Thursday, July 23, 2015

උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්

සකල සිරින් පිරි සිරි ලංකාවේ හිටපු රජතුමා වෙත ලියන වග නම්,

මේ ලිපිය ලියන්නේ අම්බානෙක වැඩ අව් අස්සේය. වැඩ බල්ලට දමා බ්ලොගයේ කොටන්නේ ඊයේ පිට පිටම සිව්වෙනි වතාවටත් මගේ හිත කීරි ගැහි ගිය නිසාය


ඔබතුමා ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා සමග සාම සාකච්චා කොට යුද්ධයට පිළියම් සොයන්නට ගොස්, සාකච්ඡා වලන් ත්‍රස්තවාදියා කට්ටි පැන්න කල, හොඳින් හෝ නරකින් වැඩේ ඉවරයක් කර දමන්නට හිතාගෙන නෙලාගෙන නෙලාගෙන ගියාය.ඔය යුධ අපරාධ ගැන ගිරිය කඩාගෙන කෑ ගහන ඇමෙරිකාව නෙලන නෙලිලි දිහා බැලුවාම මේවා නොගිනිය හැකි තරම්ය. සිංහල , දෙමළ , මුස්ලිම් බේදයකින් තොරව යුද්ධයෙන් බැට කෑවෝය. ඒ සමයේ බඩුමිල , විදුලිබිල, තෙල් මිල මොනාවයින් මොනවා උනත් රටවැසියා ඉවසා වදාළේ මේ මගුල මොකක් හෝ කර ඉවරයක් කර දමන්නට හැමෝටම උවමනා වූ නිසාය.
යුද්ධය ඉවර උනාය. සිරි ලංකා වාසින් පස්වනක් ප්‍රීතියෙන් ඉපිලුනහ. තුවාලේ තරම දන්නේ වටේ ඉන්නා එවුන් නොව තුවාලේ ඇති ඒකාය. එනිසා තුවාලේ සුවවීමේ සතුට තුවාලය තිබුණු එකාටය.
නමුත්මෙතැනදී හැමෝටම අමතක වූ එක දෙයක් තිබුණාය. එනම් තුවාලය වසාගෙන හුන් ඉහඳ පනුවන් ඔක්කෝම නොමැරුණු බවය. එයින් එකෙක් හීන් සීරුවේ ඔබතුමාගේ ඔලුව ඇතුලටද බැහැගන්නට සමත් වී උන්නාය. එදා සිට හැමදාම ඌ වලිකෑවේ තමුන් මුලින් සිටි තුවාලයේ රසය නැවත නැවත මතක් කරමින් ඒ සමග රමණය කරන්නටය.
ඒ අස්සේ පාරවල් හදා, නගර සංවර්ධනය කර ලොකු සංවර්ධන වැඩ පිළිවෙලක්ද තිබුණු බව සැබෑය.සිරි ලංකාවට බොහොම දුර හීනෙක තිබූ අධිවේග හෙම හදා පෙන්නුවේ ඔබතුමාය.නමුත් මා නම් අසා ඇත්තේ රටක් ලබා ගන්නා ණය ආයෝජන වල යොදවා එයින් ගලා එන මුදලෙන් සංවර්ධන වැඩ සිද්ද කල යුතු බවය. නැත්නම් ජනතාව අධිවේග වල පිනුම් ගගහා ගොස් අන්තිමේ නවතින්නේ ග්‍රීසිය නැවතුනු තැනය.
කිඹුලා කනවා ඉවසුවාට කොහිල කටු ඇනිම ඉවසන්න බැරි ලෙසම ඔබ තුමාගේ වටේ උන් හෙන්චයියන් දැමූ ඩාන්ස් රටේ ජනතාවට තිත්ත වී තිබුනේය. එහෙව් සමයක තුරුම්පු එකක් වත් නැති කාඩ් අතක් දරාගෙන ඔබතුමා නියමිත කාලයෙන් අවුරුදු දෙකකට පෙර ක්‍රීඩා පිටියට එන්ටර් උනේ සුමනයාගෙන් ලද ගුලියක්ය නිසා කියන කතාව නිකම්ම නිකං සුරංගනා කතාවක් විතරය. ඔබතුමා වැනි දේශපාලන ඥානයෙන් අගතැන්පත් අයෙකු මේ දෙකයි පනහේ බයියන්ගේ ඔපිනියන් නිසා ඔවැනි විජ්ජුම්බරයක් කර ගන්නේ නැත්තේය
මගේ හිත මුල්වතාවට කිරි ගැහුනේ එන්න එදාය...

ඔබතුමා ගේ රශ්මියෙන් බැබලෙමින්, සියලු යස ඉසුරෙන් ආරුඪව වැජඹුණු බලුගැත්තන් "ඔබට මිස බටුවලට සේවය නොකරමි " න්‍යායෙන් යුතුව ඔබ ඉදිරියේ මවා තිබුනේ සක්විති රජ පොස්ට් එකක්ය. එහි අඥාදායකයාද, පාලකයාද, දේශකයාද, තීරකයාද උනේ ඔබ තුමාමය. එයින් මත්ව කරන්නට යෙදුනු අයිෆා, නයිට් රේස් වැනි රටට දරන්නට බැරි බහුරූ කෝලම් දෙස බලාන ජනතාව චූන් වුනේ නැත්තේය. ඒ විගඩම් නිසා සංචාරක ව්‍යාපාරයට සිද්ද වුනු ඇටිකෙහෙලකුත් නැත්තේය.ඒ දින වල කොටස් වෙළඳ පොළ ගැන කතා නොකරමි. හැඟී හැඟී වෙස්මුනු බඳින අයට එළිපිට නටන්නට වෙන නැටුම් ගැන පමණක් මතක් කරමි
බලන්නට අප්පිරියා හිතෙන අන්දමේ චන්ද ව්‍යාපාරයක් සිද්ද කිරීමට තරම් ඔබ තුමා ජනතාවගේ අප්‍රසාදයට බදුන් වී උන්නේ නැත. මිටරයෙන් මීටරය ට කටවුට් ගසා ඔබ තුමා කව්දැයි අඳුන්වා දීමට තරම් ඔබව ජනතාවට අමතක වී තිබුනේද නැත. කෝලම් බට්ටෙකුට වෙස් ගැන්වුවාට නියම මයිත්රිපාල සිරිසේන මහතාව වෙන්කර අඳුනා ගැනීමට නොහැකි තරමට ජනතාව අන්ධව උන්නේද නැත. ඔබ තුමා කල කී දෙය අමතක කිරීමට තරම් ජනතාවට අමතක වන රෝගයක් තිබුනේද නැත. මාස අටක චු කොල්ලෙකුට "ජයවේවා" කියා කෑ ගහන්නට තරම් ආශ්චර්යක් තිබුනේද නැත
මගේ හිත දෙවෙනි වතාවට කිරි ගැහුනේ අන්න එදාය....

චන්දයකින් පරාද වූ පළමු ශ්‍රී ලංකාවේ පළමු ජනපති ලෙස ඔබ තුමා අරලියගහ මන්දිරයෙන් එලියට බහින විට මගේ හිත හෝස් ගා ගියාය. ඒත් ඊළඟ දවසේ සිට ඔබතුමා යලිත් කරලියට පැමිණි කල මේ මොන ඇන්නාවක්දැයි හිතුනේය. තමුන්ට ලැබුණු චන්ද වලට චරිත සහතික නිකුත් කරමින් ඒවා යේ පැටිකිරිය කියන්නට යෙදුනු කල ලංකාවේ ඉන්නේ "ශ්‍රී ලාංකිකයන්ය" යන්න පවසන්නට යෙදුනේ ඔබ තුමාම දැයි සිතුනේය.
මගේ හිත තෙවන වතාවට කිරි ගැහුනේ අන්න එදාය...

කොහෙමෙන් නමුත් ජාතිවාදී ලේබල් ගලවා නැවත ඔබ තුමා සබාවට එන විට තුරුම්පු යලිත් එක් රැස් වන සෙයක් පෙනුනේය. නමුත් ඊයේ ඔබ තුමා අර කාටදෝ ගහන්නට පනින වීඩියෝවක් දුටු තැන මගේ හිත යලිත් වතාවක් කිරි ගැසී ගියාය
මගේ හිත සිව්වන වරටත් කිරි ගැසුනේ ඊයේය...

මේ වෙලාවේ ආසියා ඔබේ අතේ නැත්තේය. වටේ පිටේ නියවා උන් දහයක් දොළහක් පයින් ගසා එලියට දැම්මා නම් ආසියා ඔබේ අතේ තව අවුරුදු හයක්වත් රැදී තිබෙන්නේය. "මොකෙක්වත් කියන දේ මම අහන්නේ නෑ" යන්න හනගැසී තිබූ ඔබතුමාගේ ඔලුව පොඩ්ඩක් වෙනස් කර ගත්තා නම්, ඔබ ඉන්නා තුරු ආසියා ඔබ අතේය.

කලාවට, ජන මාධ්‍යට දේශපාලනය ඕනෑම නැත්තේය. විපක්ෂය කියා දෙයක්ද තිබිය යුතුමය. විපක්ෂයේ පොඩ්ඩක් නැගී එන විට ඇමක් දා ආණ්ඩුවට බිලී බා ගැනීම අනුමත කල නොහැක්කේය. (එසේ ඇම කන ඈයන් ඊළඟ සැරේ ගෙදර තබා ගැනීම ජනතාව සතුය). වැරදි කරපු එවුන් ළඟ තබා ගැනීම හෝ කැලෑ නිතිය ක්‍රියාවේ යෙදවීම නොකළ මනාය

ඉගෙන ගත යුතු පාඩම් බොහෝය. ඒවා දැන ගැනුම කාට කාටත් අගනේය. ජනතාව මෝඩයන් නොවන්නේය

ගෑණු ළමයා වෙනුවෙන් ලියා පලකලේ
රොටියා


Thursday, July 16, 2015

ගෑණු ළමයින්ගේ ආතල් හා පිරිමි අපි

ගෑණු ළමයින්ගේ ආතල් නම් මාරය. ඒවා කොයි මොහොතේ පටන් ගෙන කොතනකින් ඉවර වේදැයි සක්කරයාටවත් කියන්න බැරිය.ඒවගේම ආතල් කුඩු වූ කලද මහ බයානකය.
උදාහරණයක් ලෙස ඔබට උණ ගැනී පාන් කියා ගන්නට බැරුව ඇඳේ දපා ඉන්නා විට ඔබේ ගෑණු ළමයා විසින් අනුනාසික ස්වරයෙන් සින්දුවක් ගායනා කරමින් ඔබේ ඇඟට පනින්න ඉඩ තිබේ.මෙම ගීතයන් නියමිත තාලයකට හෝ ස්වරයකට හෝ අනුව ගයන ඒවා යයි වැරදි වැටහීම් ඇති කර ගත යුතු නැත. බොහෝ විට ඒවා "ටිඩ්ල් ටිඩ්ල් ලා ලා පොම් පොම් මූඌ.... " වැනි බාසාවකින් ගායානා කෙරෙනවා ඇත්තේය.
අනෙක් අතට දෙවියන් විසින් රෝගයකදී පිරිමි අපට ලබා දී ඇති වේදනාවෙන් හතරෙන් එකක් වත් ගැහැණු උදවියට ලබා දී නැති නිසාදෝ ඔවුන් බොහෝ විට පවසන්නේ අප විසින් යටකී රෝගයන් දෙගුණ තෙගුණ කොට මවා පානා බවය. එබැවින් එවැනි අවස්ථාවල අප විසින් බලාපොරොත්තු වන දේට සහමුලින්ම ප්‍රතිවිරුද්ද දෙයක් අත් දැකීමේ සම්බාවිතාව ඉතා ඉහලය..

බලාපොරොත්තුව: අනේ පැටියෝ .. පව් ඔයාට හෙම්බිරිස්සාව නේද.. ඇඳෙන් නැගිටින්න අමාරුයි නේද.. ඔහොම ඉන්න...
ඇත්ත: හයියෝ.. ඔයාට නිකන් අලි හෙම්බිරිස්සාව හැදිලා වගේනේ..කෝලන් නැතුව නැගිටලා මෙන්න මේක බොන්න

බලාපොරොත්තුව: ඔයාට හැදිලා තියෙන්නේ අන්තිම අමාරු උණක් වගේ. දොස්තරට වැරදිලා.. නැත්තන් ඔච්චරම අමාරු වෙන්න විදියක් නෑනේ. අපි වෙන දොස්තර කෙනෙක් ලඟට යමු..
ඇත්ත: හැම තැනම තියෙන පොඩි වයිරස් උණක් හැදිලා ඔච්චර දගලන්නේ නැතුව නැගිටලා මෙන්න මේ බෙහෙත් ටික බොන්න.ඩොක්ටර් කිව්වනේ බෙහෙත් බිව්වම අඩුවෙයි කියල

එසේම හෙම්බිරිස්සාවක් උණක් ඇතුව හෝ නැතුව ගැහැණු ළමුන් යස අපුරුවට සිය වැඩපල කර ගනිති. නහයෙන් ගලන දිය සීරාවන් ඔවුන්ව ඇඳට යාමට තරම් හේතුවක් නොවේය. ඒක නම් මාරය. එයින් බැට කන්නේ අහිංසක පිරිමි අපය.

ඊළඟට රුපවාහියේ අනුස්කා සර්මා හෝ ප්‍රියංකා චොප්රා හෝ වෙන එකියක විසින් හෝ ඉඟ සුඟ නලවමින් වේග රිද්මයට නර්තනයේ යෙදෙන කල, යස අපුරුවට ඔබ ළඟ උන් ගැහැණු ළමයාද පුටුවෙන් පැන පිස්සු වැටුනාක් මෙන් දගලන්නට හොඳටම ඉඩ කඩ ඇත. එසේ දගලන ගමන් තමා මේ 'නටනවාය' කියාද කියති. රොටියාගේ ගෑණු ළමයා නම් ඉන්ද නොනැවතී "රොටියා.. මං ____ වගේම නටනවා නේද" යයි අසන්නේද ඇත්තටමය. මිනිස් සංහතියේ පැවැත්මට 'බොරුවද' අත්‍යවශ්‍ය දෙයක්ය යන්න රොටියාට තේරුම් යන්නේ ඒන් එවැනි වෙලාවලය.

බොරු කාරයන්ට, චිත්ත කාරයින්ට, වංචා කාරයින්ට අහුවීම සම්බන්ධයෙන් නම් රොටියාගේ ගෑණු ළමයා කප් ගසා ඇත්තේය. එවැනි සම්බන්දකම් වලදී මුලින්ම රොටියා පරිස්සම් වෙන ලෙස අවවාද කලත් ඒවා නෑසු කන්ව දවල් වැටුණු වාලේ ආයෙමත් වැටෙනවාය.ඒවා ගෑණු ළමයින්ගේ උපන් ගෙයි ගති වන්නට ඕනෑය.

වාහනයේ යන විට පාර අයිනේ වැනි වැනී ඉන්නා අච්චාරු කුක්කෙක් දුටුවෝතින් රොටියාගේ ගෑණු ළමයා බෙරිහන් දෙනවාය. කුක්කා පාර මැද උගේ වැඩ රාජකාරි සියල්ල නිමා කරන තුරු හෝන් ශබ්දයක් නැගීමට හෝ ඉඩ දෙන්නේ මේ ගෑණු ළමයා හෙම නෙවේය
අනෙක් අතට කහ ඉරේ පාර මාරු වෙන්නට බලා හිදින නංගිලාට රොටියා අත හිත දීමට යන බවක් පෙනුනොත් හෙම ගෑණු ළමයා ඉක්මනට යමුය කියමින් හදිස්සි කරනවාය. ඒවා ගැහැණු ළමුන්ගේ අනිච්චානුග ක්‍රියාය. ඒ ගැන කරන්නට කිසිම දෙයක් නැත. ඒක හරියට කහ ඉර ළඟ ලෙලදෙන නංගිලා දුටුවිට හැටට හැටේ යන රොටියාට බ්රේක් පෑගෙනවා වගේමය..


Monday, July 6, 2015

යටගිය දවස නුවරක කතාවක්!

අම්මා හුස්මක් උඩට ඇද නැවතත් ජනෙල් කූර තද කොට අල්ලා ගත්තාය. ගෙතුළ අඳුරු නිසා පිටතින් පෙනෙන අඳුරු චායාවන් වැනි වූ මිනිසුන්ට තමාව නොපෙනන බව අම්මා දන්නීය
උඩට ඇදගත් දෙවන හුස්මත් සමගම කුස තුල රිදුමක් ඈට දැනුනි. තමාගේ හදවත ගැසෙන ස්වරය වැඩියයි පවසන්නට මෙන් කුස තුල ඔත් දරුවා කුසයට පහර දෙයි. තමුන් තුල හටගන්නා බිය හා ගැස්ම නුපන් දරුවාට අහිතකරව බලපෑ හැකි බව දන්නා නිසාම ඉදිමුණු දෙපය අමාරුවෙන් උහුලාගෙනඇය ඇඳ වෙත පියමැන්නාය. හය හතර නොදන්නා වැඩිමල් දරුවා සුව නින්දකය.පෙර ඈතින් ඇසුණු අඩි ශබ්දයන් දැන් දැන් ගේ අසලින්ම ඇසේ. තවම නිවසට පැමිණ නැති තාත්තා , නාදුනන කළු බළලුන් රැල වෙන ඉසව්වක් කරා යන තෙක් ප්‍රමාද කරන්නැයි ඈ දෙවියන් යදින්නිය.
අඩි ශබ්ද මැකී යත්ම ඈ මුවින් දිගු සුසුමක් පිටවිණි. මෙකල රාත්‍රී කාලයේ නිවසින් පිට සිටීම කෙතරම් අනතුරු දායකදැයි සිහි කරමින් ඈ තාත්තා පැමිණෙන තෙක් දෑස් රිදෙන තුරු මග බලා උන්නාය. මද වෙලාවකින් නිවසට පැමිණෙන තාත්තා දුටු විට ඇගේ බිය සැක දුරුවී සුපුරුදු සිනාවම මුවට නැගෙනු ඇත
ටයර් සෑයවල්, හිස සුන් මල සිරුරු පැහැර ගැනීම් හා පහර දීම් පිළිබඳව වූ ආරංචි වලින් දිනපතා අම්මාගේ දෙසවන පිරී තිබුණි. මේ සමය අම්මාගේ ජිවිතයේ දෙවන දුෂ්කරම අවධියයි. පාසල් සමයේ සිරිමාවෝ ආණ්ඩුව මගින් සිදු කරන ලද ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කප්පාදුවෙන්ද වැඩිපුරම බැටකෑවේ පවුලේ වැඩිමලා වූ අම්මාය. සීනි වෙනුවට කළු වූ සක්කරා, පරිප්පු වෙනුවට කොළ රසැති අප්‍රසන්න ආහාරයක්, තේ වෙනුවට තොත්තමල්ලි දරා ගන්නට හැකි උනාට දවසකින් අඩක් පමණ පෝලිම් වල රස්තියාදු වන්නට සිදුවීම නම් තරුණ ගැහැණු ළමයෙකුට ඔරොත්තු නොදෙන මනාය.එසමය අවසානයේ සිදුවුයේ අම්මා "කැපුවත් කොළ" තත්වයට පත්වී ජේ. ආර් ජානාධිපතිවරයාව වන්දනාමාන කරන්නට පටන් ගැනීමයි
තුන්ඩු කෑල්ලක් මගින් පමණක් මුළු රටේම වැඩකටයුතු ඇනහිටින එකල, හිටි අඩියේම හමුදාව විසින් නිවසේ වාහනය රැගෙන ගොස් දවස් දෙක තුනකින් ආපසු ගෙනැවිත් දීමද සාමාන්‍ය සිරිතක්ව පැවතුනේය. දිවා රෑ වෙහෙසී වැඩ වැඩකල තාත්තාද , එක් දරුවෙකු වඩාගෙන තවත් දරුවෙකු කුසයේ දරාගෙන හරි හරියට තාත්තාගේ වැඩවලට සහය වූ අම්මාද එක්වී අමාරුවෙන් මිලට ගත් වාහනය තවම අලුත් හෙයින් එය බොහෝ විට නොපෙනෙන තැනක ගාල් කර තිබුණි. දරුවා ලැබීමට පෙර අම්මාගේ මහගෙදර ගොස් පැමිණීමට කතිකා කර ගත් අම්මා හා තාත්තා ඒ සඳහා රියක් කුලියට ගත්තේ වැඩි පරිස්සමටය. තමුන්ගේ වාහනය සුරැකි යයි සතුටු සිතින් ආපසු පැමිණි ඔවුන් දෙදෙනාට දැනගැනීමට ලැබුනේ වාහනය හමුදාව විසින් රැගෙන ගිය බවයි. ඇත්තටම සිදුව තිබුනේ එතරම් පරිස්සමට දමා ගොස් තිබූ වාහනය තාත්තාගේ ඤාති සොහොයුරෙකු විසින් පදවන්නට යාමේදී හමුදාව විසින් නවත්වා සිය උවමනාවකට ලබා ගැනීමයි.
පළමු දරුවා ලැබුණු පෞද්ගලික රෝහලම දෙවන දරුවා ද ලැබීමට සුදුසු යැයි අම්මා තීරණය කරන්නට යෙදුනේ දරුවා ලැබෙන්නට පැමිණි මුල් අවදියේමය. රටම දෙදුරුම් කෑ ත්‍රිමා විතාරණ ඝාතනයෙන් සය දිනක් ගෙවුණු තැන අම්මාට විලිරුදා හට ගත්තීය. සියල්ලම නුලටම හරියාවියයි විශ්වාසයෙන් අම්මා සමග මගට බට තාත්තාට දැන ගැනීමට ලැබුනේ ඇඳිරි නිතිය ක්‍රියාවේ යෙදී ඇති බවයි. වන්නක් වේවායි පතාගෙන ලෑල්ලට පාගා අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ විට එය වසා දමලාය!
කුමකින් කුමක් කරන්නද. අඳුරත් වැටීගෙන එනවාය.. නැවත රිය හැරවුණේ ලඟම තිබූ රජයේ රෝහලක් වෙතටය. එයටත් ඊනියා දේශ ප්‍රේමින් විසින් වසා දමන ලෙස නියෝග කරමින් තුන්ඩු නිකුත් කරලාය. අම්මාගේ තත්වය දුටු රෝහල් නිලදාරීන් අම්මාව රෝහලට ඇතුල් කර ගැනීමට තරම් කාරුණික විය. ඊළඟට ඇත්තේ වෙද්‍යවරයෙකු සොයා ගැනීමේ බාරදුර කටයුත්තයි.රෝහල පිටුපස වූ වෙද්‍ය නිල නිවසටම ගොස් තාත්තා කල ඉල්ලීමට අදාළ වෙද තුමා කන් දුන්නේ සිය ජිවිත අවධානමද නොසලකමිනි.ඔහු නිවසේ හිදී ඇඳුමෙන්, කලුවරේම රෝහලට එනවිට විදුලියත් නැත
ඉටි පහන් එළියෙන් මෙලොව එලිය දුටු දරුවාගේ උපන් රාත්‍රිය අංගුලිමාලයන්ගේ උපන් රාත්‍රියට (අංගුලිමාල උපන් දින රැයේ කඩු දිලිසුනේලු!) යම් පමණකට සමාන නිසා දරුවාට අංගුලිමාල ගති පිහිටියේ යයි පසු කලක ප්‍රසිද්ද වුයේ කට කහනවාටම නෙවේය. මව් කුසයේදීම මුහුණ දීමට සිදුවූ අත්දැකීම් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මේ දරුවාට බලපෑම් දෙකක් සිද්ද වුනේය. එකක් අධික කෝපයයි. දෙවැන්න ඇදුම රෝගයයි.
එදා ඉටු දෙවියෙකු මෙන් පැමිණි වෙදැදුරු තුමා අද කොහේදැයි දන්නේ නැත. අදටත් එතුමා කොතැනක හෝ හිඳ ලෙඩුන් දහස් ගණනින් සුවපත් කරනවා වන්නට ඇත.
අම්මාට හා දරුවාට එදා මවක මෙන් සහය වූ වින්නඹු මාතාවට අද එතරම් සිහි කල්පනාවක් නැත. අම්මා තමුන්ගේ මවකට මෙන් ඈ ගැන සොයා බලන්නීය

මේ එක් කතාවක් පමණකි.සාමාන්යෙන්ම 88/89 අවුරුදු වල උපන් ශිෂ්‍යයන් කලහකාරී වැඩියයි දිනක් එක්තරා මහාචාර්ය වරයෙකු විසින් පවසන්නට යෙදුනි. ඒ ඔහුගේ දේශනයක් අතරතුර ශිෂ්‍යයන් අතර පැන නැගුනු නොසන්සුන් කාරී තත්වය නිසාය. ඇත්ත නැත්ත නොදනිමි

යටකී දරුවා අදටත් අධික කෝපය හා ඇඳුම රෝගය නිසා පිඩා විඳින අතර අම්මා තවමත් 'කොළය'. දරුවා 'මල්ටි කලර්ය'


Wednesday, June 17, 2015

විත්‍යාගේ සොයුරා උසාවියේදී කී කවිය...

මතකයි මට දිගු කලකටපෙරාතුව
ආ හැටි අම්මා කිරිකැටියෙකුවඩාගෙන
හිඳි මුත් එතෙක් සුරතල් වීඑකම
මහිතේ අහිතක් තිබුනේ නෑකිසිම

නංගා අඬන විට ගොස් මම නලවනවා
වෙනකෙක් මුකුත් කිව්වොත් හෙම ඔරවනවා
අප්පට හොරෙන් ඔන්චිල්ලා පද්දන්නවා
හීනෙන් මාව දැක නංගා හිනැහෙනවා

කාටද ඕනේ මේ ඇඹිටිල්ලන් කෙල්ල
සුනිමල් අසා මං තැලුවා උගේ හොම්බ
නංගිට ලියුම් දුන් යෝගා හොයාගෙන
දුන්නා ඌට බිව් මව්කිරි සිහිවෙන්න

දින දින අගේ වැඩිවන රූපය ඈගේ
මට රසදුනකි ඈ නංගා මාගේ
වටපිට එවුන් ඇදෙනා බඹරුන් වාගේ
ඈ මගේ පණයි ඈ රැකගන්නට ඕනේ

මගේ වැඩ කරලා තියපිය යයි කියා නැත
තේකක් හදා දීපිය යයි කියා නැත
ඒ කිසි දෙයක් ඈ මිස මා කලෙත් නැත
ඒගැන කිසිත් මැසිවිල්ලක් කියුවේ නැත

නංගා පරක්කුය වෙනදට වඩා අද
බැලුවොත් හොඳයි ගොස් පොඩ්ඩක් හන්දියට
අප්පත් නැත පේනා මානයක
අම්මා කියද්දීත් බයිසිකලෙයි මම

නංගා හොයා මම සයිකලේ පාගනවා
යෝගා ගැන වස විස සිතුවිලි එනවා
සැක හිත මගේ එක මුල්ලක පැසවෙනවා
නංගා මගේ ඈ සැක බිය දුරුවෙනවා

නොදුටුව නිසා මම නංගව කිසිතැනක
ගිනිගත් හිසෙන් දිව්වා පිස්සෙක් විලස
පාසල ඇරී ඈ ආ හැටි දුටු පිරිස
ඊට පසුව වුනු දෙයකුත් දන්නේ නැත

සොයලා සොයලා සොයලා බැරිම තැන
බලමුද කැලෑවේ වත් පාර ළඟ
මානා ඉලුක් පොඩිවී ඇත එක තැනක
කවුදෝ හිඳී වැටිලා එහි සිහි නැතිව

ගම එකතැනක නංගා ඇත ඔවුන් මැද
ඇඟලු ඇදුම් කිසිවක් ඇගේ ඇඟේ නැත
සියුමැලි ඇඟේ පහරවලුත් තැනින් තැන
මේ දේ කරපු උන් ටික මරනවා අද

හැමටම කලින් නංගා වෙත පැනලා
මා ඈ හෙලෙව්වේ පළමුව විලි වහලා
පියවුණු දෑස හැර ආයෙත් බලලා
කියපන් නංගියේ මා උඹගේ අයියා

පණ ටික යවන්නට පෙර දහ වද දීලා
තිරිසන් මලයක්කු ඈ හපයක් කරලා
අම්මගේ පලිය පිට උන් ටික හිරි ඇරලා
මරා තිබුනේ ගෙල පටියෙන් හිර කරලා

මුන් ටික පෙනෙනකොට අද මට උසාවියේ
ගිනිගෙන දැවෙනවා ලෙස මා ඇති නිරයේ
විත්තිය අසනවා හිටි හැටි නගා මගේ
මොනවා කියන්නද ඒ ගැන තවත් මෙහේ

නංගා ඉන්නවා පිටුපස අසුන අරා
බැහැ මට කියන්නට මොකවත් ඇ දෙස බලා
මියගිය ඇගේ රුව සිව් දෙස ටැග් කරලා
ආයෙම වතාවක් ඈ කෙලෙසනවද ඔහෙලා

හිනැහී කට කොනින් මුන් ටික අද මෙන්න මෙහේ
නංගා මගේ තනියෙන් ඇත වල අස්සේ
වෙන මෙනවාද මෙහි සොය සොය ඉන්නේ
මොන කෙන්ගෙඩියකටද නඩු අහන්නේ

එලියට දමා මුන් ටික නිරුවත් කරලා
දකුණට ගෙනියන්න දෙපයින් කසෙන් තලා
හැමටම පෙනෙන්නට බෙල්ලට තොණ්ඩුව දාල
එල්ලා දමනු එමි අලුගෝසුවා වෙලා

Tuesday, June 16, 2015

රොටියාගේ කසාදයට පස්සෙන් පසුව....

මේ කියවන ඔබ ඉස් ඉස්සර වෙලාම ගෑණු ළමයෙකු මුණගැසෙන්නට යනවා නම් කියන දේවල් ගැන බොහොම පරිස්සම් විය යුත්තේය. පිරිමි අප මහා ලොකුවට නොසලකන , ඇතැම් විට නොසලකාම හරින ඇතැම් කියුම් අල්ලාගෙන ගෑණු ළමුන් නටන නැටුම් ගැන අවබෝධයක් ගැනීමට නම් ගෑණු ළමයෙක් ආශ්‍රය ම කර දැන ගත යුත්තේය

වැඩි දුරක නැත. අද පාන්දර ඇදුම් අල්මාරිය ඇර බැලූ කල , රොටියාගේ ටි ෂර්ටයක් තලු මරමින් සිටි කුඹි සේනාව දුටු කල , මේ ටි ෂර්ට් එක හරියට හේදිලා නැතුවා වගේ යයි කියූ කියුම අල්ලාගෙන දැන් ඈ රොටියා සමග මරු කේන්තියෙන් සිටින්නීය. රොටියා ඒ ප්‍රකාශය කළේ ඇයගේ රෙදි සේදුමේ වරදක් ලෙස නෙවේ යයි රොටියා පොලවේ පස් කමින් දිවුරා කියා සිටියත් දැන් ඈ යකා වගේය. ඒ වෙලාවට අන්තිමේ ඕනෑ කෙහෙල්මලක් හිතා ගන්නට ඉඩ හැර කට පියාගෙන පැත්තකට වීම ගුණදායකය. රොටියා මුල් කාලයේදී නම් ඒ වෙලාවට මෙසේ කියයි

"මම ඒක එච්චර හිතල නෙවෙයි කිව්වේ. "

කවදාවත් ඔන්න ඔයාකාරව නම් කියන්න එපාය. එවිට ඈ වැඩිවූ කෝපයෙන් මෙසේ කියනු ලබන්නිය

"හුහ්.. ඔයා මොනාද හිතල කියන්නේ. අන්තිමට කියයි මගෙන් යාලු වෙන්න ඇහුවෙත් එච්චර හිතල නෙවෙයි කියල. මිනිස්සු ඔලුවක් ඇතුව උපදින්නේ හිතල කතා කරන්න...(සහ තවත් දේ)

ඊළඟට එවැනි අවස්ථාවල රොටියා මෙසේ කියන්නට යෙදුනාය.

"කියන වචන ගැන ඔච්චර දිගට හිතන්න එපා අනේ. මම දෙයක් කියපුවාම එකේ නරකම පැත්තනේ අනේ ඔයා හිතන්නේ.."

ඔබට මද කිපුණු අලියෙක් ඉදිරිපිට ඇතිවන හැඟීම දැනෙන තැනට වැඩ සිද්ද කර ගැනීමට අවශ්‍ය නම් ඒ ලෙස කිව්වාට කමක් නැත්තේය. එවිට ඈ රතු වූ දෙනෙතින් (සමහර විට දත් කූරු සපමින්) මෙසේ කියනු ඇත

"මනුස්සයෙක්ගේ හිත රිදෙන්න ඕනේ දෙයක් කියල ඊ ලඟට අනේ එක ඔයාට තේරුණු හැටි වැරදියි කියන්න ඕනේ කෙනෙකුට කියන්න පුළුවන්. (ස්වරය වැඩි කරමින්) ඕනේ බුරුවෙකුට එහෙම කියන්න පුළුවන්. හැම දේම අතට පයට කරලා දීල අන්තිම හිත රිදෙන කතා අහගන්න තමා මට තියෙන්නේ.

මෙන්න මේ වෙලාව අන්තිම බයානක වෙලාවය. මක්නිසාදයත් ඇගේ හැසිරීමට ඔබට හිනා යන්නට එන නිසාය. බැරි වෙලාවකින් හෝ ඔබට හිනා ගියහොත් ඈ නාට්‍යාකාරව මෙසේ බෙරිහන්දෙනු ලබන්නිය

"හයියෝඕ.. මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉද්දි මං කරගත්තනෙ කසාදයක්... මට එපා වෙලා තියෙන්නේ"

එනිසා හොඳම දේ මෙසේ කීමය

"මම එහෙම කියපු එක වැරදියි. සොරි කියපු එකට. ඔයා මට කොච්චර දේවල් කරලා දෙනවද.. මම ආයේ එහෙම කියන්නේ නෑ. ප්‍රොමිස්.."

ඒක හරියට අර අඬන පොඩි එකෙකුට ලොලියක් දෙනවාක් වගේය. ඕවා ඔන්න ඔහොමය..

අනෙක් අතට ඔබ කියූ දෙයක් ඈට අමතක යයි හිතාගෙන ඉන්න එහෙම එපාය. ගෑණු ළමයි එහෙම ලේසියෙන් දෙයක් අමතක කරන්නේ නැත්තේය. ඔබට මතක නැති , ඔබ කියූ බොහෝමයක් දෑ ගලේ කෙටුවා සේ ඔවුන්ට මතකය. උදාහරණයක් පහතය

රොටියා මදක් නිලට බර යයි මිට පෙරත් කීප වතාවක්ම සඳහන් කොට ඇත්තේය. රොටියාගේ පවුලේ ඇත්තෝද නිලට බර උදවියය. ඒ නිසා රොටියාගේද හිත යන පාට නිල් ය. නමුත් ගෑණු ළමයාගේ පරමාදර්ශී චරිතය රනිල්ය.

මේ අකුරේ වෙනස නිසා රොටියා දැනටමත් ජිවිත කාලයකට හරියන්න ඇගෙන් දේශපාලනය ඉගෙන ගෙන ඇත්තේය. එය සිද්ද වන්නට වැඩකටයුතු යෙදුනේ මෙන්න මෙහෙමය

රොටියා හා ගෑණු ළමයා අතර නිල වශයෙන් වශයෙන් සම්බන්දය ආරම්බ වන්නට පෙර දෙදෙනාම එකිනෙකා හා කතා බහ කළේ වචන තෝරා බේරා ගෙන බොහොම පරිස්සමටය. යුද්ධය නැවත්වීම ගැන ලොකුවට වර්ණනා කල නිසා රොටියා හිතාගෙන උන්නේ ගෑණු ළමයාද නිලට බර බවය.

ඒ තීරනාත්මක හමුවීම සිද්ද උනේ ඔන්න ඔය අල්ලේ පනල්ලේය. එදා සිද්ද වුනු කතා බහ පහත ලෙසය

රොටියා: ඔයා මාව බදින්න කැමතිද?

ගෑණු ළමයා: ඔයා UNP නේද?

මෙය ඇසු ස්වරය නිසා රොටියාගේ ඔලුවේ සීනුවක් නාද වන්නට යෙදුනේය.

රොටියා: (එදා උදෙත් මහින්ද වෙනුවෙන් සිය මිතුරන් හා වාද කළේ මෙන්න මේ කියන රොටියාමය) මට එහෙම පැත්තක් නැහැ. හරි පැත්තට චන්දෙ දෙනවා

ගෑණු ළමයා: හම්මේ එහෙනං කමක් නෑ. මං නං කීයටවත් SFP එකේ කෙනෙක් එක්ක නං යාලු වෙන්නේ නෑ. ඒ කට්ටියත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලා විසඳ ගන්න බෑ. මාත් ඔයාට කැමතියි..

ඉතින් මොනවා කියා කරන්නද .. ගෑණු ළමයාට රොටියාගේ ඇත්ත තත්වය තේරුම් ගියේ ජෙනරාල් ජනාදිපතිවරනයට ඉදිරිපත් වූ විටය. එදා සිට ඈ රණ්ඩුවක දී අවසාන වශයෙන් මෙසේ කියනු ලබන්නිය

"ඕක තමයි මම UNP එකෙක් ව බදින්න හෙව්වේ. කොහෙද මාව රවට්ටලා....."



Tuesday, June 2, 2015

අමතක මතකය..

අමතක කරලා දාල තියෙන, නැත්තන් අමතක වෙලා තියෙන , එහෙමත් නැත්තන් මතක් කරන්නට කැමති නැති, මතකයන් මේ ජීවිතය පුරාවටම තියෙනවා. ඇත්තටම ' මේ මොහොත' කියා දෙයක් නෑ. ඇත්තේ බලාපොරොත්තු හා මතකයන් පමණයි.

දෙදෙහස් අටේ ජුනි මාසයේ දවසක රොටියා පුරුදු පරිදි 255 බස් රියකට නැග්ගේ විශ්ව විද්‍යාලයේ දේශනයකට සහබාගි වෙන්නයි. රොටියා ගිය බසයට ඉදිරියෙන් ගිය 255 බසය විශ්ව විද්‍යාලය පසුවෙනාවත් සමගම පුපුරා ගොස් තිබුනා. මෙහිදී රොටියා බස් බෝම්බයකින් අනූ නවයෙන් බේරුනා යයි පම්පෝරි ගසන්නේ නැහැ, මොකද ඒ බස් රථයේ රොටියා උන්නත් බෝම්බය පුපුරන විට රොටියා බොහෝ විට බසයෙන් බැස තිබේවි..

නමුත් ජිවිතයේ දී අම්මා කෙනෙකුගේ මුවින් අසන්න නොලැබෙන තරමේ දුක්ඛිත විලාපයක් අමතක කරන්න රොටියාට නොහැකිවාක් මෙන්ම තමුන් බත් පාර්සලය බැඳ දී බස් රථයට ගොඩ කල තමන්ගේ දරුවා ඔලුවේ පැත්තක් නැතිව මහා මග වැටි උන් හැටි අමතක කරන්න ඒ අම්මාටත් බැරුව ඇති.. බස් රියේ දොර අසල අසුනේ වාඩි වී හුන් කාන්තාව හාස්කමකින් බේරී තිබුනත් ඈට තම යාබද අසුන් වල හිඳි මගීන් මැරී වැටි උන් හැටි තාමත් මතක ඇති..

එදා සිදුවූ සියල්ල මෙතන ලියන්න රොටියා කැමති නැහැ. නමුත් ඒ අවස්ථාවේ හමුදා නිලධාරින් ක්‍රියා කල ආකාරය නම් ප්‍රශංසනීයයි. එයත් කිසිදාක අමතක කරන්න බැහැ

**** **** ****

රොටියාට යන්තම් මතක ඇති කාලයේ , රොටියාගේ ගමේ එකම නම ඇති මිතුරන් දෙදෙනෙකු සිටියා. රොටියා ඔවුන්ව පහසුව තකා සුරංග කියා හඳුන්වන්නම්. ගමේ අය ඔවුන්ව හැඳින්වූවේ ලොකු සුරංග හා පොඩි සුරංග ලෙසයි. දෙදෙනාම හමුදාවට බැඳුනා. රොටියා හිතන විදියට නම් ඔවුන් හමුදාවට බැඳුනේ ජීවිකාව සරි කර ගන්නයි. දෙදෙනාම දුප්පත් පවුල් වල පිරිමි ළමයි..

අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු සුරංගව වළලන්න මොහොතකට කලින් හමුදාවෙන් වෙඩි මුර ආචාරයක් පැවැත්වුනා. හොඳටම බය වුනු රොටියා දෙසවන් වසා ගෙන හඬා වැටුනා. එවකට රොටියාගේ වයසේ , ඊට ඉහල පහල වයස්වල සිංහල , දෙමල , මුස්ලිම් කුඩා ළමුන් කී දාහකට එම හඬ දිනපතා ඇහෙන සාමාන්‍ය හඬක් වෙලා තියෙන්න ඇතිද..

ලොකු සුරංග දිවි පුදා තිබුනේ වැදගත් ලියකියවිලි වගයක් රැක ගැනීමට උත්සහ කරන අතර තුරේදියි. මියගිය ඔහුගේ අත තිබු ලියකියවිලි ටික මුදා ගන්න සෑහෙන වෙහෙසක් දරන්නට සිද්ද උනාලු..

පොඩි සුරංග නැවතත් ගියා. මානුෂිය මෙහෙයුමටත් සහබාගි වී නිරුප්‍රදිතව ආපසු පැමිණි ඔහු අද හමුදාවේ උසස් නිලයක් දරනවා..

**** **** ****

රොටියාට විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යාම පිණිස පිටකොටුව බස් නැවතුමට එන්නට තිබු දවසක මිතුරෙකුගේ වැඩක් හේතුවෙන් මදක් ප්‍රමාද උනා. බෝ ගහ යට බෝම්බයක් පුපුරා ඇති බව මගදී ආරංචි උනා. එය විසාල විනාසයක් කර තිබුනේ නැහැ මතක විදියට. නමුත් හැමදාම රොටියා බසයෙන් බහින්නට පුරුදුව සිටියේ බෝ ගහ ළඟිනුයි..

**** **** ****

රොටියාගේ ගෑනු ළමයා කලක් කොළඹ ආශ්‍රිත තැනක නැවතී උන්නා. දිනක් රාත්‍රී එකොළහට පමණ දුරකථන ඇමතුමක් දුන් ඈ, ඔවුන් නැවතී ඉන්නා තැන විදුලිය නැති බවත් , වෙඩි හඩක් ඇසෙන බවත් , ගුවන් යානාවලින් පැමිණි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන බවත් කොතනින් නවතිදැයි කියා සිතා ගත නොහැකි බවත් දැනුම් දුන්නා. රොටියාට මෙන්ම ගෑනු ළමයාගේ පවුලේ උදවියටද එය නිදි නැති රැයක් උනා.. ලංකාවේ හමුදා නිලධාරීන්ට ස්තුති වන්නට ඈ රොටියාගේ මනාලිය උනා

**** **** ****

හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් වැදගත්. රොටියාට තවකෙක් කියූ පරිදි බුද්ධි අංශයේ මුස්ලිම් ජාතිකයින් විශාල ප්‍රමාණයක් සේවය කර තිබෙනවා. මේජර් මුතාලිෆ් යනු මේ මාවතේ දිවි පිදු අමතක කරන්න බැරි චරිතයක්. යුද්ධය ඉවරයි. බිම් මට්ටමේ ජනතාව අතර ජාතිවාදයක දුමාරයක් පැතිරෙනවා. සමහරු එයට පිදුරු දමන්නට වලි කනවා. ප්‍රශ්නයක් ඇත්නම් එය විසදන්න ඕනෑ රාජ්‍ය පරිපාලන මට්ටමෙනුයි. ජනතාව ප්‍රකෝපව නීති හදන්නට හෝ අතට ගන්නට ගියොත් ලොකු අවුලක් වෙනවා. කළු ජූලියක් ආයෙත් උවමනා නැහැ

**** **** ****

යුද්දය ඇති දිනවල කොළඹ රැකියාව කල ගැහැණු උදවිය පිට ඇඳුමට වඩා සීරුවට යට සායවල් තේරුවාලු. හදිසියෙවත් බෝම්බයකට හසු වුනොත් උඩ ඇඳුම නැති උනත් පාරට පනින්න පුළුවන් තරමේ යට ඇඳුමක්වත් තියෙන්න... සමහරුන්ට මතක නැති යුද්ධයේ අමිහිරිම කාලය එයයි

**** **** ****

යුද්ධය නැවතුනා. රොටියාගේ අම්මා නැවතත් සැනසිල්ලේ හුස්ම ගත්තා. තමුන්ගේ ළමයි දෙදෙනෙක් උදේ හවස කොළඹ කරක් ගසන විට රොටියා ගේ දෙමාපියන් ඒ සා ගින්දරකින් උන්නා නම් හමුදාවේ සේවය කරන දූ පුතුන් ඇති මා පියන් කොහොම ගින්දරකින් ඉන්න ඇතිද

**** **** ****

යුද්දය විකිණුනා. අතපය, දෑස් අහිමි සෙබළුන් ගිනි ගහන අව්වේ පෙළපාලි ගියා..අප ඔවුන් දෙස රූපවාහිනියෙන් බලාගෙන දුක් වුනා

**** **** ****

මේ කුණු ඇවිස්සීමක් වත් , පිට කැසීමක් වත් , සුදු හුණු ගෑමක් වත් නෙමෙයි. අනෙක් අතට යුද්දයේ දේශපාලනික පසුබිම ගැන කරන විග්‍රහයකුත් නෙමෙයි. රොටියාට මෙය ලියන්නට සිත් වුයේ පසුගිය දිනවල ඇසු දුටු සිදුවීම් හා ලිපි නිසයි

විත්‍යා මරා දැමුනා. ඒ නරුමයින්ව උල හිඳුවිය යුතුයි. ඒ අස්සේ සමහරු විත්‍යාව ඉදිරියට දමාගෙන ඉසිප්‍රියාගේ මළසිරුර ගොඩ ගන්නට වෑයම් කළා. මිට කලකට පෙර නිදි ඇඳේදී සිය බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කල සැමියා ඉදිරියට ඔවුන් ඉසිප්‍රියා ව ගෙනගියේ නෑ. කහවත්තේ ඝාතන ඉදිරියට ඉසිප්‍රියාව ගෙනාවේ නැහැ. එතකොට ජාතිවාදයක් එපා එපා කියමින් ඔවුන් විද්‍යා ඉදිරියට ඉසිප්‍රියාව ගෙනයන්නේ විත්‍යා දෙමල ජාතිකයෙක් වීම නිසා නොවේද? ඔවුන් දෙදෙනාගේ චායාරූප නැවත නැවත පෙන්වමින් ජාතිවාදයක් ඇති කරන්නේ ඔය ඇත්තන්ම නොවේද?

විත්යාට , ඉසිප්‍රියාට , කහවත්තේ ගොදුරු වූ ගැහැනුන්ට , නිදි ඇඳේ මරා දැමු ඇයට හා දරු දෙදෙනාට එකසේම යුක්තිය සාධාරණය ඉටුවිය යුතුයි. ඒ ලෙසම මායිම් ගම්වල හිඳ මරා දැමුණු කාන්තාවන් , නුපන් ළදරුවන්, කුඩා ළමුන්, පිරිමින් ඇතුළු සියලු දෙනාටම සාධාරණය ඉටුවිය යුතුයි. අරන්තලාවේ පොඩි හාමුදුරුවන්ට සාදාරණයක් ඉටුවිය යුතුයි. කොටුව දුම්රිය පොලේදී මියගිය ඩි එස් සිසුන්ට සාදාරණයක් සිදුවිය යුතුයි.

හිස් අහස මේ ලිපියත් කියවා බලන්න

චැනල් ෆෝ වලට හසු වන්නට ඇත්තේ සීමිත සිදුවීම් පෙළක් පමණයි. ලංකාවේ ජිවත් වූ අපට චැනල් ෆෝ නැතුවාට ඕනෑ තරම් මතකයන් ඇත. ජාති , ආගම් , කුල බේදයක් නැතුව අප සියල්ලෝ ම කොපමණ මරණ බියකින් ජිවත් වීමුද?

ඒ මතකයන් අතර අමතක කරන්නට නොහැකිම මතකය අපේ රණවිරුවන් පිළිබඳව වූ මතකයයි. ඔවුන් සිද්ද කලේ රස්සාව යයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන ඇත්තන්ව ඊශ්‍රායලයේ මෙන් අනිවාර්ය යුධ පුහුණුවකට යැවිය යුතුය. එවිට ඒ ඇත්තන්ටත් රස්සාවේ තරම බලා ගත හැක්කේය. ඒත් මදි නම් යුද්දය තවමත් සිදුකෙරෙන රටක ස්වෙච්චා බලකායට යැවිය යුතුය.(ලංකාවට නම් හීනෙන්වත් ආයේ යුද්දයක් එපාය. මුළු ලෝකෙන්ම යුධ ගැටුම් තොලොංචි වී යා යුතුය)

ත්‍රිවිධ හමුදාව නිසා අද අප බියෙන් සැකෙන් තොරව ජිවත් වන්නෙමු. නිදහසේ හුස්ම ගන්නෙමු......

Sunday, May 24, 2015

ඔහු එතැන නැවතුනේය..

දෙදහස් අටේ අවුරුද්ද.ගැහැණු ළමයෙක් බස් රියක එනවා. දුර ගමන් බස් රියක්. ගැහැණු ළමයාගේ ඔලුව තදබල විදියට වික්ටෝරියානු සදාචාර ගත වෙලා තියෙන්නේ. විත්තිකරු ඇගේ පාසල.
ඒ පාසල වටා තිබුණු අඩි නවයකට වඩා උස වික්ටෝරියානු බැම්ම උඩ, කතෝලික කන්‍යා සහෝදරියන්ගේ දැඩි විනය නීති නමැති බෝතල් කටුත් සවි කරලා තිබ්බා. මදුරුවෙක්වත් අනවසරයෙන් ඇතුල්වෙන්න බය උණු පාසල් භූමියට ඉඳ හිට අල්ලපු පාසලේ තක්කඩි කොල්ලෝ රැලක් අහම්බෙන් කඩා වැදුනොත් , විදුහල් පති කන්‍යා තුමිය ඔවුන්ව ඇඹරුම් යන්ත්‍රයට දමා කුඩේ කුඩු කර දැමුවා. ඉතින් පාසල තුල ජිවත් උණු බාලිකාවියන් වියයුතු පරිදිම බීතියෙන් කුල්මත්ව ,ජම්ම දෝෂයෙන් නිර්දෝෂව , පිරිසිදු සුපැහැදිලි ජිවිත ගත කළා . නැත්නම් ඔවුන්ට එසේ වීමට බලකෙරුනා.
පිරිමි යනු කුණු කන පණු රැලක් බව ද, ළමයින් ලැබෙන්නේ ශුද්ධාත්ම අනුහසින් බවද , පිරිමියෙකු දුටු විට වහා වහා එතනින් දුරිම්බුත විය යුතු බවද පාසල් පරිසරයේ වායුගෝලයේ රැඳී තිබුනා. කිසිම කෙනෙකු මුවින් පිට නොකලද මේවා සෑම විටෙකම පාසල හරහා දෝංකාර දුන්නා.
කෙසේ නමුත් වයසත් සමග හොර්මන වල වෙනස්කම් සමග විවිදාකාර නළුවන් , නිරුපන ශිල්පින් , සම වයස් වල හැඩකාර කොල්ලන් ගැන ආරංචි පාසල තුලට රිංගුවා. ඉතා කුඩා සිදුරු අස්සෙන්. ඉදහිට හෝර්මෝන වැඩිපුර වැඩ කෙරුණු කෙල්ලෙක් හෝ දෙන්නෙක් අසාමාන්‍ය විදියට නිර්බිත වෙන්න ගොස් සිද්ද කරන ලද ත්‍රාසජනක ක්‍රියා පාසලට ආරංචි වීමෙන් අනතුරුව, ඒ ක්‍රියා අගයනු වස් , පාසල විසින් ඔවුන්ට අස්වීමේ සහතික පිරිනැමුණා. ඉතින් පාසල තුල ඉතුරු වුයේ ඇත්තටම සුපිරිසිදු ස්ත්‍රී රත්න ටිකකුත්, කට්ට කයිරාටික වෙට්ට පිත්තල ස්ත්‍රී රත්න ටිකකුත් හා ඕනෑම තැනක ඇඟ බේරා ගැනීමේ කලාව ප්‍රගුණ කල ස්ත්‍රී රත්න ටිකකුත් පමණයි.
(මොනවා උනත් මේ ගෑනු ළමයා අදටත් මේ පාසලට හරිම ආදරෙයි. ඈටත් දුවෙකු ලැබුනොත් ඈ නොවරදවාම මේ පාසලට ඇතුලත් කෙරුණු ඇති. ගෑනු ළමයෙකු තුල ඇතිවිය යුතු හැදියාව , ශික්ෂණය හා අරපිරිමැස්ම මේ පාසල තුලින් ජිවිතයට කාවද්දන බව ඈ අදටත් විස්වාස කරනවා)

පාසලෙන් අයින් වී වසරක් ගතවී තිබුනත් සියලුම පිරිමින් කාමුකයන්ය සහ ස්ත්‍රී හිංසකයින්ය යයි ඔලුව නට්ටන් කරගෙන ඇති ගෑනු ළමයා තමුන්ගේ අසුනේ වාඩිවී නහයට කෙලින් බලාගෙන , දෙසවන කන් බනුවක් පැළඳගෙන , කවුළුව අසල සිටිනා පිරිමියාගේ ඇඟේ වැරදිලාවත් නොවදින ලෙස කල්පනාවෙන් යුතුව සිටිනවා. අසල හිඳගෙන ඉන්නා පුද්ගලයාගේ දෑත් ඈ හොරෙන් නිරීක්ෂණය කරනවා. ඒවා හැඩි දැඩියි. නමුත් කෙට්ටුයි. තරුණ දෑතක්.

අසල ඉන්නා පුද්ගලයාට දිගු ගමන වෙහෙසකර වන්නට ඇති. එහා අසුනේ ඉන්නා ඇත්තියගේත් කිසිදු මිත්‍රශීලි බවක් නෑ. නමුත් අන්තිමේ ඔහු එක වරක් උත්සහයක් දරනවා.

ඔහු ඇගෙන් වෙලාව විමසනවා. තරුණ කටහඬක්. ඔව්, ඔහු භද්‍ර යව්වනයේ පසුවන බව ගෑනු ළමයාට පෙනෙනවා. ගෑනු ලමයාගේත් මෙතෙක් අක්‍රියව තිබුණු හෝර්මෝන තරමක් දුරට වැඩ කරන්න පටන් ගන්නවා. ඈ තම ජන්ගමයා බෑගයෙන් එළියට ගෙන වෙලාව බලනවා. දුරකථන තිරය මත ශාරුක් ඛාන් හිනැහෙමින් ඉන්නවා. ඇගේ වික්ටෝරියානු බැම්මේ කුඩා සිදුරකින් රිංගා ගන්න ශාරුක් ඛාන් සමත් වෙන්නේ ඈ හතේ පන්තියේ ඉන්නා විටයි. එසේ පැමිණි ඔහු තාමත් ඈව හැරගොස් නැහැ

වෙලාව පමණයි. ආයෙත් කතා බහක් සිද්ද වෙන පාටක් නැහැ. පිරිමි ළමයා දෙවන උත්සාහයත් දරනවා. ඔහු ඇගෙන් යම් කිසි නගරයක් ගැන විමසනවා. මේ බස් රිය ඒ නගරය හරහා යනවාද?

ඈ පිළිතුරු දෙනවා. තනි වචනයෙන්.. ඒ නැවතුම ඇගේ නැවතුමට පසුව පස්වෙනි හෝ හයවෙනි නැවතුම

"අපේ කොල්ලෙකුට වෙඩි වැදිලා බලන්න යනවා නංගි" පිරිමි ළමයා හිතා හෝ නොහිතා කියනවා. ශාරුක් ඛාන් තිරයෙන් පැනලා දුවනවා. ගෑනු ළමයාගේ වික්ටෝරියානු බැම්ම ඉරිතලල යනවා.

ඈට ඒ මොහොතේ වදනක්වත් කතා කරගන්න බැරි වෙනවා. ඇගේ මුවට කවදාවත් නැති තරමට වචන ගලාගෙන එනවා. ඒත් ඒවා මුව ඇතුලෙම ගොලුවෙලා ඉන්නවා. ඈට ඔහුත් සමග ඔහුගේ නැවතුම දක්වාම යන්න උවමනා වෙනවා. ඔහුට ඒ නැවතුම පෙන්නන්න උවමනා වෙනවා. ඈ බයෙන් හරි කොළඹ ගොස් එන්නේ ඔහු වැනි අයට පින්සිදු වෙන්න කියා කියන්නට උවමනා වෙනවා. ඔහු කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියල කියන්න උවමනා වෙනවා

ඒත් ඈ ඒ කිසිවක් කියන්නේ නැහැ. ඇගේ හදවත වේදනාවෙන් ඉරිතලල යනවා. ඒත් වදන් පිටවෙන්නේ නැහැ.

ඇගේ නැවතුම ලං වෙනවා. නැවතත් වික්ටෝරියානු අවතාරය ඈව බිය කරනවා.යන්නම් කියා ඈ බසයෙන් බසින්න යනවා. ඒ දිනවල තිබු තත්වයත් එක්ක ඒ පිරිමි ළමයාට "ගිහින් එන්නම්" කියන්න බැරි බව ඈ දන්නවා. ඈ පිටුපස බලන්නේ නැහැ. ඒ මුහුණ මතක තියා ගන්න ඈට උවමනා නැහැ.හදිසියේම ඔහු පිළිබඳව ඇතිවූ හැඟීමකට බියෙන් ඈ පලා යනවා. ඔහු එතැනම හිඳිනවා. සංසුන්ව

නිවසට ගිය වහාම ශාරුක් ඛාන් ව ගලවා දැමු ජංගම දුරකත තිරයේ ඈ හමුදා සෙබළුන් පිරිසකගේ පින්තුරයක් එල්ලා ගන්නවා. ඒත් ඈ ප්‍රමාද වැඩියි. රටේවත් නැති නළුවන් වන්දනා කරන කෙල්ලන් පිරිසක් ඉන්නා රටක් බේරා ගන්න යුද්ධයට ගිය පිරිමි ළමයා ඒ බව දැනගන්නේ නැහැ.

අද ඒ පිරිමි ළමයා කොහේ කොතැනක ඉන්නවාද නොදන්නවා උනත් ඒ මතකය ගෑනු ළමයා ළඟ හැමදාම තියෙනවා.

යුද්දයට ගියේ ඔබ අප වැනිම ලෙයින් මසින් හැදුනු හැඟීම් දැනීම් තියෙන තරුණ පිරිසක්. කෙතරම් නම් බලාපොරොත්තු , ප්‍රාර්ථනා ඔවුන් සමගම වැළලී යන්නට ඇතිද.. සුළු මතකයක් අපේ හිතට මෙපනම වද දෙනවා නම් ඔවුන් හා හිදී සමීපතමයන් එය කොහොම විඳ දරා ගන්නවා ඇතිද...


Wednesday, May 13, 2015

නිවන ට යන්න එන්න - හනික එන්න

සුනීත සෝපාක එන්න...
හනි හනික එන්න...
කෙසෙල් කැන් කර තියාගෙන එන්න...
කිසා ගෝතමී එන්න
ඇපල් මිදී බැයි නං අඹ මල්ලක් හරි අරගෙන..
දෙව්දත් ඔබත් එන්න..
බැරියැයි ඔහෙ දෙළුමක් වත් ගෙනෙන්න..
මං වඩින්නං නිවන් මග..
පටාචාරා සළුවෙන් ගත වසාගෙන...



Sunday, May 10, 2015

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -02

කතාවේ මුල මෙන්න මෙතන -මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

තමුන්ව සම්බන්ද කරගන්න ඉඩ තියෙන හැම මාර්ගයම අහුරලා දාන්න බැරි බව ගේෂ ට වඩා හොඳට දුෂ්මන්ත දැනගෙන හිටියා. පහුවෙනිදා පාන්දරම ගෙදර දොර ගාව ටිම්බෝ බුරා හැලෙන්නේ මොන මල යකාටදැයි බලනකොට නිවාස සංකීරණයේ ආරක්ෂක අංශයේ වැඩ කරන පැඟිරි කොල්ලා හිනා කටක් පුරෝගෙන දොරට තට්ටු කරනවා

"මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ නේද මැඩම්"
"මැඩම්ට විසිටර් කෙනෙක් ඉන්නවා. එක්කං එන්නද මැඩම්"
"දුෂ්මන්ත කිව්ව නම"

පොලවට ගව්ගානක් උඩින් පාවුනු නිවැසියන් ඉන්න නිවාස සංකීරණයක පිළිගැනීමේ දොර ගාව උදේ පාන්දර ඩොටේ ගෙදරක වගේ රණ්ඩුවක් ඇතිකරගෙන තමුන්ගේ තත්වේ බල්ලට දාගන්න බැරි නිසා ගේෂ දුෂ්මන්තව තමුන්ගේ ගෙදරට එක්කගෙන එන්න අවසර දුන්න. විනාඩි පහකදී ඇදුමක් දාගෙන, දුරකතනයත් හයි කරලා, ආමන්තට කතා කරලා උපදෙසක් ගන්න හැදුවත් ආමන්තගේ දුරකතනයේ පටිගත කරපු පණිවිඩයක් වාදනය උනා විතරයි.

"damn it"
අවුරුදු තුනකට විතර කලින් " මොන මගුලක්ද මේ" කියන්න හුරුවෙලා තිබුණු ගේෂා ගේ දිව දැන් පොෂ් වෙලා කියල අනෙක් අතට එයාටම හිතුනු නිසා ලොකු හිනාවක් ගියා. ඒ අතරේ දොර ඇරියේ ඒ හිනා මුනෙන්ම නිසා දුෂ්මන්ත බොහෝම සුන්දර හීනයක් දැක්ක.ඒත් ඒ මොහොතකට විතරයි

"මොනාද තමුන්ට කියන්න තියෙන්නේ" ගේෂ ඒ ස්වරය බලෙන් පුරුදු කරගත්තේ කොළඹ හතේ ස්ත්‍රී වාදී කල්ලියක් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරලා

ආමන්තගේ ඇස්දෙක ලොකු උනා

"මම කැමති බැලුන් පොකුරක් දැකල උඩ පැනපු කොන්ඩේ ගොතපු අහිංසක පුංචි කෙල්ලව දකින්න මිසක්, ඔය ලෝ පොයින්ට්ස් කතා කරන තද ගෑනිව දකින්න නෙවෙයි"

"තමුන්ගේ කැමැත්ත අකමැත්ත තව දුරටත් මට අදාළ නැති බව ඔහේ දන්නවනේ. කියන්න ආපු දෙයක් ඉක්මනට කියල යනවා යන්න. නැත්තන් මං තමුන්ගේ ගෑනිට කතා කරලා කියනවා 'ඔහේගේ මිනිහා මෙතන ඇවිත් මාව නලවන්න කතා කරනවා කියල'"

"ප්ලීස් බබී. ඔච්චර දරුණු වෙන්න එපා. මම වැරදියි. මං ඒක දන්නවා. ඒත් මාව පාරන්න එපා"

ගේෂ ට තව දුරටත් රඟපාන්න බැරි උනා. දුරකථනය හරහා ගලා එන්නේ හඬක් විතරයි. දුරකතනයට නපුරු උනාට මුණ දිහා බලාගෙන ඉද්දි පරණ චිත්ත ගවුම් කෙල්ල දුවගෙන ආව. ඔව්.. දුෂ්මන්ත 'බබී' කියද්දී පුරුදු විදියට හිත ළදරු උනා. තාත්තාගෙන් පස්සේ බබී කියාගෙන ගේෂ ව හුරතල් කළේ දුෂ්මන්ත විතරයි. එදවස් කොච්චර ලස්සනද...
නාඩා ඉන්න හිත හදාගෙන උන්නත් ඇස් ඊට ඉක්මන් උනා. මදටිය තරමේ කඳුළු බින්දුවක් රෝස පාට නාහේ කෙලවර රැඳිලා, තොල් බේරී කරගත්තේ දුෂ්මන්තගේ 'බබී' මිසක් ආමන්තගේ 'ගේෂ් ' නෙවෙයි.

ඒ කඳුළු පිහදාල , ගේෂ ගේ ඔලුව අතගාල සැනසුවේ අවුරුදු තුනකට කලින් හිටි බැලුම් ආදවන්තයා මිසක් , අපරාජිත විජිතයක පිඩිත ස්වාමි පුරුෂයා නෙවෙයි.

"ඇයි අපිට මෙහෙම උනේ" කියල හිත් කතා කලාට වචනයක් වත් පිට වුනේ නෑ.

"ප්ලීස් දුෂ්, මට මෙහෙම ඉන්න දෙන්න. මට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනා. මට එයත් එක්ක ආයෙමත් ජිවිතේ පටන් ගන්න ඕනේ. මුල ඉඳල. ඔයාගෙන් ලැබුණු හැමදේම මම ඔයාට දෙන්නම් ආයෙමත්. ඒත් මාව අමතක කරලා දාන්න. ඔයා දන්නවනේ මට ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියල . ඔයා ඔයාගේ ලෝකෙ හදාගෙන ඉවරයි. ගේෂාව දැන් අමතක කරන්න. ගේෂට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.."

ගේෂ කතා කළේ හිත ඇතුලෙන්මයි. කාටත් වඩා හොඳට එක දුෂ්මන්ත තේරුම් ගත්තා. ඔහුට ඈ වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන එක දරාගන්න බෑ. ඒත් දුෂ්මන්ත එහෙම ආත්මාර්ථකාමී පිරිමියෙක් නෙවෙයි.

"බබී, මං ආවේ ඔයාගේ අලුත් ආදරේ කඩල දාන්නවත් , ඔයාගේ ජීවිතේට ආයෙමත් එන්නවත් නෙවෙයි. ඔයා ගැන මට තාම වගකීමක් තියෙන නිසා ඔයා අලුතෙන් ජිවිතේ පටන් ගන්න යන්නේ කොයි වගේ කෙනෙක් එක්කද කියල දැනගන්න විතරයි.."

ගේෂට ආමන්තව මතක් උණ ගමන් , දුෂ්මන්තගෙන් මිදිලා ගිහින් සෙටියේ වාඩි උනා.

"ඒ දේවල් ඔයාට වැඩක් නෑ. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා මට කරලා තියෙන හරිය හොදටම ඇති.."

එතනින් එහාට ගේෂගෙන් යමක් දැනගන්නවට වඩා ලේසියට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලා ගන්න පුළුවන් බව දුෂ්මන්ත දැනගෙන හිටියා. ඕනේ වෙලාවක හුරතල් වෙන්න වගේම අවශ්‍ය වෙලාවට තද තීරණ ගන්නත් පුළුවන් මේ ගැහැණියට තමුන් කොයි තරම් නං ආදරේ කලාද...

"හරි බබී , මම යනවා. ඔයා පරිස්සමට ඉන්න . බුදුසරණයි.."

දුෂ්මන්ත ගියාට පස්සේ ගේෂ පැයක් විතර ඇඩුවා. පස්සේ තමුන්ටම හිනා වෙලා මුණ හොඳ ගෙන අලුත් ඇඳුමක් දාගෙන ටිම්බෝ එක්ක එලියට යන්න ලැස්ති උනා. ආමන්ත දැක්කාම පිස්සු වැටීගෙන බුරන මේ බලූ තඩියා, අද දුෂ්මන්තට පොඩි හරි ගෙරවිල්ලක් වත් නොදාපු එක ගැන තරහ ගිහින් උන්නු නිසා වෙනද ආදර සැලකිලි කිසිම දෙයක් නැතුව 'යමන් එලියට ඇවිදින්න' කිව්ව. ඌත් පොෂ් බල්ලෙක් හින්ද ඇස් ලොකු කරන් බලාගෙන හිටියා විතරයි.

'come here you idiot' අන්න ඒපාර නං බලු දණ්ඩා ගිහින් දොර ළඟ හිට ගත්තා.

ඇවිදින්න හිතාගෙන දොර ළඟ සෙවල පෙරාගෙන උන්නු ටිම්බෝ, බුරා හැලෙන්න පටන් ගත්තේ දොරට වැදුණු තට්ටුවෙන් පස්සෙයි. ගේෂ හිතුව හරි.. දොර ළඟ හිටියේ ආමන්ත..

දුෂ්මන්ත ඇවිත් ගියා කිව්වාම මුණ ඇද උනත් ආමන්ත මුකුත් කිව්වේ නෑ. සමහර විට ඒ ගැන වැඩි දුර අදහස් දක්වන්න තමුන්ට අයිතියක් නෑය කියල හිතාගෙන වෙන්න ඇති.

ආමන්ත - ගේෂා ආදර කතාව ගලාගෙනම ගියා ඉස්සරහට. එක ළඟ නිවාස දෙකක උන්නත් කවදාවත් දෙන්නම එක ගෙදර ජිවත් වෙන්න හිතුවේ නෑ. ආදරේ කියල බදාගෙන අල්ලගන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙත් නැති නිසා විවාහයක් ගැන කතාවක් ඇදුනෙත් නෑ. ඒ සම්බන්දය ඇතුලේ, ආදරේ කරුණාව , තේරුම් ගැනීම, සහය වීම, අගය කිරීම ඕනාවටවත් වඩා තිබුණා.

තමුන්ගේ ගෙදර එනවට ආමන්ත කැමති නෑ කියල ගේෂ තේරුම් අරන් තිබුණු විදියටම , තමුන්ගේ බාත්රූම් එක පාවිච්චි කරනවට ගේෂ කැමති නැති විත්තියත් ආමන්ත තේරුම් අරන් උන්නු නිසා ගේෂ ආමන්තගේ ගෙදර යන්න හැදුවෙත් නෑ, ආමන්ත ගේෂ ගේ බාත්රූම් එක පාවිච්චි කලෙත් නෑ

සාම්ප්‍රදායික බිරිඳක් විදියට දුෂ්මන්තගේ දෙපා දෝවනය කරගෙන උන්නු ජීවිතේට වඩා, නිදහස් පෙම්වතියක් විදියට ගෙවන මේ ජීවිතේට ගේෂ ආදරේ කළා

අවුරුදු තුනක් ගෙවුනා.. ගේෂට බබෙක් ඕනේ උනා.කසාද බදින්න නෙවෙයි. බබෙක්!

"මිනිස්සු කියන කතා ඔයාට දරාගන්න පුලුවන්ද?" ආමන්ත ඇහුවා

"මිනිස්සු මොනවා උනත් මොකක් හරි කියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

"ඔයාට බබෙක් හදන්න බදින්න ඕනේ නැද්ද"

"මට බදින්න බෑ. මේ ඉන්න විදියට මම ආදරෙයි.."

"හදිස්සියෙවත් මට මොකක් හරි උනොත් ඔයාට තනියම බබාව බලා ගන්න පුලුවන්ද.."

"පුළුවන්.." ගේෂ ගේ උත්තරේ නිසා අහස් සහ අමා ට දිව්‍යලෝකේ ඉඳල පොලවට එන්න විසා හම්බවුනා

"අපිට නිවුන්නු...බබාලම දෙන්නෙක්" ආමන්තගේ සන්තෝසේ පිටාර දැම්මා..

වැඩිය එලියට පහලියට යන්න අකමැති ආමන්ත , ගේෂ ගැන හිතලමද කොහෙද හැමදාම හවසට ගේෂත් එක්ක පාර්ක් එකට ගියා. මුණු දැකල පුරුදු උනාට කතා කරන්න තරන හිතවත් කෙනෙක් නොහිටපු නිසා අතුරු ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ

"ඔයා දන්නවද,අපේ මමී ඩැඩි ව බඳින කොටත් ප්‍රෙග්නන්ට් ලු. ඩැඩි මමිව බැඳලා තියෙන්නේ එක දැනගෙනමයි. ඒවුනත් කවදාවත් ඩැඩි අයියට වෙනසක් කළේ නෑ. හැබැයි මමී ආදරේ කළේ අයියට විතරයි. ඩැඩි ටවත් මටවත් නෙවෙයි. අයියගේ තාත්තා ගොඩාක් සල්ලි තියෙන පවුලක , නරක කොල්ලෙක් කියල අපේ ආචිචි මම්මල හිමිට කතාවෙනව ඒ දවස් වල. ඒ සංකර ජීවිතේට මමී පුදුම විදියට කැමති වෙලා හිටියේ. ඩැඩි ගේ නිවුණු ගැති ගුණ වලට මමී කොයිම විදියකටවත් ගැලපුනේ නෑ

" සිසීට රෑට පාටියක් තියෙනවනම් , දවල් නතින් කියල තමා ඩැඩි කියන්නේ. හැබැයි ඩැඩි හරියට විදෙව්වා මමිගේ වැඩ හින්ද . විශේෂයෙන්ම මමී මට වෙනස්කම් කරන එකට ඩැඩි පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. සිසී, ආර්ම් බෝයිත් ඔයාගේ නේද, ඇයි හැමවෙලේම හැමදෙයක්ම දුම් ට විතරක් .. කියල ඩැඩි කීප පාරක්ම අහනවා මට ඇහිලා තියෙනවා . ඒ වෙලාවට මමී කියන්නේ මොකද්ද දන්නවද..?"

උත්තරක් නොදුන්නු ගේෂ හිනා උනා විතරයි

"ඩාර්ලින් ආතර්, ඔයා දන්නවනේ මම ඔයාට රෙස්පෙක්ට් කලාට මගේ ලව් එක නිලේෂ්. නිලේෂ් වගේ ඉන්නේ දුම් මිසක් ඔයාවත් ආර්ම්වත් නෙවෙයි.. මම ඔය දෙන්නට ආදරෙයි. හැබැයි දුම්ට ගොඩාක් ආදරෙයි..."

ආමන්තගේ හැඟීම හොඳටම සංවේදනය උනු ගේෂ , දුක අමතක වෙන්න සද්දෙන් හිනා උනා. ආමන්තත් හිනා උනා. ලගින් ගිය ජෝඩුවක් ගේෂ දිහා පුදුමෙන් බලාගෙන ගියා

"මිනිස්සු බලන්නේ හරියට මම මෙතන බෙන්ච් එක උඩ තනියම හිනා වේවි ඉන්නවා වගේනේ" ගේෂ නොරිස්සුමෙන් කිව්ව

"ගණන් ගන්න එපා. මිනිස්සු හිනාවත් එක්ක හරිම ඉරිසියයි.." ආමන්තගේ කතාවට ගේෂ ආයෙම වතාවක් හිනා උනා

"ඔයා දන්නවද මමිගේ වැඩි ආදරේ හින්ද අපේ අයිය හොඳටම නරක් උනා" තව දවසක් බැල්කනියේ වාඩිවෙලා , තමුන්ගේ උරහිසට හේත්තු වෙලා හිටපු ගේෂට ආමන්ත කිව්ව

"අයියා පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මමී ආදරේ එයාට කියල. ඒ නිසා එයා පුළුවන් තරන් මට වද දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා දරාගෙන උන්න මිසක් මම කාටවත්ම කියන්න ගියේ නෑ. ඩැඩි තේරුම් ගත්තා. ඒත් ඩැඩිට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නෑ. මම මොකකට හරි ආසයි කියල තේරුනොත් අයිය ටක් ගාල ඒ දේ අයිති කරගන්නවා. මට රිද්දන්න. මම හිතන්නේ එයා දැනගෙන හිටියා එයාගේ තාත්තා ඩැඩි නෙවෙයි කියල. ඒකෙ පලිය ගත්තේ මගෙන්.."

අන්තිමට අයියව මමිටත් කන්ට්‍රෝල් නැති උනා. ඩැඩි ට ඔක්කොම අතෑරලා ඉන්දියාවට යන්න ඕනේ උනා. මම ඒකට වැරද්දක් කියන්නේ නෑ. මොකද ඒ වෙද්දී ඩැඩි හෙම්බත් වෙලා හිටියේ ප්‍රශ්න වලින්ම. එයා මටත් කතා කළා ඉන්දියාවට යන්න. ඒත් මට නොයන්න ලොකු හේතුවක් තිබුනා"

ඒ මොකද්ද කියන ප්‍රශ්නාර්තේ රන්දගෙන ගේෂ ආමන්ත දිහා බැලුව

"මම ඒ වෙද්දී ගෑණු ළමයෙක්ට පුදුම විදියට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා මාව දන්නෙවත් නෑ. ඒත් මම එයාට පුදුම විදියට ආදරේ කළා. මට එයාව බදින්න ඕනේ උනා...."

~මතු සම්බදයි~



Monday, May 4, 2015

දෙදෙනෙක් සහ කතා දෙකක්

හෙලෝ...
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..


හෙලෝ..
ඔෆිස් එකේ වැඩ තිබ්බ..කෝච්චිය මිස් උනා හලෝ..
ඔව් ඔව් ඉන්ටර්සිටියක ඉන්නේ. නොර්මල් බස් තිබුනේ නෑ..
ඔය කොහෙද ඉන්නේ..
ඇයි තාම ඔතන ඉන්නේ..
වෙන කව්ද ඉන්නේ..
මම කියල තියනවා නේද සමරය ඉන්නවා නං ටැග් ගැහෙන්නේ නැතුව යන්න කියල ඈ..
අනේ අනේ.. යනවා යන්න මාව තම්බන්නේ නැතුව
මං කීපාරක් කියල තියෙනවද.. තමුසේ පයිසෙකට ගණන් ගන්නේ නෑනේ
යනවා හලෝ යන්න. මං එන්නේ නෑ ගෙදර අද අම්මලාගේ ගෙදර යනවා..
නෑ නෑ. මං එනකන් බලන් ඉන්න ඕනේ නෑ. තමුසේ යනවා
එන්නේ නෑ හලෝ. තමුසේ ඕනේ මගුලක් කරගන්නවා. ඉන්නවකෝ මං කරන්න වැඩේ.
(2 වන ඇමතුම)
හෙලෝ..
හෙලෝ පුතු.. තාත්ති කතා කරන්නේ
අම්මි ආවේ නෑ..
අම්මි නෝටි. මං අම්මිට දෙන්නන්කෝ පරක්කු උනාට
පුතුට මොනාද ඕනේ..
පාන් ගෙඩියක්..?
හරි හරි තාත්ති එද්දී පාන් ගෙඩියක් අරන් එන්නන් කෝ..
තියන්නං.. පරිස්සමට ඉන්න