Thursday, January 29, 2015

එහා ගෙදර මාමා



අම්මාගේ හෝ තාත්තාගේ දෙමව්පියන් ළඟ පාතක නැතිව හැදී වැදුණු අපට කිසිම දවසක ඒ අඩු පාඩුව නොදැනුනේ එහා ගෙදර උන් මාමා හා නැන්දා නිසාය. කුමන කුමන ආකාරයේ ගැති පැවතුම් තිබුනද ඒ දෙදෙනා අපට සැලකුවේ ඔවුන්ගේම මුණුපුරන් ලෙසටය

මාමා සද්දන්තය. උස අඩි හයකට මදක් වැඩි මිස අඩු නොවේ. උසේ හැටියට මහතය. කටහඬ දැඩිය.කටින් නම් සියයක් හමාරක් සමග ගුටි කෙල ගත හැක. නමුත් නැන්දාට පණ බයය.

එය නම් මාර බයකි. ඕනෑම අහිංසක මිනිහෙකුට හෙන හඩින් සත්තම දමන්නට පපුව පුම්බාගෙන එන මාමා, නැන්දාගේ එක වචනයට සරෙන්ඩර් ය.

නැන්දාගේ තිබෙන නරකම ගතිය නම් අන්ත කුම්මැහි කමයි. ඒ කුම්මැහි කම අර ගෙදරට එන මිනිහෙකුට තේකක් දෙන්නට මල පෙරේතකමේ නැහි නැහි, ඒ මිනිහාව දොරකොඩින්ම හරවා යවන ජාතියේ කුම්මැහි කමක් නොවේ. අනික් මිනිස්සුන්ට සලකන්නට පැනගෙන එන නැන්දා , සිය සුවාමි පුරුෂයාට කෑම යයි පවසමින් ලෙවකන්නට සලස්සයි

මාමා කන්නට කැමතිය. ඕනෑම දෙයක් රස ගුණ නොබලා ගිල දමන්නට හැකි ඔහුට පැණිරස කෑමක් මහමෙරකි. හැම්, බේකන් නොඉල්ලූ මාමා සිය විශ්‍රාම වැටුපෙන් ගෙනා සියඹලා ටොෆි පහ කන්නට නොදී  එය සිය දියණියගේ පුතාට දුන් නැන්දා ගැන  මම අසා ඇත්තෙමි

සිය බිරිඳ වදක බාර්යාවකයි ඇගේ මුහුණටම මුහුණටම පවසන මාමා ඊ ලඟට නැන්දාගේ ලුණු ඇඹුල් සහිත වූ බැනුම් වර්ෂාවේ නැහැවෙයි. හිතක් හිතුනොත් ඈ සමග එල්ලීගෙන යයි. දෙදෙනා මරා ගනිති. රණ්ඩුව ඉහල උසාවියට දැමීමට තරම් දරුණු වන බව පෙනුනොත් අප ගොස් දෙදෙනා දෙපසට කරන්නෙමු

මාමා හා නැන්දා . නැන්දා නැති ලොව තමන්හට සුරපුරයක් යයි මැතිරීමට හුරුව සිටි මාමා , නැන්දා සිය සහෝදරියගේ නිවසට ගොස් දින දෙකක් ගතවූ තැනේ සිට විස්සෝප වන්නට පටන් ගනී. ඉතින් අප සියල්ලෝම එකා වන්ව පැනගෙන ගොස් ගල්බාගයක් දී මාමා සනසන්නෙමු. අපද සැනසෙන්නෙමු. (බාගය මාමාට පමණය)

සුළු සුළු අසනීප හැරෙන්නේට දරුණු ලෙඩක් නොතිබුණු නිසාම අප බලාපොරොත්තුව උන්නේ මාමාට ටටා කියා නැන්දා මුලින්ම සිය චාරිකාව ආරම්බ කරාවිය කියා උවත් හදිසියේම මාමාගේ හිසේ නහරයක් හරහට උන්නේය.

යන ගමනක් එක පාර නොයන්නට සලස්වමින් , ඒ නහරය මාමාව අංශබාග රෝගියෙකු කළේය

හයේ හතරේ මාමා, දිනෙන් දින පරාලයක් තරමටම සිහින් විය. ඉතා හොදින් දරාගැනීමේ ශක්තියක් තිබූ නැන්දාට කල්පනාව මදින් මද අඩු වන්නට විය

සංසාරයය. දුක් විදින්නට උරුම නම් කෙසේ හෝ විඳිය යුත්තේය . ජිවිත කාලය පුරාවටම ඇනුම් බැනුම් මැද ගෙවී ගිය මාමාගේ ජීවිතය අවසානයේ ඇඳට කොටු විය

එළියක් නම් නැත. පෙනෙන්නේ අඳුර පමණි.

මාමා යනවා නම් අපිට දුකය. ඒත් එයින් මාමාගේ විඳවීම අවසන් වනු ඇත.

මාමා එළියක් දකිනු ඇත.