Sunday, January 5, 2014

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!


ඉඳලා ඉඳලා රොටියා මේ අවුරුද්දේ පලවෙනි පෝස්ටුව දැම්මාය. මෙච්චර දවස් මොන තුත්තුකුඩියක වහන් වී සිටියේ යයි අහන්න එපාය. හිරේ නම් හිටියේ නැති බව සහතිකෙන්ම කියන්න පුළුවන්ය. මේ අවුරුද්දේ රොටියා ඉස් ඉස්සරවෙලාම මේ ඊයේ පෙරේදා උසස් පෙළ ප්‍රථිපල ලැබූ කස්ටියට නැවත වරක් සුබ පතනවාය. රොටියා ඔවුනට පණ්ඩිත කමක් කියන්න කැමැත්තෙන් සිටිනවාය. ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු පැගිරි ගැටවු ගැටිස්සියනුත් අවවාද අනුසනා ඇතුලත් පොස්ටු දානවා රොටියා දැක ඇති බැවින් රොටියාගේ පණ්ඩිත කම සියල්ලෝම ඉවසා වදාරත්වා!

උසස් පෙළ යනු ඔබේ අනාගතයම නොවේ. එය ඔබ යන දිසාව තීරණය කරන්නක් පමණි

උසස්පෙළ සමත් වී තමුන් බලාපොරොත්තු වූ විශ්වවිද්යා ලය සඳහා තේරෙන මට්ටමට ප්‍රථිපල ගත් ඔබට සුබ පතමි. මීළඟ අවුරුදු කීපයත් නිදහස් අද්යාපනයේ උපරිම ප්‍රථිපල නෙලා ගැනීමට ඔබ වාසනා වන්තය.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව දෙමවුපියන්ගේ දොසාරෝපණ වලට ලක්වෙන ඔබ වාසනාවන්තය. ඔබ ගැන, ඔබේ අනාගතය ගැන ඉතාමත් වදවෙන, ඔබට කෙසේ හෝ උසස්ම අද්යාපනයක් ලබාදීමට සිහින දකින මවුපිය දෙපලක් ඔබට ඇත. මවුපියන් ලෝකය ගොඩ නගන්නේ දරුවන් මතය. ඔවුන් බනින්නේ ඔබට ආදරය කරන නිසාය.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව, දෙවන හෝ තෙවන උත්සාහය ගැනීමට අදිටන් කර සිටින ඔබ වාසනාවන්තය. ඔබේ සිත තුල උත්සාහය හා අදිෂ්ටනය තිබේ. ඔබට කල නොහැක්කක් නැත.

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිව, ඊළඟ උත්සාහය සිදු නොකොට, ඔබට අවශ්‍ය වෙන මාවතක් කෙරෙහි යොමු වූ ඔබ වාසනාවන්තය. ඔබට නිදහස් අදහස් ඇති මව්පිය දෙපලක් සිටිති. ඔබ ඉතාමත් නිර්බිත තීරණයක් ගෙන ඇත. ඔබේ අනාගතය ඔබේ කැපවීම මත ගොඩනගා ගත හැකිය

උසස්පෙළින් බලාපොරොත්තු වූ මට්ටමට ලඟා වීමට නොහැකිවූ ඔබව රොටියාට තේරුම් ගත හැක. අවුරුදු කීපයකට පෙර රොටියාද එම ඉරණමට මුහුණ දුන් කෙනෙකු වන නිසාය. නමුත් කැපකිරීම සහ අවශ්ය තීරණ අවශ්යට වෙලාවට ගැනීම නිසා රොටියාට රොටියා බලාපොරොත්තු වූ තැනට යන්නට හැකිවුනාය. රොටියාට රොටියා ගැනම ආත්ම වර්ණනාවක් ලියා පළකර ගැනීමට උවමනා නැත. මිනිස්සුන්ට හරියන හා වරදින තැන් ඇත. මා මේ කියන්නේ ගෑණු ළමුන් හා පිරිමි ළමුන් යන දෙගොල්ලන්ටමය. කවම කවදාවත් තමුන්ගේ ජීවිතය වෙනත් කෙනෙකු මත යැපීමට ඉඩ හරින්න එපාය. තමුන්ගේ දෙමවුපියගෙන් උවත් යැපෙන්න පුළුවන් ප්‍රමාණයක් ඇත.අවුරුදු දහනමයක්, විස්සක් කියන්නේ ඔබට ඔබ ගැන තීරණයක් ගත හැකි වයසකි. ඔබේ අනාගතය ගැන ඔබම තීරණය කරන්න. දන්නා කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තාට කමක් නැත. නමුත් අන්තිමේදී ගන්නා තීරණය ගැන වගකීම ඔබ සතුය
.
මවුපියන් කියපු පලියට බයෝ කර, මෙඩිකල් කොලේජ් ගොස් දොස්තර කෙනෙක් වී, අවුරුදු තිස්පහේදී ලෙඩෙකුට වැරදි බෙහෙතක් දී ලෙඩා මැරුණු පසු, “මම දොස්තර කෙනෙක් උනේ කැමැත්තෙන් නෙමෙයි, අම්මලා කියපු නිසා, අම්මලා තමයි මාව මෙතෙන්නට ඇදලා දැම්මේ “යි කීම, අමු කුහක කතාවකි. ඔබ ගන්නා තීරණයේ ප්‍රතිවිපාක කිසිම දවසක කාගෙවත් පිටට දාන්න එපාය. කවුරුත් කී පලියට ඔබේ අනාගතයේ වැදගත්ම සාදකය හෙවත්,තව අවුරුදු පහකින් හෝ හයකින් ඔබ ඉන්නේ කොතැනද යන්න තීරණය කළේ යයි කීම පල් මෝඩ කතාවකි.

ඉතාමත් සැපපහසු දිවියක් ගෙවන ඔබේ ඉංජිනේරු සහෝදරයා, ඔබට ගණිත විෂය දාරාව තෝරාගැනීමට උපදෙස් දෙන්නේ ඔහු එහි ප්‍රතිවිපාක දන්නා නිසාය. ගණිතයෙන් අසමත් වූ කල, “මම කරන්න හිටියේ ආට්ස්, අයියා තමා මැත්ස් කරන්න කිව්වේ. මගේ අනාගතය කෑවේ අයියා” යි කීම අතිශය ද්වේශ සහගතය. ගණිතය විෂය ධාරාව තෝරාගත්තේ ඔබය. එහි අතුරු ප්‍රථිපල ඔබ සතුය.

කවමදාවත් අකමැත්තෙන් දෙයක් තෝරාගන්න එපාය. මේ සියලු දෙයිහි අවසාන බලාපොරොත්තුව සතුටින් සිටීමයි. ඔබ ඔබට සතුටින් සිටීමට හැකී මාවතක් තෝරා ගන්න. ඔබට අවශ්‍ය දේ ඔබ ලබා ගන්න.




2 comments: