Sunday, March 30, 2014

මන් සංතෝසෙන්

ට්‍රේන් එකේ හරි බස් එකේ හරි ඉතුරු වෙලා තියෙන්නේ එක ආසනයයි නම් අපි කිසි කතාවක් නැතුව ගිහින් ඒකේ වාඩි වෙනවා. ආසන ගොඩක් තියෙන වෙලාවට ලෝකෙ නැති හේතු හදාගෙන වාඩි වෙන්න ආසනයක් හොයනවා. ජනෙල් ළඟ, අව්ව එන පැත්ත, පාර පැත්ත වගේ හේතු අහේතු ගොඩක් හිතල තමා අපි ආසනය තෝර ගන්නේ

අපි හැමවෙලේම එහෙම නේද. අපිට තියෙන්නේ එක සෙරෙප්පු දෙකයි නම් අපිට උදේට වද වෙන්න දෙයක් නෑ. සෙරෙප්පු කුට්ටම් හතර පහක් තියෙනවා නම් ඉතින් මොන එක දාගෙන යන්නද කියල හිතන්නම උදේට වෙලා යනවා

හැමදේම මේ වගේ නේද. තෝරා ගන්න ගොඩක් දේවල් තියෙනවා නම් අපි ගොඩාක් වෙලා තෝරනවා. තියෙන්නේ එකයි නම් අපිට වද වෙන්න දෙයක් නෑ

සමහර දේවල් ගැන අපි ඕනෙවටත් හිතනවා. අනාගතයේ උපරිම තැනට හිතනවා. අපි බොහොම දෙනෙක් වාහනයක් ගන්න කලින් බලන්නේ සෙකන්ඩ් මාර්කට් එක. ඒ කියන්නේ ගන්න කලින් වාහනේ විකුණලා ඉවරයි. ඇත්ත. අපිට මුදල් කියන දේ හරිම වැදගත්. ඒත් දෙයක් ගන්න කලින් විකුනන්න පුලුවන්ද කියල බලන එක කොච්චර දුරකට හරිද.. රොටියට නම් තේරෙන්නේ නෑ

අපිට දේවල් නිකන් ලැබෙනකොට අපිට ඒවගේ හරියට අඩුපාඩු පේනවා. අපි ඒවා ලබා ගන්නේ සල්ලි දීල නම් අපි හිතන්නේ අපි ගත්තේ හොඳම දේ කියල. හැමදේම එහෙමයි. අපිට ලේසියෙන් හම්බවෙන දේවල් වලට වඩා, ඉලක්ක පස්සේ දුවල ඒවා අල්ල ගන්න අපි හරි කැමතියි

මේ අපේ හැටිද.. හැමදාම සන්තෝසේ හම්බවෙනකන් දුවනවද.. ඒත් සන්තෝසේ ඇවිත් තියෙන්නෙත් අපි පස්සෙන්ම නේද..

දුවල හති වැටෙන්න කලින්, දැම්ම නැවතිලා හැරිලා බලන්න. අපිම තමා සන්තෝසේ දාල දුවන් ඇවිත් තියෙන්නේ.. අපිම තමා හේතු හදාගෙන හිතෙන් දුක් විඳලා තියෙන්නේ. අපේ සන්තෝසේ තියෙන්නේ අපි ගාවමයි නේද..


රොටියාගේ ගෑණු ළමයාගේ ඔෆිස් ස්ට්‍රෙස්

රොටියාගේ ගෑණු ළමයා වූ කලී සිය කාර්යාලයේ අසාමාන්‍ය කැපකිරීමකින් වැඩ කරන අයෙකු වනවාය.ඒ කැපවිල්ලේ තරම කෙතරම්දැයි කියහොත්, තමුන්ගේ ගමනා ගමන පහසුකම් සලසන ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් නමැති කෙහෙල්මලට මාසයේ මුළු ගානම පුදා ඊළඟට සතියේ තුන් හතර දිනක් පාරේ බස් රියෙන් හෝ දුම්රියෙන් නිවසට පැමිණෙන්නේ කාර්යාලයේ වැඩ ඉවරකරන විට පරක්කු උනා යයි පවසමින්ය. ඉඳ හිට, ඒ කියන්නේ සතියකට වතාවක් විතර ගෑණු ළමයාගෙන්, ඔෆිසියේ වැඩ තිතට සිදු කරන ආකාරය ගැන රොටියාට නොමිලයේ පාඩම් මාලාවක්ද ලැබෙනවාය. කියන්නා කෙසේ කිවත් රොටියා සිහිබුද්දියෙන් අහගෙන ඉන්නා නිසාද, ගෑණු ළමයා නිරන්තරයෙන් රොටියාට ඇමතුම් ගනිමින් රොටියාව යාවත්කාලින කරන නිසාද මේ කතාවේ ඇත්තටම සිද්ද වෙන දේ ගැන රොටියාට පැහැදිලි දැක්මක් ඇත්තේය. සාමානයෙන් සතියේ දිනකදී ගෑණු ළමයාගෙන් රොටියාට ලැබෙන ඇමතුම් පහත පරිදි වෙනවාය

උදේ අටේ සිට අටහමාර අතර වූ කිසියම් වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා. මං ඔෆිස් ආව.

අටහමාරේ සිට නමයහමාර දක්වා වූ කිසියම් වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා. අද මාර වැඩේනේ උනේ එද්දී..ඔව් ඔව් මං මේ බ්‍රෙක්ෆස්ට් වලට යන ගමන්.. මොනවද අනේ ඔයාට මාත් එක්ක කතා කරන්න බැරි තරමට ඔෆිස් එකේ වැඩද.. හරියට මැනේජ් කරනවානම් ඔහොම වෙන්නේ නෑ.මං තියනවා

නමයහමාරේ සිට දොළහ දක්වා ඕනෑම වෙලාවක: (ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා තේ බිව්වද..
(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා ගෙම්බා මාර පොස්ට් එකක් එෆ් බි එකේ දාලනේ


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා අද ගොසිප් ලංකා එකේ තිබ්බේ .. (උදාහරණ : මේ අර ප්ලේන් එක හම්බවෙලාලු.. දැක්කද අර ඇක්සිඩන්ට් එක.. මේ දැක්කද සාරංගගේ වෙඩින් ෆොටෝස්.. මේ ගයානුයි චතුරිකයි බැඳලානේ.. මේ අර ඉන්දියන් කොල්ලෙක් සිංහල සින්දු කියනවා ඇහුවද. කියුට් නේද..සහ වෙනත් ඕනෑම ඕපදුපයක් - මේවා රොටියාට වැඩක් නැති බව ගෑණු ළමයාට කියා පලක් නැත්තේය. අරයයි මෙයයි බැන්දාම රොටියාට අලදැයි ඇසු කල, රොටියා යනු සමාජයේ වෙන දේවල් පිළිබඳව කිසිම අවබෝදයක් නැති මැට්ටෙකි යයි පවසා ඈ ඇමතුම විසන්දි කළාය)


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා අද මට මේල් එකක් ආවනේ මාර..


(ගෑණු ළමයාගෙන් රොටියාට)හෙලෝ රොටියා, ප්‍රියංකා චෝප්රගේ අලුත් සෝන්ග් එක දැක්කද. මාරයි නේද. පිස්සු හැදෙනවා. (අනේ මටත් ඩාන්සින් ක්ලාස් යන්න ඕනේ)


සටහන- රොටියාට නම් මේ කෙහෙල්මල් බලන්න ඉඩක් නැත්තේය. ඒ රොටියා අකමැති නිසාවත්, වැඩ වැඩි නිසාවත් නොව රොටියාගේ කාර්යාලයේ ඒ ඔක්කොම වෙබ් අඩවි ජයග්‍රාහි ලෙස අවහිර කොට ඇති නිසාය


දොළහමාරේ සිට එකහමාර අතර වූ කිසියම් වෙලාවක : (ගෑණු ළමයාගෙන් රොටියාට)රොටියා අපි ලන්ච් වලට යනවා. ඔයා කෑවද..

දෙකේ සිට හතර දක්වා - (රොටියාගෙන් ගෑණු ළමයාට)... (දුරකථනය නාද වෙයි. පිළිතුරු දෙන පාටක් නැත..)
(රොටියාගෙන් ගෑණු ළමයාට)... No Answer...
(රොටියාගෙන් ගෑණු ළමයාට).. හයියෝ රොටියා. මට වැඩ කතා කරන්න වෙලාවක් නෑ..
(රොටියාගෙන් ගෑණු ළමයාට)...(දිගු වෙලාවක් නාද වී අනතුරුව කතා කරයි. ) හෙලෝ රොටියා. හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ..
(රොටියාගෙන් ගෑණු ළමයාට).. User busy..

හතරේ සිට හතරහමාර දක්වා - (රොටියාගෙන් ගෑණු ළමයාට) හරි හරි වෙලාවට යනවා.

හතරහමාරේ සිට පහමාර තෙක් ඕනෑම වෙලාවක- (රොටියාගෙන් ගෑණු ළමයාට) (පසුබිමෙන් ත්‍රි රෝද රථයක් හැටට හැටේ යන සද්දයක් ඇසෙන හෙයින් කතාව අපැහැදිලිය)රොටියා මාර වැඩේනේ. ඔෆිස් එකෙන් එද්දී පරක්කු උනා. බස් එකේ යන්න වෙලා මදි නිසා දැන් ත්‍රයිෂෝ එකක යනවා. ඔව්. ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක අල්ල ගන්න පුළුවන් වෙයි

පහමාරේ සිට පහයි හතලිහ දක්වා ඕනෑම වෙලාවක - (ගෑණු ළමයාගෙන් රොටියාට) රොටියා මේ මාර ට්‍රැෆික් එකකට අහු උනානේ. ට්‍රාන්ස්පෝර්ට් එක අල්ල ගන්න බැරි වෙයි

හයට පමණ - (රොටියාගෙන් ගෑණු ළමයාට) ඔව් අනේ ට්‍රාන්ස්පෝර්ට් එක මිස් උනා. ඔන්න බනින්න නම් එපා හරිද. මං මොනා කරන්නද. ඔෆිස් එකේ වැඩ දමල ගහල එන්න කියලද

ගෑණු ළමයින්ගේ වැඩ කිරිල්ලේ තරම ඔන්න ඔහොමය..

පසු සටහන: මේ ටිකකට කලින් ,ඔන්න ඔයා ඔෆිස් එකේ වැඩ කරන හැටි වගේමයි කියමින්, ඇන්ටන් ජෝන් ගේ කන්තෝරුව සින්දුව යැවූ නිසා දැන් ඈ මා සමග මල පන්නාගෙන කතා නොකරයි.


මෙන්න සින්දුව :කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන




Friday, March 28, 2014

ආදරණිය ඩි,

මගේ ආදරණිය ඩි;
හැම උදෑසනකම මා අවදි වන්නේ ඔබ පිළිබඳව සුන්දර මතකයක් හිත දරාගෙනය. නින්දට යන්නේ ඔබ පිළිබඳව ඊට වඩා සොඳුරු මතකයක් සිහියේ තබාගෙනය.මගේ ජිවිත කාලය පුරාවටම ඔබව හිමි කරගත නොහැකි බව මගේ උඩු සිත පිළිගත්තද, යටි හිතෙන් පැතුවේ ඔබවමය.
අපේ දෑස් යාවුණු හැමවිටෙකම වගේ ඔබ හිතේ කහටක් නැතුව මා හා හිනැහුනද, මට නම් හිනැහෙන්න අමතකම විය. සාමාන්යෙන්ම ලජ්ජාශීලි පුද්ගලයෙකු නිතැතින්ම සිදු කරනා ලෙසට, මමද තද කළමණාකරුවෙකු වීමි. ලජ්ජාශීලි කලමනාකරුවෙකුකට සිය ආයතනය නිසි ලෙස පාලනය කරගත නොහැකි බව මට තේරුම් ගියේ මීට බොහෝ කලෙකට පෙරාතුවය. මා යටතේ සේවය කල සියල්ලෝම මාව තදබල ලෙස විවේචනය කල බව දනිමි. මම අඩුවෙන් කතා කරන බව, හිනැහෙන්නේ නැති බව, මගේ දරදඬු පාලනය බොහෝ දෙනෙකුට රිස්සුවේ නැති බව සැබෑය. 

ඒත් එක දිනෙක හිනැහී හිනැහී සම්මුඛ පරීක්ෂණයකට පැමිණි ඔබ මුළු වෙලාවේම සොඳුරු හිනාවකින් මුව සරසාගෙන සිටි ආකාරය මට අද මෙන් මතකය. සේවයට පැමිණි පසුවද මා කුමන මුහුණක් පැළඳගෙන සිටියද හිත පුරාම මා හා හිනැහුණේ ඔබය. ඔබ බොහෝ වෙනස් ගැහැණු ළමයෙකු බව මට මුල්වරට තේරුම් ගියේ ඔබ දුටු මුල් දිනමය
බොහෝ දෙනෙකු මට මුහුණ දෙන්නට අකමැති වුවද, උදෑසන පැමිණි විට ඔබ මුලින්ම කරන්නේ මා පැමිණ සිටීදැයි බලා මා සමග හිනැහිමය. මා පමණක් නොව, මුළු කාර්ය මණ්ඩලයම සමගම හිනැහෙමින් සුබ පැතීම ඔබේ පුරුද්දය. ටික දවසක් යන විට මමද ඔබ එනතුරු බලා සිටින්නට පුරුදු උනෙමි. ඊළඟට ඔබ උදෑසන මා සමග පමණක් හිනැහිය යුතුයැයි සිතීමට තරම් මම ආත්මාර්ථකාමී උනෙමි. ඔබ නොදන්නවාට, කල්ගත වනවිට උදෑසන පැමිණි වහාම කුමක් හෝ වැඩක් යොදා ගනිමින් ඔබව මගේ කාර්යාල කාමරයට ගෙන්වා ගත්තේ ඒ ආත්මාර්ථකාමී හැඟීම නිසාය
එකුන් තිස් වියේ පසුවූ මා, විසි දෙහැවිරිදි ඔබට පෙම් බැඳීම අරුමයක් නොවුවද, එය අරුමයක්ම වන්නේ ඒ වනවිටත් මටත්, ඔබටත් පෙම්වතියක හා පෙම්වතෙකු සිටි නිසාය. මගේ ගතිගුණ තේරුම් ගත නොහැකි යයි කියමින්, මා අතහැර ගිය පෙම්වතියන් අතර ඒවනවිට මා ඇසුරු කළේ පස් වැනි පෙම්වතියය. මගේ රූපය නිසා ගැහැණු ළමුන් ලෙහෙසියෙන්ම මා හා ආදරයෙන් වෙලුනද, ඊට වඩා ලෙහෙසියෙන් මා අතහැර ගියබව කාර්යාලය පුරා පැවති ප්‍රසිද්ද රහසකි
මා දුටු ගැහැනුන් අතර ඔබ මලකි. ඔබ තරම් විවෘත ලෙස හැසිරුණ ගැහැණු ළමයෙක් මින් පෙර නොදැක සිටි මට ඔබව විශ්මයක්ම විය.
ඔබ පෙම්වතියක බව මුල් වරට දැනගත් දවසේ මම ඉරිසියාවෙන් දැවුනෙමි. ඔබ වැනි ප්‍රසන්න ගැහැණු ළමයෙකු තනිව සිටීදැයි සිතීම විහිළුවක් වුවත්, මා සෑම විටකම යටි හිතෙන් පැතුවේ ඔබේ සම්බන්ධය නැවතී යාමක් බව මතක් වන විට අදටත් මට ලජ්ජාවකට සමාන හැඟීමක් හිත කොනක මතු වුවද ඒ හැඟීම ගැන පසු තැවීමක් නම් නැත. සියලු දේ හරියටම කරන ආකාරයේ ගැහැණු ළමයෙකු වූ ඔබ ඔබේ පෙම්වතාට දිවි දෙවැනි කොට ආදරය කළාය. ඔහුද එවැනිම ආදරණිය පුද්ගලයෙකු බව මට ආරංචි විය.
දිනක් මා ඔබ දෙස බලාගෙන සිටින අයුරු හදිසියේම දුටු ඔබ තිගැස්සුණු ආකාරය මම දුටුවෙමි. මම ඔබට ආදරය කරන බව ඔබ තේරුම් ගත්තේ එදින යයි මම දනිමි. ඔබ කිසිම කෙනෙකුට වඩා හොදින් අපුරුවට මාව තේරුම් ගැනීමට සමත් වුවාය. මගේ අප්‍රකාශිත ආදරය හමුවේ දරුණු නොවුවද, ඔබ කිසි විටෙක මට අනුබලද නොදුන්නාය.
දිනක් ඔබ හමුවේ මට මාවම පාලනය කරගත නොහැකිව, ඔබේ සුරත අල්ලාගත් ආකාරය සිහිවන විට අදටත් මගේ හිත මිහිරියාවෙන් පිරි යයි. එදින රවා බැලීමක් හෝ සිදු නොකොට මා කැමති තරමක් වෙලා ඔබේ සුරත අල්ලාගෙන හිඳීමට ඉඩහළ ඔබ,අවසානයේ මා පව් යයි පැවසුවාය. තෙවැනි ඇහැකින් බලන අයෙකුට නම් ඔබ සිය ප්‍රධානියාගේ කරේ නැගගෙන උසස් වීම් කරා යාමට තැත් කරන අයෙකු ලෙස හැඟුනද එය එසේ නොවන බව කාටත් වඩා හොඳින් දන්නේ මාය. උසස්වීම් හෝ වේතන වැඩි කිරීම් ගැන ඔබ උනන්දු නොවූ අතර රැකියාව කළේ කාලය ගෙවා ගැනීමට බවත්, ඔබ විවාහ වූ පසුව රැකියාව අතහරින බවත් මම දැන සිටියෙමි. කාර්යාලයක සේවිකාවකට මෙවැනි සිද්දියක් සිදුවූ කල එය පොලිසියකට යාමට තරම් සිද්දියක් වන නමුදු, ඔබ හා මා අතර සිදුවූ සෑම දෙයක්ම අප දෙදෙනාට පමණක් සිමා කර ගැනීමට තරම් ඔබ කල්පනාකාරී වූවාය. ඔබ මාව හඳුනාගත් ලෙසටම මාද ඔබව හඳුනාගත් නිසා, ඔබ මා පිළිබඳ සියලුම දේ ඔබේ පෙම්වතාට පවසන බව මම දැන සිටියෙමි


හදිස්සියේම මා අතට පැමිණි ඔබේ අස්වීම් ලිපිය මගේ ලෝකය උඩු යටිකුරු කරන්නට සමත් විය. ඔබේ තීරණය වෙනස් කරන්නට උත්සහ කොට අවසානයේ පලක් නොවූ තැන මම ඔබට අන්තිම පහත් ආකාරයට බැන වැදුනෙමි. වල් බැල්ලියෙක් යයි සදහන් කරමින් බැණ වැදුනද මගේ දෑස දෙස බලාගෙන නිසලව සිටීමට තරම් ඔබ සන්සුන් ගැහැණු ළමයෙකු වුවාය.
ඉන් මසකට පමණ පසු පැවති සමු ගැනීමේ සාදයෙන් පසුව සියලුම දෙනා පිටත්වුණු පසුවද බොරු හේතුවක් යොදා ගෙන ඔබව නවතා ගත්තේ තවත් තත්පරයක් හෝ ඔබ සමග ගත කිරීමට තිබූ කැමැත්ත නිසාය. ජිවිතයේ කිසිම දාක නොදැනුණු අසරණකමකින් වෙලුනු මම හඬා වැටෙමින් ඔබේ උකුලෙහි හිස හොවාගෙන නවතින ලෙස අයැද සිටියද, යා යුතුම බව ඔබ පැවසුවාය. හැමදාම හිනැහෙමින් හිඳි ඔබද මා හා එක්ව හැඬුවාය. මගේ ගෙල මුල හිස හොවාගෙන ඔබද බොහෝ වෙලා හඬා වැටුනාය. අවසානයේ එකම සිප ගැනීමක් හෝ ඉල්ලා සිටි මගේ දකුණු කම්මුලේ ඔබ මුදු හාද්දක් සටහන් කොට නික්ම යන්නට සැරසෙද්දී මම ඔබේ බලවත් විරෝදය හමුවේ වුවද ඔබේ දෙතොලග හාද්දකින් තෙමාලිමට තරම් මම නිර්භය වුයෙමි. එය අදටත් මගේ ජිවිතයේ සුන්දරතම මතකයයි.
යා යුතුම වූ නිසා ඔබ ගියාය. ඒ සදහටම බව දැනගද්දී මම බොහෝ සෙයින් ප්‍රමාදය. ඔබේ අස්වීම් ලිපිය පිටුපස සිටි පිළිකාව ගැන දැන සිටියානම් මම ඔබට ලෙහෙසියෙන් යන්න ඉඩ දෙන්නේ නැත. ඔබ අවසන් නින්ද නිදා සිටියදී ඔබේ පෙම්වතාට සිහි කල්පනාවක් නොතිබිණි. කෑ ගසා හැඩු ඔහු දෙස මම ඉරිසියාවෙන් බලා හුන්නේ මගේ ලය පැලි යන තරමට වූ ශෝකය පිට කර ගැනීමට අන් මගක් නොතිබූ නිසාය. ලොවට පෙනෙන්නට හැඩුම හංගාගෙන සිටීමට බලවත් උත්සහයක් දැරූ මා කෙරෙහි, මටම අසීමිත කෝපයක් ඇති වී තිබුණි.
ඔබේ නික්මයාමෙන් මසකට පමණ පසුව, ඔබේ පෙම්වතා ඔබ මට තබා ගිය ලිපිය ගෙනැවිත් දුන්නේය. මා පිළිබඳව සියලුම දේ දැන සිටි ඔහු, එපමණ සංයමයකින් මා හා කතා කිරීම මට පුදුමයක්ම විය. ඔබේ නිමා නොවෙන ආදරයේ සදාකාලික අයිතිකරු වූ ඔහු, ඔබ මට දැක්වූ සෙනෙහස තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වුවේය. අනෙක් අතට ඔබ වැනි ගැහැණු ළමයෙකුගේ පෙම්වතා, වෙනෙකෙකුට ඉරිසියා නොකිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත
ඔබට තිබුනේ විශාල හදවතකි. එයින් ඔබ ඔබේ කෙටි ජිවිත කාලය තුල, මුළු ලෝකයටම ආදරය බෙදුවාය. ඔබේ හදවතේ ඉතාමත් කුඩා තැනක සිටි මා කෙරෙහි ඔබ දැක්වූ සෙනෙහස ගැන සිතන විට, ඔබේ මුළු හදම අයිති කරගෙන සිටි ඔබේ පෙම්වතාට අදටත් මම ද්වේශ කරමි
ආදරණිය ඩි, නිදා ගන්න. සුවෙන් නිදා ගන්න. කවදා හෝ යලි ඔබ ලඟට මම පැමිණි විටෙක තව එකම එක වතාවක් ඔබේ මුදු දෙතොල සිප ගන්න මට ඉඩ දෙන්න. එකම එක වතාවක්

මිට
ආදරයෙන්
එෆ්.



Wednesday, March 26, 2014

බාගෙට ලියපු ආදර කතාව

හැමදාම පිස්සු නට නට දවස පටන් ගන්න මම අද හරි බැරෑරුම් හැඟීමකින් පිරිලා. මම විතරක් නෙවෙයි, මගේ ලැප්ටොප් එක, කීබෝර්ඩ් එක පවා ආදරණිය වෙලා. අද මගේ ඇඟිලි වලින් කඩා හැලෙන්නේ ආදරේ. ආදරණිය කීබෝර්ඩ් එකක, ආදරේ වෑහෙන ඇඟිලි වලින්, ආදරේ ගැනම ලියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? දැන් මගේ බ්ලොග් එක ලියන වෙලාව නොවුනත්, මම වැඩ පටන් ගන්න වෙලාව වුනත්, කරන්න වැඩ තිබුනත්, හිතේ පෙළගැහිලා තියෙන කතාව නොලිව්වොත් පිස්සු හැදෙන ගානට තමා අද මම ඉන්නේ. හරියට සුපුන් කියනවා වගේ. ...ආදරේ කියන්නේ පටන් ගත්තොත් ඉවර කරන්න බැරි දෙයක්

සුපුන් කියන්නේ නම වගේම බොහොමම සාමාන්‍ය ඉංජිනේරුවෙක්. සාමාන්‍ය රස්සාවක් කරන. සුපුන් අසාමාන්‍ය වෙන්නේ භාග්‍යා නිසා. භාග්‍යා කියන්නේ සුපුන්ගේ ගෙවල් ගාව හිටපු පොඩි නංගි කෙනෙක්. සුපුන්ට මතක ඇති කාලෙක ඉඳලම සුපුන් එක්කම හැදුනු නංගි කෙනෙක්. සුපුන්ට දෙයියට වගේ සලකගෙන තමුන්ගේ අයියාගේ වගේ පස්සෙන් වැටීගෙන හිටපු නංගි කෙනෙක්

දෙන්නම තම තමුන්ගේ පවුල් වල එකම ළමයි. ඒ නිසා දෙන්නට දෙන්නා ඉඳල තියෙන්නේ සහෝදරයෝ වගේ

භාග්‍යා ගැන තමුන්ගේ හිතේ සහෝදර ප්‍රේමයක් නොවෙන ප්‍රේමයක් ඇති වුනේ ඒලෙවෙල් කරාටත් පස්සේ කියලයි සුපුන් නම් කියන්නේ. ඒත් මම නම් කියන්නේ ඌ කියන්නේ බොරු කියල. මොකද ඒලෙවෙල් ඕලෙවෙල් කාලේ භාග්‍යගේ පස්සෙන් ආපු කොල්ලන්ට, පොලිසියේ රාජකාරිය කරලා තියෙන්නේ මූ. ඒ කොල්ලෝ අතරේ ඇත්තටම භාග්‍යගේ හිත ගිය කොල්ලෝ දෙතුන් දෙනෙකුත් හිටිය කියල ඌම කියනවා. එයින් එකෙක් අද පයිලට් කෙනෙක්

කොහොම හරි කැම්පස් ගිහින් ඉවර වෙලා සුපුන් එද්දී භාග්‍යාත් රස්සාවක් කරනවා බැංකුවක. සුපුන් භාග්‍යට කැමතියි කියල කියනකොට භාග්‍යගේ ඇස් ලොකු වෙනවා. සුපුන් ආදරේ දකිනවා ඒ ඇස් වලින්

දෙපැත්තේම අම්මල තාත්තල වැඩේට උඩින් කැමතියි. කල් නොයවාම වෙඩින් එක ගන්න කතා කර ගන්නවා

භාග්‍යා දැන් ඉස්සර හිටපු පොඩි නංගි බබා නෙමෙයි. සුපුන් එක්ක වැඩිය කතාවට එන්නෙත් නෑ

අමාරුවෙන් ලිස් කරලා සුපුන් ගන්නවා කාරෙකක්. ඊළඟට දෙන්නට ඉන්න ලස්සන අපාර්ට්මන්ට් එකකුත් හොයා ගන්නවා. ඊළඟට සුරංගනා කතාවේ කුමාරයයි කුමාරියි කසාද බඳිනවා. පැණි හඳ බලන්න ගිය කුමාරයට පැණි හඳ නෙවෙයි පෙන්නේ තරු. භාග්‍යා කියනවා මම ඔයාට ආදරේ කළේ මගේම අයියා විදියට. මට කවදාවත් ඔයත් එක්ක හස්බන්ඩ් වගේ ඉන්නත් බෑ අයියේ. එහෙම හිතන්නවත් මම කැමති නෑ. අපි මැරෙනකම්ම අයියයි නංගියි වගේ ඉමු කියල

එතකොට සුපුන් අහනවා එහෙනං කෙලින්ම බෑ කියන්න බැරි වුනේ ඇයි කියල මේ කසාදෙට

භාග්‍යා කියනවා එයා එහෙම කිව්වා කියල. එතකොට තමා සුපුන්ට මතක් වෙන්නේ භාග්‍යා කීපාරක් නම් මේ කසාදෙට බෑ කිව්වද කියල. ඒක සුපුන්වත්, සුපුන්ගේ අම්මල තාත්තලවත්, භාග්‍යගේ අම්මල තාත්තලවත් කනකට ගත්තේ නෑ නේද කියලත් හිතෙනවා. ඒ හැමෝම ඒ කිව්ව හැමවෙලාවෙම හිනාවෙවී එක එක හේතු කිව්ව මිසක් හරියට භාගයත් එක්ක ප්‍රශ්නේ මොකද්ද කියල කතා කළේ නෑ නේද කියල කල්පනා වෙන්නේ එදා රෑ

සුපුන් භාග්‍යගෙන් සමාව ඉල්ලනවා. ඩිවෝස් එකක් ගැන හිතන්න සුපුන් පොඩ්ඩක් වත් කැමති නෑ. ඒත් භාග්‍යගෙන් අහනවා එයා ආදරේ කරපු කවුරු හරි ඉන්නවද කියල. එහෙම ඉන්නවා නම් ඩිවෝස් එක දෙන්න සුපුන් හිත හදා ගන්නවා

ඒත් භාග්‍යට එහෙම කෙනෙක් නෑ. ඒපාර දෙන්නම කතා කරලා ඩිවෝස් නොවී තව ටික කාලයක් ඉන්නත් ඒ අතර තුරේ තමුන්ට ගැලපෙන කවුරුහරි හම්බ උනොත් කතා බහ කරලා ඩිවෝස් වෙන්නත් තීරණය කරනවා. සුපුන්ගේ හදවත කෑලි කෑලි වලට කැඩෙනවා. සුපුන් හිත ඇතුලෙන් දන්නවා තමුන්ට කවදාවත් කිසිම කෙනෙකුට භාග්‍යාට තරම් ආදරේ කරන්න බෑ කියල.. කෑලි කැඩුණු හිත හංගගෙන සුපුන් හිනා වෙලා නිදා ගත්තා

හනිමුන් ට්‍රිප් එක ඉවර වෙලා ඔෆිස් එද්දී සුපුන්ගේ මුණ නිකන් තැලිච්ච පරණ ලොරි මුණක් වගේ. හැබැයි වෙනද වගේ නෙමෙයි ඌ උදේටයි දවල්ටයි ගෙදර හදපු කෑම දෙකක් උස්සන් ආව. එදා ඉඳල හැමදවසකම ඌ කැන්ටිමෙන් කෑවේ නෑ

මාස තුනක් හතරක් ගියා. සුපුන් දාහට අරන් රුපියලට දුන්නු එකෙක් ගානට හිටියේ. භාග්‍යගේ හිත ගත්තු එකෙක් අද හම්බවෙයිදෝ කියන සැකේ හින්ද ඌ දවස ගානේ පිච්චි පිච්චි ඉන්නවා

දවසක් ඌ ඔෆිස් ආවේ නෑ භාග්‍යට උණ කියල. ඊ ලඟට සතියක්ම ආවේ නෑ. ඊළඟ සතියේ එද්දී මුගේ මුණ නිකන් කිරි මුදට හඳ පායල වගේ. තනියම හිනාවෙවී ඉන්නවා. ඔෆිස් අරුණු ගමන් ගෙදර දුවන්න බලාගෙන. යකෝ උඹේ ගෑනි මැරෙන්න ගිහින් ගොඩ ආවම තෝ එහෙම හිනා වේවි ඉඳල හරි යනවද ගල් මුසලය කියලා ඔෆිස් එකේ කොල්ලෝ ටික සුපුන්ව හේදුවත් මූ හිනා වෙවිම හිටියා

තවත් මාස අටකට වගේ පස්සේ භාග්‍යට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියල සුපුන් ඇවිත් කියද්දී උගේ ඇස් දිලිසුනා

ඉවසුවා මචං මම මාරම ඉවසිල්ලක් ඉවසුවා. අතින්වත් අල්ලන්නේ නැතුව මාරම විදියට කන්ට්‍රෝල් පිට හිටියා. අන්තිමට මම දිනුවා. සුපුන් කිව්වා ඔක්කොම ඉවර උනාට පස්සේ

ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉවසල ලබා ගන්න ඕනේ දෙයක්
මේ කතාව මට තව දික් කරන්න තිබ්බ. සුපුන් වටින් ගොඩින් කියපු කතා අහුලාගෙන මට ඌ භාග්‍යට උණ හැදිලා ගෙදර නැවතුනු සතියේ කතාව ලිව්වා නම් මට මේක තව කොටස් හතර පහක් ලියන්නත් තිබ්බා
ඒත් ආදරේ ගැන දන්න කෙනෙක්ට මේ ටික ඇති ඉතුරු ටික හිතා ගන්න. අනික මම මේ බ්ලොග් එකේ ලියන්නේ ලොකු පොඩි හැමෝටම කියවන්න පුළුවන් තරමට විතරයි. ඒ නිසා මේ කතාවේ ඉතුරු ටික හිතා ගන්න

Tuesday, March 25, 2014

එකෝමත් එක දවසක -15

මාව පාවීගෙන පාවිගෙන ගියාය . වලාකුළු වලට උඩින් .. හඳ තරු උඩින්

එදා මා ඈ සමග වල් පල් කතා කරමින් ඈ බහින තැන දක්වාම ගියෙමි . අවසානයේ මට මගේ සැබෑ ආදරය හමු උනා යයි සිතුනි . සිහින පියාපත් ....

මට කැමතියි කිව්වේ නම් නෑ තමා . ඒත් අකමැතියි නම් අරෙම කතාවක් කියයිද ?

එදවස මා නැවතී සිටියේ මිතුරන් කීප දෙනෙකු හා එක්ව බෝඩිමකය . බෝඩිමේ මිතුරන් අතුරින් මගේ අතිජාත මිතුරා වූ ගෙම්බා ට සිද්දිය දන්වන තුරු මට ඉවසුමක් නොවිය . බනින බව දන්නවනම් තමා . එත් මගේ සහෝදරයෙක් වැනි ලපයාට ආරංචිය නොකියා කොහොමද ?

මා කැම්පස් එන විට මගේ සීයා තෑගි කල මොටෝරෝලා වර්ගයේ ජන්ගමයෙක් එදවස මගේ කලිසම් සාක්කුවේ තිබුණි. ඇමතුමක් ගන්නට හෝ කෙටි පණිවිඩයක් යවන්න සෑහෙන තරමේ ජන්ගමයෙක් !

දවස් දෙක තුනක් සඳහා වියදම ලෙස රුපියල් දෙසීයකට අඩු මුදලක් මා ළඟ තිබුණු අතර එයින් බාගයක් වියදම් කොට දුරකතනයට කාර්ඩ් පතක් මිලදී ගෙන ලපයාට ඇමතුමක් ගත්තෙමි . ඔව් . කුණුහරුප ටිකක් කන පිරෙන්න අහගෙන කණේ හිරි ඇරගන්න ලපයාට ඇමතුමක් ගත්තෙමි

එදා ලපයා මට කතා කලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පලමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස නොව මිනිහෙකුට අහන ඉන්න බැරි තරම් අශිෂ්ට බසාවෙනි . මම ඌ ට දොස් නොකියමි .ඒ ඌ කිව්ව සෑම වචනයක්ම බොරු නොවෙන නිසාය . අන්තිමට ඌ සිය කතාව අවසන් කරමින් , කොල්ලෙකුට කරන්න පුළුවන් ලොකුම අපහාසය හෙවත් මා අහවල් ජාතියෙන් එකෙකු බව පවසමින් කෝල් එක කට් කලාය.

කොහොම වෙතත් ලපයාගේ කතාවෙන් පසුව , මගේ වාන් දමන ප්‍රීතිය පොඩ්ඩක් අඩුවූ බව නම් සැබෑය

ඊළඟ මාස දෙක තුන මේ කතාවේ ප්‍රීතිමත්ම සමයයි . එනකන් මග බලන් ඉන්නට , රෑ උනොත් ගිහින් ඇරලන්නට , ඕනේ දේත් එපා දේත් කතා කතා කරන්නට මටත් ඉන්නවනේ දැන් ගෑනු ළමයෙක්

උතුරා යන ප්‍රීතිය කව්දෝ කිව්වා වගේ දිගින් දිගටම පවතින්න තරම් හොඳ වැඩි විය . ඔව් එක දවසක් වන තුරු මගේ සතුට පැවතිනි . ඈට ඉලෙක්ට්‍රොනික් විෂය අමාරු වෙන තාක් තුරු මගේ සතුට පැවතිනි. මට ඈට වඩා ඉලෙක්ට්‍රොනික් විෂය ගැන දැනුමක් ඇති බව ඈ නොපිළිගන්නා තුරු මගේ සතුට පැවතිනි

එක දිනක් හදිසියේම ඈට, හදිසියේම මගේ උපාදියට වඩා ඇගේ උපාදිය ඉහලින් තිබෙන බව මතක් වුනේය . හදිසියේම ඈට තමුන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු වරියක් බව සිහියට ආවේය .

මම පොලවට පාත් උනෙමි . නැවත වතාවක් !

Sunday, March 23, 2014

එකෝමත් එක දවසක -14

ඈ පිළිතුරු හරිගස්සන්න තත්පර දහයක් පහළොවක් ගත්තාය
"මම දන්නා අයිය කෙනෙක් එක්ක.."

"දන්න අයියල හැමෝම එක්ක පාළු පාරවල් ගානේ රස්තියාදු ගහනවාද?"

එවර නම් ඈ ගොළු විය. මා සමග කතා කරන විට පළමු වරට පිළිතුරක් නැතිව ඈ ගොළු විය

"දන්න අයිය කෙනෙක්ද, විශේෂ යාලුවෙක්ද?"

"මම ඔයාට ඇත්තම කියන්නම්. එයා මට විශේෂ කෙනෙක් වෙලා හිටියා. ඒත් දැන් නෑ"

"ඇයි ඒ?"

"එයා මට කැම්පස් එන්න එපා කිව්ව. එයා එහෙම කිව්වේ මට තියෙන ආදරේකට නම් මම කිසි කතාවක් නැතුව කැම්පස් නෑවිත් ඉන්නවා. ඒත් එයා එහෙම කිව්වේ තනිකරම ආත්මාර්ථකාමී කමට." ඈ හිනැහුණාය

"ඒ කියන්නේ ඔයා ඒ සම්බන්දෙ නැවැත්තුවා?"

"ඔව්. මම නැවැත්තුවා. කොහොමත් එයා මට ගැලපෙන්නේ නෑ. මට තේරුම් ගන්න පරක්කු උනා"

"ඒ කියන්නේ ඔයා දැන් නිදහස්."

"ඔව්. අපිව තේරුම් ගන්නේ නැති විශේෂ අයත් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක හොඳයි"

"ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඔයා එයාව විශේෂ කෙනෙක් කරගන්නවද?"

ඈ තේරුම් ගත නොහැකි බැල්මකින් මදෙස බැලුවාය..

"ඔයා කැමතිද මාව විශේෂ කෙනෙක් කරගන්න.."

මා මුල්ම වරට ගෑණු ළමයෙකුකට මගේ කැමැත්ත පල කළේ එලෙසය. කෙතරම් සාමාන්‍ය ලෙස හැසිරෙන්න දැගලුවත්, මගේ හදගැස්ම පිටතට ඇසෙන තරම් විය. මගේ හිත පුදුමාකාරම ආනන්දයකින් පිරි තිබුණි. කියවන ඔබත්, කවමදාක හෝ ගෑණු ළමයෙකුට මුල්වරට කැමැත්ත ප්‍රකාශ කරන වෙලේ හෝ, පිරිමි ළමයෙකු ඔබේ ජිවිතයේ පලවෙනි වතාවට ඔබට කැමතියි යයි කියන වෙලාවේ හෝ දැනුනු හැඟීම මටත් එලෙසම දැනුනි. ඒ මල් වයස මතක් වන විට අදටත් මගේ හදගැස්ම වැඩිවී කන් පෙති රතු වේ.

ඈ නෙතු විදහා මදෙස බැලුවේ නැත. මොකද මා ඇසු ප්‍රශ්නය ඈ බලාපොරොත්තු වුවකි

"මම ඔයාට කැමතියි. යාලුවෙක් විදියට.." ඈ යලිත් මගේ දෑසටම කිඳා බැස දයාබරව හිනැහුණාය. ඈ මට කැමතියි වගේ. ඒත් ලජ්ජාවෙන් කියන්නේ නැතුව ඉන්නවද මන්දා..

"මට දැන්ම වචනයක් ඕනේ නෑ. ඒත් කවදාහරි දවසක මම ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නද..?

ඈ යලිත් හිනැහුණාය. "මම ඔයාට එපා කියන්නේ නෑ.."

Saturday, March 15, 2014

එකෝමත් එක දවසක - 13

මගේ හිත නැවතත් ටිකෙන් ටික දිව්‍යාංගනාව වෙත ඇදෙන්න පටන් ගත්තාය. ටිකෙන් ටික මමද ඇය වෙත පෙරලා මදහස පාන්නට වුනෙමි. ටිකෙන් ටික ඇය හා පෙලට වැටි ගමන් යන්නට පුරුදු වුනෙමි. ටිකෙන් ටික එකල මා ආදරය යයි හිතා හිටි යමක්, ඈ වෙනුවෙන් නැවත වතාවක් මගේ හිත තුල පැල පදියම් වන්නට පටන් ගත්තාය

ඉක්මනින්ම විශ්ව විද්‍යාල ජීවිතය තුල මට මිතුරන් ඇති වූ නමුත් ලපයා වැනි හිතට දැනෙන මිතුරන් ඉක්මනින්ම හමු නොවිණි. නමුත් ටිකෙන් ටික ජිවිතයට බද්ද වුනු යාළුවන් කීප දෙනෙක්ම මට මුනුගැසුණු අතර සමස්තයක් ලෙස සම වයසේ උන් හැම කෙනෙක්ම ෆිට් එකක් විය.

මේ වන විට මගේ දිව්‍යන්ගනාව හැසිරුනේ තනියමය. ඈගේ පෙම්වතා ගැනද කිසිම සඳහනක් නොවුණු තැන මම පුරුෂ ධෙයර්යය එක්තැන් කොට , වෙන කවරෙකු හෝ පැමිණ මගේ තැන අරගන්නට පෙරාතුව ඇයට මගේ හිතේ තියන දේ කියන්නට සිතුවෙමි. මගේ අතීත කතාව මෙන්ම වර්තමාන කතාව ගැන මගේ හිතවත්ම මිතුරන් කීප දෙනෙකු දැන සිටි අතර, ලපයා මෙහි නොසිටීම වාසනාවක්ම විය

මෙය කියවන ඔබට මං ගැන හිතෙන දේ, ලියන මටත් එලෙසින්ම හිතේ. එනම් මා වැඩ කළේ පල් බුරුවෙකු ලෙසින් බවය. මගේ මිතුරන් දෙදෙනෙකුද එලෙසින්ම සිතා මගේ බුරු හිත වෙනස් කිරීමට වලිකෑ අතර තවත් කීප දෙනෙකුගේ සහය මට හිමි විය.

ඈ එකල නැවතී සිටියේ ඇගේ නෑදෑයෙකුගේ නිවසක වූ අතර, කැම්පස් එකේ සිට එහි යෑම සඳහා ඈ බසයට ගොඩ වැදෙන තැන මම දැන උන්නෙමි

විස්වාස කරන්න. අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මාව ගොනාට ඇන්දවූ ගෑණු ළමයෙකුට මම නැවත වහ වැටි සිටියෙමි.

ඉතින් කල් නොයවාම දවසක මා දේශන ඉවරවී ඈ පිටුපසින් ගොස් ඈ ගිය බසයටම ගොඩ වුයෙමි. ටිකට් ගද්දි ඈටත් එක්ක ටිකට් ගත් නිසා ඈ මාව දුටුවාය.

මෙන්න නැවත අර අවුරුදු දෙකකට පෙර දැමු මල් හිනාව. මාව කරකවා අතාරින මල් හිනාව..

" මම දැක්කා ඔයත් ඉන්නවා. කතා කළේ නෑ" ඉස්සර වුයේ ඈමය. එදා වගේමය..

" හ්ම්ම්. මාත් දැක්ක. මම හිතුව දැන් ඉතින් ට්‍රොනික් කට්ටිය නිසා අපිත් එක්ක කතා කරන එකක් නෑ කියල"

මෙන්න සුදු මුණ තරහෙන් කළු කරගෙන. "පිස්සුද ඔයාට"

මගේ මොට්ට හිනාව.

"මට එහෙම යාලුවන්ව අමතක වෙන්නේ නෑ, යාළුවන්ට මාව අමතක උනාට"

එකපාරටම මං ගිය ටියුෂන් පන්ති ඔක්කොටම ඈ එන එක නැවැත්තුවේ ඒ නිසාදැයි අහන්නට මගේ කටට ආවත්, මම කට පියා ගත්තෙමි.

"ඔයා වගේ හොඳම යාලුවෙක් මාත් එක්ක එකම යුනිවසිටි එකට ආපු එක ගැන මට හරිම සන්තෝසයි අනේ. හදිස්සියකටවත් මම දන්න කෙනෙක් මෙහෙ නෑනේ"

මෙය ගෑණු ළමයින්ගේ සුපුරුදු තැටියකි. කොල්ලාව ඔරේමන්දම් වෙන තැනට වැඩ සිද්ද කොට, ඌ හිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ඉද්දි, ඒ බලාපොරොත්තු ගොන්නට තව තවත් බලාපොරොත්තු ලබාදී අවසානයේ ගෑණු ළමයි පවසන බයිලාව නම් කොල්ලා ඇගේ හොඳම මිතුරෙකු බවයි.

රොටියාගේ අතිජාත මිත්‍රයෙක් නම් මේ ලඟදි ඔය ජාතියේ ගෑණු ළමයෙකුට කන පුරා දෙසා බා තිබුණි. එනම් මේ ගෑණු ළමයා ගැන බලාපොරොත්තුවෙන්, මේ කොල්ලා අවුරුද්දක්ම බල ඉඳ ඇති අතර ඒ අවුරුද්දෙනුත් පසුව ගෑණු ළමයා තවත් කල් ඉල්ලු පසු නප්පියටම තද වී මේ නමක් නැති සම්බන්දය තමා නවත්වන බව දැන්වූ කල, ඔහු තමාට මුණ ගැසූනු හොඳම යාළුවෙකු වන හෙයින් (මම කැමති නෑ ඔයා වගේ කෙනෙක් නැති කරගන්න. ඒත් ඔයාට තව බලා ඉන්න බැයි නම්..), හැමදාම තමුන්ගේ හොඳම යාලුවෙක් ලෙසට ඉන්න ලෙසට ගෑණු ළමයා සින්දුවක් කියූ කල තමුන් ළඟ ඒ බයිලා නැති බව කොල්ලා කෙල්ලගේ මුණටම පවසා ඇත.
කාලයක් තිස්සේ දන්නා යාළුවන් දෙන්නෙකු අතර ටිකෙන් ටික ආදරයක් ඇතිවී නැතිවී ගිය කල නම් මේ කතාව වලංගු වන්නට පුළුවන. නමුත් කෙල්ලන් බබාලා නොවෙන නිසා, යම් කොල්ලෙක් තමුන් ගැන බලාපොරොත්තුවෙන්ම තමුන්ව ආශ්‍රය කරන්න පටන් ගත්තා නම් (අයියෝ මම දැනන් හිටියේ නෑනේ ඔයාගේ හිතේ එහෙම එකක් තියෙනවා කියල- ගෑණු ළමයි මේ කියන්නේ අමු බොරුය. හදිසියේවත් මේ කතාව ඇත්ත නම් මෙවැනි කෙල්ලන්ට මන්ද මානසික අද්‍යාපනය ලබා දිය යුතුය) එක්කෝ මුලින්ම බෑ කිව යුතුය. එසේ බැරි නම් කාලයක් ආශ්‍රය කොට හරි වචනයක් දිය යුතුය (හා.. බෑ) කාලයක් ආශ්‍රය කොට අනේ ඔයා මගේ හොඳම යාලුවෙක් යයි කටේ තොලේ නොගෑවී කියන ගෑණු ළමයින්ගේ යාළුකම යකාටම පලයන් කියා ආපසු හැරී එන්නට කොල්ලන්ට කොන්දක් තිබිය යුතුය.ප්‍රශ්නය වුනේ එකල මට එවැනි කොන්දක් නොතිබීමය..

ඉතින් මම හිනැහුනෙමි. අද නම් මම කියනවා කියනවමයි

"ඔයාට දෙයක් කියන්න තියෙනවා"

" මොකද්ද අනේ ඒ"

"ඉස්සරවෙලා කියන්න ඔයා එදා අර ඇවිදන් ගියේ කාත් එක්කද කියලා"


පිරිමින් ගොනාට ඇඳීම සහ ඇඳ ගැනීම

කාන්තාවන්ට බොහෝ අසාධාරණකම් සිද්ද වෙනවාය. පිරිමියෙක් වී ඉපදීමට පින් කල යුතුය. ගෑනිගේ පින කුණු මුල්ලේය. මේවා නිකන් කට කහනවාට කියන කතාය. අද කාලේ ගැහැනියක් වීම යනු හයිවේ ඩ්‍රීම් ලොතරැයිය ඇදුනා හා සමානය. රොටියා මෙසේ කියන්නේ මේ කතාව ඕනෑම උසාවියක නීතිඥ වරයෙකු නොමැතිව ඔප්පු කරන්නට තරම් කරුණු කාරනා ඇති නිසාය (එහෙම කිව්වාට රොටියාට උසාවි ගානේ බඩ ගාන්න වැඩේ සිද්ද කරන්න එහෙම එපාය)

කලකට පෙර රොටියා එක්දාස් නමසිය අසූ ගණන් වල නිෂ්පාදිත කාරයක සාඩම්බර හිමිකරුවෙකුව සිටියාය. ඕනෑම අවු වැස්සකට ඔරොත්තු දුන් යකඩ යකා, දිනක් රැයක මග හිටියේ රෝදයක පැලුමක් නිසාය. රොටියා හින් වැස්සේම, බිම පෙරලිගෙන, මඩ නාගෙන අමතර රෝදය සවි කරන අතර, එක කරුණාවන්ත කොලු ගැටයෙක් රොටියාට කුඩය අල්ලාගෙන සිටියාය. ඊට අමතරව යන එන ගමන් පස් හය දෙනෙක් "ආ මොකද?", " රෝදයක් ගිහින් නේද", "හරි වැඩේ නේද" යනාදී වශයෙන් විවිද ලෙස තම තමන්ගේ කනගාටුව ප්‍රකාශ කොට යන්න ගියෝය. වැඩේ නිමා වූ විට, කුඩය අල්ලාගෙන සිටි කොලු ගැටයාද මින් පසු ගමනක් යන්නට පෙර රෝද නිවැරදිව ඇත්දැයි විමසා බලා සිටින ලෙසට රොටියාට අගනා උපදෙසක් නොමිලයේම ලබා දුන්නාය. වෙලාවේ හැටියට යකා උනත් තනිවට හිටි එකා දෙවියා වූ නිසා, රොටියා ඌට පිළිතුරු ලෙස හිතේ රොක්වුණු කිසිම දෙයක් ප්‍රකාශ නොකොට, හිස පමණක් වනා හිනැහී කරබාගත්තාය.

මේ ලඟදි දිනක රොටියාගේ ගෑණු ළමයා වාහනය සමග හරඹ කරන්නට ගොස් නැවත වතාවක් ගම කාගෙන ඇති බවට රොටියාට විස්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබුණු අතර පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වූ රොටියාද පැනගෙන ඇයට සිය කනගාටුව ප්‍රකාශ කරන්නට ඇමතුමක් ගත්තාය. විය යුතු පරිදි නාහෙන් අඬා දොඩාගෙන වැලපී නොසිටි ඈ රොටියාට සිංහ ලීලාවෙන් පිළිතුරු දුන් අතර ඇගේ ස්වරයෙන් පල වුයේ රිය ධාවන තරගයකින් ජයගත් ජයග්‍රාහිකවකගේ ස්වරූපයකි.

නිධාන කතාව ගතහොත් ඈ කී කතාව සහ ඇගේ වීරක්‍රියාව හේතුවෙන් අහක සිට කට්ටක් කන්නට යෙදී සිටි ඇගේ අසරණ මස්සිනා කියන කතාව අහසට පොලව මෙන් වෙනස් වෙනවාය. ඒ කෙසේද යත් ඈ කී කතාව ත්‍රාසජනක වීර ක්‍රියාවක් ලෙසට හැඟුනද ඇත්ත වශයෙන්ම සිද්ද වී ඇත්තේ කොහෙවත් නැති පිරිමි පරාන ටිකක් එකතු වී ඈව වීර ධිර තත්වයකට ඔසවා තැබීමක් පමණක් වන නිසාය

කතාව පහත පරිදිය


කවදත් වාහනය සමග ඔට්ටු වෙන්න කැමති ගෑණු ළමයා සිය පවුලද එක්කාසු කරගෙන සැන්දෑ චාරිකාවක් යාමට පිටත් වී ඇති අතර, මොලේ කලඳක් ඇති හෙයින් ඇගේ මස්සිනා කාරුණිකව ඇගේ ආරදනාව ප්‍රතික්ෂේප කොට ඇත්තේ තමාට වැඩ බව පවසමින්ය. සිය පවුල පිරිවරාගෙන, නහයට කෙලින් බලාගෙන ඈ පිටත් වන අයුරු මස්සිනාද බලා හිඳ ඇති අතර, ඔහු හිත හදාගෙන ඇත්තේ ඇගේ තාත්තාද වාහනයේ සිටි නිසාය. කෝකටත් කියා කොල්ලා හදිසි ගමනකට සුදානමින් සිට ඇති අතර පැයකට පමණ පසුව තමා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම, එනම් වාහනය මග නැවතී ඇති හෙයින් කරුණාකර හැකිනම් වහාම පැමිණෙන ලෙසට වූ ඇමතුම ජන්ගමයා වෙත සම්ප්‍රාප්ත වී ඇත්තේය

වාහනය ගොඩ දා ගැනීමට අවශ්‍යය යයි හිතෙන ආම්පන්නද එක්රැස් කරගත් කොල්ලා පැය කාලකට පමණ පසුව අදාළ තැනට යනවිට, කැඩුණු වාහනය වටකරහෙන සිටි පිරිස දැක තුෂ්නිම්බුත වී ඇත

වාහනයේ බැටරිය නැවත පණ ගැන්වීමට ස්වෙච්චයෙන්ම ඉදිරිපත් වුනු ඇලියොන් කාරයක්ද, මරුති කාරයක්ද වෙනකක් තබා ඩිමෝ බට්ටේක්ද වාහනය වටා නවතා තිබී ඇති අතර, මද වැස්සේ වුවද කොල්ලන් දහ පහළොස් දෙනෙකු එකතු වී වාහනය ගොඩ ගැනීමට දරන වෑයම දුටු ඇගේ මස්සිනාට ඇඩුනේලු

පිරිස මැද්දෑවට වී ගෑණු ළමයා වටේටම ඔමරි සිනා පපා හිඳ ඇති අතර, ඇගේ තාත්තා ඈ දෙස රවා බලමින් සිටියේලු

සොයා බලා යන විට ඇත්ත කතාව මෙසේය.

ආපසු එන ගමනේදී පාර අයිනේ කඩයක් අසල මදකට නවත්වන මෙන් තාත්තා පවසා ඇති අතර විනාඩි දහයකට පමණ පසුව තාත්තා පැමිණෙන විට ද වාහනයේ ලාම්පු උපරිම ලෙස රාජකීය ලීලාවෙන් පත්තු වී තිබී ඇති අතර ගෑණු ළමයා පවුලේ උදවිය සමගින් මල් පහට කතාවක පැටලී හිඳ ඇත. දෙවියන් සිහිකර ගත් තාත්තා ගෑණු ළමයාව පසු අසුනකට මාරු කොට වාහනය පණගැන්වීමට උත්සහ දරා ඇති අතර බැටරිය එම උත්සාහය සහමුලින්ම ප්‍රතික්ෂේප කොට ඇත්තේය.තාත්තා කෙසේ හෝ වාහනය පණගන්වන්නට උත්සහ කරන අල්ලපනල්ලේ ඇගේ අම්මාට හදිස්සියේම තමන්ගේ ලොකු බෑනාව සිහිවී ඇති අතර, හැකි නම් එන ලෙසට දන්වන අතරතුරේ නිකම් නොසිටි ගෑණු ළමයා කිසිවෙක් කිසිවක් පවසන්නට පෙර අසල වූ කඩයට ගොස් වුනු ඇබැද්දිය පවසා උදව් ඉල්ලා ඇත.

වචනය පිටවුනු සැණින් කොල්ලන් (වයස විස්සේ සිට හැට හැත්තෑව දක්වා) රැලක්ම පැනගෙන ඇවිත් වාහනය වටකරගෙන ඇති අතර මස්සිනා යනවිටත් ඔවුන් සියයට හැත්තෑ පහක් පමණ වැඩ කොටසක් ඉවර කර තිබුණේලු. ඉතුරු ටිකත් කොල්ලන්ටම සිද්ද කරන්නට ඉඩ හැර මස්සිනා පසෙකට වී බලා හිඳ ඇති අතරවාරයේ කොල්ලන් පිරිස ගෑණු ළමයාගෙන් සිද්ද වුනු අත්වැරදීම ගැන කතා කොට ඇත්තේ ඉතාමත් සැහැල්ලුවෙන් සහ ආදරයෙනි. තමුන්ගේ හැකියාව නිසා වාහනය ගොඩ ගත් බවට වැරදි අදහසකින් හිස උදුම්මාගෙන සිටි ගෑණු ළමයා රැස්ව සිටි පිරිසට මුව නොසෑහෙන්න ඉස්තුති කොට උජාරුවෙන් වාහනය පදවාගෙන පැමිණ ඇති අතර ඊලඟට මොන වින්නැහියක් කර ගනීදැයි විස්වාස නැති හෙයින් ඇගේ මස්සිනා සිය වාහනය ඇගේ වාහනය පිටුපසින් නිවසටම පදවාගෙන ගොස් ඇත

ඕවායේ හැටි ඔන්න ඔහොමය. ඔය කියන කොල්ලන් රැලේ රොටියා හිටියත්, රොටියාගේ ගෑනුලමයාගේ මස්සිනා හිටියත්, රොටියාගේ අයියා හිටියත්, රොටියාගේ මිතුරු රැලෙන් එකෙකු හිටියත් වෙන්නේ ඔය ටිකමය. ගෑණු ළමයෙකු මොන තරම් ගොබ්බ බුරු වැඩක් කරගෙන අනාගෙන නාගෙන අපි ලඟට පැමිණියත් අපි පොලවේ ඇදය මිස නැටුමේ වැරැද්දක් නොදකිමු. කොල්ලෙකු ගල්ගොඩක් මත සිටගෙන අති විශිෂ්ට ලෙස ඩිස්කෝ නටන කල, කපුටෙකු පැමිණ හිසේ වසා උගේ අත්තටු වලින් දෙනෙත වැසි ගිය නිසා කොල්ලා ගල්ගොඩෙන් බිමටම බෑවුණු විටක වුවත්, පිරිමි අප කොල්ලාගේ නැටුමේ වැරැද්ද මිසක කපුටාගේ වැරැද්ද නොදකින්නෙමු

ඕවායේ හැටි ඔන්න ඔහොමය

Sunday, March 9, 2014

හැමදෙයක්ම මතකයි මට

අලුත් ජිවිතෙකට හුරු වෙන්න
අමාරුවෙන් ජීවිතය එකතු කරන වෙලාවට
කකුලෙන් අදින රවන ගොරවන
ඕනේ තරම් කට්ටිය ඉන්නවා ගොඩ රුපියලට

වැඩක් වැරදෙනකම් බලන් ඉන්න
දන්නා දෙයක් ගැන ඇහුවත් නොදන්නා විදියට ඉන්න
හිනා උනත් අහක බලන් යන
ඕනේ තරම් ඉන්නවා කට්ටිය ගොඩ රුපියලට

තනි කරන්න වලිකන
හිත රිද්දන
නොදන්නා දෙයට හිනැහෙන
ඕනේ තරම් ඉන්නවා කට්ටිය ගොඩ රුපියලට

ඒත් මම අද මෙතන ඉන්නේ
එහෙම නැති එක්කෙනෙක්
එකෝම එක එක්කෙනෙක්
මුණගැහුණු නිසයි මට

තනිකමක් නොදැනෙන්න
අලුත් යයි නොහැගෙන්න
සියලු දේ දැන ගන්න
කල උදව් මතකයි මට

කිවිඳියක් නොවෙන මුත් ඔබ සේම
ගලපා කියන්නට බැරි මුත් හැමදේම
එක  හිතක් ඇති හොඳ බෝම
පතමි හරියන්න හැමදේම



එකෝමත් එක දවසක-12

දෙවන වර විබාග ප්‍රථිපල අනුව මා තේරී තිබුනේ මා බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටමය. එහි ක්‍රියාත්මක කෙරෙනා පාඨමාලා අතුරින් හොඳම සිසුන් ඇතුල් කරගන්නා පාඨමාලාවට නොව සිව්වන හෝ පස්වන තැන රැඳී සිටිනා පාඨමාලාවටය මා තේරී තිබුනේ. ලපයා වෙනත් විශ්වවිද්‍යාලයක (ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයේ) හොඳම පාඨමාලාව සඳහා තේරී තිබුණාය

මගේ කුමාරිය ගැන කිවහොත්, ඈ මා තේරුණු විශ්ව විද්‍යාලයේම පළමු තැනට වැටෙන පාඨමාලාවට තේරී තිබීම ලපයාගේ දරුණු වයිරයට භාජනය වූ අතර, කොල්ලන් නටවමින්, උන්ව වලට ඇද දාමින් හීන් සැරේ තමුන්ගේ වැඩේ කරගත් චිංචි මානවිකාවක් ලෙස හෙතෙම ඇයට පරිභව කළාය


පළමු සැරේම විශ්ව විද්‍යාලයට යෑමට තරම් වාසනාවන්ත වුනු ඇටකටුස් මේ වන විට දෙවැනි වසරේ ශිෂ්‍යයෙක් ව සිටි අතර, ඌත් සමගම කැම්පස් යෑම සඳහා සුදානම් වෙමින්, විශ්ව විද්‍යාලිය පාඨමාලාවන් පහසු වනු පිණිස අමතර පන්ති පවා ගිය බකයා පළමු සැරේ මුළු විබාගයෙන්ම අසමත් වී තිබුණු අතර දෙවැනි සැරේද එක් විෂයකින් අසමත් වී සිටියාය. එයින් නොසැලුණු ඌ තෙවැනි සැරේටද විබාගය කල අතර අද වනවිට හෙතෙම නැගී එන තරුණ දොස්තරවරයෙකුව හිඳිමින් රෝගීන් සුවපත් කරමින් සිටියි


ලපයාව මඥන් කරමින් ඌට බඩු හම්බ කල නදී, අපි කැම්පස් යන කාලය වනවිට එක්දරු මවක්ව සිටි අතර, දරුවාගේ පියා නම් තමා නොවන බව ලපයා අප සියලු දෙනාටම නිහතමානිව ප්‍රකාශ කළේ අපේ ප්‍රශ්න කිරීම් හමුවේය.


මීට අමතරව මේ කතාවට අතර මැදින් සම්බන්ද වූ කොටි කුමාරිය හෙවත් K.K පිළිබඳව අපි කිසිවෙකුට තොරතුරක් නොලැබුණු අතර, අප දැනන් සිටියේ ඈ දෙවැනි වර විබාගය නොකළ බව පමණි. උසස් පෙළ සමයේ වරින් වර සුළි කුණාටුවක් මෙන් අපේ ජීවිත හරහා හඹා ගිය ඈ පිළිබඳ මතකය අපේ හිත් වලින් කෙමෙන් කෙමෙන් ගිලිහි ගියාය.

වෙනස් විශ්වවිද්‍යාල දෙකකට යෑම සඳහා වෙන් වන විට ලපයා මට වැදගත් අවවාද කීපයක්ම ලබා දුන් අතර, එයින් පළමු එක නම් ආයෙත් අරකි පස්සෙන් එහෙම ගියොත් තෝ හමගහනවා යන්නය. එය තර්ජනයකට වඩා අවවාදයක්ම විය

මා ගිය විශ්වවිද්‍යාලය, නවක වදය යන සංකල්පය ක්‍රියාත්මක නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්යාලයක්ම වූ බව මා සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.කොලු කමට සිද්ද කල මගෝඩි වැඩ එකක් දෙකක් ඇරෙන්න, එය එක් සිසුන් පිරිසකගේ මානසික අසහනය තවත් සිසුන් පිරිසකගේ කරමතින් පිටකරන මානසික රෝහලක් නම් නොවිය

කනිෂ්ඨ සිසුන්ව පිළිගන්නට, විශ්ව විද්‍යාලිය ජිවිතයට හුරු කරවන්නට, සබකෝලය නැති කරවන්න, ලොකු ලයින් බස්සවන්න යනාදී වශයෙන් නොයෙකුත් හේතුන් වලට වහන් වී සිදු කරන නවක වදය නම් තුප්පහි ක්‍රියාවට රොටියා දැඩිවම විරුද්දය. නවක වදය ඔලුව උඩින් තියාගෙන සිටින අය නම් රොටියාව අලයෙක් ලෙස පතුරු අරින්නට පුළුවන. රොටියාට හැඟෙන පරිදි නවක වදයෙන් සිදුවෙන්නේ පහත ඒවාය (අදහස් දැක්වූ ලපයාට ස්තුතිය)

කෙල්ලෙක් නැතිව වේලෙන හඩු කොල්ලන්ට , අලුතෙන් පැමිණි කොලු කෙල්ලන්ට රැස් පෙන්නිය හැකි වීම
බය කොට කෙල්ලෙක් යාලු කරගත හැකි වීම
අංගයක් පුලාවක් නැති කොල්ලන් මෙන් වූ කෙල්ලන්ට, ලස්සන කෙල්ලන්ව පතුරු යැවිය හැකි වීම
කොහෙන්වත් පිට කර ගත නොහැකි මානසික ආතතිය පිට කර ගත හැකි වීම
කුණුහරුපයෙන් බනින්නට කට පදම් වීම
සහ තවත් දේ

කරුණාකර හරි දේ තෝරාගන්න. රැග් වෙන්නෙත් නැතුව රැග් කරන්නෙත් නැතුව ඉන්නා කොන්දක් ඇති කොල්ලන් හා කෙල්ලන් මම අනන්තවත් දනිමි. ජෙෂ්ටයින්ගේ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, රැග් වන ලෙස කෑ ගසමින් ජෙෂ්ටයින් පසුපසින් පන්නගෙන එන විට ගැහැනුකම අමතක කොට තාප්ප පඳුරු මතින් පනිමින් දිව ගොස් බේරුණු ගෑණු ළමයෙක් ගැන මම දනිමි. ඇය අද තමුන්ගේ ඒ පෞර්ශය විදහා දක්වන නිලයක් දරමින් සිටිනවාය.
සමාවෙන්න අමතක විය. මා ලියන්නේ මේ එකෝමත් එක දවසක කතාවයි

ඉතින් ටික ටික මමත් විශ්ව විද්‍යාලිය ජිවිතයේ පැල පදියම් වීමට පටන් ගත්තෙමි. මුලදී තිබූ කලබලය දුරු වෙනවාත් සමගම මෙන්න මගේ වංචාකාර කුමාරි මාත් එක්ක නැවත හිනා වෙන්න පටන් ගෙන. අමාරුවෙන් ටික ටික මාත් එක්ක හිනා වෙන්න පටන් අරගෙන. ට්‍රොනික් ගෑණු ළමයෙක් මාත් එක්ක හිනා වෙන්න අරගෙන

තේරුම් ගන්න ගොනා හැරුනේ පොල් පැලය කන්නය. මගේ බුරු හිත නැවත බුරු වෙස් බැන්දේය.


Saturday, March 8, 2014

මං හින්දා..

මං හින්ද
තොල් රතු කරන්න එපා
මං හින්ද
නියපොතු පාට කරන්න එපා

ෆේෂල්, ක්ලින් අප්, බිලිචින් අනං මනං
මං හින්ද කරන්න එපා

ඔයා ඉන්න විදියට ලස්සනට ඉන්න
මට පේන්න ලස්සන වෙන්න හදන්න එපා

මං ආදරේ ඔයා ඉන්න විදියටයි
මම ආදරේ කරන්න පටන් ගත්තේ ඔයාටයි
ඔයා ඔයා නිසයි
ඔයා අනිත් අයගෙන් වෙනස් ඒ හින්දයි


මාර්තු 05

නොදන්න කෙනෙක් ගෙන් මට මිතුරු ඇරයුමක් ඇවිත්.මුණු පොතට. දන්න කෙනෙක් නම් නෙවෙයි. ඒත් මූණු පොත කියපු විදියට ඒ මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්.
හිතේ මොකද්දෝ තිගැස්මක් ඇති නොවුනා කිව්වොත් ඒ බොරු. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. තාරුකා දෙකක් වගේ දිලිහෙන ඇස් යට හැංගිලා තිබුණු නොකියපු දුකක කඳුළු මට එක පාරටම පෙනුණු නිසා.
හිනා වෙලා හිටියට එයා හිතින් අඬන බව මට හොඳටම තේරුනා.
කවදාවත්ම කාගැනවත් නොදැනුණු හැඟීමක් මගේ හිත පුරාම පැතිරුනා.
නොදන්න කාගෙන්වත් ලැබුණු මිතුරු ඇරයුම් පිළිනොගන්න මම දරුණු තීරණයක් අරගෙන හිටියේ. ඒත් මෙයා මගේ යාලුවෙක් වෙන්න යන බව මගේ හිත කිව්වා. ඔව් කවද හරි මට හර්දයාංගම මිතුරෙක් වෙයි. කවදාවත් මිතුරන් නොහිටි මට මිතුරෙක් මුණගැහිලා.
ඒත් මම මගේ මිතුරාව හැබැහින් දැකලා නෑ. කතා කරලා නෑ. කොටින්ම මම එයාගේ යාලුවෙක් කියල එයා තාම දන්නෙත් නෑ
ඒත් කවද හරි, ඔව් කවද හරි..
   

Saturday, March 1, 2014

මාෂගේ හාදුව

මාෂා නැවතිලා බැලුවා. ඒ නම් ඔහුම තමා. ඒ මුණ ඒ ඇස් දෙක කොහොම අමතක කරන්නද. ඔහුත් බලන් උන්නේ මාෂා දිහා. අවුරුදු පහකට ඉස්සරවෙලා ඔහුගේ දෑසින් මාෂා බලාපොරොත්තු වූ බැල්මකින් මාෂා දිහා ඔහු බලාගෙන උන්නා.
දෙපාරක් නොහිතපු මාෂා පාර පැනල ඔහු ලඟට ගියා. ඉස්සර වගේම හිතුවක්කාර හිත
කොච්චර නම් කාලෙකින්ද, ඔහු මිමිණුවා. ඒ කටහඬ, මාෂා මුලින්ම පෙම් බැන්ද කටහඬ
මාෂා උත්තර දුන්නේ නෑ. උත්තර නැති ප්‍රශ්න කොච්චර නම් තියෙනවද
"බැන්දයි කියල ආරංචි උනා". ආයෙමත්ම ඔහු.
බැන්දද බඳින්න සිද්ද උණාද කියල ආරංචි උනේ නැත්දැයි අහන්නත් හදල මාෂා නිහඬ උනා. අවුරුදු පහකට ඉස්සර මේ ලෙන්ගතු කම තිබ්බ නම් අද තමුනුත් සංතෝසෙන් ඉන්නවා නේදැයි කියල ඇයට අනික් අතට හිතුනා.
ඔහු පන්සිළු. මාෂගේ ප්‍රථම ප්‍රේමය. ඒවගේම අවසාන ප්‍රේමය.
"මම ඔයාට ආදරෙයි" කියල මාෂා පන්සිළුගේ මුණටම කිව්වා, දැන් නෙවෙයි මීට අවුරුදු පහකට කලින්. එවෙලෙහි ඔහුගේ දෑසේ තිබ්බේ තමුන්ගේ හොඳම යාලුවට ආදරේ ප්‍රකාශ කරපු මෝඩ කෙල්ලෙක් දිහා බලන බැල්මක් මිසක් විස්මය නෙවෙයි.
ඔව් ඔහු දැනන් හිටියා මාෂා ඔහුට ආදරේ කරන බව. නමුත් පන්සිළු මාෂට කවදාවත් ආදරේ කරන බවක් පෙනුනේ නෑ. බැරිම තැන මාෂා කෙලින්ම ඔහුට ආදරේ බව කිව්වා. ඒත් ඔහු එකම එක මෝඩ හිනාවකින් මාෂගේ කතාවේ තේරුම කපල දැම්ම.
අන්තිමට මාෂට පන්සිළුව මුණ ගැහුනේ ඔහු කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ ඉන්දැද්දී. ඊට පස්සේ කොච්චර නම් දේවල් උණාද
"මට පරක්කු වෙනවා, යන්න ඕනේ" මුල් වරට මාෂා තමුන්ගේ කටහඬ අවදි කළා
" මට ඔයත් එක්ක කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා"
"දැන් බෑ" මාෂා කිව්වේ හරියට දැන් බැරි උනාට පස්සේ පුළුවන් කියනවා වගේ. ඔහුගේ ඇස් දිලිසුනා.
" එහෙම නම් එන සිකුරාදා, හරියටම උදේ දහයාමාරට, බැරිස්ටා එක ලඟදි"
කසාද බැඳලා අවුරුදු හතරකුත් මාස තුනක් වුනු ගෑණියෙක් සිය සැරයක් හිතල උත්තර දෙන ප්‍රශ්නයට මාෂා තත්පරෙන් ඔලුව වැනුවා. ඊළඟට යන්නම්වත් නොකියා පාර පැනල ටිකක් එහාට වෙන්න නවත්තල තිබුණු නවාරා කැබ් එක ලඟට දිව්වා.

ඩ්‍රයිවින් සිට් එකේ පුරුදු විදියට සෙනුර වාඩි වෙලා හිටියා. කසාද බැඳපු අවුරුදු හතරටම මාෂට කොහේ හරි යන්න උවමනා උනොත් සෙනුර හිටියා. සෙනුර ළඟ රියදුරෙක් සේවය කලත් මාෂව එක්කං යන එන වැඩේ හැමදාම සෙනුරම සිද්දකලා. මාෂා එක දැක්කේ ආත්මාර්ථකාමී පිරිමි ගතිය විදියටයි.
රුපියල් දහයක පැනඩෝල් ගේන්න පැය බාගයක් යනවාදැයි අහන්නේ නැතුව සෙනුර වාහනය පාරට දැම්මා. කොහොමත් මාෂත් සෙනුරත් එක්ක කතා කලොත් ඒ උවමනාම දේකට විතරයි.බැඳපු දවසේ රෑත් මාෂා සෙනුරට කතා කළේ වචන හතරයි. "මට නිදිමතයි මම නිදාගන්නවා".

කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්නෙවත් නැතුව කෙලින්ම අම්මලගෙන්ම අහල ඒ කෙල්ලව බැඳගත්ත, පොඩි කාලේ ඉඳලම අම්මල අඳුරන බිස්නස් කාරයෙක්ගේ පුතෙක් උනු සෙනුරට මාෂා වයිර කළේ මංගල්ලේ තීන්දු වුනු දවසේ ඉඳලමයි. බැරැන්ඩි කටහඬ, මහත ඇඟ මාෂට සෙනුරව තවත් එපා කෙරෙව්වා. මාෂා සෙනුර ලඟදි ගලක් උනා. සෙනුර දෙතොල් ලංකලොත් මාෂා අහක බලාගත්තා. මාෂා පොඩි කාලේ ඉඳලම හාදු පරිස්සම් කළේ තමුන්ගේ ආදරවන්තයට දෙන්නයි. ඒවා සෙනුරට දීල කිළුටු කර ගන්න මාෂට උවමනා උනේ නෑ. මාෂා විවහා ජීවිතේදී ගෘහනියක් විදියට කරන්න ඕනේ දේවල් යුතුකම් සේරම ඒ විසාල ගෙදර ඇතුලේ ඉඳගෙන සිද්ද කලත් සෙනුරට ආදරේ කළේ නම් නෑ

සිකුරාදා වෙනතුරු මාෂා කළේ පන්සිළු එදා මාෂව ප්‍රතික්ෂේප කල වැරදෙන් පන්සිළුව නිදහස් කරන්න හේතු හොයන එකයි. ඒ දවස් වල පන්සිළුට සල්ලිත් නෑ රස්සාවකුත් නෑ. කෙල්ලෙක්ට කොහොම ආදරේ කරන්නද.නමුත් ඕනෙකමක් තිබ්බ නම් මාෂට ආදරෙයි කියල කියන්න පන්සිළුට බාදාවක් තිබ්බේ නැති විත්තිය මාෂා හිතා මතාම අමතක කරලා දැම්ම

තමුන්ට සිකුරාදා උදේ බැරිස්ටා එක ලඟට යන්න ඕනේ කියල මාෂා සෙනුරට කිව්වේ බ්‍රහස්පතින්දා රෑ. සෙනුර වෙනද වගේම මම ගිහින් දාන්නම් කියල කිව්ව විතරයි. ඊට එහාට ප්‍රශ්න ඇහුවත් මාෂා උත්තර නොදෙන බව සෙනුර දැනගෙන හිටියා.

බැරිස්ටා එක ලඟින් බැහැපු මාෂා තමුන් එන්න තව පැය දෙකක් වත් යන බව සෙනුරට කිව්ව. සෙනුර හිස වනල වාහනේ හරෝගෙන යන්න ගියා. හරියටම තව පැය දෙකකින් මෙතනට එන සෙනුර ඊළඟට මාෂා එන තුරු දවසක් හරි බලාගෙන ඉන්න බව මාෂා දැනන් හිටියා.

"නගින්න" පන්සිළුගේ කටහඬින් මාෂාව ගැස්සුනා. ඔහු ඇවිත් හිටියේ අලුත්ම බි එම් ඩබ්ලිව් එකක. රෝද දෙකේ හොන්ඩා මෝට සයිකලයකට කරන්න බැරි බොහොම දේවල් රෝද හතරකට කරන්න පුළුවන් බව මාෂ තේරුම් ගත්තේ බොහොම කාලෙකට ඉස්සර හදවත කිරි ගැහෙන මතකයකුත් එක්කයි
අම්මල දැන් පන්සිළුව දැක්කොත් සෙනුරගෙන් ඩිවෝස් වෙලා මට පන්සිළුව බඳින්න කියයි. මාෂට හිනා ගියා. අනෙක් අතට ඒදවස්වල අම්මලට තමුන් පන්සිළු ගැන කිසිම දෙයක් කියල තිබුනේ නැති විත්තියත් ඔලුවට ආව. කිව්වනම් මාව අපුරුවට බන්දල දෙයි පන්සිළුටම. මාෂට ඉස්ස්රලට වඩා ලොකු හිනාවක් ගියා
"හිනා වේවි ඉන්නේ නැතුව නගින්න" පන්සිළුගේ කටහඬේ තරහවක් නොවුණු නොසන්සුන් ගතියක් තැවරිලා තිබුණා.
මාෂා දොර ඇරගෙන වාහනයට නැග්ගා.
"ඇයි අපි බැරිස්ටා යන්නේ නැද්ද" කියල මාෂා ඇහුවේ නැහැ.
"අපි යන්නේ බැරිස්ට නෙවෙයිද කියල ඔයා අහන්නේ නැත්තේ ඇයි " කියල පන්සිළු ඇහුවෙත් නෑ
කළු විදුරු වාහනේ වේගයෙන් ගල්කිස්ස පැත්තට ඇදිල ගියා.

"මට ඕනේ උනේ ඔයත් එක්ක නිදහසේ කතා කරන්න" පන්සිළු කිව්ව
ඇයි බැරිස්ට එකේදී ඔයාව කවුරු හරි අල්ලලා හිරේ දානවද, මුවෙන් පිට නොකරපු ප්‍රශ්නයක් ඔලුවට අව මාෂට ආයෙමත් තනියම හිනා ගියා.

"මොකද ළමයෝ, වචනයක් වත් කතා නොකර ආපු වෙලේ ඉඳල තනියම හිනා වේවි ඉන්නේ" පන්සිළුගේ ප්‍රශ්නයට උත්තර නොදුන්නු මාෂා ඈතින් පෙනෙන මුද දිහා බැලුව. මුද තිබුනේ පන්සිළුගේ පැත්තේ නිසා මාෂට මුද පසුබිමෙන් පන්සිළුගේ මුණේ පැත්තකුත් පෙනුනා

"කෝ ඉස්සර තිබුණු කතා පෙට්ටිය" පන්සිළු ඒ පාර ඇහුවේ මාෂගේ අත මතින් අතක් තියල

"ඒක නැති උනා, හොයා ගන්න බැරි විදියටම" මාෂා ලේසියට කියල දැම්ම. ඒ අතරේ හිමිහිට පන්සිළුගේ අතට යටවෙලා තිබුණු තමුන්ගේ අත ඇදල ගත්ත. ඉස්සර ඉස්කෝලේ යන කාලේදී මාෂා හිටියේ පන්සිළුගේ කරේ. හැමෝම හිතුවේ දෙන්න යාලුයි කියල.ඒක එහෙම නෙවෙයි කියල දැනන් හිටියේ පන්සිළුම විතරයි

පාර අයිනට වෙන්න මුද පැත්තේ පන්සිළු වාහනේ නතර කළා.

"මං දන්නවා අර තඩියට ඔයා ආදරේ නැති විත්තිය". පන්සිළු කිව්වේ මාෂා බලාපොරොත්තු වෙච්චි දෙය නෙවෙයි. මං ඔයාට ඉස්සර ඉඳලම ආදරේ කළා කියල අහන්න හිටි මාෂගේ හිතේ තිබුණු බලාපොරොත්තුව අවුරුදු පහකට පස්සේ ආයෙමත් සැරයක් බිඳිලා ගියා.

"මං ඔයාට ඕනේ හැමදෙයක්ම, ඔයාගෙන් මග අරුණු හැම දෙයක්ම ඔයාට දෙන්නම් මාෂා බබී". මාෂා ඇස් දෙක ලොකු කරලා පන්සිළු දිහා බැලුව. කෝ මාෂා බලාපොරොත්තු වුනු ආදරේ. අවුරුදු පහක් පුරා මාෂා හීන එකතු කළේ මේ වචන ටිකටද?

පන්සිළු මාෂාට ලංවෙලා උරහිසකට අතක් තිබ්බා. මාෂා ඇස් දෙක පියා ගත්තා. පන්සිළුගේ මුහුණ ටික ටික තමුන්ගේ මුණ අසලට එන බව මාෂට දැනුනා. අවුරුදු පහක් තිස්සේ ආදරෙන් රැකගත්තු මාෂගේ හාදුව පුදින්න තත්පර දෙකක් තියෙද්දී මාෂා අත දිග ඇරලා එකක් ගැහුවා පන්සිළුගේ කම්මුලට. පස්සට වෙලා කම්මුල අල්ලගත්තු පන්සිළු මාෂා දිහා විස්මයෙන් බැලුවා.
" ඒ අවුරුදු පහකට කලින් මට කරපු දේට. මගේ හිත පිස්සු වට්ටලා රවට්ටපු එකට" මාෂා සන්සුන්ව කිව්වා
" ඒත් මං.." පන්සිළුට කතාව ඉවර කරන්න නොතියා මාෂා අත දිග ඇරලා පන්සිළුගේ අනික් කම්මුලටත් ගැහුවා. පන්සිළු ඉංග්‍රීසියෙන් කුණුහරුපයක් කිව්වා
"ඒ අද දවසට" මාෂා වාහනයෙන් බැහැල පාරේ ගිය මීටර් ටැක්සියක් නවත්තගෙන ආපහු බම්බලපිටිය පැත්තට ගියා
මාෂා බැරිස්ටා එක ලඟින් බැහැල ටික වෙලාවකින් සෙනුරගේ නවාර එක ආව.

" ඔයා කැමති තීරණයක් ගන්න" එදා රෑ සෙනුර මාෂට කිව්ව. කසාද බැඳලා අවුරුදු හතරකුත් මාස තුනක් පුරා කිසිම දවසක නොබලපු විදයට මාෂා සෙනුර දිහා බැලුවා. ඊළඟට බිම බලා ගත්තා

"මං දැනන් හිටියා මාෂි පන්සිළු ගැන. ඔයාව බඳින්න අහනකොටත් මං දැනන් හිටියා. මං හිතුවේ ඔය දෙන්න අතරේ තිබ්බේ යාලු කමක් විතරයි කියල. ඒක එහෙම නොවෙන බව දැන ගත්තේ මම ඔයාව බැන්දට පස්සේ. පන්සිළු දැන් තත්වෙක ඉන්නවා. ඔයා කැමති තීරණයක් ගන්න. මම ඔයාව උසාවි ගානේ රස්තියාදු නොකර මගෙන් වෙන්න ඕනේ වැඩ ටික කරලා දෙන්නම්"

මාෂා ආයෙමත් හිස ඔසවල සෙනුර දිහා බලද්දී සෙනුරගේ ඇස් දිලිසෙන බව දැක්කා

"මම අද ගියේ පන්සිළුව හම්බවෙන්න" මාෂා කිව්ව. සෙනුර හිස වැනුවා

" මං දන්නවා මාෂි. මම සඳුදත් පන්සිළුව දැක්කා. ඔයා බැරිස්ට යන්න ඕනෙයි කියද්දී ඔයාගේ ඇස් වල තිබ්බ සංතෝසෙන් මම තේරුම් ගත්තා ඔයා යන්නේ පන්සිළුව හම්බවෙන්න කියල. ඔයා අද පන්සිළුගේ වාහනේට නැග්ගාම මමත් පස්සෙන් ආව. ඔයා තාම පොඩියිනේ. ඕනේ මිනිහෙකුට රවට්ට ගන්න පුළුවන්නේ. නැතුව මම පන්සිළුව අවිස්වාස කළා නෙවෙයි. ඒත් කෝකටත් කියල මාත් වෙහිකල් එක ගල්කිස්සටම යනකන් ෆලෝ කළා. පන්සිළු වැදගත් විදියට පාරේ අයිනේ වාහනේ නවත්තල ඔයත් එක්ක කතා කරපු එක මම හරියට අගේ කරනවා. ත්‍රිවිල් වල එවන්නේ නැතුව ඔයාව ආපහු පන්සිළුම ඇවිල්ලා ඩ්‍රොප් කළා නම් තමා හොඳ. ඒත් මාෂි පන්සිළු හොඳ මනුස්සයෙක්"

මාෂා ගල්ගැහිලා අහගෙන හිටියා. තමුන්ගේ කසාද ගෑනි වෙන මිනිහෙක් එක්ක තමුන්ට හොරෙන් ගමනක් යද්දී, ඒ ගෑනිගේ පරිස්සමට පස්සෙන් යන පිරිමි මේ ලෝකෙ ඉන්නවද කියල මාෂා කල්පනා කරා

"අද වෙහිකල් එක ඇතුලෙදි පන්සිළු මාව කිස් කරන්න හැදුවා. මම උගේ කම්මුල් දෙකම පොඩි කරලා එන්න ආව"

එවර විසාල උනේ සෙනුරගේ ඇස් දෙකයි. "එතකොට.." සෙනුර කතා කරන්න පටන් අරගෙන අතරමග නතර කළා

" පන්සිළු මට ආදරේ කළේ නෑ සෙනුර. පන්සිළුට ඕනේ උනේ මගෙන් ප්‍රයෝජන ගන්න විතරයි. පන්සිළු මට ආදරේ කලත් ඒ මම බලාපොරොත්තු වුනු විදියේ ආදරයක් වෙන්නේ නෑ.මං පන්සිළුට ඉස්තුති කරන්නේ එක දෙයකට විතරයි. ඒ අවුරුදු පහක් පුරාවටව මාව නාස්ති කල හීනෙන් මාව ඇහැරෙව්වට. කොහොම වුනත් ඇත්තම කිව්වොත් මම අද වෙනකන් කවම දාවත් ඔයාට ආදරේ කළේ නෑ සෙනුර. අද  මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තු එක වෙනමම කතාවක්. ඒ පන්සිළුව එපා උනු නිසා නෙවෙයි, ඔයා මට මේ අවුරුදු හතර තිස්සෙම මම හැමදාම බලාපොරොත්තු වුනු විදියට ආදරේ කරලා තියෙනවා කියල තේරුණු නිසයි. ඔයාගේ ආදරේ හරියට වටිනවා සෙනුර. ඒත් මාෂා කියන්නේ ඒ ආදරේ ලබන්න සුදුසු ගෑණියෙක් නෙවෙයි. මාෂා කියන්නේ වෙන මිනිහෙක් එක්ක නිදා නොගත්තත් ඒ මිනිහට එහෙම බලාපොරොත්තුවක් දීල ඒ මිනිහගේ වාහනේට නැග්ග ගෑණියෙක් සෙනුර. ඔයා කැමති තීරණයක් ගන්න"
මාෂා මුළු ජීවිත කාලේ පුරාවටම කතා කලාට වඩා වැඩි වචන ගණනක් අද සෙනුරට කතා කළා

" ඔයා මට ආදරේ නොකලත් මම හැමදාම ඔයාට ආදරේ කළා මාෂි.ඔයාට ඇතියි කියල හිතෙනකන් මාත් එක්ක ඉන්න පුළුවන්"

මාෂගේ ඇස් වලට කඳුළු ආව. ජීවිතේදී තමුන් කිසිම දවසක සෙනුරව වැළඳ ගනියි කියල නොහිතපු මාෂා සෙනුරව තදින්ම වැළඳ ගත්තා. සෙනුරගේ හදගැස්ම දැනෙනකම්ම මාෂා සෙනුරව තදින් වැළඳ ගත්තා


 ඊළඟට ජිවිත කාලෙම පරිස්සම් කල මාෂගේ හාදුව....

මේ ජීවිතේදී අපි තෝරාගන්න ඕනේ අපි ආදරේ කරන කෙනාවම නෙවෙයි. අපිට ආදරේ කරන කෙනෙක්වයි...අපිට දැනෙන විදියට අපිට ආදරේ කරන කෙනෙක්වයි

                                                                     - රොටියාගේ ගෑණු ළමයා