Friday, February 14, 2014

එකෝමත් එක දවසක - 09

එදා සිට එයින් අවුරුදු හයක් යනතුරු වුනු හැම සිද්දියක්ම ලියමින් කියවන ඔබව වෙහෙසට පත් කිරීම මට සුළු දෙයකි. මොකද ලියා ඉවර කරන්නට බැරි තරම් වූ සිද්දීන්ගෙන් ගහන ප්‍රේමය හැර අන් සියලුම දේ තිබූ ප්‍රේමයක හිමිකරුවා මම වන නිසාය. එබැවින් කතාව දික් ගස්සන්නේ නැතිව මම ඉතිරිය කෙටියෙන් ලියන්නට උත්සහ ගනිමි

මගේ දිව්‍යංගනාව එදා සිට මා සමග මිතුරු වුයේ ඒ ආකාරයෙනි. විටෙක මට මිතුරියක් යයි හැඟෙන ආකාරයටද, තවත් විටෙක මගේ හිතට සමීප කෙනෙකු හැසිරෙන ආකාරයටද තවත් විටෙක මා කසාද බැඳීමට කැමති ආකාරයටද හැසිරෙමින් ඈ මාව මෝල් කළාය. මමද නියම ඇඹලයෙකුගේ භූමිකාව අපුරුවට රඟ පාමින් උසස්පෙළ අවසන් වන තුරුම ඇයට වහ වැටි සිටියෙමි


මා මිතුරු රැල මුලින්ම මෙය සැලකුවේ තවත් එක් තාවකාලික ප්‍රේමයක් විදියටය. අනතුරුව සැලකුවේ ඇත්තම ප්‍රේමයක් විදියටය. ඊට පසු උන් හිතුවේ අපි දෙදෙනා කැමැත්ත ප්‍රකාශ කරගන්න විදියක් නැතිව ඉන්නා ගානටය. මෙයට ස්ව කැමැත්තෙන්ම තෝලක කම් කිරීමට මගේ මිතුරන් සියල්ලෝම එකාවන්ව එක් සිත්ව සිටියහ. නමුත් ඔවුන්ව වැලක්වුයේ මාය. මට උවමනා වුයේ ගරු කටයුතු ප්‍රේමයකි. මිතුරෙකු හරහා ඇගෙන් මට කැමැත්ත විමසවිමට මට උවමනා නොවිය

එක් දිනක් ලපයා උගේ බැරෑරුම් මුහුණ දාගෙන මා හමු වුවාය. මට මතක ලෙස එකල විබාගයට තිබුනේ මාස අටක් වැනි කාලයකි

ලපයා: මචං මං මේ උඹ මගේ ෆිට් එක හින්ද අහන්නේ

මම: කියපන්

ලපයා: මචං උඹට ඔය කෙල්ලව විස්වාසද? මං කියන්නේ ඒකි උඹත් එක්ක සෙල්ලන් කරන්නේ නෑ කියල උඹට සුවර්ද

මට ඇයව විස්වාස බවත්, ඈ මට කැමති වග නොයෙකුත් ක්‍රම වලින් අඟවා ඇති බවත්, එනිසා හදිස්සි වීමට උවමනාවක් නැති බවත් මම ඌට කිව්වෙමි. ඈ මට කැමතියි මම ඈට කැමතියි

ලපයා: මචං මම උඹව දන්න හින්ද කියන්නේ. උඹ තාම පොඩි එකෙක් වගේ මචං. පොඩ්ඩක් කල්පනාවෙන් හිටපන්. දැන් ඉන්නේ අං ගිලපු කෙල්ලෝ. එකී ගෙවල් පැත්තේ කොල්ලෙක් එක්කත් මොකද්දෝ හුටපටයක් තියෙනවයි කියල නදීට ආරංචි වෙලා තියෙනවා

ඈට ගොඩක් මිතුරන් ඉන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.

ලපයා: හරි කොල්ලෝ. උඹ ෆිට් නම් මට එච්චරයි. මොනා කලත් බන් විබාගය අනාගන්න නම් එපා. උඹේ අම්ම ගැන හිතල, තාත්ත ගැන හිතල විබාගේ ලියපන්. එච්චරයි මම කියන්නේ

මගේ ජිවිත කාලයේ හමුවූ හොඳම මිතුරා ලපයා බව මම අදටත් කියන්නේ අන්න ඒ නිසාය. ලපයා එදා මාව මානසිකව වැට්ටුවේ නැත. මගේ හිත බින්දේද නැත. ඌ කළේ මගේ විබාගය ගැන මට මතක් කරපු එක විතරමය. ඌ එදා මට ඔය කතාව කිව්වේ කතාවේ ඇත්ත නැත්ත ඌ විසින්ම විමසා බලාය. සම්පුර්ණ කතාව ඌ මට කිවේ විබාගය ඉවරවී මාසයකුත් ගිය තැනය



No comments:

Post a Comment