Wednesday, June 17, 2015

විත්‍යාගේ සොයුරා උසාවියේදී කී කවිය...

මතකයි මට දිගු කලකටපෙරාතුව
ආ හැටි අම්මා කිරිකැටියෙකුවඩාගෙන
හිඳි මුත් එතෙක් සුරතල් වීඑකම
මහිතේ අහිතක් තිබුනේ නෑකිසිම

නංගා අඬන විට ගොස් මම නලවනවා
වෙනකෙක් මුකුත් කිව්වොත් හෙම ඔරවනවා
අප්පට හොරෙන් ඔන්චිල්ලා පද්දන්නවා
හීනෙන් මාව දැක නංගා හිනැහෙනවා

කාටද ඕනේ මේ ඇඹිටිල්ලන් කෙල්ල
සුනිමල් අසා මං තැලුවා උගේ හොම්බ
නංගිට ලියුම් දුන් යෝගා හොයාගෙන
දුන්නා ඌට බිව් මව්කිරි සිහිවෙන්න

දින දින අගේ වැඩිවන රූපය ඈගේ
මට රසදුනකි ඈ නංගා මාගේ
වටපිට එවුන් ඇදෙනා බඹරුන් වාගේ
ඈ මගේ පණයි ඈ රැකගන්නට ඕනේ

මගේ වැඩ කරලා තියපිය යයි කියා නැත
තේකක් හදා දීපිය යයි කියා නැත
ඒ කිසි දෙයක් ඈ මිස මා කලෙත් නැත
ඒගැන කිසිත් මැසිවිල්ලක් කියුවේ නැත

නංගා පරක්කුය වෙනදට වඩා අද
බැලුවොත් හොඳයි ගොස් පොඩ්ඩක් හන්දියට
අප්පත් නැත පේනා මානයක
අම්මා කියද්දීත් බයිසිකලෙයි මම

නංගා හොයා මම සයිකලේ පාගනවා
යෝගා ගැන වස විස සිතුවිලි එනවා
සැක හිත මගේ එක මුල්ලක පැසවෙනවා
නංගා මගේ ඈ සැක බිය දුරුවෙනවා

නොදුටුව නිසා මම නංගව කිසිතැනක
ගිනිගත් හිසෙන් දිව්වා පිස්සෙක් විලස
පාසල ඇරී ඈ ආ හැටි දුටු පිරිස
ඊට පසුව වුනු දෙයකුත් දන්නේ නැත

සොයලා සොයලා සොයලා බැරිම තැන
බලමුද කැලෑවේ වත් පාර ළඟ
මානා ඉලුක් පොඩිවී ඇත එක තැනක
කවුදෝ හිඳී වැටිලා එහි සිහි නැතිව

ගම එකතැනක නංගා ඇත ඔවුන් මැද
ඇඟලු ඇදුම් කිසිවක් ඇගේ ඇඟේ නැත
සියුමැලි ඇඟේ පහරවලුත් තැනින් තැන
මේ දේ කරපු උන් ටික මරනවා අද

හැමටම කලින් නංගා වෙත පැනලා
මා ඈ හෙලෙව්වේ පළමුව විලි වහලා
පියවුණු දෑස හැර ආයෙත් බලලා
කියපන් නංගියේ මා උඹගේ අයියා

පණ ටික යවන්නට පෙර දහ වද දීලා
තිරිසන් මලයක්කු ඈ හපයක් කරලා
අම්මගේ පලිය පිට උන් ටික හිරි ඇරලා
මරා තිබුනේ ගෙල පටියෙන් හිර කරලා

මුන් ටික පෙනෙනකොට අද මට උසාවියේ
ගිනිගෙන දැවෙනවා ලෙස මා ඇති නිරයේ
විත්තිය අසනවා හිටි හැටි නගා මගේ
මොනවා කියන්නද ඒ ගැන තවත් මෙහේ

නංගා ඉන්නවා පිටුපස අසුන අරා
බැහැ මට කියන්නට මොකවත් ඇ දෙස බලා
මියගිය ඇගේ රුව සිව් දෙස ටැග් කරලා
ආයෙම වතාවක් ඈ කෙලෙසනවද ඔහෙලා

හිනැහී කට කොනින් මුන් ටික අද මෙන්න මෙහේ
නංගා මගේ තනියෙන් ඇත වල අස්සේ
වෙන මෙනවාද මෙහි සොය සොය ඉන්නේ
මොන කෙන්ගෙඩියකටද නඩු අහන්නේ

එලියට දමා මුන් ටික නිරුවත් කරලා
දකුණට ගෙනියන්න දෙපයින් කසෙන් තලා
හැමටම පෙනෙන්නට බෙල්ලට තොණ්ඩුව දාල
එල්ලා දමනු එමි අලුගෝසුවා වෙලා

Tuesday, June 16, 2015

රොටියාගේ කසාදයට පස්සෙන් පසුව....

මේ කියවන ඔබ ඉස් ඉස්සර වෙලාම ගෑණු ළමයෙකු මුණගැසෙන්නට යනවා නම් කියන දේවල් ගැන බොහොම පරිස්සම් විය යුත්තේය. පිරිමි අප මහා ලොකුවට නොසලකන , ඇතැම් විට නොසලකාම හරින ඇතැම් කියුම් අල්ලාගෙන ගෑණු ළමුන් නටන නැටුම් ගැන අවබෝධයක් ගැනීමට නම් ගෑණු ළමයෙක් ආශ්‍රය ම කර දැන ගත යුත්තේය

වැඩි දුරක නැත. අද පාන්දර ඇදුම් අල්මාරිය ඇර බැලූ කල , රොටියාගේ ටි ෂර්ටයක් තලු මරමින් සිටි කුඹි සේනාව දුටු කල , මේ ටි ෂර්ට් එක හරියට හේදිලා නැතුවා වගේ යයි කියූ කියුම අල්ලාගෙන දැන් ඈ රොටියා සමග මරු කේන්තියෙන් සිටින්නීය. රොටියා ඒ ප්‍රකාශය කළේ ඇයගේ රෙදි සේදුමේ වරදක් ලෙස නෙවේ යයි රොටියා පොලවේ පස් කමින් දිවුරා කියා සිටියත් දැන් ඈ යකා වගේය. ඒ වෙලාවට අන්තිමේ ඕනෑ කෙහෙල්මලක් හිතා ගන්නට ඉඩ හැර කට පියාගෙන පැත්තකට වීම ගුණදායකය. රොටියා මුල් කාලයේදී නම් ඒ වෙලාවට මෙසේ කියයි

"මම ඒක එච්චර හිතල නෙවෙයි කිව්වේ. "

කවදාවත් ඔන්න ඔයාකාරව නම් කියන්න එපාය. එවිට ඈ වැඩිවූ කෝපයෙන් මෙසේ කියනු ලබන්නිය

"හුහ්.. ඔයා මොනාද හිතල කියන්නේ. අන්තිමට කියයි මගෙන් යාලු වෙන්න ඇහුවෙත් එච්චර හිතල නෙවෙයි කියල. මිනිස්සු ඔලුවක් ඇතුව උපදින්නේ හිතල කතා කරන්න...(සහ තවත් දේ)

ඊළඟට එවැනි අවස්ථාවල රොටියා මෙසේ කියන්නට යෙදුනාය.

"කියන වචන ගැන ඔච්චර දිගට හිතන්න එපා අනේ. මම දෙයක් කියපුවාම එකේ නරකම පැත්තනේ අනේ ඔයා හිතන්නේ.."

ඔබට මද කිපුණු අලියෙක් ඉදිරිපිට ඇතිවන හැඟීම දැනෙන තැනට වැඩ සිද්ද කර ගැනීමට අවශ්‍ය නම් ඒ ලෙස කිව්වාට කමක් නැත්තේය. එවිට ඈ රතු වූ දෙනෙතින් (සමහර විට දත් කූරු සපමින්) මෙසේ කියනු ඇත

"මනුස්සයෙක්ගේ හිත රිදෙන්න ඕනේ දෙයක් කියල ඊ ලඟට අනේ එක ඔයාට තේරුණු හැටි වැරදියි කියන්න ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්. (ස්වරය වැඩි කරමින්) ඕනේ බුරුවෙකුට එහෙම කියන්න පුළුවන්. හැම දේම අතට පයට කරලා දීල අන්තිම හිත රිදෙන කතා අහගන්න තමා මට තියෙන්නේ.

මෙන්න මේ වෙලාව අන්තිම බයානක වෙලාවය. මක්නිසාදයත් ඇගේ හැසිරීමට ඔබට හිනා යන්නට එන නිසාය. බැරි වෙලාවකින් හෝ ඔබට හිනා ගියහොත් ඈ නාට්‍යාකාරව මෙසේ බෙරිහන්දෙනු ලබන්නිය

"හයියෝඕ.. මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉද්දි මං කරගත්තනෙ කසාදයක්... මට එපා වෙලා තියෙන්නේ"

එනිසා හොඳම දේ මෙසේ කීමය

"මම එහෙම කියපු එක වැරදියි. සොරි කියපු එකට. ඔයා මට කොච්චර දේවල් කරලා දෙනවද.. මම ආයේ එහෙම කියන්නේ නෑ. ප්‍රොමිස්.."

ඒක හරියට අර අඬන පොඩි එකෙකුට ලොලියක් දෙනවාක් වගේය. ඕවා ඔන්න ඔහොමය..

අනෙක් අතට ඔබ කියූ දෙයක් ඈට අමතක යයි හිතාගෙන ඉන්න එහෙම එපාය. ගෑණු ළමයි එහෙම ලේසියෙන් දෙයක් අමතක කරන්නේ නැත්තේය. ඔබට මතක නැති , ඔබ කියූ බොහෝමයක් දෑ ගලේ කෙටුවා සේ ඔවුන්ට මතකය. උදාහරණයක් පහතය

රොටියා මදක් නිලට බර යයි මිට පෙරත් කීප වතාවක්ම සඳහන් කොට ඇත්තේය. රොටියාගේ පවුලේ ඇත්තෝද නිලට බර උදවියය. ඒ නිසා රොටියාගේද හිත යන පාට නිල් ය. නමුත් ගෑණු ළමයාගේ පරමාදර්ශී චරිතය රනිල්ය.

මේ අකුරේ වෙනස නිසා රොටියා දැනටමත් ජිවිත කාලයකට හරියන්න ඇගෙන් දේශපාලනය ඉගෙන ගෙන ඇත්තේය. එය සිද්ද වන්නට වැඩකටයුතු යෙදුනේ මෙන්න මෙහෙමය

රොටියා හා ගෑණු ළමයා අතර නිල වශයෙන් වශයෙන් සම්බන්දය ආරම්බ වන්නට පෙර දෙදෙනාම එකිනෙකා හා කතා බහ කළේ වචන තෝරා බේරා ගෙන බොහොම පරිස්සමටය. යුද්ධය නැවත්වීම ගැන ලොකුවට වර්ණනා කල නිසා රොටියා හිතාගෙන උන්නේ ගෑණු ළමයාද නිලට බර බවය.

ඒ තීරනාත්මක හමුවීම සිද්ද උනේ ඔන්න ඔය අල්ලේ පනල්ලේය. එදා සිද්ද වුනු කතා බහ පහත ලෙසය

රොටියා: ඔයා මාව බදින්න කැමතිද?

ගෑණු ළමයා: ඔයා UNP නේද?

මෙය ඇසු ස්වරය නිසා රොටියාගේ ඔලුවේ සීනුවක් නාද වන්නට යෙදුනේය.

රොටියා: (එදා උදෙත් මහින්ද වෙනුවෙන් සිය මිතුරන් හා වාද කළේ මෙන්න මේ කියන රොටියාමය) මට එහෙම පැත්තක් නැහැ. හරි පැත්තට චන්දෙ දෙනවා

ගෑණු ළමයා: හම්මේ එහෙනං කමක් නෑ. මං නං කීයටවත් SFP එකේ කෙනෙක් එක්ක නං යාලු වෙන්නේ නෑ. ඒ කට්ටියත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලා විසඳ ගන්න බෑ. මාත් ඔයාට කැමතියි..

ඉතින් මොනවා කියා කරන්නද .. ගෑණු ළමයාට රොටියාගේ ඇත්ත තත්වය තේරුම් ගියේ ජෙනරාල් ජනාදිපතිවරනයට ඉදිරිපත් වූ විටය. එදා සිට ඈ රණ්ඩුවක දී අවසාන වශයෙන් මෙසේ කියනු ලබන්නිය

"ඕක තමයි මම UNP එකෙක් ව බදින්න හෙව්වේ. කොහෙද මාව රවට්ටලා....."



Tuesday, June 2, 2015

අමතක මතකය..

අමතක කරලා දාල තියෙන, නැත්තන් අමතක වෙලා තියෙන , එහෙමත් නැත්තන් මතක් කරන්නට කැමති නැති, මතකයන් මේ ජීවිතය පුරාවටම තියෙනවා. ඇත්තටම ' මේ මොහොත' කියා දෙයක් නෑ. ඇත්තේ බලාපොරොත්තු හා මතකයන් පමණයි.

දෙදෙහස් අටේ ජුනි මාසයේ දවසක රොටියා පුරුදු පරිදි 255 බස් රියකට නැග්ගේ විශ්ව විද්‍යාලයේ දේශනයකට සහබාගි වෙන්නයි. රොටියා ගිය බසයට ඉදිරියෙන් ගිය 255 බසය විශ්ව විද්‍යාලය පසුවෙනාවත් සමගම පුපුරා ගොස් තිබුනා. මෙහිදී රොටියා බස් බෝම්බයකින් අනූ නවයෙන් බේරුනා යයි පම්පෝරි ගසන්නේ නැහැ, මොකද ඒ බස් රථයේ රොටියා උන්නත් බෝම්බය පුපුරන විට රොටියා බොහෝ විට බසයෙන් බැස තිබේවි..

නමුත් ජිවිතයේ දී අම්මා කෙනෙකුගේ මුවින් අසන්න නොලැබෙන තරමේ දුක්ඛිත විලාපයක් අමතක කරන්න රොටියාට නොහැකිවාක් මෙන්ම තමුන් බත් පාර්සලය බැඳ දී බස් රථයට ගොඩ කල තමන්ගේ දරුවා ඔලුවේ පැත්තක් නැතිව මහා මග වැටි උන් හැටි අමතක කරන්න ඒ අම්මාටත් බැරුව ඇති.. බස් රියේ දොර අසල අසුනේ වාඩි වී හුන් කාන්තාව හාස්කමකින් බේරී තිබුනත් ඈට තම යාබද අසුන් වල හිඳි මගීන් මැරී වැටි උන් හැටි තාමත් මතක ඇති..

එදා සිදුවූ සියල්ල මෙතන ලියන්න රොටියා කැමති නැහැ. නමුත් ඒ අවස්ථාවේ හමුදා නිලධාරින් ක්‍රියා කල ආකාරය නම් ප්‍රශංසනීයයි. එයත් කිසිදාක අමතක කරන්න බැහැ

**** **** ****

රොටියාට යන්තම් මතක ඇති කාලයේ , රොටියාගේ ගමේ එකම නම ඇති මිතුරන් දෙදෙනෙකු සිටියා. රොටියා ඔවුන්ව පහසුව තකා සුරංග කියා හඳුන්වන්නම්. ගමේ අය ඔවුන්ව හැඳින්වූවේ ලොකු සුරංග හා පොඩි සුරංග ලෙසයි. දෙදෙනාම හමුදාවට බැඳුනා. රොටියා හිතන විදියට නම් ඔවුන් හමුදාවට බැඳුනේ ජීවිකාව සරි කර ගන්නයි. දෙදෙනාම දුප්පත් පවුල් වල පිරිමි ළමයි..

අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු සුරංගව වළලන්න මොහොතකට කලින් හමුදාවෙන් වෙඩි මුර ආචාරයක් පැවැත්වුනා. හොඳටම බය වුනු රොටියා දෙසවන් වසා ගෙන හඬා වැටුනා. එවකට රොටියාගේ වයසේ , ඊට ඉහල පහල වයස්වල සිංහල , දෙමල , මුස්ලිම් කුඩා ළමුන් කී දාහකට එම හඬ දිනපතා ඇහෙන සාමාන්‍ය හඬක් වෙලා තියෙන්න ඇතිද..

ලොකු සුරංග දිවි පුදා තිබුනේ වැදගත් ලියකියවිලි වගයක් රැක ගැනීමට උත්සහ කරන අතර තුරේදියි. මියගිය ඔහුගේ අත තිබු ලියකියවිලි ටික මුදා ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ද උනාලු..

පොඩි සුරංග නැවතත් ගියා. මානුෂිය මෙහෙයුමටත් සහබාගි වී නිරුප්‍රදිතව ආපසු පැමිණි ඔහු අද හමුදාවේ උසස් නිලයක් දරනවා..

**** **** ****

රොටියාට විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යාම පිණිස පිටකොටුව බස් නැවතුමට එන්නට තිබු දවසක මිතුරෙකුගේ වැඩක් හේතුවෙන් මදක් ප්‍රමාද උනා. බෝ ගහ යට බෝම්බයක් පුපුරා ඇති බව මගදී ආරංචි උනා. එය විසාල විනාසයක් කර තිබුනේ නැහැ මතක විදියට. නමුත් හැමදාම රොටියා බසයෙන් බහින්නට පුරුදුව සිටියේ බෝ ගහ ළඟිනුයි..

**** **** ****

රොටියාගේ ගෑනු ළමයා කලක් කොළඹ ආශ්‍රිත තැනක නැවතී උන්නා. දිනක් රාත්‍රී එකොළහට පමණ දුරකථන ඇමතුමක් දුන් ඈ, ඔවුන් නැවතී ඉන්නා තැන විදුලිය නැති බවත් , වෙඩි හඩක් ඇසෙන බවත් , ගුවන් යානාවලින් පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන බවත් කොතනින් නවතිදැයි කියා සිතා ගත නොහැකි බවත් දැනුම් දුන්නා. රොටියාට මෙන්ම ගෑනු ළමයාගේ පවුලේ උදවියටද එය නිදි නැති රැයක් උනා.. ලංකාවේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්නට ඈ රොටියාගේ මනාලිය උනා

**** **** ****

හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් වැදගත්. රොටියාට තවකෙක් කියූ පරිදි බුද්ධි අංශයේ මුස්ලිම් ජාතිකයින් විශාල ප්‍රමාණයක් සේවය කර තිබෙනවා. මේජර් මුතාලිෆ් යනු මේ මාවතේ දිවි පිදු අමතක කරන්න බැරි චරිතයක්. යුද්ධය ඉවරයි. බිම් මට්ටමේ ජනතාව අතර ජාතිවාදයක දුමාරයක් පැතිරෙනවා. සමහරු එයට පිදුරු දමන්නට වලි කනවා. ප්‍රශ්නයක් ඇත්නම් එය විසදන්න ඕනෑ රාජ්‍ය පරිපාලන මට්ටමෙනුයි. ජනතාව ප්‍රකෝපව නීති හදන්නට හෝ අතට ගන්නට ගියොත් ලොකු අවුලක් වෙනවා. කළු ජූලියක් ආයෙත් උවමනා නැහැ

**** **** ****

යුද්දය ඇති දිනවල කොළඹ රැකියාව කල ගැහැණු උදවිය පිට ඇඳුමට වඩා සීරුවට යට සායවල් තේරුවාලු. හදිසියෙවත් බෝම්බයකට හසු වුනොත් උඩ ඇඳුම නැති උනත් පාරට පනින්න පුළුවන් තරමේ යට ඇඳුමක්වත් තියෙන්න... සමහරුන්ට මතක නැති යුද්ධයේ අමිහිරිම කාලය එයයි

**** **** ****

යුද්ධය නැවතුනා. රොටියාගේ අම්මා නැවතත් සැනසිල්ලේ හුස්ම ගත්තා. තමුන්ගේ ළමයි දෙදෙනෙක් උදේ හවස කොළඹ කරක් ගසන විට රොටියා ගේ දෙමාපියන් ඒ සා ගින්දරකින් උන්නා නම් හමුදාවේ සේවය කරන දූ පුතුන් ඇති මා පියන් කොහොම ගින්දරකින් ඉන්න ඇතිද

**** **** ****

යුද්දය විකිණුනා. අතපය, දෑස් අහිමි සෙබළුන් ගිනි ගහන අව්වේ පෙළපාලි ගියා..අප ඔවුන් දෙස රූපවාහිනියෙන් බලාගෙන දුක් වුනා

**** **** ****

මේ කුණු ඇවිස්සීමක් වත් , පිට කැසීමක් වත් , සුදු හුණු ගෑමක් වත් නෙමෙයි. අනෙක් අතට යුද්දයේ දේශපාලනික පසුබිම ගැන කරන විග්‍රහයකුත් නෙමෙයි. රොටියාට මෙය ලියන්නට සිත් වුයේ පසුගිය දිනවල ඇසු දුටු සිදුවීම් හා ලිපි නිසයි

විත්‍යා මරා දැමුනා. ඒ නරුමයින්ව උල හිඳුවිය යුතුයි. ඒ අස්සේ සමහරු විත්‍යාව ඉදිරියට දමාගෙන ඉසිප්‍රියාගේ මළසිරුර ගොඩ ගන්නට වෑයම් කළා. මිට කලකට පෙර නිදි ඇඳේදී සිය බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කල සැමියා ඉදිරියට ඔවුන් ඉසිප්‍රියා ව ගෙනගියේ නෑ. කහවත්තේ ඝාතන ඉදිරියට ඉසිප්‍රියාව ගෙනාවේ නැහැ. එතකොට ජාතිවාදයක් එපා එපා කියමින් ඔවුන් විද්‍යා ඉදිරියට ඉසිප්‍රියාව ගෙනයන්නේ විත්‍යා දෙමල ජාතිකයෙක් වීම නිසා නොවේද? ඔවුන් දෙදෙනාගේ චායාරූප නැවත නැවත පෙන්වමින් ජාතිවාදයක් ඇති කරන්නේ ඔය ඇත්තන්ම නොවේද?

විත්යාට , ඉසිප්‍රියාට , කහවත්තේ ගොදුරු වූ ගැහැනුන්ට , නිදි ඇඳේ මරා දැමු ඇයට හා දරු දෙදෙනාට එකසේම යුක්තිය සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ලෙසම මායිම් ගම්වල හිඳ මරා දැමුණු කාන්තාවන් , නුපන් ළදරුවන්, කුඩා ළමුන්, පිරිමින් ඇතුළු සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි. අරන්තලාවේ පොඩි හාමුදුරුවන්ට සාදාරණයක් ඉටුවිය යුතුයි. කොටුව දුම්රිය පොලේදී මියගිය ඩි එස් සිසුන්ට සාදාරණයක් සිදුවිය යුතුයි.

හිස් අහස මේ ලිපියත් කියවා බලන්න

චැනල් ෆෝ වලට හසු වන්නට ඇත්තේ සීමිත සිදුවීම් පෙළක් පමණයි. ලංකාවේ ජිවත් වූ අපට චැනල් ෆෝ නැතුවාට ඕනෑ තරම් මතකයන් ඇත. ජාති , ආගම් , කුල බේදයක් නැතුව අප සියල්ලෝ ම කොපමණ මරණ බියකින් ජිවත් වීමුද?

ඒ මතකයන් අතර අමතක කරන්නට නොහැකිම මතකය අපේ රණවිරුවන් පිළිබඳව වූ මතකයයි. ඔවුන් සිද්ද කලේ රස්සාව යයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඇත්තන්ව ඊශ්‍රායලයේ මෙන් අනිවාර්ය යුධ පුහුණුවකට යැවිය යුතුය. එවිට ඒ ඇත්තන්ටත් රස්සාවේ තරම බලා ගත හැක්කේය. ඒත් මදි නම් යුද්දය තවමත් සිදුකෙරෙන රටක ස්වෙච්චා බලකායට යැවිය යුතුය.(ලංකාවට නම් හීනෙන්වත් ආයේ යුද්දයක් එපාය. මුළු ලෝකෙන්ම යුධ ගැටුම් තොලොංචි වී යා යුතුය)

ත්‍රිවිධ හමුදාව නිසා අද අප බියෙන් සැකෙන් තොරව ජිවත් වන්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු......