Tuesday, December 2, 2014

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -01

ගේෂා වටපිට බැලුවා. බැල්කනියෙන් පිටත පිහිනුම් තටාකයත් ඊටත් එහායින් වූ මෘදු තණකොළ පිට්ටනියත් ඈට නිසංසල හැඟීමක් එක්කලත් පිහිනුම් තටාකයත් එක්ක බැඳුනු දුෂ්මන්තගේ මතකය නැවතත් හද ඔද්දල් කළා

මුලදී දුෂ්මන්තට ඈව ගේෂා බබී උනා, ඊළඟට ඈ දුෂ්මන්තගේ පණ උනා. බැන්දයින් පස්සේ බබී උනා. මිනිහගේ අම්මා ගෙදර පදිංචියට ආපු දවසේ ඉඳල නිකම්ම ගේෂා උනා. ඊටත් පස්සේ ඈ ගෙදර මේස පුටු ගානට වැටුනා.
"ඒයි මට ඔය ඩිෂ් එක දෙනවා.."

ගේෂා කැමති උනේ අපරාජිතාගේ ආගමනයත් එක්ක "තමුසේ" තත්වයට ඇදවැටුණු දුෂ්මන්තගේ ආදරේ ගැන හිතනවට වඩා අවුරුදු තුනකට කලින් බැලුම් පොකුරක් එක්ක ජිවිතයට එකතු උනු ආදරණිය පිරිමියා ගැන හිතන්නයි

බල්ලන්නට විසිකරන තරමට සල්ලි තිබුණු සල්ලිකාරයෙකුගේ එකම පුතා උනු දුෂ්මන්ත , ගුරුවරියක් උනු ගේෂාට වහවැටෙන්න තිබුණු එකම හේතුව ඇගේ රුපය විතරමයි. සම්බන්දය විවාහයක් දක්වා දුරදිග ගියේ මිනිහගේ අම්මගේ කට්ට මොලේට පින්සිද්ද වෙන්නයි. නෑ කමට තමුන්ගේ මල්ලි කෙනෙක් උනු ප්‍රසිද්ද දේශපාලුවෙක්ගේ දික්කසාද දෝනියැන්දා දුෂ්මන්තට හේත්තු කරලා තමුන්ට තානාපති කමක් ගන්න ගෑනිගේ හිතේ හිබ්බා. රටම දැනන් හිටිය නඩුවක විත්තිකාරිනිය උනු අපරාජිතාව දුෂ්මන්තට බන්දනවට වඩා දික්කසාද අපරාජිතාව දික්කසාද දුෂ්මන්තට බන්දන එක තමුන්ට වාසිදායක බව දැන උන්නු ගෑනි මුල ඉඳලම සැලසුම් කළේ වැඩි කලබලයක් නැති කෙල්ලෙක්ව මුලින්ම පුතාට බන්දල දීල ඊළඟට අපරාජිතාව බන්දන්නයි


පුතණ්ඩියගේ අකලංක ආදරිව ගෙදරට කැන්දන් ඇවිත් මුලින් බොහොම මාතෘ ස්නේහයෙන් සලකල ඊළඟට හෙමි හෙමින් මිනිහව අපරාජිතාට හේත්තු කරන වැඩේ ගෑනි කොච්චර සැලසුම් සහගතව කරාද කියනවා නම් තමුන් තමන්ගේම අම්මගේ මහා දේශපාලන ගැටයකට අහුවුණු බව දුෂ්මන්තටත් තේරුනේ ගේෂට බිලියන වලින් වන්දි ගෙවල අපරාජිතාව ගෙදරට එක්කගෙන ඇවිත් සති දෙකකින් මෑණියැන්දා තමුන්ගේ තානාන්තරය කරා පියාසර කරන කොටයි

දෙයියන්නාන්සේට වගේ සලකමින් තමුන්ගේ පාමුල වැටීගෙන උන්නු ආදරණිය ස්ත්‍රී රත්නය එලවල දාල එක මිටකට අහුවෙන ගානට කොණ්ඩය කපාගෙන උන්නු බලගතු ස්ත්‍රියක් ගෙදරට ගෙන්වාගැනීමෙන් සිද්ද කල මහා ගොන්කමට වඩා පසුතැවීමක් මිනිහට දැනුනු නිසාද කොහෙද ගේෂාට ගෙවපු වන්දියට අමතරව තමන්ගේ නමට බත්තරමුල්ල පැත්තේ තිබුණු සුඛෝපබෝගී මහල් නිවස ඇගේ නමට ලියල ආරක්ෂාව හොඳ නිසා වහාම එහි පදිංචියට යන්න කියල බැගෑපත්වෙලා සිද්ද කරපු ඉල්ලීමට පයින් ගහන්න ගේෂට පුළුවන්කමක් තිබ්බේ නැත්තේ ඈත් එවෙද්දී කරමුලටම අසරණ වෙලා උන්නු නිසයි

කසාදෙ 'දික්' කරගෙන ආපහු ගෙදරට වැටුණු වැඩිමහල් දියණිය දිහා අනුකම්පාවෙන් බලනවා වෙනුවට ගේෂගේ අම්මට උවමනා උනේ ඈට ලැබුණු වන්දි මුදලින් පොඩි පුතාට කොළඹ හතෙන් ගෙයක් අරන් දීල , ලොකු පුතාට වාහනයක් අරන් දෙන්නයි. අවුරුදු තුනකට කලින් ගුරු රස්සාවත් අතෑරලා උන්නු ගේෂගේ ගැලවීම තිබුනේ වන්දි මුදල මතයි. සල්ලි ඇති නැති වීම මත සිද්ද වෙන මිනිස්සුන්ගේ වෙනස්වීම් නොසලකා ඇරලා තමුන්ගේ අනාගතයටම තිබුණු මුදල සහෝදරයන්ට පුජා කරන්න තරන් ඈ ගොන් ගහක් නොවුණු නිසා, තවදුරත් මහගෙදර ඉඳීමේ ප්‍රශ්න ඇතිවුනා. එනිසා සියල්ලන්ගේම හොඳ හිත තියාගන්න ඈ නිවසින් පිටවුණා. පිටවෙලා බත්තරමුල්ලේ පදිංචියට ආව. මාසෙකට සැරයක් අම්මගේ අතට සෑහෙන ගානක් දුන්නේ තමුන්ගේ හර්ද සාක්ෂිය පිරිසිදු කරගන්නයි

මුල් දවස් කීපය ගතවෙද්දී ගේෂා මේ පරිසරයට හැඩගැසුනා.හැමෝම දුටු තැන එකිනෙකා හා හිනැහුනා විතරයි. කවුරුත් කෑ ගැනවත් ඕපාදුප හෙවිල්ලක් නොතිබුණු නිසා ඈ නිදහස්ව නිවාස සංකීර්ණයේ ඔබ මොබ ඇවිද්දා. ළමා උද්‍යානයේ අඳුන ගත්තු අම්මල කීප දෙනෙක් එක්ක හිතවත් උනා. සතියකට හතර සැරයක් පොඩි ළමයි වගේකට ටියුෂන් දුන්නා. සතියකට එක සැරයක් මාර්කට් ගියා. පුස්තකාලෙට ගියා. අම්මලාගේ ගෙදර ගියා. ඉහල සමාජයේ දික්කසාද නෝනාවරු එකතු වෙලා හදා ගත්තු සංගමේක රැස්වීම් වලට ගියා. බල්ලෙක් හැදුව

දුෂ්මන්තගෙන් හිතේ හැදුනු සිදුරට පැලැස්තර අලවන්න අහල පහල පුරුෂ පරාන බොහෝම උවමනාවක් පෙන්නුවත් ගේෂා කිසිම කෙනෙක්ව තුට්ටුවකට මායිම් මායිම් නොකළේ ජිවිතේ නැවත වතාවක් බයානක කඩාවැටීමකට ලක්වෙන්න හිතේ තිබුණු බය නිසයි. ඒත් තමුන්ට අල්ලපු ගෙදරට අලුතෙන් ඇවිත් උන්නු සුදු උස කොලුගැටයා විටෙන් විට දෑස් පටලන විට නොදැනුවත්ම ඇගේ හද ගැස්ම වේගවත් උනා. මුලින්ම ඔහු හිටියේ බැල්කනියේ ගරාදි වැටට හේත්තු වෙලා මොනවද බොන ගමන් ගේෂා දිහා බලාගෙනයි. ඔහු කොච්චර වෙලාවක් එහෙම උන්නද කියල ගේෂාට නිනව්වක් නොවුනේ ඈත් ඒදා හුඟ වෙලාවක් තිස්සේ නාන තටාකය දෙස බලාගෙන අනිමිස ලෝචනය සිද්ද කරමින් උන්නු නිසයි.

දවස් කීපයක්ම බැල්කනියේ ඉඳගෙන ගේෂා දිහා බලන් හිටි ඔහුට අන්තිමේ දවසක ඈත් එක්ක කතා කරන්න තරම් ධයිර්යයක් තිබුණා.ආමන්ත උන්නෙත් තනියමයි. කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවා කියල පෙන්නන්න හැදුවත් ආමන්ත වටේ මොකද්දෝ ගුප්ත බවක් තිබ්බාය කියල ගේෂාට හිතුනේ වරක් දෙවරක් නෙවෙයි. එහා පැත්තේ බැල්කනියේ ඉඳල මෙහා පැත්තේ බැල්කනිය දක්වා හුවමාරු වුනු පැය ගණන් දිගු සංවාද වල පලවිපාක ලැබීම ඉක්මන් කළේ ගේෂගේ ටිම්බෝ නමැති කට්ට කළු බැලූ තඩියා විසිනුයි. හැමදාකම වගේ එදත් ඌ ගේෂව තුට්ටුවකට මායිම් නොකර මැස්සෙක් පස්සෙන් එළවන් ගිහින් ඔලුව බැල්කනියේ ගරාදි වැටේ හිර කරගෙන කරපු කලබලේ ඇහිලා දුවන් ආපු ආමන්ත , ආරාධනාවක් නැතිවම ගේෂගේ ගෙදරට ඇවිත් ඌව හිරවෙලා උන්නු තැනින් එලියට ගත්තා.

කම්පනේටද කොහේදෝ ආමන්ත දිහා බලාගෙන නොනවත්වාම බුරමින් උන් ටිම්බෝව බැලූ විස්කෝතුවක් දීල සන්සුන් කරලා කාමරේකට දාල වහල එද්දී ආමන්ත සෙටියේ වාඩිවෙලා ටීවී ඒකත් දාගෙන ඉන්නවා තමුන්ගේ ගෙදර වගේ

තේකක් හදන්න ගිය තරම් වෙලාවක් ආමන්තත් එක්ක කතා කරමින් උන් ගේෂා තේකක් හදන් එද්දී ආමන්ත පේන්න නෑ.

"මං යනවා, හෙට කතා කරමු" පුංචි කඩදාසි කෑල්ලක් මේසය උඩ තිබ්බා

එතැන ඉඳල ගේෂා සහ ආමන්ත එකිනෙකාගේ ගෙවල් වලට යන එන තරමටම හිතවත් උනා.එකිනෙකාගේ කිව්වට ආමන්ත ගේෂගේ ගෙදර ආව විතරයි. දින දෙකක් තුනක් ගෙදර හදපු කෑමකුත් අරන් ගේෂ ආමන්තගේ ගෙදරට ගියා උනත් ඔහු දොරකොඩට ඇවිත් කෑම බාජනය අතට ගත්තේ ගේෂට ඇතුලට එන්න ආරාදනා නොකරමිනුයි. ආමන්ත හා බැදුණු ගුප්ත කමට මේ වන විට හුරුවෙලා උන්නු ගේෂා ඒ ගැන වැඩි දුරකට හිතුවේ නෑ

ආමන්ත ඉතාමත්ම හොඳ සවන් දෙන්නෙක් උනා. ඔහුගේ කතන්දරයත් ඇගේ තරමටම පාලුවෙන් පිරිලා තිබුණා. පොඩි කාලේ ඉඳලම අත ඇරුණු ළමාවිය. සහෝදරයන් දෙදෙනෙකුට දෙවිදියකට සලකපු මවක්. දුෂ්ටකමින් පිරුණු සහෝදරයෙක්. නොදැනුණු පියෙක්. මේ ඔක්කොම ආමන්තගේ ගුප්ත ජීවිතය ඇතුලේ හැංගිලා තිබුණා

ටිකෙන් ටික ඔහු ඇගේ ජිවිතයට ලං උනා. ආදරෙයි කියල වචන වලින් නොකිව්වත් එකිනෙකාට ලංවෙලා බැල්කනියේ වාඩිවෙලා කතා නොකර ඔහේ ඉන්න තරමටම ඒ බැඳීම දිගු උනා

"මට හිතෙනවා මං අයෙත් ආදරෙන් බැඳිලා කියල.." ගේෂ ඊළඟ සතියේ මුහුණු පොත යාවත්කාලින කළා

"කාත් එක්කද?" ආමන්ත ඇහුවා

"ඔයා මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි. කොහොමද ඔයා මගේ වෝල් එක ඇක්සස් කළේ" ගේෂ ඇහුවා

"මම නරක මිනිහෙක්. හැබැයි විශිෂ්ට හැකර් කෙනෙක්" ආමන්ත කිව්වා

"එහෙනං මං ආදරෙන් බැඳිලා ඉන්නේ නරක මිනිහෙක් එක්ක. හැබැයි එයා විශිෂ්ට හැකර් කෙනෙක්"

ආමන්ත ගේ ඇස් දිලිසුනා.

"ෂිට් මේ ඒ සී එක ආයෙමත් කැඩිලා" ඇඟට දැනුනු දැඩි සිතල නිසා මදක් වෙව්ලපු ගේෂ කිව්ව. නිවසේ වායු සමන යන්ත්‍රය හරියට වැඩ කරන්නෙම නෑ. යාන්ත්‍රික ශිල්පිය අලුත් කෙනෙක්. ඔහුට යන්ත්‍රයේ දෝෂයක් හොයා ගන්න බෑ

"මම නරක කාර්මිකයෙක්.හැබැයි විශිෂ්ට.." ආමන්තගේ තුරුලට උනු ගේෂට ඉතුරු ටික නෑසී ගියා..

"අද දවස සෙලිබ්‍රටේ කරන්න ඕනි" ආමන්ත කිව්ව

"අපි ඩිනර් වලට අවුට් යමු"

"නෑ.. ඔයා මම කියන එක ඔයාගේ වෝල් එකේ පබ්ලිෂ් කරන්න ඕනේ.."

"හරි"

"මගේ හුස්ම තියෙනකන්, මං මැරෙනකන් , මං මැරුනයින් පස්සෙත් මං එයාට ආදරේ කරනවා. ඒක නවත්තන්න ඔයාටවත් කාටවත් බෑ"

එදා රෑ ගේෂගේ දුරකථනය සෑහෙන කාලෙකින් නාද උනා.

"බබී මං.." ඇයට දුෂ්මන්තගේ කටහඬ අඳුන ගන්න අපහසුවක් උනේ නෑ. මිනිහට බබියෙක් මතක් වෙන්නේ බබිය වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නම ඕනේ ඈ තනිවම හිනැහුනා.

"තමුන්ව ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් ඩිලීට් නොකරපු හින්ද, මගේ පර්සනල් දේවල් තමුන්ට පෙනෙන බව මම දන්නවා. ඒහෙම දෙයක් ගැන නම් දැන් කතා කරන්න යන්නේ කරුණා කරලා ෆෝන් එක තියනවා." ගේෂ කවදාවත් නැති විදියට නපුරුකමින් පිරුනා.

"ප්ලීස් ෆෝන් එක තියන්න එපා. කාත් එක්කද ඔයාගේ අෆෙයාර් එක තියෙන්නේ"

ඊට පිළිතුරු නොදුන් ගේෂා දඩස් ගාල දුරකථනය විසන්දි කරලා වයර් එකත් ගලවලාම දැම්මා

~දෙවෙනි කොටසෙන් ඉතිරිය~