Sunday, April 20, 2014

එකෝමත් එක දවසක - 17

සෑහෙන වෙලාවකට පසුව කතා කලේ ලපයාමය
"තොට පිස්සුද යකෝ . මොකද උඹට වෙලා තියෙන්නේ ?"

"ඉන්න හැටි රා බීපු උගුඩුවා වගේ" ඒ කතා කලේ ගෙම්බාය . ඒ උගේ හැටිය . ඕනෑම බැරෑරුම් අවස්තාවක් මැදට පැන , ඒ අවස්ථාවට කිසිසෙත් අදාළ නැති උපමා සහ උපමේයයන් දොඩන ඌ ඊළඟට අපේ ඇනුම් බැනුම් හමුවේ කරබාගෙන සිටියි .

"මොකද යකෝ උඹ මේ උඹට පොල්ල තියෙන කෙල්ල පස්සෙන්ම ගිහින් විහින් නැහෙන්න හදන්නේ. උඹ තේරුම් ගනින් එකී උඹට කවදාවත් කැමති වෙන්නේ නෑ . උඹ හදන්නේ කොහෙවත් යන කෙල්ලෙක්ගෙ පිටින් දාල උඹේ ජිවිතේ නාස්ති කරගන්න. කෙල්ලට මම බනින්නේ නෑ යකෝ . මන් බනින්නේ තොට. තෝ වගේ ගැරඬි යෙක් මගේ යාලුවෙක් උන එක ගැන මට ලැජ්ජයි යකෝ . කෙල්ලන්ට මැරෙන්න කලින් අම්මට ණය ගෙවල හිටු " ලපයාගේ බැනිල්ල ඉවරයක් නොවෙන තැන මම සෙමෙන් කටහඬ අවදි කලෙමි

"එයා මන් දිහා බලන් ඉන්නවා බන්. මට හිතෙන්නේ එයා මට කැමතියි "

නැවත වරක් ගුටි මුරේ. කවුරු ගහනවද මොකෙන් ගහනවදැයි නිනව් නැති වූ මම දෑතින් ඔලුව බදාගෙන ඔලුව රැක ගතිමි .

"ඔව් අල්ලලා බලපන් තොට අං එනවද කියල " යයි අසමින් මගේ හිසට අන්තිමට ඇන්නේ කරුනේ බව මම අඳුනාගත්තේ උගේ කටහඩි නි .

පහර නවතා මිනිත්තුවකින් පමණ පසු මම නැවත ඔලුව එසවීමි

"යකෝ " යයි කතාව පටන් ගත ලපයා මට ඈ ගැන අලගිය මුලගිය ඉතිහාසය නිර්ලෝබිව නැවත මතක් කොට දුන්නේය . ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතිව ...
"ඔන්න බන් උඹ ඒකිව බැන්දොත් මම නම් වෙඩිමට එන්නේ නෑ" එවරත් කට ඇරියේ ගෙම්බාය . ඒ පාර නම් ඉස්ගෙඩියාගේ ඉවසීමේ රතු කට්ට පැන්නේය .

"යකෝ යයි පටන් අරගෙන සිංහල බාසාවේ උත්තුංග පදයකින් ගෙම්බා ඇමතු ඉස්ගෙඩියා, ප්‍රශ්නය වන්නේ මගේ වෙඩිමට උගේ පැමිණීම නොව, මා බඳින්නේ කව්ද යන්නත් නොව , පෙනී පෙනී කොල්ලන් නටවන කෙල්ලෙක්ගේ පස්සෙන් වහවැටී සිටින මාව එයින් මුදවා ගැනීම බව ඌ ට තේරුම් කල දුන්නාය . ඊළඟට ඌ මගේ දිව්‍යාංගනාව ගැන මා නොදන්නා බොහෝ දේ පැවසු අතර ඒවා මම මෙහි සදහන් නොකරන්නේ මා ගෑනු ළමයින්ට ඉතා ගරු කරන නිසාය.

ගෑනු ළමයින් නැතිව පිරිමි අපට පැවැත්මක් නැති බව ඇත්තය. අපේ ජිවිත වටා පහන් දල්වා අපිව ආලෝකමත් කරන්නේ ඔවුන්ය. ඒත් ගෑනු ළමයින්ට එක දෙයක් කියන්න ඕනෑය . සමහර ගෑනු ළමයින් හිතා ඉන්නේ ඔවුන් කරන කියන දේවල් කොල්ලන් වූ අපිට ආරංචි වෙන්නේ නෑ කියාය . ඔවුන් ලොවට රහසේ දහ අට පාලිය නටා ඊළඟට පත්තිනි අම්මලා වගේ ඉන්නා විට ඔක්කොම හරි කියාය . මෙය බොහොම ලාමක සිතුවිල්ලකි . කොල්ලන් වූ අප ලිඳ ළඟ , ඇළ ළඟ ඕපාදුප කතාවට නොයන එක ඇත්තය . ඒත් බොහොමයක් කොල්ලන් හැමවිටම ඇස් කන් ඇරගෙන සිටින නිසාද , බුද්දි හීන මා වැනි කොල්ලන්ට අඩුම ගානේ බුද්දිය ඇති එක යාලුවෙක් හෝ ඉන්නා නිසාද, කොල්ලන් කොල්ලන් අතර ඉරිසියාව කුහක කම ඉතා විරල නිසාද, බොහෝ විට රටේ තොටේ වෙන දේවල් ගැන හැම කොල්ලෙක්ම පාහේ දැනගෙන ඉඳිති .
ඊළඟට ලපයා කියූ දෙය ගලේ කෙටුවාක් මෙන් ජීවිතය පුරා මගේ හිතේ රැඳී පවතී . මෙය කියවන කොල්ලන් සියලුම දෙනා වෙනුවෙන් ඒ කතාව එලෙසින්ම මෙසේය

"හරි අපි හිතමු ඔය කෙල්ල හොඳටම හොඳ කෙල්ලෙක් කියල . ගති ගුණ අතින් බැලුවත් , රූපේ අතින් බැලුවත් කිසිම වැරද්දක් නෑ කියල හිතමු ..

("ඔව් පබාවතී වගේ කියල හිතමු " යයි කියමින් එවරත් ගෙම්බා පැන්නේය. ලපයා ඇතුළු සියල්ලෝ ඌ දෙස හෙළුවේ කොපමණ මිනීමරු බැල්මක්දැයි කියනවා නම් එයින් පසු ඌ කටක් හෙල්ලුවේ නැත )

"ඔය කෙල්ල වගේ කිසිම කෙල්ලෙක් උඹ දැකල නෑ කියමු . කවදාවත් උඹට ඒවගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නෑ කියල කියමු . එත් බන් , කෙල්ලෙක් කැමති නැත්තන් අපිට ඒ කැමැත්ත බලෙන් ගන්න බෑ මචන්. බලෙන් ආදරේ කරවන්න බෑ. උඹ ආදරේ කරන්න ඕනේ උඹට ආදරේ කෙල්ලෙක්ට . ප්‍රොස් කෙනෙක් උනත් , ලස්සන නැති උනත් කවුරු හරි කෙල්ලෙක් ඇත්තටම උඹට ආදරේ නම් උඹ ආදරේ කරපන්. උඹට පස්සෙන් යන්නම ඕනේ නම් අං ගිලපු කෙල්ලෙක්ගෙ නෙවෙයි , හොඳ , වෙන කොල්ලෝ නැති කෙල්ලෙක්ගෙ පස්සෙන් යමන්. කෙල්ල බෑ කිව්වොත් චාටර් වෙන්න එපා. ආපහු හැරිලා වරෙන්. පස්සෙන් යන එකත් ලස්සනට කරපන් බන්. හිඟා කන්න එපා ආදරේ. වැදගත් විදියට අහපන්. උඹ ඔය කරන වැඩේ හින්ද කල්පනා කරලා බලපන් උඹට හොඳ කෙල්ලෝ කියක් නම් මග ඇරිලද කියල .."

"ජිවිතේ එක දෙයක් හින්ද ඔක්කොම මග ඇර ගන්න එපා බන්. මට එයාවම ඕනේ කියල හිතෙන එක ආදරේ නෙවෙයි හිතුවක්කාරකම, කෙනෙක් හින්ද ජිවිතේ විනාස වෙන්න දෙනවනම් එතන තියෙන්නේ ආත්මාර්ත කාමී කම. උඹව අපිට ඕනේ බන් . උඹව උඹේ අම්ම තාත්තට ඕනේ. උඹව ඕනේ ගෑනු ළමයා මේ කොහේ හරි ඇති බන් . එතකන් ඉවසගෙන හිටපන්" එවර කතා කලේ රොබිනාය.

"උඹ පිලිගනින්. උඹ ඔය විහින් නැහෙන්න හදන්නේ උඹට ඒ කෙල්ල යාලු කරගන්න බැරි උන එක මදි කමක් හින්දා . ඔච්චර හිතුවක්කාර වෙන්න එපා බන්. උඹට වෙලා තියෙන්නේ වැඩක් නැති කම . දැන් බලපන් මගේ වියදම හොයා ගන්න මම ටියුෂන් දෙනවා . මෙතන ඉන්න හැම එකාම මොකක් හරි කරනවා සල්ලි හොයා ගන්න. උඹ ගෙදරින් එවන සල්ලි වලින් පිනට කකා බිබී ඉන්නවා." එවර නම් මගේ හිත දැදුරු විය. ලපයා කියූ වචනයක්වත් බොරු නොවේය . අපේ මව්පියන් සල්ලිකාරයන් නොවුනත් බැරි අමාරුවෙන් මගේ මාසයේ වියදම දෙන නිසා මෙතෙක් මා කලේ එයින් කකා බිබී කෙල්ල පසුපස වහවැටී සිටීමය. මට මා ගැනම තදබල අප්පිරියාවක් දැනුනි...



විහින් නැහෙන්න ගිය කොල්ලෙක්ගේ මොලේ , කැම්පස් කොල්ලන් හය දෙනෙකු එකතු වී පාදා දුන්නේ ඔන්න ඔහොමය. එදා ලපයා ගියේ මට අවවාද කර විතරක් නෙවේය . කාගෙන්දෝ ලැබුණු ව්‍යාපෘති පැවරුමක් කිරීම මට බාර දිය . ගෙවීම දහදාහකි . ඊළඟ සතියේ සිට පුසා ඌ තමුන්ගේ වියදම හොයා ගැනීම පිණිස වැඩකළ ජනප්‍රිය අවන්හලේ මටද රැකියාව සොයා දුන්නාය. ඉතින් දේශන ඉවර වූ වහාම ඌ ත් සමග මම වැඩ කිරීම පිණිස යන්නට පුරුදු උනෙමි . මගේ වියදම මමම සොයා ගතිමි . මට දැන් මුදල් එවීම අනවශ්‍ය බව මම අම්මාට කිවේ ඊළඟ සතියේය. ඒ සල්ලි වලින් මල්ලිගේ ක්ලාස් වලට දෙන්න . මම දැන් පොඩි රස්සාවක් කරනවා . උවමනා උනොත් මම ඉල්ලන්නම් .

අම්මාගේ දෙනෙත නොහැලුණු කඳුලින් දීප්තිමත් වුවාය .....


Wednesday, April 16, 2014

මටම පෙම්කල..

ඇයි? මම ඇහුවා
තාරුකා ඇස් දිලිසුනා. තව ටිකකින් අහස හොඳටෝම අඬන බව මට තේරුනා. අහස ඉකිගහද්දී ඔයත් ඉකිගැහුවා. මගේ ඇස් ඇඩුවේ නැති උනාට හිත හයියෙන් ඇඩුවා. පොඩි කාලේ ඉඳලම මගේ හැටි. වෙන කෙනෙක්ට රිදෙනවා බලන් ඉන්න මට ඊට වඩා රිදෙනවා...

ඇයි? මම ඇහුවා
මට බෑ ඉවසන්න. ඔයා කිව්වා. මම ඔලුව වැනුවා
දුක් විඳින්න එපා ඔහොම මම කිව්වා.
මම එයාට නෙවෙයි ඔයාටයි ආදරේ. ඔයාගේ ඇස් කිව්වා...

ඇයි? මම ඇහුවා
යන්නම ගියා එයා.ඔයා කිව්වා.
ඇයි මට කැමතියි කියන්නේ නැත්තේ? ඔයාගේ ඇස් මගෙන් ඇහුවා
ඇයි මම එයාව මගේ කර ගන්නේ නැත්තේ. මගේ හිත මගෙන්ම ඇහුවා..

ඇයි? මම ඇහුවා
එපා බලන් ඉන්න ඔහොම මගේ දිහා. ඔයා කිව්වා
එහෙනං කොහොමද බලන් ඉන්න ඕනේ. මම හිතත් එක්ක හුරතල් උනා
ඇයි ඔයා කියන්න යන දේ මට කියන්නේ නැත්තේ.. ඔයා ඇහුවා
ඒක කියන්න නම් විශ්වයම නවතින්න ඕනේ තත්පරයකට.. මම කිව්වා

ඇයි? මම ඇහුවා
කොහොම ණය ගෙවන්නද මම ? ඔයා මට කිව්වා
ඇයි? මම ඇහුවා
ඔයා නැත්තන් එක්කෝ මට පිස්සු හැදිලා. නැත්තන් මම සුයිසයිඩ් කරගෙන
මං හිනා උනා
මගේ ජිවිතෙන්ම ණයයි ඔයාට. මට ණය ගෙවන්න දෙනවද ඔයා..
ඒ මොහොතේ විශ්වයම නැවතුනා.. ඔව්. විශ්වයම තත්පරයකට නැවතුනා

ඇයි? මම ඇහුවා
නෑ නිකන්.. ඔයා කිව්වා
ඕනෙද අරගෙන. මම ඔයාගේ ඇස් දෙක නැවතුන ටෙඩි බෙයාර් දිහා බලල ඇහුවා
ඔව්. ඔයා කිව්වේ ඇස් වලින්.

ඇයි? මම ඇහුවා
අරන් දෙනවද මට. ඔයා ඇහුවේ මගෙන්
දියමන්ති දෙන්න නම් පැටියෝ මට දැන්ම බෑ
ඔයාගේ ඇස් දුකෙන් බර වුනා.

ඇයි? මම ඇහුවා
ඇයි? ඔයා ඇහුවේ මාත් එක්ක තරහෙන්
ඇයි? ආයෙමත් මම ඇහුවා
ඔයත් එක්ක යාලු උණ පලියට දියමන්තිත් එක්ක තරහ වෙන්න මට බෑ. ඔයා වචන වලින් මට දමල ගැහුවා
ඔයාගේ බෙල්ල වටේ තිබුණ දියමන්ති මාලේ මට ඔච්චමට හිනා උනා

ඇයි? මම ඇහුවා
ඇයි? මම ඇහුවා මගෙන්ම
ඇයි? මම ඇහුවා ආයෙමත් මගේ හිතෙන්
මගේ දුප්පත් ආදරේ අත ඇරලා දියමන්ති, කිරිගරුඬ, දිලිසෙන ආදරේ හොයන ගිය ඔයාව මට තේරුම් ගත්තැකි.
ඒත්.. ඒත් ඔයාට ආදරේ කරන්න පටන් ගනිපු, මගේ අහිංසක හිත තේරුම් ගන්න මට තාම බෑ

නිදාන කතාව : දැනෙන්න ලියපු ලියමනක් අද උදේ මන් ලඟට පියාඹල ඇවිත්, මුණු පොතේ වහල තිබ්බා. ලියමන පහල තියෙනවා. අයිතිකාරයා Adeesha - https://www.facebook.com/adeeshajayanath.premadasa ... ඔෆිස් එකේ ඉන්න ගමන්ම හදිස්සියෙන්ම මේ ලිපිය ලියල දාන්නේ, පහල ලිපිය එච්චරටම හිතට වැදුණු නිසයි

මටම පෙම්කළ - කඳුළු බින්දුව...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. සංගීත ඛණ්ඩයකට පුළුවන් වචන දහසකට විස්තරකරන්න බැරි හැඟීම් ඒක මොහොතකින් විස්තර කරන්න. ගීතය කියන්නෙ ඒ සංගීතයට ගැලපෙන විදිහට යම් භාෂාවකින් අදහස් එකතුකරහම ලැබෙන ප්රරතිපලයට. ගීතය විශ්වභාෂාවක්ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි සංගීතයට පුළුවන් සීමාවට වඩා එහාට ගිය සියුම් හැඟීම් විස්තර කරන්න ගීතයකට පුළුවන්. එහෙම ගීත වලට සාර්ථක නිර්මාණයන් කියල කියන්න පුළුවන්.
ආදර ගීත, විරහ ගීත, භක්ති ගීත, දේශාභිමානී ගීත, හාස්යසඋත්පාදක ගීත ආදී එකී මෙකී නොකී ගීත වර්ග ගණනාවක් තියනව. ඒ අතරින් විරහ ගීත ප්ර මාණයෙන් වැඩී කියලයි මට හිතෙන්නෙ. සමහරවිට කවදාවත් ආදරය නොකරපු කෙනෙක්ට උනත් විරහ වේදනාව දනවන්න සමහර විරහ ගීත වලට පුළුවන්කම තියනව.

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව.......

සමනළිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පලවා හැරිය දා මං
උන්හිටිය තැන අහිමි වීමෙන් \\
මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බින්දුව..........

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගෙ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ ඉඳ ජීවතුන් මැද \\
මවෙත පෙම්බැඳ පැමිණි සකිසඳ
කඳුළු බින්දුව.....

මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...
මටම පෙම්කළ - නෙතග නිවසන
සදා නොසිඳෙන - සුනිල උල්පත
කඳුළු බින්දුව...

කවදාවත් ආදරය නොකරපු මම, කවදාවත් ආදරය කරන්න නොහිතපු මම මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ආදරයෙන් පැරදිච්ච කෙල්ලෙක් කෙරෙහි ඇතිවෙච්ච අනුකම්පාව භූමිකම්පාවක් දක්වා දුර ගිහින්, අන්තිමට ඒ භූමිකම්පාව හින්ද මුළු ජීවිතයම කඩාගෙන වැටුණු කොල්ලෙක් ගැන කියවෙන මේ සිංදුවට ගොඩක් ආදරය කළා. ඒ ලයාන්විත හඬ, පද ගැළපීම වගේම වේදනාබර සංගීතය කවදාවත් විරහවක් විඳල නැති මගෙ හදවතට විරහ වේදනාව ඇතුල්කරන්න සමත් උනා.
ඒත් මම කවදාවත් හිතුවේ නෑ කවමදාවත් හිතුවේ නෑ මේ සිදුවීමම මගෙ ජීවිතයෙත් සිදුවෙයි කියල.
මම කඳුළු පිසදාපු සමනළිය අද මගේ දෙනෙතට කඳුළු දීල යන්න ගිහින් යන්නම යන්න ගිහින්.


Sunday, April 6, 2014

එකෝමත් එක දවසක - 16

මේ කතාවේ මේ කොටස ලියන්නට තිබුනේ මීට සතියකට හෝ දෙකකට ඉහතදී බව දනිමි. ඒත් මාත් නොදන්නා මොකද්දෝ හේතුවක් නිසා ලිවිම දවසින් දවසම කල් ගියේය. සමහර විටෙක ඉතුරු කොටස් දෙක තුන මා ජිවිතයේ මතක් කරන්නට අකමැතිම කාල වකවානුව වන නිසා විය හැක

මා මාස කිහිපයක්, මගේ දෙව්දුව සමග ආකාසේ සිහින මාලිගා හැදු අයුරුත්, හදිසියේම ඈ මාව එයින් බිමට දැමු ආකාරයත් පසුගිය කොටසේ සදහන් කලෙමි. කතාව කොට කර ලියන්නට වාක්‍ය පේලි දෙක තුනකින් අදාළ කතාව අවසන් කිරීම, කියවන ඔබට කරන අසාධාරණයකි යයි මටම පසුව සිතුනේය. කතන්දරේ මෙහෙමය

යාලුවන්ගේ ඇනුම් බැනුම් මැද්දේ මම මගේ දිව්‍යාංගනාව හොඳම යෙහෙළිය කර ගත්තෙමි. ඈටත් මං නැතුව කිසිම දෙයක් කර ගන්නට බැරි විය. නෝට් ෆොටෝ කොපි ගහන්න, යාලුවන්ගෙන් ඉල්ලා දෙන්න, පාඩම් කරන්න, රෑ උනාම ගිහින් ඇරලවන්න ඈට මතක් උනේ මාවය. මමත් සියලුම වැඩවලට පැනගෙන සහබාගි උනෙමි. මගේ ගෑණු ළමයා ලෙස සලකමින් මම ඈ ගැන සොයා බැලුවෙමි. මගේ ජීවිතය ඈම විය. කොටින්ම, එකපිට සති අන්ත දෙක තුනක්ම ගෙදර නොගිහින් බෝඩිමේම නැවතුනේ ඈ නිසාය. අවංකවම කිව්වොත් අද මට හිතෙන්නේ ඇගේ වැරද්දක් නැති බවය. මොකද, කිසියම් කොල්ලෙකු ගොන් බුරුවෙකු සේ උඩ පැනගෙන ආවඩාගෙන යනවිට ගෑණු ළමයින් සමහරු උගෙන් හොඳ හැටි ප්‍රයෝජන ගනිති. එතන වැරැද්ද කෙල්ලගේ නොව කොල්ලාගේය.

මෙසේ මාස හතක් අටක් ගතවෙන්නට ඇත. ටික ටික ඈ මාව මගහරින ගතියක් මට දැනුනි. රෑ වූ විට ගිහින් ඇරලවීමට වෙනදා මෙන් මට කතා නොකලාය. ඇසු විට කියුවේ, දිගින් දිගටම එසේ කරන විට ඈ නැවතී සිටින ගෙදර උදවියට උනත් වැරදි විදියට ආරංචි වන්නට පුළුවන් නිසා නොඑන එක හොඳ බවය. අනික දැන් මට පාර පුරුදුයි නේ

එක පාරක් ගිනි පෙනෙල්ලෙන් බැට කා සිටි මට, එන පොට හොඳ නැති බව ටික ටික තේරුණේය. ඈට සීනියර් කොලු පරානයක්, ඈ ගැන උනන්දු වී සිටිය බවත් දැන සිටි මා, ඔක්කොම සිද්දීන් අනුලෝම ප්‍රතිලෝමව සමාලෝචනය කරන්නට යනවිට, කැම්පස් එකේ පාළු මුල්ලක සිටි ප්‍රස්තුත විෂයන් දෙක අතටම මාට්ටු උනාය. ඇසු විට කිව්වේ නොතේරෙන පාඩමක් අසාගත් බවය. මගෙන් අසා දැනගත්තා නම් නරකදැයි ඇසු විටය ඈ මගේ අද්යාපන තත්වය ගැන මාත් නොදන්නා දේවල් ඇදබාන්න පටන් ගත්තේ.

මා කරන පාටමාලවට තේරී පත්වන්නේ, අඩුම ලකුණු ලැබූ සිසුන් වන බවත්, ඇගේ පාටමාලාවේ ඉන්නේ ලංකාවේ හොඳම මොළ ටික බවත්, හිරිකිතයක් නැතුව කියා දැමු ඈ පසුව කියූ කතාවට සමාව ඉල්ලුවද, ඒ වන විටත් මා තුල සිටි හිරිමල්, ලජ්ජාකාර යව්වනයා මියගොස් තිබිණි. මට මාව නැතිවී තිබිණි. කොටින්ම මා ලැජ්ජාවක්, බියක් නොහදුනන සල්ලාලයෙකුගේ තත්වයට වැටි තිබුණි. ඉතින් එදා සිට මමද රොටියෙකු උනෙමි..

ආචාරශීලි, ගුණගරුක යහපත් කම් සියල්ලක්ම අතීතයට එක්විය. හැම එකටම බොන මදාවි කොල්ලන් රැලකට සෙට් වූ මම, නැතිවී ගිය ආත්ම ගවුරවය නැවත ලබා ගැනීමට කරටි කැඩෙනකන් බිව්වෙමි. වෙරි පිට, වෙනත් සිම් පත් බාවිතා කරමින් දිව්යාන්ගනවාට එක එක පණිවුඩ යැව්වෙමි. කැම්පස් කෙල්ලන්ට නුවමනා විහිලු කලෙමි. කැම්පස් එක තුල චාටර් ලේබලය ගසා ගත්තෙමි.

පෙර පිනකට මොළය ටිකක් තිබූ නිසා, එකදු විබාගයක්වත් අසමත් වන්නේ නැතුව ගොඩ දා ගත් බව නම් සැබෑය. ඒත් කැම්පස් ජීවිතය අවුරුදු දෙකක් තිස්සේ මම අනාගනිමින් සිටියෙමි. මගේ දිව්‍යාංගනා තොමෝ කිසි වෙනසක් නැතුව මා හා කතා කළාය. ඈ හොරෙන් මා දෙස බලා ඉන්නා අයුරු කීප විටක්ම මගේ දෑසට හසුවුණු විට, මගේ හිත යලි යලිත් කිවේ ඈ මට කැමති බවය. සැබෑව නම් ඈට එක කොල්ලෙකු නැතුවාට, මා වැනි ගොන් හරකුන් කීප දෙනෙකුම සිටීමයි. අපි හරියට හඳ එනකන් බලා සිටින ගව රැලක් මෙන් වූයෙමු. අප එකිනෙකා සිතුවේ, හඳ පේන්නේ තමන්ට පමණක් බවයි. ඒත් හඳ තිබුනේ අහසේ බව අපට තේරුම් ගියේ බොහෝ කල් ගතවිය.

ඉබාගාතේ ගිය මගේ කැම්පස් ජීවිතය ගැන ලපයාට ආරංචි වුයේ මෙන්න මේ අතරය. ගාල කඩා ගත් අස්පයෙකු මෙන් හදිසියේ ලපයා අපේ කැම්පස් එක තුලට කඩා වදින විට මා සිටියේ කුලුනකට මුවාවී, ඈ දෙස බලාගෙන ඈට පැණි හලමිනි. ඈට මාව පෙන්නේ නැත.

මම "සූ සූ සූ" ගාමී. ඈ නෙතු කරකවා වටපිට බලයි. කොණ්ඩය, සාය හදයි. කිසිවෙකු පේන්නට නැති බැවින් මනමාල හිනා පාමින් කෝමල ලෙස නැවත පොතට එබෙයි.විනාඩි දෙකකින් පමණ පසුව මම නැවත "සූ සූ" ගාමි..

ලපයා පසෙක සිට මේ කෝලම දෙස සෑහෙන වෙලාවක් බලා හිදින්නට ඇත. ඌට ඔත්තුව දී ඇත්තේ ගෙම්බාය. මගේ සුබ සිද්දිය හිත පතුලෙන්ම ප්‍රාර්ථනා කල ඉස් ගෙඩියා, රෝබිනා, පුසා හා කරුණේ අදාළ අවස්ථාවට අරාදනා නොලබාම සහබාගි වී ඇත. සෑහෙන වෙලාවකට පසුව ලපයාව දුටු මම ඇත්තටම තිගැස්සුනෙමි. ලපයා මුකුත්ම කිවේ නැත. ඌ මගේ දෑස් දෙස බලා උන්නා පමණි. මම හැරුනෙමි. මා පසු පසින් ඌ ආවේය. ඌ පසින් ගෙම්බා ඇතුළු පිරිවර පැමිණියහ. බෝඩිමටම යන තුරු කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නැත.

බෝඩිමට ගොස් ආපිට හැරුනේ ලපයා සමග කතා කරන්නටය. ඒත් ඒසමගම මට ඇසුනේ 'චටාස්' ගා සද්දයකී. වම් කම්මුලෙන් දුම් පිටවෙන්නේ ඇයි දැයි සිතන විටම මෙන්න දකුණු කම්මුලටත් එවැනිම පාරක්.. කම්මුල් දෙකම අල්ලා ගත් විට උරහිසට, පිටට, තට්ටමට සහ කකුලට. බිම වැටුණු විට විනාඩි පහක් පමණ පයින් පාරවල්..

ලපයා ඇතුළු සියලුම දෙනා එකාවන්ව එදා මට පහර දුන්නේ, මා එවැනි පහර කෑමකට සුදුසු නිසාය. අවසානයේ බිම වැටි සිටින මා නැගිටවාගත් ලපයා මා ඇඳෙන් වාඩි කෙරෙව්වේය..



Sunday, March 30, 2014

මන් සංතෝසෙන්

ට්‍රේන් එකේ හරි බස් එකේ හරි ඉතුරු වෙලා තියෙන්නේ එක ආසනයයි නම් අපි කිසි කතාවක් නැතුව ගිහින් ඒකේ වාඩි වෙනවා. ආසන ගොඩක් තියෙන වෙලාවට ලෝකෙ නැති හේතු හදාගෙන වාඩි වෙන්න ආසනයක් හොයනවා. ජනෙල් ළඟ, අව්ව එන පැත්ත, පාර පැත්ත වගේ හේතු අහේතු ගොඩක් හිතල තමා අපි ආසනය තෝර ගන්නේ

අපි හැමවෙලේම එහෙම නේද. අපිට තියෙන්නේ එක සෙරෙප්පු දෙකයි නම් අපිට උදේට වද වෙන්න දෙයක් නෑ. සෙරෙප්පු කුට්ටම් හතර පහක් තියෙනවා නම් ඉතින් මොන එක දාගෙන යන්නද කියල හිතන්නම උදේට වෙලා යනවා

හැමදේම මේ වගේ නේද. තෝරා ගන්න ගොඩක් දේවල් තියෙනවා නම් අපි ගොඩාක් වෙලා තෝරනවා. තියෙන්නේ එකයි නම් අපිට වද වෙන්න දෙයක් නෑ

සමහර දේවල් ගැන අපි ඕනෙවටත් හිතනවා. අනාගතයේ උපරිම තැනට හිතනවා. අපි බොහොම දෙනෙක් වාහනයක් ගන්න කලින් බලන්නේ සෙකන්ඩ් මාර්කට් එක. ඒ කියන්නේ ගන්න කලින් වාහනේ විකුණලා ඉවරයි. ඇත්ත. අපිට මුදල් කියන දේ හරිම වැදගත්. ඒත් දෙයක් ගන්න කලින් විකුනන්න පුලුවන්ද කියල බලන එක කොච්චර දුරකට හරිද.. රොටියට නම් තේරෙන්නේ නෑ

අපිට දේවල් නිකන් ලැබෙනකොට අපිට ඒවගේ හරියට අඩුපාඩු පේනවා. අපි ඒවා ලබා ගන්නේ සල්ලි දීල නම් අපි හිතන්නේ අපි ගත්තේ හොඳම දේ කියල. හැමදේම එහෙමයි. අපිට ලේසියෙන් හම්බවෙන දේවල් වලට වඩා, ඉලක්ක පස්සේ දුවල ඒවා අල්ල ගන්න අපි හරි කැමතියි

මේ අපේ හැටිද.. හැමදාම සන්තෝසේ හම්බවෙනකන් දුවනවද.. ඒත් සන්තෝසේ ඇවිත් තියෙන්නෙත් අපි පස්සෙන්ම නේද..

දුවල හති වැටෙන්න කලින්, දැම්ම නැවතිලා හැරිලා බලන්න. අපිම තමා සන්තෝසේ දාල දුවන් ඇවිත් තියෙන්නේ.. අපිම තමා හේතු හදාගෙන හිතෙන් දුක් විඳලා තියෙන්නේ. අපේ සන්තෝසේ තියෙන්නේ අපි ගාවමයි නේද..


රොටියාගේ ගෑණු ළමයාගේ ඔෆිස් ස්ට්‍රෙස්

රොටියාගේ ගෑණු ළමයා වූ කලී සිය කාර්යාලයේ අසාමාන්‍ය කැපකිරීමකින් වැඩ කරන අයෙකු වනවාය.ඒ කැපවිල්ලේ තරම කෙතරම්දැයි කියහොත්, තමුන්ගේ ගමනා ගමන පහසුකම් සලසන ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් නමැති කෙහෙල්මලට මාසයේ මුළු ගානම පුදා ඊළඟට සතියේ තුන් හතර දිනක් පාරේ බස් රියෙන් හෝ දුම්රියෙන් නිවසට පැමිණෙන්නේ කාර්යාලයේ වැඩ ඉවරකරන විට පරක්කු උනා යයි පවසමින්ය. ඉඳ හිට, ඒ කියන්නේ සතියකට වතාවක් විතර ගෑණු ළමයාගෙන්, ඔෆිසියේ වැඩ තිතට සිදු කරන ආකාරය ගැන රොටියාට නොමිලයේ පාඩම් මාලාවක්ද ලැබෙනවාය. කියන්නා කෙසේ කිවත් රොටියා සිහිබුද්දියෙන් අහගෙන ඉන්නා නිසාද, ගෑණු ළමයා නිරන්තරයෙන් රොටියාට ඇමතුම් ගනිමින් රොටියාව යාවත්කාලින කරන නිසාද මේ කතාවේ ඇත්තටම සිද්ද වෙන දේ ගැන රොටියාට පැහැදිලි දැක්මක් ඇත්තේය. සාමානයෙන් සතියේ දිනකදී ගෑණු ළමයාගෙන් රොටියාට ලැබෙන ඇමතුම් පහත පරිදි වෙනවාය

උදේ අටේ සිට අටහමාර අතර වූ කිසියම් වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා. මං ඔෆිස් ආව.

අටහමාරේ සිට නමයහමාර දක්වා වූ කිසියම් වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා. අද මාර වැඩේනේ උනේ එද්දී..ඔව් ඔව් මං මේ බ්‍රෙක්ෆස්ට් වලට යන ගමන්.. මොනවද අනේ ඔයාට මාත් එක්ක කතා කරන්න බැරි තරමට ඔෆිස් එකේ වැඩද.. හරියට මැනේජ් කරනවානම් ඔහොම වෙන්නේ නෑ.මං තියනවා

නමයහමාරේ සිට දොළහ දක්වා ඕනෑම වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා තේ බිව්වද..
(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා ගෙම්බා මාර පොස්ට් එකක් එෆ් බි එකේ දාලනේ


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා අද ගොසිප් ලංකා එකේ තිබ්බේ .. (උදාහරණ : මේ අර ප්ලේන් එක හම්බවෙලාලු.. දැක්කද අර ඇක්සිඩන්ට් එක.. මේ දැක්කද සාරංගගේ වෙඩින් ෆොටෝස්.. මේ ගයානුයි චතුරිකයි බැඳලානේ.. මේ අර ඉන්දියන් කොල්ලෙක් සිංහල සින්දු කියනවා ඇහුවද. කියුට් නේද..සහ වෙනත් ඕනෑම ඕපදුපයක් - මේවා රොටියාට වැඩක් නැති බව ගෑණු ළමයාට කියා පලක් නැත්තේය. අරයයි මෙයයි බැන්දාම රොටියාට අලදැයි ඇසු කල, රොටියා යනු සමාජයේ වෙන දේවල් පිළිබඳව කිසිම අවබෝදයක් නැති මැට්ටෙකි යයි පවසා ඈ ඇමතුම විසන්දි කළාය)


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා අද මට මේල් එකක් ආවනේ මාර..


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා, ප්‍රියංකා චෝප්රගේ අලුත් සෝන්ග් එක දැක්කද. මාරයි නේද. පිස්සු හැදෙනවා. (අනේ මටත් ඩාන්සින් ක්ලාස් යන්න ඕනේ)


සටහන- රොටියාට නම් මේ කෙහෙල්මල් බලන්න ඉඩක් නැත්තේය. ඒ රොටියා අකමැති නිසාවත්, වැඩ වැඩි නිසාවත් නොව රොටියාගේ කාර්යාලයේ ඒ ඔක්කොම වෙබ් අඩවි ජයග්‍රාහි ලෙස අවහිර කොට ඇති නිසාය


දොළහමාරේ සිට එකහමාර අතර වූ කිසියම් වෙලාවක : (ගෑණු ළමයාගෙන් රොටියාට)රොටියා අපි ලන්ච් වලට යනවා. ඔයා කෑවද..

දෙකේ සිට හතර දක්වා - (රොටියාගෙන් ගෑණු ළමයාට)... (දුරකථනය නාද වෙයි. පිළිතුරු දෙන පාටක් නැත..)
(රොටියාගෙන් ගෑණු ළමයාට)... No Answer...
(රොටියාගෙන් ගෑණු ළමයාට).. හයියෝ රොටියා. මට වැඩ කතා කරන්න වෙලාවක් නෑ..
(රොටියාගෙන් ගෑණු ළමයාට)...(දිගු වෙලාවක් නාද වී අනතුරුව කතා කරයි. ) හෙලෝ රොටියා. හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ..
(රොටියාගෙන් ගෑණු ළමයාට).. User busy..

හතරේ සිට හතරහමාර දක්වා - (රොටියාගෙන් ගෑණු ළමයාට) හරි හරි වෙලාවට යනවා.

හතරහමාරේ සිට පහමාර තෙක් ඕනෑම වෙලාවක- (රොටියාගෙන් ගෑණු ළමයාට) (පසුබිමෙන් ත්‍රි රෝද රථයක් හැටට හැටේ යන සද්දයක් ඇසෙන හෙයින් කතාව අපැහැදිලිය)රොටියා මාර වැඩේනේ. ඔෆිස් එකෙන් එද්දී පරක්කු උනා. බස් එකේ යන්න වෙලා මදි නිසා දැන් ත්‍රයිෂෝ එකක යනවා. ඔව්. ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක අල්ල ගන්න පුළුවන් වෙයි

පහමාරේ සිට පහයි හතලිහ දක්වා ඕනෑම වෙලාවක - (ගෑණු ළමයාගෙන් රොටියාට) රොටියා මේ මාර ට්‍රැෆික් එකකට අහු උනානේ. ට්‍රාන්ස්පෝර්ට් එක අල්ල ගන්න බැරි වෙයි

හයට පමණ - (රොටියාගෙන් ගෑණු ළමයාට) ඔව් අනේ ට්‍රාන්ස්පෝර්ට් එක මිස් උනා. ඔන්න බනින්න නම් එපා හරිද. මං මොනා කරන්නද. ඔෆිස් එකේ වැඩ දමල ගහල එන්න කියලද

ගෑණු ළමයින්ගේ වැඩ කිරිල්ලේ තරම ඔන්න ඔහොමය..

පසු සටහන: මේ ටිකකට කලින් ,ඔන්න ඔයා ඔෆිස් එකේ වැඩ කරන හැටි වගේමයි කියමින්, ඇන්ටන් ජෝන් ගේ කන්තෝරුව සින්දුව යැවූ නිසා දැන් ඈ මා සමග මල පන්නාගෙන කතා නොකරයි.


මෙන්න සින්දුව :කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන




Friday, March 28, 2014

ආදරණිය ඩි,

මගේ ආදරණිය ඩි;
හැම උදෑසනකම මා අවදි වන්නේ ඔබ පිළිබඳව සුන්දර මතකයක් හිත දරාගෙනය. නින්දට යන්නේ ඔබ පිළිබඳව ඊට වඩා සොඳුරු මතකයක් සිහියේ තබාගෙනය.මගේ ජිවිත කාලය පුරාවටම ඔබව හිමි කරගත නොහැකි බව මගේ උඩු සිත පිළිගත්තද, යටි හිතෙන් පැතුවේ ඔබවමය.
අපේ දෑස් යාවුණු හැමවිටෙකම වගේ ඔබ හිතේ කහටක් නැතුව මා හා හිනැහුනද, මට නම් හිනැහෙන්න අමතකම විය. සාමාන්යෙන්ම ලජ්ජාශීලි පුද්ගලයෙකු නිතැතින්ම සිදු කරනා ලෙසට, මමද තද කළමණාකරුවෙකු වීමි. ලජ්ජාශීලි කලමනාකරුවෙකුකට සිය ආයතනය නිසි ලෙස පාලනය කරගත නොහැකි බව මට තේරුම් ගියේ මීට බොහෝ කලෙකට පෙරාතුවය. මා යටතේ සේවය කල සියල්ලෝම මාව තදබල ලෙස විවේචනය කල බව දනිමි. මම අඩුවෙන් කතා කරන බව, හිනැහෙන්නේ නැති බව, මගේ දරදඬු පාලනය බොහෝ දෙනෙකුට රිස්සුවේ නැති බව සැබෑය. 

ඒත් එක දිනෙක හිනැහී හිනැහී සම්මුඛ පරීක්ෂණයකට පැමිණි ඔබ මුළු වෙලාවේම සොඳුරු හිනාවකින් මුව සරසාගෙන සිටි ආකාරය මට අද මෙන් මතකය. සේවයට පැමිණි පසුවද මා කුමන මුහුණක් පැළඳගෙන සිටියද හිත පුරාම මා හා හිනැහුණේ ඔබය. ඔබ බොහෝ වෙනස් ගැහැණු ළමයෙකු බව මට මුල්වරට තේරුම් ගියේ ඔබ දුටු මුල් දිනමය
බොහෝ දෙනෙකු මට මුහුණ දෙන්නට අකමැති වුවද, උදෑසන පැමිණි විට ඔබ මුලින්ම කරන්නේ මා පැමිණ සිටීදැයි බලා මා සමග හිනැහිමය. මා පමණක් නොව, මුළු කාර්ය මණ්ඩලයම සමගම හිනැහෙමින් සුබ පැතීම ඔබේ පුරුද්දය. ටික දවසක් යන විට මමද ඔබ එනතුරු බලා සිටින්නට පුරුදු උනෙමි. ඊළඟට ඔබ උදෑසන මා සමග පමණක් හිනැහිය යුතුයැයි සිතීමට තරම් මම ආත්මාර්ථකාමී උනෙමි. ඔබ නොදන්නවාට, කල්ගත වනවිට උදෑසන පැමිණි වහාම කුමක් හෝ වැඩක් යොදා ගනිමින් ඔබව මගේ කාර්යාල කාමරයට ගෙන්වා ගත්තේ ඒ ආත්මාර්ථකාමී හැඟීම නිසාය
එකුන් තිස් වියේ පසුවූ මා, විසි දෙහැවිරිදි ඔබට පෙම් බැඳීම අරුමයක් නොවුවද, එය අරුමයක්ම වන්නේ ඒ වනවිටත් මටත්, ඔබටත් පෙම්වතියක හා පෙම්වතෙකු සිටි නිසාය. මගේ ගතිගුණ තේරුම් ගත නොහැකි යයි කියමින්, මා අතහැර ගිය පෙම්වතියන් අතර ඒවනවිට මා ඇසුරු කළේ පස් වැනි පෙම්වතියය. මගේ රූපය නිසා ගැහැණු ළමුන් ලෙහෙසියෙන්ම මා හා ආදරයෙන් වෙලුනද, ඊට වඩා ලෙහෙසියෙන් මා අතහැර ගියබව කාර්යාලය පුරා පැවති ප්‍රසිද්ද රහසකි
මා දුටු ගැහැනුන් අතර ඔබ මලකි. ඔබ තරම් විවෘත ලෙස හැසිරුණ ගැහැණු ළමයෙක් මින් පෙර නොදැක සිටි මට ඔබව විශ්මයක්ම විය.
ඔබ පෙම්වතියක බව මුල් වරට දැනගත් දවසේ මම ඉරිසියාවෙන් දැවුනෙමි. ඔබ වැනි ප්‍රසන්න ගැහැණු ළමයෙකු තනිව සිටීදැයි සිතීම විහිළුවක් වුවත්, මා සෑම විටකම යටි හිතෙන් පැතුවේ ඔබේ සම්බන්ධය නැවතී යාමක් බව මතක් වන විට අදටත් මට ලජ්ජාවකට සමාන හැඟීමක් හිත කොනක මතු වුවද ඒ හැඟීම ගැන පසු තැවීමක් නම් නැත. සියලු දේ හරියටම කරන ආකාරයේ ගැහැණු ළමයෙකු වූ ඔබ ඔබේ පෙම්වතාට දිවි දෙවැනි කොට ආදරය කළාය. ඔහුද එවැනිම ආදරණිය පුද්ගලයෙකු බව මට ආරංචි විය.
දිනක් මා ඔබ දෙස බලාගෙන සිටින අයුරු හදිසියේම දුටු ඔබ තිගැස්සුණු ආකාරය මම දුටුවෙමි. මම ඔබට ආදරය කරන බව ඔබ තේරුම් ගත්තේ එදින යයි මම දනිමි. ඔබ කිසිම කෙනෙකුට වඩා හොදින් අපුරුවට මාව තේරුම් ගැනීමට සමත් වුවාය. මගේ අප්‍රකාශිත ආදරය හමුවේ දරුණු නොවුවද, ඔබ කිසි විටෙක මට අනුබලද නොදුන්නාය.
දිනක් ඔබ හමුවේ මට මාවම පාලනය කරගත නොහැකිව, ඔබේ සුරත අල්ලාගත් ආකාරය සිහිවන විට අදටත් මගේ හිත මිහිරියාවෙන් පිරි යයි. එදින රවා බැලීමක් හෝ සිදු නොකොට මා කැමති තරමක් වෙලා ඔබේ සුරත අල්ලාගෙන හිඳීමට ඉඩහළ ඔබ,අවසානයේ මා පව් යයි පැවසුවාය. තෙවැනි ඇහැකින් බලන අයෙකුට නම් ඔබ සිය ප්‍රධානියාගේ කරේ නැගගෙන උසස් වීම් කරා යාමට තැත් කරන අයෙකු ලෙස හැඟුනද එය එසේ නොවන බව කාටත් වඩා හොඳින් දන්නේ මාය. උසස්වීම් හෝ වේතන වැඩි කිරීම් ගැන ඔබ උනන්දු නොවූ අතර රැකියාව කළේ කාලය ගෙවා ගැනීමට බවත්, ඔබ විවාහ වූ පසුව රැකියාව අතහරින බවත් මම දැන සිටියෙමි. කාර්යාලයක සේවිකාවකට මෙවැනි සිද්දියක් සිදුවූ කල එය පොලිසියකට යාමට තරම් සිද්දියක් වන නමුදු, ඔබ හා මා අතර සිදුවූ සෑම දෙයක්ම අප දෙදෙනාට පමණක් සිමා කර ගැනීමට තරම් ඔබ කල්පනාකාරී වූවාය. ඔබ මාව හඳුනාගත් ලෙසටම මාද ඔබව හඳුනාගත් නිසා, ඔබ මා පිළිබඳ සියලුම දේ ඔබේ පෙම්වතාට පවසන බව මම දැන සිටියෙමි


හදිස්සියේම මා අතට පැමිණි ඔබේ අස්වීම් ලිපිය මගේ ලෝකය උඩු යටිකුරු කරන්නට සමත් විය. ඔබේ තීරණය වෙනස් කරන්නට උත්සහ කොට අවසානයේ පලක් නොවූ තැන මම ඔබට අන්තිම පහත් ආකාරයට බැන වැදුනෙමි. වල් බැල්ලියෙක් යයි සදහන් කරමින් බැණ වැදුනද මගේ දෑස දෙස බලාගෙන නිසලව සිටීමට තරම් ඔබ සන්සුන් ගැහැණු ළමයෙකු වුවාය.
ඉන් මසකට පමණ පසු පැවති සමු ගැනීමේ සාදයෙන් පසුව සියලුම දෙනා පිටත්වුණු පසුවද බොරු හේතුවක් යොදා ගෙන ඔබව නවතා ගත්තේ තවත් තත්පරයක් හෝ ඔබ සමග ගත කිරීමට තිබූ කැමැත්ත නිසාය. ජිවිතයේ කිසිම දාක නොදැනුණු අසරණකමකින් වෙලුනු මම හඬා වැටෙමින් ඔබේ උකුලෙහි හිස හොවාගෙන නවතින ලෙස අයැද සිටියද, යා යුතුම බව ඔබ පැවසුවාය. හැමදාම හිනැහෙමින් හිඳි ඔබද මා හා එක්ව හැඬුවාය. මගේ ගෙල මුල හිස හොවාගෙන ඔබද බොහෝ වෙලා හඬා වැටුනාය. අවසානයේ එකම සිප ගැනීමක් හෝ ඉල්ලා සිටි මගේ දකුණු කම්මුලේ ඔබ මුදු හාද්දක් සටහන් කොට නික්ම යන්නට සැරසෙද්දී මම ඔබේ බලවත් විරෝදය හමුවේ වුවද ඔබේ දෙතොලග හාද්දකින් තෙමාලිමට තරම් මම නිර්භය වුයෙමි. එය අදටත් මගේ ජිවිතයේ සුන්දරතම මතකයයි.
යා යුතුම වූ නිසා ඔබ ගියාය. ඒ සදහටම බව දැනගද්දී මම බොහෝ සෙයින් ප්‍රමාදය. ඔබේ අස්වීම් ලිපිය පිටුපස සිටි පිළිකාව ගැන දැන සිටියානම් මම ඔබට ලෙහෙසියෙන් යන්න ඉඩ දෙන්නේ නැත. ඔබ අවසන් නින්ද නිදා සිටියදී ඔබේ පෙම්වතාට සිහි කල්පනාවක් නොතිබිණි. කෑ ගසා හැඩු ඔහු දෙස මම ඉරිසියාවෙන් බලා හුන්නේ මගේ ලය පැලි යන තරමට වූ ශෝකය පිට කර ගැනීමට අන් මගක් නොතිබූ නිසාය. ලොවට පෙනෙන්නට හැඩුම හංගාගෙන සිටීමට බලවත් උත්සහයක් දැරූ මා කෙරෙහි, මටම අසීමිත කෝපයක් ඇති වී තිබුණි.
ඔබේ නික්මයාමෙන් මසකට පමණ පසුව, ඔබේ පෙම්වතා ඔබ මට තබා ගිය ලිපිය ගෙනැවිත් දුන්නේය. මා පිළිබඳව සියලුම දේ දැන සිටි ඔහු, එපමණ සංයමයකින් මා හා කතා කිරීම මට පුදුමයක්ම විය. ඔබේ නිමා නොවෙන ආදරයේ සදාකාලික අයිතිකරු වූ ඔහු, ඔබ මට දැක්වූ සෙනෙහස තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වුවේය. අනෙක් අතට ඔබ වැනි ගැහැණු ළමයෙකුගේ පෙම්වතා, වෙනෙකෙකුට ඉරිසියා නොකිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත
ඔබට තිබුනේ විශාල හදවතකි. එයින් ඔබ ඔබේ කෙටි ජිවිත කාලය තුල, මුළු ලෝකයටම ආදරය බෙදුවාය. ඔබේ හදවතේ ඉතාමත් කුඩා තැනක සිටි මා කෙරෙහි ඔබ දැක්වූ සෙනෙහස ගැන සිතන විට, ඔබේ මුළු හදම අයිති කරගෙන සිටි ඔබේ පෙම්වතාට අදටත් මම ද්වේශ කරමි
ආදරණිය ඩි, නිදා ගන්න. සුවෙන් නිදා ගන්න. කවදා හෝ යලි ඔබ ලඟට මම පැමිණි විටෙක තව එකම එක වතාවක් ඔබේ මුදු දෙතොල සිප ගන්න මට ඉඩ දෙන්න. එකම එක වතාවක්

මිට
ආදරයෙන්
එෆ්.



Wednesday, March 26, 2014

බාගෙට ලියපු ආදර කතාව

හැමදාම පිස්සු නට නට දවස පටන් ගන්න මම අද හරි බැරෑරුම් හැඟීමකින් පිරිලා. මම විතරක් නෙවෙයි, මගේ ලැප්ටොප් එක, කීබෝර්ඩ් එක පවා ආදරණිය වෙලා. අද මගේ ඇඟිලි වලින් කඩා හැලෙන්නේ ආදරේ. ආදරණිය කීබෝර්ඩ් එකක, ආදරේ වෑහෙන ඇඟිලි වලින්, ආදරේ ගැනම ලියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? දැන් මගේ බ්ලොග් එක ලියන වෙලාව නොවුනත්, මම වැඩ පටන් ගන්න වෙලාව වුනත්, කරන්න වැඩ තිබුනත්, හිතේ පෙළගැහිලා තියෙන කතාව නොලිව්වොත් පිස්සු හැදෙන ගානට තමා අද මම ඉන්නේ. හරියට සුපුන් කියනවා වගේ. ...ආදරේ කියන්නේ පටන් ගත්තොත් ඉවර කරන්න බැරි දෙයක්

සුපුන් කියන්නේ නම වගේම බොහොමම සාමාන්‍ය ඉංජිනේරුවෙක්. සාමාන්‍ය රස්සාවක් කරන. සුපුන් අසාමාන්‍ය වෙන්නේ භාග්‍යා නිසා. භාග්‍යා කියන්නේ සුපුන්ගේ ගෙවල් ගාව හිටපු පොඩි නංගි කෙනෙක්. සුපුන්ට මතක ඇති කාලෙක ඉඳලම සුපුන් එක්කම හැදුනු නංගි කෙනෙක්. සුපුන්ට දෙයියට වගේ සලකගෙන තමුන්ගේ අයියාගේ වගේ පස්සෙන් වැටීගෙන හිටපු නංගි කෙනෙක්

දෙන්නම තම තමුන්ගේ පවුල් වල එකම ළමයි. ඒ නිසා දෙන්නට දෙන්නා ඉඳල තියෙන්නේ සහෝදරයෝ වගේ

භාග්‍යා ගැන තමුන්ගේ හිතේ සහෝදර ප්‍රේමයක් නොවෙන ප්‍රේමයක් ඇති වුනේ ඒලෙවෙල් කරාටත් පස්සේ කියලයි සුපුන් නම් කියන්නේ. ඒත් මම නම් කියන්නේ ඌ කියන්නේ බොරු කියල. මොකද ඒලෙවෙල් ඕලෙවෙල් කාලේ භාග්‍යගේ පස්සෙන් ආපු කොල්ලන්ට, පොලිසියේ රාජකාරිය කරලා තියෙන්නේ මූ. ඒ කොල්ලෝ අතරේ ඇත්තටම භාග්‍යගේ හිත ගිය කොල්ලෝ දෙතුන් දෙනෙකුත් හිටිය කියල ඌම කියනවා. එයින් එකෙක් අද පයිලට් කෙනෙක්

කොහොම හරි කැම්පස් ගිහින් ඉවර වෙලා සුපුන් එද්දී භාග්‍යාත් රස්සාවක් කරනවා බැංකුවක. සුපුන් භාග්‍යට කැමතියි කියල කියනකොට භාග්‍යගේ ඇස් ලොකු වෙනවා. සුපුන් ආදරේ දකිනවා ඒ ඇස් වලින්

දෙපැත්තේම අම්මල තාත්තල වැඩේට උඩින් කැමතියි. කල් නොයවාම වෙඩින් එක ගන්න කතා කර ගන්නවා

භාග්‍යා දැන් ඉස්සර හිටපු පොඩි නංගි බබා නෙමෙයි. සුපුන් එක්ක වැඩිය කතාවට එන්නෙත් නෑ

අමාරුවෙන් ලිස් කරලා සුපුන් ගන්නවා කාරෙකක්. ඊළඟට දෙන්නට ඉන්න ලස්සන අපාර්ට්මන්ට් එකකුත් හොයා ගන්නවා. ඊළඟට සුරංගනා කතාවේ කුමාරයයි කුමාරියි කසාද බඳිනවා. පැණි හඳ බලන්න ගිය කුමාරයට පැණි හඳ නෙවෙයි පෙන්නේ තරු. භාග්‍යා කියනවා මම ඔයාට ආදරේ කළේ මගේම අයියා විදියට. මට කවදාවත් ඔයත් එක්ක හස්බන්ඩ් වගේ ඉන්නත් බෑ අයියේ. එහෙම හිතන්නවත් මම කැමති නෑ. අපි මැරෙනකම්ම අයියයි නංගියි වගේ ඉමු කියල

එතකොට සුපුන් අහනවා එහෙනං කෙලින්ම බෑ කියන්න බැරි වුනේ ඇයි කියල මේ කසාදෙට

භාග්‍යා කියනවා එයා එහෙම කිව්වා කියල. එතකොට තමා සුපුන්ට මතක් වෙන්නේ භාග්‍යා කීපාරක් නම් මේ කසාදෙට බෑ කිව්වද කියල. ඒක සුපුන්වත්, සුපුන්ගේ අම්මල තාත්තලවත්, භාග්‍යගේ අම්මල තාත්තලවත් කනකට ගත්තේ නෑ නේද කියලත් හිතෙනවා. ඒ හැමෝම ඒ කිව්ව හැමවෙලාවෙම හිනාවෙවී එක එක හේතු කිව්ව මිසක් හරියට භාගයත් එක්ක ප්‍රශ්නේ මොකද්ද කියල කතා කළේ නෑ නේද කියල කල්පනා වෙන්නේ එදා රෑ

සුපුන් භාග්‍යගෙන් සමාව ඉල්ලනවා. ඩිවෝස් එකක් ගැන හිතන්න සුපුන් පොඩ්ඩක් වත් කැමති නෑ. ඒත් භාග්‍යගෙන් අහනවා එයා ආදරේ කරපු කවුරු හරි ඉන්නවද කියල. එහෙම ඉන්නවා නම් ඩිවෝස් එක දෙන්න සුපුන් හිත හදා ගන්නවා

ඒත් භාග්‍යට එහෙම කෙනෙක් නෑ. ඒපාර දෙන්නම කතා කරලා ඩිවෝස් නොවී තව ටික කාලයක් ඉන්නත් ඒ අතර තුරේ තමුන්ට ගැලපෙන කවුරුහරි හම්බ උනොත් කතා බහ කරලා ඩිවෝස් වෙන්නත් තීරණය කරනවා. සුපුන්ගේ හදවත කෑලි කෑලි වලට කැඩෙනවා. සුපුන් හිත ඇතුලෙන් දන්නවා තමුන්ට කවදාවත් කිසිම කෙනෙකුට භාග්‍යාට තරම් ආදරේ කරන්න බෑ කියල.. කෑලි කැඩුණු හිත හංගගෙන සුපුන් හිනා වෙලා නිදා ගත්තා

හනිමුන් ට්‍රිප් එක ඉවර වෙලා ඔෆිස් එද්දී සුපුන්ගේ මුණ නිකන් තැලිච්ච පරණ ලොරි මුණක් වගේ. හැබැයි වෙනද වගේ නෙමෙයි ඌ උදේටයි දවල්ටයි ගෙදර හදපු කෑම දෙකක් උස්සන් ආව. එදා ඉඳල හැමදවසකම ඌ කැන්ටිමෙන් කෑවේ නෑ

මාස තුනක් හතරක් ගියා. සුපුන් දාහට අරන් රුපියලට දුන්නු එකෙක් ගානට හිටියේ. භාග්‍යගේ හිත ගත්තු එකෙක් අද හම්බවෙයිදෝ කියන සැකේ හින්ද ඌ දවස ගානේ පිච්චි පිච්චි ඉන්නවා

දවසක් ඌ ඔෆිස් ආවේ නෑ භාග්‍යට උණ කියල. ඊ ලඟට සතියක්ම ආවේ නෑ. ඊළඟ සතියේ එද්දී මුගේ මුණ නිකන් කිරි මුදට හඳ පායල වගේ. තනියම හිනාවෙවී ඉන්නවා. ඔෆිස් අරුණු ගමන් ගෙදර දුවන්න බලාගෙන. යකෝ උඹේ ගෑනි මැරෙන්න ගිහින් ගොඩ ආවම තෝ එහෙම හිනා වේවි ඉඳල හරි යනවද ගල් මුසලය කියලා ඔෆිස් එකේ කොල්ලෝ ටික සුපුන්ව හේදුවත් මූ හිනා වෙවිම හිටියා

තවත් මාස අටකට වගේ පස්සේ භාග්‍යට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියල සුපුන් ඇවිත් කියද්දී උගේ ඇස් දිලිසුනා

ඉවසුවා මචං මම මාරම ඉවසිල්ලක් ඉවසුවා. අතින්වත් අල්ලන්නේ නැතුව මාරම විදියට කන්ට්‍රෝල් පිට හිටියා. අන්තිමට මම දිනුවා. සුපුන් කිව්වා ඔක්කොම ඉවර උනාට පස්සේ

ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉවසල ලබා ගන්න ඕනේ දෙයක්
මේ කතාව මට තව දික් කරන්න තිබ්බ. සුපුන් වටින් ගොඩින් කියපු කතා අහුලාගෙන මට ඌ භාග්‍යට උණ හැදිලා ගෙදර නැවතුනු සතියේ කතාව ලිව්වා නම් මට මේක තව කොටස් හතර පහක් ලියන්නත් තිබ්බා
ඒත් ආදරේ ගැන දන්න කෙනෙක්ට මේ ටික ඇති ඉතුරු ටික හිතා ගන්න. අනික මම මේ බ්ලොග් එකේ ලියන්නේ ලොකු පොඩි හැමෝටම කියවන්න පුළුවන් තරමට විතරයි. ඒ නිසා මේ කතාවේ ඉතුරු ටික හිතා ගන්න

Tuesday, March 25, 2014

එකෝමත් එක දවසක -15

මාව පාවීගෙන පාවිගෙන ගියාය . වලාකුළු වලට උඩින් .. හඳ තරු උඩින්

එදා මා ඈ සමග වල් පල් කතා කරමින් ඈ බහින තැන දක්වාම ගියෙමි . අවසානයේ මට මගේ සැබෑ ආදරය හමු උනා යයි සිතුනි . සිහින පියාපත් ....

මට කැමතියි කිව්වේ නම් නෑ තමා . ඒත් අකමැතියි නම් අරෙම කතාවක් කියයිද ?

එදවස මා නැවතී සිටියේ මිතුරන් කීප දෙනෙකු හා එක්ව බෝඩිමකය . බෝඩිමේ මිතුරන් අතුරින් මගේ අතිජාත මිතුරා වූ ගෙම්බා ට සිද්දිය දන්වන තුරු මට ඉවසුමක් නොවිය . බනින බව දන්නවනම් තමා . එත් මගේ සහෝදරයෙක් වැනි ලපයාට ආරංචිය නොකියා කොහොමද ?

මා කැම්පස් එන විට මගේ සීයා තෑගි කල මොටෝරෝලා වර්ගයේ ජන්ගමයෙක් එදවස මගේ කලිසම් සාක්කුවේ තිබුණි. ඇමතුමක් ගන්නට හෝ කෙටි පණිවිඩයක් යවන්න සෑහෙන තරමේ ජන්ගමයෙක් !

දවස් දෙක තුනක් සඳහා වියදම ලෙස රුපියල් දෙසීයකට අඩු මුදලක් මා ළඟ තිබුණු අතර එයින් බාගයක් වියදම් කොට දුරකතනයට කාර්ඩ් පතක් මිලදී ගෙන ලපයාට ඇමතුමක් ගත්තෙමි . ඔව් . කුණුහරුප ටිකක් කන පිරෙන්න අහගෙන කණේ හිරි ඇරගන්න ලපයාට ඇමතුමක් ගත්තෙමි

එදා ලපයා මට කතා කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පලමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස නොව මිනිහෙකුට අහන ඉන්න බැරි තරම් අශිෂ්ට බසාවෙනි . මම ඌ ට දොස් නොකියමි .ඒ ඌ කිව්ව සෑම වචනයක්ම බොරු නොවෙන නිසාය . අන්තිමට ඌ සිය කතාව අවසන් කරමින් , කොල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම අපහාසය හෙවත් මා අහවල් ජාතියෙන් එකෙකු බව පවසමින් කෝල් එක කට් කලාය.

කොහොම වෙතත් ලපයාගේ කතාවෙන් පසුව , මගේ වාන් දමන ප්‍රීතිය පොඩ්ඩක් අඩුවූ බව නම් සැබෑය

ඊළඟ මාස දෙක තුන මේ කතාවේ ප්‍රීතිමත්ම සමයයි . එනකන් මග බලන් ඉන්නට , රෑ උනොත් ගිහින් ඇරලන්නට , ඕනේ දේත් එපා දේත් කතා කතා කරන්නට මටත් ඉන්නවනේ දැන් ගෑනු ළමයෙක්

උතුරා යන ප්‍රීතිය කව්දෝ කිව්වා වගේ දිගින් දිගටම පවතින්න තරම් හොඳ වැඩි විය . ඔව් එක දවසක් වන තුරු මගේ සතුට පැවතිනි . ඈට ඉලෙක්ට්‍රොනික් විෂය අමාරු වෙන තාක් තුරු මගේ සතුට පැවතිනි. මට ඈට වඩා ඉලෙක්ට්‍රොනික් විෂය ගැන දැනුමක් ඇති බව ඈ නොපිළිගන්නා තුරු මගේ සතුට පැවතිනි

එක දිනක් හදිසියේම ඈට, හදිසියේම මගේ උපාදියට වඩා ඇගේ උපාදිය ඉහලින් තිබෙන බව මතක් වුනේය . හදිසියේම ඈට තමුන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වරියක් බව සිහියට ආවේය .

මම පොලවට පාත් උනෙමි . නැවත වතාවක් !

Sunday, March 23, 2014

එකෝමත් එක දවසක -14

ඈ පිළිතුරු හරිගස්සන්න තත්පර දහයක් පහළොවක් ගත්තාය
"මම දන්නා අයිය කෙනෙක් එක්ක.."

"දන්න අයියල හැමෝම එක්ක පාළු පාරවල් ගානේ රස්තියාදු ගහනවාද?"

එවර නම් ඈ ගොළු විය. මා සමග කතා කරන විට පළමු වරට පිළිතුරක් නැතිව ඈ ගොළු විය

"දන්න අයිය කෙනෙක්ද, විශේෂ යාලුවෙක්ද?"

"මම ඔයාට ඇත්තම කියන්නම්. එයා මට විශේෂ කෙනෙක් වෙලා හිටියා. ඒත් දැන් නෑ"

"ඇයි ඒ?"

"එයා මට කැම්පස් එන්න එපා කිව්ව. එයා එහෙම කිව්වේ මට තියෙන ආදරේකට නම් මම කිසි කතාවක් නැතුව කැම්පස් නෑවිත් ඉන්නවා. ඒත් එයා එහෙම කිව්වේ තනිකරම ආත්මාර්ථකාමී කමට." ඈ හිනැහුණාය

"ඒ කියන්නේ ඔයා ඒ සම්බන්දෙ නැවැත්තුවා?"

"ඔව්. මම නැවැත්තුවා. කොහොමත් එයා මට ගැලපෙන්නේ නෑ. මට තේරුම් ගන්න පරක්කු උනා"

"ඒ කියන්නේ ඔයා දැන් නිදහස්."

"ඔව්. අපිව තේරුම් ගන්නේ නැති විශේෂ අයත් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක හොඳයි"

"ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඔයා එයාව විශේෂ කෙනෙක් කරගන්නවද?"

ඈ තේරුම් ගත නොහැකි බැල්මකින් මදෙස බැලුවාය..

"ඔයා කැමතිද මාව විශේෂ කෙනෙක් කරගන්න.."

මා මුල්ම වරට ගෑණු ළමයෙකුකට මගේ කැමැත්ත පල කළේ එලෙසය. කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙන්න දැගලුවත්, මගේ හදගැස්ම පිටතට ඇසෙන තරම් විය. මගේ හිත පුදුමාකාරම ආනන්දයකින් පිරි තිබුණි. කියවන ඔබත්, කවමදාක හෝ ගෑණු ළමයෙකුට මුල්වරට කැමැත්ත ප්‍රකාශ කරන වෙලේ හෝ, පිරිමි ළමයෙකු ඔබේ ජිවිතයේ පලවෙනි වතාවට ඔබට කැමතියි යයි කියන වෙලාවේ හෝ දැනුනු හැඟීම මටත් එලෙසම දැනුනි. ඒ මල් වයස මතක් වන විට අදටත් මගේ හදගැස්ම වැඩිවී කන් පෙති රතු වේ.

ඈ නෙතු විදහා මදෙස බැලුවේ නැත. මොකද මා ඇසු ප්‍රශ්නය ඈ බලාපොරොත්තු වුවකි

"මම ඔයාට කැමතියි. යාලුවෙක් විදියට.." ඈ යලිත් මගේ දෑසටම කිඳා බැස දයාබරව හිනැහුණාය. ඈ මට කැමතියි වගේ. ඒත් ලජ්ජාවෙන් කියන්නේ නැතුව ඉන්නවද මන්දා..

"මට දැන්ම වචනයක් ඕනේ නෑ. ඒත් කවදාහරි දවසක මම ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නද..?

ඈ යලිත් හිනැහුණාය. "මම ඔයාට එපා කියන්නේ නෑ.."

Saturday, March 15, 2014

එකෝමත් එක දවසක - 13

මගේ හිත නැවතත් ටිකෙන් ටික දිව්‍යාංගනාව වෙත ඇදෙන්න පටන් ගත්තාය. ටිකෙන් ටික මමද ඇය වෙත පෙරලා මදහස පාන්නට වුනෙමි. ටිකෙන් ටික ඇය හා පෙලට වැටි ගමන් යන්නට පුරුදු වුනෙමි. ටිකෙන් ටික එකල මා ආදරය යයි හිතා හිටි යමක්, ඈ වෙනුවෙන් නැවත වතාවක් මගේ හිත තුල පැල පදියම් වන්නට පටන් ගත්තාය

ඉක්මනින්ම විශ්ව විද්‍යාල ජීවිතය තුල මට මිතුරන් ඇති වූ නමුත් ලපයා වැනි හිතට දැනෙන මිතුරන් ඉක්මනින්ම හමු නොවිණි. නමුත් ටිකෙන් ටික ජිවිතයට බද්ද වුනු යාළුවන් කීප දෙනෙක්ම මට මුනුගැසුණු අතර සමස්තයක් ලෙස සම වයසේ උන් හැම කෙනෙක්ම ෆිට් එකක් විය.

මේ වන විට මගේ දිව්‍යන්ගනාව හැසිරුනේ තනියමය. ඈගේ පෙම්වතා ගැනද කිසිම සඳහනක් නොවුණු තැන මම පුරුෂ ධෙයර්යය එක්තැන් කොට , වෙන කවරෙකු හෝ පැමිණ මගේ තැන අරගන්නට පෙරාතුව ඇයට මගේ හිතේ තියන දේ කියන්නට සිතුවෙමි. මගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව ගැන මගේ හිතවත්ම මිතුරන් කීප දෙනෙකු දැන සිටි අතර, ලපයා මෙහි නොසිටීම වාසනාවක්ම විය

මෙය කියවන ඔබට මං ගැන හිතෙන දේ, ලියන මටත් එලෙසින්ම හිතේ. එනම් මා වැඩ කළේ පල් බුරුවෙකු ලෙසින් බවය. මගේ මිතුරන් දෙදෙනෙකුද එලෙසින්ම සිතා මගේ බුරු හිත වෙනස් කිරීමට වලිකෑ අතර තවත් කීප දෙනෙකුගේ සහය මට හිමි විය.

ඈ එකල නැවතී සිටියේ ඇගේ නෑදෑයෙකුගේ නිවසක වූ අතර, කැම්පස් එකේ සිට එහි යෑම සඳහා ඈ බසයට ගොඩ වැදෙන තැන මම දැන උන්නෙමි

විස්වාස කරන්න. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මාව ගොනාට ඇන්දවූ ගෑණු ළමයෙකුට මම නැවත වහ වැටි සිටියෙමි.

ඉතින් කල් නොයවාම දවසක මා දේශන ඉවරවී ඈ පිටුපසින් ගොස් ඈ ගිය බසයටම ගොඩ වුයෙමි. ටිකට් ගද්දි ඈටත් එක්ක ටිකට් ගත් නිසා ඈ මාව දුටුවාය.

මෙන්න නැවත අර අවුරුදු දෙකකට පෙර දැමු මල් හිනාව. මාව කරකවා අතාරින මල් හිනාව..

" මම දැක්කා ඔයත් ඉන්නවා. කතා කළේ නෑ" ඉස්සර වුයේ ඈමය. එදා වගේමය..

" හ්ම්ම්. මාත් දැක්ක. මම හිතුව දැන් ඉතින් ට්‍රොනික් කට්ටිය නිසා අපිත් එක්ක කතා කරන එකක් නෑ කියල"

මෙන්න සුදු මුණ තරහෙන් කළු කරගෙන. "පිස්සුද ඔයාට"

මගේ මොට්ට හිනාව.

"මට එහෙම යාලුවන්ව අමතක වෙන්නේ නෑ, යාළුවන්ට මාව අමතක උනාට"

එකපාරටම මං ගිය ටියුෂන් පන්ති ඔක්කොටම ඈ එන එක නැවැත්තුවේ ඒ නිසාදැයි අහන්නට මගේ කටට ආවත්, මම කට පියා ගත්තෙමි.

"ඔයා වගේ හොඳම යාලුවෙක් මාත් එක්ක එකම යුනිවසිටි එකට ආපු එක ගැන මට හරිම සන්තෝසයි අනේ. හදිස්සියකටවත් මම දන්න කෙනෙක් මෙහෙ නෑනේ"

මෙය ගෑණු ළමයින්ගේ සුපුරුදු තැටියකි. කොල්ලාව ඔරේමන්දම් වෙන තැනට වැඩ සිද්ද කොට, ඌ හිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ඉද්දි, ඒ බලාපොරොත්තු ගොන්නට තව තවත් බලාපොරොත්තු ලබාදී අවසානයේ ගෑණු ළමයි පවසන බයිලාව නම් කොල්ලා ඇගේ හොඳම මිතුරෙකු බවයි.

රොටියාගේ අතිජාත මිත්‍රයෙක් නම් මේ ලඟදි ඔය ජාතියේ ගෑණු ළමයෙකුට කන පුරා දෙසා බා තිබුණි. එනම් මේ ගෑණු ළමයා ගැන බලාපොරොත්තුවෙන්, මේ කොල්ලා අවුරුද්දක්ම බල ඉඳ ඇති අතර ඒ අවුරුද්දෙනුත් පසුව ගෑණු ළමයා තවත් කල් ඉල්ලු පසු නප්පියටම තද වී මේ නමක් නැති සම්බන්දය තමා නවත්වන බව දැන්වූ කල, ඔහු තමාට මුණ ගැසූනු හොඳම යාළුවෙකු වන හෙයින් (මම කැමති නෑ ඔයා වගේ කෙනෙක් නැති කරගන්න. ඒත් ඔයාට තව බලා ඉන්න බැයි නම්..), හැමදාම තමුන්ගේ හොඳම යාලුවෙක් ලෙසට ඉන්න ලෙසට ගෑණු ළමයා සින්දුවක් කියූ කල තමුන් ළඟ ඒ බයිලා නැති බව කොල්ලා කෙල්ලගේ මුණටම පවසා ඇත.
කාලයක් තිස්සේ දන්නා යාළුවන් දෙන්නෙකු අතර ටිකෙන් ටික ආදරයක් ඇතිවී නැතිවී ගිය කල නම් මේ කතාව වලංගු වන්නට පුළුවන. නමුත් කෙල්ලන් බබාලා නොවෙන නිසා, යම් කොල්ලෙක් තමුන් ගැන බලාපොරොත්තුවෙන්ම තමුන්ව ආශ්‍රය කරන්න පටන් ගත්තා නම් (අයියෝ මම දැනන් හිටියේ නෑනේ ඔයාගේ හිතේ එහෙම එකක් තියෙනවා කියල- ගෑණු ළමයි මේ කියන්නේ අමු බොරුය. හදිසියේවත් මේ කතාව ඇත්ත නම් මෙවැනි කෙල්ලන්ට මන්ද මානසික අද්‍යාපනය ලබා දිය යුතුය) එක්කෝ මුලින්ම බෑ කිව යුතුය. එසේ බැරි නම් කාලයක් ආශ්‍රය කොට හරි වචනයක් දිය යුතුය (හා.. බෑ) කාලයක් ආශ්‍රය කොට අනේ ඔයා මගේ හොඳම යාලුවෙක් යයි කටේ තොලේ නොගෑවී කියන ගෑණු ළමයින්ගේ යාළුකම යකාටම පලයන් කියා ආපසු හැරී එන්නට කොල්ලන්ට කොන්දක් තිබිය යුතුය.ප්‍රශ්නය වුනේ එකල මට එවැනි කොන්දක් නොතිබීමය..

ඉතින් මම හිනැහුනෙමි. අද නම් මම කියනවා කියනවමයි

"ඔයාට දෙයක් කියන්න තියෙනවා"

" මොකද්ද අනේ ඒ"

"ඉස්සරවෙලා කියන්න ඔයා එදා අර ඇවිදන් ගියේ කාත් එක්කද කියලා"