Monday, May 22, 2017

ඩාඩියාගේ ලෝකය -03

ඩාඩියාගේ ලෝකය -01
ඩාඩියාගේ ලෝකය -02

වරක් දුටු විට නැවත බලන්නට සිත්වෙන, ඔලිව් පැහැති දෙනෙත තුල කිමිදුනු ආගන් කෑදර සිනහවකින් මුව සරසාගෙන නැවත නර්ථනය දෙසට හැරුණේය. ගනකම මුව වැස්මකින් වැසී තිබුණු හෙයින් ඇගේ මුහුණේ හැඩරුව නොදුටුවද ඇගේ උස පළල සියල්ලම ආගන්ට නිවැරදිවම මතකය.

අනෙක් අතට වසර ගණනක් පුරාවටම ප්‍රධාන නළගන නිළය හොබවන සිසිලියා ට තිබුනේද තීක්ෂණ දෙනෙතක් මෙන්ම ආගන්ට නොදෙවෙනි විචාර බුද්ධියකි. ඇගේ නොකැළැල් සමෙහි වූ රහස, පන් සාලිස් වසරක් වුවද ඈ තවමත් විසි වයස් මෙන් පෙනුම දෙන රහස, රූමත් යුවතියන් පීරී පවතින නළගන ගෘහය මේ සා විධිමත්මව පවත්වා ගෙන යාමේ රහස මෙන්ම ඇගේ යටි සිතේ ඇතුල් පැත්තේ ආගන් පිළිබඳව තිබූ කැකෑරෙන වයිරය ද අනෙක් අයට රහසක්ම විය. කොපමණ දක්ෂ නිලියක් වුවද ඈ තුල ආගන් කෙරෙහි ඇති අකමැත්ත සියල්ලෝම දැන සිටි අතර, කවුරුත් නොදන්නා යම් හේතුවක් නිසා ආගන්ද සිසිලියාට පිළිකුල මිශ්‍ර බියක් දැක්වූයේය. ඉහල සමාජයේ පාරාවෝ රැජිණ හැරෙන්නට අනෙක් සියලුම දෙනා ආගන්ට අකමැති වූ නිසා සිසිලියාගේ අකමැත්ත සාමාන්‍ය දෙයක් ලෙස සියල්ලෝම බාරගෙන සිටියහ.

නර්ථනය අවසානයේ හිත් ඇදගන්නා කෙල්ලක දුටු සෑම විටෙකම සිදු කරන නාට්‍යාකාර රංගනය සිදු කරමින් ආගන් ඩාඩියා ඉඳ උන් පැත්තට හැරුණේය. ඒ ක්ෂණයකින් තමාට කොතැන හෝ වැරදුන බව ඔහුට තේරුම් ගියේය. දහස් ගණන් කන්‍යාවියන් ඇසුරු කර තිබූ ආගන්ට ඇඳුම් පැළදුම් එකම වුවාට මේ ඉන්නේ වෙනත් එකියක්ය යන්න දැන ගැනීමට අවැසි වුයේ එක බැල්මක් පමණකි.

***********************

සාමාන්‍ය නාටිකාවන්ට ඇතුල් වීමට තහනම් කලාපයේ කුඩා කුටියක ඩාඩියා උක්කුටියෙන් ඉඳගෙන ගැහෙමින් උන්නේ සීතලට නොවේය. ආගන්ගේ රුදුරු දෑතින් නූලෙන් ගැලවුණු සිය ජීවිතය ගැන ඈ උන්නේ විස්මයට පත්වය. රංගනය පටන් ගත් පසු රංග ශාලාවෙන් පිටවීමට කිසිවෙකුට තහනම්ය. එසේවුවහොත් රංගනයේ යෙදෙන නාට්‍යංගනාවන්ට වසර පහක් යනතුරු දෙවියන්ගේ බැල්ම නොලැබෙන බවට ගෘහයේ සියල්ලෝම ඒකමතිකව පිළිගෙන උන්නෝය. එනිසා මෙවැනි නර්තන සැන්දෑවන්හිදී සිසිලියා නාට්‍ය ශාලාව පුරා සීනු පද්ධති සක්‍රීය කරන්නීය. එවිට යමෙක් ශාලාවෙන් පිටවෙන්න තැත් කරන විට මහ හඬින් සීනුවක් නාද වන්නේය. ඒ සීනු පද්ධතිය ඉතා ඈත පාරදීසියක වෙසෙන රාවණා නම් ඉතා කඩවසම් රජ කෙනෙකුගෙන් සිසිලියා ලද තිළිණයක් බව ඩාඩියා දැන උන්නේ හිලියාගේ ඕපාදුප නිසාය

ඊජිප්තුවෙන් සොයාගත් අනුනාකි අභ්‍යවකාශ යානාවේ රූ සටහන. මහා රාවණා රජතුමාගේ දඬුමොණර යන්ත්‍රයද මෙයට සමානය

ඩාඩියා විසින් තමා මොහොතකින් ආගන්ට හසුවන බව සක්සුදක් සේ වටහාගෙන ඉන්නා විටය හීලියා පැමිණියේ. පසු පෙලෙහිම වාඩි වී උන් ඩාඩියාව සිසිලියාගේ නියෝගයකට අනුව බව පවසමින්, කිසිවෙකුට නොපෙනී හීලියා විසින් කැඳවාගෙන ගිය අතර මොහොතකින් ඈ උන්නේ රහස් උමගකය. ඩාඩියාගේ ඇඟලුම් ක්ෂනිකයකින් උනාගත් හීලියා ඈට උමගේ පසෙකින් තිබූ මේ කුටියේ සිටින ලෙස දන්වා අතුරුදහන් වූවාය. සිදුවූ කිසිම දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමකින් තොරව ඈ අතිශය බියටත් තොන්තුවටත් පත්ව උන්නාය.

තමා දෙස කිසිවෙක් බලන් ඉන්නේය යන ගුප්ත හැඟීමකින් හිස ඔසවා බැලූ ඩාඩියා දුටුවේ තමුන් ඉදිරිපිට තිබූ කහපැහැති ලෝගුවය. ඈ වහා එය රැගෙන වතට දමා ගත්තාය. මොහොතකින් අඳුරෙන් මතුවූයේ තරුණයෙකි. ඔහු උස්ය. තද දුඹුරු පැහැතිය. කඩවසම්ය. පිරිමි පුළුටක් නැති නළගන ගෘහයේ උන් තරුණයා දුටු ඩාඩියා විස්මයට පත්ව මුව විවර කලද තරුණයා වහා අත පා එය වැලකීය.

"මේ සැරේ කවුරු හින්දද" ඔහුගේ කටහඬේ රැඳී තිබුණේ කෝපයක් නොව උපහාසයකි

ඩාඩියා විස්මයට පත් දෙනෙතින් ඔහු දෙස බැලුවාය.

"පුදුම වෙන්න කාරණාවක් නෑ. ඉඳල හිටලා ඔයවගේ දේවල් මෙතැන සිද්ද වෙනවා. හැබැයි එහෙම වෙන්න ඔබ සිසිලියාගේ ප්‍රියතමයෙක් වෙන්න ඕනෑ" තරුණයා ඇසුවේ ප්‍රශ්නයකි.

"නෑ එහෙම දෙයක් නෑ. මම තුන්වෙනි පංතියේ නාට්‍යංගනාවක්" ඩාඩියා පැවසුවේ සෙමිනි. සිය සොහොයුරියන් අතරින් තමා සිය මවගේවත් ප්‍රියතමයා නොවූ බව ඈ තරුණයාට පැවසුවේ නැත.

"ඔය වගේ ඇස් දෙකක් තියාගෙන"

ඩාඩියා සිය දෙනෙත වසා ගත්තේ මුහුණ පුරා ලා රතක් ඉහිරී යද්දීය.

"ඔබ හරිම ලස්සනයි. ඇයි ඔබ අද තරඟ නොකරන්නේ"

"මා තෝරාගත්තේ තෙවෙනි පන්තියයි. මට වඩා ලස්සන, දක්ෂ අය බොහෝම දෙනෙක් මෙතැන ඉන්නවා"

"එහෙනම් සිසිලියා ඔබට කැමති වීම පුදුමයක් නෙවෙයි"

***********************

ආගන් උන්නේ කෝප වූ කොටියෙකු ලෙසය. ඔලිව් පැහැති දෑසේ හිමිකාරිය සොයාගෙන ඈව මේ පිරිස මැද නිරුවත් කර ප්‍රසිද්දියේ දුෂණය කරන්නට හටගත් වියරු ආශාවෙන් ඔහු දැවෙමින් උන්නේය. ශාලාවේ උන් කිසිම කෙනෙකුට හඩක් නොනැගෙන සේ මෙයින් පිටවිය නොහැකි බව සිසිලියා විසින් ඔහුට ඔප්පු කර පෙන්වා තිබුණාය. ඔලිව් පැහැති දෑස දුටු තැන දැන් උන්නේ කළු පැහැති දෑසක් ඇති යුවතියකි. පාරාවෝ රැජිණගේ අදහස වුයේ ආගන් දැක ඇත්තේ මරණයට අධිපති ඔසිරිස් දෙවඟන බවයි.

"ඈ පැමිණෙන්න ඇත්තේ ඔබේ මරණින් මතු ජීවිතය වාසනාවන්ත බව පෙන්වන්නයි" ඕ ආගන්ට පැවසුවාය. සිසිලියා හැඟීමක් නැති මුහුණකින් බලාගෙන උන්නාය.

තමා දුටුවේ ඔසිරිස් නොවන බව ආගන්ට දිවුරන්නට පුළුවන් කම තිබුනේය.

***********************
"ඔබ කව්ද" ඩාඩියා විමසුවේ ආගන්තුක තරුනයාගෙනි.

"මම සිසිලියාගේ එකම පුතා"

~ ඊළඟ කොටසට

Thursday, May 18, 2017

රොටියාගේ ගෑනු ළමයා සහ ප්‍රීති වෙසක්!

අලුත් අවුරුද්ද ගෙවෙනවාත් සමගම රොටියාගේ ගෑනු ළමයා බූල් බා කහඹිලියා ඉලූ චිම්පසියා මෙන් එහාට මෙහාට පනිමින් නොසන්සුන් වීම අතිශය ස්වාබාවිකය. කාන්තා ජීවියෙකු සමග ජිවත් වීමේදී ඔවුන්ගේ විවිදාකාරි නුහුගුණ හැසිරීම් පත්තියම් කරගැනීමට මෙන්ම ඒවා විකේතනය කරගැනීමටද හැකියාව පුරුෂ ජීවියා සතු විය යුතුය. ඔවුන්ට උත්තම පුරුෂ කියන්නේ අන්න ඒ නිසාය.

රොටියාගේ ගෑනු ළමයා වැඩ ඇරී නිවසට පැමිණීමෙන් පසුව කුස්සියට නොගොස් සෝපාවේ දිගෑදී පොතක් කියවන්නට පටන් ගනියි නම් ඒ කියන්නේ උදෑසන කෑම පිසූ බාජන සේදිය යුත්තේ රොටියා බවය. ඈ අධික ශබ්දයක් නැගෙන සේ වැඩවල නිරත වන්නී නම් රොටියාට ස්වීප් එක ඇදෙන්න ළඟය. උදෑසන මුලින්ම බල්ලාගේ කෑම එක ලිපේ තියා නැත්තන් ඒ කියන්නේ එදාට බල්ලාට කන්න දිය යුත්තේ බලු විස්කෝතු බවය.බල්ලාගේ කෑම ගැන කියතොත්, ඌට කන්න දෙන එක වෙනම ප්‍රොජෙක්ට් එකක් වන්නේය. ඌ ෆුඩ් සිටියේ මාළු කන්නේ නැත. ඒ නිසා දෙසතියකට වරක් සෙනසුරාදා පාන්දරින්ම වැල්ලට ගොස් ඌට මාළු ගෙන ආ යුතුය. එයිනුත් ඌ සාලයෝ හෝ සුඩයෝ කන්නේ නැත. මාළුන්ට පරාණ බය ගෑනු ළමයා (ගෑනු ළමයා බය එකම සතා මාළුවාය. ඈ කැරපොත්තන් ගෙන රොටියාගේ ඇඟට විසි කරන්නීය) පැත්තකටවත් නොඑන නිසා මාළු සුද්ද කොට පැකට් කිරීම රොටියා සතු කාරියක් වනවාය. එසේ සාදන මාළු පැකට් එකකට හාල් හුන්ඩු දෙකක් දමා බල්ලාගේ කෑම හැදිය යුත්තේ ගෑනු ළමයාය. මොන මායම් දමා ඉව්වත් ඌ රොටියා ඉව්ව දාට බත් ඇටයක් කට ලඟට නොගන්නා නිසා ගෑනු ළමයා ඉස්ට්‍රයික් දවසට ඌට දෙන්න වෙන්නේ බලු විස්කෝතු පමණමය.

මේ බල්ලාත් අර මැක්කා වගේමය. ඕනෑම වැදගත් තැනක මැද්දට පැන ගන්නා ඌ ඊළඟට එතන අරක් අරගනී. මේ පොස්ට් එකටත් සිද්ද වෙන්න යන්නේ ඒකය.

කොහොමින් කොහොමින් හරි ඔය කියන ගෑනු ළමයාගේ නුහුගුණ ගතියට හේතුව වෙසක් සමය අත ලඟට පැමිණීම බව රොටියාට ඉත්තේරුවෙන්ම තේරුණේය. එනිසා දැඩි ඉල්ලීම් උද්ඝෝෂණ පටන් ගැනීමට පෙර මේ වෙසක් එකට ගිය වෙසක් එකට වගේ පැටව් කූඩු සාදා දිය නොහැකි බවත්, මේ කුතුහල බහුල තඩි බලු දණ්ඩා එක්ක වෙසක් කූඩු ඇලවීමට පටන් ගැනීම ලෙල්ලම් වෙන වැඩක් බව ගෑනු ළමයාට පැහැදිලි කරන්නට යෙදුනු අතර , සාකච්චා වාර කිහිපයකට පසුව බලුවා විසින් පරලෝ සැපත් කර තිබූ ගෑනු ළමයාගේ ප්‍රියතම කතා පොත දුටු දිනේ ඇගේ නුවණ පහල වූවාය.

ගෑනු ළමයා: (බලු කෙළ වලින් පෙඟුණු පොත් කෑලි අහුලා බලමින්) දැන් ඒ කියන්නේ ඔයාට වෙසක් කූඩු හදන්න තේරෙන්නේ නෑ. අටපට්ටමක් බැයි නං තරුවක් අලෝමු

රොටියා: මං එකට දහයක් හදල දෙන්නං. මූත් එක්ක කොහොමද කරන්නේ

බලු දණ්ඩා: (තමාට සැපීමට තව යමක් ඇත්දැයි විමසිල්ලෙන් බලයි)

ගෑනු ළමයා: මූව අම්මලාගේ ගෙදර ගිහිං දාමු

රොටියා: මූට හිට් එක. එහෙ සල්ලාල බල්ලෝ තුං දෙනෙක්ම ඉන්නවා. මට නං බෑ වල් බලු පැටව් හදන්න.

බලු දණ්ඩා: (ගෑනු ළමයාගේ සපත්තුවක් උස්සගෙන දෙපැත්තට වනයි)

ගෑනු ළමයා: අනේ රොටියෝ මූට කියන්නකෝ මගේ සපත්තුව තියන්න කියලා. එහෙනං ඔයා මට කූඩුවක් අරන් දෙනවද.

අවසානයේ කූඩුවක් හා බකට් පැකට් එකක් අරන් දීමට පොරොන්දු වීමෙන් පසු ගෑනු ළමයාව සංසුන් කිරීමට රොටියාට හැකි උනේය. මෙයින් තදබල ලෙස අපේක්ෂා භංගත්වයට පත් බලු දණ්ඩා නගුට වකගසාගෙන ඇඳට පැන මුණ හංගා ගත්තේ රැය පහන් වෙන තුරු නොනැගිටින අධිෂ්ඨානය ඇතිවය.

රොටියාට සිය පොරොන්දුව ඉෂ්ට කරන්න ලැබුනේ වෙසක් දවසේ හැන්දෑවේය. ඒ වන විටත් ගෑනු ළමයා රතු එලි එකක් නොව කිහිපයක්ම දල්වා තිබුණාය

ගෑනු ළමයාගේ මන දොළ සපුරන්න , ඈව මිගොමුවේ රේල් පාර අයිනේ තිබුණු වෙසක් කූඩු කඩයකට කැඳවාගෙන ගොස් ඈට කැමති දෙයක් තෝරා ගැනීමට ඉඩ දී පසෙකට වී උන්නේය.

ගෑනු ළමයා: අර තරුව කීයද

කඩේ මුදලාලි: තුන්සිය පනහයි

ගෑනු ළමයා: මට ඒක දෙන්න. නෑ නෑ ඒක නෙමෙයි. මැද මලක් අලෝල නැති එක. අන්න හරි. මේ බකට් කීයද

කඩේ මුදලාලි: දහයක් සීයයි

ගෑනු ළමයා: මට විස්සක් දෙන්න. ඉටි පන්දමුත් දෙන්න. එතකොට ඔක්කොම ගාන කීයද

කඩේ මුදලාලි: හයසිය හැත්තෑවයි.

ගෑනු ළමයා: අර රවුම් බකට් පැකට් එක කීයද

කඩේ මුදලාලි: තුන්සියයි

ගෑනු ළමයා: (බරපතල ලෙස කල්පනා කිරීමෙන් පසු) මට ඔක්කොම දාහට දෙනවාද

කඩේ මුදලාලි: (මදක් කල්පනා කරන ලෙසක් දක්වා) එහෙනං දෙන්නන්කෝ නෝනා

රොටියා කටක් හෙල්ලුවේ නැත. ගෑනු ළමයා තමා රුපියල් හැත්තෑවක ලාබයක් ලැබුවා නොව රුපියල් තිහක ගොනාට ඇඳ ගැනීමක් සිද්ද කර ගත් වග තේරුම් ගත්තේ මගදී ය. ඔය මරි මෝඩ ගණන් හැදිල්ල සිද්ද කලේ රොටියා වුවා නං මාගලක් දිගට අනුශානාවක් කරන ඈ එදා කිව්වේ මෙන්න මෙච්චරය

කමක් නෑ. අද වෙසක් නේ!!!

Wednesday, May 3, 2017

කුන්ඩුමනී

කුන්ඩුමනී ඊයේ යද්දී අද උදේම එනවයි කියල කිව්වා. එයත් එක්ක අර අනිත් වහන්තරාවත් එල්ලිලා එයි. හැබෑටම මාසයක් තිස්සේ දැකලත් මට තාම බැරි උනානේ ඒ කොල්ලෙක්ද එහෙම නැත්තන් කෙල්ලෙක්ද කියල අඳුන ගන්න. මොකෙක් උනත් මගේ මොකෝ...

කුන්ඩුමනී ගේ හරි නම කේතුමතී කියල එයා දැන් මට එකසිය පනස් එක් වතාවක් කියල තියනවා. ඒ වෙලාවට මම බොරුවට ඔලුව හෙලෙව්වට මම ආයෙත් එයාට කියන්නේ කුන්ඩුමනී කියලම තමයි. එයා කුන්ඩුමනී මිසක් කේතුමතී වෙන්න විදියක් නෑ.

මිනිහෙක්ට නින්ද යන්නේ නෑ කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විශේෂයෙන්ම මං වගේ මිනිහෙක්ට. දවාලට නං බලන් ඉන්න එලිය හරි තියෙනවා. ඒත් රෑට...

සතියක් තිස්සේ එක බින්දුවක් ඇහැ පියවන්නේ නැතුව හිටියා කිව්වම... දොස්තර දුන්න පෙති හැටහුටාමාරෙන් එකකටවත් බැරි උනානේ මාව තප්පරයක් නිදි කරවන්න
ඇහැ පියවෙද්දී අවුරුදු තුනහමාරක පොඩි ගෑනු ළමයෙක් සෙල්ලම් බෝනික්කෙක් තුරුල් කරන් මං දිහා බලාගෙන හිනා වෙනවා. එයාගේ අම්මා යටිගියෙන් කෑ ගහනවා. මං ආයෙත් ඇස් අරිනවා. ගෑනු ළමය යන්න යනවා.

කුන්ඩුමනීව දැකපු මුල් දවස මට හොඳට මතකයි.

"මං කේතුමතී.මං නිලියක්" එයා කිව්වේ මේ ලෝකේ ඉන්න හැමෝම එයාව දැනගෙන ඉන්න ඕනේ ස්වරයකින්.
මං උත්තර නොදී එයා දිහා බලාගෙන හිටියා.
"මාව ටීවී එකේ දැකල නැද්ද" මගේ කාමරේ තිබ්බ ටීවී එක දැකලද කොහෙද එයා ඇහුවා.
මේ දවස්වල ටීවී එකේ ඉන්න නිළියන්ට වඩා ස්වාසිලන්තයේ නිලියෝ ටික මතක තියා ගන්න ලේසි බව මම එයාට කිව්වා. එයාගේ මුණ රතුවුනත් බලහත්කාරයෙන් හිනාවක් මවාගෙන මං දිහා බලාගෙන හිටියා. නිළියෝ කියන්නේ නිකංයැ.

මුල් දවස්වල එයා කීප වතාවක් මගේ කාමරේ ලඟට ආව ගියා. මාව කතාවට අල්ල ගන්න හැදුවත් මම එයාව ගණන් ගත්තේ නැහැ.
ඊළඟට මං සෙල්ලන් කරන තැනට ඇවිත් කැමරාව අටවන් හිටියා. මාව ගණන් නොගෙන එහා පැත්තේ හිටිය උන් දෙන්නත් එක්ක කතා කරන බව පෙන්නුවත් එයා මගේ සියලුම ඉරියව් නිරීක්ෂණය කරන බව මට දැනුනා. එයා උන්ගෙන් මං ගැන ඇහුව නං ආයෙත් මගෙත් එක්ක කතාවට එන එකක් නෑ. ඕකුන් මං ගැන කියන කතා මං දැනන් හිටිය. මොකද උන් ඒවා කිව්වේ මගේ මුණටමයි. මම ආපු අලුත මදි නොකියන්න ගුටි කෑවා. දැන් නං උන් මාව අතෑරලා ඉන්නේ. ඒත් එකෙක්වත් මාත් එක්ක කතාවක් නෑ
.
මට ජෙනා ඉන්නවා. ඒ කියන්නේ අර පොඩි ගෑනු ළමයාගේ නම. ඒත් එයත් මගෙත් එක්ක කතාවක් නෑ.

කුන්ඩුමනීට මගෙත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියන්න ඕනේ උනා. අවුරුදු ගානක් කතා කරන්න කෙනෙක් හිටියේ නැති මම ඒකට කැමති උනා.

මෙහෙ බාබරයෙක් හිටියට ඌ මගේ කොන්ඩේ කපන්න කැමති නෑ. නොකපම බැරි නිසා ඌ කැපුවත් ඊට වඩා හොඳට මට තනියෙන් කපා ගන්න පුළුවන්. අනෙක ඌ කොන්ඩේ කපන මුළු වෙලේ අනෙක් එවුන් එක්ක කියන කතා අහද්දී මට යටිගිරියෙන් කෑ ගහන්න ඕනේ වෙනවා.දැන් මම කොන්ඩේ බඳිනවා.

කෝරි මට හිනා වෙනවා. කෝරි කියන්නේ ජෙනාගේ අම්මා. මම හැම උපන්දිනේටම කෝරිට සුබපැතුමක් යවනවා.අන්තිම අවුරුදු වල ඒ යවන සුබපැතුම ආපහු මටම හරවල එවනවා. "එහෙම කෙනෙක් මෙම ලිපිනයේ පදිංචි නැත" කියල රතුපාටින් ලියල. ඒ ගොල්ලෝ වෙන කොහේ හරි පදිංචියට යන්න ඇති. මම එයාට උපන්දින සුබපැතුමක් යවනවය කියල කෝරි දන්න බව මට විස්වාසයි.

කුන්ඩුමනී දොඩම් පාට ගවුමක් ඇඳන් කකුලක් පිට කකුලක් දාගෙන , ෆයිල් එකකුත් උකුලේ තියාගෙන වාඩිවෙලා ඉන්නවා. එයා ඉස්සරහ තියෙන අනික් පුටුව මට වෙන්නැති.

මේ කෙහෙල්මල් පුටුවේ වාඩි උනාය කියල මම කුන්ඩුමනීට මොනවා කියන්නද. මට පේන හීන, ජෙනා, කෝරි ගැන කියන්නද..

ලැයිස්තුවේ ඊළඟට ඉන්නේ ඔයා. ඒ ගැන මොකද හිතෙන්නේ.

මම එයාට කිව්වා ඒ ගැන මට තියෙන්නේ සතුටක්ය කියල. මම විඳින්නේ මරණීය වේදනාවකටත් වඩා ලොකු වේදනාවක් කියන දේ මම එයාට පැහැදිලි කළා."මම හිතන්නේ ඔයාට මම කියන වේදනාව තේරුම් ගන්න බෑ"

"ඔව් , මට බෑ" කුන්ඩුමනී කිව්වා.

ඒක ගැන ඔයා සංතෝස වෙන්න. ඒ වගේ වේදනාවක් දැනුනොත් ඔයා ස්වාසිලන්තෙටත් වැඩක් නැති නිලියක් වෙයි.

ඇයි ඔයා කෝරි ගේ උපන්දිනේට කාර්ඩ් එකක් යවන්නේ

මම එයාගේ ජිවිතේ කොටස්කාරයෙක්. ඒක නැහැයි කියන්න කාටවත් බැහැ. එයත් මගේ ජිවිතේ කොටස්කාරියක්. අපි දෙන්න කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ ජිවිත වලට හවුල් උනා.

ඒත් ඔයා ජෙනා ට කාර්ඩ් එකක් යවන්නේ නෑ නේද

ජෙනාගේ උපන්දිනේටත් මම හැමදාම සුබපැතුමක් ලියන බවත් ඒක තැපැල් නොකරන බවත් මම එයාට කිව්වා.

කුන්ඩුමනී ඔලුව වැනුවා. "ඔයා පසුතැවෙනවද සිද්ද වුනු දේ ගැන"

"පසුතැවෙනවද?". මම මුල් වතාවට එයාගේ ඇස් දිහා කෙලින් බැලුවා. "මම හැම තත්පරයකම මැරී මැරී උපදිනවා. මට හිතා ගන්න බෑ මම එහෙම දෙයක් කලේ කොහොමද කියල. මම දවස් ගාණකින් ගෑනියෙක් ලඟට ගිහිං තිබ්බේ නෑ. මං ළඟ සල්ලි තිබ්බෙත් නෑ. මට ඕනේ උනේ ගෑනියෙකුයි සල්ලියි විතරයි. පළවෙනි ගෙදරට ගිහිං වතුර එකක් ඉල්ලුව. වතුර වීදුරුව දුන්නේ පිරිමි කෙනෙක්. මම ඊළඟට ගෙවල් දෙකක් ඇරලා තුං වෙනි ගෙදරට ගියා"

මං දීර්ග හුස්මක් පිටකරල ඇස් දෙක පියා ගත්තා. මට එදා සිද්දිය මැවිලා පෙනුනා.රෝස පාට ගවුමක් ඇඳන් දුඹුරු පාට වලහෙක් තුරුල් කරගෙන හිටිය ජෙනා දොර අරිනවා මට මැවිලා පෙනුනා. දත් දෙකක් වැටුණු කටෙන් හිනා වෙලා එයා කෝරිට කතා කළා. මගේ පිහිය දිලිසෙනවා මට පෙනුනා. කෝරි දඟලනවා මට දැනුනා. ජෙනා අන්තිමට මං දිහා බලාගෙන හිටිය විදියටම තාමත් බලාගෙන ඉන්නවා.

ඔයා මුලින්ම කිව්වේ ඒ දේ කලේ ඔයා නෙවෙයි කියල. ඔයා පොඩි ළමයින්ට හරි ආදරෙයි කියලත් කිව්වා

මං හිස් බැල්මෙන් එයා දිහා බලන් හිටියා. ඒ සිද්දිය, ඒ බොරුව, ඒ ඇපෑල , අද මම විඳවන විඳවිල්ල මම එයාට කොහොම තේරුම් කරන්නද. මට කියන්න තියෙන්නේ කෝරිගේ පවුලේ අයට, එයාගේ ලොකු දුවට, එයාගේ මහත්තයට මට සමාවෙන්න කියල විතරයි. ඒත් මම ඒ අයගෙන් කොහොම සමාවක් බලාපොරොත්තු වෙන්නද

ඔයා ඔයාගේ දෙවැනි ඇපෑල අවලංගු කලේ ඒකද

මේ වගේ මරණීය වේදනාවක් විඳ විඳ ජීවත්වෙලා ඉද්දි, ජිවිත කාලය තව මොහොතක් හරි දික් කරගන්න හිතන එක, ස්වාසිලන්තේ නිලියක් වෙන්න හිතනවටත් වඩා විහිළුකාරයි කියල මම කුන්ඩුමනීට කිව්වා