කතාව හිතුවාට වඩා දිගු විය. ප්‍රමාද විය. ඒ එක්කොම එක්ක රොටියා සමග ඉන්නා පාටකයන්ට හිස නමමි. කෙල්ලෙක් නිසා අවුරුදු හයක් නාස්ති කරගත්, අවසානයේ කොහෙවත් හුන් ගෑණු ළමයෙකු නිසා ජිවිතයම වෙනස් කරගත් රොටියා ගේ ප්‍රේම කතාවේ අවසාන කොටස මෙසේ ලියමි.....
මුලින්ම කිවයුතු යමක් ඇත්තේය.. සැබෑ ආදරය කියා ඔය කවීන් වර්ණනා කරන, ජිවිත කාලය පුරාම නොලැබෙන කෙනෙකු ගැන හිතමින් වදවෙන ජාතියේ හැඟීම් හෙම ආදරය කියා වරදවා වටහා ගන්නට එපාය. විරාගයේ (මාර්ටින් වික්‍රමසිංහ) අරවින්ද හෝ සින්දුර් හි (සුජීව ප්‍රසන්න ආරච්චි) අරවින්ද වැන්නවුන් පරමාදර්ශය කර ගන්න හදන්නත් එපාය. සමාජයේ ජිවත්වන බොහෝ චරිත පොදු පුරුෂයා හි (සුනේත්‍රා රාජකරුනායක) සාෂා වැන්නවුන්ය. හඹා යා නොහැක ප්‍රේමය (භද්‍රජි මහින්ද ජයතිලක) වැනි පොත් හරහා ආදරය විනිවිද දැකිය හැකි බව රොටියාගේ අදහසයි.
සමාවෙන්න, මෙය පොත් ගැන විචාරයක් හෙම නොවේ. රොටියාට පවසන්න වුවමනා වුයේ සැබෑ ලෝකයේ ආදරය වනාහි දෙදෙනාගේම කැමැත්ත හා අවබෝධය මත හට ගන්නා හැඟීමක් බවයි. ඒක පාර්ශ්වික ආදරය තුල ඇත්තේ ආකර්ශයක් සමග ඇතිවූ තණ්හාවයි. හිමිකර ගැනීමට ඇති ආත්මාර්තකාමිත්වයයි. මැරෙන තුරු හිඟා කා ආදරය ලබාගත් නොහැක. ලබා ගන්න හැකිවනුයේ අනුකම්පාවයි. එසේ අනුකම්පාව මත ඇතිවූ සම්බන්දයක් පසුව ආදරයක් බවට හැරීමේ සම්බාවිතාවයක් නැතැයි රොටියා කියන්නේ නැත. නමුත් අනුකම්පාවට ඇති වූ සම්බන්දයක අනුකම්පාව නැතිව ගිය කල ඔක්කොම කොට උඩය. මොකක් හෝ වෙලාවක් තිබී කසාදයට පෙර අනුකම්පාව අහෝසි උනා නම් හොඳය. නැත්තන් ඉතින් පවුල් කන්නට වන්නේ ලෝකෙට පේන්නටය
ආදරය සුන්දරය. මඩවන්නට බලන් ඉන්න, නටවන්නට බලන් ඉන්න, දහයට ගනින්න බැරි ගානට හැසිරෙන ලතාලා නොව කෙලින් කතා කරන අපට ඇත්තටම කැමති ගෑණු ළමයෙකු මුණ ගැසුණු විට පිරිමි අපට දිව්‍ය ලෝකය දැකිය හැක. එසේ ඇත්තටම ආදරය කරන ගෑණු ළමයෙකු මඩවා, කාමර ගානේ දක්කාගෙන ගොස් නිර්දය ලෙස අතහැර දමන්නා කිසිම දිනක ආදරය විඳීමට නොහැකිවෙන පව්කාරයකි.
ගැහැණු ළමුන් ආදරය ප්‍රකාශ කරන්නේ විවිදාකරයෙන්ය. රොටියාගේ ගෑණු ළමයා ගැන බැලුවොත්, ඇයට නප්පියට තදවෙනවාය. එසේම ඈ රොටියාව දේවත්වයෙන් පුදා වන්දමාන කරන්නේද නැත (එසේ කරන ගෑණු ළමුන් ගැනද රොටියා අසා ඇත). රොටියා කරන කියන හැම දෙයක්ම ඉස් මුදුනින් ගෙන සම්මත කරන්නේද නැත. රොටියා හා ඈ අතර ඇත්තේ අවේගශීලි, විවාදාත්මක , ගැටුම් බහුල සම්බන්දයකි. එවැනි සම්බන්දයක් මේසා කලක් රැකී තිබීමට එකම හේතුව ඈ තුල රොටියාට ඇති කැමැත්තයි. රොටියා තුල ඈ පිළිබඳව ඇති කැමැත්තයි. රොටියාට වුවමනා ඕනෑම දෙයක් ඈ සමග පැවසිය හැකි අතර ඈත එසේමය. රොටියාට ඈ සමග ඉන්නා විට ඇත්තේ නාන කාමරයක ඇඳුම් නැතුව ඉද්දි දැනෙන නිදහසමය.
කරුණාකර ඔබේ ජිවිතයේ සහකරු හෝ සහකාරිය තෝරාගන්නා විට මදක් වගකීම් සහිත වෙන්න. රූපය, දෑවැද්ද ගැන සලකා ඔබේ ජීවිතය නාරාවලක් කරගන්න එපාය. මව්පිය කැමැත්ත ගැන නම් සාදාරණව සලකා බැලුවාට කමක් නැත.
ඒ ගැන ඒ ඇතිය. දැන් එකෝමත් එක දවසක සිද්ද වුනු කතාන්දරයය
එම්. සී එකේ දහසක් ලයිට් එලිය මැද මම මගේ නුදුටු යෙහෙළිය, සුරලිය දුටු ආකාරය පහුගිය කොටසේ සදහන් කළා මතක ඇත
කුඩා ගැහැණු ළමයා සබකෝලයෙන් හිනැහෙමින් මල්ලක් ළඟ තබාගෙන උන්නාය
දැක පුරුදු මුහුණකි.. වෙනස් වී ඇත
කවුද යන්න ඔලුවට ආවේ ඊළඟ තත්පරේය. ඈ මාව දකින්නට පෙර අදුනා ගත්තා නම් මා හැරී යන්නට ඉඩ තිබුනේය
ඒ උන්නේ කොටි කුමාරිය
.... විස්වාස කලත් නොකලත් ඒ උන්නේ ඈමය
පාසල් වියේදී අපව තුට්ටුවකට මායිම් නොකළ, අප හීනෙන්වත් අපේ කරගන්න නොහිතුව කොටි කුමාරියය.....
ජීවිතය ඔන්න ඔය වගේය. අවුරුදු ගානක සිට දැන අඳුනාගෙන සිටියාක් මෙන් අප හිනැහෙමින් උන්නේ අපටමය.. මම අවුරුදු ගණනක් කෙල්ලෙක් පස්සෙන් ගොස් ලෙල්ලටම චාටර් වී බව හොඳින්ම දැනන් උන් කීප දෙනාගෙන් කෙනෙකි ඈ. (ලපයා ඒ දිනවල නදීට ඔය කතාව කියා තිබුනේය)
එදා අප යටගිය කතා මතක් කරමින් හිනැහෙමින් එම්. සී එක පුරා ඇවිද්දා මතක ඇත. සිද්ද වෙන්න බැරි හුඟාක් දේ සිද්ද කරමින් ආරම්බ උනු අපේ කතාවට නිසි මාර්තෘකාවක් දෙන්නට මුල් වුනේද ඇයමය
"ඉතින්.." (ඒ මමය)
"ඉතින් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ හරි පොයින්ට් එක ගැන..ඔයාට මං ගැන අදහසක් තියෙනවා නම් එහේ මෙහෙ වට ගහන්නේ නැතුව කෙලින් කියල ඊළඟට අපේ අම්මලට කියන්න ඕනේ හරිද.."
දෙවියන් විසින් මේ ගෑණු ළමයාව මවා තිබ්බේ ඔන්න ඔයාකාරවය. මේ මුල්ම දවසය. අඩුම ගානේ ඒ සම්බන්දව මම මෙපමණ වෙලා වදනක් වත් සඳහන් කලේද නැත.
කට ඇරියේ මම නොව. අවුරුදු ගානක් තිස්සෙවත් හැදෙන්න බැරි වුනු රොටියාය
"ඉතින් මම ඔයත් එක්ක තාම යාලු වෙන්න ඇහුවේ නෑ නේ.."
"අහන්න කලින් කිව්වේ.. එහෙම නැතුව අනේ අපි යාළුවො කියල තොත්ත තොත්ත ඉඳල අවුරුදු ගානක් තෙපර බාල, අන්තිමට මුකුත් නැති කර ගන්න මට බෑ. අනික මට ඕනේ තරන් යාළුවො ඉන්නවා. ඔයාට ඕනේ යාලුවෙක් නම් යාළුවෙක්ව හොයා ගන්න. මට කැමති නම් එක ඒ විදියට කියන්න"
ඉතින් අප පටන් ගත්තේම ඔය ලෙසය. එතනින් එහාට මොන කතාද..
ලපයා නම් මගේ පෙම්වතිය කොටි කුමාරිය බව විස්වාස කළේම නැත. ඌ විස්වාස කළේ ඈව දුටු පසුවය
එතැන් සිට අවුරුදු හතරක්ම ගෙවී අවසන්ය. මට කලින් අදටත් ඈ තීරණ ගෙන අවසන්ය. මම යන්නේ මොන පාරෙන්ද කියා කල්පනා කරන විට ඈ අදාළ තැනට ගොස් ඉවරය. තනිවම නොව මාවත් ඇදගෙනම
හොඳ නරක දෙකම ඇත. දුක සතුට දෙකම ඇත. මොනවා උනත් ඈ මං ළඟය..
මා ඈ ළඟය
2014 ඔක්තෝබර් 31 රොටියා
~ඉවරයි~

ඉර පායන බවත්, මල් පිපෙන බවත්, කුරුල්ලන් සින්දු කියන බවත් මට හැඟී යන්නට විය.හේතුවක් නැතුව නිතරෝම හිනැහිමෙන් ආරම්බ වූ රෝගය , නාන කාමරයේ ගී ගැයීම තරමටම උත්සන්න විය. හීන, හුදෙක් වචනයක් නොවන බව වැටහෙන්නට විය. රුපයට ඇතිවන කැමැත්ත හා කෙනෙකුගේ ගතිගුණ වලට ඇතිවන ආදරය අතර වෙනස ජිවිතයේ මුල්වරට මා තේරුම්ගත්තේ මේ සමයේය
එදා ඇතිවුණු කතාබහෙන් පසුව ඈ මා සමග අමනාප වේයැයි සිතා උන්නත් එසේ වුයේද නැත. පැවසිය යුතු දේ මුහුණටම පැවසීමෙන් පසු මෙන්න ඈ නැවතත් පෙර උන් ලෙසම..
තවත් ඇද ඇද ඉඳීමේ තේරුමක් නොවේ යයි මටම හැඟී ගිය නිසා මම දිනක් ඈට ඇමතුමක් ගත්තේ මා සතු සියලුම ධෛර්යය එකතු කරගෙනය.
මා හතර අතේ වන වනා ඈට අපි දෙදෙනා ළඟදීම මුණගැසෙන්න උවමනා බව පවසන්න වෑයම් කලෙමි. මොන දේ දෙඩෙව්වත් උවමනා දෙය පැවසෙන්නේ නැත
හිතේ ඇති දේ කියා ගත නොහැකිව හතර විලියෙන් මිරිකී ඇමතුම විසන්දි කරන්නට සැරසෙනවාත් සමග ඈ නැවතත් මට කතා කළාය
"මට මේ ඉරිදා බෝඩිමට එන්න වෙනවනේ. සඳුදා එග්සෑම් නිසා. ඕනේ නම් මට ඉරිදා උදේම එන්න පුළුවන්"
කියවන ඔබ විස්වාස කලත් නොකලත් මගේ ගෑණු ළමයාට අන්න එච්චර කොන්දක් තිබුණි. මට මං ගැනම අනුකම්පාවෙන් බිම ඉඳගෙන අඬන්න හිතුනේය.
අවුරුදු ගානක් අනාගත් මට ඒ වන විට මොලේ පෑදී ඇතැයි මම අවංකවම හිතාගෙන උන්නෙමි. මම කට ඇරියේ " එහෙම නම් නියමයි නේ, මටත් ඉරිදට වැඩක් තියෙනවා , අපි දෙන්නට මිට් වෙන්න පුළුවන් වෙයි නේ " කියන්නටය
ඒත් මගේ හත්ඉලව් කට පැවසුවේ වෙනත් දෙයකි
"මට ඉරිදට කරාටේ ක්ලාස් තියනවනේ"
කියපු දේ ආපසු ඇද ගත නොහැකිව මම දිව විකා ගත්තෙමි. දෙවියන් විසින් දෝත බදා ලබා දුන් අවස්තාව මග ඇරගත් හිපාටුවෙකු වූ මම හද්ද කුණුහරුපෙන් මටම බැනගෙන , තව කුණු හරුප ටිකක් අහගන්නට ලපයා ඇමතුවෙමි.
මේ වනවිට විශ්වවිද්යාලිය ජිවිතයේ අවසන් වසරේ සිටි ලපයා කුණු හරුපයට කෙතරම් කට හුරුකරගෙන උන්නාද යත් , ඌ එදා පැවසු දේවල් සමහරක් අදටත් මට පැහැදිලි නැත.
"කතා කරපිය ගස් ගෙම්බා, කියපිය තොගේ *&%// ක්ලාස් එක ඉරිදට නෑයි කියල. ඇට රිලවා. තෝ ඔය චාන්ස් එක මිස් කරගත්තොත් නම් (ඉතුරු හරිය මෙහි ලියන්නට බැරිය)
මම ඉතින් ආයෙමත් සැරයක් ඈට ඇමතුමක් ගත්තෙමි
"මේ, මේ සතියේ කරාටේ ක්ලාස් නෑලුනේ.. මම සර්ගෙන් ඇහුවා. මටත් පොඩි වැඩකට බම්බලපිටිය පැත්තේ එන්නත් තියෙනවා. අපි මිට් වෙමුද.. මට ඔයාව බලන්න හරි ආසයි.."
"බෑ අනේ.. මම ඉරිදා හවස් වෙලාම එන්න හිතුවා.."
ඈ මට කිතුල් පොල්ලකින් පත බෑවානම් ඔයිට හොඳය. ඉතින් මම මගේ ලැජ්ජාව , හැදියාව ඔක්කොම පැත්තකින් දමා ඈට පැමිණෙන ලෙස පින්සෙන්ඩු උනෙමි
ඈ කැමැත්ත පල කළේ එදා රාත්‍රියේය.. අවසානයේ මම දිව්‍යලෝකය දුටුවෙමි
"හැබැයි මම කලුයි. ගොඩක් මහතයි. ඔයා මොනවා හිතයිද දන්නේ නෑ.."
"කළු කියන්නේ කැත පාටක් ඈ.. අනික මාත් මහතයි.. ඔයා එන්නකෝ" මම දාර්ශනිකයෙකු ලෙස පැවසීමි
ඉතින් ඊළඟට පැමිණියේ මගේ ජිවිතයේ හෙමින්ම ගෙවීගිය දින දෙකය. මුහුණු පොතේ මවිසින් ඈව හමුවන්නට ගෙවෙන්නට ඇති පැය ගණන පැයෙන් පැය යාවත්කාලින කිරීම, මගේ මිතුරන් ඔක්කොම හද පත්ලෙන්ම මට සුබ පැතීම මෙන්ම මාව මැඩවීම,ලපයා තකහනියේ පැමිණ මට ඇඳුමක් අරන් දීම, ඈට ගෙනගිය යුතු තෑග්ග ගැන කල්පනා කිරීම ආදී නොයෙකුත් දේ අතර වුවද තත්පරයක් මට පැයක් ලෙස දැනුනි
අවසානයේ මෙන්න මගේ දවස..
නියමිත වෙලාවට පැය දෙකකට කලින් එම්.සී එකට ගිය මම කුඩා ටෙඩියෙක් හා චොකලට්ටුවක් ගත්තේ ඈට දෙන්නය.
ඈ පැමිනේයැයි කියූ වෙලාව ට තව කල්පයක් ගෙවුණු අතර, මදින් මද වෙලාව ගෙවී ගියද ඈ පැමිණෙන පාටක් නැත
ඇමතුමක් ගත් කල පැවසුවේ ඈ තවමත් මග හෙයින් පරක්කු වන නිසා මට හැරී යන ලෙසය. එහෙත් මා උන්නේ මාසයක් හෝ එම්. සී එකේ ලැග හිඳ ඈව බලාගෙන මිස හැරී යන්නට නොවේ.
ඇතුළු වීමේ දොරටුව දෙස බලාගෙන උන් මට , එම්. සී එකට ඇතුළු වන කළු, මා වැනි හතරක් තරම් ප්‍රමාණයකින් යුතු ගෑණු ළමයෙකු පෙනුනි. ආ සැනින් ඈ දුරකථනය අතට ගෙන ඇමතුමක් ගන්නවාත් පෙනුනි. සිතල වී ගිය, මදක් වෙව්ලන අතින් අල්ලාගත් දුරකථනය දෙස මම බලාපොරොත්තු සහගතව බලාගෙන උන්නෙමි.
විනාඩි දෙකක් පමණ ගෙවී ගියද ඇමතුමක් නොපැමිණි බැවින් මම ඈට ඇමතුමක් ගත්තෙමි. ඒ වනවිටත් ඈ උන්නේ මගය. මගේ ඇඟට යන්තම් ලේ පොදක් ඉනුවේය.
ආයෙමත් එවැනි තිගැස්සිම් ඇති නොවන්නට මම එයින් පසු පළමු මහලේ කඩසාප්පු අතර ඇවිදිමින් උන්නෙමි. කතාකරගත් වෙලාවට හරියටම පැය දෙකකට පසු මගේ දුරකථනය නාද විය
"හෙලෝ ඔයා තාම ඉන්නවද?" මදක් ගැස්සෙන ලා හඬකින් ඈ ඇසු අතර ඈ කෙතරම් පහත් ස්වරයකින් කතා කලාද යත් මට ඈව ඇසුනේ යන්තමිනි.
"ඔව්...."
"මම පොන්ඩ් එක ළඟ"
මම අඩි දෙකට පහලට බැස්සෙමි. පොකුණ ළඟ මට පිටුපස හරවාගෙන කුඩා ගැහැණු ළමයෙකු වාඩි වී උන්නේය. ලොකු මල්ලක් ඈ ළඟ බිම තබා තිබුණි. මගේ හද නැවතුනේ නැතැයි කිවොත් එය බොරුවකි
මම දැන් ඈ ඉදිරියේ.. එම්. සී එක ඇතුලත විදුලි පහන් දහස් ගණනක ආලෝකයෙන් දිලිසෙන්නේ මගේ ජිවිතයේ හවුල්කාරිය බව එක් මොහොතකින්ම මට වැටහුනේය.
.jpg)
පළමුව මූණු පොත හරහා ගොඩ නැගුනු කතාබහ ක්‍රමයෙන් ඩයලොග් දුරකථන ජාලයට සම්ප්‍රාප්ත උනේ ඔන්න ඔය ආකාරයටය. ඇගේ කිංකිනි හිනා හඬට මම වශී වීමි. හිනා හඬ අසා මගේ හිතේ මැවුනේ නම් හීනි පොඩි කෙල්ලෙකි. නමුත් ඈ කියනා ලෙසට ඇය තලෙලලුය (කිව්වේ මගේ පාට කළු කියාය). මදක් මහතය. අගේ කරන්නට සිතාදෝ කොපමණ ඉල්ලීම් ඉදිරිපත් කලත් මුණු පොතට ඇත්ත රුපයක් දැම්මේ ඇය නොවේය.
ගෙම්බාගේ ගෑණු ළමයාද, ඇය ඉගෙන ගන්නවා යයි කියන පවුද්ගලික අද්යාපන ආයතනයට ඇතුළු උනේ ඔන්න ඔය අතරය. උදේ හවස මගේ ජීවිතය වර්ණවත් කරන කිංකිනි හිනාවේ හිමිකාරිය කව්දැයි දෑසින් දැකබලා නොගතහොත් උමතු වන මට්ටමේ සිටි මට එතැනින් පොටක් පෑදුණේය.
සිනා සලන්නිය, ඉතා ඉක්මනින් කේන්ති ගන්නියක් බවද මේ ටිකට මට වැටහී තිබුණු නිසා ඉල්ලීම ඉදිරිපත් කල යුතුව තිබුනේ බොහෝ පරිස්සමෙනි. ඈට පැය ගානක් මා සමග කතා නොකර සිටින්නට වචනයක් වැරදීම හොඳටම ප්‍රමාණවත්ය. අදහස දුන්නේ ගෙම්බාය. පැය තුනක් තිස්සේ ගලපා ලස්සන කතාවක් අමුණා ගත් මම ඈට දුරකතන ඇමතුමක් ගත්තෙමි.
" මේ මගේ යාලුවෙක්ගෙ ගර්ල් ඕගොල්ලන්ගේ ජුනියර් බැච් එකට ඇවිත් තියෙනවා. එයාට ෆර්ස්ට් යුනිට් එක අමාරුලු. ඔයාට පුලුවන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න"
ඉගෙන ගන්නා දේකට ඇය හතරගාතයෙන්ම පැන උදව් කරන බව ආයේ අහන්නත් දෙයක්ද
" අපෝ ඕක මොකද්ද එන්න කියන්න, මට ෆ්‍රී ටයිම් එකක එන්න කියන්න.."
මම පස්වනකුත් තව එකකුත් ප්‍රීතියෙන් පිනා ගියෙමි. ගෙම්බාගේ ගෑණු ලමයාවද මම හොඳින් අඳුනන නිසා දැන් කොල්ලා ගොඩය. ගෙම්බාගේ අදහස මේකය. උගේ ගෑණු ළමයා ඈව දැක බලාගෙන ඊළඟට ඇය ටිකක් හෝ රූමත් නම් දෙවනුව මා ගොස් ඇයව මුණගැසිමය. ඇගේ පෙනුම මට ගැලපෙන්නේ නැත්නම් මේ වැඩේ හෙමිහිට නවතා දැමීමය
නමුත් ගෙම්බාට පවා එවෙලේ පැවසීමට හිත නොදුන් නමුත්, ඒ මොහොත වන විට අර කිංකිනි හිනාවට මම ගැලවෙන්නට නොහැකි ලෙසටම තදින් ඇලි සිටියෙමි. මදක් කල්පනා කරන විට, අවුරුදු හයක් තිස්සේ ලස්සනයයි කියාගන්නා කෙල්ලෙකු පසුපස ගොස් නා ගත් අත්දැකීම්ද සහිතව සිතන විට මට තේරුම් ගියේ මාද රිතික් රෝෂන් හෝ ටොම් කෘස් නොවන බවය. මමද මහතය. ගෑණු ළමුන් ලස්සන යයි සලකා උවමනාවෙන් බලන දේහ ලක්ෂණ බොහෝමයක් මවෙත නොවිණි. රුපය කුමක් වුවත්, හැමවිට හිනැහී ඉන්නා ගෑණු ළමයෙකු සමග ජීවත්වීම කොපමණ සුන්දරද? (ඒ හිනා යටින් තිබූ දත්මිටි කෑම් හෝ තරහෙන් කෑ ගැසීම් ගැන එකල මම දැන උන්නේ නැත)
කෙසේ නමුත් වන්නක් වේවායි සිතා, කතා කරගෙන සිටි සැලසුමේ ආකාරයට ගෙම්බාගේ ගෑණු ළමයා ගොස් ඈව දැක බලාගෙන පැමිණියාට වරදක් නැතැයි මට අන්තිමේදී සිතුනි.
එහෙම හිතා ඉවරවෙන්නත් පෙර මෙන්න ඈගෙන් දුරකථන ඇමතුමක්..
" ඔයා හිතන් ඉන්නේ එක එක ලමයින්ව එවල , මං කවුරු වගේද කියල බලාගෙන යන්න නම් කරුණාකරලා ඒ ගෑණු ළමයට කියන්න තෝලක කම් කරන්නේ නැතුව යන අතක් බලාගෙන යන්න කියල" (ගෑණු ළමයින්ට තුන්වෙනි ඇසකුත් තියෙන බව මම දැනගත්තේ එදාය)
මම අමාරුවෙන් කටහඬ සාමාන්‍ය තත්වයේ තියාගෙන කතා කරන්නට උත්සහ කලෙමි. මෙලෙස කියන දේ මුණටම දමා ගසන ගෑණු ළමයෙකු මට මිට පෙර මුණ ගැසී නොතිබුණු නිසා, ඇත්තටම මම පොඩ්ඩක් දෙදරී උන්නෙමි. " නෑ එහෙම එකක් නෑ.. ඇයි ඔයාට එහෙම හිතුනේ.."
" ජුනියර් බැච් එකේ ෆර්ස්ට් යුනිට් එග්සෑම් තියලත් ඉවරයි. ඔයා නිකන් බාල වැඩ කරන්න හදන්න එපා. ඔයාට ඕනේ නම්, වැදගත් විදියට අපි මිට් වෙමු. ඔය හැංගි හොරා වැඩ නම් මට පේන්න බෑ.." ඇය දඩස් ගා ඇමතුම විසන්දි කළාය.
මම හිටි විදියටම විනාඩි කීපයක් හිටියේ, සිහි එලවා ගන්නටය. ඈ හිතා උන්නේ ඈ ඇන්ජලිනා ජොලි කියාවත්ද..?
මම හැරෙන තැපෑලෙන් ඇමතුමක් ගත්තේ ලපයාටය. මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ඌ ළඟ බව මට මගේ හිත කිවේය. මගේ පිරිමි කමට ඈ එල්ල එක ඊතලය වැදුණු තැන තුවාලය ඒ වනවිටත් රිදුම් දුන්නේය. මා කොන්දක් නැති, පණක් නැති එකෙකු කියා හිතා ඉන්නවා නම් ඈ එලෙසෙම උන්නාවේ. මට මෙවැනි ගෑණු ළමුන් නැතුවාට කමක් නෑ..
මා කියූ සියල්ල ලපයා සාවදානයෙන් අසා උන්නේය. " මචං ඔන්න මේ පාර නම් උඹ නියම ගෑණු ළමයෙකුට සෙට් වෙලා තියෙනවා. ඕක එහෙම නම් අත ඇරගන්න එපා.." ඌ කිව්වේ මා බලාපොරොත්තු වූ දෙය නෙවේය. මට ඌ සමග ආවෙත් සුළුපටු කේන්තියක් නම් නොවේ
"යකෝ" යයි පටන් ගෙන, මේ මල හෝන්තු ගෑණු සමයමගේ ඌට පෙනෙන හොඳේ මොකද්දැයි මම උගෙන් ඇසුවේ අසන්ෂික්ප්ත සිංහලයෙනි (සුදු නම් තව කමක් නෑ කියමුකෝ). ලපයා පිළිතුරු දුන්නේ පාලි සංස්කෘතියෙනි. ඌ දුන් පිළිතුරේ සරලම අදහස මේකය
" උඹට ඕනේ " අයියු හුයියෝ.. කියාගෙන නලවන, හිතේ එකක් තියන්, වෙන ඒවා දොඩෝන කෙල්ලෙක්ද? පියරු බබෙක්ද.. නැත්තන් පොලවේ පයගහල ඉන්න කෙල්ලෙක්ද.. උඹ කතා කරන්නේ නැත්තන් මට කියපන්.. මං හරිම කැමතියි හිතේ තියෙන දේ එහෙම්ම කියන කෙල්ලෙකුට.. ඇත්තටම කියපන්.. මම කැමතියි දැකල නැති උනත් ඔය කෙල්ලට.."
ඌ ඒක නම් කිව්වේ ඇත්තටමය. ගෑණු ළමයෙකු නැතුව ( එක්කෙනෙක් නැතුවාට ඌට කීප දෙනෙකුම උන්නේය) වේලෙන ඌට අදටත් මගේ ගෑණු ළමයාව දකින විට නලියන ගතියක් ඇත
ඇගේ කතාව, ඇගේ පැත්තෙන් සාදාරන බවත්, මා නොපමාව ඈව හමුවිය යුතු බවත් , මම මටම ගිවිස ගත්තේ එදාය..
.jpg)
සිහිවන විට හීන් කිතියකින් හද ඔද්දල් වන සිත්තටික් සිහිනයක කෙමෙන් කෙමෙන් මා ගිලී යමින් ඉන්නා මාව මටම දැනිණි. ටිකෙන් ටික මේ ගෑණු ළමයා මගේ හිත ආක්‍රමණය කරන්නට වුවාය. නමුත් මා කවදා හෝ පෙම්වතිය කරගන්නට සිහින මැවූ සුදු ලස්සන ගෑණු ළමයා ඈ නම් නොවන බව මට වැටහුනේ ඇයගේම කතාවෙනි.
අලුත් පෙම් කතාව දැනගත් ලපයා ඒ සඳහා මාව දිරිගැන්වුයේ ඇත්තටම මාව විස්මයට පත් කරවමිනි. "යකෝ.. උඹ ඔය හොයන කැරපොතු බෝනික්කන්ට වඩා, පොලවේ පැය ගහල ඉන්න ගෑණු ළමයෙක් වටිනවා බං. මොකෝ උඹ කියලත් කුමාරයෙක් වගේ පෙනුම තියෙන එකෙක් නම් කමක් නෑ.."
ගෙම්බාගේද ප්‍රතිචාරය මේ හා සමාන විය. ඉතින් ගෑණු ළමයාගේ කැමැත්ත අකමැත්තවත් නොදැන උන් මගේ හිත කැමැත්ත හා යතාර්ථය අතර දෝලනය වන්නට විය. මෙපමණ කලක් හදවතට එකඟව ආදරය කොට අනාගෙන හතරවටේ ගා ගත් මම, මෙවර බුද්ධියට අවස්තාවක් දීමට අන්තිමට හිත හදා ගත්තෙමි
මා ඇගේ දුරකථන අංකයවත් අඩු තරමේ දැන උන්නේ නැත. ඊළඟ දිනයේ මුහුණු පොතේ සංවාදය අතරතුර මම ඇගේ දුරකථන අංකය විමසු අතර, පැනයත් සමගම ඈ සංවාද ලැයිස්තුවෙන් අන්තර්ස්ධාන වූවාය. ඕනෑ මගුලක් වෙන්නටයි හිතා මම මගේ දුරකථන අංකය ලියා ඇයට පණිවුඩයක් තැබීමි. කැමති නම් එවන්නේ නැතැයි..
දවස් කීපයක් නිශ්ශබ්දවම ගෙවුණි.. එක් දිනක් හදිසියේම නොදන්නා ඩයලොග් අංකයකින් පැමිණි පණිවුඩයක් මෙසේ විය..
"ඔයාගේ මුණුපොතේ නුදුටු යාලුවන්ගෙන් එක්කෙනෙක් මේ පණිවුඩය එවනවා.."
ඒ කව්දැයි සොයන්නට මට නැවත පොත් පෙරලා බලන්නට උවමනා නොවිය. හැරෙන තැපෑලෙන්ම මෙසේ යැව්වෙමි
"මට ඉන්නේ එක නුදුටු යෙහෙලියක් පමණයි. ඔයා _________ නේද?
පසුව මම දැනගන්නට යෙදුනු පරිදි ඇගේ පැත්තෙන් මුලින්ම මා ගැන විශේෂ හැඟීමක් මෝදු වී ඇත්තේ එදාය
එක් දිනකදී ඈ හා මා අතර චැට් පණිවුඩ කියක් හුවමාරු උණාද යත්, හදිසියේම ඇගේ කටහඬ ඇසීමේ නොනිත් ආසාවකින් මගේ හිත පෙලෙන්නට විය. ඇයට ආයාචනා කොට පලක් නොවුණු තැන මුරණ්ඩු ලෙස මම ඇයට ජිවිතයේ ප්‍රථම වරට ඇමතුමක් ගත් අතර ඇය ක්ෂණිකව එය විසන්දි කළාය. දෙවන ඇමතුම ලබාගැනීමේදී ස්වයංක්‍රිය වාදනයෙන් කියවුනේ ඈ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇති බවයි..
මගේ හිත කඩා වැටුණි.. දුරදිග නොබලා සිදුකල දේ නිසා යාලුකමත් නැතිවිදෝ යයි සැකයකින් හද කොනිති ගැසුවේය. සමාව ඉල්ලා පණිවුඩයක් යැව්වද එය ඈ වෙත ළඟාවූ බවට කිසිම සඳහනක් නොවිණි. සෑහෙන වෙලාවකට පසුව ඇගෙන් මෙන්න මට පණිවුඩයක්..
"මට තියෙන්නේ බෙලෙක් කටහඬක්.. ඔයා බයවෙයි මාත් එක්ක කතා කලොත්.."
මම පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ උනෙමි. ඈ මා සමග අමනාප වී නැත..
දින දෙකක් තිස්සේ පින්සෙන්ඩු වීමෙන් පසුව ඈ මා හා කතා කරන්නට එකඟ වුවාය.. හැබැයි විනාඩි දෙකයි..
ඉතින් රුපියල් දෙසිය ගානක රිලෝඩයකින් සන්නද්ද වූ මම එකෝමත් එක දවසක හවස් යාමයක මගේ නුදුටු මිතුරියට හා පුරා කියා ඇමතුමක් ලබා ගතිමි
දුරකථනය නාද වෙන හඬ මට ඇසුනි. ගන්න පාටක් නැත.. මගේ හද ගැස්ම මටම ඇහේ..
සැලකිය යුතු වෙලාවක් ගතවූ පසු මගේ බලාපොරොත්තු වියැකී යන්නට ඔන්න මෙන්න තිබියදී ඈ ඇමතුම ලබා ගත්තාය..
අප දෙදෙනාම ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. ඈ හුස්ම ගන්නා හඬ මට ඇසුනි. නිහඬතාවය දරා ගත නොහැකි තැන මම කතා කලෙමි..
"හෙලෝ.."
මගේ ජිවිතයේ ඇසු මිහිරිම සිනාවද ඊළඟට ඇගේ කටහඬද මට ඇසුනි.." හෙලෝ ඔය ... ද?"
"කවුද අනේ ඔයාගේ කටහඬ කැතයි කියන්නේ.."
ඈ නොනවත්වාම හිනැහෙන හඬ මට ඇසුනි. විස්වාස කරන්න .. මුල්ම රුපියල් සියය කැපෙන තෙක්ම මගේ සඳවතිය හිනැහුනා පමණය..
.jpg)
මගේ ජිවිතයේ යුගයක් ආරම්බ ඔයාකාරව ඊ බඩී සමගය . ගිනිපෙනෙල්ලෙන් බැට කා උන් මා කනා මැදිරියාටත් බය උනා නොවේ . එත් ඇත්තම කිවහොත් මේ නවයුගය මට එතරම්ම හිතට ඇතුළු වී තිබුනේ නැත . මුලින්ම එය කොලුවයසේ හුන් කොල්ලෙක් , කොලුකමට ගෑනු ළමයෙකු සමග කල කතාවක් පමණක්ම විය
ඊට පසු දින දෙක තුනක්ම මම ඈ සමග කතාවට එකතු වීමි . ටිකෙන් ටික ඇය මට ඇගේ තොරතුරු පවසන්නට යෙදුනාය
"හයියෝ මට එපා වෙලා තියෙන්නේ . මේ ප්‍රොජෙක්ට් එක .." ඒ දිනවල ඇය ඇගේ උසස් අධ්‍යාපන පාටමාලාව සඳහා ව්‍යාපෘතියක් කරන බව මා දැනගත්තේ එහෙමය
අධ්‍යාපන කටයුතු පහසු වන්නට අය කොළඹ නේවාසිකාගාරයක නැවතී ඉන්නා බවද , එතැන ඉතාමත් දැඩි නීති පවතින බවද ඇය මට හෙළි කලාය . කෙසේ හෝ කතා කල ආකාරයට නම් , මා දැන සිටි සියලුම ගෑනු ළමුන්ට වඩා ඇය වෙනස් වුවාය.
එක් දිනක් මම ඇය හා කතා කරන්නට පටන් ගත්තේ රාත්‍රී නවයහමාරට පමණය . ඒ සතියේ දිනක් වූ නිසා ඈ උන්නේ නේවාසිකාගාරයේ බව මම දැන උන්නෙමි . ටිකෙන් ටික කතාව දික් ගැහෙන විට ඇය මට , නේවාසිකාගාර ජීවිතයත් ඒ වටා ඇති මල පාළුව ගැනත් විස්තර කරන්නට යෙදුනාය . ඈ නිවසට බොහෝ ලැදි , මිතුරු මිතුරියන් බොහෝ සෙයින් අඩු ගෑනු ළමයෙකු වූ නිසා තනිකම හා පාළුව දරන්නටම නොහැකි වන දිනවල එම් සී එක තුල ඔහේ ඇවිද යන අයුරු ද , නේවාසිකාගාරය අසල මුහුදේ ගෝෂාව ට කන්දී ඉන්නා අයුරුද මට කීවාය
ජිවිතයේ ප්‍රථම වරට ඈ ඇගේ ආත්මය කෙනෙකුට නිරාවරණය කල ලෙසම මමද ඇයට මගේ තනිකම හා පාළුව ගැන කීවෙමි . ඒ කතාව අතිශයින්ම මිතුරු කමට සිද්ද වුනු කතාවක් මිසක ආදර සම්බන්දතාවයක් පටන් ගන්නට මුලපුරන ලෙසට සිද්ද වුනු කතාවක් හෙම නොවේ . මට අද සිතෙන ආකාරයට කව්දැයි නොදන්නා , නොදුටු , නොඇසූ මිතුරෙකුට හෝ ,මිතුරියකට අපේ ජිවිතයේ රහස් පහසුවෙන් එළිකළ හැකිය . දන්නා කෙනෙකු සමග කියූ රහසක් , රහසක් ලෙස පවතින සම්බාවිතාවය අඩු නිසාද , අපි කියූ යමක් ආයුදයක් කරගෙන පෙරලා අපටම පහර එල්ල කිරීමට හැකියාවක් ඇති නිසාද , අපව නොදන්නා කෙනෙකු ඉදිරියේ හිත විරේක කිරීම ඇත්තටම පහසුය
කතාවෙන් වැටහුනේ ඇයට පෙම්වතෙකු නැති බවයි . ඒ ඈ තුල කිසිම හිත්ගන්නා පෙනුමක් නැති නිසයි
මුහුද කතා කරනවා . විශේෂයෙන්ම හඳ එලිය ඇති රැයවල .. අපිට ඒ කතා ඇහෙන්නේ නැත්තේ අපි ඒවාට ඇහුම්කන් නොදෙන නිසයි .. ඇහුන්කන් දුන්නොත් ඇහේවි .. මුළු විශ්වයම අපිත් එක්ක කතා කරන සද්දේ .. අපේ හිත අපිත් එක්ක කතා කරන සද්දේ .... (2009 නොවැම්බරයේ කිසියම් දවසක ඇය විසින් මට කියන ලද්දකි )

සෙල්ලම දිගටම සිද්ද උනේය. කියවන ඔබට මතක ඇතැයි සිතමි. ඔන්න ඔය කියන දවස්වල මුණු පොතේ එක එක ජාතියේ විවිදාංග පැතිර තිබුණු අතර "Aunty Anita" යනු ඉන් එකකි. බොත්තමක් ඔබා, අපේ මුණු පොතේ දත්ත වලට ඇතුලත් වීමේ අයිතිය දුන් කල, ඇනිටා යනුවෙන් හැඳින්වෙන ඒ ඇත්තිය ඔබට දිනපතා අනාවැකි පල කරන්නීය. කෙල්ලෙක් නැතුව වේලිමේ අරුමය ඇයවත් පවසාවිදෝ බලන්නට දිනක් මම ඇගෙන් අනාවැකියක් ඇසීමි. මා අනුව යමින් මගේ මුණු පොතේ නුදුටු මිතුරිය ඊළඟ දවසේ ඇනිටා නැන්දා ගෙන් අනාවැකියක් අසා ඇති බව දැනගත් විටද මට එතරම් විශේෂයක් හැඟුනේ නැත
දවසක් කීපයකට පසු මම මුනුපොතේ අල්ලාප සල්ලාප කතා කරමින් ඉන්නා විට ඇය හදිසියේම පෙනී සිටියාය. ඇය එයිට පෙර කිසිම දවසක ඔන්ලයින් හිටපු කෙනෙක් නොවුණු නිසා විශේෂයක් දැනුනු හෙයින් මම ඇයට පණිවුඩයක් යැවීමි
"හායි"
මිනිත්තු කීපයකට පසු ලැබුණු පිළිතුර
"හායි"
එදා මා දැනගන්නට යෙදුනු පරිදි ඈ මුලින්ම චැට් කරන්නට යෙදී ඇත්තේ එදාය. ඇය කියන්නටත් පෙර එය මටම තේරුනේ ඇය මට වරු ගණන් ගත කොට ලියා එවූ පිළිතුරු කියවන්නට ගොස් මගේ මොලේද කොලොප්පන් වූ නිසාය. පිළිතුර කෙතරම් මොල කරවී ලියන්නට යෙදුනද, ලිව්වේ වළලු දැමු අතක් වූ නිසා මමද ඇඹලයා මෙන් ඈ හා කතාවට උත්සහ කලෙමි. නමුත් මම ලියන පරක්කුවට උත්තර එව්වේ ඈ නෙමේය. ඈ බොහොම අහංකාර, ඔලුව උදුම්මා ගත්ත සහ කොල්ලෙක් සමග වචන හතරකට වඩා වැඩි වාක්‍යක් එක වරකට කතා කලොත් සිය හිරි ඔතප් බිඳෙයි යනුවෙන් හිතා උන් ගරු කටයුතු උත්තමාවියක් බව වැඩි වෙලාවක් නොගොස්ම මගේ කුඩා මොළයට වැටහුණි.
ඇය එක්වරම චැට් ලිස්ට් එකෙන් අන්තරස්ධාන වූ අතර, යන විට "යන්නම්" යයි කියා යන්නට තරන්වත් ආචාරශීලි කමක් ඈ තුල නොවිණි. සමහරක් ගැහැණු ළමුන් ගැන සමහරුන් කියන සමහර කතා ඇත්ත බව මට හිතුනේ එදාය. "ගැහැණු ළමුන් යනු තේරුම් ගැනීමට අමාරු සත්ව කොට්ටාශයක් නොවේ. ගැහැණු ළමුන් වූ කලී කිසිමදාක තේරුම් ගත නොහැකි සත්ව කාණ්ඩයක් වන්නේය. ඉනුත් සමහරු හිතන් ඉන්නේ පිරිමි ළමුන් යනු වෙනත් ග්‍රහලොවකින් බට විස්වාස නොකළ යුතු සතුන් පිරිසක් බවය. රොටියා නම් හිතන්නේ මිට හේතුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද කියාය. ගැහැණු පිරිමි වෙනස නොදන්නා පැඟිරි කොලුවා සිය කොලුවා පෙන්නා මේ මොකද්දැයි ඇසු කල, සමනලයා යයි ඌට ඉගැන්නු පසු, උගේ අලුත උපන් නංගිගේ සමනලයා ඉගිල ගොස් ඇතැයි නෑදෑ සබාවක් මැද විස්තර කරන්නට යෙදුනු සිද්දියක් සම්බන්දව රොටියාට පවුද්ගලික අත්දැකීමක් ඇත්තේය.
කෙසේහෝ මෙයින් සතියක් පමණ යනතුරු ඈ නිශ්ශබ්ද වුවාය.
එක දිනක් හදිසියේම මගේ මුනුපොතේ පණිවුඩ අතර ඇගෙන් ලැබුණු පණිවිඩයක්
"මට කියන්න පුලුවන්ද ජංගම දුරකතනයකින් ෆේස් බුක් චැට් කරන්නේ කොහොමද කියල, කරුණාකරලා?"
එකල මෙකල මෙන් ස්මාර්ට් ෆෝන් නොතිබූ නිසා අපගේ පිහිටට හිටියේ "e-buddy" ය. ඉතින් මම ඇයට ඒ ගැන කිව්වෙමි. හැබැයි එදාම නොව. ඉන් දින දෙකකට පසුව. මෙසේ මම ඈ මට පළමු දිනයේ ආචාරශීලි නොවීමේ වාඩුව ඇගෙන් ජයග්‍රාහිව අය කර ගතිමි
.jpg)
ඇය මගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් උනා කියා මට එතරම් විශේෂයක් දැනුනේ නැත. මන්ද එදවස් වල මා තවත් ගෑණු ළමයෙකුට හාපුරා කියා පැණි හලන්නට පටන් ගෙන සිටි නිසාය.
උනේ මෙන්න මේකය. කැම්පස් එකේ දේශන අතරතුරේ එක් ගෑණු ළමයෙකු මදෙස බලා ඉන්නා අයුරු එක් දිනක් මට අහම්බෙන් දකින්නට ලැබුණි. මගේ චප්ප උනු මුණ දෙස බලා ඉන්නා ගෑණු ළමුන් දුර්ලබ හෙයින් මමද ප්‍රීතියෙන් ඔකඳ උනු නමුත් ඈ මා බැලූ සැනින් ඉවත බලා ගත්තාය. කැම්පස් ජිවිතයේ පලවෙනි වතාවට හිත පුරා ගෑණු ළමයෙකුට පැණි හැලීමට හැකි තත්වයක සිටි නිසා මම නිතරම ඈ දෙස බලා උන්නේ බැරි වීමකින් හෝ ඈ නැවත බැලුවොත් හිනැහෙන්නය.
ඈ තව වතාවක් නොව දෙතුන් වතාවක්ම මදෙස බැලුවාය. මෙසේ මසක් පමණ මේ සෙල්ලම දිගටම කෙරුණු නමුත්, ඈට කැම්පස් එකෙන් පිට, නිවසින් යෝජනා කරන ලද මනමාලයෙකු සිටින බව මම දැන ගත්තේ පසුවය. අප දෙදෙනා අනතුරුව හොඳ මිතුරන් වූයෙමු.
මුණු පොතේ බයානක වසංගතයක් මෙන් එක සෙල්ලමක් පැතිර ගියේ මෙන්න මේ අතරය. සෙල්ලමේ නම සඳහන් කලොත් රොටියා කවුදැයි හෙලිවීමේ දරුණු අවධානමක් පවතින නිසා ඒ අවදානම ගැනීමට රොටියා සුදානම් නැත. වැඩි කලක් නොයවාම රොටියා මේ සෙල්ලමේ යාවජීව සාමාජිකයෙක් විය. රොටියා විසින් තම මුණු පොත් යහළු යෙහෙලියන් සියළු දෙනාටම සෙල්ලමට ආරාදනා කොට පණිවුඩ යැවූ අතර වැඩි කල් නොයවාම මෙම සෙල්ලම පිස්සුවක් තරමටම උග්‍ර විය.
සෙල්ලම සිදු වුයේ ජාලගතවය. ඒ කියන්නේ තමුන්ගේ ලකුණු පිළිබඳව බලාගෙන සිටීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණි. තරඟකරුවන් අනෙක් අයගේ ලකුණු අඩු කිරීම සඳහාද යම් යම් ක්‍රියා මාර්ග ගත යුතු විය.
මතක ලෙස අගෝස්තු හත් වෙනිදා වන්නට ඕනෑය. මම අර සුරන්ගනාවගේ ලකුණු අඩු කිරීම සඳහා (ඇයද සෙල්ලමේ ක්‍රියාශීලි තරඟකාරිනියක් වුවාය) යමක් සිදු කොට, ඇයට පණිවුඩයක්ද ලියා තැබුවෙමි.
"කවුද කියලත් දන්නේ නෑ. ඒත් කමක් නෑ මම අද _________ ______ ______ කළා"
ඈ මට පෙරලා පහර එල්ල කලේ ඉන් දින දෙකකට පසුවය
"ඒකට කමක් නෑ.ඔන්න මමත් අද ________ ________ කළා"
විස්වාස කරන්න. එය පටන් ගත්තේ ඔන්න ඔහොමය
.jpg)
මා හිතා උන්නේ එකෝමත් එක දවසක කතාව ඉවර කරන්නට නොවේය. නමුත් අන්තිම කොටස කියවූ බොහෝ දෙනා කතාව ඉවර බව හිතා ගත් බව මට තේරුම් ගියේය. එය ඒ අල්ලේ පනල්ලේ නිවැරදි කරන්නට නොගියේ ඒ දිනවල මහා රාජකාරි ගොඩකට මැදිවී උන් නිසාය. දැනුත් වැඩි වෙනසක් නැති උනාට, ලියන්නට හදා ගත් හිත ඉල්ලන්නේම ලියන්න කියාය. එනිසා කතාව නැවතූ තැනින් පටන් ගනිමි.
රොටියාගේ බ්ලොග් පිටුවට එන ඔබ මගේ සඳ ඔබ නමින් පළවූ පොස්ටු හතරක් පහක් දකින්නට ඇත. එය රොටියාගේ ගෑණු ළමයා ලියූ කතාවයි. වෙන වචන වලින් කියනවානම්, රොටියාගේ ගෑණු ළමයාට රොටියා ගැන හිතක් පහල වුනු දා ඉඳ කතාන්දරයයි.. රොටියාගේ පැත්තෙන් ඒ කතාන්දරය මෙලෙස ලියාගෙන යමි..
අවුරුදු හයක් තිස්සේ මා නාස්ති කල හීනයෙන් අවදි වුනු පසු මා අමුතුම වුනු බව ඇත්තය. ඒ කියන්නේ මම මගේ ජීවිතය ගැන වෙනදාට වඩා බැරෑරුම් ලෙස හිතු බව හා මට මා ගැනම සන්තෝස විය හැකි ලෙස මගේ ජීවිතය වෙනස් කර ගත් බවය. නමුත් මාත් නොදන්නා මොකද්දෝ පාළුවක් මගේ හතර වටේ වෙලා ගෙන උන්නේය. හෝර්මෝන වැඩ කරන කොල්ලෙකුගේ හිතේ, ජිවිතයේ මල් සමයේදී ඇතිවන මේ මල පාළුව ගැන කියවන ඔබට අමුතුවෙන් විස්තර කර දීමට අනවශ්‍ය යයි සිතමි. කෙසේ හෝ පාළුව මකා ගැනීම පිණිස අපි හැමෝම වාගේ යන බුකියට, එනම් මුහුණු බුකියට මමද ඇබ්බැහි වීමි
දන්නා අඳුනන ගෑණු ළමුන් සේම පොත්ත රතුවට හැඩට වැඩට ඉන්නා නොදන්නා ගෑණු ළමුන්ටද මම කොලු කමට මිතුරු ඇරයුම් යැවීමි. සමහරු ඇරයුම පිළිගත් අතර සමහරු මගේ ඇරයුම ගණන් ගෙනවත් තිබුනේ නැත. මොනවා උනත් මට මොකද.. මල් වගේ කෙල්ලෝ හතර පහක් හිටියාම මදැයි..
එසේ මම පාසල් අවදියේ මා දන්නා හඳුනන බොහෝ ගැහැණු ළමුන් මගේ මුහුණු පොතේ මිතුරියන් කර ගැනීමට සමත් උනෙමි. එසේ වන කල, මාර්ක් උන්දැ විසින් මා දන්නා හදුනනවායයි සැක කල හැකි ගැහැණු ළමුන්ව මට දිගට හරහට යෝජනා කරන්නට විය. මමද කිසිම ලෝබ කමක් නැතිව ඔවුන් සියලු දෙනාටම මිතුරු ඇරයුම් යැවීමි.
එක දවසක සුරන්ගනාවියකගේ රූපයකින් සිය ප්‍රොෆයිලය හැඩ කරගෙන උන් නාඳුනන යුවතියකට මිතුරු ඇරයුමක් යවන්න මට කටයුතු සිද්ද උනේ ඔන්න ඔය ලෙසය. ඇයට හා මට පොදු වුනු මිතුරු, මිතුරියන් දහයක් විස්සක් උන්නද ඈ කව්දැයි මම ඇත්තටම දැන උන්නේ නැත. මගේ මිතුරු ඇරයුම මෙන්න ඇය පිළිඅරගෙන. මාර්තු පස් වෙනිදාවක ඈ මගේ මිතුරූ ලැයිස්තුවට ඇතුලත් වෙලා..
ඒ දිනවල මගේ මිතුරු ඇරයුම් පිළිගන්නා ඕනෑම ගෑණු ළමයෙකුගේ ප්‍රොෆයිලය කූරු ගා බැලීමේ පුරුද්දක් මට විය (අද කියා එහි වෙනසක් නැත්තේය). ඉතින් මමද මේ සුරංගනා රුවක් තම රුපය ලෙස දමාගෙන සිටියේ කව්දැයි බලන්න ඇගේ ප්‍රොෆයිලයට ගොස් කූරු ගෑවද, ඈ පවුද්ගලික අද්යාපන ආයතනයක උසස් අද්‍යාපනය හදාරන යුවතියක් බව හැරෙන්නට වෙන කිසිම දෙයක් ඈ ගැන සොයා ගැනීමට නොහැකි විය. (මේ තියෙන්නේ එන්න ඒ පින්තුරයය)

එතැන් සිට මම මමම වන්නට උගත්තෙමි. මගේ ජීවිතය සකස් කරගැනීම හෝ නොගැනීම තිබෙන්නේ මගේ අතම බව මට ටික ටික තේරුම් ගියේය. ආදරය යනු හඹා යා නොහැකි දෙයක් බව මට ටික ටික වැටහුනේය. ටිකෙන් ටික මම මහා පොලවට පාත් උනෙමි.
මගේ සිහින දෙව්දුව, මා තුල ඇය ගැන තිබූ ඇල්ම ටික ටික අඩුවන අයුරු වටහා ගන්නට ඇත. මන්ද ඈ මවෙත හෙලන ඉඟි බිඟි එන්න එන්නම වැඩි වූ නිසාය. ගැහැණිය ටජ් මහලට උපමා කිරීමේ සැබෑම අරුත මට වැටහුනේ ඒ දිනවලය. දුරස් වනවිට ඈ ලංවෙයි. ලන්වනවිට ඈ දුරස්වෙයි.
අනතුරුව ඈද සෙල්ලම නවත්වන්නට තීරණය කළාය. ඇත්ත කතා කලොත් ඇයට එසේ කරන්නට සිදු උනාය. කොට්ටෝරුවා කෙහෙල් ගහේ ඇමිණී ඇති බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුනේය. තමාගේ ප්‍රේමසම්බන්ධය නිල ලෙස ප්‍රකාශ කරන ලෙසද, නැත්තන් තමා හා ඈ අතර සිද්ද වුනු යම් කිසි දෙයක් ප්‍රසිද්ධ කොට ඈට කැම්පස් නොඑන තැනට වැඩ සලස්වන බවට ඈට අනතුරු සංඥා ලැබී තිබිණි. ඉතින් විය යුතු පරිදිම ඈට කෝකටත් කරගහන්නට ඉන්නා ගොන් රාජයාව සිහිවිය. ඒ කියන්නේ ඈට මාව මතක් විය.
දේශනයක් අතරතුර පොඩි ලියුම් කෑල්ලක් මා කරා පැමිණියේය. "අද මාව එක්කගෙන යන්න එන්න පුලුවන්ද?"
නමුත් ඈට එක දෙයක් අමතක වී තිබිණි. එනම් එදා සිටි ගොනාව මමද විකුණා හමාර කොට තිබූ බවයි. "මම ලෙක්චර්ස් ඉවරවුණු ගමන් වැඩට යන්න ඕනේ. එන්න බැරි එක ගැන කනගාටුයි"
විනාඩි පහකින් පමණ ලියුම මා කරා නැවත පැමිණියේය. "එහෙනං විනාඩි පහකට කතා කරන්න පුලුවන්ද?"
මම ඊට පිළිතුරු නොයැව්වෙමි. දේශනය හමාර වූ විගස පැදුරටත් නොකියා පුසා සමග රැකියාව කරා පිට වුනෙමි. කොල්ලෙක් ලෙස මටද මා ගැන අහිංසක ආඩම්බරයක් දැනුනි. පුසා මදෙස බැලූ විදියෙන්, ඌටත් එලෙසම මා ගැන සිතුනු බව මට තේරුණි.
ඊළඟ සතිය පුරාවටම ඈ විවිදාකාරයෙන් මා මුණගැහිමට තැත් කලත් මම ඇයව මග හැරියෙමි. සාමානයෙන් මා නිවසට යන්නේ සිකුරාදා හවසටය. රැකියාව කරන්නට පටන් ගත් පසු ගෙදර යාමේ දවස ගැන අනාවැකි පළකිරීම උගහට විය.
බ්‍රහස්පතින්දා හවස මට මගේ මුල්ම වැටුප ලැබුණි. පලකට නැති දේට වැය කරන කාලයෙන් පලකට ඇති දෙයක් සිද්ද කල විට ලැබෙන ආත්ම තෘප්තිය මට මුල්ම වරට දැනුනේ එදාය. රැකියාව සොයා දීම සම්බන්දයෙන් එදා මම පුසාට හද පත්ලෙන්ම ඉස්තුති කලෙමි. පුසාට පමණක් නොව ලපයා ඇතුළු මගේ මොළය පෑදු සියලුම දෙනාට මම හදවතිම ඉස්තුති කලෙමි. මගේ ප්‍රීතිය දෙගුණ කරමින් මැනේජර් තුමා මට හා පුසාට සිකුරාදා හා සෙනසුරාදා නිවාඩු දුන්නේය. හැබැයි කොල්ලනේ ඉරිදට වරෙව්. ඉරිදා පොලිටික්කෙක්ගේ පාටියක් තියෙනවා. උඹලට ඩබල් ගෙවනවා.
අද නම්, සෑම මසකම නියමිත දිනකදී මගේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වන බව මම දනිමි. ATM මැසිමකට ගොස් මගේ උවමනා සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා ගත හැකි බවද, ඊට පෙර ලිසිං කොම්පැනියෙන් උන්ගේ කොටස කපා ගන්නා බවත් දන්නෙමි. අවැසි තැනට යන්නට වාහනය ඇති බවද, ඒත් ණය පත බාවිත කොට පෙට්ට්‍රල් ලබා ගත යුතු බවත් දන්නෙමි. මට අඳින්නට තව කමිසයක් ඇත්නම් හොඳ බවත් ඒත් ඊට පෙර වේඩිමේ කටයුතු සඳහා අත්තිකාරම් බැඳිය යුතු බවත් දන්නෙමි. අරකට මේකට ගෙවන්න ඇති බවත්, කරුමෙකට හෝ ඔපීසියේ කෙහෙල්මලකට මුදල් වුවමනා උනොත් අම්මාට නැවත ණය වන්නට සිදුවන බවත් දන්නෙමි.
ඒත් එදා...එදා අතට ලැබුණු දාහේ කොළ හත අට වියදම් කරන ආකාරය ගැන මට කිසිදු මුලික සැලැස්මක් නොවිණි. මම කුරුල්ලෙක් මෙන් සැහැල්ලු උනෙමි. තෑගී ගන්න උවමනා කරන අය ලැයිස්තුවක් මම හිතින් හැදුවෙමි.අම්මාට, තාත්තාට, මල්ලිට, අයියාට, ලපයාට ඇයි එතකොට ගෙදර බල්ලාට...
සිකුරාදා උදේවරුවේ දේශනයෙන් පසුව ගෙදර යාමට සිතා ගත්තෙමි. මගේ තීරණය මිතුරන්ට දැනුම් දුන්නේද සිකුරාදා උදය වරුවේය. හවස තිබුනේ අන්තිම පලකට නැති බව සියල්ලෝම දන්නා නමුත් උගන්වන මහාචාර්ය තුමා ඒ බැව් නොදන්නා දේශනයක් නිසා කව්රුත් මගේ තීරණය වෙනස් කිරීමට වෑයම් කළේ නැත.
අතේ ඇති මුදලට යායුතු හොඳම තැන මහරගම වූ නිසා මම මහරගම බලා බසයකට ගොඩ උනෙමි. අම්මාට ඇඳුමක් සඳහා රෙදිද, තාත්තා ඇතුළු ඉතුරු සියල්ලන්ටම එකම සාම්පලයෙන් ටි ෂර්ට් ද මිලදී ගතිමි. බල්ලාට බැලූ විස්කෝතු පැකට් එකක් ගෙන මාසේ ඉතුරු පන්දහස් ගණනෙන් මාසය ගෙවාගැනීමට හාර දහසක් අයින් කොට ඉතිරියෙන් අපේ ගෙදරට නිතර කන්න බොන්න ගෙන නොඑන දේවල් ටිකක් මිලදී ගතිමි. චීස්, සොසේජර්ස්, මාමයිට් වගේ..
ඔක්කොම කළමනා උස්සාගෙන පිටකොටුවට පැමිණි කල මෙන්න ඈ බස් නැවතුමේ බස් නවත්වන තැන....
සියලුම පිරිමි සත්තු ගැන නොදන්නා මුත් මා ලද අත්දැකීම් තුලින් ලියමි. කිසියම් ගැහැණු ළමයෙකු ගැන කැමැත්තක් ඇතිවී එය දරුණුම වූ විට ඇයව දකින විට හද ගැස්ම වැඩිවී, එලෝ මෙලෝ නැතිවී මොලේ මඥන් වීම ස්වාබාවිකය. අනතුරුව මුළු ලොවම අපට උවමනා ලෙස කරකැවෙන බව දැනෙන්නට පටන් ගනියි. මගේ දෙව්දුව පිළිබඳවද මට එහෙම දැනෙන සමයක් විය. නමුත් එය නැත්තටම නැතිවී ගිහින් තිබුනේ මාත් නොදන්නා වෙලාවකය. දැන් මට ඈ සාමාන්‍ය ගැහැණු ළමයෙකු පමණි. ඉතින් වෙහෙසක් නොදරාම ඈ හා ආචාරශීලි ලෙස කතා කරන්නට මට හැකි විය.
"ඔයා අද ගෙදර යනවා කියල යාළුවොත් එක්ක කියනවා මට ඇහුනා"
"ඔව්. හදිස්සියේ නිවාඩුවක් හම්බුනා. ඉතින් ගෙදර යනවා. කොහොමද? කාලෙකින් කතා කරන්නත් බැරි උනා.."
මෙන්න ඈ හදිස්සියේම අඬන්නට මුණ හදාගෙන
"ඔයා මාව මග අරිනවා.."
මම හිනැහුනෙමි. " ඇයි අනේ ඔයාව මග අරින්න මට පිස්සුද.. අනික මග අරින්න අපි දෙන්නා කෙල්ලයි කොල්ලයිද. ඔයාම නේද කිව්වේ මම ඔයාගේ හොඳ යාලුවෙක් කියලා.යාලුවෙක් උනාම අනික් යාළුවගේ වැඩ තේරුම් ගන්න ඕනේ නේද" කොහෙන් කටට ආවාදැයි නොදන්නා මුත්, කිව යුතුවූ ඔක්කොම මම ඈට කිව්වෙමි. නැවතුමට අලුතෙන් බස් රියක් ගාල් කල අතර අප දෙදෙනාම රියට නැග්ගෙමු. ආචාරශීලි වියයුතු නිසා කව්ළුව අසල වූ අසුන ඈට දෙන්නට මට සිද්ද විය.
"මට හරි ප්‍රශ්න අනේ. ඔයාටවත් කියන්න බැරි තරන්.." මෙහිදී ඈ එම ප්‍රශ්න මොනවාදැයි මම අසාවි යැයි මුළු හදවතින්ම බලාපොරොත්තු වූ බව මට වැටහුනේය. මම එය ඇසුවේ නැත. ඇගේ ප්‍රශ්න තව දුරටත් මගේ ප්‍රශ්න නොවේ
"ප්‍රශ්න ඉතින් කාටත් තියෙනවනේ.. ඒවා අමතක කරලා දාල ඉන්න"
"කැම්පස් එකේ කොල්ලෙක් යාලු වෙන්න කියල මට හරියට වද කරනවා. මම දන්නෑ මොනවා කරන්නද කියල.." ඈ ළදරු ලෙස කීවාය. එවර නම් මගේ රතු කට්ට පැන්නේය. ඈ මාව බබෙකුට අන්දා කතා කරන අපුරුව
"ඇයි ඔයාගෙයි ලහිරුගෙයි අෆෙයාර් එක බ්රේක් උණාද.." මමද මුදුව කෝමල ලෙස ඇසීමි
ඈ තිගැස්සුනාය. මුහුණ විරූපී වුනු නමුත් ක්ෂණිකව ඈ හිනැහුණාය " මගෙයි ලහිරුගෙයි... කව්ද අනේ ඔයාට ඔය බොරුව කිව්වේ?"
"ආ එක බොරුද.. අපි හැමෝම හිතන් හිටියේ එහෙමයි.. ඔයත් එක්ක ඊට කලින් අෆෙයාර් එක තිබ්බ සමීර තමා අපිට කිව්වේ." මමද තොත්ත බබා උනෙමි
ඈට වදන් නැති විය. සමීර කියූ පමණින් ඈ නිහඬ වීමට හේතුව මම දැනගෙන සිටියෙමි. සමීරගේ ජංගම දුරකතනයේ තිබූ ඇගේ චායාරුප වගයක් එදා මට පෙන්නුවේ කරුණේය. ඒවා අසැබි රුප නොවුනාට සම්බන්දය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුවේය.
"එක එක කාලෙට අපි මෝඩකම් කරනවා තමා.." ඈ හිමිහිට කීවාය.
"හරියට හරි. ඔයා හරියටම ජිවිතේ තේරුම් අරන් තියෙනවා.." මම පණ්ඩිතමාණීව උත්තර දුන්නෙමි.
ඈ තේරුම් ගන්නට ඇත. එනිසා ඈ තවදුරටත් ඒ මාතෘකාව පිළිබඳව කතා කිරීම අත් හැරියාය.එතනින් එහාට අපි කතා කළේ එදිනෙදා සිදුවීම්ය. ඇඳුමක් ගන්නට ඇතැයි පවසමින් ඈ හදිසියේම වත්තල කැන්ඩි සාප්පුව ලඟින් බැහැගත්තේ කලින් අමතක උනායි පවසමිනි. ඈ නැගිටින බව දැක, හිස්වූ අසුනේ වාඩි වීමට පැමිණි සුදු නංගි දෙස පැණි හලමින් බලා සිටි මට ඈට හරියට සමු දීමට වත් අමතක විය.
මගේ ජිවිතයේ පරිච්චේදයක් නිමවුණේ ඔන්න ඔහොමය. මම කොපමණ වීර චරිතයක් රඟපෑවද, මිගමුව බස් නැවතුමේ බස් රිය නවත්වන විට මට ඈව සිහි නොවුනා නම් ඒ බොරුවකි. ඈ හා කතාව ඇරඹි තැන දෙස මම මද වෙලාවක් බලා උන්නෙමි. හින් දුකක් සමග විසාල අස්වැසුමක් මගේ හිතට දැනුනේය. අවුරුදු හයක් සුව නොවී පැවති තුවාලයක් සුව වුවා සේ හැඟුනි. අවුරුදු හයකට පසුව මගේ හිතට විසාල නිදහසක් දැනුනි. කිව යුත්ත ඇගේ මුණටම කියාගන්නට හැකිඋනු නිසා ලද නිදහසක්..
මා එකෝමත් එක දවසක කතාව ලියන්නට පටන් ගත්තේ මෙතනදීය..ගෑණු සංහතියම ගැන නොවුනත් යම්කිසි කලකිරීමක් හිත පුරා නලියන තැනේදීය.පොතේ හැටියට නම් මෙතැනදී කතාව නිමා විය යුතුය. ඔව් කතාව ඉවරය. මගේ ප්‍රථම ප්‍රේමය නොපිදීම මිලාන වීමේ කතාව ඉවරය. කිරිකෝඩු පිරිමි ළමයෙකුගේ හිතේ හටගත් අහිංසක හැඟීමක් ලන්සු කර, ගැහැණු ළමයෙකු සිද්ද කල බයානක සූදුවක් නිමා උනේ ඔන්න ඔහොමය.
එහෙත් මා පිළිබඳව වෙනත් කතාවක් ලියවී තිබුණු බව මට වැටහුනේ තවත් කලක් ගිය තැනය..
.jpg)
සෑහෙන වෙලාවකට පසුව කතා කලේ ලපයාමය
"තොට පිස්සුද යකෝ . මොකද උඹට වෙලා තියෙන්නේ ?"
"ඉන්න හැටි රා බීපු උගුඩුවා වගේ" ඒ කතා කලේ ගෙම්බාය . ඒ උගේ හැටිය . ඕනෑම බැරෑරුම් අවස්තාවක් මැදට පැන , ඒ අවස්ථාවට කිසිසෙත් අදාළ නැති උපමා සහ උපමේයයන් දොඩන ඌ ඊළඟට අපේ ඇනුම් බැනුම් හමුවේ කරබාගෙන සිටියි .
"මොකද යකෝ උඹ මේ උඹට පොල්ල තියෙන කෙල්ල පස්සෙන්ම ගිහින් විහින් නැහෙන්න හදන්නේ. උඹ තේරුම් ගනින් එකී උඹට කවදාවත් කැමති වෙන්නේ නෑ . උඹ හදන්නේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පිටින් දාල උඹේ ජිවිතේ නාස්ති කරගන්න. කෙල්ලට මම බනින්නේ නෑ යකෝ . මන් බනින්නේ තොට. තෝ වගේ ගැරඬි යෙක් මගේ යාලුවෙක් උන එක ගැන මට ලැජ්ජයි යකෝ . කෙල්ලන්ට මැරෙන්න කලින් අම්මට ණය ගෙවල හිටු " ලපයාගේ බැනිල්ල ඉවරයක් නොවෙන තැන මම සෙමෙන් කටහඬ අවදි කලෙමි
"එයා මන් දිහා බලන් ඉන්නවා බන්. මට හිතෙන්නේ එයා මට කැමතියි "
නැවත වරක් ගුටි මුරේ. කවුරු ගහනවද මොකෙන් ගහනවදැයි නිනව් නැති වූ මම දෑතින් ඔලුව බදාගෙන ඔලුව රැක ගතිමි .
"ඔව් අල්ලලා බලපන් තොට අං එනවද කියල " යයි අසමින් මගේ හිසට අන්තිමට ඇන්නේ කරුනේ බව මම අඳුනාගත්තේ උගේ කටහඩි නි .
පහර නවතා මිනිත්තුවකින් පමණ පසු මම නැවත ඔලුව එසවීමි
"යකෝ " යයි කතාව පටන් ගත ලපයා මට ඈ ගැන අලගිය මුලගිය ඉතිහාසය නිර්ලෝබිව නැවත මතක් කොට දුන්නේය . ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව ...
"ඔන්න බන් උඹ ඒකිව බැන්දොත් මම නම් වෙඩිමට එන්නේ නෑ" එවරත් කට ඇරියේ ගෙම්බාය . ඒ පාර නම් ඉස්ගෙඩියාගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය .
"යකෝ යයි පටන් අරගෙන සිංහල බාසාවේ උත්තුංග පදයකින් ගෙම්බා ඇමතු ඉස්ගෙඩියා, ප්‍රශ්නය වන්නේ මගේ වෙඩිමට උගේ පැමිණීම නොව, මා බඳින්නේ කව්ද යන්නත් නොව , පෙනී පෙනී කොල්ලන් නටවන කෙල්ලෙක්ගේ පස්සෙන් වහවැටී සිටින මාව එයින් මුදවා ගැනීම බව ඌ ට තේරුම් කල දුන්නාය . ඊළඟට ඌ මගේ දිව්‍යාංගනාව ගැන මා නොදන්නා බොහෝ දේ පැවසු අතර ඒවා මම මෙහි සදහන් නොකරන්නේ මා ගෑනු ළමයින්ට ඉතා ගරු කරන නිසාය.
ගෑනු ළමයින් නැතිව පිරිමි අපට පැවැත්මක් නැති බව ඇත්තය. අපේ ජිවිත වටා පහන් දල්වා අපිව ආලෝකමත් කරන්නේ ඔවුන්ය. ඒත් ගෑනු ළමයින්ට එක දෙයක් කියන්න ඕනෑය . සමහර ගෑනු ළමයින් හිතා ඉන්නේ ඔවුන් කරන කියන දේවල් කොල්ලන් වූ අපිට ආරංචි වෙන්නේ නෑ කියාය . ඔවුන් ලොවට රහසේ දහ අට පාලිය නටා ඊළඟට පත්තිනි අම්මලා වගේ ඉන්නා විට ඔක්කොම හරි කියාය . මෙය බොහොම ලාමක සිතුවිල්ලකි . කොල්ලන් වූ අප ලිඳ ළඟ , ඇළ ළඟ ඕපාදුප කතාවට නොයන එක ඇත්තය . ඒත් බොහොමයක් කොල්ලන් හැමවිටම ඇස් කන් ඇරගෙන සිටින නිසාද , බුද්දි හීන මා වැනි කොල්ලන්ට අඩුම ගානේ බුද්දිය ඇති එක යාලුවෙක් හෝ ඉන්නා නිසාද, කොල්ලන් කොල්ලන් අතර ඉරිසියාව කුහක කම ඉතා විරල නිසාද, බොහෝ විට රටේ තොටේ වෙන දේවල් ගැන හැම කොල්ලෙක්ම පාහේ දැනගෙන ඉඳිති .
ඊළඟට ලපයා කියූ දෙය ගලේ කෙටුවාක් මෙන් ජීවිතය පුරා මගේ හිතේ රැඳී පවතී . මෙය කියවන කොල්ලන් සියලුම දෙනා වෙනුවෙන් ඒ කතාව එලෙසින්ම මෙසේය
"හරි අපි හිතමු ඔය කෙල්ල හොඳටම හොඳ කෙල්ලෙක් කියල . ගති ගුණ අතින් බැලුවත් , රූපේ අතින් බැලුවත් කිසිම වැරද්දක් නෑ කියල හිතමු ..
("ඔව් පබාවතී වගේ කියල හිතමු " යයි කියමින් එවරත් ගෙම්බා පැන්නේය. ලපයා ඇතුළු සියල්ලෝ ඌ දෙස හෙළුවේ කොපමණ මිනීමරු බැල්මක්දැයි කියනවා නම් එයින් පසු ඌ කටක් හෙල්ලුවේ නැත )
"ඔය කෙල්ල වගේ කිසිම කෙල්ලෙක් උඹ දැකල නෑ කියමු . කවදාවත් උඹට ඒවගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නෑ කියල කියමු . එත් බන් , කෙල්ලෙක් කැමති නැත්තන් අපිට ඒ කැමැත්ත බලෙන් ගන්න බෑ මචන්. බලෙන් ආදරේ කරවන්න බෑ. උඹ ආදරේ කරන්න ඕනේ උඹට ආදරේ කෙල්ලෙක්ට . ප්‍රොස් කෙනෙක් උනත් , ලස්සන නැති උනත් කවුරු හරි කෙල්ලෙක් ඇත්තටම උඹට ආදරේ නම් උඹ ආදරේ කරපන්. උඹට පස්සෙන් යන්නම ඕනේ නම් අං ගිලපු කෙල්ලෙක්ගෙ නෙවෙයි , හොඳ , වෙන කොල්ලෝ නැති කෙල්ලෙක්ගෙ පස්සෙන් යමන්. කෙල්ල බෑ කිව්වොත් චාටර් වෙන්න එපා. ආපහු හැරිලා වරෙන්. පස්සෙන් යන එකත් ලස්සනට කරපන් බන්. හිඟා කන්න එපා ආදරේ. වැදගත් විදියට අහපන්. උඹ ඔය කරන වැඩේ හින්ද කල්පනා කරලා බලපන් උඹට හොඳ කෙල්ලෝ කියක් නම් මග ඇරිලද කියල .."
"ජිවිතේ එක දෙයක් හින්ද ඔක්කොම මග ඇර ගන්න එපා බන්. මට එයාවම ඕනේ කියල හිතෙන එක ආදරේ නෙවෙයි හිතුවක්කාරකම, කෙනෙක් හින්ද ජිවිතේ විනාස වෙන්න දෙනවනම් එතන තියෙන්නේ ආත්මාර්ත කාමී කම. උඹව අපිට ඕනේ බන් . උඹව උඹේ අම්ම තාත්තට ඕනේ. උඹව ඕනේ ගෑනු ළමයා මේ කොහේ හරි ඇති බන් . එතකන් ඉවසගෙන හිටපන්" එවර කතා කලේ රොබිනාය.
"උඹ පිලිගනින්. උඹ ඔය විහින් නැහෙන්න හදන්නේ උඹට ඒ කෙල්ල යාලු කරගන්න බැරි උන එක මදි කමක් හින්දා . ඔච්චර හිතුවක්කාර වෙන්න එපා බන්. උඹට වෙලා තියෙන්නේ වැඩක් නැති කම . දැන් බලපන් මගේ වියදම හොයා ගන්න මම ටියුෂන් දෙනවා . මෙතන ඉන්න හැම එකාම මොකක් හරි කරනවා සල්ලි හොයා ගන්න. උඹ ගෙදරින් එවන සල්ලි වලින් පිනට කකා බිබී ඉන්නවා." එවර නම් මගේ හිත දැදුරු විය. ලපයා කියූ වචනයක්වත් බොරු නොවේය . අපේ මව්පියන් සල්ලිකාරයන් නොවුනත් බැරි අමාරුවෙන් මගේ මාසයේ වියදම දෙන නිසා මෙතෙක් මා කලේ එයින් කකා බිබී කෙල්ල පසුපස වහවැටී සිටීමය. මට මා ගැනම තදබල අප්පිරියාවක් දැනුනි...
විහින් නැහෙන්න ගිය කොල්ලෙක්ගේ මොලේ , කැම්පස් කොල්ලන් හය දෙනෙකු එකතු වී පාදා දුන්නේ ඔන්න ඔහොමය. එදා ලපයා ගියේ මට අවවාද කර විතරක් නෙවේය . කාගෙන්දෝ ලැබුණු ව්‍යාපෘති පැවරුමක් කිරීම මට බාර දිය . ගෙවීම දහදාහකි . ඊළඟ සතියේ සිට පුසා ඌ තමුන්ගේ වියදම හොයා ගැනීම පිණිස වැඩකළ ජනප්‍රිය අවන්හලේ මටද රැකියාව සොයා දුන්නාය. ඉතින් දේශන ඉවර වූ වහාම ඌ ත් සමග මම වැඩ කිරීම පිණිස යන්නට පුරුදු උනෙමි . මගේ වියදම මමම සොයා ගතිමි . මට දැන් මුදල් එවීම අනවශ්‍ය බව මම අම්මාට කිවේ ඊළඟ සතියේය. ඒ සල්ලි වලින් මල්ලිගේ ක්ලාස් වලට දෙන්න . මම දැන් පොඩි රස්සාවක් කරනවා . උවමනා උනොත් මම ඉල්ලන්නම් .
අම්මාගේ දෙනෙත නොහැලුණු කඳුලින් දීප්තිමත් වුවාය .....
මේ කතාවේ මේ කොටස ලියන්නට තිබුනේ මීට සතියකට හෝ දෙකකට ඉහතදී බව දනිමි. ඒත් මාත් නොදන්නා මොකද්දෝ හේතුවක් නිසා ලිවිම දවසින් දවසම කල් ගියේය. සමහර විටෙක ඉතුරු කොටස් දෙක තුන මා ජිවිතයේ මතක් කරන්නට අකමැතිම කාල වකවානුව වන නිසා විය හැක
මා මාස කිහිපයක්, මගේ දෙව්දුව සමග ආකාසේ සිහින මාලිගා හැදු අයුරුත්, හදිසියේම ඈ මාව එයින් බිමට දැමු ආකාරයත් පසුගිය කොටසේ සදහන් කලෙමි. කතාව කොට කර ලියන්නට වාක්‍ය පේලි දෙක තුනකින් අදාළ කතාව අවසන් කිරීම, කියවන ඔබට කරන අසාධාරණයකි යයි මටම පසුව සිතුනේය. කතන්දරේ මෙහෙමය
යාලුවන්ගේ ඇනුම් බැනුම් මැද්දේ මම මගේ දිව්‍යාංගනාව හොඳම යෙහෙළිය කර ගත්තෙමි. ඈටත් මං නැතුව කිසිම දෙයක් කර ගන්නට බැරි විය. නෝට් ෆොටෝ කොපි ගහන්න, යාලුවන්ගෙන් ඉල්ලා දෙන්න, පාඩම් කරන්න, රෑ උනාම ගිහින් ඇරලවන්න ඈට මතක් උනේ මාවය. මමත් සියලුම වැඩවලට පැනගෙන සහබාගි උනෙමි. මගේ ගෑණු ළමයා ලෙස සලකමින් මම ඈ ගැන සොයා බැලුවෙමි. මගේ ජීවිතය ඈම විය. කොටින්ම, එකපිට සති අන්ත දෙක තුනක්ම ගෙදර නොගිහින් බෝඩිමේම නැවතුනේ ඈ නිසාය. අවංකවම කිව්වොත් අද මට හිතෙන්නේ ඇගේ වැරද්දක් නැති බවය. මොකද, කිසියම් කොල්ලෙකු ගොන් බුරුවෙකු සේ උඩ පැනගෙන ආවඩාගෙන යනවිට ගෑණු ළමයින් සමහරු උගෙන් හොඳ හැටි ප්‍රයෝජන ගනිති. එතන වැරැද්ද කෙල්ලගේ නොව කොල්ලාගේය.
මෙසේ මාස හතක් අටක් ගතවෙන්නට ඇත. ටික ටික ඈ මාව මගහරින ගතියක් මට දැනුනි. රෑ වූ විට ගිහින් ඇරලවීමට වෙනදා මෙන් මට කතා නොකලාය. ඇසු විට කියුවේ, දිගින් දිගටම එසේ කරන විට ඈ නැවතී සිටින ගෙදර උදවියට උනත් වැරදි විදියට ආරංචි වන්නට පුළුවන් නිසා නොඑන එක හොඳ බවය. අනික දැන් මට පාර පුරුදුයි නේ
එක පාරක් ගිනි පෙනෙල්ලෙන් බැට කා සිටි මට, එන පොට හොඳ නැති බව ටික ටික තේරුණේය. ඈට සීනියර් කොලු පරානයක්, ඈ ගැන උනන්දු වී සිටිය බවත් දැන සිටි මා, ඔක්කොම සිද්දීන් අනුලෝම ප්‍රතිලෝමව සමාලෝචනය කරන්නට යනවිට, කැම්පස් එකේ පාළු මුල්ලක සිටි ප්‍රස්තුත විෂයන් දෙක අතටම මාට්ටු උනාය. ඇසු විට කිව්වේ නොතේරෙන පාඩමක් අසාගත් බවය. මගෙන් අසා දැනගත්තා නම් නරකදැයි ඇසු විටය ඈ මගේ අද්යාපන තත්වය ගැන මාත් නොදන්නා දේවල් ඇදබාන්න පටන් ගත්තේ.
මා කරන පාටමාලවට තේරී පත්වන්නේ, අඩුම ලකුණු ලැබූ සිසුන් වන බවත්, ඇගේ පාටමාලාවේ ඉන්නේ ලංකාවේ හොඳම මොළ ටික බවත්, හිරිකිතයක් නැතුව කියා දැමු ඈ පසුව කියූ කතාවට සමාව ඉල්ලුවද, ඒ වන විටත් මා තුල සිටි හිරිමල්, ලජ්ජාකාර යව්වනයා මියගොස් තිබිණි. මට මාව නැතිවී තිබිණි. කොටින්ම මා ලැජ්ජාවක්, බියක් නොහදුනන සල්ලාලයෙකුගේ තත්වයට වැටි තිබුණි. ඉතින් එදා සිට මමද රොටියෙකු උනෙමි..
ආචාරශීලි, ගුණගරුක යහපත් කම් සියල්ලක්ම අතීතයට එක්විය. හැම එකටම බොන මදාවි කොල්ලන් රැලකට සෙට් වූ මම, නැතිවී ගිය ආත්ම ගවුරවය නැවත ලබා ගැනීමට කරටි කැඩෙනකන් බිව්වෙමි. වෙරි පිට, වෙනත් සිම් පත් බාවිතා කරමින් දිව්යාන්ගනවාට එක එක පණිවුඩ යැව්වෙමි. කැම්පස් කෙල්ලන්ට නුවමනා විහිලු කලෙමි. කැම්පස් එක තුල චාටර් ලේබලය ගසා ගත්තෙමි.
පෙර පිනකට මොළය ටිකක් තිබූ නිසා, එකදු විබාගයක්වත් අසමත් වන්නේ නැතුව ගොඩ දා ගත් බව නම් සැබෑය. ඒත් කැම්පස් ජීවිතය අවුරුදු දෙකක් තිස්සේ මම අනාගනිමින් සිටියෙමි. මගේ දිව්‍යාංගනා තොමෝ කිසි වෙනසක් නැතුව මා හා කතා කළාය. ඈ හොරෙන් මා දෙස බලා ඉන්නා අයුරු කීප විටක්ම මගේ දෑසට හසුවුණු විට, මගේ හිත යලි යලිත් කිවේ ඈ මට කැමති බවය. සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය.
ඉබාගාතේ ගිය මගේ කැම්පස් ජීවිතය ගැන ලපයාට ආරංචි වුයේ මෙන්න මේ අතරය. ගාල කඩා ගත් අස්පයෙකු මෙන් හදිසියේ ලපයා අපේ කැම්පස් එක තුලට කඩා වදින විට මා සිටියේ කුලුනකට මුවාවී, ඈ දෙස බලාගෙන ඈට පැණි හලමිනි. ඈට මාව පෙන්නේ නැත.
මම "සූ සූ සූ" ගාමී. ඈ නෙතු කරකවා වටපිට බලයි. කොණ්ඩය, සාය හදයි. කිසිවෙකු පේන්නට නැති බැවින් මනමාල හිනා පාමින් කෝමල ලෙස නැවත පොතට එබෙයි.විනාඩි දෙකකින් පමණ පසුව මම නැවත "සූ සූ" ගාමි..
ලපයා පසෙක සිට මේ කෝලම දෙස සෑහෙන වෙලාවක් බලා හිදින්නට ඇත. ඌට ඔත්තුව දී ඇත්තේ ගෙම්බාය. මගේ සුබ සිද්දිය හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කල ඉස් ගෙඩියා, රෝබිනා, පුසා හා කරුණේ අදාළ අවස්ථාවට අරාදනා නොලබාම සහබාගි වී ඇත. සෑහෙන වෙලාවකට පසුව ලපයාව දුටු මම ඇත්තටම තිගැස්සුනෙමි. ලපයා මුකුත්ම කිවේ නැත. ඌ මගේ දෑස් දෙස බලා උන්නා පමණි. මම හැරුනෙමි. මා පසු පසින් ඌ ආවේය. ඌ පසින් ගෙම්බා ඇතුළු පිරිවර පැමිණියහ. බෝඩිමටම යන තුරු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැත.
බෝඩිමට ගොස් ආපිට හැරුනේ ලපයා සමග කතා කරන්නටය. ඒත් ඒසමගම මට ඇසුනේ 'චටාස්' ගා සද්දයකී. වම් කම්මුලෙන් දුම් පිටවෙන්නේ ඇයි දැයි සිතන විටම මෙන්න දකුණු කම්මුලටත් එවැනිම පාරක්.. කම්මුල් දෙකම අල්ලා ගත් විට උරහිසට, පිටට, තට්ටමට සහ කකුලට. බිම වැටුණු විට විනාඩි පහක් පමණ පයින් පාරවල්..
ලපයා ඇතුළු සියලුම දෙනා එකාවන්ව එදා මට පහර දුන්නේ, මා එවැනි පහර කෑමකට සුදුසු නිසාය. අවසානයේ බිම වැටි සිටින මා නැගිටවාගත් ලපයා මා ඇඳෙන් වාඩි කෙරෙව්වේය..
.jpg)
මාව පාවීගෙන පාවිගෙන ගියාය . වලාකුළු වලට උඩින් .. හඳ තරු උඩින්
එදා මා ඈ සමග වල් පල් කතා කරමින් ඈ බහින තැන දක්වාම ගියෙමි . අවසානයේ මට මගේ සැබෑ ආදරය හමු උනා යයි සිතුනි . සිහින පියාපත් ....
මට කැමතියි කිව්වේ නම් නෑ තමා . ඒත් අකමැතියි නම් අරෙම කතාවක් කියයිද ?
එදවස මා නැවතී සිටියේ මිතුරන් කීප දෙනෙකු හා එක්ව බෝඩිමකය . බෝඩිමේ මිතුරන් අතුරින් මගේ අතිජාත මිතුරා වූ ගෙම්බා ට සිද්දිය දන්වන තුරු මට ඉවසුමක් නොවිය . බනින බව දන්නවනම් තමා . එත් මගේ සහෝදරයෙක් වැනි ලපයාට ආරංචිය නොකියා කොහොමද ?
මා කැම්පස් එන විට මගේ සීයා තෑගි කල මොටෝරෝලා වර්ගයේ ජන්ගමයෙක් එදවස මගේ කලිසම් සාක්කුවේ තිබුණි. ඇමතුමක් ගන්නට හෝ කෙටි පණිවිඩයක් යවන්න සෑහෙන තරමේ ජන්ගමයෙක් !
දවස් දෙක තුනක් සඳහා වියදම ලෙස රුපියල් දෙසීයකට අඩු මුදලක් මා ළඟ තිබුණු අතර එයින් බාගයක් වියදම් කොට දුරකතනයට කාර්ඩ් පතක් මිලදී ගෙන ලපයාට ඇමතුමක් ගත්තෙමි . ඔව් . කුණුහරුප ටිකක් කන පිරෙන්න අහගෙන කණේ හිරි ඇරගන්න ලපයාට ඇමතුමක් ගත්තෙමි
එදා ලපයා මට කතා කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පලමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස නොව මිනිහෙකුට අහන ඉන්න බැරි තරම් අශිෂ්ට බසාවෙනි . මම ඌ ට දොස් නොකියමි .ඒ ඌ කිව්ව සෑම වචනයක්ම බොරු නොවෙන නිසාය . අන්තිමට ඌ සිය කතාව අවසන් කරමින් , කොල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම අපහාසය හෙවත් මා අහවල් ජාතියෙන් එකෙකු බව පවසමින් කෝල් එක කට් කලාය.
කොහොම වෙතත් ලපයාගේ කතාවෙන් පසුව , මගේ වාන් දමන ප්‍රීතිය පොඩ්ඩක් අඩුවූ බව නම් සැබෑය
ඊළඟ මාස දෙක තුන මේ කතාවේ ප්‍රීතිමත්ම සමයයි . එනකන් මග බලන් ඉන්නට , රෑ උනොත් ගිහින් ඇරලන්නට , ඕනේ දේත් එපා දේත් කතා කතා කරන්නට මටත් ඉන්නවනේ දැන් ගෑනු ළමයෙක්
උතුරා යන ප්‍රීතිය කව්දෝ කිව්වා වගේ දිගින් දිගටම පවතින්න තරම් හොඳ වැඩි විය . ඔව් එක දවසක් වන තුරු මගේ සතුට පැවතිනි . ඈට ඉලෙක්ට්‍රොනික් විෂය අමාරු වෙන තාක් තුරු මගේ සතුට පැවතිනි. මට ඈට වඩා ඉලෙක්ට්‍රොනික් විෂය ගැන දැනුමක් ඇති බව ඈ නොපිළිගන්නා තුරු මගේ සතුට පැවතිනි
එක දිනක් හදිසියේම ඈට, හදිසියේම මගේ උපාදියට වඩා ඇගේ උපාදිය ඉහලින් තිබෙන බව මතක් වුනේය . හදිසියේම ඈට තමුන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වරියක් බව සිහියට ආවේය .
මම පොලවට පාත් උනෙමි . නැවත වතාවක් !

ඈ පිළිතුරු හරිගස්සන්න තත්පර දහයක් පහළොවක් ගත්තාය
"මම දන්නා අයිය කෙනෙක් එක්ක.."
"දන්න අයියල හැමෝම එක්ක පාළු පාරවල් ගානේ රස්තියාදු ගහනවාද?"
එවර නම් ඈ ගොළු විය. මා සමග කතා කරන විට පළමු වරට පිළිතුරක් නැතිව ඈ ගොළු විය
"දන්න අයිය කෙනෙක්ද, විශේෂ යාලුවෙක්ද?"
"මම ඔයාට ඇත්තම කියන්නම්. එයා මට විශේෂ කෙනෙක් වෙලා හිටියා. ඒත් දැන් නෑ"
"ඇයි ඒ?"
"එයා මට කැම්පස් එන්න එපා කිව්ව. එයා එහෙම කිව්වේ මට තියෙන ආදරේකට නම් මම කිසි කතාවක් නැතුව කැම්පස් නෑවිත් ඉන්නවා. ඒත් එයා එහෙම කිව්වේ තනිකරම ආත්මාර්ථකාමී කමට." ඈ හිනැහුණාය
"ඒ කියන්නේ ඔයා ඒ සම්බන්දෙ නැවැත්තුවා?"
"ඔව්. මම නැවැත්තුවා. කොහොමත් එයා මට ගැලපෙන්නේ නෑ. මට තේරුම් ගන්න පරක්කු උනා"
"ඒ කියන්නේ ඔයා දැන් නිදහස්."
"ඔව්. අපිව තේරුම් ගන්නේ නැති විශේෂ අයත් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක හොඳයි"
"ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඔයා එයාව විශේෂ කෙනෙක් කරගන්නවද?"
ඈ තේරුම් ගත නොහැකි බැල්මකින් මදෙස බැලුවාය..
"ඔයා කැමතිද මාව විශේෂ කෙනෙක් කරගන්න.."
මා මුල්ම වරට ගෑණු ළමයෙකුකට මගේ කැමැත්ත පල කළේ එලෙසය. කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙන්න දැගලුවත්, මගේ හදගැස්ම පිටතට ඇසෙන තරම් විය. මගේ හිත පුදුමාකාරම ආනන්දයකින් පිරි තිබුණි. කියවන ඔබත්, කවමදාක හෝ ගෑණු ළමයෙකුට මුල්වරට කැමැත්ත ප්‍රකාශ කරන වෙලේ හෝ, පිරිමි ළමයෙකු ඔබේ ජිවිතයේ පලවෙනි වතාවට ඔබට කැමතියි යයි කියන වෙලාවේ හෝ දැනුනු හැඟීම මටත් එලෙසම දැනුනි. ඒ මල් වයස මතක් වන විට අදටත් මගේ හදගැස්ම වැඩිවී කන් පෙති රතු වේ.
ඈ නෙතු විදහා මදෙස බැලුවේ නැත. මොකද මා ඇසු ප්‍රශ්නය ඈ බලාපොරොත්තු වුවකි
"මම ඔයාට කැමතියි. යාලුවෙක් විදියට.." ඈ යලිත් මගේ දෑසටම කිඳා බැස දයාබරව හිනැහුණාය. ඈ මට කැමතියි වගේ. ඒත් ලජ්ජාවෙන් කියන්නේ නැතුව ඉන්නවද මන්දා..
"මට දැන්ම වචනයක් ඕනේ නෑ. ඒත් කවදාහරි දවසක මම ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නද..?
ඈ යලිත් හිනැහුණාය. "මම ඔයාට එපා කියන්නේ නෑ.."
.jpg)
මගේ හිත නැවතත් ටිකෙන් ටික දිව්‍යාංගනාව වෙත ඇදෙන්න පටන් ගත්තාය. ටිකෙන් ටික මමද ඇය වෙත පෙරලා මදහස පාන්නට වුනෙමි. ටිකෙන් ටික ඇය හා පෙලට වැටි ගමන් යන්නට පුරුදු වුනෙමි. ටිකෙන් ටික එකල මා ආදරය යයි හිතා හිටි යමක්, ඈ වෙනුවෙන් නැවත වතාවක් මගේ හිත තුල පැල පදියම් වන්නට පටන් ගත්තාය
ඉක්මනින්ම විශ්ව විද්‍යාල ජීවිතය තුල මට මිතුරන් ඇති වූ නමුත් ලපයා වැනි හිතට දැනෙන මිතුරන් ඉක්මනින්ම හමු නොවිණි. නමුත් ටිකෙන් ටික ජිවිතයට බද්ද වුනු යාළුවන් කීප දෙනෙක්ම මට මුනුගැසුණු අතර සමස්තයක් ලෙස සම වයසේ උන් හැම කෙනෙක්ම ෆිට් එකක් විය.
මේ වන විට මගේ දිව්‍යන්ගනාව හැසිරුනේ තනියමය. ඈගේ පෙම්වතා ගැනද කිසිම සඳහනක් නොවුණු තැන මම පුරුෂ ධෙයර්යය එක්තැන් කොට , වෙන කවරෙකු හෝ පැමිණ මගේ තැන අරගන්නට පෙරාතුව ඇයට මගේ හිතේ තියන දේ කියන්නට සිතුවෙමි. මගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව ගැන මගේ හිතවත්ම මිතුරන් කීප දෙනෙකු දැන සිටි අතර, ලපයා මෙහි නොසිටීම වාසනාවක්ම විය
මෙය කියවන ඔබට මං ගැන හිතෙන දේ, ලියන මටත් එලෙසින්ම හිතේ. එනම් මා වැඩ කළේ පල් බුරුවෙකු ලෙසින් බවය. මගේ මිතුරන් දෙදෙනෙකුද එලෙසින්ම සිතා මගේ බුරු හිත වෙනස් කිරීමට වලිකෑ අතර තවත් කීප දෙනෙකුගේ සහය මට හිමි විය.
ඈ එකල නැවතී සිටියේ ඇගේ නෑදෑයෙකුගේ නිවසක වූ අතර, කැම්පස් එකේ සිට එහි යෑම සඳහා ඈ බසයට ගොඩ වැදෙන තැන මම දැන උන්නෙමි
විස්වාස කරන්න. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මාව ගොනාට ඇන්දවූ ගෑණු ළමයෙකුට මම නැවත වහ වැටි සිටියෙමි.
ඉතින් කල් නොයවාම දවසක මා දේශන ඉවරවී ඈ පිටුපසින් ගොස් ඈ ගිය බසයටම ගොඩ වුයෙමි. ටිකට් ගද්දි ඈටත් එක්ක ටිකට් ගත් නිසා ඈ මාව දුටුවාය.
මෙන්න නැවත අර අවුරුදු දෙකකට පෙර දැමු මල් හිනාව. මාව කරකවා අතාරින මල් හිනාව..
" මම දැක්කා ඔයත් ඉන්නවා. කතා කළේ නෑ" ඉස්සර වුයේ ඈමය. එදා වගේමය..
" හ්ම්ම්. මාත් දැක්ක. මම හිතුව දැන් ඉතින් ට්‍රොනික් කට්ටිය නිසා අපිත් එක්ක කතා කරන එකක් නෑ කියල"
මෙන්න සුදු මුණ තරහෙන් කළු කරගෙන. "පිස්සුද ඔයාට"
මගේ මොට්ට හිනාව.
"මට එහෙම යාලුවන්ව අමතක වෙන්නේ නෑ, යාළුවන්ට මාව අමතක උනාට"
එකපාරටම මං ගිය ටියුෂන් පන්ති ඔක්කොටම ඈ එන එක නැවැත්තුවේ ඒ නිසාදැයි අහන්නට මගේ කටට ආවත්, මම කට පියා ගත්තෙමි.
"ඔයා වගේ හොඳම යාලුවෙක් මාත් එක්ක එකම යුනිවසිටි එකට ආපු එක ගැන මට හරිම සන්තෝසයි අනේ. හදිස්සියකටවත් මම දන්න කෙනෙක් මෙහෙ නෑනේ"
මෙය ගෑණු ළමයින්ගේ සුපුරුදු තැටියකි. කොල්ලාව ඔරේමන්දම් වෙන තැනට වැඩ සිද්ද කොට, ඌ හිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ඉද්දි, ඒ බලාපොරොත්තු ගොන්නට තව තවත් බලාපොරොත්තු ලබාදී අවසානයේ ගෑණු ළමයි පවසන බයිලාව නම් කොල්ලා ඇගේ හොඳම මිතුරෙකු බවයි.
රොටියාගේ අතිජාත මිත්‍රයෙක් නම් මේ ලඟදි ඔය ජාතියේ ගෑණු ළමයෙකුට කන පුරා දෙසා බා තිබුණි. එනම් මේ ගෑණු ළමයා ගැන බලාපොරොත්තුවෙන්, මේ කොල්ලා අවුරුද්දක්ම බල ඉඳ ඇති අතර ඒ අවුරුද්දෙනුත් පසුව ගෑණු ළමයා තවත් කල් ඉල්ලු පසු නප්පියටම තද වී මේ නමක් නැති සම්බන්දය තමා නවත්වන බව දැන්වූ කල, ඔහු තමාට මුණ ගැසූනු හොඳම යාළුවෙකු වන හෙයින් (මම කැමති නෑ ඔයා වගේ කෙනෙක් නැති කරගන්න. ඒත් ඔයාට තව බලා ඉන්න බැයි නම්..), හැමදාම තමුන්ගේ හොඳම යාලුවෙක් ලෙසට ඉන්න ලෙසට ගෑණු ළමයා සින්දුවක් කියූ කල තමුන් ළඟ ඒ බයිලා නැති බව කොල්ලා කෙල්ලගේ මුණටම පවසා ඇත.
කාලයක් තිස්සේ දන්නා යාළුවන් දෙන්නෙකු අතර ටිකෙන් ටික ආදරයක් ඇතිවී නැතිවී ගිය කල නම් මේ කතාව වලංගු වන්නට පුළුවන. නමුත් කෙල්ලන් බබාලා නොවෙන නිසා, යම් කොල්ලෙක් තමුන් ගැන බලාපොරොත්තුවෙන්ම තමුන්ව ආශ්‍රය කරන්න පටන් ගත්තා නම් (අයියෝ මම දැනන් හිටියේ නෑනේ ඔයාගේ හිතේ එහෙම එකක් තියෙනවා කියල- ගෑණු ළමයි මේ කියන්නේ අමු බොරුය. හදිසියේවත් මේ කතාව ඇත්ත නම් මෙවැනි කෙල්ලන්ට මන්ද මානසික අද්‍යාපනය ලබා දිය යුතුය) එක්කෝ මුලින්ම බෑ කිව යුතුය. එසේ බැරි නම් කාලයක් ආශ්‍රය කොට හරි වචනයක් දිය යුතුය (හා.. බෑ) කාලයක් ආශ්‍රය කොට අනේ ඔයා මගේ හොඳම යාලුවෙක් යයි කටේ තොලේ නොගෑවී කියන ගෑණු ළමයින්ගේ යාළුකම යකාටම පලයන් කියා ආපසු හැරී එන්නට කොල්ලන්ට කොන්දක් තිබිය යුතුය.ප්‍රශ්නය වුනේ එකල මට එවැනි කොන්දක් නොතිබීමය..
ඉතින් මම හිනැහුනෙමි. අද නම් මම කියනවා කියනවමයි
"ඔයාට දෙයක් කියන්න තියෙනවා"
" මොකද්ද අනේ ඒ"
"ඉස්සරවෙලා කියන්න ඔයා එදා අර ඇවිදන් ගියේ කාත් එක්කද කියලා"
.jpg)
දෙවන වර විබාග ප්‍රථිපල අනුව මා තේරී තිබුනේ මා බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටමය. එහි ක්‍රියාත්මක කෙරෙනා පාඨමාලා අතුරින් හොඳම සිසුන් ඇතුල් කරගන්නා පාඨමාලාවට නොව සිව්වන හෝ පස්වන තැන රැඳී සිටිනා පාඨමාලාවටය මා තේරී තිබුනේ. ලපයා වෙනත් විශ්වවිද්‍යාලයක (ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයේ) හොඳම පාඨමාලාව සඳහා තේරී තිබුණාය
මගේ කුමාරිය ගැන කිවහොත්, ඈ මා තේරුණු විශ්ව විද්‍යාලයේම පළමු තැනට වැටෙන පාඨමාලාවට තේරී තිබීම ලපයාගේ දරුණු වයිරයට භාජනය වූ අතර, කොල්ලන් නටවමින්, උන්ව වලට ඇද දාමින් හීන් සැරේ තමුන්ගේ වැඩේ කරගත් චිංචි මානවිකාවක් ලෙස හෙතෙම ඇයට පරිභව කළාය
පළමු සැරේම විශ්ව විද්‍යාලයට යෑමට තරම් වාසනාවන්ත වුනු ඇටකටුස් මේ වන විට දෙවැනි වසරේ ශිෂ්‍යයෙක් ව සිටි අතර, ඌත් සමගම කැම්පස් යෑම සඳහා සුදානම් වෙමින්, විශ්ව විද්‍යාලිය පාඨමාලාවන් පහසු වනු පිණිස අමතර පන්ති පවා ගිය බකයා පළමු සැරේ මුළු විබාගයෙන්ම අසමත් වී තිබුණු අතර දෙවැනි සැරේද එක් විෂයකින් අසමත් වී සිටියාය. එයින් නොසැලුණු ඌ තෙවැනි සැරේටද විබාගය කල අතර අද වනවිට හෙතෙම නැගී එන තරුණ දොස්තරවරයෙකුව හිඳිමින් රෝගීන් සුවපත් කරමින් සිටියි
ලපයාව මඥන් කරමින් ඌට බඩු හම්බ කල නදී, අපි කැම්පස් යන කාලය වනවිට එක්දරු මවක්ව සිටි අතර, දරුවාගේ පියා නම් තමා නොවන බව ලපයා අප සියලු දෙනාටම නිහතමානිව ප්‍රකාශ කළේ අපේ ප්‍රශ්න කිරීම් හමුවේය.
මීට අමතරව මේ කතාවට අතර මැදින් සම්බන්ද වූ කොටි කුමාරිය හෙවත් K.K පිළිබඳව අපි කිසිවෙකුට තොරතුරක් නොලැබුණු අතර, අප දැනන් සිටියේ ඈ දෙවැනි වර විබාගය නොකළ බව පමණි. උසස් පෙළ සමයේ වරින් වර සුළි කුණාටුවක් මෙන් අපේ ජීවිත හරහා හඹා ගිය ඈ පිළිබඳ මතකය අපේ හිත් වලින් කෙමෙන් කෙමෙන් ගිලිහි ගියාය.
වෙනස් විශ්වවිද්‍යාල දෙකකට යෑම සඳහා වෙන් වන විට ලපයා මට වැදගත් අවවාද කීපයක්ම ලබා දුන් අතර, එයින් පළමු එක නම් ආයෙත් අරකි පස්සෙන් එහෙම ගියොත් තෝ හමගහනවා යන්නය. එය තර්ජනයකට වඩා අවවාදයක්ම විය
මා ගිය විශ්වවිද්‍යාලය, නවක වදය යන සංකල්පය ක්‍රියාත්මක නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්යාලයක්ම වූ බව මා සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.කොලු කමට සිද්ද කල මගෝඩි වැඩ එකක් දෙකක් ඇරෙන්න, එය එක් සිසුන් පිරිසකගේ මානසික අසහනය තවත් සිසුන් පිරිසකගේ කරමතින් පිටකරන මානසික රෝහලක් නම් නොවිය
කනිෂ්ඨ සිසුන්ව පිළිගන්නට, විශ්ව විද්‍යාලිය ජිවිතයට හුරු කරවන්නට, සබකෝලය නැති කරවන්න, ලොකු ලයින් බස්සවන්න යනාදී වශයෙන් නොයෙකුත් හේතුන් වලට වහන් වී සිදු කරන නවක වදය නම් තුප්පහි ක්‍රියාවට රොටියා දැඩිවම විරුද්දය. නවක වදය ඔලුව උඩින් තියාගෙන සිටින අය නම් රොටියාව අලයෙක් ලෙස පතුරු අරින්නට පුළුවන. රොටියාට හැඟෙන පරිදි නවක වදයෙන් සිදුවෙන්නේ පහත ඒවාය (අදහස් දැක්වූ ලපයාට ස්තුතිය)
කෙල්ලෙක් නැතිව වේලෙන හඩු කොල්ලන්ට , අලුතෙන් පැමිණි කොලු කෙල්ලන්ට රැස් පෙන්නිය හැකි වීම
බය කොට කෙල්ලෙක් යාලු කරගත හැකි වීම
අංගයක් පුලාවක් නැති කොල්ලන් මෙන් වූ කෙල්ලන්ට, ලස්සන කෙල්ලන්ව පතුරු යැවිය හැකි වීම
කොහෙන්වත් පිට කර ගත නොහැකි මානසික ආතතිය පිට කර ගත හැකි වීම
කුණුහරුපයෙන් බනින්නට කට පදම් වීම
සහ තවත් දේ
කරුණාකර හරි දේ තෝරාගන්න. රැග් වෙන්නෙත් නැතුව රැග් කරන්නෙත් නැතුව ඉන්නා කොන්දක් ඇති කොල්ලන් හා කෙල්ලන් මම අනන්තවත් දනිමි. ජෙෂ්ටයින්ගේ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, රැග් වන ලෙස කෑ ගසමින් ජෙෂ්ටයින් පසුපසින් පන්නගෙන එන විට ගැහැනුකම අමතක කොට තාප්ප පඳුරු මතින් පනිමින් දිව ගොස් බේරුණු ගෑණු ළමයෙක් ගැන මම දනිමි. ඇය අද තමුන්ගේ ඒ පෞර්ශය විදහා දක්වන නිලයක් දරමින් සිටිනවාය.
සමාවෙන්න අමතක විය. මා ලියන්නේ මේ එකෝමත් එක දවසක කතාවයි
ඉතින් ටික ටික මමත් විශ්ව විද්‍යාලිය ජිවිතයේ පැල පදියම් වීමට පටන් ගත්තෙමි. මුලදී තිබූ කලබලය දුරු වෙනවාත් සමගම මෙන්න මගේ වංචාකාර කුමාරි මාත් එක්ක නැවත හිනා වෙන්න පටන් ගෙන. අමාරුවෙන් ටික ටික මාත් එක්ක හිනා වෙන්න පටන් අරගෙන. ට්‍රොනික් ගෑණු ළමයෙක් මාත් එක්ක හිනා වෙන්න අරගෙන
තේරුම් ගන්න ගොනා හැරුනේ පොල් පැලය කන්නය. මගේ බුරු හිත නැවත බුරු වෙස් බැන්දේය.

හිතට එකඟව කතා කලොත්, මට නම් මගේ විබාගය ගැන සැහීමකට පත් විය නොහැකි විය. මම පමණක් නොව, විබාගයට මාසයක් තබා නදී විසින් අත්හරිනු ලැබූ ලපයා ද හිටියේ තෝන්තු වී ගෙනය. බකයා හා ඇටයා නම් කැම්පස් යාමට සුදානම්ව බඩු මලු ඇසිරීමට පටන් ගත්තේ විබාගය ඉවරවූ දාට පසුවදා සිටය. බකයා නම් මෙඩිකල් කොලිජියේ මුල් කාලයේ වැඩ පහසු කරවන පංතියකට පවා යාමට පටන් ගෙන සිටියාය.
ලපයා හා මම සිදුකල බැරෑරුම් සාකච්චාවකට පසුව අප දෙදෙනා දෙවන වර ද විබාගයට හිඳ ගැනීම පිණිස වූ පුනරීක්ෂණ පන්ති යාමට පටන් ගත්තෙමු. අප දෙදෙනාගේම මාපියන් නම් මෙයට කිසිම අදහසක් පල කිරීමට ඉක්මන් උනේ නැත.මගේ අසීමිත චිත්තප්‍රිතියටද, ලපයාගේ දරුණු වයිරයටද හේතු වෙමින් මගේ කුමාරිකා තොමෝද අප යන්නට පටන් ගත් සියලුම පන්ති වලට එකක් නෑර සහබාගි වුවාය.
ලපයා මට සුද්ද සිංහලයෙන්ම පැහැදිලි කර දුන්නේ මොන කිරිල්ලිය ආවත් මෙවර නම් එක්සිත්ව විබාගය කල යුතු බවයි. මගේ හදවත එයට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කලද බුද්ධිය විසින් ඇඟවූ අනතුර නිසා මමද ඌගේ අවවාදය පිළිගත්තෙමි. මොනවා උනත් මගේ කුමාරි මට විස්වාසයි. කවදාවත් මා හැර වෙනත් කෙනෙකු සමග ඈ ආදරයෙන් වෙලෙන්නේ නෑ. විබාගය ඉහලින්ම පාස් වී A තුනක් ගත් මම ජයග්‍රාහී ලෙස ඈ වෙත ගොස් (රතුපාට රෝස මල් පොකුරක්ද සමගින්) මගේ ප්‍රථිපල ඇයට පවසන අයුරු මම හිතේ ඇඳ ගත්තෙමි. මම ඔයාට ආදරෙයි ඔයා මාව බඳිනවද.
"යකෝ" ලපයාගේ හඬින් මගේ සිහිනය බිඳී ගියේය. " තෝ හිතන්නේ මොකක් ගැනද කියල මම දන්නවා. උඹට මම විබාගෙට කලින් බාගෙට කතාවක් කිව්වා. එකේ ඉතුරු ටිකත් නොකිව්වොත් තෝ මේ සැරෙත් විබාගේ අනාගන්නවා. වර හවසට මාත් එක්ක ගමනක් යන්න"
කොහෙද යන්නේ. අනික මම හිත හිත හිටියේ වෙන දෙයක් ගැනනේ
"තෝ මාව තම්බන්න එහෙම හදන්න එපා. තෝ එන්න ඕනේ මාත් එක්ක අද. ආවේ නැත්තන් මම ඔක්කොම ඇන්ටිට කියනවා" ලපයා උගේ අන්තිම තුරුම්පුව එල්ලය බලා දමා ගැසුවේය. මම යටත් උනෙමි. නිකම්ම නොව ඌට සුද්ද සිංහලෙන් දෙසා බෑමෙන් පසුව..
හවස තුනට පමණ මාව කැඳවාගෙන යාමට ලපයා පැමිණියේ උගේ අයියාගෙන් ඉල්ලා ගත් මෝට බයිසිකලයේය. මුළු මුණම වැසෙන ආකාරයට හෙල්මටය පැළඳ සිටි ඌ මටද ඒ ජාතියෙන්ම එකක් මොන දිපන්කරෙන් හෝ සොයාගෙන ඇවිත් තිබුණි.
යාලුවෙක් ගේ ගෙදර යන බවට අම්මාට සුපුරුදු බොරුව පැවසු මම බයිසිකලයේ පිටුපසට නැග්ගෙමි. ලපයාට ලැයිසොන් නැති මුත් ඌ අයියාගේ ලයිසොම හොරෙන් රැගෙන විත් තිබුණි. කියවන ඔබට මතක නම් ඒ දිනවල, එනම් මීට දශකයකට පමණ ඉහත මෙකල මෙන් පොලිස් මාමලා අඩියෙන් අඩිය ට සිටියේ නැත.
"තෝ මාව මරන්නද එක්කං යන්නේ කාලකණ්නියා. කියපිය අපි මේ කොහෙද යන්නේ කියල"
"බලන් හිටු. මම මේකට එක්කං ගියේ නැත්තන් නං තෝ මැරෙනවා තමයි. කොහෙද යන නැට්ටිච්චියෝ පස්සෙන් ගිහින්"
එදා ලපයා හා මම කතා කරපු විදිය පුළුවන් උපරිම ආකාරයට ශිෂ්ට සපන්නවා කිව්වොත් ඔන්න ඔහොමය. ඇත්ත වශයෙන්ම ලපයා උගේ වාග් මාලාවේ තිබූ අසන්ශික්ප්ත වදන් සියල්ලේම උපරිම ප්‍රයෝජනය ගත්තේ එදා බව මම වගකීමෙන් යුතුව කියනවාය. කොහොම නමුත් එදා ඌ මාව රැගෙන ගියේ මීගමුවේ තිබූ එක්තරා අතුරු පාරකටය. පාරවල් වලින් එහෙට මෙහෙට හරවමින් යන්නේ මොන තුත්තුකුඩියේ දැයි නිනව්වක් නැතිව මමද ඔහේ වාඩි වී සිටියෙමි. අවසානයේ අප නැවතුනු මංසල පිහිටියේ පාරේ අතිශයම පාලු තැනකය. මෙතැන් සිට මා මොන අකාරයෙන් කතා කලත් ලපයා නම් කටක් හෙල්ලුවේ නැත. උගේ දැන්වීම පරිදි මමද හෙල්මටය නොගලවාම සිටියෙමි.
මෙලෙස පැය බාගයකට ආසන්න වෙලාවක් මගේ ගුණ වැයුම් හමුවේ ලපයා නොසැලී ම බලා සිටියාය. ටික වෙලාවකින් මෙන්න ඈතින් හිමිහිට පැමිණෙන දෙන්නෙක්.
මගේ හිත නොගැහුනා කිව්වොත් බොරුය. මොනවා උනත් මට මගේ කුමාරි විස්වාසයි. උස හැඩරුව ඒ වගේ කට්ටිය තව කොච්චරක් නම් ඉන්නවා ඇතිද. අන්තිම මොහොතේ පවා මම මගේ හිතට වංචා කළේ එහෙමය.
ටික වෙලාවක් බයිසිකලය අතපත ගාමින් සිටි ලපයා ජෝඩුව ලංවෙනවාත් සමගම මාත් සමගම බයිසිකලයට නැග ගත්තේය. මගේ හීනය ටික ටික බිඳ වැටෙන බව මටම තේරුණේය. ඒ නම් ඈම තමා
ලපයාට අවැසි වුයේ මට සත්ය පෙන්වා නුවණ පහල කරවන්නට වුයේ නමුදු, සිද්දිය දුටු පසු මට තව දුරටත් ඉවසගෙන සිටීමට නොහැකි විය. ඇය මට කවදාවත් ආදරෙයි කියා නම් නෑ තමා, ඒත් මං දිහාවට නෙත් හීසර එවමින්, මගේ අදහස ඈට අඟවද්දී පෙරලා කැමති බව අඟවමින් (මෙය සඳහන් කිරීම නම් මහා නරක පුරුද්දක් උනත් සඳහන් නොකොට බැරිය- මා දුන් තෑගී පිලි ගනිමින්)මොකද්ද ඈ මා සමග කල සෙල්ලම. බළලෙක් මරන්නට පෙර මීයෙක් සමග සෙල්ලම් කරනවා මෙන් ඈ මගේ කැමැත්තෙන් කුරිරු ප්‍රීතියක් අත්වින්දාවත්ද....
" අඩේ ලපයා තෝ දැන් මම කියන විදියට කරන්න ඕනේ හරිද. මෙච්චර වෙලා තෝ කියපු කියපු පදේට මම නැටුවනේ"
මට පිළිතුරු ලෙස පාලි සංස්කෘතයෙන් මා ඇමතු ලපයා, පසුව මා කියූ ලෙසටම මනාල යුවල ළඟ බයිසිකලය නැවත්තුවාය. යුවල නැවතී බියපත්ව බයිසිකලය මත සිටි දෙදෙනා දෙස බැලූ මුත් අපව අඳුන ගත්තේ නැත. මොන පඟර නැට්ටෙක් එක්කද මල හත්තිලව්වේ මේකී මේ යාලු වෙලා ඉන්නේ
මම හෙල්මටය ගලවා අතට ගතිමි. මුවපුරා හිනැහුනෙමි. " හානේ මේ ඔයානේ.. මම නිකමට නැවතිලා සැකේට බැලුවේ"
ඇය තිගැස්සුනාය. හරියට සන්නියක් හැදුනා වගේ..හොල්මනක් දැක්කා වගේ..
අවසානයේ විනාඩියකට පමණ පසු යන්තම් ඈ වචන පිට කරගත්තාය. " මම මේ පොඩ්ඩක් අයියත් එක්ක ඇවිදින්න ආව. ඕගොල්ලෝ කොහෙද මේ"
"අපි මේ යාලුවෙක් ගේ ගෙදර යන ගමන්. දැක්ක නිසයි නැවතුනේ.. පරක්කු වෙනවා ගිහින් එන්නම්. බායි.." මම ඇයට අත වනනවාත් සමගම බයිසිකලය ඉගිලුනේය.
ආපසු එන ගමනේදී ලපයා වචනයක්වත් කතා කළේ නැත. ඌ මාව ගෙදරින් බස්සවා ටික වෙලාවක් මදෙස බලා හිඳ " උඹ නම් එල කොල්ලෙක් මචං" කියා බයිසිකලය හරවාගෙන යන්න ගියේය
මේ කතාව මෙතනින් ඉවර උනා නම් මං කැමතිය. නමුත් සැබෑ ජීවිතයේදී අපට ඕනෑ ආකාරයට සියලු දේ වෙන්නේ නැත. හරියට මේ සිද්දියෙන් පසු මම සති දෙකක් නිවසටම වී හිටියා වගේ.. මගේ කුමාරිය වෙනත් පුනරීක්ෂණ පන්ති වලට යන්න පටන් ගත්තා වගේ.. මට පළමු වර උසස් පෙළ ප්‍රතිපලය ලෙස C සමාර්ථ තුනක් ලැබුනා වගේ.. ලපයා එක විෂයකින් අසමත් වී අනෙක් දෙකටම B සමාර්ථ දෙකක් ගත්තා වගේ.. දෙවන වර විබාගයෙන් මම බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ.. මගේ වංචාකාර කුමාරිකාවත් ඒ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ..
කැමති නම් විස්වාස කරන්න. මගේ ජීවිතය කැරකුණේ ඔන්න ඔහොමය. එම නිසා මේ කතාව තව ටිකක් දික් වෙනවාය. තව පොඩ්ඩක්..
තියෙන වැඩ මදිවාට මේ අවුරුද්දේ රොටියාට මගුලකුත් සෙට් වී ඇත්තේය. කවදා නමුත් ඉවරයක් කල යුතු නිසා ඒ මගුල ඉවරයක් කර දමන්න රොටියා අවසානයේ කල්පනා කළාය.ඒ නිසා බ්ලොගයට පොස්ටු දැමීමේදී අක්‍රමිතා සිදුවිය හැකිය. පාඨකයෝ තේරුම් ගනිත්වා!
සමහර ගෑණු ළමයින්ව තේරුම් ගැනීමට නම් මක් කලත් බැරිය.මා එසේ කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු නිසාය. කතාවේ මේ කාලය වනවිට මා සිතා සිටියේ ඇත්තටම ඈ මට කැමති බවයි. පාසල් යනවිට සමහර දවසට අම්මා හෝ තාත්තා මා අත තබන සල්ලි දහමරන් දාගෙන එකතු කරගෙන මේසය මත තැබිය හැකි හුරුබුහුටි සුරංගනා අනුරුවක් මගේ සුරන්ගනාවියට තෑගී දීම පිණිස මම මිලදී ගත්තෙමි. ඊළඟ සෙනසුරාදා වෙනදාට කලින්ම පන්තිය වෙත ගිය මම කල්මරුවේ සුරංගනාවිය එනතුරුය.
ඔය එන්නේ ඈ ඈත. පාවිගෙන. නැලවිගෙන ලැසි ගමනින්..
දුර තියාම මා සමග හිනැහීගෙන පැමිණි ඈ පොත් මිටිය ද රැගෙන කෙලින්ම මගේ මේසය ලඟට ආවාය.
මට සුබ පැතූ ඇයට මමද පෙරලා සුබ පැතුවෙමි. එදා අපි දෙදෙනා මොනවදෝ මහ ගොඩක් කතා කල බව මතක ඇතත් කතා කරපු කිසිම දෙයක් මට සිහියට නොඑන්නේ එදා මම තෑග්ගේ සිහියෙන් සිටි නිසා විය හැකිය.
මම: මම ඔයාට පොඩි දෙයක් ගෙනාවා. ගන්නවද මාත් එක්ක තරහ නැතුව..
මල් හිනාව සමගින් "මොකද්ද අනේ..?" ප්‍රශ්නය
මම: අරන් ඔයාම බලන්නකෝ
ප්‍රශ්නයට පිලිතුර වූ නිහඬතාවය ඈ කැමැත්ත ප්‍රකාශ කල ආකාරය යයි හිතාගත් මම මගේ අගනා තෑග්ග ඈ අත තැබුවෙමි. මට මතක විදියට ඒ තෑග්ග එකල රුපියල් තුන්සියයක් වැනි ගණනක් විය
එදා මම රුපියල් දහ දාහක පමණ වටිනා තෑග්ගක් ඈ අත තැබුවානම් මේ කතාව මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මට තේරෙන්නේ දැන්ය.එලෙස වෙනස් වූ කතාවකට වඩා, මගෙන් ලද පළමු තෑග්ග ලෙස බස් ටිකට් එකක් සහ රුපියල් දෙසියයක පැන්ඩේක් තියාගෙන සිටින පෙම්වතියක් සමග දැන් ගෙවන සරල සුන්දර ජීවිතය වටින බව මම දන්නවාය. මුදල් හෝ තත්වය නිසා ලඟට එන පුද්ගලයන්ට වඩා ජීවිතය බෙදාහදාගෙන අපත් සමග ජීවිතය ගොඩනගා ගන්නා ආදරණීයයන් ලෝකයක් සමානය. හරියට අපේ මවුපියන් අප සමග ලෝකය ගොඩනගා ගත්තා වගේය. එවැනි පුද්ගලයන් කවදාවත්ම ඔබේ ජීවිතයේ දෙවෙනි තැනට ඇද දාන්න එපාය.
තෑග්ග විමසා බැලූ ඇගෙන් මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නැත. හදවතක් අතේ තියන් උන් සුරංගනාවිය මගේ පණිවිඩය ඈට පවසන්න අසමත් වුවාවත්ද?
ලස්සනයි..
ලස්සන විතරමද? ඇයි දෙයියනේ පෙන්නේ නැත්තේ සුරන්ගාවිය අතේ තියෙන හදවත..
කොහොම නමුත් මට බලාපොරොත්තුවක් ඉතුරු කරමින් ඈ මගෙන් තෑග්ග බාර ගත්තාය. ඒකවත් මදෑ.. ඇටයා කියන පරිදි ඒකවත් මදෑ..
එකල (මෙකල මෙන්ම) මා අති දක්ෂ සිසුවෙකු නොවූ මුත්, කැම්පස් යන බවට ගුරුවරුන් බලාපොරොත්තු වී සිටි සිසුන් අතරට ඇතුලත් වී සිටියෙමි. මේ මනමාලකම් අස්සේ මගේ කල්පනා ශක්තිය ඇත්තටම පිරිහී ගියේය. ගණනක් හදන විටත් ඈ සමග ගොඩ නගන ලෝකය ගැන හීන ඔලුවට ආ බැවින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී වෙනදා තරම් සාර්ථක නොවුනෙමි. ලපයා මට අවවාද කළේ මේ තත්වය යටතේය
ලපයාගේ අවවාදයෙන් පසුව ඇත්තටම මට මා ගැනම පොඩි පහේ ලැජ්ජාවක් ඇතිවිය. ජීවිත කාලයම දුක්විඳ උස්මහත් කල දෙමව්පියන්ගේ බලාපොරොත්තු කොහෙවත් යන කෙල්ලෙකු නිසා කැප කිරීමට ගිය ගොන් හරකාගේ මොලේ පාදන්න ලපයා එදා සමත් වුවාය
ඉතින් මම විබාගය ගැනද සිතන්නට පටන් ගත්තෙමි. දිව්‍යාංගනාව පොඩ්ඩක් පැත්තකට කර පාඩම් වැඩ කෙරෙහිද අවදානය යොමු කලෙමි. මා මේ කියන්නේ දිව්‍යන්ගනාව අමතක කළා කියා හෙම වරදවා හිතන්න එපාය.මා තනිකරම දිව්‍යන්ගනාවට වෙන්කර තිබූ හිතේ ඉඩ පොඩ්ඩක් පාදාගෙන විබාගයට වෙන් කළා පමණි
විදුලි වේගයෙන් දවස් සති විය. සති මාස විය. මෙන්න විබාගය ඇත ලඟම..

එදා සිට එයින් අවුරුදු හයක් යනතුරු වුනු හැම සිද්දියක්ම ලියමින් කියවන ඔබව වෙහෙසට පත් කිරීම මට සුළු දෙයකි. මොකද ලියා ඉවර කරන්නට බැරි තරම් වූ සිද්දීන්ගෙන් ගහන ප්‍රේමය හැර අන් සියලුම දේ තිබූ ප්‍රේමයක හිමිකරුවා මම වන නිසාය. එබැවින් කතාව දික් ගස්සන්නේ නැතිව මම ඉතිරිය කෙටියෙන් ලියන්නට උත්සහ ගනිමි
මගේ දිව්‍යංගනාව එදා සිට මා සමග මිතුරු වුයේ ඒ ආකාරයෙනි. විටෙක මට මිතුරියක් යයි හැඟෙන ආකාරයටද, තවත් විටෙක මගේ හිතට සමීප කෙනෙකු හැසිරෙන ආකාරයටද තවත් විටෙක මා කසාද බැඳීමට කැමති ආකාරයටද හැසිරෙමින් ඈ මාව මෝල් කළාය. මමද නියම ඇඹලයෙකුගේ භූමිකාව අපුරුවට රඟ පාමින් උසස්පෙළ අවසන් වන තුරුම ඇයට වහ වැටි සිටියෙමි
මා මිතුරු රැල මුලින්ම මෙය සැලකුවේ තවත් එක් තාවකාලික ප්‍රේමයක් විදියටය. අනතුරුව සැලකුවේ ඇත්තම ප්‍රේමයක් විදියටය. ඊට පසු උන් හිතුවේ අපි දෙදෙනා කැමැත්ත ප්‍රකාශ කරගන්න විදියක් නැතිව ඉන්නා ගානටය. මෙයට ස්ව කැමැත්තෙන්ම තෝලක කම් කිරීමට මගේ මිතුරන් සියල්ලෝම එකාවන්ව එක් සිත්ව සිටියහ. නමුත් ඔවුන්ව වැලක්වුයේ මාය. මට උවමනා වුයේ ගරු කටයුතු ප්‍රේමයකි. මිතුරෙකු හරහා ඇගෙන් මට කැමැත්ත විමසවිමට මට උවමනා නොවිය
එක් දිනක් ලපයා උගේ බැරෑරුම් මුහුණ දාගෙන මා හමු වුවාය. මට මතක ලෙස එකල විබාගයට තිබුනේ මාස අටක් වැනි කාලයකි
ලපයා: මචං මං මේ උඹ මගේ ෆිට් එක හින්ද අහන්නේ
මම: කියපන්
ලපයා: මචං උඹට ඔය කෙල්ලව විස්වාසද? මං කියන්නේ ඒකි උඹත් එක්ක සෙල්ලන් කරන්නේ නෑ කියල උඹට සුවර්ද
මට ඇයව විස්වාස බවත්, ඈ මට කැමති වග නොයෙකුත් ක්‍රම වලින් අඟවා ඇති බවත්, එනිසා හදිස්සි වීමට උවමනාවක් නැති බවත් මම ඌට කිව්වෙමි. ඈ මට කැමතියි මම ඈට කැමතියි
ලපයා: මචං මම උඹව දන්න හින්ද කියන්නේ. උඹ තාම පොඩි එකෙක් වගේ මචං. පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන්. දැන් ඉන්නේ අං ගිලපු කෙල්ලෝ. එකී ගෙවල් පැත්තේ කොල්ලෙක් එක්කත් මොකද්දෝ හුටපටයක් තියෙනවයි කියල නදීට ආරංචි වෙලා තියෙනවා
ඈට ගොඩක් මිතුරන් ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.
ලපයා: හරි කොල්ලෝ. උඹ ෆිට් නම් මට එච්චරයි. මොනා කලත් බන් විබාගය අනාගන්න නම් එපා. උඹේ අම්ම ගැන හිතල, තාත්ත ගැන හිතල විබාගේ ලියපන්. එච්චරයි මම කියන්නේ
මගේ ජිවිත කාලයේ හමුවූ හොඳම මිතුරා ලපයා බව මම අදටත් කියන්නේ අන්න ඒ නිසාය. ලපයා එදා මාව මානසිකව වැට්ටුවේ නැත. මගේ හිත බින්දේද නැත. ඌ කළේ මගේ විබාගය ගැන මට මතක් කරපු එක විතරමය. ඌ එදා මට ඔය කතාව කිව්වේ කතාවේ ඇත්ත නැත්ත ඌ විසින්ම විමසා බලාය. සම්පුර්ණ කතාව ඌ මට කිවේ විබාගය ඉවරවී මාසයකුත් ගිය තැනය
.jpg)
මා කොපමණ බලාපොරොත්තු තියන් උන්නද මගේ දිවයාන්ගනාව එදා පන්ති ආවේ නැත. මට පිස්සු නැතහොත් පිස්සුවට කිට්ටු යමක් හැදුනා මෙන් විය. මා දෑස් රිදෙන තුරු බලා සිටියද හවස පන්තියට ද ඈ පැමිණියේද නැත.
ඊළඟ සතියේ අප පාසලෙන් විනෝද චාරිකාවක් යාමට සුදානම් වී සිටි අතර ඒ වැඩ අස්සේ මම කාර්යබහුල වූ නිසා මට ඈ ගැන හිත හිතා ඉන්නට එපමණ කාලයක් ලැබුනේ නැත.
නොදැනීම සතියක් ගෙවුණු අතර අප පන්තියේ කොල්ලන් සියලු දෙනාගේම ප්‍රධාන මාර්තෘකාව වුයේ විනෝද චාරිකාව හා බැඳුනු සිද්ධීන් මිස කෙල්ලන් නොවේ. මට ඈ ගැන ඇත්තටම මතක් වුයේ ඊළඟ සෙනසුරාදා උදේ දත් මදින අතරේය. අද ඈ එයිදෝ නොඑයිදෝ සැකය මගේ සිත තුල හොල්මන් කලත් මම එකල මා සතුව තිබූ කමිස තුනෙන් ඉස්තරම්ම කමිසයෙන් සැරසුනෙමි
මම එදා කුමක් හෝ හේතුවක් නිසා කලින් පන්තියට ගියෙමි. මා යන විට මා මිතුරු රැලෙන් එකෙක්වත් පැමිණ සිටියේ නැත. මට තට්ට තනියම බංකුව අල්ලාගෙන සිටීමට (බංකු අල්ලා ගැනීම කුමක්දැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත) වැඩේ සිද්ද කරමින් තාම නොපැමිණි ලපයාට හිතෙන් ඉස්තුති කතා පවත්වමින් සිටින අතරේ පිටුපසින් කව්දෝ ගෑණු ළමයෙක්
“ආ ගුඩ් මෝනිං” කියනවා ඇසුනි
මටද කියා හරියටම නොදන්නා නමුත් මම හැරී බැලුවෙමි
මෙන්න මගේ සිහින කුමාරි මා ලඟම හිනැහෙමින්..
උනේ මොකද්දැයි සිහි එලවා ගත නොහැකි වූ මුත් මමත් ඈට පෙරලා සුබ පැතීමි.
“එදා ගන්න පුළුවන් උනාද අර පොත?”
(මොන පොතද?) “ නෑනේ, පොත තිබ්බේ නෑ”
“හයියෝ.. අපරාදෙනේ දිව්වේ”
“දිව්වේ නැත්තන් වහනවා. මම ගිහින් විනාඩි දෙකෙන් ඇතුලට ගන්න එක නැවැත්තුවා”
“ගෙදර යද්දිත් බස් එකෙන් පැන්නද?” ඈ යටසින් බලා සිනාවකින් තොරව ඇසුවාය.
සත්තකින්ම මාව හිරිවැටි ගියේය. ගෑණු ළමයි යටැසින් බලන්නේ ඇයි?
මොනවා කියන්නද කොහොම කියන්නද සිතාගත නොහැකිව මගේ කට වැසී තිබුණි. නිහඩතාවය බින්දේ ඈමය.
“බලාගෙන යන්න පරිස්සමට. වැටුනන් එහෙම එදා. බස් වලින් පනින්න ඕනේ නෑනේ. බෙල් එක ගහල බැස්සාම හරිනේ”
නැත. බෙල් එක ගසා බැස්සාම හරි නැත. එදා බෙල් එක ගසා බැස්සා නම් මේ කතාව මෙච්චර දිගට යන්නේ නැත.
මගේ කටට ආවේ “මං වැටුනන් ඔයා මොකද කරන්නේ කියාය”. එවදන් කටින් පිට නොකර මම හිස කසා පොඩි පහේ මෝඩ හිනාවක් දැම්මෙමි.
ඈ මං ගැන හිතා තිබෙන පාටය. තමුන්ගේ ලඟින් ඉන්න මිතුරෙකු ගැන වගේ ඈ මං ගැන කතා කිරීම ගැන මට ඇතිවුයේ පොඩි පහේ සන්තෝසයක් හෙම නෙවේය. ඈ මට කැමතිද මන්දා?
යාළුවො කියන්නේ එපා වෙලාවට බුරුතු පිටින් ඉන්නා ජාතියක් බව මට තවත් වරක් තේරුම් ගියේ එක්වරම අප සිටි තැනට කඩා වැදුණු ලපයා,ඇටකටුස්, බකයා සහ පුසා දුටු විටය.
“අඩෝ ගුඩ් මෝර්නින් වේවා. තොගේ කෑල්ල අදවත් ඉන්නවද?”
මට ඇතිවුයේ ලපයාව මරන්නට තරන් වූ කේන්තියකි. මේ බුරුවාට කතා කරන විට වටපිට බලා කතා කරන්න බැරි ඇයි මල හත්තිලව්වේ?
විය යුතු පරිදිම ඊ ලඟට කට ඇරියේ බකයාය.
“මුගේ තියෙන්නේ මචං හෝමෝන අවුලක්. ඒකිව දැක්කාම..”
මගේ වෙලාව හොඳ කම නිසා හෝ, දෙයියන් මගේ මුණ බැලූ නිසා හෝ වෙන කුමක් හෝ කරුණක් නිසා මගේ කුමාරිකාව හින් හඩින් තම කටහඬ අවදි කළාය
“එහෙනම් මම ගිහින් එන්නම්. මගේ යාළුවා දැන් එයි”
අර රිලව් රැලම එක පාරට නිහඬ වී හඬ ආ දෙසට ඔළු ගෙඩි යොමු කළෝය
.
“හා හා. හවසට බස් එකේ හම්බවෙයි නේ සමහර වෙලාවට” මගේ මනමාල හිනාව..
ඈ ගොස් තත්පර දෙක තුනක්ම අප අතර පැවතියේ දරුණු නිහඬතාවයකි.
අන්තිමේ දී මුලින්ම කතා කළේ ස්වබාවයෙන්ම නිහඬ පුසාය.
“අන්තිමේ මූ කෙහෙල් ගහට කෙටුව එහෙනං ඈ..”
ලපයා “හොඳයි පුතෝ ඔහොම යන්කෝ..”
ඇටයා “මුට ගිය කල”
බකයා “ යකෝ උඹ මොන සිරප් එකද ගැහුවේ”
මා සමග ඈ කතා කරමින් සිටියේ සහෝදර ප්‍රේමයෙන් බවත්, උන් හිතන තරන් දෙයක් එතන සිද්ද උනේ නැති බවත් එදා මම උන්ට සරලව තේරුම් කලද උන් එකතුවී මගෙන් අයිස් ක්‍රීම් පාටියක් බලෙන්ම ලබා ගත්තෝය
එදා උඩු මහලට ගිය K.K , පොත් හලේ වැඩ කල තමන්ගේ නෑදෑයෙකු හමුවී විස්තරය කියා උදව් ඉල්ලා ඇත . අනතුරුව උඩුමහලේ සිට ලපයා සහ ඇටකටුස්ට නොපෙනෙන්න නදීට හස්ත මුද්‍රාවෙන් යා යුතු දිසාව පවසා ඇත . ඒ අනුව නදී එක වරම පොත් රාක්කයකට මුවාවී සේවක දොරටුවකින් ඇතුලට ගොස් ඇති අතර දෙදෙනා පොත් හලෙන් පිටවී ඇත්තේ පිටුපස දොරෙනි
කෙසේ වෙතත් එදා K.K ගත් උත්සාහය සුන්නද්ධුලි කරමින් මාස කීපයකට පසු ලපයා හා නදීගේ ප්‍රේම පුරාණය ඇරඹුණු අතර , පළමු සැරේම මොරටුව කැම්පස් එකට තේරෙවියයි ගුරුවරුන් බලාපොරොත්තු තියාගෙන සිටි ඒකාට දෙවන සැරේට නැවත විබාගයට වාඩිවීමට වැඩේ සිද්ද උනාය
කතාව වෙන පැත්තකට ඇදී ගිය නිසා මට මගේ දිව්‍යන්ගනාව අමතකම උනේය.
දිව්‍යන්ගනාවගේ ප්‍රතිචාරය යහපත් වූ බැවින් මා දවසැරියේ අතිමහත්ම ප්‍රිතියෙන්ය . ලපයාගේ අඩෝවැඩියාව මැද්දේ උවත් දිව්‍යාංගනාව ගැන සිහින මවන්න මට එදා හැකියාව තිබුණි.
මම මගේ ජීවිත කාලය තුල නවකතා රාශියක් කියවා ඇත්තෙමි. බොහොමයක් ඒවා සිංහල කතාය. සමහර ඒවායේ කොල්ලන් ජාති දෙකකි. උන් එක ජාතියක් දහයට ගැන ගන්න බැරි අහිංසක කෙල්ලන්ගේ මායම් වලට රැවටෙන තොත්ත බබ්බුය . අනෙක් ජාතිය නොසන්ඩාල අමන කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන නසරානි අන්කුට්ටන්ය. මම ද කොල්ලෙකි මට මිතුරන්ද බොහෝ වෙති . කිසිම දාක කොල්ලෙක් මම ආශ්‍රය කර ඇත අරින්නෙමි යයි සිතාගෙන ජිවිතයේ ප්‍රථම ආදරය පසුපස ගාටන්නේ නැත . පස්සෙන් පහුවෙද්දී යම් යම් හේතු නිසා වෙන්වීම් සිද්ද විය හැක . වෙන කෙල්ලෙකු නිසා පළමු කෙල්ලව අතඅරින නොසන්ඩාලයන්ද සිටිය හැක. මා කියන්නේ පලවෙනි ආදරය පටන් ගනිද්දී කොල්ලෙක්ගේ හිතේ ඇතිවෙන්නේ අදාළ ගෑනු ළමයාව සමඟ ආදර සම්බන්දයක් පටන් ගැනීම විතරක් කියාය . කොල්ලන් මහා ලොකුවට එක එක දේවල් ගැන හිතන්නේ නැත . ගෑනු ළමයාට කැමති නම් වෙන වෙන අටමගල් ගැන නොසිතා ගෑනු ළමයාව කැමති කරගන්න උත්සහ කිරීම කොල්ලන්ගේ හැටිය නමුත් කෙල්ලන් එසේ නැත.
කෙල්ලන් කොල්ලෙක්ට කැමති වන්නේ උගේ හතර දික් බාගයම ගැන මැනවින් සොයා බැලු පසුවය. කොල්ලන් මෙන් නොව කෙල්ලන් දෙයක් ගැන සිතන්න ගත් විට අන්තයටම සිතයි
මේකාව බැඳගෙන අවුරුදු හයකින් ළමයාට අවුරුදු පහක් වූ කල , ළමයා කොල්ලෙක් වූ කල , වෙන්නපුවේ ජනප්‍රියම පාසලට ඌ ව ඔබා ගැනීමට උවමනා ඌ කල ළමයාගේ තාත්තා කටුනේරිය ප්‍රදේශයේ පාසලකින් ද්විතියික අද්යාපනය ලැබූ නිසා ළමයා ගේ අයදුම් පත්තරය ප්‍රතික්ෂේප විය හැකි නිසා ළමයාගේ තාත්තා වෙන්නට ඇසූ කොල්ලාට අකමැති වූ ගැහැණු ළමයෙක් මම දනිමි
මුණු පොතේ මුල සිටම රොටියා සමග සිටි මිතුරෙක් දිනක් කියූ කතාවක්ද මෙතනට අදාළ නිසා ලියමි . පාසැල් වයසේ ඔහු හිතෙන් ආදරය කල ගෑනු ළමයා එයින් බොහෝ කලකට පසු ඇයත් පාසැල් සමයේදී ඔහු පිළිබඳව හිතක් හිතා සිටි බව වෙනකෙකුට කියා , ඒ මගින් මා මිතුරා දැනගෙන ඇත. එවිට දෙදෙනාම වෙනත් අය සමග විවහා වී අවසානය.
ගෑනු ළමයි කියන්නේ අන්න එහෙම ජාතියකි . ඒ බව දැන ගෙන පිරිමි අප ඔලුව බේරාගෙන වැඩ කල යුත්තෝ වෙමු.
ඉතින් නොදන්නා කමට මා සිතුවේ මගේ දිව්‍යන්ගනාව මට ඇත්තටම කැමති බවයි. ඊළඟ දවසේ ඈ දුටු කල හිනැහෙන විදිය මම දවස් ගානක් තිස්සේ පුරුදු වූ අතර පැත්තෙන් බැලු විට මගේ මුහුණේ එතරම්ම කැතක් පෙනෙන්නේ නැති නිසා පුළුවන් තරම් ඈට පැත්ත හරවා සිටීමට මම සිතා ගත්තෙමි .
වෙනදාට ඇසුරු සැනින් ගෙවී යන සතියක කාලය ගෙවී යාමට අවුරුද්දක් තරම් වූ කාලයක් ගිය බව මට හැඟුණු අතර මෙන්න අන්තිමේ ඊළඟ සති අන්තය ..
.jpg)
ඉතුරු කොටස ඉක්මණින්