Friday, January 20, 2017

රොටි වර්ෂන් vs මල් වර්ෂන්

මල්:කෙල්ල අද චිකන් කළුවට උයල, ගොටුකොල සම්බෝලයක් හදල, අල තෙම්පරාදුවක් දාල පරිප්පු හොද්දක් හදල තිබ්බ. චිකන් වලට දාන්න ඕනේ එවෙලේම බැදගන්න පහේ ටිකක් කියල කෙල්ල දන්නවා. දුක් විඳගෙන මේ කාමර කෑල්ලේ තමාත් එක්ක වැටීගෙන ඉන්න කොල්ලට රෑට හරි හොඳට කන්න දෙන්න ඕනේ. හවස ගෙනාපු චොක්ලට් කේක් කෑල්ලක් එක්ක කෝපි ටිකක් බිබී අද ටිකක් රෑ වෙනකන් කතා කර කර ඉන්න කෙල්ල ආසයි.කොල්ල ගෙදර එද්දී දොර ලඟට එනවා කරියේ සුවඳ. කෙල්ල නැළවෙනවා කොල්ල වටේ. එහෙම සරුංගලේ වගේ ඉද්දි කොල්ලාට හරි ආසයි


රොටි:(ගෙදර එන රොටියාට පෙනෙන්නේ දුම්මල වරම අතට ගත්තා සේ කුස්සියට වී ඩෙඟා නටන ගෑණු ළමයාය. දැන් කැපූ කැරට් පොතුද, ලූණු පොතුද විවිදාකාරයේ කොළ වර්ග මෙන්ම හිස් සැමන් ටින් එකක්ද රොටියාගේ දර්ශන පථයට හමුවේ. තමන්ටත් සැමන් කෑල්ලක් හෝ ලැබේ යයි බලාපොරොත්තු සහගතව නෙත් දල්වාගෙන ඉන්නා බලුවාද එහේ මෙහෙ පනිමින් රොටියාගේ ඇඟටද පනිමින් සිටින්නේය)
ගෑණු ළමයා: රොටියා ඔන්න ඔයා කැමති හින්ද නූඩ්ල්ස් හදල සැමන් හදල පරිප්පු තෙල් දැම්මා. ඇඟ හෝදලා කන්න. (එසේ කියා ඈ යකා සේ බාජන හෝදන්නට හැරෙයි.)

මල්:කොල්ල ඇඟ හෝදගන්න ගියා. බාල පයිප්ප කෑලි වලින් ආවට වතුර ටික රත්තරන් වගේ. කෙල්ල පැද්දී පැද්දී ඉන්නවා දොර ලඟට වෙලා සරමයි තුවායයි අරගෙන. කෙල්ලගෙන් එන ජැස්මින් සුවඳ තියෙන ෆේස් වොෂ් එක අරන් කොල්ල ඇහැක් ගහනවා. කෙල්ලෝ උනාම ඔහොම පුංචි පුංචි අඩුම කුඩුම එකතු කරන් ඉන්නවා. (මෙහෙදී මාසෙට විසිදහේ පඩියක් ගන්නා කොල්ලාගේ කෙල්ල හෙන බ්‍රෑන්ඩ් එකක පුංචි පුංචි කළමනා තියන් ඉඳීමේ විසාල සම්බාවිතාවයක් ඇත)


රොටි:හෝදමින් උන් බාජන ටික ඉල්ලන්නට ගොස් ගෑණු ළමයාගෙන් දෙකක් අසාගත් රොටියා හා බලාපොරොත්තු කඩවුණු බල්ලෙකු නාන කාමරයට යයි.රෙදි සෝදා වනා තිබෙනු දකින රොටියා රෙදි හෝදන සේෆ් මැටික් ගා බල්ලාව නාවයි. ඊට අමතරව කෝකටත් තයිලය වගේ සබන් කෑල්ලක් බාත්රූම් එකේ ඇත්තේය. ඒ රොටියාට හා ගෑණු ලමයාටය.

මල්:කෙල්ල දුන්නු සරම දාගද්දී කොල්ල ඇහැකුත් ගැහුව."චි වල් කොල්ලෙක්නේ මේ " කෙල්ල කියනවා. "මම මගේ ගෑණි ළඟ නැතුව එහා ගෙදර ගෑනි ළඟ වල් වෙන්නද" කොල්ලගෙත් හරි කට. දෙන්නත් එක්ක තුරුල් වෙලා වගේ කාමරේට එද්දී කෙල්ල ලස්සනට කෑම මේසයක් දාල තිබ්බ.කොල්ලාව මේසෙන් වාඩි කරවල , ලස්සන සුදු පෝසිලෙන් ප්ලේට් එකට කෙල්ල බත් බෙදන්න පටන් ගත්ත. "අනේ මගේ ගෑනි" කොල්ල ආදරේ උතුරන ඇස් වලින් කෙල්ල දිහා බලනවා."මගේ මහත්තයා හොඳට කන්න. කොල්ලෙක්ගේ බඩ පොඩ්ඩක් තිබ්බට කමක් නෑ" කෙල්ල කියනවා


රොටි: නාගෙන එන විට ගෑණු ළමයා කුස්සිය අස් කර ඉවරය. "කෝ කෑම පෙට්ටි දෙක" ඈ අසයි. රොටියා බෑගයෙන් කෑම පෙට්ටි දෙක ගෙන එයි. ඈ තේ හදන්නට වතුර එකක් ලිප තබා අර පෙට්ටි දෙක හෝදන්න හැරෙයි. ඒ අතරතුර රොටියා කෑම බෙදා ගනියි. උඳුනේ ඇත්තේ ලිප් දෙකක් පමණක් නිසා ඈ බොහෝ විට උයන්නෙ ව්‍යංජන දෙකකි. ඒවා බෙදාගෙන රොටියා කුස්සියේ මේසය මත ඉඳගන්නේ කුස්සියේ පුටු නැති නිසාය. තිබ්බොත් එහෙම කුස්සියේ එහෙට මෙහෙට යන්න වෙන්නෙත් පුටුව උඩින් පැනගෙනය."වැඩිය කන්න එපා. ඔයාගේ බඩ" ගෑණු ළමයා පොල්කටු හැන්දෙන් රොටියාගේ බඩට අනියි.

මල්: කාලා ඉවරවෙලා කෙල්ල චොක්ලට් කේක් කෑලි දෙකක් එක්ක කිරි කෝපි මග් දෙකක් ගෙනාව. කෙල්ල කේක් එක ගත්තේ රාජගිරියේ ෆැබ් එකෙන්. ඒකෙ තියෙන කේක් වල අයිසින් එකේ තියෙන ක්‍රීම් ගතියයි , කේක් එකේ සොෆ්ට් ගතියයි වෙන කොහෙවත් නෑ කියල ඇය දන්නවා. කේක් එක නිකන් මල් වගේ. ඈට හොඳට කිරි කෝපි හදන්න පුළුවන්. මේ කෝපි වර්ගය සාමාන්‍ය කඩවල නෑ. මේක තියෙන්නේ කොළඹ එකම එක තැනක විතරයි චුට්ටක් විතර ගණන්.

රොටි:"මාර වැඩේනේ රොටියා. තේකට කහට පොඩ්ඩක් වැඩි උනානේ" ගෑණු ළමයා විස්සෝප වෙයි. රොටියා ඈ සනසයි. ඊළඟට ඈ එදිනට ඈ විසින් අන්තර් ජාලය පීරා හොයා ගන්නා ලද කුමන හෝ කුණු ගොඩක් කියවන්න පටන් ගනියි. (කරන් ජොහාර් පොතක් ලියල... Dangal රිලීස් වෙලා...ඇම්ඩගේ කතාවක් තියෙනවා..)

මල්:[කොල්ලාට හා කෙල්ලට මුදල් ප්‍රශ්නයක් ඇත.ඒවා ලියන්න මට කම්මැලිය]ඔයා දන්නවද ඔන්න ඇමරිකාවේ හිටියා.. [කෙල්ල මෙහිදී ඇමරිකාවේ දුප්පතකුව හිඳ පසුව කෝටිපතියෙක් උනු මනුස්සයෙක් ගැන කොල්ලාට හෙන විස්තරයක් දිය යුතුය. කොල්ලා ඒ හැම දෙයක්ම හෙනටම ආසාවෙන් අහන් ඉන්නත් ඕනෑය.ඊළඟට කොල්ලාට පට්ට මොටිවේෂන් එකක් දැනෙයි.අවුරුදු විස්සෙන් විතර බැන්දාට කෙල්ලට සිරා ව්‍යාපාරික, සමාජීය දැනුමක් ඇත. ඉතින් කෙල්ල මොටිවෙට් වී ඉන්නා කොල්ලාට හෙට කරන්න ඕනෑ දේත් කියයි] දැන් මහත්තයෝ අපි හෙට ගිහිල්ලා බඩු ගෙනල්ල හදනවා මේ වගේ කේක්. නිකම්ම කේක් නෙමෙයි ස්වාසිලන්තේ ඉන්න චෙෆ් කෙනෙක්ගේ රෙසපි එකකට හදන්නේ. පිටකොටුවෙන් කේක් හදන්න බඩු ගන්න පුළුවන්.අපි මේ කේක් එකට දාන්න ඕනේ හොඳම බටර්. හොඳම සීනි. හොඳම බිත්තර. ඊළඟට අපි ගන්නවා පාවිච්චි කරපු අවන් එකක්. අනිද්දට අපි ගිහින් කඩවලට දානවා අපේ කේක්. දැන් බලන්න අපිට එක කේක් එකකින් රුපියල් සීයක් ලාබ තියාගෙන කිලෝ එක පන්සීයට දෙන්න පුළුවන්. මට පුළුවන් දවසට කේක් පනහක් හදන්න. එතකොට දවසේ ලාබෙ පන්දහයි. මාසෙකට අපිට ලාබෙ විතරක් තියනවා එක් ලක්ෂ පනස්දාහක්.[මුන් දෙන්නාට කේක් හදන අටෝරාසියක් බඩු ගන්න සල්ලිද කොහොම හරි ලැබෙන අතර, කේක් හදලා දෙනතුරු බලන් ඉන්න කඩහිමියන්ද ඇති බව ඔබ සිතා ගත යුතුය]

රොටි:රොටියා "හෙට වැඩට යන්න ඔයා ළඟ සල්ලි තියනවද." ගෑණු ළමයා අසයි. මාසයේ අගදී ලැබෙන පඩි දෙකම මුල් සති දෙකේ දියවී යන්නේ මහ පුදුමාකාර ලෙසය. සරලව කිව්වොත් රොටියාගේ බල්ලා මාසයේ අග සතියේ කන්නේ රෝයල් කැනින් ය. බොන්නේ ෆ්‍රෙෂ් මිල්ක්ය. ඊළඟ සතියේ ඌට ලැබෙන්නේ වතුර දමා තනුක කල ෆ්‍රෙෂ් මිල්ක්ය. කන්න ලැබෙන්නේ පෙඩිග්‍රී ය. ඊළඟ සතිය වන විට ඌ බත් කන්නට පුරුදු වෙන අතර සුදු පැහැති වතුර කෝප්පයක් බිමට ලැබෙයි. අවසාන සතියේ නම් ඌ බොන්නේ සීනි වැඩිපුර දැමු කහට තේය.

මල්:[කොල්ලා රක්සාවෙන් අස්වන්නට තීරණය කල බවද, හෙට සිට බිස්නස් එකට බහින බවද, ලබන මාසයේ කොහොම හරි වාහනයක් ගන්න බවද කියමින් හෙන සෙන්ටිමෙන්ටල් සින් එකක් යයි.] මගේ ගෑණි තමයි ගෑනි. කොල්ල කියන්නේ ඇත්තටමයි. ඔහුට මහ බලගතු හැඟීමක් දැනෙනවා පටන් ගන්න යන වැඩේ ගැන. ඒ විස්වාසේ තියනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. කොල්ල හිතන්නේ එහෙමයි. [ඊළඟට මුන් දෙන්නා ඇඳට යන අතර විලිසංගයක් තියෙන නිසා රොටියා ඒ කතාව මෙතනින් හමාර කරනවාය]

රොටි:"රොටියා එහෙනං මං හෝදගෙන එනකන් ඔයා ඇඳ අස් කරලා ගේ අතුගානවද" ගෑණු ළමයා අසයි. රොටියා එකඟ වෙයි. ඈ එනවිට රොටියා ඉන්නේ හතර වටේට මේල් යවමින්, හෙට මිටිමට ප්‍රසන්ටේෂන් හදමින්ය. ඈ ඇඳට වැටි පොත් කියවයි. සිය වැඩ නිමා කල රොටියා වහලයට මනමාල හිනා පා ලැපාව නිවන විට බල්ලා ඇඳට පැන හරි බරි ගැහෙන්නේ රොටියා හා ගෑණු ළමයාට මැද්දෙන්ය. පාන්දර වන තුරු ඌ බිමට බස්සනවාට වඩා ලේසියෙන් ඌට සිංහලෙන් කතා කරන්නට උගන්නන්න පුළුවන්ය.

15 comments:

  1. ඔය බල්ලව දීපං ලමෙයෙක්ට. එල කිරි කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඌ ඉන්නේ ළමය වගේ. ඉතින් ඌව දීල කොහොමද

      Delete
  2. මං නං ගහනවා බල්ලට පයින් එකක් බිත්තියේ වැදිලා එලියට විසික් වෙන්ඩ

    ReplyDelete
    Replies
    1. එහෙම ගහන්නේ කොහොම්ද බං. දුකට සැපට අපිත් එක්ක වැටීගෙන ඉන්න එකාට.

      Delete
  3. කෙසේ හෝ රොටියා අලුත් කතාවක් දමා ඇත.

    බලල කන බොන හැටි තමයි නියම. බල්ලන්ට වැඩිපුර සලකන්නට හොඳ නැත. වැඩිපුර සලකන්නට ගොස් රොටියා කොරගෙන තියන හරිය හොඳටම ඇතිය.

    ReplyDelete
    Replies
    1. හැක හැක. ඌට සලකන විදිය ඔය පොඩ්ඩයි ලියල තියෙන්නේ

      Delete
  4. Replies
    1. අයෙත් අහල. ඔය බල්ලා හින්ද වෙච්ච සමහර දේවල් කොච්චර කුජිතද කියනවා නං කටක් ඇරලා කාටවත් කියන්නවත් බෑ ඕන්

      Delete
  5. බල්ලට උනත් ඉවසීමක් තියෙනවනේ........කාලා බීලා ඉවරවුනාම වෙන දේ ඌ දන්නවා.

    ReplyDelete
  6. රොටියගේ කතාවක් කියෙව්වම හිතට දැනෙන සනීපෙ..

    ReplyDelete