Monday, August 24, 2015

ඇති යන්තන් ඒකත් ඉවරය.....

කසාදයෙන් මාස හයකට පසුව රොටියාට සැනසිල්ලේ හුස්මක් ගැනීමට පොටක් පෑදී ඇත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දවස් තුනක් හතරක් යනකන් රොටියාගේ නිවසේ ඕනෑම වෙලාවක "නන නාන නාන නා. රනිල් දින්නා. හු හු" යනුවෙන් නාසික ගායනයක් සහ අඩ උමතු රංගනයක් ඉදිරිපත් කරමින් චූන් වේවි උන් ගෑණු ලමයාටද දැන් ඒ සෙල්ලම ඇති වී ඇති නිසා දැන් නිවී සැනසිල්ලේ රොටියාගේ වැඩක් කරගත හැක්කේය

නිකන් ඉන්න බැරි කමට ගෑණු ළමයාට අරන් දුන් බලු තඩියාද කොළ පක්ෂයේය. රොටියා ඒ වග දැනගත්තේ රුපවාහිනියේ පෙන්වන නිල් රැස්වීම් වලට පණ කඩාගෙන බුරන මේ බල්ලා, කොළ පාටියේ රැස්වීම් වලට මික් සද්දයක් නැතුව ඇහුම් කම් දීම නිසාය. ගෑණු ළමයාට රහසින් රොටියා විසින් බලු තඩියාට දුන් අල්ලස්, තර්ජන හෝ ගර්ජන වලට සිය මතය මතය වෙනස් කළේ ඌ හෙම නෙවේය. ඒ නිසා දැන් ගෙදර කොළ සංයුතිය තුනෙන් දෙකකට පත්වී ඇත.

පදිංචිය වෙනස් කල නමුත් චන්ද කොළය ආවේ පරණ ලිපිනයටම නිසා රොටියාට චන්දය පාවිච්චි කරන්නට තරමක් දුර මද්යස්තානයකට යන්නට සිද්ද විය. ගෙදර එන විට බල්ලා කොලම කොළ පාටය. ගෑණු ළමයා මොකද්දෝ සායමක් උගේ ඇඟ පුරා උලලාය. මයිල් හැලෙනවාට රොටියා බෙහෙත් ගාන විට මරන්නට යන හරකා සේ දඟලන මේ වල් සතා එදා අපුරුවට සායම් වලින් දිලිසි දිලිසි උන්නේය.

කතාව බල්ලටම ගියත් කියන්නට ගියේ වෙනම කතාවකි.
රොටියා එදා උදේම ගෑණු ළමයාගේ ගෙදරට හොම්බ දැම්මේ එතනින් එක චන්දයක් හෝ නිලට හරවා ගන්නටය. ඒ යන විට ගෑණු ළමයාගේ අම්මා ගෙදර පොඩිම එකාට ටියුෂන් පන්තියක් දමලාය. ඒකා චන්දය පාවිච්චි කරන්න යන්නේ පළමු වරටය

අම්මා: (සුදු කොලයක් ගනී) දැන් ඔන්න මේ තමයි චන්ද කොලේ
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
අම්මා: (කකුල් පහක් සහිත සතෙක් අඳි. ) මේ තමයි අලියා
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
ගෑණු ළමයා: අලියා නෙවෙයි අම්මේ ඇතෙක්. මේ සැරේ දලෙත් තියනවලු.
අම්මා: (දලේ අඳි) හොඳට බලල ගහන්න.
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..
අම්මා:(බුලත් කොලයක් අඳින්න සැරසෙමින්) මේ තමයි..
ගෑණු ළමයා: වෙන ඒවා අඳින්න එපා අම්මේ. පටලගනියි අනික් පාර..
අම්මා : ඒකත් ඇත්ත..වෙන වෙන ලකුණු තියෙනවා. ඒවා බලන්න ඕනේ නැහැ. ඇතා ඉස්සරහින් කතිරේ ගැහුවා.(ඊළඟට කොළය යට තීරුවේ කොටු අඳි. ඒවා මනාප වලටය) මේ කොටු වලින් එක, පහ, අට කපන්න හොඳද
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී..එතකොට ඒ කට්ටියට මනාප යනවා
අම්මා: ඔව්..තේරුනාද. හරියටම හරිද..
පොඩි එකා: (බැරෑරුම් මුහුණෙන්) අරී.. අරි අම්මේ. බය වෙන්න එපා. මම එළකිරි ටිකට වැඩේ දෙන්නන්

සියල්ලෝම චන්ද පොලට යාම පිණිස සුදානම් වෙති. නාටකයේ ඉතුරු කොටස බලාගන්නට රොටියාද කන දික් කරගෙන සිටියි

ඇඳ පැළද ගත් පොඩි එකා බර කල්පනාවකය. අවසාන මොහොතේවත් උගේ නැණස පෑදී ඇතියි පිනා ගිය රොටියා ඌ ලඟට කිට්ටු කළාය

රොටියා : මොකෝ පොඩි එකෝ..
පොඩි එකා: නෑ මං මේ කල්පනා කළේ ශ්‍රී ලංකා එකෙන් චන්දෙ ඉල්ලන අයගේ අංක තියෙන්නේ කොලේ කොහෙද කියලා...(ඒ කියන්නේ උ හිතාගෙන උන්නේ චන්ද කොලේ යු එන් පි අයටත්, ශ්‍රී ලංකා අයටත් වෙන වෙනම මනාප කොටු තියෙනවා කියාය)

(රොටියා ඒක ඌට කියා දුන්නේය.ඉක්බිතිව ඌ චන්දය දමා ආවාය..)

4 comments:

  1. රොටියා තවම යහතින්ද?

    ReplyDelete
  2. ඒ සත්ක්‍රියාව වෙනුවෙන් මාගේ බලවත් මෙව්වා එක!

    ReplyDelete
  3. ඒහෙනම් අර අහිංසකයාව නොමග අැරලා අැති තෝ...........

    ReplyDelete
  4. නන නාන නාන නා. රනිල් දින්නා. හු හු

    ReplyDelete