Sunday, June 8, 2014

පෙරළා නොඉල්ලූ ආදරය

ආපහු සැරයක් හීන් සුළං රැල්ලක් එක්ක ගහගෙන ආපු කතාවක් මගේ මුණු පොතේ පිටුවක අතරමං වෙලා. අයිතිකාරයා තාම ඉදිරිපත් උනේ නම් නෑ. කතෘ අයිතිය සියල්ලම තියෙන්නේ මුල් අයිතිකාරයට මිසක් රොටියට නෙවෙයි.
================================
ගුඩ් මෝනිං ! රිසර්ච් එක කරන්න යනගමංද?
ඔවු මේ යනගමං. අක්කත් එක්ක යන්නෙ.
ඊයේ ......... අයිය කතා කලාද?
නෑ ඇයි එහෙම අහන්නෙ?
මම ඊයෙ ........ අයියගෙන් ඔයාට දැන් කතා කරන්නේ නැත්තෙ ඇයි කියල ඇහුව. ඊට පස්සෙ මම ඒක කියන්න ඔයාට ගන්නකොට ඔයාගෙ ෆෝන් එක බිසී කියල කිව්ව. මම හිතුවෙ එයා ඔයාට කතා කරන්න ඇති කියල.
නෑ මම යාලුවෙක් එක්ක කතා කලේ. එයා මට කතා කලේ නෑ.
මං ආයෙත් කතා කරල බලන්නම්කෝ.
එපා ආයෙ එයා ගැන මට කියන්න එපා. එයා මට ආදරේ නැත්තං මමත් එයාට ආදරේ නෑ. ආයෙ මට එයා ගැන කියන්න එපා.
හරි මං ආයෙ එයා ගැන කතා කරන්නේ නෑ. ඔයා පරිස්සමින් යන්න.

එයා ........... කෙනෙක් එක්ක තිබ්බ ආදරේ ඉවරකරපු බව මට දැනුම්දුන්නෙ ඔය විදිහෙ කෙටිපණිවිඩ සංවාදයකින්. එයා ආදරේ කරපු ....... කියන කෙනා එහෙමත් නැත්තං .......... මහත්තය එයාව මේ විදිහට මගහරින්න හේතුව මටත් හිතාගන්න බෑ. එයා විස්තර කරපු විදිහෙ ආදරයක් එහෙම එක පාරටම ඉවරවෙන්නෙ කොහොමද. මං සතුටු වෙන්න ඕනිද දුක් වෙන්න ඕනිද කියල මමම කල්පනා කරා. නැවතත් පුංචි බලාපොරොත්තුවක් යාන්තමට ඇති උනත් ඊටත් වඩා හිත යටින් ආපු මොකක්දෝ මංද අමුතුම විදිහේ දුකක් දැනුන. ඒත් කොයි වෙලාවෙවත් “ඇද්ද උඹට දැන්, මට කෙලෙව්වට” කියල හිතුනෙ නැති එක ගැන මටම මං ගැන පුදුම හිතුන.
මට ආදරේ කලොත් විතරද මම එයාට ආදරේ කරන්නෙ?
එයා මට ආදරේ නැති හිංද මමත් එයාට ආදරේ කරන එක නතර කරන්න ඕනිද?
ආදරේ කියන්නෙ වෙළඳාමක්ද?
තමන් හදවතින්ම ආදරේ කරපු කෙනෙක් දැන් තමන්ට ආදරේ නොකරනකොට එයාට වෛර කරන්න පුලුවන්ද?
එහෙමත් නැත්තං එයාට මං ආදරේ නෑ කියල කියන්න පුලුවන්ද?
එයා තමන්ව දිගින් දිගටම රිදවද්දිත් එයාට ආදරේ කරන්න පුලුවන්නං. එයා “මං ඔයාට ආදරේ නෑ” කියල කියද්දිත් එයාට ආදරේ කරන්න පුලුවන්නං. එයාගෙන් ආපහු කිසිම දෙයක් නොලැබෙද්දිත්, අඩුම තරමින් හිනාවක්වත් ආපහු නොලැබෙද්දි එයාට ආදරේ කරන්න පුලුවන්නං. ඒ ආදරේට මොකක් කියලද කියන්න ඕනි?



Tuesday, June 3, 2014

එකෝමත් එක දවසක - දවසක් දා -02

ඇය මගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් උනා කියා මට එතරම් විශේෂයක් දැනුනේ නැත. මන්ද එදවස් වල මා තවත් ගෑණු ළමයෙකුට හාපුරා කියා පැණි හලන්නට පටන් ගෙන සිටි නිසාය.

උනේ මෙන්න මේකය. කැම්පස් එකේ දේශන අතරතුරේ එක් ගෑණු ළමයෙකු මදෙස බලා ඉන්නා අයුරු එක් දිනක් මට අහම්බෙන් දකින්නට ලැබුණි. මගේ චප්ප උනු මුණ දෙස බලා ඉන්නා ගෑණු ළමුන් දුර්ලබ හෙයින් මමද ප්‍රීතියෙන් ඔකඳ උනු නමුත් ඈ මා බැලූ සැනින් ඉවත බලා ගත්තාය. කැම්පස් ජිවිතයේ පලවෙනි වතාවට හිත පුරා ගෑණු ළමයෙකුට පැණි හැලීමට හැකි තත්වයක සිටි නිසා මම නිතරම ඈ දෙස බලා උන්නේ බැරි වීමකින් හෝ ඈ නැවත බැලුවොත් හිනැහෙන්නය.

ඈ තව වතාවක් නොව දෙතුන් වතාවක්ම මදෙස බැලුවාය. මෙසේ මසක් පමණ මේ සෙල්ලම දිගටම කෙරුණු නමුත්, ඈට කැම්පස් එකෙන් පිට, නිවසින් යෝජනා කරන ලද මනමාලයෙකු සිටින බව මම දැන ගත්තේ පසුවය. අප දෙදෙනා අනතුරුව හොඳ මිතුරන් වූයෙමු.

මුණු පොතේ බයානක වසංගතයක් මෙන් එක සෙල්ලමක් පැතිර ගියේ මෙන්න මේ අතරය. සෙල්ලමේ නම සඳහන් කලොත් රොටියා කවුදැයි හෙලිවීමේ දරුණු අවධානමක් පවතින නිසා ඒ අවදානම ගැනීමට රොටියා සුදානම් නැත. වැඩි කලක් නොයවාම රොටියා මේ සෙල්ලමේ යාවජීව සාමාජිකයෙක් විය. රොටියා විසින් තම මුණු පොත් යහළු යෙහෙලියන් සියළු දෙනාටම සෙල්ලමට ආරාදනා කොට පණිවුඩ යැවූ අතර වැඩි කල් නොයවාම මෙම සෙල්ලම පිස්සුවක් තරමටම උග්‍ර විය.

සෙල්ලම සිදු වුයේ ජාලගතවය. ඒ කියන්නේ තමුන්ගේ ලකුණු පිළිබඳව බලාගෙන සිටීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිණි. තරඟකරුවන් අනෙක් අයගේ ලකුණු අඩු කිරීම සඳහාද යම් යම් ක්‍රියා මාර්ග ගත යුතු විය.

මතක ලෙස අගෝස්තු හත් වෙනිදා වන්නට ඕනෑය. මම අර සුරන්ගනාවගේ ලකුණු අඩු කිරීම සඳහා (ඇයද සෙල්ලමේ ක්‍රියාශීලි තරඟකාරිනියක් වුවාය) යමක් සිදු කොට, ඇයට පණිවුඩයක්ද ලියා තැබුවෙමි.

"කවුද කියලත් දන්නේ නෑ. ඒත් කමක් නෑ මම අද _________ ______ ______ කළා"

ඈ මට පෙරලා පහර එල්ල කලේ ඉන් දින දෙකකට පසුවය

"ඒකට කමක් නෑ.ඔන්න මමත් අද ________ ________ කළා"

විස්වාස කරන්න. එය පටන් ගත්තේ ඔන්න ඔහොමය


Saturday, May 17, 2014

එකෝමත් එක දවසක - දවසක් දා -01

මා හිතා උන්නේ එකෝමත් එක දවසක කතාව ඉවර කරන්නට නොවේය. නමුත් අන්තිම කොටස කියවූ බොහෝ දෙනා කතාව ඉවර බව හිතා ගත් බව මට තේරුම් ගියේය. එය ඒ අල්ලේ පනල්ලේ නිවැරදි කරන්නට නොගියේ ඒ දිනවල මහා රාජකාරි ගොඩකට මැදිවී උන් නිසාය. දැනුත් වැඩි වෙනසක් නැති උනාට, ලියන්නට හදා ගත් හිත ඉල්ලන්නේම ලියන්න කියාය. එනිසා කතාව නැවතූ තැනින් පටන් ගනිමි.

රොටියාගේ බ්ලොග් පිටුවට එන ඔබ මගේ සඳ ඔබ නමින් පළවූ පොස්ටු හතරක් පහක් දකින්නට ඇත. එය රොටියාගේ ගෑණු ළමයා ලියූ කතාවයි. වෙන වචන වලින් කියනවානම්, රොටියාගේ ගෑණු ළමයාට රොටියා ගැන හිතක් පහල වුනු දා ඉඳ කතාන්දරයයි.. රොටියාගේ පැත්තෙන් ඒ කතාන්දරය මෙලෙස ලියාගෙන යමි..

අවුරුදු හයක් තිස්සේ මා නාස්ති කල හීනයෙන් අවදි වුනු පසු මා අමුතුම වුනු බව ඇත්තය. ඒ කියන්නේ මම මගේ ජීවිතය ගැන වෙනදාට වඩා බැරෑරුම් ලෙස හිතු බව හා මට මා ගැනම සන්තෝස විය හැකි ලෙස මගේ ජීවිතය වෙනස් කර ගත් බවය. නමුත් මාත් නොදන්නා මොකද්දෝ පාළුවක් මගේ හතර වටේ වෙලා ගෙන උන්නේය. හෝර්මෝන වැඩ කරන කොල්ලෙකුගේ හිතේ, ජිවිතයේ මල් සමයේදී ඇතිවන මේ මල පාළුව ගැන කියවන ඔබට අමුතුවෙන් විස්තර කර දීමට අනවශ්‍ය යයි සිතමි. කෙසේ හෝ පාළුව මකා ගැනීම පිණිස අපි හැමෝම වාගේ යන බුකියට, එනම් මුහුණු බුකියට මමද ඇබ්බැහි වීමි

දන්නා අඳුනන ගෑණු ළමුන් සේම පොත්ත රතුවට හැඩට වැඩට ඉන්නා නොදන්නා ගෑණු ළමුන්ටද මම කොලු කමට මිතුරු ඇරයුම් යැවීමි. සමහරු ඇරයුම පිළිගත් අතර සමහරු මගේ ඇරයුම ගණන් ගෙනවත් තිබුනේ නැත. මොනවා උනත් මට මොකද.. මල් වගේ කෙල්ලෝ හතර පහක් හිටියාම මදැයි..

එසේ මම පාසල් අවදියේ මා දන්නා හඳුනන බොහෝ ගැහැණු ළමුන් මගේ මුහුණු පොතේ මිතුරියන් කර ගැනීමට සමත් උනෙමි. එසේ වන කල, මාර්ක් උන්දැ විසින් මා දන්නා හදුනනවායයි සැක කල හැකි ගැහැණු ළමුන්ව මට දිගට හරහට යෝජනා කරන්නට විය. මමද කිසිම ලෝබ කමක් නැතිව ඔවුන් සියලු දෙනාටම මිතුරු ඇරයුම් යැවීමි.

එක දවසක සුරන්ගනාවියකගේ රූපයකින් සිය ප්‍රොෆයිලය හැඩ කරගෙන උන් නාඳුනන යුවතියකට මිතුරු ඇරයුමක් යවන්න මට කටයුතු සිද්ද උනේ ඔන්න ඔය ලෙසය. ඇයට හා මට පොදු වුනු මිතුරු, මිතුරියන් දහයක් විස්සක් උන්නද ඈ කව්දැයි මම ඇත්තටම දැන උන්නේ නැත. මගේ මිතුරු ඇරයුම මෙන්න ඇය පිළිඅරගෙන. මාර්තු පස් වෙනිදාවක ඈ මගේ මිතුරූ ලැයිස්තුවට ඇතුලත් වෙලා..

ඒ දිනවල මගේ මිතුරු ඇරයුම් පිළිගන්නා ඕනෑම ගෑණු ළමයෙකුගේ ප්‍රොෆයිලය කූරු ගා බැලීමේ පුරුද්දක් මට විය (අද කියා එහි වෙනසක් නැත්තේය). ඉතින් මමද මේ සුරංගනා රුවක් තම රුපය ලෙස දමාගෙන සිටියේ කව්දැයි බලන්න ඇගේ ප්‍රොෆයිලයට ගොස් කූරු ගෑවද, ඈ පවුද්ගලික අද්යාපන ආයතනයක උසස් අද්‍යාපනය හදාරන යුවතියක් බව හැරෙන්නට වෙන කිසිම දෙයක් ඈ ගැන සොයා ගැනීමට නොහැකි විය. (මේ තියෙන්නේ එන්න ඒ පින්තුරයය)


Saturday, May 10, 2014

නිර්නාමික ආදර කතාව

හිත කොනිති ගහන එක ආදර කතාවක් ආයෙමත් මං ලඟට ඇවිත්.. මෙච්චරම ලස්සනට වචන අමුණපු කතාවේ හිමිකාරයා හැංගිලා ඉන්න කැමතියි. ඒ ඇයි කියල මට අහන්න අමතක උනා. සමහර විට ඇත්ත නමකින් ලියාගන්න බැරි තරම් හිත රිද්දන මතක තියනවා කියල වෙන කාටවත් වඩා හොඳින් රොටියා දන්න නිසා වෙන්න ඇති...

ඉතින් කතාව ලියපු කෙනා නිර්නාමිකයි..

=*=*

"ගුඩ් මෝනිං" වෙනද වගේම පිළිතුරක් නැති බව දැන දැනත් උදේ පාන්දරම කෙටි පණිවිඩයක් යැවුව. පැය කිහිපයකට පස්සෙ "ගුඩ් මෝනිං ඔයා අද ක්ලාස් යනවද?"
පුදුමයි! මගෙන් ක්ෂණිකව හැරෙන තැපෑලෙන්ම උත්තරයක්.
මම - "ඔවු මේ ක්ලාස් එකේ ඉන්නෙ. මම හෙට කැම්පස් යනව"
එයා - "මම දුකින් ඉන්නෙ. ඔයාට ක්ලාස් ඉවර උනහම කියන්නම්"
මම - "ඔයාට පුලුවන්නම් දැන් කෙටියෙන් කියන්න"
එයා - "කෙටියෙන් කියන්න බෑ. ඒක දිග කතාවක්"
මොනදේ උනත් ජීවිතේ පළවෙනි ආදරේ. මොකක්ද දුක හිතෙන්න වෙච්ච දේ. දාහක් උපකල්පන, දාහක් ප්රදශ්න, දාහක් උත්තර. බලමුකො හවස්වෙලා කතා කරල.පන්තිය ඉවරවෙනකල් ඇඟිලි ගැනගැන ඉඳල බොහොම අමාරුවෙන් බම්බලපිටියෙ ඉඳල, පිටකොටුවට යනකලුත් ඉවසල, ගෙදර යන බස් එකටත් නැගලම ගත්ත කෝල් එකක්. ඒත් ෆෝන් ඒක උස්සන්නේ නෑ.
"දැන් කතා කරන්න බෑ. පස්සෙ කියන්නම්"
හරි. දැන් ඉතින් ගෙදර යනකල් ඉවසපන්කො.
.
.
.
.
.
.
මම - "දැන්වත් කියන්නකෝ ළමයෝ.."
එයා - "ඔයාට මතකද ...........ව ?"
මම - "ඔවු ඔයත් එක්ක කතා කරන්න ආසයි කිව්වේ"
මගේ මතකය දුවල ගියෙ අපි ආදරේ කරන්න පටන්ගත්ත කාලෙ එයා කියපු කොල්ලෙක්. ඒ කොල්ල මෙයත් එක්ක කතාකරන්න ආසයි කියල කියපු කතාවක්. මිනිහගෙ මෙතනට තියන සම්බන්දෙ මොකක්ද?
එයා - "ඔවු එයා තමයි. එයා මම දැනගත්තේ ගොඩක් ඉස්සර. එයා මාත් එක්ක චැට් කරල තියෙන්නෙ බොරු නමකින්. එයාගෙ නම ........... එයා ......... කෙනෙක්"
ඔවු ඉතිං මම ඉන්න ක්ෂේත්රෙයට වඩා .........කෙනෙක් කියන්නෙ කාගේත් හිත ඇදල ගන්න රස්සාවක් තමයි.
මම - "ඉතිං"
එයා - "එයා මට එයාගේ හැම විස්තරයක්ම කිව්ව. මම පවු කියල මගෙ නොම්බරේ එයට දුන්න. එයා මාත් එක්ක හැමදාම කතා කළා. එය මට කැමති කියල මට තේරිලා තිබ්බෙ"
මම - "ඉතිං"
එයා - "එයා මාව හම්බවෙන්න ඕනි කිව්ව. මම එයාව හම්බවෙන්න ගියා. එයා කිව්ව මම ලස්සනයි, එයා මට කැමති කියල. එයත් හරි හොඳයි. හරි ඩීසන්ට්. හරි නිවිච්ච කෙනෙක්. කතා කරන විදිහට ආස හිතෙනව"
මම ළඟ ඉතිං ඔය කියන එකම ඒක ගතිගුණයක්වත් නෑනේ. ඩීසන්ට් නෑ, පිළිවෙලකට අඳින්නෙ නෑ, පිස්සුමයි කෙලින්නෙ, සරළවම කියනවනම් නොම්මර එකේ අපතයෙක්.
මම - "ඉතිං ඔයා එයාට කැමති උනා"
එයා - "එයා මාත් එක්ක පැය ගණන් කතා කළා. මගෙ යාළුවොත් එය ගැන දන්නව. එයාලත් එයාට කැමතියි.එතකොට එයත් එක්ක සම්බන්දයක් ඇතිවෙලා තිබ්බේ"
සරළවම ..........කෙනෙක්ට වඩා ...........කෙනෙක් කොහොමත් හොඳයි. මගෙයි එයාගෙයි තිබ්බ සම්බන්ධය එයාගේ යාළුවො හරියට දැනන් තිබ්බේ නෑ. එයාල හිතන් හිටියෙ මම එයාගෙන් යාලුවෙන්න අහනව කියල. මෑතක ඉඳල එයාගෙ යාළුවො මං දිහා බලන විදිහ ටිකක් විතර වෙනස් කියල මටත් තේරිලා තිබ්බේ. ඒක අනුකම්පාවට වඩා උපහාසයක් කියලයි දැන් මට හිතෙන්නෙ.
මම - "ඔය එයාට ඇත්තටම ගොඩක් ආදරෙයිද"
මම ඇහුවේ පෙර අත්දැකීම් උපයෝගී කරගෙන.
එයා - "ඔවු අපි දෙන්න ගොඩක් කතා කරල අඳුනගෙන ඉන්නෙ. අපි දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඉන්නෙ. එයා හරි හොඳයි"
.
.
.
.
.
මම - "දැන් ඇයි ඔයාට දුක හිතෙන්නෙ?"
එයා - "එයා දැන් සතියකින් විතර මට කතා කලේ නෑ. මම එයාට කෝල් කළා මැසේජ් කළා ඒත් එයා ආන්සර් කරන්නේ නෑ. එයා හරි හොඳ කෙනෙක්. මං ගැන හැමවෙලාවෙම හොයනව. එහෙම කෙනෙක් එකපාරටම වෙනස් උනේ කොහොමද කියල මට හිතාගන්න බෑ"
මොකක්ද මම දෙන උත්තරේ?
එයා මහා ගොඩක් විශ්වාසය තියපු කෙනා, මගෙ ආදරිය අයිති කරගත්ත කෙනා, මට වඩා එයාට දැනෙන්න ආදරය කරපු කෙනා, එයා මට වඩා ආදරය කරපු කෙනා, එයාව තේරුම් ගත්ත කෙනා, එයා හොඳින් තේරුම් ගත්ත කෙනා, අද එයාට දුකක් දීල.
මොකක්ද මම දෙන්න ඕනි උත්තරේ???


පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....

බිඟු දබර කල සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩු වලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ//
කියන ලඳේ මට රහසේ
උඹට මං පන වගේ ආදරේ//

පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ
කවුරුන්ද මල්වයසෙ මගෙ යහන ගිනිබත් කලේ
මන මාලියේ//
දඟකාරියේ.....
උඹට මං පණවගේ ආදරේ




උඹට මං පණවගේ ආදරේ......




Tuesday, May 6, 2014

හොරු සමග හෙළුවෙන්

පස්සෙන් පහු වුනු දිනයක උදෑසන සුබ මොහොතින් කාර්යාල ප්‍රවාහන සේවයට ගොඩවුනේ ඔපිසිය බලා ධාවනය වන්නටය.හැම දවසකම මෙන්, ඉතාමත් ප්‍රීතියෙන් හා වැඩ ආරම්බ කිරීමට නොඉවසිල්ලෙන් ගමන පටන් ගත් නිසා, අසුනේ වාඩි වෙනවාත් සමගම රොටියා ගැඹුරු නින්දකට වැටුනාය.නොසන්සුන් ගතියක් දැනී හදිසියේම ඇහැ ඇරෙන විට ඉන්දියාවේ නිෂ්පාදිත බස් රාජයා, අනන්තය තෙක් විහිදී ඇති සැක කල හැකි තදබදයකට අසුවී උන්නාය. පියවි සිහිය ලැබ ගන්නට මිනිත්තු කීපයක් ගතවුණු අතර, කිරි අප්පට බල්ලෝ පනින්නට තදබදය හටගෙන තිබුනේ අධිවේගී මාර්ගයේය

කාර්යාලයට යාමට පමා වන්නට හෝ නොගොස් සිටීමට හේතුවන ඕනෑම සාධාරණ හේතුවක් රොටියාට මංගල කාරණයක් බැවින්, ප්‍රීතියෙන් කුල්මත් වූ රොටියාද වන්නේ මොකද්දැයි දැනගැනීම පිණිස ඉදිරියට ගියේ ඕපාදුප ටිකක් දැනගෙන එන්නටය

බසයේ ඉදිරි වීදුරුවෙන් දිස්වූ ආකාරයට, අදිවේගය අවහිර කරමින් දැවැන්ත උද්ගෝෂණ ව්‍යාපාරයක් පැවතෙන බව පෙනුනි. නුවමනා දේට පනින්නේ නැතිව , තමුන්ගේ පාඩුවේ පැත්තකට වී ඉන්නා ලෙසට උදේ හවස ඇසෙන ගෑණු ළමයාගේ අවවාදය අමතක කල රොටියා එක පිම්මට බසයෙන් බැස්සේ වන්නේ කුමක්දැයි සොයා බැලීමටය.

මොකද්ද එකට වුනු අනිත් එක මෙන්, උද්ගෝෂකයෝ ඇඳන් උන්නේ කට්ට කළු ඇඳුම්ය. ඇඳුම් පමණක් නම් කමක් නැත. මුන් ඔක්කෝම මුණු වසාගෙනය. පෙන්නේට ඇත්තේ දෑස් පමණකි. අල්කයිඩා සංවිධානය ලංකාවේ කාර්යාලක් අරඹන්නට මුහුරත් උළෙලක් පවත්වනවාදැයි සැක සංකා පහල උනත්, ස්වාබවයෙන් ලද කුතුහලය හේතු කොටගෙන රොටියා යටකී දෙසට පාද යාත්‍රා කළාය.

ඔක්කොම හයේ හතරේ කෑලිය. තව දුරටත් බලන විට සියලෝම පුරුෂ පරාන බව පෙනුනි. කෝකටත් කියා එකෙකුට කිට්ටු කොට වන්නේ කුමක්දැයි ඇසු විට, මිනීමරු බැල්මකින් බලා අහක බලා ගත්තාය. දෙවන, තෙවන එකා ආදී වශයෙන් දහපහළොස් දෙනෙකුට කිට්ටු කරත්, ලැබුනේ එකම ප්‍රතිචාරයය. එක්වරම පිරිස නිශ්ශබ්බද්ද උනු අතර, ප්‍රමාණයෙන් අලියෙකුට මදක් කුඩා එකෙක් පිරිස මැදට පැමිණියේය.

"අරි.. පටන් ගමු බොස්" බෙලෙක්කෙයක් හඬවන්නාක් මෙන් කෑ ගැසූ ඒකා, එක්වරම සිය පපුව ඉදිරියට දමා කමිසය දෙපසට කළේය.

"ඇයි අපි කළුද.." උගේ පපුවේ හෙනගහන්නාක් මෙන් පච්ච කොටා තිබුණි. නායකයා අනුගමනය කල අනෙක් ඔක්කොමත් තම තමුන්ගේ පපු, සමහරු තමුන්ගේ යෝධ බාහු ප්‍රදර්ශනය කල අතර,

"අපිට කැකිරිද?.."
"අපි අවජාතකද?.."
"අපිට කුඩම්මාගේ සැලකිලිද?.."

යනාදී ලෙස විවිදාකාර වාක්‍ය ඛණ්ඩ පච්ච කොටා ගෙන සිටි අතර, රොටියාට හැඟුනේ මෙය නම් ඉතාමත් පිඩිත විශ්ව විද්‍යාලිය සිසුන් පිරිසක්, අනුන්ගේ අවධානය තමුන්ගේ ප්‍රශ්න වෙත යොමු කරවා ගැනීමට දරන නිර්මාණශීලි වෑයමක් ලෙසටය

එක්වරම මදක් කුඩා දෙදෙනෙක් යෝධ බැනරයක් රැගෙන දිව ආ අතර "ඉංජිනේරු උපාධිය අපට වහා ලබා දෙව්" යනුවෙන් එහි පොල්ගෙඩි අකුරින් ලියා තිබුණි

එවිටම අදිවේගයේ මංතීරු වෙන්කරන වැටට උඩින් පැන, වැදගත් පෙනුමැති පිරිසක් විසින් උද්ගෝෂකයන්ට සිසිල් පැන් විස්කෝතු රැගෙන ආ අතර, එයින් කෙනෙක් දිවා ආහාරය සඳහා උවමනා මොනවාදැයි එක එකාගෙන් විමසමින් සටහන් තබා ගත්තාය.

වන්නේ කුමක්දැයි හරියට අසා දැන නොගත්තොත් උමතු වන තරමට මේ වන විට කුතුහලයෙන් ඇලලී සිටි රොටියා, සත්කාරක පිරිසේ එක මහත්තයෙකු වෙත කිට්ටු කළාය

ඔහු මදෙස බලා අහිංසකව හිනාවක් පෑවේය

"මේ මහත්තයෝ හොරු... හොරන්කන් කරන්න ලේසි වෙන්න ඉංජිනේරු උපාදිය ඉල්ලනවා නොවැ.."

පාෂාණබූත වූ රොටියා , එතකොට ඔය කට්ටිය කවුදැයි විමසුවාහුය

"අනේ එක නං කියන්න බෑ මහත්තයෝ. මුන් ටික වර්ජනේ කරන තරමට අපි කැමතියි කියල මහත්තයා හිතා ගන්නකෝ..දෙයියනේ කියල අපිට අපේ වැඩ ටික හරියට කරගත්තහැකි මුන් නැතුව.."


Saturday, May 3, 2014

අඳුරට සාප කිරීම හා ඉටි පහන් එලිය

මේ කතාව ලියන්න තිබුනේ ටිකක් කලිනි. නමුත් දහසක් වැඩ මැද බ්ලොග් කට්ටක් කුරුටු ගෑම ලෙල්ලම් වැඩක් බව රොටියාට පසුගිය අල්ල පනල්ලේ වැටහුණු අතර පෝස්ටු පමාවීමට හේතුව රොටියාගේ ජිවන අරගලය බව කියන්නට කැමතිය. කෙසේ උනත් කතා කල යුතු තැන කතා කල යුතු නිසා මේ පොස්ටුව දැමිය යුත්තේමය.

පසුගිය සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ගැනීම පිණිස බොරැල්ලේ අලුතින් අරඹන ලද සියල්ලෝම දන්නා විලාසිතා ගෙදරකට ගිය රොටියාට මුහුණ දෙන්නට සිද්ද උනු අත්දැකීම නම් අන්තිම නරකය. සාප්පුවේ නම සඳහන් කිරීමට රොටියා අතිශය කැමති මුත්, අපහාස නිතිය ගැන වැටහීමක් නැති නිසා මෙසේ ලියමි.

සාප්පුව මහල් කීපයකි. සියලුම දේවල් ඇති යයි ඇසු නිසා ගියෙමි. සැබවින්ම බොහෝ දේ තිබුණි. බොහෝ දේ චීනයෙන් ආනයනය කර ඇති බව සඳහන් වූ අතර, සේවක මණ්ඩලයද චිනයෙන්ම ආනයනය කරගන්නට පුළුවන් උනා නම් මල් හතය. මන්ද එහි සේවය කළේ පාරිබෝගික සේවා සපයන්නන් නොව, සේවක ඇඳුම් හැඳගත් වෙනත් ජීවින් කොටසක්ය. ඔවුන් පාරිබෝගිකයන් දෙස බලා සිටියේ මංකොල්ල කන තෙක් මංකොල්ලකරුවන් දෙස බලන් ඉන්නා පොලිස් මහත්වරුන් සේය. කතා කලේද එසේය. මහල් අතර වූ සෝපානය වැඩි වශයෙන් යොදා ගැනුනේ සේවක ප්‍රවාහනයටය. එතරම් විසාල ඇදුම් සාප්පුවේ අඩුම ගානේ බිම් මහලේ මුල්ලකවත් පාරිබෝගිකයන්ට සිසිල් පැන් බෝතලයක් වත් බොන්නට තැනක් නොවිණි. සාප්පුවේ ඇවිද ඉවර කිරීමට අවම වශයෙන් පැය හතර පහක් යන්නේය. සාප්පුවට පැමිණෙන ජනතාව නොකා නොබී සාප්පු සවාරිය අහවර කොට හැකි තාක් ඉක්මනට පිට කර හැරීම පරමාර්ථය වුයේ නම් මෙතරම් විසාල අටමගලයක් අටවා ගත්තේ ඇයි දැයි යන්න රොටියාට බරපතල ගැටලුවකි

දෙවැන්න සිද්දවුයේ මිගමුවෙදිය. රජයට සම්බන්දකමක් ඇති, බොහෝමයක් ප්‍රධාන නගර වල ශාකා ඇති ඇඳුම් සාප්පුවට ගියේ රොටියාගේ ගෑණු ළමයාට අවශ්‍ය වූ ඇඟලුමක් ගන්නටය. උදෑසන අටයි හතලිහට පමණ ගිය කල සාප්පුව අරින්නේ නමයටයි කියා, දොර හැර තිබූ හෙයින්, දැන් යන්න බැරිදැයි ඇසු කල සිකියුරිටි තුමිය මුහුණ හරහා කනේ පහරක් ගසන්නාක් මෙන් දොර වැසුවාහුය. ඊළඟට විනාඩි විස්ස හෙයින් ඉඳිමු යයි පවසා නමය වන තෙක් ලැග හුන් කල සාප්පුව අරින්නේ නමයහමාරට යයි පැවසු පසු ඉවසීම හමාර වූ රොටියා හා ගෑණු ළමයා ආපසු හැරී පැමිණියහ. අනතුරුව දහයහමාරට පමණ නැවත වතාවක් අදාළ සාප්පුවටම බඩගෑමට සිද්දවුනේ අවශ්‍ය ඇඟළුම වෙන කිසි තැනක නොතිබුන නිසාය. කෙසේ හෝ මේ සාප්පුවේ නම් සේවක මණ්ඩලයෙහි සේවය අතිශය ප්‍රශස්ත මට්ටමක තිබුණු අතර ඔවුන්ගේ ලෙන්ගතු සේවය නිසා පෙර අමිහිරි අත්දැකීම පහසුවෙන්ම අමතක විය.

කොළඹ පිහිටි ඔඩෙල්, කොටන් කලෙක්ෂන් , කෙලී ෆෙල්ඩර් මෙන්ම මීගමුවේ නොලිමිට් වැනි සාප්පුව වල සේවය නම් උපරිමය. මෙයින් ඔඩෙල් , කොටන් කලෙක්ෂන් වැනි තැන් වල කා බී නිවී සැනසිල්ලේ සිටිය හැකි ආපනාගාරද ඇති නිසා, ගෑණු ළමුන් සමග පැමිණෙන අප මෙන් අහිංසක කොල්ලන්ටද කලක් යන්නේය. පාරිබෝගික සේවය යනු අන්න එයයි. කවුරු කොහොම කිව්වද ඔය තැන් වලත් අප මෙන් මද්යම පාන්තික ජනතාවට ගත හැකී මුදලට ඇඳුම් ඇත්තේය.

රොටියාට කියන්න උවමනා වුයේ ඔය මොකක්වත් නොවන්නේය. පහුගිය ටිකේම ජාතිවාදී කන්නාඩි දමාගෙන, සිංහල කඩවලට පමණක් යන ලෙස පවසමින් ඇති පොස්ටු සිය ගණනක් රොටියා දැක්කේය. රොටියාට හැඟෙන පරිදි නම් සාමාන්‍ය පාරිබෝගික ජනතාව ඇදෙන්නේ තමුන්ට යහපත් සේවාවක් ලබාදෙන ආයතන කෙරෙහිය. හොඳම උදාහරණය දම්රෝ ආයතනයයි. ඒ ආයතනය අලෙවියෙන් පසු ලබාදෙන ඇති විශිෂ්ට පාරිබෝගික සේවාව නිසා දැන් රොටියා ඇතුළු දන්නා කියන සියල්ලෝම සෝපාවක්, ඇඳක් , මේසයක් පමණක් නොව ශීතකරණයක්, රුපවාහිනියක් මිලදී ගැනීම පිණිස යන්නේද දම්රෝ ආයතනයටය.

වරදවා වටහා ගන්න එපාය. රොටියා සිය බ්ලොග් පිටුවේ වෙළඳ ප්‍රචාරක කටයුතු සිද්ද කරනවා කියා එහෙම හිතන්න එපාය. අරකට යන්න එපා, මේකට යන්න එපා කියනවාට වඩා ඒ යන්න එපැයි කියන සාප්පු කරා සෙනග ඇදෙන්නේ ඇයිදැයි සොයා බැලීම වැඩදායකය. හැම දෙයම නිකන් අප කරා ඇදෙන්නේ නැත. තම තමුන්ගේ නොහැකියාවල් වෙනෙකෙකු පිටින් යවා වෙහෙසී වැඩ කරන අනෙකාගේ ජීවිකාව නැති කරන්නට හදනවාට වඩා, අනෙකාගෙන් යහපත් දෙය ඉගෙන ගනිමු යන්න රොටියාගේ යෝජනාවයි.





එකෝමත් එක දවසක - 18

එතැන් සිට මම මමම වන්නට උගත්තෙමි. මගේ ජීවිතය සකස් කරගැනීම හෝ නොගැනීම තිබෙන්නේ මගේ අතම බව මට ටික ටික තේරුම් ගියේය. ආදරය යනු හඹා යා නොහැකි දෙයක් බව මට ටික ටික වැටහුනේය. ටිකෙන් ටික මම මහා පොලවට පාත් උනෙමි.

මගේ සිහින දෙව්දුව, මා තුල ඇය ගැන තිබූ ඇල්ම ටික ටික අඩුවන අයුරු වටහා ගන්නට ඇත. මන්ද ඈ මවෙත හෙලන ඉඟි බිඟි එන්න එන්නම වැඩි වූ නිසාය. ගැහැණිය ටජ් මහලට උපමා කිරීමේ සැබෑම අරුත මට වැටහුනේ ඒ දිනවලය. දුරස් වනවිට ඈ ලංවෙයි. ලන්වනවිට ඈ දුරස්වෙයි.

අනතුරුව ඈද සෙල්ලම නවත්වන්නට තීරණය කළාය. ඇත්ත කතා කලොත් ඇයට එසේ කරන්නට සිදු උනාය. කොට්ටෝරුවා කෙහෙල් ගහේ ඇමිණී ඇති බව මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුනේය. තමාගේ ප්‍රේමසම්බන්ධය නිල ලෙස ප්‍රකාශ කරන ලෙසද, නැත්තන් තමා හා ඈ අතර සිද්ද වුනු යම් කිසි දෙයක් ප්‍රසිද්ධ කොට ඈට කැම්පස් නොඑන තැනට වැඩ සලස්වන බවට ඈට අනතුරු සංඥා ලැබී තිබිණි. ඉතින් විය යුතු පරිදිම ඈට කෝකටත් කරගහන්නට ඉන්නා ගොන් රාජයාව සිහිවිය. ඒ කියන්නේ ඈට මාව මතක් විය.

දේශනයක් අතරතුර පොඩි ලියුම් කෑල්ලක් මා කරා පැමිණියේය. "අද මාව එක්කගෙන යන්න එන්න පුලුවන්ද?"

නමුත් ඈට එක දෙයක් අමතක වී තිබිණි. එනම් එදා සිටි ගොනාව මමද විකුණා හමාර කොට තිබූ බවයි. "මම ලෙක්චර්ස් ඉවරවුණු ගමන් වැඩට යන්න ඕනේ. එන්න බැරි එක ගැන කනගාටුයි"

විනාඩි පහකින් පමණ ලියුම මා කරා නැවත පැමිණියේය. "එහෙනං විනාඩි පහකට කතා කරන්න පුලුවන්ද?"

මම ඊට පිළිතුරු නොයැව්වෙමි. දේශනය හමාර වූ විගස පැදුරටත් නොකියා පුසා සමග රැකියාව කරා පිට වුනෙමි. කොල්ලෙක් ලෙස මටද මා ගැන අහිංසක ආඩම්බරයක් දැනුනි. පුසා මදෙස බැලූ විදියෙන්, ඌටත් එලෙසම මා ගැන සිතුනු බව මට තේරුණි.

ඊළඟ සතිය පුරාවටම ඈ විවිදාකාරයෙන් මා මුණගැහිමට තැත් කලත් මම ඇයව මග හැරියෙමි. සාමානයෙන් මා නිවසට යන්නේ සිකුරාදා හවසටය. රැකියාව කරන්නට පටන් ගත් පසු ගෙදර යාමේ දවස ගැන අනාවැකි පළකිරීම උගහට විය.

බ්‍රහස්පතින්දා හවස මට මගේ මුල්ම වැටුප ලැබුණි. පලකට නැති දේට වැය කරන කාලයෙන් පලකට ඇති දෙයක් සිද්ද කල විට ලැබෙන ආත්ම තෘප්තිය මට මුල්ම වරට දැනුනේ එදාය. රැකියාව සොයා දීම සම්බන්දයෙන් එදා මම පුසාට හද පත්ලෙන්ම ඉස්තුති කලෙමි. පුසාට පමණක් නොව ලපයා ඇතුළු මගේ මොළය පෑදු සියලුම දෙනාට මම හදවතිම ඉස්තුති කලෙමි. මගේ ප්‍රීතිය දෙගුණ කරමින් මැනේජර් තුමා මට හා පුසාට සිකුරාදා හා සෙනසුරාදා නිවාඩු දුන්නේය. හැබැයි කොල්ලනේ ඉරිදට වරෙව්. ඉරිදා පොලිටික්කෙක්ගේ පාටියක් තියෙනවා. උඹලට ඩබල් ගෙවනවා.


අද නම්, සෑම මසකම නියමිත දිනකදී මගේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වන බව මම දනිමි. ATM මැසිමකට ගොස් මගේ උවමනා සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා ගත හැකි බවද, ඊට පෙර ලිසිං කොම්පැනියෙන් උන්ගේ කොටස කපා ගන්නා බවත් දන්නෙමි. අවැසි තැනට යන්නට වාහනය ඇති බවද, ඒත් ණය පත බාවිත කොට පෙට්ට්‍රල් ලබා ගත යුතු බවත් දන්නෙමි. මට අඳින්නට තව කමිසයක් ඇත්නම් හොඳ බවත් ඒත් ඊට පෙර වේඩිමේ කටයුතු සඳහා අත්තිකාරම් බැඳිය යුතු බවත් දන්නෙමි. අරකට මේකට ගෙවන්න ඇති බවත්, කරුමෙකට හෝ ඔපීසියේ කෙහෙල්මලකට මුදල් වුවමනා උනොත් අම්මාට නැවත ණය වන්නට සිදුවන බවත් දන්නෙමි.

ඒත් එදා...එදා අතට ලැබුණු දාහේ කොළ හත අට වියදම් කරන ආකාරය ගැන මට කිසිදු මුලික සැලැස්මක් නොවිණි. මම කුරුල්ලෙක් මෙන් සැහැල්ලු උනෙමි. තෑගී ගන්න උවමනා කරන අය ලැයිස්තුවක් මම හිතින් හැදුවෙමි.අම්මාට, තාත්තාට, මල්ලිට, අයියාට, ලපයාට ඇයි එතකොට ගෙදර බල්ලාට...

සිකුරාදා උදේවරුවේ දේශනයෙන් පසුව ගෙදර යාමට සිතා ගත්තෙමි. මගේ තීරණය මිතුරන්ට දැනුම් දුන්නේද සිකුරාදා උදය වරුවේය. හවස තිබුනේ අන්තිම පලකට නැති බව සියල්ලෝම දන්නා නමුත් උගන්වන මහාචාර්ය තුමා ඒ බැව් නොදන්නා දේශනයක් නිසා කව්රුත් මගේ තීරණය වෙනස් කිරීමට වෑයම් කළේ නැත.

අතේ ඇති මුදලට යායුතු හොඳම තැන මහරගම වූ නිසා මම මහරගම බලා බසයකට ගොඩ උනෙමි. අම්මාට ඇඳුමක් සඳහා රෙදිද, තාත්තා ඇතුළු ඉතුරු සියල්ලන්ටම එකම සාම්පලයෙන් ටි ෂර්ට් ද මිලදී ගතිමි. බල්ලාට බැලූ විස්කෝතු පැකට් එකක් ගෙන මාසේ ඉතුරු පන්දහස් ගණනෙන් මාසය ගෙවාගැනීමට හාර දහසක් අයින් කොට ඉතිරියෙන් අපේ ගෙදරට නිතර කන්න බොන්න ගෙන නොඑන දේවල් ටිකක් මිලදී ගතිමි. චීස්, සොසේජර්ස්, මාමයිට් වගේ..

ඔක්කොම කළමනා උස්සාගෙන පිටකොටුවට පැමිණි කල මෙන්න ඈ බස් නැවතුමේ බස් නවත්වන තැන....

සියලුම පිරිමි සත්තු ගැන නොදන්නා මුත් මා ලද අත්දැකීම් තුලින් ලියමි. කිසියම් ගැහැණු ළමයෙකු ගැන කැමැත්තක් ඇතිවී එය දරුණුම වූ විට ඇයව දකින විට හද ගැස්ම වැඩිවී, එලෝ මෙලෝ නැතිවී මොලේ මඥන් වීම ස්වාබාවිකය. අනතුරුව මුළු ලොවම අපට උවමනා ලෙස කරකැවෙන බව දැනෙන්නට පටන් ගනියි. මගේ දෙව්දුව පිළිබඳවද මට එහෙම දැනෙන සමයක් විය. නමුත් එය නැත්තටම නැතිවී ගිහින් තිබුනේ මාත් නොදන්නා වෙලාවකය. දැන් මට ඈ සාමාන්‍ය ගැහැණු ළමයෙකු පමණි. ඉතින් වෙහෙසක් නොදරාම ඈ හා ආචාරශීලි ලෙස කතා කරන්නට මට හැකි විය.

"ඔයා අද ගෙදර යනවා කියල යාළුවොත් එක්ක කියනවා මට ඇහුනා"

"ඔව්. හදිස්සියේ නිවාඩුවක් හම්බුනා. ඉතින් ගෙදර යනවා. කොහොමද? කාලෙකින් කතා කරන්නත් බැරි උනා.."

මෙන්න ඈ හදිස්සියේම අඬන්නට මුණ හදාගෙන

"ඔයා මාව මග අරිනවා.."

මම හිනැහුනෙමි. " ඇයි අනේ ඔයාව මග අරින්න මට පිස්සුද.. අනික මග අරින්න අපි දෙන්නා කෙල්ලයි කොල්ලයිද. ඔයාම නේද කිව්වේ මම ඔයාගේ හොඳ යාලුවෙක් කියලා.යාලුවෙක් උනාම අනික් යාළුවගේ වැඩ තේරුම් ගන්න ඕනේ නේද" කොහෙන් කටට ආවාදැයි නොදන්නා මුත්, කිව යුතුවූ ඔක්කොම මම ඈට කිව්වෙමි. නැවතුමට අලුතෙන් බස් රියක් ගාල් කල අතර අප දෙදෙනාම රියට නැග්ගෙමු. ආචාරශීලි වියයුතු නිසා කව්ළුව අසල වූ අසුන ඈට දෙන්නට මට සිද්ද විය.

"මට හරි ප්‍රශ්න අනේ. ඔයාටවත් කියන්න බැරි තරන්.." මෙහිදී ඈ එම ප්‍රශ්න මොනවාදැයි මම අසාවි යැයි මුළු හදවතින්ම බලාපොරොත්තු වූ බව මට වැටහුනේය. මම එය ඇසුවේ නැත. ඇගේ ප්‍රශ්න තව දුරටත් මගේ ප්‍රශ්න නොවේ

"ප්‍රශ්න ඉතින් කාටත් තියෙනවනේ.. ඒවා අමතක කරලා දාල ඉන්න"

"කැම්පස් එකේ කොල්ලෙක් යාලු වෙන්න කියල මට හරියට වද කරනවා. මම දන්නෑ මොනවා කරන්නද කියල.." ඈ ළදරු ලෙස කීවාය. එවර නම් මගේ රතු කට්ට පැන්නේය. ඈ මාව බබෙකුට අන්දා කතා කරන අපුරුව

"ඇයි ඔයාගෙයි ලහිරුගෙයි අෆෙයාර් එක බ්රේක් උණාද.." මමද මුදුව කෝමල ලෙස ඇසීමි

ඈ තිගැස්සුනාය. මුහුණ විරූපී වුනු නමුත් ක්ෂණිකව ඈ හිනැහුණාය " මගෙයි ලහිරුගෙයි... කව්ද අනේ ඔයාට ඔය බොරුව කිව්වේ?"

"ආ එක බොරුද.. අපි හැමෝම හිතන් හිටියේ එහෙමයි.. ඔයත් එක්ක ඊට කලින් අෆෙයාර් එක තිබ්බ සමීර තමා අපිට කිව්වේ." මමද තොත්ත බබා උනෙමි

ඈට වදන් නැති විය. සමීර කියූ පමණින් ඈ නිහඬ වීමට හේතුව මම දැනගෙන සිටියෙමි. සමීරගේ ජංගම දුරකතනයේ තිබූ ඇගේ චායාරුප වගයක් එදා මට පෙන්නුවේ කරුණේය. ඒවා අසැබි රුප නොවුනාට සම්බන්දය තහවුරු කිරීමට ප්‍රමාණවත් වුවේය.

"එක එක කාලෙට අපි මෝඩකම් කරනවා තමා.." ඈ හිමිහිට කීවාය.

"හරියට හරි. ඔයා හරියටම ජිවිතේ තේරුම් අරන් තියෙනවා.." මම පණ්ඩිතමාණීව උත්තර දුන්නෙමි.

ඈ තේරුම් ගන්නට ඇත. එනිසා ඈ තවදුරටත් ඒ මාතෘකාව පිළිබඳව කතා කිරීම අත් හැරියාය.එතනින් එහාට අපි කතා කළේ එදිනෙදා සිදුවීම්ය. ඇඳුමක් ගන්නට ඇතැයි පවසමින් ඈ හදිසියේම වත්තල කැන්ඩි සාප්පුව ලඟින් බැහැගත්තේ කලින් අමතක උනායි පවසමිනි. ඈ නැගිටින බව දැක, හිස්වූ අසුනේ වාඩි වීමට පැමිණි සුදු නංගි දෙස පැණි හලමින් බලා සිටි මට ඈට හරියට සමු දීමට වත් අමතක විය.

මගේ ජිවිතයේ පරිච්චේදයක් නිමවුණේ ඔන්න ඔහොමය. මම කොපමණ වීර චරිතයක් රඟපෑවද, මිගමුව බස් නැවතුමේ බස් රිය නවත්වන විට මට ඈව සිහි නොවුනා නම් ඒ බොරුවකි. ඈ හා කතාව ඇරඹි තැන දෙස මම මද වෙලාවක් බලා උන්නෙමි. හින් දුකක් සමග විසාල අස්වැසුමක් මගේ හිතට දැනුනේය. අවුරුදු හයක් සුව නොවී පැවති තුවාලයක් සුව වුවා සේ හැඟුනි. අවුරුදු හයකට පසුව මගේ හිතට විසාල නිදහසක් දැනුනි. කිව යුත්ත ඇගේ මුණටම කියාගන්නට හැකිඋනු නිසා ලද නිදහසක්..

මා එකෝමත් එක දවසක කතාව ලියන්නට පටන් ගත්තේ මෙතනදීය..ගෑණු සංහතියම ගැන නොවුනත් යම්කිසි කලකිරීමක් හිත පුරා නලියන තැනේදීය.පොතේ හැටියට නම් මෙතැනදී කතාව නිමා විය යුතුය. ඔව් කතාව ඉවරය. මගේ ප්‍රථම ප්‍රේමය නොපිදීම මිලාන වීමේ කතාව ඉවරය. කිරිකෝඩු පිරිමි ළමයෙකුගේ හිතේ හටගත් අහිංසක හැඟීමක් ලන්සු කර, ගැහැණු ළමයෙකු සිද්ද කල බයානක සූදුවක් නිමා උනේ ඔන්න ඔහොමය.

එහෙත් මා පිළිබඳව වෙනත් කතාවක් ලියවී තිබුණු බව මට වැටහුනේ තවත් කලක් ගිය තැනය..


Sunday, April 20, 2014

එකෝමත් එක දවසක - 17

සෑහෙන වෙලාවකට පසුව කතා කලේ ලපයාමය
"තොට පිස්සුද යකෝ . මොකද උඹට වෙලා තියෙන්නේ ?"

"ඉන්න හැටි රා බීපු උගුඩුවා වගේ" ඒ කතා කලේ ගෙම්බාය . ඒ උගේ හැටිය . ඕනෑම බැරෑරුම් අවස්තාවක් මැදට පැන , ඒ අවස්ථාවට කිසිසෙත් අදාළ නැති උපමා සහ උපමේයයන් දොඩන ඌ ඊළඟට අපේ ඇනුම් බැනුම් හමුවේ කරබාගෙන සිටියි .

"මොකද යකෝ උඹ මේ උඹට පොල්ල තියෙන කෙල්ල පස්සෙන්ම ගිහින් විහින් නැහෙන්න හදන්නේ. උඹ තේරුම් ගනින් එකී උඹට කවදාවත් කැමති වෙන්නේ නෑ . උඹ හදන්නේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පිටින් දාල උඹේ ජිවිතේ නාස්ති කරගන්න. කෙල්ලට මම බනින්නේ නෑ යකෝ . මන් බනින්නේ තොට. තෝ වගේ ගැරඬි යෙක් මගේ යාලුවෙක් උන එක ගැන මට ලැජ්ජයි යකෝ . කෙල්ලන්ට මැරෙන්න කලින් අම්මට ණය ගෙවල හිටු " ලපයාගේ බැනිල්ල ඉවරයක් නොවෙන තැන මම සෙමෙන් කටහඬ අවදි කලෙමි

"එයා මන් දිහා බලන් ඉන්නවා බන්. මට හිතෙන්නේ එයා මට කැමතියි "

නැවත වරක් ගුටි මුරේ. කවුරු ගහනවද මොකෙන් ගහනවදැයි නිනව් නැති වූ මම දෑතින් ඔලුව බදාගෙන ඔලුව රැක ගතිමි .

"ඔව් අල්ලලා බලපන් තොට අං එනවද කියල " යයි අසමින් මගේ හිසට අන්තිමට ඇන්නේ කරුනේ බව මම අඳුනාගත්තේ උගේ කටහඩි නි .

පහර නවතා මිනිත්තුවකින් පමණ පසු මම නැවත ඔලුව එසවීමි

"යකෝ " යයි කතාව පටන් ගත ලපයා මට ඈ ගැන අලගිය මුලගිය ඉතිහාසය නිර්ලෝබිව නැවත මතක් කොට දුන්නේය . ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව ...
"ඔන්න බන් උඹ ඒකිව බැන්දොත් මම නම් වෙඩිමට එන්නේ නෑ" එවරත් කට ඇරියේ ගෙම්බාය . ඒ පාර නම් ඉස්ගෙඩියාගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය .

"යකෝ යයි පටන් අරගෙන සිංහල බාසාවේ උත්තුංග පදයකින් ගෙම්බා ඇමතු ඉස්ගෙඩියා, ප්‍රශ්නය වන්නේ මගේ වෙඩිමට උගේ පැමිණීම නොව, මා බඳින්නේ කව්ද යන්නත් නොව , පෙනී පෙනී කොල්ලන් නටවන කෙල්ලෙක්ගේ පස්සෙන් වහවැටී සිටින මාව එයින් මුදවා ගැනීම බව ඌ ට තේරුම් කල දුන්නාය . ඊළඟට ඌ මගේ දිව්‍යාංගනාව ගැන මා නොදන්නා බොහෝ දේ පැවසු අතර ඒවා මම මෙහි සදහන් නොකරන්නේ මා ගෑනු ළමයින්ට ඉතා ගරු කරන නිසාය.

ගෑනු ළමයින් නැතිව පිරිමි අපට පැවැත්මක් නැති බව ඇත්තය. අපේ ජිවිත වටා පහන් දල්වා අපිව ආලෝකමත් කරන්නේ ඔවුන්ය. ඒත් ගෑනු ළමයින්ට එක දෙයක් කියන්න ඕනෑය . සමහර ගෑනු ළමයින් හිතා ඉන්නේ ඔවුන් කරන කියන දේවල් කොල්ලන් වූ අපිට ආරංචි වෙන්නේ නෑ කියාය . ඔවුන් ලොවට රහසේ දහ අට පාලිය නටා ඊළඟට පත්තිනි අම්මලා වගේ ඉන්නා විට ඔක්කොම හරි කියාය . මෙය බොහොම ලාමක සිතුවිල්ලකි . කොල්ලන් වූ අප ලිඳ ළඟ , ඇළ ළඟ ඕපාදුප කතාවට නොයන එක ඇත්තය . ඒත් බොහොමයක් කොල්ලන් හැමවිටම ඇස් කන් ඇරගෙන සිටින නිසාද , බුද්දි හීන මා වැනි කොල්ලන්ට අඩුම ගානේ බුද්දිය ඇති එක යාලුවෙක් හෝ ඉන්නා නිසාද, කොල්ලන් කොල්ලන් අතර ඉරිසියාව කුහක කම ඉතා විරල නිසාද, බොහෝ විට රටේ තොටේ වෙන දේවල් ගැන හැම කොල්ලෙක්ම පාහේ දැනගෙන ඉඳිති .
ඊළඟට ලපයා කියූ දෙය ගලේ කෙටුවාක් මෙන් ජීවිතය පුරා මගේ හිතේ රැඳී පවතී . මෙය කියවන කොල්ලන් සියලුම දෙනා වෙනුවෙන් ඒ කතාව එලෙසින්ම මෙසේය

"හරි අපි හිතමු ඔය කෙල්ල හොඳටම හොඳ කෙල්ලෙක් කියල . ගති ගුණ අතින් බැලුවත් , රූපේ අතින් බැලුවත් කිසිම වැරද්දක් නෑ කියල හිතමු ..

("ඔව් පබාවතී වගේ කියල හිතමු " යයි කියමින් එවරත් ගෙම්බා පැන්නේය. ලපයා ඇතුළු සියල්ලෝ ඌ දෙස හෙළුවේ කොපමණ මිනීමරු බැල්මක්දැයි කියනවා නම් එයින් පසු ඌ කටක් හෙල්ලුවේ නැත )

"ඔය කෙල්ල වගේ කිසිම කෙල්ලෙක් උඹ දැකල නෑ කියමු . කවදාවත් උඹට ඒවගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නෑ කියල කියමු . එත් බන් , කෙල්ලෙක් කැමති නැත්තන් අපිට ඒ කැමැත්ත බලෙන් ගන්න බෑ මචන්. බලෙන් ආදරේ කරවන්න බෑ. උඹ ආදරේ කරන්න ඕනේ උඹට ආදරේ කෙල්ලෙක්ට . ප්‍රොස් කෙනෙක් උනත් , ලස්සන නැති උනත් කවුරු හරි කෙල්ලෙක් ඇත්තටම උඹට ආදරේ නම් උඹ ආදරේ කරපන්. උඹට පස්සෙන් යන්නම ඕනේ නම් අං ගිලපු කෙල්ලෙක්ගෙ නෙවෙයි , හොඳ , වෙන කොල්ලෝ නැති කෙල්ලෙක්ගෙ පස්සෙන් යමන්. කෙල්ල බෑ කිව්වොත් චාටර් වෙන්න එපා. ආපහු හැරිලා වරෙන්. පස්සෙන් යන එකත් ලස්සනට කරපන් බන්. හිඟා කන්න එපා ආදරේ. වැදගත් විදියට අහපන්. උඹ ඔය කරන වැඩේ හින්ද කල්පනා කරලා බලපන් උඹට හොඳ කෙල්ලෝ කියක් නම් මග ඇරිලද කියල .."

"ජිවිතේ එක දෙයක් හින්ද ඔක්කොම මග ඇර ගන්න එපා බන්. මට එයාවම ඕනේ කියල හිතෙන එක ආදරේ නෙවෙයි හිතුවක්කාරකම, කෙනෙක් හින්ද ජිවිතේ විනාස වෙන්න දෙනවනම් එතන තියෙන්නේ ආත්මාර්ත කාමී කම. උඹව අපිට ඕනේ බන් . උඹව උඹේ අම්ම තාත්තට ඕනේ. උඹව ඕනේ ගෑනු ළමයා මේ කොහේ හරි ඇති බන් . එතකන් ඉවසගෙන හිටපන්" එවර කතා කලේ රොබිනාය.

"උඹ පිලිගනින්. උඹ ඔය විහින් නැහෙන්න හදන්නේ උඹට ඒ කෙල්ල යාලු කරගන්න බැරි උන එක මදි කමක් හින්දා . ඔච්චර හිතුවක්කාර වෙන්න එපා බන්. උඹට වෙලා තියෙන්නේ වැඩක් නැති කම . දැන් බලපන් මගේ වියදම හොයා ගන්න මම ටියුෂන් දෙනවා . මෙතන ඉන්න හැම එකාම මොකක් හරි කරනවා සල්ලි හොයා ගන්න. උඹ ගෙදරින් එවන සල්ලි වලින් පිනට කකා බිබී ඉන්නවා." එවර නම් මගේ හිත දැදුරු විය. ලපයා කියූ වචනයක්වත් බොරු නොවේය . අපේ මව්පියන් සල්ලිකාරයන් නොවුනත් බැරි අමාරුවෙන් මගේ මාසයේ වියදම දෙන නිසා මෙතෙක් මා කලේ එයින් කකා බිබී කෙල්ල පසුපස වහවැටී සිටීමය. මට මා ගැනම තදබල අප්පිරියාවක් දැනුනි...



විහින් නැහෙන්න ගිය කොල්ලෙක්ගේ මොලේ , කැම්පස් කොල්ලන් හය දෙනෙකු එකතු වී පාදා දුන්නේ ඔන්න ඔහොමය. එදා ලපයා ගියේ මට අවවාද කර විතරක් නෙවේය . කාගෙන්දෝ ලැබුණු ව්‍යාපෘති පැවරුමක් කිරීම මට බාර දිය . ගෙවීම දහදාහකි . ඊළඟ සතියේ සිට පුසා ඌ තමුන්ගේ වියදම හොයා ගැනීම පිණිස වැඩකළ ජනප්‍රිය අවන්හලේ මටද රැකියාව සොයා දුන්නාය. ඉතින් දේශන ඉවර වූ වහාම ඌ ත් සමග මම වැඩ කිරීම පිණිස යන්නට පුරුදු උනෙමි . මගේ වියදම මමම සොයා ගතිමි . මට දැන් මුදල් එවීම අනවශ්‍ය බව මම අම්මාට කිවේ ඊළඟ සතියේය. ඒ සල්ලි වලින් මල්ලිගේ ක්ලාස් වලට දෙන්න . මම දැන් පොඩි රස්සාවක් කරනවා . උවමනා උනොත් මම ඉල්ලන්නම් .

අම්මාගේ දෙනෙත නොහැලුණු කඳුලින් දීප්තිමත් වුවාය .....


Wednesday, April 16, 2014

මටම පෙම්කල..

ඇයි? මම ඇහුවා
තාරුකා ඇස් දිලිසුනා. තව ටිකකින් අහස හොඳටෝම අඬන බව මට තේරුනා. අහස ඉකිගහද්දී ඔයත් ඉකිගැහුවා. මගේ ඇස් ඇඩුවේ නැති උනාට හිත හයියෙන් ඇඩුවා. පොඩි කාලේ ඉඳලම මගේ හැටි. වෙන කෙනෙක්ට රිදෙනවා බලන් ඉන්න මට ඊට වඩා රිදෙනවා...

ඇයි? මම ඇහුවා
මට බෑ ඉවසන්න. ඔයා කිව්වා. මම ඔලුව වැනුවා
දුක් විඳින්න එපා ඔහොම මම කිව්වා.
මම එයාට නෙවෙයි ඔයාටයි ආදරේ. ඔයාගේ ඇස් කිව්වා...

ඇයි? මම ඇහුවා
යන්නම ගියා එයා.ඔයා කිව්වා.
ඇයි මට කැමතියි කියන්නේ නැත්තේ? ඔයාගේ ඇස් මගෙන් ඇහුවා
ඇයි මම එයාව මගේ කර ගන්නේ නැත්තේ. මගේ හිත මගෙන්ම ඇහුවා..

ඇයි? මම ඇහුවා
එපා බලන් ඉන්න ඔහොම මගේ දිහා. ඔයා කිව්වා
එහෙනං කොහොමද බලන් ඉන්න ඕනේ. මම හිතත් එක්ක හුරතල් උනා
ඇයි ඔයා කියන්න යන දේ මට කියන්නේ නැත්තේ.. ඔයා ඇහුවා
ඒක කියන්න නම් විශ්වයම නවතින්න ඕනේ තත්පරයකට.. මම කිව්වා

ඇයි? මම ඇහුවා
කොහොම ණය ගෙවන්නද මම ? ඔයා මට කිව්වා
ඇයි? මම ඇහුවා
ඔයා නැත්තන් එක්කෝ මට පිස්සු හැදිලා. නැත්තන් මම සුයිසයිඩ් කරගෙන
මං හිනා උනා
මගේ ජිවිතෙන්ම ණයයි ඔයාට. මට ණය ගෙවන්න දෙනවද ඔයා..
ඒ මොහොතේ විශ්වයම නැවතුනා.. ඔව්. විශ්වයම තත්පරයකට නැවතුනා

ඇයි? මම ඇහුවා
නෑ නිකන්.. ඔයා කිව්වා
ඕනෙද අරගෙන. මම ඔයාගේ ඇස් දෙක නැවතුන ටෙඩි බෙයාර් දිහා බලල ඇහුවා
ඔව්. ඔයා කිව්වේ ඇස් වලින්.

ඇයි? මම ඇහුවා
අරන් දෙනවද මට. ඔයා ඇහුවේ මගෙන්
දියමන්ති දෙන්න නම් පැටියෝ මට දැන්ම බෑ
ඔයාගේ ඇස් දුකෙන් බර වුනා.

ඇයි? මම ඇහුවා
ඇයි? ඔයා ඇහුවේ මාත් එක්ක තරහෙන්
ඇයි? ආයෙමත් මම ඇහුවා
ඔයත් එක්ක යාලු උණ පලියට දියමන්තිත් එක්ක තරහ වෙන්න මට බෑ. ඔයා වචන වලින් මට දමල ගැහුවා
ඔයාගේ බෙල්ල වටේ තිබුණ දියමන්ති මාලේ මට ඔච්චමට හිනා උනා

ඇයි? මම ඇහුවා
ඇයි? මම ඇහුවා මගෙන්ම
ඇයි? මම ඇහුවා ආයෙමත් මගේ හිතෙන්
මගේ දුප්පත් ආදරේ අත ඇරලා දියමන්ති, කිරිගරුඬ, දිලිසෙන ආදරේ හොයන ගිය ඔයාව මට තේරුම් ගත්තැකි.
ඒත්.. ඒත් ඔයාට ආදරේ කරන්න පටන් ගනිපු, මගේ අහිංසක හිත තේරුම් ගන්න මට තාම බෑ

නිදාන කතාව : දැනෙන්න ලියපු ලියමනක් අද උදේ මන් ලඟට පියාඹල ඇවිත්, මුණු පොතේ වහල තිබ්බා. ලියමන පහල තියෙනවා. අයිතිකාරයා Adeesha - https://www.facebook.com/adeeshajayanath.premadasa ... ඔෆිස් එකේ ඉන්න ගමන්ම හදිස්සියෙන්ම මේ ලිපිය ලියල දාන්නේ, පහල ලිපිය එච්චරටම හිතට වැදුණු නිසයි

මටම පෙම්කළ - කඳුළු බින්දුව...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. සංගීත ඛණ්ඩයකට පුළුවන් වචන දහසකට විස්තරකරන්න බැරි හැඟීම් ඒක මොහොතකින් විස්තර කරන්න. ගීතය කියන්නෙ ඒ සංගීතයට ගැලපෙන විදිහට යම් භාෂාවකින් අදහස් එකතුකරහම ලැබෙන ප්රරතිපලයට. ගීතය විශ්වභාෂාවක්ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි සංගීතයට පුළුවන් සීමාවට වඩා එහාට ගිය සියුම් හැඟීම් විස්තර කරන්න ගීතයකට පුළුවන්. එහෙම ගීත වලට සාර්ථක නිර්මාණයන් කියල කියන්න පුළුවන්.
ආදර ගීත, විරහ ගීත, භක්ති ගීත, දේශාභිමානී ගීත, හාස්යසඋත්පාදක ගීත ආදී එකී මෙකී නොකී ගීත වර්ග ගණනාවක් තියනව. ඒ අතරින් විරහ ගීත ප්ර මාණයෙන් වැඩී කියලයි මට හිතෙන්නෙ. සමහරවිට කවදාවත් ආදරය නොකරපු කෙනෙක්ට උනත් විරහ වේදනාව දනවන්න සමහර විරහ ගීත වලට පුළුවන්කම තියනව.

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව.......

සමනළිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පලවා හැරිය දා මං
උන්හිටිය තැන අහිමි වීමෙන් \\
මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බින්දුව..........

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගෙ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ ඉඳ ජීවතුන් මැද \\
මවෙත පෙම්බැඳ පැමිණි සකිසඳ
කඳුළු බින්දුව.....

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

කවදාවත් ආදරය නොකරපු මම, කවදාවත් ආදරය කරන්න නොහිතපු මම මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ආදරයෙන් පැරදිච්ච කෙල්ලෙක් කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව භූමිකම්පාවක් දක්වා දුර ගිහින්, අන්තිමට ඒ භූමිකම්පාව හින්ද මුළු ජීවිතයම කඩාගෙන වැටුණු කොල්ලෙක් ගැන කියවෙන මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ඒ ලයාන්විත හඬ, පද ගැළපීම වගේම වේදනාබර සංගීතය කවදාවත් විරහවක් විඳල නැති මගෙ හදවතට විරහ වේදනාව ඇතුල්කරන්න සමත් උනා.
ඒත් මම කවදාවත් හිතුවේ නෑ කවමදාවත් හිතුවේ නෑ මේ සිදුවීමම මගෙ ජීවිතයෙත් සිදුවෙයි කියල.
මම කඳුළු පිසදාපු සමනළිය අද මගේ දෙනෙතට කඳුළු දීල යන්න ගිහින් යන්නම යන්න ගිහින්.


Sunday, April 6, 2014

එකෝමත් එක දවසක - 16

මේ කතාවේ මේ කොටස ලියන්නට තිබුනේ මීට සතියකට හෝ දෙකකට ඉහතදී බව දනිමි. ඒත් මාත් නොදන්නා මොකද්දෝ හේතුවක් නිසා ලිවිම දවසින් දවසම කල් ගියේය. සමහර විටෙක ඉතුරු කොටස් දෙක තුන මා ජිවිතයේ මතක් කරන්නට අකමැතිම කාල වකවානුව වන නිසා විය හැක

මා මාස කිහිපයක්, මගේ දෙව්දුව සමග ආකාසේ සිහින මාලිගා හැදු අයුරුත්, හදිසියේම ඈ මාව එයින් බිමට දැමු ආකාරයත් පසුගිය කොටසේ සදහන් කලෙමි. කතාව කොට කර ලියන්නට වාක්‍ය පේලි දෙක තුනකින් අදාළ කතාව අවසන් කිරීම, කියවන ඔබට කරන අසාධාරණයකි යයි මටම පසුව සිතුනේය. කතන්දරේ මෙහෙමය

යාලුවන්ගේ ඇනුම් බැනුම් මැද්දේ මම මගේ දිව්‍යාංගනාව හොඳම යෙහෙළිය කර ගත්තෙමි. ඈටත් මං නැතුව කිසිම දෙයක් කර ගන්නට බැරි විය. නෝට් ෆොටෝ කොපි ගහන්න, යාලුවන්ගෙන් ඉල්ලා දෙන්න, පාඩම් කරන්න, රෑ උනාම ගිහින් ඇරලවන්න ඈට මතක් උනේ මාවය. මමත් සියලුම වැඩවලට පැනගෙන සහබාගි උනෙමි. මගේ ගෑණු ළමයා ලෙස සලකමින් මම ඈ ගැන සොයා බැලුවෙමි. මගේ ජීවිතය ඈම විය. කොටින්ම, එකපිට සති අන්ත දෙක තුනක්ම ගෙදර නොගිහින් බෝඩිමේම නැවතුනේ ඈ නිසාය. අවංකවම කිව්වොත් අද මට හිතෙන්නේ ඇගේ වැරද්දක් නැති බවය. මොකද, කිසියම් කොල්ලෙකු ගොන් බුරුවෙකු සේ උඩ පැනගෙන ආවඩාගෙන යනවිට ගෑණු ළමයින් සමහරු උගෙන් හොඳ හැටි ප්‍රයෝජන ගනිති. එතන වැරැද්ද කෙල්ලගේ නොව කොල්ලාගේය.

මෙසේ මාස හතක් අටක් ගතවෙන්නට ඇත. ටික ටික ඈ මාව මගහරින ගතියක් මට දැනුනි. රෑ වූ විට ගිහින් ඇරලවීමට වෙනදා මෙන් මට කතා නොකලාය. ඇසු විට කියුවේ, දිගින් දිගටම එසේ කරන විට ඈ නැවතී සිටින ගෙදර උදවියට උනත් වැරදි විදියට ආරංචි වන්නට පුළුවන් නිසා නොඑන එක හොඳ බවය. අනික දැන් මට පාර පුරුදුයි නේ

එක පාරක් ගිනි පෙනෙල්ලෙන් බැට කා සිටි මට, එන පොට හොඳ නැති බව ටික ටික තේරුණේය. ඈට සීනියර් කොලු පරානයක්, ඈ ගැන උනන්දු වී සිටිය බවත් දැන සිටි මා, ඔක්කොම සිද්දීන් අනුලෝම ප්‍රතිලෝමව සමාලෝචනය කරන්නට යනවිට, කැම්පස් එකේ පාළු මුල්ලක සිටි ප්‍රස්තුත විෂයන් දෙක අතටම මාට්ටු උනාය. ඇසු විට කිව්වේ නොතේරෙන පාඩමක් අසාගත් බවය. මගෙන් අසා දැනගත්තා නම් නරකදැයි ඇසු විටය ඈ මගේ අද්යාපන තත්වය ගැන මාත් නොදන්නා දේවල් ඇදබාන්න පටන් ගත්තේ.

මා කරන පාටමාලවට තේරී පත්වන්නේ, අඩුම ලකුණු ලැබූ සිසුන් වන බවත්, ඇගේ පාටමාලාවේ ඉන්නේ ලංකාවේ හොඳම මොළ ටික බවත්, හිරිකිතයක් නැතුව කියා දැමු ඈ පසුව කියූ කතාවට සමාව ඉල්ලුවද, ඒ වන විටත් මා තුල සිටි හිරිමල්, ලජ්ජාකාර යව්වනයා මියගොස් තිබිණි. මට මාව නැතිවී තිබිණි. කොටින්ම මා ලැජ්ජාවක්, බියක් නොහදුනන සල්ලාලයෙකුගේ තත්වයට වැටි තිබුණි. ඉතින් එදා සිට මමද රොටියෙකු උනෙමි..

ආචාරශීලි, ගුණගරුක යහපත් කම් සියල්ලක්ම අතීතයට එක්විය. හැම එකටම බොන මදාවි කොල්ලන් රැලකට සෙට් වූ මම, නැතිවී ගිය ආත්ම ගවුරවය නැවත ලබා ගැනීමට කරටි කැඩෙනකන් බිව්වෙමි. වෙරි පිට, වෙනත් සිම් පත් බාවිතා කරමින් දිව්යාන්ගනවාට එක එක පණිවුඩ යැව්වෙමි. කැම්පස් කෙල්ලන්ට නුවමනා විහිලු කලෙමි. කැම්පස් එක තුල චාටර් ලේබලය ගසා ගත්තෙමි.

පෙර පිනකට මොළය ටිකක් තිබූ නිසා, එකදු විබාගයක්වත් අසමත් වන්නේ නැතුව ගොඩ දා ගත් බව නම් සැබෑය. ඒත් කැම්පස් ජීවිතය අවුරුදු දෙකක් තිස්සේ මම අනාගනිමින් සිටියෙමි. මගේ දිව්‍යාංගනා තොමෝ කිසි වෙනසක් නැතුව මා හා කතා කළාය. ඈ හොරෙන් මා දෙස බලා ඉන්නා අයුරු කීප විටක්ම මගේ දෑසට හසුවුණු විට, මගේ හිත යලි යලිත් කිවේ ඈ මට කැමති බවය. සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය.

ඉබාගාතේ ගිය මගේ කැම්පස් ජීවිතය ගැන ලපයාට ආරංචි වුයේ මෙන්න මේ අතරය. ගාල කඩා ගත් අස්පයෙකු මෙන් හදිසියේ ලපයා අපේ කැම්පස් එක තුලට කඩා වදින විට මා සිටියේ කුලුනකට මුවාවී, ඈ දෙස බලාගෙන ඈට පැණි හලමිනි. ඈට මාව පෙන්නේ නැත.

මම "සූ සූ සූ" ගාමී. ඈ නෙතු කරකවා වටපිට බලයි. කොණ්ඩය, සාය හදයි. කිසිවෙකු පේන්නට නැති බැවින් මනමාල හිනා පාමින් කෝමල ලෙස නැවත පොතට එබෙයි.විනාඩි දෙකකින් පමණ පසුව මම නැවත "සූ සූ" ගාමි..

ලපයා පසෙක සිට මේ කෝලම දෙස සෑහෙන වෙලාවක් බලා හිදින්නට ඇත. ඌට ඔත්තුව දී ඇත්තේ ගෙම්බාය. මගේ සුබ සිද්දිය හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කල ඉස් ගෙඩියා, රෝබිනා, පුසා හා කරුණේ අදාළ අවස්ථාවට අරාදනා නොලබාම සහබාගි වී ඇත. සෑහෙන වෙලාවකට පසුව ලපයාව දුටු මම ඇත්තටම තිගැස්සුනෙමි. ලපයා මුකුත්ම කිවේ නැත. ඌ මගේ දෑස් දෙස බලා උන්නා පමණි. මම හැරුනෙමි. මා පසු පසින් ඌ ආවේය. ඌ පසින් ගෙම්බා ඇතුළු පිරිවර පැමිණියහ. බෝඩිමටම යන තුරු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැත.

බෝඩිමට ගොස් ආපිට හැරුනේ ලපයා සමග කතා කරන්නටය. ඒත් ඒසමගම මට ඇසුනේ 'චටාස්' ගා සද්දයකී. වම් කම්මුලෙන් දුම් පිටවෙන්නේ ඇයි දැයි සිතන විටම මෙන්න දකුණු කම්මුලටත් එවැනිම පාරක්.. කම්මුල් දෙකම අල්ලා ගත් විට උරහිසට, පිටට, තට්ටමට සහ කකුලට. බිම වැටුණු විට විනාඩි පහක් පමණ පයින් පාරවල්..

ලපයා ඇතුළු සියලුම දෙනා එකාවන්ව එදා මට පහර දුන්නේ, මා එවැනි පහර කෑමකට සුදුසු නිසාය. අවසානයේ බිම වැටි සිටින මා නැගිටවාගත් ලපයා මා ඇඳෙන් වාඩි කෙරෙව්වේය..