Sunday, April 6, 2014

එකෝමත් එක දවසක - 16

මේ කතාවේ මේ කොටස ලියන්නට තිබුනේ මීට සතියකට හෝ දෙකකට ඉහතදී බව දනිමි. ඒත් මාත් නොදන්නා මොකද්දෝ හේතුවක් නිසා ලිවිම දවසින් දවසම කල් ගියේය. සමහර විටෙක ඉතුරු කොටස් දෙක තුන මා ජිවිතයේ මතක් කරන්නට අකමැතිම කාල වකවානුව වන නිසා විය හැක

මා මාස කිහිපයක්, මගේ දෙව්දුව සමග ආකාසේ සිහින මාලිගා හැදු අයුරුත්, හදිසියේම ඈ මාව එයින් බිමට දැමු ආකාරයත් පසුගිය කොටසේ සදහන් කලෙමි. කතාව කොට කර ලියන්නට වාක්‍ය පේලි දෙක තුනකින් අදාළ කතාව අවසන් කිරීම, කියවන ඔබට කරන අසාධාරණයකි යයි මටම පසුව සිතුනේය. කතන්දරේ මෙහෙමය

යාලුවන්ගේ ඇනුම් බැනුම් මැද්දේ මම මගේ දිව්‍යාංගනාව හොඳම යෙහෙළිය කර ගත්තෙමි. ඈටත් මං නැතුව කිසිම දෙයක් කර ගන්නට බැරි විය. නෝට් ෆොටෝ කොපි ගහන්න, යාලුවන්ගෙන් ඉල්ලා දෙන්න, පාඩම් කරන්න, රෑ උනාම ගිහින් ඇරලවන්න ඈට මතක් උනේ මාවය. මමත් සියලුම වැඩවලට පැනගෙන සහබාගි උනෙමි. මගේ ගෑණු ළමයා ලෙස සලකමින් මම ඈ ගැන සොයා බැලුවෙමි. මගේ ජීවිතය ඈම විය. කොටින්ම, එකපිට සති අන්ත දෙක තුනක්ම ගෙදර නොගිහින් බෝඩිමේම නැවතුනේ ඈ නිසාය. අවංකවම කිව්වොත් අද මට හිතෙන්නේ ඇගේ වැරද්දක් නැති බවය. මොකද, කිසියම් කොල්ලෙකු ගොන් බුරුවෙකු සේ උඩ පැනගෙන ආවඩාගෙන යනවිට ගෑණු ළමයින් සමහරු උගෙන් හොඳ හැටි ප්‍රයෝජන ගනිති. එතන වැරැද්ද කෙල්ලගේ නොව කොල්ලාගේය.

මෙසේ මාස හතක් අටක් ගතවෙන්නට ඇත. ටික ටික ඈ මාව මගහරින ගතියක් මට දැනුනි. රෑ වූ විට ගිහින් ඇරලවීමට වෙනදා මෙන් මට කතා නොකලාය. ඇසු විට කියුවේ, දිගින් දිගටම එසේ කරන විට ඈ නැවතී සිටින ගෙදර උදවියට උනත් වැරදි විදියට ආරංචි වන්නට පුළුවන් නිසා නොඑන එක හොඳ බවය. අනික දැන් මට පාර පුරුදුයි නේ

එක පාරක් ගිනි පෙනෙල්ලෙන් බැට කා සිටි මට, එන පොට හොඳ නැති බව ටික ටික තේරුණේය. ඈට සීනියර් කොලු පරානයක්, ඈ ගැන උනන්දු වී සිටිය බවත් දැන සිටි මා, ඔක්කොම සිද්දීන් අනුලෝම ප්‍රතිලෝමව සමාලෝචනය කරන්නට යනවිට, කැම්පස් එකේ පාළු මුල්ලක සිටි ප්‍රස්තුත විෂයන් දෙක අතටම මාට්ටු උනාය. ඇසු විට කිව්වේ නොතේරෙන පාඩමක් අසාගත් බවය. මගෙන් අසා දැනගත්තා නම් නරකදැයි ඇසු විටය ඈ මගේ අද්යාපන තත්වය ගැන මාත් නොදන්නා දේවල් ඇදබාන්න පටන් ගත්තේ.

මා කරන පාටමාලවට තේරී පත්වන්නේ, අඩුම ලකුණු ලැබූ සිසුන් වන බවත්, ඇගේ පාටමාලාවේ ඉන්නේ ලංකාවේ හොඳම මොළ ටික බවත්, හිරිකිතයක් නැතුව කියා දැමු ඈ පසුව කියූ කතාවට සමාව ඉල්ලුවද, ඒ වන විටත් මා තුල සිටි හිරිමල්, ලජ්ජාකාර යව්වනයා මියගොස් තිබිණි. මට මාව නැතිවී තිබිණි. කොටින්ම මා ලැජ්ජාවක්, බියක් නොහදුනන සල්ලාලයෙකුගේ තත්වයට වැටි තිබුණි. ඉතින් එදා සිට මමද රොටියෙකු උනෙමි..

ආචාරශීලි, ගුණගරුක යහපත් කම් සියල්ලක්ම අතීතයට එක්විය. හැම එකටම බොන මදාවි කොල්ලන් රැලකට සෙට් වූ මම, නැතිවී ගිය ආත්ම ගවුරවය නැවත ලබා ගැනීමට කරටි කැඩෙනකන් බිව්වෙමි. වෙරි පිට, වෙනත් සිම් පත් බාවිතා කරමින් දිව්යාන්ගනවාට එක එක පණිවුඩ යැව්වෙමි. කැම්පස් කෙල්ලන්ට නුවමනා විහිලු කලෙමි. කැම්පස් එක තුල චාටර් ලේබලය ගසා ගත්තෙමි.

පෙර පිනකට මොළය ටිකක් තිබූ නිසා, එකදු විබාගයක්වත් අසමත් වන්නේ නැතුව ගොඩ දා ගත් බව නම් සැබෑය. ඒත් කැම්පස් ජීවිතය අවුරුදු දෙකක් තිස්සේ මම අනාගනිමින් සිටියෙමි. මගේ දිව්‍යාංගනා තොමෝ කිසි වෙනසක් නැතුව මා හා කතා කළාය. ඈ හොරෙන් මා දෙස බලා ඉන්නා අයුරු කීප විටක්ම මගේ දෑසට හසුවුණු විට, මගේ හිත යලි යලිත් කිවේ ඈ මට කැමති බවය. සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය.

ඉබාගාතේ ගිය මගේ කැම්පස් ජීවිතය ගැන ලපයාට ආරංචි වුයේ මෙන්න මේ අතරය. ගාල කඩා ගත් අස්පයෙකු මෙන් හදිසියේ ලපයා අපේ කැම්පස් එක තුලට කඩා වදින විට මා සිටියේ කුලුනකට මුවාවී, ඈ දෙස බලාගෙන ඈට පැණි හලමිනි. ඈට මාව පෙන්නේ නැත.

මම "සූ සූ සූ" ගාමී. ඈ නෙතු කරකවා වටපිට බලයි. කොණ්ඩය, සාය හදයි. කිසිවෙකු පේන්නට නැති බැවින් මනමාල හිනා පාමින් කෝමල ලෙස නැවත පොතට එබෙයි.විනාඩි දෙකකින් පමණ පසුව මම නැවත "සූ සූ" ගාමි..

ලපයා පසෙක සිට මේ කෝලම දෙස සෑහෙන වෙලාවක් බලා හිදින්නට ඇත. ඌට ඔත්තුව දී ඇත්තේ ගෙම්බාය. මගේ සුබ සිද්දිය හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කල ඉස් ගෙඩියා, රෝබිනා, පුසා හා කරුණේ අදාළ අවස්ථාවට අරාදනා නොලබාම සහබාගි වී ඇත. සෑහෙන වෙලාවකට පසුව ලපයාව දුටු මම ඇත්තටම තිගැස්සුනෙමි. ලපයා මුකුත්ම කිවේ නැත. ඌ මගේ දෑස් දෙස බලා උන්නා පමණි. මම හැරුනෙමි. මා පසු පසින් ඌ ආවේය. ඌ පසින් ගෙම්බා ඇතුළු පිරිවර පැමිණියහ. බෝඩිමටම යන තුරු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැත.

බෝඩිමට ගොස් ආපිට හැරුනේ ලපයා සමග කතා කරන්නටය. ඒත් ඒසමගම මට ඇසුනේ 'චටාස්' ගා සද්දයකී. වම් කම්මුලෙන් දුම් පිටවෙන්නේ ඇයි දැයි සිතන විටම මෙන්න දකුණු කම්මුලටත් එවැනිම පාරක්.. කම්මුල් දෙකම අල්ලා ගත් විට උරහිසට, පිටට, තට්ටමට සහ කකුලට. බිම වැටුණු විට විනාඩි පහක් පමණ පයින් පාරවල්..

ලපයා ඇතුළු සියලුම දෙනා එකාවන්ව එදා මට පහර දුන්නේ, මා එවැනි පහර කෑමකට සුදුසු නිසාය. අවසානයේ බිම වැටි සිටින මා නැගිටවාගත් ලපයා මා ඇඳෙන් වාඩි කෙරෙව්වේය..



6 comments:

  1. ඔන්න රොටියෝ සිරා යාළුවො

    ReplyDelete
  2. හොඳම යාලුවො කියන්නෙ මේ වගේ උන්ට රොටියෝ

    ReplyDelete
    Replies
    1. අනිවා. සහෝදරයෝ වගේ

      Delete
  3. "සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය." මේ ටික නම් නියමෙටම ලියලා තියනවා.
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න

    ReplyDelete
    Replies
    1. ලියනවා. ලියනවා.ඉක්මනටම ලියනවා

      Delete