Monday, February 24, 2014

එකෝමත් එක දවසක -10

තියෙන වැඩ මදිවාට මේ අවුරුද්දේ රොටියාට මගුලකුත් සෙට් වී ඇත්තේය. කවදා නමුත් ඉවරයක් කල යුතු නිසා ඒ මගුල ඉවරයක් කර දමන්න රොටියා අවසානයේ කල්පනා කළාය.ඒ නිසා බ්ලොගයට පොස්ටු දැමීමේදී අක්‍රමිතා සිදුවිය හැකිය. පාඨකයෝ තේරුම් ගනිත්වා!

සමහර ගෑණු ළමයින්ව තේරුම් ගැනීමට නම් මක් කලත් බැරිය.මා එසේ කියන්නේ ගිනිපෙනෙල්ලෙන් බැට කාපු නිසාය. කතාවේ මේ කාලය වනවිට මා සිතා සිටියේ ඇත්තටම ඈ මට කැමති බවයි. පාසල් යනවිට සමහර දවසට අම්මා හෝ තාත්තා මා අත තබන සල්ලි දහමරන් දාගෙන එකතු කරගෙන මේසය මත තැබිය හැකි හුරුබුහුටි සුරංගනා අනුරුවක් මගේ සුරන්ගනාවියට තෑගී දීම පිණිස මම මිලදී ගත්තෙමි. ඊළඟ සෙනසුරාදා වෙනදාට කලින්ම පන්තිය වෙත ගිය මම කල්මරුවේ සුරංගනාවිය එනතුරුය.

ඔය එන්නේ ඈ ඈත. පාවිගෙන. නැලවිගෙන ලැසි ගමනින්..

දුර තියාම මා සමග හිනැහීගෙන පැමිණි ඈ පොත් මිටිය ද රැගෙන කෙලින්ම මගේ මේසය ලඟට ආවාය.

මට සුබ පැතූ ඇයට මමද පෙරලා සුබ පැතුවෙමි. එදා අපි දෙදෙනා මොනවදෝ මහ ගොඩක් කතා කල බව මතක ඇතත් කතා කරපු කිසිම දෙයක් මට සිහියට නොඑන්නේ එදා මම තෑග්ගේ සිහියෙන් සිටි නිසා විය හැකිය.

මම: මම ඔයාට පොඩි දෙයක් ගෙනාවා. ගන්නවද මාත් එක්ක තරහ නැතුව..

මල් හිනාව සමගින් "මොකද්ද අනේ..?" ප්‍රශ්නය

මම: අරන් ඔයාම බලන්නකෝ

ප්‍රශ්නයට පිලිතුර වූ නිහඬතාවය ඈ කැමැත්ත ප්‍රකාශ කල ආකාරය යයි හිතාගත් මම මගේ අගනා තෑග්ග ඈ අත තැබුවෙමි. මට මතක විදියට ඒ තෑග්ග එකල රුපියල් තුන්සියයක් වැනි ගණනක් විය

එදා මම රුපියල් දහ දාහක පමණ වටිනා තෑග්ගක් ඈ අත තැබුවානම් මේ කතාව මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව මට තේරෙන්නේ දැන්ය.එලෙස වෙනස් වූ කතාවකට වඩා, මගෙන් ලද පළමු තෑග්ග ලෙස බස් ටිකට් එකක් සහ රුපියල් දෙසියයක පැන්ඩේක් තියාගෙන සිටින පෙම්වතියක් සමග දැන් ගෙවන සරල සුන්දර ජීවිතය වටින බව මම දන්නවාය. මුදල් හෝ තත්වය නිසා ලඟට එන පුද්ගලයන්ට වඩා ජීවිතය බෙදාහදාගෙන අපත් සමග ජීවිතය ගොඩනගා ගන්නා ආදරණීයයන් ලෝකයක් සමානය. හරියට අපේ මවුපියන් අප සමග ලෝකය ගොඩනගා ගත්තා වගේය. එවැනි පුද්ගලයන් කවදාවත්ම ඔබේ ජීවිතයේ දෙවෙනි තැනට ඇද දාන්න එපාය.

තෑග්ග විමසා බැලූ ඇගෙන් මා බලාපොරොත්තු වූ තරම් ප්‍රතිචාරයක් නම් ලැබුනේ නැත. හදවතක් අතේ තියන් උන් සුරංගනාවිය මගේ පණිවිඩය ඈට පවසන්න අසමත් වුවාවත්ද?

ලස්සනයි..

ලස්සන විතරමද? ඇයි දෙයියනේ පෙන්නේ නැත්තේ සුරන්ගාවිය අතේ තියෙන හදවත..

කොහොම නමුත් මට බලාපොරොත්තුවක් ඉතුරු කරමින් ඈ මගෙන් තෑග්ග බාර ගත්තාය. ඒකවත් මදෑ.. ඇටයා කියන පරිදි ඒකවත් මදෑ..

එකල (මෙකල මෙන්ම) මා අති දක්ෂ සිසුවෙකු නොවූ මුත්, කැම්පස් යන බවට ගුරුවරුන් බලාපොරොත්තු වී සිටි සිසුන් අතරට ඇතුලත් වී සිටියෙමි. මේ මනමාලකම් අස්සේ මගේ කල්පනා ශක්තිය ඇත්තටම පිරිහී ගියේය. ගණනක් හදන විටත් ඈ සමග ගොඩ නගන ලෝකය ගැන හීන ඔලුවට ආ බැවින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී වෙනදා තරම් සාර්ථක නොවුනෙමි. ලපයා මට අවවාද කළේ මේ තත්වය යටතේය

ලපයාගේ අවවාදයෙන් පසුව ඇත්තටම මට මා ගැනම පොඩි පහේ ලැජ්ජාවක් ඇතිවිය. ජීවිත කාලයම දුක්විඳ උස්මහත් කල දෙමව්පියන්ගේ බලාපොරොත්තු කොහෙවත් යන කෙල්ලෙකු නිසා කැප කිරීමට ගිය ගොන් හරකාගේ මොලේ පාදන්න ලපයා එදා සමත් වුවාය

ඉතින් මම විබාගය ගැනද සිතන්නට පටන් ගත්තෙමි. දිව්‍යාංගනාව පොඩ්ඩක් පැත්තකට කර පාඩම් වැඩ කෙරෙහිද අවදානය යොමු කලෙමි. මා මේ කියන්නේ දිව්‍යන්ගනාව අමතක කළා කියා හෙම වරදවා හිතන්න එපාය.මා තනිකරම දිව්‍යන්ගනාවට වෙන්කර තිබූ හිතේ ඉඩ පොඩ්ඩක් පාදාගෙන විබාගයට වෙන් කළා පමණි

විදුලි වේගයෙන් දවස් සති විය. සති මාස විය. මෙන්න විබාගය ඇත ලඟම..
 

2 comments:

  1. Fattai machan. mulu blog 1ta eka digata kiyewwa. (applied sirgen 2k ahagaththa :-D )

    ReplyDelete
  2. රොටියගේ මගුලට මම හදවතින්ම සුභ පතමි. එමෙන්ම රොටියට සහ ඔහුගේ අදරනීය බිරිඳට දරු මල්ලො වෑඩි වෑඩියෙන් ලෑබී අති සාර්ථක යුග දිවියකට සුභ පතනව මචන්!! 👌

    ReplyDelete