Monday, June 23, 2014

මේ හොඳටම ඇතිය

රොටියා සිය බ්ලොග් පිටුව පටන් ගත්තේ තමුන්ගේ ආගිය කතා අනෙක් ඇය සමග බෙදාහදාගෙන අහිංසක රසාස්වාදයක් ලබන්නටය. අප සියලුදෙනාම වටවී තිබෙන සමාජ බැමි රොටියා නමැති කඩතුරාවට මුවා වී සිටින මටද පොදු නමුත් ඒවා රොටියාට අදාළ නැත. එනිසා රොටියා වී සිටීම මට අසීමිත ප්‍රීතියකි.
රොටියා සිය බ්ලොග් පිටුව වටා කිසිම වර්ග හෝ ජාති වාදයක් ගොඩ නැගුවේ නැත. බෞද්ධ පරිසරයක හැදී වැඩි, කතෝලික පාසලක අද්‍යාපනය ලබා දෙමල , මුස්ලිම්, බර්ගර්, සිංහල ආදී සියලුම ජාතින් වැඩ කරන ආයතනයක සේවය කරන රොටියාට එහෙම කිරීමට අවශ්‍යද නැත. පන්සලේ බෝධිපුජාවද පල්ලියේ උදෑසන පුජාවද රොටියාට එකසේ හුරුය
රොටියා පමණක් නොව රොටියාගේ සම පරම්පරාවේ බොහෝ දෙනෙකුද ඊට උඩ යට පරම්පරාවල බොහෝ දෙනෙකුද එසේම සිතන පතන බව දනිමි.පහුගිය දිනවල රටේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුල "අනේ මං නං ඕවාට නෑ, මම ලියන්නේ සරල කතා " යයි පවසා අත පිසදා ගැනීමට මට හැකිය, නමුත් මා තුල ජීවත්වෙන රොටියාට එසේ කරන්නට බැරිය.
රොටියා මේ ලිපිය ලියන්නේ අතිශය හිතේ වේදනාවකින් හා තිගැස්මකිනි. එසේ වන්නට මුලිකම හේතුව වුයේ කව්දෝ විසින් ෂෙයාර් කර තිබූ වීඩියෝවක් නැරඹීම නිසාය. වීඩියෝවේ ගැහැනුන් හතර දෙනෙකු අඩ නිරුවතින් දන ගසාගෙන සිටි අතර ත්‍රස්තවාදීන් පිරිසක් ඔවුන් වෙත තුවක්කු මානාගෙන ඔවුන්ට මිනිත්තු ගානක්ම මරණ බය දනවා, ඔලු වලට වෙඩි තබා ඊළඟට ඔවුන්ගේ සිරුරු පොරෝ සහ පිහි වලින් කැබලි කර දමන අති බයානක වීඩියෝවකි.
ඒ වීඩියෝව නරඹා , ඊයේ රෑ නින්ද නොගියේද, හිසරදයක් හට ගත්තේද ඊළඟට අනාගතය පිලිබඳ මහා බියක් හටගත්තේද රොටියා නපුන්සකයෙක්වත්, දේශප්‍රේමියෙක් වත්, ජාති ප්‍රේමියෙක් නිසාවත් නොව රොටියා යනු ලෙයින් මසින් සෑදුනු මිනිසෙකු වන නිසාය

අද දින වන විට ලංකාවේ බොහෝ දෙනෙකුට ලංකාව හැරදමා පිට රටවලට බඩගෑමේ පිස්සුවක් ඇති බව රොටියා ඇතුළු සියල්ලෝම දන්නවාය. අර රට අරෙහෙමයි, මේ රට මෙහෙමයි ඒකට අපේ රට යනාදී වශයෙන් කවුරු මොනවා කිවත් රොටියාට නම් හොඳම රට ලංකාවය. යුද්ධයට පෙර නම් අපි හැමෝටම යම්කිසි ජිවිත අවදානමක් තිබූ බව ඇත්තය. යුද්ධය නිසා අපේ රටට මහා නායකයන් බොහෝ දෙනෙක්ම අහිමි වූ බව ඇත්තය. දරුවන්ට දෙමව්පියන්ද , දෙමව්පියට දරුවෝද අහිමි වුනු බව ඇත්තය. යුද්ධය නිසා මෙරටට දරුණු විනාශයක් වුනු බව ඇත්තය. ඒ නිසා යු.ඇන්.පී ද, ශ්‍රී ලංකාද නැත්තන් ජේ.වී.පි ද යන්න නොසලකා ,සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් යුද්ධය නැවතීම ගැන රොටියා සතුටු වෙනවාය.

අපේ රටේ කෙතරම් දරුණු යුද්ධයක් තිබුනත්, ශ්‍රී ලංකාව හැමදාමත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයව තිබූ බව රොටියා ඇත්තටම විස්වාස කරනවාය. කරුණාකර ඔබේ දෙනෙත් වසා සිටින කඩතුරා මුදවා වටපිට බලන්න. සිංහලද්වීපය එකල සිටම ඕනෑම කෙනෙකුට නිදහසේ වාසය කරන්නට ඉඩදුන් අබය භූමියකි. රොබර්ට් නොක්ස් ගේ එදා හෙළදිව කියවාගෙන යන විට, එදා සිටි අපේ මුතුන් මිත්තන්, ඇල දොලේ හිටි මත්සයන්ට පවා නිදහසේ වාසය කරන්නට ඉඩහැර තිබූ බව අවබෝද වෙනවාය.

මෙතරම් ධාර්මික රටක , එතරම් දරුණු යුද්ධයක් ඇරඹුණේ ඇයිදැයි යන්නට වඩා ඒ හේතුවෙන් තමුන් සමග එකට කාබී හිටි රාජලා, කමලිනිලා ගිනි ලා මරන්නට තරන් අපි නිහින වුයේ ඇයිදැයි බරපතල ප්‍රශ්නයකී. යුද්ධය ඇරඹුවේ ප්‍රභාකරන්ය. නමුත් ඔහු මලේ අන්තිමටය. ඔහු මැරෙන විට යුද්ධයෙන් විය යුතු හරිය සිංහල හා දෙමල දෙගොල්ලන්ටම සිදුවී තිබුණි. තමිල්නාඩුවේ ජයලලිතලාලා නැවත මතු කරන්න හදන්නේ එන්න ඒ යුද්ධයය. යුද්ධය ඉවර උනා කියා සිංහල මිනිස්සුන්ට පමණක් අමුතුවෙන් ලැබුණු දෙයක් නැත. මුස්ලිම්, බර්ගර්, දෙමල, සිංහල හැමෝටම මරණ බයක් නැතිව නිදහසේ වාසය කරන්නට පුළුවන් වාතාවරණයක් නැවත ලැබුනා විතරය. තමිල්නාඩුවේ ඉන්නේ දෙමල ජාතිකයන්ය. අරාබියේ ඉන්නේ මුස්ලිම් ජාතිකයන්ය. ඒත් අපේ මේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන්ය. අපේ රට එහෙම රටකි.

අන්න එහෙම රටේ , සුලුතරයක නිර්ලජ්ජි හැසිරීම නිසා රට හැර ගිය ශ්‍රී ලාංකිකයන් අදටත් ලොව පුරා ඉන්නවාය. ඉන්දියාවේ චෙන්නායි පැත්තට ගොස් බලන්න. අදටත් ශ්‍රී ලංකාවට අපේ රට කියන දෙමල ජාතින් කොටසක් එහි ඉන්නවාය.

මේ කතාව තුල මෙන්න මෙහෙම දෙයක්ද ඇත. අයිතීන් දිනාගැනීමේදී හෝ, පහසුකම් ලබා ගැනීමේදී හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී ශ්‍රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් උනාට , මොකක් හෝ නිර්ලජ්ජි හැසිරීමක් සිදු වූ වහාම එය බැර වන්නේ සිංහල ජාතීන්ගේ ගිණුමටය. එතැනදී පමණක් ජාතිය මුලට පැමිණෙන්නේ ඇයිදැයි යන්න රොටියාට නම් වැටහෙන්නේ නැත

මීට වසර හත් අටසීයකට පළමුවත් බුද්ධාගම ප්‍රධාන කොටගෙන සිටි සමාජයක නානාප්‍රකාර දෙවිවරු පැමිණ පදිංචි වන විට, හවසට පන්සලට ගොස් මල්පහන් පුජා කොට එන රටවැසියන් කලබල වුයේ නැත. ඒ මෙත්තා, මුදිතා, කරුණාවෙන් සැදුනු හිත්වල තිබුණු හික්මීම හා ශික්ෂණය නිසාය. ඔවුන් කැති පොලු ගෙන අනයාගමිකයන්ව කඩු ගාන්නට ගියේ නැත. ඒ ශ්‍රී ලාංකිකයා තුල තිබූ නිවට කම නිසා නොවන්නේය. මේ සුන්දර අභය භුමිය තුල වෙන ආගමක් වැළඳ ගත්තයි කියා , නඩු දමා මරණ දණ්ඩනය දෙන්නේ නැත.

තමුන්ගේ බිරිඳ හා දරුවන් නිදි ඇන්දේ ගිනි තියා මරා දමන්නේ අන්න එහෙව් මුතුන් මිත්තන්ගෙන් පැවතීගෙන එන දරු මුනුපුරන්ය.රොටියා විස්වාස කරන විදියට ඔවුන් සහ අසූ ගණන් වල එලි බැස්ස ජාතිවාදීන් අතර වෙනසක් නැත්තේය. ඔවුන් සියල්ල මිනිමරුවන්ය. නමුත් අද වන විට ඔය මිනීමරුවන් ඉන්නේ සුළුතරයකි. බහුතරය බුද්ධිමත්ය . එනිසා නැවත වතාවක් එවැනි කලබලයක් ඇතිවීමට ඇති ඉඩකඩ බොහොම අල්පය. තමුන්ගේ ගමේ රටේ ඉන්නා අයගේ ගෙවල් දොරවල් ගිනිබත් කළා ට විසඳෙන ප්‍රශ්නයක් නැත. අපි එය හොඳින්ම දනිමු

රොටියා කලකට පෙර යම් පෞද්ගලික ආයතනක ඉගෙන ගන්නා සමයේ එකා පිට ඇලි හිටි පෙම් යුවලක් එම ආයතනයටම මහත් හිසරදයක් වී තිබුනේය. වෙන කිසිවෙකු හා ආශ්‍රයක් නැතුව, තමුන්ගේම ලෝකයක සිටි ඔවුන් දෙදෙනා මුලින්ම හැසිරුනේ ඉතා සාමාන්‍ය ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ලෙසය. මාස කිහිපයක් යද්දී ගෑණු ළමයාගේ සාය දෙපතුල ලඟට දික් විය. ඉනුත් පසු හිස වටා රෙද්දක් එකතු විය. පාටමාලාවේ අවසාන කාලයේ ඔවුන් දෙදෙනා හොර රහසේ කසාද බැන්ද බව අපට දැනගන්නට ලැබුනේ දෙපැත්තේම ඥාතින් පැමිණ ඔවුන් පිළිබඳව විපරම් කරන විටය. ඒ ගෑණු ළමයා , පිරිමි ළමයාගේ සංස්කෘතියට හැඩ ගැසුනේ සිය කැමැත්තෙනි එහි වැරද්දක් රොටියා දකින්නේ නැත

දෙවැනි කතාව පටන් ගන්නේ රොටියාගේ කැම්පස් එක තුලින්මය. පළමු වසරේ සිටම කළු ඇඳුමින් සැරසුණු මුස්ලිම් ගැහැණු ළමයෙකු එහි වුවාය. ඈ සිව්වෙනි වසරට පැය තබනවාත් සමග, එනම් ඇයට වඩා ජේෂ්ඨයින් සියල්ලම විශ්වවිද්‍යාලය හැරදමා ගිය විට, ඈ පුර්ණ ස්වාබාවිකත්වයට පත් වුවාය. ඈ පැමිණියේ සරල ඩෙනිම් විලාසිතාවන්ගෙන් සැරසීය. එසේ නම් ඒ ගැහැණු ළමයා එපමණ කලක් කළු රෙදි තුල සඟවාගෙන හිඳ ඇත්තේ තමුන්ගේ ආත්මයයි ඒ වෙන කාගේ හෝ බලපෑමක් නිසා වන්නට ඇත. මේ කතාවේ නම් විශාල වරදක් රොටියා දකිනවාය. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේය. මේ රටේ සියලුම කාන්තාවන්ට ඇත්තේ එකම නීතියකි. ආගමික හෝ සංස්කෘත මුවාවෙන් තව කෙනෙකුගේ අයිතිය නැති කිරීමට කිසිවෙකුට නොහැකිය.

සියල්ලෝම තේරුම් ගත යුත්තේ එයයි. තම තමුන් , තම තමුන් කැමති පරිදි ජිවත් උනාට කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් කෙනෙක්, තවත් කෙනෙකුට කරදරයක් හෝ බලපෑමක් වන ලෙස ජිවත් වන්නේ නම් එතැන විශාල අවුලකි. ශ්‍රී ලාංකිකයන් ලෙස ජිවත් වුනු ප්‍රජාවක් හදිසියේම තමුන්ගේ හැසිරීම වෙනස් කරන්නට ගිය තැන අරගල ඇතිවීම විය හැකි අතර නරකම දේ එවැනි අරගලයන්ට ජාතිවාදී ලේබල ඇලවීමය.

හදවතට එකඟව කතා කලොත්, මුලින්ම සඳහන් කල වීඩියෝව වැනි සිද්දි ඇතිවන සමාජයක ජිවත් වන්නට රොටියා කැමති නැත. රොටියාටද, රොටියාගේ ගෑණු ළමයාටද, රොටියාට දාව උපදින දරුවන්ටද, රොටියාගේ මේ තියෙන සුන්දර රට මෙහෙමම තියෙන්න ඕනෑය. මේ අරගල වලට මැදිවන , අරගල නිර්මාණය කරන සාමාන්‍ය මිනිසුන් බොහෝ විට වෙන කාගෙවත් අතකොලුය.

ඒ නිසා මේ තමුන්ගේ හදවතට එකඟව හා තමුන් ජිවත්වන සමාජයට ගැලපෙන පරිදි ජිවත් විය යුතු කාලයයි. කරුණාකර මිනිසෙකු වන්න. මේ සුන්දර ද්වීපය අරගල වලින් බැටකෑවා හොඳටම ඇතිය.  ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කාටවත් නැවත අරගල උවමනා නැත.

2 comments:

  1. දැනෙන්න ලියල තියනො බං. සුපිරි ඈ

    ReplyDelete
    Replies
    1. ලිව්වා මචං. උණ හොඳටම. ඒත් ලිව්වා

      Delete