Sunday, February 28, 2016

රාවණායනය 3

පළමු කොටස
දෙවන කොටස

මේඝනි කෝපයෙන් හිස ගැස්සුවාය. ඔහු අදත් ප්‍රමාදය.හැමදාම මෙන්..
ඔහු ප්‍රමාද වෙන හේතුව ඈ දනී. නමුත් තමාට කල හැකි කිසිම දෙයක් නැත. මේඝනි යනු හුදෙක් නියෝගයන් ක්‍රියාවේ යොදවන්නියක් පමණි. නියෝගයකට පිටින් වදනක් හෝ දෙඩීම තහනම්ය. එසේ නොවුවා නම් කල යුත්ත ඈ දන්නීය..

**
විශ්ව විද්‍යාලයට සාමකාමී ලෙස පොලිස් ජීප් රියක් පැමිණීම සාමාන්යෙන් විරල දසුනකි. ජීප් රිය ඉදිරි අසුන අරා හුන් පොලිස් අධිකාරි රොහාන් මල්වැන්න තද කල්පනාවකය. පොලිස් විශේෂ බලකායේ සේවය කල සෙසු තිදෙනාද ඔහුට බාධා නොකර හුන්නද රියදුරු අසුනේ සිටි සාජන් රත්නපාල ට නම් ගමනාන්තය සිහිපත් නොකර ඉන්නට නොහැකි විය

"සර් අපි ආව.."

එය නෑසු ලෙස රොහාන් මල්වැන්න පිටුපස හැරී බැලුවේ මිලින්ද රත්නතුංග දෙසය.

"මිලින්ද හිතනවද මේ දේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කළේ කියල.."

මිලින්ද කල්පනාකාරීව උන්නා පමණි. පිළිතුරු දෙන්නට තරම් විශ්වාසයක් තවම ඔහුට නොවිණි

ඊළඟට රොහාන් මල්වැන්න කතා කළේ පොදුවේ සියලු දෙනාටමය

"අපි රවුන්දබවුට් අප්රෝච් එකක යන්නේ . තෙරුනානේ.."

විශ්ව විද්‍යාලයේ සිසු තොරතුරු වලින් අවශ්‍ය සියලු දේ දැනගත් රොහාන් ඊළඟ නැවතුම ප්‍රොෆෙසර් ඊ ඕ ඊ පෙරේරා මාවත ඔස්සේ අක්බාර් ශාලාව වෙතම විය. ඉබිගමනින් ඇදෙන ජීප් රිය එකතැනකදී තිරිංග යොදා නැවතුනේය.

"සර් අර එන්නේ අපේ හාදය නේද" රත්නපාල තුල වුයේ තමා ත් වැදගත් දෙයක් සොයා ගත්තේ යයි සතුටකි

"යැප් " මල්වැන්න ගේ නෙත් යොමුවී තිබුනේ ඈතින් පැමිණෙන සිසුන් දෙදෙනා දෙසටය

**
මේඝනි සිය ජංගම දුරකතනයේ මේ දැන් ලැබුණු කෙටි පණිවිඩය පිරික්සුවාය. " පටන් ගන්න, සියලු දෙය නිවැරදිම විය යුතුයි."
සිය පොත් පත් වත් එකතු කර ගැනීමට වත් පමා නොවුණු ඈ, සිය බෑගය කරලාගෙන මෙලෝ සිහියක් නැතිව පුස්තකාලයෙන් දිව ගියාය. පුස්තකාලාධිපතිනිය හඬ නගමින් තමන්ව නවත්වා ගැනීමට දරන තැත නෑසුනාක් මෙන් ඈ දිගටම දිව ගියාය

**
විශ්ව නැවතත් නෙලුම් යන දෙස හැරී බැලුවේය. ප්‍රියන්ත කෝපයෙන් පිම්බේය.

"බලහං. තෝ පැණි හලන හැලිල්ලට පොලිසියෙනුත් ඇවිල්ලා" ඇතින් පෙනෙන ජීප් රිය පෙන්වා ඔහු විශ්වගේ බාහුවට පහරක් ගැසීය

ඒ සමගම ප්‍රියන්තගේ ජංගම දුරකථනය කෙටි පණිවුඩයක නාදය නිකුත් කළේය. එය කියවූ ප්‍රියන්ත හිස අත ගසා ගත්තේය

"මල කෙලියයි බං. මං අසයිමන්ට් එක දාල ඇවිත්නේ. රුමා පණිවිඩේ එව්වේ. අනේ බන් තරහ නැතුව වරෙන්කො පොඩ්ඩකට දුවල එන්න"

"උඹ දුවල වරෙන්. මම මෙතන ඉන්නං"

නමුත් ප්රියන්තගෙන් විශ්වට ගැලවීමක් නොවිණි.

"වරෙන් බන් කෝලන් නැතුව " කී ප්‍රියන්ත , විශ්වව ඇදගෙන අක්බාර් ශාලාව දෙසට හැල්මේ දුවන්නට විය

**

පොලිස් නිලදරයන් සිව්දෙනා බලවත් සේ නොසන්සුන් විය.

"ඈ අයිසේ .. මොකෝ අර අනික් හාදය අපේ මනුස්සයව ඇදගෙන දුවන්න තියා ගත්තේ."

"උන්ට මොකක් හරි ඉව වැටුන වත්ද සර්" රත්නපාල ඇසුවේ කලබලයෙනි. මල්වැන්න හිස සැලිය.

"එහෙම නං වෙන්න බෑ අයිසේ.. ඉව වැටෙන්න දෙයක් තියෙන්න එපැයි" මල්වැන්න වැකියේ අග කොටසට බර තිබූ තාලයෙන් මිලින්ද එය තේරුම් ගත්තේය

"කමක් නෑ. අපිට මෙතන දවසම කොල්ලන්ගේ කෝලන් බලන්න බෑ නේ. අපි ෆලෝ කරලා අල්ල ගමු" මල්වැන්නගේ මුවින් පිටවනවාත් සමග රත්නපාල රිය රේස් කළේය. ඒසමගම රිය බඳෙහි හැපෙන්නට යන යුවතිය දුටු ඔහු තිරිංග උඩ හිට නොගත්තා පමණි. අනතුර නූලෙන් වැළකිණි

"කොහෙද යන්නේ හලෝ" මල්වැන්න හිස එලියට දා ඇසුවේ කෝපයෙනි. යුවතිය තවමත් පහව නොගිය තැති ගැන්මෙන් , කඳුලින් බරව හඬන්නට වූවාය.

"හරි හරි. ඉට්ස් ඕකේ. ඔය ළමය යන්න " ඈ වදනක්වත් නොදොඩා ඉකිබිදිමින් හැරෙන විට ඇගේ බෑගය ලෙහි , බෑගයේ වූ සියල්ල ජීප් රිය ඉදිරියේ පාර පුරා විසිරුනේය. කෝපයට පත් රත්නපාල රිය සැර දැම්මේ ඒ හරුබස්ස ටික යට කරගෙනම යන්නටය.

"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.

"රත්නපාල, ජීප් එක නවත්තන්න" මල්වැන්න දැඩිව කිවේය.

"දුව ගිහින් අහුලගන්න බඩු ටික" ඔහු යුවතියට කාරුණිකව කිවේය

මේඝනි සිය බඩු බාහිරාදිය එක් කරගන්නා තුරු පොලිස් නිලදරයෝ තවත් විනාඩි පහක් පමණ එතන ඉවසිල්ලෙන් බලා හුන්හ.

Tuesday, February 16, 2016

ඔව් මම එහෙම තමයි. ඇයි ප්‍රශ්නයක්ද?

රොටියාගේ උප්පැන්නයට තොරතුරු දීමේදී සිදුවී තිබූ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා, රොටියාගේ අම්මා රොටියාගේ තාත්තාට නිතර දොස් කියනවා රොටියාට මතකය. ඒ කුමක් නිසාදැයි කුඩා රොටියාට තේරුමක් නොවීය.

රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. එය කුඩාවුන්ට ඒ දිනවල ලොකු මාතෘකාවක් වුනේ එහෙම වාසගමක් තිබුණු පන්තියේ හුන් එකම එකා රොටියා වූ නිසාය.

ප්‍රශ්නය හටගත්තේ තුන වසරේදීය. උප්පැන්නේ රොටියාගේ නමට ඉදිරියෙන් තිබුනේ රොටියාගේ නිල නම් තුන පමණක් වුවත් තාත්තාගේ නම පටන්ගෙන තිබුනේ "අහවල් XXලාගේ " ලෙසය. අම්මාට ගැටළුවක් වී තිබුනේ තාත්තා මොන ඇන්නෑවකට සිය සම්පුර්ණ නමම රොටියාගේ උප්පැන්නය ට ඇතුලත් කලාද යන්නයි. රොටියාගේ අයියාගේ උප්පැන්නයේ තාත්තාගේ නම මුල වාසගමින් තොරවම ලියැවී තිබිණි. ඒ ද අම්මාගේ උවමනාවටය

දන්නදා පටන් රොටියාගේ තාත්තාට තිබුනේ රත්තරන් බඩු කඩයකි. එය සහ වාසගම අතර සම්බන්දයක් කුඩා රොටියාට වැටහුනේ නැත. එය ලෝකය පෙරලන තරමට ගැටළුවක් කරගත්තේ රොටියාගේ පාසලේ ගුරුවරියන් පිරිසකි

උප්පැන්නයේ ඇති පියාගේ නමට ඉදිරියෙන් ඇති වාසගම දරුවාගේ නමට ස්වයන්ක්‍රියව ඇතුලත් වන බවට ඔවුන් ගසන බෙරපද වලට කුඩා රොටියා හැට හතර වන්නම නටන විට රොටියාගේ අම්මා වහාම ප්‍රශ්නයට මැදිහත් වූවාය. ඈ විසින් පාසලට පැමිණ අර ගුරුවරියන් රොත්තට රොටියාගේ නම නිවැරදිව කියා දුන් අතර , මාස තුන හතරකට වතාවක් යෙදෙන පාසලේ වැඩ කටයුතු වලට ලැබෙන සැලකියයුතු මුදලක් අහිමි කරගන්නට අකමැති වූ ඔවුන් හිස වනා එය පිළිගත්හ. එයින් පසු දිනකට තුන් හතර වතාවක් රොටියාව කැඳවා රොටියාගේ අලගිය මුලගිය තැන්වල සිට වාසගම දක්වා විමසමින් රොටියාට සිදුකරන ලද මානසික පිඩාව නිමා විය.

පසුව දැනගන්නට යෙදුනු පරිදි සිය පාසල් සමයේ රොටියාගේ අම්මා මීට වඩා තිත්ත අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ සිය වාසගම නිසාය. තම දරුවන්ට එසේ නොවුණු පිණිස අම්මා සැලකිලිමත් වීම ස්වභාවිකය

සෙල්ලම නැවත පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පංතියේය. නැවත වරක් අම්මාව සිය ප්‍රශ්නයට මැදිහත් කර ගැනීමට අවැසි නොවූ රොටියා ගුරුවරියන්ට අවැසි දෙයක් කරගන්නට ඉඩදී නිහඬ විය. ඒ කලත් පස්සෙන් එලව එලවා වාසගම ගැන වද වුණු ඇත්තියන්ද නොහිටියා නොවේ.

පාසැල්වල් ගුරුවරියන්ගේ තත්වය ඔයාකාරව පවතින තාක් කල් නම් පහත් යයි හණමිටි ගැහුණු වාසගම් ඇති ඇති ළමුන් පාසල් තුල දිගින් දිගටම අපහරණයට ලක්වනු ඇත.

විශ්ව විද්‍යාලය තුලද වාසගම ගැන හොය හොයා ඇවිදින තමුන් උසස් කුලවල යයි කියාගන්නා වයලට්ලා හා අබිලින්ලා ද ඇත්තේය. ඔබට එවැනි අත්දැකීම් ඇත්දැයි නොදනිමි. නමුත් සමහරු පටන් ගන්නේම "අපි නුවර " කියාගෙනය. මේසා නාටකයක් ඉවසාගත නුහුණු එකෙක් අන්තිමේ "යකෝ" යයි පටන් ගෙන "උඹල තමයි මේ රට සුද්දට ලියල දුන්නේ ඩෝ.." (තව දෙයක් ඔහු කියූ නමුත් කාටවත් අපහාස කිරීමට කැමැත්තක් නැති නිසා එය නොලියමි) යනුවෙන් කතාව නිමකෙරූ සිදුවීමක් සම්බන්දයෙන්ද රොටියාට අත්දැකීමක් ඇත (මේ කියන්නේ නුවර සියලු ඇත්තන්වත්, බහුතරය ගැනවත් නොවන බව සැලකිය යුතුය)

රොටියාට නම් කුලය යනු තමුන්ගේ මී මුත්තන් ගැන අදහසක් ලබා ගත හැකි මුලාශ්‍රයක් පමණි. හොරු , මංකොල්ලකරුවන් , මිනීමරුවන් ගැන ඉන් කියැවෙන්නේ නැත

තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්‍රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය

විවාහා කටයුතු වලදීද කුලය ඉදිරියට දමා ගැනීම රොටියාට නම් වහකදුරුය.ඒ ගැන නම් මිට වඩා කතා කරන්න යන්නේ නැත

ඉස්සර නම් වාසගම ගැන අහන එව්වන්ට රොටියා උත්තර දුන්නේ "ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ " කියාය. එවිට රවුන් වන උන්ගේ මුණු බලන්නට රොටියා මාර කැමතිය
රොටියාගේ ආච්චි නම් ඉන්නේ සිය කුලය ගැන මාර ගැම්මෙනි. අහන ඕනෑ අයෙකුට ආච්චි කියන්නේ " අපේ මිනිස්සු තමයි රජාගේ ඔටුන්න පයින් පාගාගෙන හැදුවේ " කියාය. එනිසා දැන් රොටියාද ආච්චිගේ ගැම්ම හිතට ගෙන අහන ඕනෑ කෙනෙකුට තම වාසගම අමුවෙන්ම කියනවාය

ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.

Thursday, February 11, 2016

වැලොන්ටයින් හා ගෑණු ළමයි

මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් "සාදර කෝච්චිද" ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.

සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.

ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය

ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය

කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා "අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා" කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ "ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද" කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය

කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.

රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය

බව්වා : බව් බව්
ගෑණු ළමයා: බව් බව් බව්..
වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???

ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ "unpredictable" ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි

ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි

ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. "අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි" යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි

ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.

සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.
ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්...