Thursday, October 26, 2017

ගෑනු ළමයා හා රොටියාගේ දත

යන්තන් දැලි රැවුල ආපු දවසේ හිටං ම (කොහොමද ඒක) රොටියා ඇඟිලි ගැන ගැන උන්නේ තමන්ටම කියා මහ බඹා මැව්වාය කියන ස්ත්‍රී රත්නය මුණගැසෙන තුරුය. රොටියා අසා තිබූ හැටියට ඈ හා රොටියාගේ ගතිගුණ රුචි අරුචි කම් නුලටම ගැලපෙනවාය. ඈ රොටියාව දෙවියා ලෙස අදහාගෙන ඉන්නවාය. රොටියා ඈව මල්පෙත්තක් සේ රකින්නේය. අවුරුදු ගානක්ම දත කාගෙන සෙව්වත් ඈ මුණ නොගැසුණු විට රොටියා හිතා උන්නේ මැරෙනකම්ම තනියම ඉන්න වේවි කියාය. ඔය අස්සේ රොටියාගේ ජිවිතයට ගෑනු ළමයා පැමිණි පසු පෙර කී සියලුම දේ මඥ්ඥන් කවිකාරයන් කට කසනවාට කී හරුපයන් බව රොටියාට ඉත්තේරුවෙන්ම තේරුම් ගියේය. දොට්ට පිලට යතත් එකට යන්න ඕනෑ වෙන සුනිමල ජෝඩු ඉන්නේ මල් කතා පිටු අස්සේ පමණමය.
රොටියා නිලටය - ගෑනු ළමයා රනිල්ටය
රොටියාට තුං වේලම උනත් ඉඳි ආප්ප කත හැක - ගෑනු ළමයාට එහෙම නැත.
රොටියා නුවරඑළියේ යමුය කී විට ගෑනු ළමයා යාපනයේ හෝටල් බුක් කරන්නීය.
ගෑනු ළමයා කෙට්ටුවෙන්නට බඩගින්නේ ඉද්දි රොටියා සිය බඩ ගෝලාකාරව පවත්වාගෙන යනු වස් දිනකට පස් වේලක් වත් කන්නේය
.
.
.
රොටියා වෙදමහත්තයාගේ දත් බෙහෙත් වලින් දත් මදින විට ගෑනු ළමයා මදින්නේ සෙ යන්නෙන් පටන් ගන්නා (නැත්නං මේක දත් බෙහෙත් දැන්වීමක් වීමට ඉඩ ඇත්තේය) දත් බෙහෙත් වර්ගයකින්ය.

ඔය මුලින් කී අටෝරාසියක් දේවල් ඕනෑ කෙහෙල් මලක් උනාට පස්සෙන් තියෙන කාරණය නං රොටියාට දවසට දෙපාර ගානේ සෑහෙනට වද දුන්නේය. රොටියා හැමදාම ඔය 'සෙ' යන්නෙන් පටන් ගන්නා සංවේදී දත් වලට යයි කියාගන්නා මිල අධික දත් බෙහෙත පාවිච්චි කිරීමේ ආදීනව ගෑනු ළමයාට පැහැදිලි කරන්නට යෙදුනත් කණකට ගත්තේ ඈ නොවේය.

මෙතැන් සිට ගෑනු ළමයාගේ දත් බෙහෙත හාවා ලෙසත් රොටියාගේ දත් බෙහෙත නරියා ලෙසත් හඳුන්වන්නේ ලිවීමේ පහසුව තකාය

රොටියා- මේවයින් මදින්න හොඳ නෑ. කාලයක් යද්දී දත් හිරිවැටෙන්න ගන්නවා.
ගෑනු ළමයා- ඔයාගේ විකාර
රොටියා- විකාර නෙමෙයි ඇත්ත. බලන්න නරිය එහෙමද? පාට උනත්.. ඒක හදන්නේ සිංහල බෙහෙත් දාල
ගෑනු ළමයා- පාට නං මොනා කරන්න බැයිද
රොටියා- ඒකේ රස උනත් බලන්න
ගෑනු ළමයා- හයියෝ.. අපේ ඔෆිස් එකේ ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් සෙෂන් එකක් තිබ්බා. ඒකට ආපු කෙනෙක් කිව්වා ඕනෙම ෆ්ලෙවර් එකක් අර්ටිෆිෂල් තියෙනවා කියලා.
රොටියා- දැන් බලන්න හාවාගේ ගානම.
ගෑනු ළමයා- මේ රොටියෝ.. ටුත් පේස්ට් කන්දක් දාගෙන පැය ගානක් දත් මදින්නේ ඔයා. ඔයා නරියගෙන් මදින්න මම හාවාගෙන් මදින්නන්.

ගෑනු ළමයා දුන්නේ සරල විසඳුමකි. නමුත් රොටියා දැඩිව අධිෂ්ඨාන කරගෙන උන්නේ ගෑනු ළමයාටත් නරියාගෙන් දත් මදින්න පුරුදු කරන්නටය.අවසානයේ දවසට දෙපාරක් ඇසෙන රොටියාගේ කන්දොස් කිරියාව මල කරදරයක් බව ගෑනු ළමයා විසින් රොටියාට රතු නිවේදනයක්ද නිකුත් කරන්නට යෙදුන නමුත් රොටියා දැඩිව කියා සිටියේ තමුන්ගේ මල කන්දොස්කිරියාව නවත්තන්නට අවැසි නං හාවා ඉවර වූ පසු නරියාව ගෙදර ගෙනෙන ලෙසය.

අවසානයේ ගෑනු ළමයා පරාජය බාර ගත්තේ මෙසේ කියමින්ය
"රොටියෝ , ඔන්න මම නොකිව්වයි කියන්න එපා. බඳින්න කලින් ඔයා දත් දෙකක් ගැලෙව්වා, එකක නර්ව් ෆිලින් එකක් කළා. මතකනේ ඒ දවස් වල කට බදන් කෑ ගහපු හැටි"

රොටියා:" පිස්සුද, ඒ සැරට"
ගෑනු ළමයා:"මොන සැරක්ද, ඒ දවස් වල අර කෙහෙල් මලෙන් නේ මැද්දේ. අනික බඳින කොට ඔයා රෑට දත් මදින්න පුරුදු වෙලා හිටිය එකක් ද"

අවසානයේ තමා දැන් දිනපතා උදේ සවස දෙවරක් දත් මදින සිරිමත් මගේ සකි මෙන් යහපත් ළමයෙක් බවත්, නරියාගෙන් එක දවසක් මැද්දොත් ගෑනු ළමයා හැමදාම නරියාම ඉල්ලන බව ඉර හඳ මෙන් විස්වාස බවත් පැවසූ රොටියා සුබ මොහොතින් සුපිරි මාර්කැට්ටුවට ගොස් නරියෙකු රැගෙන ආවේය.

නරියා තමන්ගේ වැඩ කිඩ පෙන්නන්න එපමණ කාලයක් ගත කලේ නැත.

දෙවැනි දවසේ රොටියාගේ වම කම්මුලේ හිරි වැටීමක් දැනුනේය
සිව්වැනි දවසේ දකුණු හක්කේ සොයා ගත නොහැකි දතක හිරි වැටීමක් දැනුනේය
පළමු සතිය අවසාන වන විට දත් ඇන්ද රොටියාව සහමුලින්ම නොසලකා හැර තමුන්ට උවමනා උවමනා විදියට හැසිරෙන්න පටන් ගෙන තිබුනේය

නරියාව ගෙනවිත් සති දෙකක් ගෙවෙන අද, රොටියා විසින් මේ ලිපිය ලියන්නේ එක දතක් සාක්කුවේ දමාගෙනය

5 comments:

  1. අපේ ගෙදර අනික් එක්කෙනාගේ දතක් ගැලෙව්වෙමු. ඒක සමරන්නට කඩෙන් ප්‍රයිඩ්‍රයිස් ගෙනැත් හැන්දෙන් කෑමු. මගේ හක්කේ දක් දෙකක් ද හෑරී ගොස් බෝට්ටු වගේ වී දැං ඒවා බහුදින ධීවර යාක්ට්‍රා වගේ වීමු. හැබැයි එව්වා නොගලවමු. දැනට එව්වා අතිරික්ත ආහාර ගබඩා කිරීමට යොදවා ඇත. පොඩි බඩගින්නට එයින් එකක් ඇතුලට අල්පෙනෙත්තක් රිංගවා කැමති ආහාරයක් රසවිඳින්න හැක.

    ReplyDelete
    Replies
    1. නෙද්දකිං. මගෙත් ඔහොම දතක් තියෙනව බං දැං අවුරුදු ගානකින් ඒ පැත්තෙන් මොනවත් විකල කාල නෑ.

      Delete
  2. යන්තන් දැලි රැවුල ආපු දවසේ හිටං ම (කොහොමද ඒක) - හැක හැක හැක.

    රොටියගේ ගෑල්ලමයෝ මෙන්න යහ පාලනේට බනිනෝ

    ReplyDelete