Tuesday, June 2, 2015

අමතක මතකය..

අමතක කරලා දාල තියෙන, නැත්තන් අමතක වෙලා තියෙන , එහෙමත් නැත්තන් මතක් කරන්නට කැමති නැති, මතකයන් මේ ජීවිතය පුරාවටම තියෙනවා. ඇත්තටම ' මේ මොහොත' කියා දෙයක් නෑ. ඇත්තේ බලාපොරොත්තු හා මතකයන් පමණයි.

දෙදෙහස් අටේ ජුනි මාසයේ දවසක රොටියා පුරුදු පරිදි 255 බස් රියකට නැග්ගේ විශ්ව විද්‍යාලයේ දේශනයකට සහබාගි වෙන්නයි. රොටියා ගිය බසයට ඉදිරියෙන් ගිය 255 බසය විශ්ව විද්‍යාලය පසුවෙනාවත් සමගම පුපුරා ගොස් තිබුනා. මෙහිදී රොටියා බස් බෝම්බයකින් අනූ නවයෙන් බේරුනා යයි පම්පෝරි ගසන්නේ නැහැ, මොකද ඒ බස් රථයේ රොටියා උන්නත් බෝම්බය පුපුරන විට රොටියා බොහෝ විට බසයෙන් බැස තිබේවි..

නමුත් ජිවිතයේ දී අම්මා කෙනෙකුගේ මුවින් අසන්න නොලැබෙන තරමේ දුක්ඛිත විලාපයක් අමතක කරන්න රොටියාට නොහැකිවාක් මෙන්ම තමුන් බත් පාර්සලය බැඳ දී බස් රථයට ගොඩ කල තමන්ගේ දරුවා ඔලුවේ පැත්තක් නැතිව මහා මග වැටි උන් හැටි අමතක කරන්න ඒ අම්මාටත් බැරුව ඇති.. බස් රියේ දොර අසල අසුනේ වාඩි වී හුන් කාන්තාව හාස්කමකින් බේරී තිබුනත් ඈට තම යාබද අසුන් වල හිඳි මගීන් මැරී වැටි උන් හැටි තාමත් මතක ඇති..

එදා සිදුවූ සියල්ල මෙතන ලියන්න රොටියා කැමති නැහැ. නමුත් ඒ අවස්ථාවේ හමුදා නිලධාරින් ක්‍රියා කල ආකාරය නම් ප්‍රශංසනීයයි. එයත් කිසිදාක අමතක කරන්න බැහැ

**** **** ****

රොටියාට යන්තම් මතක ඇති කාලයේ , රොටියාගේ ගමේ එකම නම ඇති මිතුරන් දෙදෙනෙකු සිටියා. රොටියා ඔවුන්ව පහසුව තකා සුරංග කියා හඳුන්වන්නම්. ගමේ අය ඔවුන්ව හැඳින්වූවේ ලොකු සුරංග හා පොඩි සුරංග ලෙසයි. දෙදෙනාම හමුදාවට බැඳුනා. රොටියා හිතන විදියට නම් ඔවුන් හමුදාවට බැඳුනේ ජීවිකාව සරි කර ගන්නයි. දෙදෙනාම දුප්පත් පවුල් වල පිරිමි ළමයි..

අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු සුරංගව වළලන්න මොහොතකට කලින් හමුදාවෙන් වෙඩි මුර ආචාරයක් පැවැත්වුනා. හොඳටම බය වුනු රොටියා දෙසවන් වසා ගෙන හඬා වැටුනා. එවකට රොටියාගේ වයසේ , ඊට ඉහල පහල වයස්වල සිංහල , දෙමල , මුස්ලිම් කුඩා ළමුන් කී දාහකට එම හඬ දිනපතා ඇහෙන සාමාන්‍ය හඬක් වෙලා තියෙන්න ඇතිද..

ලොකු සුරංග දිවි පුදා තිබුනේ වැදගත් ලියකියවිලි වගයක් රැක ගැනීමට උත්සහ කරන අතර තුරේදියි. මියගිය ඔහුගේ අත තිබු ලියකියවිලි ටික මුදා ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ද උනාලු..

පොඩි සුරංග නැවතත් ගියා. මානුෂිය මෙහෙයුමටත් සහබාගි වී නිරුප්‍රදිතව ආපසු පැමිණි ඔහු අද හමුදාවේ උසස් නිලයක් දරනවා..

**** **** ****

රොටියාට විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යාම පිණිස පිටකොටුව බස් නැවතුමට එන්නට තිබු දවසක මිතුරෙකුගේ වැඩක් හේතුවෙන් මදක් ප්‍රමාද උනා. බෝ ගහ යට බෝම්බයක් පුපුරා ඇති බව මගදී ආරංචි උනා. එය විසාල විනාසයක් කර තිබුනේ නැහැ මතක විදියට. නමුත් හැමදාම රොටියා බසයෙන් බහින්නට පුරුදුව සිටියේ බෝ ගහ ළඟිනුයි..

**** **** ****

රොටියාගේ ගෑනු ළමයා කලක් කොළඹ ආශ්‍රිත තැනක නැවතී උන්නා. දිනක් රාත්‍රී එකොළහට පමණ දුරකථන ඇමතුමක් දුන් ඈ, ඔවුන් නැවතී ඉන්නා තැන විදුලිය නැති බවත් , වෙඩි හඩක් ඇසෙන බවත් , ගුවන් යානාවලින් පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන බවත් කොතනින් නවතිදැයි කියා සිතා ගත නොහැකි බවත් දැනුම් දුන්නා. රොටියාට මෙන්ම ගෑනු ළමයාගේ පවුලේ උදවියටද එය නිදි නැති රැයක් උනා.. ලංකාවේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්නට ඈ රොටියාගේ මනාලිය උනා

**** **** ****

හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් වැදගත්. රොටියාට තවකෙක් කියූ පරිදි බුද්ධි අංශයේ මුස්ලිම් ජාතිකයින් විශාල ප්‍රමාණයක් සේවය කර තිබෙනවා. මේජර් මුතාලිෆ් යනු මේ මාවතේ දිවි පිදු අමතක කරන්න බැරි චරිතයක්. යුද්ධය ඉවරයි. බිම් මට්ටමේ ජනතාව අතර ජාතිවාදයක දුමාරයක් පැතිරෙනවා. සමහරු එයට පිදුරු දමන්නට වලි කනවා. ප්‍රශ්නයක් ඇත්නම් එය විසදන්න ඕනෑ රාජ්‍ය පරිපාලන මට්ටමෙනුයි. ජනතාව ප්‍රකෝපව නීති හදන්නට හෝ අතට ගන්නට ගියොත් ලොකු අවුලක් වෙනවා. කළු ජූලියක් ආයෙත් උවමනා නැහැ

**** **** ****

යුද්දය ඇති දිනවල කොළඹ රැකියාව කල ගැහැණු උදවිය පිට ඇඳුමට වඩා සීරුවට යට සායවල් තේරුවාලු. හදිසියෙවත් බෝම්බයකට හසු වුනොත් උඩ ඇඳුම නැති උනත් පාරට පනින්න පුළුවන් තරමේ යට ඇඳුමක්වත් තියෙන්න... සමහරුන්ට මතක නැති යුද්ධයේ අමිහිරිම කාලය එයයි

**** **** ****

යුද්ධය නැවතුනා. රොටියාගේ අම්මා නැවතත් සැනසිල්ලේ හුස්ම ගත්තා. තමුන්ගේ ළමයි දෙදෙනෙක් උදේ හවස කොළඹ කරක් ගසන විට රොටියා ගේ දෙමාපියන් ඒ සා ගින්දරකින් උන්නා නම් හමුදාවේ සේවය කරන දූ පුතුන් ඇති මා පියන් කොහොම ගින්දරකින් ඉන්න ඇතිද

**** **** ****

යුද්දය විකිණුනා. අතපය, දෑස් අහිමි සෙබළුන් ගිනි ගහන අව්වේ පෙළපාලි ගියා..අප ඔවුන් දෙස රූපවාහිනියෙන් බලාගෙන දුක් වුනා

**** **** ****

මේ කුණු ඇවිස්සීමක් වත් , පිට කැසීමක් වත් , සුදු හුණු ගෑමක් වත් නෙමෙයි. අනෙක් අතට යුද්දයේ දේශපාලනික පසුබිම ගැන කරන විග්‍රහයකුත් නෙමෙයි. රොටියාට මෙය ලියන්නට සිත් වුයේ පසුගිය දිනවල ඇසු දුටු සිදුවීම් හා ලිපි නිසයි

විත්‍යා මරා දැමුනා. ඒ නරුමයින්ව උල හිඳුවිය යුතුයි. ඒ අස්සේ සමහරු විත්‍යාව ඉදිරියට දමාගෙන ඉසිප්‍රියාගේ මළසිරුර ගොඩ ගන්නට වෑයම් කළා. මිට කලකට පෙර නිදි ඇඳේදී සිය බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කල සැමියා ඉදිරියට ඔවුන් ඉසිප්‍රියා ව ගෙනගියේ නෑ. කහවත්තේ ඝාතන ඉදිරියට ඉසිප්‍රියාව ගෙනාවේ නැහැ. එතකොට ජාතිවාදයක් එපා එපා කියමින් ඔවුන් විද්‍යා ඉදිරියට ඉසිප්‍රියාව ගෙනයන්නේ විත්‍යා දෙමල ජාතිකයෙක් වීම නිසා නොවේද? ඔවුන් දෙදෙනාගේ චායාරූප නැවත නැවත පෙන්වමින් ජාතිවාදයක් ඇති කරන්නේ ඔය ඇත්තන්ම නොවේද?

විත්යාට , ඉසිප්‍රියාට , කහවත්තේ ගොදුරු වූ ගැහැනුන්ට , නිදි ඇඳේ මරා දැමු ඇයට හා දරු දෙදෙනාට එකසේම යුක්තිය සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ලෙසම මායිම් ගම්වල හිඳ මරා දැමුණු කාන්තාවන් , නුපන් ළදරුවන්, කුඩා ළමුන්, පිරිමින් ඇතුළු සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි. අරන්තලාවේ පොඩි හාමුදුරුවන්ට සාදාරණයක් ඉටුවිය යුතුයි. කොටුව දුම්රිය පොලේදී මියගිය ඩි එස් සිසුන්ට සාදාරණයක් සිදුවිය යුතුයි.

හිස් අහස මේ ලිපියත් කියවා බලන්න

චැනල් ෆෝ වලට හසු වන්නට ඇත්තේ සීමිත සිදුවීම් පෙළක් පමණයි. ලංකාවේ ජිවත් වූ අපට චැනල් ෆෝ නැතුවාට ඕනෑ තරම් මතකයන් ඇත. ජාති , ආගම් , කුල බේදයක් නැතුව අප සියල්ලෝ ම කොපමණ මරණ බියකින් ජිවත් වීමුද?

ඒ මතකයන් අතර අමතක කරන්නට නොහැකිම මතකය අපේ රණවිරුවන් පිළිබඳව වූ මතකයයි. ඔවුන් සිද්ද කලේ රස්සාව යයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඇත්තන්ව ඊශ්‍රායලයේ මෙන් අනිවාර්ය යුධ පුහුණුවකට යැවිය යුතුය. එවිට ඒ ඇත්තන්ටත් රස්සාවේ තරම බලා ගත හැක්කේය. ඒත් මදි නම් යුද්දය තවමත් සිදුකෙරෙන රටක ස්වෙච්චා බලකායට යැවිය යුතුය.(ලංකාවට නම් හීනෙන්වත් ආයේ යුද්දයක් එපාය. මුළු ලෝකෙන්ම යුධ ගැටුම් තොලොංචි වී යා යුතුය)

ත්‍රිවිධ හමුදාව නිසා අද අප බියෙන් සැකෙන් තොරව ජිවත් වන්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු......

6 comments:

  1. ලංකා නිව්ස් වෙබ් අඩවියේම උඩ කොටසේ විතය සහ ඉසප්රිය ගැන ලිපියක් තිබෙනවා. මට හිතෙනවා මේ ලිපිය පල කිරීමෙන් මේ දෙපැත්ත ගැනම දැනීමක් ඇති කර ගන්න පුළුවන් කියා.ඕනෑම යුද්ධයක දෙපැත්තක් තිබෙනවා. තමන් සිට ගන්න පැත්ත අනුව ඒ පැත්ත ඕන තරම් සාධාරණය කරන්න පුළුවන්. දෙමල බ්ලොග් වල ලියන්නේ තනි කරම ඒ අයට සිදුවුනේ මොකක්ද කියල විතරයි.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17185-2015-06-02-22-31-06

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි හැමදෙයක්ම හැම පැත්තකින්ම බලන්න ඕනේ. නිල්, කොළ , රතු කන්නාඩි අස්සෙන් බලන්න ගියොත් තමා ප්‍රශ්න ඇතිවෙන්නේ

      Delete
  2. ''ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකි රොටියාට අපගේ ප්‍රණාමය...!''

    මීට,
    තනි තරුව,අටම්පහුර,මාරයා,සාරස,ගයාත්‍රි,දුමී,ලොකු පුතා,කසාපබ්බත, හිස් අහස,සෙන්නා,ප්‍රතිවාදියා,පකිස්පෙට්ටිය,

    ''අඩෝ, රොටියා, තෝ ලේ මාපිලා,ජාතිවාදියා,ගෝත්‍රිකයා, දැන ගනිං..! මීට පස්සෙ තොට බ්ලොග් කරන්න දෙන්නේ නැහැ.බ්ලොග් එකට ට්‍රැෆික් ඕන නම් අපිත් එක්ක අමෙරිකාවට කඩේ යන්න වරෙං! මේ රටේ ආගමට, ජාතියට කඩේ යන්න ඕන නැහැ ඩෝ! යුද්දෙ කරේ වෙල් විදානේ තනියම.''

    මීට, මාතලන්,රාජ්,විචාරක,ඉවාන් පව්,.. ලූසා!විභීශන, ප්‍රා ජේ,බස්සි,උපේක්ශා, චමී ෆෝ යූ,නිදහස් සිතුවිලි,කෙන්ජි, රසිකොලොජිස්ට්,පැරකුම්,ඔමා,රාමචන්ද්‍ර,කුරුටු ගෑ ගී පවුර,සෑම්,හැලපයා,මනාගෙ පින්තාරුව, සජ්ජාගේ පඩංගුව,මැලේ රාල,+ 100

    ReplyDelete
  3. ඇනෝ මහතාට අමතක වූ දෙයක්: සැටලයිට් වලින් බලා LTTE එකට ආයුධ ගෙනෙන නැව් වල coordinates ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවැරදිව ලබා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. American pacific fleet හා The Naval Support Facility (NSF) Diego Garcia වෙතින්. ඉන්දියානුන් ද එසේ කල බව සලයි. මේ තොරතුරු රටවල් දෙකින්ම එලියට නොදමන්නේ ඩයස්පෝරා දෙමල චන්ද නිසයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව කොහොම වෙතත් ඉන්දියාව කැමති නෑ ලංකාවේ ඊලම ඇති වෙනවට. මොකද එහෙම ඇති උනොත් එයාලට සිද්ද වෙනව තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශකරන්න. ඒ හේතුව නිසා තමයි ඉන්දියාව කොටි පරද්දන්න ගොඩක් උදවු කරේ. මොනවා උනත් ඒ රටවල් අපිද කරපු උදවු වලට අපි ස්තුතී වන්ත වෙන්න ඕනි.

      Delete
  4. @ AnonymousJune 7, 2015 at 1:05 AM

    ඔබගේ කොමෙන්ටුවට ස්තුතියි. නමුත් එහි අන්තර්ගතය ගැන රොටියාට ගැටළු සහගතයි. ඔබ විසින් කැටගරි දෙකකට බෙදා වෙන් කර ඇති බ්ලොග් කරුවන් සියල්ලන්ගේම බ්ලොග් රොටියා කියවනවා. උදාහරණයක් ලෙස ගතහොත් මාතලන්ගේ සමහර අදහස් සමග රොටියා එකඟයි. සමහර ඒවා සමග එකඟ නැහැ. අටම්පහුර ගත්තත්, ඉවාන් ගත්තත්, තනි තරුව ගත්තත් වෙන ඕනෑම කෙනෙක් ගත්තත් එහෙමයි.

    ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරිය හැකියි. ඒවා විවිද හේතුමත වෙනස් වන්නට පුළුවන්. එහෙමයි කියා පිල් වලට බෙදීම රොටියා අනුමත කරන්නේ නැහැ. අනෙක් අයගේ විරුද්ද මත ඉවසිය නොහැකි වීම ප්‍රාථමික ලක්ෂණයක්

    1. බහුතරක් පතුරු හරින, රනිල් මහත්මයා ඇති කරන්නට යෙදුනු සටන් විරාමයට රොටියා පක්ෂයි. එහි වෙනස්ම පැත්තක් රොටියා සලකනවා
    2. මහින්ද මහත්මයා යුද්ධය නිමා කිරීමට දැක්වූ දායකත්වය ප්‍රශංසනියයි. එහි ගවුරවය එයට දායක වූ සියලුම දෙනාට හිමිවිය යුතුයි. මියගිය හා ජිවත්වන
    3. පසුගිය සමයේ ඇතිකළ නගර අලංකරණ වැඩසටහන් නියමයි. බාහිර ඔපය පමණක් නොව , කානු පද්ධති හා කල්පැවැත්ම ගැනත් කල්පනා කළා නම් වටිනාකම කියා නිම කරන්නට බැහැ. (අධිවේගයත් එසේමයි)
    4. පවුල්වාදය , අවනීතිය හෝ වැරදි කරුවන් ආරක්ෂා කිරීම රාජ්‍ය පාලනයට යෝග්‍ය නැහැ. ඒ වැරදි නොතිබුනා නම් මහින්ද මහත්මයා අදත් මේ රටේ ජනාධිපති
    5. මයිත්‍රීපාල සිරිසේන මහත්මයාගේ දැනට නම් වරදක් නැහැ. ඒත් ඔයිට වඩා දැඩි විය යුතුයි
    6.ලංකාවේ පාර්ලිමේන්තුවට වඩා හෝඩියේ පන්තියක් හොඳයි. ඒ ගැන කතා කරන්නේ නැහැ.

    ReplyDelete