Sunday, May 24, 2015

ඔහු එතැන නැවතුනේය..

දෙදහස් අටේ අවුරුද්ද.ගැහැණු ළමයෙක් බස් රියක එනවා. දුර ගමන් බස් රියක්. ගැහැණු ළමයාගේ ඔලුව තදබල විදියට වික්ටෝරියානු සදාචාර ගත වෙලා තියෙන්නේ. විත්තිකරු ඇගේ පාසල.
ඒ පාසල වටා තිබුණු අඩි නවයකට වඩා උස වික්ටෝරියානු බැම්ම උඩ, කතෝලික කන්‍යා සහෝදරියන්ගේ දැඩි විනය නීති නමැති බෝතල් කටුත් සවි කරලා තිබ්බා. මදුරුවෙක්වත් අනවසරයෙන් ඇතුල්වෙන්න බය උණු පාසල් භූමියට ඉඳ හිට අල්ලපු පාසලේ තක්කඩි කොල්ලෝ රැලක් අහම්බෙන් කඩා වැදුනොත් , විදුහල් පති කන්‍යා තුමිය ඔවුන්ව ඇඹරුම් යන්ත්‍රයට දමා කුඩේ කුඩු කර දැමුවා. ඉතින් පාසල තුල ජිවත් උණු බාලිකාවියන් වියයුතු පරිදිම බීතියෙන් කුල්මත්ව ,ජම්ම දෝෂයෙන් නිර්දෝෂව , පිරිසිදු සුපැහැදිලි ජිවිත ගත කළා . නැත්නම් ඔවුන්ට එසේ වීමට බලකෙරුනා.
පිරිමි යනු කුණු කන පණු රැලක් බව ද, ළමයින් ලැබෙන්නේ ශුද්ධාත්ම අනුහසින් බවද , පිරිමියෙකු දුටු විට වහා වහා එතනින් දුරිම්බුත විය යුතු බවද පාසල් පරිසරයේ වායුගෝලයේ රැඳී තිබුනා. කිසිම කෙනෙකු මුවින් පිට නොකලද මේවා සෑම විටෙකම පාසල හරහා දෝංකාර දුන්නා.
කෙසේ නමුත් වයසත් සමග හොර්මන වල වෙනස්කම් සමග විවිදාකාර නළුවන් , නිරුපන ශිල්පින් , සම වයස් වල හැඩකාර කොල්ලන් ගැන ආරංචි පාසල තුලට රිංගුවා. ඉතා කුඩා සිදුරු අස්සෙන්. ඉදහිට හෝර්මෝන වැඩිපුර වැඩ කෙරුණු කෙල්ලෙක් හෝ දෙන්නෙක් අසාමාන්‍ය විදියට නිර්බිත වෙන්න ගොස් සිද්ද කරන ලද ත්‍රාසජනක ක්‍රියා පාසලට ආරංචි වීමෙන් අනතුරුව, ඒ ක්‍රියා අගයනු වස් , පාසල විසින් ඔවුන්ට අස්වීමේ සහතික පිරිනැමුණා. ඉතින් පාසල තුල ඉතුරු වුයේ ඇත්තටම සුපිරිසිදු ස්ත්‍රී රත්න ටිකකුත්, කට්ට කයිරාටික වෙට්ට පිත්තල ස්ත්‍රී රත්න ටිකකුත් හා ඕනෑම තැනක ඇඟ බේරා ගැනීමේ කලාව ප්‍රගුණ කල ස්ත්‍රී රත්න ටිකකුත් පමණයි.
(මොනවා උනත් මේ ගෑනු ළමයා අදටත් මේ පාසලට හරිම ආදරෙයි. ඈටත් දුවෙකු ලැබුනොත් ඈ නොවරදවාම මේ පාසලට ඇතුලත් කෙරුණු ඇති. ගෑනු ළමයෙකු තුල ඇතිවිය යුතු හැදියාව , ශික්ෂණය හා අරපිරිමැස්ම මේ පාසල තුලින් ජිවිතයට කාවද්දන බව ඈ අදටත් විස්වාස කරනවා)

පාසලෙන් අයින් වී වසරක් ගතවී තිබුනත් සියලුම පිරිමින් කාමුකයන්ය සහ ස්ත්‍රී හිංසකයින්ය යයි ඔලුව නට්ටන් කරගෙන ඇති ගෑනු ළමයා තමුන්ගේ අසුනේ වාඩිවී නහයට කෙලින් බලාගෙන , දෙසවන කන් බනුවක් පැළඳගෙන , කවුළුව අසල සිටිනා පිරිමියාගේ ඇඟේ වැරදිලාවත් නොවදින ලෙස කල්පනාවෙන් යුතුව සිටිනවා. අසල හිඳගෙන ඉන්නා පුද්ගලයාගේ දෑත් ඈ හොරෙන් නිරීක්ෂණය කරනවා. ඒවා හැඩි දැඩියි. නමුත් කෙට්ටුයි. තරුණ දෑතක්.

අසල ඉන්නා පුද්ගලයාට දිගු ගමන වෙහෙසකර වන්නට ඇති. එහා අසුනේ ඉන්නා ඇත්තියගේත් කිසිදු මිත්‍රශීලි බවක් නෑ. නමුත් අන්තිමේ ඔහු එක වරක් උත්සහයක් දරනවා.

ඔහු ඇගෙන් වෙලාව විමසනවා. තරුණ කටහඬක්. ඔව්, ඔහු භද්‍ර යව්වනයේ පසුවන බව ගෑනු ළමයාට පෙනෙනවා. ගෑනු ලමයාගේත් මෙතෙක් අක්‍රියව තිබුණු හෝර්මෝන තරමක් දුරට වැඩ කරන්න පටන් ගන්නවා. ඈ තම ජන්ගමයා බෑගයෙන් එළියට ගෙන වෙලාව බලනවා. දුරකථන තිරය මත ශාරුක් ඛාන් හිනැහෙමින් ඉන්නවා. ඇගේ වික්ටෝරියානු බැම්මේ කුඩා සිදුරකින් රිංගා ගන්න ශාරුක් ඛාන් සමත් වෙන්නේ ඈ හතේ පන්තියේ ඉන්නා විටයි. එසේ පැමිණි ඔහු තාමත් ඈව හැරගොස් නැහැ

වෙලාව පමණයි. ආයෙත් කතා බහක් සිද්ද වෙන පාටක් නැහැ. පිරිමි ළමයා දෙවන උත්සාහයත් දරනවා. ඔහු ඇගෙන් යම් කිසි නගරයක් ගැන විමසනවා. මේ බස් රිය ඒ නගරය හරහා යනවාද?

ඈ පිළිතුරු දෙනවා. තනි වචනයෙන්.. ඒ නැවතුම ඇගේ නැවතුමට පසුව පස්වෙනි හෝ හයවෙනි නැවතුම

"අපේ කොල්ලෙකුට වෙඩි වැදිලා බලන්න යනවා නංගි" පිරිමි ළමයා හිතා හෝ නොහිතා කියනවා. ශාරුක් ඛාන් තිරයෙන් පැනලා දුවනවා. ගෑනු ළමයාගේ වික්ටෝරියානු බැම්ම ඉරිතලල යනවා.

ඈට ඒ මොහොතේ වදනක්වත් කතා කරගන්න බැරි වෙනවා. ඇගේ මුවට කවදාවත් නැති තරමට වචන ගලාගෙන එනවා. ඒත් ඒවා මුව ඇතුලෙම ගොලුවෙලා ඉන්නවා. ඈට ඔහුත් සමග ඔහුගේ නැවතුම දක්වාම යන්න උවමනා වෙනවා. ඔහුට ඒ නැවතුම පෙන්නන්න උවමනා වෙනවා. ඈ බයෙන් හරි කොළඹ ගොස් එන්නේ ඔහු වැනි අයට පින්සිදු වෙන්න කියා කියන්නට උවමනා වෙනවා. ඔහු කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියල කියන්න උවමනා වෙනවා

ඒත් ඈ ඒ කිසිවක් කියන්නේ නැහැ. ඇගේ හදවත වේදනාවෙන් ඉරිතලල යනවා. ඒත් වදන් පිටවෙන්නේ නැහැ.

ඇගේ නැවතුම ලං වෙනවා. නැවතත් වික්ටෝරියානු අවතාරය ඈව බිය කරනවා.යන්නම් කියා ඈ බසයෙන් බසින්න යනවා. ඒ දිනවල තිබු තත්වයත් එක්ක ඒ පිරිමි ළමයාට "ගිහින් එන්නම්" කියන්න බැරි බව ඈ දන්නවා. ඈ පිටුපස බලන්නේ නැහැ. ඒ මුහුණ මතක තියා ගන්න ඈට උවමනා නැහැ.හදිසියේම ඔහු පිළිබඳව ඇතිවූ හැඟීමකට බියෙන් ඈ පලා යනවා. ඔහු එතැනම හිඳිනවා. සංසුන්ව

නිවසට ගිය වහාම ශාරුක් ඛාන් ව ගලවා දැමු ජංගම දුරකත තිරයේ ඈ හමුදා සෙබළුන් පිරිසකගේ පින්තුරයක් එල්ලා ගන්නවා. ඒත් ඈ ප්‍රමාද වැඩියි. රටේවත් නැති නළුවන් වන්දනා කරන කෙල්ලන් පිරිසක් ඉන්නා රටක් බේරා ගන්න යුද්ධයට ගිය පිරිමි ළමයා ඒ බව දැනගන්නේ නැහැ.

අද ඒ පිරිමි ළමයා කොහේ කොතැනක ඉන්නවාද නොදන්නවා උනත් ඒ මතකය ගෑනු ළමයා ළඟ හැමදාම තියෙනවා.

යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...


Wednesday, May 13, 2015

නිවන ට යන්න එන්න - හනික එන්න

සුනීත සෝපාක එන්න...
හනි හනික එන්න...
කෙසෙල් කැන් කර තියාගෙන එන්න...
කිසා ගෝතමී එන්න
ඇපල් මිදී බැයි නං අඹ මල්ලක් හරි අරගෙන..
දෙව්දත් ඔබත් එන්න..
බැරියැයි ඔහෙ දෙළුමක් වත් ගෙනෙන්න..
මං වඩින්නං නිවන් මග..
පටාචාරා සළුවෙන් ගත වසාගෙන...



Sunday, May 10, 2015

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -02

කතාවේ මුල මෙන්න මෙතන -මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

තමුන්ව සම්බන්ද කරගන්න ඉඩ තියෙන හැම මාර්ගයම අහුරලා දාන්න බැරි බව ගේෂ ට වඩා හොඳට දුෂ්මන්ත දැනගෙන හිටියා. පහුවෙනිදා පාන්දරම ගෙදර දොර ගාව ටිම්බෝ බුරා හැලෙන්නේ මොන මල යකාටදැයි බලනකොට නිවාස සංකීරණයේ ආරක්ෂක අංශයේ වැඩ කරන පැඟිරි කොල්ලා හිනා කටක් පුරෝගෙන දොරට තට්ටු කරනවා

"මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ නේද මැඩම්"
"මැඩම්ට විසිටර් කෙනෙක් ඉන්නවා. එක්කං එන්නද මැඩම්"
"දුෂ්මන්ත කිව්ව නම"

පොලවට ගව්ගානක් උඩින් පාවුනු නිවැසියන් ඉන්න නිවාස සංකීරණයක පිළිගැනීමේ දොර ගාව උදේ පාන්දර ඩොටේ ගෙදරක වගේ රණ්ඩුවක් ඇතිකරගෙන තමුන්ගේ තත්වේ බල්ලට දාගන්න බැරි නිසා ගේෂ දුෂ්මන්තව තමුන්ගේ ගෙදරට එක්කගෙන එන්න අවසර දුන්න. විනාඩි පහකදී ඇදුමක් දාගෙන, දුරකතනයත් හයි කරලා, ආමන්තට කතා කරලා උපදෙසක් ගන්න හැදුවත් ආමන්තගේ දුරකතනයේ පටිගත කරපු පණිවිඩයක් වාදනය උනා විතරයි.

"damn it"
අවුරුදු තුනකට විතර කලින් " මොන මගුලක්ද මේ" කියන්න හුරුවෙලා තිබුණු ගේෂා ගේ දිව දැන් පොෂ් වෙලා කියල අනෙක් අතට එයාටම හිතුනු නිසා ලොකු හිනාවක් ගියා. ඒ අතරේ දොර ඇරියේ ඒ හිනා මුනෙන්ම නිසා දුෂ්මන්ත බොහෝම සුන්දර හීනයක් දැක්ක.ඒත් ඒ මොහොතකට විතරයි

"මොනාද තමුන්ට කියන්න තියෙන්නේ" ගේෂ ඒ ස්වරය බලෙන් පුරුදු කරගත්තේ කොළඹ හතේ ස්ත්‍රී වාදී කල්ලියක් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරලා

ආමන්තගේ ඇස්දෙක ලොකු උනා

"මම කැමති බැලුන් පොකුරක් දැකල උඩ පැනපු කොන්ඩේ ගොතපු අහිංසක පුංචි කෙල්ලව දකින්න මිසක්, ඔය ලෝ පොයින්ට්ස් කතා කරන තද ගෑනිව දකින්න නෙවෙයි"

"තමුන්ගේ කැමැත්ත අකමැත්ත තව දුරටත් මට අදාළ නැති බව ඔහේ දන්නවනේ. කියන්න ආපු දෙයක් ඉක්මනට කියල යනවා යන්න. නැත්තන් මං තමුන්ගේ ගෑනිට කතා කරලා කියනවා 'ඔහේගේ මිනිහා මෙතන ඇවිත් මාව නලවන්න කතා කරනවා කියල'"

"ප්ලීස් බබී. ඔච්චර දරුණු වෙන්න එපා. මම වැරදියි. මං ඒක දන්නවා. ඒත් මාව පාරන්න එපා"

ගේෂ ට තව දුරටත් රඟපාන්න බැරි උනා. දුරකථනය හරහා ගලා එන්නේ හඬක් විතරයි. දුරකතනයට නපුරු උනාට මුණ දිහා බලාගෙන ඉද්දි පරණ චිත්ත ගවුම් කෙල්ල දුවගෙන ආව. ඔව්.. දුෂ්මන්ත 'බබී' කියද්දී පුරුදු විදියට හිත ළදරු උනා. තාත්තාගෙන් පස්සේ බබී කියාගෙන ගේෂ ව හුරතල් කළේ දුෂ්මන්ත විතරයි. එදවස් කොච්චර ලස්සනද...
නාඩා ඉන්න හිත හදාගෙන උන්නත් ඇස් ඊට ඉක්මන් උනා. මදටිය තරමේ කඳුළු බින්දුවක් රෝස පාට නාහේ කෙලවර රැඳිලා, තොල් බේරී කරගත්තේ දුෂ්මන්තගේ 'බබී' මිසක් ආමන්තගේ 'ගේෂ් ' නෙවෙයි.

ඒ කඳුළු පිහදාල , ගේෂ ගේ ඔලුව අතගාල සැනසුවේ අවුරුදු තුනකට කලින් හිටි බැලුම් ආදවන්තයා මිසක් , අපරාජිත විජිතයක පිඩිත ස්වාමි පුරුෂයා නෙවෙයි.

"ඇයි අපිට මෙහෙම උනේ" කියල හිත් කතා කලාට වචනයක් වත් පිට වුනේ නෑ.

"ප්ලීස් දුෂ්, මට මෙහෙම ඉන්න දෙන්න. මට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනා. මට එයත් එක්ක ආයෙමත් ජිවිතේ පටන් ගන්න ඕනේ. මුල ඉඳල. ඔයාගෙන් ලැබුණු හැමදේම මම ඔයාට දෙන්නම් ආයෙමත්. ඒත් මාව අමතක කරලා දාන්න. ඔයා දන්නවනේ මට ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියල . ඔයා ඔයාගේ ලෝකෙ හදාගෙන ඉවරයි. ගේෂාව දැන් අමතක කරන්න. ගේෂට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.."

ගේෂ කතා කළේ හිත ඇතුලෙන්මයි. කාටත් වඩා හොඳට එක දුෂ්මන්ත තේරුම් ගත්තා. ඔහුට ඈ වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන එක දරාගන්න බෑ. ඒත් දුෂ්මන්ත එහෙම ආත්මාර්ථකාමී පිරිමියෙක් නෙවෙයි.

"බබී, මං ආවේ ඔයාගේ අලුත් ආදරේ කඩල දාන්නවත් , ඔයාගේ ජීවිතේට ආයෙමත් එන්නවත් නෙවෙයි. ඔයා ගැන මට තාම වගකීමක් තියෙන නිසා ඔයා අලුතෙන් ජිවිතේ පටන් ගන්න යන්නේ කොයි වගේ කෙනෙක් එක්කද කියල දැනගන්න විතරයි.."

ගේෂට ආමන්තව මතක් උණ ගමන් , දුෂ්මන්තගෙන් මිදිලා ගිහින් සෙටියේ වාඩි උනා.

"ඒ දේවල් ඔයාට වැඩක් නෑ. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා මට කරලා තියෙන හරිය හොදටම ඇති.."

එතනින් එහාට ගේෂගෙන් යමක් දැනගන්නවට වඩා ලේසියට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලා ගන්න පුළුවන් බව දුෂ්මන්ත දැනගෙන හිටියා. ඕනේ වෙලාවක හුරතල් වෙන්න වගේම අවශ්‍ය වෙලාවට තද තීරණ ගන්නත් පුළුවන් මේ ගැහැණියට තමුන් කොයි තරම් නං ආදරේ කලාද...

"හරි බබී , මම යනවා. ඔයා පරිස්සමට ඉන්න . බුදුසරණයි.."

දුෂ්මන්ත ගියාට පස්සේ ගේෂ පැයක් විතර ඇඩුවා. පස්සේ තමුන්ටම හිනා වෙලා මුණ හොඳ ගෙන අලුත් ඇඳුමක් දාගෙන ටිම්බෝ එක්ක එලියට යන්න ලැස්ති උනා. ආමන්ත දැක්කාම පිස්සු වැටීගෙන බුරන මේ බලූ තඩියා, අද දුෂ්මන්තට පොඩි හරි ගෙරවිල්ලක් වත් නොදාපු එක ගැන තරහ ගිහින් උන්නු නිසා වෙනද ආදර සැලකිලි කිසිම දෙයක් නැතුව 'යමන් එලියට ඇවිදින්න' කිව්ව. ඌත් පොෂ් බල්ලෙක් හින්ද ඇස් ලොකු කරන් බලාගෙන හිටියා විතරයි.

'come here you idiot' අන්න ඒපාර නං බලු දණ්ඩා ගිහින් දොර ළඟ හිට ගත්තා.

ඇවිදින්න හිතාගෙන දොර ළඟ සෙවල පෙරාගෙන උන්නු ටිම්බෝ, බුරා හැලෙන්න පටන් ගත්තේ දොරට වැදුණු තට්ටුවෙන් පස්සෙයි. ගේෂ හිතුව හරි.. දොර ළඟ හිටියේ ආමන්ත..

දුෂ්මන්ත ඇවිත් ගියා කිව්වාම මුණ ඇද උනත් ආමන්ත මුකුත් කිව්වේ නෑ. සමහර විට ඒ ගැන වැඩි දුර අදහස් දක්වන්න තමුන්ට අයිතියක් නෑය කියල හිතාගෙන වෙන්න ඇති.

ආමන්ත - ගේෂා ආදර කතාව ගලාගෙනම ගියා ඉස්සරහට. එක ළඟ නිවාස දෙකක උන්නත් කවදාවත් දෙන්නම එක ගෙදර ජිවත් වෙන්න හිතුවේ නෑ. ආදරේ කියල බදාගෙන අල්ලගන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙත් නැති නිසා විවාහයක් ගැන කතාවක් ඇදුනෙත් නෑ. ඒ සම්බන්දය ඇතුලේ, ආදරේ කරුණාව , තේරුම් ගැනීම, සහය වීම, අගය කිරීම ඕනාවටවත් වඩා තිබුණා.

තමුන්ගේ ගෙදර එනවට ආමන්ත කැමති නෑ කියල ගේෂ තේරුම් අරන් තිබුණු විදියටම , තමුන්ගේ බාත්රූම් එක පාවිච්චි කරනවට ගේෂ කැමති නැති විත්තියත් ආමන්ත තේරුම් අරන් උන්නු නිසා ගේෂ ආමන්තගේ ගෙදර යන්න හැදුවෙත් නෑ, ආමන්ත ගේෂ ගේ බාත්රූම් එක පාවිච්චි කලෙත් නෑ

සාම්ප්‍රදායික බිරිඳක් විදියට දුෂ්මන්තගේ දෙපා දෝවනය කරගෙන උන්නු ජීවිතේට වඩා, නිදහස් පෙම්වතියක් විදියට ගෙවන මේ ජීවිතේට ගේෂ ආදරේ කළා

අවුරුදු තුනක් ගෙවුනා.. ගේෂට බබෙක් ඕනේ උනා.කසාද බදින්න නෙවෙයි. බබෙක්!

"මිනිස්සු කියන කතා ඔයාට දරාගන්න පුලුවන්ද?" ආමන්ත ඇහුවා

"මිනිස්සු මොනවා උනත් මොකක් හරි කියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

"ඔයාට බබෙක් හදන්න බදින්න ඕනේ නැද්ද"

"මට බදින්න බෑ. මේ ඉන්න විදියට මම ආදරෙයි.."

"හදිස්සියෙවත් මට මොකක් හරි උනොත් ඔයාට තනියම බබාව බලා ගන්න පුලුවන්ද.."

"පුළුවන්.." ගේෂ ගේ උත්තරේ නිසා අහස් සහ අමා ට දිව්‍යලෝකේ ඉඳල පොලවට එන්න විසා හම්බවුනා

"අපිට නිවුන්නු...බබාලම දෙන්නෙක්" ආමන්තගේ සන්තෝසේ පිටාර දැම්මා..

වැඩිය එලියට පහලියට යන්න අකමැති ආමන්ත , ගේෂ ගැන හිතලමද කොහෙද හැමදාම හවසට ගේෂත් එක්ක පාර්ක් එකට ගියා. මුණු දැකල පුරුදු උනාට කතා කරන්න තරන හිතවත් කෙනෙක් නොහිටපු නිසා අතුරු ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ

"ඔයා දන්නවද,අපේ මමී ඩැඩි ව බඳින කොටත් ප්‍රෙග්නන්ට් ලු. ඩැඩි මමිව බැඳලා තියෙන්නේ එක දැනගෙනමයි. ඒවුනත් කවදාවත් ඩැඩි අයියට වෙනසක් කළේ නෑ. හැබැයි මමී ආදරේ කළේ අයියට විතරයි. ඩැඩි ටවත් මටවත් නෙවෙයි. අයියගේ තාත්තා ගොඩාක් සල්ලි තියෙන පවුලක , නරක කොල්ලෙක් කියල අපේ ආචිචි මම්මල හිමිට කතාවෙනව ඒ දවස් වල. ඒ සංකර ජීවිතේට මමී පුදුම විදියට කැමති වෙලා හිටියේ. ඩැඩි ගේ නිවුණු ගැති ගුණ වලට මමී කොයිම විදියකටවත් ගැලපුනේ නෑ

" සිසීට රෑට පාටියක් තියෙනවනම් , දවල් නතින් කියල තමා ඩැඩි කියන්නේ. හැබැයි ඩැඩි හරියට විදෙව්වා මමිගේ වැඩ හින්ද . විශේෂයෙන්ම මමී මට වෙනස්කම් කරන එකට ඩැඩි පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. සිසී, ආර්ම් බෝයිත් ඔයාගේ නේද, ඇයි හැමවෙලේම හැමදෙයක්ම දුම් ට විතරක් .. කියල ඩැඩි කීප පාරක්ම අහනවා මට ඇහිලා තියෙනවා . ඒ වෙලාවට මමී කියන්නේ මොකද්ද දන්නවද..?"

උත්තරක් නොදුන්නු ගේෂ හිනා උනා විතරයි

"ඩාර්ලින් ආතර්, ඔයා දන්නවනේ මම ඔයාට රෙස්පෙක්ට් කලාට මගේ ලව් එක නිලේෂ්. නිලේෂ් වගේ ඉන්නේ දුම් මිසක් ඔයාවත් ආර්ම්වත් නෙවෙයි.. මම ඔය දෙන්නට ආදරෙයි. හැබැයි දුම්ට ගොඩාක් ආදරෙයි..."

ආමන්තගේ හැඟීම හොඳටම සංවේදනය උනු ගේෂ , දුක අමතක වෙන්න සද්දෙන් හිනා උනා. ආමන්තත් හිනා උනා. ලගින් ගිය ජෝඩුවක් ගේෂ දිහා පුදුමෙන් බලාගෙන ගියා

"මිනිස්සු බලන්නේ හරියට මම මෙතන බෙන්ච් එක උඩ තනියම හිනා වේවි ඉන්නවා වගේනේ" ගේෂ නොරිස්සුමෙන් කිව්ව

"ගණන් ගන්න එපා. මිනිස්සු හිනාවත් එක්ක හරිම ඉරිසියයි.." ආමන්තගේ කතාවට ගේෂ ආයෙම වතාවක් හිනා උනා

"ඔයා දන්නවද මමිගේ වැඩි ආදරේ හින්ද අපේ අයිය හොඳටම නරක් උනා" තව දවසක් බැල්කනියේ වාඩිවෙලා , තමුන්ගේ උරහිසට හේත්තු වෙලා හිටපු ගේෂට ආමන්ත කිව්ව

"අයියා පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මමී ආදරේ එයාට කියල. ඒ නිසා එයා පුළුවන් තරන් මට වද දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා දරාගෙන උන්න මිසක් මම කාටවත්ම කියන්න ගියේ නෑ. ඩැඩි තේරුම් ගත්තා. ඒත් ඩැඩිට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නෑ. මම මොකකට හරි ආසයි කියල තේරුනොත් අයිය ටක් ගාල ඒ දේ අයිති කරගන්නවා. මට රිද්දන්න. මම හිතන්නේ එයා දැනගෙන හිටියා එයාගේ තාත්තා ඩැඩි නෙවෙයි කියල. ඒකෙ පලිය ගත්තේ මගෙන්.."

අන්තිමට අයියව මමිටත් කන්ට්‍රෝල් නැති උනා. ඩැඩි ට ඔක්කොම අතෑරලා ඉන්දියාවට යන්න ඕනේ උනා. මම ඒකට වැරද්දක් කියන්නේ නෑ. මොකද ඒ වෙද්දී ඩැඩි හෙම්බත් වෙලා හිටියේ ප්‍රශ්න වලින්ම. එයා මටත් කතා කළා ඉන්දියාවට යන්න. ඒත් මට නොයන්න ලොකු හේතුවක් තිබුනා"

ඒ මොකද්ද කියන ප්‍රශ්නාර්තේ රන්දගෙන ගේෂ ආමන්ත දිහා බැලුව

"මම ඒ වෙද්දී ගෑණු ළමයෙක්ට පුදුම විදියට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා මාව දන්නෙවත් නෑ. ඒත් මම එයාට පුදුම විදියට ආදරේ කළා. මට එයාව බදින්න ඕනේ උනා...."

~මතු සම්බදයි~



Monday, May 4, 2015

දෙදෙනෙක් සහ කතා දෙකක්

හෙලෝ...
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..


හෙලෝ..
ඔෆිස් එකේ වැඩ තිබ්බ..කෝච්චිය මිස් උනා හලෝ..
ඔව් ඔව් ඉන්ටර්සිටියක ඉන්නේ. නොර්මල් බස් තිබුනේ නෑ..
ඔය කොහෙද ඉන්නේ..
ඇයි තාම ඔතන ඉන්නේ..
වෙන කව්ද ඉන්නේ..
මම කියල තියනවා නේද සමරය ඉන්නවා නං ටැග් ගැහෙන්නේ නැතුව යන්න කියල ඈ..
අනේ අනේ.. යනවා යන්න මාව තම්බන්නේ නැතුව
මං කීපාරක් කියල තියෙනවද.. තමුසේ පයිසෙකට ගණන් ගන්නේ නෑනේ
යනවා හලෝ යන්න. මං එන්නේ නෑ ගෙදර අද අම්මලාගේ ගෙදර යනවා..
නෑ නෑ. මං එනකන් බලන් ඉන්න ඕනේ නෑ. තමුසේ යනවා
එන්නේ නෑ හලෝ. තමුසේ ඕනේ මගුලක් කරගන්නවා. ඉන්නවකෝ මං කරන්න වැඩේ.
(2 වන ඇමතුම)
හෙලෝ..
හෙලෝ පුතු.. තාත්ති කතා කරන්නේ
අම්මි ආවේ නෑ..
අම්මි නෝටි. මං අම්මිට දෙන්නන්කෝ පරක්කු උනාට
පුතුට මොනාද ඕනේ..
පාන් ගෙඩියක්..?
හරි හරි තාත්ති එද්දී පාන් ගෙඩියක් අරන් එන්නන් කෝ..
තියන්නං.. පරිස්සමට ඉන්න