Thursday, July 16, 2015

ගෑණු ළමයින්ගේ ආතල් හා පිරිමි අපි

ගෑණු ළමයින්ගේ ආතල් නම් මාරය. ඒවා කොයි මොහොතේ පටන් ගෙන කොතනකින් ඉවර වේදැයි සක්කරයාටවත් කියන්න බැරිය.ඒවගේම ආතල් කුඩු වූ කලද මහ බයානකය.
උදාහරණයක් ලෙස ඔබට උණ ගැනී පාන් කියා ගන්නට බැරුව ඇඳේ දපා ඉන්නා විට ඔබේ ගෑණු ළමයා විසින් අනුනාසික ස්වරයෙන් සින්දුවක් ගායනා කරමින් ඔබේ ඇඟට පනින්න ඉඩ තිබේ.මෙම ගීතයන් නියමිත තාලයකට හෝ ස්වරයකට හෝ අනුව ගයන ඒවා යයි වැරදි වැටහීම් ඇති කර ගත යුතු නැත. බොහෝ විට ඒවා "ටිඩ්ල් ටිඩ්ල් ලා ලා පොම් පොම් මූඌ.... " වැනි බාසාවකින් ගායානා කෙරෙනවා ඇත්තේය.
අනෙක් අතට දෙවියන් විසින් රෝගයකදී පිරිමි අපට ලබා දී ඇති වේදනාවෙන් හතරෙන් එකක් වත් ගැහැණු උදවියට ලබා දී නැති නිසාදෝ ඔවුන් බොහෝ විට පවසන්නේ අප විසින් යටකී රෝගයන් දෙගුණ තෙගුණ කොට මවා පානා බවය. එබැවින් එවැනි අවස්ථාවල අප විසින් බලාපොරොත්තු වන දේට සහමුලින්ම ප්‍රතිවිරුද්ද දෙයක් අත් දැකීමේ සම්බාවිතාව ඉතා ඉහලය..

බලාපොරොත්තුව: අනේ පැටියෝ .. පව් ඔයාට හෙම්බිරිස්සාව නේද.. ඇඳෙන් නැගිටින්න අමාරුයි නේද.. ඔහොම ඉන්න...
ඇත්ත: හයියෝ.. ඔයාට නිකන් අලි හෙම්බිරිස්සාව හැදිලා වගේනේ..කෝලන් නැතුව නැගිටලා මෙන්න මේක බොන්න

බලාපොරොත්තුව: ඔයාට හැදිලා තියෙන්නේ අන්තිම අමාරු උණක් වගේ. දොස්තරට වැරදිලා.. නැත්තන් ඔච්චරම අමාරු වෙන්න විදියක් නෑනේ. අපි වෙන දොස්තර කෙනෙක් ලඟට යමු..
ඇත්ත: හැම තැනම තියෙන පොඩි වයිරස් උණක් හැදිලා ඔච්චර දගලන්නේ නැතුව නැගිටලා මෙන්න මේ බෙහෙත් ටික බොන්න.ඩොක්ටර් කිව්වනේ බෙහෙත් බිව්වම අඩුවෙයි කියල

එසේම හෙම්බිරිස්සාවක් උණක් ඇතුව හෝ නැතුව ගැහැණු ළමුන් යස අපුරුවට සිය වැඩපල කර ගනිති. නහයෙන් ගලන දිය සීරාවන් ඔවුන්ව ඇඳට යාමට තරම් හේතුවක් නොවේය. ඒක නම් මාරය. එයින් බැට කන්නේ අහිංසක පිරිමි අපය.

ඊළඟට රුපවාහියේ අනුස්කා සර්මා හෝ ප්‍රියංකා චොප්රා හෝ වෙන එකියක විසින් හෝ ඉඟ සුඟ නලවමින් වේග රිද්මයට නර්තනයේ යෙදෙන කල, යස අපුරුවට ඔබ ළඟ උන් ගැහැණු ළමයාද පුටුවෙන් පැන පිස්සු වැටුනාක් මෙන් දගලන්නට හොඳටම ඉඩ කඩ ඇත. එසේ දගලන ගමන් තමා මේ 'නටනවාය' කියාද කියති. රොටියාගේ ගෑණු ළමයා නම් ඉන්ද නොනැවතී "රොටියා.. මං ____ වගේම නටනවා නේද" යයි අසන්නේද ඇත්තටමය. මිනිස් සංහතියේ පැවැත්මට 'බොරුවද' අත්‍යවශ්‍ය දෙයක්ය යන්න රොටියාට තේරුම් යන්නේ ඒන් එවැනි වෙලාවලය.

බොරු කාරයන්ට, චිත්ත කාරයින්ට, වංචා කාරයින්ට අහුවීම සම්බන්ධයෙන් නම් රොටියාගේ ගෑණු ළමයා කප් ගසා ඇත්තේය. එවැනි සම්බන්දකම් වලදී මුලින්ම රොටියා පරිස්සම් වෙන ලෙස අවවාද කලත් ඒවා නෑසු කන්ව දවල් වැටුණු වාලේ ආයෙමත් වැටෙනවාය.ඒවා ගෑණු ළමයින්ගේ උපන් ගෙයි ගති වන්නට ඕනෑය.

වාහනයේ යන විට පාර අයිනේ වැනි වැනී ඉන්නා අච්චාරු කුක්කෙක් දුටුවෝතින් රොටියාගේ ගෑණු ළමයා බෙරිහන් දෙනවාය. කුක්කා පාර මැද උගේ වැඩ රාජකාරි සියල්ල නිමා කරන තුරු හෝන් ශබ්දයක් නැගීමට හෝ ඉඩ දෙන්නේ මේ ගෑණු ළමයා හෙම නෙවේය
අනෙක් අතට කහ ඉරේ පාර මාරු වෙන්නට බලා හිදින නංගිලාට රොටියා අත හිත දීමට යන බවක් පෙනුනොත් හෙම ගෑණු ළමයා ඉක්මනට යමුය කියමින් හදිස්සි කරනවාය. ඒවා ගැහැණු ළමුන්ගේ අනිච්චානුග ක්‍රියාය. ඒ ගැන කරන්නට කිසිම දෙයක් නැත. ඒක හරියට කහ ඉර ළඟ ලෙලදෙන නංගිලා දුටුවිට හැටට හැටේ යන රොටියාට බ්රේක් පෑගෙනවා වගේමය..


15 comments:

  1. අහිංසක අපිට ඔය ප්‍රශ්න නම් නැත...
    හැබැයි කෑමට ගේන ඒවා මූනේ ගාගෙන කරන විනාස කාරී ක්‍රියා වලට විරුද්ධ වෙන්ඩ ගිහින් හොදට අහ ගත්ත ඒවා නම් මතක ඇත...

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේ පිහිටෙන් මේ ගෑණු ළමයා තවම කන බොන දේ මුණේ උලන්නට පටන් ගත්තේ නම් නැත

      Delete
  2. රොටියා තමන් ඇතුළු පිරිමි පාර්ශවය ගැන ඇත්තම කතා කිරීම ගැන මට සතුටුය.
    ගැහැණුන්ට මෙන් හතර පස් ගුණයකින් වැඩි වේදනාවක් පිරිමින්ට ලබාදුන්නා යැයි කියන දෙවියන් පිරිමින්ට විළි රුදාව ලබා නොදීම ගැන මිහිමත වසන සියල්ලෝම උන් වහන්සේට ස්තූති කල යුතු බව මගේ අදහසය, එසේ නොවන්නට තත්පරයකට භූමි කම්පා කීයක් වේදැයි සිතාගන්නටවත් බැරිය.

    ගැහැණු පිරිමි ගැන කතන්දරයේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් රොටියාගේ මේ ලියවිලි රටාව ආකර්ශණීයය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකට නං සකකරයට ඉස්තූති කොරන්නම වෙනවමෙතකනෙ එකපාරක් සක්කරය ඔහොම සංගදියක් කරල වෙච්ච විනම්බෑසිය.

      Delete
    2. ඔව් ඔව් ඒකට නං සකකරයට ඉස්තූති කොරන්නම වෙනවමෙතකනෙ එකපාරක් සක්කරය ඔහොම සංගදියක් කරල වෙච්ච විනම්බෑසිය.

      Delete
    3. ඉස්තුතිය. සක්කරයා ඔන්න ඔයාකාර වැඩකට නැති වැඩක් කරන්නට ගොස් නා ගත්තා මටත් මතකය

      Delete
  3. ඔය ගැන අත්දැකීම් නං නැත.
    සමහර විට අර මදාවියා ගෙන් ඇහුව නං හොද හොද ඒව ටිකක් කියන්න තිබ්බ
    හිහි.
    ඒකත් ඇත්තට ලල් එකක් එක අතකිං හිහි

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ලැබෙනු ඇත. ඒවා විව්ධාකාර විය හැකි මුත් "මාරය"

      Delete
  4. සිරාවට රොටියෝ ඕක මටත් මහා ප්‍රස්නයක්. චුට්ටං හෙම්බිරිස්සාවක් උණක් හැදුනම මේ පිරිමි ජාතිය නිකං මරණාසන්නවෙලා වගේ නෙව ඇඳේ දපලා ඉන්නෙ. හැබෑටම ඕක විද්‍යාත්මකව පහදන්න පුලුවන්ද කියලා සුට්ටක් හොයල බලන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. පිරිමි අප ඇඳේ දපන්නේ නැගිට ගන්න පණක් නැති නිසාය. අනෙක් අතට නැගිට දඟලා ලෙඩේ වැඩි කර ගැනීමටද අපට උවමනා නැත. ඇඳේ දපන විට අවශ්‍ය සියල්ලම ඇඳ අසලට එන මැජික් එකක්ද ඇත. (ඒහි නම "ප්‍රිය බිරිඳය") විද්‍යාත්මක හේතුව ඔන්න ඕකය

      Delete
  5. විලිලැජ්ජාවක් ඇතිවෙලා නැතිවෙලා ගියාය..හැබැයි ඔහොම නැති ගැහැණුත් ඉතා කලාතුරකින් දකින්නට ලැබෙනවාය..:D

    ReplyDelete
    Replies
    1. අනිවා ඉන්නවාය. ඒත් පුරුදු වූ විට මෙවැනි ගෑණු ළමයින්ගේ මොලේ මඥන් වැඩ දකින්නේ නැතුව ජිවත් වන්නටද අමාරුය

      Delete
  6. මේ ලිපිය මාගේ සැමියා මහතා ලියා රොටියාට දුන්නාදැයි මට බලවත් සැකයකි.

    ReplyDelete
    Replies
    1. මේකට හිනා නොවී සිටිය නොහැකිය!

      Delete
    2. ඔබේ සැමියා මහතා සංගමයට ආදරයෙන් බාර ගන්නවාය.

      Delete