Wednesday, May 13, 2015

නිවන ට යන්න එන්න - හනික එන්න

සුනීත සෝපාක එන්න...
හනි හනික එන්න...
කෙසෙල් කැන් කර තියාගෙන එන්න...
කිසා ගෝතමී එන්න
ඇපල් මිදී බැයි නං අඹ මල්ලක් හරි අරගෙන..
දෙව්දත් ඔබත් එන්න..
බැරියැයි ඔහෙ දෙළුමක් වත් ගෙනෙන්න..
මං වඩින්නං නිවන් මග..
පටාචාරා සළුවෙන් ගත වසාගෙන...



Sunday, May 10, 2015

මගේ හීනය මට දකින්න ඉඩ හරින්න -02

කතාවේ මුල මෙන්න මෙතන -මගේ හීනය මට දකින්න ඉඩ හරින්න

තමුන්ව සම්බන්ද කරගන්න ඉඩ තියෙන හැම මාර්ගයම අහුරලා දාන්න බැරි බව ගේෂ ට වඩා හොඳට දුෂ්මන්ත දැනගෙන හිටියා. පහුවෙනිදා පාන්දරම ගෙදර දොර ගාව ටිම්බෝ බුරා හැලෙන්නේ මොන මල යකාටදැයි බලනකොට නිවාස සංකීරණයේ ආරක්ෂක අංශයේ වැඩ කරන පැඟිරි කොල්ලා හිනා කටක් පුරෝගෙන දොරට තට්ටු කරනවා

"මැඩම්ගේ ෆෝන් එක වැඩ නෑ නේද මැඩම්"
"මැඩම්ට විසිටර් කෙනෙක් ඉන්නවා. එක්කං එන්නද මැඩම්"
"දුෂ්මන්ත කිව්ව නම"

පොලවට ගව්ගානක් උඩින් පාවුනු නිවැසියන් ඉන්න නිවාස සංකීරණයක පිළිගැනීමේ දොර ගාව උදේ පාන්දර ඩොටේ ගෙදරක වගේ රණ්ඩුවක් ඇතිකරගෙන තමුන්ගේ තත්වේ බල්ලට දාගන්න බැරි නිසා ගේෂ දුෂ්මන්තව තමුන්ගේ ගෙදරට එක්කගෙන එන්න අවසර දුන්න. විනාඩි පහකදී ඇදුමක් දාගෙන, දුරකතනයත් හයි කරලා, ආමන්තට කතා කරලා උපදෙසක් ගන්න හැදුවත් ආමන්තගේ දුරකතනයේ පටිගත කරපු පණිවිඩයක් වාදනය උනා විතරයි.

"damn it"
අවුරුදු තුනකට විතර කලින් " මොන මගුලක්ද මේ" කියන්න හුරුවෙලා තිබුණු ගේෂා ගේ දිව දැන් පොෂ් වෙලා කියල අනෙක් අතට එයාටම හිතුනු නිසා ලොකු හිනාවක් ගියා. ඒ අතරේ දොර ඇරියේ ඒ හිනා මුනෙන්ම නිසා දුෂ්මන්ත බොහෝම සුන්දර හීනයක් දැක්ක.ඒත් ඒ මොහොතකට විතරයි

"මොනාද තමුන්ට කියන්න තියෙන්නේ" ගේෂ ඒ ස්වරය බලෙන් පුරුදු කරගත්තේ කොළඹ හතේ ස්ත්‍රී වාදී කල්ලියක් අවුරුද්දක් තිස්සේ ආශ්‍රය කරලා

ආමන්තගේ ඇස්දෙක ලොකු උනා

"මම කැමති බැලුන් පොකුරක් දැකල උඩ පැනපු කොන්ඩේ ගොතපු අහිංසක පුංචි කෙල්ලව දකින්න මිසක්, ඔය ලෝ පොයින්ට්ස් කතා කරන තද ගෑනිව දකින්න නෙවෙයි"

"තමුන්ගේ කැමැත්ත අකමැත්ත තව දුරටත් මට අදාළ නැති බව ඔහේ දන්නවනේ. කියන්න ආපු දෙයක් ඉක්මනට කියල යනවා යන්න. නැත්තන් මං තමුන්ගේ ගෑනිට කතා කරලා කියනවා 'ඔහේගේ මිනිහා මෙතන ඇවිත් මාව නලවන්න කතා කරනවා කියල'"

"ප්ලීස් බබී. ඔච්චර දරුණු වෙන්න එපා. මම වැරදියි. මං ඒක දන්නවා. ඒත් මාව පාරන්න එපා"

ගේෂ ට තව දුරටත් රඟපාන්න බැරි උනා. දුරකථනය හරහා ගලා එන්නේ හඬක් විතරයි. දුරකතනයට නපුරු උනාට මුණ දිහා බලාගෙන ඉද්දි පරණ චිත්ත ගවුම් කෙල්ල දුවගෙන ආව. ඔව්.. දුෂ්මන්ත 'බබී' කියද්දී පුරුදු විදියට හිත ළදරු උනා. තාත්තාගෙන් පස්සේ බබී කියාගෙන ගේෂ ව හුරතල් කළේ දුෂ්මන්ත විතරයි. එදවස් කොච්චර ලස්සනද...
නාඩා ඉන්න හිත හදාගෙන උන්නත් ඇස් ඊට ඉක්මන් උනා. මදටිය තරමේ කඳුළු බින්දුවක් රෝස පාට නාහේ කෙලවර රැඳිලා, තොල් බේරී කරගත්තේ දුෂ්මන්තගේ 'බබී' මිසක් ආමන්තගේ 'ගේෂ් ' නෙවෙයි.

ඒ කඳුළු පිහදාල , ගේෂ ගේ ඔලුව අතගාල සැනසුවේ අවුරුදු තුනකට කලින් හිටි බැලුම් ආදවන්තයා මිසක් , අපරාජිත විජිතයක පිඩිත ස්වාමි පුරුෂයා නෙවෙයි.

"ඇයි අපිට මෙහෙම උනේ" කියල හිත් කතා කලාට වචනයක් වත් පිට වුනේ නෑ.

"ප්ලීස් දුෂ්, මට මෙහෙම ඉන්න දෙන්න. මට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනා. මට එයත් එක්ක ආයෙමත් ජිවිතේ පටන් ගන්න ඕනේ. මුල ඉඳල. ඔයාගෙන් ලැබුණු හැමදේම මම ඔයාට දෙන්නම් ආයෙමත්. ඒත් මාව අමතක කරලා දාන්න. ඔයා දන්නවනේ මට ආදරේ කියන දේ මොනතරම් වැදගත්ද කියල . ඔයා ඔයාගේ ලෝකෙ හදාගෙන ඉවරයි. ගේෂාව දැන් අමතක කරන්න. ගේෂට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න.."

ගේෂ කතා කළේ හිත ඇතුලෙන්මයි. කාටත් වඩා හොඳට එක දුෂ්මන්ත තේරුම් ගත්තා. ඔහුට ඈ වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන එක දරාගන්න බෑ. ඒත් දුෂ්මන්ත එහෙම ආත්මාර්ථකාමී පිරිමියෙක් නෙවෙයි.

"බබී, මං ආවේ ඔයාගේ අලුත් ආදරේ කඩල දාන්නවත් , ඔයාගේ ජීවිතේට ආයෙමත් එන්නවත් නෙවෙයි. ඔයා ගැන මට තාම වගකීමක් තියෙන නිසා ඔයා අලුතෙන් ජිවිතේ පටන් ගන්න යන්නේ කොයි වගේ කෙනෙක් එක්කද කියල දැනගන්න විතරයි.."

ගේෂට ආමන්තව මතක් උණ ගමන් , දුෂ්මන්තගෙන් මිදිලා ගිහින් සෙටියේ වාඩි උනා.

"ඒ දේවල් ඔයාට වැඩක් නෑ. මට මං ගැන බලා ගන්න පුළුවන්. ඔයා මට කරලා තියෙන හරිය හොදටම ඇති.."

එතනින් එහාට ගේෂගෙන් යමක් දැනගන්නවට වඩා ලේසියට ඉබ්බෙක්ගෙන් පිහාටුවක් ඉල්ලා ගන්න පුළුවන් බව දුෂ්මන්ත දැනගෙන හිටියා. ඕනේ වෙලාවක හුරතල් වෙන්න වගේම අවශ්‍ය වෙලාවට තද තීරණ ගන්නත් පුළුවන් මේ ගැහැණියට තමුන් කොයි තරම් නං ආදරේ කලාද...

"හරි බබී , මම යනවා. ඔයා පරිස්සමට ඉන්න . බුදුසරණයි.."

දුෂ්මන්ත ගියාට පස්සේ ගේෂ පැයක් විතර ඇඩුවා. පස්සේ තමුන්ටම හිනා වෙලා මුණ හොඳ ගෙන අලුත් ඇඳුමක් දාගෙන ටිම්බෝ එක්ක එලියට යන්න ලැස්ති උනා. ආමන්ත දැක්කාම පිස්සු වැටීගෙන බුරන මේ බලූ තඩියා, අද දුෂ්මන්තට පොඩි හරි ගෙරවිල්ලක් වත් නොදාපු එක ගැන තරහ ගිහින් උන්නු නිසා වෙනද ආදර සැලකිලි කිසිම දෙයක් නැතුව 'යමන් එලියට ඇවිදින්න' කිව්ව. ඌත් පොෂ් බල්ලෙක් හින්ද ඇස් ලොකු කරන් බලාගෙන හිටියා විතරයි.

'come here you idiot' අන්න ඒපාර නං බලු දණ්ඩා ගිහින් දොර ළඟ හිට ගත්තා.

ඇවිදින්න හිතාගෙන දොර ළඟ සෙවල පෙරාගෙන උන්නු ටිම්බෝ, බුරා හැලෙන්න පටන් ගත්තේ දොරට වැදුණු තට්ටුවෙන් පස්සෙයි. ගේෂ හිතුව හරි.. දොර ළඟ හිටියේ ආමන්ත..

දුෂ්මන්ත ඇවිත් ගියා කිව්වාම මුණ ඇද උනත් ආමන්ත මුකුත් කිව්වේ නෑ. සමහර විට ඒ ගැන වැඩි දුර අදහස් දක්වන්න තමුන්ට අයිතියක් නෑය කියල හිතාගෙන වෙන්න ඇති.

ආමන්ත - ගේෂා ආදර කතාව ගලාගෙනම ගියා ඉස්සරහට. එක ළඟ නිවාස දෙකක උන්නත් කවදාවත් දෙන්නම එක ගෙදර ජිවත් වෙන්න හිතුවේ නෑ. ආදරේ කියල බදාගෙන අල්ලගන්න දෙන්නටම උවමනාවක් තිබ්බෙත් නැති නිසා විවාහයක් ගැන කතාවක් ඇදුනෙත් නෑ. ඒ සම්බන්දය ඇතුලේ, ආදරේ කරුණාව , තේරුම් ගැනීම, සහය වීම, අගය කිරීම ඕනාවටවත් වඩා තිබුණා.

තමුන්ගේ ගෙදර එනවට ආමන්ත කැමති නෑ කියල ගේෂ තේරුම් අරන් තිබුණු විදියටම , තමුන්ගේ බාත්රූම් එක පාවිච්චි කරනවට ගේෂ කැමති නැති විත්තියත් ආමන්ත තේරුම් අරන් උන්නු නිසා ගේෂ ආමන්තගේ ගෙදර යන්න හැදුවෙත් නෑ, ආමන්ත ගේෂ ගේ බාත්රූම් එක පාවිච්චි කලෙත් නෑ

සාම්ප්‍රදායික බිරිඳක් විදියට දුෂ්මන්තගේ දෙපා දෝවනය කරගෙන උන්නු ජීවිතේට වඩා, නිදහස් පෙම්වතියක් විදියට ගෙවන මේ ජීවිතේට ගේෂ ආදරේ කළා

අවුරුදු තුනක් ගෙවුනා.. ගේෂට බබෙක් ඕනේ උනා.කසාද බදින්න නෙවෙයි. බබෙක්!

"මිනිස්සු කියන කතා ඔයාට දරාගන්න පුලුවන්ද?" ආමන්ත ඇහුවා

"මිනිස්සු මොනවා උනත් මොකක් හරි කියනවා. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි"

"ඔයාට බබෙක් හදන්න බදින්න ඕනේ නැද්ද"

"මට බදින්න බෑ. මේ ඉන්න විදියට මම ආදරෙයි.."

"හදිස්සියෙවත් මට මොකක් හරි උනොත් ඔයාට තනියම බබාව බලා ගන්න පුලුවන්ද.."

"පුළුවන්.." ගේෂ ගේ උත්තරේ නිසා අහස් සහ අමා ට දිව්‍යලෝකේ ඉඳල පොලවට එන්න විසා හම්බවුනා

"අපිට නිවුන්නු...බබාලම දෙන්නෙක්" ආමන්තගේ සන්තෝසේ පිටාර දැම්මා..

වැඩිය එලියට පහලියට යන්න අකමැති ආමන්ත , ගේෂ ගැන හිතලමද කොහෙද හැමදාම හවසට ගේෂත් එක්ක පාර්ක් එකට ගියා. මුණු දැකල පුරුදු උනාට කතා කරන්න තරන හිතවත් කෙනෙක් නොහිටපු නිසා අතුරු ප්‍රශ්න මුකුත් ඇති උනේ නැහැ

"ඔයා දන්නවද,අපේ මමී ඩැඩි ව බඳින කොටත් ප්‍රෙග්නන්ට් ලු. ඩැඩි මමිව බැඳලා තියෙන්නේ එක දැනගෙනමයි. ඒවුනත් කවදාවත් ඩැඩි අයියට වෙනසක් කළේ නෑ. හැබැයි මමී ආදරේ කළේ අයියට විතරයි. ඩැඩි ටවත් මටවත් නෙවෙයි. අයියගේ තාත්තා ගොඩාක් සල්ලි තියෙන පවුලක , නරක කොල්ලෙක් කියල අපේ ආචිචි මම්මල හිමිට කතාවෙනව ඒ දවස් වල. ඒ සංකර ජීවිතේට මමී පුදුම විදියට කැමති වෙලා හිටියේ. ඩැඩි ගේ නිවුණු ගැති ගුණ වලට මමී කොයිම විදියකටවත් ගැලපුනේ නෑ

" සිසීට රෑට පාටියක් තියෙනවනම් , දවල් නතින් කියල තමා ඩැඩි කියන්නේ. හැබැයි ඩැඩි හරියට විදෙව්වා මමිගේ වැඩ හින්ද . විශේෂයෙන්ම මමී මට වෙනස්කම් කරන එකට ඩැඩි පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. සිසී, ආර්ම් බෝයිත් ඔයාගේ නේද, ඇයි හැමවෙලේම හැමදෙයක්ම දුම් ට විතරක් .. කියල ඩැඩි කීප පාරක්ම අහනවා මට ඇහිලා තියෙනවා . ඒ වෙලාවට මමී කියන්නේ මොකද්ද දන්නවද..?"

උත්තරක් නොදුන්නු ගේෂ හිනා උනා විතරයි

"ඩාර්ලින් ආතර්, ඔයා දන්නවනේ මම ඔයාට රෙස්පෙක්ට් කලාට මගේ ලව් එක නිලේෂ්. නිලේෂ් වගේ ඉන්නේ දුම් මිසක් ඔයාවත් ආර්ම්වත් නෙවෙයි.. මම ඔය දෙන්නට ආදරෙයි. හැබැයි දුම්ට ගොඩාක් ආදරෙයි..."

ආමන්තගේ හැඟීම හොඳටම සංවේදනය උනු ගේෂ , දුක අමතක වෙන්න සද්දෙන් හිනා උනා. ආමන්තත් හිනා උනා. ලගින් ගිය ජෝඩුවක් ගේෂ දිහා පුදුමෙන් බලාගෙන ගියා

"මිනිස්සු බලන්නේ හරියට මම මෙතන බෙන්ච් එක උඩ තනියම හිනා වේවි ඉන්නවා වගේනේ" ගේෂ නොරිස්සුමෙන් කිව්ව

"ගණන් ගන්න එපා. මිනිස්සු හිනාවත් එක්ක හරිම ඉරිසියයි.." ආමන්තගේ කතාවට ගේෂ ආයෙම වතාවක් හිනා උනා

"ඔයා දන්නවද මමිගේ වැඩි ආදරේ හින්ද අපේ අයිය හොඳටම නරක් උනා" තව දවසක් බැල්කනියේ වාඩිවෙලා , තමුන්ගේ උරහිසට හේත්තු වෙලා හිටපු ගේෂට ආමන්ත කිව්ව

"අයියා පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මමී ආදරේ එයාට කියල. ඒ නිසා එයා පුළුවන් තරන් මට වද දුන්නා. පුංචි කාලේ ඉඳලම ඒවා දරාගෙන උන්න මිසක් මම කාටවත්ම කියන්න ගියේ නෑ. ඩැඩි තේරුම් ගත්තා. ඒත් ඩැඩිට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නෑ. මම මොකකට හරි ආසයි කියල තේරුනොත් අයිය ටක් ගාල ඒ දේ අයිති කරගන්නවා. මට රිද්දන්න. මම හිතන්නේ එයා දැනගෙන හිටියා එයාගේ තාත්තා ඩැඩි නෙවෙයි කියල. ඒකෙ පලිය ගත්තේ මගෙන්.."

අන්තිමට අයියව මමිටත් කන්ට්‍රෝල් නැති උනා. ඩැඩි ට ඔක්කොම අතෑරලා ඉන්දියාවට යන්න ඕනේ උනා. මම ඒකට වැරද්දක් කියන්නේ නෑ. මොකද ඒ වෙද්දී ඩැඩි හෙම්බත් වෙලා හිටියේ ප්‍රශ්න වලින්ම. එයා මටත් කතා කළා ඉන්දියාවට යන්න. ඒත් මට නොයන්න ලොකු හේතුවක් තිබුනා"

ඒ මොකද්ද කියන ප්‍රශ්නාර්තේ රන්දගෙන ගේෂ ආමන්ත දිහා බැලුව

"මම ඒ වෙද්දී ගෑණු ළමයෙක්ට පුදුම විදියට ආදරේ කරන්න පටන් අරන් තිබුනේ. එයා මාව දන්නෙවත් නෑ. ඒත් මම එයාට පුදුම විදියට ආදරේ කළා. මට එයාව බදින්න ඕනේ උනා...."

~මතු සම්බදයි~



Monday, May 4, 2015

දෙදෙනෙක් සහ කතා දෙකක්

හෙලෝ...
ඔව් ඔව්...
මේ බස් එකේ . ඉන්ටර්සිටියක්. ඉක්මනට එන්න පුළුවන්. හයිවේ නේ එන්නේ
තව පැය එකහමාරක් විතර යයි..
අනේ අනේ කොමලේ..
හිටපන්කෝ මං එනකන් ගෙදර.. (මනමාල හිනාව)
ඔව් බං. උපුලට ඇප වුනා. ඒකයි හවස් උනේ. නැත්තන් මං එලියට ආවේ එකට විතර..
එහෙම කියන්න එපා. කලින් සැරේ මම ඇතුලට නොයා බේරුනේ ඌ හින්දනේ
කෝ පුතා..
ආ චුටි පුතු...
තාත්තා එනවා අද හොඳේ..
මොනාද ඕනේ පුතාට..
ඇපල් මිදී ගත්තා.. කාර් එකකුත් ගත්තා..තව මොනාද ඕනේ
ආ දොඩන් තිබ්බොත් ගේන්නං හොඳේ
අම්මිට කරදර කරන්නැතුව ඉන්න ඕනේ හරිද..
හරි හරි තාත්ති ඉක්මනට එනවා
කෝ අම්මියට දෙන්න..
එහෙනං මං තියන්නං හොඳේ.. පරිස්සමට ඉන්න මං එනකන්
බුදුසරණයි..


හෙලෝ..
ඔෆිස් එකේ වැඩ තිබ්බ..කෝච්චිය මිස් උනා හලෝ..
ඔව් ඔව් ඉන්ටර්සිටියක ඉන්නේ. නොර්මල් බස් තිබුනේ නෑ..
ඔය කොහෙද ඉන්නේ..
ඇයි තාම ඔතන ඉන්නේ..
වෙන කව්ද ඉන්නේ..
මම කියල තියනවා නේද සමරය ඉන්නවා නං ටැග් ගැහෙන්නේ නැතුව යන්න කියල ඈ..
අනේ අනේ.. යනවා යන්න මාව තම්බන්නේ නැතුව
මං කීපාරක් කියල තියෙනවද.. තමුසේ පයිසෙකට ගණන් ගන්නේ නෑනේ
යනවා හලෝ යන්න. මං එන්නේ නෑ ගෙදර අද අම්මලාගේ ගෙදර යනවා..
නෑ නෑ. මං එනකන් බලන් ඉන්න ඕනේ නෑ. තමුසේ යනවා
එන්නේ නෑ හලෝ. තමුසේ ඕනේ මගුලක් කරගන්නවා. ඉන්නවකෝ මං කරන්න වැඩේ.
(2 වන ඇමතුම)
හෙලෝ..
හෙලෝ පුතු.. තාත්ති කතා කරන්නේ
අම්මි ආවේ නෑ..
අම්මි නෝටි. මං අම්මිට දෙන්නන්කෝ පරක්කු උනාට
පුතුට මොනාද ඕනේ..
පාන් ගෙඩියක්..?
හරි හරි තාත්ති එද්දී පාන් ගෙඩියක් අරන් එන්නන් කෝ..
තියන්නං.. පරිස්සමට ඉන්න




Friday, April 24, 2015

ඉන්දුමතී

මං වැඩපොලක අත් උදව්වට යද්දී මගේ වයස අවුරුදු අටයි. සුදු ගවුම කහට පාට උනත් ඒක ඇඳගෙන ඉස්කෝලේ යන්න මම ආස උනත් , අපේ ගෙදර මට බාල නංගිලා දෙන්නෙකුයි , මල්ලිලා දෙන්නෙකුයි ඉද්දි මං එහෙම ගසල බසල දාල ඉස්කෝලේ ගිහින් හරියනවද? වැඩ කරලා ආව මහන්සියි කියල ආයේ බුදියාගන්න පුලුවන්ද?
නංගිලා ට මට ඔන්න ඔහේ තියෙන දෙයක් කාලා ඉන්න පුළුවන් උනාට මල්ලිලා දෙන්නටයි, අප්පටයි මොනවා හරි හදන්න එපැයි. බිලා ආව කියල, ගෙදරට සල්ලි දුන්නේ නෑ කියල , බත් පිඟාන පොලේ ගැහුවා කියල අප්පව අහක දාන්න පුලුවන්ද?
තන්ගමනිගේ කරේ අලුතින් හදපු රත්තරන් චේන් පොට දැකල මගේ ඇස් ගිනිකන වැටෙන කොට මට අවුරුදු දාහතක් විතර වෙන්න ඇති. රත්තරන් චේන් පොටක් හදාගන්න කියල හිතාගෙන මාත් මාසයක් ගානේ සල්ලි කීය කීය හරි එකතු කරන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි.
ලොකු කෙල්ලේ.. ලොකු මල්ලි පෝන් එකක් ගන්න ඕනේ කියල කරදර කරනවා. ඔන්න ඔහේ උඹ එකතු කරපු සල්ලි ටික දීල දාහන්.. ආයේ උඹට එකතු කරගන්න බැරියැයි. කොල්ල පව්නේ..
ජිවිතේ පලවෙනි පාරට මම සල්ලි දෙන්න අදි මදි කරනකොට අම්ම කුල කියවන්න පටන් ගත්තේ ගමටම ඇහෙන්නයි. දවස් ගානක් ඉවසල බැරිම තැන මං එකතු කර ගත්ත රුපියල් අටදහ එහෙම පිටින්ම අම්මට දීල දැම්ම.
ලොකු නංගි මාස හතරක් තිස්සේ ගල් කඩල අලුත් කරාඹු දෙකක් ගන්න එකතු කරපු සල්ලිත් දාල මල්ලි ගත්තු පෝන් එක, මාසයක් යන්න කලින් යාළුවොත් එක්ක ඔට්ටු තියල පැරදුනේ වෙලාවෙවත් මල්ලිට බැන්නේ නැති අම්මා ලොකු නංගි, දෙවැනි නංගිට අලුත් ගවුමක් අරන් දුන්න වෙලාවේ බැන අඬගැහුවේ හරියට මුළු ගෙදරටම මාසයක් කන්න තියෙන සල්ලි වියදම් කරපු ගානටයි
කඩේට යන එනකොට හීනියට හිනාවුණු යෝගා එක්ක කාටත් හොරෙන් පැල් ගැහෙන්න ජිවිතේ පලවෙනි වතාවට මම මුරණ්ඩු උනා. අම්මල සාප කළා , පලි ගැහුවා මාසයක් දෙකක් යනකොට අයෙත් කතා කළා
කුමාර වේසෙන් හිටපු යෝගා රාස්ස වේසෙට එනකොට මට ලොකු එකා හම්බෙන්න ඉන්නවා. ගෙවල් වලට කඹුරලා කඹුරලා අන්තිමට හැම බැනුමක්ම අහන්න වෙන අපේ ලයිමේ හුඟක් කෙල්ලෝ තම තමුන්ගේ නිදහස හොයාගෙන කොළඹ ගියත්, මට උනේ ළමයෙකුත් බඩේ තියාගෙන ගිනි ගහන අව්වේ දළු කඩන්නයි
දවසම මහන්සිවෙලා ඇවිත් මට උනේ යෝගගෙන් නිල් වෙනකන් ගුටි කන්නයි. එහෙමයි කියල අයෙත් අම්මල ගාවට ගියත් දවස දෙක යනකොට අම්ම, නැත්තන් මල්ලි කෙනෙක් කුල කියවන්න ගනිද්දී මම එහෙන් එන්නේ ගුටි කාලා මලත් අයෙත් නං ගෙදර යන්නේ නෑ කියලයි
'දුවේ අරූ එක්ක ඉන්න බැයි නං මෙහෙට වෙයන්' කියන්න හරි හිටියේ තාත්ත විතරයි

පොඩි පුතාට අවුරුදු දෙකක් වුනු අවුරුද්දේ යෝගලගේ නංගිලා මාත් එක්ක අපේ ගෙදර එන්න ජෝඩු උනා. උන් ටික අපේ මල්ලිලට අඟර දාපු විදියට අම්මටයි අපේ නන්ගිලටයි ඇල්ලුවේ නෑ. කොහොම හරි උන් ගෙදර ගියේ අපි හැමෝම එක්ක ගිනි මර රණ්ඩුවක් වෙලයි..

'දැන් අපහු ගියොත් නං යෝග මාව මරයි..' එහෙමයි කියල මාවයි මගේ ළමයි දෙන්නවයි බාර ගන්න කවුරුත් ඉන්නවයි කියලද

"තෝ පට්ට *** .. ආවද? තොගේ ** ගෙදර එවුන් මගේ එවුන්ට බැන්නේ මොන හයියකින්ද *****?

මං අන්තිමට දැක්කේ යෝගගේ අතේ තිබුණු ඇඳ පොල්ල මං දිහාවට පාත් වෙන හැටි තමයි.. එතනින් එහාට ...

දැනුත් මට හිතක් හිතුනොත් අපේ ගෙවල් පැත්තට පාවෙලා ගිහින් බලන් ඉන්නවා.. මගේ ළමයි දිහා.. අම්මල දිහා..
මේ අවුරුද්දෙ අපේ ගෙදර අය යෝගගේ ගෙදර ගිහින් කාලා බිල ආවයි කියලවත් මං කාත් එක්කවත් තරහ නෑ. මං ගෙනාපු ආයුෂ ඉවර උනයි කියල අපේ ගෙදර අය, යෝග මක් කරන්නද.....

**ඇසු කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි

කරුණාකර ඔබේ මවට, නැගෙනියට, සහෝදරියට, බිරිඳට, යෙහෙළියට, මග හමුවන කාන්තාවට ගරු කරන්න. වටිනාකමක් දෙන්න.
පිරිමියෙක් වූ පලියට වැඩි සැලකිල්ලක් ලැබීමට ඔබට සුදුසු නැත. එය ඔබේ මවට , පියාට තේරුම් කර දෙන්න
පිරිමි දරුවා සහ ගැහැණු දරුවා සමාන බව ඔබේ බිරිඳට තේරුම් කරන්න
විරුද්ද වෙන්න- මානසික හෝ ශාරීරික කාන්තා හිංසනයට
දැන හදුනන නූගත් මාපියන් වේනම් දැනුවත් කරන්න. පෙළීමට ලක් වුනු එක ගැහැණු දරුවෙකුට හෝ යහපතක් කරන්නට උත්සහ කරන්න
ලොව එලිය වන්නේ කාන්තාවන් නිසාය, ඔවුන්ව රැක ගන්න. ගරු කරන්න


Wednesday, April 22, 2015

රොටියාගේ කසාදයෙන් පසු විපරම

පාර්ලිමේන්තුවේ රැය පහන් කල උත්තම පිරිස නිසා බුකිය අද ගන්නම ගන්න දෙයක් නැත. ඉහින් කනින් පොරවාගත් නාමල් බේබිගේ පොටෝව සිය සැරයකට වඩා දුටිමි. ඉඳගෙන , හිටගෙන නිදාගෙන ඉන්නා එක එක මහතුන්ගේ විවිදාකාරයේ පෝසස්ය.
දැන් රොටියාට ඕවා ගැන කැක්කුමක් නැත. කැක්කුමක් තිබුනද රොටියාට කරන්නට පුළුවන් ඉටිගෙඩියක්ද නැත්තේය.හේතුව රොටියා නිලට බර නමුත් ගෑණු ළමයා කොලේ කොළ වීමය. දැන් මෙය කියවන , නොබැඳපු උත්තමයන් රොටියාට යටි හිතෙන් හිනාවන බව රොටියා ඉස් ඉස්තිරෙටම දන්නවාය

"හයියෝ උඹ ඔහොම ගෑනිට බයයිද බන්..."||" ලැජ්ජයි!! || "උඹ පිරිමි සංහතියට නින්දාවක්.."

ඔන්න ඔහොම හිතන පතන එව්වන්ට මයිත්‍රී කරනවා හැර රොටියාට කරන්නට වෙන දෙයක් නැත. සිහි නුවණැත්තෝ මෙය කසාදයෙන් පසු තේරුම් ගන්නාහුය..

ඒ කියන්නේ මෙන්න මෙහෙමය. ගෑණු ළමයින් සමග වාදයට යනවාට වඩා කටපියාගෙන ඉන්නා එක දාහෙන් සම්පතක්ය. වාදයට යන්න හිතෙන්නේ වාද කරන්නට කරුණක් ඇත්නම්ය. ඉතින් වාදයට කරුණු ඔලුවට ආවොත් හෙම , කුමන මොහොතක හෝ ඒවා කටින් පිට වීමට ඉඩ ඇත්තේය

උදාහරණ ලෙස පසුගිය දිනක මහබැංකුවේ සිද්දිය සම්බන්දව ලිපියක් කියවූ රොටියා ඒ පිළිබඳව ගෑණු ළමයා දැනුවත් කරන්නට ගොස් නා ගත්තේය. ගෑණු ළමයි සමග තර්ක කරන්නට යෑම යනු පිරිමි අපේ මොලේ කොලොප්පන් වන විලම්බීත වැඩකි

ගෑණු තර්ක වෙලාවකට පට්ට බොළඳය. ඒවා මෙහෙමය කියන්න අමාරුය. ඔවුන් බොහෝවිට සිය මතයේ මුරණ්ඩු කමට එල්ලීගෙන සිටින්නේ පිරිමි අප දහසකුත් එකක් හේතු පෙන්වා දීමෙනුත් පසුය. උදාහරණයක් පහතය

රොටියා - අද පිටකොටුවේ පාර අයිනේ කුණු තිබුණා. ඉස්සර නං එහෙම නෑ
ගෑණු ළමයා - වෙන්න බෑ.. මම කවදාවත් දැකල නෑනේ
රොටියා - අද තිබ්බ
ගෑණු ළමයා - ඒව ඔයාට විතරක් පේන කුණු. එහෙම නං මම සිකුරාදත් දකින්න එපැයි. ඔය තිබ්බේ අපුරුවට
රොටියා- මං කියන්නේ අද තිබ්බ
ගෑණු ළමයා- විකාර. ඕගොල්ලෝ වගේ අයත් එක්ක තමයි මේ රට හදන්න බැරි. ඔයාට දැන් උඩ පැන පැන පෙට්ට්‍රල් ගහන්න හොඳයි
රොටියා- මං කියන්නේ පෙට්ට්‍රල් අඩු කරපු එක හොඳයි. ඒත් අද පාර අයිනේ කුණු තිබ්බ
ගෑණු ළමයා- දුපත් මානසිකත්වය. ඕගොල්ලෝ හැම දේම දිහා බලන්නේ දැන් වැරදි විදියට . පාර අයිනේ කොළ කෑල්ලක් තිබ්බත් ඒක පෙන්නේ කුණු කන්දක් විදියට. මට ලැජ්ජයි ඔයා ගැන.. පොඩ්ඩක් ඔයිට වඩා වටේ පිටේ වෙන දේවල් ගැන බලන්න
රොටියා- කොළ කෑල්ලක් නෙවෙයි අනේ ලොකු කුණු ගොඩක්
ගෑණු ළමයා- අනේ යන්න අනේ යන්න. ඔයා හැදෙන්නේ නෑ. මං තරහයි. කතා කරන්න එපා මං එක්ක
(බදින්න කලින් නම් මෙවැන්නක් අවසානයේ ඇය මෙලෙසද කියයි "මං තියනවා ෆෝන් එක . ඔන්න ගන්න එහෙම එපා මට. බායි")

ඉතින් කවර කතාද.. අනෙක් ගෑණු ළමයින් ගැන නම් දන්නේ නැත. ඒත් රොටියාගේ ගෑණු ළමයා නම් තර්ක ශාත්රය කියා දෙයක් දන්නෙම නැත්තේය

අනෙක් අතට කසාදයෙන් පසු ඔබට රටේ නැති ඕපාදුප මහා රාශියකට ඇහුම්කන් දීමට සිදුවනු ඇත. ඒවායින් ඔබට තුට්ටුවකට පලක් ප්‍රයෝජනයක් තනි බව ඇයට කියා පලක් නැත්තේය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට ඒ සම්ප්‍රප්පලාපයන්ට හුමිටි තබන්නට සිද්ද වෙනු ඇත. රොටියාගේ ගෑණු ළමයා මෙවැනි සංවාද ආරම්බ කිරීමට ජනප්‍රිය වැකි දෙකක් යොදා ගන්නවාය

1. මේ.. ඔයා දන්නවද වැඩක්!!
2. මේ .. අද මාර වැඩේනේ උනේ..!!

ගෑණු ළමයෙක් ඔන්න ඔයාකාරව පවසමින් හරි බරි ගැසුනොත් හෙම, ඔන්න ඔබට පැයකට හමාරකට කාලය මරන්න සිද්ද වෙන පොටක් පෑදීගෙන එන්නේය. ඒ කතාව අතර මැද ඔබ උපක්‍රමශිලිව මාතෘකාව මාරු කලත්, කතාව බාගෙට නවත්තන්නේ ගෑණු ළමයි හෙම නොවේ. සමහර විට ඊට දින කිහිපයට පසුව හරි " මේ .. එදා මං ඔයාට කිය කිය හිටපු එක ඉවර කරන්න බැරි උනානේ.." කියමින් ඔවුහු මුල් කතාවටම එන්ටර් වෙති.

පිරිමි අප වාක්‍ය දෙකකින් පවසන සිද්දියක් විස්තර කිරීමට ගෑණු ළමෝ පරිච්චේද ගණනාවක් වැය කරති. ඒ කියන්නේ මෙන්න මෙහෙමය

පිරිමි- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. එයාගේ අතක පොඩි ටියුමර් එකක් අද ඔපරේට් කරා

ගැහැනු- ඔයා දන්නවා නේද අපේ ඔෆිස් එකේ සිරියලතා. (ඔබ දන්නවා හෝ නොදන්නවා වුවත්). අර අනේ නිමල් එක්ක අෆෙයාර් එකක් තිබුනේ. ඇයි අනේ නිමල් නිමල්. මාලතිගේ හස්බන්ඩ්.......
(ඊළඟට මාලති හා නිමල් ගැන සුළු විස්තරයකි. ඔවුන් දෙදෙනා කසාද බැන්ද ආකාරය ගැන දීර්ග විස්තරයකි)
සැරයක් ඕක මාලතිගේ අතට අහුවෙන්නම ගියා ඔයා දන්නවද . හි හි හි (අහුවෙන්න ගිය ආකාරය ගැන විස්තරයකි)
එයාගේ නැන්ද කෙනෙකුත් ගිය අවුරුද්දේ නැතිවුනේ. ඇයි අනේ අපි මල ගෙදරත් ගියේ( ඒ ගැනත් සුළු අතීත අවර්ජනයකි)
ඒ නැන්දගේත් ටියුමර් එකක් තිබ්බලුනේ මුලින්ම එකනේ පස්සේ කැන්සර් එකකට ඇවිත් තියෙන්නේ. ( සමහර විට ඈ මෙතැනදී ටියුමර් හා කැන්සර් ගැන ඔබට විස්තර කරනවා ඇත)
ඒ වගේම ටියුමර් එකක් සිරියලතාගේ අතෙත් ඇවිත් නේ.(ජාන වලින් රෝග වැළඳෙන ආකාරය ගැන හැදින්වීමක්)
අද ඔපරේට් කරලා (සැත්කම කල තැන, එහි ගාස්තු, කාර්යාලිය රක්ෂණයෙන් ලැබෙන මුදල, මේ දිනවල සිරියලතාගේ හස්බන්ඩ් කන්නේ කොහෙන්ද, එයාගේ ළමයි බලා ගන්නේ කව්ද ඇතුළු සියලුම දේ)

ඕවා ඔන්න ඔහොමය. ලියනවානම් හෙට එලිවෙනකන් වුනත් ගෑණු ළමයින්ගේ වැඩ කිඩ ලියන්නට හැකි මුත්, වෙනත් වැඩද කල යුතු නිසා ලිපිය මෙතකින් නිමා වෙනවාය.

ප.ලි: මොනවා උනත් කනට පුරුදු වූ විට ඒ කියවිල්ලේද පොඩි ආතල් එකක් ඇත. හරියට අර මි වදයක් අසලට ගොස් එහි නාදය අසා ඉන්නවා වගේ.. කුඹලෙක් ගෙයක් හදනවා වගේ... (හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ගුම්ම්ම්ම්ම්ම්ම්ම්.... රුම්ම්ම්ම්)





Tuesday, March 31, 2015

අපි මැරෙන මිනිස්සු බං- එතකන් නේ මේ ඔක්කොම


මට ජාතිවාදියෝ පෙන්නන්න බෑ..
මට ආගම්වාදියෝ පෙන්නන්න බෑ
මහපොළවේ උඹත් ඉන්න ඕනේ .. මාත් ඉන්න ඕනේ..
උඹ හිටියයි කියල මට නැතිවෙන රෙද්දක් නෑ
මං මලා කියල උඹට හම්බෙන කෙන්ගෙඩියකුත් නෑ
උඹට ඉන්න ඕනේ නං ඉඳපන්, බැයි නං පලයන්
මටත් යන්න ඕනේ උනොත් මාත් යනවා
හැබැයි ඒ උඹට ඕනේ නිසා නෙවෙයි..
අපි මැරෙනවා බං..
කවද හරි දවසක උඹෙත් හුස්ම ටික යයි , මගේ හුස්ම ටිකත් යයි
උඹ යන දිව්‍යලෝකෙයි මම යන දිව්‍ය ලෝකෙයි එකමද කියල නං මං දන්නෑ බං
ඒත් අපාය නං එකක් වෙන්න ඇති
එහෙමයි කියල මැරිලා නැගිටලා ආපු එකෙකුත් නෑනේ බන් අහගන්න
එහේ විස්තර...

Sunday, March 1, 2015

ලඟදි බඳින ඔබට රොටියාගෙන් උපදෙස්

පහුගිය දිනවල රොටියාගේ ගෑණු ළමයා කරලියට නොපැමිණියේ මන්දැයි බොහෝ දෙනෙකුට ගැටළුවක් වූ බව රොටියාට පැහැදිලි වූයේ ප්‍රතිචාර වලිනි. හේතුව මේ දිනවල ගෑණු ළමයාට කුස්සියෙන් එලියට ඒමට කාලවේලාවක් නැතිවීමය. කසාදයට පෙර විවිදාකාර අරුමෝසම් කෑම බිම මිසෙක හරි හමන් විදියකට බතක් පරිප්පුවක් උයා නැති ඈට, බොහෝ විටක පලවෙනි බත් මුට්ටිය ඉවත දමා දෙවැන්න ඉවිමටද , රෝස් වී කරකුට්ටන් වූ මාළුපිණි ප්‍රතිසංස්කරණය කිරීමටද ගිය කල්හි , දවසින් වැඩි කොටස කුස්සියේ රැඳී ඉන්නට සිදුවීම ස්වාබවිකය

ඈ කුස්සියේ ඉන්නේ යකා වගේය. කෑම පදම වැරදී ගොස් ඩෙඟා නටන ස්ත්‍රී රත්නයකට උදව් කිරීමේ ආදීනව රොටියාට වැටහෙන්නේ දැන් දැන්ය. ඒ නිසා හොඳම දේ , කන් දෙකහි දමා ගත් ඉයර් ෆෝනයෙන් යුතුව පැත්තකට වී සිටීමයි. එවිටද ඔබ අන්තරායෙන් සම්පුර්ණයෙන්ම මිදී ඇතැයි රොටියා කියන්නේ නැත. බොහෝ විට ඔබව සොයා පැමිණ කොක්කට සෙට් වීමට ඉඩ ඇත. ආරක්ෂක විදි අනුගමනය කරොත් ඔබට මදක් ආවරණය විය හැක්කේය

කසාදයක් පටලවා ගත් ඔබට බොහෝ විට පළමුවෙන්ම අසන්න ලැබෙන ලතෝනිය නම් ඔබ ළඟින් මහා හඩු ගඳක් හමන බවයි.කසාදයෙන් සිව්වැනි දවසේ මියෙකු මෙන් නිවාස පුරා ඉව කරගෙන ගිය රොටියාගේ ගෑණු ළමයා, කුණු ගඳක් හමන්නේ රොටියාගේ ඩෙනිමෙන් බව සොයා ගැනීමට යෙදුනු අතර, එයින් පසු ඩෙනිමට හා රොටියාට ටිකට් එක ඇදුණාය

වෙනදා දෙතුන් වරක් අව්වේ වේලෙමින් නොසෝදා අඳින පළදින ඇඳුම් කැඩුම් , දැන් වරක් හැඳ හමාර කල විගස රෙදි කුඩයටද, එතනින් රෙදි වැලටද යන්නේ රොටියාගේ විරෝදය තුට්ටුවකට මායිම් නොකරය.අල්මාරියකුත් තව බාගයක් රෙදි පුරවාගෙන ඉන්නා ගෑණු ළමයාට නම් මේ ක්‍රමය ගැලපෙන නමුත් මේ නිසා අසරණ රොටියාට එහෙමපිටින්ම අලුතෙන්ම කමිස තුනක් සහ කලිසමක් මිලදී ගැනීමට හේතු උනාය. බයානකම දේ යට කලිසම්ය...

ලඟදි බැන්ද රොටියාගේ මිතුරෙක් දිනක් සිය ප්‍රිය බිරින්දෑගේ යට ඇඳුමක් ඇඳ වැඩට යන්නට යෙදුනු බව කිවේ ඌමය.රොටියාගෙන් හතරෙන් එකක් පමණ වන ගෑණු ළමයාගෙන් ගොඩ යාම රොටියාට සිහිනයක්ම වන නිසා කසාදයට පෙර හතරක්ව තිබූ රොටියාගේ යට ඇඳුම් ගණන මේ වන විට පහලවක් බවට වැඩිවී ඇත

ගෑණු ළමුන් බොහෝ විට පිරිමින් වූ අප ඌරන් මෙන් අපිරිසිදු යයි බිතිකාවකින් පෙලේ. ඒ නිසා ඔබේ ගෑණු ළමයා ඔබව ජීවානුහරණය කිරිමට අවැසි ලට්ට ලොට්ට පොදි බැඳගෙන නාන කාමරයේ ගොඩ ගසනවා ඇත. රොටියාගේ ගෑණු ළමයා නම් මින්ද නොනැවතී රොටියා ඇඟ සේදීමට ගතවන කාලය සහ සේදීමේදී ඇතිවන ශබ්දයන්ද ගණන් තබාගෙන සිටිනවාය

ගෑණු ළමයා: රොටියා. ඔයා ඔය නියපොතු මදින්නේ පෆ් එකෙන් නේද.. බ්‍රෂ් එකෙන් මදින්න . බ්‍රෂ් එකෙන් මදින්න

ගෑණු ළමයා : රොටියා ඔයා රෑට තේ බිල කට හේදුවේ නෑ නේද..

ගෑණු ළමයා: ඊයායා.. ඔයා ඊයේ ඇන්ඳ කොට කලිසම අදත් ඇඳලා.

ගෑණු ළමයා: ඔයා ගාව තාම ගඳයි. ආපහු සැරයක් ඇඟ සෝදන්න..

ඕවා ඔහොමය. ඕවාට පිළිතුරු දෙන්නවත්, අනෙක් අතට ගෑණු ළමුන් කරන මෝල් වැඩ ගැන ප්‍රශ්න කරන්නවත් ගියහොත් නම් බඩු හම්බවෙනු ඇත. හොඳම දේ කට වහගෙන පැත්තකට වී සිටීමයි..

-මතු සම්බන්දයි-


Wednesday, February 18, 2015

බස් හා හුඹස්

පහුගිය දිනෙක ඇස ගැටුණු පුවතක දැක්වූයේ හැටන් - මහනුවර බසයක දොර අසල සිටගෙන ගමන් කල ගැබිණි කාන්තාවක්, රථය වංගුවක් ගන්නවාත් සමගම බසයෙන් එලියට විසිවී ගොස් ඇති බවයි. ඇය තවම දැඩි සත්කාර ඒකකයේය. ඇයට ඉක්මන් සුවත් සිගිත්තාට නිරෝගී සුවත් මුලින්ම පතන්නෙමි

බොරැල්ලේ පිහිටි ආයතනයක සේවය කරන, හලාවත පදිංචිව සිටින, දිනපතා නිවසේ සිට පැමිණෙන , ගමනා ගමනය සඳහා පොදු ප්‍රවාහන සේවය යොදා ගන්නා අයෙකුට, නිවසට යාමේදී ගමන් කල හැකි ආකාරයන් කිහිපයක් ඇත

1. මරදානට ගොස් දුම්රියෙන් - අසුනක් නැත
2. කොටුවට ගොස් දුම්රියෙන් - සමහර විට අසුනක් ඇත
3. පෑලියගොඩට ගොස් බසයෙන් - අසුනක් නැත
4. කොටුවට ගොස් සුපෝඛබෝගී බසයේ - අසුනක් ඇත
5. කොටුවට ගොස් සාමන්‍ය සේවා බසයෙන් - අසුනක් ඇත

ඔක්කොම පැත්තකින් තබා මින් 5 වැනි විදිය තෝරා ගන්නේ ආතල් එකට නොවේ. කොටුවට ගොස් සාමාන්‍ය ගමන් සේවා බසයකට නගින මගියෙකු බොහෝ විට අරමුණු කරන්නේ මුදල් අඩුවෙන් ගෙවා , ගමනාන්තය කෙසේ වෙතත් ගමනෙන් හතරෙන් තුනක් වත් ඉඳගෙන යාමයි. අසුන් සියල්ලම පිරි ඇති දුර ගමන් බසයකට , පංචිකාවත්ත හරියෙන් ගැබිණි මාතාවක් හෙම නැග්ගොත් අර අසුනේ ඉන්නා එකාට දෙයියන්ගේම පිහිටය. හාමුදුරු නමක් නැග්ගත් ඒ සන්තෑසියමය

දුර ගමනක් යන විශේෂ අවශ්‍යතා ඇත්තෝ - ඒ කියන්නේ ගැබිණි මව්වරු , පුජක තුමන්ලා පොඩ්ඩක් කල්පනා කොට , අදාළ බසය ගමන ආරම්බ කරන තැනටම ගොස් නැග්ගොත් කවුරුවත් අපහසුතාවයට පත්වෙන්නේ නැත්තේය. හැම අවස්ථාවකම මෙය ප්‍රායෝගික නැත. නමුත් හැකි සෑම විටකදීම වත්...

ගැබිණි මව්වරු හෝ කුඩා ළමුන් වඩාගෙන ඉන්නා මව්වරුන් නම් බොහෝමයක් හිතාගෙන ඉන්නේ තමුන්ට අසුනක් ලබා දීම විය යුත්තක්ම ලෙසටය. සැබෑවකි. එය විය යුත්තක්මය. නමුත් අසුන් දුන් එකාට පොඩි හෝ ඉස්තුතියක් ඇත්නම් , බසින විට නැවත දුන් තැනැත්තාටම අසුන ලබා දී යනවා නම් කොච්චර සුන්දරද..

මුල් පුවත ගැන සැලකුවොත් අදාළ මව සිට ඇත්තේ පාපුවරුවේය. පාපුවරුවේ ඉන්නා කාන්තාවක් ගැබිනියක්ද නැත්දැයි වාඩි වී සිටිනා මගීන්ට පෙනෙන්නේ නැත. වරද ඇත්තේ කොන්දොස්තර අතය.

ඒත් කොන්දොස්තරද බලෙන් මගින් නංවා ගන්නේ නැත. තමාගේ තත්වය දන්නේ තමන්මය. සුදුසුම දෙය නම් කෙටි ගමන් බසයකින් අදාළ තැනටම යෑම හෝ කෙටි ගමන් බසයන් කිහිපයක් මගින් අදාළ තැනට යාමයි. ගතවෙන කාලය වැඩිය. ඒත් කරන්නට දෙයක් නැත.

කිටිටියේ තෙරපෙන බසයක සෙනග නුදුටුවා සේ නගින්නේ නැතිව, ඒ මවට තව ටිකක් කල්පනා කරන්නට තිබිණි

කිසිසේත්ම මෙතනට අදාළ නැත. නොකිව්වොත් කට කහන නිසා මෙසේද ලියමි

*ජිවිත කාලය පුරාම අරක්කු වලින් යැපුණු බේබද්දෙකු අසනීප වූ විට වෙනකෙකුද අගතියට දැමීමට සුදානම් වෙමින් පරිත්යාගියෙකුගේ ශරීරාංග යදින විට, එය නො දුන්නේයැයි යයි කියමින් කාටවත් දොස් නැගීම සාදාරන නැත. පින්වත් අයෙකු එය ලබා දුන්නොත් ඔහුව අගය කල යුත්තේය.

**බැරි වන විට, "අපි පුළුවන් කාලේ සල්ලි ගොඩ ගහගත්තේ නෑ. හම්බ කළේ මිනිස්සු.. ඒකයි අපට තාම ගෙයක්වත් නැත්තේ.." යයි පැවසීම උදම් ඇනීමක් හෙම නොවේ. එවැනි අයට උදව් කිරීමට අනෙක් මිනිස්සු බැඳී නැත්තේය. "ඉස්සර මං උදව් කරපු අය දැන් මං දිහා බලන්නේවත් නෑ.." කීමෙන් පෙනෙන්නේ කියන තැනැත්තා අමු මෝඩයෙක් බවයි

රොටියාට හිතෙන්නේ නම් ඔහොමය. උදව් කිරීමට කැමැත්තෝ අනෙක් අයට උදව් කරති. එසේ නොවුනේයැයි කියා කාටවත් නගන්නට බැරිය. අප ගැන අප විසින්ම බලා ගත යුත්තෝය


Thursday, February 12, 2015

අපිත් ත්‍රීවිල් වර්ජනය කරමු ! (ද?)

ලිපියට මාතෘකාව සැපයුවේ උදේ කනවැටුණු සිංහ එෆ් එම් හි විකාශය වුනු වැඩසටහනක් ය

රොටියා ද දිනපතා , උදේ හවස ඔෆිස් යන එන වැඩ කරන ජනතාවගෙන් එකෙකි

මේ රටේ වැඩකරන ජනතාවට , බොහෝ විට අමාරුව ඇත්තේ වැඩ සම්බන්දව නොව ප්‍රවාහනය සම්බන්දවය. උදේ අටහමාරට , නවයට සැනසිල්ලේ සේවයට වාර්තා කරන , හතර වන විට ඔපිසියෙන් පැනවිත් දුම්රිය, සී ටි බි බස් අරක් අරගෙන, අනෙක් එව්වන්ට ඒ පහසුකම් බාවිතා කිරීම එපා කරවන රාජ්‍ය සේවයේ බහුතරය ගැන නොව (බහුතරය යන්න යටින් ඉරක් ගසාගෙන කියවන්න) රොටියා මේ කතා කරන්නේ ඇත්තටම වැඩ කරන ජනතාව ගැනය.

කාර්යාලයට යාමට රජයේ ප්‍රවාහන සේවා බාවිතා කරන්න හැකි නම් මල් හතය. ඒවා කොටන්නේත් නැත. ලතවන්නෙත් නැත. වියදමද පහසුය. ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්වා සේ තියෙන එකෝම එක පරහ අර ජාතියේ එව්වන්ය. උන් හතර වදිද්දී පැනගෙන විත් ආසන බදු ගනිති. දුම්රිය නම් ගමන් වාරයට පෙර ඉස්ටේසමේ නවතා ඇති විට. ගමන් වාරය ඇරඹුණු පසු ලඟපාත හිස්ව ඇති අසුන් අත පය බෑග් ලේන්සු (පුළුවන් නම් මේ සඳහා උන් අහවල් ඒකත් පාවිච්චි කරනවා ඇත) වලින් වසාගෙන දන්නා උදවියව ඒවායේ වාඩි කරවා ගැනීමට වලි කති..

දුම්රියේ ගමන ගැන කියන්නට ගියහොත් එය වෙනමම පොස්ටුවක් වන නිසා දැන් රොටියා මාතෘකාගත වෙනවාය.කතා කරමින් උන්නේ ගමනාගමය ගැනය..

බස්රියේ ගොස් ඇතිවුණු එකා ඊ ලඟට දුම්රියට පැන එහිවත් යන්න පුලුවනිදැයි විමසා බලයි. දුම්රියේ ඇති උප සංස්කෘතියට හැඩ ගැසිය හැක්කේ නම්, ජිවිත කාලය තුල දුම්රියේ ගමන ඇත හරින්නේ ඌ හෙම නොවේ. සින්දුවක් කියා, කාඩ් අතක් සෙල්ලම් කර, මොනවා හෝ බඩට දාගෙන..

ඒකත් දිරවා ගත නොහැකි සුළුතරයට ඉතිරිවන්නේ කියක් හෝ වැඩිපුර දීගෙන හෝ කාර්යාල ප්‍රවාහන සේවයකට ගොඩවන්නටය. ඔපීසිය ඉදිරියෙන්ම යන එකක් ලැබුනොත් නියමය. ඒත් බොහෝ විට කාර්යාල ප්‍රවාහන සේවයෙන්ද ගොස් ස්වල්ප දුරක් බසයෙන් යන්නටද සිදුවේ

තුන් සක රිය පිහිටට එන්නේ ඔන්න ඔවැනි වෙලාවටය. ඒ කියන්නේ නියමිත වෙලාවට , නියමිත නැවතුමකට පැමිණෙන කාර්යාල ප්‍රවාහන සේවය හෝ දුම්රිය හෝ (කලාතුරකින්) බස්රථය මගහැරී වල්මත් නොවෙනු පිණිස නුවණැත්තෝ තුන් සක පාවිච්චි කරත්! එහි ආනිසංස මෙසේය

1. පොදු ප්‍රවාහන සේවයට වඩා ඉක්මන් වීම - ඒත් සමහරක් රියදුරෝ යන්න යන්නේම වම් ධාවන තීරුවේ බසයක් පිටුපස කොටමින්මය. උන් හිතන් ඉන්නේ මිනිස්සු මුදල් ගෙවා ත්‍රිරෝද රියෙහි යන්නේ වාඩි වී හුලන් වැදී වැදී ආතල් ගැනීමට කියාය. රොටියා නම් පළමු අනතුරු සංඥාව නිකුත් කර , දෙවැනි වතාවේ රථය නවතා ගිය දුරට මුදල් ගෙවා වෙන අතක් බලා ගන්නවාය.

2. වාහන තද බද වලදී රිංගා යා හැකි වීම

3. අතුරු පාරවල් වලින් යත හැකි වීම

4. වැසි වෙලාවට

5. අසනීප වෙලාවට

හොඳය. ඒත් ඔක්කොම නොවේ. සාධාරණ විනීත රියදුරන් අතලොස්සක් සිටියද යට කියන ඒවා ගැන නම් කතා නොකරම බැරිය

2000 CC එන්ජින් දාරිතාවයකින් යුත් රොටියාගේ වාහන ය පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 8 ක් දුවන්නේ හොඳටම කොට කොට ගියොතින් පමණක්ය. බොහෝ විට ලීටරයකට කිලෝමීටර 10ක් දුවයි (කිලෝමීටරයට රුපියල් 14 යි )

1500 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මස්සිනාගේ වාහනය ලීටරයකට කිලෝමීටර 15 -16 අතර ප්‍රමාණයක් දුවයි. නරකම වේලාවකදී නම් 12-14 ත් අතර ප්‍රමාණයක් දුවයි(කිලෝමීටරයට රුපියල් 9 යි )

800 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මිතුරෙක්ගේ වාහනය නිදහස් ගමනකදී නම් ලිටරයට කිලෝමීටර 20 කටත් වඩා දුවනවාලු. නැත්නම් 18 පමණ වැඩ කරනවාලු (කිලෝමීටරයට රුපියල් 6.50 යි )

මේවා ඉලෙක්ට්‍රික් වත් , දෙමුහුන් වත් රථ හෙම නොවේ. සාමාන්‍ය වැසියන් බාවිතා කරන පරණ පෙට්‍රල් වාහන තුනක් පමණි

ඕවා ඔහොම වෙද්දී 200 CC එන්ජින් දාරිතාවයක් ඇති තුන් සක් රාජයා කිලෝ මීටරයකට රුපියල් පනහකට කිට්ටු ගණනක් අය කරනු ලබයි. හතළිහයි යි කිව්වාට ඔක්කොම මීටර එක වගේ නෙවේය. සමහර විටෙක ලැම්බෝගිනි වෙස්වලාගෙන ත්‍රිරෝද රථ ලෙස පෙනී සිටිනවාද කියා කියන්නත් බැරිය. කොහොමෙන් කොහොමහරි දුප්පතාගේ වාහන යයි කියමින් මොවුහු සූරා කන කෑම නම් අපූරුය

ගෙවෙන ටයර, කෑලි බෑලි, දවසේ ලාබය ඔය ඔක්කෝම එකට එක්කාසු කලත් කිලෝමීටරයකට රුපියල් 20- 25 අතර අගයක් නම් සාදාරණයයි කිව හැක. දැන් කරන්නේ බාගෙන කන්න තියෙන වල ඉහගෙන කෑමකැයි රොටියාට හිතෙන්නේ ඒ නිසාය

ත්‍රිරෝද රථ හිමිකරුවන් කෝටිපතියෝ නොවෙත්! අනෙක් අතට එහි ගමන් ගන්නා මගින්ද කෝටිපතියෝ නොවෙති.

අනෙක් ප්‍රධානම කරුණ නම් මෙම රියදුරන්ගේ ඇති අවිනීත රිය ධාවනයයි. ප්‍රධාන නගර වල වාහන තදබද වලට වැඩි දායකත්වයක් සපයන්නේද ඔවුන්ය

කෙටි මං තිබියදී, මගින් මුලා කරමින් දිගු පාරවල දක්කාගෙන යන මීටර් රතයන්ද බහුලය. අවධානයෙන් සිටින්න

අනෙක නම් පොඩි එව්වන් බලු පැටවුන් සේ පටවාගෙන්, උන්ව පාසල් වලට දක්කන ත්‍රිරෝද රථයන්‍ ය. අර ඩිසල් රථවල නම් පිටුපස බක්කියේත් පොඩි එව්වන් රංචු රංචු පටවයි. ඔයින් එකක් වැරදිලාවත් හැප්පුනොත් බඩු හම්බවෙන්නේ ඔයාකාරව අනාරක්ෂිතව ළමුන් පිටත් කර හරින බුරු අම්මල තාත්තලාටය

මොන දේ උනත් වැස්ස වෙලාවට ත්‍රිරෝද රියදුරන් බොහොමයකගේ ගනකම නම් මාරය. අන්ත අසරණ වී ලඟට පැමිණෙන මගීන්ටද 'බැහ්හ්' ගායි

එක්තරා මහා වැසි දිනෙක , අමු අමුවේ තෙමෙමින් ඉක්මන් ගමනින් බොරැල්ලේ ඇවිද යන ගෑණු ළමයෙකු දුටිමි. පාරේ උන් සියල්ලෝම කඩපිල් අස්සේ හුන් නිසා , අත් බෑගයක් එක උරයකද, බර යයි දිස්වුනු ලැප්ටොප් බෑගයක් අනෙක් උරයේද එල්ලාගෙන , කුඩයක්ද රහිතව තෙමි බත් වෙන මේ ගැහැණු ළමයා කැපී පෙනිණි. රොටියා ඈ දෙස බලා හුන් විනාඩි කිහිපය තුල ඇය ත්‍රිරෝද රථ ගණනාවකින්ම විමසනුද, ඔවුහු සියල්ලෝම හිස් සලා ප්‍රතික්ෂේප කරනුද දුටිමි. අවසානයේ ඇය දෙස බලාහුන් තරුණ වයසේ රියදුරෙකු , මහා ගෝට්ටියක් කර සිය රථය හරවාගෙන ඈ හුන් දෙසට පැමිණ ඈව රථයට නංවා ගත් කල රථයේ වාඩි වූ ඇගේ මුහුණේ වූ සැනසිල්ලද, බිය පහවීමද මනාව හැදින්නෙමි

ඉතින් ඔව්වා ඔයාකාරය. අපට කෙතරම් අවැසි උවත්, ඔවුන්ට අවැසි නැති නම් අප යටත් විය යුත්තෝය.

අලුත් ආණ්ඩුවත් සමග මේ හිසරදයක්ව පවතින ට්‍රැෆික් ප්‍රශ්නයට හා ත්‍රිරෝද රථ ප්‍රශ්නයට විසඳුමක් ලැබුනොත් නම් ජාතිය. රටේ වැඩ කරන ජනතාව උදේ හවස විඳින දුකත්, වැඩ නොකරන එව්වන් වැඩ කරන උන්ටත් පුප්පන් රථ පිරිවරාගෙන යන හැටියත් දුටු විට බිම පෙරලීගෙන අඬන්න හිතෙන්නේය. එහෙව් ජනතාව ත්‍රිරෝද රිය පාවිච්චි කරන්නේ ඉක්මනින් සහ පොඩ්ඩක් පහසුවෙන් ගමන් ගන්නට මිස බල්ලන්ට ගහන්න සල්ලි ඇති නිසා නොවේ..

Monday, February 2, 2015

ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....

මීට අවුරුදු කිහිපයකට පෙර වෙස්වලාගෙන රාත්‍රී සංචාරයක යෙදුන ඔබාමා නොහොත් දෙවන බරක් හුසේන් ඔබාමා ණෝ සිය යටත් වැසියා ගෙවන්නේ බොහොම ගතියක් නැති ජිවත බව සොයා ගන්නට යෙදුනාය. ඔවුහු ඔහේ ජිවත්වන්නන් වාලේ ජිවත් වන බවත් , කිසිම සතුටකින් දවසැරින්නේ නැති බවත් අවබෝද වූ එතුමාගේ හිත වෙඬරු පිඩක් මෙන් උනුව ගියාහුය

යටකී කාරණය හේතුවෙන් දවස් ගණනක් නිදි නොලද ඔබාමා පිළිබඳව අවදානයෙන් උන් මිචෙල් ඔබාමා නොහොත් ඔබාමා අගබිසව, එක දවසක රාත්‍රියේ ඔබාමා යට කලිසම හා බාටා දෙක පමණක් පැළඳ ගෙන සිය නිල කාර්යාලයට යන්නට සුදානම් වූ තැනේදී , ඉවසීම හමාර කර ගන්නට යෙදුනාය

මිචෙල් : 'මොකද්ද මනුස්සයෝ මේ මහා රෑ නටන නාඩගම'

ඔබාමා : (බියෙන් හැකිලී) 'මං මේ ඔෆිස් යන්න කියල'

මිචෙල් : (පුපුරමින්)'ජංගිය විතරක් ඇඳන් ඔෆිස් යන්න. තමුන්ගේ එකක් නම් කමක් නෑ. මගේ හොඳම වික්ටෝරියා සික්‍රට් එකක්...මම මේ දවස් ගානක් බලාගෙන හිටියා. ඔහෙට මොකද වෙලා තියෙන්නේ'

ඔබාමා : (ලජ්ජාවෙන් තමුන් ඇදන් ඉන්නා එකම ඇඳුම දෙස බලා) 'ලෝකෙට ලොක්කා කිය කිය හිටියට මැණිකේ මම මේ ලඟදි දැන ගත්තා මගේ රටේ මිනිස්සු ඉන්නේ බොහොම කලකිරීමෙන් කියල. (හඬා වැටෙමින්) 'මුන්ටදෙන්න තියෙන ඔක්කොම දීලත් ඉන්නේ නිකන් ඇට ගිලපු රිලව් වගේ. මේවා දැනගත්තොත් හිනා වෙන්න කී දෙනෙක් ඉන්නවද දෙයියනේ'

මිචෙල් :'ඔහේ ඕක දැනගත්තේ ඊයේ පෙරේදා උනාට මම නං දැනන් හුඟක් කල්'

ඔබාමා :(එහෙම දැනගත්තනන් තොට මට ඕක කියන්න හිතුනේ නැද්ද ගෑනියේ) ' මොකද රත්තන් ඒ..'

මිචෙල් :' ඔහේ ලොරි ටෝක් දිදී ඉන්න වෙලාවේ අන්න ලංකාවේ ලොකුම ත්‍රස්තවාදියාව මරලත් අවුරුදු තුනක් විතර ගිහින්. ඉතින් මෙහෙ මිනිස්සුන්ට මොනවා කියල හිතෙනවා ඇතිද?. ඔහෙට තාම ඔසාමාගේ නැට්ටවත් අල්ල ගන්න බැරි උනානේ..'

ඔබාමා :'අඩේ.. මට ඕක කල්පනාවට ආවෙම නෑනේ'

ඊළඟට මිචේල්ට තොත්තුවක් දී පොඩ්ඩක් හුරතල් කොට, වඩාත් සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණු ඔබාමා වහාම ගියේ සිය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්නටය. එතනින් සීල් හමුදාවට ගිය නියෝගය හමුවේ ඔසාමාට ටිකට් එක හම්බුවුණු අතර මෙතෙක් කල් ගතියක් නැතිව හුන් ඇමෙරිකානුවෝ විදි බැස රතිඥ්ඥා පත්තු කොට කැවුම් කිරිබත් උයා ප්‍රීතිවන විට ඔබාමාද පස්වනක් ප්‍රීතියෙන් ඇලලී ගියාහුය

ඉන් අනතුරුව ඔබාමා විසින් මෙතරම් කල් බුකවාගෙන උන් මහජනයාට පොඩි ලල් එකක් දෙන්නට සිතා, කැඩුණු බිඳුණු පාරවල් පිළිසකර කොට තාර පැලැස්තර අලවා , අලුතෙන්ද පාරවල් හැදු කල් හි ජනතාවද ප්‍රීතියෙන් ඔකදව ගියාහුය. යන යන තැන ඇමෙරිකානුවෝ ඔබාමා ට වැඳ වැටෙන්නට වූහ.

සිය රාජකීය ජනලෝලිත්වය වැඩි කර ගන්නට තව තව මාර්ගයන් සෙවූ ඔබාමාට ආසියාවේ එක් නායකයෙකු විසින් ලබා දුන් අගනා උපදේශයකි

ආසියානු නායකයා: 'උඹ දැන් යන යන තැන පොඩි එකෙක් දැක්කාම වඩා ගනින්. එතකොට ඔය යක්කු උඹට ඕන දෙයක් කරලා දෙනවා' ' ඊළඟට උඹ ස්ටේජ් වලදී මිනිස්සුන්ට පොඩි පොඩි ආතල් දීපන්. ඔය ඇහැට කනට පෙනෙන ලමිස්සියෙක් දාල , කලන්තේ දාල වැටෙනවා වගේ..'

ඔබාමා: (ආසියානු නායකයාව සිප වැළඳ) ' මෙහෙ ඉන්න බුරු සිමාල අස්සේ උබ වගේ එකෙක් හිටියනං අද මාත් මිනිහෙක් තමයි බං '

ආසියානු නායකයා :' උඹට මම වසී යන්තරෙකුත් හදල එවන්නන්කෝ.. ඒක අතේ තියෙද්දී උඹ ලඟට ඕනෑ එකෙක් බඩ ගාගෙන එයි. බඩ ගාගෙන..'

ඔබාමා: 'අඩේ .. ඒක නං මාර මැජික් එකක් නේ බං. හදල දියන්කෝ මටත් එකක්..'

ඔන්න ඔයාකාරව ඔබාමාණෝ දැහැමෙන් සෙමෙන් සිය රාජ්‍ය කරන සමයෙහි, රොටියාටද ඇමෙරිකාවේ පොඩ්ඩක් ඇවිද එන්නට පොටක් පෑදුනාය. රොටියාව ගුවන් තොටුපලේදී පිළිගත්තේ ඇමෙරිකන් මිතුරෙකු වූ අතර ඔහු විසින් අවදිව සිටින සෑම වෙලාවකදීම ඔබාමා ප්‍රශස්ති ගීතයක් උරුවම් බෑමේ යෙදී සිටියේය. ඉවසා බැරිම තැන 'ඔය අටමගලේ වහගනින් යකෞ..' යයි රොටියා තර්ජනය කරන්නට යෙදුනු තැන, හෙතෙම දෑසේ කඳුළු පුරවාගෙන රොටියාට ඔබාමා ද්‍රෝහියා යයි බැන වැදුනේය. එයින් පසු රොටියා ඌට හිතුවක් කරගන්නට ඉඩ දී කට පියාගෙන සිටි අතර , ඌ පමණක් නොව සෑම ඇමෙරිකන් කාරයෙකුම ඔය සින්දුව නිතරම ගායනා කරමින් ඉන්නා බවද සොයා ගන්නට යෙදුනාය

ගුවන් තොටුපල අලංකාර කිරීම සඳහා ඔබාමා විවිද ඉරියව් වලින් පෙනී ඉන්නා දැවැන්ත ප්‍රමාණයේ චායාරුප රැසක් ප්‍රදර්ශනය කර තිබූ අතර ඒවා එක් එකක් පෙන්වමින් විස්තර කරන්නට යෙදුනු රොටියාගේ මිතුරා විසාල කන්දොස්කිරියාවක් විය

එයින් එකක් ළඟ නැවතුනු ඔහු ආඩම්බරයෙන් පපුව පුම්බා , ඊළඟට බඩ දික් කරගත්තේය.
'මචං මේ අපේ ජනාදිපති තුමා වඩාගෙන ඉන්නේ මගේ නංගි ඉස්සරලා බැඳලා හිටපු මිනිහගේ , දෙවෙනි ගෑනිගේ පොඩි එකා.. බලපන් .. සිරියාව..'

එතන විනාඩි පහක පමණ ප්‍රමාදයකින් පසු අවසානයේ රොටියා හා මිතුරා ගුවන්තොටුපලින් පිටවීමේ ගේට්ටුව වෙත ලඟා උනාය.

එතැන සිට මහා වාහන පෝලිමකි..

රොටියා: 'මොකද මචං මේ..'

ඇමෙරිකානු මිතුරා: 'මේ පොඩි ට්‍රැපික් එකක් බං. උඹට කියන්න කොච්චර ට්‍රැෆික් තිබ්බත් දැන් අපේ පාරවල් ටික ටොයිස් ඈ...'

ටොයිස් පාරවල් තිබියදීත් මේ සා තදබදයක් ඇයිදැයි විමසු කල, හෙතෙම නප්පියට තදවී පාරවල් කොහොම තිබ්බත් අවසානයේ ඔක්කොම පාරවල් වල පිටවීම එකක් නිසාත්, පදිකයන් පාර මාරු වන විට ඔවුන්ට ඉඩ දිය යුතු නිසාත්, පොඩ්ඩක් පෝලිමේ හිටියාම ගෙවෙනවා දැයි ඇසීමට යෙදුනාය.

රොටියා: ' ඇයි බන් ඕවා හදද්දිම පාරවල් මාරු වෙන තැන් වලට පාලම් දාල, පාරවල් එකතු වෙන තැන් වලට විකල්ප දාල හැදුව නං ඉවරනේ. අපේ රටේ නං එහෙමයි..'

ඇමෙරිකානු මිතුරා: (මහා හඩින් සිනාසී) ' ඒ උඹලා.. මේ අපි.. අපේ රටේ පාරවල් හදන්නේ පියවරවල් විදියට. එකක් හදනවා. අනික කඩනවා. අනික හදනවා. පලවෙනි එක කඩනවා... පාලම දානවා....බ්ලාහ් බ්ලාහ්'

ඌ කියූ හරුපයට රොටියාගේ මොළය කෙතරම් විකාර උනාදැයි කිවහොත් එතනින් එහාට රොටියා ඌ සමග මහා මාර්ග ගැන වචනයක් වත් කතා කළේ නැත.

ඇමෙරිකානු මිතුරා:' අඩේ උඹ මට මම කියපු පොල් දෙකයි, ගල් දෙකයි ගෙනාව නේද?'

එයිට පිළිතුරු ලෙස රොටියා තමුන්ට ලබා ගත හැකි වුයේ පොල් එකක් හා ගල් එකක් බවත්, එය ලබා ගැනීමටත් සෑහෙන දවසක් බලා ඉන්නට සිදුවූ බවත් ඌට පැහැදිලි කරන්නට යෙදුනාය.(අන්න මං කොත්තමල්ලි කිලෝ පහක් ගෙනාව ඔක්කොටම හරියන්න)

ඇමෙරිකානු මිතුරා: 'මොකද්ද බන් උඹලගේ රට. මෙලෝ රහක් නෑනේ. අපේ නං ඕනෑ වෙලාවක ඕනෑ විදියට බඩු තියනවා. කුඩු නං එහෙමයි. මල් නං එහෙමයි. පෙති නං ඒත් එහෙමයි, බොන්න සූ ගාල... එක නෙමෙයි මොනාද බන් කොට්ටමල්ලි කියන්නේ?'

රොටියා: ' කොට්ටමල්ලි නෙවෙයි යකෝ කොත්තමල්ලි.. කොත්තමල්ලි නැතුව උඹල මොනාද පොඩි උණකට හෙම්බිරිස්සවකට බොන්නේ..?'

ඇමෙරිකානු මිතුරා:' මොනාද ලොක්කා මේ අහන්නේ.. පැනඩෝල්, බ්ලුෆන් ඔය තියෙන්නේ කෝටියකට බඩු.. වෙඩි වගේ තමා ඈ..'

රොටියා: ' එතකොට උඹල හොද්දකට, සුප් එකකටවත් කොත්තමල්ලි දාලම නැද්ද?'

ඇමෙරිකානු මිතුරා:' හොද්දට අජිනමොටෝ දැම්මා. සුප් එකට සුප් කැටයක් දැම්මා. සින් සින් ගෑවා . කෑවා'

එතනින් එහාට රොටියා අමෙරිකානුවනේ සවුක්ය තත්වය හෝ, ජිවිත අපේක්ෂාව ගැන ඌ සමග කතා කළේ නැත.

රොටියා: 'මොකෝ බන් මේ පාර පුරා මෝ බයිකුයි, ත්‍රිවීලුයි පිරිලා?'

ඇමෙරිකානු මිතුරා: (රොටියා දෙස හැරී ඇසක් ගසා) ' තෙල් , ගෑස් පට්ට ගණන් බන්. ඕවයි හොඳට තෙල් කරනවනේ.. ඒකයි මිනිස්සු ඕව ගන්නේ'

රොටියා: ' ඇයි බං මේ දවස් වල තෙල් මාර අඩුයිනේ.. වර්ල්ඩ් මාකට් එක බහිද්දී අඩු කරන්න එපැයි තෙල් ගාන . අපි නං මේ ටිකේ මාර ආතල් එකේ ඉන්නවා තෙල් අඩු හින්දා..'

ඇමෙරිකානු මිතුරා:' ඔන්න දැක්කද.. ඕක තමයි උඹලගේ කාලකන්ණි කම කියන්නේ. යකෝ අපේ ලොක්කා තෙල් අඩු කරන්නේ නැත්තේ අපිට තියෙන ආදරේට. තෙල් අඩු කලොත් මිනිස්සු හැම රෙද්දටම වාහන එළියේ දාගෙන ජෝගි නටන්න පටන් ගනියි. එතකොට ට්‍රැෆික් එක වැඩි වෙනවා.. පරිසර දුසනේ වැඩි වෙනවා'

රොටියා: ' ඇයි බන් දැනුත් පට්ට ට්‍රැෆික් නේ. තෙල් අඩු වුනා කියල උඹලට අමුතුවෙන්න වැඩිවෙන්න කියල ට්‍රැෆික් එකක් නෑනේ..'

ඇමෙරිකානු මිතුරා:' ඔන්න ඕක තමයි තමුන් ගැන විතරක් හිතනවා කියන්නේ. ලොක්කා අපිට ආදරෙයි වගේම අපිත් අපේ ලොක්කට ආදරෙයි. ලොක්කත් දෙයියනේ කියල කියක් හරි හොයා ගන්න එපැයි..උඹලට තේරෙන තරම තමයි ඔය.... රෙද්ද.. '

මේපාර නම් උගේ හිත සැහෙනට සවුත්තු වූ බව රොටියාට හැඟුණු නිසා එතනින් එහාට ඔබාමාට ආදායම් ලැබෙන ආකාරය ගැන රොටියා ඌ සමග කතා කළේ නැත

ඇමෙරිකානු මිතුරා:(තමන්ටම) ' ඔසාමව පරද්දපු අපේ රජ්ජුරුවන්ටනේ මූ මෙහෙම කියන්නේ..'

ඊලග පැය කාලක් පමණ ගෙවී ගියේ නිහඬවමය. රථයද කිලෝමිටරයක් පමණ ඉදිරියට ඇදී තිබුණාය. නිහඬතාවය බින්දේ ඌමය

ඇමෙරිකානු මිතුරා:' අඩේ උඹ මට අර ටින් මාළු ටින් එකක් ගෙනාව නේද බන්. ගිය සැරේ එක නං ජාති..'

එයිට පිළිතුරු ලෙස රොටියා, ටින් මාළු එකට දහයක් ගෙනාපු බවත් , ඔවැනි සුළු දෙයකට ඔච්චර නහින්නේ ඇයිදැයි උගෙන් විමසන්නට යෙදුනාය

ඇමෙරිකානු මිතුරා:( සංවේදීව)' උඹ මොනවා උනත් හිත හොඳ එකා බන්. පහුගිය ටිකේ මගේ ගෑනිට ටින් මාළු කන්න ආසයි කියල ගන්න ගිහින් ගාන අහල හැරිලා බං. අපේ පොඩි එකා දැන් ජරා බර ගගා කන්නේ බලූ විස්කෝතු. ඒවා ලාබයි , ගුණයි හින්ද අපි ඌට මුකුත් කියන්නෙත් නෑ

පසු සටහන: මෙය මඩක් හෙම කියා වරදවා හිතන්න එපාය. ලිපිය ලියන්න හේතු වුනේ පහුගිය ටිකේ බඩු අඩුවීම ගැන සමහරුන්ගේ අදහස් ඇසුණු නිසාය. පක්ෂ පාට කන්නාඩි ගලවා තබා අවංකවම සතුටු වූ පිරිසක් මැද්දේ , පාට කන්නාඩි වලින් බලමින් විරවාගෙන උන් කිහිප දෙනෙකු කතාවට වස්තු බිජ සපයන ලද්දෝය.