Monday, July 6, 2015

යටගිය දවස නුවරක කතාවක්!

අම්මා හුස්මක් උඩට ඇද නැවතත් ජනෙල් කූර තද කොට අල්ලා ගත්තාය. ගෙතුළ අඳුරු නිසා පිටතින් පෙනෙන අඳුරු චායාවන් වැනි වූ මිනිසුන්ට තමාව නොපෙනන බව අම්මා දන්නීය
උඩට ඇදගත් දෙවන හුස්මත් සමගම කුස තුල රිදුමක් ඈට දැනුනි. තමාගේ හදවත ගැසෙන ස්වරය වැඩියයි පවසන්නට මෙන් කුස තුල ඔත් දරුවා කුසයට පහර දෙයි. තමුන් තුල හටගන්නා බිය හා ගැස්ම නුපන් දරුවාට අහිතකරව බලපෑ හැකි බව දන්නා නිසාම ඉදිමුණු දෙපය අමාරුවෙන් උහුලාගෙනඇය ඇඳ වෙත පියමැන්නාය. හය හතර නොදන්නා වැඩිමල් දරුවා සුව නින්දකය.පෙර ඈතින් ඇසුණු අඩි ශබ්දයන් දැන් දැන් ගේ අසලින්ම ඇසේ. තවම නිවසට පැමිණ නැති තාත්තා , නාදුනන කළු බළලුන් රැල වෙන ඉසව්වක් කරා යන තෙක් ප්‍රමාද කරන්නැයි ඈ දෙවියන් යදින්නිය.
අඩි ශබ්ද මැකී යත්ම ඈ මුවින් දිගු සුසුමක් පිටවිණි. මෙකල රාත්‍රී කාලයේ නිවසින් පිට සිටීම කෙතරම් අනතුරු දායකදැයි සිහි කරමින් ඈ තාත්තා පැමිණෙන තෙක් දෑස් රිදෙන තුරු මග බලා උන්නාය. මද වෙලාවකින් නිවසට පැමිණෙන තාත්තා දුටු විට ඇගේ බිය සැක දුරුවී සුපුරුදු සිනාවම මුවට නැගෙනු ඇත
ටයර් සෑයවල්, හිස සුන් මල සිරුරු පැහැර ගැනීම් හා පහර දීම් පිළිබඳව වූ ආරංචි වලින් දිනපතා අම්මාගේ දෙසවන පිරී තිබුණි. මේ සමය අම්මාගේ ජිවිතයේ දෙවන දුෂ්කරම අවධියයි. පාසල් සමයේ සිරිමාවෝ ආණ්ඩුව මගින් සිදු කරන ලද ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කප්පාදුවෙන්ද වැඩිපුරම බැටකෑවේ පවුලේ වැඩිමලා වූ අම්මාය. සීනි වෙනුවට කළු වූ සක්කරා, පරිප්පු වෙනුවට කොළ රසැති අප්‍රසන්න ආහාරයක්, තේ වෙනුවට තොත්තමල්ලි දරා ගන්නට හැකි උනාට දවසකින් අඩක් පමණ පෝලිම් වල රස්තියාදු වන්නට සිදුවීම නම් තරුණ ගැහැණු ළමයෙකුට ඔරොත්තු නොදෙන මනාය.එසමය අවසානයේ සිදුවුයේ අම්මා "කැපුවත් කොළ" තත්වයට පත්වී ජේ. ආර් ජානාධිපතිවරයාව වන්දනාමාන කරන්නට පටන් ගැනීමයි
තුන්ඩු කෑල්ලක් මගින් පමණක් මුළු රටේම වැඩකටයුතු ඇනහිටින එකල, හිටි අඩියේම හමුදාව විසින් නිවසේ වාහනය රැගෙන ගොස් දවස් දෙක තුනකින් ආපසු ගෙනැවිත් දීමද සාමාන්‍ය සිරිතක්ව පැවතුනේය. දිවා රෑ වෙහෙසී වැඩ වැඩකල තාත්තාද , එක් දරුවෙකු වඩාගෙන තවත් දරුවෙකු කුසයේ දරාගෙන හරි හරියට තාත්තාගේ වැඩවලට සහය වූ අම්මාද එක්වී අමාරුවෙන් මිලට ගත් වාහනය තවම අලුත් හෙයින් එය බොහෝ විට නොපෙනෙන තැනක ගාල් කර තිබුණි. දරුවා ලැබීමට පෙර අම්මාගේ මහගෙදර ගොස් පැමිණීමට කතිකා කර ගත් අම්මා හා තාත්තා ඒ සඳහා රියක් කුලියට ගත්තේ වැඩි පරිස්සමටය. තමුන්ගේ වාහනය සුරැකි යයි සතුටු සිතින් ආපසු පැමිණි ඔවුන් දෙදෙනාට දැනගැනීමට ලැබුනේ වාහනය හමුදාව විසින් රැගෙන ගිය බවයි. ඇත්තටම සිදුව තිබුනේ එතරම් පරිස්සමට දමා ගොස් තිබූ වාහනය තාත්තාගේ ඤාති සොහොයුරෙකු විසින් පදවන්නට යාමේදී හමුදාව විසින් නවත්වා සිය උවමනාවකට ලබා ගැනීමයි.
පළමු දරුවා ලැබුණු පෞද්ගලික රෝහලම දෙවන දරුවා ද ලැබීමට සුදුසු යැයි අම්මා තීරණය කරන්නට යෙදුනේ දරුවා ලැබෙන්නට පැමිණි මුල් අවදියේමය. රටම දෙදුරුම් කෑ ත්‍රිමා විතාරණ ඝාතනයෙන් සය දිනක් ගෙවුණු තැන අම්මාට විලිරුදා හට ගත්තීය. සියල්ලම නුලටම හරියාවියයි විශ්වාසයෙන් අම්මා සමග මගට බට තාත්තාට දැන ගැනීමට ලැබුනේ ඇඳිරි නිතිය ක්‍රියාවේ යෙදී ඇති බවයි. වන්නක් වේවායි පතාගෙන ලෑල්ලට පාගා අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ විට එය වසා දමලාය!
කුමකින් කුමක් කරන්නද. අඳුරත් වැටීගෙන එනවාය.. නැවත රිය හැරවුණේ ලඟම තිබූ රජයේ රෝහලක් වෙතටය. එයටත් ඊනියා දේශ ප්‍රේමින් විසින් වසා දමන ලෙස නියෝග කරමින් තුන්ඩු නිකුත් කරලාය. අම්මාගේ තත්වය දුටු රෝහල් නිලදාරීන් අම්මාව රෝහලට ඇතුල් කර ගැනීමට තරම් කාරුණික විය. ඊළඟට ඇත්තේ වෙද්‍යවරයෙකු සොයා ගැනීමේ බාරදුර කටයුත්තයි.රෝහල පිටුපස වූ වෙද්‍ය නිල නිවසටම ගොස් තාත්තා කල ඉල්ලීමට අදාළ වෙද තුමා කන් දුන්නේ සිය ජිවිත අවධානමද නොසලකමිනි.ඔහු නිවසේ හිදී ඇඳුමෙන්, කලුවරේම රෝහලට එනවිට විදුලියත් නැත
ඉටි පහන් එළියෙන් මෙලොව එලිය දුටු දරුවාගේ උපන් රාත්‍රිය අංගුලිමාලයන්ගේ උපන් රාත්‍රියට (අංගුලිමාල උපන් දින රැයේ කඩු දිලිසුනේලු!) යම් පමණකට සමාන නිසා දරුවාට අංගුලිමාල ගති පිහිටියේ යයි පසු කලක ප්‍රසිද්ද වුයේ කට කහනවාටම නෙවේය. මව් කුසයේදීම මුහුණ දීමට සිදුවූ අත්දැකීම් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේ දරුවාට බලපෑම් දෙකක් සිද්ද වුනේය. එකක් අධික කෝපයයි. දෙවැන්න ඇදුම රෝගයයි.
එදා ඉටු දෙවියෙකු මෙන් පැමිණි වෙදැදුරු තුමා අද කොහේදැයි දන්නේ නැත. අදටත් එතුමා කොතැනක හෝ හිඳ ලෙඩුන් දහස් ගණනින් සුවපත් කරනවා වන්නට ඇත.
අම්මාට හා දරුවාට එදා මවක මෙන් සහය වූ වින්නඹු මාතාවට අද එතරම් සිහි කල්පනාවක් නැත. අම්මා තමුන්ගේ මවකට මෙන් ඈ ගැන සොයා බලන්නීය

මේ එක් කතාවක් පමණකි.සාමාන්යෙන්ම 88/89 අවුරුදු වල උපන් ශිෂ්‍යයන් කලහකාරී වැඩියයි දිනක් එක්තරා මහාචාර්ය වරයෙකු විසින් පවසන්නට යෙදුනි. ඒ ඔහුගේ දේශනයක් අතරතුර ශිෂ්‍යයන් අතර පැන නැගුනු නොසන්සුන් කාරී තත්වය නිසාය. ඇත්ත නැත්ත නොදනිමි

යටකී දරුවා අදටත් අධික කෝපය හා ඇඳුම රෝගය නිසා පිඩා විඳින අතර අම්මා තවමත් 'කොළය'. දරුවා 'මල්ටි කලර්ය'


7 comments:

  1. 88/89 ඉපදුන උන්ට කරන ඔය බැනිල්ල මමත් ටියුෂන් ක්ලාස්වලදි අනන්තවත් අහල තියනවා වගේම අර කියන හදිසි කෝපය සහ ඇදුම කියන රෝග දෙකෙනුත් පීඩා විඳිනවා. හෙහේ!

    මේ ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තම ඇත්ත kathaawak

      Delete
  2. nuwara ayata witharaida oya adumai koopayai thiyenne ethakota....

    ReplyDelete
    Replies
    1. නුවර කිව්වේ 'Kandy' එහෙම නෙවෙයි. නුවරක් කියන දේ නගරය කියන එකටත් පාවිච්චි වෙනවනේ

      Delete
  3. යකෝ එතකොට ඒකත් එහෙමද.
    හැබැයි ටිකක් හිතල බලපුවාම අපේ වයස වල් වල එකෙක්වත් කූල් ඩයල් නෙවී. ඉඳහිටලවත්.
    මාරයි නෙ.
    පිස්සු හැදෙයි සඳ බබළයි කීවලු

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං. උඹලගේ වයසේ එකෙක් ලඟින් ගියොත් ඇහැක් නෑ වගේ තමා

      Delete
  4. මාද එසේ විය.
    ඇදුම නැත. අනික ඇත

    ReplyDelete