Monday, October 6, 2014

සදාචාරය , හැදියාව හා ක්ෂණික කෝපය

රොටියා මේ ලියන්නට යන්නේ නුවුමනා ලිපියකි. රොටියාගේ ගෑණු ළමයාගේ වචන වලින්ම කියනවානම් මගෝඩි ලිපියකි. නැත්නම් පොදු ජනයාව කෝප කල හැකි ලිපියකි.මේ වෙලාවේ කලයුත්තේ බ්ලොගයේ පල් හෑලි කුරුටු ගෑම නොව "එකෝමත් එක දවසක" කතාවේ අන්තිමම අන්තිම කොටස පල කිරීමය. (අන්තිම කොටස පල වීම කල් යන්නේ තනිකර රොටියාගේ ආත්මාර්ථකාමී තලුගැසිම නිසාය. කතාව ඉවරයක් වනවාට රොටියා කැමති නැත)ඒත් රොටියා රොටියෙකු නිසා හිත කියන්නේ මෙය ලියන්න කියාමය

පහුගිය දිනක රොටියාගේ ගෙදර කාන්තා පාර්ශවය, පිරිමි අපට එරෙහිව යුද්ද ප්‍රකාශ කල අතර නිවැරදි හේතුවක් අපට අනුමාන කර ගත නොහැකි වුනාය. හොඳම දේ මගහැර යෑම යයි විස්වාස කල රොටියාගේ පවුලේ ඇත්තෝ කොකු මග හැර එහාට මෙහාට පැනගත් අතර රොටියා නොදැනුවත්ම යාත්‍රා කොට තිබුනේ ගෑණු ළමයාගේ නිවෙස බලාය.උයන්නට හරි හැටි නොදන්නා මුත් විව්දාකාරයේ මෝස්‌තර කෑම හදනා ගෑණු ළමයා විසින් මොකක් හෝ අටමගලයක් හදා ඇතැයි රොටියාගේ හිත තුල හින් බලාපොරොත්තුවක්ද ගැහෙමින් උන්නාය. ඒවා මාරය. ඉන්ටර්නෙටයෙන් බලා ගන්නා කුමක් හෝ රෙසපියක් හදන්නෙමි යයි කියමින්, සුපර් මාර්කැට්ටු ගානේ රස්තියාදු වී, චීස් බටර් හා වෙනත් දේ යහමින් දමා හදා ගන්නා ඕනෑම වෙඩිමක්, ආබාදයකින් තොරව කෑ හැකි බව දෙකේ පන්තියේ එකෙකුට උනත් තේරෙන මුත් , ගෑණු ළමයා හිතන් ඉන්නේ ඇගේ සුපවේදී හැකියාව නිසා අදාළ කෑම රස උනු බවය. නුවමනා කතා කියන්නට ගොස් නිකන් ලැබෙන කෑම අහිමි කරගන්නට අකමැති රොටියා ද ඔය විත්තියක් නොකියා ගෑණු ළමයා හදනා ඕනෑ දෙයක් කා දමනවාය.

අදෝමැයි! ගෑණු ළමයාගේ ගෙදර ගෑණු උදවියද කාන්තා අයිතිවාසිකම් ගැන උද්ගෝෂණයක පෙර පුහුණු වීම් කරන ගානය. රොටියා යනවිටත් ටොපිය ලැබී තිබුනේ ගෑණු ළමයාගේ අසරණ මස්සිනාටය. මස්සිනාට වඩා කලඳක් මොලේ තිබූ ගෑණු ළමයාගේ තාත්තා කෙසේ හෝ ගෙදරින් පැන ගැනීමට සමත් වී තිබුණාය

හේතු බුත වූ සිද්දියක් නොදැන ආත බූත තත්වයට වන රොටියාගේ පැටලුම ලෙහන්නට සියල්ලෝම එකාවන්ව පැනගෙන ඉදිරිපත් වූවෝය

"ඔයා කියන්නේ හරිද වැඩේ.." - රොටියාගේ ගෑණු ළමයා
"බලන්නකෝ හැමෝම බලාගෙන ඉද්දි කරන නොසන්ඩාල වැඩේ" - ගෑණු ළමයාගේ අම්මා
"ඔයා හරි කියනවා නං ඔයත් මට කවද හරි කරන්නේ ඔය ටික තමයි" - ගෑණු ළමයාගේ අක්කා විසින් මස්සිනාට (අම්මේ මට ඩිවොර්ස් වෙන්න ඕනේ)
"ලැජ්ජයි"- ගෑණු ළමයාගේ නංගි

රොටියා ඉන්නේ අන්ඥකොරොස් වී වලිගය පාගාගෙන බව වැටහුණ ගෑණු ළමයාගේ මස්සිනා සිහින් හඬින් රොටියාගේ පැටලුම ලෙහන්නට වුනාය.

"මචං ඔය ෆයර් වෙලා ඉන්නේ බට්ටිගේ සින් එකට...."

"කවුද මචං බට්ටි කියන්නේ..."

බට්ටි කියන්නේ කවුද යන්න එදා රොටියා නොදැන හිටියාට දැන් රටම දන්නවාය. ඈ විදි සරණ ලියක් බව බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබූ අතර එහි වැරද්දක් ඇත්තටම රොටියා දකින්නේ නැත. කෙතරම් තහනම් කොට තිබුනද ඔය රස්සාව සිද්ද කරමින් පවුල් රස්සා කරන ගෑණු උදවිය ලක්ෂ ගානක් ඉන්නා රටක ඕක නීතිගත කරන්නම ඕනෑය. ඔවුන් කරන්නේද එක්තරා විදියකින් සේවයකි. ගෑණු ළමයින්ට මේ තරමින් හෝ පාරේ බැස යන්නට ඉඩ කඩ සැලසී තියෙන්නේ ඔවුන් නිසාය. නැත්නම් ඉන්නා තරන් ඔක්කෝම අසහන කාරයෝ සිය අසහනය වෙනත් විදි වලින් පිට කරගන්නවා ඇත

ඕනෑම වුර්තියකට ගරුත්වයක් ඇත.මිලක් ඇත. තමුන් ගේ සේවය නොමිලේ ලබාගන්නට තැත් කල පොලිස් රාලහාමිගෙන් අවසානයේ බට්ටිට ප්‍රසිද්දියේ අමානුෂික ලෙස පහර කන්නට සිද්ද වුවාය.
ඒ බට්ටි කියනා කතාවය....

හරි හමන් පිරිමියෙක් කවදාවත් ගෑනියෙකුට අතක් උස්සන්නේ නැත.. එසේම හරි හමන් ගෑණියෙක් කිසිදා පිරිමියෙකුගෙන් පහර කන්නේද නැත. රොටියාගේ මිතුරෙකුට මෙහෙම කියා තිබුනේ වෛද්‍ය මහාචාර්ය තුමෙකි

එයට අනුව බලන විට පොලිස් රාලහාමි හරි හමන් පිරිමියෙකු නොවේ.. එසේ නම් බට්ටි..

ලිපියේ ඉතිරිය ලියන්නට පෙර රොටියා විසින් අවධාරණය කලයුතු යමක් ඇත්තේය. මේ ලිපියේ හරය ඒ පහරදීම සාදාරනීකරණය කිරීම හෙම නොවේ.මොන තත්වයක් යටතේ වුවත් ගැහැණියෙකුට අතක් උස්සන්නට නරකය. අප සියලුදෙනාම මුලින්ම පණගැහුනේ මව් කුසයේදීය...

සිද්දිය ගැන නිවැරදිම අදහසක් පළකිරීමට ඉක්මන් නොවී, රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික මිතුරෙකු ඇමතු කල ඔහු ගත්තේ පොලිස් රාලහාමිගේ පැත්තයි.

"මචං මුළු ටවුන් එකම හරියට රන් කරන්න සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක් බන් ඔය"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ ජනතාවය. කොළඹ හතේ ඉඳගෙන කොම්පියුටර් වලට මුහුණ ඔබන් ඉන්නා නෝනා මහත්වරු නොවේ

"ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ හරියට කොන්ට්‍රෝල් කළා. අහු මුළු වල කතා කර කර ඉන්න එහෙම දෙන්නේ නෑ. පටෝල යවනවා බස් එකේ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුර සිවලියේ, සුමන බාලිකාවේ , ෆර්ගසන් එකේ සිසු සිසුවියන් මිස කොළඹ ආනන්දේ රෝයල් එකේ විසාකාවේ ගැටව් ගැටිස්සියන් නොවේ

"ඉස්කෝලේ කොල්ලන් ඔය කට්ටියට සෙට් වෙන්න තිබ්බේ නෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ සැරිසැරූ ඉස්කෝල කොල්ලන්ම මිස කොළඹ නයිට් ක්ලබ් යන කොලු කෙල්ලන් හෙම නොවේ

"පව් බං. මිනිහගේ පවුලේ කට්ටියට දැන් පාරේ බැහැල යන්නත් බෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රාලහාමිගේ පවුලේ ඇත්තන් මිසක කොළඹ ඉඳගෙන පව්කාරයාට ගල් ගසන නෝනා මහත්වරු නොවේ

"මචං, එවෙලාවේ උඹට එහෙම එකක් උනා නං උඹත් ගහනවා..(ඔහු පැවසු ඉතිරි හරිය මෙහි සඳහන් කල නොහැක)"
එහි ඇත්ත නැත්ත දන්නේ බට්ටි හා රාලහාමි ම මිසෙක අපි කවුරුත් නොවේ

කවුරු මොන බයිලාව දෙඩෙව්වත් මෙවෙද්දී බට්ටි කතාවේ වීරවරියත් , රාලහාමි දුෂ්ටයාත් වී අවසානය.රාලහාමි දුෂ්ටයා උනේ ප්‍රසිද්දියේ ගෑනියෙකුට තිරිසන් විදියට පැහැර දුන් නිසාය. රාලහාමිට එසේ පහරදෙන්නට සිද්ද උනේ තමුන් පිරිමියෙකු බව ඔප්පු කරන්නටය.

සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙකු දවස සරන්නේ අතිශය පිඩාකාරී වාතාවරණයක් තුලය. පාරේ රාජකාරිය කරන පොලිස් රාළහාමිලා තුල මේ තත්වය වැඩිය (අව්, වැසි දවස් වල තාර පාරකට නුදුරුව පැයක් හිටගෙන හිඳ බලන ලෙස මෙයට විරුද්ද ඔක්කොම කියවන්නන්ගෙන් රොටියා ඉල්ලා සිටිනවාය. එතකොට එහි රඟේ බලන්නට පුළුවන)

කියවන ගෑණු උදවිය රොටියාට සමා වෙත්වා! කනාගටුවෙන් වුනත් කියන්නට ඇත්තේ අපේ රටේ සමහර කාන්තාවන් සමහර තැන් වලදී කියවන කියවිල්ලට මුණ පුරා හතරක් පහක් අනින්නට හිතෙන බව ඇත්තක්ය යන්නය. අනික් පිරිමි ගැන නම් දන්නේ නැත . ඒත් රොටියාට නම් එහෙම හිතුනු වාර දහයක් පහළොවක් පමණ ඇත (මෙයට රොටියාගේ ගෑණු ළමයාගේ හෙම සම්බන්දයක් නැත්තේය. රොටියා කතා කරන්නේ මගතොටේ දකින කියන බවලත්තු ගැනය)

පිරිමි උදවියටත් මෙය අදාලය. සමහරු නීති කතා කරමින් එන්නේ කොක්කටමය. ඒ වෙලාවට හැකි ඉක්මනින් මගහැර යෑම නුවණැතිම ක්‍රියාවයි.

කොතරම් කෙන්තියකට පත් උනත් මගහැර පැනගැනීමට රොටියාට හැකිය. අවු වැස්සේ නිතිය ක්‍රියාත්මක කරන්නට වලිකන රාලහාමිට එසේ මගහැර යන්නට බැරි උනා වන්නට ඇත. ක්ෂණික කෝපයෙන් මාරාවේස වුවා වන්නටද හැක. බට්ටියට පාඩමක් ඉගැන්වීමට හිත බලකලා වන්නට හැක

අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ රාලහාමිය..

සමාජය හදන්නට වසර තිස් ගානක්ම කැපවුණු රාලහාමි (රොටියා හිතන ආකාරයට) ක්ෂණික කෝපයෙන් වියරු වැටි ස්ත්‍රියකට පහර දෙන ආකාරය වටේ හිටි සිල් ඇත්තෙකුගේ කැමරාවේද සටහන් උනාය. සිල් ඇත්තෝ වටවී බලා උන්නා මිසෙක ගුටි කන ගැහැණිය හා පහර දෙන මිනිසා දෙපසට කරන්නට උත්සහ ගත්තේද නැත

මහමග මරා දැමුවද අපට වන්නේ ඔය ටිකය. සිද්දිය වීඩියෝ කරන්නට , මුනුපොතේ ඕපාදුප අඩවි වල පල කරන්නට සිය දෙනෙකු සුදානම්ව උන්නද , අපව බේරා ගැනීමට පැමිණෙන කෙනෙක් මේ ධර්මද්වීපයේ නැත්තේය. බට්ටිගේ යටත් වීම හෝ රාලහාමිගේ ප්‍රචණ්ඩත්වයට වඩා ඔබ්බට ගිය නරකම කතාන්දරය නම් එයයි.

ක්ෂණික කෝපයට කෙනෙකුව මිනී මරුවෙකු කල හැක්කේය.කෝපය පාලනය කර ගත යුත්තෝ අපි අපමය. මිනීමැරුවාට පසු මරපු එකා මිනී මරුවාය. මැරුම් කෑ එකා ගොදුරය. මිනී මරුවාව , මිනීමරුවෙකු කළේ මැරුම් කෑ එකා වන්නට පුළුවන. ඒත් ඒකා අනියම් මිනිමරුමකට වරදකාරයා වන්නේ නැත. ඌ මැරී අහවරය

අපට මිනී මරුවෙකු වන්නටද පුළුවන. වෙනත් කෙනෙකුව මිනිමරුවෙක් කරන්නටද පුළුවන. තවකෙකු මිනී මරණා දෙස බලා ඉන්නටද පුළුවන.
ඔක්කොටෝම වඩා මිනී මැරුමක් වලකන්නටද පුළුවන

මිනිසත් කම යනු එය නොවන්නේද?

2 comments:

  1. රොටියාගේ කතාව සහතික ඇත්තය. ලංකාවේ බොහෝ දෙනා යමක් වෙනතුරු බලාහිඳ පසුව එය ඉතා නිර්දය ලෙස විවේචනය කරයි. සමාජ විරෝධී ක්‍රියාවක් සිදුවන කිසිම විටක එය නැවත්වීමට උත්සුක නොවේ. නමුත් එය පසුව තළුමරමින් රසවිඳීම නම් නොපිරිහෙළා සිදුකරයි.

    ReplyDelete
  2. සහතික ඇත්ත. ජයවේවා රොටී!

    ReplyDelete