Monday, January 30, 2017

නෝටි කොල්ලෙක් වෙන්න එපා රන්ජා...

මෙතුවක් කාලයකට ලොම් හැලුණු බල්ලෙකුට වඩා වැඩි සතෙක් නොහිටි මහජන පුස්තකාලය ළඟ අද සූ ගා සෙනගය.සාන්ත, පීතර, කරෝලිස්, බණ්ඩා, මැගිලින් , සිරියාවතී වගේම එකදාස් නමසිය අනූ පහෙන් පසුව ගෙයින් එලියට බැස්සේ නැති බබුන් සීයාත් එතනය. එවැනි නෙත්කළු , චිත්තාකර්ශනීය දසුනක් දැක දැක නොදැක්කා සේ යෑම ඕපාදූපයට දෙයියෙක් වෙන රොටියාට අකැප දෙයක් වන බැවින් රොටියා ද සින් සින් ගා පුස්තකාලය ලඟට ලෑන්ඩ් කළේය.
පුස්තකාලය නං වහලාය. ජනතාව පේළි ගැසී ඉන්නේ  රජයේ කාර්යාලයක් ඉදිරිපිටය. ඒ දුටු රොටියාට "හික්" ගෑවී, ඉස්මුරුත්තාවට වගේ ආවේය.වහා වහා රොටියාගේ පිහිටට ආවේ එකට පන්තියේ හිටි කිරිබණ්ඩාය.

කිරිබණ්ඩා: ඇයි බං ඉස්පොල්ලේ ගියාද?
රොටියා : දැන් හරි මචං. මොකෝ මේ පැත්තේ
කිරිබණ්ඩා: නෑ මචං මං මේ ඉඩමක පොඩි වැඩක් කරගන්න ආව


ඒ ඇසු රොටියාට කිරිබණ්ඩා ගැන පව් කියා සිතුනේය. කලකට පෙර රොටියාද ඉඩමක පොඩි වැඩක් කර ගන්න මේ ස්ථානයටම ආවා අද මෙන් මතකය.


කළු කමිසයක් හා සුදු කමිසයකින් සැරසී උන් අයෙකු එළියේ මේසයක් ළඟ වාඩි වී පත්තරක් බලමින් උන්නේය. ඒ මේසයේම පසෙක තව දෙන්නෙක් තේ හදමින් උන්නෝය. අවැසිතාව කියූ සැනින් පත්තර මහතා දකුණු අත දකුණට දික් කොට "අතනින් අහන්න " යයි කිවේය
"අතන"  තිබුනේ පිළිගැනීම් කවුන්ටරයක් වගේ එකක්ය. එතැන කීප දෙනෙකු උන් අතර රොටියා සිය අවැසිතාව දෙවන වරට කියූ සැනින් "සාරියක්" ඇඳගෙන උන් නෝනා කෙනෙක් "සමන්තට(ප්‍රියන්ත වගෙත් මතකය)" අඬගැසූ කල, සමන්ත හෝ ප්‍රියන්ත පැමිණි කල කිසිත් නොකියා "බලන්න" යයි පමණක් කීවාය.ඉතින් රොටියාට ඒ සමන්තට හෝ ප්‍රියන්තට සිය කාරිය තෙවන වරටත් කියන්නට සිද්ද උනේය. ඉක්බිතිව ඒ සමන්ත හෝ ප්‍රියන්ත ඒ වැඩේ සඳහා යායුත්තේ කා ලඟටදැයි "උපසේන" මහතාගෙන් විමසු අතර උපසේන මහතා කන්නාඩි කුට්ටම යටින් බැලූ කල රොටියා සිව්වෙනි වරටත් සිය කාරිය පැහැදිලි කළේය.
ඊළඟට මොහොතක් කල්පනා කල උපසේන මහතා "නාමලී" මිස්ව විමසු අතර ඇය සිය දරුවා ගෙන එන්නට ගිය බව කියවුනේය. ඊළඟට "ඉන්ද්‍රානි" මිස් අද වරුවක් නිවාඩුය. "කල්‍යාණි" හිසරදයක් හැදී නිදිය. අන්තිමට ජයග්‍රාහිකාව වුයේ "නන්දාවතී" මිස්ය.

කොරිඩෝ වලත් පුටු මේස දමාගෙන වැඩ කරන ජනතාව වැඩ කරති. විස්සක් ඉන්න පුළුවන් තැන පනහකටත් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නවාය. වැඩ කරන්නේ නං දෙතුන් දෙනෙක් විතරය.

පස්වෙනි වරටත් සිය අවශ්‍යතාව නන්දාවතී මිස් හමුවේ පැහැදිලි කල රොටියාට අවශ්‍ය උපදෙස් නොපමාව ලැබුනේය. අවසාන කාරිය ලෙස රොටියා අයත් ග්‍රාමසේවක වසමේ ග්‍රාමසේවක කාර්යාලයට යායුතු බවට දැනුම් දුන්නේය.ඒ සඳහා නැවතත් රොටියාව පත්තර මහතා වෙත යොමු කරන ලද්දේය.

මේ වන විට සුළු කාලකන්ණි බවක් දැනී තිබූ රොටියා අදාළ කාරිය පත්තර මහතාට හයවෙනි වරට විස්තර කළේය (පත්තර මහතා එය ඇසුවේ දෙවන වරටය). ඒ වනවිට තේ කෝප්පයක් එහෙම බි පොඩි කික් එකකින් උන්නු නිසා පත්තර මහතා පෙරට වඩා හිතවත් කමකින් රොටියා සමග කතා බහ කරන්නට යෙදුනේය. රොටියාගේ ලගිනස්තානය පිළිබඳව විස්තර එකක් නෑර ලබා ගත් ඒ මහතා, අදාළ ග්‍රාමසේවක කාර්යාලය තියෙන්නේ පන්සල ළඟ බව සහතික කොටම කිවේය.

සතුටු සිතින් පන්සල ළඟ ග්‍රාම නිලදාරී කාර්යාලයට ගිය රොටියා දැනගත්තේ මේ "ඉහල" වසමට අයත් කාර්යාලය බවය. එතනින් අසාගත් මග සලකුණු ඔස්සේ රොටියා වතුර ටැංකිය ළඟ පිහිටි ග්‍රාමසේවක කාර්යාලයට ගිය අතර, එතනින් කියවුනේ මෙය "පහල" එක බවත් රොටියා අයිති වන්නේ මැද එකට බවත්ය.

කොහොමින් කොහොමින් හරි වරුවක් නිවාඩු දමා "මේ පොඩි වැඩේ ඉවරයක්" කරන්න හිතා උන් රොටියාට එදා දවසම නිවාඩු දාන්න සිද්ද උනා වගේම ඊළඟ දවස වන විටත් පැවතුනු බරපතල අන්දුන් කුන්දුන් තත්වය නිසා ඒ දවසත් ලෙඩ නිවාඩු දාන්න සිද්ද උනේය

ඉතින් මේ   කිරිබණ්ඩා 
අද ඇවිත් ඉන්නේ රොටියා එදා කාපු පරිප්පුව පෝලිමේ ඉඳගෙන බෙදාගෙන කන්නය.මූ අම්බානෙක පව්ය

රොටියා: ඉතින් බන් මේ පොලින් වල ලැගගෙන ඉන්නේ නැතුව සෙනග නැති දවසක වරෙන්කො
කිරිබණ්ඩා:උඹ මගුලක් කතා කරනවා. මං සෙනග නැති දවස් කීයක් නං ආවද. උඹට කියන්න මට තාම ඉඩම තියෙන්නේ මොන වසමෙද කියල හොයාගන්න බැරි උනානේ
රොටියා: අද නං උඹට ඇතුලටවත් යන්න බැරි වෙයි මචං
කිරිබණ්ඩා:පිස්සු හැදෙයි. අද කී දෙනෙක් වැඩේ කරගෙන ගියාද. අද බැරි උනොත් නං සුම්මා තමයි
රොටිය: ඇයි බං. ඇමතිතුමා ඇවිල්ලද
කිරිබණ්ඩා: මගුලක් කියනවා. ඒ යකා චන්දෙන් පස්සේ ආගිය අතක් නෑ
රොටියා:එහෙනං අගමැති ඇවිත් ඇති
කිරිබණ්ඩා:ඇයි උඹ ඊයේ ප්‍රවෘත්ති බැලුවේ නැද්ද. මිනිහ රටෙත් නෑ
රොටියා:එහෙනං උඹ මෙහෙ වැඩක් කෙරෙන්නේ නෑ කියල පත්තරේ ලිපියක් දාන්න ඇති ටක්කෙටම. (නැත්තන් අපේ ජනාදිපති තුමාම එන්න විදියක් නෑනේ)
කිරිබණ්ඩා:පිස්සුද මචං. මෙතනින් ගිය මනුස්සයෙක් ආයෙත් විහිළුවටවත් මේකේ ලගින්න එයිද.
රොටියා: එහෙනං ඉතින් ඔෆිස් එකේ කට්ටිය දැන් හරියට වැඩේ කරනවා ඇති. හැමදාම මේවා එකවගේ තියෙන්නෙත් නෑනේ
කිරිබණ්ඩා:වැඩකරනවා නෙවෙයි බං. මුන් ටික අද ඉස්ට්‍රයික්. ඒ හින්ද මිනිස්සුන්ට ඔලුව බේරගෙන වැඩක් කරගෙන එන්න පුළුවන් දෙයියනේ කියල



5 comments:

  1. නෝ වර්ඩ්ස් බ්‍රෝ. පට්ටයි. :-D :-D

    ReplyDelete
  2. ඇත්තටම රාජ්‍ය සේවේ මේ තරම් පහලට ගියේ ඇයි කියන එක මට නම් හිතාගන්නවත් බෑ. ඉස්සර රජයේ සේවකයෙක් කීවම සමාජයේ ලොකු පිළිගැනිමකුත් තිබුනා. ඒත් අද. කොටින්ම ඔවුන්ට ඕනේ අනිත් මනුස්සයාට තමන්ගේ ලොකුකම පෙන්වන්නයි කීයක් හරි ගසාකන්නයි විතරමයි.
    රොටියාගේ පැහැදිළිකිරීමත් වටිනවා. මටත් ඔහොම වෙලා මම සල්ලි දීලා තවත් අනාගත්තා. අන්තිමට ඒ වැඩේ කරගන්න ඉලක්කම් පහේ හයේ ඒවාත් දෙන්න උනා. ඇත්තටම හොයලා බැලුවම නඩුවක් දැම්මා නම් රුපියල් දහදායි. එදායින් එදාත් හරි මට නම් ලංකාවේ රාජ්‍යසේවකයෝ කියන්නේ අප්‍රියාම ජාතියක්. උන් ඉහගෙන කන්න ගියාම අම්මා මුත්තාවත් බලන ජාතියක් නෙමෙයි.

    ReplyDelete
  3. රාජ්‍ය සේවයේ තත්වය. පෞද්ගලික කරනන් කියල කියන අයගේ මුලික තර්කයත් ඕක . වැඩක් කරගන්න බැරිවීම.

    ReplyDelete