Wednesday, April 22, 2015

රොටියාගේ කසාදයෙන් පසු විපරම

පාර්ලිමේන්තුවේ රැය පහන් කල උත්තම පිරිස නිසා බුකිය අද ගන්නම ගන්න දෙයක් නැත. ඉහින් කනින් පොරවාගත් නාමල් බේබිගේ පොටෝව සිය සැරයකට වඩා දුටිමි. ඉඳගෙන , හිටගෙන නිදාගෙන ඉන්නා එක එක මහතුන්ගේ විවිදාකාරයේ පෝසස්ය.
දැන් රොටියාට ඕවා ගැන කැක්කුමක් නැත. කැක්කුමක් තිබුනද රොටියාට කරන්නට පුළුවන් ඉටිගෙඩියක්ද නැත්තේය.හේතුව රොටියා නිලට බර නමුත් ගෑණු ළමයා කොලේ කොළ වීමය. දැන් මෙය කියවන , නොබැඳපු උත්තමයන් රොටියාට යටි හිතෙන් හිනාවන බව රොටියා ඉස් ඉස්තිරෙටම දන්නවාය

"හයියෝ උඹ ඔහොම ගෑනිට බයයිද බන්..."||" ලැජ්ජයි!! || "උඹ පිරිමි සංහතියට නින්දාවක්.."

ඔන්න ඔහොම හිතන පතන එව්වන්ට මයිත්‍රී කරනවා හැර රොටියාට කරන්නට වෙන දෙයක් නැත. සිහි නුවණැත්තෝ මෙය කසාදයෙන් පසු තේරුම් ගන්නාහුය..

ඒ කියන්නේ මෙන්න මෙහෙමය. ගෑණු ළමයින් සමග වාදයට යනවාට වඩා කටපියාගෙන ඉන්නා එක දාහෙන් සම්පතක්ය. වාදයට යන්න හිතෙන්නේ වාද කරන්නට කරුණක් ඇත්නම්ය. ඉතින් වාදයට කරුණු ඔලුවට ආවොත් හෙම , කුමන මොහොතක හෝ ඒවා කටින් පිට වීමට ඉඩ ඇත්තේය

උදාහරණ ලෙස පසුගිය දිනක මහබැංකුවේ සිද්දිය සම්බන්දව ලිපියක් කියවූ රොටියා ඒ පිළිබඳව ගෑණු ළමයා දැනුවත් කරන්නට ගොස් නා ගත්තේය. ගෑණු ළමයි සමග තර්ක කරන්නට යෑම යනු පිරිමි අපේ මොලේ කොලොප්පන් වන විලම්බීත වැඩකි

ගෑණු තර්ක වෙලාවකට පට්ට බොළඳය. ඒවා මෙහෙමය කියන්න අමාරුය. ඔවුන් බොහෝවිට සිය මතයේ මුරණ්ඩු කමට එල්ලීගෙන සිටින්නේ පිරිමි අප දහසකුත් එකක් හේතු පෙන්වා දීමෙනුත් පසුය. උදාහරණයක් පහතය

රොටියා - අද පිටකොටුවේ පාර අයිනේ කුණු තිබුණා. ඉස්සර නං එහෙම නෑ
ගෑණු ළමයා - වෙන්න බෑ.. මම කවදාවත් දැකල නෑනේ
රොටියා - අද තිබ්බ
ගෑණු ළමයා - ඒව ඔයාට විතරක් පේන කුණු. එහෙම නං මම සිකුරාදත් දකින්න එපැයි. ඔය තිබ්බේ අපුරුවට
රොටියා- මං කියන්නේ අද තිබ්බ
ගෑණු ළමයා- විකාර. ඕගොල්ලෝ වගේ අයත් එක්ක තමයි මේ රට හදන්න බැරි. ඔයාට දැන් උඩ පැන පැන පෙට්ට්‍රල් ගහන්න හොඳයි
රොටියා- මං කියන්නේ පෙට්ට්‍රල් අඩු කරපු එක හොඳයි. ඒත් අද පාර අයිනේ කුණු තිබ්බ
ගෑණු ළමයා- දුපත් මානසිකත්වය. ඕගොල්ලෝ හැම දේම දිහා බලන්නේ දැන් වැරදි විදියට . පාර අයිනේ කොළ කෑල්ලක් තිබ්බත් ඒක පෙන්නේ කුණු කන්දක් විදියට. මට ලැජ්ජයි ඔයා ගැන.. පොඩ්ඩක් ඔයිට වඩා වටේ පිටේ වෙන දේවල් ගැන බලන්න
රොටියා- කොළ කෑල්ලක් නෙවෙයි අනේ ලොකු කුණු ගොඩක්
ගෑණු ළමයා- අනේ යන්න අනේ යන්න. ඔයා හැදෙන්නේ නෑ. මං තරහයි. කතා කරන්න එපා මං එක්ක
(බදින්න කලින් නම් මෙවැන්නක් අවසානයේ ඇය මෙලෙසද කියයි "මං තියනවා ෆෝන් එක . ඔන්න ගන්න එහෙම එපා මට. බායි")

ඉතින් කවර කතාද.. අනෙක් ගෑණු ළමයින් ගැන නම් දන්නේ නැත. ඒත් රොටියාගේ ගෑණු ළමයා නම් තර්ක ශාත්රය කියා දෙයක් දන්නෙම නැත්තේය

අනෙක් අතට කසාදයෙන් පසු ඔබට රටේ නැති ඕපාදුප මහා රාශියකට ඇහුම්කන් දීමට සිදුවනු ඇත. ඒවායින් ඔබට තුට්ටුවකට පලක් ප්‍රයෝජනයක් තනි බව ඇයට කියා පලක් නැත්තේය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට ඒ සම්ප්‍රප්පලාපයන්ට හුමිටි තබන්නට සිද්ද වෙනු ඇත. රොටියාගේ ගෑණු ළමයා මෙවැනි සංවාද ආරම්බ කිරීමට ජනප්‍රිය වැකි දෙකක් යොදා ගන්නවාය

1. මේ.. ඔයා දන්නවද වැඩක්!!
2. මේ .. අද මාර වැඩේනේ උනේ..!!

ගෑණු ළමයෙක් ඔන්න ඔයාකාරව පවසමින් හරි බරි ගැසුනොත් හෙම, ඔන්න ඔබට පැයකට හමාරකට කාලය මරන්න සිද්ද වෙන පොටක් පෑදීගෙන එන්නේය. ඒ කතාව අතර මැද ඔබ උපක්‍රමශිලිව මාතෘකාව මාරු කලත්, කතාව බාගෙට නවත්තන්නේ ගෑණු ළමයි හෙම නොවේ. සමහර විට ඊට දින කිහිපයට පසුව හරි " මේ .. එදා මං ඔයාට කිය කිය හිටපු එක ඉවර කරන්න බැරි උනානේ.." කියමින් ඔවුහු මුල් කතාවටම එන්ටර් වෙති.

පිරිමි අප වාක්‍ය දෙකකින් පවසන සිද්දියක් විස්තර කිරීමට ගෑණු ළමෝ පරිච්චේද ගණනාවක් වැය කරති. ඒ කියන්නේ මෙන්න මෙහෙමය

පිරිමි- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. එයාගේ අතක පොඩි ටියුමර් එකක් අද ඔපරේට් කරා

ගැහැනු- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. (ඔබ දන්නවා හෝ නොදන්නවා වුවත්). අර අනේ නිමල් එක්ක අෆෙයාර් එකක් තිබුනේ. ඇයි අනේ නිමල් නිමල්. මාලතිගේ හස්බන්ඩ්.......
(ඊළඟට මාලති හා නිමල් ගැන සුළු විස්තරයකි. ඔවුන් දෙදෙනා කසාද බැන්ද ආකාරය ගැන දීර්ග විස්තරයකි)
සැරයක් ඕක මාලතිගේ අතට අහුවෙන්නම ගියා ඔයා දන්නවද . හි හි හි (අහුවෙන්න ගිය ආකාරය ගැන විස්තරයකි)
එයාගේ නැන්ද කෙනෙකුත් ගිය අවුරුද්දේ නැතිවුනේ. ඇයි අනේ අපි මල ගෙදරත් ගියේ( ඒ ගැනත් සුළු අතීත අවර්ජනයකි)
ඒ නැන්දගේත් ටියුමර් එකක් තිබ්බලුනේ මුලින්ම එකනේ පස්සේ කැන්සර් එකකට ඇවිත් තියෙන්නේ. ( සමහර විට ඈ මෙතැනදී ටියුමර් හා කැන්සර් ගැන ඔබට විස්තර කරනවා ඇත)
ඒ වගේම ටියුමර් එකක් සිරියලතාගේ අතෙත් ඇවිත් නේ.(ජාන වලින් රෝග වැළඳෙන ආකාරය ගැන හැදින්වීමක්)
අද ඔපරේට් කරලා (සැත්කම කල තැන, එහි ගාස්තු, කාර්යාලිය රක්ෂණයෙන් ලැබෙන මුදල, මේ දිනවල සිරියලතාගේ හස්බන්ඩ් කන්නේ කොහෙන්ද, එයාගේ ළමයි බලා ගන්නේ කව්ද ඇතුළු සියලුම දේ)

ඕවා ඔන්න ඔහොමය. ලියනවානම් හෙට එලිවෙනකන් වුනත් ගෑණු ළමයින්ගේ වැඩ කිඩ ලියන්නට හැකි මුත්, වෙනත් වැඩද කල යුතු නිසා ලිපිය මෙතකින් නිමා වෙනවාය.

ප.ලි: මොනවා උනත් කනට පුරුදු වූ විට ඒ කියවිල්ලේද පොඩි ආතල් එකක් ඇත. හරියට අර මි වදයක් අසලට ගොස් එහි නාදය අසා ඉන්නවා වගේ.. කුඹලෙක් ගෙයක් හදනවා වගේ... (හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ගුම්ම්ම්ම්ම්ම්ම්ම්.... රුම්ම්ම්ම්)





11 comments:

  1. හපොයි රොටියෝ...
    බය හිතෙන කතා කියන්න එපා යකෝ.. කසාද ජීවිතේ මහා භයානක එකක් වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙමම නෑ බන්. බැඳලා බලපන්කෝ

      Delete
  2. සාදු සාදු සාදු............
    උඩගහගෙන බැන්දනම් විඳවපන්රොටියෝ කිව්වලු.....

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටුකෝ උඹත්

      Delete
  3. ලොලේ ලොල්! උඹේ කතාවේ ආදර්ශය නම් නිලට බර උන් කොළට බර උන් හා දීග නොයා යුතුය කියන එකද? දැන් උඹ පමා වැඩී රොටියා..
    ගෑණුන්ගේ කියවිල්ල පිරිමින්ට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් නේ? මද පමණින් භාවිතය තමා හොඳ..වැඩිවුණාම කඩේ නැතිවුණාම ලෙඩේ..! :P

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. ඔතන පොඩි නිධාන කතාවකුත් තියනවා බං.. මගෙන් යාලුවෙන්න කලින්ම ඇහුවනේ ශ්‍රී ලංකාද යූ එන් පි ද කියල (තන්හාවට මාත් යූ එන් පි කිව්ව කියහන්කෝ...)

      Delete
    2. ඕන් බලහන්කෝ ඉතින් තණ්හාය ජායතී සෝකෝ කිව්වේ ඕකනේ..කිව්වට මොකද මට නම් තණ්හාව වැඩිකමට ඕක අහන්නත් අමතක වුණා..දැනගන්නකොට පෙරහැර ගිහින් අලිබෙටිත් වේලිලා..ෂික්! :D

      Delete
  4. වැඩේ හරි භායානකයි වගේ.....
    දෙවරක් හිතන්ඩ වෙන පාටයි...

    ReplyDelete
    Replies
    1. වැඩියම හිතන්න යන්න එපා බං. මොනා උනත් කෙල්ලෙක් වටේ කැරකෙද්දී ගතියක් තියනවා

      Delete