Sunday, February 28, 2016

රාවණායනය 3

පළමු කොටස
දෙවන කොටස

මේඝනි කෝපයෙන් හිස ගැස්සුවාය. ඔහු අදත් ප්‍රමාදය.හැමදාම මෙන්..
ඔහු ප්‍රමාද වෙන හේතුව ඈ දනී. නමුත් තමාට කල හැකි කිසිම දෙයක් නැත. මේඝනි යනු හුදෙක් නියෝගයන් ක්‍රියාවේ යොදවන්නියක් පමණි. නියෝගයකට පිටින් වදනක් හෝ දෙඩීම තහනම්ය. එසේ නොවුවා නම් කල යුත්ත ඈ දන්නීය..

**
විශ්ව විද්‍යාලයට සාමකාමී ලෙස පොලිස් ජීප් රියක් පැමිණීම සාමාන්යෙන් විරල දසුනකි. ජීප් රිය ඉදිරි අසුන අරා හුන් පොලිස් අධිකාරි රොහාන් මල්වැන්න තද කල්පනාවකය. පොලිස් විශේෂ බලකායේ සේවය කල සෙසු තිදෙනාද ඔහුට බාධා නොකර හුන්නද රියදුරු අසුනේ සිටි සාජන් රත්නපාල ට නම් ගමනාන්තය සිහිපත් නොකර ඉන්නට නොහැකි විය

"සර් අපි ආව.."

එය නෑසු ලෙස රොහාන් මල්වැන්න පිටුපස හැරී බැලුවේ මිලින්ද රත්නතුංග දෙසය.

"මිලින්ද හිතනවද මේ දේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කළේ කියල.."

මිලින්ද කල්පනාකාරීව උන්නා පමණි. පිළිතුරු දෙන්නට තරම් විශ්වාසයක් තවම ඔහුට නොවිණි

ඊළඟට රොහාන් මල්වැන්න කතා කළේ පොදුවේ සියලු දෙනාටමය

"අපි රවුන්දබවුට් අප්රෝච් එකක යන්නේ . තෙරුනානේ.."

විශ්ව විද්‍යාලයේ සිසු තොරතුරු වලින් අවශ්‍ය සියලු දේ දැනගත් රොහාන් ඊළඟ නැවතුම ප්‍රොෆෙසර් ඊ ඕ ඊ පෙරේරා මාවත ඔස්සේ අක්බාර් ශාලාව වෙතම විය. ඉබිගමනින් ඇදෙන ජීප් රිය එකතැනකදී තිරිංග යොදා නැවතුනේය.

"සර් අර එන්නේ අපේ හාදය නේද" රත්නපාල තුල වුයේ තමා ත් වැදගත් දෙයක් සොයා ගත්තේ යයි සතුටකි

"යැප් " මල්වැන්න ගේ නෙත් යොමුවී තිබුනේ ඈතින් පැමිණෙන සිසුන් දෙදෙනා දෙසටය

**
මේඝනි සිය ජංගම දුරකතනයේ මේ දැන් ලැබුණු කෙටි පණිවිඩය පිරික්සුවාය. " පටන් ගන්න, සියලු දෙය නිවැරදිම විය යුතුයි."
සිය පොත් පත් වත් එකතු කර ගැනීමට වත් පමා නොවුණු ඈ, සිය බෑගය කරලාගෙන මෙලෝ සිහියක් නැතිව පුස්තකාලයෙන් දිව ගියාය. පුස්තකාලාධිපතිනිය හඬ නගමින් තමන්ව නවත්වා ගැනීමට දරන තැත නෑසුනාක් මෙන් ඈ දිගටම දිව ගියාය

**
විශ්ව නැවතත් නෙලුම් යන දෙස හැරී බැලුවේය. ප්‍රියන්ත කෝපයෙන් පිම්බේය.

"බලහං. තෝ පැණි හලන හැලිල්ලට පොලිසියෙනුත් ඇවිල්ලා" ඇතින් පෙනෙන ජීප් රිය පෙන්වා ඔහු විශ්වගේ බාහුවට පහරක් ගැසීය

ඒ සමගම ප්‍රියන්තගේ ජංගම දුරකථනය කෙටි පණිවුඩයක නාදය නිකුත් කළේය. එය කියවූ ප්‍රියන්ත හිස අත ගසා ගත්තේය

"මල කෙලියයි බං. මං අසයිමන්ට් එක දාල ඇවිත්නේ. රුමා පණිවිඩේ එව්වේ. අනේ බන් තරහ නැතුව වරෙන්කො පොඩ්ඩකට දුවල එන්න"

"උඹ දුවල වරෙන්. මම මෙතන ඉන්නං"

නමුත් ප්රියන්තගෙන් විශ්වට ගැලවීමක් නොවිණි.

"වරෙන් බන් කෝලන් නැතුව " කී ප්‍රියන්ත , විශ්වව ඇදගෙන අක්බාර් ශාලාව දෙසට හැල්මේ දුවන්නට විය

**

පොලිස් නිලදරයන් සිව්දෙනා බලවත් සේ නොසන්සුන් විය.

"ඈ අයිසේ .. මොකෝ අර අනික් හාදය අපේ මනුස්සයව ඇදගෙන දුවන්න තියා ගත්තේ."

"උන්ට මොකක් හරි ඉව වැටුන වත්ද සර්" රත්නපාල ඇසුවේ කලබලයෙනි. මල්වැන්න හිස සැලිය.

"එහෙම නං වෙන්න බෑ අයිසේ.. ඉව වැටෙන්න දෙයක් තියෙන්න එපැයි" මල්වැන්න වැකියේ අග කොටසට බර තිබූ තාලයෙන් මිලින්ද එය තේරුම් ගත්තේය

"කමක් නෑ. අපිට මෙතන දවසම කොල්ලන්ගේ කෝලන් බලන්න බෑ නේ. අපි ෆලෝ කරලා අල්ල ගමු" මල්වැන්නගේ මුවින් පිටවනවාත් සමග රත්නපාල රිය රේස් කළේය. ඒසමගම රිය බඳෙහි හැපෙන්නට යන යුවතිය දුටු ඔහු තිරිංග උඩ හිට නොගත්තා පමණි. අනතුර නූලෙන් වැළකිණි

"කොහෙද යන්නේ හලෝ" මල්වැන්න හිස එලියට දා ඇසුවේ කෝපයෙනි. යුවතිය තවමත් පහව නොගිය තැති ගැන්මෙන් , කඳුලින් බරව හඬන්නට වූවාය.

"හරි හරි. ඉට්ස් ඕකේ. ඔය ළමය යන්න " ඈ වදනක්වත් නොදොඩා ඉකිබිදිමින් හැරෙන විට ඇගේ බෑගය ලෙහි , බෑගයේ වූ සියල්ල ජීප් රිය ඉදිරියේ පාර පුරා විසිරුනේය. කෝපයට පත් රත්නපාල රිය සැර දැම්මේ ඒ හරුබස්ස ටික යට කරගෙනම යන්නටය.

"සර් මගේ ස්ටෙත් එක" ඈ වෙව්ලන හඩින් කෑ ගෑවාය.

"රත්නපාල, ජීප් එක නවත්තන්න" මල්වැන්න දැඩිව කිවේය.

"දුව ගිහින් අහුලගන්න බඩු ටික" ඔහු යුවතියට කාරුණිකව කිවේය

මේඝනි සිය බඩු බාහිරාදිය එක් කරගන්නා තුරු පොලිස් නිලදරයෝ තවත් විනාඩි පහක් පමණ එතන ඉවසිල්ලෙන් බලා හුන්හ.

Tuesday, February 16, 2016

ඔව් මම එහෙම තමයි. ඇයි ප්‍රශ්නයක්ද?

රොටියාගේ උප්පැන්නයට තොරතුරු දීමේදී සිදුවී තිබූ යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා, රොටියාගේ අම්මා රොටියාගේ තාත්තාට නිතර දොස් කියනවා රොටියාට මතකය. ඒ කුමක් නිසාදැයි කුඩා රොටියාට තේරුමක් නොවීය.

රොටියාගේ සම්පුර්ණ නම ලෙස තිබුනේ අම්මා විසින් දමා තිබූ නම් දෙකකුත් අගට තාත්තාගේ නමත්ය. පොඩි පන්ති වල පොඩි එව්වන් වාසගම ගැන කතා වෙද්දී රොටියාට සිය වාසගම වුයේ තාත්තාගේ නමය. එය කුඩාවුන්ට ඒ දිනවල ලොකු මාතෘකාවක් වුනේ එහෙම වාසගමක් තිබුණු පන්තියේ හුන් එකම එකා රොටියා වූ නිසාය.

ප්‍රශ්නය හටගත්තේ තුන වසරේදීය. උප්පැන්නේ රොටියාගේ නමට ඉදිරියෙන් තිබුනේ රොටියාගේ නිල නම් තුන පමණක් වුවත් තාත්තාගේ නම පටන්ගෙන තිබුනේ "අහවල් XXලාගේ " ලෙසය. අම්මාට ගැටළුවක් වී තිබුනේ තාත්තා මොන ඇන්නෑවකට සිය සම්පුර්ණ නමම රොටියාගේ උප්පැන්නය ට ඇතුලත් කලාද යන්නයි. රොටියාගේ අයියාගේ උප්පැන්නයේ තාත්තාගේ නම මුල වාසගමින් තොරවම ලියැවී තිබිණි. ඒ ද අම්මාගේ උවමනාවටය

දන්නදා පටන් රොටියාගේ තාත්තාට තිබුනේ රත්තරන් බඩු කඩයකි. එය සහ වාසගම අතර සම්බන්දයක් කුඩා රොටියාට වැටහුනේ නැත. එය ලෝකය පෙරලන තරමට ගැටළුවක් කරගත්තේ රොටියාගේ පාසලේ ගුරුවරියන් පිරිසකි

උප්පැන්නයේ ඇති පියාගේ නමට ඉදිරියෙන් ඇති වාසගම දරුවාගේ නමට ස්වයන්ක්‍රියව ඇතුලත් වන බවට ඔවුන් ගසන බෙරපද වලට කුඩා රොටියා හැට හතර වන්නම නටන විට රොටියාගේ අම්මා වහාම ප්‍රශ්නයට මැදිහත් වූවාය. ඈ විසින් පාසලට පැමිණ අර ගුරුවරියන් රොත්තට රොටියාගේ නම නිවැරදිව කියා දුන් අතර , මාස තුන හතරකට වතාවක් යෙදෙන පාසලේ වැඩ කටයුතු වලට ලැබෙන සැලකියයුතු මුදලක් අහිමි කරගන්නට අකමැති වූ ඔවුන් හිස වනා එය පිළිගත්හ. එයින් පසු දිනකට තුන් හතර වතාවක් රොටියාව කැඳවා රොටියාගේ අලගිය මුලගිය තැන්වල සිට වාසගම දක්වා විමසමින් රොටියාට සිදුකරන ලද මානසික පිඩාව නිමා විය.

පසුව දැනගන්නට යෙදුනු පරිදි සිය පාසල් සමයේ රොටියාගේ අම්මා මීට වඩා තිත්ත අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ සිය වාසගම නිසාය. තම දරුවන්ට එසේ නොවුණු පිණිස අම්මා සැලකිලිමත් වීම ස්වභාවිකය

සෙල්ලම නැවත පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පංතියේය. නැවත වරක් අම්මාව සිය ප්‍රශ්නයට මැදිහත් කර ගැනීමට අවැසි නොවූ රොටියා ගුරුවරියන්ට අවැසි දෙයක් කරගන්නට ඉඩදී නිහඬ විය. ඒ කලත් පස්සෙන් එලව එලවා වාසගම ගැන වද වුණු ඇත්තියන්ද නොහිටියා නොවේ.

පාසැල්වල් ගුරුවරියන්ගේ තත්වය ඔයාකාරව පවතින තාක් කල් නම් පහත් යයි හණමිටි ගැහුණු වාසගම් ඇති ඇති ළමුන් පාසල් තුල දිගින් දිගටම අපහරණයට ලක්වනු ඇත.

විශ්ව විද්‍යාලය තුලද වාසගම ගැන හොය හොයා ඇවිදින තමුන් උසස් කුලවල යයි කියාගන්නා වයලට්ලා හා අබිලින්ලා ද ඇත්තේය. ඔබට එවැනි අත්දැකීම් ඇත්දැයි නොදනිමි. නමුත් සමහරු පටන් ගන්නේම "අපි නුවර " කියාගෙනය. මේසා නාටකයක් ඉවසාගත නුහුණු එකෙක් අන්තිමේ "යකෝ" යයි පටන් ගෙන "උඹල තමයි මේ රට සුද්දට ලියල දුන්නේ ඩෝ.." (තව දෙයක් ඔහු කියූ නමුත් කාටවත් අපහාස කිරීමට කැමැත්තක් නැති නිසා එය නොලියමි) යනුවෙන් කතාව නිමකෙරූ සිදුවීමක් සම්බන්දයෙන්ද රොටියාට අත්දැකීමක් ඇත (මේ කියන්නේ නුවර සියලු ඇත්තන්වත්, බහුතරය ගැනවත් නොවන බව සැලකිය යුතුය)

රොටියාට නම් කුලය යනු තමුන්ගේ මී මුත්තන් ගැන අදහසක් ලබා ගත හැකි මුලාශ්‍රයක් පමණි. හොරු , මංකොල්ලකරුවන් , මිනීමරුවන් ගැන ඉන් කියැවෙන්නේ නැත

තම තමුන් , තම තමුන්ගේ කුලය උසස් යයි හිතාගෙන කරගසා උන්නාට කමක් නැත. ප්‍රශ්නය වන්නේ අනුන්ගේ ඒවාට හොස්ස පොවන්නට යෑමය. කුලය ඉදිරියට දමා අනුන්ව පහත් කිරීමට තැත් කිරීමය

විවාහා කටයුතු වලදීද කුලය ඉදිරියට දමා ගැනීම රොටියාට නම් වහකදුරුය.ඒ ගැන නම් මිට වඩා කතා කරන්න යන්නේ නැත

ඉස්සර නම් වාසගම ගැන අහන එව්වන්ට රොටියා උත්තර දුන්නේ "ශ්‍රී වික්‍රම රාජසිංහ ලාගේ " කියාය. එවිට රවුන් වන උන්ගේ මුණු බලන්නට රොටියා මාර කැමතිය
රොටියාගේ ආච්චි නම් ඉන්නේ සිය කුලය ගැන මාර ගැම්මෙනි. අහන ඕනෑ අයෙකුට ආච්චි කියන්නේ " අපේ මිනිස්සු තමයි රජාගේ ඔටුන්න පයින් පාගාගෙන හැදුවේ " කියාය. එනිසා දැන් රොටියාද ආච්චිගේ ගැම්ම හිතට ගෙන අහන ඕනෑ කෙනෙකුට තම වාසගම අමුවෙන්ම කියනවාය

ලිපිය ලියන්නට සිත්වූයේ ජයකොඩි සෙනවිරත්න විසින් ලියා ඇති "දිසාපාමොක් කතාවේ " නවන්දන්න කුලය පහත් යයි සඳහන් කිරීම නිසාය.

Thursday, February 11, 2016

වැලොන්ටයින් හා ගෑණු ළමයි

මේ ටිකේ සිරි ලංකාවේ උදවිය සූ ගා ලක ලැහැස්ති වන්නේ වැලොන්ටයිම සමරන්ටය. අපේ කොල්ලෝ කෙල්ලන් පිටරට ගොස් ඇටි හැලෙන්නට ගන්නා පදක්කම් ඉදිරියේ අඳ ගොළු බිහිරිව උන් මාධ්‍ය ඇත්තෝ වැලොන්ටයිම සමරන්නට තියෙන උනන්දුව කොච්චරද කියනවා නම් "සාදර කෝච්චිද" ලැහැස්ති කරලාය. රොටියාට ඔය වග දැනගන්නට ලැබුනේ ඊයේය.

සුසන්තිකා ඔලිම්පික් දුවන කාලයේ රොටියා ඉස්කෝලේ යනවාය. ඒ දවස්වල සාක් වලට ලංකාවෙන් සුපිරි කොල්ලන් කෙල්ලන් ටිකක් ගියා මතකය. ඒ දිනවල අප ඉස්කෝලේ නිමා වූ විගස හෝ නිමාවෙන්නට කලින් හෝ (රොටියා පාසල් යන දවස් වල පාසලේ වසා තිබූ ගේට්ටුවක් තිබුනේය. රොටියා ඇතුළු කොල්ලන් විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කළේ ඒකය. ඒ මාර්ගය අප විසින් කෙතරම් බාවිතා කරාද කියනවානම් ,දිනක් උදේ එකොළහට පමණ පාසලට පැමිණි පොලිටික්කෙක් පාසලේ ප්‍රධාන දොරටුව ලෙස වරදවා වටහාගෙන ඇත්තේ එම දොරටුවය) පිඹගෙන ගෙදර එන්නේ ඔය තරඟ නරබන්නටය. ලංකාවේ එකෙක් පදක්කමක් දිනූ විට අපට කෑමත් උවමනා නැත.

ඒ ඉස්සරය.ඊයේ උදෑසන රේඩියෝවෙන් ඇසුණු දෙබසකට අනුව ලංකාවේ ආදරය කරන ඔක්කොම එව්වන් මේ ටිකේ පතමින් ඉන්නේ ඔන්න ඔය කියන සාදර කෝච්චියේ යන්නට තමන්ට චෑන්ස් එකක් ලැබෙන ලෙසය. එසේ චෑන්ස් එකක් ලද ඇත්තෝ ඒ සතුටට පිස්සු නොහැදී ඉන්නේ අමාරුවෙනි. කොලු කෙල්ලන් ගැටව් ගැටිස්සියන් ඔක්කොම මේ දිනවල නොකා නොබී කන් දික් කරගෙන බලා ඉන්නේ ඔන්න ඔය කියන ඇමතුම ලැබෙනකන්ය

ඔන්න ඔයාකාර දේවල් සමග රොටියාගේ අමනාපයක් නැත්තේය. නමුත් මාධ්‍ය, කඩකාරයන් හා හෝටල් කාරයන් එක්ව පැඟිරි කොල්ලන් කෙල්ලන් අන්දනවාට නම් රොටියා විරුද්දය. වැලොන්ටයිම සමරන්න ඕනෑම නම් සමරන්නට ඕනෑ තමුන්ගේ මුදල් වලිනි. දේවල් වලට වී හුරතල් වන නංගි බබාලා සහ මල්ලි බබාලා ඉස්කෝලේ ගිහින් ඉවර නම් මොකක් හෝ සාදාරන මුදල් ඉපයීමේ මාර්ගයකට යොමු වන්නට ඕනෑය. උවමනාව ඇත්නම් කරන්නට ඕනෑ තරම් දේවල් ඇත්තේය

කැම්පස් සමයේ එක පෙබරවාරි දහ හතර වෙනිදාවක දේශනය පිණිස පැමිණි ඇඳුරුතුමා එදා දේශනයට පැමින සිටි කොල්ලන් වූ අප දෙසට කින්ඩි හිනාවක් දමා , අද වැනි දවසක දේශන පිණිස පැමිණෙන්නේ මොන කොල්ලාදැයි ඇසුවා රොටියාට අද මෙන් මතකය. ඒ රොටියා පිස්සුවෙන් වගේ දිව්‍යාංගනාව පස්සෙන් වැටි යන දිනවලය. මේ ලඟදි රොටියා ඒ දිවයාන්ගනාව මුහුණු පොතේ සොයා බැලුවේ ගෑණු ළමයාගේ ප්රෝෆයිලයෙනි.දිව්‍යන්ගනාව සිය දරුවාද සමග පින්තුර දමා තිබුනේය. ඒ කව්දැයි රොටියාගේ ඔලුවට උඩින් එබී බැලූ ගෑණු ළමයාට , ඒ කැම්පස් කාලයේ පස්සෙන් වැටි උන් කෙලී පොඩිත්තිය යයි පැවසු කල, ඈ කින්ඩි හිනාවක් දමා "අපරාදේ ඔයාට බදින්නයි තිබුනේ.හොඳට ගැලපෙනවා" කී කල , ඒ ඇයිදැයි විමසු කල , හේතුවක් කීවේම නැත. දැන් දැන් රොටියාට ගෑණු ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක පොඩ්ඩ පොඩ්ඩ තේරුම් ගත හැකි නිසා, ඒ නසරානි හිනාවට යටින් ඈ "ඔයා මැරීගෙන ලස්සනයි කියා කිය ගියේ මෙයා පස්සෙද" කියා කෑ ගැසූ හඬ නම් හොඳට ඇසුණේය

කොල්ලන් කෙල්ලන් පස්සෙන් නොයා ආච්චිලා පස්සෙන් යන්නදැයි ඇසුවාක් මෙන් කොලු වයසට ඕවා ඔහොමය. කොලු වයසට පට්ට ලස්සනට පෙනෙන කෑලි පහු වෙද්දී පට්ට වයස පාටය. කොලු කාලේ නිකමටවත් බලන්නට නොහිතුනු කෙල්ලන් පහු වෙද්දී මාර කෑලිය.

රොටියා නම් කවමදාවත් ඔය කියන වැලොන්ටයිම සැමරූ බවට මතකයක් නැත්තේය. ඒ සම්බන්දව රොටියාට දොසක් කියා පලක් නැත්තේය. රොටියාගේ ගෑණු ළමයා සමග ඔට්ටු වෙන රොටියාට ඔයාකාර දින අමතක වෙන එක ස්වාබවිකය. ඒ දිනවල (දැනුත් වෙනසක් නැත) ගෑණු ළමයා සමග පොදු ස්ථාන වලට යන්නට රොටියා පට්ට බයය. ඒ මන්දයත් කපුටෙක් පුසෙක් බල්ලෙක් කෑ ගසන හඩක් ඇසුණු ගමන් මෙන්න මේ කියන ළමයා ඒ ඒ බාසාවෙන්ම අදාළ තැනැත්තන්ට උත්තර දෙන නිසාය

බව්වා : බව් බව්
ගෑණු ළමයා: බව් බව් බව්..
වටේ එව්වන්: කව්ද යකෝ ඒ අමුතු සද්දෙන් බුරන බල්ලා???

ගෑණු ළමයින් ඔන්න ඔයාකාරය. එක එක ළමයින්ට එක එක ආකාරයේ ව්යාධියන් ඇත්තේය. සමහරු ඇඳුම් වලට මැරෙන්න යති. සමහරු සපත්තු වලට මැරෙන්න යති. සමහරු මාර ලද බොළඳය. තවත් සමහරු රොටියාගේ ගෑණු ළමයා වගේ "unpredictable" ය. ඔය ඔක්කොම අස්සේ රොටියාට පෙන්නන්න බැරි මවාගෙන ඉන්න හදන ගෑණු ලමයින්වය. එවැනි ගෑණු ළමයෙක් කසාද බඳින කොල්ලන්ටද දෙයියන්ගේම පිහිටය. මක්නිසාදයත් කසාදයෙන් පසු ඔය රඟපෑම් ඉවර වන නිසාය. එහෙම රඟපාන පිරිමි උදවියද එමටය. හැබැයි රොටියාගේ අත්දැකීම් අනුව ඕනෑම වයසක ගෑණු ළමයෙක්ට රඟපාන්න හැකි මුත්, ඒ ජාතියේ පිරිමි උදවිය බොහෝ විට අවුරුදු තිස්පහ හතළිහෙන් එපිටය. තමුන් අත අල්ලාගෙන ඉන්නා එකා හෝ එකී, ඔය කියනාකාරයේ නළුවෙක් හෝ නිලියෙක්ද යන්න වටහා ගැනීම තමුන් සතු කාරියකි

ඕනෑම ගෑණු ළමයෙක් මල් වලට කැමතිය. රණ්ඩුවක් වූ විට යාලු කරගැනීමට , විශේෂ අවස්තාවක් සැමරීමට, ස්තුතිය ප්‍රකාශ කරන්නට මලකට කරන වියදම කිසිම දිනක අපතේ යන්නේ නැති බව රොටියා ප්‍රකාශ කරන්නේ වගකීමෙනි

ගෑණු ළමයෙකුට අවශ්‍ය වැදගත්ම දෙය ඇයට ගරු කිරීමයි. ඈව කිසිම කෙනෙකු ඉදිරිපිට අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරීම පිරිමි අපේ වගකීමයි. අප කානුව ඇරියා සේ හිතා නොබලා කියනා සමහර දේ වලින් ගෑණු ළමයින්ගේ හිත කිසිම දාක පිරියම් කල නොහැකි සේ පලුදු විය හැකිය. "අයියෝ ඕක ඔයා ඔච්චර හිතුවද/ මම ඒක හිතල නෙවෙයි කිව්වේ/ මම කිව්වේ ඒක නෙවෙයි" යනාදී බයිලා ගායනා වලින් ගෑණු ළමයින්ගේ හිත් හරියන්නේ නැත. ඒ නිසා සෑම ගැහැනියකටම අවැසි ගරුත්වය ලබා දීම පිරිමි අප සතු කාරියකි

ආදරය යනු ඔය බයිස්කෝප් වලින් මවන හෑල්ලට සහමුලින්ම වෙනස් දෙයකි. හැඟීම් , ආසාව , ආදරය සිහි ඇතුව තේරුම් බේරුම් කර ගත යුතුය. එකිනෙකාට ඇහුම්කම් දීම , ගරු කිරීම, තේරුම් ගැනීම , රැක බලා ගැනීම ඇත්නම් එතැන ආදරයද ඇත. වැලොන්ටයිමේවත් සාදර කොච්චියෙවත් ආදරය සොයා පලක් නැත්තේය. ආදරය ඇත්තේ ඔබේ හදවත තුලමය.

සටහන: මෙය බ්ලොගය පාලුවට යනවාට ලියූ හෑල්ලකි. බස්සිගේ පොත දොරට වැඩීමේ උත්සවයට යාගත නොහැකි වූ නිසා රෙදිත් නැත. බස්සිට සුබපතා ආයතනයට සුබපැතුමක් යවන්නට හිතා උන්නත් මේ ඉලව් වැඩ අස්සේ එයටත් බාලගිරි දෝෂයය.
ගස්ලබ්බා බැඳපු වග දුටිමි. උණුසුම් සුබ පැතුම්...



Tuesday, October 27, 2015

රොටියාගේ ගෑණු ළමයාගේ වීර ක්‍රියා

කසාදයෙන් පසුව ගෙවීගිය කාලයටම රොටියාගේ ගැහැණු ළමයා ගැන ලියන්නට යෙදුනේ අල්ප වසයෙනි. ඒ රොටියාගේ ගැහැණු ළමයා කසාදයෙන් පස්සෙන් පසුව පරිනත වී වගකීමෙන් යුතුව ක්‍රියා  කරන නිසා කියා හෙම හීනෙන් වත් හිතන්න එපාය. ඇත්තම කතාන්දරය නම් දිනකට මේ කියන ගෑණු ළමයා සිදුකරන්නට යෙදෙන නොගිනිය හැකි තරමක් වූ මඥන් වීර ක්‍රියා  එකින් එක ලියන්නට තරම් රොටියාට කාල වෙලා නැති වීමයි. එසේම ඒවා දැන් කොපමණ සාමාන්යකරණය වී ඇත්දැයි කිවහොත් ඈ විසින් ඉඳ හිට සිදුකරන ලබන සිහිකල්පනා ඇති වැඩක් වුවත් දැන් දැන් රොටියාට පෙනෙනුයේ ඉතා අස්වාභාවික ලෙසින්ය

ගැහැණු ළමුන් විසින් සිද්ද කරන ඇතැම් ක්‍රියා  නිසා පිරිමි අපේ රෙදි ගැලවී සරම් ඔලුවේ එතෙන අවස්ථා සුලබය. උදාහරණයක් ලෙස රොටියාගේ ගෑණු ළමයා ගැන කතා කලොත් හෙම ඇගේ ප්‍රියතම  අංගයකි විහිලු කතා කීම!! හෙමිහිට හෙම නොවේ. ගමටම ඇසෙන තරම් වූ සද්දයකින්.....


ඔන්න රොටියා හා ගෑණු ළමයා කසාදයට පෙර පොදු ප්‍රවාහන  සේවා භාවිතා කරද්දී ඈ මෙසේ කියයි
“රොටියා ඔන්න මං ඇම්ඩ ගේ කතාවක් කියන්නම් හරිද..”
එසැනින්, අහල පහල එව්වන් බෙලි උලුක් කර ඇස් ඩොගිත්තා ගන්නේ ඇම්ඩන්ගේ විහිලු කතා කියන්නට සැරසෙන මේ ස්ත්‍රී රත්නය කව්දැයි දැක බලා ගන්නටය . රොටියාට වහ ටිකක් කා, ජනේලයෙන් පනින්නට හිතෙන්නේ අන්න එහෙම වෙලාවලදීය


ඇම්ඩන් ගැන ගෑණු ළමයාගේ ආකල්පය (අන්දරේ වගේ) හා පොදු ජන මතය සහමුලින්ම වෙනස් බව අවුරුදු දෙකක් තිස්සේ ඈට ඒත්තු ගන්නන්නට වලි කෑ රොටියා 
අවසානයේ සිය ව්‍යායාමයෙන් හෙම්බත්ව  කෙසේ හෝ තමුන්ටම කියා වාහනයක් ගැනීමට හිත හදා ගත්තාය. දැන් දැන්  නම් ඈ ඇම්ඩ තියා උගේ පුතා සිරිපාල ගැන කතා කියෙව්වත් සැලෙන්නේ රොටියා හෙම නෙමේය.

සම්බන්දය පටන් ගෙන් මුල්ම කාලයේ ගැහැණු ළමයා හා තනිවන්නට පොටක් පාදාගන්නට මග බලමින් සිටි රොටියාට බොහෝ ඇසු පිරූ තැන් ඇති මිතුරෙකු විසින් දෙන ලද උපදේශය පිලි ගනිමින් ,හා හා පුරා කියා ගැහැණු ළමයා සමග සත්තු වත්තට ගිය ගමනද ඈ විසින් රොටියාගේ ජිවිතයේ අමරණිය අවස්තාවක් බවට පත් කරන්නට යෙදුනේද මිට සමාන ආකාරයකය. සත්තු වත්තේ සත්තු නැති අහුමුලු අස්සේ පෙම්බස් දොඩමින් උන් ජෝඩු දෙස ඉරිසියාවෙන් බලමින් සිටි රොටියාව ඈ විසින් මුළු සත්තු වත්ත පුරාම දක්කාගෙන ගියේ  එතෙක් රොටියා විසින් දැන නොසිටි ඇගේ අසීමිත සත්ව ආසාවත්, තමාව මෙතනට කැඳවාගෙන ආවේ ඇත්තටම සත්තු වත්ත පෙන්වීමට යයි ඈ විසින් දරන්නට යෙදුනු ලද බොළඳ අහිංසක විස්වාසයත් නිසාය.


උපදෙස් දුන් මිතුරාගේ සකල වර්ගයා සිහිකරමින් ඌට මයිත්‍රී කරමින් උන් රොටියාට බිංකුන්ඩෙක් වන්නට කරුණු සිද්ද වුනේ කළු වලසාගේ කුඩුව ලඟදිය. රොටියා විසින් පෙර කර තිබූ කරුමයක් පටිසන් දීම නිසා අපේ මාස්ටර් සෑර් හිරු එලිය තැපීම ඉවර කර සිය ලගිනස්තානය කරා යාමට තීරණය කර තිබුනේ එම වෙලාවෙදිමය.
ගෑණු ළමයා: (උච්ච ස්වරයෙන්) අනේ පව්.. ඒ වලහට ලෙඩක් අනේ....
රොටියා: “ඔයා කොහොමද දන්නේ”
ගෑණු ළමයා : (උච්ච ස්වරයෙන්ම ) “ඇයි අර අර.. ඔයාට පේන්නෙ නැද්ද ? උගේ පිටිපස්සෙන් බටයක් වගේ එකක් තියෙන්නේ. ”
එතනින් එහාට මාස්ටර් සෑර්ගේ “සෑර්” රොටියා දෙස බලාන ඔලොක්කුවට වගේ පැද්දෙමින් උන්නා රොටියාට හීනෙන් වගේ මතකය. වටාපිටාවේ උන් ප්‍රේක්ෂක ජනයාගේ ප්‍රතිචාරය  බැලීමට සුනංගු නොවූ රොටියා ගෑණු ළමයාවත් ඇදගෙන සත්තු වත්තෙන් චුත උනේ චිටාවෙකුගේ වේගයෙනි . එයින් පසුව නම් කසාදය තෙක් ගැහැණු ළමයා හා තනිවන්නට නම් රොටියා හීනෙන්වත් හිතුවේ නැත්තේය


කසාදයෙන් පසුව තත්වය තරමක් සමනය වී යයි සතුටු සිතින් උන් රොටියාගේ රෙදි පසුගිය දිනෙක යලිත් වතාවක් නැති බංගස්තාන වීමට කරුණු යෙදුනාය . ඒ කෙසේද යත් ගෑණු ළමයා හා යන්නට යෙදුනු චාරිකාවකදීය.
ඉතිහාසයට රොටියා සේම කැමති ගැහැණු ළමයාත් එක්කාසු කරගෙන නිවාඩුවක් ලද විගස කොහේ හෝ රජෙක් විසින් තනා ඇති මොකක් හෝ අටමගලයක් කරා ගොස් එහි අහු මුළු සොයා බැලීම රොටියාගේ සිරිතය. මේ ගමන්වලදී ගල් කණු , සෙල් ලිපි ආදියේ කිමිදෙමින් ඒ සම්බන්දයෙන් ,මොනවා හෝ දෙඩවීම රොටියා මෙන්ම ගෑණු ළමයා අතින් නොවරදවාම සිද්ද වෙනවාය (අනෙකා අසා සිටිනවාද නැද්ද යන්න මිට කොහෙත්ම අදාළ නොවන්නේය). උක්ත සිද්දිය පුජා බුමියක වූ නිසා එහි නම නොකියමි. එය විස්මිත ලෙස ඔප මට්ටම් කල ගලින් සැදී පඩි පෙළක් සහිත ගල් තුරු අතර වූ මගක් බව පමණක් කියමි


ගෑණු ළමයා “රොටියා ඔයා දැක්කද මේ ගල කපලා තියෙන විදිය”
රොටියා: “..”
ගෑණු ළමයා : “හැබෑට මෙච්චර ලොකු ගලක් මෙහෙම කපන්න කොහොම ටෙක්නොලොජි එකක් තියෙන්න ඇතිද?”
රොටියා: “..”
අවට කොල්ලන් : “..................”


Friday, October 23, 2015

මෙයිපින්ග්

මේ වගේ වැස්සක් දිහා ඈත් එක්ක බලා ඉන්න
මං කොච්චර නම් හීන මැව්වද..
මේ වගේ වැස්සක කුඩයක් ඉහලාගෙන ඈත් එක්ක ඔහේ ඇවිදන් යන්න
මං කොච්චර නම් හීන මැව්වද

මෙයිපින්ග්... මගේ පුංචි මෙයිපින්ග්

අම්ම උගත්ය බුද්ධිමත්ය කියල
තාත්ත විදේශ සමාගමක වැඩ කළාය කියල
ජාතිද්‍රෝහී කුමන්ත්‍රණ කාරයෙක් කියල හණ ගහපු
පුංචි වහුපැටියා

විප්ලවය .. රතු විප්ලවය..
මාක්ස්වාදය.. සමාජවාදය..
උන් වන්දි ගෙව්වේ
ධනවාදී උනාට

ඔව් , ඉගෙනගෙන සල්ලි හොයාගෙන
ලස්සන ගෙයක් තියාගෙන
වැඩට කෙනෙක් තියාගෙන හිටපු එක
ධනවාදී කමක් තමයි

රතුපාට උනු මාවත් දිගේ
රතුපාට උනු ගොඩනැගිල්ලකට ඇදන් ගිහින්
විප්ලවයේ නාමෙට දිවි නසා ගන්නට බල කෙරුණු
මගේ පොපි මල ...

මෙයිපින්ග්...

Wednesday, October 21, 2015

රාවණායනය 2

පළමු කොටස මෙතනින්


උදෑසන සරසවිය භුමිය වටා පැතිර තිබූ මිදුමත් සමග ආ කුමක්දෝ සුවදක් විශ්වට සිය අතීතය සිහි කළේය. තම සීයාත් සමග මාචු පිචු නම් ඉන්කා බලකොටුව සොයා අන්දීස් කඳුවැටියට ගිය ඒ දුෂ්කර ගමනේ දී හැම හිමිදිරියකම තමා වින්දේ මේ සුවඳමය.
ඒ තමා සියා සමග ගිය මුල්ම ගමන නොවේ. ඊට කලින් බොහෝ වතාවක් රට හෝ නොරටෙහි යෙදුනු සීයාගේ ගමන් වල ගමන් සහයකයා වුයේ විශ්වය. සැබවින්ම තමා සීයාට සහයකට වඩා ගෙන දුන්නේ කරදරයන්ම බව විශ්වට සිහිවන්නේ සිනාවක්ද සමගය. ගීසා වට ගිය ගමනේදී කණ්ඩායම මග නොහැර ගන්නා ලෙස මග පෙන්වන්නා උදක්ම ඉල්ලා සිටියද කාගේත් ඇස් වසා කණ්ඩායමෙන් පැන ගන්නට විශ්ව සමත් විය. විශ්ව මගහැරුණු බව වැටහෙන විට පිරිස සිටියේ ගීසා හි ප්‍රධාන ශාලාවේය. විශ්ව පසුව දැනගන්නට යෙදුනු පරිදි එදින කණ්ඩායමෙන් අඩුවෙන්ම කලබල වී ඇත්තේ තම සීයාය. කණ්ඩායම රැජිනියන්ගේ පිරමිඩ අසලට එන විට එතැන හුන් විශ්ව දැක පුදුම වී තමුන්ට පෙර එතැනට කෙසේ පැමිණියාදැයි විමසූ කල තමා සෙසු පිරිසට ඉදිරියෙන් දිව ගිය බවට කී කතාව, බොරුවක් යැයි වැටහුනේද සියාටම පමණි. එදින රාත්‍රියේ සෙස්සෝ නින්දට ගිය කල විශ්ව සමග එලියට පැමිණි සීයාට තමා සොයා ගත් රහස් උමං මාර්ගය පෙන්වීමට විශ්වට සිදුවුනේ ය. සියා තුල හිඳි කොලුවා විශ්ව සමග එක්වී, එක විදුලි පහනක් පමණක් අතැතිව ඒ උමං මග ඔස්සේ රැජිනියන්ගේ සොහොන් කරා ගිය ඒ ගමන ප්‍රීතිමත්ය.
" ඈ බන් , දැන් අපිට නෙෆර්ටිටි එහෙම හම්බුනොත් මොකක්ද කියන්නේ.... ඒ ඇත්තිට හදිස්සියෙවත් උඹේ සීයා ගැන හිතක් හිතුනොත් මං මෙහෙ ඉන්නං. උඹ ගිහින් කියහන් ආච්චිට සියා හදිසියේ මලා කියල"
සීයා දඟකාරය. විශ්ව ට හැඟුණු පරිදි මව් කුසයෙන් එලිය දුටු දින සිටම මහා බක පණ්ඩිතයෙක් ලෙස හැසිරෙන සිය බාල සොයුරා 'පෘතුවි' ට වඩා සීයා දඟකාරය.

කෙරවලක් නැතිව දිව ගිය විශ්වගේ සිතිවිලි යලිත් පේරාදෙණිය සරසවිය වෙත පොලා පැන්නේ ඈතින් එන නෙලුම් දුටුවිටය. සිතිවිලි කෙතරම් අපූරුද. "දුර ගමනේ යෙදෙන .. තනිව හැසිරෙන...."

පුරුදු පරිදි විශ්වව දුටු වහාම නෙලුම් ගස්සා අහක බලා ගත්තාය.
"අඩෝ මැස්සෙක් ගිය උඩ.." විශ්වට පිටුපසින් සිට කෑගැසුවේ ප්‍රියන්ත හෙවත් 'ප්‍රියා ' ය.ඊලඟට ඔහු 'අල්ලලා දාහන් මචං ' කියමින් විශ්වගේ කරට අත දමා ගත්තේය.

"යකෝ උඹ තව අවුරුද්දකින් ඩොකෙක්.. උඹේ තාත්තට සල්ලි තියෙනවා බල්ලන්ට ගහන්න. උඹේ මල්ලි ගූගල් එකේ වැඩ. මොකෝ උඹ පෙනුම නැති එකෙක් කියලද.. එහෙමත් එකේ බං මේ හාල් කෑලි වලට ටෝක් කරන්න යන්න එපා බූරුවෝ.."

විශ්ව හිනැහී නැවත පිටුපස හරවා යන නෙලුම් දෙස බැලුවේය. සරසවියේ හිඳිනා විශ්වගේ ඇත්තම තොරතුරු දන්නා අතලොස්සෙන් එකෙකි ප්‍රියන්ත. ප්‍රියන්ත යනු කෙනෙකුට කලාතුරකින් හමුවන ජාතියේ මිතුරෙකු බව විශ්ව තේරුම් ගත්තේ ඔහුව මුණගැසුණු දිනමය.

කෙනෙකු මුණගැහෙන පළමු මොහොතේම ඔහු හෝ ඇය පිළිබඳව බොහෝ විට නිවැරදි තක්සේරුවක් කළහැකි පුදුමාකාර හැකියාවක් විශ්ව සතු විය. කෙනෙකු ගැන මුලින්ම හටගන්නා හැඟීම විශ්ව සමාන කළේ පලිඟු බෝලයකටය

ප්‍රියන්ත - පැහැදිලි අහස් නිලෙන් යුතු පලිඟුවක්

සීයා - දම් , කළු , සුදු මිශ්‍ර වූ පලිඟුවක්
මල්ලී - අඳුරු කහ පැහැ පලිඟුවක්
නෙලුම් - තද රතු පලිඟුවක් (හිමි කර ගත නොහැකි මිරිඟුවක්)

නෙලුම් පිළිබඳව පළමු හැඟීමම එතරම් යහපත් නොවූ නමුදු ඇයවම ලබා ගැනීමට තමුන්ගේ සිත හිතුවක්කාර වීම ගැන විශ්වටම ඇතිවී තිබුනේ පුදුමයකි. එය හරියට අර රෝල කෝස්ටර් එකක යාමට ඇති ආසාව වගේය. හිසරදය වැළඳෙන බව දැන දැනම ගමන් වාරයකට පෝලිමේ හිඳිති

ඊළඟ කොටස ඉක්මනින්.....

Thursday, October 15, 2015

වැඩකරන ජනතාව, ප්‍රවාහනය හා පෞද්ගලික බස් මාෆියාව

උදේ පාන්දරින් නැගිට ගෙන තුම්මුනින් හති හලාගෙන බහුතරක් දෙනා අගනුවර බලා දිව එන්නේ හොරකමේ යන්නට නොවේ.

කුමක් හෝ රැකියාවක් පිණිසය...

ඒ කියන්නේ ඒ සියලුම දෙනා මේ රටේ ආර්ථිකයේ කොටස්කරුවෝය. ඔවුන්ට මහා ව්‍යාපෘති වලින් කොමිස් ලැබෙන්නේ නැත. අල්ලස් නැත. ඔවුහු නීතියට එකඟ සාධාරණ රැකියාවක් කරන්නෝ වෙති..

ඔවුන්ගෙන් බහුතරයක් බාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. රොටියා හිතන හැටියට නම් 95% කට වැඩි පිරිසක් ඒ ගොඩට අයත් වෙති..

මේ රටේ පොදු ප්‍රවාහන සේවය කියා ක්‍රියාත්මක වන්නේ මාෆියාවකි..

ලංගමය දුවන්නේ පෞද්ගලික බස් වල උවමනා එපාකම් අනුවය.

1.සතියේ දිනවල උදේ හවස පන්නල පාරේ කොළඹ කුලියාපිටිය ලංගම අධිවේගී බස් රථයක් ඇත. නමුත් එයට නිසි වෙලාවක් නැත. හේතුව පෞද්ගලික බස් රථවල බලපෑම්ය.
2. කුලියාපිටිය කොළඹ කාර්යාල ප්‍රවාහන සේවා රථ වලටද ඔවුහු සිය බලපුළුවන්කාර කම් පෙන්වති.
3. අපුරුවට කරගෙන ආ මිගමුව කොළඹ අධිවේගී සේවාවට කණ කොකා ඇඩුවේ පෞද්ගලික බස් රථවල ආගමනයත් සමගය. කලින් ලඟම හා පෞද්ගලික රථවලට වෙන වෙනම පෝලිම් තිබියද දැන් ඇත්තේ එකකි. එහි කාර්යබහුල වෙලාවල 97%ක් පමණ ඇත්තේ පෞද්ගලික බස්ය.
4. මිගමුව පෞද්ගලික බස් රථ ආසන ගණනට මගින් පුරවාගෙන නැවතුමෙන් පිටත්වන අතර මගදී හිටගෙන යාමට මගින් නග්ගා ගනියි. අධිවේගෙහි ඇති මුරපොළවල් ලංවන විට ඒ මගින් අනෙක් මගීන්ගේ අසුන් වල කෙරවල් වල හෝ ඉඩ ඇති පරිදි බිම හෝ ඔබා ගනිති. මෙයින් සියල්ලෝම අපහසුවට පත්වෙති.
5. කොළඹ කුලියාපිටිය බසයන්ද මේ සෙල්ලමම සිදු කරයි. (අනෙක් බස් වල අත්දැකීම් නැති නිසා යමක් කියන්න අපහසුය. ඔබ දන්නවා නම් මෙයට එක් කරන්න)
6. 176, 154, 155 ආදී කොළඹ ඇතුලත දුවන ප්‍රකට බස් රථවල , කාර්යබහුල වෙලාවලදී මගීන් කිටිකිටියේ තෙරපාගෙන නග්ගා ගනිති. අසරණ මගින්ද වෙන කරන්නට දෙයක් නැති කමට ඒවාට නගිති. වැඩ කරන ජනතාවට සුවපහසුවට (ආසන ගණනට පමණක් මගින් ගියද මේවාට වෙන පාඩුවක් නැත) ගමන් පහසුකම සලසා දෙන්නට මෙතෙක් කිසිම රජයකට නොහැකි විය.
7. දුම්රිය ද එසේමැයි.. සමහර දුම්රිය වල මගින් ජනෙල් වල පවා එල්ලී යති.
8. (ඇසු දෙයකි) ගාල්ල , මාතර අධිවේගී ලංගම බසයන් උවමනාවෙන් ප්‍රමාද කර, මගීන්ව ගෙන යන පෞද්ගලික වෑන් රථ කල්ලියක් ඇත
9 කොළඹ තුල දුවන සමහර බස් රථ යන්නේ කොපමණ හෙමින්ද කියනවා නම් ඒවා ගමන් කරනවාදැයි විටෙක සැක සිතේ

මේවාට පිළිතුරු ලෙස රජය සිද්ද කරන්නේ හරි අපුරු දේවල්ය

1. පාපුවරුවේ යෑම තහනම් - කිසිම කෙනෙක් ආසාවට මෙහි යන්නේ නැත. හැම බසයකම එක ලෙස සෙනග වූ කලී, මගින් බලන්නේ කොහෙන් හෝ එල්ලීගෙන සිය ගමන යන්නය
2. අධිවේගයේ හිටගෙන යෑම තහනම් - දෙකොනින් හිනා යයි. මගින් හිටගෙන යාමට හරි නගින්නේ වෙනත් බස් නැති නිසාය
3. බස් රථ වැඩිවෙලා නැවතුමේ රඳවා තැබීම තහනම් - සමහර තැන්වල මෙය හරියට සිද්ද වේ. රාජගිරිය, කොස්වත්ත වැනි නැවතුම් නම් පෞද්ගලික බස්රථ වල බුදලයන්ය.

වැඩ කරන ජනතාවට පඩි වැඩි කර විතරක් පලක් නැත. පෞද්ගලික වාහන වලින් පැමිණීමද විසදුමක් නොව තව ගැටලුවකි

මේ සඳහා රොටියාගේ යෝජනා කිහිපයක් ඇත
1. ලංගම බස් රථ වැඩි කිරීම
2. බසයක යා හැකි උපරිම මගින් ගණනක් නියම කිරීම. මෙය බසයේ පරිමාවට නොව ධාරිතාවයට සමාන විය යුතුය
3. කාර්යබහුල වෙලාවල නියමිත වේලාවෙන් වෙලාවට බසයන් ගමන් කිරීම තහවුරු කිරීම. මෙයින් රථ තරඟය මෙන්ම , කොට කොට යෑම නවත්විමද අදහස් කෙරේ
4. කාර්යබහුල වෙලාවට මහා මාර්ග බද්දක් අය කිරීම. මෙයින් පොදු ප්‍රවාහන සේවා බාවිතය ඉහල යයි. මාර්ග තදබදය අවම වේ.
5. British School, Musaeus College වැනි පාසල් නිසා අධික තදබදයක් ඇතිවේ. මේවාට පාරවල් වසා (British School නිසා බේස් ලයින් පාරේ එක මන්තිරුවක් වසා දැමේ. ඒ එක ළමයාට එක වාහනය (හෝ සමහර විට දෙකක්) පැමිණෙන නිසාය. මෙය විහිළුවකි)ඉඩ ලබා දීම කෙතරම් යෝග්‍යද? ඒ ඒ පාසලට සුදුසු ලෙස බස් සේවාවන් අනිවාර්ය කලොත් නරකද?

ඔබේ අදහසුත් එක් කරන්න...

Thursday, October 1, 2015

හරි පුදුම ළමා දිනය

සකල සිරින් පිරි මේ සිරි ලංකාව අර ටෙට්සුකෝ කියා තිබෙනවා වගේ හරි පුදුම රටකි. මේ රටේ පොඩි එවුන්ට ලබා දී තියෙන තැන මරේ මරුය

යන්තම් බහ තෝරාගෙන එන පොඩි එව්වන්ව බහුරූ කෝලම් වලට අන්දාන රියලිටි ෂෝ කියා ජාතියක උන් ටික නටවති
ඉස්කෝලේ යන වයසට ආපු එකාට පාසලක් සොයන්නට ගොස් උගේ දෙමාපියන්ව පිස්සු වට්ටා ඊළඟට පොඩි එව්වන් ටික මඩවති
මඩ අනා සෙල්ලන් කරන්න ඕනේ වයසේදී ඒකාට පොතක් පටවා ඌව මරවති
උගේ ඔලුවේ තියෙනා නිර්මාණශිලිත්වය, තනියම තීරණ ගැනීම , ආත්ම විශ්වාසය වැනි දේ බින්දුවටම බස්සා යාන්ත්‍රික රොබෝවරු තනති
ඌ සිය ළමා කාලයම උගස් කර මුහුණ දෙන විබාග වලදී පිස්සු නටති.
අවුරුදු දහතුනක් පාසලේ රඳවාන ඉහ නිකට පැසිගෙන එන විටදී කැම්පස් යවති
පොඩි එව්වන්ට වෙන කෘරකම් වලදී ගොළු බිහිරන් සේ සිටිති
පොඩි එව්වන්ව කපා කොටා ගිනිතියා යන පරිසර තනති

ඒ ඔක්කොමත් කර,
වැල වරකා කොස් දෙල් අල බතල තලුගසන මහා එවුන් පසෙක ඉද්දි, වැරදිකරුවා යයි අඬබෙර ගසා
වැලක නැට්ටේ උන් පොඩි එකෙක්වම ඇදගෙන යති...

ඒ ඔක්කොම එව්වන් ටික එකතු කොට අද වගේ දවසක
ළමා දිනයක්ද සමරති!!!!!



Monday, September 14, 2015

සිරා සහ බුකිය.

කල්ප කාලාන්තරයකට පසුව පස්සෙන් පහුගිය දිනක රොටියාට සිරිපාලව බැහැදකින්න යන්නට පොටක් පෑදුණේය. ගෙදර දොර ලඟට ගොස් පැය කාලක් පමණ මරහඬ තලා, ටෙලිපෝන් කෝල් පන්සීය පනස් දෙකක් දී දොර නෑරුණු තැන රොටියා කළේ උගේ ෆේස් බුකියේ ටයිම් ලයිනයට සුද්ද සිංහල සහිත පණිවිඩයක් ඇලවීමය

ප්‍රතිපලය ක්ෂණික වුවාය

"අඩේ සමාවෙයන් මචෝ.. ගෙදර කවුරුත් නෑ.. මාත් මේ හෙඩ් ෆෝන් දාන් හිටියේ..බ්ලාහ් බ්ලාහ්.." උගේ අඬාවැළපීම ඉවරයක් නොවූ තැන තවත් සංස්කෘත වචන ස්වල්පයකින් උගේ අදෝනාව ඉවරයක් කල රොටියා ඊයක් සේ පිඹගෙන ගියේ ඌ ඔයතරම් උවමනාවෙන් බැලුවා යයි කියන වීඩියෝව බලන්නය

කවුදෝ ගැටිස්සියක් සින්දුවක් කියනවාය

"මයි නේම් ඉස් ශිලා ශිලා ඔහ්..."

යකෝ මේ ඉන්දියන් කෑල්ලක් සුපර්ස්ටාර් එන්න පුරුදු වෙන එකක්ද?

නෑ බූරුවෝ ඕක තමා දැන් ලංකාවේ සුපර් හිට් එක. ෂෝක් නංගිය නේද.. බලන්නකෝ කියන අපුරුව.. ඇස්වහ වදීද දන්නෙත් නෑ නංගි බබාට.....මං මැසේජ් එකකුත් දැම්ම. එයා කියල එයාට මැසේජස් ගොඩාරියක් එන නිසා හැම එකකටම රිප්ලයි කරන්න බැයිලු. බලපන් කොච්චර හැදිච්ච ලමේක්ද.. නැද්ද මචං

රොටියා තව ටිකක් ස්ක්‍රිනය ලඟට සම්ප්‍රාප්ත වුයේ මෙච්චර මූ උඩ දාන කෙලිත්තියගේ මුණ හරියට බලා ගන්නටය

"අඩේ සිරිපාලයා.. මේ ළමයා නේද අර උඹ පස්සෙන් ගිහින් බස් හෝල්ට් එකේදී උබට සපත්තුවෙන් ගැහුවේ"

සිරිපාලයා වීරවි ගියේය."උඹට අමු කැවිලද බන්.." කී නමුත් ඌත් මොනිටරේට පාත් උනේ තවත් හොඳට උගේ නංගි බබාගේ මුණ බලා ගන්නටය

"අයෑම් ටූ සෙක්සි.." නගා ගයයි

අපේ සිරිපාලයා ඇස් ඩොගිත්තා ගනී

"නො නො නෝ මයි නේම් ඉස් ශිලා කී ජවානි.." නගාත් නවත්වන්නේ නැත

සිරිපාලයට දැන් ඇඩෙන නොඇඩෙන ගානය

"යකෝ සිරාවටම උඹ කිව්වත් වගේ. මේ ඒකි නේද බං...."

ඊළඟට සිරිපාලයා පිස්සු වැටුනා සේ මුණු පොතට පැන හතර වටේටම කොටාගෙන කොටාගෙන ගියාය.

රොටියා: අඩේ මොනාද බන් උඹ ඔය කරන්නේ..."

සිරා: (දත්කුරු හපයි..තනියම මුමුණයි) බලපන්කෝ මං මේකිට කරන වැඩේ...

රොටියා: "ඇයි උඹ මොනා කරන්නද"

සිරා: හුහ්.. මේකිව නැග්ගුවෙත් අපි.. බස්සනෙත් අපි.. බලහන්කො මේ ෆේස් බූක් එකේ දාල තියෙන ස්ටේටස්. හැමෝටම රිප්ලයි කරන්න බැයිලු.හුහ් මේකි ගිහින් තියෙන උඩ.. නැද්ද මචං

***

උදෑසන ජවනිකාවෙන් පසු කාබී සැනහෙනවාත් සමග අපේ සිරාට තවත් බලුප් එකක් පත්තු වුවාය

"අඩේ රොටියා.. තෝ බැලුවද අර වීඩියෝ එක.."

"ඇයි දැන් බැලුවේ උඹත් එක්කම.."

"නෑ යකෝ.. අර සුජි ඔය.... කතන්දරේ.."

"නෑ මචං..මොකද්ද ඒ"

"උඹට කියන්න මචං රට ඉන්න ගෑණියෙක් බයිනවා බැනිල්ලක් මිනිහට.. ආයේ නෑ.. මාත් ඕඩියෝ එක විතරයි ඇහුවේ. බලමුද වීඩියෝ එක"

රොටියා හා බෑ කීමට පෙර ඌ දිව ගොස් ලැපය උස්සාගෙන ආවේය. ඒ එන අතරෙත් මූ දෙසා බෑවේ ලංකාවේ දැන් හැදෙන ගෑනුන්ගේ නුගුණය. "මං අහන්නේ මොකක් උනත් ගෑණියෙක්ට වටිනවද බන් මිනිහට එහෙම කතා කරන්න

වීඩියෝව අපැහැදිලිය. කාන්තාවක් දැඩිව කාටදෝ දොස් නගන්නේ දුරකතනයකිනි. වීඩියෝ කරපු ලොල්ලාට ඒක හරියකට කර ගන්නට නොහැකි වූ නිසා දර්ශන එක තැනක රැදෙන්නේ නැත. ටිකකින් ඇගේ මුහුණේ සමීප දර්ශනයක් පෙන්වුණි

රොටියා පැන අල්ලා නොගන්නට සිරාගේ ලැපය තව ඩින්ගෙන් බිමය.

සිරා ගල් බීත වී. අතපය නොහොල්ලා හිඳී.

ඌ එළඹ සිහියට පැමිණියේ ඉන් විනාඩියකට පමණ පසුවය.

රොටියා: "මොකෝ බන් උනේ.. මං හොඳටම බය වුනා.."

සිරා:(සිහින් ඉකියක් අතරින්) ඒ බන් මගේ අක්කනේ.. අම්මල කිව්වට බැන්ද ඔය මිනිහව. දැන් අක්ක එවන සල්ලි වලින් බිබී ඇවිදිනවා. සල්ලි එව්වේ නැත්තන් අපේ ගේ ලඟට ඇවිත් සරම උස්සන් ඉන්නවා. අපි කීප සැරයක් පොලිසිත් ගියා. ඒත් වැඩක් උනේ නෑ. අක්ක අපා දුක් විදිනවා බන් ඔය මිනිහත් එක්ක...උඹම කියහන් එහෙම මිනිහෙක්ට ඔහොම නැතුව වෙන කොහොම කතා කරන්නද?
හොයපන් මචං මේක වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාපු ****යව. මං ගිහින් ඕකගේ බඩ මාළු එලියට ගන්නවා

****
සමාජ ජාල වල වීරයෝ විරවරියෝ නැත. දුෂ්ටයෝ දුෂ්ටියෝ ද නැත. එවැනි චරිත ගොඩ නගන්නේ ඒ ඒ ජාලවල සැරිසරනවුන්මය.කෙනෙකුගේ පවුගලිකත්වය වීඩියෝ කොට ජාලගත කරන්න නම් මානසික ලෙඩෙක්ම විය යුත්තේය. පැණි හැලියට වැටුණු ඇඹල පැටවූ මෙන් එක එක කාලයට එක එක චරිත වලට වන්දනාමාන කරන්නෙත් ,විවිද චරිත වලට අසීමිතව මඩ ප්‍රහාර එල්ල කරන්නේත් එවැනිම ලෙඩ්ඩු ය..


Friday, September 4, 2015

නිවන තව දුරද අම්මේ???

නිවන මොනවගේද මගේ සුදු අම්මේ..
රතුපාට නිල්පාට කොලපාට බෝල බෝල වගේ දිලිසෙන දෙයක්ද අම්මේ
නැත්නම් මුද්දරප්පලම්, කජු දාපු අයිස්ක්‍රීම් වගේ දෙයක්ද අම්මේ
එහෙමත් නැත්නම් ගුණපාල මුදලාලිගේ කිරිපාට වාහනේ වගේද අම්මේ

ඉස්සර වගේ දඟ නොකර
මල්ලිලා නංගිලා බලාගෙන හරියට
කියනදේ අහගෙන
හිටියොත් එක්ක යනවද මාව

සරුංගලේ මගේ රතු රැලි දාපු- උඩ යවනවා මං තිතක් වෙනතුරු
නුල ගැටගහල ලිද ළඟ ගහේ සරු - නගිනවා මං නිවන හම්බවෙනතුරු

සාසනේ රැකගන්න
දේපල පිටනොයන්න
ටිකක් ලොකුවුනාම ම
එන්නං මං පන්සලට

ගෙවන හැම දවසකම
මතක් වෙනවා ගෙදර
මහන්සියි මට හරිම
තව ගොඩක් දුරද නිවනට...


දැන් මේක කියවපු නෝනා මහත්වරු රොටියාට අපායට විසා දෙන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි
අන්‍යාගම්කරණයට විරුද්දව ගිරිය කඩාගෙන කෑ ගහන උත්තමයෝ පොඩ්ඩක් හොයල බලනවද ඇයි ඒ මිනිස්සු ඒ ඒ ආගම් වලට හැරෙන්නේ කියල..
ඔව් ඔව්.. ඒ මිනිස්සුන්ට සල්ලි දීල තමයි..
දිව්‍ය ලෝකෙ යන්න කලින් ජීවත්වෙලා ඉන්න එපැයි
ඒ නිසා ඒ මිනිස්සුත් සල්ලි ගන්නවා තමයි
ඒ ආගම් වලට සල්ලි හම්බෙන්නේ කොහොමද
හරියට හරි.. පිටරටින්

පිටරට ආදාරත් ඇති.නමුත් ඒ ආගම් වල දුප්පත් අය සඳහා නිසි වැඩපිළිවලක් තියෙන බව මම දන්නවා. කතෝලික ආගම ගත්තොත් සිස්ට කෙනෙක් හරි ෆාදර් කෙනෙක් වෙන්න හරි හරිම අමාරුයි. ඔවුන්ට ඉස්සරලා හොඳට උගන්නලා ඊළඟට තමා සාසනයට ඇතුල් කර ගන්නේ. ඒ අතර කාලයේ ඕනෑ කෙනෙක්ට ඒකඅතහැරලා යන්න පුළුවනි .කාලයක් කතෝලික ආගමට සම්බන්ධ තැනක නැවතිලා හිටිය නිසා මම කියන්නං(ඔව් ඔව්.. මම ඒ දවස් වල හැමදාම දිව්‍ය පුජාවටත් හිටිය තමා. හැබැයි බෞතිස්ම නම් උනේ නැහැ. අදටත් මම හොඳ බෞද්ධයෙක්)
ඒ ෆාදර්ස් ලා සිස්ටර්ස් ලා හම්බ කරන සල්ලි ඔක්කොම දෙන්නේ ඒ අයගේ නිකායට. නිකායෙන් එතුමන්/ එතුමියන්ට ගෙවීමක් කරනවා මාසිකව. සල්ලි කාරයෝ දෙන ආධාර උනත් එහෙමයි. ඒ සල්ලි වලින් නිකාය දුප්පත් අයට උදව් කරනවා
දුප්පත් ළමයි නවත්තගෙන ඉන්නවා. මම කියන්නේ නැහැ ඒ ළමයින්ට රජ පැටවුන්ට වගේ සලකනවා කියල. ඒත් ඒ ළමයින්ට අරපරිස්සම ගැන හොඳටම උගන්නවා ප්‍රායෝගිකවම.
ඒ ළමයින්ව කර්මාන්ත වලට හුරුකරනවා. නිසි වයසේදී ගෙදර යවනවා. නැත්නම් බන්දල දෙනවා
හැබැයි එහෙම ඉන්න ළමයි ඔක්කොම අවුරුදු 15,16 වගේ වයස් වල ළමයි.

ඇයි බුද්ධාගමේ විතරක් එහෙම පිළිවලක් නැත්තේ. (එහෙම තියෙන පන්සල් ගැන මම නම් ඇත්තටම දන්නේ නැහැ). ඔය පොඩි ළමයි ටික ඔය වයසේදී මහන කරවන්නේ නැතිව ටිකක් තේරෙන වයසට ආවම මහන කරන්න බැරි ඇයි...
ළමයෙක් ඇත්තටම කැමති උනත් නිසිවයසට එනකම් ඒ ලමයව පන්සලේ තියාගෙන උගන්න බැයිද..
දුප්පත් පවුල්වල බර අඩු කරන්න ඒ පවුල්වල ළමයින්ව මහන කරන්නම ඕනෙද..
ඇයි අපේ ගොඩක් හාමුදුරුවරු පන්සල් වල අර බිල්ඩිමයි මේ බිල්ඩිමයි හද හද දගලන්නේ..
ඇයි මේ සමහර හාමුදුරුවරු අසපු තියාගෙන වැජබෙන්නේ..(නෑය කියන්න නම් එපා)
ඇති හැකි සත්ගුණවත් බෞද්ධ ජනතාවට බැයිද මාසිකව යම් මුදලක් පරිත්‍යාග කරන්න..දුප්පත් අයට

මේක බලන්න