Saturday, November 30, 2013

මම මිනිසෙක්මි


පොඩිකාලේ මගේ ඇඟිල්ල කැපුනාම මම කෑ ගහල ඇඬුවා. ඊයේ පෙරේදා ආයේ ඇඟිල්ල කැපුනාම ඇඬුවේ නැති උනාට මට හොඳටම රිදුනා. .....උඹටත් එහෙමම නේද? අර අහිංසක අම්මයි දුවයි මන්නෙන් කොටලා මරන්න කලින් හිතුනේ නැද්ද ඒත් ලේ වලින් මස් වලින් හැදුන මිනිස්සු කියල. මන්නේට කැපෙන්නේ පණ තියෙන මිනිහෙක් කියල උඹට හිතුනේ නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


පොඩි ළමයින්ගේ ලෝකේ වීරයෝ උන්ගේ අම්මල තාත්තල. උඹ තාත්ත කෙනෙක් නං උඹ කැමති නෑ නේද කවුරු හරි උඹේ පොඩි එකා ඉස්සරහ උඹට බනිනවට ගහනවට.....එහෙව් උඹ අවුරුදු හය හතක වෙච්ච පොඩි එකෙක් ඉස්සරහා උගේ අම්මයි තාත්තයි ගහල මැරුවේ මොන හිතකින්ද? උඹට මතක් උනේ නැද්ද උඹේ පොඩි එකාව? කියපන් මට හොඳට හිතල බලල


කඩදාසි කොලයක් ගින්දරට දාල බලන් ඉඳල තියෙනවද උඹ? පොලිතින් කොලයක් පිච්චෙනවා උඹ දැකල තියෙනවද? කවදාහරි දවසක උඹව පිච්චිලා තියෙනවද? පිච්චේද්දී උඹට දැනුනු වේදනාව මතකද උඹට.....එහෙව් උඹ, උඹේම ලෙයින් හැදුනු ළමයි දෙන්නවයි, උඹේම ගෑනිවයි පුච්චලා මැරුවේ මොන හිතකින්ද.. කියපන් මට හොඳට හිතල බලල


දවසක තැලිලා තියනවද උඹේ ඇඟිල්ලක් ගලකට? දන්නවද උඹ ගලකට තලෙද්දී දැනෙන වේදනාව? දවස් ගාණකට ඒක හොඳ උනේ නෑ නේද?....එහෙව් උඹ ගල්වලින් ගහල ගෑනියෙක්ව මරන්න හිත හදා ගත්තේ කොහොමද? උඹ පවක් කළා කියල උඹ කැමතිද ගල් වලින් ගහල මරනවට. කියපන් මට හොඳට හිතල බලල
බෙල්ල කපල මරද්දී වේදනාවක් දැනෙන්නේ නෑ කියල කියන උඹ කැමතිද උඹේ බෙල්ල කපල මරනවට. කියපන් මට හොඳට හිතල බලල


මේ ලඟදි එක අහිංසක ගෑණු ළමයෙක්ගේ බෙල්ල කපල මැරුවා කියල අහපු හැමෝගෙම ඇස වල කඳුළු පිරුනා තමයි. උඹත් ඒක අහල හරිම ජාතිවාදියෙක් උනානේ. මතකද උඹට...එක ආගමකට පලු යන්න බැන බැන මුළු ඉරිදා දවසම ෆේස් බුක් එකට ලියුං ලියපු උඹ ඉරිදාම උදේ එකොළහට විතර මස් කඩේට ගිහින් හරක් මස් රාත්තලයි, කුකුල් මස් රාත්තල් දෙකකුයි ගෙනාව මතකද? උඹ ඒ ගෙනාවේ ඉබේ මැරිච්ච සත්තුන්ගේ මස්ද? උන්ව මැරුවෙත් බෙලි කපලම නේද?....දස වද විදගෙන මැරෙන සතෙක්ගේ මස් කකා කොහොමද උඹ සාදරණේ ගැන කතා කරන්නේ. කියපන් මට හොඳට හිතල බලල


උඹේ පඩි පැකට් එක නැති උනොත් කොහොමද? මොනාද උඹට හිතෙන්නේ. උඹ කොහොමද ඒ මාසේ ගෙවාගන්නේ?.....එහෙව් උඹ නේද ජාතිවාදේ පිටින් දාල වෙන ජාතියක කියන මිනිහෙක්ගේ මුළු සේසතම කොල්ල කෑවේ. ඌ ඊළඟට මොනවා කරන්නද කියල උඹට හිතුනෙම නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


උඹ කියනවා උඹ කන්නේ කැපකරපු කෑම විතරයි කියල. එතකොට උඹ හුස්ම ගන්නේ කැප කරපු වාතේ විතරද? නොදන්න නිසයි මං අහන්නේ? කියපන් මට හොඳට හිතල බලල


උඹ දැන් හරිම අගම්වාදියෙක් වෙලානේ. මට ආඩම්බරයි උඹ ගැන. උඹ හැමෝම වෙනුවෙන්ලුනේ නැගී හිටින්නේ. උඹත් එක්ක එකට වැඩ කරන එකාගේ ආගම තහනං කරන්න කියලනේ උඹ කෑ ගහන්නේ. උඹ අන්තිමට පන්සලට, පල්ලියට ගියේ කවදද. කියපන් මට හොඳට හිතල බලල


උපන්දා ඉඳලම උඹ හිටියේ පිටරටනේ. උඹ අන්තිම හොඳට ෆැසිලිටිස් එක්කනේ හැදුනේ. උඹ කතා කරන්නේ මිනිස්සු වෙනුවෙන්නේ.....එහෙව් උඹ දන්නවද ලංකාවේ ඉස්සර එකම ඔෆිස් එකේ වැඩකරන අම්මයි තාත්තයි වැඩට යන්නේ බස් දෙකක බව. ඒ උන්ට මගුල් නටන්න නෙවෙයි. අම්මයි තාත්තයි දෙන්නම එකටම බෝම්බෙකට අහුවෙලා , මැරිලා ළමයි අසරණ වෙන එකේ සම්බවිතවාය බාගෙකට අඩු කරන්න. උඹ දන්නවද ඉස්කෝලේ යන ගමන් බෝම්බ වලට අහුවෙලාමැරිච්ච ළමයි ගැන හිත හිත අම්මල, තාත්තල තාම විදෝන බව, දැන් ලංකාවේ මිනිස්සු බය නැතුව හුස්ම ගන්න බව. උඹේ රටට හදිස්සියේ බෝම්බ දැම්මොත් උඹත් කතා කරන්නේ සාමෙටමද? අනේ මට තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. කියපන් මට හොඳට හිතල බලලා


මට දුකයි උඹ ගැන. උඹ තට්ටු කරලා අහපන් උඹේ හිතෙන්. හිතටත් දුක ඇති උඹ ගැන. උඹ මිනිහෙක්.. අන්න ඒක තේරුං ගනින්. උඹ ජාතියක් ආගමක් කුලයක් ඉපදෙද්දී අරන් ආවේ නෑ. ඒවා උඹට පටෝපුවා. හිතපන් උඹ, උඹ විදිහට. කාගෙවත් බළල් අතක් නොවී හදවතට එකගව මිනිහෙක් වෙයන්. පුලුවන්ද උඹට? හැමෝම උඹ වගේමයි. බැහැල බලපන් උගේ සපත්තුවට. ඌත් උඹ වගේමයි.... නැද්ද? කියපන් මට හොඳට හිතල බලල


1 comment: