Wednesday, November 19, 2014

මල සමයන්...

රොටියාගේ පොඩිම එකා නැතහොත් රොටියාගේ බාල සහෝදරයාට උසස්පෙළ විබාගයෙන් පසුව ගෙදර ඉන්න බැරි අමාරුවක් වැළදුණු අතර පවුලේ ඇත්තෝ එකාවන්ව එක්වී ඒකාව පවුද්ගලික අධ්‍යාපන ආයතනයකට ඇතුල් කරන්නට යෙදුනාය. එයින් පසු හැම සතියේ දිනකම මල් කුරුල්ලෙක් මෙන් හැඩ දාගෙන ඌ පැනගෙන යන්නේ ඉගෙන ගැනීමේ ආසාවකින් ම නොවන බව රොටියා ඇතුළු සියල්ලෝම දන්නා මුත් පොඩි එකාගේ ආසාව නිසා කවුරුත් ඌට කොලොප්පන් කරන්නේ නැත කසාද බැඳ අවුරුදු හතරක් උවත් , මගුල් මුද්ද තවම අස්ථාන ගත වී ඇති වැඩිමහල් සහෝදරයෙක්ද, මගුලට මාසයක් තියාගෙන තවමත් ගෑණු ළමයින්ට සිය ටෙලිපෝන් නොම්බරය දෙන දෙවැනි සහෝදරයෙක්ද ඇති ඌ ගැන තවත් අටුවා ටීකා අනවශ්‍යය

හැමදාම රෑට ඌ ලබා දෙන විස්තරය හමුවේ රොටියාටද ඒ මල් වයස ගැන පුදුමාකාර මල පෙරේතකමක් ඇතිවූ නිසා නැති කොලු වේසයක් මවාගෙන ඒ පැත්තේ දින දෙක තුනක් කරක් ගැසුවද ඒ අසමජ්ජාති කෙලී පොඩිත්තියන් රොටියා දිහා ඇහැක් ඇර බැලුවේ නැත. ඒ නිසා රොටියා ද මේ දිනවල නැති කැක්කුමකින් ගෑණු ළමයාගේ ඩයට් ප්‍රෝග්‍රෑමයට සහබාගී වෙමින් හිඳිනවාය

ලියන්න ගියේ ඔය කෙහෙල්මල් එකක් වත් ගැන නොව රොටියාගේ පොඩි එකා කියන ලද කතාවක් නිසා රොටියාටද සිය අතීතය සිහි වූ නිසාය.
මල විකාර ඔලුවට නොගැසූ ගැහැණු ළමුන් සියයක් මැද, එක කෝලමක් හිටියත් හොඳින් දිස්වෙන නිසා මේ කතාව ගෙතෙන්නේ එවැනි කෝලමක් වටාය (ගැහැණු ළමුන්ගේ තරහ අවසර.. කොල්ලන්ගේ කෝලන් ගැන කතාවක් පසුව ලියවෙනු ඇත)

~පාටමාලාව පටන් ගෙන ටික දවසකි. දැන් මෙහි ඉන්නා සියලුම දෙනා පාහේ ඔවුනොවුන්ව මුහුණුවරින් අඳුනන්නෝය

අවේලාවේ කැන්ටිමේ තේ බොන කොලුවෙකි. උගේ සහපිරිවර අද පැමිණ නැති හෙයින් ඌ අතරමං වී ඇත. අත්‍යවශ්‍ය පාඩමක් මග හැරී ඇති ඌ හොයන්නේ පාඩම අසා ගත හැකි කෙනෙකි.

පොතක් දෙස බලා ඉන්නා ගැහැණු ළමයෙකි. මුහුණුවර දැක පුරුදුය. බොහෝ විට තමුන් ඉගෙන ගන්නා පාටමාලාවේම විය හැක

කොල්ලෙක්ගෙන් නැතුව කෙල්ලෙකුගෙන් පාඩම අසා ගැනීමට කොල්ලාද කැමතිය

කොල්ලා කෙල්ලගෙන් පාඩම ගැන විමසයි. පොලවේ පය තියාගෙන ඉන්නා කෙල්ලද වෙනත් අනං මනං නැතිව කොල්ලාට පාඩම් කියා දෙයි. පාඩම අතරතුර දෙදෙනා කතා බහ කොට විස්තර දැනගනිති. දැන් කොල්ලා හා කෙල්ල යහළුවන්ය.

~කොල්ලා බසයේ එයි. දැක පුරුදු ගෑණු ළමයෙකි. පාටමාලාවේ විය හැක. කොල්ලා ඈ සමග හිනැහෙයි. කෙල්ල ලජ්ජාශිලිව අහක බලා ගනියි. කිසිවක් කරකියා ගත නුහුණු කොල්ලා රතුවෙයි

~ කොල්ලා දේශන ශාලාවට යයි. කැන්ටිමේ දී මුණගැසුණු කෙල්ල දකියි. ඈ සමග හිනැහී ලඟට ගොස් කතා කරයි. බස් රියේදී දුටු කෙල්ල ඈට අසුන් දෙකකට යාබදව හිඳගෙන ඉන්නා බව කොල්ලා දකින්නේ අන්තිමටය. කොල්ලා කරබාගෙන යන්න යයි

~කොල්ලා කැන්ටිමට යයි. කැන්ටිමේදී හමුවූ කෙල්ල අදත් කැන්ටිමේ ඇත. කොල්ලා හිනැහෙයි. කෙල්ල රවයි

කොල්ලා - "මොකද අනේ ඔයා අප්සට් මූඩ් එකක"

කෙල්ල - " අප්සට් තමයි. මේ මං ඔයාට එකක් කියන්නං. මං ඔයත් එක්ක යාලුවෙක් විදියට කතා කලාට ඔයාට තෝලක කන් කරන්න බෑ හරිද"

කොල්ලා -(තුෂ්නිම්බුතව) "මොකක් ගැනද ඔයා කියන්නේ?"

කෙල්ල -"ඔයා හංසමාලිගේ පස්සෙන් එනවලු. මම හංසමාලි ගැන විස්තර ඔයාට දෙනවලු. හංසමාලි අද පියුමිට කියල පියුමි මට දොස් කිව්වා"

කොල්ලා - (හංසමාලි කවුදැයි පියුමි කවුදැයි නොදැන උඩ බිම බලමින්) "කවුද අනේ හංසමාලි කියන්නේ?"

මෙහිදී කොල්ලා හංසමාලි කියන්නේ කවුදැයි නොදන්නා බව කෙල්ල පිලිගන්නේම නැත. ඌ පණ යන්නට හෙම්බත් වීගෙන අන්තිමට තමා කියන්නේ ඇත්ත බව කෙල්ලට ඒත්තු ගන්වයි

දයිවයෝගයකින් මෙන් හංසමාලි කැන්ටිමට පැමිණෙයි. පියුමිත් ඒ සමග එයි

කෙල්ල - "එක පාරට බලන්න එපා. අර තමයි හංසමාලි.."

එවර රතුවෙන්නේ කොල්ලාය

කොල්ලා- "එයාව දවසක් මම බස් එකේ දැකල හිනා වුනා.. ඒකට තමයි එයා මං එයාගේ පස්සෙන් එනවා කියල හිතල තියෙන්නේ.."

පිරිමි අපට හොඳ යෙහෙලියන් ඇත්තේය. එවැනි ගැහැණු ළමුන්ද අපත් සමග එකට කාබී වෙසෙති. සමහර ගැහැණු ළමුන් හිතා ඉන්නේ කොල්ලන් ඔවුන් දෙස බලන්නේ පස්සෙන් එන නිසා කියලාය. එවැනි අයට කියන්න ඇත්තේ  ඒගොල්ලෝ පස්සෙන් වැටීගෙන ඉන්නට අපිට පාන් නැති බවය. නරකම දෙය මේ දෙවැනි වර්ගයේ කෙල්ලන් නිසා පළමු වර්ගයේ යෙහෙලියන්ද අප සමග අමනාප වීමය..

මෙයින් දෙවැනි වර්ගයේ ගැහැණු ළමුන් දෙස බලාගෙන "මල සමයං" යයි පවසා හිත හදා ගැනීම හැරෙන්නට පිරිමි අපට වෙන විකල්පයක්ද නැත්තේය


සිහිනයක් නොවූ සිහිනයක්

"හපොඕ .. අර රොටියා කියල එකෙක් ලියන්නේ.. මෙලෝ රහක් ඇති ලිපි නෙවෙයි. ඌ ලියන එක ඌම දන්නේ නෑ.." රොටියා කව්දැයි නොදන්නා ඔපීසියේ මිතුරෙකුගේ මේ ප්‍රකාශයත් සමග මම පාෂාණිභූත වුයෙමි. රෝල් ඩාල් වරෙක ලියා ඇතුවාක් මෙන්, රොටියාගේ ඔපිසියේද හැමෝගෙම හිස තුල ඔවුනොවුන්ට සුවිශේෂී ඉහඳ පණුවෙක් ඉන්නා බව සැබෑය. බොහෝ දෙනෙකුට සිංහලය අමතකම හෙයින් ඔවුන් බ්ලොග් පාටකයන් වීමේ සම්බාවිතාවය ඉතා අඩු තැන , බ්ලොග් කියවන්නෙකු විසින් දුන් සහතිකය රොටියාව සහමුලින්ම අධෙර්යය කල බවද හැබෑය

"උඹ ලියපන් මචං. උඹ ලියන ඒවා කියවන කට්ටියට උඹ ලියපන්" වචන මෙලෙසින්ම නොවුනද, රොටියාගේ හිත හැදෙන්නට කතා කොට, රොටියාව ලිවීමට පෙළෙඹවූ එක මිතුරෙකු නිසා රොටියා ඊළඟ පොස්ටුවද සිය බ්ලොගයේ පල කළේය. බ්ලොගය ජාල ගත වී වසරකුත් දවස් හතරක් ගත වන තැන රොටියා මුලින්ම සිය ස්තුතිය පල කරන්නේ ඔහුට- ආදිෂටය "මේ කියන්නේ කුමක් ගැනදැයි කියවන විට ඔබ දන්නා බව මම දන්නවා.ඒ ගැන ඔබට ඉස්තුතියි.."

ඊලඟට නම් මතක් කල යුත්තන් අප්‍රමාණ ගණනක් ඇත. තරිඳු, පියුම්, සම්පත් ... නම් වශයෙන් නොකීවත් ඔබ හැමදෙනාම..

වසරක් ගතවන තැන කියවීම් ලක්ෂයකට අදික ප්‍රමාණ ලබාගෙන මිතුරන් දහස් ගණනක් ඇති කර ගත් බ්ලොග් ලියුම් කරුවන් රොටියා අඳුනන අතර ඔවුන් රොටියා ව නම් අදුනන්නේ නැත. එහෙව් බ්ලොග් අතර තවම කියවීම් දහහත් දහස් ගගණනක් පමණක් ඇති රොටියාගේ බ්ලොගය උනහපුළු පැටවෙකු වුවත්, රොටියාට නම් ඌව මැණිකකි. කොමෙන්ට් දමන්නට මෙන්ම අලුතෙන් සමාජ සම්බන්දතා ඇති කර ගැනීමට මෙන්ම ඒවා පවත්වා ගැනීමට ඉතා කම්මැලි රොටියා මේ තරමින් හෝ රදා පවතින්නේ ලිවීමෙන් රොටියා අසීමිත තෘප්තියක් ලබන නිසාය. රොටියාගේ ලිපි කියවන ඔබ නිසාය

අකලට පොල් වැටෙන සේ පොස්ටු පල කරන රොටියා උපන්නේ හිලරියස් රස කතා නම් මුණුපොත් කණ්ඩායම නිසාය. රොටියාගේ බ්ලොගය පිටුපසද කතාවක් ඇති අතර එය පළකිරීමට මේ වෙලාව නොවේ..

සාමාන්යෙන් බ්ලොග් කරුවන් සියල්ලෝම එකිනෙකා හා යහපත් සබඳතා පවත්වා ගත්තද රොටියා ඊට ඉතා කම්මැලිය. ජිවිතයටම වෙනත් බ්ලොග් ලිපි සඳහා කොමෙන්ටු ලියා ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙනි. නමුත් සියලුම බ්ලොග් ලිපි රොටියා ආසාවෙන් කියවයි. රොටියාගේ බ්ලොගය එක සින්ඩියක ප්‍රාදුර්භූත වී ඇති බව මේ ලඟදි දැන ගන්නට යෙදුනු අතර ඒ මුල් කාලයේ රොටියා ගේම වැඩක් වන්නට ඇත.

අනෙක් අතට රොටියාට ඔය පණ්ඩිතමානි ලිපි ලියන්නට තරන් දැනුමකුත් නැත. බුද්දාගම එකොළහේ පන්තිය වන තෙක් හා විද්‍යාව උසස්පෙළ තෙක් ඉගෙන ගත් රොටියාගේ ඔලුවේ දැන් ඒ දේවල් වලින් අඩක්වත් නැත. ඒ නිසා රොටියා ලියන්නේ රොටියාට තේරෙන තරමටය. දේශපාලනය ගැන රොටියාට රොටියාගේම මතයක් ඇති මුත් එය සමාජ කතිකාවකට පාත්‍ර කිරීමට තරම් රොටියාට අවබෝදයකුත් නැත. රොටියාගේ ලිපි මත සීනි තැවරී ඇත්තේ ඒ නිසාය

ඉතින් රොටියාගේ ඉට්ටයිල් එක ඉවසා වදාරා බ්ලොගය සමග රැඳී ඉන්නා ඔබ කිහිප දෙනා මට ශක්තියකි

අවුරුද්දක් ගතවන තැනේ රොටියා අවුරුදු ගණනාවකට පෙර සිට දුටු හීනයක් සැබෑ කරගන්නට හීනයක් තිබේ. එනම් රොටි වලින් ඔබ්බට ගිය නවකතාවකි. වස්තු බීජය මුල් අල්ලා දැනට අවුරුදු හයක් තරම්ය. ලියා ගන්නට හැදුවාට දිනෙන් දිනම පසුපසට යාමක් මිස ගමන් කිරීමක් නම් නොවිය. මෙය "එකෝමත් එක දවසක" කතාවෙන් වෙනස් වන කතාවක් සේම හීන ගොඩක ප්‍රතිපලයකි.

පරසතු මදාරා නෙක මල්       පිපුනාය
උපුල් කඳ සමන් දිව පුත්        තුටිනාය
ගමනට යොදුනාය හෝරා     ගෙවුනාය
යක් රජ සොඳිනාය අද නිසිකල      ආය


ඉතින් මෙයින් පසු රොටි අතර තුරේ රොටියාගේ හිනයටද පාට පෙවෙනු ඇත. කොමෙන්ටු වලට පිළිතුරු නැතැයි කියා අමනාප වී අදහස් පල කිරීමෙන් නොවැලකෙන ලෙස රොටියා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඔබේ අදහස් මට බොහෝ වැදගත්ය

~රොටියා~


Sunday, November 16, 2014

රොටියා රජ උනොත්.....

රොටියාට අද සත කාලක පණක් නැත්තේය. ඒ හෙට සෙනසුරාදා නිසාවත් , ඊයේ නිවාඩු නිසාවත්, අද ඔපීසියේ ලගින්න සිදුවී ඇති නිසාවත් නොවන්නේය. ඒ ඊයේ රෑ පුරාවටම මොහොතක හෝ විවේකයක් නොගෙන වැඩ කරන්නට කරුණු යෙදුනු නිසාය. ඒ කියන්නේ රොටියා වෙඩිමේ වැඩ වලට සල්ලි හොයන්නට, අතිකාල සේවයේ යෙදුනු නිසාවත්, පල් හොර රැලකට පන්ගාර්තු වී හොරකමේ ගිය නිසාවත් එහෙම කියා වරදවා හිතන්නට හෙම එපාය

ඊයේ රැයේ මොහොතක හෝ විවේකයක් නැති වෙන්නට හේතුව මේ දිනවල රැයේ පවතින අදිකතර සීතලය. සිතල අනුබාවයෙන් මේ ටිකේ මලාක් මෙන් නින්ද යන අතර, ශාරීරික අවශ්‍යතා හේතුවෙන් වත් රෑ මැදදී නම් හීනෙන් වත් ඇහැරෙන්නේ නැත.(ඔය වැඩේ නම් මාරය. මතක ඇති කාලයේම රොටියාගේ පරීක්ෂණයන්ට හා නිගමනයන්ට අනුව රෑ මැදදී වැසිකිලියක් හීනෙන් දකිනවා කියන්නේ ටිකට් එක ඇදෙන්නට ළඟ බවය. කරුමෙකට වත් හීනෙන් පෙනෙන වැසිකිලි වලට ගොස් අදාළ වැඩය හෙම කරන්න හිතන්නවත් එපාය. එහෙම උනොත් හෙම රෑ මැදදී දෙකකුල් අතර උණුසුම් ජාල ධාරාවක් ගලන අත්දැකීමද, තෙත් මෙට්ටයක කෙරවලකට වී නිදා ගැනීමේ අපහසුවද, පස්සෙන් පහුවදා ඔක්කොම ගෙඩි පිටින්ම පොඩි බැදන් ගොස් සේදීමේ අරුමයද, සිද්දිය මතක ඇති තුරාවටම පවුලේ ඇත්තන්ගේ අප්‍රමාණ නින්දා අපහසයන්ට ගොදුරුවිමද යන ඔක්කොම පැකේජ ක්‍රමයට අත්විඳිය හැක්කේය)

ඔන්න ඔයාකාරව මලාක් මෙන් නින්ද ගොස් සිටි රොටියාට මෙපමණ මහන්සියක් දැනීමට හේතු සිද්ද කළේ රෑ දුටු හීනයය. හීනෙන් උන්නේ දියවන්නාව පැත්තේය. නිකම්ම් හෙම නොවේය. රොටියා රටේ ජනාදිපති වී උන්නේය.

රටේ වැඩිම බලයක් හිමි තැනැත්තා ලෙස රොටියා මුලින්ම කළේ මහපාරේ රිය පදවනවා යයි කියමින් පෙම් කෙළෙමින් උන් රොත්ත බුරුත්ත අල්ලාගෙන ගොස් කුඩු ගත කිරීමය. වැරදි හා දඩුවම් මෙසේය

1. අදිවේගී මාර්ගයේ දකුණු පැත්තෙන් කොටමින් යෑම: වාහනය දුටු තැන නවත්වා දින පහකට රාජසන්තක කොට, වාහනයේ ගිය රැලම මාර්ගයේ දෙපස වැටෙන් එලියට දමා ගමනාන්තය තෙක් පයින් යාමට නියම කිරීම
2. සිග්නල් නොදා හැරවීම / සාමාන්‍ය පාරේ කොටමින් යෑම: වාහනය මසකට රාජසන්තක කොට ගොන් කරත්තයක් දීම. ගොනා නඩත්තු කිරීම සිද්ද කල යුත්තේ වරද කල ඒකාය. (රොටියා මහජනතාව දකින්නට යනවිට ලොකු ලොකු කාර්යාල ඉදිරිපිට නවත්වා නිබු ජි. එම් ගේ කරත්තය, සී. ඊ. ඕ ගේ කරත්තය යනාදී විවිදාකාර කරත්ත අලංකාර දසුනක් මවා පෑවේය)
3. පළලින් අඩු පාරවල් වල වැරදි පැත්තෙන් දමා , ඒ පැත්ත අවහිර කිරීම: ගල් රෝලක් මගින් අදාළ වාහනය තලා දමා වාහන ගමනාගමනයට ඉඩකඩ සලසනු ඇත. අවශ්‍ය නම් හිමි කාරයාට වාහනයෙන් බැස පණ බේරා ගැනීමට ඉඩ කඩ සලසා ඇත.
4.මහා මග සිදුකරන අනෙක් සියලුම ආකාරයේ වැරදි:වාහනය රාජසන්තක කරනු ලැබේ. රඳවා ගනු ලබන කාල සීමාව වරදේ ස්වාබය මත තීරණය කෙරෙනු ඇත

ඊළඟට කළේ මෙන්න මේවාය
5.සියලුම පාසල් 10 ට පටන් ගෙන හතර දක්වා පැවැත්වෙනු ඇත. මෙයින් කාර්යාල වෙලාවට ඇති වන තදබදය නැතිව, මහජනයා වෙලාවට රාජකාරියට වාර්තා කළෝය. ටියුෂන් වෙළෙන්දන්ට නටා ගන්නා ලෙස දන්වනු ලද අතර, ගුරුවරුන්ට සාදාරන ලෙස දිනකට පැය දෙකක කාලයක් අමතර කාලයක් ඉගැන්විය හැක. සියලුම ළමුන්ට එකලෙස අධ්‍යාපනය ලබාදෙන අතර ඔවුන් ඒ ලබා ගන්නා දැනුමෙන් විබාග වලට මුහුණ දිය යුතුය. දුර්වල ළමුන්ට වෙනම පන්ති පැවැත්විය යුතුය
6. අට වසරට පහලින් වූ ළමුන් කිසිවෙක් භාෂා හැරෙන්නට වෙනත් ටියුෂන්  පන්ති යැවීම සපුරා තහනම්ය. අසුවුවොත් සතියක කාලයක් පුරාවටම ළමයාගේ මාපියන් සහ ටියුෂන් ගුරා හතරමන් හන්දියක තබා "අප මෙයින් මතු ළමා හිංසනය නොකරමු" වගන්තිය සඳහන් බෝඩ් ලෑලි ඔසවා ගෙන ඉන්නට සලස්වනු ලැබේ. (සෑම දිනකම හවස හතරට ඔවුන්ට ගෙදර යාමට ඉඩ දෙනු ලැබේ. ඊළඟ දිනයේ උදේ හයට වාර්තා කල යුතුය)
7. සියලුම පාසල් වල මිශ්‍ර පාසල් බවට පත් කරනු ඇත. මෙයින් කොලු කෙල්ලන් පිටසක්වල ජීවින් ලෙස එකිනෙකාට සලකා ගැනීම නැවතීම අපේක්ෂා කෙරේ
8. විශ්ව විද්යාල තුල දේශපාලනය කරන සිසුන්ට අමතර විබාගයකට මුහුණ දීමට සිදු වනු ඇත
9. සියලුම රියදුරන් ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර රියදුරු සුදුසුකම ලබා ගත යුතුය

ඊළඟට මේවාය
10. සියලුම මහජනතාවට බල පැවැත්වෙන්නේ එකම නීතියකි. ඕනෑම ආයතයක අයතා ලෙස තමුන්ගේ වැඩය සිද්ද කර ගැනීමට තැත් කරන්නන් මාසයක් පුරාවටම පොදු වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමට අනුයුක්ත කෙරේ
11. හොරකම් කලොත් අවුරුද්දක අවමයේ සිට වරදේ ස්වබාවය මත තීරණය කෙරෙන කාල සීමාවක් දක්වා හොරා විසින් හොරකමට ලක්වූ පුද්ගලයාට සේවය කල යුතුය. ලැබෙන්නේ කෑම සහ ඇඳීම පමණි. හොරාගේ ගෙදර ඇත්තන්ව ආණ්ඩුව විසින් නඩත්තු කරනවා ඇත. හොරාගේ ක්‍රියාවන් නිරීක්ෂණය දිවා රෑ සිදු කෙරෙනු ඇත
12. මිනීමරුවාට දඬුවම් දීම මැරුම් කෑ එකාගේ ලඟම ඥාතීන්ට බාර දෙනු ලැබේ. එසේ නොකළ හැකි අවස්තාවක නම් වෙනත් දඬුවම් ක්‍රමයක් අනුගමනය කරනු ඇත

13. සේවාදායකයන් තමුන්ගේ සේවකයන් යයි සලකන සියලුම රාජ්‍ය සේවකයන්ට පඩි රහිත මසක පුහුණුවක් ලැබෙනවා ඇත
14. ස්ත්‍රී හිංසකයන්ව බලහත්කාරයෙන් ඔවුනොවුන් අතර කසාද බන්දනවා ඇත. (හෝමෝ)

15. අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට සිය පළමු වාහනය බදු රහිතව මිලට ගත හැක


16. අවුරුදු 30ත අඩු , රැකියාවක් කරන ඕනෑම අයෙකුට මසකට වරක් රජයේ වියදමින් රාත්‍රී සමාජ ශාලාවකට යාමේ පහසුකම ඇත

ඔන්න ඔය ඔක්කොම ගෙඩි පිටින්ම සිද්ද කල රොටියා ඊළඟට විය යුතු පරිදිම සමාජ ශාලාවකට ගොස් රෑ එලි වෙනකම්ම ඩිස්කෝ නැටුවේය (අවුරුදු 30ට අඩු රොටියාටද 16 වැනි නිතිය වලංගු නිසා). දැන් නම් ෆ්ලැට්ය



හූ... රැවටුණා.....

**** අත්යගවශ්යර හේතුවකට මිසක් වෙනත් කුමන හෝ හේතුවකට නැවත ඇයට කතා නොකරන බවට ගත් දැඩි තීරනය නිසාම ඇය හා මා අතර යම් තරමක දුරස්බවත් ඇතිවී තිබුණි. මුහුණුපොතේ ඉඳහිට ඇතිවූ සංවාදත්, සුළුපරිමාණයෙන් සිදුවූ කෙටිපණිවිඩ හුවමාරුවත් මගින් ඇයට මහත් හිසරදයක්ව තිබූ "රැකියාවක් සොයාගැනීම" පිලිබඳ මා දැනුවත් වූ බැවින් ඒ සඳහා මාහට කළහැකි සියල්ල කිරීමට වෙහෙසුනෙමි. දන්නා කියන සමාගම් වල ඇති ඇයට අදාලත්වයක් දක්වන රැකියා සඳහා ඉල්ලුම්පත්රි තොග ගණනින් යැවුවෙමි. මොනයම් හේතුවක් නිසා හෝ ඇය විසින් යැවූ ඉල්ලුම් පත්රා සඳහා නොව මා විසින් යැවූ ඉල්ලුම්පත්ර සඳහා ප්ර තිචාර ලැබීම ඇය තුල යම් ආකාරයක විශ්මයක් ජනිත කිරීමට සමත්වූබව ඇයගේම කෙටිපණිවිඩ මගින් මට දැනුණි. කෙසේ හෝ ඇයත් මාත් සතුටට පත් කරමින් ඇයට රැකියාවක් ලැබුණු අතර ඉතා දිගු නිහැඬියාවකට පසු ඇයට සුබ පැතීමට ඇමතුමක් ගැනීමටසිදුවිය. ****
.
.
.

මා අතහැර තෝරාගත් "....වරයා" සමග තිබු සබඳතාවය බිඳී ගිය බවත්, ඉන්පසු නැවතත් (සතියක පමණ කාලයකට පසු) පරිගණක ක්ෂේත්ර යට සම්බන්ධ තරුණයකු සමග ප්රේ ම සබඳතාවක් ආරම්භකල බවත් ඇගෙන්ම ලද තොරතුරු මගින් දැනගතිමි. "....වරයා" සමග තිබු සබඳතාවය බිඳීගිය කථාන්තරය "උඹට මං පණවගේ ආදරේ..." තුළින් පැවසුවෙමි. ඇයව මගහැරි ....වරයා නැවතත් ඇය වෙත සමීපකිරීමට මා දැරූ උත්සාහයත්, ඒ බව ඇයට පැවසීමට රාත්රීෙ එකොළහට පමණ දුරකථන ඇමතුම් ගන්නාවිට පැය බාගයකට අධික කාලයක් ඇයගේ ජංගම දුරකථනය කාර්යබහුලව තිබු බවත්, පසුදින උදෑසන ඇයව අමතා ....වරයා පිලිබඳ පැවසූවිට "මට ආයෙ එයා ගැන කියන්න එපා" යනුවෙන් කී ආකාරයත්, පෙරදින රාත්රි.යේ තම මිතුරෙක් සමග දුරකතනයෙන් කථාකල නිසා කාර්යබහුලව පැවති බවත් ඇය පැවසුබව මාගේ කාලරේඛාවේ පැහැදිලිව සටහන්ව ඇත.

දින කිහිපයකට පසු ලංකාවේ ප්රකකට පෞද්ගලික අධ්යාඇපන ආයතනයකින් ඉගෙනුම ලැබූ "ඔහු" (පරිගණක ක්ෂේත්රියට සම්බන්ධ තරුණයා) පිළිබඳව මාහට ඇය පවසන ලදි. ඔහු පිළිබඳව මාගේ මිතුරන්ගෙන් අසා පවසන ලෙසත් ඇය පැවසීය. ඔහුගේ සිතේ ඇය පිලිබඳ අදහසක් ඇති බවත්, ඇයටත් එසේ සිතෙන බවත්, ඔහු පිළිබඳවත් ඔහුගේ පෙර ප්රේයම සබඳතා පිළිබඳවත් ගිරවියක මෙන් මා සමග පවසන ලදි. මල තලා රොන් උරා යන බඹරුන් පිළිබඳව පැවසූවිට "පරිස්සම් වෙන්න මං දන්නවා" "වැස්සට ගොඩවෙන මිනිස්සු වැස්ස පායපුවහම යන්න ඉඩ තියනව" වැනි අතිපණ්ඩිත වාක්ය වලින් මාහට පිළිතුරු දුන් ආකාරයත් මා හට තවමත් මතකය. වෙසක් දිනට පෙරදින ඇයත් ඔහුත් අතර ප්රේවම සම්බන්ධය නිළවශයෙන් ආරම්භවූබව ඇය විසින් මාහට පවසන ලදි. "එයා හරි හොඳයි. හරිම ඩීසන්ට්. කෙලින් කතාකරන කෙනෙක්. I like him and love him lot. මගෙ මුළු ලෝකෙම එයා තමයි." ආදී වශයෙන් ඔහු පිලිබඳ දහසකුත් එකක් ගුණ ගායනා ඇය විසින් මාගේ සවනට මුදාහරින ලදි. පවසන වචනයක් වචනයක් පාසා වැරදමා ගසන යකුළුපහරක් සේ හදවතට වේදනා ගෙන දුන්නත් අපහසුවෙන් නමුත් සිනාමුසු මුහුණින් යුතුව සියල්ල විඳදරාගත්තෙමි.

ඉන්පසු ගතවූ මාස කිහිපය තුළ සිදුවූ "පැරණි පෙම්වතෙකු" ලෙස දරාගැනීමට නොහැකි, බ්ලොගයක පල කිරීමට නොහැකි සිද්ධි දාමයකි. ව්යාිජ ආදරයෙන් අන්ධවූ මුග්ධ තරුණියක විසින් කරණුලබන ගොන්කම් සියල්ලම පාහේ ඇය විසින් සිදුකර තිබුණි. ඒ බව දැනගත් සෑම විටකම ප්රූවේශම්වනලෙස මා පැවසු බවත්, ඒ සෑම විටකම ඈ විසින් ඔහු තමාට පණටත් වඩා විශ්වාස බව පැවසු බවත් මා හට තවමත් මතකය. අවසානයේ මාගේ සියලු අනාවැකි සත්යම කරමින් ඔහු ඇය අතහැරදමා ගොස් තිබුණි. හරි හොඳ, හරිම ඩීසන්ට්, කෙලින් කතාකරන ඔහු ඇය හැරදමා ගොස් තිබුණි.



ඇයගේ පළමු පෙම්වතාගේ ඉල්ලීමත් මාගේ සිත තුල තිබු කුතුහලයත් නිසා දිනක් මුහුණුපොත හරහා ඇයගෙන් විස්තර විමසා සිටියෙමි. ජීවිතය සුන්දර බවත් හොඳින් ගෙවීයන බවත් ඇය මා සමග පැවසීය. පරිගණක ක්ෂේත්රායට සම්බන්ධ තරුණයා පිළිබඳව විමසූවිට (මේ වනවිට එම සම්බන්ධය බිඳී ගොස් තිබු බව මා දැන නොසිටියෙමි) ඔහු ඇය හැරදමා ගිය පුවත පරිගණක තිරය මත දිස් විය. "එයා හරි කපටි මනුස්සයෙක් අනේ" වශයෙන් දීර්ඝ කතාවකට මුලපිරූ නමුත් එම කතාව ඇසීමට මාහට සිත් නොවූ නිසාත් එම කතාව පවසන ලෙස මාගෙන් උත්තේජයක් නොලැබුණු නිසාත් කතාව ලත් තැනම ලොප් විය. ඇස් කන් ඇති පුද්ගලයකු වශයෙන් දකින අසන දේ විචාරය කර ලබාගත් උපකල්පනය නිවැරදි බව පසක් කරමින් නැවතත් ඇය වෙනත් ප්රේ ම සම්බන්ධයක් අරඹා තිබුණි. සුන්දර තරුණයකුගේ ගිණුමේ ඇයගේ කමෙන්ටුවක් තිබීමත්, ඔහුගේ චායරුප කිහිපයකට ඇයගේ කැමැත්ත ප්රයකාශව තිබීමත්, ඇයගේ හොඳම යෙහෙලියක් ඉතාමත් මෑතකදී ඔහුගේ මිතුරෙක් බවට පත්ව සිටීමත් ඇයගේ හැසිරීම පිළිබඳව යන්තම් හෝ දැනුමක් ඇති අයෙකුට "උපකල්පනයක්" ගොඩනැංවීමට ප්රමමාණවත්ය.
"මට ..න් හම්බඋනේ බැංකුවේදී. ජොබ් එකේ සල්ලි දාගන්න එකවුන්ට් එකක් හදන්න ගියහම තමයි එයාව අඳුන ගත්තෙ"
"එයා අපේ ගෙදරින් කෙලින්ම ඇවිත් ඇහුව. අපේ කේන්දරත් ගැලපෙනව. මගෙ අඟහරු හතේ, එයාගෙ අටේ ඒ හින්ද ගැලපෙනවලු"
"ලබන මාසෙ එයාලගේ ගෙදරින් මාව බලන්න එනවලු"
"ඊළඟ අවුරුදු දෙකේදී බැන්දේ නැත්තං මට බඳින්න වෙන්නෙ තිහ පැන්නහමලු"
ආයෙත් කියවිල්ල.
"මගේ හිතේ දැන් වැඩියේ බලාපොරොත්තු නෑ"
සුපුරුදු පරණ තැටිය....
"අපි දෙන්න බැන්දහම රට යන්න ඉන්නෙ. එයාගෙ ගෙදරත් ඉන්නෙ එයා විතරයි. අම්මල බලාගන්න සර්වන්ට් කෙනෙක් තියනව."
ආයෙත් අහස්මාළිගා......
"මොකක්ද අනේ මේ දාල තියන ප්රොනෆයිල් පික්චර් එක. වෙන එකක් තිබ්බෙම නැද්ද දාන්න"
"දාන්න එකක් නැත්නම් මගේ ෆොටෝ එකක් දාන්න"
ආයෙත් හුරතලේ..............
ඕනි මංගල්යලයක් කියා මා විසින් අලුත් කොල්ලට මිතුරු ඇරයුමක් යවන ලදි. දින කිහිපයකට පසු මිතුරු ඇරයුම පිළිගන්නා ලදි. සතියකට පමණ පසු ඔහුගේ උපන්දිනයට සුබපැතුමක්ද මුහුණුපොත හරහා යැවුවෙමි. දිනදෙකකට පමණ පසු එම පණිවිඩය දුටු බවත්, තවත් දින කිහිපයකට පසු
"Thanks"
මගෙන් සිනහ මුහුණක්"
.
.
.

ඔහු : - R U frnd of [ඇයගේ නම] ?
මම : - yap
ඔහු : - k fine
මම :- you?
ඔහු : - frnd
මම : - (y)
ඔහු : - hw is she?
මම : - good as friend
ඔහු : - මම [ඇයගේ නම]
ඔහු (දැන් ඇය) : - හූ හූ රැවටුණා..
මම : - ඇත්තද? කමක් නෑ මට පේන්නෙ නෑනේ
ඇය : - පවු
මම : - කවුද?
ඇය : - ඔයා
මිනිත්තු කිහිපයකට පසුව ජංගම දුරකතනයට පණිවිඩයක්
"හූ හූ පවු අනේ"
මගෙන් කිසිදු ප්රේතිචාරයක් නොමැත
පැය තුනකට පමණ පසු
"මාත් එක්ක තරහද?"
මගෙන් පිළිතුරක් නැත.
.
.
.

මා රැවටුනේ බොහෝ කලකට කලින් බව මට ටික කලකට පෙර සිටම වැටහී තිබුණි. තවත් අමුතුවෙන් රැවටෙන්නට දෙයක් නැත. නැවත රැවටීමට ඇයට හැකියාවක්ද නොමැත. මාගේ සිත තුල ඇය කෙරෙහි වූ ආදරය පෙරලුනේ අනුකම්පාවකටද නැත්නම් හිරිකිතයකටද යන්න තවමත් මට පැහැදිලි නැත. බොහෝ දුරට ඒ ද්විත්වයේ මුහුමක් විය හැක. නැවත ඇය මාවෙත පැමිණියහොත් ඇයව බාරගැනීමට පටු ඉඩක් ඇත. නමුත් ඒ ආදරය නිසානම් නොවන බව මට සක්සුදක් සේ පැහැදිළිය.


රොටියාගේ සටහන: මෙය රොටියා ලියූ ලිපියක් හෙම නොවේ. අයිතිය මුල් කතෘට..  

Friday, October 31, 2014

එකෝමත් එක දවසක - දවසක් දා 08

කතාව හිතුවාට වඩා දිගු විය. ප්‍රමාද විය. ඒ එක්කොම එක්ක රොටියා සමග ඉන්නා පාටකයන්ට හිස නමමි. කෙල්ලෙක් නිසා අවුරුදු හයක් නාස්ති කරගත්, අවසානයේ කොහෙවත් හුන් ගෑණු ළමයෙකු නිසා ජිවිතයම වෙනස් කරගත් රොටියා ගේ ප්‍රේම කතාවේ අවසාන කොටස මෙසේ ලියමි.....

මුලින්ම කිවයුතු යමක් ඇත්තේය.. සැබෑ ආදරය කියා ඔය කවීන් වර්ණනා කරන, ජිවිත කාලය පුරාම නොලැබෙන කෙනෙකු ගැන හිතමින් වදවෙන ජාතියේ හැඟීම් හෙම ආදරය කියා වරදවා වටහා ගන්නට එපාය. විරාගයේ (මාර්ටින් වික්‍රමසිංහ) අරවින්ද හෝ සින්දුර් හි (සුජීව ප්‍රසන්න ආරච්චි) අරවින්ද වැන්නවුන් පරමාදර්ශය කර ගන්න හදන්නත් එපාය. සමාජයේ ජිවත්වන බොහෝ චරිත පොදු පුරුෂයා හි (සුනේත්‍රා රාජකරුනායක) සාෂා වැන්නවුන්ය. හඹා යා නොහැක ප්‍රේමය (භද්‍රජි මහින්ද ජයතිලක) වැනි පොත් හරහා ආදරය විනිවිද දැකිය හැකි බව රොටියාගේ අදහසයි.

සමාවෙන්න, මෙය පොත් ගැන විචාරයක් හෙම නොවේ. රොටියාට පවසන්න වුවමනා වුයේ සැබෑ ලෝකයේ ආදරය වනාහි දෙදෙනාගේම කැමැත්ත හා අවබෝධය මත හට ගන්නා හැඟීමක් බවයි. ඒක පාර්ශ්වික ආදරය තුල ඇත්තේ ආකර්ශයක් සමග ඇතිවූ තණ්හාවයි. හිමිකර ගැනීමට ඇති ආත්මාර්තකාමිත්වයයි. මැරෙන තුරු හිඟා කා ආදරය ලබාගත් නොහැක. ලබා ගන්න හැකිවනුයේ අනුකම්පාවයි. එසේ අනුකම්පාව මත ඇතිවූ සම්බන්දයක් පසුව ආදරයක් බවට හැරීමේ සම්බාවිතාවයක් නැතැයි රොටියා කියන්නේ නැත. නමුත් අනුකම්පාවට ඇති වූ සම්බන්දයක අනුකම්පාව නැතිව ගිය කල ඔක්කොම කොට උඩය. මොකක් හෝ වෙලාවක් තිබී කසාදයට පෙර අනුකම්පාව අහෝසි උනා නම් හොඳය. නැත්තන් ඉතින් පවුල් කන්නට වන්නේ ලෝකෙට පේන්නටය

ආදරය සුන්දරය. මඩවන්නට බලන් ඉන්න, නටවන්නට බලන් ඉන්න, දහයට ගනින්න බැරි ගානට හැසිරෙන ලතාලා නොව කෙලින් කතා කරන අපට ඇත්තටම කැමති ගෑණු ළමයෙකු මුණ ගැසුණු විට පිරිමි අපට දිව්‍ය ලෝකය දැකිය හැක. එසේ ඇත්තටම ආදරය කරන ගෑණු ළමයෙකු මඩවා, කාමර ගානේ දක්කාගෙන ගොස් නිර්දය ලෙස අතහැර දමන්නා කිසිම දිනක ආදරය විඳීමට නොහැකිවෙන පව්කාරයකි.

ගැහැණු ළමුන් ආදරය ප්‍රකාශ කරන්නේ විවිදාකරයෙන්ය. රොටියාගේ ගෑණු ළමයා ගැන බැලුවොත්, ඇයට නප්පියට තදවෙනවාය. එසේම ඈ රොටියාව දේවත්වයෙන් පුදා වන්දමාන කරන්නේද නැත (එසේ කරන ගෑණු ළමුන් ගැනද රොටියා අසා ඇත). රොටියා කරන කියන හැම දෙයක්ම ඉස් මුදුනින් ගෙන සම්මත කරන්නේද නැත. රොටියා හා ඈ අතර ඇත්තේ අවේගශීලි, විවාදාත්මක , ගැටුම් බහුල සම්බන්දයකි. එවැනි සම්බන්දයක් මේසා කලක් රැකී තිබීමට එකම හේතුව ඈ තුල රොටියාට ඇති කැමැත්තයි. රොටියා තුල ඈ පිළිබඳව ඇති කැමැත්තයි. රොටියාට වුවමනා ඕනෑම දෙයක් ඈ සමග පැවසිය හැකි අතර ඈත එසේමය. රොටියාට ඈ සමග ඉන්නා විට ඇත්තේ නාන කාමරයක ඇඳුම් නැතුව ඉද්දි දැනෙන නිදහසමය.

කරුණාකර ඔබේ ජිවිතයේ සහකරු හෝ සහකාරිය තෝරාගන්නා විට මදක් වගකීම් සහිත වෙන්න. රූපය, දෑවැද්ද ගැන සලකා ඔබේ ජීවිතය නාරාවලක් කරගන්න එපාය. මව්පිය කැමැත්ත ගැන නම් සාදාරණව සලකා බැලුවාට කමක් නැත.

ඒ ගැන ඒ ඇතිය. දැන් එකෝමත් එක දවසක සිද්ද වුනු කතාන්දරයය

එම්. සී එකේ දහසක් ලයිට් එලිය මැද මම මගේ නුදුටු යෙහෙළිය, සුරලිය දුටු ආකාරය පහුගිය කොටසේ සදහන් කළා මතක ඇත

කුඩා ගැහැණු ළමයා සබකෝලයෙන් හිනැහෙමින් මල්ලක් ළඟ තබාගෙන උන්නාය

දැක පුරුදු මුහුණකි.. වෙනස් වී ඇත

කවුද යන්න ඔලුවට ආවේ ඊළඟ තත්පරේය. ඈ මාව දකින්නට පෙර අදුනා ගත්තා නම් මා හැරී යන්නට ඉඩ තිබුනේය


ඒ උන්නේ කොටි කුමාරිය

.... විස්වාස කලත් නොකලත් ඒ උන්නේ ඈමය

පාසල් වියේදී අපව තුට්ටුවකට මායිම් නොකළ, අප හීනෙන්වත් අපේ කරගන්න නොහිතුව කොටි කුමාරියය.....

ජීවිතය ඔන්න ඔය වගේය. අවුරුදු ගානක සිට දැන අඳුනාගෙන සිටියාක් මෙන් අප හිනැහෙමින් උන්නේ අපටමය.. මම අවුරුදු ගණනක් කෙල්ලෙක් පස්සෙන් ගොස් ලෙල්ලටම චාටර් වී බව හොඳින්ම දැනන් උන් කීප දෙනාගෙන් කෙනෙකි ඈ. (ලපයා ඒ දිනවල නදීට ඔය කතාව කියා තිබුනේය)

එදා අප යටගිය කතා මතක් කරමින් හිනැහෙමින් එම්. සී එක පුරා ඇවිද්දා මතක ඇත. සිද්ද වෙන්න බැරි හුඟාක් දේ සිද්ද කරමින් ආරම්බ උනු අපේ කතාවට නිසි මාර්තෘකාවක් දෙන්නට මුල් වුනේද ඇයමය

"ඉතින්.." (ඒ මමය)
"ඉතින් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ හරි පොයින්ට් එක ගැන..ඔයාට මං ගැන අදහසක් තියෙනවා නම් එහේ මෙහෙ වට ගහන්නේ නැතුව කෙලින් කියල ඊළඟට අපේ අම්මලට කියන්න ඕනේ හරිද.."

දෙවියන් විසින් මේ ගෑණු ළමයාව මවා තිබ්බේ ඔන්න ඔයාකාරවය. මේ මුල්ම දවසය. අඩුම ගානේ ඒ සම්බන්දව මම මෙපමණ වෙලා වදනක් වත් සඳහන් කලේද නැත.

කට ඇරියේ මම නොව. අවුරුදු ගානක් තිස්සෙවත් හැදෙන්න බැරි වුනු රොටියාය

"ඉතින් මම ඔයත් එක්ක තාම යාලු වෙන්න ඇහුවේ නෑ නේ.."

"අහන්න කලින් කිව්වේ.. එහෙම නැතුව අනේ අපි යාළුවො කියල තොත්ත තොත්ත ඉඳල අවුරුදු ගානක් තෙපර බාල, අන්තිමට මුකුත් නැති කර ගන්න මට බෑ. අනික මට ඕනේ තරන් යාළුවො ඉන්නවා. ඔයාට ඕනේ යාලුවෙක් නම් යාළුවෙක්ව හොයා ගන්න. මට කැමති නම් එක ඒ විදියට කියන්න"

ඉතින් අප පටන් ගත්තේම ඔය ලෙසය. එතනින් එහාට මොන කතාද..

ලපයා නම් මගේ පෙම්වතිය කොටි කුමාරිය බව විස්වාස කළේම නැත. ඌ විස්වාස කළේ ඈව දුටු පසුවය

එතැන් සිට අවුරුදු හතරක්ම ගෙවී අවසන්ය. මට කලින් අදටත් ඈ තීරණ ගෙන අවසන්ය. මම යන්නේ මොන පාරෙන්ද කියා කල්පනා කරන විට ඈ අදාළ තැනට ගොස් ඉවරය. තනිවම නොව මාවත් ඇදගෙනම

හොඳ නරක දෙකම ඇත. දුක සතුට දෙකම ඇත. මොනවා උනත් ඈ මං ළඟය..

මා ඈ ළඟය

2014 ඔක්තෝබර් 31 රොටියා

~ඉවරයි~


Tuesday, October 21, 2014

අනන්තය සොයා..

"ඔතනින් පැනල වැඩක් නෑ.පනිනනවා නම් තව ටිකක් එහාට ගිහින් පනින්න"
පිටිපස්සෙන් ඇහුනු ගෑණු කටහඩකින් මම ආයෙමත් හැරිලා බැලුව. සුදු පාට දිග සායක් ඇඳලා, සුදු පාට ටීෂර්ට් එකකුත් ඇඳන්, කොන්ඩෙත් කඩාගත්තු කෙල්ලෙක් ඉන්නව මං දිහා බලාගෙන. මුණේ හිනාවක්වත් නැතුව

මද්දහන නොවුනනන්, බම්බලපිටිය නොවුනනන් සහතිකෙන්ම මං බයවෙනවා මේකී හොල්මනක් කියල. ඒත් හැබෑවටම හොල්මනක් ආව උනත් ගණන් ගන්න මානසික මට්ටමක නෙවෙයි මම ඒ වෙලාවේ හිටියේ.

ඈව තඹේකට මායිම් නොකර මම ආයෙමත් මුද දිහාවට හැරුන. මගේ කකුල් වලට අඩි ගානක් යටින් ගල්පරේ හැප්පෙන මූදු රැල්ල දිහා බලාගෙන මොහොතක් උන්නේ හිත එකඟ කරගෙන තත්පර ගාණකට කලින් හදිස්සියේ බිඳිලා ගිය ධයිර්යය හිතට එකතු කරගන්නයි

"මං ඇත්තමයි කියන්නේ, ඔතෙනට පැන්නොත් ඔහෙට වෙන්නේ ඇටකටු පොඩි කරගෙන මාස ගානක් ඉස්පිරිතාලේ ලගින්න. එහෙම නැත්තන් ඇට කුඩුවෙලා , වතුර පොඩ්ඩ පොඩ්ඩ පෙවී පෙවී පැය ගානක් දුක් විඳලා මැරෙන්න. කැමති එකක් කරගන්න"

මං ආපහු හැරුනේ නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැති මේ චිංචි මානවිකාවට හොඳ දෙකක් කියල දාන්නයි. ඒත් අන්න ඈ ඇවිදන් යනවා. මාව මෙතන තනියම දාල..

මගේ යටිහිත බලාපොරොත්තු උනේ මං පනින කන්ම ඈ මෙතන ඉඳී කියල වෙන්න ඇති. අඩුම ගානේ මිනිය හොයන මිනිස්සුන්ට ඔත්තුවක් වත් දෙන්න. නැත්තන් මං පැනපු ගමන් "අයියෝ මෙන්න මෙතෙන්ට එක්කෙනෙක් පැන්නෝ" කියල බෙරිහන් දෙන්න..

එතකොට මිනිස්සු දුවගෙන එයි.. පීනන්න දන්න අය වතුරට පනියි. මාව ගොඩගනියි..
අනේ ඒවෙනකොට මට වතුර පෙවිල. ඔලුව පැත්තකට වැටිලා..

"අයියෝ ෂෝක් කොල්ලෙක් වතුරට පැනල" ආරංචිය විදුලි වේගෙන් රටපුරා යයි.

මෙච්චර කාලයක් මාව සතේකට ගණන් නොගත්ත අපේ ගෙදර කට්ටිය අඬාගෙන දුවගෙන එයි.." අයියෝ මගේ පුතා...."

මාව දන්න කියන හැමෝම දුක්වෙයි. "කොච්චර හොඳ ළමයෙක්ද...."

එතකොට නයෝමි..

එයා පිස්සුවෙන් වගේ ඉස්පිරිතාලේ දුවන් එයිද.. නැත්තන් මුකුත් උනේ නැති විදියට එරංග ත් එක්ක ඉඳියිද..

මොනවා උනත් එයා ජිවිත කාලෙම පසු තැවෙයි.. එරංග ගේ හැටි තේරුම් යද්දී එයාට මාව මතක් වෙයි

මම දවස් දෙකහමාරක් තිස්සේ හිත හිත උන්නු මගේ මළගම ගැන ආයෙම පාරක් හිතන්න පටන් ගනිද්දිම හෙන ගහන්නා වගේ කෝච්චියක් ගියා මං ලඟින්ම.

මැරෙන්න හිත හදන් උන්නු මගේ හිත, අමාරුවෙන් මැරෙන්න බෑ කියල අඬපු නිසා මං නැගල උන්නු ගලෙන් බැහැල අර කෙල්ල පස්සේ දිව්වා

එතකොටත් එයා සෑහෙන දුර ගිහින්

"මේ මේ" මං අත්පුඩියක් ගහල කෑ ගැහුව

"මටද කතා කළේ " ඈ ආපහු හැරිලා ඇහුව.

"ඔහ් එයා ලස්සනයි" මං මටම කියා ගත්තා

"කොහෙටද පනින්න හොඳ.." මං ආයෙමත් කෑ ගහල ඇහුවා

"එන්න මං පෙන්නන්" ඈ දඟකාර හිනාවක් පෑවා

"තව දුරද.."

"නැහ් මේ ළඟ..ඉතින් ඇයි ඔයා ජිවිතේ නැති කරගන්න හදන්නේ.."

"ඔයාගේ පවුලේ ඔක්කොම සුනාමියට ගිහින්, දැන් ඉන්න කට්ටිය ඔයාට වෙනස්කම් කරනවද?"

"ඔයාට සනීප කරන්න බැරි දරුණු ලෙඩක් තියෙනවා කියල ඊයේ දැනගත්තද.."

"ඔයාගේ පිරිමි කමේ ප්‍රශ්නයක්ද.."

"හරි හරි රවන්න එපා.. එහෙනං ඔයා ඉගෙන ගන්න ගොඩක් ආස ඒත් ඉගෙන ගන්න සල්ලි නැති දුප්පත් ළමයෙක්ද..කාත් කවුරුත් නැති"

"හරි මං දන්නවා. ඔයාගේ අම්ම හදිස්සියේ කියන්න ඇති ඔයාගේ තාත්තා මේ තාත්ත නෙවෙයි. වෙන කෙනෙක් කියල"

මේකිගේ කට ගලේ උලන්න ඇත්තන් කියල හිතාගෙන මං ඉද්ද ගැහුව වගේ නැවතුනා

එයත් නැවතුනා. නැවතිලා ගිනි පිටවෙන මගේ ඇස් දිහා බැලුව හරිම සැහැල්ලුවෙන්

"කෙල්ලෙක්.. හරියට හරි කෙල්ලෙක්"

මං ඔලුව පාත් කරගත්ත. "ඔයා හරි මෝඩයි කෙල්ලෙක් හින්ද ජිවිතේ නැති කරගන්න" කියන සාම්ප්‍රදායික වාක්‍ය එයාගේ කටින් පිටවන තුරු ඊළඟට මං බලන් හිටියා

"හරියට හරි. මැරෙන්නම තමා ඕනේ ඒ කෙල්ලට පාඩමක් උගන්නන්න" ඈ ආයෙත් ඉස්සරහට යන්න පටන් ගත්තා.මාත් නොදැනීම ඈ පස්සෙන් වැටුනා

"ඔයා වීරයෙක්.. ඔයාගේ ඔය තීරණේ ගැන මට හරිම සන්තෝසයි. කොච්චර තද හිතක් තියෙන්න ඕනිද තමුන් එක්ක ජිවිත කාලෙම උන්නු අයව දාල මැරෙන්න, ජීවිතේට මේ ලඟදි ආපු කෙනෙක් නිසා..."

ඈ ටිකක් වෙලා නිහඬව හිටියා. වැස්සක් පෑව්වා වගේ සැහැල්ලුවක් මගේ හිතට දැනුනා

ඊළඟට ඈ කතා කරන්න පටන් ගත්තේ තමුන්ටමයි

"අනේ හැබෑට.. අවුරුදු ගානක් ලොකු මහත් කරපු අම්ම තාත්තා ගැන අමතක කරනවා කියන්නේ කොච්චර නිර්බිත කමක්ද.. මලාට පස්සේ අපිට බනින එවුන් ඔක්කොම අමතක කරලා.. අපේ අක්කල නංගිලා අයියල මල්ලිලා ඊළඟට ලෝකෙට මුණ දෙන හැටි අමතක කරලා මැරෙනවා කියන්නේ ඉතින් මාරම දෙයක් තමා

හ්ම්ම්.. මේ දෙයියොත් කරන වැඩ. කීදෙනෙක් මැරෙන මොහොතේ ජිවිතේ බේරගන්න සටන් කරනවද.. එහෙම ඈයෝ ගෙනල්ල මෙහෙම මැරෙන අයව පෙන්නන්න තියෙන්නේ "
"ඔය මොටරේ වහනවද.." මං කිව්වේ බැරිම තැනයි

ඈ දඟකාර විදියට ඔලුව හෙලෙව්වා "ඔයා ගැන මට පුදුම ගෞරවයක් දැනුනු නිසා මං දන්නා දෙයක් කියල දෙන්නන්. මැරෙන විදි වලින් අමාරුම විදියක්ලු ඔය වතුරට පැනල හුස්ම හිරවෙලා මැරෙනවා කියන්නේ.. පෙනහළු පුපුරනකොට ලු වැඩිම වේදනාව දැනෙන්නේ"

ඒ වෙනකොට මගේ විරකමෙන් බාගයක් හිඳිලා තිබුන නිසා මට ඒ කතාව ගැන ලොකු උනන්දුවක් දැනුනා

"කවුද ඔයාට කිව්වේ.."

"මට කිව්වේ එහෙම මැරුණු අය.." ඈ හිනා උනාට ඒ ඇස් යට තිබ්බේ දුකක්.. "මගේ අයිය මැරුණේ වතුරේ ගිලිලා.. ඒ දවස් වල මම වතුර පෙවිල මැරෙන එක ගැන ගොඩක් තොරතුරු හෙව්වා. මට අයිය විඳපු වේදනාව විදින්න ඕනේ වුනු නිසා වතුර බේසමේ ඔලුව ඔබාගෙන ඉන්න හදලත් තියෙනවා.."

මට ඈ ගැන දුකක් දැනුනේ මගේ නංගිවත් මතක් වුනු නිසා

"මම නම් කියන්නේ ඊට වඩා ලේසි විදියක් හොයා ගන්න කියල.."

"බෙල්ලේ වැලක් දාගත්තොත්.."

"පිස්සුද.. මාර දුකක් ලු විදින්නේ.. දිව එලියට එනවලු. ඇස් එලියට එනවලු"

මගේ පිට කොන්ද දිගේ විදුලියක් යනවා වගේ දැනුන.

"කෝච්චියට පැන්නොත්.."

"කුඩු වෙනවා.. චප්ප වෙනවා.. එක පාර නොමැරෙන්නත් පුළුවන්"

මට හදිස්සියේම ඈ ගැන හිතවත් කමක් දැනුන.

"මං ගෙදර ගිහින් කල්පනා කරලා බලල, නෙට් එකෙත් බලල හොඳ විදියක් හොයා ගන්නන්" ඒ වෙද්දී මරණ බියක් ඇත්තටම දැනිල තිබුණා මම කිව්ව

"ඒත්.. ඔයා ආවේ මැරෙන්නනේ" ඇගේ මුණේ තිබ්බේ බලාපොරොත්තු කඩවුණු ලකුණු

මට තරහක් දැනුනා. මේ ගෑනි මං මැරෙනකන් බලන් ඉන්නවද..

"හරි හරි.. ඕකට තරහ ගන්න එපා. ඔයා විදියක් හොයාගෙන මටත් කියන්නකෝ. මගේ නම්බර් එක ඔයාට දෙන්නං"

"ඇයි මොකද ඔච්චර මැරෙන එක ගැන උනන්දු.. මැරෙන්නවත් හිතිලද ඔහෙටත්.."

"නෑ ජීවත්වෙන්න හිතිලා.."ඈ හිකි හිකි ගෑවා. ඊළඟට ඈ ඇගේ දුරකථන අංකය කියාගෙන ගියා.

"මං යනවා බායි.." ඈ ඊළඟට පාර හරහා පැනල දුවගෙන ගියේ ත්‍රිරෝද රථ නැවතුම දිහාවට

මං කට කොනකින් හිනා වෙවිම ඇගේ අංකය මගේ ජන්ගමයට ඔබාගත්තා

පැයකට පස්සේ මම උන්නේ මගේ කාමරේ. අම්මා තේකක් හදල ඇවිත් මගේ ලඟට දුන්න. පැයකට කලින් මං මලා නම් අම්මා ඉන්නේ මොන ගින්දරකින්ද කියල හිතුනු මගේ ඇස් වලට කඳුළු ආව.

"මොකෝ උණද" අම්ම මගේ නළලට අත තියල බැලුව. මං අම්මගේ අත අරන් කම්මුලට තියා ගත්ත

"නාකි හුරතලේ.. කකා බිබී ඉන්නේ නැතිව නරකද පලක් ප්‍රයෝජනයක් ඇති දෙයක් කලොත්" අම්ම එක්දහස් එකසිය එක් වෙනි පාරටත් අහල යන්න ගියා. අම්ම එහෙම කියන්නේ මං ගැන ඇත්තටම ආදරේට කියල ජිවිතේ පලවෙනි පාරට මට තේරුණා

මං තවදුරටත් කෙල්ලෙක් හින්ද මැරෙන්න යන මෝඩ කොල්ල නෙවීය කියන්න මං ඈට ඇමතුමක් ගන්න හිතුවේ රෑ. කතා කළා මිසක් නමක් ගමක් වත් අහගත්තු එකක් යෑ

"හෙලෝ.." හරි ඒ නම් ඇගේම කටහඬ තමා

"මම මේ කතා කරන්නේ අද බම්බලපිටියේදී හම්බවුනු කෙනා"

ඈ මොහොතක් නිහඬ උනා. ඊළඟට අර දඟකාර කටහඬින්ම "මොකද කරගත්තේ " කියල ඇහුවා

"මං නොමැරෙන්න තීරණය කළා" මං ඈට ඉස්තුති කළේ ඈ නැත්නම් මේ වෙලාව වන විට අපේ ගෙදර මලගෙයක් වෙන්න තිබුණු බව මම දැනන් උන්නු නිසයි

"කතා කලාට මං ඔයාගේ නමවත් දන්නේ නෑනේ"

"මං දිව්‍ය.." ඈ කිව්වේ මොහොතක නිහඬතාවයකින් පසුවයි

සති මාස වලට පෙරලිලා අවුරුදු තුනක් ගෙවුනත් මට දිව්‍යාව නැවත මුණගැහෙන්න බැරි උනා. ඒත් ඒ වෙද්දී මං ඈට ටෙලිපෝන් කෝල්ස් සිය ගානක් අරගෙන පැය දාස් ගානක් කතා කරලා තිබුණා. ඒ පැය දාස් ගාන ඈ ගැන කියා ගන්න බැරි තරන් ආදරයක් මගේ හිතට අරගෙන ආව

අන්තිමට මම ඈව මුණගැහෙන්න තීරණය කළා. ඒ වෙද්දී මම යම් ස්ථාවර තත්වයක , මගේම වාහනයක් එහෙම අරන් උන්නු නිසා

මුලින් ඈ මාව මුණගැහෙන්න කැමති උණේම නෑ. ඒත් සති තුනක් තිස්සේ නොනවත්වාම කරපු ඉල්ලීම් වල ප්‍රතිපලයක් විදියට ඈ මට ගෙදරට එන පාර කිව්වා

රතු රෝස මල් පොකුරකුත් අර ගත්තු මම , මගේ දුප්පත් වාහනේ මහා විසාල ගේට්ටුවක් ළඟ නතර කළා

ගෙදරටම නාකි උනු පෙනුමක් තිබුණු මනුස්සයෙක් ඇවිදින් ගේට්ටුව ඇරිය. මහා විසාල නොවුනත් සුඛෝපබෝගී පෙනුමක් තිබුණු ගේ දොරකොඩ පුටුවක වාඩි වෙලා මගේ කුමාරිකාවී හිටියා

පුටුවක් නෙවි.. ඒක රෝද පුටුවක්

මම දුක පුදුමය ඔක්කොම හංගගෙන මල් කළඹ ඇගේ අතට දීල සුබ පැතුවා.

ඒ ගෙයි සාලේ තමා මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම සාලේ. පවුලේ ඔක්කොම හිනා වේගෙන පින්තුර වල එල්ලිලා හිටියා. ඒ පින්තුර වල ජිවය උතුරනවා. දිව්‍යල දෙන්නෙක්ම ඉන්නවා පින්තුර වල. රෝද පුටු දිව්‍ය නෑ

"ඔයාට කියන්න ලොකුම ලොකු කතන්දරයක් තියෙනවා. මේක ඔයා කොහොම පිළිගනිද දන්නේ නෑ. මං දන්නවා ඔයාට මාව ලොකු ප්‍රෙහෙලිකාවක් කියල.."

ගෑණු ළමයෙක් පේර බිම එකක් ගෙනැල්ල මට දුන්න. මම කතාවක් නැතුව ඒක අතට ගත්ත

අපි බොහොම සංතෝසෙන් උන්නා. අපේ පවුලේ ඔක්කොම හය දෙනෙක්. අයියල දෙන්නයි. මායි දිව්‍යයි අම්මයි තාත්තයි.

"එතකොට..."

"මං බාග්‍ය.."

"ඔව් මං බාග්‍යා. මගේ නංගි දිව්‍යා. සුනාමිය එද්දී අපි ඔක්කොම හිටියේ යාල. රැල්ලට අහු වුනු මාවයි නංගිවයි බේර ගන්න ගිහින් අයියල දෙන්න ගහගෙන ගියා. අම්මටයි තාත්තටයි උනු දෙයක් අද වෙන තුරු දන්නේ නෑ. පලවෙනි රැල්ලෙන් කොහොම හරි අපි දෙන්න බේරුනත් මගේ කකුල් සෆාරි ජීප් එකට යටවෙලා තිබ්බ. දුවල බේරෙන්න පුළුවන්කම තිබුණු නංගි මාව බේර ගන්න මොකක් හරි හොය හොය ඇවිදින අතරේ දෙවෙනි රැල්ලත් ආව. එයා රැල්ලට අහුවුනේ මගේ ඇස් ඉස්සරහ දීමයි..

එයත් ගියා. මොකද්දෝ කරුමෙකට කකුල් දෙකම නැතුව මාව ඉතුරු උනා.."

මම ගල්ගැහිලා අහගෙන හිටියා. එහෙම නම් සුනාමි ඇවිත් අවුරුදු හතරකට පස්සේ මට මුණගැහුනේ කකුල් දෙකම නැති බාග්‍යද..

"ඔව්, මං දන්නවා ඔය හිතන දේ ගැන. එදා ඔයාට මුණ ගැහුනේ මගේ නංගිව. අපේ පවුලේ හැමෝම ඔය විදියට කරදරේ වැටෙන්න යන අයව නිතරම බේර ගන්න නිසා මට ඒක එච්චරම පුදුම හිතෙන දෙයක් නෙවෙයි. ඔයා මට ඒ විදියට කතා කරපු පලවෙනියත් නෙවෙයි. අන්තිමයත් නෙවෙයි. හැබැයි මේ කතාව ඉවරවෙනකන්ම කතා කරපු එකම එක්කෙනා ඔයා විතරයි"

බාග්‍යා එයාගේ පවුලේ ඇය ගැන කතා කළේ ජිවත් වෙලා ඉන්න අය ගැන කියනවා වගේ. එයාගේ පවුලේ කට්ටිය එහෙම උදව් කරපු කතා දෙක තුනකුත් මට කිව්ව. නොකිව්ව කතා බොහෝමයක් තියෙනවා කියලත් මට තේරුණා. පුදුමයකට වගේ මට බයක් නම් දැනුනේ නෑ

"මට සමාවෙන්න.. මං අවුරුදු තුනක් තිස්සේ දිව්‍ය වගේ ඔයාට කතා කලාට. කතා කරන එක නවත්තනවා කියල කොච්චර හිත හදා ගත්තත් තනිකම දැනෙන වෙලාවට මාත් ඔයත් එක්ක ඔහේ කතා කළා.." මම එන්න ලැස්ති වෙලා එලියට එනකොට එයා කිව්ව

මං හිනා වෙලා ඔලුව වනල එන්න ආව.

ඊට අවුරුද්දකට පස්සේ මම බාග්‍යව කසාද බැන්ද. ඒ ගොල්ලන්ගේ පවුලේ අයගෙන් උදව් ලැබුණු කට්ටිය දැනටත් සැරින් සැරේ අපිට කතා කරනවා.




Thursday, October 9, 2014

අපේ වෙඩිම අපි බලාගන්නම් - ස්තුතියි

මේ දිනවල රොටියා කෙටි චිත්තර පටි ගැන බොහෝ විමසිලිමත්ය. පින්තුරයක් හදා එහි රඟපාන්නට ඇත්නම් රොටියාට ඊට වඩා දෙයක් නැත්තේය. පහත දැක්වනුවේ සුදුසු කතාවක් සොයමින් ඔලුව අනික් පැත්තට හරවාගෙන කල්පනා කරන රොටියාට පහල උනු සංකල්පනාය. ඒවා එහෙමපිටින්ම ප්‍රබන්ධය. පින්තුරයේ නැත්තන් චිත්තරපටියේ නම මුලින් දක්වා ඇත (අපේ වෙඩිම අපි බලාගන්නම් - ස්තුතියි)

01:දිනය: එක්තරා දිනයකි
වෙලාව: ඒත් එක්තරා වේලාවකි
තැන: රොටියාගේ වාහනය තුල

රොටියා: (තාලයට) අනේ ඩිංගක් ඉන්නකෝ ඕ.. ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ ඕ..
ගෑණු ළමයා: මල සමයන්
රොටියා: (තාලයට) සිත මා සොරාගෙන ගියේ...
ගෑණු ළමයා: විකාර නවත්තන්නකො අනේ.. " යයි කියමින් රොටියාගේ විහිලුවට රොටියාගේ ගෙල සිරකරයි
රොටියා: (හුස්ම හිරවී මැරෙන අයුරු රඟ දක්වයි)

පහුවදා උදේ.
ගොසිප් සයිට් අංක 01: මිනීමරු ස්ත්‍රියක් ගෙල සිර කර සිදු කරන මිනී මැරුමක්! (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 02: රහසේ පටිගත කල අමු අමුවේ මිනී මැරුම (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 03: බේර ගන්න බැරි උනා. ඒත් මං වීඩියෝ කළා- මිනී මැරුමක ඇසින්දුටු සාක්ෂිකරු කේ.කරුණාපාල
ගොසිප් සයිට් අංක 04: හද කිලිපොලා යන සජීවී මිනීමැරුම- සංවේදී අය බලන්න එපා

පහුවදා හවස:
මරු පුවත්: මිනීමරු ස්ත්‍රියක් නිදැල්ලේ- පොලිස් පරීක්ෂණ දිගටම
ඇඩ්වාහිනී: සැප රිය ඇතුලේ - යයි මරු තුරුලේ....
රසපුවත් : මිනිමරුමක ඛේදවාචකය- මෙයින් පෙනෙන්නේ ජනතාවගේ පීඩනයයි - පාර්ලිමේන්තු මන්ත්‍රී ඛාන් පවසයි
කඩේපුවත්: ජ්‍යාත්ත්‍රන්තර කුමන්ත්‍රණක තවත් අතුරු ප්‍රතිපලයක්

02:දිනය: අඥාතයි
වෙලාව: උදේ
තැන:පිටකොටුව

ගෑණු ළමයා මෙලෝ සිහියක් නැතිව සුකුරුත්තන් තෝරයි. රොටියාට තුම්මුනින් දාඩිය දමා ඇත්තේ මදකට කලින් කෙල හලාගෙන කෑ වඩයක ආනුබාවයෙනි. ගෑණු ළමයා එන පාටක් නැත. රොටියා මදක් ඈතට ගොස් වටපිට බලා කිසිවෙකුගේ අවදානයක් යොමු වී නැති බව දැක බඩේ පිරි තිබූ වාතය අධෝ මාර්ගයෙන් පිටකරයි.

පහුවදා උදේ.
ගොසිප් සයිට් අංක 01: ප්‍රසිද්දියේ සිදු කරන පරිසර දුෂණය(වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 02: පරිසර අධිකාරිය මාර නින්දේ (වීඩියෝ සහිතයි)
ගොසිප් සයිට් අංක 03: මම පරිසර අධිකාරියට පැමිණිලි කළා. මේවා සාමාන්‍ය සිදුවීම් කියල පැමිණිල්ල ලියා ගත්තේ නෑ.-වීඩියෝ කල කේ.කරුණාපාල
ගොසිප් සයිට් අංක 04: පිටකොටුවේ ප්‍රසිද්දියේම සිද්ද කල මහා අපරාදය - මේවා මෙහෙම වෙද්දී අපි කොහොමද ඉන්නේ - පදික වෙළෙදුන්

පහුවදා හවස:
මරු පුවත්: මොහුව අඳුනනවාද? අංක XXXX අමතන්න- පොලිස් පරීක්ෂණ දිගටම
ඇඩ්වාහිනී: සුදුසු තැනක - නුසුදුසු *ඩය....
රසපුවත් : පොදු වැසිකිලි වල තත්වය බාල වීම හේතුවෙන් ජනතාව මහමග ප්‍රසිද්දියේ *ඩ අරිති
කඩේපුවත්: ජ්‍යාත්ත්‍රන්තර කුමන්ත්‍රණක තවත් අතුරු ප්‍රතිපලයක්

-පසු සටහන: අන් අයගේ පවුද්ගලිකත්වට හෝ සමාජීය වශයෙන් හෝ හානි වන සිද්දීන් රූපගත කොට ඒවා අන්තර්ජාලයට මුදා හැරීම රොටියා දැඩිවම හෙලා දකිනවාය


Monday, October 6, 2014

සදාචාරය , හැදියාව හා ක්ෂණික කෝපය

රොටියා මේ ලියන්නට යන්නේ නුවුමනා ලිපියකි. රොටියාගේ ගෑණු ළමයාගේ වචන වලින්ම කියනවානම් මගෝඩි ලිපියකි. නැත්නම් පොදු ජනයාව කෝප කල හැකි ලිපියකි.මේ වෙලාවේ කලයුත්තේ බ්ලොගයේ පල් හෑලි කුරුටු ගෑම නොව "එකෝමත් එක දවසක" කතාවේ අන්තිමම අන්තිම කොටස පල කිරීමය. (අන්තිම කොටස පල වීම කල් යන්නේ තනිකර රොටියාගේ ආත්මාර්ථකාමී තලුගැසිම නිසාය. කතාව ඉවරයක් වනවාට රොටියා කැමති නැත)ඒත් රොටියා රොටියෙකු නිසා හිත කියන්නේ මෙය ලියන්න කියාමය

පහුගිය දිනක රොටියාගේ ගෙදර කාන්තා පාර්ශවය, පිරිමි අපට එරෙහිව යුද්ද ප්‍රකාශ කල අතර නිවැරදි හේතුවක් අපට අනුමාන කර ගත නොහැකි වුනාය. හොඳම දේ මගහැර යෑම යයි විස්වාස කල රොටියාගේ පවුලේ ඇත්තෝ කොකු මග හැර එහාට මෙහාට පැනගත් අතර රොටියා නොදැනුවත්ම යාත්‍රා කොට තිබුනේ ගෑණු ළමයාගේ නිවෙස බලාය.උයන්නට හරි හැටි නොදන්නා මුත් විව්දාකාරයේ මෝස්‌තර කෑම හදනා ගෑණු ළමයා විසින් මොකක් හෝ අටමගලයක් හදා ඇතැයි රොටියාගේ හිත තුල හින් බලාපොරොත්තුවක්ද ගැහෙමින් උන්නාය. ඒවා මාරය. ඉන්ටර්නෙටයෙන් බලා ගන්නා කුමක් හෝ රෙසපියක් හදන්නෙමි යයි කියමින්, සුපර් මාර්කැට්ටු ගානේ රස්තියාදු වී, චීස් බටර් හා වෙනත් දේ යහමින් දමා හදා ගන්නා ඕනෑම වෙඩිමක්, ආබාදයකින් තොරව කෑ හැකි බව දෙකේ පන්තියේ එකෙකුට උනත් තේරෙන මුත් , ගෑණු ළමයා හිතන් ඉන්නේ ඇගේ සුපවේදී හැකියාව නිසා අදාළ කෑම රස උනු බවය. නුවමනා කතා කියන්නට ගොස් නිකන් ලැබෙන කෑම අහිමි කරගන්නට අකමැති රොටියා ද ඔය විත්තියක් නොකියා ගෑණු ළමයා හදනා ඕනෑ දෙයක් කා දමනවාය.

අදෝමැයි! ගෑණු ළමයාගේ ගෙදර ගෑණු උදවියද කාන්තා අයිතිවාසිකම් ගැන උද්ගෝෂණයක පෙර පුහුණු වීම් කරන ගානය. රොටියා යනවිටත් ටොපිය ලැබී තිබුනේ ගෑණු ළමයාගේ අසරණ මස්සිනාටය. මස්සිනාට වඩා කලඳක් මොලේ තිබූ ගෑණු ළමයාගේ තාත්තා කෙසේ හෝ ගෙදරින් පැන ගැනීමට සමත් වී තිබුණාය

හේතු බුත වූ සිද්දියක් නොදැන ආත බූත තත්වයට වන රොටියාගේ පැටලුම ලෙහන්නට සියල්ලෝම එකාවන්ව පැනගෙන ඉදිරිපත් වූවෝය

"ඔයා කියන්නේ හරිද වැඩේ.." - රොටියාගේ ගෑණු ළමයා
"බලන්නකෝ හැමෝම බලාගෙන ඉද්දි කරන නොසන්ඩාල වැඩේ" - ගෑණු ළමයාගේ අම්මා
"ඔයා හරි කියනවා නං ඔයත් මට කවද හරි කරන්නේ ඔය ටික තමයි" - ගෑණු ළමයාගේ අක්කා විසින් මස්සිනාට (අම්මේ මට ඩිවොර්ස් වෙන්න ඕනේ)
"ලැජ්ජයි"- ගෑණු ළමයාගේ නංගි

රොටියා ඉන්නේ අන්ඥකොරොස් වී වලිගය පාගාගෙන බව වැටහුණ ගෑණු ළමයාගේ මස්සිනා සිහින් හඬින් රොටියාගේ පැටලුම ලෙහන්නට වුනාය.

"මචං ඔය ෆයර් වෙලා ඉන්නේ බට්ටිගේ සින් එකට...."

"කවුද මචං බට්ටි කියන්නේ..."

බට්ටි කියන්නේ කවුද යන්න එදා රොටියා නොදැන හිටියාට දැන් රටම දන්නවාය. ඈ විදි සරණ ලියක් බව බොහෝ මාධ්‍ය වාර්තා කොට තිබූ අතර එහි වැරද්දක් ඇත්තටම රොටියා දකින්නේ නැත. කෙතරම් තහනම් කොට තිබුනද ඔය රස්සාව සිද්ද කරමින් පවුල් රස්සා කරන ගෑණු උදවිය ලක්ෂ ගානක් ඉන්නා රටක ඕක නීතිගත කරන්නම ඕනෑය. ඔවුන් කරන්නේද එක්තරා විදියකින් සේවයකි. ගෑණු ළමයින්ට මේ තරමින් හෝ පාරේ බැස යන්නට ඉඩ කඩ සැලසී තියෙන්නේ ඔවුන් නිසාය. නැත්නම් ඉන්නා තරන් ඔක්කෝම අසහන කාරයෝ සිය අසහනය වෙනත් විදි වලින් පිට කරගන්නවා ඇත

ඕනෑම වුර්තියකට ගරුත්වයක් ඇත.මිලක් ඇත. තමුන් ගේ සේවය නොමිලේ ලබාගන්නට තැත් කල පොලිස් රාලහාමිගෙන් අවසානයේ බට්ටිට ප්‍රසිද්දියේ අමානුෂික ලෙස පහර කන්නට සිද්ද වුවාය.
ඒ බට්ටි කියනා කතාවය....

හරි හමන් පිරිමියෙක් කවදාවත් ගෑනියෙකුට අතක් උස්සන්නේ නැත.. එසේම හරි හමන් ගෑණියෙක් කිසිදා පිරිමියෙකුගෙන් පහර කන්නේද නැත. රොටියාගේ මිතුරෙකුට මෙහෙම කියා තිබුනේ වෛද්‍ය මහාචාර්ය තුමෙකි

එයට අනුව බලන විට පොලිස් රාලහාමි හරි හමන් පිරිමියෙකු නොවේ.. එසේ නම් බට්ටි..

ලිපියේ ඉතිරිය ලියන්නට පෙර රොටියා විසින් අවධාරණය කලයුතු යමක් ඇත්තේය. මේ ලිපියේ හරය ඒ පහරදීම සාදාරනීකරණය කිරීම හෙම නොවේ.මොන තත්වයක් යටතේ වුවත් ගැහැණියෙකුට අතක් උස්සන්නට නරකය. අප සියලුදෙනාම මුලින්ම පණගැහුනේ මව් කුසයේදීය...

සිද්දිය ගැන නිවැරදිම අදහසක් පළකිරීමට ඉක්මන් නොවී, රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරික මිතුරෙකු ඇමතු කල ඔහු ගත්තේ පොලිස් රාලහාමිගේ පැත්තයි.

"මචං මුළු ටවුන් එකම හරියට රන් කරන්න සෑහෙන වැඩක් කරපු මනුස්සයෙක් බන් ඔය"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ ජනතාවය. කොළඹ හතේ ඉඳගෙන කොම්පියුටර් වලට මුහුණ ඔබන් ඉන්නා නෝනා මහත්වරු නොවේ

"ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ හරියට කොන්ට්‍රෝල් කළා. අහු මුළු වල කතා කර කර ඉන්න එහෙම දෙන්නේ නෑ. පටෝල යවනවා බස් එකේ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුර සිවලියේ, සුමන බාලිකාවේ , ෆර්ගසන් එකේ සිසු සිසුවියන් මිස කොළඹ ආනන්දේ රෝයල් එකේ විසාකාවේ ගැටව් ගැටිස්සියන් නොවේ

"ඉස්කෝලේ කොල්ලන් ඔය කට්ටියට සෙට් වෙන්න තිබ්බේ නෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රත්නපුරේ සැරිසැරූ ඉස්කෝල කොල්ලන්ම මිස කොළඹ නයිට් ක්ලබ් යන කොලු කෙල්ලන් හෙම නොවේ

"පව් බං. මිනිහගේ පවුලේ කට්ටියට දැන් පාරේ බැහැල යන්නත් බෑ"
එහි ඇත්ත නැත්ත දන්නේ රාලහාමිගේ පවුලේ ඇත්තන් මිසක කොළඹ ඉඳගෙන පව්කාරයාට ගල් ගසන නෝනා මහත්වරු නොවේ

"මචං, එවෙලාවේ උඹට එහෙම එකක් උනා නං උඹත් ගහනවා..(ඔහු පැවසු ඉතිරි හරිය මෙහි සඳහන් කල නොහැක)"
එහි ඇත්ත නැත්ත දන්නේ බට්ටි හා රාලහාමි ම මිසෙක අපි කවුරුත් නොවේ

කවුරු මොන බයිලාව දෙඩෙව්වත් මෙවෙද්දී බට්ටි කතාවේ වීරවරියත් , රාලහාමි දුෂ්ටයාත් වී අවසානය.රාලහාමි දුෂ්ටයා උනේ ප්‍රසිද්දියේ ගෑනියෙකුට තිරිසන් විදියට පැහැර දුන් නිසාය. රාලහාමිට එසේ පහරදෙන්නට සිද්ද උනේ තමුන් පිරිමියෙකු බව ඔප්පු කරන්නටය.

සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙකු දවස සරන්නේ අතිශය පිඩාකාරී වාතාවරණයක් තුලය. පාරේ රාජකාරිය කරන පොලිස් රාළහාමිලා තුල මේ තත්වය වැඩිය (අව්, වැසි දවස් වල තාර පාරකට නුදුරුව පැයක් හිටගෙන හිඳ බලන ලෙස මෙයට විරුද්ද ඔක්කොම කියවන්නන්ගෙන් රොටියා ඉල්ලා සිටිනවාය. එතකොට එහි රඟේ බලන්නට පුළුවන)

කියවන ගෑණු උදවිය රොටියාට සමා වෙත්වා! කනාගටුවෙන් වුනත් කියන්නට ඇත්තේ අපේ රටේ සමහර කාන්තාවන් සමහර තැන් වලදී කියවන කියවිල්ලට මුණ පුරා හතරක් පහක් අනින්නට හිතෙන බව ඇත්තක්ය යන්නය. අනික් පිරිමි ගැන නම් දන්නේ නැත . ඒත් රොටියාට නම් එහෙම හිතුනු වාර දහයක් පහළොවක් පමණ ඇත (මෙයට රොටියාගේ ගෑණු ළමයාගේ හෙම සම්බන්දයක් නැත්තේය. රොටියා කතා කරන්නේ මගතොටේ දකින කියන බවලත්තු ගැනය)

පිරිමි උදවියටත් මෙය අදාලය. සමහරු නීති කතා කරමින් එන්නේ කොක්කටමය. ඒ වෙලාවට හැකි ඉක්මනින් මගහැර යෑම නුවණැතිම ක්‍රියාවයි.

කොතරම් කෙන්තියකට පත් උනත් මගහැර පැනගැනීමට රොටියාට හැකිය. අවු වැස්සේ නිතිය ක්‍රියාත්මක කරන්නට වලිකන රාලහාමිට එසේ මගහැර යන්නට බැරි උනා වන්නට ඇත. ක්ෂණික කෝපයෙන් මාරාවේස වුවා වන්නටද හැක. බට්ටියට පාඩමක් ඉගැන්වීමට හිත බලකලා වන්නට හැක

අවසානයේ පාඩමක් ඉගෙන ගත්තේ රාලහාමිය..

සමාජය හදන්නට වසර තිස් ගානක්ම කැපවුණු රාලහාමි (රොටියා හිතන ආකාරයට) ක්ෂණික කෝපයෙන් වියරු වැටි ස්ත්‍රියකට පහර දෙන ආකාරය වටේ හිටි සිල් ඇත්තෙකුගේ කැමරාවේද සටහන් උනාය. සිල් ඇත්තෝ වටවී බලා උන්නා මිසෙක ගුටි කන ගැහැණිය හා පහර දෙන මිනිසා දෙපසට කරන්නට උත්සහ ගත්තේද නැත

මහමග මරා දැමුවද අපට වන්නේ ඔය ටිකය. සිද්දිය වීඩියෝ කරන්නට , මුනුපොතේ ඕපාදුප අඩවි වල පල කරන්නට සිය දෙනෙකු සුදානම්ව උන්නද , අපව බේරා ගැනීමට පැමිණෙන කෙනෙක් මේ ධර්මද්වීපයේ නැත්තේය. බට්ටිගේ යටත් වීම හෝ රාලහාමිගේ ප්‍රචණ්ඩත්වයට වඩා ඔබ්බට ගිය නරකම කතාන්දරය නම් එයයි.

ක්ෂණික කෝපයට කෙනෙකුව මිනී මරුවෙකු කල හැක්කේය.කෝපය පාලනය කර ගත යුත්තෝ අපි අපමය. මිනීමැරුවාට පසු මරපු එකා මිනී මරුවාය. මැරුම් කෑ එකා ගොදුරය. මිනී මරුවාව , මිනීමරුවෙකු කළේ මැරුම් කෑ එකා වන්නට පුළුවන. ඒත් ඒකා අනියම් මිනිමරුමකට වරදකාරයා වන්නේ නැත. ඌ මැරී අහවරය

අපට මිනී මරුවෙකු වන්නටද පුළුවන. වෙනත් කෙනෙකුව මිනිමරුවෙක් කරන්නටද පුළුවන. තවකෙකු මිනී මරණා දෙස බලා ඉන්නටද පුළුවන.
ඔක්කොටෝම වඩා මිනී මැරුමක් වලකන්නටද පුළුවන

මිනිසත් කම යනු එය නොවන්නේද?

Wednesday, September 17, 2014

දෙනෙත් අභියස පිපි ලිලී මල - රොටියාට පිළිතුරු දුන් මිතුරෙකුගේ නිර්මාණයකි. අයිතිය ඔහු සතුයි

දෙනෙත් අභියස පිපි ලිලී මල - දුටුව හද කිති කැවූ නියා
සිනාසෙන්නට නොසිතු හදවත - සලා විහඟුන් පත් පියා
ඉක්ම යන්නට කලින් ක්ෂිතිජය - එක් පතක් අන් සතු නියා
තනි පතින් මා මක් කරන්නද - බලා ඉන්නෙමි නෙත් පියා

සිනහ යදමින් තදින් බඳිමින් - දෙනෙත් සිරගෙයි අගුලුලා
ඇගෙන් ලද සෝ යකුළු පහරින් - යදම් බිඳ නිදහස ලබා
මදින් වියරුව ගිගුම් දෙවමින් - කෝප වූ ගජ මෙන් නොබා
බලෙන් වැසු නෙතු පියන් අතරින් - දුකින් හුනු කඳුළැල් ගලා

සඳක් කුමකට එසඳ කිරණින් - පහව යන්නට අඳුර නැතිනම්
මලක් කුමකට රුව සුවඳ නැති - අඩුම තරමින් ඵල නොදෙයිනම්
විලක් කුමකට පස් සියුම් පිපි - දැවෙන පවසට දිය වරයි නම්
හදක් කුමකට තවත් හදකින් - නැගෙන දුක් දැක සිනාසෙයිනම්

එදා අවදිව නෙත් කොනින් දුටු - සිහිනයට සිත ඇමිණුනා
නිදා අවදිව සොයන සඳ ඇය - බදා හිස අත් එසවුනා
මුදා හල මුත් නැගුනු සුසුමන් - හදේ ගින්දර ඇවිළුනා
නිවා ගන්නට නැගුනු සෝ ගිණි - පුරුදු කවියා සිහි උනා

නොදුටු හින්දා බොහෝ කලකින් - දකින්නට ඉපැදුනු පෙමින්
දන්නා කියනා බොහෝ අයගෙන් - විමසමින් විපරම් කරන්
ඇයිද "උඹ" කවි ලියන්නැත්තේ - අසනු රඬුගිලි දිගුකරන්
සොයාගෙන "ඔහු" අඳුරු යාමෙක - පා තැබිමි පෙදෙසට සොහොන්

පුරුදු කඳුලට නුහුරු සතුටට - ඉඩක් දී නොතබා තිතක්
සොඳුරු හැඩයට අකුරු අමුණා - කතා කියනා කවි හිතක්
බලා ගන්නට දෙනෙත් යොමමින් - සීත අඳුරට තව වරක්
නොහැක අදහනු පුරුදු කවියා - නොවේ දුටුවේ හොල්මනක්

හිරුට පුන්සඳ සිනාසෙන්නට - සොයන විට හිරු මැලවිලා
බඹර පහසට පිපි කුමුදු මල - අළුයමට පෙර පරවෙලා
නිමල ගංදිය පවර සිඳුතෙර - සිඹින්නට පෙර වියැලිලා
නුඹේ කවියා සොයා ගත්තද - මගේ කවියා මියැදිලා


රොටියා සහ ගෑණු ළමයාගේ ඩයට්

පහුගිය ටිකේ රොටියා නැට්ටටම ෆ්ලැට් වී උන්නු අතර දැන් කියාද එහි මහලොකු වෙනසක් නැත්තේය.කොටන්නට සත කාලක පණක් නැතිව කොට කොට උවද මේ පොස්ටුව කොටන්නේ රොටියාට අද සිදුවී ඇති අලකලංචිය හෙට කියවන ඔබටද සිද්ද වෙන්න පුළුවන් නිසාය. නිදාන කතාව මෙසේය.

හොඳින් කාබී සැනසෙන්නට පුරුදුව සිටි රොටියා , පහුගිය ටිකේ තරමක් දුරට බෝලයක් බවට පත් උනු නිසා හිතේ ඇති උනු ස්වබාවික කුතුහලය නැති කර ගනු වස් ඔපීසියේ මුල්ලක කාටත් අමතකව තිබූ බර තරාදියක සිටගත් විට තරාදියේ කටුව අනුකම්පා විරහිතව අනු පහේ සීමාව තෙක්ම උඩ නැංගාය. සියලු මහදෝස තරාදිය පිටින් යවා (තරාදිය සෑහෙන කලකින් බාවිතයට ගෙන නොතිබුණු නිසා) හිත නිදහස් කරගෙන සිටි රොටියාට , නැවත වරක් හිත කරදර කරගන්නට කරුණු යෙදෙමින් අඳුනන ඩොකෙක් ළඟ තිබූ තරාදියක්ද මුල් අගයම පෙන්නුම් කළාය.

සාමාන්‍ය ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ වූ ඉඳිආප්ප තැටි වල , ඉදිආප්ප හදන රොටියාගේ අම්මා , එදා රෑ රොටියා තිස් හතරවන ඉඳි ආප්පයට වගකියන විට , රොටියා දෙස බලා උන් බැල්ම රොටියාට එතරම් හිත් ගත්තේ නැති අතර , හතලිස් වෙනි ඉඳිආප්පයට අත තබන විට "කෑම පොඩ්ඩක් අඩු කලොත් නරකදැයි " විමසුවාය. දරුවන්ට පුළුවන් තරම් කවන්නටම වලි කන අම්මලා ගැන අසා තිබූ රොටියාගේ හදවත මේ ප්‍රකාශයත් සමග දෙදරී ගියාය

රොටියා: අම්ම කෙනෙක් ළමයෙක්ට කියන කතාවක්ද ඔය ?

රොටියාගේ අම්මා: උඹේ අම්ම හින්ද තමයි මං කියන්නේ

රොටියා:අම්මට ඔය පේන හැටි. මං පහුගිය ටිකේ නිදි මරපු හින්ද මාව පොඩ්ඩක් ඉදිමිලා

රොටියාගේ අම්මා: හොඳ පොඩ්ඩ. ලඟදි බර කිරුවද?

රොටියා: ඔව් වැඩිය නෑ. අම්මේ මං තව ඉඳි ආප්ප පහක් කෑවොත් තාත්තට මදි වෙයිද?

රොටියාගේ අම්මා:(පිළිතුරු නොදී රොටියා දෙස රවා බලමින් පිඟාන රොටියාගේ අත මායිමෙන් ඉවත් කළාය)

රොටියා: අම්මගේ ගණන්. මං මේ කන්න ඕනෙකමට ඇහුව නෙවෙයි. අපරාදේ අහක යන නිසයි ඇහුවේ

රොටියාගේ අම්මා:උඹේ බර කීයද

රොටියා: අනු පහක් හයක් විතර. වැඩිම උනොත් අනු හතක් ඇති

රොටියාගේ මේ ප්‍රකාශයත් සමඟ රොටියා අදි තරබාරුවෙන් පෙලේයයි භීතිකාවෙන් පෙලෙන්න වූ රොටියාගේ අම්මා රොටියාගේ කෑම සිමා කිරීමෙන් නොනැවතී ඒ පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පෙළඹුණාය.

සති තුනක් පමණ බෙල්ල කඩාගෙන වැඩ කිරීම නිසා අතුරුදන්ව සිටි ගෑණු ළමයා , වහාම මුණගැසෙන ලෙස දන්වා ඇමතුමක් දුන්නේ ඊට පහුවෙනිදාය

යකා උනත් දකින්නේ සති තුනකට පසුව නිසා බොහොම රොමෑන්තික මුහුණක් දමාගෙන (දවල්ට කන්නේ කොහෙන්දැයි හිතමින්) ගෑණු ළමයාව මුණගැහෙන්නට ගිය රොටියා මුහුණ දුන්නේ අතිශය බියකරු අත්දැකීමකටය

රොටියා: මං ආවා

ගෑණු ළමයා:(පුදුමයට පත්වූ මුහුණෙන් මොනවදෝ මුමුණයි)

රොටියා: මොනාද අනේ මුමුනන්නේ. ඇහෙන්න කියන්නකෝ..

ගෑණු ළමයා: අම්ම කිව්ව හරි..බලන්න ඔයාගේ කැත. අලියෙක් වගේ

රොටියා: මේ අපි මුලින් මොනා හරි කාලා ඉමුද? ඊට පස්සේ ඕනේ තරන් මට බනින්න

ගෑණු ළමයා: හරි යමුකෝ.. මම ඩ්‍රයිව් කරන්නන්

ඉතින් තමුන්ව ඉතාමත් හොඳ ආපන ශාලාවකට ගොස් පුදුම කරවන්නට ගෑණු ළමයාගේ රහස් සැලසුමක් ඇතැයි ප්‍රීතියෙන් ඔකඳ වූ රොටියා (මින් පෙර ඈ එවැනි දේ සිද්ද කොට ඇත්තේය) රියදුරු අසුනට යාබද අසුනේ හරි බරි ගැහුනාය

හොඳ කෑම ගැන රසවත් හීන අතරින් කිමිදෙමින්, ඒවා ගැන දොඩවමින් උන් රොටියා ගෑණු ළමයා අරෙහෙන් මෙහෙන් හරවමින් යන්නේ මොන තුත්තු කුඩියකදැයි වද වුනේ නැත. නමුත් අන්තිමට ඈ වාහනය නැවතූ තැන නම් වුයේ ආපනශාලාවක පෙනුම හෙම නම් නොවේ

පොඩි වැඩක් ඇතැයි සම්යප්‍රයෝගයක් දමා ගෑණු ළමයා කෙසේ හෝ රොටියාව ඇතුලට දක්කාගෙන ගිය අතර , කෑම ගැන සිහින් දකිමින් ගිය රොටියාට සිද්ද වුයේ අහාර උපදේශකයෙකු මුණ ගැසෙන්නටය. රොටියාගේ බර හා මේදය ගණන් තැබූ උපදේශකවරියගේ ඇස් නලල්ගත වූ අතර ඈ පැය දෙකක් තිස්සේ හාරාඅවුස්සාගෙන අවුස්සාගෙන ගොස් අවසානයේ රොටියාට ඩයට් ෂිට් යයි කෙහෙල් මලක් දුන් අතර බඩගින්නේ ඉඳීමට වඩා වැඩි යමක් එහි තිබුනේ නැත.

ඉන් නොනැවතුණු ඒ ස්ත්‍රී තොමෝ වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝ පහලොවකින් වත් බර අඩු කර නොගතහොත් නුදුරු අනාගතෙයේම රොටියා ලෙඩෙකු වනු ඇතැයි රොටියාගේ ගෑණු ළමයාට අනතුරු අගවන්නටද යෙදුනාය. එතැන් සිට රොටියාගේ ජිවිතයේ මල් සමය නිමාවී ඇති අතර මේ දිනවල කනවා යයි හිත රවට්ට ගනිමින් ලෙව කන නිසා රොටියා තෝන්තු වී ඇත්තේය.

මේ දිනවල පැය දෙකතුනකට වරක් රොටියාට ගෑණු ළමයාගෙන් ඩයට් ඇමතුමක් ලැබෙනවාය

ගෑණු ළමයා: හෙලෝ රොටියා කෑවද?

"මොනාද කෑවේ?"

"අද බර කිරුවද?"

"බර කියද?"

"ෂෝක් අනේ . ග්‍රෑම් පන්සියක්ම අඩුවෙලානේ. අපි ගිය තැන හොඳයි නේද අනේ සල්ලි ටිකක් වැඩිපුර ගත්තට"

ඕනෑ හත්තිලව්වක් වෙද්දෙන් කියා කාගෙන කාගෙන යන්න හිතෙන්නේ ගෑණු ළමයා ඔන්න ඔය අන්තිම වාක්‍ය කියද්දිය. බැරි අමාරුවෙන් නොකා ඉන්නේ රොටියාය. ඒත් සල්ලි ගන්නේ අර කෙහෙල්මල් ඩයට් උන්දෑය.

ඒක හරියට වැසිකිලි පහසුකම් සපයා මුදල් ගන්නවා වැනි වැඩකි. ඔක්කොම කරන්නේ අපිය. ඒ කොට එව්වන්ට මුදල් දෙන්නත් ඕනෑය..