආරක්ෂක අංශයේ වැඩ කරන පැඟිරි කොල්ලා හිනා කටක් පුරෝගෙන දොරට තට්ටු කරනවා

"මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ නේද මැඩම්"
"මැඩම්ට විසිටර් කෙනෙක් ඉන්නවා. එක්කං එන්නද මැඩම්"
"දුෂ්මන්ත කිව්ව නම"

පොලවට ගව්ගානක් උඩින් පාවුනු නිවැසියන් ඉන්න නිවාස සංකීරණයක පිළිගැනීමේ දොර ගාව උදේ පාන්දර ඩොටේ ගෙදරක වගේ රණ්ඩුවක් ඇතිකරගෙන තමුන්ගේ තත්වේ බල්ලට දාගන්න බැරි නිසා ගේෂ දුෂ්මන්තව තමුන්ගේ ගෙදරට එක්කගෙන එන්න අවසර දුන්න. විනාඩි පහකදී ඇදුමක් දාගෙන, දුරකතනයත් හයි කරලා, ආමන්තට කතා කරලා උපදෙසක් ගන්න හැදුවත් ආමන්තගේ දුරකතනයේ පටිගත කරපු පණිවිඩයක් වාදනය උනා විතරයි.

"damn it"
අවුරුදු තුනකට විතර කලින් " මොන මගුලක්ද මේ" කියන්න හුරුවෙලා තිබුණු ගේෂා ගේ දිව දැන් පොෂ් වෙලා කියල අනෙක් අතට එයාටම හිතුනු නිසා ලොකු හිනාවක් ගියා. ඒ අතරේ දොර ඇරියේ ඒ හිනා මුනෙන්ම නිසා දුෂ්මන්ත බොහෝම සුන්දර හීනයක් දැක්ක.ඒත් ඒ මොහොතකට විතරයි

"මොනාද තමුන්ට කියන්න තියෙන්නේ" ගේෂ ඒ ස්වරය බලෙන් පුරුදු කරගත්තේ කොළඹ හතේ ස්ත්‍රී වාදී කල්ලියක් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරලා

ආමන්තගේ ඇස්දෙක ලොකු උනා

"මම කැමති බැලුන් පොකුරක් දැකල උඩ පැනපු කොන්ඩේ ගොතපු අහිංසක පුංචි කෙල්ලව දකින්න මිසක්, ඔය ලෝ පොයින්ට්ස් කතා කරන තද ගෑනිව දකින්න නෙවෙයි"

"තමුන්ගේ කැමැත්ත අකමැත්ත තව දුරටත් මට අදාළ නැති බව ඔහේ දන්නවනේ. කියන්න ආපු දෙයක් ඉක්මනට කියල යනවා යන්න. නැත්තන් මං තමුන්ගේ ගෑනිට කතා කරලා කියනවා 'ඔහේගේ මිනිහා මෙතන ඇවිත් මාව නලවන්න කතා කරනවා කියල'"

"ප්ලීස් බබී. ඔච්චර දරුණු වෙන්න එපා. මම වැරදියි. මං ඒක දන්නවා. ඒත් මාව පාරන්න එපා"

ගේෂ ට තව දුරටත් රඟපාන්න බැරි උනා. දුරකථනය හරහා ගලා එන්නේ හඬක් විතරයි. දුරකතනයට නපුරු උනාට මුණ දිහා බලාගෙන ඉද්දි පරණ චිත්ත ගවුම් කෙල්ල දුවගෙන ආව. ඔව්.. දුෂ්මන්ත 'බබී' කියද්දී පුරුදු විදියට හිත ළදරු උනා. තාත්තාගෙන් පස්සේ බබී කියාගෙන ගේෂ ව හුරතල් කළේ දුෂ්මන්ත විතරයි. එදවස් කොච්චර ලස්සනද...
නාඩා ඉන්න හිත හදාගෙන උන්නත් ඇස් ඊට ඉක්මන් උනා. මදටිය තරමේ කඳුළු බින්දුවක් රෝස පාට නාහේ කෙලවර රැඳිලා, තොල් බේරී කරගත්තේ දුෂ්මන්තගේ 'බබී' මිසක් ආමන්තගේ 'ගේෂ් ' නෙවෙයි.

ඒ කඳුළු පිහදාල , ගේෂ ගේ ඔලුව අතගාල සැනසුවේ අවුරුදු තුනකට කලින් හිටි බැලුම් ආදවන්තයා මිසක් , අපරාජිත විජිතයක පිඩිත ස්වාමි පුරුෂයා නෙවෙයි.

"ඇයි අපිට මෙහෙම උනේ" කියල හිත් කතා කලාට වචනයක් වත් පිට වුනේ නෑ.

"ප්ලීස් දුෂ්, මට මෙහෙම ඉන්න දෙන්න. මට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනා. මට එයත් එක්ක ආයෙමත් ජිවිතේ පටන් ගන්න ඕනේ. මුල ඉඳල. ඔයාගෙන් ලැබුණු හැමදේම මම ඔයාට දෙන්නම් ආයෙමත්. ඒත් මාව අමතක කරලා දාන්න. ඔයා දන්නවනේ මට ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියල . ඔයා ඔයාගේ ලෝකෙ හදාගෙන ඉවරයි. ගේෂාව දැන් අමතක කරන්න. ගේෂට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.."

ගේෂ කතා කළේ හිත ඇතුලෙන්මයි. කාටත් වඩා හොඳට එක දුෂ්මන්ත තේරුම් ගත්තා. ඔහුට ඈ වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන එක දරාගන්න බෑ. ඒත් දුෂ්මන්ත එහෙම ආත්මාර්ථකාමී පිරිමියෙක් නෙවෙයි.

"බබී, මං ආවේ ඔයාගේ අලුත් ආදරේ කඩල දාන්නවත් , ඔයාගේ ජීවිතේට ආයෙමත් එන්නවත් නෙවෙයි. ඔයා ගැන මට තාම වගකීමක් තියෙන නිසා ඔයා අලුතෙන් ජිවිතේ පටන් ගන්න යන්නේ කොයි වගේ කෙනෙක් එක්කද කියල දැනගන්න විතරයි.."

ගේෂට ආමන්තව මතක් උණ ගමන් , දුෂ්මන්තගෙන් මිදිලා ගිහින් සෙටියේ වාඩි උනා.

"ඒ දේවල් ඔයාට වැඩක් නෑ. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා මට කරලා තියෙන හරිය හොදටම ඇති.."

එතනින් එහාට ගේෂගෙන් යමක් දැනගන්නවට වඩා ලේසියට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලා ගන්න පුළුවන් බව දුෂ්මන්ත දැනගෙන හිටියා. ඕනේ වෙලාවක හුරතල් වෙන්න වගේම අවශ්‍ය වෙලාවට තද තීරණ ගන්නත් පුළුවන් මේ ගැහැණියට තමුන් කොයි තරම් නං ආදරේ කලාද...

"හරි බබී , මම යනවා. ඔයා පරිස්සමට ඉන්න . බුදුසරණයි.."

දුෂ්මන්ත ගියාට පස්සේ ගේෂ පැයක් විතර ඇඩුවා. පස්සේ තමුන්ටම හිනා වෙලා මුණ හොඳ ගෙන අලුත් ඇඳුමක් දාගෙන ටිම්බෝ එක්ක එලියට යන්න ලැස්ති උනා. ආමන්ත දැක්කාම පිස්සු වැටීගෙන බුරන මේ බලූ තඩියා, අද දුෂ්මන්තට පොඩි හරි ගෙරවිල්ලක් වත් නොදාපු එක ගැන තරහ ගිහින් උන්නු නිසා වෙනද ආදර සැලකිලි කිසිම දෙයක් නැතුව 'යමන් එලියට ඇවිදින්න' කිව්ව. ඌත් පොෂ් බල්ලෙක් හින්ද ඇස් ලොකු කරන් බලාගෙන හිටියා විතරයි.

'come here you idiot' අන්න ඒපාර නං බලු දණ්ඩා ගිහින් දොර ළඟ හිට ගත්තා.

ඇවිදින්න හිතාගෙන දොර ළඟ සෙවල පෙරාගෙන උන්නු ටිම්බෝ, බුරා හැලෙන්න පටන් ගත්තේ දොරට වැදුණු තට්ටුවෙන් පස්සෙයි. ගේෂ හිතුව හරි.. දොර ළඟ හිටියේ ආමන්ත..

දුෂ්මන්ත ඇවිත් ගියා කිව්වාම මුණ ඇද උනත් ආමන්ත මුකුත් කිව්වේ නෑ. සමහර විට ඒ ගැන වැඩි දුර අදහස් දක්වන්න තමුන්ට අයිතියක් නෑය කියල හිතාගෙන වෙන්න ඇති.

ආමන්ත - ගේෂා ආදර කතාව ගලාගෙනම ගියා ඉස්සරහට. එක ළඟ නිවාස දෙකක උන්නත් කවදාවත් දෙන්නම එක ගෙදර ජිවත් වෙන්න හිතුවේ නෑ. ආදරේ කියල බදාගෙන අල්ලගන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙත් නැති නිසා විවාහයක් ගැන කතාවක් ඇදුනෙත් නෑ. ඒ සම්බන්දය ඇතුලේ, ආදරේ කරුණාව , තේරුම් ගැනීම, සහය වීම, අගය කිරීම ඕනාවටවත් වඩා තිබුණා.

තමුන්ගේ ගෙදර එනවට ආමන්ත කැමති නෑ කියල ගේෂ තේරුම් අරන් තිබුණු විදියටම , තමුන්ගේ බාත්රූම් එක පාවිච්චි කරනවට ගේෂ කැමති නැති විත්තියත් ආමන්ත තේරුම් අරන් උන්නු නිසා ගේෂ ආමන්තගේ ගෙදර යන්න හැදුවෙත් නෑ, ආමන්ත ගේෂ ගේ බාත්රූම් එක පාවිච්චි කලෙත් නෑ

සාම්ප්‍රදායික බිරිඳක් විදියට දුෂ්මන්තගේ දෙපා දෝවනය කරගෙන උන්නු ජීවිතේට වඩා, නිදහස් පෙම්වතියක් විදියට ගෙවන මේ ජීවිතේට ගේෂ ආදරේ කළා

අවුරුදු තුනක් ගෙවුනා.. ගේෂට බබෙක් ඕනේ උනා.කසාද බදින්න නෙවෙයි. බබෙක්!

"මිනිස්සු කියන කතා ඔයාට දරාගන්න පුලුවන්ද?" ආමන්ත ඇහුවා

"මිනිස්සු මොනවා උනත් මොකක් හරි කියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

"ඔයාට බබෙක් හදන්න බදින්න ඕනේ නැද්ද"

"මට බදින්න බෑ. මේ ඉන්න විදියට මම ආදරෙයි.."

"හදිස්සියෙවත් මට මොකක් හරි උනොත් ඔයාට තනියම බබාව බලා ගන්න පුලුවන්ද.."

"පුළුවන්.." ගේෂ ගේ උත්තරේ නිසා අහස් සහ අමා ට දිව්‍යලෝකේ ඉඳල පොලවට එන්න විසා හම්බවුනා

"අපිට නිවුන්නු...බබාලම දෙන්නෙක්" ආමන්තගේ සන්තෝසේ පිටාර දැම්මා..

වැඩිය එලියට පහලියට යන්න අකමැති ආමන්ත , ගේෂ ගැන හිතලමද කොහෙද හැමදාම හවසට ගේෂත් එක්ක පාර්ක් එකට ගියා. මුණු දැකල පුරුදු උනාට කතා කරන්න තරන හිතවත් කෙනෙක් නොහිටපු නිසා අතුරු ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ

"ඔයා දන්නවද,අපේ මමී ඩැඩි ව බඳින කොටත් ප්‍රෙග්නන්ට් ලු. ඩැඩි මමිව බැඳලා තියෙන්නේ එක දැනගෙනමයි. ඒවුනත් කවදාවත් ඩැඩි අයියට වෙනසක් කළේ නෑ. හැබැයි මමී ආදරේ කළේ අයියට විතරයි. ඩැඩි ටවත් මටවත් නෙවෙයි. අයියගේ තාත්තා ගොඩාක් සල්ලි තියෙන පවුලක , නරක කොල්ලෙක් කියල අපේ ආචිචි මම්මල හිමිට කතාවෙනව ඒ දවස් වල. ඒ සංකර ජීවිතේට මමී පුදුම විදියට කැමති වෙලා හිටියේ. ඩැඩි ගේ නිවුණු ගැති ගුණ වලට මමී කොයිම විදියකටවත් ගැලපුනේ නෑ

" සිසීට රෑට පාටියක් තියෙනවනම් , දවල් නතින් කියල තමා ඩැඩි කියන්නේ. හැබැයි ඩැඩි හරියට විදෙව්වා මමිගේ වැඩ හින්ද . විශේෂයෙන්ම මමී මට වෙනස්කම් කරන එකට ඩැඩි පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. සිසී, ආර්ම් බෝයිත් ඔයාගේ නේද, ඇයි හැමවෙලේම හැමදෙයක්ම දුම් ට විතරක් .. කියල ඩැඩි කීප පාරක්ම අහනවා මට ඇහිලා තියෙනවා . ඒ වෙලාවට මමී කියන්නේ මොකද්ද දන්නවද..?"

උත්තරක් නොදුන්නු ගේෂ හිනා උනා විතරයි

"ඩාර්ලින් ආතර්, ඔයා දන්නවනේ මම ඔයාට රෙස්පෙක්ට් කලාට මගේ ලව් එක නිලේෂ්. නිලේෂ් වගේ ඉන්නේ දුම් මිසක් ඔයාවත් ආර්ම්වත් නෙවෙයි.. මම ඔය දෙන්නට ආදරෙයි. හැබැයි දුම්ට ගොඩාක් ආදරෙයි..."

ආමන්තගේ හැඟීම හොඳටම සංවේදනය උනු ගේෂ , දුක අමතක වෙන්න සද්දෙන් හිනා උනා. ආමන්තත් හිනා උනා. ලගින් ගිය ජෝඩුවක් ගේෂ දිහා පුදුමෙන් බලාගෙන ගියා

"මිනිස්සු බලන්නේ හරියට මම මෙතන බෙන්ච් එක උඩ තනියම හිනා වේවි ඉන්නවා වගේනේ" ගේෂ නොරිස්සුමෙන් කිව්ව

"ගණන් ගන්න එපා. මිනිස්සු හිනාවත් එක්ක හරිම ඉරිසියයි.." ආමන්තගේ කතාවට ගේෂ ආයෙම වතාවක් හිනා උනා

"ඔයා දන්නවද මමිගේ වැඩි ආදරේ හින්ද අපේ අයිය හොඳටම නරක් උනා" තව දවසක් බැල්කනියේ වාඩිවෙලා , තමුන්ගේ උරහිසට හේත්තු වෙලා හිටපු ගේෂට ආමන්ත කිව්ව

"අයියා පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මමී ආදරේ එයාට කියල. ඒ නිසා එයා පුළුවන් තරන් මට වද දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා දරාගෙන උන්න මිසක් මම කාටවත්ම කියන්න ගියේ නෑ. ඩැඩි තේරුම් ගත්තා. ඒත් ඩැඩිට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නෑ. මම මොකකට හරි ආසයි කියල තේරුනොත් අයිය ටක් ගාල ඒ දේ අයිති කරගන්නවා. මට රිද්දන්න. මම හිතන්නේ එයා දැනගෙන හිටියා එයාගේ තාත්තා ඩැඩි නෙවෙයි කියල. ඒකෙ පලිය ගත්තේ මගෙන්.."

අන්තිමට අයියව මමිටත් කන්ට්‍රෝල් නැති උනා. ඩැඩි ට ඔක්කොම අතෑරලා ඉන්දියාවට යන්න ඕනේ උනා. මම ඒකට වැරද්දක් කියන්නේ නෑ. මොකද ඒ වෙද්දී ඩැඩි හෙම්බත් වෙලා හිටියේ ප්‍රශ්න වලින්ම. එයා මටත් කතා කළා ඉන්දියාවට යන්න. ඒත් මට නොයන්න ලොකු හේතුවක් තිබුනා"

ඒ මොකද්ද කියන ප්‍රශ්නාර්තේ රන්දගෙන ගේෂ ආමන්ත දිහා බැලුව

"මම ඒ වෙද්දී ගෑණු ළමයෙක්ට පුදුම විදියට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා මාව දන්නෙවත් නෑ. ඒත් මම එයාට පුදුම විදියට ආදරේ කළා. මට එයාව බදින්න ඕනේ උනා...."

~මතු සම්බදයි~



Monday, May 4, 2015

දෙදෙනෙක් සහ කතා දෙකක්

හෙලෝ...
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..


හෙලෝ..
ඔෆිස් එකේ වැඩ තිබ්බ..කෝච්චිය මිස් උනා හලෝ..
ඔව් ඔව් ඉන්ටර්සිටියක ඉන්නේ. නොර්මල් බස් තිබුනේ නෑ..
ඔය කොහෙද ඉන්නේ..
ඇයි තාම ඔතන ඉන්නේ..
වෙන කව්ද ඉන්නේ..
මම කියල තියනවා නේද සමරය ඉන්නවා නං ටැග් ගැහෙන්නේ නැතුව යන්න කියල ඈ..
අනේ අනේ.. යනවා යන්න මාව තම්බන්නේ නැතුව
මං කීපාරක් කියල තියෙනවද.. තමුසේ පයිසෙකට ගණන් ගන්නේ නෑනේ
යනවා හලෝ යන්න. මං එන්නේ නෑ ගෙදර අද අම්මලාගේ ගෙදර යනවා..
නෑ නෑ. මං එනකන් බලන් ඉන්න ඕනේ නෑ. තමුසේ යනවා
එන්නේ නෑ හලෝ. තමුසේ ඕනේ මගුලක් කරගන්නවා. ඉන්නවකෝ මං කරන්න වැඩේ.
(2 වන ඇමතුම)
හෙලෝ..
හෙලෝ පුතු.. තාත්ති කතා කරන්නේ
අම්මි ආවේ නෑ..
අම්මි නෝටි. මං අම්මිට දෙන්නන්කෝ පරක්කු උනාට
පුතුට මොනාද ඕනේ..
පාන් ගෙඩියක්..?
හරි හරි තාත්ති එද්දී පාන් ගෙඩියක් අරන් එන්නන් කෝ..
තියන්නං.. පරිස්සමට ඉන්න




Friday, April 24, 2015

ඉන්දුමතී

මං වැඩපොලක අත් උදව්වට යද්දී මගේ වයස අවුරුදු අටයි. සුදු ගවුම කහට පාට උනත් ඒක ඇඳගෙන ඉස්කෝලේ යන්න මම ආස උනත් , අපේ ගෙදර මට බාල නංගිලා දෙන්නෙකුයි , මල්ලිලා දෙන්නෙකුයි ඉද්දි මං එහෙම ගසල බසල දාල ඉස්කෝලේ ගිහින් හරියනවද? වැඩ කරලා ආව මහන්සියි කියල ආයේ බුදියාගන්න පුලුවන්ද?
නංගිලා ට මට ඔන්න ඔහේ තියෙන දෙයක් කාලා ඉන්න පුළුවන් උනාට මල්ලිලා දෙන්නටයි, අප්පටයි මොනවා හරි හදන්න එපැයි. බිලා ආව කියල, ගෙදරට සල්ලි දුන්නේ නෑ කියල , බත් පිඟාන පොලේ ගැහුවා කියල අප්පව අහක දාන්න පුලුවන්ද?
තන්ගමනිගේ කරේ අලුතින් හදපු රත්තරන් චේන් පොට දැකල මගේ ඇස් ගිනිකන වැටෙන කොට මට අවුරුදු දාහතක් විතර වෙන්න ඇති. රත්තරන් චේන් පොටක් හදාගන්න කියල හිතාගෙන මාත් මාසයක් ගානේ සල්ලි කීය කීය හරි එකතු කරන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි.
ලොකු කෙල්ලේ.. ලොකු මල්ලි පෝන් එකක් ගන්න ඕනේ කියල කරදර කරනවා. ඔන්න ඔහේ උඹ එකතු කරපු සල්ලි ටික දීල දාහන්.. ආයේ උඹට එකතු කරගන්න බැරියැයි. කොල්ල පව්නේ..
ජිවිතේ පලවෙනි පාරට මම සල්ලි දෙන්න අදි මදි කරනකොට අම්ම කුල කියවන්න පටන් ගත්තේ ගමටම ඇහෙන්නයි. දවස් ගානක් ඉවසල බැරිම තැන මං එකතු කර ගත්ත රුපියල් අටදහ එහෙම පිටින්ම අම්මට දීල දැම්ම.
ලොකු නංගි මාස හතරක් තිස්සේ ගල් කඩල අලුත් කරාඹු දෙකක් ගන්න එකතු කරපු සල්ලිත් දාල මල්ලි ගත්තු පෝන් එක, මාසයක් යන්න කලින් යාළුවොත් එක්ක ඔට්ටු තියල පැරදුනේ වෙලාවෙවත් මල්ලිට බැන්නේ නැති අම්මා ලොකු නංගි, දෙවැනි නංගිට අලුත් ගවුමක් අරන් දුන්න වෙලාවේ බැන අඬගැහුවේ හරියට මුළු ගෙදරටම මාසයක් කන්න තියෙන සල්ලි වියදම් කරපු ගානටයි
කඩේට යන එනකොට හීනියට හිනාවුණු යෝගා එක්ක කාටත් හොරෙන් පැල් ගැහෙන්න ජිවිතේ පලවෙනි වතාවට මම මුරණ්ඩු උනා. අම්මල සාප කළා , පලි ගැහුවා මාසයක් දෙකක් යනකොට අයෙත් කතා කළා
කුමාර වේසෙන් හිටපු යෝගා රාස්ස වේසෙට එනකොට මට ලොකු එකා හම්බෙන්න ඉන්නවා. ගෙවල් වලට කඹුරලා කඹුරලා අන්තිමට හැම බැනුමක්ම අහන්න වෙන අපේ ලයිමේ හුඟක් කෙල්ලෝ තම තමුන්ගේ නිදහස හොයාගෙන කොළඹ ගියත්, මට උනේ ළමයෙකුත් බඩේ තියාගෙන ගිනි ගහන අව්වේ දළු කඩන්නයි
දවසම මහන්සිවෙලා ඇවිත් මට උනේ යෝගගෙන් නිල් වෙනකන් ගුටි කන්නයි. එහෙමයි කියල අයෙත් අම්මල ගාවට ගියත් දවස දෙක යනකොට අම්ම, නැත්තන් මල්ලි කෙනෙක් කුල කියවන්න ගනිද්දී මම එහෙන් එන්නේ ගුටි කාලා මලත් අයෙත් නං ගෙදර යන්නේ නෑ කියලයි
'දුවේ අරූ එක්ක ඉන්න බැයි නං මෙහෙට වෙයන්' කියන්න හරි හිටියේ තාත්ත විතරයි

පොඩි පුතාට අවුරුදු දෙකක් වුනු අවුරුද්දේ යෝගලගේ නංගිලා මාත් එක්ක අපේ ගෙදර එන්න ජෝඩු උනා. උන් ටික අපේ මල්ලිලට අඟර දාපු විදියට අම්මටයි අපේ නන්ගිලටයි ඇල්ලුවේ නෑ. කොහොම හරි උන් ගෙදර ගියේ අපි හැමෝම එක්ක ගිනි මර රණ්ඩුවක් වෙලයි..

'දැන් අපහු ගියොත් නං යෝග මාව මරයි..' එහෙමයි කියල මාවයි මගේ ළමයි දෙන්නවයි බාර ගන්න කවුරුත් ඉන්නවයි කියලද

"තෝ පට්ට *** .. ආවද? තොගේ ** ගෙදර එවුන් මගේ එවුන්ට බැන්නේ මොන හයියකින්ද *****?

මං අන්තිමට දැක්කේ යෝගගේ අතේ තිබුණු ඇඳ පොල්ල මං දිහාවට පාත් වෙන හැටි තමයි.. එතනින් එහාට ...

දැනුත් මට හිතක් හිතුනොත් අපේ ගෙවල් පැත්තට පාවෙලා ගිහින් බලන් ඉන්නවා.. මගේ ළමයි දිහා.. අම්මල දිහා..
මේ අවුරුද්දෙ අපේ ගෙදර අය යෝගගේ ගෙදර ගිහින් කාලා බිල ආවයි කියලවත් මං කාත් එක්කවත් තරහ නෑ. මං ගෙනාපු ආයුෂ ඉවර උනයි කියල අපේ ගෙදර අය, යෝග මක් කරන්නද.....

**ඇසු කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි

කරුණාකර ඔබේ මවට, නැගෙනියට, සහෝදරියට, බිරිඳට, යෙහෙළියට, මග හමුවන කාන්තාවට ගරු කරන්න. වටිනාකමක් දෙන්න.
පිරිමියෙක් වූ පලියට වැඩි සැලකිල්ලක් ලැබීමට ඔබට සුදුසු නැත. එය ඔබේ මවට , පියාට තේරුම් කර දෙන්න
පිරිමි දරුවා සහ ගැහැණු දරුවා සමාන බව ඔබේ බිරිඳට තේරුම් කරන්න
විරුද්ද වෙන්න- මානසික හෝ ශාරීරික කාන්තා හිංසනයට
දැන හදුනන නූගත් මාපියන් වේනම් දැනුවත් කරන්න. පෙළීමට ලක් වුනු එක ගැහැණු දරුවෙකුට හෝ යහපතක් කරන්නට උත්සහ කරන්න
ලොව එලිය වන්නේ කාන්තාවන් නිසාය, ඔවුන්ව රැක ගන්න. ගරු කරන්න


Wednesday, April 22, 2015

රොටියාගේ කසාදයෙන් පසු විපරම

පාර්ලිමේන්තුවේ රැය පහන් කල උත්තම පිරිස නිසා බුකිය අද ගන්නම ගන්න දෙයක් නැත. ඉහින් කනින් පොරවාගත් නාමල් බේබිගේ පොටෝව සිය සැරයකට වඩා දුටිමි. ඉඳගෙන , හිටගෙන නිදාගෙන ඉන්නා එක එක මහතුන්ගේ විවිදාකාරයේ පෝසස්ය.
දැන් රොටියාට ඕවා ගැන කැක්කුමක් නැත. කැක්කුමක් තිබුනද රොටියාට කරන්නට පුළුවන් ඉටිගෙඩියක්ද නැත්තේය.හේතුව රොටියා නිලට බර නමුත් ගෑණු ළමයා කොලේ කොළ වීමය. දැන් මෙය කියවන , නොබැඳපු උත්තමයන් රොටියාට යටි හිතෙන් හිනාවන බව රොටියා ඉස් ඉස්තිරෙටම දන්නවාය

"හයියෝ උඹ ඔහොම ගෑනිට බයයිද බන්..."||" ලැජ්ජයි!! || "උඹ පිරිමි සංහතියට නින්දාවක්.."

ඔන්න ඔහොම හිතන පතන එව්වන්ට මයිත්‍රී කරනවා හැර රොටියාට කරන්නට වෙන දෙයක් නැත. සිහි නුවණැත්තෝ මෙය කසාදයෙන් පසු තේරුම් ගන්නාහුය..

ඒ කියන්නේ මෙන්න මෙහෙමය. ගෑණු ළමයින් සමග වාදයට යනවාට වඩා කටපියාගෙන ඉන්නා එක දාහෙන් සම්පතක්ය. වාදයට යන්න හිතෙන්නේ වාද කරන්නට කරුණක් ඇත්නම්ය. ඉතින් වාදයට කරුණු ඔලුවට ආවොත් හෙම , කුමන මොහොතක හෝ ඒවා කටින් පිට වීමට ඉඩ ඇත්තේය

උදාහරණ ලෙස පසුගිය දිනක මහබැංකුවේ සිද්දිය සම්බන්දව ලිපියක් කියවූ රොටියා ඒ පිළිබඳව ගෑණු ළමයා දැනුවත් කරන්නට ගොස් නා ගත්තේය. ගෑණු ළමයි සමග තර්ක කරන්නට යෑම යනු පිරිමි අපේ මොලේ කොලොප්පන් වන විලම්බීත වැඩකි

ගෑණු තර්ක වෙලාවකට පට්ට බොළඳය. ඒවා මෙහෙමය කියන්න අමාරුය. ඔවුන් බොහෝවිට සිය මතයේ මුරණ්ඩු කමට එල්ලීගෙන සිටින්නේ පිරිමි අප දහසකුත් එකක් හේතු පෙන්වා දීමෙනුත් පසුය. උදාහරණයක් පහතය

රොටියා - අද පිටකොටුවේ පාර අයිනේ කුණු තිබුණා. ඉස්සර නං එහෙම නෑ
ගෑණු ළමයා - වෙන්න බෑ.. මම කවදාවත් දැකල නෑනේ
රොටියා - අද තිබ්බ
ගෑණු ළමයා - ඒව ඔයාට විතරක් පේන කුණු. එහෙම නං මම සිකුරාදත් දකින්න එපැයි. ඔය තිබ්බේ අපුරුවට
රොටියා- මං කියන්නේ අද තිබ්බ
ගෑණු ළමයා- විකාර. ඕගොල්ලෝ වගේ අයත් එක්ක තමයි මේ රට හදන්න බැරි. ඔයාට දැන් උඩ පැන පැන පෙට්ට්‍රල් ගහන්න හොඳයි
රොටියා- මං කියන්නේ පෙට්ට්‍රල් අඩු කරපු එක හොඳයි. ඒත් අද පාර අයිනේ කුණු තිබ්බ
ගෑණු ළමයා- දුපත් මානසිකත්වය. ඕගොල්ලෝ හැම දේම දිහා බලන්නේ දැන් වැරදි විදියට . පාර අයිනේ කොළ කෑල්ලක් තිබ්බත් ඒක පෙන්නේ කුණු කන්දක් විදියට. මට ලැජ්ජයි ඔයා ගැන.. පොඩ්ඩක් ඔයිට වඩා වටේ පිටේ වෙන දේවල් ගැන බලන්න
රොටියා- කොළ කෑල්ලක් නෙවෙයි අනේ ලොකු කුණු ගොඩක්
ගෑණු ළමයා- අනේ යන්න අනේ යන්න. ඔයා හැදෙන්නේ නෑ. මං තරහයි. කතා කරන්න එපා මං එක්ක
(බදින්න කලින් නම් මෙවැන්නක් අවසානයේ ඇය මෙලෙසද කියයි "මං තියනවා ෆෝන් එක . ඔන්න ගන්න එහෙම එපා මට. බායි")

ඉතින් කවර කතාද.. අනෙක් ගෑණු ළමයින් ගැන නම් දන්නේ නැත. ඒත් රොටියාගේ ගෑණු ළමයා නම් තර්ක ශාත්රය කියා දෙයක් දන්නෙම නැත්තේය

අනෙක් අතට කසාදයෙන් පසු ඔබට රටේ නැති ඕපාදුප මහා රාශියකට ඇහුම්කන් දීමට සිදුවනු ඇත. ඒවායින් ඔබට තුට්ටුවකට පලක් ප්‍රයෝජනයක් තනි බව ඇයට කියා පලක් නැත්තේය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට ඒ සම්ප්‍රප්පලාපයන්ට හුමිටි තබන්නට සිද්ද වෙනු ඇත. රොටියාගේ ගෑණු ළමයා මෙවැනි සංවාද ආරම්බ කිරීමට ජනප්‍රිය වැකි දෙකක් යොදා ගන්නවාය

1. මේ.. ඔයා දන්නවද වැඩක්!!
2. මේ .. අද මාර වැඩේනේ උනේ..!!

ගෑණු ළමයෙක් ඔන්න ඔයාකාරව පවසමින් හරි බරි ගැසුනොත් හෙම, ඔන්න ඔබට පැයකට හමාරකට කාලය මරන්න සිද්ද වෙන පොටක් පෑදීගෙන එන්නේය. ඒ කතාව අතර මැද ඔබ උපක්‍රමශිලිව මාතෘකාව මාරු කලත්, කතාව බාගෙට නවත්තන්නේ ගෑණු ළමයි හෙම නොවේ. සමහර විට ඊට දින කිහිපයට පසුව හරි " මේ .. එදා මං ඔයාට කිය කිය හිටපු එක ඉවර කරන්න බැරි උනානේ.." කියමින් ඔවුහු මුල් කතාවටම එන්ටර් වෙති.

පිරිමි අප වාක්‍ය දෙකකින් පවසන සිද්දියක් විස්තර කිරීමට ගෑණු ළමෝ පරිච්චේද ගණනාවක් වැය කරති. ඒ කියන්නේ මෙන්න මෙහෙමය

පිරිමි- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. එයාගේ අතක පොඩි ටියුමර් එකක් අද ඔපරේට් කරා

ගැහැනු- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. (ඔබ දන්නවා හෝ නොදන්නවා වුවත්). අර අනේ නිමල් එක්ක අෆෙයාර් එකක් තිබුනේ. ඇයි අනේ නිමල් නිමල්. මාලතිගේ හස්බන්ඩ්.......
(ඊළඟට මාලති හා නිමල් ගැන සුළු විස්තරයකි. ඔවුන් දෙදෙනා කසාද බැන්ද ආකාරය ගැන දීර්ග විස්තරයකි)
සැරයක් ඕක මාලතිගේ අතට අහුවෙන්නම ගියා ඔයා දන්නවද . හි හි හි (අහුවෙන්න ගිය ආකාරය ගැන විස්තරයකි)
එයාගේ නැන්ද කෙනෙකුත් ගිය අවුරුද්දේ නැතිවුනේ. ඇයි අනේ අපි මල ගෙදරත් ගියේ( ඒ ගැනත් සුළු අතීත අවර්ජනයකි)
ඒ නැන්දගේත් ටියුමර් එකක් තිබ්බලුනේ මුලින්ම එකනේ පස්සේ කැන්සර් එකකට ඇවිත් තියෙන්නේ. ( සමහර විට ඈ මෙතැනදී ටියුමර් හා කැන්සර් ගැන ඔබට විස්තර කරනවා ඇත)
ඒ වගේම ටියුමර් එකක් සිරියලතාගේ අතෙත් ඇවිත් නේ.(ජාන වලින් රෝග වැළඳෙන ආකාරය ගැන හැදින්වීමක්)
අද ඔපරේට් කරලා (සැත්කම කල තැන, එහි ගාස්තු, කාර්යාලිය රක්ෂණයෙන් ලැබෙන මුදල, මේ දිනවල සිරියලතාගේ හස්බන්ඩ් කන්නේ කොහෙන්ද, එයාගේ ළමයි බලා ගන්නේ කව්ද ඇතුළු සියලුම දේ)

ඕවා ඔන්න ඔහොමය. ලියනවානම් හෙට එලිවෙනකන් වුනත් ගෑණු ළමයින්ගේ වැඩ කිඩ ලියන්නට හැකි මුත්, වෙනත් වැඩද කල යුතු නිසා ලිපිය මෙතකින් නිමා වෙනවාය.

ප.ලි: මොනවා උනත් කනට පුරුදු වූ විට ඒ කියවිල්ලේද පොඩි ආතල් එකක් ඇත. හරියට අර මි වදයක් අසලට ගොස් එහි නාදය අසා ඉන්නවා වගේ.. කුඹලෙක් ගෙයක් හදනවා වගේ... (හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ගුම්ම්ම්ම්ම්ම්ම්ම්.... රුම්ම්ම්ම්)