Sunday, March 1, 2015

ලඟදි බඳින ඔබට රොටියාගෙන් උපදෙස්

පහුගිය දිනවල රොටියාගේ ගෑණු ළමයා කරලියට නොපැමිණියේ මන්දැයි බොහෝ දෙනෙකුට ගැටළුවක් වූ බව රොටියාට පැහැදිලි වූයේ ප්‍රතිචාර වලිනි. හේතුව මේ දිනවල ගෑණු ළමයාට කුස්සියෙන් එලියට ඒමට කාලවේලාවක් නැතිවීමය. කසාදයට පෙර විවිදාකාර අරුමෝසම් කෑම බිම මිසෙක හරි හමන් විදියකට බතක් පරිප්පුවක් උයා නැති ඈට, බොහෝ විටක පලවෙනි බත් මුට්ටිය ඉවත දමා දෙවැන්න ඉවිමටද , රෝස් වී කරකුට්ටන් වූ මාළුපිණි ප්‍රතිසංස්කරණය කිරීමටද ගිය කල්හි , දවසින් වැඩි කොටස කුස්සියේ රැඳී ඉන්නට සිදුවීම ස්වාබවිකය

ඈ කුස්සියේ ඉන්නේ යකා වගේය. කෑම පදම වැරදී ගොස් ඩෙඟා නටන ස්ත්‍රී රත්නයකට උදව් කිරීමේ ආදීනව රොටියාට වැටහෙන්නේ දැන් දැන්ය. ඒ නිසා හොඳම දේ , කන් දෙකහි දමා ගත් ඉයර් ෆෝනයෙන් යුතුව පැත්තකට වී සිටීමයි. එවිටද ඔබ අන්තරායෙන් සම්පුර්ණයෙන්ම මිදී ඇතැයි රොටියා කියන්නේ නැත. බොහෝ විට ඔබව සොයා පැමිණ කොක්කට සෙට් වීමට ඉඩ ඇත. ආරක්ෂක විදි අනුගමනය කරොත් ඔබට මදක් ආවරණය විය හැක්කේය

කසාදයක් පටලවා ගත් ඔබට බොහෝ විට පළමුවෙන්ම අසන්න ලැබෙන ලතෝනිය නම් ඔබ ළඟින් මහා හඩු ගඳක් හමන බවයි.කසාදයෙන් සිව්වැනි දවසේ මියෙකු මෙන් නිවාස පුරා ඉව කරගෙන ගිය රොටියාගේ ගෑණු ළමයා, කුණු ගඳක් හමන්නේ රොටියාගේ ඩෙනිමෙන් බව සොයා ගැනීමට යෙදුනු අතර, එයින් පසු ඩෙනිමට හා රොටියාට ටිකට් එක ඇදුණාය

වෙනදා දෙතුන් වරක් අව්වේ වේලෙමින් නොසෝදා අඳින පළදින ඇඳුම් කැඩුම් , දැන් වරක් හැඳ හමාර කල විගස රෙදි කුඩයටද, එතනින් රෙදි වැලටද යන්නේ රොටියාගේ විරෝදය තුට්ටුවකට මායිම් නොකරය.අල්මාරියකුත් තව බාගයක් රෙදි පුරවාගෙන ඉන්නා ගෑණු ළමයාට නම් මේ ක්‍රමය ගැලපෙන නමුත් මේ නිසා අසරණ රොටියාට එහෙමපිටින්ම අලුතෙන්ම කමිස තුනක් සහ කලිසමක් මිලදී ගැනීමට හේතු උනාය. බයානකම දේ යට කලිසම්ය...

ලඟදි බැන්ද රොටියාගේ මිතුරෙක් දිනක් සිය ප්‍රිය බිරින්දෑගේ යට ඇඳුමක් ඇඳ වැඩට යන්නට යෙදුනු බව කිවේ ඌමය.රොටියාගෙන් හතරෙන් එකක් පමණ වන ගෑණු ළමයාගෙන් ගොඩ යාම රොටියාට සිහිනයක්ම වන නිසා කසාදයට පෙර හතරක්ව තිබූ රොටියාගේ යට ඇඳුම් ගණන මේ වන විට පහලවක් බවට වැඩිවී ඇත

ගෑණු ළමුන් බොහෝ විට පිරිමින් වූ අප ඌරන් මෙන් අපිරිසිදු යයි බිතිකාවකින් පෙලේ. ඒ නිසා ඔබේ ගෑණු ළමයා ඔබව ජීවානුහරණය කිරිමට අවැසි ලට්ට ලොට්ට පොදි බැඳගෙන නාන කාමරයේ ගොඩ ගසනවා ඇත. රොටියාගේ ගෑණු ළමයා නම් මින්ද නොනැවතී රොටියා ඇඟ සේදීමට ගතවන කාලය සහ සේදීමේදී ඇතිවන ශබ්දයන්ද ගණන් තබාගෙන සිටිනවාය

ගෑණු ළමයා: රොටියා. ඔයා ඔය නියපොතු මදින්නේ පෆ් එකෙන් නේද.. බ්‍රෂ් එකෙන් මදින්න . බ්‍රෂ් එකෙන් මදින්න

ගෑණු ළමයා : රොටියා ඔයා රෑට තේ බිල කට හේදුවේ නෑ නේද..

ගෑණු ළමයා: ඊයායා.. ඔයා ඊයේ ඇන්ඳ කොට කලිසම අදත් ඇඳලා.

ගෑණු ළමයා: ඔයා ගාව තාම ගඳයි. ආපහු සැරයක් ඇඟ සෝදන්න..

ඕවා ඔහොමය. ඕවාට පිළිතුරු දෙන්නවත්, අනෙක් අතට ගෑණු ළමුන් කරන මෝල් වැඩ ගැන ප්‍රශ්න කරන්නවත් ගියහොත් නම් බඩු හම්බවෙනු ඇත. හොඳම දේ කට වහගෙන පැත්තකට වී සිටීමයි..

-මතු සම්බන්දයි-


Wednesday, February 18, 2015

බස් හා හුඹස්

පහුගිය දිනෙක ඇස ගැටුණු පුවතක දැක්වූයේ හැටන් - මහනුවර බසයක දොර අසල සිටගෙන ගමන් කල ගැබිණි කාන්තාවක්, රථය වංගුවක් ගන්නවාත් සමගම බසයෙන් එලියට විසිවී ගොස් ඇති බවයි. ඇය තවම දැඩි සත්කාර ඒකකයේය. ඇයට ඉක්මන් සුවත් සිගිත්තාට නිරෝගී සුවත් මුලින්ම පතන්නෙමි

බොරැල්ලේ පිහිටි ආයතනයක සේවය කරන, හලාවත පදිංචිව සිටින, දිනපතා නිවසේ සිට පැමිණෙන , ගමනා ගමනය සඳහා පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නා අයෙකුට, නිවසට යාමේදී ගමන් කල හැකි ආකාරයන් කිහිපයක් ඇත

1. මරදානට ගොස් දුම්රියෙන් - අසුනක් නැත
2. කොටුවට ගොස් දුම්රියෙන් - සමහර විට අසුනක් ඇත
3. පෑලියගොඩට ගොස් බසයෙන් - අසුනක් නැත
4. කොටුවට ගොස් සුපෝඛබෝගී බසයේ - අසුනක් ඇත
5. කොටුවට ගොස් සාමන්‍ය සේවා බසයෙන් - අසුනක් ඇත

ඔක්කොම පැත්තකින් තබා මින් 5 වැනි විදිය තෝරා ගන්නේ ආතල් එකට නොවේ. කොටුවට ගොස් සාමාන්‍ය ගමන් සේවා බසයකට නගින මගියෙකු බොහෝ විට අරමුණු කරන්නේ මුදල් අඩුවෙන් ගෙවා , ගමනාන්තය කෙසේ වෙතත් ගමනෙන් හතරෙන් තුනක් වත් ඉඳගෙන යාමයි. අසුන් සියල්ලම පිරි ඇති දුර ගමන් බසයකට , පංචිකාවත්ත හරියෙන් ගැබිණි මාතාවක් හෙම නැග්ගොත් අර අසුනේ ඉන්නා එකාට දෙයියන්ගේම පිහිටය. හාමුදුරු නමක් නැග්ගත් ඒ සන්තෑසියමය

දුර ගමනක් යන විශේෂ අවශ්‍යතා ඇත්තෝ - ඒ කියන්නේ ගැබිණි මව්වරු , පුජක තුමන්ලා පොඩ්ඩක් කල්පනා කොට , අදාළ බසය ගමන ආරම්බ කරන තැනටම ගොස් නැග්ගොත් කවුරුවත් අපහසුතාවයට පත්වෙන්නේ නැත්තේය. හැම අවස්ථාවකම මෙය ප්‍රායෝගික නැත. නමුත් හැකි සෑම විටකදීම වත්...

ගැබිණි මව්වරු හෝ කුඩා ළමුන් වඩාගෙන ඉන්නා මව්වරුන් නම් බොහෝමයක් හිතාගෙන ඉන්නේ තමුන්ට අසුනක් ලබා දීම විය යුත්තක්ම ලෙසටය. සැබෑවකි. එය විය යුත්තක්මය. නමුත් අසුන් දුන් එකාට පොඩි හෝ ඉස්තුතියක් ඇත්නම් , බසින විට නැවත දුන් තැනැත්තාටම අසුන ලබා දී යනවා නම් කොච්චර සුන්දරද..

මුල් පුවත ගැන සැලකුවොත් අදාළ මව සිට ඇත්තේ පාපුවරුවේය. පාපුවරුවේ ඉන්නා කාන්තාවක් ගැබිනියක්ද නැත්දැයි වාඩි වී සිටිනා මගීන්ට පෙනෙන්නේ නැත. වරද ඇත්තේ කොන්දොස්තර අතය.

ඒත් කොන්දොස්තරද බලෙන් මගින් නංවා ගන්නේ නැත. තමාගේ තත්වය දන්නේ තමන්මය. සුදුසුම දෙය නම් කෙටි ගමන් බසයකින් අදාළ තැනටම යෑම හෝ කෙටි ගමන් බසයන් කිහිපයක් මගින් අදාළ තැනට යාමයි. ගතවෙන කාලය වැඩිය. ඒත් කරන්නට දෙයක් නැත.

කිටිටියේ තෙරපෙන බසයක සෙනග නුදුටුවා සේ නගින්නේ නැතිව, ඒ මවට තව ටිකක් කල්පනා කරන්නට තිබිණි

කිසිසේත්ම මෙතනට අදාළ නැත. නොකිව්වොත් කට කහන නිසා මෙසේද ලියමි

*ජිවිත කාලය පුරාම අරක්කු වලින් යැපුණු බේබද්දෙකු අසනීප වූ විට වෙනකෙකුද අගතියට දැමීමට සුදානම් වෙමින් පරිත්යාගියෙකුගේ ශරීරාංග යදින විට, එය නො දුන්නේයැයි යයි කියමින් කාටවත් දොස් නැගීම සාදාරන නැත. පින්වත් අයෙකු එය ලබා දුන්නොත් ඔහුව අගය කල යුත්තේය.

**බැරි වන විට, "අපි පුළුවන් කාලේ සල්ලි ගොඩ ගහගත්තේ නෑ. හම්බ කළේ මිනිස්සු.. ඒකයි අපට තාම ගෙයක්වත් නැත්තේ.." යයි පැවසීම උදම් ඇනීමක් හෙම නොවේ. එවැනි අයට උදව් කිරීමට අනෙක් මිනිස්සු බැඳී නැත්තේය. "ඉස්සර මං උදව් කරපු අය දැන් මං දිහා බලන්නේවත් නෑ.." කීමෙන් පෙනෙන්නේ කියන තැනැත්තා අමු මෝඩයෙක් බවයි

රොටියාට හිතෙන්නේ නම් ඔහොමය. උදව් කිරීමට කැමැත්තෝ අනෙක් අයට උදව් කරති. එසේ නොවුනේයැයි කියා කාටවත් නගන්නට බැරිය. අප ගැන අප විසින්ම බලා ගත යුත්තෝය


Thursday, February 12, 2015

අපිත් ත්‍රීවිල් වර්ජනය කරමු ! (ද?)

ලිපියට මාතෘකාව සැපයුවේ උදේ කනවැටුණු සිංහ එෆ් එම් හි විකාශය වුනු වැඩසටහනක් ය

රොටියා ද දිනපතා , උදේ හවස ඔෆිස් යන එන වැඩ කරන ජනතාවගෙන් එකෙකි

මේ රටේ වැඩකරන ජනතාවට , බොහෝ විට අමාරුව ඇත්තේ වැඩ සම්බන්දව නොව ප්‍රවාහනය සම්බන්දවය. උදේ අටහමාරට , නවයට සැනසිල්ලේ සේවයට වාර්තා කරන , හතර වන විට ඔපිසියෙන් පැනවිත් දුම්රිය, සී ටි බි බස් අරක් අරගෙන, අනෙක් එව්වන්ට ඒ පහසුකම් බාවිතා කිරීම එපා කරවන රාජ්‍ය සේවයේ බහුතරය ගැන නොව (බහුතරය යන්න යටින් ඉරක් ගසාගෙන කියවන්න) රොටියා මේ කතා කරන්නේ ඇත්තටම වැඩ කරන ජනතාව ගැනය.

කාර්යාලයට යාමට රජයේ ප්‍රවාහන සේවා බාවිතා කරන්න හැකි නම් මල් හතය. ඒවා කොටන්නේත් නැත. ලතවන්නෙත් නැත. වියදමද පහසුය. ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්වා සේ තියෙන එකෝම එක පරහ අර ජාතියේ එව්වන්ය. උන් හතර වදිද්දී පැනගෙන විත් ආසන බදු ගනිති. දුම්රිය නම් ගමන් වාරයට පෙර ඉස්ටේසමේ නවතා ඇති විට. ගමන් වාරය ඇරඹුණු පසු ලඟපාත හිස්ව ඇති අසුන් අත පය බෑග් ලේන්සු (පුළුවන් නම් මේ සඳහා උන් අහවල් ඒකත් පාවිච්චි කරනවා ඇත) වලින් වසාගෙන දන්නා උදවියව ඒවායේ වාඩි කරවා ගැනීමට වලි කති..

දුම්රියේ ගමන ගැන කියන්නට ගියහොත් එය වෙනමම පොස්ටුවක් වන නිසා දැන් රොටියා මාතෘකාගත වෙනවාය.කතා කරමින් උන්නේ ගමනාගමය ගැනය..

බස්රියේ ගොස් ඇතිවුණු එකා ඊ ලඟට දුම්රියට පැන එහිවත් යන්න පුලුවනිදැයි විමසා බලයි. දුම්රියේ ඇති උප සංස්කෘතියට හැඩ ගැසිය හැක්කේ නම්, ජිවිත කාලය තුල දුම්රියේ ගමන ඇත හරින්නේ ඌ හෙම නොවේ. සින්දුවක් කියා, කාඩ් අතක් සෙල්ලම් කර, මොනවා හෝ බඩට දාගෙන..

ඒකත් දිරවා ගත නොහැකි සුළුතරයට ඉතිරිවන්නේ කියක් හෝ වැඩිපුර දීගෙන හෝ කාර්යාල ප්‍රවාහන සේවයකට ගොඩවන්නටය. ඔපීසිය ඉදිරියෙන්ම යන එකක් ලැබුනොත් නියමය. ඒත් බොහෝ විට කාර්යාල ප්‍රවාහන සේවයෙන්ද ගොස් ස්වල්ප දුරක් බසයෙන් යන්නටද සිදුවේ

තුන් සක රිය පිහිටට එන්නේ ඔන්න ඔවැනි වෙලාවටය. ඒ කියන්නේ නියමිත වෙලාවට , නියමිත නැවතුමකට පැමිණෙන කාර්යාල ප්‍රවාහන සේවය හෝ දුම්රිය හෝ (කලාතුරකින්) බස්රථය මගහැරී වල්මත් නොවෙනු පිණිස නුවණැත්තෝ තුන් සක පාවිච්චි කරත්! එහි ආනිසංස මෙසේය

1. පොදු ප්‍රවාහන සේවයට වඩා ඉක්මන් වීම - ඒත් සමහරක් රියදුරෝ යන්න යන්නේම වම් ධාවන තීරුවේ බසයක් පිටුපස කොටමින්මය. උන් හිතන් ඉන්නේ මිනිස්සු මුදල් ගෙවා ත්‍රිරෝද රියෙහි යන්නේ වාඩි වී හුලන් වැදී වැදී ආතල් ගැනීමට කියාය. රොටියා නම් පළමු අනතුරු සංඥාව නිකුත් කර , දෙවැනි වතාවේ රථය නවතා ගිය දුරට මුදල් ගෙවා වෙන අතක් බලා ගන්නවාය.

2. වාහන තද බද වලදී රිංගා යා හැකි වීම

3. අතුරු පාරවල් වලින් යත හැකි වීම

4. වැසි වෙලාවට

5. අසනීප වෙලාවට

හොඳය. ඒත් ඔක්කොම නොවේ. සාධාරණ විනීත රියදුරන් අතලොස්සක් සිටියද යට කියන ඒවා ගැන නම් කතා නොකරම බැරිය

2000 CC එන්ජින් දාරිතාවයකින් යුත් රොටියාගේ වාහන ය පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 8 ක් දුවන්නේ හොඳටම කොට කොට ගියොතින් පමණක්ය. බොහෝ විට ලීටරයකට කිලෝමීටර 10ක් දුවයි (කිලෝමීටරයට රුපියල් 14 යි )

1500 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මස්සිනාගේ වාහනය ලීටරයකට කිලෝමීටර 15 -16 අතර ප්‍රමාණයක් දුවයි. නරකම වේලාවකදී නම් 12-14 ත් අතර ප්‍රමාණයක් දුවයි(කිලෝමීටරයට රුපියල් 9 යි )

800 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මිතුරෙක්ගේ වාහනය නිදහස් ගමනකදී නම් ලිටරයට කිලෝමීටර 20 කටත් වඩා දුවනවාලු. නැත්නම් 18 පමණ වැඩ කරනවාලු (කිලෝමීටරයට රුපියල් 6.50 යි )

මේවා ඉලෙක්ට්‍රික් වත් , දෙමුහුන් වත් රථ හෙම නොවේ. සාමාන්‍ය වැසියන් බාවිතා කරන පරණ පෙට්‍රල් වාහන තුනක් පමණි

ඕවා ඔහොම වෙද්දී 200 CC එන්ජින් දාරිතාවයක් ඇති තුන් සක් රාජයා කිලෝ මීටරයකට රුපියල් පනහකට කිට්ටු ගණනක් අය කරනු ලබයි. හතළිහයි යි කිව්වාට ඔක්කොම මීටර එක වගේ නෙවේය. සමහර විටෙක ලැම්බෝගිනි වෙස්වලාගෙන ත්‍රිරෝද රථ ලෙස පෙනී සිටිනවාද කියා කියන්නත් බැරිය. කොහොමෙන් කොහොමහරි දුප්පතාගේ වාහන යයි කියමින් මොවුහු සූරා කන කෑම නම් අපූරුය

ගෙවෙන ටයර, කෑලි බෑලි, දවසේ ලාබය ඔය ඔක්කෝම එකට එක්කාසු කලත් කිලෝමීටරයකට රුපියල් 20- 25 අතර අගයක් නම් සාදාරණයයි කිව හැක. දැන් කරන්නේ බාගෙන කන්න තියෙන වල ඉහගෙන කෑමකැයි රොටියාට හිතෙන්නේ ඒ නිසාය

ත්‍රිරෝද රථ හිමිකරුවන් කෝටිපතියෝ නොවෙත්! අනෙක් අතට එහි ගමන් ගන්නා මගින්ද කෝටිපතියෝ නොවෙති.

අනෙක් ප්‍රධානම කරුණ නම් මෙම රියදුරන්ගේ ඇති අවිනීත රිය ධාවනයයි. ප්‍රධාන නගර වල වාහන තදබද වලට වැඩි දායකත්වයක් සපයන්නේද ඔවුන්ය

කෙටි මං තිබියදී, මගින් මුලා කරමින් දිගු පාරවල දක්කාගෙන යන මීටර් රතයන්ද බහුලය. අවධානයෙන් සිටින්න

අනෙක නම් පොඩි එව්වන් බලු පැටවුන් සේ පටවාගෙන්, උන්ව පාසල් වලට දක්කන ත්‍රිරෝද රථයන්‍ ය. අර ඩිසල් රථවල නම් පිටුපස බක්කියේත් පොඩි එව්වන් රංචු රංචු පටවයි. ඔයින් එකක් වැරදිලාවත් හැප්පුනොත් බඩු හම්බවෙන්නේ ඔයාකාරව අනාරක්ෂිතව ළමුන් පිටත් කර හරින බුරු අම්මල තාත්තලාටය

මොන දේ උනත් වැස්ස වෙලාවට ත්‍රිරෝද රියදුරන් බොහොමයකගේ ගනකම නම් මාරය. අන්ත අසරණ වී ලඟට පැමිණෙන මගීන්ටද 'බැහ්හ්' ගායි

එක්තරා මහා වැසි දිනෙක , අමු අමුවේ තෙමෙමින් ඉක්මන් ගමනින් බොරැල්ලේ ඇවිද යන ගෑණු ළමයෙකු දුටිමි. පාරේ උන් සියල්ලෝම කඩපිල් අස්සේ හුන් නිසා , අත් බෑගයක් එක උරයකද, බර යයි දිස්වුනු ලැප්ටොප් බෑගයක් අනෙක් උරයේද එල්ලාගෙන , කුඩයක්ද රහිතව තෙමි බත් වෙන මේ ගැහැණු ළමයා කැපී පෙනිණි. රොටියා ඈ දෙස බලා හුන් විනාඩි කිහිපය තුල ඇය ත්‍රිරෝද රථ ගණනාවකින්ම විමසනුද, ඔවුහු සියල්ලෝම හිස් සලා ප්‍රතික්ෂේප කරනුද දුටිමි. අවසානයේ ඇය දෙස බලාහුන් තරුණ වයසේ රියදුරෙකු , මහා ගෝට්ටියක් කර සිය රථය හරවාගෙන ඈ හුන් දෙසට පැමිණ ඈව රථයට නංවා ගත් කල රථයේ වාඩි වූ ඇගේ මුහුණේ වූ සැනසිල්ලද, බිය පහවීමද මනාව හැදින්නෙමි

ඉතින් ඔව්වා ඔයාකාරය. අපට කෙතරම් අවැසි උවත්, ඔවුන්ට අවැසි නැති නම් අප යටත් විය යුත්තෝය.

අලුත් ආණ්ඩුවත් සමග මේ හිසරදයක්ව පවතින ට්‍රැෆික් ප්‍රශ්නයට හා ත්‍රිරෝද රථ ප්‍රශ්නයට විසඳුමක් ලැබුනොත් නම් ජාතිය. රටේ වැඩ කරන ජනතාව උදේ හවස විඳින දුකත්, වැඩ නොකරන එව්වන් වැඩ කරන උන්ටත් පුප්පන් රථ පිරිවරාගෙන යන හැටියත් දුටු විට බිම පෙරලීගෙන අඬන්න හිතෙන්නේය. එහෙව් ජනතාව ත්‍රිරෝද රිය පාවිච්චි කරන්නේ ඉක්මනින් සහ පොඩ්ඩක් පහසුවෙන් ගමන් ගන්නට මිස බල්ලන්ට ගහන්න සල්ලි ඇති නිසා නොවේ..

Monday, February 2, 2015

ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....

මීට අවුරුදු කිහිපයකට පෙර වෙස්වලාගෙන රාත්‍රී සංචාරයක යෙදුන ඔබාමා නොහොත් දෙවන බරක් හුසේන් ඔබාමා ණෝ සිය යටත් වැසියා ගෙවන්නේ බොහොම ගතියක් නැති ජිවත බව සොයා ගන්නට යෙදුනාය. ඔවුහු ඔහේ ජිවත්වන්නන් වාලේ ජිවත් වන බවත් , කිසිම සතුටකින් දවසැරින්නේ නැති බවත් අවබෝද වූ එතුමාගේ හිත වෙඬරු පිඩක් මෙන් උනුව ගියාහුය

යටකී කාරණය හේතුවෙන් දවස් ගණනක් නිදි නොලද ඔබාමා පිළිබඳව අවදානයෙන් උන් මිචෙල් ඔබාමා නොහොත් ඔබාමා අගබිසව, එක දවසක රාත්‍රියේ ඔබාමා යට කලිසම හා බාටා දෙක පමණක් පැළඳ ගෙන සිය නිල කාර්යාලයට යන්නට සුදානම් වූ තැනේදී , ඉවසීම හමාර කර ගන්නට යෙදුනාය

මිචෙල් : 'මොකද්ද මනුස්සයෝ මේ මහා රෑ නටන නාඩගම'

ඔබාමා : (බියෙන් හැකිලී) 'මං මේ ඔෆිස් යන්න කියල'

මිචෙල් : (පුපුරමින්)'ජංගිය විතරක් ඇඳන් ඔෆිස් යන්න. තමුන්ගේ එකක් නම් කමක් නෑ. මගේ හොඳම වික්ටෝරියා සික්‍රට් එකක්...මම මේ දවස් ගානක් බලාගෙන හිටියා. ඔහෙට මොකද වෙලා තියෙන්නේ'

ඔබාමා : (ලජ්ජාවෙන් තමුන් ඇදන් ඉන්නා එකම ඇඳුම දෙස බලා) 'ලෝකෙට ලොක්කා කිය කිය හිටියට මැණිකේ මම මේ ලඟදි දැන ගත්තා මගේ රටේ මිනිස්සු ඉන්නේ බොහොම කලකිරීමෙන් කියල. (හඬා වැටෙමින්) 'මුන්ටදෙන්න තියෙන ඔක්කොම දීලත් ඉන්නේ නිකන් ඇට ගිලපු රිලව් වගේ. මේවා දැනගත්තොත් හිනා වෙන්න කී දෙනෙක් ඉන්නවද දෙයියනේ'

මිචෙල් :'ඔහේ ඕක දැනගත්තේ ඊයේ පෙරේදා උනාට මම නං දැනන් හුඟක් කල්'

ඔබාමා :(එහෙම දැනගත්තනන් තොට මට ඕක කියන්න හිතුනේ නැද්ද ගෑනියේ) ' මොකද රත්තන් ඒ..'

මිචෙල් :' ඔහේ ලොරි ටෝක් දිදී ඉන්න වෙලාවේ අන්න ලංකාවේ ලොකුම ත්‍රස්තවාදියාව මරලත් අවුරුදු තුනක් විතර ගිහින්. ඉතින් මෙහෙ මිනිස්සුන්ට මොනවා කියල හිතෙනවා ඇතිද?. ඔහෙට තාම ඔසාමාගේ නැට්ටවත් අල්ල ගන්න බැරි උනානේ..'

ඔබාමා :'අඩේ.. මට ඕක කල්පනාවට ආවෙම නෑනේ'

ඊළඟට මිචේල්ට තොත්තුවක් දී පොඩ්ඩක් හුරතල් කොට, වඩාත් සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණු ඔබාමා වහාම ගියේ සිය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්නටය. එතනින් සීල් හමුදාවට ගිය නියෝගය හමුවේ ඔසාමාට ටිකට් එක හම්බුවුණු අතර මෙතෙක් කල් ගතියක් නැතිව හුන් ඇමෙරිකානුවෝ විදි බැස රතිඥ්ඥා පත්තු කොට කැවුම් කිරිබත් උයා ප්‍රීතිවන විට ඔබාමාද පස්වනක් ප්‍රීතියෙන් ඇලලී ගියාහුය

ඉන් අනතුරුව ඔබාමා විසින් මෙතරම් කල් බුකවාගෙන උන් මහජනයාට පොඩි ලල් එකක් දෙන්නට සිතා, කැඩුණු බිඳුණු පාරවල් පිළිසකර කොට තාර පැලැස්තර අලවා , අලුතෙන්ද පාරවල් හැදු කල් හි ජනතාවද ප්‍රීතියෙන් ඔකදව ගියාහුය. යන යන තැන ඇමෙරිකානුවෝ ඔබාමා ට වැඳ වැටෙන්නට වූහ.

සිය රාජකීය ජනලෝලිත්වය වැඩි කර ගන්නට තව තව මාර්ගයන් සෙවූ ඔබාමාට ආසියාවේ එක් නායකයෙකු විසින් ලබා දුන් අගනා උපදේශයකි

ආසියානු නායකයා: 'උඹ දැන් යන යන තැන පොඩි එකෙක් දැක්කාම වඩා ගනින්. එතකොට ඔය යක්කු උඹට ඕන දෙයක් කරලා දෙනවා' ' ඊළඟට උඹ ස්ටේජ් වලදී මිනිස්සුන්ට පොඩි පොඩි ආතල් දීපන්. ඔය ඇහැට කනට පෙනෙන ලමිස්සියෙක් දාල , කලන්තේ දාල වැටෙනවා වගේ..'

ඔබාමා: (ආසියානු නායකයාව සිප වැළඳ) ' මෙහෙ ඉන්න බුරු සිමාල අස්සේ උබ වගේ එකෙක් හිටියනං අද මාත් මිනිහෙක් තමයි බං '

ආසියානු නායකයා :' උඹට මම වසී යන්තරෙකුත් හදල එවන්නන්කෝ.. ඒක අතේ තියෙද්දී උඹ ලඟට ඕනෑ එකෙක් බඩ ගාගෙන එයි. බඩ ගාගෙන..'

ඔබාමා: 'අඩේ .. ඒක නං මාර මැජික් එකක් නේ බං. හදල දියන්කෝ මටත් එකක්..'

ඔන්න ඔයාකාරව ඔබාමාණෝ දැහැමෙන් සෙමෙන් සිය රාජ්‍ය කරන සමයෙහි, රොටියාටද ඇමෙරිකාවේ පොඩ්ඩක් ඇවිද එන්නට පොටක් පෑදුනාය. රොටියාව ගුවන් තොටුපලේදී පිළිගත්තේ ඇමෙරිකන් මිතුරෙකු වූ අතර ඔහු විසින් අවදිව සිටින සෑම වෙලාවකදීම ඔබාමා ප්‍රශස්ති ගීතයක් උරුවම් බෑමේ යෙදී සිටියේය. ඉවසා බැරිම තැන 'ඔය අටමගලේ වහගනින් යකෞ..' යයි රොටියා තර්ජනය කරන්නට යෙදුනු තැන, හෙතෙම දෑසේ කඳුළු පුරවාගෙන රොටියාට ඔබාමා ද්‍රෝහියා යයි බැන වැදුනේය. එයින් පසු රොටියා ඌට හිතුවක් කරගන්නට ඉඩ දී කට පියාගෙන සිටි අතර , ඌ පමණක් නොව සෑම ඇමෙරිකන් කාරයෙකුම ඔය සින්දුව නිතරම ගායනා කරමින් ඉන්නා බවද සොයා ගන්නට යෙදුනාය

ගුවන් තොටුපල අලංකාර කිරීම සඳහා ඔබාමා විවිද ඉරියව් වලින් පෙනී ඉන්නා දැවැන්ත ප්‍රමාණයේ චායාරුප රැසක් ප්‍රදර්ශනය කර තිබූ අතර ඒවා එක් එකක් පෙන්වමින් විස්තර කරන්නට යෙදුනු රොටියාගේ මිතුරා විසාල කන්දොස්කිරියාවක් විය

එයින් එකක් ළඟ නැවතුනු ඔහු ආඩම්බරයෙන් පපුව පුම්බා , ඊළඟට බඩ දික් කරගත්තේය.
'මචං මේ අපේ ජනාදිපති තුමා වඩාගෙන ඉන්නේ මගේ නංගි ඉස්සරලා බැඳලා හිටපු මිනිහගේ , දෙවෙනි ගෑනිගේ පොඩි එකා.. බලපන් .. සිරියාව..'

එතන විනාඩි පහක පමණ ප්‍රමාදයකින් පසු අවසානයේ රොටියා හා මිතුරා ගුවන්තොටුපලින් පිටවීමේ ගේට්ටුව වෙත ලඟා උනාය.

එතැන සිට මහා වාහන පෝලිමකි..

රොටියා: 'මොකද මචං මේ..'

ඇමෙරිකානු මිතුරා: 'මේ පොඩි ට්‍රැපික් එකක් බං. උඹට කියන්න කොච්චර ට්‍රැෆික් තිබ්බත් දැන් අපේ පාරවල් ටික ටොයිස් ඈ...'

ටොයිස් පාරවල් තිබියදීත් මේ සා තදබදයක් ඇයිදැයි විමසු කල, හෙතෙම නප්පියට තදවී පාරවල් කොහොම තිබ්බත් අවසානයේ ඔක්කොම පාරවල් වල පිටවීම එකක් නිසාත්, පදිකයන් පාර මාරු වන විට ඔවුන්ට ඉඩ දිය යුතු නිසාත්, පොඩ්ඩක් පෝලිමේ හිටියාම ගෙවෙනවා දැයි ඇසීමට යෙදුනාය.

රොටියා: ' ඇයි බන් ඕවා හදද්දිම පාරවල් මාරු වෙන තැන් වලට පාලම් දාල, පාරවල් එකතු වෙන තැන් වලට විකල්ප දාල හැදුව නං ඉවරනේ. අපේ රටේ නං එහෙමයි..'

ඇමෙරිකානු මිතුරා: (මහා හඩින් සිනාසී) ' ඒ උඹලා.. මේ අපි.. අපේ රටේ පාරවල් හදන්නේ පියවරවල් විදියට. එකක් හදනවා. අනික කඩනවා. අනික හදනවා. පලවෙනි එක කඩනවා... පාලම දානවා....බ්ලාහ් බ්ලාහ්'

ඌ කියූ හරුපයට රොටියාගේ මොළය කෙතරම් විකාර උනාදැයි කිවහොත් එතනින් එහාට රොටියා ඌ සමග මහා මාර්ග ගැන වචනයක් වත් කතා කළේ නැත.

ඇමෙරිකානු මිතුරා:' අඩේ උඹ මට මම කියපු පොල් දෙකයි, ගල් දෙකයි ගෙනාව නේද?'

එයිට පිළිතුරු ලෙස රොටියා තමුන්ට ලබා ගත හැකි වුයේ පොල් එකක් හා ගල් එකක් බවත්, එය ලබා ගැනීමටත් සෑහෙන දවසක් බලා ඉන්නට සිදුවූ බවත් ඌට පැහැදිලි කරන්නට යෙදුනාය.(අන්න මං කොත්තමල්ලි කිලෝ පහක් ගෙනාව ඔක්කොටම හරියන්න)

ඇමෙරිකානු මිතුරා: 'මොකද්ද බන් උඹලගේ රට. මෙලෝ රහක් නෑනේ. අපේ නං ඕනෑ වෙලාවක ඕනෑ විදියට බඩු තියනවා. කුඩු නං එහෙමයි. මල් නං එහෙමයි. පෙති නං ඒත් එහෙමයි, බොන්න සූ ගාල... එක නෙමෙයි මොනාද බන් කොට්ටමල්ලි කියන්නේ?'

රොටියා: ' කොට්ටමල්ලි නෙවෙයි යකෝ කොත්තමල්ලි.. කොත්තමල්ලි නැතුව උඹල මොනාද පොඩි උණකට හෙම්බිරිස්සවකට බොන්නේ..?'

ඇමෙරිකානු මිතුරා:' මොනාද ලොක්කා මේ අහන්නේ.. පැනඩෝල්, බ්ලුෆන් ඔය තියෙන්නේ කෝටියකට බඩු.. වෙඩි වගේ තමා ඈ..'

රොටියා: ' එතකොට උඹල හොද්දකට, සුප් එකකටවත් කොත්තමල්ලි දාලම නැද්ද?'

ඇමෙරිකානු මිතුරා:' හොද්දට අජිනමොටෝ දැම්මා. සුප් එකට සුප් කැටයක් දැම්මා. සින් සින් ගෑවා . කෑවා'

එතනින් එහාට රොටියා අමෙරිකානුවනේ සවුක්ය තත්වය හෝ, ජිවිත අපේක්ෂාව ගැන ඌ සමග කතා කළේ නැත.

රොටියා: 'මොකෝ බන් මේ පාර පුරා මෝ බයිකුයි, ත්‍රිවීලුයි පිරිලා?'

ඇමෙරිකානු මිතුරා: (රොටියා දෙස හැරී ඇසක් ගසා) ' තෙල් , ගෑස් පට්ට ගණන් බන්. ඕවයි හොඳට තෙල් කරනවනේ.. ඒකයි මිනිස්සු ඕව ගන්නේ'

රොටියා: ' ඇයි බං මේ දවස් වල තෙල් මාර අඩුයිනේ.. වර්ල්ඩ් මාකට් එක බහිද්දී අඩු කරන්න එපැයි තෙල් ගාන . අපි නං මේ ටිකේ මාර ආතල් එකේ ඉන්නවා තෙල් අඩු හින්දා..'

ඇමෙරිකානු මිතුරා:' ඔන්න දැක්කද.. ඕක තමයි උඹලගේ කාලකන්ණි කම කියන්නේ. යකෝ අපේ ලොක්කා තෙල් අඩු කරන්නේ නැත්තේ අපිට තියෙන ආදරේට. තෙල් අඩු කලොත් මිනිස්සු හැම රෙද්දටම වාහන එළියේ දාගෙන ජෝගි නටන්න පටන් ගනියි. එතකොට ට්‍රැෆික් එක වැඩි වෙනවා.. පරිසර දුසනේ වැඩි වෙනවා'

රොටියා: ' ඇයි බන් දැනුත් පට්ට ට්‍රැෆික් නේ. තෙල් අඩු වුනා කියල උඹලට අමුතුවෙන්න වැඩිවෙන්න කියල ට්‍රැෆික් එකක් නෑනේ..'

ඇමෙරිකානු මිතුරා:' ඔන්න ඕක තමයි තමුන් ගැන විතරක් හිතනවා කියන්නේ. ලොක්කා අපිට ආදරෙයි වගේම අපිත් අපේ ලොක්කට ආදරෙයි. ලොක්කත් දෙයියනේ කියල කියක් හරි හොයා ගන්න එපැයි..උඹලට තේරෙන තරම තමයි ඔය.... රෙද්ද.. '

මේපාර නම් උගේ හිත සැහෙනට සවුත්තු වූ බව රොටියාට හැඟුණු නිසා එතනින් එහාට ඔබාමාට ආදායම් ලැබෙන ආකාරය ගැන රොටියා ඌ සමග කතා කළේ නැත

ඇමෙරිකානු මිතුරා:(තමන්ටම) ' ඔසාමව පරද්දපු අපේ රජ්ජුරුවන්ටනේ මූ මෙහෙම කියන්නේ..'

ඊලග පැය කාලක් පමණ ගෙවී ගියේ නිහඬවමය. රථයද කිලෝමිටරයක් පමණ ඉදිරියට ඇදී තිබුණාය. නිහඬතාවය බින්දේ ඌමය

ඇමෙරිකානු මිතුරා:' අඩේ උඹ මට අර ටින් මාළු ටින් එකක් ගෙනාව නේද බන්. ගිය සැරේ එක නං ජාති..'

එයිට පිළිතුරු ලෙස රොටියා, ටින් මාළු එකට දහයක් ගෙනාපු බවත් , ඔවැනි සුළු දෙයකට ඔච්චර නහින්නේ ඇයිදැයි උගෙන් විමසන්නට යෙදුනාය

ඇමෙරිකානු මිතුරා:( සංවේදීව)' උඹ මොනවා උනත් හිත හොඳ එකා බන්. පහුගිය ටිකේ මගේ ගෑනිට ටින් මාළු කන්න ආසයි කියල ගන්න ගිහින් ගාන අහල හැරිලා බං. අපේ පොඩි එකා දැන් ජරා බර ගගා කන්නේ බලූ විස්කෝතු. ඒවා ලාබයි , ගුණයි හින්ද අපි ඌට මුකුත් කියන්නෙත් නෑ

පසු සටහන: මෙය මඩක් හෙම කියා වරදවා හිතන්න එපාය. ලිපිය ලියන්න හේතු වුනේ පහුගිය ටිකේ බඩු අඩුවීම ගැන සමහරුන්ගේ අදහස් ඇසුණු නිසාය. පක්ෂ පාට කන්නාඩි ගලවා තබා අවංකවම සතුටු වූ පිරිසක් මැද්දේ , පාට කන්නාඩි වලින් බලමින් විරවාගෙන උන් කිහිප දෙනෙකු කතාවට වස්තු බිජ සපයන ලද්දෝය.


Thursday, January 29, 2015

එහා ගෙදර මාමා



අම්මාගේ හෝ තාත්තාගේ දෙමව්පියන් ළඟ පාතක නැතිව හැදී වැදුණු අපට කිසිම දවසක ඒ අඩු පාඩුව නොදැනුනේ එහා ගෙදර උන් මාමා හා නැන්දා නිසාය. කුමන කුමන ආකාරයේ ගැති පැවතුම් තිබුනද ඒ දෙදෙනා අපට සැලකුවේ ඔවුන්ගේම මුණුපුරන් ලෙසටය

මාමා සද්දන්තය. උස අඩි හයකට මදක් වැඩි මිස අඩු නොවේ. උසේ හැටියට මහතය. කටහඬ දැඩිය.කටින් නම් සියයක් හමාරක් සමග ගුටි කෙල ගත හැක. නමුත් නැන්දාට පණ බයය.

එය නම් මාර බයකි. ඕනෑම අහිංසක මිනිහෙකුට හෙන හඩින් සත්තම දමන්නට පපුව පුම්බාගෙන එන මාමා, නැන්දාගේ එක වචනයට සරෙන්ඩර් ය.

නැන්දාගේ තිබෙන නරකම ගතිය නම් අන්ත කුම්මැහි කමයි. ඒ කුම්මැහි කම අර ගෙදරට එන මිනිහෙකුට තේකක් දෙන්නට මල පෙරේතකමේ නැහි නැහි, ඒ මිනිහාව දොරකොඩින්ම හරවා යවන ජාතියේ කුම්මැහි කමක් නොවේ. අනික් මිනිස්සුන්ට සලකන්නට පැනගෙන එන නැන්දා , සිය සුවාමි පුරුෂයාට කෑම යයි පවසමින් ලෙවකන්නට සලස්සයි

මාමා කන්නට කැමතිය. ඕනෑම දෙයක් රස ගුණ නොබලා ගිල දමන්නට හැකි ඔහුට පැණිරස කෑමක් මහමෙරකි. හැම්, බේකන් නොඉල්ලූ මාමා සිය විශ්‍රාම වැටුපෙන් ගෙනා සියඹලා ටොෆි පහ කන්නට නොදී  එය සිය දියණියගේ පුතාට දුන් නැන්දා ගැන  මම අසා ඇත්තෙමි

සිය බිරිඳ වදක බාර්යාවකයි ඇගේ මුහුණටම මුහුණටම පවසන මාමා ඊ ලඟට නැන්දාගේ ලුණු ඇඹුල් සහිත වූ බැනුම් වර්ෂාවේ නැහැවෙයි. හිතක් හිතුනොත් ඈ සමග එල්ලීගෙන යයි. දෙදෙනා මරා ගනිති. රණ්ඩුව ඉහල උසාවියට දැමීමට තරම් දරුණු වන බව පෙනුනොත් අප ගොස් දෙදෙනා දෙපසට කරන්නෙමු

මාමා හා නැන්දා . නැන්දා නැති ලොව තමන්හට සුරපුරයක් යයි මැතිරීමට හුරුව සිටි මාමා , නැන්දා සිය සහෝදරියගේ නිවසට ගොස් දින දෙකක් ගතවූ තැනේ සිට විස්සෝප වන්නට පටන් ගනී. ඉතින් අප සියල්ලෝම එකා වන්ව පැනගෙන ගොස් ගල්බාගයක් දී මාමා සනසන්නෙමු. අපද සැනසෙන්නෙමු. (බාගය මාමාට පමණය)

සුළු සුළු අසනීප හැරෙන්නේට දරුණු ලෙඩක් නොතිබුණු නිසාම අප බලාපොරොත්තුව උන්නේ මාමාට ටටා කියා නැන්දා මුලින්ම සිය චාරිකාව ආරම්බ කරාවිය කියා උවත් හදිසියේම මාමාගේ හිසේ නහරයක් හරහට උන්නේය.

යන ගමනක් එක පාර නොයන්නට සලස්වමින් , ඒ නහරය මාමාව අංශබාග රෝගියෙකු කළේය

හයේ හතරේ මාමා, දිනෙන් දින පරාලයක් තරමටම සිහින් විය. ඉතා හොදින් දරාගැනීමේ ශක්තියක් තිබූ නැන්දාට කල්පනාව මදින් මද අඩු වන්නට විය

සංසාරයය. දුක් විදින්නට උරුම නම් කෙසේ හෝ විඳිය යුත්තේය . ජිවිත කාලය පුරාවටම ඇනුම් බැනුම් මැද ගෙවී ගිය මාමාගේ ජීවිතය අවසානයේ ඇඳට කොටු විය

එළියක් නම් නැත. පෙනෙන්නේ අඳුර පමණි.

මාමා යනවා නම් අපිට දුකය. ඒත් එයින් මාමාගේ විඳවීම අවසන් වනු ඇත.

මාමා එළියක් දකිනු ඇත. 

Tuesday, December 2, 2014

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -01

ගේෂා වටපිට බැලුවා. බැල්කනියෙන් පිටත පිහිනුම් තටාකයත් ඊටත් එහායින් වූ මෘදු තණකොළ පිට්ටනියත් ඈට නිසංසල හැඟීමක් එක්කලත් පිහිනුම් තටාකයත් එක්ක බැඳුනු දුෂ්මන්තගේ මතකය නැවතත් හද ඔද්දල් කළා

මුලදී දුෂ්මන්තට ඈව ගේෂා බබී උනා, ඊළඟට ඈ දුෂ්මන්තගේ පණ උනා. බැන්දයින් පස්සේ බබී උනා. මිනිහගේ අම්මා ගෙදර පදිංචියට ආපු දවසේ ඉඳල නිකම්ම ගේෂා උනා. ඊටත් පස්සේ ඈ ගෙදර මේස පුටු ගානට වැටුනා.
"ඒයි මට ඔය ඩිෂ් එක දෙනවා.."

ගේෂා කැමති උනේ අපරාජිතාගේ ආගමනයත් එක්ක "තමුසේ" තත්වයට ඇදවැටුණු දුෂ්මන්තගේ ආදරේ ගැන හිතනවට වඩා අවුරුදු තුනකට කලින් බැලුම් පොකුරක් එක්ක ජිවිතයට එකතු උනු ආදරණිය පිරිමියා ගැන හිතන්නයි

බල්ලන්නට විසිකරන තරමට සල්ලි තිබුණු සල්ලිකාරයෙකුගේ එකම පුතා උනු දුෂ්මන්ත , ගුරුවරියක් උනු ගේෂාට වහවැටෙන්න තිබුණු එකම හේතුව ඇගේ රුපය විතරමයි. සම්බන්දය විවාහයක් දක්වා දුරදිග ගියේ මිනිහගේ අම්මගේ කට්ට මොලේට පින්සිද්ද වෙන්නයි. නෑ කමට තමුන්ගේ මල්ලි කෙනෙක් උනු ප්‍රසිද්ද දේශපාලුවෙක්ගේ දික්කසාද දෝනියැන්දා දුෂ්මන්තට හේත්තු කරලා තමුන්ට තානාපති කමක් ගන්න ගෑනිගේ හිතේ හිබ්බා. රටම දැනන් හිටිය නඩුවක විත්තිකාරිනිය උනු අපරාජිතාව දුෂ්මන්තට බන්දනවට වඩා දික්කසාද අපරාජිතාව දික්කසාද දුෂ්මන්තට බන්දන එක තමුන්ට වාසිදායක බව දැන උන්නු ගෑනි මුල ඉඳලම සැලසුම් කළේ වැඩි කලබලයක් නැති කෙල්ලෙක්ව මුලින්ම පුතාට බන්දල දීල ඊළඟට අපරාජිතාව බන්දන්නයි


පුතණ්ඩියගේ අකලංක ආදරිව ගෙදරට කැන්දන් ඇවිත් මුලින් බොහොම මාතෘ ස්නේහයෙන් සලකල ඊළඟට හෙමි හෙමින් මිනිහව අපරාජිතාට හේත්තු කරන වැඩේ ගෑනි කොච්චර සැලසුම් සහගතව කරාද කියනවා නම් තමුන් තමන්ගේම අම්මගේ මහා දේශපාලන ගැටයකට අහුවුණු බව දුෂ්මන්තටත් තේරුනේ ගේෂට බිලියන වලින් වන්දි ගෙවල අපරාජිතාව ගෙදරට එක්කගෙන ඇවිත් සති දෙකකින් මෑණියැන්දා තමුන්ගේ තානාන්තරය කරා පියාසර කරන කොටයි

දෙයියන්නාන්සේට වගේ සලකමින් තමුන්ගේ පාමුල වැටීගෙන උන්නු ආදරණිය ස්ත්‍රී රත්නය එලවල දාල එක මිටකට අහුවෙන ගානට කොණ්ඩය කපාගෙන උන්නු බලගතු ස්ත්‍රියක් ගෙදරට ගෙන්වාගැනීමෙන් සිද්ද කල මහා ගොන්කමට වඩා පසුතැවීමක් මිනිහට දැනුනු නිසාද කොහෙද ගේෂාට ගෙවපු වන්දියට අමතරව තමන්ගේ නමට බත්තරමුල්ල පැත්තේ තිබුණු සුඛෝපබෝගී මහල් නිවස ඇගේ නමට ලියල ආරක්ෂාව හොඳ නිසා වහාම එහි පදිංචියට යන්න කියල බැගෑපත්වෙලා සිද්ද කරපු ඉල්ලීමට පයින් ගහන්න ගේෂට පුළුවන්කමක් තිබ්බේ නැත්තේ ඈත් එවෙද්දී කරමුලටම අසරණ වෙලා උන්නු නිසයි

කසාදෙ 'දික්' කරගෙන ආපහු ගෙදරට වැටුණු වැඩිමහල් දියණිය දිහා අනුකම්පාවෙන් බලනවා වෙනුවට ගේෂගේ අම්මට උවමනා උනේ ඈට ලැබුණු වන්දි මුදලින් පොඩි පුතාට කොළඹ හතෙන් ගෙයක් අරන් දීල , ලොකු පුතාට වාහනයක් අරන් දෙන්නයි. අවුරුදු තුනකට කලින් ගුරු රස්සාවත් අතෑරලා උන්නු ගේෂගේ ගැලවීම තිබුනේ වන්දි මුදල මතයි. සල්ලි ඇති නැති වීම මත සිද්ද වෙන මිනිස්සුන්ගේ වෙනස්වීම් නොසලකා ඇරලා තමුන්ගේ අනාගතයටම තිබුණු මුදල සහෝදරයන්ට පුජා කරන්න තරන් ඈ ගොන් ගහක් නොවුණු නිසා, තවදුරත් මහගෙදර ඉඳීමේ ප්‍රශ්න ඇතිවුනා. එනිසා සියල්ලන්ගේම හොඳ හිත තියාගන්න ඈ නිවසින් පිටවුණා. පිටවෙලා බත්තරමුල්ලේ පදිංචියට ආව. මාසෙකට සැරයක් අම්මගේ අතට සෑහෙන ගානක් දුන්නේ තමුන්ගේ හර්ද සාක්ෂිය පිරිසිදු කරගන්නයි

මුල් දවස් කීපය ගතවෙද්දී ගේෂා මේ පරිසරයට හැඩගැසුනා.හැමෝම දුටු තැන එකිනෙකා හා හිනැහුනා විතරයි. කවුරුත් කෑ ගැනවත් ඕපාදුප හෙවිල්ලක් නොතිබුණු නිසා ඈ නිදහස්ව නිවාස සංකීර්ණයේ ඔබ මොබ ඇවිද්දා. ළමා උද්‍යානයේ අඳුන ගත්තු අම්මල කීප දෙනෙක් එක්ක හිතවත් උනා. සතියකට හතර සැරයක් පොඩි ළමයි වගේකට ටියුෂන් දුන්නා. සතියකට එක සැරයක් මාර්කට් ගියා. පුස්තකාලෙට ගියා. අම්මලාගේ ගෙදර ගියා. ඉහල සමාජයේ දික්කසාද නෝනාවරු එකතු වෙලා හදා ගත්තු සංගමේක රැස්වීම් වලට ගියා. බල්ලෙක් හැදුව

දුෂ්මන්තගෙන් හිතේ හැදුනු සිදුරට පැලැස්තර අලවන්න අහල පහල පුරුෂ පරාන බොහෝම උවමනාවක් පෙන්නුවත් ගේෂා කිසිම කෙනෙක්ව තුට්ටුවකට මායිම් මායිම් නොකළේ ජිවිතේ නැවත වතාවක් බයානක කඩාවැටීමකට ලක්වෙන්න හිතේ තිබුණු බය නිසයි. ඒත් තමුන්ට අල්ලපු ගෙදරට අලුතෙන් ඇවිත් උන්නු සුදු උස කොලුගැටයා විටෙන් විට දෑස් පටලන විට නොදැනුවත්ම ඇගේ හද ගැස්ම වේගවත් උනා. මුලින්ම ඔහු හිටියේ බැල්කනියේ ගරාදි වැටට හේත්තු වෙලා මොනවද බොන ගමන් ගේෂා දිහා බලාගෙනයි. ඔහු කොච්චර වෙලාවක් එහෙම උන්නද කියල ගේෂාට නිනව්වක් නොවුනේ ඈත් ඒදා හුඟ වෙලාවක් තිස්සේ නාන තටාකය දෙස බලාගෙන අනිමිස ලෝචනය සිද්ද කරමින් උන්නු නිසයි.

දවස් කීපයක්ම බැල්කනියේ ඉඳගෙන ගේෂා දිහා බලන් හිටි ඔහුට අන්තිමේ දවසක ඈත් එක්ක කතා කරන්න තරම් ධයිර්යයක් තිබුණා.ආමන්ත උන්නෙත් තනියමයි. කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවා කියල පෙන්නන්න හැදුවත් ආමන්ත වටේ මොකද්දෝ ගුප්ත බවක් තිබ්බාය කියල ගේෂාට හිතුනේ වරක් දෙවරක් නෙවෙයි. එහා පැත්තේ බැල්කනියේ ඉඳල මෙහා පැත්තේ බැල්කනිය දක්වා හුවමාරු වුනු පැය ගණන් දිගු සංවාද වල පලවිපාක ලැබීම ඉක්මන් කළේ ගේෂගේ ටිම්බෝ නමැති කට්ට කළු බැලූ තඩියා විසිනුයි. හැමදාකම වගේ එදත් ඌ ගේෂව තුට්ටුවකට මායිම් නොකර මැස්සෙක් පස්සෙන් එළවන් ගිහින් ඔලුව බැල්කනියේ ගරාදි වැටේ හිර කරගෙන කරපු කලබලේ ඇහිලා දුවන් ආපු ආමන්ත , ආරාධනාවක් නැතිවම ගේෂගේ ගෙදරට ඇවිත් ඌව හිරවෙලා උන්නු තැනින් එලියට ගත්තා.

කම්පනේටද කොහේදෝ ආමන්ත දිහා බලාගෙන නොනවත්වාම බුරමින් උන් ටිම්බෝව බැලූ විස්කෝතුවක් දීල සන්සුන් කරලා කාමරේකට දාල වහල එද්දී ආමන්ත සෙටියේ වාඩිවෙලා ටීවී ඒකත් දාගෙන ඉන්නවා තමුන්ගේ ගෙදර වගේ

තේකක් හදන්න ගිය තරම් වෙලාවක් ආමන්තත් එක්ක කතා කරමින් උන් ගේෂා තේකක් හදන් එද්දී ආමන්ත පේන්න නෑ.

"මං යනවා, හෙට කතා කරමු" පුංචි කඩදාසි කෑල්ලක් මේසය උඩ තිබ්බා

එතැන ඉඳල ගේෂා සහ ආමන්ත එකිනෙකාගේ ගෙවල් වලට යන එන තරමටම හිතවත් උනා.එකිනෙකාගේ කිව්වට ආමන්ත ගේෂගේ ගෙදර ආව විතරයි. දින දෙකක් තුනක් ගෙදර හදපු කෑමකුත් අරන් ගේෂ ආමන්තගේ ගෙදරට ගියා උනත් ඔහු දොරකොඩට ඇවිත් කෑම බාජනය අතට ගත්තේ ගේෂට ඇතුලට එන්න ආරාදනා නොකරමිනුයි. ආමන්ත හා බැදුණු ගුප්ත කමට මේ වන විට හුරුවෙලා උන්නු ගේෂා ඒ ගැන වැඩි දුරකට හිතුවේ නෑ

ආමන්ත ඉතාමත්ම හොඳ සවන් දෙන්නෙක් උනා. ඔහුගේ කතන්දරයත් ඇගේ තරමටම පාලුවෙන් පිරිලා තිබුණා. පොඩි කාලේ ඉඳලම අත ඇරුණු ළමාවිය. සහෝදරයන් දෙදෙනෙකුට දෙවිදියකට සලකපු මවක්. දුෂ්ටකමින් පිරුණු සහෝදරයෙක්. නොදැනුණු පියෙක්. මේ ඔක්කොම ආමන්තගේ ගුප්ත ජීවිතය ඇතුලේ හැංගිලා තිබුණා

ටිකෙන් ටික ඔහු ඇගේ ජිවිතයට ලං උනා. ආදරෙයි කියල වචන වලින් නොකිව්වත් එකිනෙකාට ලංවෙලා බැල්කනියේ වාඩිවෙලා කතා නොකර ඔහේ ඉන්න තරමටම ඒ බැඳීම දිගු උනා

"මට හිතෙනවා මං අයෙත් ආදරෙන් බැඳිලා කියල.." ගේෂ ඊළඟ සතියේ මුහුණු පොත යාවත්කාලින කළා

"කාත් එක්කද?" ආමන්ත ඇහුවා

"ඔයා මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි. කොහොමද ඔයා මගේ වෝල් එක ඇක්සස් කළේ" ගේෂ ඇහුවා

"මම නරක මිනිහෙක්. හැබැයි විශිෂ්ට හැකර් කෙනෙක්" ආමන්ත කිව්වා

"එහෙනං මං ආදරෙන් බැඳිලා ඉන්නේ නරක මිනිහෙක් එක්ක. හැබැයි එයා විශිෂ්ට හැකර් කෙනෙක්"

ආමන්ත ගේ ඇස් දිලිසුනා.

"ෂිට් මේ ඒ සී එක ආයෙමත් කැඩිලා" ඇඟට දැනුනු දැඩි සිතල නිසා මදක් වෙව්ලපු ගේෂ කිව්ව. නිවසේ වායු සමන යන්ත්‍රය හරියට වැඩ කරන්නෙම නෑ. යාන්ත්‍රික ශිල්පිය අලුත් කෙනෙක්. ඔහුට යන්ත්‍රයේ දෝෂයක් හොයා ගන්න බෑ

"මම නරක කාර්මිකයෙක්.හැබැයි විශිෂ්ට.." ආමන්තගේ තුරුලට උනු ගේෂට ඉතුරු ටික නෑසී ගියා..

"අද දවස සෙලිබ්‍රටේ කරන්න ඕනි" ආමන්ත කිව්ව

"අපි ඩිනර් වලට අවුට් යමු"

"නෑ.. ඔයා මම කියන එක ඔයාගේ වෝල් එකේ පබ්ලිෂ් කරන්න ඕනේ.."

"හරි"

"මගේ හුස්ම තියෙනකන්, මං මැරෙනකන් , මං මැරුනයින් පස්සෙත් මං එයාට ආදරේ කරනවා. ඒක නවත්තන්න ඔයාටවත් කාටවත් බෑ"

එදා රෑ ගේෂගේ දුරකථනය සෑහෙන කාලෙකින් නාද උනා.

"බබී මං.." ඇයට දුෂ්මන්තගේ කටහඬ අඳුන ගන්න අපහසුවක් උනේ නෑ. මිනිහට බබියෙක් මතක් වෙන්නේ බබිය වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නම ඕනේ ඈ තනිවම හිනැහුනා.

"තමුන්ව ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඩිලීට් නොකරපු හින්ද, මගේ පර්සනල් දේවල් තමුන්ට පෙනෙන බව මම දන්නවා. ඒහෙම දෙයක් ගැන නම් දැන් කතා කරන්න යන්නේ කරුණා කරලා ෆෝන් එක තියනවා." ගේෂ කවදාවත් නැති විදියට නපුරුකමින් පිරුනා.

"ප්ලීස් ෆෝන් එක තියන්න එපා. කාත් එක්කද ඔයාගේ අෆෙයාර් එක තියෙන්නේ"

ඊට පිළිතුරු නොදුන් ගේෂා දඩස් ගාල දුරකථනය විසන්දි කරලා වයර් එකත් ගලවලාම දැම්මා

~දෙවෙනි කොටසෙන් ඉතිරිය~


Wednesday, November 19, 2014

මල සමයන්...

රොටියාගේ පොඩිම එකා නැතහොත් රොටියාගේ බාල සහෝදරයාට උසස්පෙළ විබාගයෙන් පසුව ගෙදර ඉන්න බැරි අමාරුවක් වැළදුණු අතර පවුලේ ඇත්තෝ එකාවන්ව එක්වී ඒකාව පවුද්ගලික අධ්‍යාපන ආයතනයකට ඇතුල් කරන්නට යෙදුනාය. එයින් පසු හැම සතියේ දිනකම මල් කුරුල්ලෙක් මෙන් හැඩ දාගෙන ඌ පැනගෙන යන්නේ ඉගෙන ගැනීමේ ආසාවකින් ම නොවන බව රොටියා ඇතුළු සියල්ලෝම දන්නා මුත් පොඩි එකාගේ ආසාව නිසා කවුරුත් ඌට කොලොප්පන් කරන්නේ නැත කසාද බැඳ අවුරුදු හතරක් උවත් , මගුල් මුද්ද තවම අස්ථාන ගත වී ඇති වැඩිමහල් සහෝදරයෙක්ද, මගුලට මාසයක් තියාගෙන තවමත් ගෑණු ළමයින්ට සිය ටෙලිපෝන් නොම්බරය දෙන දෙවැනි සහෝදරයෙක්ද ඇති ඌ ගැන තවත් අටුවා ටීකා අනවශ්‍යය

හැමදාම රෑට ඌ ලබා දෙන විස්තරය හමුවේ රොටියාටද ඒ මල් වයස ගැන පුදුමාකාර මල පෙරේතකමක් ඇතිවූ නිසා නැති කොලු වේසයක් මවාගෙන ඒ පැත්තේ දින දෙක තුනක් කරක් ගැසුවද ඒ අසමජ්ජාති කෙලී පොඩිත්තියන් රොටියා දිහා ඇහැක් ඇර බැලුවේ නැත. ඒ නිසා රොටියා ද මේ දිනවල නැති කැක්කුමකින් ගෑණු ළමයාගේ ඩයට් ප්‍රෝග්‍රෑමයට සහබාගී වෙමින් හිඳිනවාය

ලියන්න ගියේ ඔය කෙහෙල්මල් එකක් වත් ගැන නොව රොටියාගේ පොඩි එකා කියන ලද කතාවක් නිසා රොටියාටද සිය අතීතය සිහි වූ නිසාය.
මල විකාර ඔලුවට නොගැසූ ගැහැණු ළමුන් සියයක් මැද, එක කෝලමක් හිටියත් හොඳින් දිස්වෙන නිසා මේ කතාව ගෙතෙන්නේ එවැනි කෝලමක් වටාය (ගැහැණු ළමුන්ගේ තරහ අවසර.. කොල්ලන්ගේ කෝලන් ගැන කතාවක් පසුව ලියවෙනු ඇත)

~පාටමාලාව පටන් ගෙන ටික දවසකි. දැන් මෙහි ඉන්නා සියලුම දෙනා පාහේ ඔවුනොවුන්ව මුහුණුවරින් අඳුනන්නෝය

අවේලාවේ කැන්ටිමේ තේ බොන කොලුවෙකි. උගේ සහපිරිවර අද පැමිණ නැති හෙයින් ඌ අතරමං වී ඇත. අත්‍යවශ්‍ය පාඩමක් මග හැරී ඇති ඌ හොයන්නේ පාඩම අසා ගත හැකි කෙනෙකි.

පොතක් දෙස බලා ඉන්නා ගැහැණු ළමයෙකි. මුහුණුවර දැක පුරුදුය. බොහෝ විට තමුන් ඉගෙන ගන්නා පාටමාලාවේම විය හැක

කොල්ලෙක්ගෙන් නැතුව කෙල්ලෙකුගෙන් පාඩම අසා ගැනීමට කොල්ලාද කැමතිය

කොල්ලා කෙල්ලගෙන් පාඩම ගැන විමසයි. පොලවේ පය තියාගෙන ඉන්නා කෙල්ලද වෙනත් අනං මනං නැතිව කොල්ලාට පාඩම් කියා දෙයි. පාඩම අතරතුර දෙදෙනා කතා බහ කොට විස්තර දැනගනිති. දැන් කොල්ලා හා කෙල්ල යහළුවන්ය.

~කොල්ලා බසයේ එයි. දැක පුරුදු ගෑණු ළමයෙකි. පාටමාලාවේ විය හැක. කොල්ලා ඈ සමග හිනැහෙයි. කෙල්ල ලජ්ජාශිලිව අහක බලා ගනියි. කිසිවක් කරකියා ගත නුහුණු කොල්ලා රතුවෙයි

~ කොල්ලා දේශන ශාලාවට යයි. කැන්ටිමේ දී මුණගැසුණු කෙල්ල දකියි. ඈ සමග හිනැහී ලඟට ගොස් කතා කරයි. බස් රියේදී දුටු කෙල්ල ඈට අසුන් දෙකකට යාබදව හිඳගෙන ඉන්නා බව කොල්ලා දකින්නේ අන්තිමටය. කොල්ලා කරබාගෙන යන්න යයි

~කොල්ලා කැන්ටිමට යයි. කැන්ටිමේදී හමුවූ කෙල්ල අදත් කැන්ටිමේ ඇත. කොල්ලා හිනැහෙයි. කෙල්ල රවයි

කොල්ලා - "මොකද අනේ ඔයා අප්සට් මූඩ් එකක"

කෙල්ල - " අප්සට් තමයි. මේ මං ඔයාට එකක් කියන්නං. මං ඔයත් එක්ක යාලුවෙක් විදියට කතා කලාට ඔයාට තෝලක කන් කරන්න බෑ හරිද"

කොල්ලා -(තුෂ්නිම්බුතව) "මොකක් ගැනද ඔයා කියන්නේ?"

කෙල්ල -"ඔයා හංසමාලිගේ පස්සෙන් එනවලු. මම හංසමාලි ගැන විස්තර ඔයාට දෙනවලු. හංසමාලි අද පියුමිට කියල පියුමි මට දොස් කිව්වා"

කොල්ලා - (හංසමාලි කවුදැයි පියුමි කවුදැයි නොදැන උඩ බිම බලමින්) "කවුද අනේ හංසමාලි කියන්නේ?"

මෙහිදී කොල්ලා හංසමාලි කියන්නේ කවුදැයි නොදන්නා බව කෙල්ල පිලිගන්නේම නැත. ඌ පණ යන්නට හෙම්බත් වීගෙන අන්තිමට තමා කියන්නේ ඇත්ත බව කෙල්ලට ඒත්තු ගන්වයි

දයිවයෝගයකින් මෙන් හංසමාලි කැන්ටිමට පැමිණෙයි. පියුමිත් ඒ සමග එයි

කෙල්ල - "එක පාරට බලන්න එපා. අර තමයි හංසමාලි.."

එවර රතුවෙන්නේ කොල්ලාය

කොල්ලා- "එයාව දවසක් මම බස් එකේ දැකල හිනා වුනා.. ඒකට තමයි එයා මං එයාගේ පස්සෙන් එනවා කියල හිතල තියෙන්නේ.."

පිරිමි අපට හොඳ යෙහෙලියන් ඇත්තේය. එවැනි ගැහැණු ළමුන්ද අපත් සමග එකට කාබී වෙසෙති. සමහර ගැහැණු ළමුන් හිතා ඉන්නේ කොල්ලන් ඔවුන් දෙස බලන්නේ පස්සෙන් එන නිසා කියලාය. එවැනි අයට කියන්න ඇත්තේ  ඒගොල්ලෝ පස්සෙන් වැටීගෙන ඉන්නට අපිට පාන් නැති බවය. නරකම දෙය මේ දෙවැනි වර්ගයේ කෙල්ලන් නිසා පළමු වර්ගයේ යෙහෙලියන්ද අප සමග අමනාප වීමය..

මෙයින් දෙවැනි වර්ගයේ ගැහැණු ළමුන් දෙස බලාගෙන "මල සමයං" යයි පවසා හිත හදා ගැනීම හැරෙන්නට පිරිමි අපට වෙන විකල්පයක්ද නැත්තේය


සිහිනයක් නොවූ සිහිනයක්

"හපොඕ .. අර රොටියා කියල එකෙක් ලියන්නේ.. මෙලෝ රහක් ඇති ලිපි නෙවෙයි. ඌ ලියන එක ඌම දන්නේ නෑ.." රොටියා කව්දැයි නොදන්නා ඔපීසියේ මිතුරෙකුගේ මේ ප්‍රකාශයත් සමග මම පාෂාණිභූත වුයෙමි. රෝල් ඩාල් වරෙක ලියා ඇතුවාක් මෙන්, රොටියාගේ ඔපිසියේද හැමෝගෙම හිස තුල ඔවුනොවුන්ට සුවිශේෂී ඉහඳ පණුවෙක් ඉන්නා බව සැබෑය. බොහෝ දෙනෙකුට සිංහලය අමතකම හෙයින් ඔවුන් බ්ලොග් පාටකයන් වීමේ සම්බාවිතාවය ඉතා අඩු තැන , බ්ලොග් කියවන්නෙකු විසින් දුන් සහතිකය රොටියාව සහමුලින්ම අධෙර්යය කල බවද හැබෑය

"උඹ ලියපන් මචං. උඹ ලියන ඒවා කියවන කට්ටියට උඹ ලියපන්" වචන මෙලෙසින්ම නොවුනද, රොටියාගේ හිත හැදෙන්නට කතා කොට, රොටියාව ලිවීමට පෙළෙඹවූ එක මිතුරෙකු නිසා රොටියා ඊළඟ පොස්ටුවද සිය බ්ලොගයේ පල කළේය. බ්ලොගය ජාල ගත වී වසරකුත් දවස් හතරක් ගත වන තැන රොටියා මුලින්ම සිය ස්තුතිය පල කරන්නේ ඔහුට- ආදිෂටය "මේ කියන්නේ කුමක් ගැනදැයි කියවන විට ඔබ දන්නා බව මම දන්නවා.ඒ ගැන ඔබට ඉස්තුතියි.."

ඊලඟට නම් මතක් කල යුත්තන් අප්‍රමාණ ගණනක් ඇත. තරිඳු, පියුම්, සම්පත් ... නම් වශයෙන් නොකීවත් ඔබ හැමදෙනාම..

වසරක් ගතවන තැන කියවීම් ලක්ෂයකට අදික ප්‍රමාණ ලබාගෙන මිතුරන් දහස් ගණනක් ඇති කර ගත් බ්ලොග් ලියුම් කරුවන් රොටියා අඳුනන අතර ඔවුන් රොටියා ව නම් අදුනන්නේ නැත. එහෙව් බ්ලොග් අතර තවම කියවීම් දහහත් දහස් ගගණනක් පමණක් ඇති රොටියාගේ බ්ලොගය උනහපුළු පැටවෙකු වුවත්, රොටියාට නම් ඌව මැණිකකි. කොමෙන්ට් දමන්නට මෙන්ම අලුතෙන් සමාජ සම්බන්දතා ඇති කර ගැනීමට මෙන්ම ඒවා පවත්වා ගැනීමට ඉතා කම්මැලි රොටියා මේ තරමින් හෝ රදා පවතින්නේ ලිවීමෙන් රොටියා අසීමිත තෘප්තියක් ලබන නිසාය. රොටියාගේ ලිපි කියවන ඔබ නිසාය

අකලට පොල් වැටෙන සේ පොස්ටු පල කරන රොටියා උපන්නේ හිලරියස් රස කතා නම් මුණුපොත් කණ්ඩායම නිසාය. රොටියාගේ බ්ලොගය පිටුපසද කතාවක් ඇති අතර එය පළකිරීමට මේ වෙලාව නොවේ..

සාමාන්යෙන් බ්ලොග් කරුවන් සියල්ලෝම එකිනෙකා හා යහපත් සබඳතා පවත්වා ගත්තද රොටියා ඊට ඉතා කම්මැලිය. ජිවිතයටම වෙනත් බ්ලොග් ලිපි සඳහා කොමෙන්ටු ලියා ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙනි. නමුත් සියලුම බ්ලොග් ලිපි රොටියා ආසාවෙන් කියවයි. රොටියාගේ බ්ලොගය එක සින්ඩියක ප්‍රාදුර්භූත වී ඇති බව මේ ලඟදි දැන ගන්නට යෙදුනු අතර ඒ මුල් කාලයේ රොටියා ගේම වැඩක් වන්නට ඇත.

අනෙක් අතට රොටියාට ඔය පණ්ඩිතමානි ලිපි ලියන්නට තරන් දැනුමකුත් නැත. බුද්දාගම එකොළහේ පන්තිය වන තෙක් හා විද්‍යාව උසස්පෙළ තෙක් ඉගෙන ගත් රොටියාගේ ඔලුවේ දැන් ඒ දේවල් වලින් අඩක්වත් නැත. ඒ නිසා රොටියා ලියන්නේ රොටියාට තේරෙන තරමටය. දේශපාලනය ගැන රොටියාට රොටියාගේම මතයක් ඇති මුත් එය සමාජ කතිකාවකට පාත්‍ර කිරීමට තරම් රොටියාට අවබෝදයකුත් නැත. රොටියාගේ ලිපි මත සීනි තැවරී ඇත්තේ ඒ නිසාය

ඉතින් රොටියාගේ ඉට්ටයිල් එක ඉවසා වදාරා බ්ලොගය සමග රැඳී ඉන්නා ඔබ කිහිප දෙනා මට ශක්තියකි

අවුරුද්දක් ගතවන තැනේ රොටියා අවුරුදු ගණනාවකට පෙර සිට දුටු හීනයක් සැබෑ කරගන්නට හීනයක් තිබේ. එනම් රොටි වලින් ඔබ්බට ගිය නවකතාවකි. වස්තු බීජය මුල් අල්ලා දැනට අවුරුදු හයක් තරම්ය. ලියා ගන්නට හැදුවාට දිනෙන් දිනම පසුපසට යාමක් මිස ගමන් කිරීමක් නම් නොවිය. මෙය "එකෝමත් එක දවසක" කතාවෙන් වෙනස් වන කතාවක් සේම හීන ගොඩක ප්‍රතිපලයකි.

පරසතු මදාරා නෙක මල්       පිපුනාය
උපුල් කඳ සමන් දිව පුත්        තුටිනාය
ගමනට යොදුනාය හෝරා     ගෙවුනාය
යක් රජ සොඳිනාය අද නිසිකල      ආය


ඉතින් මෙයින් පසු රොටි අතර තුරේ රොටියාගේ හිනයටද පාට පෙවෙනු ඇත. කොමෙන්ටු වලට පිළිතුරු නැතැයි කියා අමනාප වී අදහස් පල කිරීමෙන් නොවැලකෙන ලෙස රොටියා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඔබේ අදහස් මට බොහෝ වැදගත්ය

~රොටියා~


Sunday, November 16, 2014

රොටියා රජ උනොත්.....

රොටියාට අද සත කාලක පණක් නැත්තේය. ඒ හෙට සෙනසුරාදා නිසාවත් , ඊයේ නිවාඩු නිසාවත්, අද ඔපීසියේ ලගින්න සිදුවී ඇති නිසාවත් නොවන්නේය. ඒ ඊයේ රෑ පුරාවටම මොහොතක හෝ විවේකයක් නොගෙන වැඩ කරන්නට කරුණු යෙදුනු නිසාය. ඒ කියන්නේ රොටියා වෙඩිමේ වැඩ වලට සල්ලි හොයන්නට, අතිකාල සේවයේ යෙදුනු නිසාවත්, පල් හොර රැලකට පන්ගාර්තු වී හොරකමේ ගිය නිසාවත් එහෙම කියා වරදවා හිතන්නට හෙම එපාය

ඊයේ රැයේ මොහොතක හෝ විවේකයක් නැති වෙන්නට හේතුව මේ දිනවල රැයේ පවතින අදිකතර සීතලය. සිතල අනුබාවයෙන් මේ ටිකේ මලාක් මෙන් නින්ද යන අතර, ශාරීරික අවශ්‍යතා හේතුවෙන් වත් රෑ මැදදී නම් හීනෙන් වත් ඇහැරෙන්නේ නැත.(ඔය වැඩේ නම් මාරය. මතක ඇති කාලයේම රොටියාගේ පරීක්ෂණයන්ට හා නිගමනයන්ට අනුව රෑ මැදදී වැසිකිලියක් හීනෙන් දකිනවා කියන්නේ ටිකට් එක ඇදෙන්නට ළඟ බවය. කරුමෙකට වත් හීනෙන් පෙනෙන වැසිකිලි වලට ගොස් අදාළ වැඩය හෙම කරන්න හිතන්නවත් එපාය. එහෙම උනොත් හෙම රෑ මැදදී දෙකකුල් අතර උණුසුම් ජාල ධාරාවක් ගලන අත්දැකීමද, තෙත් මෙට්ටයක කෙරවලකට වී නිදා ගැනීමේ අපහසුවද, පස්සෙන් පහුවදා ඔක්කොම ගෙඩි පිටින්ම පොඩි බැදන් ගොස් සේදීමේ අරුමයද, සිද්දිය මතක ඇති තුරාවටම පවුලේ ඇත්තන්ගේ අප්‍රමාණ නින්දා අපහසයන්ට ගොදුරුවිමද යන ඔක්කොම පැකේජ ක්‍රමයට අත්විඳිය හැක්කේය)

ඔන්න ඔයාකාරව මලාක් මෙන් නින්ද ගොස් සිටි රොටියාට මෙපමණ මහන්සියක් දැනීමට හේතු සිද්ද කළේ රෑ දුටු හීනයය. හීනෙන් උන්නේ දියවන්නාව පැත්තේය. නිකම්ම් හෙම නොවේය. රොටියා රටේ ජනාදිපති වී උන්නේය.

රටේ වැඩිම බලයක් හිමි තැනැත්තා ලෙස රොටියා මුලින්ම කළේ මහපාරේ රිය පදවනවා යයි කියමින් පෙම් කෙළෙමින් උන් රොත්ත බුරුත්ත අල්ලාගෙන ගොස් කුඩු ගත කිරීමය. වැරදි හා දඩුවම් මෙසේය

1. අදිවේගී මාර්ගයේ දකුණු පැත්තෙන් කොටමින් යෑම: වාහනය දුටු තැන නවත්වා දින පහකට රාජසන්තක කොට, වාහනයේ ගිය රැලම මාර්ගයේ දෙපස වැටෙන් එලියට දමා ගමනාන්තය තෙක් පයින් යාමට නියම කිරීම
2. සිග්නල් නොදා හැරවීම / සාමාන්‍ය පාරේ කොටමින් යෑම: වාහනය මසකට රාජසන්තක කොට ගොන් කරත්තයක් දීම. ගොනා නඩත්තු කිරීම සිද්ද කල යුත්තේ වරද කල ඒකාය. (රොටියා මහජනතාව දකින්නට යනවිට ලොකු ලොකු කාර්යාල ඉදිරිපිට නවත්වා නිබු ජි. එම් ගේ කරත්තය, සී. ඊ. ඕ ගේ කරත්තය යනාදී විවිදාකාර කරත්ත අලංකාර දසුනක් මවා පෑවේය)
3. පළලින් අඩු පාරවල් වල වැරදි පැත්තෙන් දමා , ඒ පැත්ත අවහිර කිරීම: ගල් රෝලක් මගින් අදාළ වාහනය තලා දමා වාහන ගමනාගමනයට ඉඩකඩ සලසනු ඇත. අවශ්‍ය නම් හිමි කාරයාට වාහනයෙන් බැස පණ බේරා ගැනීමට ඉඩ කඩ සලසා ඇත.
4.මහා මග සිදුකරන අනෙක් සියලුම ආකාරයේ වැරදි:වාහනය රාජසන්තක කරනු ලැබේ. රඳවා ගනු ලබන කාල සීමාව වරදේ ස්වාබය මත තීරණය කෙරෙනු ඇත

ඊළඟට කළේ මෙන්න මේවාය
5.සියලුම පාසල් 10 ට පටන් ගෙන හතර දක්වා පැවැත්වෙනු ඇත. මෙයින් කාර්යාල වෙලාවට ඇති වන තදබදය නැතිව, මහජනයා වෙලාවට රාජකාරියට වාර්තා කළෝය. ටියුෂන් වෙළෙන්දන්ට නටා ගන්නා ලෙස දන්වනු ලද අතර, ගුරුවරුන්ට සාදාරන ලෙස දිනකට පැය දෙකක කාලයක් අමතර කාලයක් ඉගැන්විය හැක. සියලුම ළමුන්ට එකලෙස අධ්‍යාපනය ලබාදෙන අතර ඔවුන් ඒ ලබා ගන්නා දැනුමෙන් විබාග වලට මුහුණ දිය යුතුය. දුර්වල ළමුන්ට වෙනම පන්ති පැවැත්විය යුතුය
6. අට වසරට පහලින් වූ ළමුන් කිසිවෙක් භාෂා හැරෙන්නට වෙනත් ටියුෂන්  පන්ති යැවීම සපුරා තහනම්ය. අසුවුවොත් සතියක කාලයක් පුරාවටම ළමයාගේ මාපියන් සහ ටියුෂන් ගුරා හතරමන් හන්දියක තබා "අප මෙයින් මතු ළමා හිංසනය නොකරමු" වගන්තිය සඳහන් බෝඩ් ලෑලි ඔසවා ගෙන ඉන්නට සලස්වනු ලැබේ. (සෑම දිනකම හවස හතරට ඔවුන්ට ගෙදර යාමට ඉඩ දෙනු ලැබේ. ඊළඟ දිනයේ උදේ හයට වාර්තා කල යුතුය)
7. සියලුම පාසල් වල මිශ්‍ර පාසල් බවට පත් කරනු ඇත. මෙයින් කොලු කෙල්ලන් පිටසක්වල ජීවින් ලෙස එකිනෙකාට සලකා ගැනීම නැවතීම අපේක්ෂා කෙරේ
8. විශ්ව විද්යාල තුල දේශපාලනය කරන සිසුන්ට අමතර විබාගයකට මුහුණ දීමට සිදු වනු ඇත
9. සියලුම රියදුරන් ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර රියදුරු සුදුසුකම ලබා ගත යුතුය

ඊළඟට මේවාය
10. සියලුම මහජනතාවට බල පැවැත්වෙන්නේ එකම නීතියකි. ඕනෑම ආයතයක අයතා ලෙස තමුන්ගේ වැඩය සිද්ද කර ගැනීමට තැත් කරන්නන් මාසයක් පුරාවටම පොදු වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමට අනුයුක්ත කෙරේ
11. හොරකම් කලොත් අවුරුද්දක අවමයේ සිට වරදේ ස්වබාවය මත තීරණය කෙරෙන කාල සීමාවක් දක්වා හොරා විසින් හොරකමට ලක්වූ පුද්ගලයාට සේවය කල යුතුය. ලැබෙන්නේ කෑම සහ ඇඳීම පමණි. හොරාගේ ගෙදර ඇත්තන්ව ආණ්ඩුව විසින් නඩත්තු කරනවා ඇත. හොරාගේ ක්‍රියාවන් නිරීක්ෂණය දිවා රෑ සිදු කෙරෙනු ඇත
12. මිනීමරුවාට දඬුවම් දීම මැරුම් කෑ එකාගේ ලඟම ඥාතීන්ට බාර දෙනු ලැබේ. එසේ නොකළ හැකි අවස්තාවක නම් වෙනත් දඬුවම් ක්‍රමයක් අනුගමනය කරනු ඇත

13. සේවාදායකයන් තමුන්ගේ සේවකයන් යයි සලකන සියලුම රාජ්‍ය සේවකයන්ට පඩි රහිත මසක පුහුණුවක් ලැබෙනවා ඇත
14. ස්ත්‍රී හිංසකයන්ව බලහත්කාරයෙන් ඔවුනොවුන් අතර කසාද බන්දනවා ඇත. (හෝමෝ)

15. අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට සිය පළමු වාහනය බදු රහිතව මිලට ගත හැක


16. අවුරුදු 30ත අඩු , රැකියාවක් කරන ඕනෑම අයෙකුට මසකට වරක් රජයේ වියදමින් රාත්‍රී සමාජ ශාලාවකට යාමේ පහසුකම ඇත

ඔන්න ඔය ඔක්කොම ගෙඩි පිටින්ම සිද්ද කල රොටියා ඊළඟට විය යුතු පරිදිම සමාජ ශාලාවකට ගොස් රෑ එලි වෙනකම්ම ඩිස්කෝ නැටුවේය (අවුරුදු 30ට අඩු රොටියාටද 16 වැනි නිතිය වලංගු නිසා). දැන් නම් ෆ්ලැට්ය



හූ... රැවටුණා.....

**** අත්යගවශ්යර හේතුවකට මිසක් වෙනත් කුමන හෝ හේතුවකට නැවත ඇයට කතා නොකරන බවට ගත් දැඩි තීරනය නිසාම ඇය හා මා අතර යම් තරමක දුරස්බවත් ඇතිවී තිබුණි. මුහුණුපොතේ ඉඳහිට ඇතිවූ සංවාදත්, සුළුපරිමාණයෙන් සිදුවූ කෙටිපණිවිඩ හුවමාරුවත් මගින් ඇයට මහත් හිසරදයක්ව තිබූ "රැකියාවක් සොයාගැනීම" පිලිබඳ මා දැනුවත් වූ බැවින් ඒ සඳහා මාහට කළහැකි සියල්ල කිරීමට වෙහෙසුනෙමි. දන්නා කියන සමාගම් වල ඇති ඇයට අදාලත්වයක් දක්වන රැකියා සඳහා ඉල්ලුම්පත්රි තොග ගණනින් යැවුවෙමි. මොනයම් හේතුවක් නිසා හෝ ඇය විසින් යැවූ ඉල්ලුම් පත්රා සඳහා නොව මා විසින් යැවූ ඉල්ලුම්පත්ර සඳහා ප්ර තිචාර ලැබීම ඇය තුල යම් ආකාරයක විශ්මයක් ජනිත කිරීමට සමත්වූබව ඇයගේම කෙටිපණිවිඩ මගින් මට දැනුණි. කෙසේ හෝ ඇයත් මාත් සතුටට පත් කරමින් ඇයට රැකියාවක් ලැබුණු අතර ඉතා දිගු නිහැඬියාවකට පසු ඇයට සුබ පැතීමට ඇමතුමක් ගැනීමටසිදුවිය. ****
.
.
.

මා අතහැර තෝරාගත් "....වරයා" සමග තිබු සබඳතාවය බිඳී ගිය බවත්, ඉන්පසු නැවතත් (සතියක පමණ කාලයකට පසු) පරිගණක ක්ෂේත්ර යට සම්බන්ධ තරුණයකු සමග ප්රේ ම සබඳතාවක් ආරම්භකල බවත් ඇගෙන්ම ලද තොරතුරු මගින් දැනගතිමි. "....වරයා" සමග තිබු සබඳතාවය බිඳීගිය කථාන්තරය "උඹට මං පණවගේ ආදරේ..." තුළින් පැවසුවෙමි. ඇයව මගහැරි ....වරයා නැවතත් ඇය වෙත සමීපකිරීමට මා දැරූ උත්සාහයත්, ඒ බව ඇයට පැවසීමට රාත්රීෙ එකොළහට පමණ දුරකථන ඇමතුම් ගන්නාවිට පැය බාගයකට අධික කාලයක් ඇයගේ ජංගම දුරකථනය කාර්යබහුලව තිබු බවත්, පසුදින උදෑසන ඇයව අමතා ....වරයා පිලිබඳ පැවසූවිට "මට ආයෙ එයා ගැන කියන්න එපා" යනුවෙන් කී ආකාරයත්, පෙරදින රාත්රි.යේ තම මිතුරෙක් සමග දුරකතනයෙන් කථාකල නිසා කාර්යබහුලව පැවති බවත් ඇය පැවසුබව මාගේ කාලරේඛාවේ පැහැදිලිව සටහන්ව ඇත.

දින කිහිපයකට පසු ලංකාවේ ප්රකකට පෞද්ගලික අධ්යාඇපන ආයතනයකින් ඉගෙනුම ලැබූ "ඔහු" (පරිගණක ක්ෂේත්රියට සම්බන්ධ තරුණයා) පිළිබඳව මාහට ඇය පවසන ලදි. ඔහු පිළිබඳව මාගේ මිතුරන්ගෙන් අසා පවසන ලෙසත් ඇය පැවසීය. ඔහුගේ සිතේ ඇය පිලිබඳ අදහසක් ඇති බවත්, ඇයටත් එසේ සිතෙන බවත්, ඔහු පිළිබඳවත් ඔහුගේ පෙර ප්රේයම සබඳතා පිළිබඳවත් ගිරවියක මෙන් මා සමග පවසන ලදි. මල තලා රොන් උරා යන බඹරුන් පිළිබඳව පැවසූවිට "පරිස්සම් වෙන්න මං දන්නවා" "වැස්සට ගොඩවෙන මිනිස්සු වැස්ස පායපුවහම යන්න ඉඩ තියනව" වැනි අතිපණ්ඩිත වාක්ය වලින් මාහට පිළිතුරු දුන් ආකාරයත් මා හට තවමත් මතකය. වෙසක් දිනට පෙරදින ඇයත් ඔහුත් අතර ප්රේවම සම්බන්ධය නිළවශයෙන් ආරම්භවූබව ඇය විසින් මාහට පවසන ලදි. "එයා හරි හොඳයි. හරිම ඩීසන්ට්. කෙලින් කතාකරන කෙනෙක්. I like him and love him lot. මගෙ මුළු ලෝකෙම එයා තමයි." ආදී වශයෙන් ඔහු පිලිබඳ දහසකුත් එකක් ගුණ ගායනා ඇය විසින් මාගේ සවනට මුදාහරින ලදි. පවසන වචනයක් වචනයක් පාසා වැරදමා ගසන යකුළුපහරක් සේ හදවතට වේදනා ගෙන දුන්නත් අපහසුවෙන් නමුත් සිනාමුසු මුහුණින් යුතුව සියල්ල විඳදරාගත්තෙමි.

ඉන්පසු ගතවූ මාස කිහිපය තුළ සිදුවූ "පැරණි පෙම්වතෙකු" ලෙස දරාගැනීමට නොහැකි, බ්ලොගයක පල කිරීමට නොහැකි සිද්ධි දාමයකි. ව්යාිජ ආදරයෙන් අන්ධවූ මුග්ධ තරුණියක විසින් කරණුලබන ගොන්කම් සියල්ලම පාහේ ඇය විසින් සිදුකර තිබුණි. ඒ බව දැනගත් සෑම විටකම ප්රූවේශම්වනලෙස මා පැවසු බවත්, ඒ සෑම විටකම ඈ විසින් ඔහු තමාට පණටත් වඩා විශ්වාස බව පැවසු බවත් මා හට තවමත් මතකය. අවසානයේ මාගේ සියලු අනාවැකි සත්යම කරමින් ඔහු ඇය අතහැරදමා ගොස් තිබුණි. හරි හොඳ, හරිම ඩීසන්ට්, කෙලින් කතාකරන ඔහු ඇය හැරදමා ගොස් තිබුණි.



ඇයගේ පළමු පෙම්වතාගේ ඉල්ලීමත් මාගේ සිත තුල තිබු කුතුහලයත් නිසා දිනක් මුහුණුපොත හරහා ඇයගෙන් විස්තර විමසා සිටියෙමි. ජීවිතය සුන්දර බවත් හොඳින් ගෙවීයන බවත් ඇය මා සමග පැවසීය. පරිගණක ක්ෂේත්රායට සම්බන්ධ තරුණයා පිළිබඳව විමසූවිට (මේ වනවිට එම සම්බන්ධය බිඳී ගොස් තිබු බව මා දැන නොසිටියෙමි) ඔහු ඇය හැරදමා ගිය පුවත පරිගණක තිරය මත දිස් විය. "එයා හරි කපටි මනුස්සයෙක් අනේ" වශයෙන් දීර්ඝ කතාවකට මුලපිරූ නමුත් එම කතාව ඇසීමට මාහට සිත් නොවූ නිසාත් එම කතාව පවසන ලෙස මාගෙන් උත්තේජයක් නොලැබුණු නිසාත් කතාව ලත් තැනම ලොප් විය. ඇස් කන් ඇති පුද්ගලයකු වශයෙන් දකින අසන දේ විචාරය කර ලබාගත් උපකල්පනය නිවැරදි බව පසක් කරමින් නැවතත් ඇය වෙනත් ප්රේ ම සම්බන්ධයක් අරඹා තිබුණි. සුන්දර තරුණයකුගේ ගිණුමේ ඇයගේ කමෙන්ටුවක් තිබීමත්, ඔහුගේ චායරුප කිහිපයකට ඇයගේ කැමැත්ත ප්රයකාශව තිබීමත්, ඇයගේ හොඳම යෙහෙලියක් ඉතාමත් මෑතකදී ඔහුගේ මිතුරෙක් බවට පත්ව සිටීමත් ඇයගේ හැසිරීම පිළිබඳව යන්තම් හෝ දැනුමක් ඇති අයෙකුට "උපකල්පනයක්" ගොඩනැංවීමට ප්රමමාණවත්ය.
"මට ..න් හම්බඋනේ බැංකුවේදී. ජොබ් එකේ සල්ලි දාගන්න එකවුන්ට් එකක් හදන්න ගියහම තමයි එයාව අඳුන ගත්තෙ"
"එයා අපේ ගෙදරින් කෙලින්ම ඇවිත් ඇහුව. අපේ කේන්දරත් ගැලපෙනව. මගෙ අඟහරු හතේ, එයාගෙ අටේ ඒ හින්ද ගැලපෙනවලු"
"ලබන මාසෙ එයාලගේ ගෙදරින් මාව බලන්න එනවලු"
"ඊළඟ අවුරුදු දෙකේදී බැන්දේ නැත්තං මට බඳින්න වෙන්නෙ තිහ පැන්නහමලු"
ආයෙත් කියවිල්ල.
"මගේ හිතේ දැන් වැඩියේ බලාපොරොත්තු නෑ"
සුපුරුදු පරණ තැටිය....
"අපි දෙන්න බැන්දහම රට යන්න ඉන්නෙ. එයාගෙ ගෙදරත් ඉන්නෙ එයා විතරයි. අම්මල බලාගන්න සර්වන්ට් කෙනෙක් තියනව."
ආයෙත් අහස්මාළිගා......
"මොකක්ද අනේ මේ දාල තියන ප්රොනෆයිල් පික්චර් එක. වෙන එකක් තිබ්බෙම නැද්ද දාන්න"
"දාන්න එකක් නැත්නම් මගේ ෆොටෝ එකක් දාන්න"
ආයෙත් හුරතලේ..............
ඕනි මංගල්යලයක් කියා මා විසින් අලුත් කොල්ලට මිතුරු ඇරයුමක් යවන ලදි. දින කිහිපයකට පසු මිතුරු ඇරයුම පිළිගන්නා ලදි. සතියකට පමණ පසු ඔහුගේ උපන්දිනයට සුබපැතුමක්ද මුහුණුපොත හරහා යැවුවෙමි. දිනදෙකකට පමණ පසු එම පණිවිඩය දුටු බවත්, තවත් දින කිහිපයකට පසු
"Thanks"
මගෙන් සිනහ මුහුණක්"
.
.
.

ඔහු : - R U frnd of [ඇයගේ නම] ?
මම : - yap
ඔහු : - k fine
මම :- you?
ඔහු : - frnd
මම : - (y)
ඔහු : - hw is she?
මම : - good as friend
ඔහු : - මම [ඇයගේ නම]
ඔහු (දැන් ඇය) : - හූ හූ රැවටුණා..
මම : - ඇත්තද? කමක් නෑ මට පේන්නෙ නෑනේ
ඇය : - පවු
මම : - කවුද?
ඇය : - ඔයා
මිනිත්තු කිහිපයකට පසුව ජංගම දුරකතනයට පණිවිඩයක්
"හූ හූ පවු අනේ"
මගෙන් කිසිදු ප්රේතිචාරයක් නොමැත
පැය තුනකට පමණ පසු
"මාත් එක්ක තරහද?"
මගෙන් පිළිතුරක් නැත.
.
.
.

මා රැවටුනේ බොහෝ කලකට කලින් බව මට ටික කලකට පෙර සිටම වැටහී තිබුණි. තවත් අමුතුවෙන් රැවටෙන්නට දෙයක් නැත. නැවත රැවටීමට ඇයට හැකියාවක්ද නොමැත. මාගේ සිත තුල ඇය කෙරෙහි වූ ආදරය පෙරලුනේ අනුකම්පාවකටද නැත්නම් හිරිකිතයකටද යන්න තවමත් මට පැහැදිලි නැත. බොහෝ දුරට ඒ ද්විත්වයේ මුහුමක් විය හැක. නැවත ඇය මාවෙත පැමිණියහොත් ඇයව බාරගැනීමට පටු ඉඩක් ඇත. නමුත් ඒ ආදරය නිසානම් නොවන බව මට සක්සුදක් සේ පැහැදිළිය.


රොටියාගේ සටහන: මෙය රොටියා ලියූ ලිපියක් හෙම නොවේ. අයිතිය මුල් කතෘට..