Sunday, May 24, 2015

ඔහු එතැන නැවතුනේය..

දෙදහස් අටේ අවුරුද්ද.ගැහැණු ළමයෙක් බස් රියක එනවා. දුර ගමන් බස් රියක්. ගැහැණු ළමයාගේ ඔලුව තදබල විදියට වික්ටෝරියානු සදාචාර ගත වෙලා තියෙන්නේ. විත්තිකරු ඇගේ පාසල.
ඒ පාසල වටා තිබුණු අඩි නවයකට වඩා උස වික්ටෝරියානු බැම්ම උඩ, කතෝලික කන්‍යා සහෝදරියන්ගේ දැඩි විනය නීති නමැති බෝතල් කටුත් සවි කරලා තිබ්බා. මදුරුවෙක්වත් අනවසරයෙන් ඇතුල්වෙන්න බය උණු පාසල් භූමියට ඉඳ හිට අල්ලපු පාසලේ තක්කඩි කොල්ලෝ රැලක් අහම්බෙන් කඩා වැදුනොත් , විදුහල් පති කන්‍යා තුමිය ඔවුන්ව ඇඹරුම් යන්ත්‍රයට දමා කුඩේ කුඩු කර දැමුවා. ඉතින් පාසල තුල ජිවත් උණු බාලිකාවියන් වියයුතු පරිදිම බීතියෙන් කුල්මත්ව ,ජම්ම දෝෂයෙන් නිර්දෝෂව , පිරිසිදු සුපැහැදිලි ජිවිත ගත කළා . නැත්නම් ඔවුන්ට එසේ වීමට බලකෙරුනා.
පිරිමි යනු කුණු කන පණු රැලක් බව ද, ළමයින් ලැබෙන්නේ ශුද්ධාත්ම අනුහසින් බවද , පිරිමියෙකු දුටු විට වහා වහා එතනින් දුරිම්බුත විය යුතු බවද පාසල් පරිසරයේ වායුගෝලයේ රැඳී තිබුනා. කිසිම කෙනෙකු මුවින් පිට නොකලද මේවා සෑම විටෙකම පාසල හරහා දෝංකාර දුන්නා.
කෙසේ නමුත් වයසත් සමග හොර්මන වල වෙනස්කම් සමග විවිදාකාර නළුවන් , නිරුපන ශිල්පින් , සම වයස් වල හැඩකාර කොල්ලන් ගැන ආරංචි පාසල තුලට රිංගුවා. ඉතා කුඩා සිදුරු අස්සෙන්. ඉදහිට හෝර්මෝන වැඩිපුර වැඩ කෙරුණු කෙල්ලෙක් හෝ දෙන්නෙක් අසාමාන්‍ය විදියට නිර්බිත වෙන්න ගොස් සිද්ද කරන ලද ත්‍රාසජනක ක්‍රියා පාසලට ආරංචි වීමෙන් අනතුරුව, ඒ ක්‍රියා අගයනු වස් , පාසල විසින් ඔවුන්ට අස්වීමේ සහතික පිරිනැමුණා. ඉතින් පාසල තුල ඉතුරු වුයේ ඇත්තටම සුපිරිසිදු ස්ත්‍රී රත්න ටිකකුත්, කට්ට කයිරාටික වෙට්ට පිත්තල ස්ත්‍රී රත්න ටිකකුත් හා ඕනෑම තැනක ඇඟ බේරා ගැනීමේ කලාව ප්‍රගුණ කල ස්ත්‍රී රත්න ටිකකුත් පමණයි.
(මොනවා උනත් මේ ගෑනු ළමයා අදටත් මේ පාසලට හරිම ආදරෙයි. ඈටත් දුවෙකු ලැබුනොත් ඈ නොවරදවාම මේ පාසලට ඇතුලත් කෙරුණු ඇති. ගෑනු ළමයෙකු තුල ඇතිවිය යුතු හැදියාව , ශික්ෂණය හා අරපිරිමැස්ම මේ පාසල තුලින් ජිවිතයට කාවද්දන බව ඈ අදටත් විස්වාස කරනවා)

පාසලෙන් අයින් වී වසරක් ගතවී තිබුනත් සියලුම පිරිමින් කාමුකයන්ය සහ ස්ත්‍රී හිංසකයින්ය යයි ඔලුව නට්ටන් කරගෙන ඇති ගෑනු ළමයා තමුන්ගේ අසුනේ වාඩිවී නහයට කෙලින් බලාගෙන , දෙසවන කන් බනුවක් පැළඳගෙන , කවුළුව අසල සිටිනා පිරිමියාගේ ඇඟේ වැරදිලාවත් නොවදින ලෙස කල්පනාවෙන් යුතුව සිටිනවා. අසල හිඳගෙන ඉන්නා පුද්ගලයාගේ දෑත් ඈ හොරෙන් නිරීක්ෂණය කරනවා. ඒවා හැඩි දැඩියි. නමුත් කෙට්ටුයි. තරුණ දෑතක්.

අසල ඉන්නා පුද්ගලයාට දිගු ගමන වෙහෙසකර වන්නට ඇති. එහා අසුනේ ඉන්නා ඇත්තියගේත් කිසිදු මිත්‍රශීලි බවක් නෑ. නමුත් අන්තිමේ ඔහු එක වරක් උත්සහයක් දරනවා.

ඔහු ඇගෙන් වෙලාව විමසනවා. තරුණ කටහඬක්. ඔව්, ඔහු භද්‍ර යව්වනයේ පසුවන බව ගෑනු ළමයාට පෙනෙනවා. ගෑනු ලමයාගේත් මෙතෙක් අක්‍රියව තිබුණු හෝර්මෝන තරමක් දුරට වැඩ කරන්න පටන් ගන්නවා. ඈ තම ජන්ගමයා බෑගයෙන් එළියට ගෙන වෙලාව බලනවා. දුරකථන තිරය මත ශාරුක් ඛාන් හිනැහෙමින් ඉන්නවා. ඇගේ වික්ටෝරියානු බැම්මේ කුඩා සිදුරකින් රිංගා ගන්න ශාරුක් ඛාන් සමත් වෙන්නේ ඈ හතේ පන්තියේ ඉන්නා විටයි. එසේ පැමිණි ඔහු තාමත් ඈව හැරගොස් නැහැ

වෙලාව පමණයි. ආයෙත් කතා බහක් සිද්ද වෙන පාටක් නැහැ. පිරිමි ළමයා දෙවන උත්සාහයත් දරනවා. ඔහු ඇගෙන් යම් කිසි නගරයක් ගැන විමසනවා. මේ බස් රිය ඒ නගරය හරහා යනවාද?

ඈ පිළිතුරු දෙනවා. තනි වචනයෙන්.. ඒ නැවතුම ඇගේ නැවතුමට පසුව පස්වෙනි හෝ හයවෙනි නැවතුම

"අපේ කොල්ලෙකුට වෙඩි වැදිලා බලන්න යනවා නංගි" පිරිමි ළමයා හිතා හෝ නොහිතා කියනවා. ශාරුක් ඛාන් තිරයෙන් පැනලා දුවනවා. ගෑනු ළමයාගේ වික්ටෝරියානු බැම්ම ඉරිතලල යනවා.

ඈට ඒ මොහොතේ වදනක්වත් කතා කරගන්න බැරි වෙනවා. ඇගේ මුවට කවදාවත් නැති තරමට වචන ගලාගෙන එනවා. ඒත් ඒවා මුව ඇතුලෙම ගොලුවෙලා ඉන්නවා. ඈට ඔහුත් සමග ඔහුගේ නැවතුම දක්වාම යන්න උවමනා වෙනවා. ඔහුට ඒ නැවතුම පෙන්නන්න උවමනා වෙනවා. ඈ බයෙන් හරි කොළඹ ගොස් එන්නේ ඔහු වැනි අයට පින්සිදු වෙන්න කියා කියන්නට උවමනා වෙනවා. ඔහු කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියල කියන්න උවමනා වෙනවා

ඒත් ඈ ඒ කිසිවක් කියන්නේ නැහැ. ඇගේ හදවත වේදනාවෙන් ඉරිතලල යනවා. ඒත් වදන් පිටවෙන්නේ නැහැ.

ඇගේ නැවතුම ලං වෙනවා. නැවතත් වික්ටෝරියානු අවතාරය ඈව බිය කරනවා.යන්නම් කියා ඈ බසයෙන් බසින්න යනවා. ඒ දිනවල තිබු තත්වයත් එක්ක ඒ පිරිමි ළමයාට "ගිහින් එන්නම්" කියන්න බැරි බව ඈ දන්නවා. ඈ පිටුපස බලන්නේ නැහැ. ඒ මුහුණ මතක තියා ගන්න ඈට උවමනා නැහැ.හදිසියේම ඔහු පිළිබඳව ඇතිවූ හැඟීමකට බියෙන් ඈ පලා යනවා. ඔහු එතැනම හිඳිනවා. සංසුන්ව

නිවසට ගිය වහාම ශාරුක් ඛාන් ව ගලවා දැමු ජංගම දුරකත තිරයේ ඈ හමුදා සෙබළුන් පිරිසකගේ පින්තුරයක් එල්ලා ගන්නවා. ඒත් ඈ ප්‍රමාද වැඩියි. රටේවත් නැති නළුවන් වන්දනා කරන කෙල්ලන් පිරිසක් ඉන්නා රටක් බේරා ගන්න යුද්ධයට ගිය පිරිමි ළමයා ඒ බව දැනගන්නේ නැහැ.

අද ඒ පිරිමි ළමයා කොහේ කොතැනක ඉන්නවාද නොදන්නවා උනත් ඒ මතකය ගෑනු ළමයා ළඟ හැමදාම තියෙනවා.

යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...


12 comments:

  1. ඔය නහය කෙලින් බලාගෙන යන ගෑනු ලමයි දැක්කම මං හිතුවේ හෙනම ආඩම්බරයි කියලා.. මේක බැලුවම ඒක ටිකක් වෙනස් උනා.. හැබැයි කවදාවත් ඔය ලමයි සඳලු තලෙන් බිමට බැහැලා ඒ වගේ පොලොවක පය ගහයි කියලනම් හිතන්න බෑ රොටියෝ..

    ReplyDelete
    Replies
    1. ඒ තත්වය නැති වෙන්න නම් පාසල් මිශ්‍ර වෙන්න ඕනේ. එතකොට ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වෙනස සාමාන්‍ය වෙනවා.

      Delete
  2. මේ කියන ගෑල්ලමයා අපේ ඉස්කෝලෙ වගේම එකක ඉඳල තියෙන්නෙ. හැබැයි එහෙම ඉස්කෝල වල ඕනෑම මැරෑටි වැඩක් කර ඇඟ බේරාගෙන සේප් වෙන මේ අපි වගේ කුලකයකුත් ඉන්නවා. :D

    ReplyDelete
  3. මෙතනට අදාල නැති තව සීන් එකක්. අපේ ඉස්කෝලෙ ළමයි කස්ටියක් ක්‍රිකට් ටීම් එකක් හදාගෙන, තරඟෙකට ඉදිරිපත් වෙලා ඔන්න පලාත් තරඟ වලට තේරෙනවා. ජාතික මට්ටමෙන් සංවිධානය කෙරෙන තරඟයක් ඒක. ඉතින් කස්ටියගේ නම් සඳහන් කුසලානයක් සහ ඇගයීම් ලිපියක් ලැබෙනවා සිට්ට පින්සිබල්ට.

    අරුන් සැට් එකට (ටීම් එකට.) පහුවදා උදේ ඉතා ආදරයෙන් එසෙම්බ්ලිය වෙලේ ස්ටේජ් එකට කතා කරනවා. ළමයි 3000ක් ඉස්සරහ දණ ගස්සවලා සද්දෙ දාලා සස්පෙන්ඩ් කරල දානව.

    ReplyDelete
  4. මම කියන්න හදපු එක බස්සි කියලනෙ. මමත් හිතුවෙ මේ අපේ ඉස්කෝලෙ ළමෙක් කියල. හරියටම ගැලපෙනව නේද බස්සි?
    මට අර සීන් එක මතක නෑනෙ බස්සි......... ඒ කොයි කාලෙ වුන එකක්ද?

    ReplyDelete
    Replies
    1. රොටියද? ඔය ගොල්ලෝ ගිය ඉස්කෝලෙට යන්න... ඒවා හඳේ..

      Delete
  5. රොටියා නියම ලිවිල්ලක්.ජොලි කතා වගේම මෙහෙම ඒවාත් වැදෙන්න ලියන්න පුළුවන් නේද?

    //යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...// බොහොමයක් මිනිස්සුන්ට අමතක වෙච්ච දෙයක් සහ මෑත කාලීනව දැඩි ලෙස ගර්හාවට ලක්වුණු දෙයක්..

    "ඔහු එතැන නැවතුණේය.." මාතෘකාව හොඳටම වදින්නේ අවසානේට..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි තනි තරුව

      Delete
    2. "ඒ කෙල්ල ආමි කාරයෙක් එක්ක යාලු වෙලා" කියනවා ඇහුනාම අපේ මිනිස්සුන්ට යන ආතල් එක කොහොමද.. අපේ කට්ටියට ආමි කොල්ලෝ කියන්නේ යුද්දෙට යන්න ඉන්න රොබෝලා සෙට් එකක් විතරයි. බොහොම කනාගටුයි මේ තත්වය ගැන නං

      Delete
    3. ඒක නම් ඇත්ත රොටියා..

      Delete