Friday, June 20, 2014

හීනබුද්ධිකයකුගේ ආදරය

ටොම් හැන්ක්ස් රඟපාන ෆොරෙස්ට් ගම්ප් චිත්‍රපටිය බැලුවට රසවින්දට කවදාවත් මට ඒ කතාව ලියන්න හිතුනේ නෑ. මේ කතාවේ හිමිකම තියෙන්නේ ආදිෂට

අම්මනං කියන්නෙ මගෙයි අනිත් ළමයින්ගෙයි වෙනසක් නෑ කියල. ඒත් මිනිස්සු මං දිහා බලන්නේ අනිත් ළමයි දිහා බලන විදිහට නෙවෙයි. දනිස් දෙකට එනකල් යකඩ කූරු හයිකරපු අමුතු සපත්තු දෙකක් දාගෙන අම්මත් එක්ක යද්දි මිනිස්සු මං දිහා බැලුවෙ සර්කස් ඒකක ඉන්න සතෙක් දිහා බලනවා වගේ. ඒ මිනිස්සුන්ට අම්මගෙන් නං හොඳට බැනුම් අහගන්න පුළුවන් උනා. මාව ඉස්කෝලෙකට දාන්න ගිය වෙලාවේ ඉස්කෝලෙ ලොකු මහත්තයනං කිව්වේ මගෙ බුද්ධියද මොකක්ද මන්ද අඩු හින්ද මාව වෙනම ඉස්කෝලෙකට යවන්න ඕනි කියල. ඒත් අම්මනං කිව්වෙ මමත් අනිත් ළමයි වගේම හින්ද මටත් ඒ ඉස්කෝලෙටම යන්න දෙන්න ඕනි කියල. සමහරවිට අම්ම දොස්තරට කියල අර අමුතු සපත්තු දෙක හයිකලේ ඒක හින්ද වෙන්න ඇති. කොහොමහරි දවසක් රෑ ඉස්කෝලෙ ලොකු මහත්තය අපේ ගෙදර ඇවිත් ගියාට පස්සෙ මට ඒ ඉස්කෝලෙට යන්න පුළුවන් උනා.
මට මතකයි මං මුලුන්ම ඉස්කෝලෙ ගිය දවස. අම්ම මාව ඉස්කෝලෙ බස් එකට නැග්ගුව. බස් එකේ කිසිම කෙනෙක් මට වාඩිවෙන්න දුන්නෙ නෑ එයාල ළඟ ඉඩ තිබ්බත්. ඉතිං මං හිටගෙන යද්දි.... මං ජීවිතේටම අහපු ලස්සනම කටහඬින් කවුද මට කතාකලා. ඒ තමයි මම ජීවිතේටම දැකපු ලස්සනම කෙනා. හරියට සුරංගනාවියක් වගේ.
“ඔයාට ඕනිනම් මෙතනින් ඉඳගන්න පුළුවන්”
අම්ම ඇරුනහම මට ආදරෙන් කතා කරපු එකම කෙනා. මං එයා ලඟින් වාඩි උනා. ඉස්කෝලෙට යනකල් එයත් එක්ක ගොඩක් කතා කළා. එදා ඉඳන් එයා තමයි මගෙ හොඳම යාළුවා. එයා මට ගස් නගින හැටි කියල දුන්න. මම එයාට අතුවල එල්ලිලා ඉන්න හැටි පෙන්නුව. එයා මට කියවන හැටි ඉගැන්නුව. මම එයාට කකුල්දෙකෙන් අතුවල එල්ලිලා ඉන්න කියල දුන්න. සමහර දවස් වලට අපි අපේ ගහ යටට වෙලා අහසෙ තරු පායනකල් බලාගෙන හිටිය. එයා තමයි මගෙ විශේෂම යාලුව, මගෙ එකම යාලුව.
දවසක් ඉස්කෝලෙ ඉන්න නරක කොල්ලො වගයක් මට ගහන්න එද්දි ඔයා මට කිව්ව දුවන්න බේරිලා දුවන්න කියල. කොහෙන්ද මං දන්නේ නෑ හිතට ආපු ගැම්මට මම දිව්ව. කවදාවත් නොදුවපු තරමේ වේගෙකින්. කකුල් දෙකට දාල තිබ්බ යකඩ කූරු ගැලවිලා විසි උනා. මම හුළඟ වගේ වේගෙන් දිව්ව. ඔයා කියපු නිසා දිව්ව. එදා ඉඳල මම කොහේ ගියත් මම කලේ දුවපු ඒක.
කාලය හෙමිං හෙමිං ගෙවිල ගියා. ඔයා ගෑනුලමයි ඉන්න ඉස්කෝලෙකට ගියා. එට පස්සෙ මට නිතරම ඔයාව බලන්න පුළුවන් උනේ නෑ. හැබැයි මම පුළුවන් හැම වේලාවෙම ඔයාව බලන්න ආව. මතකද දවසක් මං ඔයාව බලන්න ඇවිත් වැස්සෙ තෙමි තෙමී ඉන්නකොට ඔයා කාත්එක්කද කාර් එකකින් ආව. ඒ මනුස්සය කාර්ඒක ඇතුලෙදි ඔයාට රිද්දනකොට මම ඇවිත් ඒ මනුස්සයට හොඳටම ගැහුවේ ඔයාට කවුරුත් රිද්දනකොට මට ඉවසගෙන ඉන්න බැරි හින්ද.
උපාධිය අරගත්තට පස්සෙ මට පුළුවන් උනා හමුදාවට බැඳෙන්න. හමුදාවේ ඉන්නකොට මම ඔයාව පත්තරේකින් දැක්ක. මොකක් හරි හේතුවකට ඔයාව ඔයා හිටපු ඉස්කෝලෙන් අයින් කරල. ඒ සමහරවිට ඔය අර පත්තරේ ඇඳුම් නැතිව හිටපු අනිත් අයත් එක්ක ෆොටෝ ගත්ත හින්ද වෙන්න ඇති. කොහොම උනත් මම ඒ පත්තරේ ඔයා වැඩකරන තැන හොයාගෙන ආව. ඔයා එතන ස්ටේජ් එකේ ගිටාර් එකක් ගගහ සිංදු කියපු හැටි ඇත්තටම ලස්සනයි. ඒ ලස්සන කටහඬින් ඔයා සිංදු කියද්දි මට ගොඩක් ආස හිතුන. ඔයා හැමදාම ප්රිර්ථනා කරපු විදිහට ඔයා ගොඩක් ජනප්රිටය වෙලා. ඒත් ඔයා එතන ඇඳුම් නැතුව සිංදු කිව්වේ ඇයි කියලනං මට තේරෙන්නෙ නෑ. එතනදි ඔයාගේ ඇඟට බියර් විසිකරපු මනුස්සයටත් ගැහුවෙ ඔයාට තියන ආදරේ හිංද.
ඔයා මාත් එක්ක කේන්තියෙන් එතනින් එද්දි කිව්ව “ඔයාට හැමදාම මාව බේරගන්න බෑ” කියල. ඒ උනත් පුළුවන් හැම වෙලාවකම මම ඔයාව කරදර වලින් බේරගන්නව. මිනිස්සු හැමවෙලේම බලන්නේ ඔයාව උස්සගෙන යන්න. මට තාම මතකයි එදා මං ඔයාට මුලින්ම ආදරෙයි කියල කියපු වෙලාවෙ ඔයා මට කිව්වෙ “ඔයා දන්නෙ නෑ ආදරේ කියන්නෙ මොකක්ද කියල” මොනවා කියන්නද කියල ඒ වෙලාවෙ මට තේරුනේ නෑ. මම දැනං හිටියෙ ඒක දෙයයි. ඒ මට ඔයාව දාල වියට්නාමෙට යන්න වෙනව කියන ඒක විතරයි. ඒ වෙලාවෙ ඔයා මට කිව්වේ “ඔයා මට ඒක පොරොන්දුවක් වෙන්න. කිසි වෙලාවක නිර්භීත වෙන්න එපා. මොකක් හරි උනොත් දුවන්න ඈතට දුවන්න” කියල. ඔවු මම ඒක කරන්නං. ඔයා ආදරෙන් මට කියපු එකම ඒක දේ, ඒ දේ මම කරන්නං. මම එහෙ ගිහින් හැමදාම ඔයාට ලියන්නම්.
වියට්නාමෙදි ගොඩක් දේවල් සිද්දඋනා. ඔයාට පොරොන්දු වෙච්ච විදිහටම මම හැම වෙලාවෙම ඔයාට ලිව්ව. ඔයා මට අපහු ලිව්වෙ නැතත් මම ඔයාට ලිව්ව. වියට්නාමෙදි දවසක් සතුරො අපිට වෙඩි තිබ්බ. ඔයා කියපු විදිහටම මම දුවල බේරුනා. අනිත් අයට වඩා වේගෙන් දුවල බේරුනා. මට පුළුවන් උනා අපේ ලොක්ක එක්ක තව හතර පස් දෙනෙක්ව බේරගන්න. ඒත් ඔයාගෙන් පස්සෙ මට හිටපු එකම යාලුව, බුබ මගෙ අත්දෙක උඩදිම මැරුණ. මම ආයෙත් තනි උනා.
කාලය ගෙවිල ගියා. මම පිංපොන් තරුවක් උනා. මම කරපු වීර ක්රිනයාවට මට පදක්කමක් හම්බඋනා. මට ආයෙත් ඔයාව මුණගැහුන. අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා. ගොඩක් තැන් වලට ගියා. අපි දෙන්නගෙ ජීවිත වෙනස් කියල ඔය කියපු හැටි මට දරාගන්න බෑ. ඔයා ආයෙත් මාව දාල ගියා. මම හමුදාවෙන් අස්වෙලා බූබ කියපු විදිහට ඉස්සෝ අල්ලන්න පටන්ගත්ත. මම කෝටිපතියෙක් උනා. දවසක් මම හීනෙන්වත් හිතපු නැති විදිහට මගෙ අම්ම මාව දාල දිව්යදලෝකෙ ගියා. මම අයෙමත් පාරක් ලෝකෙ තනි උනා. මගෙ ගෙදර මම තනියම. කාත්කවුරුත් නැතුව. තනියම ඉන්න හැම වෙලාවකම මට ඔයා ගැන හිතෙනව. රෑ තනියම පාර දිහා බලාගෙන ඉන්නකොට ඔයා එනව මැවිල පේනව. දවසක් ඔයා ඇත්තටම මාව බලන්න ආව. මට ගොඩක් සතුටු හිතුන. මම ඔයාගෙන් ඇහුව කසාද බඳින්න කැමතිද කියල. මම පොරොන්දු උනා ඔයාට හොඳ සැමියෙක් වෙන්න. ඒත් ඔයා ආයෙත් මාව දාල ගියා.
ඔයා ගියාට පස්සෙ හිස්වෙච්ච හිත හදන්න කිසිම දේකට බැරි උනා. මම ඔලුව හැරුණු අතට දිව්ව. අවුරුදු ගානක් දිව්ව. රට වටේට දිව්ව. අවුරුදු තුනකුත් මාස දෙකයි දවස් දාහතරයි පැය දාසයක් මම දිව්ව. ආපහු ගෙදර ආව. ඔයාගෙන් මට ලියුමක් ලැබුන ඔයාව හම්බවෙන්න එන්න කියල. මම ඔයාව හොයාගෙන ලෝකෙ ඕනිම තැනකට එනව. මම ඔයා නැවතිලා හිටපු ගෙදර හොයාගෙන ආව. ඔයාව දැක්කට පස්සෙ මට දැනුන සතුට කියල ඉවර කරන්න බෑ. ගෙදර හිටපු ලස්සන පුංචි කොල්ලගේ තාත්ත මම කියල කිව්වහම මට හිතුනෙ එකම ඒක දෙයයි. ඒ පුතත් මම වගේම මන්දබුද්ධිකද කියන එක. එයා තමයි මම ලෝකෙ දැකපු ලස්සනම දේ. ඔයා අසනීපෙන් කියල කිව්ව නේද. දොස්තරල හරියට දන්නේ නැති වයිරස් එකකින්ද කොහෙද හැදෙන ලෙඩක්. ඔයාට පුළුවන් මාත් එක්ක අපේ ගෙදර නවතින්න. මම ඔයාව කාටවත් වඩා හොඳින් බලාගන්නවනේ. ඔයා මගෙ ඇස් දෙක දිහා බලාගෙන “ඔයා මාව බඳිනවද” කියල අහද්දි මට කියන්න තිබ්බෙ ඒක දෙයක් විතරයි “ඔවු”. අපි දෙන්නගෙ උත්සවේ ලස්සනට තිබ්බ. ලුතිනන් ඩෑන් එයාගෙ නැතිවෙච්ච කකුල් දෙක වෙනුවට අලුත් මැජික් කකුල් දෙකක් හයිකරගෙන මාව බලන්න ආව.
ඔයා හැමදාටම මාත් එක්ක ඉන්න ආව කියල මං හිතාගෙන හිටියෙ. ඒත් ඉක්මනින්ම ඔයා මාව දාල දිවියලෝකෙ ගියා. මං හිතනවා ඔයා අපේ අම්මත් එක්ක එහෙ හොඳින් ඉන්නවා ඇති කියල. ඔයාව මං තිබ්බ අපි දෙන්න හැමදාම හම්බවෙච්ච ගහ යට. මං හැමදාම ඔයාව බලන්න එනව. පුතා හොඳට ඉන්නව. මං එයාට කාම හදල දෙනව, පොත් කියවනව, අපිදෙන්න පින්පොන් සෙල්ලම් කරනව. එයානම් ඇත්තටම දක්ෂයි. පුතා ඔයාට ලියුමක් ලිව්ව. මටනං ඒක කියවන්න බෑ ඒ හිඳ මං ඒක ඔයාට දෙන්න ගෙනාව. මං ඔයාට ආදරෙයි. ඔයාට මොනවහරි ඕනිනම් මට කියන්න.

කාගෙවත් ආදරය නොලබපු, මන්දබුද්ධිකයෙක් හැටියට හැමෝම සලකපු ෆොරෙස්ට්, ෆොරෙස්ට් ගම්ප් කවදාවත් තමන්ව ත්රුම් නොගත්ත, අවසාන වෙලාව වෙනකල්ම තමන්ට ආදරය නොකරපු ජෙනීට ලෝකයක් තරමට ආදරය කළා. ලෝකයේ කවුරුත් ආදරය නොකරපු තරමට ආදරය කළා. ජෙනීට ඒ ආදරේ මැරෙන මොහොත වෙනකලුත් තේරුම් ගන්න පුළුවන් උනාද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට ඒක දෙයක් තේරෙනව. ඒ ජෙනීට ගොඩාක් වටිනා දෙයක් මගහැරිල තියනව කියන එක.
කවදාවත් ආදරය නොලබපු කෙනෙක්ට ආදරය ලැබුනොත් මොනවා වෙයිද? කවදාවත් ආදරය නොකරපු කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තොත් මොනවා වෙයිද?
මාත් මන්දබුද්ධිකයෙක්ද කියල වෙලාවකට මටම හිතෙනව.....



No comments:

Post a Comment