මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් "සාදර කෝච්චිද" ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.
සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.
ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය
ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය
කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා "අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා" කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ "ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද" කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය
කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.
රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය
බව්වා : බව් බව්
ගෑණු ළමයා: බව් බව් බව්..
වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???
ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ "unpredictable" ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි
ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි
ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. "අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි" යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි
ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.
සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.
ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්...
//කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය. //
ReplyDeleteසහතික ඇත්ත
ඒක මාර වැඩක්ය කියල ඔබතුමාට හිතෙන්නේ නැද්ද?
Delete//අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය.//
ReplyDeleteඒ කාලේ මං අතිනුත් උන වැරැද්දක්. දැන්නම් හැමදේටම හුම් ගාන බකමුනෙක් වෙලා.
ගෑණු ළමයි හිතාගෙන හිතාගෙන හිතාගෙන යනවා මචෝ.. ආයේ නෑ වෙන්න පුළුවන් දරුණුම නරකම දේ වෙනකම්ම හිතනවා. ඊළඟට ඉතින් අපිට දෙයියන්ගේම පිහිටයි
Deleteඕනෑම ගෑණු ළමයෙක් මල්වලට කැමතියි යන්න පවසා ඇත්තේ කවුද? එය අමූලික බොරුවකි. එහෙනම් අපිත් මල්වලට කැමති විය යුතුය.එය බොළඳ බවේ ලක්ෂණයක් මිස සකල ලෝකවාසී ගෑණුළමයින්ට අදාළ වන්නක් නොවේ..
ReplyDeleteපෙබරවාරි 14 පමණක් ආදරයේ දිනය නම් අනිත් දින වෛරයේ දින විය යුතු ය. අද ඇතැමුන් ආදරය කරන ආකාරය දුටු විට එය ඇත්තකැයි කියා ද සිතේ.
//පෙබරවාරි 14 පමණක් ආදරයේ දිනය නම් අනිත් දින වෛරයේ දින විය යුතු ය//
Deleteමරු කතා තමයි කියන්නෙ
ඔබ මල් වලට අකමැති වැසි දිනවල මල් බිමට හැලි යන නිසා විය යුතුය... මල් වලට අකමැති බව කියන ගෑණු ළමයෙක් මුණගැසීම සතුටක්. මුල්ම වතාවට...
Delete//පෙබරවාරි 14 පමණක් ආදරයේ දිනය නම් අනිත් දින වෛරයේ දින විය යුතු ය//
මල් මසුරන්
මල් වලට කැමති කම බොළඳ බවේ ලක්ෂණයක් කීම මුලාවකි. මම මගේ බිරිඳට මසකට දෙවටහ්වක් පමණ මල් ගෙනවිත් දෙමි. ඒවා මේසයේ ලස්සනට ඇය තබන්නේ මහත් කැමැත්තෙනි. පෙබරවාරි 14 ට අප කිසි දෙයක් සමරන්නේ නැත්තේ එය තනිකරම වෙළදාමට බර දෙයක් වීම නිසා පමණි. අනිත් දවස් වලට කොහොමත් ගෙනත් දෙන මල් කළඹ ඒවගේ තුන් ගුණයක් මුදල් ගෙවා ගන්නට පට පිස්සුවක් නැත. අපේ නිවසේ ඇති මල් පෝච්චි වල මල් සිතට ප්‍රිය කරන දර්ශනයකි. මගේ දියණියන් ද මල් වලට කැමතිය. ඔවුන් ඒවායේ චිත්‍ර අඳිති. ඔවුන් බොළඳ යයි කිසි විටක සිතන්නට නොහැකිය. රොටිය ගේ වැලන්ටයින් කතාව ටක්කටේම හරිය.
ReplyDeleteඔබතුමා ඉතා ආදරබර පුද්ගලයෙකු යයි හිතනවා. මල් වලට කැමති ආදරණිය පුද්ගලයන් බවට මම අසා තිබෙනවා. දිගටම බිරිඳට මල් ගෙනයන්න රොටියාගෙන් සුබපැතුම්!
Deleteඋඹ කොහොමහරි රොටියක්වත් පුච්චගන්න දන්න කෙල්ලෙක්ව හොයාගනිං පුතා.
ReplyDeleteඌ හොයාගෙන ඉවරයිනෙ
Deleteහැක්
රොටියාගේ ගෑණු ළමයා රොටි හදන්නට යයි ලක ලැහැස්ති වී වරුවක් දඟලා අටවන්නේ පොෂ් රොටිය. ඒවා නිකම්ම නිකන් රොටි හෙම නොවන රේන්ද අල්ලපු රොටිය. ඔය වැරදියට හදන ඕනෑම අටමගලයකට යස අපුරු නම්ද ඇත.
Deleteමොන වැලන්ටයිනද බං
ReplyDeleteවැලංටයිං සමරන්න කෙල්ලෙකුත් එක්කම උන්නැහෙට එන්ට වෙයි හෙහ්
අඩේ.. එහෙනං උඹට ගෑණු ළමයෙක් හොයමු ..
Deleteඅප්පේ..... කාලෙකට පස්සෙ බ්ලොග් එකක් තියනවා කියල මතක් වෙලා....
ReplyDeleteඑක පාරට මතක් උනා කියහන්කෝ
Deleteහැම ගෑල්ලමයම මල් වලට කැමති නැහැ.හැමෝම එකවගේ නැහැනෙ....මොනවා උනත් අත්දැකීම් නම් ගොඩක් තියනවා වගේ :P
ReplyDeleteමල්වලට අකමැති දෙවන දැරිය.. අත්දැකීම ගැන මොනවා අහනවද
Delete//ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි//
ReplyDeleteරොටියාගේ උපදෙස් පිලිපැදීමෙන් පසු, බස්සිගේ සැම්පලේ ගෑණුළමයෙක්ට මල්පොකුරක් යවා සේප් කරගන්නට කොල්ලෙක් උත්සාහ කලොත්, ඌට අබසරණ අත්වෙන්නට හැකි බව ප්‍රකාශ කරන්නේ වගකීමෙනි. මට නම් මල් පේන්ට බැරිය.
රොටියෝ... බුක් ලෝන්චෙට නාවාට කිසි අස්පට් එකක් නැත. රොටියානි වගේ අන්ප්‍රෙඩික්ටබල් ගෑල්ලමයෙක් එක්ක රොටියා කරන ජීවන අරගලය මට බොහොම හොඳින් වටහා ගන්නට පුළුවන්නේ අපේ බස්සාත් ඔය වගේම මගුලකට අහුවී දිවා රෑ කන කට්ට ඇස් පනාපිට දකින්නට ලැබෙන හින්දාය. (රොටියානි අඩුම තරමේ මල් වලින්වත් සේප් කරගන්න පුළුවන් වීම රොටියා ලද මහත් භාග්‍යයකි.)
//කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය.// කෝ කට ඇරපිය මසුරමක් දාන්ට.
මල්වලට අකමැති තුන්වැන්නිය හෙවත් බසු දැරිය.. පොත ගන්න පුළුවන් කොහෙන්ද?
Deleteනුගේගොඩ සරසවිය තියෙන්නේ රොටියාට පහසුවෙන් ලඟාවියහැකි දුරකින්ද?
Deleteනැත්නම් නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී පොතක් දෙන්න පුළුවන් වේවි.
අප්පා. එහෙනං ගන්නන්කො ඇටි හැලෙන්න. තැන්කියු වේවා ඔත්තුවට
Deleteකමෙන්ටු කියවීමෙන් පසු බ්ලොග් ලියන ගෑල්ලමයි මල්වලට අකමැතිය යන මෙව්වා එකට එළැඹීමට හැකිවිය. මින් පසු ගෑල්ලමයෙක්ට මල් තෑගිකිරීමට පෙර උන්දෑ 'බ්ලොග් ලියන්නියක්දැ'යි සැක හැර දැනගැනීම යහපති.
ReplyDeleteඅන්න ටිකට් එක
Deletehttp://nelumyaya.com/?p=5218
ReplyDeleteබොහොම ඉස්තුතියි
Delete//ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි//ගැහැණු ළමයින් මල් වලට ඇකමැති නමුත් ඉහතින් සඳහන් කල ශේප් න්‍යායන් සඳහා ඒවා භාවිතයෙන් වැඩක් නොවන බව මාද අවධාරණය කරනු කැමැත්තෙමි.... :P
ReplyDelete