Saturday, January 18, 2014

රොටියාගේ ගෑණු ළමයාගේ පවර් ස්ටියරින් විල්

රොටියාගේ ගෑණු ළමයා පාසල් ගොස් ඉවරවුණු වහාම ඊළඟට පටන් ගෙන ඇත්තේ රියදුරු පුහුණු පාසල් යන්නටය. ඒ ලයිසොම ගත්තේ කෙසේදැයි රොටියාට බරපතල ගැටළුවක් තිබෙන මුත් ඈ කෙසේ හෝ රියදුරු විබාගය පාස් වී රියදුරු බලපත්තරයක් අරගෙන ඇත්තේය. රොටියා පසුව දැනගන්නට යෙදුනු පරිදි ඈ මුලින්ම ගෙදර වාහනය එලවන්නට කියා අරගෙන ඉතා උත්කර්ෂවත් අන්දමට වාහනයට හා ගෙදර තාප්පය යන දෙකටම බඩු හම්බ කොට ඇත්තේය.

යටගිය කතා කෙසේවෙතත් ඈ රොටියාට මුණගැහෙන විට ලයිසොම මිසෙක වාහනයක ක්ලච් එක සහ ඇක්ස්සලේටරය වෙන වෙනම හඳුනා නොගන්නා තත්වයට පත්වී සිටියාය. කෙල්ලෙක් යාලුවීමේ ප්‍රීතියෙන් ඔකඳ වී සිටි රොටියා, ගෑණු ජාතියේ ජාන ගැන හරි හැටි අවබෝදයකින් තොරවම, ප්‍රේමයෙන් මුසපත් වී අන්ධ වී සිය පෙම්වතියට රිය පැදවීම පුරුදු කරන්නට ඉක්මන් උනාය.

මුලින්ම වාහනයේ කොටස් ද, ඊළඟට වාහනය පදවන ආකාරයද කියා දීමෙන් අනතුරුව සුබ මොහොතින් රොටියා ඈ අතට සුක්කානම දුන්න දවස අද මෙන් මතකය. පලවෙනි වතාවේ ඈ ජයග්‍රාහී ලෙස වමට සිග්නල් දමා දකුණට හරවා යතුරු පැදියක ගිය අයෙකුට එලොව පොල් පෙනෙන තත්වයට පත් කල අතර දෙවන දවසේ අලංකාර අන්දමට නවතා තිබූ ත්රි රෝද රථයක පිටුපසට ඇන්නාය. ඒවා කිසිවකින් පාඩමක් ඉගෙන නොගත් රොටියා ඈට කෙසේ හෝ රිය පැදවීම ඉගැන්නු අතර වැඩි කල් නොයවාම රොටියා සහ ඈ අතර මගතොට සංවාද පහත පරිදි විය

ගෑණු ළමයා: රොටියා මොකද්ද අනේ ඔයා මේ යන ලේන් එක. වමට ගන්න වමට
රොටියා:..
ගෑණු ළමයා: දකුණට ගන්න. ඔය ඔය පෙන්නේ නැද්ද ටිපර් එක
රොටියා: නෑ
ගෑණු ළමයා: ඔයාට නං එලවන්න කියල දෙන්න වෙනවා මොකද්ද අනේ..
රොටියා:..
ගෑණු ළමයා: රොටියා ටවුන් එකේ ස්පීඩ් ලිමිට් එක 40. ඔන්න හයියෙන් එහෙම යන්න එපා

නොබෝ කලෙකින්ම ඈ තමා රිය එලවීමේ කෙල පැමිණියෙකි යයි අධි තක්සේරුවකට පැමිණි අතර දැන් ඈ ගෙදර වාහනය හා රොටියා ගේ වාහනය යන දෙකම තැලීම් සිරීම් වලින් අලංකාර කරමින් රොටියාට ද රිය පැදවීම පුහුණු කරමින් සිටියි

අද නිවාඩු දවස නිසා රොටියා නිදහසේ කා බි සැනසෙනවාත් සමගම ගෑණු ළමයාගෙන් ඇමතුමක් ආවේය.
ගෑණු ළමයා : රොටියා මාර වැඩේනේ
රොටියා: මොකද්ද
ගෑණු ළමයා : මම තනියම වාහනේ ටවුන් එකට ආව. නවත්තල කඩේට ගිහින් එද්දී වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑනේ
රොටියා: ගියර් එක පාර්ක් එකේ නැතුව ඇති. බලන්න පොඩ්ඩක්
ගෑණු ළමයා: කොහොමද බලන්නේ?
ඉතින් ඊළඟට රොටියා විනාඩි දහයක් තරම් වූ වේලාවක් ඈට ගියර් එක පාර්ක් වැටි ඇත්දැයි බලන ආකාරය පැහැදිලි කළාය.
ගෑණු ළමයා: ගියර් හරි. ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑනේ
රොටියා: බලන්න ස්ටියරින් විල් එක කැරකෙනවද කියලා.
ගෑණු ළමයා: ඔව්. හරි හරි
රොටියා: බලන්න ගියර් ලොක් කරන බටන් එක එබිලද කියල.
ගෑණු ළමයා: ඒක කොහෙද තියෙන්නේ?
රොටියා ඒ බොත්තම සොයා ගන්නා ආකාරය විනාඩි පහක් පමණ පැහැදිලි කරන්න යෙදුනාය
ගෑණු ළමයා: හරි ඇද්ද
රොටියා : ( ඔබන්න ඕනේ බොත්තමක් ඇද්දේ කෙසේදැයි කුතුහලයට පත් වෙනවාත් සමගම)
ගෑණු ළමයා: හයියෝ බොනට් එක ඇරුනා වගේ.. මොකද්ද අනේ. ඔයාට කිසිම දෙයක් හරියට කියන්න බෑනේ. දැන් මොකද කරන්නේ
රොටියා: බොනට් එක වහන්න.
ගෑණු ළමයා: කොහොමද වහන්නේ?
රොටියා: වාහනෙන් බැහැල ගිහින් බොනට් එකට අත කියල තදකරන්න
ගෑණු ළමයා: හි හි (බොනට් එක වසනවායයි සැක කල හැකි ශබ්ද ගණනාවකට පසු). හරි
රොටියා: ( අහස පොලව ගැටලන්න කල්පනා කරමින්) ස්ටියරින් විල් එක කැරකෙනවත් නම් මොකද්ද දන්නේ නෑ ලෙඩේ. වාහනේ ඔහොමම ලොක් කරලා තියල ඔයා ත්රයිෂෝ එකක් අරගෙන ගෙදර ගිහින් කා එක්ක හරි එන්න
ගෑණු ළමයා: රොටියා ස්ටියරින් විල් එක කැරකෙන්නේ නෑනේ.
රොටියා : දැන් ඔයා කිව්වේ කරකැවෙනවා කියල
ගෑණු ළමයා: නෑ මං කිව්වේ නෑ. ඔයාට පිස්සු
ඉතින් ඊළඟට රොටියා මහත් වූ වෙහෙසක් දරාගෙන ඈට ස්ටියරින් විල් එකේ ලොක් ඇරගන්නා ආකාරය පැහැදිලි කළාය. ඊටපසු ඈ මහත් උජාරුවට රිය පදවාගෙන ගෙදර ගියාය.
පසු සටහන: ස්ටියරින් විල් එක කැරකැවෙනවාදැයි රොටියා මුලින්ම නොඇසූ බවට මේ ටිකකට කලිනුත් ඈ මා හා වාද කළාය. දැන් ඈ හිතා ඉන්නේ රිය සම්බන්ද ශාෂ්ට්‍රපති උපාදියක් කල ගානටය. ඒ වරුණේ හරියටම බලන්න පුළුවන් වන්නේ වාහනයේ රෝදයක් ගිය දාටය


6 comments:

  1. Balan yanakota kello okkoma ekai wage machan...😎

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පිට ඔපේ වෙනස් උනාට හැම කෙල්ලම එකම අච්චුවේ නේද බං!

    ReplyDelete
  4. හැක් හැක් හැක්..!
    නො කමෙන්ට්ස් මචං නෝ කමෙන්ට්ස්!

    ReplyDelete