Wednesday, May 3, 2017

කුන්ඩුමනී

කුන්ඩුමනී ඊයේ යද්දී අද උදේම එනවයි කියල කිව්වා. එයත් එක්ක අර අනිත් වහන්තරාවත් එල්ලිලා එයි. හැබෑටම මාසයක් තිස්සේ දැකලත් මට තාම බැරි උනානේ ඒ කොල්ලෙක්ද එහෙම නැත්තන් කෙල්ලෙක්ද කියල අඳුන ගන්න. මොකෙක් උනත් මගේ මොකෝ...

කුන්ඩුමනී ගේ හරි නම කේතුමතී කියල එයා දැන් මට එකසිය පනස් එක් වතාවක් කියල තියනවා. ඒ වෙලාවට මම බොරුවට ඔලුව හෙලෙව්වට මම ආයෙත් එයාට කියන්නේ කුන්ඩුමනී කියලම තමයි. එයා කුන්ඩුමනී මිසක් කේතුමතී වෙන්න විදියක් නෑ.

මිනිහෙක්ට නින්ද යන්නේ නෑ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විශේෂයෙන්ම මං වගේ මිනිහෙක්ට. දවාලට නං බලන් ඉන්න එලිය හරි තියෙනවා. ඒත් රෑට...

සතියක් තිස්සේ එක බින්දුවක් ඇහැ පියවන්නේ නැතුව හිටියා කිව්වම... දොස්තර දුන්න පෙති හැටහුටාමාරෙන් එකකටවත් බැරි උනානේ මාව තප්පරයක් නිදි කරවන්න
ඇහැ පියවෙද්දී අවුරුදු තුනහමාරක පොඩි ගෑනු ළමයෙක් සෙල්ලම් බෝනික්කෙක් තුරුල් කරන් මං දිහා බලාගෙන හිනා වෙනවා. එයාගේ අම්මා යටිගියෙන් කෑ ගහනවා. මං ආයෙත් ඇස් අරිනවා. ගෑනු ළමය යන්න යනවා.

කුන්ඩුමනීව දැකපු මුල් දවස මට හොඳට මතකයි.

"මං කේතුමතී.මං නිලියක්" එයා කිව්වේ මේ ලෝකේ ඉන්න හැමෝම එයාව දැනගෙන ඉන්න ඕනේ ස්වරයකින්.
මං උත්තර නොදී එයා දිහා බලාගෙන හිටියා.
"මාව ටීවී එකේ දැකල නැද්ද" මගේ කාමරේ තිබ්බ ටීවී එක දැකලද කොහෙද එයා ඇහුවා.
මේ දවස්වල ටීවී එකේ ඉන්න නිළියන්ට වඩා ස්වාසිලන්තයේ නිලියෝ ටික මතක තියා ගන්න ලේසි බව මම එයාට කිව්වා. එයාගේ මුණ රතුවුනත් බලහත්කාරයෙන් හිනාවක් මවාගෙන මං දිහා බලාගෙන හිටියා. නිළියෝ කියන්නේ නිකංයැ.

මුල් දවස්වල එයා කීප වතාවක් මගේ කාමරේ ලඟට ආව ගියා. මාව කතාවට අල්ල ගන්න හැදුවත් මම එයාව ගණන් ගත්තේ නැහැ.
ඊළඟට මං සෙල්ලන් කරන තැනට ඇවිත් කැමරාව අටවන් හිටියා. මාව ගණන් නොගෙන එහා පැත්තේ හිටිය උන් දෙන්නත් එක්ක කතා කරන බව පෙන්නුවත් එයා මගේ සියලුම ඉරියව් නිරීක්ෂණය කරන බව මට දැනුනා. එයා උන්ගෙන් මං ගැන ඇහුව නං ආයෙත් මගෙත් එක්ක කතාවට එන එකක් නෑ. ඕකුන් මං ගැන කියන කතා මං දැනන් හිටිය. මොකද උන් ඒවා කිව්වේ මගේ මුණටමයි. මම ආපු අලුත මදි නොකියන්න ගුටි කෑවා. දැන් නං උන් මාව අතෑරලා ඉන්නේ. ඒත් එකෙක්වත් මාත් එක්ක කතාවක් නෑ
.
මට ජෙනා ඉන්නවා. ඒ කියන්නේ අර පොඩි ගෑනු ළමයාගේ නම. ඒත් එයත් මගෙත් එක්ක කතාවක් නෑ.

කුන්ඩුමනීට මගෙත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියන්න ඕනේ උනා. අවුරුදු ගානක් කතා කරන්න කෙනෙක් හිටියේ නැති මම ඒකට කැමති උනා.

මෙහෙ බාබරයෙක් හිටියට ඌ මගේ කොන්ඩේ කපන්න කැමති නෑ. නොකපම බැරි නිසා ඌ කැපුවත් ඊට වඩා හොඳට මට තනියෙන් කපා ගන්න පුළුවන්. අනෙක ඌ කොන්ඩේ කපන මුළු වෙලේ අනෙක් එවුන් එක්ක කියන කතා අහද්දී මට යටිගිරියෙන් කෑ ගහන්න ඕනේ වෙනවා.දැන් මම කොන්ඩේ බඳිනවා.

කෝරි මට හිනා වෙනවා. කෝරි කියන්නේ ජෙනාගේ අම්මා. මම හැම උපන්දිනේටම කෝරිට සුබපැතුමක් යවනවා.අන්තිම අවුරුදු වල ඒ යවන සුබපැතුම ආපහු මටම හරවල එවනවා. "එහෙම කෙනෙක් මෙම ලිපිනයේ පදිංචි නැත" කියල රතුපාටින් ලියල. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි පදිංචියට යන්න ඇති. මම එයාට උපන්දින සුබපැතුමක් යවනවය කියල කෝරි දන්න බව මට විස්වාසයි.

කුන්ඩුමනී දොඩම් පාට ගවුමක් ඇඳන් කකුලක් පිට කකුලක් දාගෙන , ෆයිල් එකකුත් උකුලේ තියාගෙන වාඩිවෙලා ඉන්නවා. එයා ඉස්සරහ තියෙන අනික් පුටුව මට වෙන්නැති.

මේ කෙහෙල්මල් පුටුවේ වාඩි උනාය කියල මම කුන්ඩුමනීට මොනවා කියන්නද. මට පේන හීන, ජෙනා, කෝරි ගැන කියන්නද..

ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඔයා. ඒ ගැන මොකද හිතෙන්නේ.

මම එයාට කිව්වා ඒ ගැන මට තියෙන්නේ සතුටක්ය කියල. මම විඳින්නේ මරණීය වේදනාවකටත් වඩා ලොකු වේදනාවක් කියන දේ මම එයාට පැහැදිලි කළා."මම හිතන්නේ ඔයාට මම කියන වේදනාව තේරුම් ගන්න බෑ"

"ඔව් , මට බෑ" කුන්ඩුමනී කිව්වා.

ඒක ගැන ඔයා සංතෝස වෙන්න. ඒ වගේ වේදනාවක් දැනුනොත් ඔයා ස්වාසිලන්තෙටත් වැඩක් නැති නිලියක් වෙයි.

ඇයි ඔයා කෝරි ගේ උපන්දිනේට කාර්ඩ් එකක් යවන්නේ

මම එයාගේ ජිවිතේ කොටස්කාරයෙක්. ඒක නැහැයි කියන්න කාටවත් බැහැ. එයත් මගේ ජිවිතේ කොටස්කාරියක්. අපි දෙන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ ජිවිත වලට හවුල් උනා.

ඒත් ඔයා ජෙනා ට කාර්ඩ් එකක් යවන්නේ නෑ නේද

ජෙනාගේ උපන්දිනේටත් මම හැමදාම සුබපැතුමක් ලියන බවත් ඒක තැපැල් නොකරන බවත් මම එයාට කිව්වා.

කුන්ඩුමනී ඔලුව වැනුවා. "ඔයා පසුතැවෙනවද සිද්ද වුනු දේ ගැන"

"පසුතැවෙනවද?". මම මුල් වතාවට එයාගේ ඇස් දිහා කෙලින් බැලුවා. "මම හැම තත්පරයකම මැරී මැරී උපදිනවා. මට හිතා ගන්න බෑ මම එහෙම දෙයක් කලේ කොහොමද කියල. මම දවස් ගාණකින් ගෑනියෙක් ලඟට ගිහිං තිබ්බේ නෑ. මං ළඟ සල්ලි තිබ්බෙත් නෑ. මට ඕනේ උනේ ගෑනියෙකුයි සල්ලියි විතරයි. පළවෙනි ගෙදරට ගිහිං වතුර එකක් ඉල්ලුව. වතුර වීදුරුව දුන්නේ පිරිමි කෙනෙක්. මම ඊළඟට ගෙවල් දෙකක් ඇරලා තුං වෙනි ගෙදරට ගියා"

මං දීර්ග හුස්මක් පිටකරල ඇස් දෙක පියා ගත්තා. මට එදා සිද්දිය මැවිලා පෙනුනා.රෝස පාට ගවුමක් ඇඳන් දුඹුරු පාට වලහෙක් තුරුල් කරගෙන හිටිය ජෙනා දොර අරිනවා මට මැවිලා පෙනුනා. දත් දෙකක් වැටුණු කටෙන් හිනා වෙලා එයා කෝරිට කතා කළා. මගේ පිහිය දිලිසෙනවා මට පෙනුනා. කෝරි දඟලනවා මට දැනුනා. ජෙනා අන්තිමට මං දිහා බලාගෙන හිටිය විදියටම තාමත් බලාගෙන ඉන්නවා.

ඔයා මුලින්ම කිව්වේ ඒ දේ කලේ ඔයා නෙවෙයි කියල. ඔයා පොඩි ළමයින්ට හරි ආදරෙයි කියලත් කිව්වා

මං හිස් බැල්මෙන් එයා දිහා බලන් හිටියා. ඒ සිද්දිය, ඒ බොරුව, ඒ ඇපෑල , අද මම විඳවන විඳවිල්ල මම එයාට කොහොම තේරුම් කරන්නද. මට කියන්න තියෙන්නේ කෝරිගේ පවුලේ අයට, එයාගේ ලොකු දුවට, එයාගේ මහත්තයට මට සමාවෙන්න කියල විතරයි. ඒත් මම ඒ අයගෙන් කොහොම සමාවක් බලාපොරොත්තු වෙන්නද

ඔයා ඔයාගේ දෙවැනි ඇපෑල අවලංගු කලේ ඒකද

මේ වගේ මරණීය වේදනාවක් විඳ විඳ ජීවත්වෙලා ඉද්දි, ජිවිත කාලය තව මොහොතක් හරි දික් කරගන්න හිතන එක, ස්වාසිලන්තේ නිලියක් වෙන්න හිතනවටත් වඩා විහිළුකාරයි කියල මම කුන්ඩුමනීට කිව්වා


1 comment:

  1. මොළේ කොලොප්පන් වෙනවනේ බං....
    හැබැයි ලස්සනට ලියල තියනව.
    කසාද බැන්දට පස්සෙ මිනිස්සුන්ගෙ වයර් ටැපලෙනවද කොහෙද.

    ReplyDelete