Friday, October 31, 2014

එකෝමත් එක දවසක - දවසක් දා 08

කතාව හිතුවාට වඩා දිගු විය. ප්‍රමාද විය. ඒ එක්කොම එක්ක රොටියා සමග ඉන්නා පාටකයන්ට හිස නමමි. කෙල්ලෙක් නිසා අවුරුදු හයක් නාස්ති කරගත්, අවසානයේ කොහෙවත් හුන් ගෑණු ළමයෙකු නිසා ජිවිතයම වෙනස් කරගත් රොටියා ගේ ප්‍රේම කතාවේ අවසාන කොටස මෙසේ ලියමි.....

මුලින්ම කිවයුතු යමක් ඇත්තේය.. සැබෑ ආදරය කියා ඔය කවීන් වර්ණනා කරන, ජිවිත කාලය පුරාම නොලැබෙන කෙනෙකු ගැන හිතමින් වදවෙන ජාතියේ හැඟීම් හෙම ආදරය කියා වරදවා වටහා ගන්නට එපාය. විරාගයේ (මාර්ටින් වික්‍රමසිංහ) අරවින්ද හෝ සින්දුර් හි (සුජීව ප්‍රසන්න ආරච්චි) අරවින්ද වැන්නවුන් පරමාදර්ශය කර ගන්න හදන්නත් එපාය. සමාජයේ ජිවත්වන බොහෝ චරිත පොදු පුරුෂයා හි (සුනේත්‍රා රාජකරුනායක) සාෂා වැන්නවුන්ය. හඹා යා නොහැක ප්‍රේමය (භද්‍රජි මහින්ද ජයතිලක) වැනි පොත් හරහා ආදරය විනිවිද දැකිය හැකි බව රොටියාගේ අදහසයි.

සමාවෙන්න, මෙය පොත් ගැන විචාරයක් හෙම නොවේ. රොටියාට පවසන්න වුවමනා වුයේ සැබෑ ලෝකයේ ආදරය වනාහි දෙදෙනාගේම කැමැත්ත හා අවබෝධය මත හට ගන්නා හැඟීමක් බවයි. ඒක පාර්ශ්වික ආදරය තුල ඇත්තේ ආකර්ශයක් සමග ඇතිවූ තණ්හාවයි. හිමිකර ගැනීමට ඇති ආත්මාර්තකාමිත්වයයි. මැරෙන තුරු හිඟා කා ආදරය ලබාගත් නොහැක. ලබා ගන්න හැකිවනුයේ අනුකම්පාවයි. එසේ අනුකම්පාව මත ඇතිවූ සම්බන්දයක් පසුව ආදරයක් බවට හැරීමේ සම්බාවිතාවයක් නැතැයි රොටියා කියන්නේ නැත. නමුත් අනුකම්පාවට ඇති වූ සම්බන්දයක අනුකම්පාව නැතිව ගිය කල ඔක්කොම කොට උඩය. මොකක් හෝ වෙලාවක් තිබී කසාදයට පෙර අනුකම්පාව අහෝසි උනා නම් හොඳය. නැත්තන් ඉතින් පවුල් කන්නට වන්නේ ලෝකෙට පේන්නටය

ආදරය සුන්දරය. මඩවන්නට බලන් ඉන්න, නටවන්නට බලන් ඉන්න, දහයට ගනින්න බැරි ගානට හැසිරෙන ලතාලා නොව කෙලින් කතා කරන අපට ඇත්තටම කැමති ගෑණු ළමයෙකු මුණ ගැසුණු විට පිරිමි අපට දිව්‍ය ලෝකය දැකිය හැක. එසේ ඇත්තටම ආදරය කරන ගෑණු ළමයෙකු මඩවා, කාමර ගානේ දක්කාගෙන ගොස් නිර්දය ලෙස අතහැර දමන්නා කිසිම දිනක ආදරය විඳීමට නොහැකිවෙන පව්කාරයකි.

ගැහැණු ළමුන් ආදරය ප්‍රකාශ කරන්නේ විවිදාකරයෙන්ය. රොටියාගේ ගෑණු ළමයා ගැන බැලුවොත්, ඇයට නප්පියට තදවෙනවාය. එසේම ඈ රොටියාව දේවත්වයෙන් පුදා වන්දමාන කරන්නේද නැත (එසේ කරන ගෑණු ළමුන් ගැනද රොටියා අසා ඇත). රොටියා කරන කියන හැම දෙයක්ම ඉස් මුදුනින් ගෙන සම්මත කරන්නේද නැත. රොටියා හා ඈ අතර ඇත්තේ අවේගශීලි, විවාදාත්මක , ගැටුම් බහුල සම්බන්දයකි. එවැනි සම්බන්දයක් මේසා කලක් රැකී තිබීමට එකම හේතුව ඈ තුල රොටියාට ඇති කැමැත්තයි. රොටියා තුල ඈ පිළිබඳව ඇති කැමැත්තයි. රොටියාට වුවමනා ඕනෑම දෙයක් ඈ සමග පැවසිය හැකි අතර ඈත එසේමය. රොටියාට ඈ සමග ඉන්නා විට ඇත්තේ නාන කාමරයක ඇඳුම් නැතුව ඉද්දි දැනෙන නිදහසමය.

කරුණාකර ඔබේ ජිවිතයේ සහකරු හෝ සහකාරිය තෝරාගන්නා විට මදක් වගකීම් සහිත වෙන්න. රූපය, දෑවැද්ද ගැන සලකා ඔබේ ජීවිතය නාරාවලක් කරගන්න එපාය. මව්පිය කැමැත්ත ගැන නම් සාදාරණව සලකා බැලුවාට කමක් නැත.

ඒ ගැන ඒ ඇතිය. දැන් එකෝමත් එක දවසක සිද්ද වුනු කතාන්දරයය

එම්. සී එකේ දහසක් ලයිට් එලිය මැද මම මගේ නුදුටු යෙහෙළිය, සුරලිය දුටු ආකාරය පහුගිය කොටසේ සදහන් කළා මතක ඇත

කුඩා ගැහැණු ළමයා සබකෝලයෙන් හිනැහෙමින් මල්ලක් ළඟ තබාගෙන උන්නාය

දැක පුරුදු මුහුණකි.. වෙනස් වී ඇත

කවුද යන්න ඔලුවට ආවේ ඊළඟ තත්පරේය. ඈ මාව දකින්නට පෙර අදුනා ගත්තා නම් මා හැරී යන්නට ඉඩ තිබුනේය


ඒ උන්නේ කොටි කුමාරිය

.... විස්වාස කලත් නොකලත් ඒ උන්නේ ඈමය

පාසල් වියේදී අපව තුට්ටුවකට මායිම් නොකළ, අප හීනෙන්වත් අපේ කරගන්න නොහිතුව කොටි කුමාරියය.....

ජීවිතය ඔන්න ඔය වගේය. අවුරුදු ගානක සිට දැන අඳුනාගෙන සිටියාක් මෙන් අප හිනැහෙමින් උන්නේ අපටමය.. මම අවුරුදු ගණනක් කෙල්ලෙක් පස්සෙන් ගොස් ලෙල්ලටම චාටර් වී බව හොඳින්ම දැනන් උන් කීප දෙනාගෙන් කෙනෙකි ඈ. (ලපයා ඒ දිනවල නදීට ඔය කතාව කියා තිබුනේය)

එදා අප යටගිය කතා මතක් කරමින් හිනැහෙමින් එම්. සී එක පුරා ඇවිද්දා මතක ඇත. සිද්ද වෙන්න බැරි හුඟාක් දේ සිද්ද කරමින් ආරම්බ උනු අපේ කතාවට නිසි මාර්තෘකාවක් දෙන්නට මුල් වුනේද ඇයමය

"ඉතින්.." (ඒ මමය)
"ඉතින් නෙවෙයි. අපි කතා කරන්න ඕනේ හරි පොයින්ට් එක ගැන..ඔයාට මං ගැන අදහසක් තියෙනවා නම් එහේ මෙහෙ වට ගහන්නේ නැතුව කෙලින් කියල ඊළඟට අපේ අම්මලට කියන්න ඕනේ හරිද.."

දෙවියන් විසින් මේ ගෑණු ළමයාව මවා තිබ්බේ ඔන්න ඔයාකාරවය. මේ මුල්ම දවසය. අඩුම ගානේ ඒ සම්බන්දව මම මෙපමණ වෙලා වදනක් වත් සඳහන් කලේද නැත.

කට ඇරියේ මම නොව. අවුරුදු ගානක් තිස්සෙවත් හැදෙන්න බැරි වුනු රොටියාය

"ඉතින් මම ඔයත් එක්ක තාම යාලු වෙන්න ඇහුවේ නෑ නේ.."

"අහන්න කලින් කිව්වේ.. එහෙම නැතුව අනේ අපි යාළුවො කියල තොත්ත තොත්ත ඉඳල අවුරුදු ගානක් තෙපර බාල, අන්තිමට මුකුත් නැති කර ගන්න මට බෑ. අනික මට ඕනේ තරන් යාළුවො ඉන්නවා. ඔයාට ඕනේ යාලුවෙක් නම් යාළුවෙක්ව හොයා ගන්න. මට කැමති නම් එක ඒ විදියට කියන්න"

ඉතින් අප පටන් ගත්තේම ඔය ලෙසය. එතනින් එහාට මොන කතාද..

ලපයා නම් මගේ පෙම්වතිය කොටි කුමාරිය බව විස්වාස කළේම නැත. ඌ විස්වාස කළේ ඈව දුටු පසුවය

එතැන් සිට අවුරුදු හතරක්ම ගෙවී අවසන්ය. මට කලින් අදටත් ඈ තීරණ ගෙන අවසන්ය. මම යන්නේ මොන පාරෙන්ද කියා කල්පනා කරන විට ඈ අදාළ තැනට ගොස් ඉවරය. තනිවම නොව මාවත් ඇදගෙනම

හොඳ නරක දෙකම ඇත. දුක සතුට දෙකම ඇත. මොනවා උනත් ඈ මං ළඟය..

මා ඈ ළඟය

2014 ඔක්තෝබර් 31 රොටියා

~ඉවරයි~


4 comments:

  1. උබේ කතාව ඇත්ත බන්,ලොකුවට රණ්ඩු වෙන මාරා ගන්න කොල්ලෝ කෙල්ලෝ පස්සේ කලෙක ආදරේ කරනවා :) අත්දැකීමෙන් කියන්නේ
    සුබ පතනවා උබල දෙන්නටම

    ReplyDelete
  2. උඹ හරි වාසනාවන්තයි රොටියෝ.. කෙල්ලත් මරු . සුබ පැතුම්...!

    ReplyDelete
  3. සුබපැතුම් මචෝ. රොටියාටත් කොටි කුමාරිටත් හද පතුලින්ම සුබ පතනවා...
    දැන් ඉතිං රොටියෝ හිරේ යන්නත් කාලේ හරි නේද????

    ReplyDelete
  4. ඔක්කොම කතාව අකුරක් නෑර කියෙව්වා. මාරම පුදුමයි. ඒ වගේම ආදරනියයි. නොදැක හිටිය නිසා හොඳයි.

    ඔබ දෙදෙනාට සුබ අනාගතයක් !!

    ReplyDelete