Wednesday, April 16, 2014

මටම පෙම්කල..

ඇයි? මම ඇහුවා
තාරුකා ඇස් දිලිසුනා. තව ටිකකින් අහස හොඳටෝම අඬන බව මට තේරුනා. අහස ඉකිගහද්දී ඔයත් ඉකිගැහුවා. මගේ ඇස් ඇඩුවේ නැති උනාට හිත හයියෙන් ඇඩුවා. පොඩි කාලේ ඉඳලම මගේ හැටි. වෙන කෙනෙක්ට රිදෙනවා බලන් ඉන්න මට ඊට වඩා රිදෙනවා...

ඇයි? මම ඇහුවා
මට බෑ ඉවසන්න. ඔයා කිව්වා. මම ඔලුව වැනුවා
දුක් විඳින්න එපා ඔහොම මම කිව්වා.
මම එයාට නෙවෙයි ඔයාටයි ආදරේ. ඔයාගේ ඇස් කිව්වා...

ඇයි? මම ඇහුවා
යන්නම ගියා එයා.ඔයා කිව්වා.
ඇයි මට කැමතියි කියන්නේ නැත්තේ? ඔයාගේ ඇස් මගෙන් ඇහුවා
ඇයි මම එයාව මගේ කර ගන්නේ නැත්තේ. මගේ හිත මගෙන්ම ඇහුවා..

ඇයි? මම ඇහුවා
එපා බලන් ඉන්න ඔහොම මගේ දිහා. ඔයා කිව්වා
එහෙනං කොහොමද බලන් ඉන්න ඕනේ. මම හිතත් එක්ක හුරතල් උනා
ඇයි ඔයා කියන්න යන දේ මට කියන්නේ නැත්තේ.. ඔයා ඇහුවා
ඒක කියන්න නම් විශ්වයම නවතින්න ඕනේ තත්පරයකට.. මම කිව්වා

ඇයි? මම ඇහුවා
කොහොම ණය ගෙවන්නද මම ? ඔයා මට කිව්වා
ඇයි? මම ඇහුවා
ඔයා නැත්තන් එක්කෝ මට පිස්සු හැදිලා. නැත්තන් මම සුයිසයිඩ් කරගෙන
මං හිනා උනා
මගේ ජිවිතෙන්ම ණයයි ඔයාට. මට ණය ගෙවන්න දෙනවද ඔයා..
ඒ මොහොතේ විශ්වයම නැවතුනා.. ඔව්. විශ්වයම තත්පරයකට නැවතුනා

ඇයි? මම ඇහුවා
නෑ නිකන්.. ඔයා කිව්වා
ඕනෙද අරගෙන. මම ඔයාගේ ඇස් දෙක නැවතුන ටෙඩි බෙයාර් දිහා බලල ඇහුවා
ඔව්. ඔයා කිව්වේ ඇස් වලින්.

ඇයි? මම ඇහුවා
අරන් දෙනවද මට. ඔයා ඇහුවේ මගෙන්
දියමන්ති දෙන්න නම් පැටියෝ මට දැන්ම බෑ
ඔයාගේ ඇස් දුකෙන් බර වුනා.

ඇයි? මම ඇහුවා
ඇයි? ඔයා ඇහුවේ මාත් එක්ක තරහෙන්
ඇයි? ආයෙමත් මම ඇහුවා
ඔයත් එක්ක යාලු උණ පලියට දියමන්තිත් එක්ක තරහ වෙන්න මට බෑ. ඔයා වචන වලින් මට දමල ගැහුවා
ඔයාගේ බෙල්ල වටේ තිබුණ දියමන්ති මාලේ මට ඔච්චමට හිනා උනා

ඇයි? මම ඇහුවා
ඇයි? මම ඇහුවා මගෙන්ම
ඇයි? මම ඇහුවා ආයෙමත් මගේ හිතෙන්
මගේ දුප්පත් ආදරේ අත ඇරලා දියමන්ති, කිරිගරුඬ, දිලිසෙන ආදරේ හොයන ගිය ඔයාව මට තේරුම් ගත්තැකි.
ඒත්.. ඒත් ඔයාට ආදරේ කරන්න පටන් ගනිපු, මගේ අහිංසක හිත තේරුම් ගන්න මට තාම බෑ

නිදාන කතාව : දැනෙන්න ලියපු ලියමනක් අද උදේ මන් ලඟට පියාඹල ඇවිත්, මුණු පොතේ වහල තිබ්බා. ලියමන පහල තියෙනවා. අයිතිකාරයා Adeesha - https://www.facebook.com/adeeshajayanath.premadasa ... ඔෆිස් එකේ ඉන්න ගමන්ම හදිස්සියෙන්ම මේ ලිපිය ලියල දාන්නේ, පහල ලිපිය එච්චරටම හිතට වැදුණු නිසයි

මටම පෙම්කළ - කඳුළු බින්දුව...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. සංගීත ඛණ්ඩයකට පුළුවන් වචන දහසකට විස්තරකරන්න බැරි හැඟීම් ඒක මොහොතකින් විස්තර කරන්න. ගීතය කියන්නෙ ඒ සංගීතයට ගැලපෙන විදිහට යම් භාෂාවකින් අදහස් එකතුකරහම ලැබෙන ප්රරතිපලයට. ගීතය විශ්වභාෂාවක්ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි සංගීතයට පුළුවන් සීමාවට වඩා එහාට ගිය සියුම් හැඟීම් විස්තර කරන්න ගීතයකට පුළුවන්. එහෙම ගීත වලට සාර්ථක නිර්මාණයන් කියල කියන්න පුළුවන්.
ආදර ගීත, විරහ ගීත, භක්ති ගීත, දේශාභිමානී ගීත, හාස්යසඋත්පාදක ගීත ආදී එකී මෙකී නොකී ගීත වර්ග ගණනාවක් තියනව. ඒ අතරින් විරහ ගීත ප්ර මාණයෙන් වැඩී කියලයි මට හිතෙන්නෙ. සමහරවිට කවදාවත් ආදරය නොකරපු කෙනෙක්ට උනත් විරහ වේදනාව දනවන්න සමහර විරහ ගීත වලට පුළුවන්කම තියනව.

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව.......

සමනළිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පලවා හැරිය දා මං
උන්හිටිය තැන අහිමි වීමෙන් \\
මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බින්දුව..........

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගෙ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ ඉඳ ජීවතුන් මැද \\
මවෙත පෙම්බැඳ පැමිණි සකිසඳ
කඳුළු බින්දුව.....

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

කවදාවත් ආදරය නොකරපු මම, කවදාවත් ආදරය කරන්න නොහිතපු මම මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ආදරයෙන් පැරදිච්ච කෙල්ලෙක් කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව භූමිකම්පාවක් දක්වා දුර ගිහින්, අන්තිමට ඒ භූමිකම්පාව හින්ද මුළු ජීවිතයම කඩාගෙන වැටුණු කොල්ලෙක් ගැන කියවෙන මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ඒ ලයාන්විත හඬ, පද ගැළපීම වගේම වේදනාබර සංගීතය කවදාවත් විරහවක් විඳල නැති මගෙ හදවතට විරහ වේදනාව ඇතුල්කරන්න සමත් උනා.
ඒත් මම කවදාවත් හිතුවේ නෑ කවමදාවත් හිතුවේ නෑ මේ සිදුවීමම මගෙ ජීවිතයෙත් සිදුවෙයි කියල.
මම කඳුළු පිසදාපු සමනළිය අද මගේ දෙනෙතට කඳුළු දීල යන්න ගිහින් යන්නම යන්න ගිහින්.


3 comments:

  1. @@[1:[0:1: meka therenne nane..... ]]

    ReplyDelete
    Replies
    1. ඉඳල ඉඳල තේරුමක් ඇති දෙයක් ලිව්වාම උඹලට තේරෙන්නේ නෑනේ බන්

      Delete